Showing posts with label ඩයස්පෝරා. Show all posts
Showing posts with label ඩයස්පෝරා. Show all posts

Friday, 21 October 2016

පෝලීන් හැන්සන්, තෑන්ක්ස් මේට්! - Pauline Hanson, Thanks Mate!


"මගේ දෙයියා සහ උඹේ දෙයියා" යන ලිපියෙන් ඇරඹී, "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" යනුවෙන් ශාකාවක්ව විහිදී, "පෝලීන් හැන්සන් යනු කවුද"" යනුවෙන් පැතිරී ගිය දිගු කතාවේ මේ දිග හැරෙන්නේ තවත් පුරුකකි.

මේ සටහනේ අන්තර්ගතය මා මුලින් ම ප්‍රකාශ කළේ 1996 දී මෙල්බර්න් නුවර 3ZZZ ගුවන් විදුලි සේවයේ සිංහල වැඩසටහනට දුරකථනයෙන් අමතමිනි. ඒ මා "පෝලීන් හැන්සන් යනු කවුද?" යන සටහනේ සඳහන් කළ පරිදි පෝලීන් හැන්සන් නමැති කාන්තාව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් තේරී පත් වී ඇගේ මංගල කතාව පැවත්වූ සමයේ දී ය.

ඉන් වසර දහතුනකට පමණ පසුව ඇය දෙවන වරට දේශපාලනයට පිවිසෙන්නට තැත් කර පරාජය ලැබූ සමයේ මගේ ඒ අදහස ලිපියක් ලෙස සැකසී ඕස්ට්‍රේලියාවේ "පහන" මාසික සඟරාවේ පළවිය.

පසුගිය ජූලි මස පැවැත්වුණු මහමැතිවරණයේ දී ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාවට පෝලීන් හැන්සන් තේරී පත්වූ අතර මගේ ලිපියේ සංස්කරණය කරණ ලද පිටපතක් "සන්නස" මාසික සඟරාවේ පළවිය.

පහත දැක්වෙන්නේ එහි රසිකොලොජි සංස්කරණයයි.

පෝලීන් හැන්සන් යනු කවුද ලිපියේ සඳහන් වූ පරිදි, ස්වදේශික ඇබොරිජිනල් ජනතාව පිළිබඳ ආන්දෝලාත්මක ප්‍රකාශයක් කිරීමේ වරදට තම පක්‍ෂයෙන් ඉවත් කරන ලද පෝලීන් හැන්සන් තමා පාර්ලිමේන්තුවේ දී කළ මුල් ම කතාව නිසා ඊටත් වඩා කූප්‍රසිද්ධියට පත් වූවා ය. නමුත් ඇයට සහය පළ කරන පිරිස් ද රට පුරා සිටියහ.

ඔවුන් ගේ සහය ද ඇතුව පෝලීන් හැන්සන් ”වන් නේෂන්” නම් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තාය. සාමාන්‍යයෙන් ප්‍රගතිශීලී කොටස් ඇයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළ ද, පොදු ජනතාවගෙන් සියයට දහයක පමණ විශාල ප්‍රමාණයක් ඇයට පක්ෂ බව පෙනී ගියේ ය. තවත් බොහෝ පිරිස් ඇයට නිහඬ සහයෝගය දක්වන බව පැහැදිලි විය.

සමානාත්මක සමාජයක් (Egalitarian) පවතින ඕස්ට්‍රේලියාව ජාති භේද මත ධ්‍රැවීකරණය වී, අපට ආපසු ශ්‍රී ලංකාවට යන්නට වේ දැයි විටෙක මට නොසිතුණා නොවේ.

කම්කරු පක්ෂය කෙසේ වුවද, ගතානුගතික දේශපාලකයෙකු වූ එවකට අගමැති ජෝන් හාවඩ් නම් පෝලීන් හැන්සන් ගේ අදහස් වලට විරුද්ධ නොවී ඇල්මැරුණු ස්වභාවයක් පෙන්නූයේ කලකට ඉහත ඔහු ද මෙවැනිම අදහස් පල කළ අයෙකු වූ බැවිනි. ස්වදේශික ඇබොරිජිනල් ජාතිකයන් ගැන නම් ඔහු ගේ අදහස් එවකටත් (1996) එලෙසම විය.

මුලදී යම් ප්‍රගතියක් පෙන්නුම් කළත්, පෝලීන් හැන්සන් ගේ දේශපාලන ගමන ඉතා වේගයෙන් වල පල්ලට ගියේය. ඇගේ පාර්ලිමේන්තු කාලය වසර තුනකට පමණක් සීමා වූ අතර, වන් නේෂන් පක්ෂය කැඩී දියවී අවසානයේ මැතිවරණ අරමුදල් වංචාවකට අසුවී ඇයට වසරක් පමණ කාලයක් සිරබත් කන්නට ද සිදුවිය.

ඉන් පසු ටික කලක් දේශපාලනයෙන් පසු බැස සිටි සහ වරක් එංගලන්තයට සංක්‍රමණය කරන්නට පවා සැරසුණු පෝලීන් හැන්සන් පසුව දෙතුන් වරක් ප්‍රාන්ත මට්ටමේ ඡන්දවලින් ද පැරදුණා ය.

නමුත් මෙවර වසර විස්සකට පසු 2016 දී ඇය යළිත් ජය ගත්තේ ෆෙඩරල් සෙනෙට් සභාවේ ආසන තුනක් ම ඇගේ වන් නේෂන් පක්ෂයට දිනා ගනිමිනි.

එදා 1996 දී මෙල්බර්න් 3ZZZ සේවයෙන් කතාකරමින් මා මේ පහත අදහස ප්‍රකාශ කළේ අපේ සිංහල සංක්‍රමණික ජනතාවට වැදගත් පණිවිඩයක් ලබා දෙන්නයි.
කවුරු මොනවා කිව්වත්, මා නම් පෝලීන් හැන්සන් ට සැමදා ස්තුතිවන්ත වෙන කාරණයක් තිබේ. එනම්, සුළු ජාතිකයෙකු ලෙස සිතීමේ අවස්ථාවක් ඇය සිංහල අපට ලබා දීමයි.

උපන් දා සිට දශක දෙක තුනක් ලංකාවේ මහ ජාතියේ සාමාජිකයෙකු වශයෙන් ජීවත් වෙමින් සිටි අපට සුළු ජාතිකයන් සිතන්නේ කෙලෙසද යන්න පිළිබඳව කිසිදු අත්දැකීමක් ලබා ගත නොහැකි වූ බව සත්‍යයකි.

"දෙමළ මිනිස්සුන් ට ඇත්තේ මොන ප්‍රශ්න ද ඕයි?" යනුවෙන් අවස්ථාවාදී ජාතිවාදී දේශපාලන මත දරන්නන් විසින් ප්‍රශ්න කරන විට එයට විරුද්ධ වීමට වඩා එකඟ වීම අප බොහෝ දෙනෙකුට ඉතා පහසු විය.

නමුත් පෝලීන් හැන්සන් සංසිද්ධියෙන් ඇති වී තිබෙන තත්වය නිසා, අප ඕස්ට්‍රේලියාව තුළ සුළු ජාතිකයින් ය යන හැගීම අපේ සිත් තුළට කා වැදෙන්නටත්, ඒ සමගම ඇතිවෙන බිය, සැක, චංචලත්වය සහ අනාරාක්ෂිත හැඟීම් නිසා, මහ ජාතියේ බලය පෙන්වන විට සුළු ජාතිකයෙකු මුහුණ පාන තත්වය ගැන සැබෑ අත්දැකීමක් ලබා ගන්නටත් අපට පෙර නොලැබුණු අවස්ථාවක් උදා වී ඇත.

පෝලීන් හැන්සන්, මම ඒ පිළිබඳව ඔබට සදා ණය ගැති වෙමි.
මා 1996 දී ඒ කළ ප්‍රකාශය ද, පසුව 2009 දී එය ලිපියක් ලෙස මුල් වරට පළ කිරීමෙන් ද, නැවතත් පසුගිය මාසයේ එහි සංස්කරණයක් පළ කිරීමෙන් ද, අද මේ බ්ලොග් ලිපිය නිසා ද, කිහිප දෙනෙකු හෝ මේ ගැන සිතන්නට පෙළඹුණා නම්, එය මගේ අරමුණ සාර්ථක වීමකි.

-රසිකොලොජිස්ට්

(image: sannasa.com)

Friday, 24 June 2016

සිනුවර සිංහල පන්සල් - Sinhala Buddhist Temples in Sydney


වයසට යත් ම අපේ කාර්යක්‍ෂමතාවය අඩුවේ. තව දුරටත් කිරීමට හැකියාව ඇති සෑම දෙයක්ම කළ හැකිවන්නේ තරුණ කාලයේ දී ට වඩා අඩු වේගයකිනි. ඇවිදීම, කතාව, කියවීම, අවබෝධය, ධාරණ ශක්තිය වැනි මෙකී නොකී සියලු දේම ටිකෙන් ටික මන්දගාමී වේ. කරුණු එසේ නමුදු, එක් දෙයක නම් වේගය අඩුවීමක් ඇත්තේ ම නැත. ඒ අන් කිසිවක් නොව කාලය ගත වෙන වේගයයි. ඇත්තටම කියනවා නම් කාලය ගතවීම අපට දැනෙන වේගය යි. එහි වැඩි වීමක් මිස අඩු වීමක් නැත.

අළුත් වසර 2009 එළැඹුණේ අද ඊයේ මෙන් තවමත් දැනුනද, අද අප මේ ඉන්නේ වසරේ අවසානයේ ය. කල් ගතවෙන ඉක්මන! නැවතත් කියනවා නම්, කාලය ඉතා වේගයෙන්, අප තරුණ කාලයේ දී සිදු වූවා ට වඩා ඉතා වැඩි වේගයකින් ගලා යයි. නමුත් මෙහි සැබෑ තේරුම නම්, අප තව තවත් වයසට යන වේගය ද වැඩි වී ඇති බව නොවේ ද? නමුත් ලොව අන් සියලු දේ සේම තරුණ මහලු යන්නද සාපේක්‍ෂ අර්ථ දැක්වීමකි.

ඒ කෙසේ වූවද, ටිකෙන් ටික ජීවිතයේ සන්ධ්‍යා භාගයට අප ළංවෙත් ම, සිරුරේ මෙන්ම ජීවීතයේ ද වෙනස් කම් කීපයක් ඇතිවේ. මින් ප‍්‍රධාන වෙනසක් නම් ආගම දහමට සිත නැඹුරු වීමයි. ලෝ වැඩ සඟරාවේ දැක්වෙන පරිදි "කොතැන උනත් නැත මරු හට බාදා" නිසා, "අද අද එයි මරු පින් කර ගන්නේ" යැයි සිතමින්, "තම තම නැණ පමණින් දැන ගත යුතු" ධර්මය ආශ‍්‍රය කරන්නට අප පෙළඹෙමු. නිතර පන්සල් යන්නෙමු. පෝය ට සිල් ගන්නෙමු. භාවනා කරන්නෙමු. මේ කරුණු ගැන සමාන උනන්දුවක් ඇති අය හමුවූ විට නිරතුරු සාකච්ඡා කරන්නෙමු. සමහර විට භාවනාව පිළිබඳ කෙරෙන මෙවැනි සාකච්ඡා සඳහා ඇත්තටම භාවනා කරනවාට වඩා වැඩි කාලයක් මිඩංගු කරන්නෙමු. එහි වරදක් නැත. මේ සියලුම දේ වල මූලික අරමුණ චිත්ත සන්තුෂ්ටිය ම වන බැවිනි.

සිනුවර වෙසෙන ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති බෞද්ධයින් ට ආගමික කටයුතු සඳහා මෙතෙක් ඇත්තේ එකම එක සම්ප‍්‍රදානුකූල "සිංහල" පන්සලක් පමණි. ඒ සිඞ්නි නගරයෙන් කිලෝ මීටර් 45 ක් පමණ වයඹ දිගින් පිහිටි ස්කෝෆීල්ඞ් (Schofields) හි ලංකාරාමයයි. මීට අමතරව සිනුවරින් කිලෝමීටර 100 ක් පමණ බටහිරින් කටුම්බා (Katoomba) ප‍්‍රදේශයේ ද ආරණ්‍ය සේනාසනයක් පිහිටා ඇත.

මා අසා ඇති ඉතිහාසයට අනුව, වසර 1992 දී සිනුවර වාසය කරන ශී‍්‍ර ලාංකික බෞද්ධයින් ගේ ආධාර සහ උපකාර ඇතුව ලංකාරාම විහාරය ලිඩ්කොම්බ් (Lidcombe) හි කුලී නිවසක ආරම්භ කර, ඒ වසර අවසානයේ දී ඕබන් (Auburn) කරා ගෙන ගොස්, පසුව 1997 දී ස්කෝෆීල්ඞ් හි දැන් විහාරය පවත්වාගෙන යන ස්ථානයේ පිහිටුවා ගෙන ඇත. මේ වන විට (2009) ලංකාරාමය, චෛත්‍යය, බෝ මළුව, බුදු මැදුර සහ සංඝාවාසය ආදී වූ ප‍්‍රධාන විහාර අංගෝපාංගයන්ගෙන් සමන්විත බෞද්ධ මධ්‍යස්ථානයකි.

ඩොලර් තුන් ලක්‍ෂයකටත් වඩා වැඩි වියදමක් දරා, දිගු කාලයක් තිස්සේ ඉඳිකිරීම් කටයුතු කර ගෙන ගොස්, 2006 නොවැම්බරයේ දී කොත් පළඳවා විවෘත කරන්නට යෙදුණු ලංකාරාම වෛත්‍යය ගැන ද මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතු ය. කළුතර බෝධි සෑය සිහිගන්වන මෙම වෛත්‍යයේ සැකිල්ල කුහරාකාර වන අතර සමාධි පිළිමයකින් යුතු බුදු මැදුර පිහිටා ඇත්තේ චෛත්‍යය මධ්‍යයේය. පන්සලේ දී වන්දනා මාන කළ යුත්තේ වෛත්‍යය, බෝධිය, බුදු මැදුර යන අනු පිළිවෙළට නිසා, එය අනුගමනය කරන සැදැහැවතුන් ට චෛත්‍යය මළුවට දෙවරක් පිවිසීමට මෙනිසා වරම් ලැබේ.

සිනුවර තදාසන්න ප‍්‍රදේශ වල වෙසෙන සිංහල බෞද්ධයින් සියලු දෙනාටම ඇත්තේ මේ එකම පන්සල බැවින් පෝය දින වලට පන්සල සැදැහවතුන්ගෙන් පිරී ඉතිරී යයි. දැන් ලංකාරාමයට ඇති ලොකුම අවශ්‍යතාවය දැනට ඇති තාවකාලික ශාලාව වෙනුවට වැඩි පිරිසකට රැුස්විය හැකි ධර්ම ශාලාවකි. ඩොලර් මිලියනයක පමණ වියදමක් ඇස්තමේන්තු ගත ධර්ම ශාලාව ගොඩ නැගීමේ ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ දිනවල ඇරඹී ඇත.

සිනුවර තදාසන්නයේ ඇති එකම "සිංහල" පන්සල වන ලංකාරාමය ගැන කතා කරන විට මට සිහිවන්නේ මෙල්බර්න් නුවර තදාසන්නයේ පිහිටා ඇති "සිංහල" පන්සල් ප‍්‍රමාණයයි. සිනුවර සගයින් ගේ දැන ගැනීම පිණිස කෙටියෙන් කියතොත්, මා 1995 දී මෙල්බර්න් නගරයට පැමිණෙන විට ඩැංඩිනොං, නෝබල් පාර්ක් සහ ස්පි‍්‍රංවේල් නගරවල "සිංහල" පන්සල් ඉඳිවී තිබුු අතර මෝල්වන් හි සමහර කාලයන් හි සිංහල හාමුදුරුවන් වැඩ ඉන්නා ජාත්‍යන්තර පන්සලක් ද තිබුණි. අනතුරුව යුරෝක් හි පන්සලක් ගොඩ නැගුණු අතර මගේ මතකයට අනුව සිංහල ප‍්‍රජාවේ ව්‍යාප්තිය නිසා පෙර කී පන්සල් දෙකක් කීස්බරෝ සහ බෙරික් ප‍්‍රදේශවලට ගෙන යාමට සැලසුම් කෙරිණි. මීට අමතරව රිංග්වුඞ් හි සිංහල හාමුදුරුනමක් ද මෙහෙණින් වහන්සේ ලා ද වැඩ ඉන්නා ජාත්‍යන්තර පන්සලක් බිහිවුණු අතර මා මෙල්බර්න් නුවරින් සිනුවරට සංක‍්‍රමනය වූ 2001 වන විට මෙල්බර්න් හි උතුරු ප‍්‍රදේශයේ ද "සිංහල" පන්සලක් ගොඩ නැගීමට අදහස් කර තිබුණි. එදා තත්වය අද තව තවත් වැඩි දියුණු වී ඇති බවට සැක නැත.

මේ අනුව බලන කළ මෙල්බර්න් පුරවරය අද ඕස්ටේ‍්‍රලියාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රස්ථානයයි. සිනුවර එහි අහලක වත් නැත.

පන්සල් ගණන වැඩිවත් ම, ඒ අනුපාතයටම නොවුණත්, ප‍්‍රජාවේ ආගමික හැදියාව වැඩිවේ. එය නිසැකවම හොඳ දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එකම ප‍්‍රශ්නය නම් සම්පත් බෙදී යාමයි. එයද කෙටි කාලීන ප‍්‍රශ්නයක් පමණකි.

සිනුවර තදාසන්නයේ තවත් "සිංහල" පන්සල් බිහි වේවා යැයි ශාසනාලයෙන් යුතුව පතමි.

-රසිකොලොජිස්ට්

පසු-සටහන:
මා මේ ලිපිය 2009 වසරේ අග භාගයේ දී ලියන්නට හේතු වූයේ ඒ දිනවල සිනුවර අරඹන්නට පිඹුරුපත් සැකසෙමින් තිබුණු මහමෙවුනා නම් "පන්සලක්" පිළිබඳ ලංකාරාමයේ රැස්වීමක දී ඇතිවුණාය කියන සාකච්ඡාවක් ගැන තොරතුරු කන වැටීමයි.

ඒ මහමෙවුනා පන්සල පිහිටුවා දැන් සෑහෙන කලක් ගත වී ඇත. නමුත්, මා එය පිහිටා ඇත්තේ කොයි ඉසව්වේද යන්න අදත් නිශ්චිතව නොදනිමි.

"පරණ වැඩ මල්ලේ" (ශාන්ත කේ හේරත්ගෙන් අහුලා ගත් වචනයකි!) තිබී මේ ලිපිය පළ කරන්නට හිතුවේ, ලංකාවේ පොල්ගහවෙල ප්‍රදේශයේ පිහිටුවා තිබෙන යම් කිසි මාළිගාවක් පිළිබඳ තොරතුරක් පසුගිය දා ෆේස්බුක් අවකාශයේ සංසරණය වෙනවා දැකීම නිසා ය.

Wednesday, 27 April 2016

"දකුණු කුරු දිව් කව්" - ඒ මොකක්ද හලෝ ඒ හරුපේ? :: Australia - Sinhala Poetic Impressions


මා මිතුරෙකුට ලියූ කවි ලිපියකින් කොටසක් ඉන් පසුව මතු අනාගතයේ ලියවීමට ඉඩ ඇති කුකුබරා සංදේශය නම් මහා කාව්‍යයක සිනුවර වැනුම නම් සර්ගයක් ලෙස නම් කළ බවක් පසුගිය දිනයක ලියූවෙමි.

ඒ සිනුවර වැනුම වසර 2010 දී ප්‍රකාශනයට පත් කළ දකුණු කුරු දිව් කව් නම් ග්‍රන්ථයක ඇතුළත් කෙරිණි. සිඩ්නි නුවර සඳහා සිනුවර යන නම දුන් හෙන්රි කුමාරප්පෙරුම සහ මගේ සංස්කරණයෙන් සැකසුණු ඒ දකුණු කුරු දිව් කව් නම් ග්‍රන්ථය පළකෙරුණේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව නම් ප්‍රජා සංවිධානය විසිනි.

මෙහි පහත පළ කෙරෙන්නේ "දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග්‍රහය සඳහා හෙන්රි සහ මා විසින් ලියන ලද පෙරවදනයි.


දකුණු කුරු දිව් කව් - සකසු පෙර වදන

එකල් හි තිලොවට තිලක වූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ සූ අසූ වසරක තම අනුපමේය ලෝකානුකම්පික ධර්ම සේවය නිමවා, පංච සහශ‍්‍රකයක කාලයක් ලොව සුදනන් සුරකින්නට තම නිමල දහම ලොව රඳවා, ජම්බුද්වීපය නොහොත් උතුරු කුරු දිවයිනේ මලල රට කුසිනාරා වේ දී පිරිනිවා වදාළ සමයේ, එකී උතුරු කුරු දිවයිනෙන් නැව් නැගි විජය නම් රාජ කුමාරයෙක් සත් සියයක් වූ තම බල සෙනඟ ද පිරිවරා ගෙන තම්බපණ්ණී ලෙස නම් ලද ලඬ්කාද්වීපයට ගොඩ බැස, එහි තම රාජ්‍යය පිහිටුවා ලූ හ.

