Showing posts with label ධනංජය කරුණාරත්න. Show all posts
Showing posts with label ධනංජය කරුණාරත්න. Show all posts

Sunday, 15 April 2018

එසේ ම නොවේවා, වෙනත් විදියකට වේවා! - Dhananjaya Karunarathne's new year wish


ජනවාරි මුල් සතිය මෙන් ම, අප්‍රියෙල් මස මැද සතිය ද, "එසේම වේවා!" යන්න පට්ට පතුරු ගැසෙන යුගයකි. දිගු කලකට පෙර වෙනත් බ්ලොගයක ද ඒ ගැන ලිපියක් පළ වී තිබුණි.

http://kathandara.blogspot.com/2010/04/blog-post_14.html

මේ පිළිබඳව මගේ මෑත කාලීන ප්‍රතිචාරය වූයේ ඕනෑ එකක් වේවා යැයි පැවසීමයි.



එහි සෑබෑ ම අරුත, "ඕනෑ කෙහෙල්මලක් වේවා!" යන්නයි.

නාට්‍යවේදී ධනංජය කරුණාරත්න දැන් උදා වී ඇති එසේ ම වේවා සමය පිළිබඳව පහත ප්‍රතිචාරය දක්වා තිබෙනු මම ඊයේ ෆේස්බුක් අවකාශයේ දී දුටුවෙමි.



සම්මතයෙන් පිට පනිනවා තබා එසේ කිරීමට සිහිනයකින් හෝ නොසිතන අයට ඒ ප්‍රකාශය ඇස් ඇරවන්නක් වෙනු ඇත.

අරුංගෙන් නොලැබුණු දේ මුංගෙන් හෝ මුංගෙන් නොලැබුණු දේ අරුංගෙන් බලාපොරොත්තු වෙමින් අරුං වෙනුවට මුං පත්කර ගෙන හෝ මුං වෙනුවට අරුං පත්කරගෙන, අවසානයේ දී අරුංගෙන් ද, මුංගෙන් ද බැට කන මෝඩයින්වන අපට අනාගතයේ දී බලාපොරොත්තු විය හැකි හොඳම දේ නම් එසේ ම නොවී වෙනත් දෙයක් වේවා යන්න බව පැහැදිලි ය.

මෙලෙස කයිය ගැසුවාට මේ ලියන මා ද, බොහෝ විට හැසිරෙන්නේ සම්මත සීමා තුළ ය.

ඊයේ සිනුවර පැවති සූර්ය සැණකෙළිය හෙවත් සම්මත ආකාරයේ සිංහල අලුත් අවුරුදු උත්සවයේ දී සම්මත සැකිල්ලේ කවි රැගත් සම්මත ආකාරයේ කවි කොළයක් විකුණමින් මම ඒ බව මොනවට ප්‍රදර්ශනය කළෙමි.



හැම වසරකම බක් මස මස රැව් දෙවනා
ගම සිරිලක සුවඳ අප අතරට ගෙනෙනා
මෙම අවුරුදු උළෙල නැරඹීමට තුටිනා
මම පිළිගනිමි මෙහි ආ ඔබ සියලු දෙනා

අද මෙම "ප්‍රදර්ශන භූමිය" වෙත එක් වී
හොඳ එකමුතු කමින් බැඳි එක පවුලක් වී
ලද ඉඩ පරිදි අවුරුදු සිරිතෙන් පේ වී
සිඳ ආතති සියලු සැමසෙමු සන්සුන් වී

හොද්දට මිටි කිරක් තෙල් දමලා කන්න
සද්දෙට රතිඤ්ඤා කරලක් දල්වන්න
සවසට සයිකලෙන් පොඩි රවුමක් යන්න
ඇත්තට මට හිතෙනවා හෙට ගම යන්න

උපයන විට ගෙවන බදු බර අඩුවේවා
නිවසට ගත්තු මෝගේජය නිමවේවා
බැංකු ගිණුම් හැම හොඳ හැටි තරවේවා
ලැබු නව වසර සැමටම ජය අත්වේවා!

