Showing posts with label ජැක්සන් ඇන්තනි. Show all posts
Showing posts with label ජැක්සන් ඇන්තනි. Show all posts

Tuesday, 24 December 2024

ජැක්සන් ඇන්තනි බෑනාගේ ප්‍රශ්නය පිළිබඳව මගේ උගත්, ධනවත් මිත්‍රයෙකු කී දේ - Jackson-son-in-law


අතුරුගිරිය ප්‍රදේශවාසී තරුණ සැමියෙකු මෙන්ම පියෙකු ද වන, එමෙන්ම හිටපු කවියෙකු ද, පොතක් රචනා කළ අයෙකු ද බව හීනටිගල වැනි නමක් ඇති පුද්ගලයෙකුට ප්‍රදේශයේ පොලිසියෙන් කරන ලද අඩන්තේට්ටම් සහ අනවසර අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ සිද්ධිය සහ එයින් මතුවුණු වෙනත් සමාජ මාධ්‍ය කතිකාවක් පිළිබඳව මගේ අදහස පසුගිය දිනයක ලියා පළ කළෙමි.

මගේ ඒ සටහනට මූූලාශ්‍ර වූයේ හීනටිගල විසින් ෆේස්බුක් එකේ ලියා පළ කර තිබූ සටහනක් සහ ඔහුගේ බිරිඳ පිළිබඳව කිහිපදෙනෙකු විසින් ලියා තිබූ අවලාද, අපහාස සහ සරදම් වැකි කිහිපයක් පමණි.

ඊට පසු දින ලංකාවේ වාසය කරන මගේ මිත්‍රයකු මා සමග මේ පිළිබඳ ව ඔහුගේ අදහස් දැක්විය.

මේ සටහන ලියන්නට සිතුනේ ඒ නිසායි.

මගේ මිත්‍රයා පවසන පරිදි මේ අවස්ථාවේදී හීනටිගල තරුණ පියාව මේ කාරණයේ දී අත්අඩංගුවට ගැනීමට මූලික හේතු දෙකක් තියෙන්නට ඇත.
  1. පොලිස් කාරයින් බීමතින්ව සිටීම
  2. පොලිස්කාරයින් විසින් තරුණ පියාගෙන් හැදුනුම්පත ඉල්ලූ විට ඔහුට එයට යටහත් පහත්ව පිළිතුරු දෙනු වෙනුවට, කඩේ යන්න කාඩ් එක ඕනෑ ද? ඇයි මාව අඳුනන්නේ නැද්ද? යනාදී වශයෙන් පිළිතුරු දීමයි.
තමන් මේ තත්ත්වයට මුහුණ දුන්නා නම් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව දශක හතරක් පමණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති, ජ්‍යේෂ්ඨ සිවිල් ඉංජිනේරු උපදේශකයෙකු වන, යාන වාහන හිමි, උගත්, ධනවත් මිතුරා මා සමග කී දේ දළ වශයෙන් මෙසේය.
රෑ යාමේ පයින් යන විට පොලිසියෙන් මගෙන් අයදුම්පත ඉල්ලා නැති වූවත්, පසුගිය අවුරුදු තිහකට පමණ ආසන්න කාලය තුළ මා වාහනයෙන් ගමන් බිමන් යද්දී අවස්ථා ගණනාවක දී ම පොලිසිය විසින් මගේ වාහනය නවත්වන්නට සංඥා කර තිබෙනවා.

එවිට මා කරන්නේ හැකි ඉක්මනින්, ඒ ආසන්න තැනක ප්‍රවේශමෙන් වාහනය නවත්වා, වහාම දොර ඇර වාහනයෙන් එළියට බැස, පොලිස්කාරයින් සිටින දෙසට යෑමයි.

එසේ නැතුව කිසි දිනක මා ඔවුන් වාහනය අසලට එනතුරු ඉන්නේ නැහැ.

එයින් පමණක්, ප්‍රශ්නයෙන් බාගයක් විසඳෙන අතර අනවශ්‍ය අමතර ප්‍රශ්න පැනනැගීම ද සහමුලින්ම නැති වෙනවා.

ඒ සමගම ඔවුන් කියන දෙයට මා සාවධානයෙන් සවන් දෙනවා. යමක් කියන්නට අවශ්‍ය නම් පමණක් පවසනවා. අවශ්‍ය වුවහොත් පමණක් රාජකාරී හැඳුනුම්පත ලබාදෙනවා.

එමගින් අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ගැනීමටත්, මා අතින් වරදක් වී ඇතිනම් අඩුම පාඩුව සහිතව ඒ ප්‍රශ්නය විසඳා ගැනීමටත් හැකිවෙනවා. මා දඩයක් කියා ගෙවා ඇත්තේ අධිවේගී මාර්ගයෙන් පිටවෙන විට, ඇතුල්වුණු වේලාව අනුව වේග සීමාව ඉක්මවා ගියා යැයි එක් දිනයක නියම වූ දඩය පමණයි.

මා රියැදුරා සමඟ රාජකාරී ගමන් යන විටත් ඔහුට කියන්නේ ද හැමවිටම එසේ කරන්නට කියායි.

මගේ මිතුරා මා සමග පැවසූ පරිදි ඔහු කිසි දිනක කිසිම ට්‍රැෆික් පොලිස්කාරයෙකුට කිසිදු පගාවක් දී නෑ.

මගේ උගත්, ධනවත් මිතුරා මේ කරන්නේ කුමක් දැයි අමුතුවෙන් පහදා දිය යුතු නැත. එය මනෝවිද්‍යාත්මකව ප්‍රශ්ණ විසඳීමේ එක් ක්‍රමයකි.

එසේම, මෙවැනි අවස්ථාවක දී මගේ හැසිරීම නම් මගේ මිතුරාට වඩා වෙනස් බව කිව යුතුය.

මගේ මිතුරා හා මා සමවෙන්නේ පගා නොදීම සම්බන්ධයෙන් පමණි.

- රසික සූරියආරච්චි

ප/ලි:
මෙන්න මේ සිදුවීම ගැන මා ලියූ මුල් සටහන.
ජැක්සන් ඇන්තනිගේ දුව සහ බෑණා - What a cuel world?
https://rasikalogy.blogspot.com/2024/12/what-cuel-world.html


ප/ප/ලි:
අතුරු ප්‍රශ්නයක්
ජැක්සන් යනු ජැක් ගේ සන් හෙවත් ජැක් ගේ පුත්‍රයා ය.
එතකොට ජැක්සන් ගේ පුතා කවුද? ජැක්සන්සන් ද?
(image: Generated using Microsoft Designer AI service)

Sunday, 22 December 2024

ජැක්සන් ඇන්තනිගේ දුව සහ බෑණා - What a cuel world?


අතුරුගිරිය ප්‍රදේශයේ වෙසෙන තරුණ පියෙකු තම නිවස ඉදිරිපිට කඩයකට ගොස් ආපසු එන විට ඔහු නවතා ඇති පොලිස්කාරයින් දෙදෙනෙකු ජාතික හැඳුනුම්පත තිබේදැයි විමසා එය මේ පුද්ගලයා අතේ ඒ මොහොතේ නොතිබීමේ වරදට ඔහුව හිංසාකාරී ලෙස පොලිසියට රැගෙන ගොස් තිබේ. එහි දී ඔහුට සහ පසුව ඔහුගේ ජාතික හැඳුනුම්පත රැගෙන පොලිසියට පැමිණි බිරිඳට අපහාසාත්මක ලෙස බැන වැදී ඇති බව ද කියවේ.

මෙහි ඇති අවාසනාවන්ත ගැලපීම නම් මට මේ ප්‍රවෘත්තිය අසන්න ලැබුණේ ඊට පෙරදා ජනාධිපති දිසානායක විසින් රාජ්‍ය සේවකයින් පිරිසක් අරඹා කළ කතාවේ දී සාමාන්‍ය මහජනතාව තුළ පොලිසිය ගැන ඇත්තේ කවර ආකල්පයක් ද යන්න පවසනවා අසා සිට මොහොතකට පසුව වීමයි.

