Showing posts with label පොත්පත්. Show all posts
Showing posts with label පොත්පත්. Show all posts

Wednesday, 21 May 2025

“පාදර ඇරා” ගේ “සූදුරු අබා” කෙටි කතා එකතුව පිළිබඳ මගේ සටහන - My take on Ajith Perakum Jayasinghe's short story collection "Suduru Aba"


මෙය විචාරයක් ලෙස සලකන්න එපා. මේ අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා 2024 විදර්ශන අත්පිටපත් තරගයේ දී හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයක් දිනූ “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහය කියවීමෙන් පසු මගේ සිතට ආ අදහස් කිහිපයක් විතරයි.

සාමාන්‍යයෙන් මං කෙටිකතා කියවන්න කැමතියි නවකතා කියවනවාට වඩා. මේ දිනවල නම් ඒකට මූලික හේතුව තමයි කෙටිකතාවක් කියැවීමට යන කාලය අඩුවීම සහ එකම ලේඛකයෙකු ගේ වුණත් කෙටිකතා දෙකක් අතර කිසිම සම්බන්ධයක් නැති නිසා දිග නවකතාවක් කියවන කොට වගේ අවධානය යොමු කිරීමට අවශ්‍ය නොවීම.

ඒ සමඟම පසුගිය අවුරුදු හතරක පමණ කාලය තුළ මට විශාල කෙටිකතා සංඛ්‍යාවක් කියවන්න සිදුවුණා. මුලින්ම මං සංස්කරණය කරන “සිසිල” මාසික සාහිත්‍ය ය සඟරාවේ පළකිරීම සඳහා ලැබෙන කෙටිකතා. ඒවා කියවීම පමණක් නොව අවශ්‍ය පරිදි සංස්කරණය කිරීම ද මා සිදුකරනවා. ඊට අමතරව ජගත් ජේ එදිරිසිංහ විසින් සම්බන්ධීකරණය කරන ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගාවලියේ ඇගයීම් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තුන්වරක්ම ක්‍රියාකර ඇති නිසා ඒ සඳහා ලැබුණු කෙටිකතා විශාල සංඛ්‍යාවක් ද පසුගිය අවුරුදු කිහිපය තුළ මට කියවන්නට සිදුවුණා. මේ නිසා, කෙටිකතා සඳහා වූ මගේ රසිකත්වය වැඩිවුණා.

කාලයේ ඵලදායිතාව ගැන හිතන කොට කෙටිකතාවක් කියවීම අගනා කාර්යයක්. ඒ ඉතාම කෙටි කාලයකින් සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් පාඨකයාට ලැබීමයි. නමුත් ඉතිං එහෙම මතක හිතෙන ආකාරයේ සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් පාඨකයාට ලබා දෙන්න හැකි ආකාරයේ කෙටිකතාවක් ලියනවා කියන එක නම් ලේසි පහසු වැඩක් නොවෙයි.

කොටින්ම, මං යොවුන් කාලයේ, විශ්වවිද්‍යාලයට යාමට පෙර, කෙටිකතා විස්සක් පමණ ලියලා ඒවායින් අත්පිටපත් දෙකක්ම හැදුවත් එදායින් පස්සේ තාමත් කෙටිකතා තුනහතරකට වැඩිය ලියලා නැති තරම්. මං ඒ ශානරයට වඩා කැමති විත්ති කතා යැයි සමහරු කියන “කතන්දර” ලියන්නටයි.

අජිත් පැරකුම් ජයසිංහ ලේඛකයාව මං දන්නේ මීට අවුරුදු පහළොවකට පමණ පෙර සිටයි. ඒ අපි දෙදෙනාම විනෝදාංශයක් ලෙස බ්ලොග් ලිවීම ඇරඹූ කාලයේ. මගේ බ්ලොග් එකේ නම වූයේ “කතන්දර”. මං මාව හඳුන්වා ගත්තේ “කතන්දරකාරයා” කියයි. බ්ලොග් ලියන මුල් කාලයේ “එඩිටර” කියා තමන්ව හඳුන්වා ගත්තු අජිත් පැරකුම් ජයසිංහ තමන්ව දැන් හඳුන්වා ගන්නේත් “කතන්දරකාරයා” කියා බව ඔහුගේ “සූදුරු අබා” කෙටිකතා එකතුවේ පෙරවදන ලෙස ඔහු ලියා ඇති අමුතු ආකාරයේ සටහනෙන් පැහැදිලි වෙනවා. ඒ විතරක් නොවෙයි අජිත් ලියූ “අරුණෝදාකරුවෝ” නම් නවකතාව ගෙන්වා ගන්න ගිහින් බලනකොට තමයි මට තේරුණේ ඒ නවකතාව ප්‍රකාශ කර තිබෙන්නේ අජිත් ද සම්බන්ධ “කතන්දර ප්‍රකාශන” සමාගමෙන් බව. වෙබ් ලිපිනය මොකක් වුණත් අජිත් ලියූ පොත් විකුණන ඔන්ලයින් කඩේට අජිත් දීලා තියෙන නමත් “කතන්දර ඩොට් කොම්”.

“සූදුරු අබා” කෙටිකතා එකතුවේ පිටු හැට අටක් තිස්සේ දිව යන කෙටිකතා නමයක් තියෙනවා. ඒ කියන්නේ මේවා වචනයේ අර්ථ පරිසමාප්තාරයෙන්ම කෙටිකතා, ඉහළ ඵලදායීතාවයෙන් යුතුව කෙටි කාලයකින්, කෙටි කැප කිරීමකින් ලොකු සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් ලබාගන්නට හැකි නිර්මාණ.

මං හිතන්නේ මේ කෙටිකතා එකතුව කියවන අති බහුතරයක් දෙනාගේ වැඩි ආකර්ෂණය අවධානය දිනා ගන්න කෙටිකතාව තමයි පොතේ නමටත් යොදා ඇති “සූදුරු අබා” නම් නිර්මාණය. අප්‍රකාශිත, කාන්තා සමකාමී, එසේ නොමැති නම් ලෙස්බියන්, ආදරයක් පදනම් කරගෙන සිත් ඇදගන්නා ආකෘතියකින් ලිය වී ඇති ඒ කෙටිකතාව ඇත්තටම අපූරු නිර්මාණයක්. මෙහි දී මා භාවිතා කළ “අප්‍රකාශිත” කියන වචනය ඉතා වැදගත්. මක් නිසා ද යත් මෙය කිසිදිනක නිශ්චිතව ප්‍රකාශ කෙරුණු ආදරයක් හෝ සම්බන්ධයක් හෝ නොවේ.

මේ වගේ අප්‍රකාශිත මෙන්ම ප්‍රකාශිත කාන්තා සමකාමී ආදර සම්බන්ධතා ලංකාවේ තිබෙන බව පැහැදිලියි. නමුත් ඒවා අවබෝධ කරගන්නා පරිණත සමාජයක් නම් අපේ ජීවිත කාලවල නම් අපිට දකින්න ලැබෙන එකක් නැහැ. ඉතිං ඒ බොහෝ සම්බන්ධතා අපරාදේ වියැකී යනවා.

දෙයියෝ මිනිහෙක් මැව්වා ය, ටික දිනකට පසුව ඒ මිනිහා වෙනුවෙන් ගෑනියෙක් මැව්වා ය කියා විශ්වාස කරන්නේ ඒ්බ්‍රහමික ආගම් අදහන මිනිසුන්. ඒ නිසා තමයි ඔවුන් පිරිමි හෝ ගැහැණු හෝ සමකාමී සම්බන්ධතාවලට විරුද්ධවන්නේ. නමුත්, මැවුම්කාර දෙයියෙකු නැති, අදේවවාදී බුද්ධාගම්කාරයින් සමකාමී සම්බන්ධතාවලට විරුද්ධවන්නේ මක්නිසා ද කියා හොයාගන්න නම් ආපහු මධ්‍ය විද්‍යාලයට ගිහින් පොදු සහතික පත්‍ර විභාගයේ බුද්ධාගම විෂයය පාස් වෙන්න වෙනවා වගේ. දශක ගණනකට කලින් මං බුද්ධාගම විෂය සඳහා ලබාගත්තු ඩිස්ටින්ෂන් එක අද පවතින “බුඩ්ඩාගමට” අදාළ නැහැ පේන විදියට.

“සූදුරු අබා” කෙටිකතාව ගැන තවත් කිව යුතු කරුණක් තමයි පිරිමියෙකු විසින් කාන්තා දෘෂ්ටිකෝණයකින් යුතුව සහ ප්‍රථම පුරුෂ ආඛ්‍යානයකින් මෙය ලියා තිබීම. එනම් මෙහි “මම” කියා අදහස් කරන්නේ මේ ආදර සම්බන්ධයේ එක් පාර්ශවයක් වෙන අනූ නමැති කාන්තාව. සාමාන්‍යයෙන් කාන්තාවන් ලියන නවකතා, කෙටිකතාවල ප්‍රථම පුරුෂයෙන් මම කියා හඳුන්වා ගන්නේ කාන්තා චරිතයක්. පිරිමින්ගේ නිර්මාණවල ඒකේ අනිත් පැත්ත. අජිත් පැරකුම ජයසිංහ මේ කතාව ලිවීමේ මම සඳහන් දකින විශේෂත්වය ඒකයි.

“සූදුරු අබා” කෙටිකතා එකතුවේ එන අනිත් කෙටිකතා අට පිළිබඳව මට හිතෙන දේ සංක්ෂිප්තව සඳහන් කරන්නම්.

පියා මියගිය පවුලක කුඩා දැරියක් තමන්ගේ පවුලේ සිදුවෙන විපර්යාසය අත්විඳින අයුරු කියවෙන කෙටිකතාවක් “ස්වර්ණ හංස” මං හිතන්නේ මේක අර “මැජික් රියලිසම්” කියන ක්‍රමවේදය උපයෝගී කරගෙන ලියූ එකක්. ජාතක කතාවක එන සුරංගනා කෑල්ලක් මේ නිර්මාණයට සම්බන්ධයි. ජාතක කතා කියන්නේ ඉතිං බොහෝ විට මැජික් සහිත කතා නේ.

“සමූල ඝාතනය” කියන කෙටිකතාවට අජිත්ට අත්දැකීම් හම්බවෙන්න ඇත්තේ ඔහු කලකට පෙර ගුරු සේවය කරන කාලයේ විය යුතුයි. මහ ජාතියේ ජාතිවාදය මෙන්ම ගුරු හොරුන්ගේ ජඩකම් මේ නිර්මාණයේ පදනමයි.

“අත් පොරව” කෙටිකතාව මෙන්ම “පිරිත් කියනවා, මිනිත් මරනවා” යන කෙටිකතා ද්වය මිනීමැරුම් හා සම්බන්ධ නිසා සාමාන්‍යයෙන් සංවේදී පුද්ගලයෙකුගේ හිතට කම්පනයක් ඇති කරන්නට ඉඩ තියෙනවා. “අත් පොරොව” කතාවේ එන ඒ අත්දැකීම අමු අමු එකක්. හොඳ වෙලාවට ඉඟියක් මිස කෙළින් කීමක් මෙහි නැහැ. මේ කතාවට ළඟින් යන අදහසක් ඇති කෙටිකතාවක් මං මීට පෙර කියවලා තියෙනවා වගේ හැඟීමක් ලාවට ආවා. සමහරවිට ඩෝසන් ප්‍රීති ලියූ එකක් විය හැකියි.

“පිරිත් කියනවා, මිනිත් මරනවා” නම් නිර්මාණය නම් භයානක චරිත සහ අපරාධ සම්බන්ධ වුණත් ඒ මාතෘකාවෙන් ම පෙනෙන පරිදි උපහාසය කැටි වූ එකක්. මෙහි එන නෑබොඩ සිල්වතා නම් උපාසකයා මට සිහි කළේ මතක විදිහට ජයන්ත චන්ද්‍රසිරිගේ “ඇඩ්රස් නෑ” කියන සිනමා නිර්මාණයේ කමල් අද්දරආරච්චි කළ චරිතය. නෑබොඩ කියන්නේ නම් කළුතර දිස්ත්‍රික්කයේ පස් දුන් කෝරළේ ගමක්. අජිත් පැරකුම් ජයසිංහලා ගේ ගෙවල්වලටත් කිට්ටු ඇති.

“ගංවතුරේ නයනා” කියන්නේ අර්ධනාගරික ජීවිතවල දුක්ඛ දෝමනස්සයේ එක පැතිකඩක් කියවෙන කතාවක්. මං හිතන්නේ ලේඛකයා මේක ලිව්වේ ඔහු එක්සත් ජාතීන්ගේ ඒජන්සියක සේවය කරන කාලය විය යුතුයි. ඒ දවස්වල ලංකාවේ විවිධ පළාත්වලට ගංවතුර ගලළා තිබුණා. මට මතකයි මේ කතාව ෆේස්බුක් එකේ මං කියෙව්වා.

“පුංචි පැදුර” කියන්නේත් කාන්තා දෘෂ්ටිකෝණයකින්, ඇත්තටම මෙහි දී නම් පොඩි ගැහැණු දැරිවියක ගේ, ලියවුණු කෙටිකතාවක්. කියවගෙන යනකොට නම් අතීතකාමී, ග්‍රාමීය සුන්දර පරිසරය ගැන සහ ඒ සුන්දරත්වය යටින් ජීවත්වෙන දුක්බර චරිත පිළිබඳ ලියවුණු සරල කතන්දරයක් කියා සිතුනත් කියවලා අවසානවුණාට පස්සේ තමයි මට හිතුණේ මේකෙ ඊට වැඩිය ලොකු බරක් තියෙනවා ය කියා. නැවත වරක් කියවන්න ඕනේ.

අවසාන කෙටිකතාව වෙන “හකුරු වෙහෙර” මං හිතන්නේ අජිත් අධිතාත්වික රීතියකින් ලියා තිබෙන්නේ ලංකාවේ සංඝ සමාජයේ මෙන්ම බුද්ධ ශාසනයයි කියාගන්නා සංස්ථාවේත් පරිහානිය ගැන කියන්න විය යුතුයි. පිටු තුන හමාරයි, ඉතා සංශිප්තයි. හැබැයි රසිකයාට පෙනෙන්නේ ලේඛකයා අදහස් කළ දේ නම් නොවෙන්න පුළුවන්.

කෙටිකතා සංග්‍රහයේ එන හයවෙනි කතාව තමයි “චීලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට්”. දෙපාරක්ම කියෙව්වත් තේරුණේ නැහැ. ඒ නිසයි ඒ ගැන කතාකිරීම මේ සටහනේ අන්තිමට තියාගත්තේ.

චීලා කියන්නේ උකුස්සෙක්. ඒ උකුස්සා සහ කතාව කියන්නා හෙවත් නැරේටර් අතර සංවාදය තමයි කෙටිකතාව.

මේ කතාව දෙවැනි පාරට කියවද්දී මට මතක්වුණේ මීට දශකයකට පමණ කලින් ලියනගේ අමරකීර්ති ලියූ “අළු පැහැති ආරංචි” කියන කෙටිකතා එකතුවේ ආ ඒ නමින්ම යුතු කෙටිකතාව.

ඔය කතා දෙකම කියවලා තිබෙන අය මගේ ඒ ප්‍රකාශයට කලබල වෙන්න එපා. ඒ ලියනගේ අමරකීර්තිගේ කතාවයි, මේ ලියනගේ ජයසිංහගේ කතාවයි අතර අන්තර්ගතයේ නම් කිසිම සමානත්වයක් නැහැ තමයි. නමුත් පුද්ගලිකව මට මේ කතා දෙකේ ඇති සමානකම වන්නේ කෙටිකතා දෙක ම, දෙපාරක් ම, කියෙව්වත් මට ඒ දෙකේම අදහස තේරුණේ නැති එකයි.

පසුගිය වසරේ හොඳම කෙටිකතා එකතුවේ අත්පිටපත ලෙස විදර්ශන සාහිත්‍ය සම්මානය දිනූ “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහයේ ප්‍රකාශනය විදර්ශන සමාගමයි. ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඇණවුම් කරන්න හැකියි. මං හිතන්නේ මට ගියේ රුපියල් හාරසිය ගාණක්.

පොත් ඔන්ලයින් ඇණවුම් කරන කොට, පොත් කඩේකදී පොතක් ගන්න කලින් කරනවා වගේ පෙරවදන, පසුපිට, පිටු දෙකතුනක් කියවන්න බෑ නේ. රෙදි කඩේක දී වගේ ඇඳුම් ෆිටෝන් කරලා බලන්නේ නැතුව, ඔන් ලයින් ඇඳුම් ගන්නවා වගේ.

ඉතිං “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහයේ සාම්පලයක් අවශ්‍ය කෙනෙකුට අජිත් පැරකුම් ජයසිංහගේ ෆේස්බුක් අඩවිය හරහා එයින් කෙටිකතා කීපයක් ම කියවන්න පුළුවන්. මාත් අවුරුදු දෙක තුනක පමණ සිට මේ කෙටිකතා මුල්වරට කියෙව්වේ එහෙමයි.

- රසික සූරියආරච්චි

ප/ලි:
ෆේස්බුක් එකේ මං කලින් දවසක දාපු පොඩි සටහනකට ප්‍රතිචාර දක්වපු මේ කෙටිකතා පොත බස් එකක යන එන ගමන් කියවපු අයෙක් ලියා තිබුණා “සූදුරු අබා” හා සම්බන්ධ අපූරු සසම්භාවී අත්දැකීමක් ගැන.

ඊටත් වඩා අපූරු අත්දැකීමක් මට තියෙනවා “සූදුරු අබා” කෙටිකතාවට සමාන කතාවක් ඇති වෙනත් පොතක් කියවීම ගැන. ඒ කතාව ෆේස්බුක් එකේම ලියන්නම්.

(image: )

Tuesday, 20 December 2022

බිරිඳ ලියූ ගීතය - මල් වැස්සේ :: The song she wrote


මා ප්‍රිය බිරිඳ, (රණවක තන්ත්‍රිගේ) පුෂ්පා කුමාරී සූරියආරච්චි, පදපෙලක් ලිව්වා ය.

යමෙකු ලියන කවිපද කිහිපයක් ගීතයක් වන්නේ ඒවාට තනුවක් සම්පාදනය වී, සංගීතය නිමැවී, වැයී, ගායනය වූ විට ය. මේ ගීතය එලෙස බිහිවී දැන් මාස කිහිපයකි.

එය පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුබිම් කරගත් ගීතයකි. එහි අන්තර්ගතයේ, ඇය 2019 දී ලියා පළ කළ Lost in Floral Rain නවකතාවට සම්බන්ධයක් ඇත. එසේම, ඇය ලියූ පළමු ගීතය ද මෙය වේ.

නමුත් අද වන විට ගීතයක් යනු සංගීතය සහ ගායනය පමණක් නොවේ. ගීතය සහිත වීඩියෝ පටයක් ද තිබිය යුතු ය. බොහෝ දෙනා ගී අසනවා පමණක් නොව නරඹනවා ද වන බැවිණි.

එලෙස නිපදවනු ලැබූ ගී වීඩියෝව පෙරේදා යූටියුබයට එකතු විය.

ගේයපද: පුෂ්පා සූරියාරච්චි
සංගීත නිර්මාණය: විශාරද රුක්මලී කුලතිලක
ගායනය: රුවී නිම්නදී

වයලීනය: රවි කුලතිලක
ගිටාරය: අර්ජුන ද සිල්වා
තාල තරංග: දිනේෂ් පෙරේරා


පදමාලාව මෙසේ ය.

