Showing posts with label විධායක ජනාධිපති ක්‍රමය. Show all posts
Showing posts with label විධායක ජනාධිපති ක්‍රමය. Show all posts

Wednesday, 13 November 2019

ජනාධිපති ඡන්දයේ දී මගේ ඡන්දය හිමිවන්නේ කාටද? - My vote, my wish


මේ ලිපියට අවශ්‍ය නම් ජනාධිපති ඡන්දයේ දී ඔබ ඡන්දය දිය යුත්තේ කාටද? යන මාතෘකාව ද යෙදිය හැක. ඒත්, මා ඇත්තටම කියන්නට යන්නේ මගේ මතය මිස, නිරපේක්‍ෂ මතයක් නොවන නිසා මේ යොදා ඇති මාතෘකාව එලෙස ම තබමි.

වැඩි විස්තර කතා කිරීමට පෙර මෙන්න මා ලියා පළ කර ඇති, අද මාතෘකාවට අදාළ, වෙනත් රසිකොලොජි ලිපි කිහිපයක්.

1. මා 2015 අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote
http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html


2. එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය (2015 අගෝස්තු) නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!!
http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html


3. ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the 1999 presidential election
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html


4. ඡන්ද කාලේ (2015) ඡන්ද කතා - What else is there to talk about?
https://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html


5. මා නොවන මම සහ මගේ ඡන්දය - Why I would still vote for the JVP in 2018
https://rasikalogy.blogspot.com/2018/02/why-i-would-still-vote-for-jvp-in-2018.html


දැන් මෙන්න ප්‍රශ්නයට කෙළින් ම පිළිතුර.

මෙවර ජනාධිපති ඡන්දයේ දී මගේ ඡන්දය හිමිවෙන්නේ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායකට යි.

කුඩා කල සිටම දේශපාලනය උනන්දුක් දැක්වූ, අදත් දේශපාලනව සක්‍රීයව සිටින, මගේ ම දේශපාලන මතයක් ඇති, නිරතුරු දේශපාලන මාතෘකා ගැන අදහස් පළ කරන අයෙකු ලෙස, මට 1984 පමණ කාලයේ සිට ම, ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සමග විවිධ ප්‍රශ්න තිබී ඇත. දැනුදු තිබේ.

ඒ ප්‍රශ්න බොහොමයක් ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳව ඔවුන් දිගු කාලයක් තිස්සේ දැරූ ප්‍රතිගාමීත්වයට සම්බන්ධ ඒවා ය. ඊට අමතරව ඔවුන් 1986 දෙසැම්බරයේ දී දයා පතිරණ මරා දමමින් ඇරඹූ මිනීමරු දේශපාලනය ද මට පිළිකුල් ය. ඊළඟට 2010 දී හිටපු ආමිකාරයෙකු බලයට ගෙනෙන්නට කළ කඩේ යෑම ද මට අප්‍රසන්න විය.

එසේ නම්, මෙවර ජනාධිපති ඡන්දයේ දී ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මගේ ඡන්දය හිමිවන්නේ ඇයි?

මුලින් ම මෙන්න මගේ ඡන්දය ඉදිරිපත් වී සිටින අනෙකුත් අපේක්‍ෂකයින්ට හිමි නොවීමට හේතු.

දක්‍ෂිණාංශික පක්‍ෂවලට ඡන්දය දීමට නම් මගේ කිසිදු කැමැත්තක් නැත.

ඒ කෙසේ වෙතත්, එක් දක්‍ෂිණාංශික පක්‍ෂ කණ්ඩායමක් නියෝජනය කරන හිටපු ආමිකාර ගෝටාබය රාජපක්‍ෂ බලයට පත්වීම යනු ලංකාවේ පුරවැසි නිදහසේ අවසානය යැයි මම සිතමි.

අනෙක් දක්‍ෂිණාංශික පක්‍ෂ කණ්ඩායමේ සජිත් ප්‍රේමදාස යනු රටක නායකත්වයට සුදුසු පරිචයක් ඇති අයෙකු නොවේ. ඔහු තමන් ගේ ඡන්ද ව්‍යාපාරය තුළ කළ කී දේ අතරින් වැදගත්කමක් ඇත්තේ කාන්තා සනීපාරක්‍ෂක තුවා පිළිබඳ කළ ප්‍රකාශය පමණි.

වාමාංශික පක්‍ෂ කණ්ඩායම් ගැන සලකා බලන කළ, සමාජ සමානතා පක්‍ෂය කෙරෙහි එදා සිට අද දක්වාම විවේචනාත්මක (එහි සාමාජිකයින්ගේ පොදු චර්යාව ගැන) සහයෝගයක් ඇතත්, ඔවුන්ට ඡන්දය දීමෙන් ඔවුන්ට හෝ සිදුවන කිසිදු යහපතක් නැත. ඇත්තටම එවැනි පක්‍ෂයක් ඡන්දය ඉල්ලන්නේ ඇයි දැයි මට නොතේරේ.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ගැන ද කිව හැක්කේ එය ම ය. හොඳ පොරවල් එහි සිටිති, නමුත් පක්‍ෂයේ බොහෝ දෙනාගේ කතා බහ වෛරයෙන් කරන ඒවා බව මට පෙනී ගොස් ඇත.

ශ්‍රී ලංකා සමාජවාදී පක්‍ෂයේ අපේක්‍ෂිකාව, අජන්තා පෙරේරා, පිළිබඳ යම් ප්‍රසාදයක් ඇතත්, මගේ වටිනා ඡන්දය ඇය වෙනුවෙන් නාස්ති කරගත යුතු නැති යැයි සිතේ.

වාමාංශික හෝ දක්‍ෂිණාංශික හෝ නොවන අපේක්‍ෂකයින් අතරින් වෘත්තිකයින් ගේ නියෝජිතයා ලෙස ඉදිරිපත් වී සිටින මහේෂ් සේනානායක යනු හිටපු ආමිකාරයෙකි. ඔහු මගේ සමකාලීන පාසල් සගයෙකු වීම, ගම්සභා ඡන්දයක දී වැදගත් වීමට ඉඩ ඇත ද, මෙහි දී වැදගත් නැත.

අනෙකුත් අපේක්‍ෂකයින් පිළිබඳව නම්, වචන නාස්ති කර ගත යුතු නැත.

යම් කිසි ලෙසකින් මට මනාප සලකුණු කරමින් ඡන්දය දෙන්නට සිතී ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මගේ පළමු මනාපය දුන්නොතින් දෙවන මනාපය අජන්තා පෙරේරාට ද, තෙවෙනි මනාපය දුමින්ද නාගමුවට ද දිය හැකි නමුත්, සුළුතර පක්‍ෂවලට එවැනි මනාප අනවශ්‍ය බව මා 1982 දී සිට දන්නා කාරණයකි.

දැන් මෙන්න ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මා ඡන්දය දෙන්නට තීරණය කිරීමට පැහැදිලි හේතු කිහිපයක්.

ජාතික ජන බලවේගයේ බොහෝ ප්‍රතිපත්ති සමග මට එකඟ විය හැක.

මේ කණ්ඩායම හා එක්ව ඡන්ද ව්‍යාපාරයේ වැඩ කරන අය පිළිබඳව මට ඇත්තේ ප්‍රසාදයකි.

අනුර කුමාර දිසානායක යනු උගත්, දැනුමැති පුද්ගලයෙකු බව ඔහු 2010 දී (ප්‍රථම සහ) අවසන්වරට සිඩ්නි නගරයට පැමිණි අවස්ථාවේ දී කළ කතාවෙන් මට පැහැදිලි විය. මා ඔහුගෙන් ඇසූ ප්‍රශ්න ද්වයට ම ලැබුණු පිළිතුරු සාර්ථක යැයි කිව නොහැකි වුව ද, දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙකුගෙන් පක්‍ෂයේ මතයට අමතරව යමක් බලාපොරොත්තු විය නොහැක. (එයට සාපේක්‍ෂව, 2012 දී ප්‍රේමකුමාර් ගුණරත්නම් පැවැත්වූ ප්‍රසිද්ධ දේශනයක් අවසානයේ දී මා ඇසූ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර බුද්ධිමත් එකක් වූ බව සඳහන් කළ යුතු ය).

ශ්‍රී ලංකාව අද වැටී ඇති අගාධයෙන් ගොඩ නැගීමට නම්, ඒ සඳහා ශක්‍යතාවය ඇති එකම කණ්ඩායම ජාතික ජන බලවේගය යැයි මම අවංකව ම සිතමි. යූඇම්පී හෝ සිරිලංකා හෝ උංට අවශ්‍ය එක රැළක් රට කාගෙන කාගෙන කාගෙන ගොස් නවත්වන තැන සිට රට කාගෙන කාගෙන යන්නට තමන්ගේ රැළට බලය ලබා ගැනීම පමණි.

මා බලාපොරොත්තුවෙන ඡන්ද ප්‍රතිඵලය මෙසේ ය.

අනුර කුමාර දිසානායක = 35%
සජිත් ප්‍රේමදාස රණසිංහ = 33%
නන්දසේන ගෝටාබය රාජපක්‍ෂ = 31%

ජාතික ජනබලවේගයට ජයවේවා.

-රසික සූරියආරච්චි

ප/ලි:
මෙන්න මා ඡන්දය දීම ගැන කලින් ලියූ සටහන් කිහිපයකට සබැඳි නැවතත්.

1. මා 2015 අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote
http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html


2. එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය (2015 අගෝස්තු) නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!!
http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html


3. ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the 1999 presidential election
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html


4. ඡන්ද කාලේ (2015) ඡන්ද කතා - What else is there to talk about?
https://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html


5. මා නොවන මම සහ මගේ ඡන්දය - Why I would still vote for the JVP in 2018
https://rasikalogy.blogspot.com/2018/02/why-i-would-still-vote-for-jvp-in-2018.html


Sunday, 14 August 2016

ලූෂනයියාගෙන් මා ඇසූ ප්‍රශ්නය සහ ඔහු ගේ පිළිතුර - Lucien Bulathsinhala trapped in a vicious circle


සිය ඕස්ට්‍රේලියානු නාට්‍ය සංචාරයේ කොටසක් ලෙස ලූෂන් බුලත්සිංහල කලාකරුවා පසුගිය දා සිනුවරට පැමිණි අවස්ථාව උපයෝගී කොට ගෙන ඔහු සමග පැවැත්වුණු සුහද සංවාදයේ දී, නිහාල් රූපසිංහ නැගූ ප්‍රශ්නය ගැන ද, පාලිත මංචනායක පැවසූ අතීත කතාව ගැන ද, මම පසුගිය දා රසිකොලොජියේ ලියූවෙමි.

ලූෂන් බුලත්සිංහල යනු කලාකරුවකු මෙන් ම, දේශපාලන සත්වයෙකු ද නිසා, ඔහුගෙන් අසන්නට වැදගත් ප්‍රශ්නයක් මට ද තිබුණි.

මේ මා ඇසූ ඒ ප්‍රශ්නය සහ ඔහු ගේ පිළිතුරයි.

රසිකොලොජිස්ට්:ලූෂන්, ඔබ ඔබේ කතාවේදී කිව්වා 1994 දී කලාකරුවන් එකතු වෙලා ආණ්ඩු වෙනසක් කරන්න කටයුතු කළා ය කියලා, ඒ සමගම, ඔබව හඳුන්වාදීමේ දී පාලිත ගනේවත්ත සඳහන් කළා පසුගිය වසරේ ලංකාවේ සිදුවුණු පාලනයේ වෙනස්කම සඳහා වූ ඔබේ සම්මාදම ගැන. අපේ ජීවිත කාලය ඇතුළත දී අප දැකලා තියෙනවා ඒ වගේ කලාකරුවන් එකතු වෙලා පවතින දුර්දාන්ත පාලනය ඉවත් කරන්නට, 1970 දී, 1977 දී, 1994 දී, මටත් මතකයි ඒ අර නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ තිබුණු රුස්වීම බලන්න මාත් ගියා, දැන් 2015 දී, කටයුතු කළ ආකාරය.

මගේ ප්‍රශ්නය මේකයි. ඊළඟට කවදාද ඒක ආපහු කරන්නේ? ඊළඟට කවදාද පවතින දුර්දාන්ත පාලනය වෙනස් කරන්න කලාකරුවන් එකතු වෙන්නේ? ඒ චක්‍රය අප කොපමණ කල් පවත්වාගෙන යනවාද?

ලූෂන්:ඒක හොඳ වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම අපි ඒකට මූණ දීලයි ඉන්නේ, ඊළඟට මොකද කරන්නේ කියලා.

පසුගිය දා මට අවස්ථාව ලැබුණා කැන්බරා පාර්ලිමේන්තුව බලන්න යන්න. මං ලංකාවේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා නෑ තවමත්.

වෙනස පැහැදිලිව පෙනුණා. මේ රටේ මිනිස්සුන්ට පාර්ලිමේන්තුව බලන්න යන්න, ඒ ගැන අවබෝධයක් ලබාගන්න, පහසුකම් හදලා දීලා තියෙනවා. අපේ මන්ත්‍රීලා කැමති නෑ පාර්ලිමේන්තුව බලන්න එනවට කවුරුවත්. මොකද දන්නවා ඔක්කොම අහුවෙනවා ය කියලා. පොඩි ළමයින්ට තමයි පාර්ලිමේන්තුව බලන්න යන්න ඉඩ දෙන්නේ සාමාන්‍යයෙන්.

මෙහේ කැන්බරා පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවක් තියෙනවා. ආණ්ඩුවෙන් සම්මත කරන පනත් ඒ සෙනෙට් සභාවෙන් අනුමැතිය ලබන්න ඕනෑ. එහෙම අනුමැතිය නොලැබුණු අවස්ථාවල ආණ්ඩුකාරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න.

ලංකාවේ සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කරපු දවසේ අපට අහිමිවුණේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයයි. එදා අපට දුන්නු ලණුව තමයි අපි මේ අධිරාජ්‍යවාදීන් එක්ක බැඳුම් තියාගෙන ඉන්න අවශ්‍ය නෑ කියා දේශානුරාගය ඇවිස්සීමයි.

මිනිසුන් සතුව තිබුණු බලය කෙළින් ම දේශපාලකයින් අතට ගත්තා.

අද මිනිසුන් ගේ බලය ශූන්‍යයි. ඔවුන්ට කළ හැකි දෙයක් නෑ. ඡන්දේ දෙන්නේ සිල් රෙදි වගේ දේවල් වෙනුවෙනුයි. සල්ලිවලටයි. ඉතිං පාර්ලිමේන්තු ගිය අය කියන්නේ අපි උඹලාගේ ඡන්දේ ගත්තේ සල්ලිවලටයි. දැන් උඹලත් එක්ක අපේ තවදුරටත් ගනුදෙනුවක් නෑ කියලයි.

වර්ෂ 1972 දී ඇරඹුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීම පසු කාලේ දී වඩාත් සීඝ්‍රව සිදුවුණා. පාර්ලිමේන්තුව කවදාකවත් නැති විදියට බිස්නස්කාරයින් ගෙන් පිරෙන්න පටන් ගත්තා. සෝල්බරි ව්‍යවස්ථාව තියෙන කාලේ බිස්නස් කරන, රැකියා කරන අයට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව තිබුණේ නෑ. එනවානම් ඒවායින් ඉවත් වෙලා එන්න ඕනෑ.

නමුත් 1977 න් පස්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීලාට වයින් ස්ටෝර්ස් ලයිෂන් ගන්න පුළුවන් වුණා. ඕනෑම බිස්නස් එකක් කරන්න පුළුවන් වුණා. අද පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම වගේ හොඳ බිස්නස්කාරයෝ.