තම බලය අනිසි ලෙස යොදවා ඇති මෙවැනි පොලිස්කාරයින්ට නිසි දඬුවම් ලබාදීම ඔවුන්ට මෙන්ම අනෙකුත් සියලු දෙනාට ම ආදර්ශයක්, පාඩමක් වෙනු ඇත.

නමුත් පොලිසිය නීතිගරුක කිරීම නම් ලේසි පහසු වැඩක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. පොලිසියට බැඳී සේවය කරන්නේ ද ලංකාවේ ම මිනිසුන් නිසා පොලිසිය හරි මගට ගැනීමට නම් වෙනත් රටකින් පොලිස්කාරයින් ගෙන්වීමට සිදුවෙනවා ඇත.

කෙසේ වෙතත් මා මේ සටහන ලියන්නේ ඒ ගැන කීමට නොවේ.

මෙසේ තාවකාලිකව අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිඳ මියගිය ජැක්සන් ඇන්තනි දියණිය බව කියැවේ.

ෆේස්බුක් එකේ මේ ගැන විවිධ පුද්ගලයින් දැක්වූ අදහස් කිහිපයක් කියවීමේ දී මට තේරුනේ අතුරුගිරිය පොලිස් ස්ථානයේ පමණක් නොව ෆේස්බුක් වාසී ජනතාව අතර ද මේ පොලිස් අතවරයට ලක්වූ පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට, ඇතැම් විට අපහාස ලෙස ද සැලකිය හැකි, සරදම් වදන් කියන්නන්, අවලාද නගන්නන් සිටින බවයි.

එයට මූලික හේතුව ලෙස මට පෙනුනේ ඔවුන් මියගිය ජැක්සන් ඇන්තනි සමග ඇති සම්බන්ධයයි.

ජැක්සන් ඇන්තනි ගේ දේශපාලන ක්‍රියා පිළිබඳව අප බොහෝ දෙනෙකුගේ කිසිදු ප්‍රසාදයක් නැති වුව ද ඒවා ඔහුගේ දරුවන්ට ආරූඪ කර අවලාද නැගීම, සරදම් කිරීම හෝ අපහාස කිරීම යෝග්‍යයි මම නොසිතමි.

ඊටත් වඩා මා පුදුමයට පත් වූ කරුණක් වූයේ මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ලෙස කාන්තාවන් පවා ජැක්සන් ඇන්තනි ගේ මේ දියණිය කලින් විවාහ වී සිට ඇති බව සඳහන් කරමින් ඒ හා සම්බන්ධ අවලාද, සරදම් සහ අපහාස නඟා තිබීමයි.

ඒ දැක මට තිබූ සිතුණේ ඇතැවිට ඒ අවලාද සරදම් ප්‍රකාශ කළ කාන්තාවන්ට ජැක්සන් ඇන්තනි දියණිය සම්බන්ධයෙන් යම්කිසි ඇරියස් තියෙනවා විය හැකි බවයි.

යමෙකු පෙම් සබඳතාවක් ඇතිකර ගන්නේ, විවාහ වෙන්නේ මද කලකට පසු ඉන් මිදී වෙනත් පෙම් සබඳතාවක් ඇතිකර ගැනීමට හෝ වෙනත් අයෙකු සමග විවාහ වීමට සැලසුම් කර නොවේ.

පෙම් සබඳතා කිහිපයක් යමෙකුට තිබුණා කියා හෝ යමෙකු කිහිප වරක් විවාහ වුණා කියා හෝ ඇසුණු විට අප කළ යුත්තේ ඔහු හෝ ඇය පිළිබඳව කෝපයට පත්වීම නොව ඔවුන්ට අනුකම්පා කිරීමයි.

ඒ බව දන්නේ පෙම් සබඳතාවයක් කැඩී දුක් විඳි අයෙකු පමණි. එසේම විවාහයක් කැඩීගිය අයෙකු පමණි.

මේ වන තම හතරවෙනි භාර්යාව සමග පවුල් කන අයෙකු ගැන මම දනිමි.

ඔහු පිළිබඳව මගේ අදහස නම් ඔහුට තම පළවෙනි භාර්යාව සමඟ දිගටම පවුල් සංස්ථාව පවත්වාගෙන යාමට හැකියාවක් තිබුණා නම් කිසිසේත්ම ඇගෙන් දික්කසාද වී, (කාලයක් තනිකඩව සිට,) පසුව වෙනත් අයකු හා විවාහ නොවන බවයි.

දෙවන විවාහය නම් ඔහු අතින් සිදු වූ වරදක් විය හැක. ටික කලකට පසු ඔහුට එම බිරිඳගෙන් වෙන්වීමට සිදුවිය.

තවත් කලකට පසු ඔහු විවාහ වූ නමුත් ඒ තුන්වෙනි විවාහය ද පැවැතියේ අවුරුදු කිහිපයක් පමණි. එයනම් ඉතා කණගාටුදායක කරුණකි.

කෙසේ වෙතත් එම විවාහය සාර්ථකව පවත්වාගෙන යාමට හැකිව්වානම් ඔහු සිව්වෙනි විවාහයක් ගැන කිසිසේත්ම නොසිතනු ඇතැයි යන්න මගේ අදහසයි.

ජැක්සන් ඇන්තනි ගැන මා දැන සිටිය ද, ඔහු සම්බන්ධ ලිපි කිහිපයක් (විස්තර පහත දී ඇත) ලියා තිබුණ ද, ඔහුගේ මේ දියණිය ගැන කිසිදු විස්තරයක් මම නොදනිමි.

නමුත් ඇය එක් විවාහයකට වඩා බැඳී ඇතිනම් ඒ ගැන ඇයට සරදම් කිරීම, අවලාද කීම, හෝ දෝෂාරෝපණය කිරීම නොහොබිනා කටයුත්තකි යන්න මගේ අදහසයි අවංක අදහසයි.

- රසික සූරියආරච්චි ප/ලි: ජැක්සන් ඇන්තනි හා (යාන්තමට හෝ) සම්බන්ධ වෙනත් මා ලියූ ලිපි.

1. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html


2. ජැක්සන් ඇන්තනි රඟ පෑ නාට්‍යයක් (චූට්ටක් විතර) කොපි කළෙමි - Rasika Suriyaarachchi, the dramatist, director and actor, confesses...!
https://rasikalogy.blogspot.com/2016/10/rasika-suriyaarachchi-dramatist.html


3. ජැක්සන් ඇන්තනි ගේ හිස්-ස්ටෝරිය! - Jackson Anthony is history!
https://rasikalogy.blogspot.com/2015/12/jackson-anthony-is-history.html


4. ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත - In defence of Jackson Anthony
https://rasikalogy.blogspot.com/2015/11/in-defence-of-jackson-anthony.html


5. සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen
https://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html


6. ජැක්සන් ඇන්තනිගේ අනතුර නිසා සිහියට ආ “අලි” අත්දැකීමක් - A near miss wild-elephant experience
https://rasikalogy.blogspot.com/2022/07/near-miss-wild-elephant-experience.html
(image: Created using Microsoft Designer)

Tuesday, 5 July 2022

ජැක්සන් ඇන්තනිගේ අනතුර නිසා සිහියට ආ “අලි” අත්දැකීමක් - A near miss wild-elephant experience




ජැක්සන් ඇන්තනි සහ තවත් පිරිසක් ගමන් කළ වාහනය පාර හරහා පනිමින් සිටි අලියෙකු හා ගැටීම සම්බන්ධ ප්‍රවෘත්තිය සහ ඒ පිළිබඳ ඇතිවෙන සමාජජාල සාකච්ඡා දැක මා ලැබූ පැරණි අත්දැකීමක් සිහිවිය.

මෙය සිදු වූයේ මීට වසර තිහකට පමණ පෙර සමයකයි.

