Sunday, 13 April 2025

සීයා මරණය සහ නැන්දා - A nostalgic memory



පරකන්දෙණිය ගමේ මහ ගෙදර ජීවත් වූ සීයාගේ අභාවය පිළිබඳ ඊට කිලෝමීටර් තුනකට පමණ දුරින් ගලහිටියාවේ කුලී නිවසක ජීවත් වූ අපට හිමිදිරියේම පැමිණ දැනුම් දුන්නේ, මහ ගෙදරට අල්ලපු වත්තේ කොස්සින්නේ ජීවත් වූ අපේ ඥාතියෙකු ද වන රංජිත් තිලකසිරි විසිනි.

ස්වල්ප මොහොතකින් මට තාත්තා විසින් "පියකාරියක්" බාර දෙන ලදී. ඒ, පිළියන්දල මකුළුදුවේ ජීවත් වූ නැන්දාගේ නිවසට ගොස් කැඳවාගෙන ඒමයි.

සීයා මිය ගිය බව නොපවසන ලෙසත්, ඔහු දැඩි ලෙස අසනීප නිසා වහාම පැමිණෙන්නට ඇයට දැනුම් දෙන ලෙසත් තාත්තා මට පැවසීය.

මගේ වයස අවුරුදු පහළොවයි මාස හයක් වූ නමුත් මා මෙතරම් දුරක් තනිවම බස්, කෝච්චි මාරුවෙමින් ගමන් කර තිබුණේ නැත.

ස්වල්ප වේලාවකින් නිවසෙන් පිටත් වූ මම ගනේමුල්ලෙන් කොටුවට දුම්රියෙනුත්, පිටකොටුවේ සිට මහරගමට 138 බසයෙනුත්, එහි සිට මකුළුදූවට 341 බසයෙනුත් (මෙය 110 විය හැක) පැය දෙකකටත් වඩා දුර ගමනක අවසානයේ මම නැන්දාගේ නිවසට ළඟා වීමි.

දැඩි වෙහෙසෙන් සිටි මා මුලින්ම කළේ නිවසේ පිස්ටුපස පිහිටි ළිඳෙන් වතුර බාල්දියක් ඇද රිසි සේ වතුර පානය කිරීමයි.

ඉන්පසු නිවසට ගොඩවීමි.

සතියේ දවසක් නිසා මාමා නිවසේ සිටියේ නැත.

මා සිතා සිටි අයුරින් "නැන්දේ සීයාට හොඳටම අසනීපයි කියා තාත්තා ඔයාට එන්න කීවා" යයි මට පවසන්නට ඉඩ නොලැබුණි.

මා දුටු සැණින්, "අනේ මගෙ බුදු තාත්තේ" කියා නැන්දා හඬා වැටුණාය.

නැන්දා ද කුඩා මල්ලී ද සමග තව පැයකින් පමණ මම මහ ගෙදර බලා ගමන් ඇරඹීමි.

(මේ අතීත සිදුවීම මට සිහිපත් කළ අමිල චතුරංගට ස්තුතියි)

(image: )

Friday, 11 April 2025

පිළිකුල, කෝපය, සිනහව, දුක, සහ අනුකම්පාව - Low life baiyas


ලංකාවේ දේශපාලනය පිළිබඳව පසුගිය දින කීපය තුළ ෆේස්බුක්, යූටියුබ් සහ ඉන්ටර්නෙට් පුවත් අඩවි හරහා අසන්නට ලැබුණේ, මිනීමරු ලංකා පොලිසිය විසින් අහිංසක තරුණයෙකු මරා දැමීම, ජනාධිපති විසින් වඳ වී යන රතු දෝතලු නම් ශාකයක විනාශයට සම්මාදම්වීම සහ අසාධාරණව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර සාමකාමී විරෝධතාවයක් පළ කළ තරුණයෙකු දරුණු රඳවා ගැනීමේ නියෝගයක් නිකුත් කිරීම වැනි දුක සහ කෝපය ඇති කරන තොරතුරු ය.