විජය රාජ කුමාරයා ඇතුළු පිරිස ගෙන ආ ජම්බුද්වීප මහා සංස්කෘතිය ද, යක්‍ෂ, නාග, දේව ආදී විවිධ දේශීය සංස්කෘතීන් ද මූලාශ‍්‍ර කොට ගෙන එදා ඇරඹි නව සංස්කෘතිය, එතැන් පටන් අද දක්වා විටින් විට ජම්බුද්වීපයේ විවිධ ප‍්‍රාන්තයන් ගෙන් ලඬ්කාද්වීපයට පැමිණි චෝල, පාණ්ඩ්‍ය ආදී පෙරදිග සංස්කෘතියෙන් ද, යුරෝපාකරයේ පෘතුගිරිසි, ලන්දේසි සහ ඉංගිරිසි ආදී අපරදිග සංස්කෘතියෙන් ද ඔප් නැංවී සිංහල සංස්කෘතිය ලෙස අද දක්වා චිරාත් කාලයක් තිස්සේ ලඬ්කාද්වීපයේ පැවතගෙන එන්නේය.

තවද, පෘථිවිය නම් වූ අප මහා ධරණිතලයේ දක්‍ෂිණාර්ධ ගෝලයේ එක් කෙලවරෙක පිහිටි එක් සුවිශාල දිවයිනකි. නෙත් සිත් අස්වසන්නා වූ ද, ගත සිසිල් කරවන්නා වූ ද, ශාන්තිකර සහ ඉන්දියානු තුමුල සාගර ද්විත්වයෙන් වට වී සැදුනු මේ සුන්දර භූමිය එහි භූගෝලීය පිහිටීම නිසා ම හෙල කවි බසින් "දකුණු කුරු දිවයින" ලෙසින් නම් ලද්දේය.

උත්තර සූර්්‍යා ගේ සෞම්‍ය හිරු රැුස් මැද ශීත සිසිරයේ ගිලෙනා ස්වේත වර්ණ හිම කන්දෙන් ද, දක්‍ෂිණ සූර්්‍යා ගේ චණ්ඩ හිරු රැුසින් මැඩෙමින් නීල වර්ණය විහිදුවන තුරු පිරි නිල් කඳු පෙලින් ද, යොදුන් ගණන් එක යායට විහිදුණු හරිත වර්ණ ගෝ පාලන තණ බිම් සහ කෙත් වතු වලින් ද, දුඹුරු වන් දුහුවිලි පස මිස අන් කිසිදු ජීව ගුණයකින් තොර වූ කර්කෂ ශුෂ්ක කාන්තාරයෙන් ද, ලොව අන් කිසි බිමෙක දක්නට නොලැබෙන්නා වූ කැන්ගරු, ප්ලැටිපුස්, ක්වෝලා, වොම්බැට් ආදී සත්ව විශේෂයෙන් ද, ඉයුකැලිප්ටස්, ඇකේසියා, බෑන්ක්සියා ආදී වෘක්‍ෂ ලතාවෙන් ද හෙබි, ශීත කලාපීය දක්‍ෂිණ ධ‍්‍රැවය සමීපයේ ම වාගේ සිට ඝර්ම කලාපීය සමකාසන්නය දක්වා ම වාගේ විහිදෙන්නා වූ මේ මහා භූමිය, පුරා වසර හැට දහසකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ඇබොරිජිනල් ස්වදේශිකයින් විසින් ඔවුන් ගේ වන සරන, දඩයක්කාර, පලවැල රැුස්කරන ජීවන රටාවට අනුව ජනාවාස කරන ලදුව පැවතිණ.

"ටෙරා ඔස්ට‍්‍රාලිස්" හෙවත් දකුණු බිම නමින් ඇසින් නොදැක හඳුන්වන්නට යෙදුනු දක්‍ෂිණාර්ධ ගෝලයේ පිහිටි මහා භූමියක් ගැන යුරෝපීයන් අතර දිගු කලෙක සිට අනුමානයක් පැවතිණ. අදින් සියවස් හතරකටත් ඉහත සමයෙක රුවල් බැඳි නෞකාවෙන් සමුද්‍ර ගවේෂණය කලා වූ විවිධ නෞකාපතීන් විසින් විවිධාකාරයෙන් මෙය සනාථ කරන ලදුව, අනතුරුව ජේම්ස් කුක් නමැති බිරිතානි කප්පිත්තා විසින් නිසැකවම දැන සිතියම් ගත කරන ලදී. ඉනික්බිත්තෙන් එංගලන්ත රාජාණ්ඩුවේ අණ පරිදි සිරකරුවන් රැසක් ද සමග මෙහි ගොඩ බට ආතර් පිලිප් නම් වූ කප්පිත්තා විසින් මේ මහා දක්‍ෂිණ භූමියේ නගර මං මාවත් වගා බිම් සහිතව ජනාවාස පිහිටුවන්නට යෙදිණි. එයිනුත් වර්ෂ ශතකයක් පමණ ගෙවී ගිය තැන් හි, එවකට පිහිටුවා තිිබූ සියළු ජනපද එක් කර අද පවතින ඕස්ටේ‍්‍රලියාව නම් වූ රාජ්‍යය මේ බිමේ ස්ථාපිත කරන ලදී.

මුල් කාලයේ දී ස්වදේශික ඇබොරිජිනල් ජාතිකයින් පීඩනයට ලක් කරමින්, ඔවුන් ගේ වාස භූමි කොල්ල කමින්, මේ භූමියේ වාසය සඳහා පැමිණීම යුරෝපාකරයේ සුදු ජාතිකයින් ට පමණක් සීමා කරමින් රාජ්‍යය පවත්වා ගෙන ගිය ද, මෑත අතීතයේ දිනෙක ස්වදේශිකයින් හා සමගි සන්ධාන කි‍්‍රයාවලික් අරඹා, සුදු ඕස්ටේ‍්‍රලියානු පිළිවෙත අහෝසි කර ලොව සියළු ජන කොටස් වලට ඕස්ටේ‍්‍රලියාව හෙවත් දකුණු කුරු දිවයින හිමි කර දෙමින් බහු සංස්කෘතික රාජ්‍යයක් පිහිටුවන්නට සැලසුම් කර කි‍්‍රයාත්මක කරන්නට යෙදුණි.

මේ අවසරයෙන්, පෙරකී ලඬ්කාද්වීපයේ පසල් දනව්වල සිට මෙකී දකුණු කුරු දිවයින ට සංක‍්‍රමණය කල සිංහල පිරිස් බොහෝ ය. ඔවුනතුරෙන්, දකුණු කුරු දිවෙහි පූර්ව දිශාවෙහි පිහිටි නව දකුණු වේල්ස ප‍්‍රාන්තය තම අභිනව වාස භූමිය ලෙස තෝරා ගත්තාවූ ද, තම සිංහල භාෂාව සහ සංස්කෘතිය මේ නව බහු සංස්කෘතික සමාජය තුල ස්ථාපනය කර ඉදිරි පරපුර සඳහා ද සුරක්‍ෂිත කල යුතු යැයි අධිෂ්ඨාන පූර්වකව ප‍්‍රාර්ථනා කලා වූ ද පිරිසක් එකතුව අදින් දශක දෙකකට පෙරාතුව සිංහල සංස්කෘතික හමුව නමින් ප‍්‍රජා සංවිධානයක් පිහිටුවා ලූ හ.

එදා මෙදාතුර, මෙකී සිංහල සංස්කෘතික හමුව විසින් ඉෂ්ඨ කරන්නට යෙදුනා වූ සද්කාර්යයන් රාශියෙකි. මේ දේශයේ වාසය කරමින් සිංහල සංගීත, නර්තන, රංගන යනාදී කලා කටයුතු වල නිරතවන්නන් ගේ ද, එවැනි කලාවන් රසවිඳින්නන් ගේ ද යහපත පිණිස නිතිපතා කලා මහෝත්සව සංවිධානය කිරීම ද, ඉදිරි පරපුරට අපේ සිංහල භාෂාව හා සිංහල සංස්කෘතික උරුමය දායාද කර දීමට සිංහල භාෂා පාසල් පිහිටුවා පවත්වාගෙන යාම ද, මේ දකුණු කුරු දිවයින තුල සිංහල ලේඛන කලාවේ උන්නතාභිවෘද්ධිය සඳහා සිංහල නමින් ත්‍රෛමාසික සඟරාවක් ප‍්‍රකාශයට පත් කිරීම ද මේ අතර වේ.

මේ කටයුතු තවත් ඉදිරියට රැගෙන යමින්, ලේඛන කලාවේ යෙදෙන ඕස්ටේ‍්‍රලියානු වාසී සිංහලූන් විසින් තම සංක‍්‍රමණික අත්දැකීම් අළලා ප‍්‍රබන්ධිත කෙටිකතා අඩංගු පුස්තකයක් ද පසුගිය දා එලි දක්වන්නට යෙදුණි. ශී‍්‍ර ලංකාව කේන්ද්‍රස්ථානය කොට ගත් සිංහල සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ එක් වැදගත් අංගයක් වන විගාමික සිංහල සාහිත්‍යයෙහි පෝෂණය සඳහා මෙවැනි ප‍්‍රකාශනයන් හි ඇති වැදගත්කම මෙහිදී විශිෂ්ඨ ලෙසින් දෘශ්‍යමාන විය.

සිංහල පද්‍ය සාහිත්‍යයට ද යම් කිසි ආකාරයකින් විගාමික සිංහලූන් ගෙන් සම්මාදමක් කල යුතුය යන සංකල්පය ඇති වූයේ ඉන් අනතුරුව ය. සිංහල සංස්කෘතික හමුවේ විසිවන සංවත්සරය පිණිස "දකුණු කුරු දිව් කව්" නමින් මෙලෙස ඔබ වෙත පිදෙන මේ කාව්‍ය සංග‍්‍රහය ඒ සංකල්පයේ ප‍්‍රථිඵලයයි.

මෙම කෘතිය සම්පාදනය කර ප‍්‍රකාශයට පත් කිරීමෙහි ලා හේතු සාධක වූ මුඛ්‍ය අරමුණු කීපයකි. පෙරකී ලෙසින් පොදුවේ සිංහල පද්‍ය සාහිත්‍යයට සහ සුවිශේෂීව විගාමික සිංහල සාහිත්‍යයට අනන්‍ය වූ සම්මාදමක් කිරීම, ශී‍්‍ර ලාංකික සිංහල පාඨකයින් ට ඕස්ටේ‍්‍රලියාව පිළිබඳ පද්‍යයෙන් හැඳින්වීමක් ලබාදීම, දකුණු කුරු දිව් වාසී සිංහල කවි කිවිදියන් ට තම නිර්මාණාත්මක හැකියාවන් පොදු රසාස්වාදනයට නැංවීමට ඉඩකඩ ලබා දීම ඒ අරමුණු අතර වෙයි.

"දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග‍්‍රහය සැකසී ඇත්තේ සිංහල මහා කාව්‍ය සම්ප‍්‍රදායේ ලක්‍ෂණ උපයෝගී කොට ගනිමිනි. එසේ නමුදු මේ කෘතිය මුළුමනින් ම ශී‍්‍ර ලංකාවෙන් පිටස්තර පරිසරයක් විස්තර කරන්නක් වේ. ඒ සමගම, මේ සඳහා කාව්‍යමය දායකත්වය සැපයුනේ එක් කවියෙකු ගෙන් නොව කවි කිවිඳියන්් විශාල පිරිසකගෙනි. මේ ආකාරයෙන් බලන විට මේ දකුණු කුරු දිව් කාව්‍ය සංග‍්‍රහය වනාහී මින් පෙර සිංහල සාහිත්‍යයේ නොතිබුණු ආකාරයේ සුවිශේෂී කෘතියක් යයි අපි සිතමු.

"පෙදෙහි රස හව් විඳිනා, දෙනෙතා ඉතා දුලබෝ" යයි කව් සිළුමිණ කතුවරයාණෝ පැවසූහ. මේ කෘතිය ප‍්‍රකාශනයෙහි ලා අපේ අවසාන අරමුණ වන්නේ එවන් දෙනෙත් වඩාත් සුලබ කිරීමය.

මේ වගට,

නව දකුණු වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව වෙනුවෙන්,

"දකුණු කුරු දිව් කව්" සකසුවෝ

රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි සහ හෙන්රි ඩෙල්සන් කුමාරප්පෙරුම වම්හ.


-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කෘතිය දයාවංශ ජයකොඩි පොත්හළෙන් ඉතා සුළු මුදලකට ලබාගත හැක.



Sunday, 24 April 2016

කාන්තාවන් ගර්භණී නොකරවන, රජුන්ට වන්දිබට්ඨකම් නොකරන කුකුබරා සංදේශයේ සිනුවර වැනුම! - A poetic impression of Sydney


සිංහල පද්‍ය සාහිත්‍යයේ අග්‍ර ගණයේ නිර්මාණ ලෙසින් සැලකෙන සංදේශ කාව්‍යයන් ලියවී ඇත්තේ බොහෝ විට ඒ ඒ කාලයේ සිටි රජාලාට වන්දිබට්ඨකම් කිරීමට ය. ඒ සමගම, ඇතැම් විට, දුරස්ථ පාලකයක් වැනි උපකරණයක් මගින් අග බිසවක ගර්භණී කරවීම ද අපේක්‍ෂා කර ඇති බව පෙනේ.

සැළලිහිණි, ගිරා, හංස යනාදී මීට වසර සිය ගණනකට පෙර ලියවුණු සංදේශ කාව්‍යයන්ට අමතරව, අරමුණු කෙසේ වෙතත්, ඒ කාව්‍ය සම්ප්‍රදායම අනුගමනය කරමින් මෑත කාලයේ ද විවිධ සංදේශ කාව්‍යයන් ලිය වී ඇති බව කිව හැක.

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ පිහිටි සිනුවර සිට ශ්‍රී ලංකාව බලා සමනළයෙකු අත යැවෙන සන්දේශයක් ඇතුළත්, සමනළ දුතය මා කියවා ඇති ඒ ආකාරයේ නූතන සන්දේශ කාව්‍යයකි. මේ කාව්‍යය රචනා කළේ මා දන්නා හඳුනන කවියෙකු වන හෙන්රි කුමාරප්පෙරුම විසිනි. සිඩ්නි නගරය කවි බසින් සිනුවර ලෙස නම් කළේ ද ඔහු ය.

හෙන්රි කුමාරප්පෙරුම ගේ සමනළ දූතයේ අරමුණ වූයේ එවකට පැවති දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදය මර්දනය කරන ලෙස එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඉල්ලීමයි.

සන්දේශ කාව්‍යයන් හි එක් වැදගත් අංගයක් වනුයේ සන්දේශය ගෙන යන පක්‍ෂියා විසින් ඒ ගමනේ දී පසු කරන නගර පිළිබඳව කෙරෙන විස්තරයයි.

මිතුරෙකු සමග කළ කවි සංවාදයක් සඳහා, සිනුවර පිළිබඳව කවි කිහිපයක් රචනා කළ මා ඉන් පසුව කළේ, පෙර කී සංදේශ කාව්‍යයන් ගේ ආකෘතිය අනුගමනය කරමින්, මගේ කවි පන්තිය, කුකුබරා සන්දේශයේ සිඩ්නි පුර වැනුම ලෙස නම් කිරීමයි.

කුකුබරා යනු ඕස්ට්‍රේලියාවට ආවේණික පක්‍ෂියෙකි.

මෙන්න ඒ අනාගතයේ ලියවීමට ඉඩ ඇති කුකුබරා සංදේශයේ සිනුවර වැනුම සර්ගය.

කුකුබරා සංදේශය සිනුවර වැනුම

සසර දිනූ බුදු සමිඳුට සිරස නමා
ගෙදර බුදුන් සිහිකර හද ඇතිව පෙමා
මෙවර බඳිමි කවි සොඳ උපමේය දමා
නුවර සිඩ්නි වරුණය දනු මිතුරු තුමා

තල්මස් රංචු ගැවසෙන පැසිපික් සයුරේ
මල් ගස් සෙමෙර සලනා නිල් කඳු අතරේ
පෙම් බස් දොඩන වන රොද දකුණේ උතුරේ
සිත් අස් වසයි මායිම් මැද සැදි නගරේ

ඔපෙරා මැදුර ලොව සුපතල සළකුණකී
ගජරාමෙට සෙනග ගැවසෙන අඩවියකී
මදිරා සුරා පැන් හල් අඩු නැතිය සකී
මිතුරා කැමති නම් රස ගුණ බැලිය හැකී

අහස උසට විහිදෙන සුවිසල් මැදුරූ
පහස ලබති සීතල මේකුළු සොඳුරූ
දහස සියක් නෙක පැහැ මල් පිපි පඳුරූ
කෙලෙස කවෙන් ඒ රුව වණමි ද මිතුරූ

නගරය මැදින් බැස යන ගංගා ලලන
කරදිය කලපුවෙන් නිමවයි ඇගෙ ගමන
සිතිජය දිගට නෙකවන් පැහැ රුසිරු ගෙන
අසිරිය බලනු සුමිතුර නෞකා යනෙන

කලපුව උඩින් විහිදෙන පාලම විසල
සලකුණු කරයි සිප්කම් වැඩ ලොව පතල
රළ පෙළ නගන කරදිය පිරි විල පතුල
බල මැන මිතුර යන වාහන උමං තුළ

අරන් නෙක පිරිස සිය දහසින් සොඳිනේ
තුළින් උමං දුම්රිය යේ අතුරු සැනේ
බලන් මිතුර නැත දුම් පිට වනු එයිනේ
සොඳින් ජවය විදුලියෙනුය ඉපද වුණේ

නුවර වට නගර උප ඇත සතර අතේ
පවර මහා මං ජාලෙන් යා කෙරෙතේ
මිතුර යොමනු නෙත ඉසි ගති නැතුව සිතේ
නතර නොවී යා හැක රතු එළි නොමැතේ

අවට නගර බද ගම් සිය ගණන් ඇත
සොඳට සැදි ගෙවල් දොරවල් නිමක් නැත
යසට ජයට සිය ගණනින් දන වෙසෙත
සැපට කැමති නැති කවුරුද කලණ මිත


මා මාතෘකාවේ සඳහන් කළාක් මෙන් දුරස්ථ පාලකයක් වැනි උපකරණයක් මගින් කාන්තාවන් ගර්භණී කරවීමක් හෝ රජුන්ට වන්දිබට්ඨකම් කිරීමක් හෝ කුකුබරා සංදේශය ලිවීමේ අරමුණක් වෙතැයි කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක.

-රසිකොලොජිස්ට්

(image: http://claytonkashuba.com/tag/cartoon-animals/)

Tuesday, 26 January 2016

ඕස්ට්‍රේලියානු ජාතික දිනයේ අවුලක්! - What's wrong with the Australia Day?


අද ජනවාරි 26 වෙනිදා ඕස්ට්‍රේලියානු දිනයයි, එනම් ඕස්ට්‍රේලියාවේ ජාතික දිනයයි.

ජාතික දිනය සඳහා අද දිනය තෝරාගෙන ඇත්තේ වසර 1788 දී නැව් එකොළහක් සහිත ඇණියකින් කපිතාන් ආතර් පිලිප් මහා බ්‍රිතානයේ සිට සිඩ්නි අසල ප්‍රදේශයට පැමිණ මේ මහාද්වීපය තම රජු වෙනුවෙන් අයිතිකරගෙන සිර කඳවුරක් සඳහා කොලණියක් පිහිටවීම මගින් වත්මන් ඕස්ට්‍රේලියාවේ ඇරඹුම සනිටුහන් වෙන බැවිනි.

ජාතික දිනය සැමරීමට රාජ්‍ය උත්සව පැවැත්වෙනවා විය යුතුය. නමුත් රටවැසියන් බොහෝ දෙනෙකු කරන්නේ අද දිනයේ බැටළු මස් සහ ඉස්සන් සහිතව සම්ප්‍රදායානුකූල බාබකියු භෝජනයක් රස විඳීමයි. ඒ සඳහා අනුපාන ලෙස බියර් සහ වයින් ද නොමසුරුව භාවිතා වේ.

තවත් වැදගත් කර්තව්‍යයක් වෙන්නේ වසරේ ඕස්ට්‍රේලියානුවා තේරීමයි. මා දන්නා තරමින් පසුගිය වසර විස්සක කාලය තුළ මේ සඳහා ක්‍රීඩකයින්, සිනමා නළුවන්, හමුදාකාරයින් මෙන්ම, වෛද්‍යවරුන්, විද්‍යාඥයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් ද තෝරා ගෙන ඇත.