අද අපේ රටේ තියෙන ජනමාධ්‍ය ආයතන ගොඩක් කරන්නේ, සල්ලි දාලා තියෙන්නේ අපේ දේශපාලඥයිනුයි.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඡන්ද තියෙනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. එහෙම නම්, සිම්බාබ්වේ රටේත් ඡන්ද තියෙනවා.

අපව ලොකු මංමුළා කිරීමකට ලක්කරලා තියෙනවා පසුගිය කාලේ. ඉතිං අපි බලාගෙන හිටියා. අපට කරන්න දෙයක් නෑ. කලාකරුවන් හැටියට රජයේ පොඩි රස්සාවල් කරන් හිටපු අය හැටියට අපට කරන්න දෙයක් තිබුණේ නෑ.

අපට හොඳ ප්‍රජාවක් නැති එක තමයි ප්‍රධානම හේතුව.

අර ප්‍රශ්නයට උත්තරේ විදියට මං කියන්නේ ආණ්ඩු නෙමෙයි වෙනස් කරන්න ඕනෑ. දැන් වෙනස් කරන්න වෙලා තියෙන්නේ මිනිස්සුන්වයි.

ආණ්ඩු වෙනස් කරලා හරි යන්නේ නෑ. මිනිස්සු වෙනස් කරගන්න පුළුවන් වුණොත් මං හිතනවා අපට හැකිවේවි සිස්ටම් එක වෙනස් කරගන්න.

අපි කලා සංවිධානය පිහිටුවලා චන්ද්‍රිකාට ඡන්දෙ දුන්නේ සිස්ටම් එක වෙනස් කරනවා ය කියලා පොරොන්දු වුණ නිසයි. එයා පොරොන්දු වුණා, ජනාධිපති ක්‍රමය නැති කරනවාය, ජාතික ප්‍රශ්නය විසඳනවා ය කියලා, ඒ නිසයි අපි ඡන්දේ දුන්නේ. එයත් බොරු කළා.

මේ ගොල්ලොත් පොරොන්දු වුණා.

අද අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. අපි ඉල්ලන්නේ සිස්ටම් එක වෙනස් කරන්නයි.

ලූෂන් බුලත්සිංහල ගේ ඉහත පිළිතුරෙන් මට හැඟී ගියේ තවමත් ඔවුන් පරාජය භාර නොගෙන තවදුරටත් බලාපොරොත්තු සහගතව සිටිනා බවයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් ප්‍රශ්න කිහිපයක් ඒ වැඩ සටහනේ දී සාකච්ඡා වූ අතර, ඒ සියල්ලම රසිකොලොජියට අදාළ නොවේ.

කෙසේ වෙතත්, අවසානයේ පැවසිය යුත්තේ, ලූුෂන් බුලත්සිංහලට, ඔහු ගේ නිසි නමෙන් ආමන්ත්‍රණය නොකර, ලූෂන් අයියා, ලූෂනයියා, ඔබතුමා වැනි අනවශ්‍ය පර්යා පද යොදමින් අපේ ම මිතුරන් කළ අපහාසය නම් මට දිරවූයේ නැති බවයි.

Wednesday, 13 January 2016

අනුර කුමාර දිසානායක, අර්ජුන රණතුංග සහ ජනාධිපතිලාව ගොං රජාට ඇන්දවීම - History repeats


අතීතය අමතක අයට මදකට සිහිපත් කරනවා නම්-

යුද්ධය හමාර වීමෙන් පසු රජකමක් ආරූඪ කරගත් මහින්ද රාජපක්‍ෂ තම පළමු සේවා කාලය අවසන් වෙන්නට වසර දෙකකට පමණ පෙර 2010 දී ජනාධිපති ඡන්දයක් පැවැත්වීය.

යුධ ජයග්‍රහණයේ අනිත් පොල්මහඃකාර අයිතිකාරයා වූ සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඡන්දයට ඉදිරිපත්විය.

ජයගත් මහින්ද රාජපක්‍ෂ සිය බලය තහවුරුකරගත් අතර, පැරදුණු සරත් ෆොන්සේකා විවිධ අපරාධ චෝදනා වෙනුවෙන් අත් අඩංගුවට පත්ව, පසුව වරදකරු වී සිර දඬුවම් ලද්දේ ය.

මහින්ද රාජපක්‍ෂට ලංකාවේ නැති රජකමක් පවරා සින්නක්කරව ලබාදීමට මූලිකවම උපයෝගී කරගත්තේ සුනිල් ආර් ගමගේ ලියා, සමන්ත පෙරේරා සංගීවත් කර, සහෙළි ගමගේ නම් තරුණ ගායිකාවක විසින් ගයන ලද "ආයුබෝවේවා, මහරජාණෙනී" නම් ගීයයි.

ඒ කූප්‍රකට ගීය අසා නැත්තෙකු ඇති යැයි නොසිතමි!

මෙන්න ඒ ගීතය: https://youtu.be/S5OZNrTPLEk



එතැන් සිට කතාව මෙලෙස ය.

සිරබත් කන සරත් ෆොන්සේකා බේරා ගැනීමේ අරමුණ ඇතිව ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාන්තවාදී පක්‍ෂය විසින් එකල ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ ව්‍යාපාරය නම් සංවිධානයක් අරඹන ලදී. මෙහි නායකත්වය ගත්තේ අනුර කුමාර දිසානායක සහ අර්ජුන රණතුංග දෙදෙනා ය.

ඔවුන් දෙදෙනා සහභාගී වූ සම්මන්ත්‍රණ මාලාවක් වසර 2010 ඔක්තෝබරයේ දී ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල පවත්වන ලදී. සිඩ්නි නගරයේ දී එය සංවිධානය කළේ එවකට ජනතා විමුක්ති පෙරමුණේ සිඩ්නි ප්‍රධාන සංවිධායකවරයා වූ ජගත් බණ්ඩාර සහෘදයා ය.



සභාවේ පෙනෙන්නට නො සිටිය ද, පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ පෙරටුගාමී පක්‍ෂයේ දේශපාලන මංඩල සභික ප්‍රේමකුමාර ගුණරත්නම් ද ඒ සම්මන්ත්‍රණයට සහයෝගය දැක්වූ බව අපට උපකල්පනය කළ හැක.

ජගත් බණ්ඩාර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ සිඩ්නි ශාඛාව ම, පසුව ප්‍රේමකුමාර ගුණරත්නම් සමග පෙරටුගාමී පක්‍ෂයට එක් වූ බව පෙනී ගියේ, සිව් වසරකට පසුව අනුර කුමාර දිසානායක නැවතත් ඕස්ටේ‍ර්ලියාවේ සංචාරය කළ ද, සිඩ්නි නුවරට නොපැමිණි බැවිනි!

සිඩ්නි තදාසන්නයේ ග්‍රැන්විල් හී ඕස්ට්‍රේලියානු නිෂ්පාදන කම්කරු සංගම් (AMWU) ශාලාවේ පැවති පෙර කී සම්මන්ත්‍රණයට සහභාගී වීමට මම ද ගියෙමි.

ශාලාවට ඇතුළු වූ මට දකින්නට ලැබුණේ එහි තිබූ විශාල රූපවාහිනී තිරයේ පහත වීඩියෝව ප්‍රචාරය වෙන අන්දමයි.

https://youtu.be/Q4XQeFKKhpU



මගේ බඩ දඟලන්නට පටන් ගත් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඊට වඩා බඩ දැඟීලීම් ඉවසා පුරුද්ද ඇති නිසා, අසීරුවෙන් නමුත් සම්මන්ත්‍රණය අවසානය තෙක් එහි රැඳී සිට, දේශකයින්ගෙන් ප්‍රශ්න ඇසීමේ වාරය එළැඹුණු පසු මම අනුර කුමාර දිසානායකගෙන් මෙලෙස විමසුවෙමි.
"අනුර, දැන් මෙතනදී අපට අසන්නට ලැබුණේ, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වී ගොස් වැඩවසම් රාජාණ්ඩුවක් කරා යමින් තිබෙන බවයි. නමුත් මේ සම්මන්ත්‍රණය ආරම්භයේ දී මට දකින්ට ලැබුණේ මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ගැයුණු ආයුබෝවේවා මහරජාණෙනී නමැති ගීතය සරත් ෆොන්සේකා ගේ රූප රාමු සහිත වීඩියොවක් ලෙස සකසා ප්‍රචාරය කරන ආකාරයයි.

ඔබ ලංකාවේ නැති වී ගොස් ඇතැයි කියන ප්‍රජාතන්ත්‍රවාදය නැවත ගෙන එන්නට යන්නේ එක රජෙකු වෙනුවට මෙලෙස වෙනත් රජෙකු ආදේශ කිරීමෙන් ද?"
මෙය අනුර කුමාර දිසානායකට පමණක් නොව එදා ඔහු එහි සිටියේ නම්, ප්‍රේමකුමාර් ගුණරත්නම්ට වුවද කට උත්තර නැතිකරවන ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නමුත් මට ඒ බව හරිහැටි දැන ගන්නට ඉඩ නොලැබුණේ, එතැන සිටි අර්ජුන රණතුංග මල්ලියා අනාරාධිතව ම මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වී බයිලාවක් ගැයූ බැවිනි!

මේ පුරාවෘතය මට සිහිවූයේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව රජාට ඇන්ද වූ වීඩියෝ ගීතයක් කළ එළි බැස තිබෙනු පසුගිය සතියේ දී දුටු විටයි.

රජවරු ගී ගයමින් නැටුවේ පැරණි නාඩගම්වල බව අපි දනිමු.

ඒ අර්ථයෙන් පමණක් නොව සෑම අරුතකින් ම මේවා නාඩගම් ම වේ.

-රසිකොලොජිස්ට්

ප/ලි
මෛත්‍රීපාල සිරිසේනව ගොං රජාට අන්දන වීඩියෝ ගීතයේ දැනට ඉතිරිව ඇති පිටපතක් මෙන්න. මෙයට බුද්ධිමය අයිතිය ඇති සමාගම විසින් කරනු ලබන පැමිණිළි නිසා මේ වීඩියෝවේ පිටපත් ක්‍රම ක්‍රමයෙන් පොදු අවකාශයෙන් ඉවත් වෙමින් පවතී.

https://youtu.be/yvN-RjsW6ow

Monday, 10 August 2015

ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at teh presidential election


මැරුවත් යූඇම්පී අපේ ආච්චී සහ මැරුණත් යූඇම්පී අපේ බාප්පා සේ දරදඬු සිතැති මැරුවත් සිරිලංකා ඥාතීහූ ද මට සිටිති.

මේ එක් ඇන්ටි-අංකල් පවුලක්, කලින් අයිටීඇන් මිස වෙනත් චැනලයක් නොබැලූ අතර දැන් ඔවුන් බලන්නේ දෙරණ නම් චැනලය යැයි ආරංචි ය.

මේ ආකරයේ දැඩි මතධාරී අනම්‍ය පාක්‍ෂිකයින් දැන් දැන් අඩු වෙමින් යතැයි කිය වේ. මා කලින් දිනයක "ඡන්ද කාලේ කතා" යනුවෙන් ලියා පල කළ ලිපියේ සඳහන් කළ අයුරු එය හොඳ ප්‍රවණතාවක් යැයි සිතමි.

මෙහි සැබෑ උත්ප්‍රාසය වන්නේ අපේ අංකල්ලා, ඇන්ටිලා දැඩි මතධාරීව සිටින අතර, ඔවුන් ගේ දේශපාලන පක්‍ෂවල ප්‍රධාන පෙළේ නායක දේශපාලුවන් තම පුද්ගලික වාසි වෙනුවෙන් ඒ පැත්තෙන් මේ පැත්තට සහ මේ පැත්තෙන් ඒ පැත්තට පැනීමයි. මේ ලපයි සිපයි නායකයින් නොවේ, කතානායකලා ය, සභානායකලා ය, ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ය. ජාතික සංවිධායකවරුය. ඒ මදිවාට ජනාධිපති අපේක්‍ෂකයින් ය.

එකක් අනිකේ කාබන් පිටපතක් නැතිනම් ප්‍රතිබිම්බයක් බවට දැන් පත් වී ඇති යූඇම්පී සිරිලංකා පක්‍ෂ දෙකෙන් එකකට ඡන්දය දුන් අයෙකුට ඊළඟ වාරයේ අනෙක් පක්‍ෂයට ඡන්දය දීම පහසු දෙයක් විය හැකි මුත්, තම මුල්ම ඡන්දය වාමාංශික පක්‍ෂයකට ලබා දුන් මා වැන්නෙකුට පසු කලෙක දක්‍ෂිණාංශික පක්‍ෂයකට ඡන්දය දෙන්නට හිත හදා ගැනීම අසීරු දෙයකි.

නමුත්, මම එය ජීවිතයේ දෙවරක් කර ඇත්තෙමි.

ඉන් පළමුවැනි අවස්ථාව එළැඹියේ ඕස්ට්‍රේලියාවේ දී ය. ඒ එවකට වික්ටෝරියා ප්‍රාන්තයේ බලයේ සිටි ජෙෆ් කෙනට් නම් ප්‍රමුඛ ඇමති තක්කඩියා එළවා දමන්නට 1999 දී කම්කරු පක්‍ෂයට ඡන්දය දුන් අවස්ථාවයි.

මේ ලිපිය ලියන්නේ ඒ ගැන විස්තර කීමට නොව, මට ලංකාවේ පැවති 1999 ජනාධිපතිවරණයේ දී දෙවෙනි වරට මගේ ප්‍රතිපත්තියක් ලිහිල් කර ඡන්දය පාවිච්චි කරන්නට සිදුවූ ආකාරය ලේඛනගත කිරීමටයි.

හොඳින් හිතා බැලුවොත් දක්‍ෂිණාංශික පක්‍ෂවලට ඡන්දය නොදෙන මගේ ප්‍රතිපත්තිය මුල් වරට කැඩෙන්නට ඉඩ තිබුණේ 1994 පැවති ජනාධිපතිවරණයේ දී ය. වාසනාවකට හෝ අවාසනාවකට හෝ මට එවර ඡන්දය නොතිබුණි. එය වයසේ ප්‍රශ්නයක් නොව ග්‍රාමසේවක විසින් කළ සේවයකි.

කෙසේ වෙතත්, දාහත් වසරක යූඇම්පී පාලනය අවසාන කරන්නට අන්තිම ඇණය ගසන්නට එදා ඡන්දය නොදුන්නද, ඡන්ද ප්‍රතිඵල අසා උද්දාම වෙන්නටත්, ඒ කාලයේ දී ද කබල රත් කිරීමට ප්‍රසිද්ධියක් දැරූ සෝභිත සාදු ගේ නාග විහාරයට යෑමට අපේ නිවස ඉදිරිපිටන් ගිය චබකු ගේ වාහනයට අත වනන්නටත් මට හැකි විය.

ටික දිනකින් ම මම ලංකාවෙන් පිට වී ගියෙමි. සාමය ඇති කරන්නටත්, දුෂණය, භීෂණය සහ දාහත් වසක ශාපය නිම කරන්නටත් සිතා බහුතරයක් දෙනා ඡන්දය දී පත් කරගන්නා ලද ජනාධිපතිවරිය සහ ඇගේ රජය ටික ටික චොර වෙමින් පවතින බව අන්තර්ජාලය ඔස්සේ දැන ගන්නට ලැබුණි.

