Showing posts with label මෝඩකම්. Show all posts
Showing posts with label මෝඩකම්. Show all posts

Tuesday, 27 June 2017

පොඩි කම්මැලිකමක් සිතට ආවාම මොකද කරන්නේ? - Winter blues


හිරු උතුරු අර්ධගෝලය දෙසට වැඩියෙන් සලකන, දකුණු කුරු දිවයිනේ ඉන්නා අපට කුඩම්මාගේ සැලකිලි දක්වන, මේ දිනවල හේමන්තය ගෙවී, සිසිරය උදා වී, සිනුවර අවට පරිසරය සීතල වී ඇත.

අද දිවා කාලයේ උෂ්ණත්වය අංශක දා හත නොඉක්මවනු ඇත. රාත්‍රියේ අවසානය වන විට එය අංශක පහට පමණ අඩුවෙනු ඇත. මේ තත්වය ජූලි මාසයේ අග වන විට තවත් දරුණු වෙනු ඇත. හිම වැටෙන, අයිස් මිදෙන යුරෝපියානු, කැනේඩියානු සිසිර සෘතුවක් සේ සෘණ අන්තයටම නොගිය ද, මෙය අපේ ජීවිතවලට විවිධ අපහසුතා එකතු කරන කාලයකි.

පරිසරයේ සීතලත් සමග මට නම් සිදු වී ඇත්තේ, ජීවිතයට කම්මැලිකමක් එකතු වීමයි.

උදෑසන අවදිවන්නට කම්මැලි ය.

ඇඳෙන් බසින්නට කම්මැලි ය.

නාන කමරයේ වතුර මල යටට යන්නට කම්මැලි ය.

උණුසුම් ජල ධාරාව යටට වී ඉන්නට කම්මැලිකමක් නැතත්, ඉන් ඉවතට එන්නට කම්මැලි ය.

වැඩට යන්නට කම්මැලිය!

කොටින් ම, දැන් සති කිහිපයක සිට මා, කාර්යාලයට ළඟා වූයේ උදෑසන දහයේ හෝරාවටත් පසුව ය.

කාර්යාලයේ සිට ආපසු නිවස කරා පැමිණි පසුවත්, සිත ගත තාවකාලිකව පිනවීමට හැර වෙනත් ප්‍රයෝජනවත් යමක් කිරීමට නොසිතේ.

මේ තත්වයට හේතුව අපේ නිවසේ උෂ්ණත්ව පාලක යන්ත්‍රයේ දෝෂයක් නම් නොවේ. සිසිරය නිසා, ස්වභාවිකව ම, ගතට සිතට වදින සාපයකි.

මේ තත්වයෙන් මිදීමට සිතී අද උදෑසනින් අවදි වී රැකියාව සඳහා පිටව යන්නට සිතුවෙමි.

එලාමය සැකසුවේ නැති වුව ද, සිතූ ආකාරයට පහයි හතළිස් පහට නෙත් හැරුණි. එහෙත්, ඇඳෙන් බැසීමට නම් නොසිතුණි.

ඊළඟට හෝරාව පිරික්සන විට විනාඩි පහළොවක් ගත වී තිබුණි.

යාන්තමින් ඇඳෙන් බැස නාන කාමරට ඇදුණේ හයයි කාලට ය. එය කළ හැකි වූයේ ද, විනාඩි පහෙන් පහට ඔරලෝසුව දෙස බලමින්, සිත දිරිමත් කර ගනිමින් ය.

අවසානයේ හතේ කෝච්චියට නැග මේ සටහන කෙටීම ඇරඹිය හැකි විය.

මේ සියල්ල කීවේ, "සතුටු සිතුවිලි" නම් අලුත් බ්ලොගයක් හඳුන්වා දීමටයි.

සතුටු සිතුවිලි :: http://sathutusithuvili.blogspot.com/

මෙය දිගු සටහන් පළවෙන බ්ලොගයක් නොවේ.

විවිධ පුද්ගලයින් විසින් පවසන ලද, අපේ කම්මැලි සිත් දිරිමත් කර ගන්නට උදව් වෙතැයි සිතන, කෙටි ප්‍රකාශන ඇතුළත් එකකි.

ඇරඹූ දින සිට දිනපතා එක් වැකියක් බැගින් සතුටු සිතුවිලි බ්ලොගයේ පළ වී ඇති අතර, එය දිගටම නිතිපතා යාවත්කාලීන වෙනු ඇතැයි සිතමි.

-රසිකොලොජිස්ට්

Friday, 13 May 2016

ජර්මන්කාරයෙකු සමග නුවර එළියේ දී බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවෙමි...! - Beer bottle bet


අරක්කු හා සසඳන විට වතුරවලට වඩා සුළු ප්‍රමාණයක් පමණක් මද්‍යසාර ඇති බියර් බීමට අපේ කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් නොපෙළඹුනේ, බියර් බීමෙන් රුපියලකට ලැබෙන මත්වීම අරක්කුවලට සාපේක්‍ෂකව ඉතා අඩු නිසා බව මම ඊයේ පළ කළ ලිපියේ ලීවෙමි.