පසුගිය වසරේ මේ උපහාරය ලැබුණේ ගෘහස්ථ හිංසනය වැලැක්වීම පිළිබඳව වැඩ කළ කාන්තාවකයි. මේ වසරේ හිටපු හමුදා ප්‍රධානියා ඒ සඳහා තෝරාගෙන ඇත. ඒ ඔහු හමුදා ප්‍රධානියාව සිටි නිසාම නම් නොවේ!

කෙසේ නමුත්, ඕස්ට්‍රේලියානු දිනයේ විශාල ප්‍රශ්නයක් ද ඇත.

ඒ මේ දිනය සම්බන්ධයෙනි.

එදා ආතර් පිලිප් ගේ පැමිණීම සිදුවූ දිනයේ ම, මෙරට එතෙක් විසූ මුල් පදිංචිකාර ඇබොරිනල් ජාතිකයින් ගේ විනාශය ඇරඹුණි.

එය හත්සීයක හොරුන් රංචුවක් සමග විජය ඉන්දියාවේ සිට ලංකාවට ගොඩ බැස එදා එහි සිටි යක්‍ෂ ගොත්‍රිකයින් ගේ විනාශය ඇරඹීම හා සැසඳිය හැකි අවස්ථාවක් බව පෙනේ.

රටකට ජාතික දිනයක් අවශ්‍ය නමුත් පෙර කී කාරණය නිසා, බ්‍රිතාන්‍යයින් මෙහි පැමිණි දිනයම ජාතික දිනය ලෙස තෝරා ගැනීමේ අවුලක් ඇත.

එනිසා ඕස්ට්‍රේලියානු ජාතික දිනය සැමරෙන අද දිනය ආක්‍රමණ දිනය ලෙස ද විරෝධය දැක්වීමක් ලෙසින් හැඳින්වෙනු දැකිය හැක.

මගේ අදහස නම්, යම් දිනක ඕස්ට්‍රේලියාව ජනරජයක් වූ දිනට මේ අවුල ලිහී යනු ඇති බවයි!

හවසට බාබකියු දැමීමට අවශ්‍ය බඩු(*) ගෙන ඒමට මට කඩේ යාමට ඇති නිසා මෙයින් නවතිමි.

ඔබ සැමට ජොලි ගුඩ් ඕස්ට්‍රේලියානු දිනයක් වේවා.

-රසිකොලොජිස්ට්

(*) බඩු යනු මස් සහ පාන් ය. දියර වර්ග නම්, පොලීසියෙන් ඉල්ලන විට දෙන්නට වුවද ඇති තරම්, ඉස්ටොක් එකේ ඇත!

(image: http://fleurieucoast.com/event/australia-day-2016/)

Saturday, 19 December 2015

පොත් එළිදැක්වීමේ උත්සවයේ සිට ආපසු එද්දී ඩයස්පෝරිකයෙකු ලියූ නොස්ටැල්ජියානු බයිනරි කවිය - A poem dedicated to Hashitha Abeywardana


සතියක් ඇතුළත පොත් එළිදැක්වීම් උත්සව දෙකකට ම සහභාගී වීමට මට අවස්තාව ලැබුණි.

මෙයින් මුල් උත්සවය වූයේ යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" පොත එළිදැක්වීමයි. දෙවැන්න, නිරාෂ ගුණසේකර ගේ "මැරිලින් මොන්රෝ ඔබ සහ මම" පොත එළිදැක්වීමේ උත්සවයයි.

මේ උත්සව දෙකේ පොදු සාධක කිහිපයක් විය.

ඉන් එකක් නම් මේ ග්‍රන්ථ ද්වයම කාව්‍ය සංග්‍රහ වීමයි.

දෙවන්න නම්, උත්සව සභා දෙකේම ආරාධිත දේශකයෙකු ලෙස මා මිත්‍ර හෂිත අබේවර්ධන සහභාගී වීමයි.

හෂිත අබේවර්ධන මගේ මිතුරෙකු වූයේ වසර 2010 දී පැවැති ජගත් ජේ එදිරිසිංහ ගේ "රාජාලි පියාපත කාව්‍ය සංග්‍රහය" එළිදැක්වීමේ උත්සවයේ දී මුණ ගැසීමෙන් වීම ද සුවිශේෂී කාරණයකි.

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ පොත එළිදැක්වීමේ උත්සවය ගැන මගේ අදහස් මා පෙර දිනයක රසිකොලොජියේ ලියූවෙමි.

මේ පහත බයිනරි කවිය ලියවුණේ දෙවෙනි උත්සවයේ දී, හෂිත අබේවර්ධන කළ කතාව සිහිකරමින් නිවසට පැමිණෙත් දී ය.

පොත් එළිදැක්වීමේ උත්සවයේ සිට ආපසු එද්දී ඩයස්පෝරිකයෙකු ලියූ නොස්ටැල්ජියානු බයිනරි කවිය

ගැට පොලොස් හොද්දක
ඇඹුල් තියල් පෙත්තක
කිරිබත් කැබැල්ලක
බතික් සරම් කබලක
නැතිය මට
නොස්ටැල්ජියානු අහවල් එක!

තෙසක් රිය සර්කසයක
දාඩිය දමන බසයක
සින්දු ඩෙසිබෙල් සහසක
විචාරක පඬි වදනක
ඇතිය මට
නොස්ටැල්ජියානු අහවල් එක!


-රසිකොලොජිස්ට්

(Photos: https://www.facebook.com/Nirasha.Gunasekera/photos)

Thursday, 17 December 2015

"වළේ" ඉඳං නාට්‍ය බැලූ හැටි : සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිලිබඳ අතීත ආවර්ජනාවකි! - Nostalgia


කාල යන්ත‍්‍රයක නැගී හෝ වෙනත් ක‍්‍රමයකින් හෝ අතීතයට යාමට හැකියාවක් ලබා ගත හැකි නම්, අප බොහෝ දෙනෙකු එදා ගත් තීරණ කිහිපයක් හෝ වෙනස් කර අදට වඩා වෙනස් වූ වර්තමානයක ජීවත්වනු ඇතැයි මට සිතේ. එසේ කළ හැකි නම් සහ තමන් එළිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ‍්‍රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහනයෙන් හරි අඩක් පමණ තම සංක‍්‍රමණ අයැදුම් පත් ගාස්තුව ද ඉතිරි කරගෙන පින් කෙත හෙළ රන් දෙරණේ අද ද යහතින් කල් යවනු ඇත.

මා සම්බන්ධයෙන් නම් කිව යුත්තේ, සම වයසේ යුවතියන් පිළිබඳ කිසිසේත් සිත කරදර කර නොගෙන, නිසැකවම නිෂ්ප‍්‍රභාවන බව අපරදෘෂ්ටියෙන් දන්නා ප‍්‍රශ්න ඔවුන් ගෙන් නොඅසා, මා සොඳුරු අනාගත පියඹ මුණ ගැසෙන තුරුම, කුමර බඹසර අසපුවේ මා නිරාමිසව කල් ගතකරන්නට ඉඩ තිබුණු බවයි.

මා අතීතයේ ගත් කුමන තීරණ කුමන ලෙස වෙනස් කළද, කිසි දිනක එලෙස වෙනස් නොකරන එක් තීරණයක් ඇත. එය නම්, මීට වසර විසි අටකට කලින් විශ්වවිද්‍යාල පිවිසුම සඳහා අයැදුම් කරද්දී, උඩුගම් බලා පීනමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගේ මුල් තේරීම ලෙස සඳහන් කරන්නට ගත් නිවරද තීරණයයි.

එදා මා "ටැක්නිකල් හන්දිය" වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිළී ගඳ වෙනුවට මල් සුවඳ තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. "ජේම්ස් ජෝර්ජ් ශාලාව" වෙනුවට "සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය" තෝරා ගත්තෙමි.

කාල යන්ත‍්‍රයක නැගී අතීතයට යාමට අවස්ථාවක් ලදහොත් නැවත එලෙස කරන්නට ද කිසිසේත් ම නොපැකිලෙමි.

සොඳුරු හන්තාන කඳු වැටිය පාමුල, මහවැලි ඉවුර අසබඩ දිවෙන ගලහ මාර්ගයේ ආදරවන්තයින් ගේ වංගුව හෙවත් "කිසිං බෙන්ඞ්" පසුකර තුන් මහලින් සැදි, මල් කැටයම් පිරි, හිල්ඩා ඔබේසේකර සරසවි පාය දෙසට පා නගන කල දකුණු පසින් දක්නට ලැබෙන්නේ උඩරට කඳු අතර සරණ විට නිබඳ නෙත ගැටෙන රැළි ලියැදි වලින් යුත් කුඹුරක් වන් පි‍්‍රය උපදවන දසුනකි. මේ එදා පුරාණ ගී‍්‍රක රඟ මඩලක අර්ධ වෘත්තාකාර ආකෘතියට අනුව යමින්, පේරාදෙණිය සිරිලක මහා තක්සලාව අලංකෘත කල මහා කලාකරු, මහාචාර්ය වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කර, දේශීය අභිවාහ්‍ය කළා රසිකයින් ගේ රංගන රසකාමය සන්තර්පනය කිරීම පිණිස දායාද කරන ලද එළිමහන් රංග පීඨයයි.

තම ස්වයං චර්තාපදානය වන "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතියෙහි මේ රඟහල පිළිබද සටහනක් තබන සරච්චන්ද්‍රයෝ මෙසේ පවසති.
"මනමේ නාටකයේ අභිරංගයක් ඉදිරිපත් කළ හැක්කේ තාත්වික රංගයට සුදුසු පරිදි හැඩගැසුණු ප්‍රොසීනියම් රංග භූමියක නොව, රඟ මඩලක යයි විශ්වාස කළ මම, එවැනි තැනක් පේරාදෙණියේ කඳු අතර එළිමහනේ වුව සකස් කරගත හැකි නම් මැනවයි සිතමින් උන්නෙමි. එකල මා වාසය කෙළේ සංඝමිත්තා කන්ද උඩ තුබූ ගෙවල් තුනකින් එකක ය. හැම දා ම කන්ද බැස ආට්ස් බ්ලොක් දෙසට යන මම, කඳු පල්ලේ වම් පසෙහි වළන් කැබැල්ලක ආකෘතිය දරන කඳු බෑවුමක් නිතර දකිමි. එහි කලින් තුබූ ලියදි වල් බිහි වී දැන් පඩි පෙළක් මෙන් සෑදී ඇත. බෑවුමේ පතුලේ සමතලා භූමි භාගයක් තිබේ. මේ ස්ථානය මා හැමදාම පසු කර යන නමුත් එය කෙරෙහි මගේ අවධානය යොමු වූයේ එළිමහන් රඟ මඬලක් ගැන සිතමින් හුන් දවස්වල ය. එය, ඇම්පිතියටර් යන නමින් හඳුන්වන පේ‍්‍රක්ෂාගාරයකට හා රංගභූමියකට සුදුසු ස්වාභාවික පිහිටීමකින් යුත් තැනක් නොවේ දැයි මම කල්පනා කෙළෙමි. පතුලේ සමතලා භූමිය සක් කරගත හොත් එහි නාට්‍යයක් රඟ පෑ හැකි ය. පේ‍්‍රක්ෂකයින් ට කඳු බෑවුමේ පඩි උඩ වාඩි වී නාට්‍යය බැලිය හැකි ය."

"මනමේ බිහි වූයේ 1956 නොවැම්බර මස තුන් වෙනි දා ය. එය එළිමහන් රඟ මඬලේ, සාම්ප‍්‍රදායික නාඩගම් රීතිය උල්ලංඝනය නොකර, අභීෂ්ට පරිසරයක රඟ දක්වන ලද්දේ 1958 පෙබරවාරි හෝ මාර්තු මස රාති‍්‍රයක ය."
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වීමේ මහානුභාවයෙන් "සරච්චන්ද්‍ර වළේ" සිටම සරච්චන්ද්‍ර නාටක නරඹන්නට මම වරම් ලදිමි. මනමේ, සිංහබාහු, මහාසාර, රත්තරං සහ එලොව ගිහින් මොලොව ආවා ඒ අතර වූ බව මගේ මතකයයි. විජය නන්දසිරි, නිශ්ශංක දිද්දෙනිය, ජය ශී‍්‍ර චන්ද්‍රජිත්, ලලිතා සහ යශෝදරා සරච්චන්ද්‍ර වැනි ප‍්‍රවීන නළු නිළියෝ එදා පේරාදෙණිය නාට්‍ය කළා උලෙළේ දී වේදිකා ගතවුණු සරච්චන්ද්‍ර නාට්‍යයන් හි රඟ පෑ අයුරු මට අද ද දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙන්නාක් සේ ය. එපමණක් නොවේ. ජයන්ත චන්ද්‍රසිරි ගේ අත්, සුනන්ද මහේන්ද්‍ර ගේ පොකුරු වැස්ස, සාලමන් ෆොන්සේකා ගේ අහිමි ජීවිත යනාදී අග‍්‍ර ගණයේ දෘශ්‍ය කාව්‍යයන් රැසක් නරඹා රස විඳින්නට මට හැකිවූයේ ද මේ සරච්චන්ද්‍ර එළිමහන් රඟහල නිසාbය.

කුසුම්සිරි ලියනාරච්චි සහ යසෝදරා සරච්චන්ද්‍ර දෙපළ ගේ නව නිෂ්පාදනයක් ලෙසින් මෙදා (2009) ඕස්ටේ‍්‍රලියාවේ දී අප හමුවට ආ ”රත්තරං” සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ ආරම්භය ගැන එදා සරච්චන්දුයෝ මෙසේ පැවසූහ.
"ඊළඟ අවුරුදු තුනේ මම, ගුවන් විදුලි නාට්‍යයක් වශයෙන් පළමුවෙන් රචනා කරන ලද 'රත්තරන්' හා 'එලොව ගිහින් මෙලොව ආව' යන කෙටි නාට්‍ය දෙක නිෂ්පාදනය කළෙමි. 'රත්තරන්' නිෂ්පාදනයට තොවිල් සම්ප‍්‍රදායේ නැටුම් වුවමනා වූ බැවින් වැලිගම නිවැසි ගෝමිත් ගුරුන්නාන්සේ මම පේරාදෙණියට ගෙන්වා ගතිමි. 'එලොව ගිහින් මෙලොව ආව' නම් නාට්‍යයට ආංගීකාහිනය රචනා කෙළේ මිහිරිපැන්න ය. ඒවා නම් විශිෂ්ට කාල්පනික නිර්මාණ බව කිව යුතුය."

"මේ නාට්‍ය දෙක නිෂ්පාදනය කරද්දී මා වෑයම් කෙළේ නාඩගම් ශෛලියෙන් බැහැරට ගොස් ගැමි ශාන්ති කර්ම හා ඒවායේ අඩංගු පෙළපාලිවල ශෛලියෙන් අපට යමක් උකහාගත නොහැකි දැ යි බැලීමට ය."
එදා අඩ අදුරේ ගිලූණු සරච්චන්ද්‍ර රඟහලේ සිට මම බොහෝ වේදිකා නාටක නැරඹුවෙමි. ඉන් නව නළු රස සිත් සේ වින්දෙමි. මතු දිවිය පුරාවටම දියෙන් කිරි වෙන්කර රස විඳින්නට ද, කඩුව ද, කොපුව ද, මනමේ කුමරිය ද යන ති‍්‍රත්වයම රැක ගන්නට ද, බාහු හා සීවලී කෙසේ වෙතත් අඩු ගණනේ සුප්පාවිය වත් ලෙන් දොර රඳවා ගන්නට ද, අවැසි පන්නරය ඉන් ලබා ගත්තෙමි.

අහා! එවන් සුන්දර සමයක්!

පෙර කී පරිදි කාල යන්ත‍්‍රයක පිහිටෙන් යළිත් අසූවේ දශකයේ පූර්ව භාගයට යන්නට ඇත්තම්, මා පේරාදෙණියේ සදහටම නතර වීමේ තීරණයක් ගන්නට ද සෑහෙන්න ඉඩ තිබේ.

සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහළට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම් ය. හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙළෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යළි යළිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.

අහෝ! කාල යන්ත‍්‍ර වනා හී විද්‍යා ප‍්‍රබන්ධයන් ට සීමා වූ මිථ්‍යාවක් පමණක් ම ය!

ඉදින්, එවන් අතත්‍ය කාල යන්ත‍්‍රයක පිහිට කිසිසේත් ම නොලබා, මෙම සරච්චන්ද්‍ර නාට්‍ය ද්විත්වයේ රසහව් මෙලෙස "දකුණු කුරු දිව" ලෙස කව් බසින් නම් ලද ඕස්ටේ‍්‍රලියාවේ දී ජීවමානව විඳින්න ට අවකාශ ලැබීම අප ලද මහරුතම භාග්‍යයක් නොවන්නේ ද?

මහවැලි ගඟ බඩ නව දැලි හේනේ පෑ රැඟුම් කෙසේ වෙතත්, පෙර කී සොදුරු හන්තාන කඳු පියසේ ම වුව ද සුනිල මහවැලි නදියෙන් වෙන් කර තිබුණා වූ ශුෂ්ක කලාපයේ "කම්මලක්" තුළ සිව් වසරක සිර දඩුවමක් ගෙවූ හේතුවෙන් දෝ, මට "සරච්චන්ද්‍ර නාටක" බොහොමයක් "සරච්චන්ද්‍ර වළේ" සිට රස විඳීමෙන් ඔබ්බට යමක් කල නොහැකි විය.

එදා ලඬ්කාද්වීපයේ දී සරච්චන්ද්‍ර නාටකයන් ට තම රංගන දායකත්වය සැපයූ කලාකරුවෙකු වන නාට්‍යවේදී චම්ප බුද්ධිපාල ගේ සංවිධාන මූලිකත්වයෙන් සිඞ්නි නුවර පැවැත්වුණු "රත්තරං" සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ දර්ශනයන් හි දී අත්වැල් ගායනයෙන් සහභාගී වීමට මා දුහිතෘ කුමරියට අවස්ථාවක් ලැබීම මට රත්තරං වලට වඩා වටින්නේ ඒ නිසා ය. හරස් මාරු වූ මගේ ජානයෝ එදා මා නොලද ඒ වරම මෙදා ලදහ. තුටූ කඳුළු මුල් වරට මා නෙත නැගිණි.

එදා ඒ ගොරහැඩි "කම්මලේ" සමකාලීනකයෙකු වූ මා ළබැඳි ජයන්ත රත්නායක නම් මාර්ග තැනුම් සගයා "රත්තරං" නාටකයේ පුතා ගේ භූමිකාවට පණ පොවමින් මා නිසැකවම කිසි දිනෙක පහස නොලබන ගිරි ශිඛරයක් තරණය කරනු දුටු මොහොතේ පෘථග්ජන ම සිත නැගි මාත්සර්යය, උන් ලද ඒ ජය නිසාවෙන් මා නෙත එකම දිනයේ දෙවෙනි වරට නැගි තුටු කඳුළින් සමථය කර ගත්තෙමි.

-රසික සූරියආරච්චි

"වළේ" ඉඳං නාට්‍ය බැලූ හැටි : සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිලිබඳ අතීත ආවර්ජනාවකි! - Nostalgia


කාල යන්ත‍්‍රයක නැගී හෝ වෙනත් ක‍්‍රමයකින් හෝ අතීතයට යාමට හැකියාවක් ලබා ගත හැකි නම්, අප බොහෝ දෙනෙකු එදා ගත් තීරණ කිහිපයක් හෝ වෙනස් කර අදට වඩා වෙනස් වූ වර්තමානයක ජීවත්වනු ඇතැයි මට සිතේ. එසේ කළ හැකි නම් සහ තමන් එළිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ‍්‍රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහනයෙන් හරි අඩක් පමණ තම සංක‍්‍රමණ අයැදුම් පත් ගාස්තුව ද ඉතිරි කරගෙන පින් කෙත හෙළ රන් දෙරණේ අද ද යහතින් කල් යවනු ඇත.

මා සම්බන්ධයෙන් නම් කිව යුත්තේ, සම වයසේ යුවතියන් පිළිබඳ කිසිසේත් සිත කරදර කර නොගෙන, නිසැකවම නිෂ්ප‍්‍රභාවන බව අපරදෘෂ්ටියෙන් දන්නා ප‍්‍රශ්න ඔවුන් ගෙන් නොඅසා, මා සොඳුරු අනාගත පියඹ මුණ ගැසෙන තුරුම, කුමර බඹසර අසපුවේ මා නිරාමිසව කල් ගතකරන්නට ඉඩ තිබුණු බවයි.