තුරුලිය සරසන කුසුමින් නැහැවුණ
රෝස පාට මල් වැසි වැස්සා
රොබරොසියා තුරු පාමුල මල් වැසි
මල් වැසි, මල් වැසි, ඇද හැලුණා

ශිල්ප කරන්නට නවකයින් ඇවිත්
මල් වැස්සේ මංමුළා වෙලා
පාද තබා කඩිසර ගමනින්
මල් වරුසාවේ සිනාසෙමින්
මල් වැස්සේ මංමුළා වෙලා

මල් පිරි පාවඩ පලස් එළාලා
සුමට සුමුදු මල් ඇතිරිල්ලේ
සෙමින් සෙමින් පරිස්සමින්
ඇවිද ඇවිද යමු සිතින් දරාගෙන
රොබරොසියා මල් මල් සිහිනේ


ගේයපද: පුෂ්පා සූරියාරච්චි පෙර සඳහන් "Lost in Floral Rain" කෘතිය පිළිබඳ සියළු තොරතුරු රැගත් බ්ලොග් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් ද ඇත.


බ්ලොග් අඩවිය: https://lostinfloralrain.blogspot.com/

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/Lost-in-Floral-Rain-1298502120314539/



-රසික සූරියආරච්චි

(image: edited from an PeraBeats image)

Wednesday, 12 July 2017

කෙළින් මිනිහා! - In memory of Don Baldwin Kuruppu


දොන් බෝල්ඞ්වින් කුරුප්පු හෙවත් ඞී බී කුරුප්පු ලේඛකයා ගේ මරණය අසා මට ඇති වූයේ අමුතුම ආකාරයක, එනම් දුක වැඩියෙන් ද, ඒ අස්සේ තරමක හෝ සතුටක් ද එකට මිශ‍්‍ර වූ හැඟීමක් බව මුලින් ම පවසමි.

මෙල්බර්න් නගරයට පැමිණි දිනයක එක් වරක් හෝ ඔහු හමු වී මුහුණ බලා කතා කර තිබුණු නිසා ද, දින කිහිපයක් ම දුරකථනයෙන් ද කතා කර තිබුණු නිසා ද, ඊටත් වඩා වසර විස්සක් පමණ කාලයක් තිස්සේ ඔහු විසින් රචිත කොටස් කිහිපයකින් යුතු ඔහුගේ ජීවිත කතාව, පරිවර්තන සහ විවිධාකරායේ වෙනත් කෘති මෙන් ම, "කස්තිරම", "පූච්චානම්", "පූරනීතෙ", "ලියෝ රූ" යනා දී විවිධ මාසික පුවත්පත් කොළම් ද කියවා ඔහු සමග දැඩි සාහිත්‍යමය හිතවත්කමක් ද ඇති වී තිබුණු නිසා ද, ඞී බී කුරුප්පු ගේ මරණය ගැන මට අසා දුකක් ඇති වීම නම් පුදුමයක් නොවේ.

එහෙත් මේ මරණය ගැන ලැබුණු ආරංචිය මගේ සිතේ යම් ආකාරයක සතුටක් ද ජනිත කළේ ඇයි?

ඞීබී කුරුප්පු සාහිත්‍යධරයා විසින් ලියන ලද ලේඛන උනන්දුවෙන් කියවා ඇති, ඒ පිළිබඳ හොඳ ධාරණ ශක්තියක් ද ඇති අයෙකුට වැටහෙනු ඇති පරිදි, මගේ ඒ මද සතුටට හේතුව නම්, අපේ ආදරණීය ලේඛකයා මෙලොවින් නික්ම ගියේ තව දුරටත් මෙහි ඉඳීම අනවශ්‍ය බව තමන්ට හැඟුණු නිසා බව මා තරයේ විශ්වාස කරන නිසා ය.

ඔහු ලියූ එක ම ප‍්‍රබන්ධය ලෙස මා දන්නා "එක්තරා පේ‍්‍රම කතාවක්" කෙටි නවකතාවේ දී ඞී බී කුරුප්පු එහි ප‍්‍රධාන චරිතය වූ "සිරිල්" හරහා අපට පවසා සිටියේ එයයි.

අසනීපයෙන් සිටින මහලු ඥාතියෙකු බැලීමට රෝහලට යන සිරිල් (පිටු 46-47) රෝගියාගෙන් අහන්නේ "කොහොම ද? දැන් යන්න ලෑස්ති ද?" කියා ය. එතෙක් මේ ප‍්‍රශ්නයට කෙළින් මුහුණ නොදී සිටි ඥාතීහූ ද, ඔවුන් නිසා නිහඬව සිටි රෝගියා ද, සිරිල් ගේ ඒ මැදිහත් වීම නිසා පියවි ලොවට පිවිසෙන අතර, මහලු රෝගියා එදින රාත‍්‍රියේ සුව නින්දේ දී ම අවසන් ගමන යයි.

අප පෙර දිනක මෙහි ආවා නම්, මතු දිනක චුත වී යාමට ද නියමිත ය. එය අද විය හැක. හෙට විය හැක. වෙනත් දිනයක් විය හැක. මෙය අප හොඳින් ම දන්නා පරම සත්‍යයකි. එකම ප‍්‍රශ්නය වන්නේ, ඒ නික්ම යාම සිදුවන්නේ කොයි දින දැ යි අප කලින් නොදැන සිටීම පමණි.

මේ සම්බන්ධයෙන් මා සිතන්නේ අප තවත් එක් දිනක් වැඩිපුර ජීවත්වීම සඳහා දැරිය යුතු ප‍්‍රයත්නය, ඒ දිනය ජීවත්වීමෙන් අපට ලැබිය හැකි ප‍්‍රයෝජනයට වඩා වැඩි නම්, ඒ අමතර දිනය ජීවත්වීමෙන් පලක් නැති බවයි.

ඞී බී කුරුප්පු තමන් නික්ම යා යුතු ඒ දිනය තමන් ම තෝරා ගත්තා යැයි සිතන්නට මා කැමති ය. එය ඔහුට කරන ගෞරවයක් ලෙස මම සලකමි.

දැන් මදක් අතීතයට යමු.

මීට දශක දෙකකට පමණ පෙර මා මෙල්බර්න් නගරාසන්නයේ ජීවත් වූ සමයේ එක් ඉරිදාවක සිංහල ගුවන්විදුලි සේවයකින් ඇසුණු පුවතක් වූයේ මෙල්බර්න් හි වෙසෙන ලේඛකයෙකු "ලංකාවක් වගේ පුංචි" නමින් ග‍්‍රන්ථයක් රචනා කර ඇති බවයි. මේ ලේඛකයා යනු, මා අටවෙනි ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබන කාලයේ ත්‍යාගයක් ලෙස ලැබී කියවා, දිගින් දිගටම රස විඳි, "මැංචෝසන් චාරිකා" නම් අපුරු ග‍්‍රන්ථයේ පරිවර්තකයා බව දැනගත් විට මට ඔහු ගේ මේ අලූත් කෘතිය කියවන්නට ආශාවක් ඇති විය. දින කිහිපයකට පසු මා එය ක්ලේටන් හි පිහිටි ”ඒෂියන් ෆුඞ් සෙන්ටර්” කඩයෙන් මිලට ගනිද්දී, මට කලින් භාණ්ඩයක් මිලට ගෙන කඩයෙන් නික්ම ගිය පුද්ගලයා පෙන්වමින් එහි සිටි පද්මිණී මා සමග කීවේ ඒ පිටව ගියේ මා මිලට ගන්නා "ලංකාවක් වගේ පුංචි" කෘතියේ රචකයා බවයි.

එදා එලෙස "කෙස් ගසෙන් මිස් වුණු" ඔහු සමග මුහුණට මුහුණ දී කතා කිරීමේ අවස්ථාව අවසානයේ දී මට ලැබුණේ ඉන් වසර දොළහකටත් වඩා ගෙවුණු පසුව 2010 මැයි මාසයේ දී ජගත් ජේ එදිරිසිංහ ගේ "ඉස්කෝලේ කාලේ" කෘතිය (සහ තවත් නිර්මාණ) දොරට වැඩූ අවස්ථාවේ දී ය.

නමුත්, ඒ වන විට මා ඔහු ගේ ස්වයංචරිතාපදානයේ කොටසක් වන "හැන්දෑවට පායන හිරු" සහ වෙනත් කෘති කිහිපයක් ද කියවා තිබුණු අතර, මා දැන් වාසය කරන සිඞ්නි නගරයේ සිට ඔහු සමග දුරකථනයෙන් ද කතා බහ කර තිබුණු නිසා ඒ හමුවීමේ තිබුණේ හොඳ හුරු පුරුදු බවකි.

එසේ ම, ඒ කාලය වන විට සන්නස සඟරාවට විවිධ ලිපි ලියමින් සිටි මගේ අංකුර ලේඛක ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වූයේ තමා විසින් ලියන ලද "සරල සිංහල වියරණ විධි" නම් ග‍්‍රන්ථයේ පිටපතක් ඞී බී කුරුප්පු විසින් මගේ නිවසට තැපෑලෙන් එවනු ලැබීමයි. මා සන්නසට ලියමින් සිටි "පමා නොවී එමි අකුරට" තීරු ලිපි මාලාව තමන් ආශාවෙන් කියවන බව ද කියවෙන සටහනක් ද ඒ සමග එවන්නට තරම් ඔහු නිහතමානී වී තිබුණි.

ඊළඟට ඔහු කළේ, ඒ ආකාරයේ ම ලිපි මාලාවක් පහන සඟරාවට ද ලියන්නට හැකිදැයි හේමමාලා හේරත් හරහා මගෙන් විමසීමයි. ඒ අනුව මා ලියූ "කොලූ කාලේ" ලිපි මාලාවේ සෑම කොටසක් ම, ඔහු විසින් කියවා බලා අනුමත කළ බව මම දනිමි.

එපමණක් නොවේ, එතැන් පටන් ඔහු විසින් ලියා මුද්‍රණය වූ කෘති විශාල සංඛ්‍යාවක් ද ඞී බී කුරුප්පු ලේඛකයා විසින් මට ත්‍යාග ලෙස තැපෑලෙන් එව්වේ ය. ඒ අතරට ඔහු කළ විශිෂ්ටත ම පරිවර්තනය වූ "අර්බත් දරුවෝ" නම් දීර්ඝ නවකතාවේ කොටස් හත ම ඇතුළත් වීම සුවිශේෂී වේ.

විශ්ව සාහිත්‍ය පරිවර්තන කෘති සහ තම අත්දැකීම් ඇසුරෙන් ලියන ලද කතාංග සහිත ග‍්‍රන්ථයන්ට අමතරව, ඞී බී කුරුප්පු ලේඛකයාගෙන් විශේෂයෙන් ඕස්ටේ‍්‍රලියානු සිංහල සමාජයට ලැබුණු වැදගත් ම ලේඛන දායාදය වූයේ තමන් ගේ දශක අටක ජීවිතය මෙන්ම, එයින් මෙල්බර්න් නුවර ගත කළ කාලයේ දී කරනු ලැබූ සූක්ෂම සමාජ නිරීක්ෂණ ඇසුරෙන් ලියන ලද තීරු ලිපි මාලා ය.

ඒ ලිපිවල ගැබ්වූ දේශපාලන අදහස් නිවහල් ය. සමාජමය නිරීක්ෂණ නිරවුල් ය. අන්තර්ගතය මෙන් ම ඉදිරිපත්කිරීම ද සැම අතින් ම විශිෂ්ට ය. වරද දුටු තැන කිපී ඔහු ලියන දේ සෑම විට ම එක එල්ලේ දිවෙන හී සර මෙන් දරුණු ය. අතිශය උපහාසාත්මක ය.

මෙහි ලා, සඳහන් කළ යුතු වැදගත් කාරණයක් නම්, අපේ ආදරණීය ලේඛකයා ගේ ලේඛන කලාවේ තිබූ එක් අද්විතීය ලක්ෂණයක් වූයේ තමන්ට කිව යුතු දෙය, කවරෙකුට රිදෙයි ද, කවරෙකු අමනාපවේ ද යන්න නොව, තම අදහස පැවසීමේ ඇති වැදගත්කම පමණක් සලකා, එක එල්ලේ ලිවීම බවයි.

ලේඛන කලාව පිළිබඳව මා ඔහුගෙන් උගත් හොඳ ම පාඩම ද එයයි.

ඞී බී කුරුප්පු විසින් ලියන ලද "කපුටන්ට ආප්ප අරගෙන දීම" නම් ලිපිය නිසා කෝප වී ලංකාවේ පුරුද්දට ඕස්ටේ‍්‍රලියාවේ ලේඛකයින්ට තර්ජනය කළ රාජපුරුෂයින් ගේ නිරුවත පසුව හෙළි වූ බව අපි දනිමු. ඔවුන් පමණක් නොව, විවිධ අවස්ථාවල විවිධ පටු අරමුණු සහිතව මාධ්‍ය සංදර්ශන පවත්වනවුන් ගේ ද, ලංකාවෙන් මෙහි පාත්වන සාහිත්‍යධරයන් යැයි කියා ගන්නා උදවියගේ ද, සිවුරු පොරවාගත් පුද්ගලයින් ගේ ද, සැබෑ ප‍්‍රතිබිම්බය හෙළි කිරීමට ඔහු ගේ ලිපිවලට හැකිවිය. ඔහුට වැරදුණු තැනක් වුණි නම්, ඒ ඕස්ටේ‍්‍රලියානු මෑත දේශපාලන ඉතිහාසයේ එක් කඩඉමක් අරඹයා "ලේතමාගමනය" නමින් ලියවුණු ලිපිය පමණක් බව මගේ අදහසයි.

ඞී බී කුරුප්පු හා මගේ සාහිත්‍යමය මිත‍්‍රත්වය ගැන සිතන විට මගේ සිතට දුකක් ඇතිවන එක් කාරණයක් ඇත. ඔහු මට එවූ වෙළුම් හතකින් යුතු "අර්බත් දරුවෝ" දීර්ඝ නවකතාව කියවීම ඇරඹීමට ම මට වසරක් පමණ කල් ගත විය. එය සහමුලින් ම කියවා අවසාන කිරීමට මට ඊටත් වඩා කාලයක් ගත විය. මා ඔහු ලියූ "දානයේ ආනිසංස" නම් වූ කෘතිය පිළිබඳව හැකි පමණින් විචාරයක් ලියූ අතර එය සන්නස පුවත්පතේ ම පළ වූ නමුත්, මේ අති දීර්ඝ "අර්බත් දරුවෝ" පිළිබඳව මට එසේ කිසිවක් කළ නොහැකි විය. පසුව, ඞී බී කුරුප්පු විසින් ම ලියන ලද ලේඛනයකින් මා දැන ගත් පරිදි, ඔහු තමන්ගේ ඒ ප‍්‍රශස්ත ම පරිවර්තනයේ පිටපත් යවා ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ සිට ලියන කියන අප කාගේත් සිහිනයක් වන සිංහල සාහිත්‍යය ලෝකයට විවර කිරීමේ ශක්‍යතාවය ඇතැයි ඔහු සිතන අයට ය. දිගු කලක් ගතවීත්, ඒ කිසිවෙකු අඩු වශයෙන් ඒ පොත් කියවූ බව හෝ සඳහන් නොකිරීම ඔහු ගේ කනස්සල්ලට හේතු වී තිබුණි. වහා දුරකථනයෙන් ඔහු ඇමතූ මම, කාලයක් ගත වූවද, තවත් තිදෙනෙකු ද, මා ද ඒ පොත් සියල්ලම කියවූ බව පවසා සිටියෙමි. පසුව, සිඞ්නි නගරයේ විකාශයවන මධුර සිංහල ගුවන් විදුලි වැඩ සටහනේ දී මා ඒ පොත් පිළිබඳව යම් හැඳින්වීමක් කළෙමි.
ඒ ගුවන් විදුලි හඬපටය සොයා ඔහුට තැපෑලෙන් යවන්නෙමි යැයි සිතා සිටිය ද, එය අවසානය දක්වාම කළ නොහැකි වීම, මා පෙර සඳහන් කළ දුකට කාරණයයි.

මේ ලිපියේ ඉහළින් ම මා, ඞී බී කුරුප්පු ලේඛකයා හඳුවා දී ඇත්තේ "කෙළින් මිනිසා" යනුවෙනි. ඒ ඔහු තමන් ලියූ සෑම මාතෘකාවක් ගැනම තම අවංක අදහස එක එල්ලේ පවසන්නට මැලි නොවූ අයෙකු බව මා නිරීක්ෂණය කර ඇති නිසා ය.

මේ සඳහා මා දුටු මෑත කාලීන උදාහරණයක් වන්නේ, මේ වසරේ මාර්තු මාසයේ දී මෙලොව හැර ගිය සේනාධීර පියසේන ජ්‍යෙෂ්ඨ ලේඛකයා පිළිබඳව "පහන" සඟරාවේ අප‍්‍රියෙල් කලාපයට ඞී බී කුරුප්පු ලියූ ලිපියේ අවසාන කොටසයි.
"නොබෝ දා උත්සවාකාරයෙන් දොරට වැඩම වූ ආචාර්ය රනිල් වික‍්‍රමසිංහ ගේ චරිතාපදානය ගැන ඇසූ මට හිතුණේ එස් පියසේන වැනි වියතෙකු ගේ චරිත කතාව දේශපාලකයෙකු ගේ හෝ ආගමික නායකයෙකු හෝ කතාවට වඩා රටටත් ජනතාවටත් වැඩදායක නොවන්නේ ද යන අදහස ම ය. මා තුළ හටගත් ඒ කාංසාව දුරු කිරීමට සමත් සත්ක‍්‍රියාවක් පෙබරවාරියේ ශ‍්‍රී ලංකාවට ගිය ”සිහ නඳ” සංස්කාරක විල්ෆ‍්‍රඞ් සිරිවර්ධන විසින් කියනු ලැබී ය.

මාධ්‍යවේදී දයා ලංකාපුර අල්ලාගෙන තමා පියසේන චරිතාපදානය සම්පාදනය කිරීමේ වගකීම ඔහුට පැවරීම ය ඒ. ඒ පොතේ පිටපත පියසේන මහතා මිය යාමට පෙර අනුමත කිරීම ද අපේ වාසනාවක් ම ය.

ලක්ෂ්මන් වික‍්‍රමසිංහ පියතුමාගේ ඥාතිපුත‍්‍ර බෞද්ධ ලේඛක රනිල් වික‍්‍රමසිංහ ගැන ලියූ චරිත කතාවට ඇතුළත් නොවූ නම් දෙකක් ඇති බව මට කිව හැකි ය. 'බටලන්ද' සහ 'ගෝනවල සුනිල්' යන මේ දෙක ය.

චරිත කතාවකින් පලක් ලද හැක්කේ හොඳ නොහොඳ දෙකම විග‍්‍රහයට ලක් කළහොත් පමණි."
අපේ ආදරණීය ලේඛක ඞී බී කුරුප්පු, "කෙළින් මිනිහා", තමන් ගේ ජීවිත කතාව කොටස් කිහිපයකින් ලියා පළ කොට ඇති බව අපි දනිමු. මුලින් සකස් කළ අත්පිටපත් සැර වැඩිය කියා ඉවතට දමා අලූතෙන් ම ලියා තිබුණ ද, රනිල් වික‍්‍රමසිංහ ගේ පළ වූ චරිතාපදනය මත පදනම්ව, ඉදිරියේ දී පළ වීමට නියමිත සේනාධීර පියසේන ගේ චරිතාපදානය සඳහා අවවාදයක් ලෙස ඞී බී කුරුප්පු ලේඛකයා පවසා ඇති ඉහත සඳහන් ඒ වැදගත් කාරණය, එනම් චරිත කතා ලිවීමේ දී හොඳ නොහොඳ දෙකම එක සේ විග‍්‍රහ කළ යුතු බව සහ "බටලන්ද", "ගෝනවල සුනිල්" වැනි නම් සැාගවිය නොයුතු බව, තම ස්වයංචරිතාපදාන ග‍්‍රන්ථකරණයේ දී ඔහු ම අනුගමනය කරන්නට ඇතැයි මම සිතමි.