ඇල්ටීටීය ත්‍රිකුණාමලයේ නැව් පුපුරවා නැවත යුද්ධය ඇරඹූ අතර, තවක්කාල්, එයාලංකා වැනි නොයෙකුත් කටකතා පැතිරී යමින් තිබුණි. යම් යම් මාධ්‍ය සහ පුද්ගලික නිදහස මර්දනය කෙරෙන රාජ්‍ය ක්‍රියා පිළිබඳව ද අසන්නට ලැබුණි. විපක්‍ෂයේ සිටි යූඇම්පීය ටික ටික අළු ගසා දමා නැගිටමින් සිටියේය.

කොටින්ම මා 1999 දෙසැම්බරයේ ලංකාවෙට එන විට යූඇම්පීකාරයෙකු වූ අපේ තාත්තා "රාවය" පුවත් පතේ නිත්‍ය පාඨකයෙකු වී සිටියේ ය. සඟරාව කාලයේ සිටම වාගේ මුලින් පුස්තකාලවලින් ද, පසුව 1992 පමණ සිට මිල දී ගෙන ද, 1995 දී ලංකාවෙන් පිටව ගිය දින දක්වා ම, රාවය කියවමින් සිටි මට මගේ දෙනෙත් අදහා ගැනීමට නොහැකි විය.

ජනාධිපති ඡන්දය ලං විය. චුවින්ගම් සහ බ්‍රේස්ලට් කතා නිසා දෝ මහගෙදර මහතුංලා වැනි තරුණයෝ අලි රූප සහිත බතික් සරම් ඇඳගෙන ජනාධිපති ඡන්දය ගැනත්, සක්සුදක් සේ සහතික රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපති වීම ගැනත් උජාරුවෙන් කතා කළහ.

බුදු අම්මෝ!

මට සිහිවුනේ දාහත් අවුරුද්දක් තිස්සේ ජේ.ආර්, ප්‍රේමදාස, ලලිත්, ගාමිණී ඇතුළු යූඇම්පී නඩය විසින් ගෙන යනු ලැබූ දුර්දාන්ත පාලනය යි. දුෂණය යි. භීෂණය යි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී, යූඇම්පී ආණ්ඩුවක් පත් වී ලංකාව නැවතත් ඒ තත්වයට යෑම ගැන සිතීම පවා එකල භයානක දෙයක් විය.

ඊට අමතරව, ජනවාර්ගික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා ගත හැකි නම්, එසේ අපේක්‍ෂා කළ හැක්කේ වාමාංශික පක්‍ෂද ඇතුළත් ඒ පොදු පෙරමුණ යටතේ බවත් මම එකල විශ්වාස කළෙමි.

එනිසා, මගේ ප්‍රතිපත්ති මදකට ලිහිල් කර, විලිලැජ්ජාව නොතකා, ප්‍රතිගාමී ධනපති පක්‍ෂයක අපේක්‍ෂිකාවට ඡන්දය දීමට මා තීරණය කළෙමි. ඡන්දය දා උදේ පාන්දරින්ම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගොස් පෙරදා ගත් ඒ තීරණය ක්‍රියාවට නැංවීමි.

දෛවයේ සරදම් යන යෙදුම ලංකාව සඳහා ප්‍රදර්ශනය කරමින් සියල්ල කණපිට හැරෙන්නට වැඩි කල් ගත නොවීය.

මගේ අගැයීම් මිනුම්වලට අනුව පොදු පෙරමුණ තව තවත් දුෂණයෙන් දුෂණයට ගිය අතර, ඔවුන් ගෙනා සාම යෝජනා කඩාකප්පල් විය. උතුරේ ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් යෝජනා කෙරුණේ රනිල් වික්‍රමසිංහ ගේ රජයෙනි.

ඊළඟ ජනාධිපති ඡන්දයෙන් පසුව එදා 2009 දී පැවති තත්වය සහමුලින්ම කණපිට හැරුණි.

අපේ තාත්තා නම් තම ජීවිතයේ අවසන් වසරක කාලය දක්වා ම "රාවය" කියවීය.

-රසිකොලොජිස්ට්


(image: http://www.breakingnews.ie/world/obama-defeat-of-gun-control-bill-a-shameful-day-for-washington-591663.html)

Wednesday, 24 June 2015

වාසුදේව නානායක්කාර ගැන කුණුහරුප නැති කතාවක් - Vasudeva Nanayakkara, 1982 presidential election and left-of-the-centre alliances


හේමකුමාර හෝ යසපාලිත යන නම්වලට වඩා වාසුදේව යන පුද්ගල නාමයේ සෑහෙන වෙනසක් ඇත. මුල් නම් යුගල නිසැකව ම සිංහල යැයි පැවසිය හැකි වුවද වාසුදේව යනු කෙළින් ම ඉන්දියානු නමකි.

පුරාණ හින්දු ග්‍රන්ථවලට අනුව වාසුදේව යනු යමුනා ගංතෙර ළපලු ලතා යහනේ රාධා සමග පෙම් කෙළිමින් සිටි ක්‍රිෂ්ණා ගේ පියා ය. වාසු යන පදයේ තේරුම හොඳ යන්න ලු! ඒ අනුව වාසුදේව හොඳ දෙවියෙකි. මෙකී ඉන්දියානු වාසුදේව පප්පා ජීවත්ව සිටි කාලය තුළ කිසිදු බොරුවක් නො කියා සත්‍යවාදීව ජීවත් වූ අයෙකු ලෙස භගවත් ගීතය වැනි ග්‍රන්ථවල සඳහන් වී ඇති බව කියවේ.

දේවාරූඩයක් ඇති නිසා වාසුදේව යන්න ඉන්දියාවේ හින්දු භක්තිකයින් අතර ජනප්‍රිය නමක් විය යුතුය. එහෙත්, උප්පැන්නයේ ළමයා ගේ නම යන කොටුවේ වාසුදේව යන්න සඳහන් වී ඇති අය ලංකාවේ නම් එතරම් සුලභ නැති බව කිව හැක.

ඒ සමගම, අනාගතයේ වාසුදේව නාමය උප්පැන්නයක ළමයා ගේ නම කොටුවේ ලියවෙන්නට ඇති ඉඩකඩ ද අවම බව මගේ අදහසයි.

මා දන්නා වාසුදේවලා ඉන්නේ දෙදෙනෙකු පමණි. ඉන් එක් අයෙක් කොළඹ විශ්ව විද්‍යාලයේ උගත් ඇම්බීබීඇස් උපාධිධාරියෙකි. ඔහු අද කොතැන සිටී දැයි මම නොදනිමි.

මා දන්නා දෙවෙනි වාසුදේව ළමයා ගැන නම් මෙය කියවන ඔබ ද හොඳින් දනී. ඒ අද ලංකාවේ දී වාසුදේව කියා කියූ පමණින් සිහියට එන හිටපු විප්ලවවාදී, හිටපු ඇමති, පැහුණු වට්ටක්කා ගෙඩි නාමලාභී ගරු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මිස වෙනකෙකු නොවේ.

මම වාසුදේව නානායක්කාරව ජීවිතයේ දෙවරක් දැක ඇත්තෙමි.

දෙවෙනි වරට මා ඔහු දුටුවේ නවසමසමාජ පක්‍ෂය නියෝජනය කරමින් 1982 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ගනේමුල්ලේ දුම්රිය ස්ථානය අසලදී මහජන රැළියක් ඇමතු අවස්ථාවේ දී ය.

එදා ඔහු ඉදිරිපත් කළ කරුණු, ඔහු ගේ චතුර කථිකත්වය කෙතරම් මා සිත ඇද බැඳ ගත්තේ ද යත්, වාසුදේව නානායක්කාරට මගේ දෙවෙනි මනාපයවත් දෙන්නට මට සිතුණි.

ඇත්තට ම කියනවා නම්, ඊට පසු දිනයක මා නැරඹීමට ගිය ලංකා සමසමාජ පක්‍ෂයේ ජනාධිපතිවරණ රැස්වීමේ දී අපේක්‍ෂක කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා කළ කතාව ඇසුවායින් පසුව ද මට එවැනිම සිතුවිල්ලක්, එනම් කොල්වින්ට මගේ තෙවන මනාපය දිය යුතුය කියා, ඇතිවුණි. මට එසේ සිතුණේ මගේ අවංක කැමැත්ත හෙවත් මනාපය ඒ ආකාරයේ නිසා මිස ඒ ජනාධිපති ඡන්දයේ දී මනාප ක්‍රමය උපයෝගී වෙන ආකාරය ගැන නිවැරදි වැටහීමක් ඇතුව නොවේ.

නමුත් එදා කොල්වින් ආර් ද සිල්වා පැහැදිලිව ම කියා සිටියේ තමන්ට අවශ්‍ය පළමු මනාපය මිස දෙවන තුන්වන මනාප නොවන බවත්, තමාට පළමු මනාපය දී දෙවෙනි මනාපය "කන්ට්‍රැක්ටර්" කොබ්බෑකඩුවට දිය යුතු බවත්ය.

ඒ කතාව ඇසූ මට මෙකී මනාප ක්‍රමය ගැන කරුණු වැටහුණු අතර ඒ අවබෝධයේ ප්‍රතිඵලය වූයේ කොල්වින් ආර් ද සිල්වාට තමන්ට හිමිවෙන්නට තිබුණු මගේ තුන්වෙනි මනාපය අහිමි වූවා පමණක් නොව, වාසුදේව නානායක්කාරට තමන්ට හිමිවීමට නියමිතව තිබුණු මගේ දෙවන මනාපය ද අහිමි වීමයි!

මා එදා මගේ මංගල ඡන්දය ලකුණු කළේ මනාප කිසිවක් සහිතව නොව කෙළින්ම කතිරයකිනි!

මුල්වරට මා වාසුදේව නානායක්කාරව දුටුවේ දෙවනවර ඔහුව දකින්නට වසර දෙකකට පමණ පෙර පැවැත්වුණු ඥාතියෙකු ගේ විවාහ මංගලෝසවයක දී ය. ඔහු එහි පැමිණ සිටියේ මනමාල මහතා ගේ මිතුරෙකු ලෙසින් යැයි සිතමි. එදා විවාහයට එක් සාක්‍ෂිකරුවෙකු ලෙස අත්සන් කළේ ද එවකට වසර කිහිපයකට කලින් පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලුතින් පිහිටුවනු ලැබූ නවසමසමාජ පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු ලෙස පරාජය පත්වී සිටි හිටපු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ය.

වාසුදේව සමග ඒ විවාහයේ අනෙක් සාක්‍ෂිකරුවා වූයේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සරත් මුත්තෙට්ටුවේගම ය. ඔහු මා කලින් සඳහන් කළ ලංකා සමසමාජ පක්‍ෂයේ නායක කොල්වින් ආර් ද සිල්වා ගේ දියණිය මනෝරි ගේ ස්වාමි පුරුෂයා විය.

නව සමසමාජ පක්‍ෂය යනු ලංකා සමසමාජ පක්‍ෂයෙන් කැඩී ගිය ඇමීබා පක්‍ෂයකි. එසේම ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ මුල් තිබුණේ ද ලංකා සමසමාජ පක්‍ෂයේ ය. වසර 1970 සිට බලයේ සිටි සමගි පෙරමුණ ආණ්ඩුවේ මේ පක්‍ෂ දෙක සභාගයක සිටිය නමුත් මේ මංගල්‍යය පැවැත්වෙන කාලය වෙන විට ඒ සභාගයන් කැඩී ගොස් තිබුණි. ඒ සභාග බිඳී යාමට මූලිකම හේතු වූයේ පක්‍ෂ අතර තිබූ මතවාදී නොගැලපීම් යැයි සිතමි.

අවාසනාවට මෙන් මේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සරත් මුත්තෙට්ටුවේගම සහ නව සමසමාජ පක්‍ෂයේ වාසුදේව නානායක්කාර සාක්‍ෂියට අත්සන් කළ විවාහයට සිදුවුණේ ද ඒ සමගි පෙරමුණ සභාගයට සිදු වූ දෙය ම ය.

විවාහය මාස තුනකින් පමණ කැඩී ගියේ ය!

ඒ දිනවල මතවාදී කරුණු මත වාමාංශික සභාග මෙන් ම වාමාංශික දේශපාලන පක්‍ෂ ද කැඩී ගිය ද, 1988 දී පමණ ඇරඹුණු මේ සමසමාජ-කොමියුනිස්ට් වාමාංශික පක්‍ෂ යුගලේ විවාහය අද දක්වාම පැවතෙනු දැකිය හැකිය.

එයට හේතුව අද ඔවුන් ගේ මතවාදය වී ඇත්තේ මාක්ස්-ලෙනින්-ට්‍රොට්ස්කි වාදය නොව බඩගෝස්තරවාදය නිසා විය හැකි බව සිතේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
වාසුදේව නානායක්කාර සහ අපේ මියගිය ආච්චී ගැන මා ලියූ ලිපිය කියවා තිබේද?
http://rasikalogy.blogspot.com.au/2015/05/verbal-incontinence.html

(Image: https://scontent.xx.fbcdn.net/hphotos-xaf1/t31.0-8/11402281_10153398163973988_6214977310146290409_o.jpg)

Wednesday, 25 February 2015

ඊළඟ ජනාධිපති ගේ ඡායාරූපය ගාලු මුවදොර පිටියේ හොරෙන් බෙදයි! - Next president..!, next president..!


ජේ.ආර්. ජයවර්දෙන ලංකාවේ මුල්ම විධායක ජනාධිපති වූයේ ඡන්දයකින් දිනා නොවේ.

අලුතින් ගෙනා ව්‍යවස්ථාව ලියා තිබුණේ මුල් වාරයේ පමණක් එවකට සිටින අගමැතිට විධායක ජනාධිපති වීමට "පිනා චාන්ස්" එකක් ලැබෙන ආකාරයටයි. (එවැනි පිනා චාන්ස් ලැබෙන තවත් ක්‍රමයක් ඇති බව අපි පසුව දැන ගත්තෙමු!)

මහ ඡන්දය දිනා 1977 සිට ජේආර් ජයවර්දෙන අගමැතිව සිටි කාලයේ පාර්ලිමේන්තුවේ සභානායක වී සිටියේ, එජාප උප නායකයා ද වූ, ර. ප්‍රේමදාස ය.

ර. ප්‍රේමදාස යනු එවකට ජේ.ආර්. ළඟට පක්‍ෂයේ සිටි ජ්‍යෙෂ්ඨයා නොවේ. නුවර පළාතේ යූඇම්පී දේශපාළුවෙකු වූ ඊ.එල්. සේනානායක වැන්නෝ ප්‍රේමදාසට වඩා ජ්‍යෙෂ්ඨයෝ වූහ. මා අසා ඇති විදියට, සේනානායක වැනි අය ප්‍රේමදාසට අගමැති තනතුර දෙනවාට කිසිසේත් කැමති වී නැත.

ඊට කලින් තිබූ 1965-1970 යූඇම්පී ආණ්ඩුවේ ර. ප්‍රේමදාස බොහෝ කලක් සිට ඇත්තේ උප ඇමතිවරයෙකු ලෙසයි. ඉන්පසුව ඔහු දැරු ඇමතිකම ද කැබිනට් ඇමතිකමක් නොවේ. ඔහු පක්‍ෂයේ ඉදිරියට ආවේ, විපක්‍ෂයේ ගතකළ 1970-77 කාලයේ දී ක්‍රියාන්විත නායකයෙක් සහ දක්‍ෂ කථිකයෙක් ලෙස කටයුතු කළ නිසා යැයි සිතමි.

ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙස ජේ.ආර් ජයවර්දෙන දිවුරුම් දුන්නේ 1978 පෙබරවාරි හතර වෙනිදා ය. මේ කාලයේ පෙබරවාරි හතර වෙනිදා යනු රජයේ නිවාඩු දිනයක් නොවේ. එයට හේතුව නම්, 1972 දී ලංකාව එංගලන්ත මහ රැජිනගෙන් සම්පූර්ණව නිදහස් වී ජනරජයක් වූ මැයි 22 දා, ලංකාවේ ජාතික දිනය ලෙස සැමරීමයි. පසුව 1979 සිට පෙබරවාරි හතරවෙනිදා ලංකාවේ ජාතික දිනය ලෙසත් රජයේ නිවාඩු දිනයක් ලෙසත් නම් කෙරුණු අතර, එතෙක් ජනවාරි පළමුවැනිදාට යෙදී තිබුණු ජාතික වීර දින රජයේ නිවාඩු දිනය මැයි 22 දිනට ගෙන යන ලදී. (මීට වසර ගණනාවකට පසු මැයි 22 දාවක මා ජාතික මට්ටමේ නොවුණත් පුද්ගලික මට්ටමේ වීරත්වයක් ලබා ගත්තෙමි. ඒ කතාව පසුවට!)

ඉහත විස්තරයෙන් මට කියන්නට වුවමනා වූයේ මේ කියන 1978 පෙබරවාරි හතරවෙනිදා නිවාඩු දිනයක් නොවූ බැවින් අප පාසල් ගිය බවයි.

පාසලට ගොස් මද වේලාවක් තුන්මහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි අපේ 10-9 පන්තියේ ගත කළ පසු මගේ මිතුරු උදය සහ මා තීරණය කළේ එදින ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනාධිපති දිවුරුම් දීමේ උත්සවය නරඹන්නට යෑමටයි. යූඇම්පීය මහ ඡන්දෙන් දිනන බවට ඔට්ටුවක් අල්ලා රුපියල් පහක් දිනූ මගේ යුඇම්පී කම ඒවන විටත් එලෙසම තිබුණු බව මේ අනුව පෙනේ. (ඇත්තටම එය නැතිවූයේ 1980 මැද භාගයේ දී පමණය!)

පාසලෙන් පිටවී මරදානට පයින් ගිය අපි දෙදෙනා, දුම්රියෙන් කොටුවට ගොස් එතැන සිට ඇවිදගෙන ගාලු මුවදොර පිටියට ගියෙමු.

ඒ විශාල පිටියේ අතුරු සිදුරු නැතුව ජනයා පිරී සිටියහ. කොටු ඇඳ ගණං බැලීමට ගුවනේ සිට ගත් ඡායාරූප නැති නමුත් පනස් දහසක් පමණ පිරිසක් ඒ ඓතිහාසික අවස්ථාව නැරඹීමට පැමිණ සිටි බව මගේ අදහසයි!

පාසල් ළමුන් ද සහභාගී වූ ආචාර පෙළපාලියක් එහි පැවැත්වුණු බව යාන්තමට මතකයේ ඇත. (මේ මතකය තවමත් ඇත්තේ මගේ වෙන්ඩ බිරිඳ නමවෙනි ශ්‍රේණියේ දැරියක ලෙස ඒ ආචාර පෙළපාලියට සහභාගී වුණු බව පසුව අසන්නට ලැබුණු හෙයිනි!) මගේ සිත් ගත්තේ එහි දී පැවැත්වුණු ආචාර වෙඩි මුර විසි එකයි. මාත් උදයත් සිටියේ කාලතුවක්කු වෙඩි හඬින් කන් බිහිරි වෙන-නොවෙන තරම් එයට ආසන්නයේ ය.

උත්සවයේ වැඩකටයුතු පැවැත්වෙන අස්සේ සෙනග අතර තෙරපී තෙරපී ඔබ මොබ යමින් කිසිවක් රහසින් මෙන් කියමින් පොස්කාඩ් ප්‍රමාණයේ යමක් බෙදන මැරවර පෙනුමැති තරුණයෙකු මට පෙනුණි.

ඔහු කියමින් සිටියේ, "මීළඟ ජනාධිපති, මීළඟ ජනාධිපති" කියා ය.

තරුණයා බෙදමින් සිටි, ඒ පෝස්කාඩ් ප්‍රමාණයේ පත්‍රිකාවේ තිබුණේ ඡායාරුපයකි.

ඒ අන් කිසිවෙකු ගේ නොව, නව ජනාධිපති ලෙස ජේආර් ජයවර්දෙන ගේ පත්වීමෙන් පසු රටේ නව අගමැති ලෙස දිවුරුම් දෙන්නට නියමිතව සිටි ර. ප්‍රේමදාස ගේ ය...!

ර. ප්‍රේමදාසට, ඔහු එදා 1978 සිටම සැලසුම් කළ ඒ තනතුරට පත්වෙන්නට ලැබුණේ ඉන් වසර එකොළහකට පසුව 1989 දී ය.

එයිනුත් වසර හතරහමාරක් පමණ ගෙවුණු පසු, මා මුලින් කී "පිනා චාන්ස්" එකෙන් ජනාධිපති වීමේ දෙවෙනි ක්‍රමය ගැන අපට දැන ගන්නට හැකිවිය.

-රසිකොලොජිස්ට්

ප/ලි
මට දැන් සහිවෙන විදියට ඒ ඡායාරූපය නිකං බෙදුවා නොවේ. එය රුපියලක් වැනි මුදලකට අළෙවි කෙරුණි! මා එයින් එකක් නොගත්තේ එනිසා ය.
(image: http://www.sundayobserver.lk/2006/11/19/imp07.asp)

Monday, 23 February 2015

විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව මුල්ම වෙඩි මුරය 1978 දී තැබූ අපේ කාලයේ වීරයෙක්! - A Hero of Our Time!


යූඇම්පීය 1977 මහ ඡන්දය දිනනවා යැයි පාසල් මිතුරෙකු හා ඔට්ටුවක් අල්ලා රුපියල් පහක් ද දිනූ එකල පාසල් වයසේ යූඇම්පීකාරයෙක් වූ මට, 1978 දී ආණ්ඩුව විසින් සම්මත කරගනු ලැබූ විධායක ජනාධිපති ක්‍රමය සහිත නව ව්‍යවස්ථාවේ ඇති බරපතලකමක් තේරුණේ නැත.

එය එදා ම වටහා ගත් දූරදර්ශී විද්වතෙකුවන සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා, විධායක ජනාධිපති ක්‍රමයේ ආදිනව ගැන "Critical Analysis of the New Constitution of the Sri Lanka Government" නමින් පොතක් ද ලියා පළ කළේ ය. නමුත් හුලං බැස තිබුණු සිරිලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දකුණේ විපක්‍ෂයට ඒ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව කළ හැකි දෙයක් නොවී ය. ඔවුන් කළ එකම දෙය වූයේ 1982 දී ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වීමයි.

එසේ වුවද, එදා නව ව්‍යවස්ථාව ක්‍ර්‍රියාත්මක වෙන්නට පටන් ගත් 1978 පෙබරවාරි හතරවෙනිදා නව සමසමාජ පක්‍ෂය විසින් රට පුරා කළු කොඩි ඔසවමින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වන්ට සැලසුම් කළේය. එහි පෙරමුණ ගත්තේ, එවකට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ, නව සමසමාජ පක්‍ෂයේ ලේකම්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසිනි.

පෙබරවාරි තුන්වෙනි දින රාත්‍රියේ, පේරාදෙනිය නුවර පාර අවට කළු කොඩි බඳිමින් සිටි වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු පිරිසක් පොලීසියේ අත් අඩංගුවට පත්වුණි. එදා ඒ පිරිස අතර සිටි එක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වූයේ එවකට කළා පීඨ අවසන් වසර ශිෂ්‍යයෙකු සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ලංකා ශිෂ්‍ය සම්මේලනයේ සභාපති වූ ලලිත් අබේසිංහ යි.

පොලිස් අත්අඩංගුවට පත්වී, "මහරැජින ගේ ආණ්ඩුවට අපහාස කළා" යැයි (ලංකාව 1972 සිට ජනරජයක් වී තිබුණු නමුත් නීති පොත් 1978 වන විටත් යාවත්කාලීන වී නොතිබුණේ ලු!) නඩු වැටී, ඉන් පසු ඇප පිට එළියට ආ ලලිත් ගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යභාවය එවකට උපකුලපති ලෙස්ලි පණ්ඩිතරත්න විසින් තහනම් කර තිබුණි.

වික්‍රමබාහු කරුණාරත්නවද ඒ වරදටම රැකියාවෙන් නෙරපා තිබුණි.

උසාවි නියෝගයක් පිට අවසන් වසරේ විභාභයට පෙනී සිටීමට ඉඩ ලැබී ඔහු ඉන් සමත් වුවද, පසුව පැවරුණු නඩුවෙන් ඔහු නිදහස් වුණද, පේරාදෙනිය විශ්ව විද්‍යාලය විසින් ලලිත් අබේසිංග ගේ උපාධි සහතිකය ඔහුට ලබා නොදී අත්තනෝමතිකව ක්‍රියාකාර ඇත.

ඔහුට තම උපාධි සහතිකය ලබා ගන්නට හැකිවී ඇත්තේ එයින් දශකයකට පමණ පසු අර්ජුන අළුවිහාරේ උපකුපතිවරයා වශයෙන් සිටි කාලයේ දී ය.

මේ පරණ කතාව මා ලියන්නට සිතුවේ පසුගිය දා විවිධ මාධ්‍යවලින් ප්‍රචාරය වුණු පරිදි ලලිත් අබේසිංහ ඇතුළු එදා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව පුරෝගාමී මුල් වෙඩිල්ල තැබූ පිරිස, අද ඒ ක්‍රමයට විරුද්ධව රටේ බහුතරයක් දෙනා නැගී සිටි ඇති මොහොතේ, තමන් ඒ කළ පරිත්‍යාගයට නිසි අගැයීමක් ලබා දෙන ලෙසට කර ඇති ඉල්ලීමක් දුටු නිසා ය.

ලලිත් අබේසිංහ, අපේ කාලයේ වීරයා, විසින් ලියන ලද, විස්තරාත්මක ලිපියක් ප/ලි කොටසේ දැක්වේ.

එහි ඉංගිරිසි පිටපත මෙතනින්:
http://lalithabeysinghe.blogspot.com/2015/02/the-first-victim-of-executive.html

ඔහු ගේ ඉල්ලීම් අති සාධාරණ බවත්, ඒවා වහා ඉටු කළ යුතු බවත් මම සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:

Wednesday, 24 December 2014

සත්‍යප්‍රසාද් ගේ සත්‍ය ප්‍රකාශ - Political statements by Dr. I.M.S. Sathayaprasad


පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන සත්‍යප්‍රසාද් මගේ හොඳ මිතුරෙකි.

මෙය අහම්බයෙන් ඇරඹුණු අමුතුම ආකාරයේ මිතුරු කමකි.

මා ඔහුව මුලින් ම දැක හැඳින කතා බහ කළේ පුංචි බොරැල්ලේ චාරිකා ලර්නර්ස් ආයතයේ බංකුවක ඉඳගෙන මෝටර් රථයක් පැදවීමට වාරය එනතුරු බලා සිටි විනාඩි පහක පමණ කාලයක දී ය.

මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධරයෙකු වන සත්‍යප්‍රසාද් සහ මට පොදු යහළුවන් කීප දෙනෙකු ම සිටින නිසාදෝ, එදා ඒ අහඹු කෙටි හමුවීම, ඉන් වසර පහලොවකට පසු ෆේස්බුක් හරහා නැවත හමුවී හිතවත්කමක් ඇති කරගන්නට තරම් ප්‍රභල ලෙසින්, අප දෙදෙනා ගේ ම මතකයේ රැඳී තිබුණි.

ඒ මුල් හමුවීමෙන් පසු, මා ඔහු හමුවී තරමක හෝ කතා බහක යෙදී ඇත්තේ පසුගිය අප්‍රියෙල් මාසයේ එක් දිනයක දී පමණක් වුවද, ෆේස්බුක් තුලින් නම් මට ඔහුව නිතර හමුවෙයි.

දේශපාලන වශයෙන් තරමක හෝ සංවේදී මනසක් ඇති ඕනෑම අයෙකු කරන්නාත් මෙන් සත්‍යා ද, අද ලංකාවේ දේශපාලන වටපිටාව ගැන තමන් ගේ අදහස් ෆේස්බුක් ගිනුමේ සටහන් කරයි.

අද මා රසිකොලොජිය කියවන අය අතර බෙදාගන්නට සිතුවේ සත්‍යප්‍රසාද් විසින් නොබෝදා ලියන ලද ප්‍රධාන ප්‍රකාශන තුනකි.


මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 1

අද සිට මහින්ද රාජපක්ෂ ජනපති පදවියෙන් පහ කළ යුතු වන්නේ ඇයි දැයි යන්න හේතුවෙන් හේතුව සඳහන් කරන්නට මම කැමැත්තෙමි. සමහරවිට ජනපතිවරණය ආසන්න වනවිට මෙසේ අදහස් දැක්වීමට මට ඉතිරි වී ඇති එකම මාධ්‍යය වන වත් පොත ද ඒ සඳහා භාවිතා කරන්නට හැකිවේදැයි සාධාරණ සැකයක් අප බොහෝ දෙනෙකුට ඇති හෙයින් කලින් ම මගේ අදහස් දැක්වීම පටන් ගැනීම සුදුසු යැයි මම සිතමි.

මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් දැනටම දන්නා පරිදි මා රැකියාවක් ලෙස කරන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව ඉගැන්වීමයි. මේ නිසා මුලින් ම මගේ වෘත්තිය සහ රැකියාවට, එනම් සිවිල් ඉංජිනේරු වෘත්තියට සහ විශ්ව විද්‍යාල අධ්‍යයන ක්ෂෙත්‍රයට බලපාන ගැටලු කිහිපයක් ගැන කතා කරන්නට කැමැත්තෙමි.

රාජ්‍ය දේපල බලයේ සිටින දේශපාලකයන් විසින් සිය මැතිවරණ ව්‍යාපාර සඳහා යොදා ගැනීම සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් අපට තිබේ. කවදා මේ තිරිසන් සිරිත ඇරඹුණේ දැයි මා පැහැදිලිව නොදන්නා නමුත් ඒ 1970 දශකයෙන් පසුව විය යුතුයැයි සිතමි. එසේ වුවත් මෑතක් වනතුරු ඒවා හොරෙන් සිදු කරන ලද හුදෙකලා සිද්ධීන් කිහිපයකට පමණක් සීමා විය. බොහෝ විට මේවා සිදු කෙරුණේ ලංගම වැනි ආයතන වල සේවක වෘත්තීය සමිති හරහාය.

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂෙත්‍රයට සමීපව මා කටයුතු කර ඇති දශක තුනකට ආසන්න කාලය තුළ කිසිවිටෙක ඉංජිනේරුවන් වෙත පාලනාධිකාරය විසින් එළිපිට මැතිවරණ කටයුතු වල නිරත වන ලෙස නියෝග කර තිබෙන බවක් මා අසා නැත. මෑතක දී අන්තර්ජාලය හරහා සංසරණය වූ එක් වීඩියෝවක දැක් වුණු මාර්ග සංවර්ධන අධිකාරයේ සේවකයකු පෝස්ටර් අලවමින් සිටින දර්ශනය මා දුටුමුත් එය කිසියම් දේශපාලන හිතවාදී සේවකයකු ගේ ක්‍රියාවක් පමණක් විය යුතු යැයි මම සිතා සිටියෙමි. එහෙත් අද මට දැනගන්නට ලැබුණු පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සියලු විධායක ඉංජිනේරුවන් වෙත පෝස්ටර් 60,000 බැගින් යවා ඒවා ඇලවීමට නියෝග කර තිබෙන බවත් තවමත් වෘත්තීය සදාචාරයක් ඉතිරිවී ඇති අධිකාරියේ ඉංජිනේරු වෘත්තීය සමිතිය ඒ ගැන මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කර තිබෙන බවත් තමාගේ වෘත්තියට අදාළ නොවන කටයුතු වලින් බැහැර වන ලෙස ස්වකීය සාමාජිකත්වයට දන්වා තිබෙන බවත් දැනගතිමි. (මේ ලිපියේ පිටපතක් මා සතුව තිබෙන නමුත් එය මේ සමග දැක්වීමට ඉදිරිපත් නොවෙමි.)