සිව් වසරක් පේරාදෙණියේ ගත කර, මුල් රැකියාව ලෙස නුවර එළියට ගිය පසු, ඒ පරිසරය නිසාත්, අතේ මුදල් ගැවසුණු නිසාත්, ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් විය.

මා ජර්මන්කාරයෙකු සමග බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවේ ඒ දිනවල ය.

මේ ඒ කතාවයි.

මා මුල්ම රැකියාව කළේ, නුවර එළියේ පිහිටි, එකල ඇඩ්ලර් නම් වූ ජර්මන් සමාගමකට හිමිව තිබුණු ඉන්ටර් ෆැෂන් නම් ඇඟලුම් කම්හලේ ය. මේ කතාවේ මා ජර්මන්කාරයා යනුවෙන් හඳුන්වන්නේ ෂීරා නමැති ඒ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කළමනාකරුවා ය. සහකාර නිෂ්පාදන කළමනාකාර පුහුණුවන්නෙකු ලෙස සේවය අරඹා තිබුණු මගේ බොසා ද ඔහු විය.

ජර්මානුවො බියර් බීමට රුස්සෝය. ඔවුන් බියර් බොන්නේ පයින්ට් එකේ හෝ ඊටත් වඩා විශාල විදුරු වලිනිි. ඔක්ටෝබර්ෆෙස්ට් නමින් හැඳින්වෙන ජර්මානු බියර් උත්සවය ලෝක ප්‍රසිද්ධ එකකි.

මා මීට වසර තුනකට පමණ පෙර ජර්මනියේ දී දුටු පරිදි, සෑම සිල්ලර කඩයක ම පාහේ බියර් (වයින් සහ අනෙකුත් මත්පැන් වර්ග) විකුණන්නට තිබෙන අතර, ඒවායේ මිල ද, ඕස්ට්‍රේලියාවට සාපේක්‍ෂව ඉතා අඩු විය.

නුවර එළියේ හරස් විදියක පිහිටා තිබුණු සිලෝන් බෲවරියේ බියර් කඩෙන් කරාමයෙන් වීදුරුවට වත්කර දෙන ඩ්‍රාෆ්ට් බියර් බොන්නට අප ඉඳහිට ගිය විට, අපේ කර්මාන්ත ශාලාවේ සේවය කරන ඇතැම් ජර්මානු ජාතිකයින් ද එහි පැමිණ බියර් බොනවා පෙනේ. ඇතමෙකු ආපසු නිවසට යන්නේ බියර් බෝතල් විසි හතරකින් යුතු ක්‍රේට් එකක් මිලට ගෙන එය තම වාහනයේ පටවාගෙන ය.

මගේ කළමනාකරණ පුහුණුවේ සති හතරක් පිරීමටත් කලින්, හදිසියේම මා පුහුණුවෙන් ඉවත් කර, කර්මාන්ත ශාලාවේ රෙදි කපන අංශයේ නිත්‍ය තනතුරකට පත් කරන ලදී. එයට හේතුව වූයේ, මගේ සුපිරි දක්ෂකමකටත් වඩා, මා ඒ අංශයේ මා සති දෙකක් පමණ පුහුණවක් ඒ වන විට ලබා සිටීමත්, එහි කෝඩිනේටර් නම් තනතුරේ කටයුතු කළ තිලක් නම් පුද්ගලයා, සති අන්තයේ නිවාඩුවට කොළඹ පිහිටි තම නිවසට ගොස් ආපසු පැමිණ නොසිටීමත් ය. එහි කලින් පුහුණුව ලැබූ අයට සාපේක්‍ෂව මා ඒ තනතුරට සුදුසු බව ෂීරාට වැටහී තිබෙන්නට ඇත. අපට "වර්ක් ස්ටඩි" නම් ක්‍රමවේදය උගන්වන්නට ජර්මනියෙන් පැමිණ සිටි වෙයිස් නම් පුහුණුකරුවා ගේ පැසසුමට මා ලක් වී තිබීම ද බොහෝ විට හේතු වන්නට ඇත.

කෙසේ වෙතත්, ඒ ඇති වුණු ක්‍ෂණික වෙනසෙන් මම ඉතා සන්තෝෂයට පත් වීමි. මූලික පඩියේ වැඩි වීමක් නොතිබුණත්, සාමාන්‍යයෙන් අටේ-පහේ (එනම් දිවා කාලයේ) රැකියාවක් වුව ද, එය කාර්ය බහුල එනිසාම, අතිකාල දීමනා බහුලව ලැබෙන රැකියාවකි. නිවසෙන් පිට බෝඩිමක ජීවත්වෙන, කළ යුතු වෙනත් කාර්යක් නැති අවුරුදු විසි තුනක තනිකඩයෙකු වූ මට කාලය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොතිබුණි!