-රසිකොලොජිස්ට්

(image: Photo by Mark Newsham, 2017 for Merrigong Theatre Company. Thanks to Edie Watt.)

Thursday, 24 November 2016

විමල් කුමාර් ද කොස්තා, මාලනී ෆොන්සේකා සහ එයා දැන් ලොකු ළමයෙක් - Just some goss


ලොකු ළමයෙක් යන යෙදුම ඇසෙන විට ම අපේ සිහියට එන්නේ ගෑල්ළමයින් ගේ මල්වර වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ.

"එයා දැන් ලොකු ළමයෙක්" යන නමින් කරුණාරත්න සපුතන්ත්‍රි නම් ලේඛකයා නවකතාවක් රචනා කළේ ය. එය ඉතා ජනප්‍රිය වෙන්නට ඇතැයි සිතමි. ඒ එහි දෙවෙනි කොටසක් ද, "මනමාලි" නමින් ලියවී ඇති නිසා ය. මා බොහෝ විට කියවා ඇති නමුත් නිශ්චිත මතකයක් නැති මේ "දෙවන පරම්පරාවේ" නවකතා තරමක් සරල තරමක් අවුල් පෙම් කතා විය.

මා මෙහිදී "දෙවන පරම්පරාවේ" යන හැඳින්වීමෙන් අදහස් කරන්නේ, "ඉක්බිති සියල්ලෝ ම සතුටින් විසිර ගියහ!" අච්චුවේ වාත්තු කරන ලද, කොල්ලා සහ කෙල්ල ගේ අකලංක ප්‍රේමය සියලු සතුරන් මැඩ, සියලු බාධක සිඳ බිඳ දමා ජයගන්නා සුරංගනා කතා ඇතුළත් වූ "මුල් පරම්පරාවේ" නවකතාවලින් පසුව, කරුණාසේන ජයලත් විසින් රචනා කරන ලද මොන්ටිසෝරි ආදර අන්දරයක අඳෝනාව රැගත් "ගොළු හදවත" නවකතාවෙන් පසු බිහි වූ නවකතා පරම්පරාව ය.

මේ නවකතා ද පාඨකයින් අතර ඉතා ජනප්‍රිය විය. එහි අනෙකුත් නියමුවෝ වූයේ, කුමාර කරුණාරත්න, එඩ්වඩ් මල්ලවාරච්චි වැන්නන් බව මගේ අදහසයි. කුමාර කරුණාරත්න ගේ "රතු රෝස" මෙන් ම, එඩ්වඩ් මල්ලවාරච්චි ගේ "සුභා, ප්‍රාර්ථනා සහ සුබ ප්‍රාර්ථනා" ද මා ආශාවෙන් කියවූ නවකතා ය.



කරුණාරත්න සපුතන්ත්‍රි ගේ "එයා දැන් ලොකු ළමයෙක්" සහ "මනමාලී" නවකතා ඉතා ජනප්‍ර්‍රිය වූුවා පමණක් නොව ධර්මසේන පතිරාජා ඒ නවකතා ඇසුරෙන් චිත්‍රපටයක් ද අධක්‍ෂණය කළේ ය. සම්භාව්‍ය චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස සැලකෙන ධර්මසේන පතිරාජා ගේ චිත්‍රපට අතුරෙන් ඉතා ජනප්‍ර්‍රිය වී ඇත්තේ ද ඒ චිත්‍රපටය වීම යම් ආකාරයක සරදමකිි.

අපේ අම්මා සහ පුංචි අම්මලා එය නැරඹූව ද, "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපට නැරඹීමට මට ඉඩ නොලැබුණි. මා සිතන ආකාරයට එයට හේතුව වෙන්නට ඇත්තේ ස්ත්‍රී දුෂණයක ජවනිකාවක් තිබුණු නිසා එය "වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි" ආකාරයේ ලේබලයක් ඇලවී තිබීම විය හැක.