කෙසේ නමුත් අවසානයේ, විශේෂයෙන්ම ෆේස්බුක් හරහා, සිනහව උපදවන එමෙන්ම පිළිකුල සහ ශෝකය ද ඇති කරවන ප්‍රකාශ කිහිපයක් දක්නට ලැබුණි.

ඒවා මේ රූපයේ දැක්වෙන දෙදෙනා, අනුර දිසානායක සහ හරිනි අමරසූරිය පිළිබඳව ය.

අනුන්ගේ දුක්ඛ දෝමනස්ස, විලාප මගින් වින්දනයක් ලැබීම බැලූ බැල්මට අමානුෂික වැඩකි. නමුත්, අනුර දිසානායක සහ නරේන්ද්‍ර මෝදි හමුව ගැන, තම වහල්හිමියාගේ කුජීත පරාජයෙන් අඩ වසරක පමණ ගත වී තිබුණද තවමත් ඒ දුකෙන් මිදීමට නොහැකි වූ ඇතමුන් කර තිබූ ප්‍රකාශ, නගා තිබූ විලාප දැක සිනහව නවත්වා ගත නොහැකි විය.

ඔවුන්ගේ දුකට හේතුව තම තමන්ගේ වහල් හිමියා හෝ වහල් හිමියාගේ පුත්‍රයා හෝ ජනාධිපති ඡන්දයෙන් පරාජයවීම ම නොවේ. මහා චන්දයේදී තම තම වහල් හිමියාගේ හෝ වහල් හිමියාගේ පුතාගේ ඇමබැට්ටයින් විශාල පිරිසකට දියවන්නාවට ගොස් මහජන මුදල් ගසා කෑමට අවස්ථාව නොලැබුණු නිසා ම නෙවේ.

ඒ පරාජ ද දුක බව සැබැවි. නමුත් ඔවුන්ගේ සැබෑම දුක නම් අනුර දිසානායක වැනි සාමාන්‍ය පුද්ගලයෙකු, පෙර කී වහල් හිමියන්ට පමණක් මෙතෙක් සීමා වී තිබුණු තත්ත්වයකට පත්වීමයි. රාජ්‍ය ත්‍රාන්ත්‍රික උත්සව දකින දකින වාරයක් පාසා ඔවුන්ගේ මේ දුක වැඩි වෙන බව පෙනේ. ෆේස්බුක් හරහා ගලා ගිය දුක් විලාපවලට හේතුව එයයි.

එය සමගම මට කුඩා දුකක් ද ඇතිවූයේ "අනේ මේ අසරණ මනුස්සයින් තවත් අවුරුදු හතර හමාරක්ම මේ දුක විඳිය යුතු නොවේද?" කියා සිතෙන විටය.

අවුරුදු හතර හමාරක් කීවේ දුක එයින් අවසාන වෙන නිසා නොවේ. ඒ කාලය අවසානයේදී මහ ඡන්දයක් පැවැත්වීමට නියමිත නිසා මොවුන්ට යම් තාවකාලික හෝ බලාපොරොත්තුවක් ඇතිකර ගැනීමට හැකි වන නිසාය.

කෝපය සහ පිළිකුල ඇතිවුණේ හරිනි අමරසූරිය පිළිබඳව හිටපු වහල් හිමියන්ගේ ප්‍රවේණිදාසයන් විසින් කරන ප්‍රකාශ ගැනයි.

කාන්තාවක ඕස්ට්‍රේලියාවේ අගමැතිව සිටි කාලයේ අපට දැකගන්නට හැකි වුණු පරිදි ම, හරිනි අමරසූරියට විරුද්ධව ප්‍රකාශ කරන ඇතැමුන් ස්ත්‍රී විරෝධී පුරුෂාධිපතිවාදීන්ය.

තවත් පිරිසක් මානසිකව යාර හයේ රෙද්දක වහලුන් ය.

තවත් පිරිසක්, දරුණු හෝමෝෆීබියාවකින් පෙළෙන අය බව පෙනේ.

මොවුන් සියලු දෙනාටම අපේ අනුකම්පාව හිමි විය යුතුය. එසේම වුන්ට ඉක්මනින් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරමු.

- රසික සූරියආරච්චි (image: )