අපේ හොඳම මිතුරෙකුගේ විවාහ මංගල උත්සවය යෙදී තිබුණු දිනට පෙර දින සවස් යාමයේ එයට සහභාගි වීමට කොළඹ සිට පොළොන්නරුව කරා යන තවත් හොඳම මිතුරෙකුගේ මෝටර් රථයට මටත් පෙර පිනකට මෙන් ගොඩවීමට ඉඩ ලැබුණි.

පෙර පිනකට කියා කිව්වේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු ලෙස රුපියල් හාරදාහකින් පමණ ගත කරන තනිකඩ ජීවිතයේ බර වැඩිවීමට තුඩුදිය හැකි වූ කොළඹ සිට පොළොන්නරුවට බස් ගාස්තුව එයින් ඉතුරු වුණු නිසා ය. මෝටර් රථය හිමි මිතුරා හොඳම මිතුරෙකු වන්නේ ඒ කළ උපකාරය නිසා ය.

මුල් මිතුරා හොඳම මිතුරෙකු වන්නේ ඔහුගේ මංගල උත්සවයට මට ආරාධනා කළ නිසා ය. මාසේ පඩියෙන් දිවි ගෙවන අයට හොඳම මිතුරන්ට වඩා වැඩි පිරිසකට ආරාධනා කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. ඊට වසරකට පමණ පසු මා ද එය අත්දුටුවෙමි. මට ආරාධනා කළ හැකි වූයේ කොළඹ අවට සිටින මිතුරන් කීප දෙනෙකුට පමණි.

මගේ මතකයට අනුව, මෝටර් රථය පැදවූ මගේ මිතුරාට නම් එය ලැබී තිබුණේ ඔහු එවකට සේවය කළ පුද්ගලික අංශයේ සමාගමෙනි. ඒ රැකියාවට ඒමට, යාමට සහ පුද්ගලික ගමන් යාම සඳහා වූ පඩියට අමතර වරප්‍රසාදයක් ලෙසිනි.

වාහනය පැදවූයේ මෝටර් රථයේ භාරකාරීත්වය තිබූ මිතුරා වූ අතර අපේ තවත් හොඳම මිතුරෙකු ඉදිරිපස මගේ ආසනේ වාඩි වී සිටියේ ය. (මට හොඳම මිතුරන් විශාල සංඛ්‍යාවක් ඇති බව මෙය කියවන අයට දැන් තේරුම් යා යුතු ය!)

පසුපස අසුන් තුනේ සිටියේ මාත්, මිතුරා ගේ බිරියත්, ඇගේ උකුලේ ඔවුන්ගේ කුඩා අතදරු දියණියත්, තවත් කුඩා ළමයෙකුත් ය.

හවස් වරුවේ කොළඹින් පිටත් වූ අපේ අරමුණ වූයේ රාත්‍රී ආහාරය වන විට පොළොන්නරුවට ළඟා වීමයි.

හබරණ පසුකර අප පොළොන්නරුව දෙසට ගමන් අරඹන විට හතර වටින් හොඳටම කළුවර වී තිබුණි. එක්වරම මීටර් දහයක් පමණ ඉදිරියෙන් අපට පෙනුණ වන අලියෙකු (ඒ කාලයේ භාවිතයට අනුව වල් අලියෙකු) පාර අයිනේ සිටින බවයි. මෝටර් රථයේ ලාම්පුවේ එළිය නිසාදෝ ඌ නැවතී රථය දෙස බලාගෙන සිටින බවක් පෙනුණි.

වාහනයේ ඉදිරිපස මගී අසුනේ සිටි මිතුරා පොළොන්නරුව මාර්ගයේ රාත්‍රියේ ගමන් බිමන් කර ඇති “ගමේ කොල්ලෙකු” වූ නිසා ඔහු මේ අලියාගේ දර්ශනයෙන් පුදුමයට පත් වූ හෝ බියපත් වූ බවක් නොපෙනුණි. එසේ වුව ද, වාහනය පැදවූ මිතුරාට නම් මෙය කලින් මුහුණ දී නොතිබුණු තත්වයක් විය. එනිසා ඔහු, වාහනය මෙතැන් සිට පදවන් මෙන් “ගමේ කොල්ලා”ගෙන් ඉල්ලා සිටියේ ය.

ඉතිං, මගේ මේ හොඳම මිතුරන් දෙදෙනා කළේ දොරවල් ඇර එළියට බැස, වාහනේ ඉදිරිපසින් ගොස් අනිත් දොරෙන් ඇතුළට වී නැවතත් අසුන් ගැනීමයි.

වන අලියා තවමත් ඉදිරියෙන් සිටින බව වාහනයේ ලාම්පු එළියට පෙනෙන නිසා ඉදිරියට යාමට නොහැකි හෙයින් දැන් රියදුරු අසුනට පැමිණි මිත්‍රයා තීරණය කළේ වාහනය මේ වන විට නැවතී තිබුණු තැනින් තරමක් පිටුපසට ගැනීමයි.

එසේ පිටුපසට යත්ම, වාහනයේ ලාම්පුවේ එළියෙන් අපිට පෙනී ගියේ අර මුලින් වාහනය නවතා දෙදෙනා මාරු වුණු ස්ථානයේ ද පාර අසල අලි රාශියක්ම සිට ඇති බවයි!

ඉදිරිපස මාර්ගය පමණක් ලාම්පු එළියට පෙනෙන අතර, මීටර් දහයක් පමණ ඉදිරියෙන් සිටි “තනි අලියා” දෙස බලමින්, ඔවුන් දෙදෙනා ආසන මාරු කර ගැනීමට එළියට බැස කට්ට කරුවලේ ඇවිද ගොස් ඇත්තේ අප සිටියේ අලි රංචුවක් මැද බව නොදැන ය.

මද වේලාවකට පසු අලි රංචුව වනයේ පාරේ එක් පසෙක වන රොදට වැදී නොපෙනී ගියහ.

අපි නැවත ගමන ආරම්භ කර නිරුපද්‍රිතව ගමනාන්තයට ගියෙමු.

-රසික සූරියආරච්චි

ප/ලි: ජැක්සන් ඇන්තනි හා (යාන්තමට හෝ) සම්බන්ධ වෙනත් මා ලියූ ලිපි.

1. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html


2. ජැක්සන් ඇන්තනි රඟ පෑ නාට්‍යයක් (චූට්ටක් විතර) කොපි කළෙමි - Rasika Suriyaarachchi, the dramatist, director and actor, confesses...!
https://rasikalogy.blogspot.com/2016/10/rasika-suriyaarachchi-dramatist.html


3. ජැක්සන් ඇන්තනි ගේ හිස්-ස්ටෝරිය! - Jackson Anthony is history!
https://rasikalogy.blogspot.com/2015/12/jackson-anthony-is-history.html


4. ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත - In defence of Jackson Anthony
https://rasikalogy.blogspot.com/2015/11/in-defence-of-jackson-anthony.html


5. සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen
https://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html


(Video: ජැක්සන් ඇන්තනි මුහුණ දුන් අනතුර දැක්වෙන බව කියවෙන සමාජජාලාවල සංචරණය වන වීඩියෝවකි.)

Tuesday, 11 October 2016

ජැක්සන් ඇන්තනි රඟ පෑ නාට්‍යයක් (චූට්ටක් විතර) කොපි කළෙමි - Rasika Suriyaarachchi, the dramatist, director and actor, confesses...!


පාසලේ දී හතේ පන්තියේ දී සිංහල පාඩමේ කොටසක් ලෙස රඟ දැක් වූ එක්තරා කෝලමක, කච්ඡපුට බෝසත් චරිතය නිරූපණය කර ඇති මම පසු කලෙක, කෙටි නාට්‍ය දෙකක් රචනා කර, නිෂ්පාදනය කර ඇත්තෙමි. ඒ මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගන්නා කාලයේ පළමු වසරේ දී සහ තෙවන වසරේ දී ය.

කෙටිය කී ලෙසින් ම කෙටි වූ නමුත්, නාට්‍ය කීවාට ඒවා නාට්‍ය ම දැයි නිසැකව ම කිව නොහැක. වන් ඇක්ට් ප්ලේ හෝ ස්කිට් කියා කීම වඩාත් යෝග්‍යවේ යැයි සිතමි.