කෙසේ වෙතත්, මේ චිත්‍රපටයේ නමට ද අදාළව, එහි එන එක් දර්ශනයක මාලනී ෆොන්සේකා වැඩිවියට පත්ව දිය නා ගෙට එන දර්ශනයක් ඇතුළත් වූ ප්‍රචාරක දැන්වීම් ද, බණ්ඩාර කේ විජේතුංග ගේ ගැඹුරු හඬින් "එක් වැසිබර අඳුරු රැයක් තෙක් ඇය පියකරු වතුසුදු මලක්" යනුවෙන් සහ "අවාරෙට කෝපි මලුත් පිපිලා ඇති!" යනුවෙන් මාලනී ෆොන්සේකා ගේ දෙබසක් සහිත රේඩියෝ වෙළඳ දැන්වීම් ද, මගේ මතකයේ ඇත.



නවකතාවේ සුසිලාවතී ගේ චරිතයේ විස්තරය කෙසේ වුව ද, ඒ වන විට තම ජීවිතයේ තුන්වෙනි දශකය පසුකරමින් සිව්වෙනි දශකයේ එළිපත්තේ සිටි මාලනී ෆොන්සේකා, වැඩිවිය පැමිණෙන දැරියක ලෙස රඟපෑමේ යම් විකාර රූපී බවක් තියෙන්නට ද ඇත. හරියට, අබා චිත්‍රපටියේ උන්මාද චිත්‍රා ගේ චරිතය වයස හතළිස් පහක් පමණ වූ සබීතා පෙරේරා රඟපෑවාක් මෙනි!

මාලනී ෆොන්සේකාට අමතරව මේ චිත්‍රපටයේ අන් ප්‍රධාන චරිත නිරුපණය කළේ විජය කුමාරතුංග සහ පසුගිය දා මිය ගිය විමල් කුමාර් ද කොස්තා ය.

චිත්‍රපටයේ කතාවේ සාරාංශය අති සංක්‍ෂිප්තව පවසතොත්, ගැමි කෙල්ලකවන සුසිලාවතී (මාලනී) තම ඥාතියෙකු වන සිරිපාල (කොස්තා) අතින් දුෂණය වී අසරණ වන නමුත්, ඇගේ නිවසේ නවාතැන් ගෙන සිටිනා ග්‍රාමසේවක (විජය) ඇගේ පිහිටට පැමිණේ.

මට මේ සටහන ලියන්නට සිතුණේ විමල් කුමාර් ද කොස්තා ගේ මරණයෙන් පසු ඔහු ගැන ධනංජය කරුණාරත්න විසින් ලියූ විශේෂ ලිපියක විමල් කුමාර් ද කොස්තා සහ මාලනී ෆොන්සේකා අතර හෝඩියේ පන්තියේ සිට පැවති සුවිශේෂී සම්බන්ධතාවයක්, එය 50% ආදරයක් ද විය හැක!, ගැන කියවුූ විට දී ය.

තමන් ඒ වන විට රඟ පා තිබුණු චරිත අතරින් වඩාත් කැමත්ත ඇත්තේ "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ සිරිපාල ගේ චරිතයට බව ඒ දිනවල විමල් කුමාර් ද කොස්තා පවසනු මා අසා ඇත.



ධනංජය කරුණාරත්න ගේ ලිපියේ අඩංගු කරුණුවලින් හැඟවෙන පරිදි, හෝඩියේ පන්තියේ සිට සිතෙන් තමන් ප්‍රේම කළ නමුත්, විවිධ සමාජ කරුණු නිසා තමන්ට අහිමි වූ ඒ මාලිනි ය, අතාත්වික ලෝකයක දී සුලු මොහොතකට හෝ තමන්ට හිමි කරගන්නට ලැබීම නිසා විමල් කුමාර් ද කොස්තා "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ සිරිපාල ගේ චරිතයට වඩාත් ප්‍රිය කරන්නට ඇතැයි මට සිතේ.