මා අතීතයේ ගත් කුමන තීරණ කුමන ලෙස වෙනස් කළද, කිසි දිනක එලෙස වෙනස් නොකරන එක් තීරණයක් ඇත. එය නම්, මීට වසර විසි අටකට කලින් විශ්වවිද්‍යාල පිවිසුම සඳහා අයැදුම් කරද්දී, උඩුගම් බලා පීනමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගේ මුල් තේරීම ලෙස සඳහන් කරන්නට ගත් නිවරද තීරණයයි.

එදා මා "ටැක්නිකල් හන්දිය" වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිළී ගඳ වෙනුවට මල් සුවඳ තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. "ජේම්ස් ජෝර්ජ් ශාලාව" වෙනුවට "සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය" තෝරා ගත්තෙමි.

කාල යන්ත‍්‍රයක නැගී අතීතයට යාමට අවස්ථාවක් ලදහොත් නැවත එලෙස කරන්නට ද කිසිසේත් ම නොපැකිලෙමි.

සොඳුරු හන්තාන කඳු වැටිය පාමුල, මහවැලි ඉවුර අසබඩ දිවෙන ගලහ මාර්ගයේ ආදරවන්තයින් ගේ වංගුව හෙවත් "කිසිං බෙන්ඞ්" පසුකර තුන් මහලින් සැදි, මල් කැටයම් පිරි, හිල්ඩා ඔබේසේකර සරසවි පාය දෙසට පා නගන කල දකුණු පසින් දක්නට ලැබෙන්නේ උඩරට කඳු අතර සරණ විට නිබඳ නෙත ගැටෙන රැළි ලියැදි වලින් යුත් කුඹුරක් වන් පි‍්‍රය උපදවන දසුනකි. මේ එදා පුරාණ ගී‍්‍රක රඟ මඩලක අර්ධ වෘත්තාකාර ආකෘතියට අනුව යමින්, පේරාදෙණිය සිරිලක මහා තක්සලාව අලංකෘත කල මහා කලාකරු, මහාචාර්ය වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කර, දේශීය අභිවාහ්‍ය කළා රසිකයින් ගේ රංගන රසකාමය සන්තර්පනය කිරීම පිණිස දායාද කරන ලද එළිමහන් රංග පීඨයයි.

තම ස්වයං චර්තාපදානය වන "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතියෙහි මේ රඟහල පිළිබද සටහනක් තබන සරච්චන්ද්‍රයෝ මෙසේ පවසති.
"මනමේ නාටකයේ අභිරංගයක් ඉදිරිපත් කළ හැක්කේ තාත්වික රංගයට සුදුසු පරිදි හැඩගැසුණු ප්‍රොසීනියම් රංග භූමියක නොව, රඟ මඩලක යයි විශ්වාස කළ මම, එවැනි තැනක් පේරාදෙණියේ කඳු අතර එළිමහනේ වුව සකස් කරගත හැකි නම් මැනවයි සිතමින් උන්නෙමි. එකල මා වාසය කෙළේ සංඝමිත්තා කන්ද උඩ තුබූ ගෙවල් තුනකින් එකක ය. හැම දා ම කන්ද බැස ආට්ස් බ්ලොක් දෙසට යන මම, කඳු පල්ලේ වම් පසෙහි වළන් කැබැල්ලක ආකෘතිය දරන කඳු බෑවුමක් නිතර දකිමි. එහි කලින් තුබූ ලියදි වල් බිහි වී දැන් පඩි පෙළක් මෙන් සෑදී ඇත. බෑවුමේ පතුලේ සමතලා භූමි භාගයක් තිබේ. මේ ස්ථානය මා හැමදාම පසු කර යන නමුත් එය කෙරෙහි මගේ අවධානය යොමු වූයේ එළිමහන් රඟ මඬලක් ගැන සිතමින් හුන් දවස්වල ය. එය, ඇම්පිතියටර් යන නමින් හඳුන්වන පේ‍්‍රක්ෂාගාරයකට හා රංගභූමියකට සුදුසු ස්වාභාවික පිහිටීමකින් යුත් තැනක් නොවේ දැයි මම කල්පනා කෙළෙමි. පතුලේ සමතලා භූමිය සක් කරගත හොත් එහි නාට්‍යයක් රඟ පෑ හැකි ය. පේ‍්‍රක්ෂකයින් ට කඳු බෑවුමේ පඩි උඩ වාඩි වී නාට්‍යය බැලිය හැකි ය."

"මනමේ බිහි වූයේ 1956 නොවැම්බර මස තුන් වෙනි දා ය. එය එළිමහන් රඟ මඬලේ, සාම්ප‍්‍රදායික නාඩගම් රීතිය උල්ලංඝනය නොකර, අභීෂ්ට පරිසරයක රඟ දක්වන ලද්දේ 1958 පෙබරවාරි හෝ මාර්තු මස රාති‍්‍රයක ය."
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වීමේ මහානුභාවයෙන් "සරච්චන්ද්‍ර වළේ" සිටම සරච්චන්ද්‍ර නාටක නරඹන්නට මම වරම් ලදිමි. මනමේ, සිංහබාහු, මහාසාර, රත්තරං සහ එලොව ගිහින් මොලොව ආවා ඒ අතර වූ බව මගේ මතකයයි. විජය නන්දසිරි, නිශ්ශංක දිද්දෙනිය, ජය ශී‍්‍ර චන්ද්‍රජිත්, ලලිතා සහ යශෝදරා සරච්චන්ද්‍ර වැනි ප‍්‍රවීන නළු නිළියෝ එදා පේරාදෙණිය නාට්‍ය කළා උලෙළේ දී වේදිකා ගතවුණු සරච්චන්ද්‍ර නාට්‍යයන් හි රඟ පෑ අයුරු මට අද ද දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙන්නාක් සේ ය. එපමණක් නොවේ. ජයන්ත චන්ද්‍රසිරි ගේ අත්, සුනන්ද මහේන්ද්‍ර ගේ පොකුරු වැස්ස, සාලමන් ෆොන්සේකා ගේ අහිමි ජීවිත යනාදී අග‍්‍ර ගණයේ දෘශ්‍ය කාව්‍යයන් රැසක් නරඹා රස විඳින්නට මට හැකිවූයේ ද මේ සරච්චන්ද්‍ර එළිමහන් රඟහල නිසාbය.

කුසුම්සිරි ලියනාරච්චි සහ යසෝදරා සරච්චන්ද්‍ර දෙපළ ගේ නව නිෂ්පාදනයක් ලෙසින් මෙදා (2009) ඕස්ටේ‍්‍රලියාවේ දී අප හමුවට ආ ”රත්තරං” සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ ආරම්භය ගැන එදා සරච්චන්දුයෝ මෙසේ පැවසූහ.
"ඊළඟ අවුරුදු තුනේ මම, ගුවන් විදුලි නාට්‍යයක් වශයෙන් පළමුවෙන් රචනා කරන ලද 'රත්තරන්' හා 'එලොව ගිහින් මෙලොව ආව' යන කෙටි නාට්‍ය දෙක නිෂ්පාදනය කළෙමි. 'රත්තරන්' නිෂ්පාදනයට තොවිල් සම්ප‍්‍රදායේ නැටුම් වුවමනා වූ බැවින් වැලිගම නිවැසි ගෝමිත් ගුරුන්නාන්සේ මම පේරාදෙණියට ගෙන්වා ගතිමි. 'එලොව ගිහින් මෙලොව ආව' නම් නාට්‍යයට ආංගීකාහිනය රචනා කෙළේ මිහිරිපැන්න ය. ඒවා නම් විශිෂ්ට කාල්පනික නිර්මාණ බව කිව යුතුය."

"මේ නාට්‍ය දෙක නිෂ්පාදනය කරද්දී මා වෑයම් කෙළේ නාඩගම් ශෛලියෙන් බැහැරට ගොස් ගැමි ශාන්ති කර්ම හා ඒවායේ අඩංගු පෙළපාලිවල ශෛලියෙන් අපට යමක් උකහාගත නොහැකි දැ යි බැලීමට ය."
එදා අඩ අදුරේ ගිලූණු සරච්චන්ද්‍ර රඟහලේ සිට මම බොහෝ වේදිකා නාටක නැරඹුවෙමි. ඉන් නව නළු රස සිත් සේ වින්දෙමි. මතු දිවිය පුරාවටම දියෙන් කිරි වෙන්කර රස විඳින්නට ද, කඩුව ද, කොපුව ද, මනමේ කුමරිය ද යන ති‍්‍රත්වයම රැක ගන්නට ද, බාහු හා සීවලී කෙසේ වෙතත් අඩු ගණනේ සුප්පාවිය වත් ලෙන් දොර රඳවා ගන්නට ද, අවැසි පන්නරය ඉන් ලබා ගත්තෙමි.

අහා! එවන් සුන්දර සමයක්!

පෙර කී පරිදි කාල යන්ත‍්‍රයක පිහිටෙන් යළිත් අසූවේ දශකයේ පූර්ව භාගයට යන්නට ඇත්තම්, මා පේරාදෙණියේ සදහටම නතර වීමේ තීරණයක් ගන්නට ද සෑහෙන්න ඉඩ තිබේ.

සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහළට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම් ය. හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙළෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යළි යළිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.

අහෝ! කාල යන්ත‍්‍ර වනා හී විද්‍යා ප‍්‍රබන්ධයන් ට සීමා වූ මිථ්‍යාවක් පමණක් ම ය!

ඉදින්, එවන් අතත්‍ය කාල යන්ත‍්‍රයක පිහිට කිසිසේත් ම නොලබා, මෙම සරච්චන්ද්‍ර නාට්‍ය ද්විත්වයේ රසහව් මෙලෙස "දකුණු කුරු දිව" ලෙස කව් බසින් නම් ලද ඕස්ටේ‍්‍රලියාවේ දී ජීවමානව විඳින්න ට අවකාශ ලැබීම අප ලද මහරුතම භාග්‍යයක් නොවන්නේ ද?

මහවැලි ගඟ බඩ නව දැලි හේනේ පෑ රැඟුම් කෙසේ වෙතත්, පෙර කී සොදුරු හන්තාන කඳු පියසේ ම වුව ද සුනිල මහවැලි නදියෙන් වෙන් කර තිබුණා වූ ශුෂ්ක කලාපයේ "කම්මලක්" තුළ සිව් වසරක සිර දඩුවමක් ගෙවූ හේතුවෙන් දෝ, මට "සරච්චන්ද්‍ර නාටක" බොහොමයක් "සරච්චන්ද්‍ර වළේ" සිට රස විඳීමෙන් ඔබ්බට යමක් කල නොහැකි විය.

එදා ලඬ්කාද්වීපයේ දී සරච්චන්ද්‍ර නාටකයන් ට තම රංගන දායකත්වය සැපයූ කලාකරුවෙකු වන නාට්‍යවේදී චම්ප බුද්ධිපාල ගේ සංවිධාන මූලිකත්වයෙන් සිඞ්නි නුවර පැවැත්වුණු "රත්තරං" සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ දර්ශනයන් හි දී අත්වැල් ගායනයෙන් සහභාගී වීමට මා දුහිතෘ කුමරියට අවස්ථාවක් ලැබීම මට රත්තරං වලට වඩා වටින්නේ ඒ නිසා ය. හරස් මාරු වූ මගේ ජානයෝ එදා මා නොලද ඒ වරම මෙදා ලදහ. තුටූ කඳුළු මුල් වරට මා නෙත නැගිණි.

එදා ඒ ගොරහැඩි "කම්මලේ" සමකාලීනකයෙකු වූ මා ළබැඳි ජයන්ත රත්නායක නම් මාර්ග තැනුම් සගයා "රත්තරං" නාටකයේ පුතා ගේ භූමිකාවට පණ පොවමින් මා නිසැකවම කිසි දිනෙක පහස නොලබන ගිරි ශිඛරයක් තරණය කරනු දුටු මොහොතේ පෘථග්ජන ම සිත නැගි මාත්සර්යය, උන් ලද ඒ ජය නිසාවෙන් මා නෙත එකම දිනයේ දෙවෙනි වරට නැගි තුටු කඳුළින් සමථය කර ගත්තෙමි.

-රසික සූරියආරච්චි

Tuesday, 22 September 2015

ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia


ශ්‍රී ලංකාව නිජබිම කරගත් සිංහලයින් ද මේ වන විට ලෝකය පුරා විවිධ රටවලට සංක්‍රමණය කර සැලකිය යුතු තරමේ විසිරි ජන කොටසක් හෙවත් ඩයස්පෝරාවක් බවට පත් වී ඇත. එයින් මා වෙසෙන ඕස්ට්‍රේලියාව තම නිත්‍ය වාස භූමිය කරගත් පිරිස සහ ඔවුන්ගෙන් පැවත එන දරු මුනුබුරු පිරිස පනස් දහසක් පමණ වෙති.

ඒ සමගම, අපේ සිංහල බ්ලොග් අර්ධගෝලයේ ද, සමානුපාතික නියෝජනයක් ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවන්ට හිමි වී ඇති බව පෙනේ.

මගේ මේ වෑයම, ඕස්ට්‍රේලියානුවාසී සිංහල බ්ලොග්කරුවන් අතරින් මා දන්නා කීප දෙනෙකු පිළිබඳව විස්තර කිරීමයි. මේ ලැයිස්තුව පලවෙන්නේ අකාරාදී පිළිවෙළට නොව විකාරාදී පිළිවෙළට (එනම්, මගේ සිතට එන අනුපිළිවෙලට) බව සලකන්න.

මේ ලයිස්තුවට ඇතුළත් විය යුතු වෙනත් අය ගැන ඔබ දන්නේ නම්, කරුණාකර මට ඒ විස්තර දන්වා එවන්න.


ඔබ්සර්වර් - සනත් විජේවර්ධන
වසර 2012 අප්‍රියෙල් මාසයේ දී අප අතරින් වියෝවුණු සනත් විජේවර්ධන තම ඔබ්සර්වර් නම් බ්ලොග් අඩවිය අරඹන විට කාලයක් තිස්සේ බ්ලොග් කියවන්නෙකු සහ අන්තිම පෙළිය නම් සාමූහික බ්ලොග් ප්‍රයත්නයේ ක්‍රියාකාරිකයෙකුව ද සිටියේ ය.

මූලිකව ම හාස්‍ය රසය බෙදා හදා ගැනීමට අමතරව, ඕස්ට්‍රේලියාව පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ද, සනත් ගේ බ්ලොගයේ පළවුණි.

ඔහු ගේ ලිපිවලින් හෙළිවුනු පරිදි ගම්පහ ප්‍රදේශයේ හැදී වැඩී, වෙස්ලි විද්‍යාලයෙන් සහ ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතයෙන් අධ්‍යාපනය ලැබූ සනත් විජේවර්ධන ඕස්ටේ‍ර්ලියාවට සංක්‍රමණය කරන්නට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කර ඇත.

ඕස්ට්‍රේලියාවේ බටහිර දෙසින් පිහිටි පර්ත් නගරබදව විසු සනත් සමග මම කිහිපවරක් ම දුරකථනයෙන් කතාබහ කර ඇත්තෙමි.

ඔබා හෙවත් ඔබා මාමා ලෙසින් සිංහල බ්ලොග් වැසියන් අතර ආදරයෙන් හැඳින්වුණු සනත් විජේවර්ධනව සැමරීම සඳහා අන්තිම පේළිය බ්ලොග් කණ්ඩායමේ සාමාජිකයෝ සෑම වසරකම ලංකාවේ දී ලේ දන් දීමේ වැඩ සටහනක් සංවිධානය කරති.

http://observer-nireekshaka-observer.blogspot.com/


මියුරු වර්ල්ඩ් - මියුරු
මියුරු වෙසෙන්නේ ද පර්ත් නුවරය. සිංහල බ්ලොග් ලියන්නන් අතරින් සනත් විජේවර්ධන හෙවත් ඔබ්සර්වර් ගේ අවමගුලට සහභාගී වෙන්නට ඉඩ ලැබුණේ ඇයට පමණි.

ඇගේ මියුරු වර්ල්ඩ් නම් වූ බ්ලොග් අඩවිය නම් දැන් අක්‍රිය වී ඇත. එය සක්‍රීයව පැවති කාලයේ විවිධ රසකතා අප හා බෙදා ගත් අයුරු ඇය අමතක කර දැමීම ගෙන දෙන්නේ දුකකි!

http://miyuruworld.blogspot.com/


රඟහල - තිසර ශ්‍රීමාල්
තිසර දැන් දිගු කාලක සිට බ්ලොග් කියවන්නෙකු, කමෙන්ට්කරුවෙකු සහ ෆේස්බුක් සැරිසරන්නෙකු වුවද, කලකට පෙර රඟහල නම් බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගියේය.

ඔහු වෙසෙන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් නුවර තදාසන්නයේ ය. මා තිසර සමග කිහිපවරක් දුරකථනයෙන් කතාබහ කර ඇති වුවද, කිසි දා මුණ ගැසී නැත. අපට මුණ ගැසෙන්නට ලැබුණු හොඳම අවස්ථාවද, එදින පැවති කලබලකාරී වාතාවරණය නිසා අවාසනාවට මෙන් මග හැරී ගියේ ය.

http://rangahala.blogspot.com/


දයල් බතී - දයල් බතී
දයල් බතී නම් බ්ලොග් අඩවියේ එනමින් ම පෙනී සිටින එහි කතෘ වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ බව ඔහු ලියන ඇතැම් ලිපිවලින් පෙනේ. සමහරවිට දයල් බතීව මට මුණ ගැසී තියෙන්නට ද ඉඩ තිබේ. නමුත් ඒ ගැන මට නිශ්චිතව කිව නොහැක.

දයල් බතී බ්ලොග් රචකයා ගේ ඒ ආරුඪ නාමය සිගිරියේ කුරුටු ගී ලියූ කවියෙකු ගේ බව කියවේ. බ්ලොග් ලියන දයල් බතීට ඇත්තේ ද අසමසම රචනා විලාසයක් බව කිව යුතුය. එනම්, ඔහුටම ආවේණික ඒ ලිවීමේ ශෛලිය මා වෙනත් කිසිදු ස්ථානයක දැක නොමැත.

http://dayal-bathee.blogspot.com/


රයිගම හන්දිය - චන්ද්‍රකුමාර
රයිගම හන්දිය බ්ලොග්කරුවා ගේ නම චන්ද්‍රකුමාර යැයි බ්ලොගයේ පැවසේ. කැන්බරා නුවර රජයේ සේවයේ නිරත විද්‍යාඥයෙකු බවද එහි පළවෙන ලිපි මගින් සොයා ගත හැක.
රයිගම බ්ලොගය රචනා වෙන්නේ සැමට නොව කීප දෙනෙකුට කියවීමට පමණක් යැයි බ්ලොග්කරුවා නිතර පවසයි.

නමුත් මගේ අදහස නම්, ලංකාවේ පරණ කථාවල සිට, රුසියාව, එංගලන්තය හරහා ඕස්ටේ‍ර්ලියාව දක්වා ද, පතෝල කරලේ සිට සොසේජ් කරල දක්වා ද විහිදෙන මේ බ්ලොගයේ අන්තර්ගතය අප හැම දෙනාටම විටින් විට රස විඳිය හැකි සලාදයක් බවයි.

ඔහු සමග මා කිහිප විටක් දුරකථනයෙන් කතා බහ කර ඇත.

https://raigamahandiya.wordpress.com/


ඕෆ් ද ටැන්ජන්ට් - නිරෝ
නිරෝෂිණී වාසය කරන්නේ මෙල්බර්න් නුවර ය. ඇය පරිගණක විද්‍යාඥවරියක බවත්, ළඟදී ආචාර්ය උපාධිය ලැබූ බවත්, ඊට කලින් යුග දිවියට ඇතුළත් වුණු බවත් මම ඒ බ්ලොගයෙන් කියවා ඇත්තෙමි.

නිරෝ මට එක් දිනක් මුණ ගැසුණු මුත් ඒ අවස්ථාවේ තිබූ කනගාටුදායක තත්වය නිසා අල්ලාප සල්ලාපයේ යෙදීමට නොහැකි විය.

http://niro-offonatangent.blogspot.com/


රසිකොලොජිස්ට් - රසික සූරියආරච්චි
මගේ බ්ලොග් ලිවීම ගැන මෙතනින් කියවන්න.

1. http://rasikalogy.blogspot.com/2014/10/off-we-go.html
2. http://rasikalogy.blogspot.com/2015/04/blogging-for-ten-years.html


මැල්බනයේ විත්ති – ප්‍රබුද්ධ මිස්සක
ප්‍රධාන වශයෙන් මෙල්බර්න් නගරයේ සහ පොදුවේ ඕස්ට්‍රේලියාවේ විස්තර සහිතව කෙටි කලක් පැවතුණු බ්ලොගයකි.

http://storiesfrommelbourne.blogspot.com/


ඔසී කතා - කස්ස
දැනට වසර දෙකකින් පමණ යාවත්කාලීන වී නැති වුණත් ඔසී කතා පවත්වාගෙන ගිය කාලයේ එය තරමක ප්‍රසිද්ධියක් ලත් බ්ලොග් අඩවියක් බව මගේ මතකයයි.