එසේ වුවද, නිසැකවම කිව හැකි එක් කරුණක් නම් ඉන් මුල් නාට්‍යයේ එන ජවනිකා දෙකම මා ඊට වසර පහකට පෙර නැරඹූ පාසල් කෙටි නාට්‍යයක ජවනිකාවකින් සොරා ගත් සංකල්පයක් මත පදනම් වූ බවයි!

ඒ පාසල් නාට්‍යය වූයේ 1976 දී පමණ මා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ ඉගෙන ගත් කාලයේ ලොකු පන්තිවල සිසුවෙකු වූ උපතිස්ස බාලසූරිය ලියා අධ්‍යක්‍ෂණය කළ, ජැක්සන් ඇන්තනි, කුමාරි මුණසිංහ, උපතිස්ස බාලසූරිය සහ තවත් මට නමින් අමතක නළුවන් කිහිප දෙනෙකු රඟ පෑ කෙටි නාට්‍යයකි.

මේ නාට්‍යය ඉදිරිපත් කළ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නාට්‍ය තරගාවලියේ පූර්ව අවසාන වටය නැරඹීමට නැරඹීමට පාසලේ නතර වී මට සිදු වූ ඇබැද්දිය ගැන මා මින් පෙර දිනයක ලියා ඇත.

ඒ නාට්‍යයේ කතා වස්තුව මගේ මතකයේ හැටියට කෙටියෙන් මෙසේ ය.

පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් සහ මවගෙන් පමණක් සමන්විත පවුලකි. මේ දුප්පත් පවුලේ අම්මා කුමාරි මුණසිංහ ය. අම්මාගේ සහ මල්ලී ගේ උපදෙස්, ආයාචනා නොතකා දුසිරිතට යොමුවෙන අයියා රංජිත් නමැති නළුවෙකි. පවුලේ හොඳ ළමයා වූ මල්ලී ගේ චරිතය රඟපෑවේ, නාට්‍ය පිටපත රචනාකර එය නිෂ්පාදනය කළ උපතිස්ස බාලසූරිය යි.

මේ නාට්‍යයේ ආ දෙබස් අතරින් එක් ඛණ්ඩයක් පමණක්, වසර හතළිහකට පසුව ද මගේ මතකයේ ඇත.

තම වැඩිමල් සොහොයුරාට, හිතන්න කෝ අයියේ, දැන්වත් හැදෙන්නකෝ ආකාරයේ උපදෙස් දෙන මල්ලී අමතා අයියා මෙසේ කියයි.

"උඹ මොනවද මිනිහෝ මං ගැන දන්නේ? උඹ මොනවද මිනිහෝ මං තරම් ලෝකෙ ගැන දන්නේ?"

උපදෙස් නොතකන අයියා ජීවිතයේ අඳුරු අගාධයකට වැටෙන ආකාරය නාට්‍යයේ නිරූපණය කෙරුණේ යක්‍ෂයන් සිව් දෙනෙක් හූ තියාගෙන හතර පැත්තෙන් කඩා පැන, වියරු සිනා නගමින් වැඩිමහල් සොහොයුරාව ගොදුරු කරගන්නා භයානක දර්ශනයකිනි.

ඒ එක් යක්‍ෂයෙකුගේ චරිතය රඟපෑවේ, පසු කලෙක බෙර හඬ නාට්‍යයේ ද යක්‍ෂ චරිතයක් රඟ පෑ, ජැක්සන් ඇන්තනි ය.

ඒ යක්‍ෂයින් හතර දෙනාගෙන් කිසියම් විෂ ඝෝර බලවේග හතරක් නිරූපණය කෙරුණේ ද යන්න මට නිවරැදිව මතක නැත. එසේ ම, අද කවුරුත් හොඳින් දන්නා මත් කුඩු වැනි දේ ගැන මා නම් එකල අසා තිබුණේ ද නැත.

කෙසේ වෙතත්, මා විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී ලියා නිෂ්පාදනය කළ කෙටි නාට්‍යයේ ජවනිකාවකට ඒ යක්‍ෂයින් සිව් දෙනා වේදිකාවේ හතර දෙසින් කඩා පනින දර්ශනය උපයෝගී කර ගත්තෙමි.

මගේ නාට්‍යයේ පිටපත සැකෙවින් මෙසේ විය.

උසස් පෙළ අසමත්ව උකටලීව "විශ්ව විද්‍යාලයට යන්න කොතරම් කැමැත්ත තිබුණත්, මට නම් ආපහු උසස් පෙළ විභාගෙ කරන්න බැරියෝ!" යනුවෙන් වේදිකාව මත කොලුවෙකු මරහඬ තලන දර්ශනයකින් නාට්‍යය ඇරඹේ.

ඔහු ගේ සහයට වේදිකාව දෙපසින් දෙවියන් දෙදෙනෙකු මතු වේ. එක දෙවියෙකු "අධිෂ්ඨානය" නම් වෙන අතර අනෙකා "ධෛර්යය" නම් වේ.

මේ දෙවියන් දෙදෙනා ගෙන් අධිෂ්ඨානය සහ ධෛර්ය ලබන කොලුවා ඒ අත් වැලේ පිහිටෙන් නැගී සිටියි. තිදෙනාම වේදිකාව මත වටයක් කැරකී ඉනික්බිති පිවිසෙන්නේ විශ්ව විද්‍යාලයට ය.
එහි ළඟාවෙත්ම හතර අතින් කඩා පනින යක්‍ෂයින් හතර දෙනෙකු ගේ තර්ජන හමුවේ බියවෙන දෙවිවරු දෙදෙනා පලා යන අතර, කොලුවා යකුන්ට බිය වී බිම ඇද වැටේ. දර්ශනය අවසාන වෙන්නේ, යක්‍ෂයින් සිව් දෙනා විසින් කොලුවාව ගිල ගැනීමෙනි.

යක්‍ෂයින් හතර දෙනා නම් කෙරුණේ කැන්ටින් යකා, කෝස්වර්ක් යකා, හෝල් යකා සහ කඩු යකා යනුවෙන් පළමු වසරේ සිසුන් වූ අපට මුහුණ පාන්නට සිදුවී තිබුණු විවිධ කරදර කම්කටොලු නිරූපණය කිරීමට ය.

නාට්‍යය පිටපත ලියා අධ්‍යක්‍ෂණය කළ මා රඟපෑවේ අධිෂ්ඨානය නම් දේයියා ගේ භූමිකාවයි. අනෙත් දෙයියා ලෙස පසු කලෙක ගායකයෙකු ලෙස රටේ ජනප්‍ර්‍රිය වුණු සමන් ජයනාත් ජිනදාස රඟපෑවේ ය. ශිෂ්‍යයාගේ චරිතය රඟපෑවේ පියතිස්ස බණ්ඩාර තෙන්නකෝන් ය.

යකුන් හතර දෙනාගෙන් කැන්ටින් යකා, කෝස්වර්ක් යකා සහ හෝල් යකා ලෙස රඟපෑවේ කවුදැයි අද මට අමතකව වී ගොස් ඇති නමුත් කඩු යකා ලෙස සුමනරත්න බණ්ඩාර වෑත්තෑවේ රඟ පෑ බව නම් හොඳින් මතකය.

මේ නාට්‍යය රඟ දැක්වීම පිළිබඳව මගේ මතකයේ ඇති තවත් කරුණු දෙකක් වේ.

කඩු යකා ගේ චරිතය රඟ පාන්නට වෑත්තෑවේ තෝරා ගැනුණේ ඔහු අප අතර සිටි කඩු කාරයා වීම නිසා ය. අප ඉංජිනේරු පීඨයට ගිය මුල් දිනයේ ම පැවැත්වුණු ඉංග්ලිෂ් පරීක්‍ෂණයෙන් සමත්වී ඉංග්ලිෂ් පන්තිවලින් නිදහස් කරනු ලැබූ අතළොස්සක් දෙනාගෙන් වෑත්තෑවේ එක් අයෙකි.