-රසිකොලොජිස්ට්

(image: https://rateyourmusic.com/film/එයා_දැන්_ලොකු_ළමයෙක්; http://www.silumina.lk/punkalasa/20110306/_art.asp?fn=ar1103069)

Friday, 12 August 2016

පේරාදෙණිය වළේ හූ කීම ඇරඹුණු හැටි ලූෂන් බුලත්සිංහල හෙළි කළ වගයි! - A tale from the past


මේ දිනවල ඕස්ට්‍රේලියාවේ නාට්‍යය සංචාරයක නිරතව සිටින ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා සමග සුහද සංවාදයක් අපේ ලේඛක සංසදය විසින් පසුගිය දා සිනුවර දී සංවිධානය කරන්නට යෙදුණු බව මම ඊයේ රසිකොලොජියේ ලියා පළ කළ ලිපියේ සඳහන් කළෙමි.

එදින, සංවාද සභාවේ සිටි මා මිත්‍ර නිහාල් රූපසිංහ විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය හෙවත් වළේ දී, කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යයට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් හූ කීමේ සිදුවීම පිළිබඳව ප්‍රවීණ නාට්‍යවේදියෙකු මෙන් ම පේරාදෙණිය විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථියෙකු ද වන ලුූෂන් බුලත්සිංහල කලාකරුවා ගේ අදහස විමසන ලදී.

මේ හූ කීමේ සිද්ධිය පිළිබඳ මගේ මතය මීට පෙර දිනක මම ලියා ඇත්තෙමි.

ඒ ප්‍රශ්නයට ලූෂන් බුලත්සිංහල විසින් දුන් පිළිතුර කාගේත් ඇස් ඇරවන්නක් විය. එසේ වූයේ්, පේරාදෙණිය වළේ හූවේ ආරම්භය ගැන ද යම් කිසි වැදගත් කරුණු ලූෂන් බුලත්සිංහල ගේ කථාවෙන් හෙළි වූ නිසා ය.

පේරාදෙණියේ ම පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරක් ද කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ලෙස ලූෂන් බුලත්සිංහල ඉගෙනුම ලබා ඇත්තේ මීට වසර පනහකට පෙර 1963-1967 පමණ කාලයේ දී ය. අවසාන වසරේ දී ඔවුන් හැදෑරූ සිංහල සාහිත්‍යය වැනි විෂයක අවසාන දේශනය පවත්වා ඇත්තේ මනමේ, සිංහබාහු වැනි නාට්‍ය නිර්මාණය කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසිනි. එදා ඒ දේශනයට මාතෘකාව වී ඇත්තේ ප්‍රකට සංස්කෘතික නාට්‍යයක සිංහල පරිවර්තනය වන "මැටි කරත්තය" නම් කෘතියයි.

දේශනය අවසාන කරමින් එදිරිවීර සරච්චන්ද්‍ර පවසා ඇත්තේ විෂය නිර්දේශානුකූලව හදාරන්නේ ඒ නාට්‍යයේ පෙළ පමණක් වුව ද, නාට්‍යය කෘතියක් සම්පූර්ණ වන්නේ එය වේදිකාවේ රඟ දැක්වෙන විට බවත්, පී වැලිකල ගේ අධ්‍යක්‍ෂණයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනය වී ඇති "මැටි කරත්තය" නාට්‍යය පසු දිනයක විශ්ව විද්‍යාලයේ එළිමහන් රංග පීඨයේ දී රඟ දැක්වෙන විට ශිෂ්‍යයින්ට එය නැරඹිය හැකි බවත් ය.

එසේ කී උගත් මහාචාර්යවරයා තම දේශනය අවසාන කර ඇත්තේ, හැබැයි ඉතිං නොබැලුවත් කමක් නෑ යන උපහාසාත්මක, කට කැඩිච්ච, කථාවත් සමගිනි.

ගුරා ගේ ඒ කතාව ඇතැම් ගෝලයින් ගේ සිතට හොඳින් කා වදින්නට ඇත.