ඔහු ගේ අභීත රචනා ශෛලියට කවදත් දැඩි කැමැත්තක් දැක් වූ මට, ඞීබී කුරුප්පු ගැන ලියවෙන මේ ලිපියට එසේ ඇතුළත් නොකර සිටිය නොයුතු නම් දෙකක් නොව එකක්වත් සිතා ගත නොහැකි වූ බව අවසාන වශයෙන් පවසමි.

-රසික සූරියආරච්චි

සන්නස මාසික සඟරාව සඳහා ලියූ ලිපියකි.
1. http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page39.pdf
2. http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page41.pdf

Sunday, 25 June 2017

සිංහල මැංචෝසන් සාමි ගේ නික්ම යාම - In memory of Don Baldwin Kuruppu


අප බොහෝ දෙනෙකු කුඩා කළ සිටම කතන්දර ඇසීමට ප්‍රිය කළ අය වෙමු. අකුරු නොදන්නා කුඩා කාලයේ අපේ කතන්දර ඇසීමේ සා පවස නිවුණේ වැඩිහිටියන් කියූ ”එකමත් එක කාලයක” අච්චුවේ කතන්දර ඇසීමෙනි. පරම්පරා ගණනාවක් තිස්සේ පැවතෙන ඒ ගැමි කතා අපේ සිත්වල ඇති කළේ අපූරු චමත්කාරයකි.

පසුව කෙමෙන් කෙමෙන් අකුරෙන් අකුරු ගැට ගසන්නට අපට හැකිවුනු සමයේ දී, "සාමා-අමර" පාඩම් පොතෙන් ඔබ්බට කියවන්නට ළමා කතන්දර පොත් අපට එතරම් නොතිබුණි. පාසලේ පහළ පන්තිවල දී අමතර කියවීම් ලෙස අභව්‍ය සුරංගනා කතන්දර පොත් කිහිපයක් ද රුසියන් ළමා කතා පරිවර්තන පොතක් ද කියවු බව මගේ මතකයයි. අද තරම් ප්‍රමාණයක් ළමා කතා පොත් එකල ලංකාවේ මුදුණය නොවුණු බව පැහැදිලිය.

ළමා පොත් වෙනුවට අපට ලේක් හවුස් ප්‍රකාශනයක් වූ "මිහිර" පත්තරය තිබුණි. මා ප්‍රාථමික පාසලේ උගන්නා කාලයේ මිහිර පත්තරයට ලියූ කවියක් එහි පළවීම නිසා අමන්දානන්දයට පත්වූ හැටි තවමත් මගේ සිතේ රැඳී ඇති තවත් එක් සොඳුරු මතකයකි.

මිහිර පත්තරය වසර කිහිපයක් කියවීමෙන් පසු ළමා සිතක් එයින් ඔබ්බට පය තබන්නට සිතනු අපේක්ෂා කළ යුතුය. මා එම පිම්ම පැන්නේ පාසලේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අවදියේ දී අපේ නිවසේ තිබී හමුවුණු ගුණදාස ලියනගේ ලියූ "මුළු හදින් මම ඇයට පෙම් කොට" නමැති නවකතාව කියවීමෙනි. "අඹ යහළුවෝ" සහ "මඩොල්දූව" ළමා නවකතා මා කියවූයේ ඉන් පසුව පස්වෙනි ශ්‍රේණියේ දී ය.

ද්විතීයික අධ්‍යාපනය සඳහා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ගිය පසු අපට ලැබුණු එක් වරප්‍රසාදයක් වූයේ පාසල් පුස්තකාලයෙන් පාසල් වාරයකට පන්තියට දුන් පොත් හතළිහකින් වරකට එක බැගින් නිවසට රැගෙන ගොස් කියවීමට හැකිවීමයි. පසුව මට "ගුණසේන ළමා පොත් සමාජය" ට බැඳී තැපැල් මගින් පොත් ගෙන්වා ගැනීමට ද හැකි වීය. නමුත්, මෙලෙස මා කියවූ බොහෝ පොත් භාෂා විලාසය අතින් අති නීරස ඒවා විය. එයට හේතුව, ගුණසේන සමාගම විසින් අඩු මුදලක් නියම කර ළමා පොත් සමාජයට එක් කරන්නේ විකුණාගත නොහැකි නීරස පොත් නිසා විය යුතු බව මට පසුව වැටහිණි.

මේ සියල්ල වෙනස් වූයේ මා අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී උදාවුණු ඔක්තෝබරයේ එක් සෙනසුරාදාවක ය. එදා මම ජීවිතයේ මුල්වරට පිටකොටුවේ "ගුණසේන" පොත් සාප්පුවට පිය නැගුවෙමි. මහල් ගණනාවක පැතිරුණු ඒ විසල් ආයතනය දැක මට "කඩවත" නම් වූ නව දැලි හේනේ පිහිටා තිබූ අප පාසල් පොත් මිලට ගත් "මහජන පොත්හල" නමැති වැඳිරිය වහා සිහිවිය.

මගේ ආදරණීය සුනීතා පුංචි අම්මා ගේ අනුග්‍රහයෙන් මට එදා ලැබුණු පොත් අතරින් අද ද මගේ මතකයේ රුඳී ඇති සුවිශේෂී කෘති දෙකක් වේ. මේ පොත් දෙක ම පරිවර්තන කෘති වීම ද විශේෂයකි. ඉන් පළමුවැන්න නම් "ඇලෙක්සැන්ඩර් ඩූමා" නම් ප්‍රංශ ජාතික නවකතාකරුවා ගේ "ද කවුන්ට් ඔෆ් මොන්ට ක්‍රිස්ටෝ" නවකතාවේ සිංහල පරිවර්තනයවූ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නම් වූ කෘතියයි. මුදල් බලයෙන් මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කළ කී දේ පිළිබදවා කියවා සිත කුල්මත් වූවද, එය එක්තරා ආකාරය පරාජිත කතාවක් විය. ඒ සිතුවිලිවලින් මා ගලවා වචනයේ අර්ථ පරිසමාප්තාර්ථයෙන් ම මා සිතට වික්‍රමාන්විත සිතුවලි ගෙන දුන්නේ එදා මට ලැබුණු දෙවන පොත, එ නම්, "රුඩොල්ෆ් රාස්ප්" ගේ "ද සර්ප්‍රයිසින් ඇඩ්වෙන්චර්ස් ඔෆ් බැරන් මැන්චෝසන්" (The Surprising Adventures of Baron Munchausen by Rudolph Erich Raspe) කෘතියේ සිංහල පරිවර්තනය වූ "මැංචෝසන් චාරිකා" නමැති කෘතියයි.

කතාවේ අන්තර්ගතයට ම නිවැරදිව ගැලපෙන පරිදි සැකසුණු බසකින් ලියවී තිබුණු මේ පරිවර්තන කෘතිය පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ ඩීී.බී. කුරුප්පු ගේ හපන්කමක් විය.

මැංචෝසන් සාමි ගේ වික්‍රමයන් පිළිබඳව කියවන්නට පටන් ගත් විගසම ඒවා අමූලික බොරු බව හොඳින් තේරුම් ගියද, ඒ කතන්දර ලියා ඇති සරල භාෂා විලාසය සහ අන්තර්ගතයේ ඇති අපූර්වත්වය නිසා පොත දෙතුන් වරක් කිය වූව ද කිසිසේත්ම එය නැවතත් කියවීමේ ආශාව අඩු නොවේ. මේ පොත් පිංච, උපහාසය හා හාස්‍යය කැටිකොට ගත් රචනා විලාශයක් ප්‍රිය කරන රචකයෙකුට අත් පොත් ම වන බව පසුගිය දා මෙහි දෙවන මුද්‍රණයේ පිටපත් කියවද්දී මට සිතුණි.

අද බ්ලොග්කරුවෙකු ලෙස මා නොකඩවා සිංහලෙන් ලියන්නේ "මැන්චෝසන් චාරිකා" කියවා එදා ලද වින්දනය නිසා යැයි මට සිතේ.

වෙනත් වචන වලින් කිවහොත්, එදා අටේ පන්තියේ දී මා ඇරඹූ ඒ අපූරු "මැන්චෝසන් චාරිකාවේ" මම අද ද නිරතව සිටිමි.

මැන්චෝසන් සාමි ගේ අන්දර සිංහලෙන් ලියා මගේ සිත උත්තේජනය කළ, ඊට අමතරව තවත් විවිධ ග්‍රන්ථ පනහකට අධික ප්‍රමාණයක් සිංහලෙන් සහ ඉංග්ලිෂ් භාෂාවෙන් ලියූ, පරිවර්තනය කළ ඩී බී කුරුප්පු ලේඛකයා පෙරේදා මෙල්බර්න් නගරයේ දී තම ජීවන චාරිකාව නිම කළේ ය.

මේ ලිපිය ඔහු ගේ නාමයට උපහාරයක් ම වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
The Surprising Adventures of Baron Munchausen by Rudolph Erich Raspe කෘතිය ඔබ ඉංග්ලිෂ් භාෂාවෙන් මෙතැනින් කියවීමට හැකිය. මෙහි එක පරිච්ඡේදයක් අපේ අටවෙනි ශ්‍රේනිය සඳහා වූ ඉංග්ලිෂ් පාඩම් පොතට ඇතුලත් කර තිබුණි!
https://www.gutenberg.org/files/3154/3154-h/3154-h.htm

(image: https://www.facebook.com/DB-Kuruppu-544346445758395/)

Friday, 3 February 2017

තම නිර්මාණ සම්මාන සඳහා ඉදිරිපත් කීරීමෙන් ලේඛකයින් තත්වයෙන් බාල වෙනවා ද? - There is nothing demeaning about self nominating your creative work for awards!


පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තිබෙන්නා වූ සහ මත්තටත් තවත් ලියනට හිතේ ඇඳී ඇතිවාට සැක නැති මා මිත්‍ර අර්ධකාලීන ගත්කතුවරයෙකු මෙන්ම, "නීල චන්ද්‍ර" බ්ලොග්කරුවෙකු නිසා දෝ රූපවාහිනී සම්මුඛ සාකච්ඡා සහ පොත් එළිදැක්වීම් වැනි වැදගත් අවස්ථාවල දී ඒ තොප්පිය හිස ලෑම අමතක කරන සහෘද බ්ලොග්කරුවෙකු ද වන හෙන්රි වර්ණකුලසූරිය සහ මා අතර මෑත දවසක දී ෆේස්බුක් හි ඇති වූ කතාබහක් නිසා මේ ලිපිය ලිවීමට සිත්විය.

අපේ ඒ කතාබහට මූලාශ්‍රය සැපයූවේ 2016 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු ග්‍රන්ථ සඳහා රාජ්‍ය සම්මාන පිරිනැමීමට සලකා බැලීම සඳහා, ඒ අදාළ කෘතිවලින් පිටපත් දෙක බැගින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස පොත් ප්‍රකාශකයින්ගෙන් මෙන් ම ලේඛකයින්ගෙන් ද කෙරුණු ඉල්ලීමක් සහිත පුවතකි.

මෙතෙක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සඳහා සලකා බැලීම සිදු කෙරුණේ, අයිඑස්බී අංකයක් ලබාගෙන මුද්‍රණය කළ පසුව එයින් රාජ්‍ය ලේඛණාගාරයට පිටපත් යැවූ ග්‍රන්ථ බව පොත් හතක් අටක් ලියා දා නැති අපි ද දනිමු. එසේ සලකා බැලෙන ග්‍රන්ථ ලයිස්තුව දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර තිබෙනු ද මා දැක ඇත.

පෙර කී පුවතට අනුව මෙවර මෙසේ ප්‍රකාශකයින්ගෙන් සහ ලේඛකයින්ගෙන් පසුගිය වසරේ ප්‍රකාශයට පත්කරන ලද ග්‍රන්ථ පිටපත් ලබා දෙන ලෙසින් ඉල්ලීමක් කර ඇත්තේ සමීක්‍ෂණ ක්‍රියාවලිය වඩාත් විධිමත් සහ කාර්යක්‍ෂම කිරීමේ අරමුණෙනි.

මා දැක ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ මූලාශ්‍ර පුවත් නිවේදනය නොව, ඒ ගැන ලියවුණු පුවත් වාර්තාවක් පමණක් නිසා, තවමත් අපැහැදිලි කරුණක් නම්, මෙවර සම්මාන සඳහා ඔවුන් සලකා බලන්නේ මේ ඉල්ලීමට අනුව ලැබෙන ග්‍රන්ථ පමණක් ද, නැතහොත් වෙනදා අනුගමනය කළ ක්‍රියා මාර්ගය අනුව තව දුරටත්, ජාතික ලේඛණාගාරයට පිටපත් එවා ඇති පොත් ලයිස්තුව ද ඇතුළත් කරගන්නේද යන්නයි.

කෙසේ වෙතත්, වෙනදා සමීක්‍ෂණයට පොත් පිටපත් ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවට වැයවුණු මුදල (හෝ ඉන් කොටසක් හෝ) ඔවුන්ට මෙවර ඉතිරි කර ගැනීමට ලැබෙන බව නම් පෙනේ.

මේ කරුණ අරභයා හෙන්රි වර්ණකුලසූරිය සහ මා අතර ඇතිවුණු අදහස් හුවමාරුවේ තිබුණු විවාදාත්මක කරුණ වූයේ ලේඛකයින් සම්මාන ඉල්ලා පාලකයින් පස්සෙන් යා යුතුව ඇතැයි ඔහු මෙය අර්ථ දැක්වීම ය. මෙසේ සම්මාන සඳහා අයැදුම් කිරීම යනු ලේඛකයින් විසින් කළ නොයුතු සහ එසේ කළහොත් ලේඛකයින් පීචං වෙනවා ය (වචන මගේ ය) වැනි අදහසක් ද හෙන්රි වර්ණකුලසූරියගෙන් ප්‍රකාශ වී තිබුණි.

ෆෙස්බුක් ක්‍රියාකාරිකයෙකු වන මනෝරම වීරසිංහ ද, ඒ හා සමාන අදහස් මෙහි දී ප්‍රකාශ කර තිබුණි.

මේ ගැන මා එහි දී දැක්වූ (සහ අදාළ වෙනත්) අදහස් මෙසේ ය.

අප වැනි සාමාන්‍ය වැසියන්ට-
  • උප්පැන්න සහතිකයට අයැදුම් කළ යුතුය. උපත ලබා තිබුණු පමණින් සහතිකයක් ඉබේ පහළ නොවේ.
  • පාසල් අධ්‍යාපනය ඇරඹීමට අයැදුම් කළ යුතුය. නැති නම් සැමදා නිවසට වී සිටීමට සිදුවෙනු ඇත.
  • ශිෂ්‍යත්ව විභාගයට, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට අයැදුම් කළ යුතුය. පාසල් ගිය පමණින් ඒවා ඉබේ සිදු නොවේ.
  • උසස් පෙළ සමත් වීම ප්‍රමාණවත් නැත. විශ්වවිද්‍යාලයට යැමට අයැදුම් කළ යුතුය.
  • විවිධ ශිෂ්‍යත්ව සඳහා සහ අධ්‍යාපනය අවසානයේ රැකියා සඳහා ද අයැදුම් කළ යුතු ය.
  • අයැදුම් නොකර කිසිවක් ලැබෙන්නේ නම් ඒ ඉතා කලාතුරකින් සුවිශේෂී තත්වයන් යටතේ ය. ඒ සඳහා වුව ද, වෙනත් අයෙකු ඒ සම්බන්ධයෙන් ස්වාධීනව කටයුතු කර තිබිය යුතු වේ.
ඒ අප වැනි සාමාන්‍ය පුරවැසියන් සම්බන්ධයෙනි.

කලාකරුවන් ගැන සලකා බලමු.
  • සිනමා නිර්මාණයක් ලංකාවේ ප්‍රදර්ශනය සඳහා අයැදුම් කළ යුතුය.
  • එසේම සිනමා නිර්මාණ දේශීය/විදේශීය චිත්‍රපට උලෙළකට ඉදිරිපත් කිරීමට අයැදුම් කළ යුතුය.
  • රාජ්‍ය නාට්‍ය උලෙළට හෝ තරුණ නාට්‍ය උලෙළට නාට්‍යයක් ඉදිරිපත් කිරීමට අයැදුම් කළ යුතුය.
  • ඩී.ආර්. විජේවර්ධන, දයාවංශ ජයකොඩි, ගොඩගේ යනාදී නවකථා අත්පිටපත් තරගවලට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට අයැදුම් කළ යුතු ය.
ඉතිං, රාජ්‍ය සාහිත්‍ය උලෙළේ සම්මාන සඳහා සලකා බැලීමට තමන් ගේ කෘතියක් ඉදිරිපත් කිරීමේ ඇති වරද කුමක් ද?

එයින් ලේඛකයාට සිදුවෙන අවමානය කුමක් ද?

මා යම් දවසක වැරදීමකින් හෝ නවකථාවක් රචනා කළහොත් එය ඕනෑම සම්මාන උත්සවයක් සඳහා ඉදිරිපත් කිරීමට නොපැකිළෙමි.

තමන් කිසිදා සාහිත්‍ය සම්මාන පසුපස නොයන බව හෙන්රි වර්ණකුලසූරිය ගිය වසරේ ප්‍රකාශ කර තිබුණි. නමුත්, ස්වර්ණ පුස්තක සම්මානය වැන්නක් තමන්ට ලැබුණොත් එය ප්‍රතික්‍ෂේප නොකරන බව ඔහු මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කීවේ ය.

ගිය වසරේ ඔහු ලියූ "ඳඩ කඳවුර" නවකතාව රාජ්‍ය සම්මාන සඳහා ඉදිරිපත් කිරීම හෙන්රි විසින් නොකරනු ඇතැයි සිතමි. නමුත්, එය ඔහු කළ යුතු දෙයක් නොවේ. ඒ "ඳඩ කඳවුර" යනු කතෘ ප්‍රකාශනයක් නොවන බැවිනි. එය සුරස (ෆාස්ට් පබ්ලිෂින්) ප්‍රකාශක ගේ වගකීමයි.

එසේ ම, තමන් ගේ නොකී කතා බ්ලොගය නෙළුම් යාය සම්මාන සඳහා සලකා නොබලන ලෙස ද ඔහු ඉල්ලා තිබුණි.

ඇත්තටම නෙළුම් යාය සම්මාන සඳහා විවිධ තේමාවල බ්ලොග් ලිපි යෝජනා කිරීමට මේ කාලයයි. මෙහි දී, පාඨකයින් විසින් තමන් කැමති බ්ලොග් ලිපි සම්මාන සඳහා යෝජනා කරන විට, ලේඛකයින්ට ද තමන් ලියූ ලිපි ඉදිරිපත් කිරීම කළ හැකි විය යුතු ය.