කඩු යකාගේ චරිතයට සිංහල මෙන්ම ඉංග්ලිෂ් දෙබසක් ද ඇතුළත් වී තිබුණි.

පීඨයේ කටයුතු වලදී කළ යුතු, කඩුව භාවිතය ගැන නවක ශිෂ්‍යයා බිය ගන්වන වැකි ගණනාවක් කියා අවසානයේ උඹ දැනගනින් මිනිහෝ මම තමයි කඩු යකා. අයෑම් ද ඩෙවිල් ඔෆ් ඉංග්ලිෂ් යැයි පිටපත ලියවී තිබුණි.

අප නාට්‍යය පුරුදු වුණු කිහිප වතාවෙන් දෙතුන් සැරයක ම, වෑත්තෑවේට ඒ අවසාන වැකිය කියවුණේ අයෑම් ද ඩෙවිල් ඔෆ් ඉංග්ලිෂ් කියා නොව අයෑම් ද ඩීන් ඔෆ් ඉංජිනියරිං කියා ය!
වේදිකාවේ දී ද එලෙස කියවෙතැයි මා බිය වී සිටිය ද, වාසනාවකට මෙන් වෑත්තෑවේ ජාම් බේරා ගත්තේ ය.

මගේ මතකයේ රැඳී ඇති දෙවන සිදුවීම නම් මෙයයි.

හත් දෙනෙකුගෙන් යුතු අප නාට්‍ය කණ්ඩායම අපේ වාරය එනතුරු වේදිකාව පිටුපස පසෙකින් ඇති කාමරයේ සිටියදී, එදා නිවේදක කටයුතු ද කළ, නවකයින් පිළිගැනීමේ උත්සවයේ ප්‍රසංගය සංවිධානය කළ ඉංජිනේරු පීඨ කලා කවයේ සභාපති තනතුර දැරූ තුන්වෙනි වසරේ ජ්‍යෙෂ්ඨයෙකු වූ හෙන්රි වර්ණකුලසූරිය වෙතට ගිය මම අපේ නාට්‍ය කණ්ඩායමේ නළුවන් ගේ නම් ලයිස්තුව ලබා දෙන්නට සැරසුණෙමි. ඒ අපේ අංගය හැඳින්වීමේ දී නිවේදනය විස්තර කරන්නයි.

නම් අනව්‍යයි කියා එවේලේ කී නමුත් අපේ අංගය ඉදිරිපත් කිරීමේ දී හෙන්රි මෙසේ කීවේ ය.

"දැන් මෙන්න රසික හරිශ්චන්ද්‍ර සොයුරා ප්‍රමුඛ පළමු වසරේ සිසුන් සමග ඉදිරිපත් කරන නාට්‍යය."

"අපේ කොල්ලෝ එක්ක නාට්‍යයක් කරලා, උඹ හෙන්රියට කියලා උඹේ නම විතරක් කියවා ගත්තා නේද?" කියා ඊළඟ සතියේ මා මිතුරු විජේදාස කෝණාරගෙන් චෝදනාවක් එල්ල වූ විට, නිහඬව සිටීම හැර මට කළ හැකි වෙනත් දෙයක් නොතිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිනුවර සිංහල කෙටි නාට්‍ය උළෙල සාර්ථක තුන්වෙනි වරට ඔක්තෝබර් 15 සෙනසුරාදා ඩියුරල් හි දී පැවැත්වේ.

සැමට සාදර ආරාධනා!

Thursday, 28 April 2016

ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life


මගේ තාත්තා අපූරු මිනිසෙක් විය. රැකියාවෙන් පාසල් ගුරුවරයෙකු වුවද, ඔහු තම දරුවන් ට ගෙදරදී ටියුෂන් පන්ති දැම්මේ නැත. ඔහු ගේ අදහස වූයේ අප නොදන්නා දෙයක් තිබේ නම් පමණක් ඔහුගෙන් අසා ඉගෙනගත යුතු බවයිි.

ගමේ කණිෂ්ඨ පාසලෙන් ඇරඹුණු මගේ පාසල් දිවියේ ගමන් මග තීරණය වූයේ ද මා ඒ ඒ විභාග සමත් වූ ආකාරයට මිස, අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටි තාත්තා ගේ මිතුරන් හෝ ගෝලයින් ගේ පිහිටාධාර ඇතුව නොවේ.

මා කිසි දිනෙක තාත්තා ඉගැන්වූ පාසලක උගත්තේ නැති නිසා, ඔහු තම සිසු සිසුවින් ට සැර වැර කරන්නෙක් වූයේ ද, කරුණාවෙන් සලකන්නෙක් වූයේ ද යන්න ගැන නිවරද අදහසක් නොමැත. නිවසේදී නම්, අපේ ඇතැම් ක්‍රියාකාරකම් දැක කිපෙන ඔහු අපට බැණ වැදීම සාමාන්‍ය සිද්ධියක් විය. මා කළ ඇතැම් නොපනත්කම් නිසා කිහිපවරක් මට ඔහු ගේ ගුටි පූජාවලට මුහුණ දෙන්නට ද සිදුවිය.

මා අවසන් වරට තාත්තාගෙන් ගුටි කෑවේ, අටවැනි ශ්‍රේණියේ සිසුවෙකු ලෙස ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවදියේ ය. මේ ඒ කතාවයි.

අපේ පාසලේ හයවැනි ශ්‍රේණියේ සිට, උසස් පෙළ දක්වා සිසුන්ට පන්ති පැවැත්වුණු අතර, අපේ සිටි පන්තිවල පිරිමි සිසුන් කිහිප දෙනෙකු පමණක්, ශිෂ්‍යභට කණ්ඩායමේ සහ බාලදක්ෂ පෝතක කණ්ඩායමේ වැඩවලට සහභාගී වූහ. බහුතරයක් පිරිමි සිසුහු ද, ගැහැණු සිසුන් සමස්තයම ද කිසිදු අමතර ක්‍රියාකාරකමක නිරත නොවුනහ. වසරකට වරක් පැවැත්වෙන නිවාසාන්තර මලල ක්‍රී්‍රඩා තරගයට අමතරව වෙනත් කිසිදු සංවිධානාත්මක ක්‍රීඩාවක් ද පාසලේ නොපැවැත්වුණි.

පාසලක තිබෙන ඉහළ පෙළේ රාජකාරි කටයුතු වූ ශිෂ්‍ය නායක, ක්‍රීඩා නායක, නිවාස නායක තනතුරු දැරුවෝ ද, තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකත්වය දැරුවෝ ද උසස් පෙළ සිසුවෝ ය.

උසස් පෙළ සිසුන් සහභාගී වූ තවත් අමතර ක්‍රියාකාරකමක් වූයේ පාසල් මට්ටමේ කෙටි වේදිකා නාට්‍ය ලියා, නිපදවා, රඟ දැක්වීමයි. එකල, අධ්‍යාපන දිස්ත්‍රික්ක මට්ටමෙන් පාසල් නාට්‍ය තරගාවලියක් විය. එය සමස්ත ලංකා තරගාවලියක කොටසක් ද වූ බව මගේ මතකයයි.

ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පාසල් අතර පැවැත්වුණු තරගාවලියට අපේ විදුහලේ නියෝජනය තෝරා ගැනීමට වෙනම ම තරගයක් ද පාසල් මට්ටමින් මෙකල පැවැත්වුණි.

මේ දිනවල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් නාට්‍ය රඟ දැක්වූවන් අතර කලා ශිල්පී ජැක්සන් ඇන්තනි, ගායිකා කුමාරි මුණසිංහ මෙන්ම, ජනප්‍රිය රූපවාහිනී ප්‍රහසනයක් වන ”ඇන්-කොම්පැනි”යේ විපක්ෂ නායක තනතුර රඟපාන උපතිස්ස බාලසූරිය ද වූහ.