මෙහි රචකයා වන කස්ස යනු එනමින් අන්තිම පේළියේ (හෝ එවැනි තැනක) ලියූ කස්ස දැයි නොදනිමි!

http://ozikatha.blogspot.com/


සිඩ්නි සිතුවිලි – ප්‍රියන්ත ෆොන්සේකා
ඔහු සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයෙකු ලෙස ගත කළ සමයේ ලද අත්දැකීම් ඇසුරෙන් සිඩ්නි සිතුවිලි නම් බ්ලොග් අඩවිය ලියූ ප්‍ර්‍රියන්ත ෆොන්සේකා දැන් ආපසු ලංකාව බලා ගොස් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සේවය කරයි.

http://sydneythought.blogspot.com/


ඇත්ත කතා - ගීතක ජයසූරිය
ගීතක ජයසූරිය විසින් කාලයක් තිස්සේ පවත්වා ගෙන ආ ඇත්ත කතා නම් වූ බ්ලොග් අඩවිය ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමත් සමගම වසා දමා ඇති බව කණගාටුවෙන් දැන්විය යුතුය.

ඇත්ත කතා රචකයා පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ උගත් අයෙකු බව ඔහු ලියූ ලිපිවලින් සහ කමෙන්ටුවලින් හැඟී ගියේ ය. ඔහු දැන් ජීවත් වෙන්නේ මෙල්බර්න් නගරයේ ය. ඇත්ත කතා බ්ලොගයේ පල වූ ඒ සියලු ලිපි සුරක්‍ෂිතව ඇති බව මා ඔහුට දුරකථනයෙන් කතා කළ වේලේ ගීතක මා සමග පැවසීය.

බ්ලොග් ලිවීම අතහැර ඇති වුවද, මේ දිනවල ගීතක ෆේස්බුක් අවකාශයේ නම් නිබඳව සැරිසරනු පෙනේ!


මා බාල කාලේ - කවිඳු ජයසිංහ
මේ බ්ලොග් අඩවිය මගේ ලැයිස්තුවට ඇතුළත් වෙන්නේ තමා වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේ බව කවිඳු නමින් බ්ලොග් ලියන්නා විසින් මට දන්වා එවා තිබුණු බැවිනි. ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උගත්තෙකු බව ද කලකට පෙර එහි පලවී තිබුණු ලිපිවලින් මම දැන ගත්තෙමි.

නමෙන් ම පැවසෙන පරිදි මේ බ්ලොග් අඩවියේ ලියවෙන්නේ කවිඳු ජයසිංහ ගේ ජීවිත කතාවයි. බාල කාලේ විස්තර පමණක් නොව විශ්ව විද්‍යාල සමයේ කතා ද එහි ඇතුළත් බව කිව යුතුය.

http://kalukitty1.blogspot.com/


යාං හෑලි - මහසොහොන් පිල්ලිය
මේ අන්වර්ථ නාමයෙන් බ්ලොග් ලිපිවලට ප්‍රතිචාර දක්වන්නා මෙල්බර්න් නුවර වාසය කළේ ය. ඔහු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරන අයෙකු බව මගේ අදහසයි. මුලින් කමෙන්ට්කරුවෙකු පමණක් වුවද, මහසොහොන් පිල්ලිය පසුව බ්ලොග් අඩවියක් ද ඇරඹීය.

මේ වෙන විට මහසොහොන් පිල්ලිය ඕස්ට්‍රේලියාවේ වාසය කරන්නේදැයි ස්ථිරව කිව නොහැකි මුත්, මේ ලයිස්තුවට ඔහුව ද ඇතුළත් කළ යුතු යැයි මට සිතුණි.

http://mahason-gibberish.blogspot.com/


බ්ලොග් කවි - සුනිල් ගෝවින්නගේ
සුනිල් ගෝවින්නගේ යනු දශක ගණනාවක් තිස්සේ ප්‍රබන්ධ සාහිත්‍යය සහ සාහිත්‍යකරුවන් ඇසුරු කළ අයෙකි. ද්වි භාෂා රචකයෙකු වන ඔහු ඉංගිරිසියෙන් මෙන්ම සිංහලෙන් ද කෙටිකතා, නවකථා සහ කවි පොත් රචනා කර ඇත.

තම කාව්‍ය රචනා පාඨකයින් සමග බෙදා ගැනීම පිණිස සුනිල් බ්ලොග් අඩවි දෙකක් භාවිතා කරයි. ඉන් පළමුවැන්න මතක මාවත වන අතර දෙවැන්න පර්ත් කවි වේ.

1. http://perthkavi.blogspot.com/
2. http://govinnage.blogspot.com/


බ්ලොග් හතක් ලියන සුජීව කොකාවල
සයිබර් අවකාශයේ දිගු කාලයක සිට බඩ පිනුම් ගසන ෆැටී ෆ්‍රොග් (නමින් සැදි ඊ-මේල් ලිපිනයක් ඇති) සුජීව කොකාවලව අමුතුවෙන් හඳුන්වා දිය යුතුද?

සුජීව ගැන මා මුලින් දැන ගත්තේ ප්‍රධාන වශයෙන් ම බ්ලොග් අඩවිවල දීරඝ කමෙන්ට්කරුවෙකු ලෙසය. නිරතුරු යාවත්කාලීන නොකළ ද, ඔහු ඔහු ගේ ම බ්ලොග් අඩවි කිහිපයක් ම පවත්වා ගෙන යයි.

එසේ නමුත් සුජීව කොකාවල තම ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය ලෙස යොදා ගන්නේ ෆේස්බුක් අවකාශයයි. ඒ ඔහු මූලිකව ම දේශපාලන සත්වයෙකු නිසා යැයි සිතමි.

සුජීව ගේ බ්ලොග් අඩවිවල අන්තර්ගතය සහ ඔහු ගේ ෆේස්බුක් සටහන්වල අන්තර්ගතය එකිනෙකින් හාත්පසින්ම වෙනස් බව කිව යුතු ය.

ඕස්ට්‍රේලියාවේ දි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව කාලයක් ලංකාවේ ගත කළ සුජීව නැවත 2012 දී මෙහි සංක්‍රමණය කළ පසු මට ප්‍රථම සහ එකම වතාවට හමුවිය. දුරකථනයෙන් නම්, දෙතුන්වරක් ම කතා බහ කර ඇත්තෙමි.

1. http://a-y-a-a-l-e.blogspot.com/
2. http://vagathuga.blogspot.com/
3. http://slash-dev-slash-null.blogspot.com/
4. http://nikamata.blogspot.com/
5. http://free-unbound.blogspot.com/
6. http://short-katha.blogspot.com/
7. http://stray-foot.blogspot.com/


ජීවිතයේ කෙටි සටහන් - අනුෂ්ක තිලකරත්න
මා අනුෂ්කව හැඳින ගත්තේ බූන්දිය හරහාය. වසර තුනකට පෙර ඔහු සිනුවරට සංක්‍රමණය කළේ ය. ඉඳහිට කවියක් දෙකක් බ්ලොගයේ පළකරයි.

ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවන් අතරින් මගේ ළඟම අසල්වැසියා ඔහු ය. ළඟම කිව්වාට කිලෝ මිටර් අටක් පමණ ඇත.

http://anushka0703.blogspot.com/


පොඩි කුමරිහාමි - ප්‍රවීනා පලිපාන
වසර පහක පමණ කාලයක සිට බ්ලොග්කරනයේ යෙදෙන පොඩි කුමාරිහාමි හෙවත් බොහෝ දෙනා ඇය හඳුන්වන පරිදි පොඩ්ඩි වෙසෙන්නේ ඕස්ටේ‍ර්ලියාවේ, වික්ටෝරියානු ප්‍රාන්තයේ, මෙල්බර්න් නගරයේ නිරිත දෙසින් පිහිටා ඇති නියම්ගමක බව දැන් නිශ්වය වශයෙන්ම දනිමි.

මුල් අවුරුදු කිහිපය තුල නිතිපතා රසකතා ලියූ ඇයට, පසුව ඒ ඇබ්බැහියෙන් තරමක් මිදුණි. එයට හේතුව අහුකුණ්ටිකයෙකු මෙන් හැම තැන ඇවිදින අවිවේකී ජීවිතයක් ගත කිරීම බව ඇය පවසා ඇත.

නමුත් ඒ හැම දීර්ඝ සංචාරකින්ම පසුව ඒ ගමන් විස්තර සහිත රසවත් ලිපියක් අප හමුවට ගෙන ඒමට ඇය අමතක නොකරයි. ඒ ගැන මගේ ස්තුතිය ඇයට හිමිවේ.

http://podikumarihami.blogspot.com/


ලංකාවෙන් පිටත වෙසෙන සිංහල බ්ලොග්කරුවන් විසින් පවත්වාගෙන යනු ලබන බ්ලොග් එක් ස්ථානයකට එකතු කළ සින්ඩිකේටරයක් ද මට පසුගිය දිනයක හමුවිය. එය රටගිය ඇත්තෝ ලෙසින් නම් කර තිබුණි.

http://ratagiyaeththo.blogspot.com/

රටගිය ඇත්තෝ යනු දිගු කලකට පෙර ලංකාවේ විකාශනය වූ ටෙලි නාට්‍යයකි. එහි කතා වස්තුව වූයේ ලංකාවෙන් එංගලන්තයට සංක්‍රමණය කළ පිරිසක ගේ ජීවිත ගෙවෙන ආකාරයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය සැකසුණේ 2015 සාහිත්‍ය මාසය වෙනුවෙනි.

සාහිත්‍යය යනු මුද්‍රිත පොත් පමණක් ම නොවන බව කියවීමට කැමති සියලු දෙනා විසින්ම වටහාගත යුතු වේ!

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු අනෙකුත් ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!

Tuesday, 30 June 2015

ඉගලිටේරියන් යනු කුණුහරුපයක් ද? - What the hell is Egalitarianism


ඕස්ට්‍රේලියාවේ ද ලොක්කෝ සිටිති. සොක්කෝ ද සිටිති.

රටේ ලොක්කා ලෙස අග්‍රාණ්ඩුකාරයෙකු සිටියි. ආණ්ඩුවේ ලොක්කා ලෙස අගමැති සිටියි. ඇමති මණ්ඩලයක් සහ මන්ත්‍රීලා ද සිටිති. ඊට අමතරව ප්‍රාන්ත රජයේ මහ ඇමති ඇතුළු ඇමති මණ්ඩලය, මන්ත්‍රීලා ද ඇතුළු විශාල පිරිසක් සිටිති. ඒ සමගම අප වැනි මහජනතාව ද සිටිති.

ඔය තරම් ලොක්කන් සිටියත් ඒ කිසිවෙකුට සාමාන්‍ය ජනතාව හෝ මාධ්‍යකාරයින් හෝ තියා ඇම්බැට්ටයින්වත් එතුමා, උතුමා, ඔබතුමා කියා දෙකට නැමෙන ආකාරයක් මා පසුගිය විසි වසර තුළ නම් දැක නැත. ඕනෑම සොක්කෙක් ඕනෑම ලොක්කෙකු අමතන්නේ එක්කෝ මුල් නම කියාය, නැතිනම් "මචං" වැනි ආමන්ත්‍රණයක් වෙන "මේට්" (mate) කියා ය. ප්‍රසිද්ධ සභාවලදී සහ මාධ්‍ය වැඩසටහන්වලදී ඇතැම් අයව තනතුරු නාමයෙන් හඳුන්වා දෙන අවස්ථා කලාතුරකින් මා දැක ඇත.

හය දහසක් පමණ සේවය කරන අපේ ආයතනයේ ලොක්කා පීටර් ය. ඔහු යටතේ ඩිරෙක්ටර් ලා හය දෙනෙකි. අපේ ඩිරෙක්ටර් කෙන්ට වාර්තා කරන ජෙනරල් මැනේජර් ලා හය දෙනෙකි. එයි එක් අයෙකු වෙන මගේ ජෙනරල් මැනේජර් මයික්ට වාර්තා කරන කළමනාකරුවන් හත් දෙනෙකි. මගේ මැනේජර්වරිය වෙන ෂැරන් ඉන් එක් අයෙකි. ඇයට වාර්තා කරන කළමනාකරුවන් පිරිස මා ද ඇතුළුව පස් දෙනෙකි. ඉන් එක් අයෙකු වෙන පිලිප් යටතේ තවත් පිරිසක් සේවය කරති.

මේ කිසිවෙකුත් අනෙකෙකුට නමෙන් මිස වෙනත් ආකාරයකින් එනම් සර්, මැඩම්, මිස්ට, මිසිස් කියා, අමතන සිරිතක් නැත. නම නොදන්නේ නම් මේට් කියති.

මේ ඉගලිටේරියන් (egalitarian) සමාජයක ලක්‍ෂණයකි.

ඉගලිටේරියන් යනුවෙන් අදහස් කෙරෙන්නේ සමහිමිකම් සහිත හෙවත් සමානාත්මක යන්නයි.

මගේ අම්මා ගේ සම වයසේ සිටියත්, අපේ මිය ගිය ආච්චී ගේ ජීවිතයේ අවසන් සමයේ චර්යාව නිරූපණය කරන වාසුදේව නානායක්කාර යනු සමාන සමාජයක් වෙනුවෙන් පෙනී සිටි ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයෙකු බව මා ලියූ ලිපි දෙක තුනකම සඳහන් විය.

සමාජවාදී සමාජයකින් අපේක්‍ෂිත තරමට ම නො වූව ද, ඉගලිටේරියන් යන්නෙන් අදහස් කෙරෙන්නේ ද එක්තරා ආකාරයක සමාජ සමානත්වයකි. සමාන දේපල හිමිකම හෝ හිමි නැතිකම හැර අන් සියලුම කරුණුවලින් සමාජයේ සාමාජිකයින් එකිනෙකා හා සමානවීම ඉගලිටේරියන් යන්නෙන් හැඳින්වේ.

එනම්,
සේවයේ නිරතවෙන්නට ඇති සමාන අයිතිය,
ආර්ථික ක්‍රියාවලියට සමාන අයිතිය
සමාන සේවයට සමාන වැටුප්,
ජනවාර්ගික සහ ලිංගිකත්ව සමානත්වය,
නීතියේ සමානත්වය,
ආගමික සමානත්වය,
සමාන අධ්‍යාපන අවස්ථා,
තොරතුරු දැන ගැනීමේ සමානත්වය
වෛද්‍ය ප්‍රතිකාර සහ පහසුකම් සඳහා සමානත්වය
සමාන පුද්ගලික නිදහස
යනාදියයි.

සර්ව සම්පුර්ණ තත්වයට සෑහෙන දුරින් සිටියද, ඕස්ට්‍රේලියානු සමාජය ලෝකයේ අන් රටවලට සාපේක්‍ෂව ඉහළ මට්ටමේ ඉගෙලිටේරියානු සමාජයක් ලෙස සැළකිය හැකිය. (ආදායම අතින් නම් ඇති නැති පරතරය විශාල එකක් වේ!)

මේ ආකාරයේ සමාජයක් බිහිවීමට හේතුව ලෙස සැලකෙන්නේ අද පවතින ඕස්ට්‍රේලියාව ජනාවාස වූයේ බ්‍රිතාත්‍යයේ සිරකරුවන්ගෙන් වීමයි. ඔවුන් ගේ පාලකයින් විසින් මේ පිටුවහල්කරන ලද එළිමහන් සිරකරුවන්ට සහ බොහෝ විට ඔවුන්ගෙන් ජාතක වුණු දරුවන්ට ද සලකන ලද විෂම ක්‍රමය නිසා, ඔවුනොවුන් අතර දැඩි මිත්‍ර බැඳීමක් ඇති වී ඇත. ඒ බහුතර කණ්ඩායමේ අගයන් අද මුලු මහත් ඕස්ට්‍රේලියානු සමාජයටම ආරෝපණය වී ඇත.

ලාංකිකයින් වෙන අපටද, ආසියානු රටවලින් පැමිණෙන අයටද මේ සමානත්වය එක්වරම ග්‍රහණය කරගැනීම අසීරු බව කිව යුතුය. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මගේ පර්යේෂණ ප්‍රධානියාට මා මුලින්ම හමුවූ දින ඇමතුවේ "සර්" කියායි. "මට ඇන්ඩෲ කියන්න!" යැයි ඔහු කියූවද, මා අද වෙනතුරු ඔහුට "ඩොක්ටර් වර්ත්" කියා මිස වෙනත් අයුරකින් අමතා නැත.

මගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ දී මුලින් ම සේවයට ගිය ස්ථානයේ ප්‍රධානියා වූ දොස්තර ඒබඩ් (සහ අන් සියලු දෙනා) එම රෝහලේ සනීපාරක්‍ෂක කම්කරුවන් ද සමග එකම මේසයේ දිවා ආහාරය ගනු දැක ඇය විස්මයට පත් වූවා ය.

වෙනත් සමාජයක හැදී වැඩුණු අපට එය පුදුමයක් වුවද, මේ ක්වොසි-ඉගලිටේරියන් සමාජයේ ම හැදී වැඩුණු අයෙකුට පුදුමයට කාරණයක් වෙනු ඇත්තේ එසේ නොවී විවිධ මට්ටමේ සේවකයින්ට වෙනත් ආකාරයක පහසුකම් සලසා තිබුණොත් සහ වෙනස් ආකායට සැලකුම් ලැබෙනවා දැකීමයි.

මගේ බිරිඳ ලංකාවේ දී අවසාන වතාවට සේවය කළ කොළඹ මහ රෝහලේ ප්‍රධානියා, එහි විදුලි සෝපාන නඩත්තු කරන්නාට ලබා දුන් ශිෂ්‍යත්වයක් සඳහා විදේශයකට ගොස් ඇති බව ඒ දිනවල පුවත් පතක දුටුවෙමි. ඒ නම් ඉගලිටේරියන් තත්වයක් නොවේ.

කොළඹ මහ රෝහලේ දොස්තරලා කෑම කන තැනට සනීපාරක්‍ෂක කම්කරුවන්ටද කෑම කන්නට ඉඩ දුන්නොත් ඇති විය හැකි තත්වය දැන ගතහොත් දොස්තර ඒබඩ් ද විස්මයට පත්වෙනු නොඅනුමානය!

-රසිකොලොජිස්ට්

(image: http://bullmoose1912.deviantart.com/art/Egalitarianism-Symbol-317582459)

Saturday, 6 June 2015

බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged


පසුගිය දා නිවාඩු පාඩුවේ නිවසේ ගත කළ දිනයක උදෑසන මා ජිවත්වෙන ගමේ පොඩ්ඩක් කරක්-ගැසුවේ ව්‍යායාමය පිණිසයි.

අපේ ගමේ වාහන යනෙන මාර්ග දෙපස ද, කුඩා ජලාශ සහ වන රොදවල් අසලින් ද, පයින් ගමන් කරන්නන් ගේ සහ බයිසිකල්වලින් යන්නන් සඳහා මාවත් සකසා ඇත. මේවා සාදන්නට ඇත්තේ පැරණි ගොවිපළක් කොටස්වලට කඩා මේ ගම ගොඩ නැගූ ඉඩම් සමාගම වුවද, ඒවා අද නඩත්තු කෙරෙන්නේ අප ගෙවන වරිපනම් මුදලින් අපේ ගම අයිති නගර සභාව විසිනි.

එහි දී ගත් ඡායාරූප කිහිපයක් ඇවිදින අතරතුරම ෆේස්බුක් ජාලයේ පළ කළෙමි.

මේ ප්‍රදේශ අමුතුවෙන් පිරිසිදු කිරීමක් කෙරෙනවා මා දැක නැති වුවද කැළි-කසළින් තොරව පිරිසිදුව තිබෙනවා ඒ ඡායාරූපවලින් හොඳින් පෙනුණි.

මේ ඡායාරූපවලට අදාළව ෆේස්බුක්හි පැවති කෙටි අදහස් හුමාරුවක දී, ලංකාවේ කොළඹ නගරය අවට පිහිටවා ආරක්‍ෂක හමුදාවල සේවයෙන් නඩත්තු කරන්නට යෙදුණා යැයි කියවුණු ඇවිදින මංතීරුවල අද තත්වය ගැන තොරතුරු හෙළිවුණි. එහි දී දැන ගන්නට ලැබුණේ ඒ නොමිලේ සැපයුණු නඩත්තු කටයුතු දැන් සිදු නොවන බැවින් ඒ පෙදෙස් ක්‍රමයෙන් ජරාජීර්ණ වී ඇති බවයි.

මෙයට හේතුව ගෝටා නම් චරිතයක් දැන් සේවයේ නොමැති කම බවද කියවිණි.

මට වැටහුණු පරිදි මේ තත්වය සම්බන්ධයෙන් සමහරුන් ගේ අදහස කෙටියෙන් මෙසේය.