ඒ සඳහා ළඟදී ම ආරම්භයක් දීමට මම අපේක්‍ෂා කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි

මෙන්න තවත් ජාතික මට්ටමේ සම්මාන උත්සවයක්. මේකටත් අයැදුම් කරන්න වෙනවා. ෆොටෝග්‍රැෆර්ස්ලා ගේ තත්වය අඩුවෙයි ද?


(imageL http://nokieekatha.blogspot.com.au/2015/09/blog-post.html)

Thursday, 24 November 2016

විමල් කුමාර් ද කොස්තා, මාලනී ෆොන්සේකා සහ එයා දැන් ලොකු ළමයෙක් - Just some goss


ලොකු ළමයෙක් යන යෙදුම ඇසෙන විට ම අපේ සිහියට එන්නේ ගෑල්ළමයින් ගේ මල්වර වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ.

"එයා දැන් ලොකු ළමයෙක්" යන නමින් කරුණාරත්න සපුතන්ත්‍රි නම් ලේඛකයා නවකතාවක් රචනා කළේ ය. එය ඉතා ජනප්‍රිය වෙන්නට ඇතැයි සිතමි. ඒ එහි දෙවෙනි කොටසක් ද, "මනමාලි" නමින් ලියවී ඇති නිසා ය. මා බොහෝ විට කියවා ඇති නමුත් නිශ්චිත මතකයක් නැති මේ "දෙවන පරම්පරාවේ" නවකතා තරමක් සරල තරමක් අවුල් පෙම් කතා විය.

මා මෙහිදී "දෙවන පරම්පරාවේ" යන හැඳින්වීමෙන් අදහස් කරන්නේ, "ඉක්බිති සියල්ලෝ ම සතුටින් විසිර ගියහ!" අච්චුවේ වාත්තු කරන ලද, කොල්ලා සහ කෙල්ල ගේ අකලංක ප්‍රේමය සියලු සතුරන් මැඩ, සියලු බාධක සිඳ බිඳ දමා ජයගන්නා සුරංගනා කතා ඇතුළත් වූ "මුල් පරම්පරාවේ" නවකතාවලින් පසුව, කරුණාසේන ජයලත් විසින් රචනා කරන ලද මොන්ටිසෝරි ආදර අන්දරයක අඳෝනාව රැගත් "ගොළු හදවත" නවකතාවෙන් පසු බිහි වූ නවකතා පරම්පරාව ය.

මේ නවකතා ද පාඨකයින් අතර ඉතා ජනප්‍රිය විය. එහි අනෙකුත් නියමුවෝ වූයේ, කුමාර කරුණාරත්න, එඩ්වඩ් මල්ලවාරච්චි වැන්නන් බව මගේ අදහසයි. කුමාර කරුණාරත්න ගේ "රතු රෝස" මෙන් ම, එඩ්වඩ් මල්ලවාරච්චි ගේ "සුභා, ප්‍රාර්ථනා සහ සුබ ප්‍රාර්ථනා" ද මා ආශාවෙන් කියවූ නවකතා ය.



කරුණාරත්න සපුතන්ත්‍රි ගේ "එයා දැන් ලොකු ළමයෙක්" සහ "මනමාලී" නවකතා ඉතා ජනප්‍ර්‍රිය වූුවා පමණක් නොව ධර්මසේන පතිරාජා ඒ නවකතා ඇසුරෙන් චිත්‍රපටයක් ද අධක්‍ෂණය කළේ ය. සම්භාව්‍ය චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස සැලකෙන ධර්මසේන පතිරාජා ගේ චිත්‍රපට අතුරෙන් ඉතා ජනප්‍ර්‍රිය වී ඇත්තේ ද ඒ චිත්‍රපටය වීම යම් ආකාරයක සරදමකිි.

අපේ අම්මා සහ පුංචි අම්මලා එය නැරඹූව ද, "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපට නැරඹීමට මට ඉඩ නොලැබුණි. මා සිතන ආකාරයට එයට හේතුව වෙන්නට ඇත්තේ ස්ත්‍රී දුෂණයක ජවනිකාවක් තිබුණු නිසා එය "වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි" ආකාරයේ ලේබලයක් ඇලවී තිබීම විය හැක.

කෙසේ වෙතත්, මේ චිත්‍රපටයේ නමට ද අදාළව, එහි එන එක් දර්ශනයක මාලනී ෆොන්සේකා වැඩිවියට පත්ව දිය නා ගෙට එන දර්ශනයක් ඇතුළත් වූ ප්‍රචාරක දැන්වීම් ද, බණ්ඩාර කේ විජේතුංග ගේ ගැඹුරු හඬින් "එක් වැසිබර අඳුරු රැයක් තෙක් ඇය පියකරු වතුසුදු මලක්" යනුවෙන් සහ "අවාරෙට කෝපි මලුත් පිපිලා ඇති!" යනුවෙන් මාලනී ෆොන්සේකා ගේ දෙබසක් සහිත රේඩියෝ වෙළඳ දැන්වීම් ද, මගේ මතකයේ ඇත.



නවකතාවේ සුසිලාවතී ගේ චරිතයේ විස්තරය කෙසේ වුව ද, ඒ වන විට තම ජීවිතයේ තුන්වෙනි දශකය පසුකරමින් සිව්වෙනි දශකයේ එළිපත්තේ සිටි මාලනී ෆොන්සේකා, වැඩිවිය පැමිණෙන දැරියක ලෙස රඟපෑමේ යම් විකාර රූපී බවක් තියෙන්නට ද ඇත. හරියට, අබා චිත්‍රපටියේ උන්මාද චිත්‍රා ගේ චරිතය වයස හතළිස් පහක් පමණ වූ සබීතා පෙරේරා රඟපෑවාක් මෙනි!

මාලනී ෆොන්සේකාට අමතරව මේ චිත්‍රපටයේ අන් ප්‍රධාන චරිත නිරුපණය කළේ විජය කුමාරතුංග සහ පසුගිය දා මිය ගිය විමල් කුමාර් ද කොස්තා ය.

චිත්‍රපටයේ කතාවේ සාරාංශය අති සංක්‍ෂිප්තව පවසතොත්, ගැමි කෙල්ලකවන සුසිලාවතී (මාලනී) තම ඥාතියෙකු වන සිරිපාල (කොස්තා) අතින් දුෂණය වී අසරණ වන නමුත්, ඇගේ නිවසේ නවාතැන් ගෙන සිටිනා ග්‍රාමසේවක (විජය) ඇගේ පිහිටට පැමිණේ.

මට මේ සටහන ලියන්නට සිතුණේ විමල් කුමාර් ද කොස්තා ගේ මරණයෙන් පසු ඔහු ගැන ධනංජය කරුණාරත්න විසින් ලියූ විශේෂ ලිපියක විමල් කුමාර් ද කොස්තා සහ මාලනී ෆොන්සේකා අතර හෝඩියේ පන්තියේ සිට පැවති සුවිශේෂී සම්බන්ධතාවයක්, එය 50% ආදරයක් ද විය හැක!, ගැන කියවුූ විට දී ය.

තමන් ඒ වන විට රඟ පා තිබුණු චරිත අතරින් වඩාත් කැමත්ත ඇත්තේ "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ සිරිපාල ගේ චරිතයට බව ඒ දිනවල විමල් කුමාර් ද කොස්තා පවසනු මා අසා ඇත.



ධනංජය කරුණාරත්න ගේ ලිපියේ අඩංගු කරුණුවලින් හැඟවෙන පරිදි, හෝඩියේ පන්තියේ සිට සිතෙන් තමන් ප්‍රේම කළ නමුත්, විවිධ සමාජ කරුණු නිසා තමන්ට අහිමි වූ ඒ මාලිනි ය, අතාත්වික ලෝකයක දී සුලු මොහොතකට හෝ තමන්ට හිමි කරගන්නට ලැබීම නිසා විමල් කුමාර් ද කොස්තා "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ සිරිපාල ගේ චරිතයට වඩාත් ප්‍රිය කරන්නට ඇතැයි මට සිතේ.

-රසිකොලොජිස්ට්

(image: https://rateyourmusic.com/film/එයා_දැන්_ලොකු_ළමයෙක්; http://www.silumina.lk/punkalasa/20110306/_art.asp?fn=ar1103069)

Tuesday, 20 September 2016

ගුරු ගීතය, ගුරු තරුව සහ උත්ප්‍රාසය - Writing and reading


නෑ, නෑ කලබල වෙන්නෙපා, මේ කියන්නේ ගුරු ගීතය ගැන නම් නොවේ!

ගුරු ගීතය නම් නවකතාවක් ගැන ෆෙස්බුකියේ අප්පිරියා වෙන තරමටම කතාබහ වෙනවා මා අසා ඇත. එය රුසියානු නවකතාවක පරිවර්තනයක් බව ද ඒ ඒ අවස්ථාවල දී සඳහන් වුණි.
රුසියානු පරිවර්තන කෘති බර තොගයක් මා කියවා තිබුණ ද කුමක් හෝ හේතුවක් නිසා මේ ගුරු ගීතය නම් කෘතිය (වාසනාවකට මෙන්) මට මග හැරී ඇති බව මට වැටහුණි.

වසරකට කිහිපයකට පෙර ලංකාවට ගිය දිනයක විශේෂයෙන් සොයා බලා මිලට ගෙන ගුරු ගීතය පරිවර්තන කෘතියේ ලංකාවෙන් පිටපතක් ගෙනාවේ ඒ ෆෙස්බුකියේ කරච්චලය නිසා ම ය.

නමුත් ඒ පිටපත ද පොත් රාක්කයක සැඟවී ගිය අතර මේ ළඟදී රුසියානු ගුරු ගීතය කතාව අනුසාරයෙන් නේපාලය වැනි රටක සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසුතල දර්ශන සහිතව නිපදවුණු සිංහල චිත්‍රපටයක් නම් නරඹන්නට ලැබුණි.

මේ කියන්නේ ඒ ගුරු ගීතය පරිවර්තන කෘතිය ගැන නොව ගුරු තරුව නම් වේදිකා නාට්‍යය ගැන යි.

පාසලක පවත්වන්නට ගිය සාහිත්‍ය දිනයක් මුල් කරගත් ගුරු තරුව නම් ඒ වේදිකා නාට්‍යයේ විඩියෝ පිටපතක් යූ ටියුබයේ තිබී අහම්බෙන් හමු වී මම පසුගිය දා නැරඹුවෙමි. ඒ නාට්‍යය රචනා කර නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න විසිනි.

නාට්‍යයේ ප්‍රධාන චරිතය වන සාහිත්‍ය ගුරුතුමා (එම චරිතය නිරූපණය කරන්නේ කවුද කියා අමුතුවෙන් කිව යුතු නෑ නේද?) පාසලේ සාහිත්‍යය ඉගැන්වීමේ දී මුහුණ දෙන විවිධාකාර ප්‍රශ්න පිළිබඳ මතු කරන සාකච්ඡාව තුළින් මේ නාට්‍යයෙන් සිංහල සාහිත්‍යයට ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ හිමි වී ඇති කනගාටුදායක තත්වය ඉස්මතු කර පෙන්වා දෙයි.

ගුරු තරුව නාට්‍යය යූ ටියුබයේ නරඹද්දී මට එක්වරම සිහිවුනේ මෙම නාට්‍යයේ පෙළ (එනම් නාට්‍ය පිටපත) රැගත් මුද්‍රිත පොත මා සතුව තිබෙන බවයි.

ඒ පිටපත එසේ මෙසේ පිටපතක් නොවේ.

ජයලත් මනෝරත්න විසින් ම, අත්සන් කර මට ලබා දුන් පිටපතකි.



ගුරු තරුව නාට්‍ය පෙළ සහිත ඒ මුද්‍රිත ග්‍රන්ථය මට එසේ ලැබුණේ, ඉව්ජිනී ෂ්වාර්ට් (Evgeny Shvarts) ගේ ඩ්‍රැගන් (Dragon) කෘතිය ඇසුරෙන් හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ "මකරා" නම් වේදිකා නාට්‍යයේ ජයලත් මනෝරත්න විසින් කළ නව නිෂ්පාදනය සිනුවර සහ ඕස්ට්‍රේලියාවේ රඟ දැක්වීම සඳහා සූදානමක් පැවති සමයක, මා ලංකාවට නිවාඩුවක් සඳහා ගොස් සිටියදී ප්‍රචාරක කටයුත්තකට පසුව අවශ්‍ය වෙනු ඇතැයි සිතා ජයලත් මනෝරත්න නාට්‍යවේදියා සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීම පිණිස ඔහු ගේ බොරලැස්ගමුවේ නිවසට ගිය දිනයේ දී ඔහු ගෙන් තුටු පඬුරක් ලෙස ය.

ගුරු ගීතය පොත සැඟවී ගිය පොත් රාක්කයේ ම, ගුරු තරුව පොත ද සැඟවී තිබී මම පසුව සොයා ගතිමි.

පාඨකයෙකු ලෙස මා මුද්‍රිත සාහිතයෙන් දුරස් වී ඇති බව මට එවෙලේ හොඳින් වැටහිණි.

ඒ දුක්බර කාරණය මට වැටහීමට මූල් වූයේ ද සාහිත්‍යයේ අභාග්‍යය ගැන ම ලියවුණු ගුරු තරුව නාට්‍යය සහ එහි පෙළ රැගත් පොත නිසා වීම මෙහි ඇති උත්ප්‍රාසය දනවන කාරණයයි!

දැන් ඉතිං චිත්‍රපට සහ නාට්‍යය නරඹා ඇති නිසා මේ පොත් දෙක කියවීම තවත් කල් යනු ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ රූපවාහිනී නාලිකාවක ගුරුතරුව වේදිකා නාට්‍යය විකාශය වූ වීඩියෝවකි.



Thursday, 8 September 2016

පොත් පිස්සුව ඉහටම ගැසීම - Best madness ever


"නානසාරලාට පිස්සුද, නැතිනම් අපට පිස්සු ද? - Are they crazy or are we crazy?" නමින් මා ලියූ ලිපියේ සඳහන් කළ ආකාරයට අපි සැවොම විවිධාකාර පිස්සෝ වෙමු.

පොත් කියවීමට ඇති කැමැත්ත ද අනිවාර්යෙන් ම පිස්සුවකි. වෙනත් වචනවලින් කිවහොත් මානසික ව්‍යාධියකි.

නමුත්, සාමාන්‍ය පිළිගැනීම නම් පොත් පිස්සුව අප පෙළෙන විවිධාකාරයේ පිස්සු අතර හොඳ පිස්සුවක් බවයි. එසේම, අනෙකුත් පිස්සු රෝගවලදී මෙන් ම, මේ පිස්සුවේ ද, ලා සිට සිරා දක්වා, විවිධ රෝගී මට්ටම් ඇත.

මගේ පොත් පිස්සුව ඇරඹුණේ කුඩා කාලයේ දී ම ය. එයට හේතුව වෙන්නට ඇත්තේ මා කියවූ මුල්ම නවකතාව විය යුතුයි. එය ගුණදාස ලියනගේ ලියූ මුලු හදින් මම ඇයට පෙම් කොට නම් පෙම් කතාවයි. ඒ මා හතරවෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ දී ය.

එතෙක් කල් මිහිර පුවත්පත කියවමින් සිටි මම, ගුණදාස ලියනගේ විසින් ලියන ලද මුලු හදින් මම ඇයට පෙම් කොට කියවා මිහිරෙන් මිහිරට පත් වුණෙමි.

නමුත්, මගේ පොත් කියවීමේ පිස්සුව ලා මට්ටමෙන් ඔබ්බට නැග ඒමට බාධක කිහිපයක් විය. ඉන් මූලික ම බාධකය වූයේ අපේ නිවසේ මට කියවීමට පොත් නොතිබීමයි.

අම්මා ද, තාත්තා ද කියවීමට තරමක රුචියක් ඇති අය වුව ද, ඔවුන් නවකථා යනාදිය මුදල් දී මිලට ගත් අය නොවූහ. රජයේ ගුරු රැකියාවෙන් මාසිකව තාත්තා ගේ අතට ලැබෙන තුට්ටු දෙකෙන් කිරීමට වෙනත් වඩා වැදගත් දේ ඔවුනට එමට තිබුණි.

සති අන්ත පුවත්පත් මිලට ගත්ත ද, පොත් සම්බන්ධයෙන් නම් තාත්තා කළේ, මිතුරන්ගෙන් ඉල්ලා ගෙනැවිත් කියවීමයි. අවාසනාවට ඒවා ඉංගිරිසියෙන් ලියවුණු පොත් විය. මට එකල එතරම් පිස්සුවක් නොතිබුණු නිසා, මම ඒ පොත් දෙස ඇස් ඇර නොබැලුවෙමි.

වරක් තාත්තා ඔහු සුරුට්ටු මිලට ගන්නා කඩේ තිබී පැරණි රීඩර්ස් ඩයිජස්ට් සඟරා මිටියක් නිවසට රැගෙන ආවායින් පසු වුව ද, මා ඒවායේ තිබුූ ලිපි නොව සඟරාවේ හිඩැස් පුරවන්නට යොදා තිබුණු කොමික් කෑලි පමණක් අමාරුවෙන් කියවා සතුටු වුණෙමි.

අම්මා ගේ කියවීම, මාසික ශ්‍රී සඟරාවටත්, එකල සතිපතා පළවුණු පත්තරයක් වූ රසකතා සඟරාවටත් සීමා විය. මිහිරෙන් මිහිරට පත්වූ පසු මම ද මේ සඟරා කියවීම ඇරඹුවෙමි.

රසකතා සඟරාවේ පළවී තිබී මා කියවූ කෙටිකතාවක් නිසා ලැබූ අත්දැකීමක් පදනම් කරගෙන මා ලියූ කෙටිකතාවක් සහ ඒ ගැන සටහනක් පෙර දිනක රසිකොලොජියේ පළ කර ඇත.

අපේ නිවස අසල තිබුණු මැයි සිංඤෝ ගේ නිවසෙන් අම්මා මට කියවන්නට මාර්ටින් වික්‍රමසිංහ ගේ මඩොල්දූව ඉල්ලා දුන්නා ය. එය මා කියවූ මුල්ම සම්ප්‍රදායික යොවුන් නවකතාවයි.

මේ කාලයේ කොළඹ ගුණසේන පොත් සමාගම විසින් ළමුන් උදෙසා ළමා පොත් සමාජයක් ආරම්භ කර තිබුණි. මෙහි මූලික සේවාව වූයේ, තැපැල් මගින් පොත් ගෙන්වා ගත හැකි වීමයි. පොත් සමාජයේ සාමාජිකයින්ට මාසයෙන් මාසයට වාගේ මුද්‍රිත පොත් ලයිස්තුවක් තෑපෑලෙන් ලැබේ. එයින් අවශ්‍ය පොත් තෝරා, අදාළ ගාස්තුවත් සමග මුදල් ඇණවුමක් යැවූ විට ඒවා තැපෑලෙන් නිවසට ම ගෙන්වා ගත හැකි විය.

දවස සමාගමෙන් පළකළ අම්මා ගේ ප්‍රියතම රසකතා සඟරාව හරහා මේ ගැන දැනගත් මට ද ගුණසේන පොත් සමාජයට බැඳී මටම කියා පොත් මිලට ගෙන හිමිකර ගැනීමට ඉඩ ලැබුණි.