ඒ වසරේ, අපේ පාසලේ නිපදවුණු එක් නාට්‍යයක් ලියා නිෂ්පාදනය කළේ උපතිස්ස බාලසූරියයි. පවුලක පුතුන් දෙදෙනෙක් අතර ඇතිවන ගැටුමකුත්, මවගේත්, සොහොයුරාගෙත් බස් නො අසා, අනෙක් සොහොයුරා නොමග යන අයුරුත් එයින් කියවිණි. මෙහි හොඳ පුතා ගේ චරිතය උපතිස්ස ට ද, මවගේ චරිතය කුමාරි ට ද හිමිවී තිබුණු අතර, ජැක්සන් ඇන්තනි රඟපෑවේ නරක පුතා නොමගට යොමුවීම විස්තර කෙරුණු නාට්‍යමය ජවනිකාවේ දී, එක් දුසිරිතක් නිරූපණය කරන යක්ෂයෙකු වශයෙන් සුළු චරිතයක් පමණි.

දිස්ත්‍රික්ක තරගයේ දී පාසල නියෝජනය කිරීමට හොඳම නාට්‍යය තේරීමේ තරගය පවත්වන ලද්දේ පාසල් වේලාවේ දී ම ය. තවත් හොඳ මට්ටමේ නාට්‍ය කීහිපයක් ම තිබුණ ද, ඒ තරගයෙන් ජයගත්තේ උපතිස්ස බාලසූරිය ගේ නාට්‍යයයි.

මින් දින කිහිපයකට පසු එක් දිනක පාසලේ දී මට අසන්නට ලැබුණේ, ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පාසල් නාට්‍ය තරගයේ මූලික වටය පැවැත්වෙන්නේ ද අප පාසලේ බවයි. මේ වන විට මද පමණක නාට්‍ය ලෝලියෙකු වී සිටි මට මෙය සුබ ආරංචියක් ම විය.

අවට පාසල් කීපයකින් ඉදිරිපත් වුණු නාට්‍යයන් මෙහිදී රඟ දැක්වීමට නියමිත බැවින්, නාට්‍ය තරඟය නරඹා මිස නිවසට නොයෑමට මම තීරණය කළෙමි. එකම ප්‍රශ්නය වූයේ දවල් වරුවේ ඇරඹි නාට්‍යය රඟ දැක්වීම සාමාන්‍යයෙන් පාසල් නිමවන වේලාව වන විට අවසන් වී නොතිබීමයි.

දැවි, දැවී එන කුසගින්න ඇල්වතුරෙන් නිරතුරු නිවා ගනිමින් මා එදින සියලුම නාට්‍යයන් රඟ දක්වා අවසාන වන තුරු ම පාසලේ රැඳී සිටියෙමි.

පාසලේ සිට අප නිවසට දුර ප්‍රමාණය සැතපුමක් පමණ විය. පාසල් නාට්‍ය තරඟයේ උසස් නිර්මාණ රස විඳ, නව නළු රසයෙන් කුල්මත් වූ සිතැතිව ද, ඇල්වතුරෙන් තව දුරටත් රැවටිය නොහැකි වූ කුසගින්නෙන් දැවෙන සිරුරින් ද යුතුව මා එදින නිවසට ළඟා වූයේ සවස හතරට පමණ ය.

මේ වන විට, මා එන මගට පෙර ගමන් කරමින් සිටියේ, සේවය නිමවා නිවස බලා විත්, ඒ වනතුරුත් මා පාසලේ සිට නිවසට පැමිණ නැති බව දැන, මා සොයා යමින් සිටි මගේ පියා ය.

යාන්තමින් ගොනු කර ගත් නිදහසට කරුණු තටම තටමා කටින් පිට කර හමාර කරන්නටත් පෙර මා ලම්බ-කර්ණයෙක් බවට පත්වෙන්නේ ය යන සංවේගාත්මක හැඟීම ද, එතැන් සිට ගැහෙමින් නිවසට ළඟා වූ වහාම කෝටු පහර කිහිපයක් තට්ටම හරහා හමා යන වේදනාත්මක දැනීම ද, මට නොඅඩුව ලැබුණි.

ඒ තාත්තා මට එලෙස දඩුවම් කළ අන්තිම දිනයයි.

වේදිකා නාට්‍ය පිළිබඳ ඇල්ම පසකෙ තබා මම එතැන් පටන් ගණිතය වැනි සුන්දර විෂයයන් කෙරෙහි මගේ අවධානය යොමු කරන්නට පටන් ගත්තෙමි.

-රසිකොලොජිස්ට්

(image: https://en.wikipedia.org/wiki/Galahitiyawa_Central_College)

Wednesday, 2 December 2015

ජැක්සන් ඇන්තනි ගේ හිස්-ස්ටෝරිය! - Jackson Anthony is history!


පසුගිය මාසයේ දිනයක දෙරණ රූපවාහිනියේ ප්‍රචාරය වුණු සිංහල සිනමාව හා සම්බන්ධ සාකච්ඡාවකදී ජැක්සන් ඇන්තනි ගේ ඇඩ්‍රස් නැති වුණු බවට සමහරු කීව ද, එහි දී ඔහු තම අබා චිත්‍රපටය ගැන කී දේ අසත්‍යයැයි බැහැර කිරීමට නොහැකි බව, මා ලියා රසිකොලොජියේ පළ කළ "ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත" නම් ලිපියේ දී මම සඳහන් කළෙමි.

නමුත්, ඒ වැඩ සටහනේ දී ජැක්සන් ඇන්තනි විසින් පාසල් විෂය නිර්දේශයේ ඉතිහාසය විෂය පිළිබඳව ප්‍රකාශ කළ බොහෝ දේ සාවද්‍ය බවත්, මේ පුද්ගලයා එම සාවද්‍ය ප්‍රකාශයම විවිධාකාරයෙන් විවිධ තැන්වල කියා දැන් එය බහුතරයක් ළමා ළපටියන් පිළිගන්නා දෙයක් බවට පත්ව ඇති බවත්, ඒ සමගම මම කෙටියෙන් කීවෙමි.

මා මේ සැරසෙන්නේ ඒ දෙවෙනි කරුණ ගැන සවිස්තරාත්මකව ලියන්නටයි.

ඉතිහාසය පාසල් විෂය නිර්දේශයෙන් ඉවත්වීම ගැන ජැක්සන් ඇන්තනි පවසන්නේ මෙවැනි අදහසකි.
"ජනතා විමුක්ති පෙරමුණ මගින් මෙහෙයවූ 1971 අප්‍රියෙල් කැරැල්ලට සහභාගී වූ වැඩි දෙනා ඉතිහාසය වැනි කලා විෂයයන් හැදෑරූ අය විය. එනිසා, පැවති රජය විසින් ඉතිහාසය විෂයය පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කර ඒ වෙනුවට සමාජ අධ්‍යයනය විෂයය හඳුන්වා දුනි. එනිසා, එතැන් සිට බිහිවුණු පරපුරෙන් ඉතිහාසය පිළිබඳ දැනුම තුරන් විය."
මෙය අර්ධ සත්‍යයක් පමණක් බවත්, කරුණු විකෘති කිරීමක් බවත්, නොමග යැවීමක් බවත්, ඒ සමගම මෙහි පරස්පර විරෝධී කරුණක් ඇතුළත් බවත් බැලු බැල්මට මට පෙනේ.

වසර 1972 ජනවාරියේ හයේ පන්තියේ සිට පාසල් විෂයය නිර්දේශය වෙනස් කිරීම 1971 අප්‍රියෙල් කැරැල්ල නිසා කළ දෙයක් යැයි කීම විහිළුවකි. එවැනි බරපතල කාර්යයක් අපේ සිරි ලංකාවේ දී මාස අටක් තුළ කළා යැයි කීම ජැක්සන් ගේ අතේ රෝලක් මිස විශ්වාස කළ හැකි යතාර්ථයක් නොවේ.

සත්‍යය නම් ඒ අධ්‍යාන ප්‍රතිසංස්කරණය 1970 මැයි මාසයේ පත් වූ සිරිමා-ඇන්ඇම්-කේනමන් සමගි පෙරමුණු සභාග ආණ්ඩුව ඇරඹූ මුල්ම වැඩ පිළිවෙළක් බවයි.