  1. අපට යන යන තැන රිසි රිසි ලෙස කැළිකසළ විසි කිරීමේ නිදහස තිබිය යුතුය.
  2. තවත් පිරිසක් තම රාජකාරියේ කොටසක් ලෙස ඒ කුණු ඉවත් කළ යුතුය.
  3. ඒ පිරිසිදු කිරීමේ සේවාව නොමිලයේ සැපයිය යුතුය. එනම්, ඒ සඳහා ආරක්‍ෂක හමුදා තම කොස් කොටන කඩු යොදා ගත යුතුය.
  4. අපට ඒ පිරිසිදු කිරීම් සම්බන්ධව ප්‍රජා වගකීමක් දැරීමට හෝ මූල්‍යමය සම්මාදමක් කිරීමට හෝ නොහැකිය.
  5. ගෝටා නමැති චරිතය නැවත කරළියට ගෙන ආ විට සියල්ල ඉටුවෙනු ඇත.

මගේ අවසාන නිගමනය වූයේ, මේ ගෝඨා ගැන මැසිවිලි නගන අයට සිදු වී ඇත්තේ ඔවුන් ගේ බුද්ධිය වසා ගෙන බයි-කම ඉස්මතු වීම බවයි.

මෙය ඉතා කනගාටුදායක තත්වයක් බව අමුතුවෙන් කිව යුතුව නැත.

කලකට පෙර බුද්ධිය වසා ගෙන ජාත්‍යාලය පෙරට ගත් දස දහස් ගණනක පිරිසක ගේ ජීවිත නිරපරාදේ විනාශ වී යනු අපි දුටුවෙමු.

වාසනාවට මෙන් බුද්ධිය වසාගෙන බයි-කම මතු වූ විට ඒ ආකාරයේ විනාශයක් නම් සිදු නොවෙනු ඇත.

අවසාන වශයෙන් කිව යුත්තේ කුණු කන්දල් තිබිය යුත්තේ කුණු බක්කියේ ම බවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉදිරි සතියේ කුණු කතා කීපයක් ලිවීමට අදහස් කරමි. මේ සම්බන්ධයෙන් සජ්ජාගේ පඩංගුව බ්ලොගයේ පළ වූ බොක්කෙන් ම ලියන ලද අපූරු ලිපියකට පාර මෙන්න.
http://padanguwa.blogspot.com/2015/05/blog-post_14.html

Monday, 9 March 2015

සිඩ්නි නගරයේ දී මගේ ඊයේ දවස ක්‍රිකට් සමග ගෙවුණු හැටි - It was cricket!


මුල් දවසේ දී ම කියූ පරිදි, මා මේ රසිකොලොජි බ්ලොගය පවත්වාගෙන යන්නේ මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන ඕනෑම දෙයක් ලියා පළ කිරීමටයි.

ඊයේ දවස මගේ ජිවිතයේ මා අපූරු වින්දනයක් ලැබූ දවසක් විය. මේ කෙටි සටහන ඒ ගැනය.

කුඩා කළ සිටම රේඩියෝවෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාර අසා තිබුනද, මා ක්‍රිකට් තරගයක් සජීවිව ඇස් ඉදිරිපිට පැවැත්වෙනවා දුටුවේ මා දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වසරේ දී ය. ඒ බොරැල්ලේ සරවනමුත්තු ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණු ආනන්ද-නාලන්ද වාර්ෂික ක්‍රිකට් තරගය හෙවත් (සුලෝහිත සංග්‍රාමය ) බිග් මැච් එකයි.

මේ තරගය ගැන මගේ මතකයේ ඇති අමතක නොවන එකම අත්දැකීම නම්, මා පෙර දින පිටකොටුවෙන් දෙකයි පනහක් පමණ ගෙවා මිළට ගෙන ක්‍රිකට් තරගය නැරඹීමට යන විට පැළඳගෙන ගිය කොඩ්රෝයි රෙද්දෙන් මසා තිබූ තොප්පිය, තරගයේ දෙවන දින සවස් වරුවේ පිටියට කඩා වැදුණු වනාතමුල්ලේ කොලු රංචුවක් විසින් උදුරා ගත් බවය. මගේ පමණක් නොව, ඒ අසල තරගය නරඹමින් සිටි සිසුන් කිහිප දෙනෙකු ගේ ම තොප්පි මේ නඩය විසින් උදුරා ගන්නා ලදී. අපට කළ හැකි කිසිවක් තිබුණේ නැත. පසුව ඔවුන් තාප්පයෙන් පැන යනු අපි දුටුවෙමු!

ඊයේ සිඩ්නි ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍ර්ලියාව අතර තරගය එහි ගොස් නරඹන්නට මගේ මුලින් අදහසක් තිබුණේ නැත. මගේ අත්දැකීම අනුව නම්, අති විශාල ක්‍රීඩාංගනයකට ගොස් ක්‍රිකට් තරගයක් නැරඹීමට වඩා නිවසේ සිට රූපවාහිනියෙන් එය නැරඹීම හැම අතින්ම හොඳය.
  • ක්‍රීඩා පිටියේ දී බෝලයෙන් බෝලයට විස්තර ප්‍රචාර නැත.
  • විශේෂඥයින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන, ප්‍රතිචාර සහ විශ්ලේෂණ නැත.
  • හැම හොඳ පහරදීමක් ම, විකට්ටුවක් දවාගැනීමක් ම, තුන් හතරවරක් නැරඹීමට ලැබෙන්නේ නැත.
  • නිවසේ දී මෙන් සුව පහසු ආසන නැත.
  • ක්‍රීඩාංගනයට යාමට සහ ඒමට අමතර පැය කිහිපයක් වැය කළ යුතු වේ.
  • ඩොලර් සිය ගණං දී ප්‍රවේශ පත්‍ර මිළට ගත යුතු වේ.
  • මීට අමතරව ක්‍රීඩාංගනයට ඇතුලුවන්නට, කැන්ටිමෙන් කෑම මිළදී ගන්නට, වැසිකිලි යන්නට ගිය විට සෑම විටම පාහේ පෝලිමේ රැඳී සිටීමට සිදුවෙන අතර, තරගයේ ඕවර දෙක තුනක් නැරඹීමට නොහැකිවේ.
කෙසේ නමුත් සුතනඹු, මිතුරු සමාගම නිසා මා මේ ගමනට එක් වුණෙමි.

අප නිවසෙන් පිටවූයේ දහවල් දොලහ පසුවී මද වේලාවකිිනි. නිවසේ සිට ලඟම දුම්රිය ස්ථානයට ගිය අප එහි මෝටර් රථය නවත්වා, එතැන් සිට සිඩ්නි නගරයේ සෙන්ට්‍රල් නැවතුම කරා සීඝ්‍රගාමී දුම්රියකින් ගමන් කළෙමු. මේ සඳහා ගමන් ගාස්තු අපේ ටිකට්පත්වලින් ම ආවරණය විය.

කැන්බරා නුවර සිට පැමිණි අපේ මිතුරියක් ද අප සමග එක්වී සිටියාය. ඇය තරගය නැරඹීමට ගියේ මා මෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ණ රැගත් කමිසයක් හැඳ ජාතික කොඩියක් රැගෙන පමණක් නොවේ. සිංහයෙකුගේ රුව සහිත වර්ණවත් බැලුමක් ඇය අත විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිසයට උඩින් ඇය ඇඳ සිටියේ සිංහ රුවක් රැගත් ඕවරෝල් ඇඳුමකි. අපේ දුම්රියේ දෙපිලටම සහයෝගය දක්වන්නෝ එකසේ ගමන් කළහ.

සෙන්ට්‍රල් නැවතුමෙන් බැසගත් අපට එතැන් සිට ක්‍රිඩා පිටිය දක්වා ගියේ සූදානම් කර තිබූ විශේෂ බස් රථ වලිනි. කිලෝ මිටර් දෙකක් දුර, විනාඩි විස්සකින් යා හැකි ඒ ගමනට, බස් රථය සඳහා පෝලිමේ සිටීමට සිදු වූ නිසාත්, තිස් නම දහසක් දෙනා නැරඹීමට තරගය නැරඹීමට පැමිණෙමින් සිටි හෙයින් ඒ අවට හටගෙන තිබූ බස් සහ වාහන තදබදය නිසාත්, බසයෙන් බැස ක්‍රීඩාගාරය තුළට ඇතුල් වීමට පෙර බැග් පරීක්‍ෂාවට සුළු වේලාවක් පෝලිමේ සිටීමට සිදුවූ නිසාත්, අප තරගය නැරඹූවේ පළමු ඕවරයේ තුන්වන පන්දුවේ සිටයි.

තරගය නරඹන අතරතුර, මා මුලින් සඳහන් කළ අවාසිවලට ප්‍රතිවිරුද්ධ, එනම් නිවසේ දී තරගය රූපවාහිනියෙන් නැරඹූවා නම් නො ලැබෙන, අත්දැකීම් මට පසක් විය.
  • මගේ කණ්ඩායමට මෙන්ම, විරුද්ධ කණ්ඩායමට සහයෝගය දක්වන්නන් සමග ද උරෙනුර ගැටෙමින් තරගය නරඹන්නට හැකිවීම
  • හැම හතරේ හයේ පහරකටම, විකට්ටුවකටම, නව ක්‍රීඩකයෙකු හෝ පන්දු යවන්නෙකු හඳුන්වා දෙන මොහොතක දීම, එක්කෝ අත් පොලසන් දීිමට නැතිනම් අතින් හතරේ හයේ සංඥා කිරීමට හෝ, මගේ අතේ තිබූ සුවිශාල ශ්‍රී ලාංකික කොඩිය හෝ කුඩා ඕස්ටේ‍ර්ලියානු කොඩි කිහිපය හෝ වැනීමට හැකි වීම
  • පෙර කළ තරගයේ හැම වැදගත් මොහොතක දී ම ක්‍රීඩාංගනය පුරා විසිරෙන ඔල්වරසන් හඬ, නැගෙන දහස් ගණං ජාතික කොඩිවල දර්ශනය අත්විඳීමට හැකිවීම
තරගය අවසානයේ පරාජය හිමි වුවද, ජීවිතයේ ප්‍රථම වතාවට එකම ඕවරයක දී හතරේ පහර හයක් ලබාගනු දැකීමට ලැබීමත්, කලකට පසු නැරඹීමට ගිය මේ තරගය මුළු ලකුණු හත්සීයක් වැනි විශාල සංඛ්‍යාවක් වාර්තා කළ එකක් වීමත් නිසා සිතේ ඉතුරු වූයේ සතුටකි.

තරගය නිමවීවෙන් පසු බස් ගමනට කාලය නාස්ති නොකර පයින්ම දුම්රිය පොළට පැමිණි අපේ නඩය දුම්රියෙන් පැමිණ නිවසට ලඟා වූයේ මධ්‍යම රාත්‍රිය පසු වී අඩ පැයකට පමණ පසුව ය.

මෙන්න ඡායාරූප කිහිපයක්.

1. බ්‍රිස්බේන් නුවර සිට පැමිණ සිටි සිංහබාහු


2. කැන්බරා නුවර සිට පැමිණ සිටි සිංහ යුවතියක්


3. පිටියේ දර්ශන දෙකක්



තවත් ඡායාරූප පසුව එක් කරන්නට අදහස් කරමි.

-රසිකොලොජිස්ට්

(photos: Facebook)

Saturday, 7 March 2015

නහයට උඩින් යන තෑන්ක් යූ කීම - Overflowing courtesy


කිසිම ගෞරව කිරීමක් තුන් සිතකවත් නැතිව, සිංහල අප විවිධ පුද්ගලයින්ට ලිපි ලිවීමේදී සහ මෑතක සිට ආමන්ත්‍රණයේ දී පවා "තුමා" යන පසුවදන යොදා ගැනීම සිංහල භාෂාවේ ඇති අති සදාචාර සම්පන්න බවකට වඩා යටින් එකක් තියාගෙන උඩින් වෙනකක් පෙන්නීමේ දීන කමක් බව කියා මා මින් පෙර "උතුමාණෝ සහ බලු ගැත්තරයෝ - Lords and Peasants" දී ලිපියේ සඳහන් කළෙමි.

අද මේ වෑයම අපරදිග රටවල ඇති Please සහ Thank you යන වචන භාවිතය අත්දැකීම් සහ අදහස් දැක්වීමයි.

මේ සති අන්තයේ නිවසට අවශ්‍ය කෑම බීම ඇතුළු පාරිභෝගික භාණ්ඩ මිළට ගැනීම සඳහා මා වාසය කරන නියම් ගමේ පිහිටි "ගෙදර යන ගමන්" වර්ගයේ කඩයට ගොස් බඩු මුට්ටු ට්‍රොලියකට පටවා ගෙන කවුන්ටරයට ගිය විට ඇතිවුණු දෙබස මෙන්න මේ ආකාරයේ විය.

සේවකයා: හව් ආ යූ?
මම: ගුඩ්. තෑන්ක්ස්. හව් ආ යූ?
සේවකයා: ගුඩ්. තෑන්ක්ස්.

ඉනික්බිති සේවකයා මගේ බඩු භාණ්ඩ එකිනෙක ස්කෑන් කරමින් ඒවායේ මිල පරිගනකයට ඇතුලත් කර අවසානයේ එකතුව මට දැන්වූයේ ය.

මම ක්‍රෙඩිට් කාඩ් එක (ණයවර පත) එහි වූ යන්ත්‍රයේ ස්කෑන් කළෙමි.

සේවකයා: එනි කෑෂ් අවුට්?
මම: නෝ තෑන්ක්ස්.
සේවකයා: එන්ටර් යුවර් පින් ප්ලීස්

මම එය ඉටු කළෙමි.

සේවකයා: තෑන්ක්ස්.
මම: තෑන්ක්ස්.
සේවකයා: හියර්ස් යුවර් බිල්.
මම: තෑන්ක්ස්.
සේවකයා: හෑව් එ නයිස් ඩේ.
මම: තෑන්ක්ස්. යූ ටූ හෑව් එ නයිස් ඩේ.
සේවකයා: බායි!
මම: බයි බායි!

කොයි කඩයට ගියත් පෙර සඳහන් චර්යානුගත සංවාදයේ නිරත වීමට මේ නොරටේ දී අපට සිදුවේ. ඇතැම් විට සංක්‍රමණිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන වෙළඳහලක දී නම් තත්වය මදක් වෙනස් විය හැක.

මේ ලංකාවේ සිටියදී අප සහභාගී නොවූ ක්‍රියාවලියකි. එදා අවුරුදු පහළොවකට පෙර "ගෙදර යන ගමං" යන්නට මට තිබුනේ නුගේගොඩ සතොස, බොරුල්ල මාරකැට්ටුව වැනි තැන් ය. නිතර ගොස් හොඳට අඳුණන එළවළු වෙළෙන්දෙකු සමග හැර "ගිහින් එන්නම්!" යන වචන දෙක පවා භාවිතා නොවිනි.

අද මා වෙසෙන රටේ දී අත්විඳින ආකාරයේ Please සහ Thank you භාවිතයක් නම් "ආයිබෝවන්" කියා අප පිළිගන්නා "ගෙදර යන ගමං" කඩ වල වුවද අද පවා නැති යැයි සිතමි.

සංක්‍රමණික ජීවිතයේ මුල් කාලයේ දී මේ ආචාරශීලී චර්යාව සහ අති බහුල Please සහ Thank you වදන් භාවිතය අපට එක්තරා ආකාරයට හිසරදයක් විය. මේ ආචාර්යශීලීත්වය හුදෙක් කරනවාට කරනවා විනා How are you? කියා අසන්නේ ඇත්තටම දුක සැප දැන ගැනීමට නොවන බව සත්‍යයකි. එලෙස සලකා බලන කල, අප ආයිබෝං කියා කියන්නේ ද ඇත්තටම දීර්ඝායුෂ පතා නොවේ!

මුල් කාලයේ එසේ වුවත් දැන් නම් මා වසර ගණනාවක්ම නොරට දිවිය ගත කර ඇති නිසා, එලෙස Please සහ Thank you නැත්තං එය අඩුවක් හෝ නොසැලකීමක් ලෙසද හැඟේ.

Please සහ Thank you යන වචන දෙක සඳහා සිංහලෙන් අපි පාවිච්චි කරන "කරුණාකර" සහ "ස්තුතියි" යන වචන දෙක මට හැඟෙන පරිදි ස්වාභාවික සිංහල වචන නොව, ඉංගිරිසි භාෂාවේ Please සහ Thank you භාවිතය ගැන සිතා වාත්තුකර සාදාගත් වචන වේ.

ලිඛිත ලේඛණ වලදී හෝ මහජනයා ඇමතීමේදී හැර මේ "ස්තුතියි" සහ "කරුණාකර" වචන භාවිතයේ නුහුරු නුපුරුදු කමක් අපි බොහෝ දෙනෙකුට දැනෙන්නේ ඒ නිසාය.

"කරුණාකර" සහ "ස්තුතියි" වචන වලට වඩා "ප්ලීස්" සහ "තෑන්ක් යූ" යැයි පැවසීම අපට ලේසියෙන්ම කළ හැකිව ඇත්තේ ද එනිසාම ය.

"තුමා" යන විශේෂණ පදය යෙදීම ගැන මා ලියූ අදහස් ගැන කෙසේ වෙතත් ස්තුතියි සහ කරුණාකර වදන් පිළිබඳව මගේ අදහස් සමග වැඩි දෙනෙක් එකඟ වෙනු ඇතැයි සිතමි.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

(image: http://i107.photobucket.com/albums/m282/pure100/com2/how-are-you/009.gif)

Saturday, 14 February 2015

පාන් ගෙඩියකින් තුන්කාලක් ම "තාංගීක" වුණු හැටි! - Bitter Bread?


මින් දශක දෙකකට පමණ පෙර මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමේ වන්දිය මා ගෙවුවේ, ලංකාවේ දී කෑ රෝස් පාන්, තැටි පාන්, අච්චු පාන් රසය අහිමි කර ගැනීමෙනි. ඒ සාපය ගෙවුණේ තවත් වසර ගණනාවකට පසු මෙහි වෙළඳපොළට ආ "හෙල්ගාස්" නමැති පාන් වර්ගය ලංකාවේ පාන්වල රසයට ඉතා සමාන බව "ට්‍රයල් ඇන්ඩ් එරර්" විධික්‍රමයෙන් හදිසියේම සොයා ගැනීමත් සමගය.

මේ සොයා ගැනීම කෙතරම් ප්‍රීතිමත් එකක් වුවද, දිනපතා "හෙල්ගාස්" පාන් කෑම නම් තරමක ප්‍රශ්ණයක් විය. එය හේතුව වූයේ, කඩපොලේ ඇති "ටිප්ටොප්", "වොන්ඩර් වයිට්" වැනි සාමාන්‍ය ලේබල් පාන් වර්ගවලට වඩා හෙල්ගාස් පාන් දෙගුණයක් තරමට ම මිළ ඉහල වීමයි.

එසේ වුවද, සති දෙක තුනකට වරක් මේ පාන් වර්ගයේ මිළ සතියේ සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ තුනෙන් එකක් පමණ අඩුවෙන නිසා, එතෙක් බලා සිට "හෙල්ගාස්" පාන් මිලයට ගැනීමට මම පුරුදු වුණෙමි. ඊට අමතරව, ප්‍රධාන සුපිරි වෙළඳසැල් දෙකේ, එනම් "වූල්වර්ත්" සහ "කෝල්ස්", මේ මිල අඩුකිරීම් සිදුවවෙන්නේ වෙනස් සතිවල දී වීම ද මගේ "හෙල්ගාස්" පාන් මිල දී ගැනීම වඩාත් පහසු කළේ ය.

අද වන විට නම් "හෙල්ගාස්" වර්ගයේ තවත් පාන් වර්ගයක් "ඇබොට්ස් බේකරි" නමින් ඇත. බොහෝ විට සතියේ විශේෂ මිළ අඩුකීරීම් යටතේ මේ දෙවෙනි වර්ගයේ මිළ අඩුකරන්නේ "හෙල්ගාස්" පාන් මිළ අඩුකර නොමැති සතිවල දී වීම ද අද මට ඇති තවත් වාසියකි.

මේ සතියේ "හෙල්ගාස්" කමි. ඊළඟ සතියේ "ඇබොට්ස් බේකරි" පාන් කමි!

මා සිත ගත් "හෙල්ගාස්" පාන් සම්බන්ධයෙන් මගේ සිතේ නොමැකෙන සේ රැඳී ඇති එක් අපූරු සිද්ධියක් මෙසේය.