ඒ හරහා මා මිලට ගත් බොහොමයක් පොත්, කාලයකට පෙර මුද්‍රණය කරනු ලැබූ, එහෙත් නොවිකිණී ඉතිරි වී තිබුණු, එ නිසාම විශාල වට්ටම් සහිතව පසුව අලෙවි කෙරුණු ඒවා වී ය. මුළු හදින් මම ඇයට පෙම් කොට නවකතාව ද, රසකතා සඟරාවේ කෙටිකතා ද, වැනි නිර්මාණ රසවිඳ සිටි මට මේ ගුණසේන -ළමා පොත්- මෙලෝ රහක් නොමැති වූ බව අමුතුවෙන් කිය යුතු නැතැයි සිතමි.

හයේ පන්තියේ සිට ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඉගෙනුමට ගිය විට, එහි පුස්තකාලයෙන් මසකට පොත් දෙක තුනක් කියවීමට අපට ඉඩ ලැබුණි. ඒ පුස්තකාලයට ගොස් නොවේ. වසර මුල දී පුස්තකාලයට යන පන්ති භාර ගුරුවරයා පන්තියේ සිසුන් සංඛ්‍යාවට සමාන පොත් සංඛ්‍යාවක් තෝරා පන්තියට ගෙන එයි. ඉන් පසු අප සෑම සඳුදා දිනයකම අපේ පොත පාසලට ගෙනැවිත් අප කියවා නැති වෙනත් පොතක් සමග හුවමාරු කර ගත යුතුය.

ඒ අගනා වැඩ පිළිවෙළ නිසා අපේ පන්තියේ කිහිප දෙනෙකුටවත් ලා මට්ටමට හෝ පොත් පිස්සුව හැදෙන්නට ඇති යැයි සිතේ.

මගේ පොත් කියවීමේ දිවියේ හොඳම කඩඉම වූයේ මගේ දහතුන්වෙනි උපන්දිනයට මා කොළඹ ගුණසේන පොත් සාප්පුවට කැඳවා ගෙන ගිය සුනීතා පුංචි අම්මා, මට පොත් කිහිපයක් ම මිලට ගෙන දීමයි. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, මැංචෝසන් චාරිකා වැනි පරිවර්තන කිහිපයක් ම ඒ පොත් අතර විය.

ඉන් පසු මගේ පොත් කියවීමේ වේගය සීඝ්‍රගාමී දුම්රියක් මෙන් ත්වරණයක් ලද අතර, පාසල සහ විශ්ව විද්‍යාලය අතර ගෙවුණු වසරකට වැඩි ගන්ධබ්බ කාලයේ ගම්සභා පුස්තකාලය ම කියවා හමාර කරන්නට මට හැකි විය.

මා කලින් කිවා සේ, පොත් කියවීමට ඇති පිස්සුව, ඇත්තටම හොඳ පිස්සුවකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර ලියූ අතීත සටහනකින් කොටසකි. අද පළ කරන්නේ සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

(image: http://www.dailymail.co.uk/tvshowbiz/article-3073155/Mel-Gibson-arrives-Mad-Max-Fury-Road-premiere-poses-replacement-Tom-Hardy-said-awkward-meeting-actor.html)

Monday, 22 August 2016

සැප්තැම්බර් කිට්ටු කිට්ටු - It is that time of the year again


මදර්ස් ඩේ හෙවත් මව්වරුන් ගේ දිනය, ෆාදර්ස් ඩේ හෙවත් පියවරුන් ගේ දිනය, වැලන්ටයින් ඩේ හෙවත් ආදරවන්තයින් ගේ දිනය වැනි බටහිර සංකල්පවලට විරුද්ධව පොර ටෝක් දෙන සුනිල් ආරියරත්නලා(*) වැනි පිරිස් පතුරවා හරින පසුගාමී මතවාදය නම්, අපි සැම දිනම අපේ මවට ආදරය කරමු, සැම දිනම අපේ පියාට ආදරය කරමු, සැම දිනම ලෝ වැසි සියලු දෙනාට ආදරය කරමු (ඒ විතරක් යැ, මෛත්‍රී ද කරමු!) එනිසා අපට ඔය බටහිරෙන් එන අර දිනය, මේ දිනය වැනි ආගන්තුක දේ එපෝ ය, යන්නයි.

නමුත් සැම දිනම නිදහසේ ඉන්නා අපට නිදහස් දිනයක් කුමට ද, සැම දිනම සිල් රැකගෙන ඉන්නා අපට පෝය දිනයක් කුමට ද යනුවෙන් පෙර කී තර්කය දිගු වෙනවා මා නම් දැක නැත.

මගේ මතය නම්, සැම දිනකම මවට සැබෑවටම ආදරය කරන, සැම දිනකම පියාට සැබෑවට ම ආදරය කරන, සැම දිනකම ලෝ වැසි සියලු දෙනාට ම සැබෑවටම ආදරය කරන, සැබෑවටම මෛත්‍රී කරන අයට, තවත් පිරිසක් ඒ ඒ ආදරය සුවිශේෂීව දැක්වීම සඳහා වෙන් වෙන් දින යොදා ගැනීම ගැන කිසිම රුදාවක් ඇති විය නොහැකි බවයි.

සාහිත්‍යයට ආදරය කිරීම ගැන ද කතාව එලෙස ම ය. මා කොස්සින්න ඉස්කෝලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ කාලයේ ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ සාහිත්‍ය දිනයක් පැවැත්වුණු බවටත්, ඒ සඳහා පහේ පන්තියේ සිටි අප අතරින් රචනා ලිවීම සඳහා වූ තරගයට මා තේරී එයට සහභාගී වෙන්නට ගුරුවරුන් සමග ගම්පහ ගිය බවත් මගේ මතකයේ ඇත.

ඉන් පසුව නම්, ඒ ආකාරයේ සිංහල සාහිත්‍ය උත්සව පැවති බවක් මතකයට නොඑතත්, එකල නාට්‍යය තරග පැවති බවට නම් සාක්‍ෂි මා කලින් දිනයක ලියූ "ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..!" නම් ලිපියේ ලා සඳහන් කළෙමි.

කෙසේ වෙතත්, අද ලංකාවේ එක් සාහිත්‍ය දිනයක් නොව සාහිත්‍යය සඳහා පුරා මාසයක් ම ඇත.

සැප්තැම්බර් කිට්ටු, කිට්ටු යැයි සාහිත්‍ය මාසය එළැඹෙන බව කියමින් කොහෝ කුරුල්ලෙකු හඬ නගනු අද උදයේ මගේ සවනෙහි වැටුණි.

කොහෝ කුරුල්ලන් නාද කරන්නේ මාර්තුවේ එළැඹෙන වසන්තයේ දී බව මට නොකියන්න. ඒ උතුරු අර්ධ ගෝලයේ පිහිටි ලංකාවේ ය.

දකුණු කුරු දිවයිනේ ඉන්නා අපට වසන්තය එළැඹෙන්නේ සැප්තැම්බරයේ ය.

මෙවර බ්ලොග් වසන්තය ඇරඹීම සනිටුහන් කරමින් මා ලියූ ලිපියේ ද ඒ බව සඳහන් කළෙමි.

පැවති ශීත සිසිරය කෙමෙන් නිමවෙමින් පවතී. කප්පාදු කළ රෝස පඳුරු නව දළු මතු කරයි. උදෑසන හිරු පෑයීම ද කෙමෙන් කෙමෙන් සාමාන්‍ය වේලාවට පත්වෙමින් පවතී.

වසන්තය අත ළඟ ය.

සැප්තැම්බර් කිට්ටු කිට්ටු ය.

සැප්තැම්බරය සඳහා මගේ එකම අධිෂ්ඨානය නම්, ලංකාවේ සිටි ජනවාරියේ ද, අප්‍රියෙල් මාසයේ දී ද ගෙනා පොත් කිලෝ ගණනින් කිහිපයක් හෝ කියවීම ය. අඩු වශයෙන් අපේ සහෝදර බ්ලොග්කරුවන් ගේ පොත් ගොඩවත් කියවිය යුතුය.

හැපි සෙප්ටෙම්බර් ගයිස්!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සුනිල් ආරියරත්න ගැන සඳහන් කළේ ඔහු ලියූ "වැලන්ටයින්" ගීතය නිසා ය. මදර්ස් ඩේ හෙවත් මව්වරුන් ගේ දිනය, ෆාදර්ස් ඩේ හෙවත් පියවරුන් ගේ දිනය පිළිබඳ ඔහු ගේ අදහස නොදනිමි.

"වැලන්ටයින්" ගීතය නම්, මා කැමති ගී දහසයට තබා, කැමති ගීත දහසටවත් ඇතුළත් නොවෙනු ඇත!

Wednesday, 6 July 2016

සම්මාන ගන්න විභාග ලිවීම සහ සම්මාන ගන්න පොත් ලිවීම - Here I come


"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ මගේ මිතුරෙකු වන ජගත් ජේ එදිරිසිංහ තම මානව බ්ලොගයේ ලියා පළ කළ ලිපියක් කියවද්දී මගේ සිතට ආ පරණ කතන්දර සහ වත්මන් අදහස් කිහිපයෙන් සමහර දේ ඒ ලිපියේ ම ප්‍රතිචාර ලෙස දැක්වුවද, නැවතත් බ්ලොග් ලිපියක් ලෙස ද ගොනු කරන්නට සිතුණි.

කනගාටුවට කරුණක් වනුයේ තම අදහස නිසි පරිදි ලියවී නැත යන පදනම යටතේ, ජගත් ජේ එදිරිසිංහ විසින් ඒ ලිපිය මේවන විට ඉවත් කර තිබීමයි. ඔහු එය නැවත ලියා මතු දිනක පළ කරනු ඇතැයි මම සිතමි.

මගේ තවත් මිතුරෙකු වන නැවතත් "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ හෙන්රි වර්ණකුලසූරිය ද මේ ආකාරයේ ම අදහසක් මින් පෙර දිනයක ඔහු කළ පුවත්පත් සාකච්ඡාවක (හෝ එවැනි තැනක) දී දක්වා තිබුණි.

ඒ ලිපි/සම්මුඛ සාකච්ඡා සටහන් කියවද්දී එහි ලා ඔවුන් පවසා ඇතැයි මට වැටහුණු අදහස් මගේ ම වචනයෙන් නැවත කිවහොත් මෙසේ වේ.
ලංකාවේ සම්මාන සඳහා පොරයක් පවතී. සමහර ලේඛකයෝ සම්මාන බලාපොරොත්තුවෙන් ම පොත් ලියති. බහුතරයක් ලේඛකයෝ තම මුද්‍රිත කෘති සඳහා සම්මාන නොලැබුණු විට කුපිත වෙති. රණ්ඩුවට යති.

එනිසා හෝ එනිසා ම නොවුණත්, සම්මානයක් බලාපොරොත්තුවෙන් පොතක් ලිවීම වරදකි. නොකළ යුත්තකි.

මට වැටහුණු පරිදි, ජගත් එදිරිසිංහ සහ හෙන්රි වර්ණකුලසූරිය දෙදෙනා එකී සම්මාන පොරය පිළිකුල් කරති, ප්‍රතික්‍ෂේප කරති.

ජගත් ජේ එදිරිසිංහ පවසා තිබුණේ, තමන් සම්මාන පසුපස නොයන බව සහ නමුත් තමන් ගේ ග්‍රන්ථයකට සම්මානයක් ලැබුණොත් එය ප්‍රතික්‍ෂේප නොකරන බව ය.
කිසිම සාහිත්‍ය සම්මානයක් සඳහා තම කෘති ඉදිරිපත් නොකරන කැත්ලීන් ජයවර්ධන නම් වූ ලේඛිකාවක් අද ලංකාවේ සිටියි. අවාසනාවකට මෙන් ඒ ගැන අසා තිබුණද, මම ඇය විසින් ලියන ලද එකදු නවකතාවක් හෝ මේ දක්වා කියවා නැත්තෙමි.
හෙන්රි වර්ණකුලසූරිය පවසා තිබුණේ අද ලංකාවේ නවකතා සඳහා පිරිනමන ප්‍රධානතම සම්මානයක් වන පොත් ප්‍රකාශකයින් ගේ සංගමය මගින් පිරිනමන ස්වර්ණ පුස්තක සම්මානය යනු ප්‍රෝඩාවක් බවයි.
හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලර වාඩිය සහ දඩ කඳවුර යන එකට ඇඳුණු නවකතා ද්වය ම ප්‍රකාශනය කෙරුණේ ෆාස්ට් පබ්ලිෂින් (සුරස) සමාගම විසිනි. ඒ සමාගම ස්වර්ණ පුස්තක සම්මානය පිරිනමන පොත් ප්‍රකාශකයින් ගේ සංගමයේ සාමාජිකයෙකු නිසා, සුරස ප්‍රකාශිත පොත් සියල්ලම ඉහත සම්මානය සඳහා සුදුසුකම් ලබයි. හෙන්රි වර්ණකුලසූරිය තම කෘති ඒ තරගයට ඉදිරිපත් නොකරන ලෙස ප්‍රකාශක ප්‍රේම් දිසානායකට විශේෂයෙන් ම කියන්නට ඇතැයි මම සිතමි.
තම ලිපියේ දී ජගත් ජේ එදිරිසිංහ සඳහන් කර තිබුණේ එක් වසරක ඩී. ආර්. විජේවර්ධන නම් වූ සම්මානය සඳහා නවකතාවක් රචනා කර ඉදිරිපත් කළ නම සඳහන් නොවුණු ප්‍රකට ලේඛකයෙකු ගැනයි. ජගත් ජේ එදිරිසිංහ කියන්නට උත්සාහ කළේ, එලෙස සම්මානයක් සඳහා ම පොතක් ලිවීම යනු කළ නොයුත්තක් ය කියා යැයි මට සිතුණි.
ඩී. ආර්. විජේවර්ධන සම්මානය යනු, මා අසා ඇති පරිදි, ප්‍රකාශයට පත් නොකළ අත් පිටපත් සඳහා වූ තරගයකි. එයින් ජය ගන්නා නවකතා අත්පිටපත මුද්‍රණය කෙරෙන අතර, මුදලින් ද ත්‍යාගයක් පිරි නැමේ.

දයාවංශ ජයකොඩි සමාගමෙන් ද, මේ ආකාරයේ ම නවකතා අත්පිටපත් තරගයක් පැවැත්වෙන අතර, මගේ මතකය නිවැරදි නම් එක් වසරක ඒ ත්‍යාගය ලැබුණේ ජගත් ජේ එදිරිසංහට ම ය.

සෑම වසරකම ස්වර්ණ පුස්තක සම්මානය, ගොඩගේ පොත් සම්මාන, ජයවර්දෙනපුර විවියේ සම්මාන මෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද පිරිනැමෙන්නේ ඊට පෙර වසරේ ප්‍රකාශයට පත් කෙරුණු ග්‍රන්ථ වෙනුවෙනි.

මේ සම්බන්ධයෙන් මගේ අදහස මෙයයි.

සම්මානයක් බලාපොරොත්තුවෙන් පොතක් ලිවීම යනු සම්මානයක් බලාපොරොත්තුවෙන් විභාගයකට ලිවීම වැනිම පුද්ගල ප්‍රගමනයට මෙන්ම සමාජ ප්‍රගමනයට ද තුඩු දෙන, එනිසා පැසසුමට ලක්විය යුතු ක්‍රියාවකි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය ලියද්දී මට ඒ ගැන නිසි අවබෝධයක් නොතිබුණ ද, මා උසස් පෙළ විභාගය ලීවේ විශිෂ්ට සම්මාන හතරක් (A-A-A_A) බලාපොරොත්තුවෙනි. එය නිකං ම නිකං සිත ඇතුළේ සිර කර ගෙන සිටි බලාපොරොත්තුවක් නොව, ලොකු අකුරෙන් ඇඳී, මගේ පාඩම් මේසට මත ඇස් ඉදිරිපිට සෑම තත්පරයකම හොඳින් දර්ශනය වන්නට තබා තිබුණු පුවරුවක් ලෙස භෞතික ලෝකයේ ද ජීවත් වුණු බලාපොරොත්තුවකි.

මේ පිළිබඳ දීර්ඝ විස්තර සහිත විත්ති කතාවක් මගේ සිව් වසරක් මරදානේ (දයාවංශ ජයකොඩි ISBN:9789555478304) නම් කෘතියේ ඇතුළත් වේ.

මා බලාපොරොත්තු වූ ඒ ප්‍රතිඵලය වූ A-A-A-A මට නොලැබුණ ද, ඊට තරමක් ආසන්න ප්‍රතිඵලයක් කරා මට ළගාවීමට හැකි වූ බැවින් මගේ අවසාන අරමුණ වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට මට හැකිවිය.

සම්මාන ගන්න විභාගය ලිවීමෙන් මට නම් වූයේ සෙතක් ම ය. අද වුව ද උසස් පෙළ විභාගය ලියන සියලුම සිසුන් සියලුම විෂයන්ට විශිෂ්ට සම්මාන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ කරා යොමු විය යුතු යැයි මම සිතමි.

අඩු වශයෙන් සියලු දෙනාටම තම තමන් ගේ විෂයන් පිළිබඳ ඉහළ දැනුමක් ලබා ගැනීමටත්, සමස්ත ලංකාවේ ම විභාග ප්‍රතිඵල ඉහළ යාමත් එයින් බලාපොරොත්තු විය හැක.

මා මේ ලිපිය ලීවේ මේ පහත කාරණය ද පැවසීමටයි.

යම් කිසි දිනක මා නවකතාවක් රචනා කරන්නේ නම්, එසේ කරන්නේ ද එක සම්මානයක් නොව විශිෂ්ට සම්මාන හතරක් ම ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

මෙහි ප්‍රථම පියවර ලෙස දැන් මා සයිමන් නවගත්තේගම විසින් භාවිත කරන ලද ආකාරයේ තොප්පියක් පැළඳීම ආරම්භ කර ඇති බව සතුටෙන් දැනුම් දෙමි.

එය "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ මිතුරෙකුගෙන් මට ලැබුණු ත්‍යාගයකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපියට සම්බන්ධව පසුව ලිවිය යුතු සෝ ඔබ්වියස් දෙයක් මෙහි අන්තර්ගතයේ ඇත. නමුත් ඒ ගැන මේ ලිපිය කියවන අයෙකු ඇසුවොතින් පමණක් ලියන්නට සිතා දැනට නොලියා සිටිමි.

Friday, 6 May 2016

මගේ (පළමුවෙනි) බ්ලුකේට කෙලවුණු හැටි! - What's the matter? (Minor matter)!, Are we worried? (No, no)!


මේ දිනවල සිංහල බ්ලොග් අවකාශයේ සාකච්ඡා වෙන එක් වැදගත් මාතෘකාවක් නම් බ්ලුක් යන්නයි.

බ්ලුක් එකක් (බ්ලුකයක්) යනුවෙන් අදහස් කෙරෙන්නේ බ්ලොගයක පළවුණු ලිපි හෝ කතා හෝ කාව්‍ය නිර්මාණ හෝ එකතු කර එය පොතක් ලෙස මුද්‍රණය කළ විට බිහිවෙන කෘතියයි.

මේවා ඇත්තටම පොත් ය, එනම් බුක්ස් ය. නමුත් ඉහත අර්ථදැක්වීමෙන් කියවුණු පරිදි, බ්ලුකයක අන්තර්ගතය ඊට පෙර බ්ලොගයක පළ වී ඇති නිසා, මෙලෙස බ්ලුක් (Blog + Book = Blook) යන නමින් වෙනම නමකින් හැඳින්වීම කෙරෙන බව පෙනේ.