ජේ ආර් ගේ සිට චන්ද්‍රිකා දක්වා කිසිම ජනපති වරයකු විසින් නොකළ පරිදි නිර්ලජ්ජිත ලෙස රාජ්‍ය සේවයට ඇඟිලි ගැසීමට සහ රාජ්‍ය දේපල පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීමට මහින්ද රාජපක්ෂ විසින් ක්‍රියා කර ඇත්තේ මේ ආකාරයෙනි. මේ කරුණ පමණක් වුව ඔහුගේ අපේක්ෂකත්වය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කිරීමට මට සෑහේ.

දශක සතකට ආසන්න කාලයකට පෙර මෙරට ජනතාව දිනාගත් නිදහස් අධ්‍යාපන අයිතිය නොවන්නට අද මා'තින් මේ ලිපිය නොලියැවෙන්නට බොහෝ ඉඩ තිබිණ. ගතවූ කාලය තුළ මෙරට ජනතාව තුළ ඉහළ විශ්වාසයක් තැබුණු රාජ්‍ය ආයතන අතර අධිකරණය, මැතිවරණ දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව ආදිය සමග විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ද විය. සරසවි පිවිසුම නම් දේශපාලන අතපෙවීම් වලින් නිදහස් තැනෙකැ'යි අපි සිතා සිටියෙමු. මින් පෙර පැවැති කිසිම රජයක් සරසවි පිවිසුම් තෝරාගැනීමේ ක්‍රියාවලියට අත පෙවීමට බිය විය.

මෑතකදී නාමල් රාජපක්ෂ විසින් එක් අපේක්ෂිකාවකට 'සානුකම්පික ලෙස සලකා' විශ්ව විද්‍යාල පිවිසුමට වරම් ලබා දෙන ලෙස ඉල්ලා උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව කෙරුණු ඉල්ලීමකට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් රුහුණු විශ්ව විද්‍යාලයයට යැවුණු ලිපියක් අපට දැක ගන්නට ලැබිණි. සරසවි අයදුම් කරුවන්ගේ 'සානුකම්පික ඉල්ලීම්' සලකා බැලීමට විනිවිද පෙනෙන ක්‍රමවේදයක් කොමිසමට තිබේ. ඒ ගැන නාමල් රාජපක්ෂ හෝ වෙන කිසියම්ම අයෙකුගේ රෙකමදාරුවක් අවශ්‍ය නොවේ. මේ රටේ රාජ්‍ය සේවයේ සාමාන්‍ය විනය සහ සදාචාරය මේ තරමට පිරිහුණු කාලයක් තවත් නම් නොවීය.

ජීවිතයේ ඉතිරි ටික කාලයත් මෙරටම ගතකරන්නට ඉටාගෙන සිටින අපට මේ රට සදාචාරයෙන් සහ විනයෙන් යුතු තැනක් කරන්නට දැඩි උවමනාවක් ඇත. දූෂණයෙන්, බලය අනිසි ලෙස යෙදවීමෙන් පිරුණු මේ ගමන නවත්වන්නේ නැතිව එය කළ නොහැකිය. අලුතෙන් එන රජයක් හදා ගන්නට පෙර මේ ජනධිපතිවරයා ගෙදර යැවිය යුතුය. අනෙක් පාර්ශ්වයන් ගැන වග කියන්නේ කෙසේද යන්න මම පසුව පැහැදිලි කරන්නට කැමැත්තෙමි.

මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.


මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 2

මීට කීප දිනකට පෙර පුරවැසි බලය වෙනුවෙන් ධර්මසිරි බණ්ඩාරනායක අදහස් දැක්වූ කෙටි වීඩියෝ පටය ඔබ බොහෝදෙනෙක් දකින්නට ඇත. එහිදී ඔහු සඳහන් කල මෑතකදී පාසල් සිසුන් රැසක් ඉදිරියේ 'ධවල භීෂණ' රඟ දැක් වූ අවස්ථාවක ඇති වූ සිද්ධිය මගේ හිත කීරි ගස්සන්ට සමත් විය. යුද ජයග්‍රහණ, අති විශාල යටිතල පහසුකම් සංවර්ධනය ආදියේ අවසන ජාතියක් හැටියට අප අත් පත් කරගෙන ඇති සමාජමය දියුණුව මේ උදාහරණයෙන් හොඳ හැටි නිරූපණය කෙරේ. උඩින් හුදු ජාති වාත්සල්‍යය සේ හැඟවෙන, එ නමුත් එහි සෙවනැල්ලට මුවා වී ඉස්මතු කෙරෙන, එකෙක් පාගා අනෙකා ඉස්මතුවීමේ මහ ජාතියේ අධිපති වාදය (සහ ඊට සුළු ජාතියේ ප්‍රතිචාරය) ද, සදාචාර වර්ධනය වෙනුවට අන්ධ ලෙස ආගම් ඇදහීමද ආදී වශයෙන් තමන් විසින් තමන් ම රවටා ගැනීමේ පුහු ආකල්ප ද නිසා අද අප නතරවී ඇති තැන මෙතැනයි.

මෙහි කූට ප්‍රාප්තිය නම් තමාට, තම ඇමති මණ්ඩලයට හෝ තම රජයට කිසියම්ම හෝ විනයක් ඇතැයි තමන් කරන කියන දෙයින් පෙන්නුම් නොකරණ පර්සි මහේන්ද්‍ර ජනාධිපතිවරයා මෑතක දී තම මැතිවරණ වේදිකාවක දී ජනතාවට විනයක් ඇතිව වැඩ කළ යුතු බවට, ඇඳුම් ද ඇඳගෙනම, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට යෙදීමයි.

දූෂණය, බලය අනිසි ලෙස යෙදවීම, අනිසි පක්ෂපාතිත්වය ආදිය සිදු වූ පලමු ආණ්ඩුව පර්සි මහේන්ද්‍ර රජය නොවේ. එහෙත් මෙතරම් විවෘතව, නිදහසේ, මේ සා විසල් පරිමාණයෙන්, මේ සිදුවනු අපි මීට පෙර දැක නැත්තෙමු. මෙතෙක් කල් බොහෝ විට ඒවා සීමා වූයේ මූල්‍යමය වංචා සහ හිත මිතුරන්ට කෙරුණු පක්ෂග්‍රාහී අනුග්‍රහය දැක්වීම් වලට පමණි. එහෙත් අවකල් ක්‍රියාවන් ලෙස සමාජයේ සම්මත ස්ත්‍රී දූෂණ, මිනී මැරීම්, මත් ද්‍රව්‍ය ජාවාරම් ආදිය රජයේ මැති ඇමතින් විසින් කරනු ලැබීමත් පාලනාධිකාරය විසින් ඒවා නෑසූ කන් ව සිටීමට අමතරව සමහර අවස්ථාවන්හි දී ඒවා සාධාරණීකරණය කිරීමත් පොලිසිය සහ අධිකරණය විසින් ඒ සම්බන්ධ පැමිණිළි විභාග කිරීම ප්‍රමාද කිරීම, අතපසු කිරීම හා මුළුමනින් ම අත් හැර දැමීමත් නම් පසු ගිය දශකය තුළ ඇතිවූ ප්‍රවණතාවයන් ය.

මේ නිසා බලය ඇත්තෙකුට අපරාධ කිරීම සාමාන්‍ය දෙයකැ'යි ද, (යුද්ධය දිනූ නිසා හෝ 'දේශප්‍රේමී' රජයට සහයෝගය දක්වන නිසා) එසේ කිරීමට ඔවුනට අයිතියක් ඇතැ'යි ද කිසියම් අපරාධකරුවකුට බලය ඇති පුද්ගලයකු ලවා තමාට ඇති චෝදනා අහෝසි කරවා ගත හැකැ'යි ද, එවන් අපරාධ අබියස නීතිගරුක රට වැසියකුට කළ හැක්කේ මුනිවත රැකීම පමණකැ'යිද කියා සිතන සමාජයක් අද ඇතිවී ඇත. මෙය විශේෂිත තත්ත්වයක් නොව සාමාන්‍යය බවත් අපට ඒත්තු ගන්වා තිබේ. මෙවන් සමාජයක් අපවෙත උරුම කර දීමේ තනි වගකීම භාරගත යුත්තේ මර්වින් සිල්වාගේ මැර ක්‍රියා, සාරුවා සුනිල් ගේ ස්ත්‍රී දූෂණ, උසාවියෙන් වරෙන්තු ලබා සිටින සුධර්මන් රදලියගොඩ අත් අඩංගුවට පත් නොවී අරලිය ගහ මන්දිරයේ රැස්වීම් වලට සහභාගි වීම ආදිය කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන ඉවසා බලා සිටින පර්සි මහේන්ද්‍ර නම් තනි පුද්ගලයාය.

අද වන විට මේ 'සදාචාර සංවර්ධනයේ' ඵල පාර්ලිමේන්තුව, පලාත් සභා, ප්‍රාදේශීය සභා විනිවිද පොදු මහජනතාවගේ සාමාන්‍ය ජීවිතය තෙක් විහිදී ඇත. ධර්මසිරිගේ නාට්‍යය අතරමැද 'රිදුණද?' කියා අසන පාසැල් දරුවා බිහිවන්නේ මෙසේ පාදඩ කරණය, පාහරකරණය කරනු ලැබූ සමාජයෙනි. ඒ පාප කර්මයේ පළමු වග උත්තරකරුවා වන්නේ පර්සි මහේන්ද්‍රයි. විනය යනු සමාජයක ඉහළ තැනින් පටන් ගෙන ආදර්ශයෙන් පහළ ස්ථර වෙත පැතිරවිය යුත්තකි. අද සිදුවන්නේ ජනපති කකුළුවා හරහට යන ගමන් සමාජය කෙළින් යවන්නට තැත් කිරීමයි. එද සමාජයට ඇති ආදරයකින් නොව සිය කටයුතු පහසු කර ගැනීමට පමණක් ම බව වටහා නොගන්නට තරම් අපි බයියන් නොවෙමු.

ජීවිතයේ ඉතිරි ටික කාලයත් මෙරටම ගතකරන්නට ඉටාගෙන සිටින අපට මේ රට සදාචාරයෙන් සහ විනයෙන් යුතු තැනක් කරන්නට දැඩි උවමනාවක් ඇත. ඔඩු දුවන පිළිලයක් සේ, අඬු විහිදාගත් බූවල්ලකු සේ, මුළු මහත් සමාජ දේහය වසාගෙන ඉහළ සිට පහළට පැතිර පවත්නා අවිනීත බව, නොමිනිස් බව හා සදාචාරයෙන් තොර බව මුලිනු'පුටා නොදමාඑය කළ නොහැකිය. අලුතෙන් එන රජයක් හදා ගන්නට පෙර මේ ජනධිපතිවරයා ගෙදර යැවිය යුතුය. අනෙක් පාර්ශ්වයන් ගැන වග කියන්නේ කෙසේද යන්න මම පසුව පැහැදිලි කරන්නට කැමැත්තෙමි.

මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.


මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 3

මේ දිනවල දේශපාලන වේදිකාවෙන් පොදු අපේක්ෂක මෛත්‍රී ගේ අතීත දූෂණ, වංචා සහ බලය අනිසි ලෙස යෙදවීම් ගැන අසන්නට ලැබේ. ඒ එක්කම මෙය පුද්ගලයින් දෙදෙනෙකු අතර සටනක් බවට ඌණනය වී තිබෙනු ද දකින්නට ලැබේ.

අද මෙරට ඇතිවී තිබෙන සමාජමය ගරාවැටීම, නීතිය පිළිබඳ සමාජයේ විශ්වාසය බිඳීයාම, රාජ්‍ය දේපළ ගසා කෑම සාමාන්‍ය කරණය වීම ආදිය පාලකයාගේ පුද්ගල ස්වභාවයට පමණක් ලඝු කිරීමක් කිසියම්ම හෝ සමාජාවබෝධයක් ඇත්තෙකුගෙන් මම බලාපොරොත්තු නොවෙමි. පශ්චාත් 77 යුගයේ දී ජනාධිපති වරයා යන තනි පුද්ගලයා මත පිරිනමනු ලැබූ අධික බල සංකේන්ද්‍රණය විසින් බලය අයුතු ලෙස යෙදවීම වෙත ආකර්ශකයක් (temptation) සැපයුණා. මෙය ජේ. ආර්. ගෙන් පසුව අඩු වැඩි වශයෙන් එක් එක් ජනපති වරයා/ වරිය විසින් අවභාවිත වුවත්, කෘත්‍රිම ලෙස ඇති කරගත් 2/3 ව්‍යවස්ථාදායක බලයත් සමග, අධිකරණයත් තම අණසක යටතේ පවත්වාගෙන, ව්‍යවස්ථාවෙන් ජනපති වරයා වෙත පමුණුවා තිබුණු වාර ගණනේ සීමාවත් ඉවත්කර ගෙන මේ බල සංකේන්ද්‍රණය අතිශය අනර්ථකාරී මට්ටමකට ගෙන ආවේ රාජපක්ෂ විසිනුයි. මෙහිදී පුද්ගල සාධක බල නොපාන බව නොවේ මා කියන්නේ, මෙකී බලය අවභාවිතාව රාජපක්ෂගේ ම වරදක් නොවන බවයි. එනම්, රාජපක්ෂ හෝ මෛත්‍රිපාල යන පුද්ගලයින් දෙදෙනාගේ ගුණ දොස් විවේචනය නිශ්ඵල බවයි.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා මතු වන්නේ මේ සන්දර්භය තුළයි. මෙතැන දී අවධානය යොමු වන්නේ රාජපක්ෂ නම් පුද්ගලයා නොව රාජපක්ෂ නියෝජනය කරන ක්‍රමය වෙනස් කිරීමයි. රාජපක්ෂ විසින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුවීම බලාපොරොත්තු විය නොහැකි වන්නේ ඔහුගේ වත්මන් පැවතීම තීරණය වන්නේත් ඒ සාධක මත නිසායි. මෙහිදී පොදු අපේක්ෂකයාගේ පුද්ගල සාධක ඉස්මතු කරගෙන ඉදිරියට එන්නේ ඔහුට වැඩි ඡන්ද ප්‍රමාණයක් ආකර්ශණය කර ගැනීමේ ශක්‍ය තාවයි. එහිදී පොදු විපක්ෂයේ තේරීම වන මෛත්‍රීපාල නිවැරදි තේරීමක් බව මා සිතනවා.

ඊළඟට වැදගත් වන්නේ මෛත්‍රීපාල හරහා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ගන්නේ කෙසේද යන්නයි.