මා "හෙල්ගාස්" පාන් හඳුණාගත් මුල් කාලයේ යෙදුණු එක්තරා පාසල් නිවාඩුවක, තවත් මිතුරු පවුල් කීප දෙනෙකු සමග, අපි ප්‍රාන්තයේ වෙනත් ප්‍රදේශයක් බලා දින තුනක විනෝද චාරිකාවක ගියෙමු. මෙවැනි ගමන්වලදී අප නතරවෙන්නේ දිනපතා මිළට කුලියට ගත හැකි කුඩා නිවාසවල ය. මිතුරු පවුල් එක ලාගින් ඇති නිවාසවල, සමහර විට එක නිවසක පවුල් දෙක බැගින්, නවාතැන් ගැනීමත්, උදෑසන ආහාරය සහ රාත්‍රී ආහාරය එක්ව ගැනීමත් අපේ සිරිත විය. දිවා කාලයේ අවට සිරි නැරඹීමට යනෙන නිසා නවාතැනේ දී ආහාර ගැනීමක් සිදු නොවේ.

චාරිකාව යාමට පෙර දින, අවශ්‍ය බඩු බාහිරාදිය මිළට ගැනීමට වෙළදසැලට මා රැගෙන ගිය බඩු ලයිස්තුවේ "හෙල්ගාස්" පාන් ද ඇතුලත් විය. නමුත් අවාසනාවට මෙන් ඒ සතියේ "හෙල්ගාස්" පාන් මිල අඩුකර නොතිබුණි. එනිසා, නියමිත මුලූ මුදල ම ගෙවා "හෙල්ගාස්" පාන් මිළට ගැනීමට, ඉතා කණගාටුවෙන් වුවද, මට සිදුවිය.

විනෝද චාරිකාවේ මුල් දින රාත්‍රියේ අප නවාතැන් ගත් කුඩා නිවාස කිහිපය පිහිටා තිබුණේ කුඩා ගංගාවක් අසබඩ උද්‍යානයක් මෙන් දිස්වූ භූමියක ය. රාත්‍රී ආහාරය සඳහා එක නිවසකට එක්ව කා, බී, ගී ගයා සතුටෙන් ගත කළ අප පවුල් කිහිපය පසුදා උදයේ ද එකම නිවසකට එකතු වූයේ පාතරාසය සඳහායි. මා එහි ගියේ මගේ ප්‍රියතම "හෙල්ගාස්" පාන් ගෙඩි දෙකක් ද රැගෙන ඉතා උජාරුවෙනි.

උණු, උණු පරිප්පු හොද්දක ගිල්වමින් පාන් පෙති කීපයක් ම මා එදා උදෑසන අතුරුදහන් කළේ හෙල්ගාස් පාන් ලංකාවේ අච්චු පාන්වලට රසයෙන් ඉතා සමාන බවට අපේ මිතුරන්ට සහතික දෙමිනි. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් මගේ ඒ නිගමනය කෙතරම් දුරට සත්‍යදැයි වහාම පරීක්ෂණාත්මව සොයා බැලූහ. ටික වේලාවකි දෙවෙනි හෙල්ගාස් පාන් ගෙඩියේ කවරය ද විවර විය.

මේ මොහොතේ දී අප රැස් වී සිටි නිවස ඇතුළත දිව ආවේ, අපේ පවුල්වල කුඩා දරුවන් කිහිප දෙනෙකි.

"අම්මී, අම්මී, ඩක්ස් ලා ඉන්නවා, ඩක්ස් ලා ඉන්නවා. අපිට ඩක්ස්ලාට කන්න දෙන්න දෙයක් දෙන්න, ප්ලීස් ප්ලීස්!"

ඔවුන් උද්දාමයට පත් වී සිටියේ උද්‍යානය අසල කුඩා ගං ඉවුරට රැස් වී සිටි තාරා රංචුව දැකීමෙනි. වැඩිහිටියන් ආහාර ගනිමින් සිටි මේසය උඩ තිබූ පාන් බෑග් දෙස ඔවුන් ගේ නෙත් ඇදී ගියේ ය.

"අපිට දෙන්න පාන්, ඩකීස්ලට දෙන්න පාන්!"

ඔවුනතරින් එක් දරුවෙක් මේසය උඩ තිබුණු සාමාන්‍ය වර්ගයක පාන් බෑගයකට අත තැබුවේ ය.

එවිටම කතා කළේ එහි සිටි එක් මවකි.

"පුතාලා මෙන්න මේ පාන් ටික අරන් යන්න ඩකීස් ලා ට දෙන්න!:

ඇය දරුවන් අත තැබුවේ පෙති කිහිපයක් පමණක් කෑමෙන් පසු ඉතුරු වී තිබූ මා ගෙනා දෙවෙනි "හෙල්ගාස්" පාන් බෑගයකි.

"අනේ මේ අලූත් පාන් ජාතිය නිකං ඇඹුල් රහයි, ලූනු රහයි විතරයි. මට නං කන්න බෑ, අපි තාරාවන්ටවත් කන්න දෙමු!" ඇය ඒ සමගම පැවසුවා ය.

මගේ පපුව හෝස් ගා දැවී ගියාක් මෙන් දැණුනි. ඒ තාරා කෑම ලෙස ගර්හිත කරණු ලැබුවේ මා ප්‍රියතම "හෙල්ගාස්" පාන් ගෙඩියකි. වෙනදා කන "හෙල්ගාස්" පාන් නම් කම් නැත, මේ සල්ලි, සල්ලි කියා නොබලා නියමිත මුලූ මුදලම ගෙවා මා පෙර දා මිළට ගත් "හෙල්ගාස්" පාන් ගෙඩියකි.

කෙතරම් දැඩි වුවද, ඒ දුක උසුළාගෙන මම මුවින් නොබැන සිටියෙමි.

වසර දොළහක් ගෙවී තිබුණ ද අද පවා "හෙල්ගාස්" පාන් ගෙඩියක් දුටු විට මගේ සිහියට නැගෙන්නේ මේ සිදුවීමයි.

ඉන් මා අද ද ලබන වින්දනය, "හෙල්ගාස්" පාන් ගෙඩියකින් තුන් කාලක් ම තාරා හීල් දානය සඳහා "තාංගීක" වෙනු දැක එදා මා ලද සංතාපයට වඩා බලවත් ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සංඝයාට දෙන දානය සාංඝීක වෙනවාක් සේ, තාරාවන් ට දෙන දානය "තාංගීක" බව දත යුතුයි.


(image: http://www.trendzified.net/random-thoughts/)

Wednesday, 11 February 2015

ඕස්ටේ‍්‍රලියාවෙන් විහිදෙන හුස්මක සුවඳ - Lakshman Kodituwakku's short story collection "Husma"


අපි සියලු දෙනාම පාහේ කුඩා කාලයේ සිටම කතන්දර අසා ඇත්තෙමු. කතන්දර අසා වින්දනයක් ලැබුවෙමු. එනිසා ම දෝ කතන්දර ලියන්නට, කතන්දර කියන්නට අප බොහෝ දෙනකුට හැකියාව ඇත. ඕනෑම යාන් හෑල්ලක් බොහෝවිට කතන්දරයක් ලෙස සැලකේ.

කෙටිකතා යනු කතන්දර නොවේ. කෙටිකතා යනු නවකතාවක් සංක්ෂිප්තව ලිවීමක් ද නොවේ. යාන් හෑලි ද කෙටිකතා ලෙස කිසිසේත් ම සැලකිය නොහැක.

කෙටිකතාවක් යනුවෙන් මා අදහස් කරන්නේ එක්තරා කාල මානයක දී, එක්තරා ප‍්‍රධාන සජීවී චරිතයක් හැසිරෙන ආකාරය හෝ සිදුවීමක් දිග හැරෙන ආකාරය හෝ ඉතා ඉහළ ඵලදායීත්වයක් සහිතව විස්තර කරමින් පාඨක චිත්ත සන්තානයේ කම්පනයක් ඇති කරන්නා වූ ලියවිල්ලකි. කෙටිකතා යනු ලිඛිත සාහිත්‍යයේ ඇති ප‍්‍රබලතම අවියක් වී ඇත්තේ ද, කෙටිකතා ලිවීම සුවිශේෂී කලාවක් ලෙස සැලකෙන්නේ ද මේ නිසාය.

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ඕස්ටේ‍්‍රලියාවේ සිටින ප‍්‍රබලතම සිංහල කෙටිකතාකරුවා ලෙස මම හඳුන්වමි.

ඒ ඔහු ගේ "පරමේෂ්වරී සහ වෙනම රටක්" (2009) සහ "හුස්ම" (2013) කෙටිකතා සංග‍්‍රහ ද්වයේ අඩංගු කෙටිකතා සහ දැනට දශකයකට වැඩි කාලයක් තිස්සේ විවිධ මුද්‍රිත මාධ්‍යයන් හි පළවුණු ඔහු ගේ කෙටිකතා සම්බන්ධව මා බැසගත් නිගමනයයි.

මා ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ කෙටිකතා අතුරින් මුලින්ම කියවූයේ වසර 2002-03 කාලයේ දී "නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ" ත්‍රෛමාසික ප‍්‍රකාශනය වන "සිංහල" සඟරාවේ පළවුණු ඒවා ය. ඒ කතා කිහිපයටම පාදක වූයේ සංක‍්‍රමණික සිංහල ජනකොටස සම්බන්ධ වූ වස්තු බීජයන් ය. මා කියවූ ඒ මුල් නිර්මාණ තුළින් මා ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ කෙටිකතා පිළිබඳව කිසිදු සුවීශේෂීත්වයක් නොදුටු බව කිව යුතුය. සංක‍්‍රමණිකයින් සහ ඔවුන් තම අළුත් පරිසරය හා ගැටෙන අයුරු ඔහු දකින උපහාසාත්මක ආකාරයේ මට වැටහුණු ආකාරයට දෘෂ්ටිමය වරදක් තිබුණි. එසේම, ඒ නිර්මාණතුල පුරුෂාධිපත්‍යය ද, ස්ත‍්‍රී විරෝධයක් ද ගැබ් වී තිබෙන බව ද මට හැඟුණි.

එසේ වතුදු, ලක්‍ෂ්මන් කොඩිතුවක්කු පසුකාලීනව ලියන ලද, විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ ජීවත්වෙන විවිධ චරිත සහ සිදුවීම් පාදක කරගෙන ලියන ලද කෙටිකතා තුළින් මට ඔහු ගේ සැබෑ ප‍්‍රතිභාව ඔප මට්ටම් වී එන අයුරු පෙනෙන්නට පටන් ගත්තේය. "පරමේෂ්වරී සහ වෙනම රටක්" එකතුවේ ඇතුළත් වුණු "වීරයෙකුගේ නවාතැන් පොළ" සහ "මොහොමඞ් ගේ කතා වස්තුව" යන නිර්මාණ ද්වය තුළින් ඒ බව හොඳින් කැපී පෙනුණි. මේ කාලය වන විට ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ කෙටිකතා ශ‍්‍රී ලංකාවේ පුවත්පත්වල ද නිරන්තරයෙන් පලවෙන්නට පටන්ගෙන තිබුණු අතර "පරමේෂ්වරී සහ වෙනම රටක්" කෙටිකතා එකතුව 2009 වර්ෂයේ දී ගොඩගේ සම්මාන උලෙළේ හොඳම කෙටිකතා පොත් පහ අතරට තෝරා ගැනුණි.

කෙටිකතාකරුවෙක් වශයෙන් ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ මා දකින ප‍්‍රබලතම හැකියාව වන්නේ නාගරිකවාසී ලූම්පන් ජනකොටසේ මෙන්ම සමාජ වෙනසක් අපේක්ෂාකරන දුප්පතුන් ගේ ද ඇසින් සමාජ ප‍්‍රශ්න දෙස බලා ඒවා විග‍්‍රහ කරන්න ඔහුට ඇති හැකියාවයි. මෙය අප වැනි අංකුර කෙටිකතාකරුවන් ගේ ඊර්ෂ්‍යාවට බඳුන්විය හැකි ආකාරයේ විරල හැකියාවකි.

තම කෙටිකතාවල එන එක් එක් චරිතවලට සහ පරිසරයන්ට අදාළව ලක්‍ෂ්මන් කොඩිතුවක්කු තෝරා ගන්නා ලිඛිත භාෂාව සහ ආකෘතිය ඔහු ගේ නිපුණත්වය විදහා දක්වයි. ඒ චරිතවල විවිධ ගති ලක්ෂණ විදහා දක්වීමට ලක්‍ෂ්මන් කොඩිතුවක්කු උපයෝගී කරගන්නා ඔවුන් ගේ හැසිරීම් පිළිබඳ සියුම් නිරීක්ෂණ, දෙබස් සහ ඒකපාත‍්‍ර භාෂණයන් ද කතාව සමග මුසුවී ගලා යන්නේ නිරායාසයෙන් මෙනි.

පසුගිය වසරේ එළිදක්වන ලද ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ "හුස්ම" කෙටිකතා එකතුවට කෙටිකතා එකොළහක් අඩංගුවේ. ශ‍්‍රී ලංකාවේ සිට ඕස්ටේ‍්‍රලියාව දක්වා ද, රැකියා විරහිත තරුණයා ගේ සිට සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා දක්වා ද, දිළිදු මුඩුක්කුවේ සිට මහා මන්දිරය දක්වා ද, විවිධ පරිසරයන් හි වෙසෙන, විවිධ ජීවිත ගත කරන, විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දෙන, පුළුල් පරාසයක විහිදුණු චරිත "හුස්ම" තුළින් ලක්‍ෂ්මන් කොඩිතුවක්කු අප අතරට රැගෙන එයි.

මේ කෙටිකතා එකොළහ අතරින් මා සිත වඩාත්ම බැඳගත්තේ "මනාපය" නම් වූ කතාවයි. මගේ මතකයට අනුව මෙය "ඉරිදා ලක්බිම" පුවත්පතේ මුල්වරට පළ වූ නිර්මාණයකි. දේශපාලකයෙකුට අවජාතකව උපන් දිළිදු දරුවෙකු ගේ ශෝකාලාපය "මනාපය" තුළින් ලක්ෂ්මන් අපට කියන්නේ සරදම ද, ශෝකය ද එකිනෙක ඉතා සීරුවෙන් අමුනමිනි. එය මේ කෙටිකතාකරුවා ගේ සුවිශේෂී දක්ෂකමකි. "හුස්ම", "සිහින විකිණීමට තිබේ", "බැමි", "පාට බොඳවුණු සිහිනයක්" සහ "ස්වයං ඝාතිකාව" යන නිර්මාණද මේ ආකාරයෙන්ම අතිශය දුලබ වස්තුබීජ පදනම් කොටගෙන කෙරුණු නිර්මාණ වේ. ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ නිර්මාණ අත්දැකීම් අප වැනි අංකුර රචකයින් ගේ ඊර්ෂ්‍යාවට භාජනය වීම පුදුමයක් නොවන බව මා පෙර සඳහන් කළේ එබැවිනි.

"හුස්ම" කෙටිකතා සංග‍්‍රහයේ එන "වෙඩි තියාගත්තට පස්සේ" නමැති අගනා ශෝකාන්ත නිර්මාණය කියවූ පසු මා සිත තුළ ඒ කෙටිකතාවේ ප‍්‍රධාන චරිතය ගුරුවරයෙකු වීම කෙතරම් තාත්විකදැයි කුකුසක් ඇතිවිය. එයට හේතුව වූයේ, පියා ගුරුවරයෙකු වූ පවුලක දරුවන් එකෙක් නොව තිදෙනාම හරි හමන් ඉගෙනීමක් නොලැබ අතරමං වීමට ඇති ඉඩකඩ ඉතා අඩු නිසාය.

නමුත් එකෙණෙහි ම මගේ සිහියට ආවේ ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ ප‍්‍රථම කෙටිකතා සංග‍්‍රහය වූ "පරමේෂ්වරී සහ වෙනම රටක්" හි එන එනමින්ම යුතු කෙටිකතාව පිළිබද මා ඇසූ විචාරයකි. ඒ කෙටිකතාවේ එන තම සේවාදායකයා වූ පරමේෂ්වරීට ලිංගික අතවරකම් කරන නීතිඥයා ගේ චරිතය අභව්‍ය සහ අතාත්වික එකක් වේ ය වැනි අදහසක් තමා ද වෘත්තියෙන් නීතිඥයෙකුවන මෛත‍්‍රී පනාගොඩ "පරමේෂ්වරී සහ වෙනම රටක්" කෘතියේ දොරට වැඩුමේ උත්සවයේ දී පළකළේ ය.

නමුත් ඉන් මාස කිහිපයකට පසු මගේ ඇස ගැටුණේ පුවත්පතක වාර්තාකර තිබූ "පරමේෂ්වරී සහ වෙනම රටක්" කෙටිකතාවේ ආ ආකාරයේ ම ස්ත‍්‍රී දූෂණයක් පිළිබඳ විස්තරයකි!

මෙයින් හැඟෙන්නේ නිර්මාණකරණය නමැති කර්තව්‍යයට කාලය නමැති මානයේ රැඳී තාත්විකත්වය පිළිබඳ සීමාවන් පැනවිය නොහැකි බවද?

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු කෙටිකතාකරුවෙකු මෙන්ම කවියෙකු, ගී පදමාලා රචකයෙකු, ළමා නාට්‍ය රචකයෙකු සහ දේශපාලන තීරු ලිපි රචකයෙකු ද වේ.

මම ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ ඉදිරි ලේඛන දිවියට සුබ පතමි.

රසික සූරියආරච්චි


හුස්ම - ලක්‍ෂ්මන් කොඩිතුවක්කු
සුරස (ෆාස්ට් පබ්ලිෂින්) ප්‍රකාශනයක් (2013)
මිල රුපියල් 300

Wednesday, 4 February 2015

ඩුවල් සිටිෂන්ෂිප් එක හෙවත් ද්විත්ව පුරවැසිභාවය - Killing the goose laying golden eggs


මුලින් ම මෙන්න වැදගත් ම කාරණය.

මම ද්විත්ව පුරවැසියෙක් මි. ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු පුරවැසිකම් ද්වයය ම මට හිමි ය.

මා මෙන් ම, මගේ බිරිඳ ද, දියණිය ද ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෝ වෙති. ඕස්ට්‍රේලියාවේ ඉපදුණු මගේ පුතා ද, ඔහු ගේ උපත ලංකාවේ ද ලියා පදිංචි කර ඇති නිසා, ඔහුට වසර දහ අට පිරෙන තෙක් ශ්‍රී ලාංකික සහ ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙකි.

ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ අයෙකුට මේ ආකාරයට ද්විත්ව පුරවැසියෙක් වෙන්නට ලැබෙන්නේ, මුලින්ම, එයට ඕස්ට්‍රේලියානු නිතීය මගින් ඉඩ ලැබී ඇති නිසාය. එනම්, තම රටට සංක්‍රමණය කර පදිංචි වී සිට පසුව පුරවැසිකම ලබාගන්නා අයෙක්, තමන්ගේ මුල් පුරවැසිබව තව දුරටත් තබා ගැනීමට අදහස් කරයි නම් එයට ඕස්ට්‍රේලියානු නිතීය මගින් අවසර දී ඇත. ඇත්තටම, ඕස්ට්‍රේලියානුවෙකුට අවශ්‍ය නම් රටවල් කීපයක වුවද පුරවැසි බව තබා ගත හැක. ඒ සඳහා වෙනම ඕස්ට්‍රේලියාවෙන් අවසර ඉල්ලීමට අවශ්‍ය නොවේ. අවසර අවශ්‍ය වන්නේ ඒ ඒ රටවල්වලිනි.

මේ අතර, ලංකාවේ නීතියට අනුව තම පුරවැසියෙක් වෙනත් රටකට සංක්‍රමණය කර එහි පුරවැසිකම ලබාගත් පසුත්, ඔහුට හෝ ඇයට ලංකාවේ පුරවැසිකම ද තවදුරටත් තබා ගන්නට අවශ්‍ය නම්, ඒ සඳහා පෙර අවසරයක් ලංකාවේ රජයෙන් ලබාගත යුතුය.

එනිසා, සරලව "ද්විත්ව පුරවැසි අයැදුම" හෙවත් "ඩුවල් සිටිසන්ෂිප් ඇප්ලිකේෂන්" නමින් හැඳින්වෙතත් මේ අයැදුම් කරන්නේ සහ අවසර ලබා දෙන්නේ නිවැරදිව කිවහොත්, වෙනත් රටක පුරවැසිබව ලබාගත් පසු තව දුරටත් ශ්‍රී ලාංකික පුරවැසිබව තබාගැනීමට ය.

මේ සඳහා මට ඇති අවසර පත්‍රය "ච.බ.කු." විසින් තම රබර් සීල් එක තබා නිකුත් කර ඇත. ඒ, ආගමන හා විගමන විෂයය බාර රාජ්‍ය ආරක්‍ෂක ඇමති ලෙස කළ අනුමැතියකි.

ඒ දිනවල මේ සඳහා අයැදුම් පත්‍ර ගාස්තුව වූයේ මුල් ඇයදුම්කරුට රුපියල් ලක්‍ෂයකි. එයට එක් කරන පවුලේ අනෙක් සාමාජිකයින් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් විසි පන්දහසක් ගෙවිය යුතු විය. මේ අනුව මම, මේ සඳහා රුපියල් 150,000 ක් ගෙවූයෙමි. එය එවකට විනිමය අනුපාතිකය අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් 3,500 ක් පමණ විය.