වසර 2005 දී මුලින් ම මගේ "පෙම් ගී" බ්ලොගය හරහා බ්ලොග්කරනයට පිවිසි මා ඒ දිනවලම වාගේ කළේ මා පබැඳූ ඒ පෙම් ගී (ඇත්තටම මේවා බහුතරයක් විරහ ගී ය) එකතු කර පොතක් ලෙස සැකසීමයි.

මගේ පෙම් ගී එකතුව මා නම් කළේ, පෙම් ගී බ්ලොගයට මා එක් කළ මුල් ම පදමාලාව මෙන් ම, මා ලියා ඇති ගී පදමාලා අතරින් මගේ ප්‍රියතම පදමාලාවේ එක් පදයක් වූ, "අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" යනුවෙනි.

අත් පිටපත සෑදුවා පමණක් නොව, මතු යම් දිනයක දී, "අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" මුද්‍රණ කර බෙදා හැරීමට ද මගේ සිතේ පැහැදිලි අදහසක් තිබුණි.

එය එසේ වූවා නම්, ඒ දිනවල අද දප නිතර අසන මේ බ්ලුක් යන වචනය භාවිතයේ නොතිබුණු මුත්, බිහිවීමට නියමිතව තිබුණු මුද්‍රිත කෘතිය, මගේ මුල්ම බ්ලුකය පමණක් නොව, මගේ මුල් ම මුද්‍රිත ග්‍රන්ථය ද වෙන්නට ඉඩ තිබුණි.

නමුත් එය එලෙස සිදුවුණේ නැත.

වඩාත් නිවරැදිව කියනවා නම්, තවමත් එය එලෙස සිදුවුණේ නැත.

එයට හේතුව මෙයයි.

මගේ අදහස වූයේ, "අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" කෘතියේ මුද්‍රිත පිටපත සමග ඒ පදමාලා ඇසුරෙන් නිපදවෙන ගී ඇතුළත් සංයුක්ත තැටියක් ද නිකුත් කිරීමයි. ඒ සඳහා අනිවාර්ය අවශ්‍යතාවය වූයේ, මගේ පෙම් ගී පදමාලාවලට තනු නිර්මාණය වී, සංගීතය සහ ගායනය එක්වී සැබෑ ගී ලෙස සැකසී, ඒ ගී නිර්මාණවලට මුල් වෙන අය විසින් තම නිර්මාණ එළි දැක්වීමයි.

මේ වන විට, කිහිප දෙනෙකු ම විසින් මගේ පදමාලා සඳහා තනු නිර්මාණය කර, ගායනා කර, තැටිගත කිරීම් පවා කර තිබුණද, මා බලාපොරොත්තු වූ තත්වය අවාසනාවකට, තවමත් උදා වූයේ නැත.

මගේ සිතේ ඉපදුණු මුල් බ්ලුකය තවමත් සැබෑවක් නොවී සිහිනයක් පමණක්ව පවතියෙන්නේ ඒ ආකාරයට ය.

හැබැයි මෙය මා මේ ලිපියේ මාතෘකාවේ සඳහන් කළ ආකාරයට කෙලවීමක් ම නොවේ.

ඇත්තටම, සැබෑ කෙලවීම, කෙලවුණා නම් කෙලවුනේ මගේ දෙවන බ්ලුකයට යි.

ඒ කතාව හෙට ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා සතුව ඇති බ්ලුක් කිහිපය මෙන්න. (මේ සමහර බ්ලුක්ස්, වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම බ්ලුක්ස් නොවන්නට ඉඩ ඇත!)

1. ඩෝසන් ප්‍රීති ගේ හකාවතී
2. මාලතී කල්පනා ඇම්බ්‍රොස් ගේ මේ නිහඩ වෙරළට එන්න
3. තිලකසිරි ඒකනායක ගේ තිලක සිත
4. පුෂ්පා රම්ලනී ගේ සුදු හිම පලස
5. බෝධිනී සමරතුංග ගේ අනිත් කොන
6. බෝධිනී සමරතුංග ගේ මනුපුර සක්මන
7. තරංගනි රෙසිකා ප්‍රනාන්දු ගේ තරු ඇස් රහස්
8. යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල සිහින
9. අජිත් ධර්මකීර්ති ගේ පොල්කට්ටෙන් එපිටට

රන්දිකා රණවීර ගේ "සොඳුරු බාලේ ගෙවුණු තාලේ" බ්ලුකය මිළට ගත්ත ද, එය මගේ සොහොයුරා ගේ දියණියට තෑගි දුන්නෙමි.

දිනේෂ් උමගිලිය ගේ "සමනලයා මියැද්දෙන්" ඊළඟට මිළට ගත යුතු බ්ලුකයයි.

(image: http://blook.bampfa.berkeley.edu/fyi/)

Monday, 11 January 2016

දින පොතේ පිටු දෙකක සටහන් නොහොත් ජීවිතෙන් සති දෙකක් බ්ලාස් ගිය හැටි - New year begins today!


පසුගිය දෙසැම්බර් විසි අට වෙනිදා මගේ දවසම ගෙවුණේ මරදානේ ය.

මරදානේ ඉපදුණු, සිව් වසරක්ම මරදානේ පාසල් ගිය මට මරදාන යනු නුපුරුදු තැනක් නොවේ. නමුත්, මෙදා මට මරදානේ දී වැඩ වැරදුණි!

ඉර මුදුන් වෙනතුරු මා දවසේ මුලින් ම ක්‍රියාන්විත පැය කිහිපය ගත කළේ විදෙස් ගමන් බලපත්‍ර කාර්යාලයේ ය. නැවත හවස් වරුවේ එහි එන බලාපොරොත්තුවෙන් එතැනින් පිට වී, දවසේ අපරභාගය ගත කළේ විජේසූරිය, දයාවංශ ජයකොඩි, සූරිය සහ සුරස පොත්හල්වල ය. දවල්ට කෑවේ බිම් මහලක තිබුණු අයිල කඩයකිනි.

උසුලා ගෙන යන්නට බැරි පොත් කන්දක් ඒ වෙන විට එකතු වී තිබුණු නිසාත්, පාස්පෝට් ඔෆීසියේ යටිමහලේ තිබුණු සංහිඳ පොත්හලට යාමට තිබුණු නිසාත්, මරදානේ ගොඩගේ පොත්හලට යාම පසු දිනකට කල් දැම්මෙමි.

කල් ඉකුත් වී වසර අටහමාරක් ගත වී තිබුණු මගේ විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට ලබාගත් අලුත් බලපත්‍රයද, කිලෝ විස්සක් පමණ පොත් මලු කිහිපයක් ද රැගෙන මරදානෙන් පිටත් වූයේ හවස පහමාරට පමණ වුවද, පිළියන්දල-කොළඹ මාර්ගයේ ඉඳිකිරීම් සහ වාහන තදබදය නිසා, මා නිවසට ළඟාවෙන විට රාත්‍රී හත ද පසු වී තිබුණි.

උදේ මා සමග නොගිය, ඇඟේ අමාරුවක් ද, කැස්සක් ද, හිසරදයක් ද, සවස මා සමග නිවසට පැමිණ තිබුණි.

එතැන් පටන් ඇරඹුණේ කහිමින් ද, හොටු හූරමින් ද, නිදා ගනිමින් ද, නිකරුණේ ඇඳ මත වැතිරී සිටිමින් ද, නිදා වැටෙමින් ද, පෙති, කරල්, කුඩු ආදී මෙකී නොකී ඖෂධ වර්ග ඇඟ ඇතුළට දමා ගනිමින් ද, මා ගත කළ ලෙඩ කපුටෙකු ගේ ජීවිතයයි.

සති තුනක් ගත කළ ලංකාවෙන් චුත වී, තවත් දවසක් ම මග ගෙවා, ඒ සතියේ ඉරිදා වෙන විට යළි සුතනඹුවන් අතරට පැමිණි මුත්, ලෙඩ කපුටු සාපය තවත් සතියක් ම පැවතුණි.

නව වසරේ සඳුදා ම කාර්යාලයට ගිය ද, ඉන් පසු දෙදිනේ ද, සිකුරාදා සහ සති අන්තයේ ද වැඩි කාලයක් ගත වුණේ ඇඳන් ගතව සිරප්, පෙති සහ කරල් සමගිනි.

අහම්බෙන් මෙන් සිදු වූ එකම වැදගත් කර්තව්‍යය වූයේ ලියනගේ අමරකීර්ති ගේ අලුත් ම නවකතාව වන අහම්බකාරක කියවා හමාර කිරීම පමණි.

අද අලුත් සේවා සතියක් ඇරඹේ.

හොඳින් හිරු පායා ඇති පැහැබර දිනයකි.

උදෑසන අටයි කාලට පමණ මා දුම්රිය පොළේ වාහන ගාලට ළඟාවෙන විට ම උෂ්ණත්වය අංශක විසි දෙකක් වී තිබුණි. හවස් වෙන විට අපේ ගම් පෙදෙසේ පරිසරය අංශක තිස් අටක් දක්වා වැඩි වීමට නියමිත බව පෙනේ. සේවා ස්ථානය පිහිටි උතුරු සිඩ්නි ප්‍රදේශය අංශක තිස් දෙකක් වීමට නියමිතය.

පසුගිය වසරේ ද මා අලුත් අවුරුද්ද ඇරඹුවේ ප්‍රමාද වී බව මතකය.

නව වසර අද ජනවාරි එකොළොස්වෙනිදා සිටවත් අරඹමි!

ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි (12/01/2016):
මේ සටහනේ ඉහළින් අඩංගු කර ඇති ඡායාරූපය පිළිබඳව තරමක උනන්දුවක් ඇති වී තිබෙන නිසා, ඒ ගැන වැඩි විස්තර ලියන්නට සිතුණි.

මේ මා ලංකාවෙන් ගෙනා කිලෝ තිහක පොත්වලින් කිහිපයකි. තවත් කිලෝ විස්සක් මුහුදු තැපෑලෙන් එනු ඇත.

මේ පොත් ලියා ඇත්තේ බ්ලොග් ලොවෙන් නම් දැනගත් අය විසින් නිසා ඒ ඡායාරූපය මෙහි පළ කළෙමි.

1. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ මනුපුර සක්මන කාව්‍ය සංග්‍රහය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

2. තරු රසී බ්ලොගය ලියන තරංගනී රෙසිකා ගේ තරු ඇස් රහස් කාව්‍ය සංග්‍රහය නුගේගොඩ සරසවි පොත්හළෙන් මිලට ගතිමි.

3. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ නිට්ටෑවෝ කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.

4. පුලින තලාව බ්ලොගය ලියන පුෂ්පා රම්ලනී දිසානායක ගේ සුදු හිම පලස කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

5. බස්සීගේ නවාතැන බ්ලොගය ලියන යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල සිහින කාව්‍ය සංග්‍රහය දෙසැම්බර් 12 දින පැවති එළිදැක්වීමේ දී මිලට ගන්නා ලදී.

6. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ අනිත් කොන කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

7. රසවතිය බ්ලොගය ලියන හෂිත අබේවර්ධන ගේ පත් සිදුණු වසන්තය පරිවර්තන කෘතිය මහරගම සරසව පොත්හළෙන් එක් පිටපතක් ද, නුගේගොඩ සරසවි පොත්හළෙන් තවත් පිටපතක් ද මිළට ගෙන ඉන් එකක් චීන සාහිත්‍යයට රැචි මගේ සොහොයුරාට දී අනෙක රැගෙන ආවෙමි.

8. නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ දඩ කඳවුර නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.

9. රසිකොලොජි බ්ලොගය ලියන මා ලියූ ඊ-ෆැක් මෙමොරීස් නමැති පොතේ පිටපත් පනහක් පමණ ගෙන ආවෙමි.

10. නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ නීත්‍යානුකූල ඝාතනය නම් පරිවර්තිත කියුබානු කෙටිකතා එකතුව– මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.

11. කෙනිත්තුන සහ කෙනිතුව විට අවදි වුණු චිත්තය නමැති බ්ලොගය ලියන නිශ්මං රණසිංහ ගේ රේල් පීලි නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.

12. තිලක සිත බ්ලොගය ලියන තිලකසිරි ඒකනායක ගේ තිලක සිත කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

13. යසනාත් සිතුවිලි බ්ලොගය ලියන යසනාත් ධම්මික බණ්ඩාර ගේ මුරගල කාව්‍ය සංග්‍රහය ගොඩගේ පොත්හළේ දී අහම්බෙන් දැක මිලට ගත්තෙමි.

14. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ ලෙපර්ඩ්ස් ඔෆ් ලේනම කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.

15. හකාවතී බ්ලොගය ලියන ඩෝසන් ප්‍රීති ගේ හකාවතී කෘතිය ගොඩගේ පොත්හළෙන් මිලට ගත්තෙමි.

Friday, 16 October 2015

මාර්ටින් වික්‍රමසිංහ ගේ කුමර බඹසර සහ ජාතිවාදී මැර සම්බන්ධකම් - Obscure Observations


මාර්ටින් වික්‍රමසිංහ ගේ "උපන්දා සිට" නම් වූ ස්වයංචරිතාපදානය කියවා මා දැන උගත් කරුණු කිහිපයක් සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි.

දහනමවන ශත වර්ෂයේ වසර 1890 දී උපන් මාර්ටින් වික්‍රමසිංහ ස්වෝත්සාහයෙන් උගත්තෙකි. විවිධ දුක් ගැහැට මැද ජීවිතය අරඹා පසුව පුවත්පත් කතුකම සහ ලේඛකත්වය නිසා සිංහල සමාජයේ පොත් පුවත්පත් කියවන පිරිස අතර ඉහළ ප්‍රසිද්ධියක් ලද්දෙකි.

මාර්ටින් වික්‍රමසිංහ ගේ වඩාත් ජනප්‍ර්‍රිය වැඩි දෙනෙකු කියාවා ඇති කෘතිය "මඩොල්දූව" බව නිසැක ය. "ගම් පෙරළිය" ද, සිංහල භාෂාව පිළිබඳ විභාගවලට නියමිත පොතක් නිසා වැඩි පිරිසක් කියවා තිබේ යැයි සිතමි. ඔහු ගේ වඩාත් ආන්දෝලනයට ලක්වූ කෘතිය වූයේ "බව තරණය" යි.

සිද්ධාර්ථ ගෙෘතම ගේ ජීවන චරිතය ආශ්‍රයෙන් ලියවී තිබුණු "බව තරණය", එ නිසා ම, පොත කියවූ, නොකියවූ පිරිසක ගේ විරෝධතාවයට ලක් විය. එවකට, ලංකාවේ බෞද්ධ තලිබාන්කරනය අද තරම් පැතිර නොතිබුණු නිසා, ඒ විරෝධය අකුරු මගින් කෙරෙන ප්‍රහාරයන්ගෙන් ඔබ්බට නොගියේ ය.

අද දවසේ ඒ කෘතිය ලියවුණා නම්, බොඩු බාල සෙන්නා වැනි අන්තවාදී පිරිස් තම වාලධි ඔසවා ගෙන, මාර්ටින් වික්‍රමසිංහ එල්ලුම් ගහට යැවිය යුතු යැයි විරෝධතා නගනු ඇති බවට නො අනුමානය!

දැන් මෙන්න මාර්ටින් වික්‍රමසිංහ ගේ "උපන්දා සිට" නම් වූ ස්වයංචරිතාපදානය කියවීමෙන් මා දැන උගත් දේ ලයිස්තුව.

  1. පොඩි කාලේ සිට අපි කතන්දරවල ගමරාල නමින් හැඳින්වෙන චරිත ගැන අසා ඇත්තෙමු. නමුත්, සාමාන්‍යයෙන් ගරුසරු සහිතව වෙද මහත්තයා හෝ එවැනි අයුරකින් ඇමතුම් ලබන ගමේ වෙදාට, මාර්ටින් වික්‍රමසිංහ උපන් දා සිට කෘතියේ අමතන්නේ වෙදරාල කියායි. මඩොල්දූවේ ද, වෙදරාල යන්න යෙදුණු බවට මතකයක් ද මට ඇත.
  1. අද ලියන භාෂාවේ භාවිතා වෙන "විය" යන වචනය වෙනුවට මාර්ටින් වික්‍රමසිංහ ලියා ඇත්තේ වී ය යනුවෙන් බවද මම නිරීක්‍ෂණය කළෙමි.

    එනම්, "එය එසේ සිදුවිය" හෝ "එය එසේ සිදු විය" කියා අප ලියන වාක්‍යයක් මාර්ටින් වික්‍රමසිංහ ලියන්නේ "එය එසේ සිදු වී ය" යනුවෙනි.
  1. සැතපුම යන මිනුම දක්වන වචනය වෙනුවට මාර්ටින් වික්‍රමසිංහ යොදා ඇත්තේ "මයිල" යන වචනයයි. මයිල් යන ඉංගිරිසි පදයෙන් වාත්තු කරගත් මයිල යන්න අද කාලයේ සිහි කරවන්නේ සමෙන් මතුවෙන රෝමකූප පමණි.

    මේ ආකාරයෙන් ම වාත්තු කරගෙන ඇති මිනිත්තුව, පනිට්ටුව, බිස්කට්ටුව, පෙරෙට්ටුව වැනි වචන නම් අද ද භාවිතයේ පවතී.
  1. "තාන් රෙදි" නමින් යෙදුමක් උපන් දා සිට කෘතියේ කීප වතාවක් යොදා තිබෙනු දුටුවෙමි. මෙයින් අදහස් වෙන්නේ තුනී රෙද්දක් යැයි මා මුලින් සිතුවත්, එහි නිවරැදි තේරුම අලුත් රෙද්දක් බව පසුව වටහා ගතිමි.
  1. තමා උපන් දා සිට වසර පනහකට වඩා ජීවිත කාලය ගැන ලියවී ඇති මේ කෘතියේ මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කර ඇති එක් නොවැදගත් යැයි පෙනෙන සිදුවීමක් මට මුලින් ගෙන දුන්නේ පුදුමයකි.

    ඒ සිදුවීම මෙසේ ය.

    මාර්ටින් වික්‍රමසිංහ තම ඥාතියෙකු ගේ මඩකලපුවේ පිහිටි සිල්ලර බඩු කඩයක සේවය කරන සමයේ එහි විත් බඩු තෝරමින් සිටින එක්තරා ඉංගිරිසි ජාතික කාන්තාවක ගේ අතක යමක් ගෑවෙයි. මෙය දුටු මාටින් වික්‍රමසිංහ කරන්නේ තාන් තුවායක් ගෙන ඇගේ අත පිස දැමීමයි.

    දශක ගණනාවකට පසු තම ස්වයංචරිතාපදානය සකසන විට මෙලෙස විස්තර කර ලියන්නට මාර්ටින් වික්‍රමසිංහ පෙළඹවූ ඉහත සිදුවීමේ වැදගත්කම කුමක්ද?

    ස්වදේශිකයින් සහ විදේශිකයින් අතර යටත් විජිත සමයේ තිබුණු විශාල පරතරය නිසා ඉහත සිදුවීම තම ජීවිත කතාවට ඇතුළත් කිරීමට තරම් ඉතා වැදගත් එකක් සේ මාර්ටින් වික්‍රමසිංහට සිතුණා විය හැක.