මෛත්‍රීපාල උපදින්නේ ම පොදු වැඩසටහන තුළිනි. ඔහු පොදු වැඩ සටහනේ නිර්මිතයක් මිස පොදු වැඩ සටහන ඔහුගේ නිර්මිතයක් නොවේ. මෛත්‍රීපාල දිනුවොත් ඔහුට අවශ්‍ය වන පාර්ලිමේන්තු බලය එක් කර ගැනීමට මේ වැඩ සටහන මෙහෙයවන අනෙක් පක්ෂ වල සහය අවශ්‍යය. මෛත්‍රීපාල ගේ ඡන්ද ව්‍යාපාරයේ මූලිකම ඉල්ලීම ව්‍යවස්ථා වෙනසම නිසා එයින් පළා යාමට කිසිවකුට නොහැකිය. දින සියය වැඩ සටහන යනු ඉතා කෙටි කාලීන සහ නිශ්චිත අරමුණු කිහිපයක් සහිත වැඩ සටහනකි. එහි ප්‍රගතිය ජනතාවට මාස තුනක් තුළ දැකිය හැකිය. ඒ අනුව ඒ එක්කම එන මහමැතිවරණයට පෙර දින සියය වැඩ සටහනේ සාධනීය ප්‍රතිඵලයක් නැතිව ඔවුනට මහ මැතිවරණයට මුහුණ දිය නොහැකිය. මේ අනුව මේ යෝජනාව තුළ ජනතාවට සැපයෙන ආරක්ෂාවක්, සහතික කිරීමක් ඇත. කෙසේ වුවත් ඇතිවන තත්ත්වය දැනට වඩා ජනතා හිතවාදී බව පැහැදිලිය.

මෛත්‍රීපාල ගේ දූෂණ, වංචා ලෙස මේ දක්වා තිබෙන්නේ වෙස්ට්මිනිස්ටර් යුගයේ දකින්නට ලැබුණු වංචාය. (මෙය නිවැරදි බවක් මින් අදහස් නොකෙරේ). මේ එකක්වත් අඩු ගණනේ රාජපක්ෂ මුලින් තේරී පත් වුණු අවධියේ ඔහුට විරුද්ධව තිබුණු 'හෙල්පින් හම්බන්තොට' තරම් වත් ඒවා නොවේ.

මෙරට දේශපාලනය තුළ (හෝ වෙනත් කිසියම්ම රටක දේශපාලකයින් අතර) දූෂණයෙන් තොර දේශපාලකයින් සිටියේ හෝ සිටින්නේ නැත. මේ තත්ත්වය තුළ අප විසින් 'අඩු නරක' තෝරා ගැනීම හැර වෙන විකල්පයක් නැත. මිනිසුන් සුදු හෝ කළු ලෙස විග්‍රහ කිරීමේ ක්‍රමය කෙතරම් අප්‍රායෝගිකද යන්න අප දැන ගත යුතුය. අපට සංසන්දනය කළ යුතුව ඇත්තේ අළු මිනිසුන් ය. එ නිසා මෙවර ජනපතිවරණයේ සැබෑ අරමුණ වන්නේ මෛත්‍රී නම් වූ මිනිසා බලයට ගෙන ඒම නොව මහින්ද රාජපක්ෂ විසින් නියෝජනය කරණු ලබන විෂම පාලන ක්‍රමය වෙනස් කිරීමයි. එය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ පරාජය කොට විපක්ෂයේ පොදු වැඩ සටහන ජයග්‍රහණය කරවීමෙන් පමණි.

මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.


සත්‍යා ගේ ඉදිරි ප්‍රකාශන කියවන්නට කැමති අය සඳහා ඔහුගේ වත්පොත් පිටුව මෙන්න.
https://www.facebook.com/ims.sathyaprasad

-රසිකොලොජිස්ට්

(image: http://www.imagesbuddy.com/man-is-by-nature-a-political-animal/)

Monday, 8 December 2014

ජනාධිපති ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවෙන් ලියුමක් - An appeal by a group of Sri Lankans living in Australia


පහත උපුටා දක්වා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වෙසෙමින් විශේෂයෙන්ම ලේඛන කටයුතුවල යෙදෙන කිහිප දෙනෙක් එක්වී ඕස්ට්‍රේලියාවේ ම වෙසෙන ශ්‍රී ලාංකිකයින් අමතා තව මසකින් ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශයකි.

http://sannasa.sinhalajukebox.org/2014/Dec/2014Dec_page12.pdf
http://sannasa.sinhalajukebox.org/2014/Dec/2014Dec_page13.pdf

අප සැමට ම එය වැදගත් වේ යැයි සිතා මෙලෙස පළකරමි.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත කෙරෙන ආයාචනයයි

හදිසි ජනාධිපතිවරණය - 2015 ජනවාරි 08

ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට මහජන මුදල් කෝටි ගණනක් වියදම් වෙයි. අපේක්ෂකයන් ප්‍රචාරය සඳහා කරන වියදම් ද එක්වූ විට එය පුංචි දුප්පත් පුංචි රටකට ඔරොත්තු නොදෙන මුදලකි. ලංකාවේ ආර්ථිකය තවමත් පවත්වාගෙන යන්නේ විශාල වශයෙන් ලබා ගන්නා අන්තර්ජාතික ණයවලින් බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. මහින්ද රාජපක්ෂ මහතා 2010 පැවති ජනාධිපතිවරණයෙන් යළි බලයට පත්වූයේ වසර හයක කාලයකටය. ඒ ධූර කාලයෙන් වසර හතර ඉක්මවූ වහාම යළි ජනාධිපතිවරණයක් පැවැත්වීමට රාජපක්ෂ ජනාධිපතිවරයා තීරණය කළේ මෑතකදී පැවති බස්නාහිර සහ ඌව පළාත් සභා ඡන්දවලින් ආණ්ඩුව කෙරෙහි රටේ මහජනයා අතර විශාල කලකිරීමක් වර්ධනය වෙමින් පවතින බව ප‍්‍රදර්ශනය වූ බැවිනි. තවත් වසර දෙකක් යන විට මේ ජනතා කලකිරීම උත්සන්න වන බව දන්නා ඔහු මහජන මුදල් කෝටිගණනක් වැය කර හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ තීරණය ගෙන ඇත. ඒ මහජන යහපත වෙනුවෙන් ද නැතහොත් තම බලය තවත් කාලයකට දීර්ඝ කරගැනීමටද?


දැන් මැතිවරණ කොමසාරිස්ගේ තත්වය

ජනාධිපතිවරණයක් හෝ වෙනත් ඕනෑම ඡන්දයක් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කළ විට ඒ සඳහා සුදුසු දිනය තීරණය කළ යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා ය. එහෙත් මේ කැඳවා ඇති ජනාධිපතිවරණය ජනවාරි අටවෙනි දින පැවැත්විය යුතු යයි කල්තබාම කීවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නැකැත්කරුවන් ය. ඒ දිනය ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කරන්නට කලකට පෙරම රටේ ප‍්‍රසිද්ධ වී තිබිණ. ඒ අනුව රටට පෙනී යන්නේ මැතිවරණ කොමසාරිස්වරයා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ලෙස සලකා ඇත්තේ ජනාධිපතිවරයාගේ කේන්දරය බවයි. රටේ මුළුමහත් ජනතාවට වගකිවයුතු බරපතල වගකීමක් දරණ තනතුරක් වන මැතිවරණ කොමසාරිස් තනතුර මෙසේ නිවට නියාලූ හාස්‍යජනක තත්වයට පත්කරනු ලැබුවේ කෙසේද? ඒ ස්වාධීනව පැවතිය යුතු සියලූ රාජ්‍ය ආයතන විධායක ජනාධිපතිවරයා යටතට පත්කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මගිනි.

මෙය ලෝකයේ කිසිම රටක නැති තත්වයකි. එම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තමන් කැමති ඕනෑම දෙයක් කරන්නට හැකි රජකෙනෙක් බවට පත්වූ රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ අධිකරණය පත්ව ඇති සෝචනීය තත්වය ද ඊයේ පෙරේදා පැහැදිලිව පෙන්නුම් කෙරිණ. මෙතෙක් බලයේ සිටි කිසිම ජනාධිපතිවරයකු නොකළ ආකාරයට තමන්ට ඕනෑම වාර ගණනක් ජනාධිපතිවරණයට තරග කළ හැකිවන සේ 18වැනි සංශෝධනය යොදාගැනීම රාජපක්ෂ මහතාගේ සැලසුම විය. එක් පුද්ගලයකු ඔහු කොතරම් හොඳ කෙනෙකු වුවත් වාර දෙකකට වඩා ජනාධිපති ලෙස කටයුතු නොකිරීම ලෝකයේ සෑම රටක්ම අනුගමනය කරන්නා වූ සම්ප‍්‍රදායකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් එ් සම්ප‍්‍රදාය අනුගමනය කෙරෙන්නේ කොතරම් හොඳ පුද්ගලයකු වුවත් දීර්ග කාලයක් බලයේ සිටින විට බලයෙන් දූෂිත වන බවට ඇති පිළිගැනීම නිසාය. කෙසේ හෝ ලංකාවේ පාර්ලිමේන්තුව හදිසියේ සම්මත කළ එම සංශෝධනය ආපස්සට බලපාන්නක් නොවන නිසා එ් වන විටත් දෙවරක් පත්වී සිටි වත්මන් ජනාධිපතිවරයාට එසේ තරග කිරීමට නීතිමය ඉඩක් නැතැයි හිටපු අග‍්‍රවිනිශ්චයකරුවකු සහ නීතිඥයන් බහුතරයක් පෙන්වා දී තිබුණු තත්වයක් තුළ එවැනි නීතිමය ඉඩක් ඇත්ද නැතිද යන්න විවෘත උසාවියක තීන්දු කළ යුතුව තිබිණ. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ තමා ම පත්කළ ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවන්ගෙන් එය පුද්ගලිකව විමසීමයි. එම විනිසුරුවන් රහසිගතව රැස්වී තම මතය රහසිගතව ම ජනාධිපතිවරයාට දන්වා යැවීය. එයින් කියා ඇත්තේ රාජපක්ෂ මහතාට තෙවරක් තරග කළ හැකි බව යයි නිමල් සිරිපාල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කී නමුත් එවැනි උපදෙසක් හෝ තීරණයක් ඇතොත් එය පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව කතානායකවරයාට යවා පාර්ලිමේන්තුවේ සභා ගතකිරීමේ සම්ප‍්‍රදාය ද අනුගමනය කළේ නැත. දැන් මැතිවරණ කොමසාරිස්වරයා රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය පිළිගන්නට යන්නේ උසාවියක කෙරුණු විවෘත තීන්දුවක් අනුව නොව පාර්ලිමේන්තුවේ කෙරුණු කටකතාවක් අනුව ය. හිතවතුනි, මෙන්න ඔබේ මව්බිමේ අධිකරණයටත්, නීතියටත්, පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයටත්, මහජනයාගේ ස්වෛරී බලයටත් වර්තමානයේ අත්වී ඇති ඉරණම!


ඡන්ද ප‍්‍රචාරය

ඕස්ටේ‍්‍රලියාවේ ජීවත් වන ඔබ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මැතිවරණයකදී කෙරෙන ප‍්‍රචාරයේ ස්වරූපය දැක තිබේ. අද මේ මොහොතේ ලංකාවට යන කෙනෙකුට එහි සිදුවන ඡන්ද ප‍්‍රචාරයේ තරම දැක බලා ගන්නට පුළුවන. ජනාධිපතිවරණයට තවම නාමයෝජනා දී නැත. එහෙත් අද ලංකාවෙන් ලැබෙන තොරතුරු අනුව රටේ සෑම ලයිට් කණුවකම රාජපක්ෂ මහතාගේ පින්තූර ය. බැලූ බැලූ අත පොල්ගස් උසට එතුමාගේ කටවුට් ය. රජයේ රූපවාහිනි චැනල රජයේ පුවත්පත් පමණක් නොව තම බලයෙන් සහ වෙනත් මාර්ගවලින් තමන්ගේ කීකරු ආයතන බවට පත්තරගෙන සිටින පුවත්පත් මේ සියල්ල දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ ජනාධිපතිවරයාගේ ඡන්ද ප‍්‍රචාරයේ යෙදී සිටින්නේ තරගයකට මෙනි. මේ අතර මාස දෙකක කාලයක සිට ජනාධිපති වෙසෙන අරලියගහ මන්දිරයේ දන්සැලක් පවත්වාගෙන යයි. සෑම දිනකට එක් එක් ක්ෂේත‍්‍රවලින් පන්දාහ බැගින් එහි කැඳවා කන්න බොන්න දෙයි. මේවාට වියදම් කරන කෝටි ගණන් මුදල් කාගේද? මේවා ඡන්ද අල්ලස් නොවන්නේද? ජනාධිපතිවරණය පවත්වන්නේ කවදාදැයි කල්තබාම දන්නා එක් අපේක්ෂකයෙක් මැතිවරණ කොමසාරිස් එය ප‍්‍රකාශයට පත්කරන්නට මාස ගණනක් තිබියදී ම දැවැන්ත ප‍්‍රචාරයක් දියත් කරයි. එවිට මෙය සාධාරණ මැතිවරණයක් වෙන්නේද?


යුද්ධය

මේ කරුණු අඩුවැඩි වශයෙන් ඔබ ද දන්නා බව අපි දනිමු. එහෙත් මෙහි සිටින ශී‍්‍ර ලාංකිකයන් බොහෝදෙනා විශේෂයෙන් සිංහලයන් අතරින් බොහෝ දෙනෙක් තුළ රාජපක්ෂ පාලනය ගැන යම් පැහැදීමක් ඇත්තේ කුරිරු ත‍්‍රස්තවාදී ප‍්‍රභාකරන්ට විරුද්ධව යුද්ධ කර රට බේරා ගත් නායකයා ඔහුය යන මතය නිසාය. සැබෑය. සාම සාකච්ඡා මගින් එගඟත්වයක් ඇති කර ගැනීමට ආණ්ඩු කිහිපයක්ම දැරූ උත්සාහයන් අසාර්ථක කරමින් යුද්ධයම ඉල්ලා සිටි, සිංහලයන් පමණක් නොව තමන්ගේම දෙමළ ජාතියේ නායකයන්, බුද්ධිමතුන් ඝාතනය කරමින් රට විනාශ කරමින් සිටි එල්ටීටීඊ සංවිධානය ඔවුන් ඉල්ලා සිටි යුද්ධ මාර්ගයෙන්ම පරාජය කිරීම අගය කළ යුතු බව ඇත්ත ය. මහින්ද රාජපක්ෂ පාලනයට පසුගිය කාලයේ තිබුණු ජනපි‍්‍රයතාවේ ලොකුම සාධකය යුද්ධය බව ඇත්ත ය. අදත් ඡන්දයක් එන විට ආණ්ඩුවේ ලොකුම ප‍්‍රචාරය වන්නේ යුද්ධයයි. දැන් මේ මොහොතේත් ලංකාවේ රාජ්‍ය මාධ්‍ය සේම රාජ්‍යය විසින් යටත් කරගන්නා ලද සියලූ මාධ්‍ය උදේ සිට රෑ වන තුරු පෙන්වන්නේ එල්ටීටීය කළ අපරාධ ය. අදත් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකුම තුරුම්පුව යුද්ධයයි. සමහරු කියන්නේ නූතන දුටගැමුණු ඔහු බවයි. එසේ කියන අය සත්‍යයේ හරි අඩකට වඩා වසන් කරති. දුටුගැමුණු ගැන ඔබ කියවා ඇති ඉතිහාසය මතක් කර ගන්න. දුටුගැමුණු එළාර පරාජය කළේ තමාම යුද බිමට ගොස් යුද්ධකිරීමෙනි. රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ යුද්ධය කරගෙන යාමට එදා සිටි හමුදාපතිවරයාට අවශ්‍ය පහසුකම් සලසා දීමයි. යුද්ධය මෙහෙයවා ජයගත් එ් හමුදාපතිවරයාට රාජපක්ෂ ජනාධිපතිවරයා සැලකූ ආකාරය ඔබ හොඳින් දනී. ඔහුට බොරු චෝදනා මවා වසර ගණනාවක් හිරේ දමුවා පමණක් නොව ඔහුගේ නිල ලාංඡනත් ප‍්‍රජා අයිතියත් අහිමි කළේය. ඉතිහාසය තම වාසියට කියවන අයට මතක් කරදිය යුතු තවත් කරුණක් වන්නේ දුටුගැමුණු කළ යුද්ධයේ පැසසුම් ලබන්නේ එ් රජු පමණක් නොවන බවයි. එ් ඉතිහාසයේ දස මහා යෝධයන් ගැනත්, ඔවුන්ගේ සුරුවිරුකම් ගැනත් ලියා ඇති බව අපි දනිමු. මේ වත්මන් දුටුගැමුණුට දසමහා තබා එකමහා යෝධයකු වත් නැත. ඉන්නා එකම යෝධයා ඔහු ම පමණකි.

