
ඔබේ ගම කුමක්දැයි ඇසුවොත් කිව යුත්තේ කුමක්ද? ඔබ ඉපදුණු ගම ද? පියා ගේ මහ ගෙදර පිහිටි ගම ද? ඔබ හැදී වැඩුණු ගම ද? දැන් ඔබ ජීවත්වන ගම ද?
මා උපන්නේ කොළඹ මහා රෝහලේ ද සොයිසා ප්‍රසූතිකාගාරයේ දී ය. මෙය පිහිටා ඇත්තේ කොළඹ කින්සි පාරේ මරදාන පැත්තේ නිසා මා ඉපදුණු ගම මරදාන ලෙස සැලකිය හැක. මේ ගැබිණි වාට්ටුව පිහිටා තිබුණේ කින්සි පාරේ අනිත් පැත්තේ නම්, මා ඉපදුණු ගම වෙනු ඇත්තේ කුරුඳුවත්ත යි.
නමුත් ඇත්තටම මගේ ගම ලෙස සැළකිය යුත්තේ, මගේ පියා කුඩා කළ සිට හැදුණු වැඩුණු, මගේ ජීවිතයේ මුල් අවුරුදු දහ අටෙන් දොළහක් ම ගත කළ පරකන්දෙණිය නම් වූ ග්‍රාමයයි.
පරකන්දෙණිය ගම පිහිටියේ ගම්පහ මැතිවරණ කොට්ඨාශයේ එක් කෙළවරක ය. එහි මායිම් ගම්මාන වූයේ කොස්සින්න, කටුවාලමුල්ල, අමුණුගොඩ, ඉඹුල්ගොඩ, ඇල්දෙනිය සහ ගිණිකොණ දෙසින් කොළඹ-නුවර පාරයි.

ගම හරහා පැයකට වරක් එක් දිසාවකට ගමන් ගත් බස් රථය වූයේ අංක 218 ගණේමුල්ල-කඩවත බසයයි.
විශාල ප්‍රදේශයක් භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබුණු පරකන්දෙණිය ගම මගේ පියා ගේ දෙමව්පියන් දෙදෙනාගේ ම උපන් ගම විය. නමුත්, සීයා ගේ ඥාතීන් සිටියේ අප එකල ඉහල පරකන්දෙණිය නමින් හැඳින්වූ නුවර පාර ආසන්න ප්‍රදේශයේ ය. සීයා සහ ආච්චී පදිංචිව සිටි තාත්තා ගේ මහගෙදර පිහිටියේ ගමේ අනෙක් කෙළවරේ ය.
ගමේ එක කොණක ජීවත් වීම යනු ප්‍රායෝගිකව අල්ලපු ගමේ ම ජීවත්වීමකි.
අපේ නිවස පිහිටා තිබූ ඉඩමට අල්ලපු වත්ත අයත් වූයේ කොස්සින්නටයි. මා කුඩා කාලයේ පාසල් ගියේ ද, මගේ පියා ගේ මුල් පාසල ද වුණු කොස්සින්න ශ්‍රී ශ්‍රීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයටයි. පරකන්දෙනිය ගමේ ද, මායාදුන්න කණිෂ්ඨ විද්‍යාලය නමින් පාසලක් වූ නමුත් අප නිවසේ සිට එය පිහිටියේ කොස්සින්න පාසලට වඩා සාපේක්‍ෂව තරමක් දුරිණි.
අප පෝය දිනට ගියේ ද, කොස්සින්න පන්සලටයි. එය සියම් නිකායේ අස්ගිරි පාර්ශවයට අයත් පුරාණ රජමහා විහාරයකි. පරකන්දෙණියේ පන්සලට මා කිසි දිනක ගොස් නැත.
අපේ ගමට තැපැල් බෙදුවේ ඉඹුල්ගොඩ තැපැල් කාර්යාලයෙන් වූ නමුත් අප නිතරම ගියේ කොස්සින්නේ පිහිටි උප තැපැල් කාර්යාලයටයි, එසේත් නැති නම්, ගණේමුල්ලේ තැපැල් කාර්යාලයටයි.
කොටින් ම, අපට පරකන්දෙනිය යන නම වැදගත් වූයේ කරුණු දෙක තුනක් සඳහා පමණි.