දින දෙකකින් පමණ ගමේ ගිය තිලක් ආපසු වැඩට පැමිණියත්, ඔහු සමග මටත් දිගටම ඒ අංශයේ සේවය කරන ලෙස ෂීරා පවසා සිටියේ ය. තවත් සති කිහිපයකින්, අප දෙදෙනාට දිනකට පැය දොළහ බැගින් දවසේ පැය විසි හතර ආවරණය කරන ලෙස නියම විය. මේ කර්මාන්ත ශාලාව සතියේ දින හයක්, දවසේ පැය විසි හතරම නොනවත්වා නිෂ්පාදන කටයුතු කෙරෙන තැනකි.

තවත් මාසයක් පමණ ගෙවී ගිය පසු නැවතත් සති අන්තයේ කොළඹ ප්‍රදේශයේ තම නිවසට ගිය තිලක් සඳුදා සේවයට පැමිණියේ නැත. මා එහි සිටි නිසා, විශාල ප්‍රශ්නයක් ඇති නොවුණි.

දෙවෙනි දිනය ද උදාවිය. තිලක් එදින ද පැමිණියේ නැත.

මගේ මේසය අසලට පැමිණි ෂීරා "අයි ඩොන්ට් තින්ක් තිලක් විල් කම් ඇට් ඕල් දිස් ටයිම්, අයි විල් ගෙට් යූ සම් හෙල්ප්!" යැයි කීවේය.

"නෝ, හී විල් කම් ප්‍රොබබ්ලි ටුමාරෝ" මම කීවේ, තිලක්ට කලින් වාරයේ මෙන් අසනීපයක් වැළඳි ඇතැයි සිතමිනි.

"නෝ, හී වෝන්ට් කම් දිස් ටයිම්. හී ප්‍රොබබ්ලි ගොට් අනදර් ජොබ්" ෂීරා නැවත කීවේය.

තමන් නොදන්වා සේවයෙන් ඉවත්ව වෙනත් රැකියාවකට යන බවට ඉඟියක්වත් තිලක්ගෙන් මට ලැබී නොතිබුණු නිසා, මම මුරණ්ඩු ලෙස මගේ මතයේ ම සිටියෙමි.

ෂීරා සහ මා අතර ඒ කතාබහ අවසාන වූයේ තිලක් ගේ පැමිණීම නොපැමිණීම ගැන අප දෙදෙනා බියර් බෝතලයක ඔට්ටුවකට එකඟ වීමෙනි.

පාසලේ දී අෂාඩ් පෙරේරා සමග මා ඇල්ලූ ඡන්ද ඔට්ටුවෙන් දිනුවා මෙන් මෙවර ද මට ජය ලැබේ යැයි මම සිතුවෙමි.

නමුත් තිලක් යළි අපේ කම්හලේ සේවයට පැමිණියේ නැත.

සතියකට පමණ පසු, තමන් රැකියාවෙන් අස්වෙන බව කියා තිලක්ගෙන් විදුලි පණිවිඩයක් ලැබී තිබුණි. මා ද පසුව වටහා ගත් පරිදි, ඒ දිනවල සාමා්‍යයෙන් විදුලි පණිවිඩයක් කොළඹ සිට නුවර එළියට ඒමට දින තුන හතරක් ගතවේ!

විදුලි පණිවිඩය රැගෙන මවෙත පැමිණි ෂීරා ජයග්‍රාහී විලාසයෙන් "යු ලොස්ට් ද බෙට්!" රසික කියා කීවේ ය.

මම පරාජය භාර ගත්තෙමි.

එදින හවස, අරවින්දනාදන් ද සමග නුවර එළියේ හරස් විදියක පිහිටා තිබුණු සිලෝන් බෘවරියේ බියර් කඩේට ගිය මම, ඔහු සමග චීස් සහ ක්‍රීම් ක්‍රැකර් කමින් පිල්ස්නර් බෝතල් දෙකක් ද හිස් කොට, තවත් බෝතලයක් මිලට ගෙන, පයින් ම හාවා එළියේ පිහිටි කම්හල වෙත පැමිණ, ඒ වන විටත් කම්හල තුළ සේවය කරමින් සිටි ෂීරා පිටත්ව යන මොහොතේ දී ඔහු ගේ මෝටර් රථය ගේට්ටුව අසල නවත්වා ගෙන, බෝතලය ඔහුට දී, ඔට්ටුවේ කොන්දේසිය ඉටු කළෙමි.

අපට ගේට්ටුව අසල රැඳී සිටින්නට සිදුවූයේ, මත්පැන් කිසිවක් කම්හල් පරිශ්‍රය තුළට ගෙන යාමේ තහනමක් තිබුණු බැවිනි!

මා ජර්මන්කාරයෙකු සමග බියර් බෝතලයකට ඔට්ටුවක් අල්ලා පැරදුණු කතාව එසේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මත්පැන් ඇබ්බැහියක් වීමට ඉඩ ඇත. නොබී සිටීමට අපහසු ම අවස්ථාවල පමණක් ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. කිසිදාක මත්පැන් නොබී සිටියොත් එය වඩා හොඳ ය.

(image: Google street view)