ඊ ළඟට අපි එල්ටීටීයට විරුද්ධව කෙරුණු යුද්ධය ආශි‍්‍රතව ආණ්ඩුව යට ගසන තවත් දේ ටිකක් සොයා බලමු. අද ලංකාවේ රූපවාහිනිය අරන්තලාවේ භික්ෂු ඝාතනය, ශී‍්‍ර මහා බෝධිය යට මිනිස් ඝාතන, දළදා මැදුරට බෝම්බ ගැසීම ආදී අපරාධවල රූප රාමු පෙන්වමින් මහින්ද ජනාධිපතිවරයා රට ගලවා ගත්තේ මෙවැනි දේ කළ අපරාධකරුවන්ගෙන් බව කියන අතර විපක්ෂය යළිත් එම අපරාධකරුවන්ට පාර කපන බවක් ද අඟවයි. යුද්ධයේ අතීතය අපක්ෂපාතී මනසකින් යළි මෙනෙහි කරන ඕනෑම කෙනෙකුට එදා ඉහතකී අපරාධ මෙහෙයවූයේ එවකට එල්ටීටීඊ යුද නායකයා ව සිටි කරුණා අම්මාන් බව මතකය. එදා එල්ටීටීයට උදව්කළේ යයි අදත් පොඩි පොඩි මිනිසුන් අල්ලා හිරේ දමන රාජපක්ෂ ආණ්ඩුව ඉහත කී අපරාධ මෙහෙයවූ කරුණා අම්මාන්ට ඇමති පදවියක් දුන්නා පමණක් නොව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිකමක් ද පිරිනැමුවේ ය. අද ඔහු මහජන මුදලින් සැප විඳින, ආණ්ඩුවේ ගජ මිතුරෙකි!

සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටි කාලයේ ආයුධ වෙළදාමකට හවුල් වූයේ යයි චෝදනා නගා අත් අඩංගුවට ගන්නට නියෝග කෙරුණු ෆොන්සේකා මහතාගේ බෑණා තවම සිටින්නේ වරෙන්තු පිටය. එ් අතර එල්ටීටීය වෙනුවෙන් ආයුධ ගෙන්වූයේයයි ද නැව් බැංකු ගිනුම් පාලනය කළේ යයි ද එදා ආණ්ඩුව ම කී කේපී නැමැත්තා දැන් ආණ්ඩුවේ සියලූ වරප‍්‍රසාද භුක්ති විඳිමින් සුවසේ වැජබෙයි. ඔහු ළඟ ඇතැයි කී රත්තරන් ටොන් ගණන් දැන් ඇත්තේ කොහේදැයි සොයන්නකු නැත. යුද්ධය කළා යයි රාජපක්ෂ ජනාධිපතිවරයාට තුති පුදන අතරම යුද්ධය හා සම්බන්ධ මෙකී දේවල් ගැනද සිතා බැලීම අවශ්‍ය නොවන්නේද?

තවද යුද්ධය ජයගත් මට රට හදන්නට තවත් වරක් බලය දෙන්නැයි 2010 දී රාජපක්ෂ මහතා ඉල්ලා සිටි විට ජනතාව ඔහුට නැවත වරක් බලය දුන් අතර ජාතික ප‍්‍රශ්නය විසඳා රට ගොඩනගනු වෙනුවට එතුමා කළේ තම පවුල ගොඩනැගීමයි. එහෙයින් යුද්ධය කළ බව කියා තවත් වරක් බලය ඉල්ලන්නට සුදුසුකමක් දැන් එතුමාට නැත.


ඇමති මණ්ඩලය

ඊළඟට රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ඇති කැබිනට්ටුවේ තත්වය ගැන බලමු. එතුමා 2005 දී පොරොන්දු වූයේ ඇමති මණ්ඩලය 30කට සීමා කරන බවටය. නමුත් තමාට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුව හසුරුවා ගැනීම සඳහා ඔහු කළේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දදායකයන් දුන් ඡන්දයෙන් තේරී පත්වී ආ අවස්ථාවාදී මන්තී‍්‍රවරුන් හඳුනාගෙන ඔවුන්ට තාන්න මාන පඬුරු පුදා ඇමතිකම් දී තමන්ගේ පැත්තට අත උස්සන්නන්ගේ ගොඩ වැඩි කර ගැනීම ය. එ් අවස්ථාවාදීන්ට අල්ලස්දීමටය ඇමති මණ්ඩලය 100 ඉක්මවා වැඩිකළේ. මේ සියල්ලන් නඩත්තු කිරීම වෙනුවෙන් තවමත් ලෝකයේ දුප්පත්ම රටවල් විස්සෙන් එකක් වන අපේ රටේ මහජන මුදල් කොතෙක් නම් වැය කරන්නේද? අද අපේ රටේ සිදුවන මත්කුඩු ජාවාරම ඇතුළු සෑම අපරාධයක් පිටුපසම මේ මැති ඇමතිවරු සිටින බව රටේ ජනයා හොඳින් දනිති. නමුත් නීතිය රකින්නට ඉන්නා පොලීසිය ඉන්නේ මේ අපරාධකාරයන්ගේ අතවැසියන් හැටියටය. මේ තත්වය තුළ අද අපේ රට ලෝකයේ අපරාධ බහුලම රටවල් දෙක තුනෙන් එකක් බවට පත්ව තිබේ. දියුණු ලෝකයේ රටවල් ගණනාවක්ම ශී‍්‍ර ලංකාවට යාමෙන් වළකින ලෙස තම ජනතාවට අවවාද කරන්නේ මේ නිසාය.

කැබිනට්ටුවේ ඇමතිවරු කොපමණ හිටියත් රටේ තීරණාත්මක සියලූ ක්ෂේත‍්‍ර ඇත්තේ රාජපක්ෂ පවුලේ අය අතේ ය. අටේ අයවැයෙන් විශාලම කොටස යන්නේ එ් අයගේ අමාත්‍යාංශවලට ය. වැඩිම මුදල වෙන් කෙරෙන ආරක්ෂක හා නාගරික සංවර්ධනය ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා අතේ ය. ඊළඟට වැඩිම කොටස බෙදන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ආර්ථිත සංවර්ධන අමාත්‍යාංශයට ය. කැබිනට් එක කොතරම් ලොකු වුණත් කෝටි ප‍්‍රකෝටි ගණන් කොමිස් එහා මෙහා වෙන මාර්ග සංවර්ධන අමාත්‍යාංශය ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ය. මුදල් අමාත්‍යාංශය ඔහු යටතේ ය. වසරකට කෝටි ගණනක් පාඩු ලබන ශී‍්‍ර ලංකා එයාවේස් සභාපති ජනාධිපතිතුමා ගේ මස්සිනා ය. කොතරම් පාඩු ලැබුවත් හැම අයවැයකින්ම ශී‍්‍ර ලංකා එයාර්වේස් සහ මිහින්ලංකාවලට මුදල් වෙන් කරයි. ජනෘධිපති පවුලේ අය ගේ අතපල්ලෙන් වැටෙන දෙයක් ලෙවකා හැමදේටම අත උස්සමින් යැපීම මිස කිසිදු වැදගත් තීන්දුවක් ගැනීමට බලයක් අනෙක් ඇමතිවරුන්ට නැත. එ් නිවට ඇමතිවරු ජනාධිපතිවරයා ඉදිරියේ පමණක් නොව ඔහුගේ පුත‍්‍ර නාමල් රාජපක්ෂ ඉදිරියේද කොන්ද හතරට නමති. නාමල් ගේ විනෝදාංශයක් වන කාර් රේස් පැදීම වෙනුවෙන් ගෙන්වන ලැම්බෝගිනි කාර් බද්දෙන් නිදහස් කිරීමට ජනාධිපති තාත්තා අයවැයෙන් යෝජනා කළ විට එයද අනුමත කළේ මේ රූකඩ මැති ඇමතිවරු ය. යෝජනා කළ අයට සේම එය අනුමත කළ අයටද රටේ දුප්පත් ජනතාව ගැන තිබෙන කැක්කුම කෙබඳු දැයි එයින්ම නොපෙනේ ද? පවුලේ අයගේ අමාත්‍යාශවලට ලොකුම කුට්ටිය බෙදාගන්නා, පුතාගේ විනෝදය සඳහා ගෙන්වන ලැම්බෝගිනි රේසින් කාර් බද්දෙන් නිදහස් කරන අයවැයෙන් සමස්ත ජාතියේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන්නේ 2‍% දෙකටත් අඩු ප‍්‍රමාණයකි.

ජේ.ආර්. හැදූ, අනෙක් අයත් මේ දක්වා පවත්වාගෙන යන චන්ද ක‍්‍රමය යටතේ අද ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වී සිටින බොහෝ දෙනෙකුට ඇත්තේ සල්ලිකාරයන් වීමේ හා එ් සල්ලි බලයෙන් චන්ඩින් වීමේ සුදුසුකම පමණකි. එ් නිසාම අද පාර්ලිමේන්තුව රස්තියාදුකාරයින් ගේ, වාචාලයන් ගේ කෙළිබිමක් බවට පත්ව ඇත. රටේ අග‍්‍රවිනිශ්චයකාරතුමිය ජනාධිපති සමග නොහොඳ වූ විට ඇයට විරුද්ධව චෝදනා හදා නඩු අසා ඇය තනතුරෙන් පහකිරීමේ තීන්දුව ගත්තේ එ් මන්ත‍්‍රීවරුන් ය.


ආගම්වලට සැලකීම

රාජපක්ෂ ජනාධිපතිවරයා හොඳ බෞද්ධයකු නිසා මොනවා කළත් ඔහු බලයේ තබාගත යුතු යයි සිතන පිරිසක් ද රටේ සිටිති. මෙය ද සැබැවින්ම මුලාවකි. සරත් ෆොන්සේකා හිරේට දැමූ විට ඔහු නිදහස් කරන්නැයි අස්ගිරි මල්වතු නාහිමිවරු ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. එ සේ ම අග‍්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගෙන් පළි නොගන්නැයි මහනායක හිමිවරු ඉල්ලා සිටියහ. එ් කිසිවකට රාජපක්ෂ ජනාධිපතිවරයා ගරු කළේ නැත. එපමණක් නොවේ මෑතකදී නාමල් රාජපක්ෂ දළදා මාලිගාව අවට පාරවල්වල කාර් රේස් පැදීමක් සංවිධානය කළ විට අස්ගිරි මල්වතු නාහිමිවරු දළදා මාළිගා බිමේ කාර් රේස් නොපවත්වන්නැයි ඉල්ලා සිටියහ. ලොකුම බෞද්ධයකු ලෙස පෙනී සිටින මේ ජනාධිපතිවරයා එ් ඉල්ලීමටත් ගරු කළේ නැත. පුත‍්‍රයාගේ විකාර ආසාව ඉටුකර ගන්නට දළදාමාළිගාවේ ගෞරවය කෙළෙසන්නට ඔහු ඉඩ දුන්නේ මහනායක හිමිවරු තුට්ටුවකට නොසලකමිනි. අවුරුද්දකට වරක් රටේ අග නගරයේ පාරවල් වසා කෝටි ගණන් මුදල් නාස්ති කරමින් දින දෙකක් රාති‍්‍ර කාර් රේස් මේලා පවත්වන්නට ජනාධිපතිතුමා තම පුත‍්‍රයාට ඉඩ දෙයි.

බුද්ධාගමට පමණක් නොව අනෙක් ආගම්වලටද එතුමා සලකන්නේ එ් විදියටම ය. කතෝලික බැතිමතුන්ගේ ආධ්‍යාත්මික නායක පාප්වහන්සේ ලංකාවේ සංචාරය කරන්නට නියමිත දිනවල ජනාධිපතිවරණය යෙදීමෙන් එම ආගමට ද ඔහු කළේ මහත් හෙලෙත්තාඩුවක් නොවන්නේ ද? ඔහුට පාප්වහන්සේට වඩා නැකත්කරුවාගේ වචනය ලොකු ය.

එපමණක් නොවේ රටේ ආගම් අතර වෛරය, ජාතීන් අතර වෛරය පතුරමින් යකා නටන්නට බොදු බල සේනා නමැති අපකීර්තිමත් කල්ලියට නිදහස දී අහක බලාගෙන හිඳින්නේද මේ ජනාධිපතිවරයා ය. බොදුබලසේනා වැනි සංවිධාන කි‍්‍රයාකරන්නේ ජනාධිපති සොහොයුරු ආරක්ෂක ලේකම්ගේ අනුග‍්‍රහය යටතේ බව ප‍්‍රසිද්ධ කාරණයකි. මේ අය මෙවැනි සංවිධාන නඩත්තු කරන්නේ බලය ගිලිහෙන්නට යන විට රට අවුල්කරන කුමන්ත‍්‍රණයක් සඳහා පාවිච්චි කිරීමට බව බුද්ධිමත් ජනයාගේ විශ්වාසයයි.


රට චීනයට යටත් කරවීම

චීනය යනු තවදුරටත් මාවෝ සේතුන් විප්ලවයෙන් ගොඩනැගූ සමාජවාදී චීනය නොවන බව ඔබට අලූතෙන් පෙන්වා දීම අවශ්‍ය නොවේ. චීන වෙළඳ ආධිපත්‍ය ලෝකය වෙලා ගන්නා හැටි ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ඔබ ඇස්පනාපිට අත්දකින්නකි. රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අද අපේ රට ද චීන ව්‍යාපාරිකයන් විසින් ගිලගෙන ඇත. රටේ සංවර්ධන කටයුතු සඳහා ඉතා අඩු පොළියට සහ සමහරවිට පොළි රහිතව දීර්ගකාලීනව ගෙවන්නට ණය ලබාදුන් සියළුම රටවල් තරහ කරගෙන ඇති ජනාධිපතිවරයා නැව් නො එන වරායවල්, ගුවන් යානා නො එන ගුවන්තොටුපොළවල්, අධිවේගී මාර්ග, මුහුද ගොඩකර හදන කැසිනෝ සහ විනෝද දූපත් හදන්නට ණය ගන්නේ චීනයෙනි. එ් 6% පොළියට කෙටිකාලීනව ගෙවන කොන්දේසි යටතේ ය. එසේ ගන්නා ණයවලින් කෙරෙන ඊනියා සංවර්ධන ව්‍යාපෘති ටෙන්ඩර් නැතිව බාර දෙන්නේ චීන කොම්පැණිවලට ය. නියම වියදමට වඩා විසිතිස් ගුණයක වියදමින් කෙරෙන මේ ව්‍යාපෘතිවලින් කෝටිප‍්‍රකෝටි ගණනින් කොමිස් ලැබෙන බව තවදුරටත් රහසක් නොවේ. මේ විනාශකාරී ණය ගෙවිය යුතු වන්නේ රටේ අනාගත පරම්පරාව මිස ජනාධිපතිවරයා හෝ ඔහුගේ දරුවන් නොවේ.

පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රටට කීවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා නම් එ් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ තමාට බවය. එයින් ඔහු කියන්නේ "මට කරන්න පුළුවන්, එ්ත් මම කරන්නේ නෑ!" කියන එක නේද? ඔහු බලයට පත්වුණේ කෙටිකලක් ඇතුළත විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කරන බවටත් රටේ විනාශයට තුඩු දී ඇති ජාතික ප‍්‍රශ්ණයට දේශපාලන විසඳුමක් මාස තුනක් ඇතුළත දෙන බවටත් පොරොන්දු වෙමිනි. අවුරුදු 10කට වැඩි කාලයක් බලයේ සිටි ඔහු දැන් කියන්නේ "මට කරන්න පුළුවන්, එ්ත් මම කරන්නේ නෑ!" කියාය. මේ නම් ඔහුට ඡන්දය දුන් ජනයාට ඇඳිවත උස්සා පෙන්වමින් ඔච්චම් කිරීමක් මිස වෙන දෙයක් නොවේ. යුද්ධය අවසන් වී අවුරුදු පහමාරක් ගතවී ඇතත් ජාතික ගැටලූවට දේශපාලන විසඳුමක් ඔහු යෝජනා කරන්නේ නැත. ඔහුම කියන පරිදි එ් සඳහා ඔහුට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නට බලය තිබේ. යුද්ධය කළේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට විරුද්ධව මිස දෙමළ ජනයාට විරුද්ධව නොවේ යයි ආණ්ඩුව එදා කීවේ ය. එසේ නම් කළ යුතුව තිබුණේ යුද්ධය අවසන් වූ වහාම උතුරේ දෙමළ ජනයාට ගෞරවයෙන් යුතුව නිදහසේ ජීවත්වීමට හැකි වන පරිදි දේශපාලන විසඳුමක් දීමය. එ් වෙනුවට ඔහු කරන්නේ උතුරේ ජනයා හමුදා පාලනයකට යටකර පීඩනයට පත්කිරීමයි. එ් මගින් නැවතත් යුද්ධයකට පාර කැපීමයි. චීනය එකම මිතුරා කර ගැනීමෙන් ඉන්දියාව තරහ කර ගැනීම නිසා අප රටට ඇත්තේ කොයි මොහොතක හෝ පුපුරා යා හැකි අනතුරකි. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ විසින් උතුර පමණක් නොව මුළු රටම හමුදා පාලනයකට සූදානම් කෙරෙමින් තිබේ. රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ සිටියොත් රටට ලැබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව හමුදා පාලනයකි.


පිට ඔපය යට ඇති දේ

විදේශවල වෙසෙන සමහර ශ්‍රී ලාංකිකයන් වසර ගණනාවකට පසු මේ කාලයේ කෙටි නිවාඩුවකට ලංකාවට ගිය විට දැක ඇත්තේ අලූතින් ඉදිවුණු අධිවේගී මාර්ග, විශාල ගොඩනැගිලි, ව්‍යායාම සඳහා ඇවිදින මාවත් සහිතව අලංකාර කළ උද්‍යාන, ආදියේ ආශ්චර්යය පමණි. එ්වා දැක දැන් අපේ රට ලොකු දියුණුවක් ලබා ඇතැයි සිතන්නෝ සහ කියන්නෝ ද සිටිති. එහෙත් මේ බාහිර සංවර්ධනය වෙනුවෙන් ණයට ගෙන වියදම් කරන කෝටි ගණන් මුදල්වලින් කොතරම් ප‍්‍රමාණයක් දේශපාලකයන්ගේ සාක්කුවලට යන්නේ ද යන්න එසේ බාහිර ආටෝපය දකින්නන්ට නො පෙනෙයි. අධිවේගී මාර්ගයක එක කිලෝමීටරයක් ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකකින් ඉදිකරන්නට හැකිව තිබියදී මේ ආණ්ඩුව යටතේ චීන කොන්ත‍්‍රාත් කරුවන් ඉදිකරන අධිවේගී මාර්ගවලට එක කිලෝමීටරයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 16ත් 18ත් අතර ගණනක් වියදම් කර ඇති බව ආණ්ඩුවේ ඇමතිවරයකු ව සිටි නවීන් දිසානායක මහතා ඉතා මෑතකදී හෙළි කළේය. ඕනෑම කෙනෙකුට මේවා අන්තර්ජාලයෙන් බලාගත හැකිය. ඔබ අද යාපනයට ගියහොත් එහිද ලස්සන පාරවල්, සංචාරක හෝටල් ආදිය ඉදිවී ඇති බව දකින්නට පුළුවන. එහෙත් එ් බාහිර ඔපයට නො රැවටී යාපනයේ වෙසෙන සාමාන්‍ය ජනයා සමග කතාබහ කළොත් ඔවුන් ඉල්ලන්නේ නිදහස මිස පාරවල් හෝටල් හෝ සැනකෙළි නොවන බව ඔබට වටහා ගන්නට හැකිවනු ඇත. කොළඹ නගරය සහ එ් අවට ලස්සන නවීකරණය දකින කෙනෙක් එ් හැම තැනකම අවි දරාගෙන සහ සිවිල් ඇඳුමෙන් සිටින හමුදා භටයන් නොදකින්නේ නම් ලංකාවේ ඇත්ත තත්වය ගැන අවබෝධයක් ඔහුට නොලැබෙනු ඇත.

නාස්තිකාර, එ්කාධිපති ස්වරූපයේ පාලනයෙන් අපේ රට මුදවා ගැනීමට අවස්ථාවක් දැන් පෑදී තිබේ. එ් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ම මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමයි. ඔහු බලයට පත්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් හදා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ස්වාධීන කොමිසම් පත්කර රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කරන බවට ප‍්‍රතිඥා දී තිබේ. එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප‍්‍රධාන විරුද්ධ පක්ෂ සියල්ලේම ද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක, සරත් ෆොන්සේකා මහතා සේම කලින් පොදු අපේක්ෂකයා ලෙස නම්කර සිටි මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සහාය ද මේ පොදු අපේක්ෂකයාට ලැබේ. එසේම මෑතක් වන තුරු ආණ්ඩුවේ කොටස්කරුවන්ව සිිටි ජාතික හෙළ උරුමයද සහාය දක්වන්නේ පොදු අපේක්ෂක මෛතීපාල සිරිසේන මහතාට ය. රටේ උගතුන් ගේ සංවිධාන වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පොදු අපේක්ෂකයාට සහාය දක්වයි. එසේම ජනතා විමුක්ති පෙරමුණ ද පෙනී සිටින්නේ මහින්ද රාජපක්ෂ පාලනයෙන් රට ගලවා ගැනීම වෙනුවෙනි.

රටතුළ මෙවැනි විරෝධයක් ගොනුවී ඇත්තේ රාජපක්ෂ පාලනය රට විනාශ කරන හැටි තවදුරටත් ඉවසා සිටින්නට බැරි තැනය.


ඔබේ යුතුකම

ඔබ ඕස්ටේ‍්‍රලියාව වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දියුණු රටක සිටියත් ඔබේ නෑයින් හිත මිතුරන් වෙසෙන්නේ මෙහි ඉතා කෙටියෙන් කී අයුරු පරිහානිගත හා අනතුරුදායක තත්වයකට පත්ව තිබෙන ඔබේ රටේ ය. රට මේ තත්වයෙන් ගලවා ගන්නට ඔබ කැමති නම් මේ අවස්ථාවේ එය කරන්නට ඉදිරිපත් වී සිටින අයට ඔබේ සහාය දීම අත්‍යවශ්‍ය ය. දැන් ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂකයා ලවා රට විනාශයෙන් ගලවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවා ගැනීම දැන් රටේ ජනතාවට බාරය. ඕස්ටේ‍්‍රලියාව වැනි දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක වෙසෙන ඔබට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැනත් ජාතීන් අතර සහජීවනයේත්, ආගම් අතර සහජීවනයේත් අගය ගැන හොඳ වැටහීමක් ඇති බව නිසැක ය. ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන නමුත් තමා උපන් මව්බිමට හිතැති ඔබට මේ අවස්ථාවේ රට වෙනුවෙන් කළ හැකි වැඩ කොටසක් තිබේ. ලංකාවේ සිටින ඔබේ පවුලේ අයට, හිතවතුන්ට මේ කරුණු පෙන්වාදී අපේ රට වැටී ඇති අභාග්‍යමත් තත්වයෙන් රට ගලවා ගෙන ලෝකයේ ගෞරවයට පාත‍්‍රවන දියුණු රටක් බවට අපේ රට පත්කර ගැනීමට ඔබටත් දායක විය හැකිය. එ් සඳහා ඔබට හැකි උපරිම දේ කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

මෙයට

පුරවැසි බලය’ වෙනුවෙන්

ජයතිලක කම්මැල්ලවීර
ශ්‍යාමන් ජයසිංහ
ලයනල් බෝපගේ
ජගත් ජේ එදිරිසිංහ
රසික සූරියආරච්චි
චරිත දිසානායක
වරුණ සාවින්ද
අසෝක සුබසිංහ
මාලන් බණ්ඩාර කපුවත්ත
අසෝක සිල්වා
ගාමිණී රණසිංහ


(image: http://nepalesevoice.com.au/australia-sri-lanka-to-sign-people-smuggling-deal/)

Friday, 5 December 2014

ජේවීපී ප්‍රකාශනයක තිබී කියවූ පරණ පත්තර කෑල්ලක් නිසා අහෝසි වෙන එක් දුර්මතයක්


මුලින්ම අප බොහෝ දෙනෙක් දන්නා කාරණා කිහිපයක් සඳහන් කරමි.

විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ 1978 දී ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ ව්‍යවස්ථාවෙනි. රටේ මුල්ම විධායක ජනාධිපතිවරයා වූයේ එවකට පාර්ලිමේන්තුවේ අගමැති ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් වී සිටි ජුනියස් රිචඩ් ජයවර්දෙන ය. ඔහු ඒ තනතුරේ දිවුරුම් දුන්නේ 1978 පෙබරවාරි මස හතරවෙනිදා යි. පසුව 1981 දී පැවති ජනාධිපති ඡන්දයේ දී ජයවර්දෙන බහුතර මහජන කැමැත්තෙන් ඒ තනතුර සඳහා තේරී පත්විය.

ගැහැණු පිරිමි ලිංග වෙනස්කම හැර අන් ඕනෑම දෙයක් කරන්නට හැකි බලතල ඇති යැයි එහි නිර්මාතෘ ජයවර්දෙන විසින් නම් කෙරුණු විධායක ජනාධිපති තනතුරේ ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී, අධිපතිවාදී ලක්‍ෂණ රාශියකි. එදා 1978 දී ඒ ගැන එන් එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වැන්නෝ අනතුරු හැඟවූහ. ජනාධිපති ව්‍යවස්ථාවට එරෙහිව කළු කොඩි එල්ලා විරෝධය පලකළ වික්‍රමබාහු කරුණාරත්නට එනිසා තම විශ්ව විද්‍යාල රැකියාව පවා අහිමි විය.

විධායක ජනාධිපති තනතුරේ ඇති යැයි කියවෙන එක් අධිපතිවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී නම් බලයක් නම් ජනාධිපති සමාව නම් උපක්‍රමය මගින් නීතියට පිටින් යමින් ඕනෑම මිනීමරුවෙක් වරදින් නිදොස් කර තනිමතයට නිදහස් කිරීමට ජනාධිපතිට ඇති අවසරයයි. මේ ආකාරයට ජනාධිපති සමාව මගින් එකල හිරෙන් නිදහස් වූ එක් අයෙක් කුප්‍රකට මැරයෙක් මෙන්ම ස්ත්‍රී දුෂකයෙක් ද වූ ගෝනවල සුනිල් නම් එකල බියගම මන්ත්‍රී සහ අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ ගේ ආධාරකරුවෙකි.

මේ සිද්ධිය එකල කොයි තරම් සාකච්ඡා වුනේ ද යත් මේ ආකාරයට ලබාදෙන ජනාධිපති සමාව කතාබහේ දී සඳහන් කෙරුණේ ගෝනවල සුනිල් සමාව ලෙසිනි.

ඒ ගෝනවල සුනිල් සමාවෙන් පසුගිය කාලය තුලදීද සිර දඬුවම් විඳිමින් සිටි දේශපාලකයින් සහ මැරයින් කීප දෙනෙක්ම නිදහස ලැබූ බව රහසක් නොවේ.

පසුගිය දා මිතුරෙක් විසින් ඊ-මේලයකින් එවන ලද සබැඳියක් හරහා යමින් ජනතා විමුක්ති පෙරමුණ මගින් සම්පාදනය කරන ලද (ඔව්, එය හොරා ගේ අම්මාගෙන් පේන ඇසීමක් බඳුය) ඔවුන් ගේ ම ඉතිහාසය ගැන කෘතියක් කියවද්දී එහි තිබුණු පරණ පුවත්පතක ඡායා පිටපතක් නිසා, මට වැටහී ගියේ මේ ජනාධිපති සමාව අද පවතින විධායක ජනාධිපති ක්‍රමයේ කොටසක් නොව, ඊට පෙර පැවති නාමමාත්‍රික රාජ්‍යනායක ජනාධිපති තනතුරේ ද තිබුණු බලයක් බවයි.

මෙන්න ඒ දිනමිණ පුවත් පතේ මුල් පුවත ඇතුලත් ඡායා පිටපත.


ඒ ප්‍රවෘත්තියට අනුව, 1971 අප්‍රියෙල් මාසයේ සිදු කළ කැරැල්ල සම්බන්ධයෙන් වරදකරුවන් වී සිරදඬුවම් ලබමින් සිටි නන්දසිරි (රෝහණ) විජේවීර සහ පිරිස එදා 1977 නොවැම්බර් මස දෙවෙනි දින නිදහස ලබා ඇත්තේ ජනාධිපති සමාව ලබාය.

ඒ අනුව ඒ සමාව දි ඇත්තේ ඒ දිනවල ලංකාවේ පැවති ආණ්ඩු ක්‍රමය යටතේ නාමමාත්‍රික ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව විසිනි!

එදා විජේවීර ඇතුලු ජේවිපීකාරයින් සමගම විදේශ විනිමය වංචාවලට වරදකරුවන් වී සිරබත් කමින් සිටි ව්‍යාපාරික හොරුන් කීප දෙනෙක්ද නිදහස ලැබූ බව කියවේ. එසේ නමුත්, 1972 මැයි 28 සිට, 1978 පෙබරවාරි 4 දින දක්වා නාමමාත්‍රික ජනාධිපති තනතුර හෙබවූ විලියම් ගොපල්ලව විසින් ඊට පෙර සමාව දෙන ලද වෙනත් අපරාධකරුවන් ගැන අප අසා නැත.

මේ අනුව පෙනී යන්නේ වරද ඇත්තේ බලයේ නොව, බලය හිමියා සහ බලය භාවිතයේ බවයි!

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි
ඒ දිනවල පුවත්පත් සිංහල අකුරු කෙතරම් කැත ද කියා බලන්න!

(Images
http://www.globalsecurity.org/military/world/sri-lanka/jayewardene.htm; http://archives.dailynews.lk/2010/01/19/fea01.asp; http://www.sangam.org/articles/view2/?uid=693)