ඉන් ප්‍රධානම කරුණ නම් තැපැල් සේවය සඳහා භාවිතා කළ යුතු ලිපිනයේ ඇතුලත් කිරීමටයි. ඇත්තටම අප වාසය කරන්නේ කොස්සින්නේ නොව පරකන්දෙණිය නම් ගමක බව මා දැන ගත්තේ ද, පාසලේ දී නිවසේ ලිපිනය ලිවීමට සිදුවූ මොහොතක දී ය. අල්ලපු වත්තේ සිටි මගේ ඥාතියෙකු සහ පාසල් මිතුරෙකු වන ආනන්ද ජයතිලක තම ලිපිනය කොස්සින්න, ගනේමුල්ල කියා ලියද්දී මම ද එසේ ලියූවෙමි. මා වෙසෙන්නේ පරකන්දෙණියේ බව මට කියා පහදා දුන්නේ ආනන්ද විසිනි. (Happy birthday, Ananda)
මීට අමතරව, අපේ සලාක යනාදිය ලැබෙන සමූපකාරය පිහිටා තිබුණේ ද, ග්‍රාමසේවක කාර්යාලය තිබුණේ ද, ඡන්දය දීමට යා යුතු වූයේ ද, පරකන්දෙණිය ගම මධ්‍යයේ පිහිටි විවිධ ස්ථාන වලටයි.
පරකන්දෙණිය යන නම ලංකාවේ වැඩි දෙනෙකු අසා හුරු පුරුදු නමක් නොවේ. එය, එක්තරා දිනයක මගේ වාසියට හේතු විය.
ඒ කතාව මෙසේය.
මා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් ජීවිතයේ
වසන්ත සමය ගතකළ කාලයේ දී දිනයක, හදිසියේ ම, විශ්වවිද්‍යාලය වසා දමන ලදී. නේවාසික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එදිනම විශ්වවිද්‍යාල භූමියෙන් පිටත්ව නිවෙස් බලා යන ලෙස පාලකයෝ දැනුම් දුන්හ.
මේ ආකාරයට විශ්වවිද්‍යාලය හදිසියේම වසා දමන විට සිසුන්ට නිවසට යාම සඳහා මුදල් ආධාර දීමේ ක්‍රමයක් එකල පැවතුණි. කුමක් හෝ ඓතිහාසික හේතුවක් නිසා සිසුන්ට ලබා දුන් මේ මුදල් ප්‍රමාණය නීර්ණය කෙරුණේ විශ්වවිද්‍යාලයේ සිට එක් එක් නිවසට ඇති දුර අනුව ය.
නිවස නුවර පලාතේ නම් ලැබෙන්නේ රුපියල් විසි පහකි.
ගම්පහ, කුරුණෑගල, බණ්ඩාරවෙල නම් රුපියල් පනහක් ලැබේ.
නිවස පිහිටියේ ඊටත් දුර නම් රුපියල් හැත්තෑ පහක් හෝ සීයක් ලැබේ.
වැඩිම මුදළ වූ රුපියල් එකසිය පනහක් ලැබුණේ, නිවස යාපනය, මඩකළපුව, ත්‍රිකුනාමලය, මාතර හෝ හම්බන්තොට යන දිස්ත්‍රික්කයක පිහිටා ඇති නම් පමණි.
පීඨ ලේඛකාධිකාරී කාර්යාලයේ දී. අපේ ශිෂ්‍ය වාර්තා පොතේ ඇති ලිපිනය පරීක්‍ෂා කර ඒ අනුව මේ මුදල ලබා දෙන ලදී.
මගේ ගමේ නම වූ පරකන්දෙණිය යන්න සහ තැපැල් කාර්යාලය වූ ඉඹුල්ගොඩ යන්න දුටු පීඨ කාර්යාලයේ ලිපිකරු මේ කොයි දිස්ත්‍රික්කයේ දැයි මගෙන් ඇසුවේය. "රුපියල් එකසිය පනහක දුර!" යැයි මම පැවසූයෙමි.
මාතර දිස්ත්‍රික්කය යටතේ මගේ නම ඇතුළත් කළ ඔහු මට රුපියල් එකසිය පනහක් දුන්නේ ය.
ඊට හරියටම මාස විසි එකකට පසු දිනක, උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියා පදිංචි වීමේ දී මට ඒ රුපියල් එකසිය පනහ ගෙවා ණය බරෙන් නිදහස් වීමට සිදු විය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
පසු කලෙක සිදුවුණු ග්‍රාම සේවක වසම් නැවත නම් කිරීමේ ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් ලෙස අපේ මහ ගෙදර තිබුණු ප්‍රදේශය දැන් හැඳින්වෙන්නේ කටුවාලමුල්ල උතුර කියාය. නමුත්, ග්‍රාමසේවකලාට කෙසේ වෙතත්, ගම්වාසීන්ට නම් අපේ ගම තවමත් පරකන්දෙණිය යි!
(මෙය
බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවුණු ලිපියකි!)