    නමුත්, මට සිතෙන්නේ ඒ නොවැදගත් සිදුවීම විස්තර කිරීමට හේතුව මාර්ටින් වික්‍රමසිංහ ගේ කුමර බඹසර බිඳුනේ ඒ ඉංග්‍රීසි ජාතික කාන්තාව ගේ අත ඇල්ලූ මොහොතේ නිසා බවයි!
  1. උපන් දා සිට කෘතියේ මගේ අවධානය යොමු වූ තවත් වැදගත් කොටසක් නම් 1915 බෞද්ධ-මුස්ලිම් කෝලාහලය පැන නැගුණු මොහොතේ මාර්ටින් වික්‍රමසිංහ හැසිරුණු ආකාරයයි.

    අනිවාර්යෙන් ම මාර්ටින් වික්‍රමසිංහට මැරයින් සමග සම්බන්ධතා තිබී ඇත. තම මැර මිතුරන් කරත්තයක නැගී, කඩු කිනිසි මුගුරු රැගෙන, ගාල්ල බලා යද්දී මාර්ටින් වික්‍රමසිංහ ඒ පිරිස හා එකතුවන්නේ කිසිදු ප්‍රායෝගික විරෝධතාවක් නොදක්වමිනි. ඔහු ඒ ගමන නිහඬතාවයෙන් අනුමත කළා පමණක් නොව සහභාගීත්වයෙන් සහයෝගය ද දක්වා ඇත.

    රෑ බෝ වී ගාල්ලේ මුස්ලිම් ප්‍රජාව සිටින ප්‍රදේශයට මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස ළඟාවන විට ඔවුන් එහි එන බව දැන ඔවුන් පිළිගන්නට එහි රැඳී සිටින්නේ පොලිස් නිලධාරීන් සහ ගම්මුලාදෑනී පිරිසකි.

    පසුව ආණ්ඩුවේ ඒජන්ත ද එහි පැමිණේ.

    සිදුවී ඇත්තේ මෙයයි.

    කඩුූ කිනිසි මුගුරු රැගෙන කරත්තයකින් කොග්ගල සිට ගාල්ල බලා පිටත් වූ ඒ මැර පිරිසේ ජාතිවාදී පරමාර්ථය දැන ගත් ගමේ ඥාතීන් මේ ගැන සඳහන් විදුලි පණිවිඩයක් පොලිසියේ ලොක්කාට එවා ඇත.

    ජාතියේ වාසනාවකට, මාර්ටින් වික්‍රමසිංහ සහ මැර පිරිස රැගත් කරත්තය ගමනාන්තයට ළඟාවෙන විට ඔවුන්ගේ ආගමනය පිළිබඳ පුවත රැගත් විදුලි පණිවිඩය ආරක්‍ෂක අංශවලට ලැබී තිබුණි.

    ජාතිවාදී අපරාධ ක්‍ර්‍රියාවක් මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස අතින් සිදුවෙන්නට පෙර එය වළක්වාගැනීමට හැකි වුණු නිසාත්, විවිධ දැන ඇඳුනුම්කම් නිසාත්, චෝදනා නො ලබා, අත් අඩංගුවට පත් නොවී නිරුපද්‍රිතව ආපසු තම ගම් පෙදෙස බලා යන්නට ඔවුනට ඉඩ ලැබේ.

    පෙර කී විදුලි පණිවිඩය නොවන්නට එදා මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස මුස්ලිම් කඩ කඩන්නට සහ මුස්ලිම් වැසියනට පහර දෙන්නටත්, අප දන්නා මාටින් වික්‍රමසිංහ නම් මහා ලේඛකයා වෙනුවට, හෙන්රි පේද්‍රිස් ආකාරයේ තවත් ජාතික වීරයෙක් බිහිවීමටත් ඉඩ තිබුණු බව පෙනේ.
කෙසේ වෙතත්, මාර්ටින් වික්‍රමසිංහ ජාතිවාදියෙකු බවට ස්ථිරවම පැවසිය හැකි වෙනත් කරුණු ඔහු ගේ ලියවිලි තුළින් මට හමුවී නොමැති බව ද කිව යුතුය.

-රසිකොලොජිස්ට්

(image: http://archives.dailynews.lk/2009/07/31/fea27.asp)

Wednesday, 7 October 2015

පියෙකු ගේ කතාවක් කෙටිකතාවේ රහස් සහ කෙටිකතාව ගැන කෙටි සටහනක් - Story of a story!


මා පසුගිය සෙනසුරාදා රසිකොලොජියේ පළ කළ කෙටිකතාවේ යම් වෙනසක් මෙන්ම පොඩි රහසක් ද ඇති බව එදා කීවෙමි.

වෙනස නම්, කාල වේලා හිඟකම නිසා, කෙටිකතාව යතුරු ලියනය නොකර, ස්කෑන් පිටපත් ලෙස පළ කිරීමයි. කාලය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරගෙන කතාව යුනිකෝඩ්ගත කර පල කරන්නට මට ඉඩ ලැබුණේ පුරා දින තුනකට පසුව ය.

ඒ කෙටිකතාවේ තිබූ රහස නම් මෙයයි.

එය මා ලියූවකි. වඩාත් හොඳින් කියනවා නම්, ඒ මා වයස අවුරුදු දහ අටේ දී පමණ ලියූ මගේ මුල් ම කෙටිකතාවලින් එකකි.

එය එදා මා "හස්තද්වාරයෙන්" පළ කළ "පියෙකු ගේ කතාවක්" නමින් වූ කෙටිකතා සංග්‍රහයට ඇතුළත් වූ ප්‍රධානතම කෙටිකතාවයි. ඒ තිබුණේ වයස දහ අටේ දී මගේ අත් අකුරු ය.

මේ කතාවට පදනම සැපයූ එක් සත්‍ය සිදුවීමක් ඇත. ඒ කතා නායකයා තමන් කුඩා කාලයේ තම පියාගෙන් ගණිකාව යන වචනයේ තේරුම අසන අවස්ථාවයි. එය මගේ අත්දැකීමකි. ඒ වචනය මා දුටුවේ මගේ මව ඒ දිනවල මිලට ගත් පුවත්පතක පළවුණු කෙටිකතාවක තිබීය.

ඒ සිදුවීමෙන් අවුරුදු නමයකට පමණ පසුව දහ අට හැවිරිදි මා කර ඇත්තේ අනාගත සිදුවීමක් නිර්මාණය කර, මගේ අතීත අත්දැකීම හා සැසඳීමයි.

තමා විසින් කෙරුණු නිර්මාණයක් ගැන තමන්ම විචාරයක් කිරීම කිසිසේත් ම නොකෙරෙන දෙයකි. නමුත්, මා ඒ පියෙකු ගේ කතාවක් නම් වූ කෙටිකතාව ලියා පරම්පරා දෙකක් පමණ කාලයක් ගත වී ඇති අද දවසේ, මට ඒ නිර්මාණය සහ එහි නිර්මාණකරුවා පිළිබඳ දැනෙන දුරස්ත බව නිසා එසේ මා ම විචාරයක් කළ ද ලොකු ප්‍රශ්නයක් නැතැයි සිතමි.

ඇත්තටම කියනවා නම්, වයසින් මුහුකුරා නොගිය සිතකින් යුතුව මා ලියා ඇති ඇතැම් දේ ගැන අද එය කියවන මට ඇති වන්නේ අපූරු හැඟීම් සමුදායකි.

මෙන්න ඉන් කීපයක්.
  1. කතානායක පියා බසයෙන් සේවයට ගොස් හවස් වී නිවසට එන්නෙකි. වාහනයක් ගැන සඳහනක් නැත.
  2. ඔහු ගේ බිරිඳ නිවසට වී සිටී. ඇය ගේ එකම රාජකාරිය බෑගය ගැනීම සහ තේ සාදා දීම පමණි.
  3. පුතා අමාරු වචන අහන්නේ තාත්තාගෙනි. අම්මා නැතුවා සේ ය.
  4. නිවසට පැමිණෙන කතා නායකයා කරන්නේ මුණ සේඳීමයි. ඇඟ සේදීම හෙවත් ෂවර් නැත. මෙය නානකාමරයක් නැති, නිවසෙන් දුර බැහැරව බොහෝ විට කුඹුරක් අද්දර නාන ළිඳ ඇති නිවසක වැසියන්ගේ එකල හැසීරීමයි.
  5. කතානායකයා ගේ පුතාට මා තබා ඇත්තේ මගේ හොඳම මිතුරාගේ නම ය. බිරිඳට තබා ඇති නමේ සම්බන්ධය නම් දැන් මතක් කර ගත නොහැක.
  6. මගේ තාත්තාට වඩා හොඳ තාත්තා කෙනෙකු වීමට අදිටනක් මගේ සිතේ තිබී ඇත.
  7. නණලළ කතා කෙසේ වුවද, මට ඒ දිනවල ව්‍යාකරණ නොමරා ලිවීමට හැකියාවක් තිබී ඇත.
මට ඇති එකම දුක නම්, එදා වයස අහ අටේ දී මා කෙටිකතාකරුවෙකු වෙන්නට උත්සාහ කරමින් අත් පිටපත් දෙකක්ම සෑදුවද, පසුව මැවිසුරුකමට කර ගහන්නට ගිය නිසා, ඒ සියල්ල කෙමෙන් අමතක වී යාමයි.

එදා සිට අද දක්වා ගතවුණු පරම්පරා දෙකක පමණ කාලය තුළ, මා ලියා ඇත්තේ කෙටිකතා තුනක් පමණි!

-රසිකොලොජිස්ට්

Saturday, 3 October 2015

වල්ලභයා-සංසර්ගය-ගණිකාව : පියෙකු ගේ කතාවක් (පුතෙකු ගේ හඬින්) - His fathers voice


අද මා පළ කරන ලිපියේ වෙනසක් ද, ඒ එක්කම පොඩි රහසක් ඇත.

වෙනස නම්, අකුරෙන් නොදමා, රූප මගින් කියවීමට යමක් එකතු කිරීමයි. එයම එක් හේතුවක් නම්, කාල වේලා හිඟයකි. තවත් හේතුවක් ද ඇත. ඒ හේතුව මේ ලිපියේ තියෙනවා යැයි මා කියු පොඩි රහසට සම්බන්ධය.

පොඩිය කියූ ආකාරයට ම පොඩි එකක් වෙනමුත් රහසක් කිවාට එය රහසක් ම නොවේ.

නමුත්, දැනට නොකියා සිටිමි.

දැන් මේ කෙටි කතාව කියවන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.

ප/ලි:
කලින් රූප මගින් පළ කළ පිටු සියල්ලම යුනිකෝඩ් ගත කිරීමට හැකි විය.

පියෙකු ගේ කතාවක්

මගේ පුංචි පුතා සරෝජ් මදෙස බලා සිටී. ඔහු වාඩී වී සිටින්නේ මා ඉදිරියේ ඇති කුඩා පුටුවක ය. ඔහු ගේ දෙනෙත් විස්මය හඟවන බැල්මක් මදෙසට හෙළයි. මුව මදක් විවර වී ඔහු ගේ ළඟදී ආ ඉදිරිපස විශාල දත් දෙක පෙනේ.

ඔහු සමග මෙතෙක් වේලා කතාකරමින් සිටි මා එක්වරම නිහඬ බූයේ ඇයිදැයී ඔහු කල්පනා කරනවා විය යුතුය. ඇත්තෙන්ම මා නිහඬ වූවා නොවේ. නිරායාසයෙන්ම මගේ මුව වැසිණි, ගොලුවිණි, කිව යුත්තේ කුමක්ද, කළ යුත්තේ කුමක් ද මට නො වැටහේ.

* * *

වෙනදා මෙන් ම අදත් මා නිවසට පැමිණියේ ඇඳිරි වැටීිගෙන එද්දී ය. සරෝජ් මා ඉදිරිපිටට දිව එනවා ඈත තියාම මට පෙනුණි. ඔහු ගේ සිඟිති මුහුණ පුළුල් සිනාවකින් ඔපවත් වී තිබුණි. සරෝජ් දිව විත් මගේ දෑතේ එල්ලුණේ "ඔන්න තාත්තේ අදත් මට තියෙනවා ගොඩාක් අමාරු වචන තේරුම් අහගන්න" යැයි පවසමිනි.

අට හැවිරිදි සරෝජ් ඉගෙන ගන්නේ දෙවන ශ්‍රේණියේ ය. ඔහු ගේ පාඩම්වල දී හමුවෙන අළුත් වචන, ඔහු කියනා විදියට අමාරු වචන, දිනපතාම මගෙන් විමසා දැන ගැනීමට ඔහු පුරුදුව සිටියේ ය. කාර්යාලයේ සිට නිවසට පැමිණීමෙන් අනතුරුව රාත්‍රියේ දී මා මේ කාර්යයේ යෙදුණේ බලවත් උනන්දුවෙනි.

"පොඩියක් ඉන්නකො පුතා තාත්තා ඇඳුම් මාරු කරගෙන මුණකට හෝදා ගන්නකම්" සරෝජ් සමගම පෙර මගට ආ මගේ බිරිඳ කුමාරි පැවසුවාය. මා අත තිබූ බෑගයෙන් සරෝජ් සඳහා ගෙනැවිත් තිබූ ටොෆී කිහිපය අතට ගත් මම "අම්මටත් දීලා කන්න පුතා" යැයි කියමින් බෑගය කුමාරි අතට දුනිමි.

මුහුණ කට හෝදා ගත්තායින් පසුව, කුමාරි දුන් තේ කෝප්පය ද රැගෙන මා ගියේ සරෝජ් ගේ කාමරයටයි. ඔහු ගේ පොත් සහිත කුඩා මේසය සහ ඇඳක් ද එහි විය. සරෝජ් පොත් පාඩම් කළේ මේ කාමරයේ වුව ද රාත්‍රියට නිදා ගත්තේ අප සමග ය. ඒවන විටත් ඔහු පොත් පෙරළාගෙන නොඉවසිල්ලෙන් බලා සිටියේ ය.

ඇඳ මත වාඩිවුණු මම තේ කෝප්පය තොල ගාමින් "හා, කියන්නකෝ පුතා ඔයා ගේ අමාරු වචන" යැයි පැවසුවෙමි.

"ඔන්න එහෙනම් තාත්තේ පළමුවෙනි වචනය ව ල් ල භ යා" කී ඔහු ඉන් පසු ම දෙසට හැරී මා එහි අදහස පහදා දෙනතෙක් බලා සිටින්නට විය.

"වල්ලභයා කියන්නේ පුතේ" මම ඔහුට එය විස්තර කර දීමට පටන් ගත්තෙමි. "වල්ලභයා කියන්නේ කාන්තාවක ගේ විවාහ පුරුෂයාටයි, ස්වාමි පුරුෂයාටයි. පුතාට තේරුණා ද?"

"හා, හරි, හරි, ඒ විදියට තාත්තා අම්මා ගේ වල්ලභයායි, හරිද?" සරෝජ් කීවේ සිනාසෙමිනි.

"ආ! ඔය තේරිලා තියෙන්නේ අපූරුවට!"

"ඉතිං පුතා මොකක්ද ඊළඟ වචනය?" මම හිස් තේ කෝප්පය මේසය මත තැබුවෙමි.

"දෙවෙනි වචනයේ නම් තාත්තේ මහාප්‍රාණ අකුරු හෙම නෑ, ඒත් ඒක මං දැක්කේත් අදයි. සං ස ර් ග ය" මා නොසිතූ ලෙස සරෝජ් පැවසීය.

මා ගොළුවුනේ මෙවිටයි. මගේ සියොලඟම ගිනිගෙන දැවෙන්නාක් සේ එක්වරම හිරී වැටී ගියේය. කුමක් කිව යුතු දැයි මට සිතා ගත නොහැකි වුණි. නිරායාසයෙන් ම මගේ මුව අගුළු වැටුණි.

* * *

"තාත්තේ සංසර්ගය කියන්නේ මොකක්ද?" සරෝජ් යළිත් ඇසුවේ මා කිසිවක් නොකියා නිශ්ශබ්දව සිටි නිසා විය යුතුයි.

මා නිහඬ වුණෙමි. නිහඬ නොවී කුමක් කියන්නද, කෙසේ කියන්නද?

මම යළිත් සරෝජ දෙස බැලුවෙමි.

ඔහු ඇත්තෙන්ම ඉතා පුදුමයට පත්ව ඇත. කිසි දිනක තම පියා කිසිදු අමාරු වචනයක තේරුම කියන්නට මෙතරම් කල්ගත නොකළ බව ඔහුට සිහිවුණා විය හැක. ඊටත් වඩා කිසිදු මහාප්‍රාණ අකුරක් නැති වචනයක්? සරෝජ් එලෙස සිතනවාත් විය යුතුයි.

ආදරබර පුතණුවනි, සංසර්ගය යන්නෙහි තේරුම මම දනිමි. එහෙත් මා ඔබට එය පවසන්නේ කෙසේද? පියෙකු වශයෙන් මා ඔබට පවසන්නේ කෙසේද?

මගේ සිත අවුල්වුණු නූල් බෝලයක් මෙනි.

අවසානයේ මම මුව විවර කළෙමි.

"කෝ බලන්න පුතා ඔය පොත!" ඔහු අමාරු වචන කියවන පොත ඉල්ලා ගත්තෙමි.

"වාසනාවන්ත යුග දිවියකට මග" ඔහු කියවමින් සිටියේ එයයි.

මේ පොත සරෝජ් අතට ආවේ කෙලෙසකදැයි මට නොවැටහිණි. වසර දහයකට පෙර මිලට ගෙන කියවූවායින් පසු මේ පොත කොහේ දැම්මාදැයි මට මතක නැත. සමහරවිට මගේ පරණ පොත් සහිත පෙට්ටියේ තිබී සරෝජ්ට හමුවෙන්නට ඇත.

පොතේ ඇතැම් වචන යටින් පැන්සල් ඉරි ඇඳ තිබුණේ සරෝජ් විය යුතුයි. ඒ ඔහු ගේ අමාරු වචනයි.

"මේ තියෙන්නෙ තාත්තේ ඒ වචනය" සරෝජ් නැගිට යටින් ඉරක් අඳින ලද සංසර්ගය යන වචනය මට පෙන්වයි.

මගේ සිත එක්වරම අතීතයට ඇදී යයි.

මා අවුරුදු හත අටක කුඩා දරුවෙකුව සිටියදී......

* * *

එවිට මගේ වයස අවුරුදු අටක් පමණ වූ බව මට සිහිකර ගත හැක. කෙසේ වෙතත් ඒවන විට මට හොඳින් කියවන්නට හැකිව තිබුණි. අතට අසුවෙන ඕනෑම පොතක් පත්තරයක් කියවීමට මම පුරුදුව සිටියෙමි.

මෙ පරිද්දෙන් මගේ පියා ද මගේ ඉගෙනීමේ කටයුතු ගැන දැඩි උනන්දුවක් දැක්වීය. ඔහු ද මට නොතේරෙන වචන විමසන ලෙස පවසා තිබුණි. ඇතැම්විට ඔහු ඉතා සැර පරුෂ වුවත් මා ඔහුට ඇලුම් කළේ ඉතා ආදරයෙන් මගේ අවශ්‍යතාවයන් ඉටු කළ නිසයි. ඒ ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු වූ නිසා විය හැක. කෙසේ වතුදු සරෝජ් ගේ ඉගෙනීමේ කටයුතු කෙරෙහි මා මෙතරම් උනන්දුවක් දක්වන්නේ මගේ පියා ගේ ආදර්ශයෙන් බව මට පැහැදිලිය.

දිනක් මා කියවමින් සිටියේ සතිපතා පළවෙන කුමක් දෝ පත්‍රයකි. එහි තිබුණු එක්තරා වචනයක් මට අලුත් එකක් විය. මම එවෙලේම පියා සොයා දිව ගියෙමි.