මෙතරම් මුදලක් ගෙවා ලබා ගත් ඒ සහතිකය නිකම්ම නිකං දුඹුරු කඩදාසියක මුද්‍රණය වූ එකක් පාංකඩයක් වැනි කොළ කෑල්ලක් පමණක් වීම නම් දුකට කරුණකි.

මා මෙන්ම අප දන්නා හඳුණන පවුල් කීපයක්ම ඒ අකාරයට අවශ්‍ය අවසරය මුලින් ශ්‍රී ලංකාවෙන් ලබාගෙන, ඉන් පසුව ඕස්ට්‍රේලියානු පුරවැසිබව ලබා ගත්හ. ඒ දිනවල එතරම් මුදලක් වැය කරමින් අප එලෙස කළේ ඇයි ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.

තමන් ඉපදුණු, හැදුණු, වැඩුණු, ඉගෙනගත්, වසර ගණනාවක් රැකියා කළ රට සමග ඇති ඒ පෙකෙණිවැල කපා දැමීමට සිත හදා ගැනීම, අප බොහෝ දෙනෙකුට ලේසි පහසු කටයුත්තක් නොවෙන නිසාවෙනි. ඒ බැඳීම සදාකාලිකවම පවත්වා ගැනීමට අවශ්‍ය නිසාවෙනි.

ශ්‍රී ලාංකිකයින්ට මේ අවසරය මුලින්ම ලබා දී ඇත්තේ වසර 1988 දී වන අතර එකල මේ සඳහා ගාස්තුව වී ඇත්තේ රුපියල් 5,000 ක් පමණි. පසුව ආර් පේමදාස යුගයේ දී මෙය එක්වරම 2000% කින් වැඩිකර ඇත. එකල ඇමතියෙකු වූ ලලිත් අතුලත්මුදලි මේ වැඩිකිරීම හඳුන්වා ඇත්තේ "රත්තරන් බිත්ර දැමූ කිකිළිය මැරීමේ" කතාවටයි.

නමුත් පසු කලෙක චන්ද්‍රිකා රාජ්‍ය සමයේ දී සිදුවූයේ ද මේ අයැදුම් පත් ගාස්තුව තවත් දෙතුන් ගුණයකින් ඉහල යාමයි.

ඉන් පසුව, හේතුව කෙලින්ම නොදැක්වූවද, පසුගිය රජය ජාතිවාදී න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාකරමින්, වෙනත් රටක පුරවැසිබව ලබාගත් පසු තව දුරටත් ශ්‍රී ලාංකික පුරවැසිබව තබා ගැනීමට අවසර දීම තාවකාලිකව අත් හිටුවන ලද අතර, ඒ අත්හිටවීම මේ වසරේ මුල දක්වා ම ක්‍රියාත්මක විය.

පසුගිය වසරේ අග භාගයේ සිටම, මේ තාවකාලික අත්හිටුවීම අවසන් කර අළුතින් නීති හඳුන්වා දෙන බවට විවිධ ප්‍රකාශ වටින් ගොඩින් කෙරුණ ද, එය ඇත්තටම ප්‍රකාශ කෙරුණේ මේ වසරේ මුල් සතියේ ය.

ඉන්පසු අද වෙන විට, යහපාලන මිනි බජට්ටුව මගින් ඒ අයැදුම් පත්‍ර ගාස්තුව, එක පුද්ගලයෙකුට රුපියල් 500,000 ක් දක්වා වැඩි කර ඇත.

මේ සමාන අයැදුම්පත සඳහා ඉන්දියාවේ ගාස්තුව ඉන්දියානු රුපියල් 15,000 ක් පමණි!

ලංකාවට ගොඩ බැසීමෙදී තමන් වෙසෙන රටේ ගමන් බලපත්‍රය වෙනුවට තමන් ගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය පාවිච්චි කළහොත්, විස්කි බෝතල් එකහමාරක් වෙනුවට බෝතල් තුනක් ම තීරු බදු රහිතව මිළදී ගැනීමට හැකිවීම, ඒ සමහම තීරු බදු සාප්පුවකින් ඥාතියෙකුට කුමක් හෝ අවශ්‍ය විදුලි උපකරණයක් මිළට ගෙන සුළු මුදලක් ඉතිරි කර දීමට හැකිවීම වැනි සුළු වාසි අතහැරිය විට, වෙනත් රටක පුරවැසිබාවය ලබා දිගටම එහි ජීවත් වීමට සිතා සිටින අයෙකුට ද්විත්ව පුරවැසියෙක් වීමෙන් ලැබෙන ලොකු ආර්ථික වාසියක් නැති තරම් ය.

එනිසා, මේ වැඩිකළ ගාස්තු නිසා මෙතෙක් කල් මේ අවසරය ලබා ගැනීමට අදහස් කරගෙන සිටි අයගෙන් කොටසක් දුර්මුඛ වී, එනිසා මේ සඳහා ඇති ඉල්ලුම අඩුවී ගොස්, මේ ගාස්තු මගින් ක්‍ෂණිකව ලබා ගත හැකි මුළු ආදායමද ඇස්තමේන්තුවලට වඩා අඩුවිය හැකි අතර, මා කලින් සඳහන් කළ රන් බිජු දැමූ කිකිළිය ගේ උපමාවේ මෙන් ද්විත්ව පුරවැසිබව ලබාගන්නා පිරිස අඩුවීමෙන් ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීනව පාඩු සිදුවීමටද ඉඩ ඇති බව මගේ අදහසයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ද්විත්ව පුරවැසි අයැදුම් පත් ගාස්තුව වැඩි කිරීම සහ විදෙස් රටකට සංක්‍රමණය කරන්නට යන අය සඳහා පනවා ඇති නව බද්ද ගැන තොරතුරු සඳහන් වූ වෙබ් පිටුවක, ශ්‍රී ලංකාවේ වෙසෙන සමහර සිංහල පිරිස් කර තිබූ ප්‍රතිචාර කියවූ මට පෙනී ගියේ ඒ අය, ලංකාවෙන් පිටවී යන්නන් සහ දැනටම නොරට වෙසෙන්නන් (එනම් වචනයේ සැබෑ අර්ථයෙන් ඩයස්පෝරීක ලාංකියකයින්) කෙරෙහි අප්‍රමාණ කෝපය, ක්‍රෝධය සහ කුඩුකේඩුකමෙන් පෙළෙන බවයි!

මෙන්න ඒ වෙබ් පිටුව.
http://www.lankadeepa.lk/index.php/articles/293644

ප/ප/ලි:
මෙතනදී අපේ සමහරු මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින්ද වරද්දා ගන්නා තැන් බොහෝයි.

1. මෙය අමුතු අයිතිවාසිකමක් ඉල්ලීමක් නොවේ. කසාද බැඳ නිවසෙන් පිටත්ව වෙනත් ගමක පදිංචියට ගිය පසු, මහ ගෙදර සමග සම්බන්ධය තියා ගැනීමකි. එය ස්වභාවික දෙයකි. ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

2. මෙය මුදල් වැඩියෙන් අය කිරීම ගැනම ගැටළුවක් නොවේ. කසාද බැඳ නිවසෙන් පිටත්ව වෙනත් ගමක පදිංචියට ගිය පසු, මහ ගෙදරට එන්න දෙමව්පියෝ සල්ලි අය කරනවාද? උඹ බැඳලා ගියා නම් එහෙට වෙලා හිටපන් කියනවාද? ඒ තමන් ගේ ම දරුවන් සහෝදරයින් නේද? මොකක්ද මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

3. මේ වෙනත් රටක පදිංචිව සිටින අයත්, විදෙස්ගතව තාවකාලිකව පදිංචි වී රැකියා කරන අය මෙන් ලංකාවට කෙතරම් විදේශ විනිමය ලබා දෙනවාද? මීට අතරම, මා හොඳින් දන්නා පරිදි මේ පිරිස් ලංකාවේ පුන්‍යකටයුතු සඳහා කොයිතරම් මුදලක් එවනවාද? ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

4. මේ පිරිස් විටින් විට ලංකාවට ආ විට ඒ ගමන් බිමන්වලදී කොයි තරම් මුදලක් ලංකාවේදී වැය කරනවාද? ඇයි මේ ක්‍රෝධය? කුඩුකේඩුකම?

5. බදු අය කරන හේතු දෙකක් තිබේ. එකක් රජයේ වියදම් සඳහා ආදායම රුස්කර ගැනීමයි. වැට් බද්ද, විවිධ පාරිභෝගික භාණ්ඩ සඳහා පනවා ඇති තොග බදු එවැනි බදු වේ. අනෙක ජනතාවගේ යම් යම් චර්යාවන් පාලනය කිරීමයි. කැසිනෝ බදු, මෝටර් වාහන සඳහා බදු යනාදිය දෙවැනි වර්ගයයි. මට වැටහෙන පරිදි, සංක්‍රමණිකයින් සඳහා පනවන මේ බදු සැලකිය හැක්කේ දෙවෙනි කොටසේ ලා ය. එනම්, මේ බද්දේ සහ එය ඬැඩි කිරීමේ අදහස, රජයේ ආදායම වැඩිකර ඝැනීම නොව, සංක්‍රමණය අඩු කිරීම සහ සංක්‍රමණිකයින් තමන් ගේ මව් රටෙන් දුරස් කිරීමයි!

6. පින්නවල, දෙහිවල වැනි තැන්වල විදෙස් සංචාරකයින්ට එම මුදලකුත්, දේශිය සංචාරකයින්ට තව මුදලකුත් අය කිරීම ද මෙවැනි ම වැඩකි. මා එවැනි වෙනස්කම් කර සැලකීමක් මා ගොස් ඇති කිසිදු රටක දී දැක නැත.

(image: http://www.hdwallpapers.in/dual_monitor-desktop-wallpapers.html)

Sunday, 1 February 2015

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist


තානාපති යනු එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයක දී නියෝජනය කරන්නා ය. බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද තානාපති සේවයක් පවතී. මෙය වෛද්‍ය සේවය, පරිපාලන සේවය වැනි වෘත්තීමය රාජ්‍ය සේවයකි. ඒ සේවාවලට මෙන්ම පරිපාලන සේවාවට බඳවා ගන්නේද, විශ්ව විද්‍යාල උපාධීධාරීන්ය. ඒ තරග විභාග සහ සම්මුඛ පරීක්‍ෂණ වැනි කඩඉම් රාශියකින් පසුවය.

ශ්‍රී ලංකා තානපති සේවයේ නියුතු මා දන්නා එක් අයෙක් සේවයට බැඳී වසර කිහිපයක් පුහුණුවකින් පසුව යම් නිලධාරී තනතුරකට මාලදිවයිනට පත්වීම් ලද්දේය. තවත් වසර ගණනාවක් එහි ද, ලංකාවේ ද ගත කිරීමෙන් අනතුරුව ඔහු මදුරාසියේ කොන්සල්වරයා ලෙස පත්විය. ඊටත් වසර ගණනාවකට පසු ඔහු ලන්ඩන් නගරයේ ලේකම්වරයෙකු විය. අවසාන යේ ඔහු තානාපතිවරයෙකු වූයේ තම සේවා කාලය වසර විසි පහක් පමණ ගත කළ පසුය. එය ද, යුධ කලාපයක පිහිටි රටක මිස කවුරුත් යාමට ප්‍ර්‍රියකරන බටහිර හෝ නැගෙනහිර රටක නොවේ!

ඒ, කවුරුත් යාමට ප්‍ර්‍රියකරන බටහිර හෝ නැගෙනහිර රටවල්වල තානාපති තනතුරුවලට සාමාන්‍යයෙන් පත් කෙරෙන්නේ එක්කෝ පවතින රජයට අනුබද්ධ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණවලට තරග කොට පැරදුණු අයවලුන්ය. නැතිනම් දේශපාලනයෙන් හෝ විවිධ රාජ්‍ය සේවාලින් පැන්ෂන් ගත් අයය. එසේත් නැතිනම්, මේ මෑත කාලයේ ඔඩු දිවූ පරණ තුවාලයකට අනුව, මා ඊයේ ලිපියේ ද සඳහන් කළ පරිදි, දේශපාලඥයින් ගේ ඥාතී හිතවතුන්වය.

මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ලෙස පසුගිය කාලය තුල පත්වී ආ අය ගැන සඳහන් කරනවා නම් මගේ මතකයට මුලින්ම එන්නේ හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන බාලපටබැඳිය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.

ඔහුට පෙර එම තතතුර දැරුවේ, හිටපු හමුදා ප්‍රධානියෙකු වූ ජානක පෙරේරා ය. ඔහු ගේ දේශපාලන සබඳතාවය හෙලි වුනේ, ආණ්ඩු පෙරලියෙන් පසු ආපසු ලංකාවට කැඳවනු ලැබූවායින් පසු, උතුරු මැද පලාතේ යුඇම්පී සංවිධායකයෙක් බවට පත් වූ විටයි.

ඊට පසු එම තනතුර දෑරුවේ වල්ගම්පිට වැනි නමක් ඇති අයෙකු බව සිහියට එයි. ඒ දිනවල සමරු කලාප යනාදියේ පළවූ ඔහු ගේ ඡායාරූපයේ තුවායක් වැනි යමක් හිසේ දමාගෙන සිටි බවට මතකයක් ඇති නිසා ඔහු නීති අංශයේ අයෙකු වෙන්නට ඇතැයි සිතමි.

දැනට වසර හතරක සිට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුර දරන්නේ තිසර සමරසිංහ නම් හිටපු නාවික හමුදා ප්‍රධානියාය.

මුහුණ පුරා විහිදුණු දර්ශීය නාවික රැවුල නිසා ප්‍රතාපවත් පෙනුමක් දරන තිසර සමරසිංහ විටින් විට ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඔස්සේ මම දැක ඇත්තෙමි. එවැනි අවස්ථාවලදී බොහෝ විට "යන්නේ කොහෙද? මල්ලේ පොල්!" වැනි පිළිතුරු ඔහු දෙනු මා දැක තිබුණද, ඒ ශ්‍රී ලංකා රජය නියෝජනය කිරීම නම් ඔහුගේ රාජකාරිය ඒ ආකාරයෙන්ම ඉටු කිරීමක් පමණක් යැයි මම සිතුවෙමි.

නමුත්, ශ්‍රී ලාංකික සරණාගතයින් රුගත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියානු මුහුදු තීරයේ දී අනතුරට ලක් වූ අවස්ථාවකදී මෙන්ම කුමාර් ගුනරත්නම් පැහැර ගැනීමට ලක් වූ අවස්ථාවේ දී ද, තිසර සමරසිංහ කළ ප්‍රකාශවලින් ඔහු ගේ පුකතක්වය ද යම් තරමට හෙළි දරව් වුයේ යැයි මට සිතුණි.

ඒ කෙසේ වෙතත් තිසර සමරසිංහ ගේ නිරුවත හෙලිවූයේ මා ඊයේ පළ කළ තානාපති සේවයේ හොඳ හොඳ සෙල්ලම් නමැති ලිපියේ සඳහන් වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොන්සල් කාර්යාලයක් පිහිටවූ දිනවල සිදුවීමකිනි.

ඒ කොන්සල් කාර්යාලය විවෘත කිරීම සඳහා මෙල්බර්න් නුවරට පැමිණි එවකට විදේශ කටයුතු පිළිබඳ ඇමති ජී.ඇල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන දෙදෙනා, අර දඹුළු ගිය අය තලගොයිත් මරනවා සේ, මෙල්බර්න් හි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ශාඛා සමිතියේ රැස්වීමකටද සහභාගී වූහ.

ඒ රුස්වීමේ ඡායාරූප සන්නස පුවත් පතේ පල වූ විට මා දුටවේ, ඒ දේශපාලන පක්‍ෂ රැස්වීමේ ඉදිරිපස අසුනක සිටින්නේ මහ කොමසාරිස් තිසර සමරසිංහ බවයි.

එය සැබෑ නිරුවත හෙලිවීමක් වෙන්නේ, අප දන්නා පරිදි රාජ්‍ය තනතුරු දරන්නන්ට පක්‍ෂ දේශපාලන කටයුතුවලට සහභාගී විමට නොහැකි නිසාය.

රාජ්‍ය නියෝජිතයෙකු එසේ දේශපාලන පක්‍ෂ රැස්වීමකට ප්‍රසිද්ධියේ සහභාගී වී සිටින විට, ඔහු හෝ ඇය, අන් අවස්ථාවල කරන ප්‍රකාශ සහ ක්‍රියා, රජය නියෝජනය කරමින් කරන ඒවාද, නැතිනම් දේශපාලන පක්‍ෂය නියෝජනය කරමින් කරන ඒවාද යන පැණය නිසඟයෙන් මතුවේ!

ඒ සමගම, තිසර සමරසිංහ පක්‍ෂ දේශපාලනය කරන තානාපති නිලධාරියෙක් මෙන්ම තගෙක් ද බව ඊයේ පල වූ පුවතකින් කියවිණි.

සන්නස ඩොට් නෙට් වෙබ් අඩවියේ පළ වී තිබූ ඒ පුවතින් කියවුනේ, සන්නස පුවත් පතේ පළවූ මා පෙර සඳහන් කළ ඩී.බී කුරුප්පු ලියූ "කපුටන්ට ආප්ප අරන් දීම" නම් ලිපියෙන් ලංකාවේ රජයට අපහාසයක් වුනේ යැයි ද, එවැනි ලිපි මින් පසු පළ නොකල යුතු යැයි ද මහ කොමසාරිස් තිසර සමරසිංහ විසින් සන්නස උපදේශක කතෘ ජගත් ජේ එදිරිසිංහට තර්ජනය කර ඇති බවයි.

තිසර සමරසිංහ මේ තර්ජනය කර ඇත්තේ පසුගිය වසරේ ඔහු මෙල්බර්න් නුවරට පැමිණි දිනක, පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට යැයි පණිවිඩයක් යවා ජගත් ජේ එදිරිසිංහව කොන්සල් කාර්යාලයට ගෙන්වා ගෙන, ඉන්පසු එහි කාමරයක තනිකර ගෙනයි.

ලංකාවේ තම හාම්පුතා ඇතුළු නඩය විසින් එහි මාධ්‍යවේදීන්ට කළ තර්ජන, ගර්ජන, බිය වැද්දීම් ඕස්ට්‍රේලියාවේදීත් කළ හැකි යැයි තිසර සමරසිංහ සිතා ඇති බවක් පෙනේ. ඊ ළඟට කරන්නට ඉඩ තිබුණේ ලංකාවේ පසුගිය දශක කිහිපයක් තිස්සේම කෙරුණු මාධ්‍යවේදීන් පැහැරගෙන යාම්, පහරදීම්, අඩන්තේට්ටන් කිරීම්, අතුරුදහන් කිරීම් සහ මරා දැමීම් ද?

ඒ තර්ජනය කිරීම ගැන තමන් එදා වික්ටෝරියානු පොලීසියට පැමිණිලි නොකලේ එමගින් පොදුවේ ශ්‍රී ලංකාවට යම් අගරුවක් සිදුවේ යැයි සිතා බවත්, නමුත් මේ වන විට තිසර සමරසිංහගේ පත්වීම අවලංගු කරන නියෝගයක් නිකුත් කර ඇතැයි ප්‍රවෘත්තියක් ඇති මෙහොතේ එසේ නොකරන්න යැයි පෙත්සමක් අත්සන් කිරීමක් මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සිදුවෙමින් පවතින නිසා තව දුරටත් නිහඬව නොසිටීමට සිතූ බවත්, සන්නස ඩොට් නෙට් පුවතින් ජගත් ජේ එදිරිසිංහ වැඩි දුරටත් පවසා ඇත.

ජගත් ඒ පුවත් විශ්ලේෂණය අවසන් කරන්නේ මේ වැකියෙනි.

"රාජ්‍යතාන්ති‍්‍රකයන් විය යුත්තේ සිවිල් නීති පිළිබඳ අවබෝ්ධයක් හා ගෞරවයක් ඇති සිවිල් නිළධාරීන් මිස හමුදා මානසිකත්වයෙන් ලොව දෙස බලනා හමුදාකාරයන් නොවේ."

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න ඒ පුවතට දිගුව නැවතත්.
එකල පැවති සන්නස වෙබ් අඩවිය (sannasa.net) දැන් නොමැති නිසා ඒ පුවත පළවුණු වෙනත් තැනක ලිපිනය දක්වමි.
http://www.lankaenews.com/news/1241/si


(image: http://srilanka-almanac.com/sri_lanka_almanac_navy_commanders_portal/sri_lankan_navy_commanders/sri_lanka_almanac_thisara_samarasinghe_portal/photo_album.html)