
සිංහල බ්ලොග් කියවන අප බොහෝ දෙනෙකු මෙන් විහිළු කතා කියවීමට, කාටූන් බැලීමට මම ද කුඩා කාලයේ සිටම ඇල්මක් දැක්වූයෙමි.
අපේ අම්මා මාස් පතා මිලට ගත් සහ එකතු කර තිබුණු ශ්‍රී සඟරාවල ද, අම්මා ගේ අම්මා හෙවත් අපේ කලවානේ ආච්චී මිලට ගෙන එකතු කර තිබුණු රසවාහිනී සඟරාවල ද, අපේ තාත්තා ඒ දිනවල සති අන්තයට මිලට ගත් සිළුමිණ, ලංකාදීප සහ රිවිරුස පුවත්පත්වලද මේ ආකාරයේ විහිළු කතා සහ කාටූන් එමට තිබුණි.
ඒ දිනවල කියවූ මගේ මතකයේ තවමත් රැඳී ඇති එක් කතාවක් මෙසේ ය. මෙය මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා අතර දෙබසකි. මේ දෙදෙනා, එක ළඟ පිහිටි නිවාස දෙකක පවුල් දෙකක බිරින්දෑවරු ය.
මිසිස් පෙරේරා: ලබන සුමානේ තමයි අපේ පුතා ගේ පස්වෙනි උපන් දිනේ!
මිසිස් සිල්වා: ආනේ ඇත්තද? ඉතිං ඔයා මොනවද පුතාට උපන් දින තෑග්කට දෙන්න ඉන්නේ?
මිසිස් පෙරේරා: මං හිතන් ඉන්නේ එයා ගේ කැටේ තියෙන සල්ලිවලින් එයාට අලුත් ඉලෙක්ට්‍රික් කෙට්ල් එකක් අරං දෙන්නයි. අපේ තිබුණු කෙට්ල් එක කැඩිලා ගියා නේ. ලිපේ වතුර උණු කරලා මට දැන් එපා වෙලා!
අප කියවන විහිළු කතා සමහර විට පසු කලෙක හෝ අපට ප්‍රයෝජනවත් වෙයි.
ඇත්තටම ඒ මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා කතාව මට අද ප්‍රයෝජනවත් විය.
ඒ මෙසේ ය.
ගිය සුමානේ ඉරිදා මට මදර්ස් ඩේ හෙවත් අම්මලාගේ දිනය වැරදුණු හැටි ගැන දුක්බර කතාව රසිකොලොජියේ ලිව්වෙමි.
දුක වූයේ දිනය වැරදීමත්, යළිත් ඊළඟ සතියේත් ත්‍යාගයක් මිලට ගැනීමට සිදුවෙන බව තේරුම් යාමත් නිසා ය.
නිවැරදි අම්මලාගේ දිනය අද උදා විය.
මා කාලයක් තිස්සේ උදෑසන ආහාරය සඳහා පලතුරු බීම සෑඳීමට ගන්නා බ්ලෙන්ඩරය දැන් තරමක් අංජබජල් වෙමින් තිබෙන බව මට සිහිවිය.
ගිය සිකුරාදා අසල නගරයේ පිහිටි කේ-මාර්ට් නම් මිල අඩු සාප්පුවට ගිය මම අම්මලාගේ දිනය වෙනුවෙන් බිරිඳට ත්‍යාගයක් මිලට ගත්තෙමි.
ඒ වෙන කිසිවක් නොව, මා කාලයක් තිස්සේ උදෑසන ආහාරය ලෙස ගන්නා පලතුරු බීම සෑඳීමට ගන්නා වර්ගයේ බ්ලෙන්ඩරයක් සහ අමතර බෝතල් දෙකකි.
බිරිඳට ත්‍යාගයක් ලෙස දීමට මා ගිය සතියේ හදිසියේ මිලට ගත් රෆායලෝ චොකලට් පෙට්ටිය විවෘත නොකර ම තිබුණි.
අද උදෑසන තේ කෝප්පයක් ද, ඒ සමග කෑමට මාගරීන් සහ ජෑම් තැවරූ පාන් පෙත්තක් ද නිදන කාමරයට ම ගෙනැවිත් දුන් මා ඊළඟට කළේ, තෑගි පිරිනමා හාදු වැස්සක් ද වැස්සවීමයි!
ලෝකවාසී සියලුම අම්මලාට සැප සතුට පිරි අම්මලා ගේ දිනයක් පතමි.
-රසිකොලොජිස්ට්