නියමිත දිනයේ දී විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨයේ දී මැටි කරත්තය නාට්‍යය රඟ දැක්වීම ඇරඹී ටික වේලාවකින් එහෙන් මෙහෙන් උසුළු විසුළු නාද ද, ඉන් පසු හූ හඬ ද, නැගෙන්නට පටන් ගෙන ඇත. තවත් සුලු වේලාවකින් ගල් කැට කීපයක් වේදිකාව දෙසට එල්ල වී ඇත.

ඊළඟට සිදුවුණු කැඩුණු පුටු කකුලක් මිසයිලයක් ලෙස වේදිකාව මත පතිත වීමත් සමග ම "මැටි කරත්තය" නාට්‍යය රඟ දැක්වීම අවසාන වී ඇත.

මේ අතත කතාව කියා වැඩි දුරටත් අදහස් දැක් වූ ලූෂන් බුලත්සිංහල කලාකරුවා පවසා සිටියේ, වේදිකා නාට්‍යයක් හෝ වෙනත් ඕනෑම ප්‍රදර්ශනයක් හෝ නැරඹීමේ දී තමන්ට එය රුචි නොවේ නම් කළ යුත්තේ, එය නරඹන අන් අයට බාධා නොකර හිමින් සීරුවේ එතැනින් නික්ම යාම බවත්, තමන් ගේ විවේචන පසුව ඉදිරිපත් කළ හැකි බවත් ය.

එසේ ම, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි ලලිතකලා විශාරදයෙකු ඒ කාරණය තම ශිෂ්‍යයින් ට පහදා නොදී, හැබැයි ඉතිං නොබැලුවත් කමක් නෑ යන කට කැඩිච්ච කතාව මගින් ඔවුන් අනියම් ආකාරයෙන් උසි ගැන්වීම කළ නොයුතුව තිබුණු දෙයක් බවත් ය.

වේදිකා නාට්‍යයක් හෝ වෙනත් නිර්මාණයක් නරඹා රස විඳීමට ද යම් කිසි බුද්ධි මට්ටමක් අවශ්‍ය බවත්, එවැනි තත්වයක සමාජයක් යනු සැම විටම සංස්කෘතියෙන් උසස් සමාජයක් බවත් ලූෂන් බුලත්සිංහල කලාකරුවා වැඩි දුරටත් පැවසී ය.

සිනුවර සිංහල නාට්‍ය කණ්ඩායමක් පිහිටුවා පසුගිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ නාට්‍ය වැඩමුළු පවත්වාගෙන යන ප්‍රවීණ නාට්‍යවේදී ධනංජය කරුණාරත්න අපට පවසා ඇත්තේ ද, කලා කෘතියක් සැබෑ ලෙස රස විඳීමට නම් ඒ සඳහා නිසි පුහුණුවක් ද ලැබිය යුතු බවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි
සමහර විට "මැටි කරත්තය" වේදිකා නාට්‍යයට හූ කියා කඩාකප්පල් කළ දිනයට පෙර ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රංග පීඨයේ රඟ දැක්වුණු වේදිකා නාට්‍යයන්ට ද හූ කීම් සිදුවන්නට ඇත.

Thursday, 28 July 2016

කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ අධ්‍යක්‍ෂණයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ හෙවත් වළේ දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යය හූ හඬ මැද රඟ දැක්වුණු අයුරු හෙවත් වළේ-හූව :: My two-cents worth


සිංහල වේදිකා නාට්‍ය පිළිබඳව දන්නා අය මේ ලිපියට මාතෘකාව සැකසී ඇත්තේ සුගතපාල ද සිල්වා ගේ අධ්‍යක්‍ෂණයෙන් වේදිකාගත වුණු, කෞෂල්‍යා ප්‍රනාන්දු ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළ "ද සාද් ඈපාණන් ගේ අධ්‍යක්‍ෂණයෙන් චැරින්ටන් සායනයේ නේවාසිකයින් විසින් ආචාර්ය යොන් පෝල් මරා ගේ වද දීම සහ ඝාතනය රඟ දැක්වූ අයුරු හෙවත් මරා-සාද්" නම් වේදිකා නාට්‍යයේ නම ඇසුරෙන් බව තේරුම් ගනු ඇත.