"තාත්තේ, තාත්තේ ගණිකාව කියන එකේ තේරුම මොකක්ද" කියා ඇසූ බව මට හොඳින් මතකයි. පියා ඔහු කරමින් සිටි කාර්යය නවතා මා දෙස බැලීය.

"මොකක්ද ඔය වචනේ?"

මා මුලින් කී දේ ඔහුට නෑසුණු බව වටහා ගත් මම යළිත් වරක් එය කීවෙමි.

"තාත්තේ ගණිකාව කියන්නේ කාටද?"

මා පුදුමයට පත් කරවමින් පියා නිහඬ විය. ඔහු අසුනින් නැගිට මා ත තිබූ ඒ පත්‍රය ඉල්ලා ගති. ඒ දෙස බැලූ සැණින් ඔහු කෝපයට පත්වූ බව පෙනුණි. කොහෙමටත් ඔහු ඉක්මනින් ම සුළු දෙයකට පවා කෝපයට පත්වෙන්නෙකි.

"උඹ පලයන් යන්න මෙතනින්!" පියා මට සැර වී රැව්වේ කෝපයෙන් වෙව්ලමිනි. මම බිරාන්ත වූයෙමි. තාත්තාට කෝප වෙන්නට කිසිම හේතුවක් නැහැ නේද මට සිතුණි.

ඒ දිනවල සුළු දෙයකින් පවා කම්පනය වන මා ඇතැම් විට අඬමින් ඇඳට යන්නට ඇත.

තාත්තා වේගවත් ගමනින් ගියේ මුළුතැන් ගෙටයි. ඉන්පසු ඔහු ගේ වේගවත් කටහඬ නිවස පුරා රැව්දිනි.

මම වහා මුළුතැන්ගෙය දෙසට ගියෙමි.

"ගේනව මෙතන කුණුහරුප පත්තර! ගෙදර පොඩි එවුං ඉන්න බව ඔයාට තේරෙන්නේ නැද්ද?" ඔහු කෑ ගසයි. ඒ පත්තරය මගේ මව විසින් මිලට ගන්නා ලද එකක් බව මට මතක් විය.

"කුණුහරුපයක්, එහෙනම් ගණිකාව කියන්නේ කුණුහරුපයක් වෙන්න ඇති!" මගේ සිතට නිරායාසයෙන් ම සිතුණි.

මම මුළුතැන් ගෙයි දොර අසලටම ගියෙමි. පත්තරය ගිනිගෙන දැවෙමින් තිබුණි. පියා ඒ අසලට වී මවට බණිමින් සිටියේ ය.

"හැදෙන දරුවන් ඉන්න තැන්වල මෙහෙම පත්තර පොත් හංගන්නවත් ඕනෑ. පොඩිකමට උන් මොනවා දන්නවද? අපෙන් එක එක වචනවල තේරුම් අහනවා. අපි ඔව්වට කටක් ඇරලා උත්තර දෙන්නේ කොහොමද? ඔයා ඕව හිතන්න ඕනෑ!"

"ඉතිං අනේ ඔයා කිව්වට, දරුවෝ ඕවා දැන ගන්නත් ඕනෑ නේද?" අම්මා සෙමෙන් කියයි.

* * *

මම කල්පනා කළෙමි. එදා තාත්තා මුහුණ දුන්නේ අද මා මුහුණ දෙන ප්‍රශ්නයටම නොවේද? ඔහු පත් වූ අසීරු තත්වයටම අද මා පත්ව ඇත.

මට මඩොල්දූව සිහිවෙයි.

උපාලි ගිනිවැල්ලේ, ඉස්කෝලෙ මහත්තයාගෙන් කාමේසු මිච්ඡාචාරා යන්නෙහි තේරුම විමසූ කල ඉස්කෝලේ මහත්තයා ද මේ තත්වයට මුහුණ දුන්නා නොවේද?

භෞතික වශයෙන් යම් කිසි දියුණුවක් ලෝකය අද ලබා ඇත. අප ද ලබා ඇත. භෞතික දියුණුව ද සමග අධ්‍යාත්මික වශයෙන් ද දියුණු විය යුතු බව අපි හඬ නගා පවසන්නෙමු.

අධ්‍යාත්මික දියුණුව යනු කුමක්ද? අප සත්‍යය අවබෝධ කරගත යුතුයි. සංවර විය යුතුයි. එපමණක් ද නොව නීතිගරුකව, සත්‍යයට ගරු කරමින් ජීවත්විය යුතුයි. එනිසා නිවැරදි තත්වය, සත්‍යය පැවසීමට අප මැලිවිය යූතු නැත.

සත්‍යය කිසි කලෙකත් සැඟවිය නොහැක. එය වසන්කර බොරු ගෙතමින් අතීතයේ දෙවියන්, භූතයින්, දේව රහස් යැයි කියමින් අප රැවටුනද, නැවතත් ඒ නොදියුණු තත්වයට පත්විය හැකිද?
මේ සියල්ල මා වටා හොල්මන් කරයි.

එහෙත් සංසර්ගය යනු කුමක්දැයි සරෝජ්ට මා ඔවසන්නේ කෙසේද? තවත් බර වචන යොදා මට එය විස්තර කළ හැකි වුවද, එය යළිදු ඔහුට ප්‍රශ්නයක් වනු ඇත.

මගේ පියාගෙන් මා ගණිකාව යනු කුමක්දැයි විමසූ විට ඔහු එයට පිළිතුරු නොදී ප්‍රශ්නයෙන් මග හැරියේය. පසුව හෝ කිසි දිනෙක ඔහු එහි තේරුම මට කියා දී නැත. ඒ මොහොතේම එය කිසියම් අසභ්‍ය වචනයක් යැයි මට සිතිණි. එයින් සිදුවූයේ මගේ සිත දුෂ්‍යවීම නොවේ ද? ඉන්පසු පියාගෙන් මා වචනයක තේරුම විමසූයේ ඉතාමත් කල්පනාකාරීවයි.

ලිංගික අධ්‍යාපනය ළමයින්ට දිය යුත්තේ කුඩා කාලයේ සිටම බව මම බොහෝ කලක සිට විශ්වාස කළෙමි. මේ පිළිබඳව මා මිතුරන් සමග වාද කළ අවස්ථා බොහෝ ය.

"නිසි කල ලිංගික කරුණු පිළිබඳ තොරතුරු ළමයාට ලැබිය යුත්තේ දෙමව්පියන්ගෙනි. එසේ නොවුණි නම් විෂමසමාජයෙන් මේ කරුණු ඉගෙන නො මගට යොමුවිය හැක!" එකල මගේ තර්කය එය විය.

නමුත් අද මා එම තත්වයට මුහුණ දුන් අවස්ථාවේ කුමක් කළ යුතුදැයි මට නොතේරේ. ඇත්තෙන්ම කුමක් කිව යුතුදැයි මා වහා තීරණය කළ යුතුය.

මා කළ යුත්තේ, මීට වසර විසි ගණනකට පෙර මා පියා කළාක් මෙන් මේ පොත විනාශ කර පුතුට තරවටු කිරීමද? එසේ නොමැති නම් අවස්ථානුකූලව මුසාවක් කියා ප්‍රශ්නය යටපත් කර මඩොල්දූවේ ඉස්කොලේ මහත්තයා මෙන් ඉවත්ව යෑමද?

මට එය කළ නොහැක. සමහරවිට එසේ කළහොත් සරෝජ් ගේ ඉදිරි අනාගතය අඳුරු වීමට ද ඉඩ ඇත.

නැතිනම් මා කළ යුත්තේ සියල්ල ඔහුට පැවසීමයි, යථාවබෝධය ලබා දීමයි. එහෙත් මා හැදුණු වැඩුණු පරිසරය අනුව එයට මගේ සිත නම්මා ගැනීම අපහසු සේ හැඟේ.

* * *

සරෝජ් පෙරසේම මදෙස බලා සිටී.

අවසානයේ, විනාඩි ගණනාවක් තිබූ නිහඬතාවය බිඳිමින් මම කතා කළෙමි.

"පුතේ..."



හෙන්රි වර්ණකුලසූරිය තමන් ගේ ඉරිදා පුවත්පත් කොලම් ලිපිවල අවසානයේ කීවාක් මෙන් - සෙස්ස පස්සට!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිනුවර සිංහල ලේඛකයෝ ලිපියේ දෙවන කොටස පසුව පළ වෙනු ඇත. මුල් කොටසට පාර මෙන්න.
http://rasikalogy.blogspot.com/2015/10/sydney-based-sinhala-writers.html

(image: http://english.binus.ac.id/2015/05/13/a-token-for-mrs-ray-the-2nd-winner-of-national-short-story-writing-competition_part-1/)

Thursday, 1 October 2015

සිඩ්නි නගරයේ සිංහල ලේඛකයෝ - Sydney based Sinhala writers


වසර සීයකටත් වඩා ඉහත කාලවල පවා, ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සිංහලුන් ගැන ඓතිහාසික තොරතුරු ඇතත්, සිංහල සම්භවයක් ඇති පිරිස් බහුලව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම ඇරඹී ඇත්තේ අසූවේ දශකයේ අගභාගයේ දී ය. මා පෙර ලිපියක සඳහන් කළ ආකාරයට, මේ වන විට රට පුරා විසිරී සිටින සිංහල සම්භවයක් ඇති පිරිස පනස් දහසක් පමණ වේ.

ඕස්ට්‍රේලියාවේ සිංහල අග නගරය මෙල්බර්න් නුවර යැයි සැලකිය හැක. ඒ ඔළු ගෙඩි සංඛ්‍යාව ගැන සිතීමෙනි. මම ද වසර හයක් මෙල්බර්න් හි වාසය කළෙමි. නමුත්, සිංහල ලේඛකයින් ගැන සැලකීමේ දී නම්, සිඩ්නි නගරය හෙවත් සිනුවර ලෙහෙසියෙන් ම මෙල්බර්න් නුවර අභිබවා යයි.

මේ සටහනේ මූලික අරමුණ සිඩ්නි නගරබදව වාසය කරන සිංහල ලේඛකයින් හැකි පරිදි ඔබට හඳුන්වා දීමයි.

ලයිස්තුව දිගු නිසා අද පලවෙන්නේ එයින් කිහිප දෙනෙකු ගැන විස්තර පමණි.


කුඩාගල කෝවිද

සිඩ්නි නගරය අවට ගම් දනව්වල වෙසෙන ලේඛකයින් අතරින් පොත් පත් විශාලතම සංඛ්‍යාවක් ලියා පළ කර ඇත්තේ කටුම්බා ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන කුඩාගල කෝවිද හාමුදුරුවන් විසින් යැයි මම සිතමි.

කෝවිද හිමියන් ලියා පළ කර ඇති පොත් සියල්ලම පාහේ බණ දහම් කරුණු ඇතුළත් සරල කාව්‍ය ග්‍රන්ථ වේ. ඒවා බහුතරය කුඩා දරුවන් සඳහා ලියූ කුඩා පොත් බව ද පෙනේ.

පන්සලේ දායකයින් ගේ අනුග්‍රහයෙන් මුද්‍රණය කර ඇති මේ පොත් හාමුදුරුවෝ විසින් පන්සලට යන එන අයට දහම් පඬුරු ලෙස පරිත්‍යාග කරති.

මේ පහත දැක්වෙන්නේ කෝවිද හිමියන් විසින් ලියූ පොත් විශාල සංඛ්‍යාව අතරින් පොත් කිහිපයකි.



මීගහකුඹුරේ ධම්මගවේෂී

සිනුවර පිහිටා ඇති ලංකාරාමයේ අධිපති පූජ්‍ය මීගහකුඹුරේ ධම්මගවේෂී හාමුදුරුවෝ ද ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් ලියා පළ කර ඇති අයෙකි. ධම්මගවේෂී හාමුදුරුවෝ දෙවසරකට පමණ පෙර ඕස්ටේ‍ර්ලියාවේ සංඝ නායක පදවියක් ලංකාවේ දී ලදහ.

ධම්මගවේෂී හාමදුරුවන් විසින් ලියා පළ කර ඇති පොත් සියල්ල ම බුදු දහම ගැන වැඩිහිටියන් සඳහා සැකසුණු ඒවා ය. ඉන් පොත් කිහිපයක් ලියා පළ කර ඇත්තේ ඉංගිරිසි භාෂාවෙනි.

ලංකාරාම පන්සලේ දායක සභාව විසින් ප්‍රකාශනය කර ඇති මේ ධර්ම ග්‍රන්ථ වලින් මා සතුව ඇත්තේ එකක් පමණි.



සේනාධීර පියසේන

සේනාධීර පියසේන පිළිබඳව මා මීට පෙර රසිකොලොජියේ ලිපියක් ලියා ඇත. දීර්ඝ කාලයක් සිනුවර විසූ ඔහු මේ දිනවල ලංකාවේ ජීවත් වෙයි. තවමත් පුවත්පත්වලට නිතිපතා ලිපි සපයන අනූ තුන් වියැති ඔහු අද ලංකාවේ ජීවත්වන ජ්‍යෙෂ්ඨතම සිංහල මාධ්‍යවේදියා වේ.

ඔහු මෑතදී ලියූ ග්‍රන්ථ අතර "ඡන්ද ඝාතනය" (1992), "තට්ටු මාරුව", "පවුල් වාදය සහ විනාශය" (2001), "අන්ධානුකරණයෙන් විනාශයට" (2001), "කසාය බීපු ගොළුවෝ" (2003), "රටවල් තුනක මාධ්‍ය සමග දශක හතක්" (2007), "කළු ජූලියේ රිදී ජුබිලිය සහ ජේමිස් ගේ නිදහස" (2009), "දුර රූපයේ ආවර්ජන" (2013) සහ "හුදකලාවේ ආවර්ජන" (2014) වේ.



සමන් මහානාම දිසානායක

දයාවංශ ජයකොඩි සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇති නවකථා රාශියක කතුවරයා වන සමන් මහානාම දිසානායක සිනුවර වෙසෙන ප්‍රමුඛ ලේඛකයෙකි.

සමන් දිසානායක ලියා ඇති නවකථා නම්: "බඹරැන්දේ කඟවේනා", "කැන්ගරු නිම්නය", "පුංචි සර්", "දුරුතු සිහිනය", "රන්දෙනිගල වලව්ව", "ලංසි කෙල්ල", "සුරඟන කුමරිය" සහ මෑතකදී ප්‍රකාශනය වූ "අහස් ඉම" වේ. මීට අමතරව සමන් මෙල්බර්න් නුවර පළවෙන පහන සඟරාව සඳහා ද කොටස් වශයෙන් පල වූ නවකථාවක් ලියූවේය.

සමන් දිසානායක ගේ නවකථා සියල්ලම ඉතා සූක්‍ෂ්ම ආකාරයෙන් ගෙතූ සංකීර්ණ කතා රැගත් තරමක් දුරට රහස් පරීක්‍ෂක නවකථා ගණයේ ලා සැලකිය හැකි ඒවා වීම විශේෂයකි.



පාලිත ගනේවත්ත

පාලිත ගනේවත්ත කවියෙකු, කෙටිකතාකරුවෙකු මෙන්ම නවකතාකරුවෙකු ද වේ.

ඔහු මුලින්ම ප්‍රකාශයට පත් කළේ "බොඳ වූ ලොව" නම් කාව්‍ය සංග්‍රහයයි. ඉන් අනතුරුව 2005 දී "ඇසිපිය" නමින් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශයට පත්විය.

ඔහු ලියා පළකර ඇති ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රයන් වන්නේ "ලේ හුරු සුවඳ" (2001) සහ "තුන් පෙර නිමිති" (2015) ය. මීට අමතරව පාලිත ගනේවත්ත ඇන්ටන් චෙකොෆ් ගේ කෙටිකතා සංග්‍රහයක් මුල් රුසියානු බසෙන් සිංහලට පරිවර්තනය කර 2004 දී පළ කළේය.

පාලිත ගනේවත්ත ගේ නවකථා නම් "ඇවිත් නොරටක" (2006) සහ "මාවත අබියස" (2009). මෙයින් "ඇවිත් නොරටක" කෘතිය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ සිංහල පවුලකගේ ජීවන අරගලය ගැන ගෙතුණු එකකි.

මීට අමතරව පාලිත ගනේවත්ත විසින් ලියා ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ නම්, "ගුණදාස අමරසේකර සංවාද" (2013) සහ "දොස්තර චෙකෝෆ්" (2013) වේ.



ලක්‍ෂ්මන් කොඩිතුවක්කු

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු කවියෙකි, කෙටිකතාකරුවෙකි, නවකතාකරුවෙකි. ඔහු 2005 දී "පැය අටේ මිත්‍රයෝ" නමින් සිය ප්‍රථම කෘතිය ලෙස කාව්‍ය ග්‍රන්ථයක් එළි දැක්වීය. ලක්‍ෂ්මන් ලියූ කෙටිකතා ලක්බිම වැනි ඉරිදා පුවත්පත්වල නිතර පළවෙයි.

ඔහු මේ වන විට "පරමේෂ්වරී සහ වෙනත් රටක්" සහ "හුස්ම" යන කෙටිකතා සංග්‍රහ ද්වය ලියා පළ කර ඇති අතර තුන්වෙනි කෙටිකතා සංග්‍රහයක් ද මුද්‍රණයේ පවතින බව සැලයි.

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ලියූ "පරාරෝපණය" නම් යොවුන් නවකතාව ද පසුගිය දා සුරස ප්‍රකාශනයක් ලෙස එළි දැක්විණි. ඔහු "පුංචි ටොමී සිඩ්නි ගියා" නමින් ළමා කතාවක් ද ලියා පළ කර ඇත.



හෙන්රි කුමාරප්පෙරුම

වසර 1995 දී "සමනල දූතය" නමින් කාව්‍ය සංග්‍රහයක් ලියා පළ කළ හෙන්රි කුමාරප්පෙරුම මූලිකව ම කවියෙකි. පුරාණ සිංහල සන්දේශ කාව්‍ය සම්ප්‍රදාය අනුව යමින් නිර්මාණය වී ඇති "සමනල දූතය" සිඩ්නි නගරයේ සිට ලංකාවට සමනළයෙකු මගින් යවනු ලබන සන්දේශයකි.

ඉන් පසු නවකථාකරණයට බට හෙන්රි "ගම් සරණිය" නවකතාව ද, "නිහඬ කල්පනා" සහ "සුදු සඳ රැස්" යන කෙටි නවකතා පළ කළේය. ඔහු පංචතන්ත්‍රය ඇසුරෙන් "වන රජ දහන" නම් පරිවර්තන කාව්‍යයක් ද ලියා පළකර ඇත.

හෙන්රි කුමාරප්පෙරුම දකුණු කුරු දිව් කව් - Australia: Sinhala poetic impressions නම් ඕස්ට්‍රේලියාව පිළිබඳ ලියවුණු සිංහල කාව්‍ය සංග්‍රහයේ සම සංස්කාරකයා ද වේ.

සිඩ්නි නගරය සඳහා නිමවුණු "සිනුවර" නම් වචනයේ නිර්මාතෘවරයා ද හෙන්රි කුමාරප්පෙරුම ය.




සිනුවර වාසී සිංහල ලේඛකයින් තවත් කිහිප දෙනෙකු ගැන විස්තර මේ ලිපියේ දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය පලවෙන්නේ ඊයේ දිනයෙන් ගෙවී ගිය 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia
8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya
9. W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ "ශාස්තෲ" නවකතාව ගැන පසුවදනක් - HBD2U APJ