Showing posts with label දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර. Show all posts
Showing posts with label දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර. Show all posts

Monday, 10 April 2017

දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර යුවළ ගේ ඉන්දියානු ගමන - Mr and Mrs Lankaputhra visits India


දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර මැතිතුමා හෙළයෙකි. හොඳ හෙළ කකුලකි. ඇත්තට ම කියනවා නම්, එක කකුලක් පමණක් නොව දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර මැතිතුමා ගේ කකුල් දෙක, අත් දෙක සහ මුළු ශරීරයම හෙළ සහ හෙළම පමණක් වේ.

ලංකාපුත‍්‍ර මැතිනිය ගැන කිව යුත්තේ ද එය ම ය.

ලංකාපුත‍්‍රලා ගේ සිව් පාර්ශවයෙන් ම සියවස් ගණනක් ඈතට විහිදී යන හෙළකමක් ඇත. එය බලි, තරු, රාවණ කාලයටම විහිදී යන්නක් යැයි සිතේ. එයට හේතුව නම් විජය ගේ සිට වීර පනික්කිලා දක්වා විවිධ කාල වකවානුවල ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ සිංහල වංශය සෑදූ අයටත් වඩා ලංකාපුත‍්‍රලා මුළු ඇඟ පුරා ම හෙළ ලේ තියෙන අය වීමයි.

ඔය ආන්ද්‍ර ප‍්‍රදේශයෙන්, කේරළයෙන්, ගුජරාටියෙන්, ඇසෑමයෙන් ලංකාවට පැමිණි අරුන් මුන්ටත් වඩා ලංකාපුත‍්‍රලා දේශපාලනිකව ඉන්දියානු වීරෝධී වෙන්නේ එනිසා ය.

ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට කෙරුණු ඉන්දියානු අතදැමීම්වලට ලංකාපුත‍්‍රලා එක හෙළා විරුද්ධ වූහ.

පරතසාරතීලා ගේ, ඩික්සිත්ලා ගේ සිට රාවෝලා දක්වා වූ ඉන්දියන් ඒජන්තයින් ද ලංකාපුත‍්‍රලාට වහකදුරු සේ ය.

විජයගේ ලංකාගමනය කෙසේ වෙතත් ඉන්පසු සිදුවූ එළාර, මාඝ, සේන, ගුත්තික, අලකේශ්වර, කන්නසාමි, අරිට්ට කී වෙණ්ඩු පෙරුමාල් ආදී සියලූ ඓතිහාසික ඉන්දීය ආක‍්‍රමණ ලංකාපුත‍්‍රලා නිරතුරු හෙළා දකිති.

පරිප්පු ගුවනින් හෙළීම, ඉන්දු ලංකා ගිවිසුම, සාම සාධක හමුදාව යනාදිය කරුණාකර මතක් නොකරන්න!

කරුණු එසේ හෙයින් දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර යුවළ ඉන්දියාවේ සංචාරයක් කිරීමට තීරණය කිරීම අප වැනි පුඟුලන් ගේ විමතියට කාරණයක් විය.

නමුත් ඒ මොහොතේ අපට නොවැටහුනු කරුණක් වූයේ ලංකාපුත‍්‍රලා ගියේ ඉන්දියාවට නොව දඹදිව නමැති දිවයිනකට බවයි. (දඹදිව යනු ඉන්දියාවේ ඇතැම් කොටස් ද, නේපාලයද අයිති මනෝ රාජ්‍යයකි!)

ලංකාපුත‍්‍රලා ගේ ඉන්දියානු සංචාරයේ එක් අතුරු අරමුණක් වූයේ ටජ්මහල නැරඹීමයි.

ටජ්මහල වනා හී සාමාන්‍යයෙන් දඹදිව වන්දනාවේ යන පැන්ෂන් ගිය ඉස්කෝලේ හාමිනේලා ගේ චාරිකාවලට අයත් වෙන ස්ථානයක් නොවේ. නමුත් ලංකාපුත‍්‍රලා ගියේ පෙර කී ආකාරයේ පැන්ෂන්කාරයින් ගේ චාරිකාවක් නොවේ. ස්පැෂල් එකකි. කාලය දින දාහතකි. ඒ දිනවල එක් අයෙකුට වියදම ගෙඩි රුපියල් ලක්ෂයකි.