මේ ලිපිය එලෙස නම් කළේ මා කෞෂල්‍යා ප්‍රනාන්දු නම් ප්‍රතිභා පූර්ණ නිළිය මුල්වරට දුටුවේ ඒ නාට්‍යයේ නැරඹීමේ දී නිසා ය.

මේ නාට්‍යයේ ඒ දීර්ඝ නම සුගතපාල ද සිල්වා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. මරාසාද් නාට්‍යය සම්පූර්ණ පරිවර්තනයකි. එහි මුල් නිෂ්පාදනයවූ "Die Verfolgung und Ermordung Jean Paul Marats dargestellt durch die Schauspielgruppe des Hospizes zu Charenton unter Anleitung des Herrn de Sade" නමැති ජර්මන් වේදිකා නාට්‍යය Peter Weiss ගේ කෘතියක් විය. ඒ දිගු නමේ ඉංග්ලිෂ් පරිවර්තනය "The Persecution and Assassination of Jean-Paul Marat as Performed by the Inmates of the Asylum of Charenton Under the Direction of the Marquis de Sade" වේ. [https://en.wikipedia.org/wiki/Marat/Sade]

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වොලොංගොං නුවර වත්මනෙහි වාසය කරන ප්‍රවීන ලාංකික නාට්‍යවේදියෙකු සහ රචකයෙකු වන ධනංජය කරුණාරත්න ද ඉහත නාමකරණය අනුකරණය කරමින් වොලොංගොංහි "මෙරිගොං" නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් විලියම්ස් හා එක්ව 2015 දී අධ්‍යක්‍ෂණය කළ වේදිකා නාට්‍යයකට "එ ශ්‍රී ලංකන් ටැමිල් ඇසයිලම් සීකර්ස් ස්ටෝරි ඈස් පර්ෆෝර්ම්ඩ් බයි ඕස්ටේ‍ර්ලියන් ඇක්ටර්ස් අන්ඩර් ද ගයිඩන්ස් ඔෆ් එ සිංහලීස් ඩිරෙක්ටර්" යනුවෙන් නම් කළේ ය.

ඒ කෙසේ වෙතත්, මේ ලිපිය ලියන්නට මට සති දෙකකට පමණ පෙර සිතුණේ කෞෂල්‍යා ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කළ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ හෙවත් වළේ රඟ දැක්වුණු දිනයේ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලෙස එල්ලවූ දැඩි හූ හඬ නිසා, නාට්‍යය එහි අවසානය දක්වා රඟ නොදක්වා අත්හැර දමන්නට සිදුවීම පිළිබඳ කනගාටුදායක පුවත අසන්නට ලැබුණු විටයි.

ඒ හූ හඬ සහ විරෝධය නැගුණේ එම නාට්‍යයේ දර්ශනවල ඇතුළත් වූ සිප ගැනීම් පිළිබඳව යැයි ද පසුව නිල නොවන ආරංචියක් පැතුරිනි.

මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ හෙවත් වළේ සිව් වසරක් නාට්‍ය නරඹා ඇත්තෙමි. ඒ පිළිබඳ මගේ සුන්දර අත්දැකීම් පසුගිය වසරේ මා රසිකොලොජියේ පළ කළ පහත ලිපියේ සඳහන් කළෙමි.