මාස අටක් තුළ සැලසුම් කර, විෂය නිර්දේශය සකසා, අඩු වශයෙන් හයේ පන්තියේ පෙළ පොත් පමණක් හෝ ලියා, ගුරු අත් පොත් සකසා, ගුරුවරුන් පුහුණු කර, 1972 ජනවාරියේ දී ඉගැන්වීම ඇරඹුණේ යැයි කීම සත්‍යයක් යැයි අදහන්නෝ සිටිත්දැයි මට සැකය.

ඒ අධ්‍යාපන සංශෝධනවලින් වූයේ, ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය, ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව එකට කැටි වූ සමාජ අධ්‍යයනය විෂයය අලුතෙන් හඳුන්වා දීම පමණක් නොවේ. කලින් තිබූ අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය යනාදිය වෙනුවට නව ගණිතය නමින් න්‍යාස, ජාල, සම්භාවිතාව, සංඛ්‍යානය වැනි කොටස් අඩංගු විෂයයක් ද හඳුන්වා දී තිබුණි. දැන් ඒ වෙනසට හේතුවත් 1971 අප්‍රියෙල් කැරැල්ල කියා යැයි ජැක්සන් ඇන්තනි පවසනවා ද?

එපමණක් නොවේ, රටේ සම්පත් යනුවෙන් විෂයයක් ද, ප්‍රාග් වෘත්තීය අධ්‍යයනය වැනි විෂයයන් ද අලුතෙන් හඳුන්වා දෙනු ලැබුණි. දැන් ඒ වෙනස්කම කෙරුණෙත් 1971 කැරැල්ල නිසාද?

තමන්ට අවශ්‍ය පරිදි සත්‍යය විකෘති කරමින් ජැක්සන් ඇන්තනි තර්ක ගොඩනගන බව ඉන් පැහැදිලිය.

ඊළඟ කාරණය මෙයයි.

ඒ 1971 අධ්‍යාපන සංශෝධනයට පෙර සාමාන්‍ය පෙළ විභාගය පැවතුණේ විද්‍යා, වාණිජ, කලා විෂය ධාරාවන් තුනකිනි. එනම් අද උසස් පෙළ සේ ය. ඒ විද්‍යා, වාණිජ, කලා බෙදීම කෙරුණේ අටවෙනි ශ්‍රේණියේ දී පැවැත්වුණු විභාගයක ප්‍රතිඵල මත පදනම්ව ය.

මා දන්නා පරිදි 1958 දී උපන් ජැක්සන් ඇන්තනි, සාමාන්‍ය පෙළ සඳහා යොමු වෙන්නට ඇත්තේ ඒ ආකාරයට ය. අන්තර්ජාලයේ සංසරණය වෙන වෙනත් රූපවාහිනී වැඩසටහනක වීඩියෝවක ජැක්සන් ඇන්තනි මේ ඉතිහාසය විෂයය ගැනම කතා කරමින් මමත් ඒ අධ්‍යාපන සංශෝධනයට අහුවුණු කෙනෙක් යැයි පවසන්නේ වීරවංශානුකාරයෙන් තම වයස අඩුකර පෙන්වන්නට යැයි මම නොසිතමි. ඔහු ගේ අවශ්‍යතාවය මේ ඉතිහාසය විෂයය පිළිබඳ තර්කය තවත් ශක්තිමත් කර ගැනීම මිස වෙනකක් නොවේ!

පෙර කී ආකාරයට, එකල අටේ පන්තියේ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව නමවෙනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ අධ්‍යාපනය හදාරන්නට පටන් ගන්නා සිසුන් අතරින් ඉතිහාසය යන විෂයය සාමාන්‍ය පෙළ සඳහා උගත්තේ කලා විෂයය ධාරාවේ සිසුන් පමණි.

විද්‍යා ධාරාවේ සිසුන්ට ඉතිහාසය, භුගෝලය, සිංහල සාහිත්‍යය යන විෂයයන් වෙනුවට ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, උසස් ගණිතය වැනි වෙනත් විෂයන් තිබුණි.

එසේම වාණිජ ධාරාවේ සිසුන්ට ද ගණකාධිකරණය, වාණිජ්‍යය වැනි ප්‍රධාන විෂයන් හැදෑරීමට තිබුණි.

නමුත් ජැක්සන් ඇන්තනි තර්ක කරන්නේ සෑම සිසුවෙකුටම ඉතිහාසය සාමාන්‍ය පෙළ සඳහා හැදෑරූ බවටත්, එය සහමුලින්ම අතහැර දැමුණු බවටත් සාවද්‍ය අදහසක් මේ ගැන නොදන්නා අසන්නන් ගේ සිත් තුළ ජනිත කරවන්නට බව පෙනේ.

අනෙක් කරුණ නම්, පෙරකී 1972 අධ්‍යාපන සංශෝධනවලින් පසුවත්, උසස් පෙළ ඉතිහාසය විෂය අහෝසි නොවුණි. එසේම විශ්ව විද්‍යාලවල ද, ඉතිහාසය විෂයයක් ලෙසත්, විශේෂ උපාධිය සඳහාත් ඉගෙනීමට අද දක්වා ම ඉඩ ඇති බවයි.

මා දකින ආකාරයට සිදුවූ එකම වෙනස නම්, ජැක්සන්ලා ගේ කාලයේ ශිෂ්‍ය ප්‍රජාවෙන් විද්‍යා සහ වාණිජ ධාරාව තෝරා ගැනීම නිසා ඉතිහාසයෙන් අට සමතුන් ලෙස පාසල් අධ්‍යාපනය නිම වූ සිසුන්ට, නමවෙනි සහ දහවෙනි ශ්‍රේණිවලදී ද සමාජ අධ්‍යයනය නම් පුළුල් විෂයයේ කොටසක් ලෙස තව දුරටත් ඉතිහාසය ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණු බවයි.

ඒ සමගම පැවසිය යුතු තවත් කරුණක් වෙන්නේ සමාජ අධ්‍යයනය සඳහා අප උගත් සමහර විෂය කරුණු සාමාන්‍ය පෙළ ඉතිහාසය සඳහා පනහේ දශකයේ උගත් මගේ අම්මා හෝ හැටේ දශකයේ සාමාන්‍ය පෙළ උගත් මගේ පුංචි අම්මලා දෙදෙනා ඉගෙනගෙන තිබුණේ නැති බවයි.

ජැක්සන්ට ඇඩ්‍රස් නැති වුණා යැයි පවසමින් සංසරණය කෙරුණු දෙරණ සාකච්ඡාවේ දී මෙන් ම, ඊට පෙර විවිධ රූපවාහිනී සාකච්ඡාවල දී ද, ඉතිහාසය විෂයය 1972 දී පාසල් අධ්‍යාපනයෙන් කුමන්ත්‍රණකාරීව ඉවත් කරන ලදී යනුවෙන් ජැක්සන් ඇන්තනි පැවසීම අර්ධ සත්‍යයක්, කරුණු විකෘති කිරීමක්, නොමග යැවීමක් සහ පරස්පර විරෝධී ප්‍රකාශයක් වෙන්නේ ඒ නිසා ය.

-රසිකොලොජිස්ට්

(image: captured from https://www.youtube.com/watch?v=qIAeoQBTO1k)

Monday, 30 November 2015

ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත - In defence of Jackson Anthony


පසුගියදා ලංකාවේ පැවති සිනමා උළෙලකට සමාන්තරව, දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රචාරය වුණු සාකච්ඡා වැඩ සටහනක් දැන් දෙසතියකට පමණ පෙර සයිබර් අවකාශයේ සංසරණය විය. ඒ සාකච්ඡාවේ මූලික මාතෘකාව වූයේ ඓතිහාසික කතා පුවත් රැගත් නිර්මාණකරණය පිළිබඳ සිංහල සිනමාවේ ඇතිවූ මෑතකාලීන ප්‍රවණතාවයි.

මම ද ඒ සාකච්ඡාව නරඹා රස වින්දෙමි.