අනෙක් අතට ටජ්මහල වනාහී කෙළින් ම රාමා ගේ හෝ හනුමාන්ලා ගේ හෝ බූදලයක් නොවේ. සාජහන්ලා, මුම්ටාස්ලා ඉන්දියාව ආක‍්‍රමණය කළේ බටහිර දෙසින් පැමිණ ය. ටජ්මහල නැරඹීමට ලංකාපුත‍්‍රලාට අවශ්‍ය වූයේ ඒ නිසාද විය හැක.

නේපාලයේ සහ ඉන්දියාවේ පිහිටි විවිධ බෞද්ධ ඓතිහාසික ස්ථාන වැඳ පුදා ගත් ලංකාපුත‍්‍ර මැතිතුමා සහ එම මැතිනිය තම ගමන් සගයින් කිහිප දෙනා ද සමග දිගු ගමනකින් පසු එක් රාත‍්‍රියක අග‍්‍රාවට ළඟා වූහ.

පසුදා උදේ පාන්දරින් ම ටජ්මහල නැරඹීමට යාමට සිතා සිටිය ද එදින සිකුරාදාවක් වූ බැවින් ටජ්මහල වසා තිබුණි. අවට පිහිටි අනෙකුත් සංචාරක ස්ථාන නැරඹීමේ දී ලංකාපුත‍්‍රලාට පෙනී ගියේ ඇතුළු වීමේ ටිකට් පතක් වෙනුවෙන් ඉන්දියානුවෙක් ගෙවන මුදලට වඩා දෙගුණයක් පමණ ලංකාවේ සිට පැමිණෙන සංචාරකයෙකු සඳහා ගෙවිය යුතු බවයි.

”මේක මහා අසාධාරණයක් නේ!” දේශප‍්‍ර‍්‍රිය ලංකාපුත‍්‍ර තම අප‍්‍රසාදය පල කළේ ය.

”හැබැයි ඉතිං ලංකාවෙත් ඔහොම තමයි, ටෙම්පල් ඔෆ් ද ටූත් බලන්න යන්නත් ෆොරිනර්ස්ලාට ටිකට් ගන්න වෙනවානේ!” ලංකාපුත‍්‍ර මැතිනිය කීවා ය.

හොඳම අසාධාරණය පෙනෙන්නට තිබුණේ පසුදා නැරඹීමට නියමිත වූ ටජ්මහල සඳහා ය. ඉන්දියානුවෙකු ගෙවිය යුතු වන්නේ ඉන්දියානු රුපියල් විස්සකි. ලාංකිකයෙකු සඳහා එය ඉන්දියානු රුපියල් පන්සීයකි. එනම්, විසිපස් ගුණයකි.

පළපුරුදුකාරයෙකු වූ නඬේ ගුරා ගෙන් වටිනා උපදෙසක් ලැබුණේ මේ මොහොතේ ය.

”අපිට පුළුවන් වෙයි ඉන්දියන්කාරයෝ වගේ ගිහින් ටිකට් ගන්න. සමහරු ඕක කරනවා. හැබැයි සමහරු අහුවෙනවා. මිසිස් ලංකාපුත‍්‍රට පුළුවනි නම් අර සල්වාර්-කමීස් ඇඳුමක් වගේ එකක් ඇඳන් යන්න ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ!”

ඒ උපාය වැඩ අපූරුවට වැඩ කළේ ය.

ලංකාපුත‍්‍ර මැතිනිය පාරම්පරික හෙළ කුල කතාන්තාවන් ගේ උත්තම වස්ත‍්‍රය වන තම ඔහොරිය ගලවා අලූතෙන් ම මිලට ගත් සල්වාර් කමීස් සහ බාච්චු කලිසමකින් සැරසී ගොස් ඉන්දියානු කාන්තාවක් ලෙස රඟ පා රුපියල් විස්සේ ටිකට් ගත්තා ය.

”විශ්වාස කරන්න මිස්ටර්, ඒ ඇඳුමට ගියේ ඉන්දියන් රුපියල් දෙසීය ද කොහෙද. නමුත් ඒකෙන් අපිට සෑහෙන්න වාසියක් වුණා!” සිව් පාර්ශවයෙන් ම සුපිරි හෙළයෙකු වන මහා ඉන්දියානු විරෝධී දේශප‍්‍රිය ලංකාපුත‍්‍ර මැතිතුමා තම වික‍්‍රමය පිළිබඳ පම්පොරිය මා සමග පැවසුවේ එසේ ය.

-රසිකොලොජිස්ට්

(image: http://www.sannasa.com/)