http://rasikalogy.blogspot.com/2015/12/nostalgia.html

ඒ සුන්දර අත්දැකීම් අතරේ එතරම් සුන්දර නොවෙන අත්දැකීම් ද නොතිබුණා නොවේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් වුණු පමණින්, ඒ සියලු දෙනාම "ඩයි-හාඩ්" නාට්‍ය රසිකයින් යැයි සිතීම විහිළුවකි. ඒ කෙසේ වෙතත්, එළිමහන් රඟහලක අඩු තාක්‍ෂණයක් සහිතව රඟ දැක්වෙන නාට්‍යයක් නැරඹීමට මනා ශික්‍ෂණයක් අවශ්‍ය වේ. රාත්‍රී කෑමෙන් පසු එළිමහන් රංග පීඨයක ගල් ආසන මතට ගාල්වෙන තරුණ වියේ කණ්ඩායම් මානසිකත්වෙන් (pack mentality) යුතු විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වනාහී ඒ ශික්‍ෂණය ඉතා හොඳින් තියේ යැයි සිතිය හැකි ප්‍රාණීන් කොටසක් නොවේ.

මෙහිදී පැක් මෙන්ටලිටි හෙවත් කණ්ඩායම් මානසිකත්වය යනුවෙන් මා අදහස් කළේ එකෙකු හූ කීවොත්, ඌ හා කණ්ඩායම් ගත වීමට තවත් පිරිසක් සිටිනවා ය යන අරුතෙනි.

එනිසා, නාට්‍ය දර්ශනයක් අතරතුර, ප්‍රේක්‍ෂක අවධානය ගිලිහී යන මොහොතක හූ හඬක් මතුවීමත්, ඇතැම් විට එය ඔද්දල් වීමත් කිසිසේත් ම පුදුමයක් නම් නොවේ.

සිව් වසරක් තුළ ලද මගේ පේරාදෙණිය වළේ සුන්දර නොවන නාට්‍ය අත්දැකීම් අතරින් මුලින් ම මා සිහියට එන්නේ ඇමරිකානු නවකතාකරු ස්ටෙයින්බෙක් ගේ "ඔෆ් මයිස් ඇන්ඩ් මෙන් (Of mice and men)" ඇසුරින් සාලමන් ෆොන්සේකා ගේ නිපදවූ "අහිමි ජීවිත" නාට්‍යයේ පේරාදෙණිය වළේ දර්ශනයයි. මුලින් ම වළ අසල පිහිටි හිල්ඩා ඔබේසේකර ශාලාවේ සිට නොමිලේ නාට්‍යයේ අර්ධ දර්ශනයක් නැරඹූ සිසුවෙකුගෙන් ලැබුණේ යැයි මගේ මතකයේ ඇති යමක් කියා කෑ ගැසීමට පසුව ඇතිවුණු විවිධ බාධාවන් ගේ අවසානය වූයේ නාට්‍යය නවතා සාලමන් ෆොන්සේකා සභාව ඇමතීමයි.

අපේ ජ්‍යෙෂ්ඨ සිසුවෙකු වූ හෙන්රි වර්ණකුලසූරිය ගේ මතකය අනුව එදා නාට්‍යය එතැනින් ම හමාර විය. මගේ මතකය නම් මද විරාමයකින් පසුව නාට්‍යය නැවත ඇරඹී අවසානය දක්වා පැවතුණු බවයි.

සුනන්ද මහේන්ද්‍ර ගේ "පොකුරු වැස්ස" නාට්‍ය පෙන්වූ දා, එළිමහන් රංග පීඨයක ඇති ලොකු ම ප්‍රශ්නය ඉස්මතු කරමින් නාට්‍යය මැද දී පොකුරු වැසි ඇද හැළුණි. ප්‍රේක්‍ෂකයින් බොහෝ දෙනෙකු විසිර ගිය අතර, මා වැනි "ඩයි-හාඩ්" පිරිසක් වැස්සෙන් පසු නාට්‍යය නැවත අරඹන තුරු එහි රැඳී සිටිය බව මට මතක ඇත.

වරෙක පේරාදෙණිය වළේ පෙන්වනු ලැබූ දයානන්ද ගුණවර්ධන ගේ "මධුර ජවනිකා" නාට්‍යය ද, ප්‍රේක්‍ෂක හූ හඬක් එල්ල වී නවත්වන්නට සිදුවූ බව මගේ මිතුරෙකු පවසතත්, මගේ මතකය නම් ඒ නාට්‍යය මා අවසානය දක්වා නැරඹූ බවයි. ඒ රූපවාහිනියේ පෙන්වූ දර්ශනය විය හැක.

විවිධ උසුළු-විසුළු කෙරුණ ද, වේදිකා නාට්‍යයක් මුළුමනින් ම කඩාකප්පල්වීමක් යනු අති දුර්ලභ අවස්ථාවක් බව මෙයින් කිව හැක.

කෞෂල්‍යා ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කළ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යය මම පසුගිය දෙසැම්බරයේ දී කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී නැරඹුවෙමි. එය නෝබෙල් ත්‍යාගලාභී වොලී සොයින්කා ගේ අප්‍රිකානු ඒකාධිපතියෙකු ගේ පාලන සමය මත පදනම් වූ "ඔපෙරා වොන්යොසි" නම් වේදිකා නාට්‍යයේ අනුවර්තනයක් බව කියවේ.

එදා මම ඒ නාට්‍යය රස වින්දෙමි. නළු නිළියන් ගේ රංගනය ඉතා ප්‍රතිභාසම්පන්න විය. නාට්‍යයේ අනෙකුත් බොහෝ නිර්මාණාත්මක අංග ද ප්‍රශස්ත මට්ටමක පැවතුණි.

නමුත් අවංකව ම මට එය හැඟුණේ ලතින් ඇමරිකානු නාට්‍යයක් ලෙසිනි. ඒ එහි ආ සංගීතය සහ නැටුම් ආදිය නිසා යැයි සිතේ. ප්‍රධාන නළුවා ද මට පෙනුණේ Zoro ලෙසිනි. කතාව තරමක් ඇදෙන බව හැඟුණ ද, මට නම් එය කිසිසේත් ම නීරස නොවී ය.

ඒ සමගම කිව යුතු අනෙක් කාරණය වනුයේ පේරාදෙණිය වළේ සිදුවීමෙන් පසු කියවෙන තුරු, මේ නාට්‍යයේ අනවශ්‍ය සිප ගැනීම් දර්ශන තිබෙනවා යැයි මට කිසිදු මතකයක් නොතිබීමයි. එවැනි සිප ගැනීම් දර්ශන ස්වාභාවික රංගනයේ ම කොටසක් බව එයින් පෙනේ.

හූ හඬ නැගීමක් යනු නාට්‍යයක් නැවැත්වීමට තරම් විශාල හේතුවක් නොවෙතත්, යම් යම් මිසයිල ප්‍රහාර වේදිකාව දෙසට එල්ල වෙන්නට පටන් ගත් නිසා එසේ නාට්‍යය නවත්වා දැමූ බව ද මට දැන ගන්නට ලැබුණි. හූව කෙසේ වෙත්, එය නම් අති බරපතල තත්වයකි.

"දුටු තැන අල්ලනු" නාට්‍යයට ඒ හූ කීම සහ විරෝධය පෑම සිදුවූයේ එහි ආ සිප ගැනීමේ දර්ශන නිසා නම්, මට කිව හැක්කේ විශ්වවිද්‍යාල සිසුන් අතර එවැනි නෂ්ටකාමයකින් පෙළෙන, ඒ සමගම විකෘති වූ මනසකින් ද යුතු සංස්කෘතික බයියන් කිහිප දෙනෙකු හෝ සිටීම ඉතාමත් අභාග්‍යයක් බවයි. අනිවාරයෙන් ම එවැන්නන්ට ඉක්මනින් ම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු වේ.

දැනට දැන ගන්නට ලැබී ඇති තොරතුරු අනුව, දුටු තැන අල්ලනු නාට්‍යය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී නැවත රඟ දැක්වීමට සැලසුම් කෙරේ.

එය සතුට දනවන දියුණුවකි.

-රසිකොලොජිස්ට්

(image: http://www.cultura.lk/event/dutu-thana-allanu)