ඒ වැඩසටහනේ වීඩියෝවට අදාළ සබැඳිය සහිත පණිවිඩ සයිබර් අවකාශයේ මුදා හැර තිබුණේ "ජැක්සන්ට ඇඩ්‍රස් නැති වුණු සාකච්ඡාව" යන මාතෘකාව සමගිනි. එයින් අනියමින් වූයේ ජැක්සන් ඇන්තනි ගේ නවතම සිනමා නිර්මාණය පිළිබඳව නොමිලයේ ප්‍රචාරයක් ද ලබා දීමයි.

ඒ සති දෙකකට පමණ ඉහත දී ය.

එයින් ජැක්සන් ඇන්තනි වැඩසටහනේ අවසානයේ දී පැවසූ දේ රැගත් කොටස පමණක් උපුටා ගෙන අවිචාරකයින් විසින් කපා දමන ලද ජැක්සන් ගේ පැහැදිලි කිරීම යන මැයෙන් සති අන්තයේ නැවත ප්‍රචාරයක් දී තිබුණි.

මෙන්න ඒ වීඩියෝව.
https://www.facebook.com/sudathanthonys/videos/10204940200215777/

මුලින්ම කිව යුත්තේ මේ කොටස කපා දමා තිබුණා ය කීම සාවද්‍ය බවයි.

මෙහි දී ජැක්සන් ඇන්තනි අබා චිත්‍රපටය නිෂ්පාදනයේ පසුබිම පිළිබඳව පවසන බොහෝ දේ නිවරැදිය. ඔහු ම පවසන පරිදි ඒවා ඔප්පු කළ හැකි දේ ද වේ.

නමුත් පාසල් විෂය නිර්දේශයේ ඉතිහාසය විෂය පිළිබඳව ඔහු කියන බොහෝ දේ සාවද්‍ය වේ. මේ පුද්ගලයා එම සාවද්‍ය ප්‍රකාශයම විවිධාකාරයෙන් විවිධ තැන්වල කියා දැන් එය බහුතරයක් ළමා ළපටියන් පිළිගන්නා දෙයක් බවට පත්ව ඇත.

මුලින්ම ජැක්සන් ඇන්තනි තමන් ගේ අබා චිත්‍රපටය ගැන පවසන කරුණු ගැන සලකමු.

ඔහු ඉතිහාසය ගැන කතා කරන්නට පටන් ගත්තේ දැනට දශක දෙකකට පමණ පෙර සිටය. එය ඔහු ගේ විනෝදාංශය, ප්‍රියතම විෂයය වෙන්නට ඇත. නමුත්, එය ඔහු ගේ රුකියාව ද විය. තමන් කැමතිම දෙයක් තම බඩ රස්සාව ලෙස කරන්නට ලැබීම තරම් වෙනත් වාසනාවක් මේ ලොවේ නොවේ!

මා වරින් වර ලංකාවට පැමිණි අවස්ථාවන් හි දී, ඔහු විසින් මෙහෙයවනු ලැබූ, නිෂ්පාදනය කරනු ලැබූ, විවිධ රූපවාහිනී වැඩ සටහන් නරඹා ඇත්තෙමි. ඒවා මා සිත්ගත් බව කිව යුතුය.

ඒ ප්‍රකාශයේ දී ජැක්සන් ඇන්තනි විසින් සඳහන් කරන සරසවිය පුවත්පත සමග කරන ලද සාකච්ඡාව ද මම කියවා ඇත්තෙමි.

ජුලියට් ගේ භූමිකාව සිනමා නිර්මාණයෙන් පසු වෙනත් නිර්මාණයක් නොකළේ මන්දැයි විමසනු ලැබූ විට ජැක්සන් ඇන්තනි උත්තර දෙන්නේ ඔහු ඓතිහාසික කතා පුවතක් මත පදනම් වූ තිර රචනයක් ලියා ඇති බවත්, එයට නිෂ්පාදකයෙකු සොයන බවත් ය.

ඒ ලිපිය කියවූ, පසුව අබා චිත්‍රපටය නිෂ්පාදනය කළ දෙදෙනාට පමණක් නොව, වෙනත් අයටද, ඒ චිත්‍රපටය හැකි නම් නිෂ්පාදනය කළ යුතුයි කියා සිතුණු බව කලකට ඉහත කතන්දරකාරයා නම් බ්ලොග්කරුවා ලියූ පහත ලිපියෙන් පෙනේ.

http://kathandara.blogspot.com/2010/03/blog-post_05.html

වසර 2006 අප්‍රියෙල් මාසයේ දී අපේ සිංහල සංස්කෘතික හමුව මගින් සංවිධානය කරන ලද බක් මහ රංගන දෙමංසල අබියස ප්‍රසංගයට සහභාගී වීම සඳහා ජැක්සන් ඇන්තනි සිඩ්නි නගරයට පැමිණි අවස්ථාවේ දී අපේ සිංහල සඟරාවට ලිපියක් සැකසීම සඳහා මම ඔහු සමග සාකච්ඡාවක් පැවැත්වීමි.

එහිදී මා ඔහුගෙන් විමසූ එක් පැනයක් වූයේ ඔහු නිපදවූ, මෙහෙයවූ ඉතිහාසය පිළිබඳ රූපවාහිනී වැඩසටහන් ඩීවීඩී ලෙස අපට මිලට ගත හැකි ද කියාය. ඒ මට පෙර කී රුපවාහිනී වැඩසටහන් නැවත නැරඹීට තිබුණු කැමැත්්ත නිසාය.

සාකච්ඡාව අවසානයේ දී ඔහුගේ ඉදිරි වැඩ කටයුතු ගැන ද මම විමසූවෙමි.
(රසික) අවසාන වශයෙන්, ඔබේ ඉදිරි කලා කටයුතු ගැන කෙටියෙන් කිව්වොත්?

(ජැක්සන්) පණ්ඩුකාභය රජු ගේ ළමා කාලය පිළිබඳව අති දැවැන්ත සිනමා නිර්මාණයක අධ්‍යක්‍ෂණ කටයුතු මම ලංකාවට ගිය ගමන් පටන් ගන්නවා. ඉන් පසු, ජයන්ත චන්ද්‍රසිරි ගේ මීලඟ ඓතිහාසික චිත‍්‍රපටයේ මම විමලධර්මසූරිය රජුමෙන් රඟපෑමට සූදානමෙනුයි ඉන්නේ. ප‍්‍රසන්න විතානගේ ගේ මීලඟ සිනමා කෘතිය, ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ කාලයේ ගාඩි කුලය හා සම්බන්ධ එකක්. මෙහි මම ගාඩි රැහේ නායකයා ලෙස රඟ පෑමට නියමිතයි. මේ සිනමා කෘති සියල්ලම ඓතිහාසික කතා රැගත් ඒවා වීම සුවිශේෂ කාරණයක්.
මේ සාකච්ඡාව පැවැත්වුණු 2006 මුල භාගයේ මහින්ද රජා තම බල පරාක්‍රමය රටේ පස් දෙස පතුරවන්නට පටන් ගත්තා පමණකි. එනිසා අප බොහෝ දෙනා පසුකාලීනව ජැක්සන් ඇන්තනි ගේ වැඩ-කිඩ සලකා මේ සිනමා නිර්මාණය දෙස අපරදෘෂ්ටියෙන් බලමින් සිතන දේ නිවැරදි නොවන බව කිව හැකිය.

ඒ සමගම මට පැහැදිලිවම කිව හැකි දෙය නම්, අබා චිත්‍රපටයෙන් පසු සිංහල සිනමා රැල්ලක් ඇති වූ ඉතිහාසය විකුණා කන ආකාරයේ රැල්ලට අබා චිත්‍රපටය වගකිව යුතු නැති බවයි.

ඒ වෙනුවට ඒ රැල්ලට මූලික හේතුව වූයේ යුද්ධයේ අවසානයත් සමගම ඇතිවුණු සිංහල ජාතිකවාදී වෙළඳපොළ බව මගේ අදහසයි.

ඒ කරුණු එසේ වුවද, මා මුලින් ද කී පරිදි, ඉහත රූපවාහිනී ප්‍රකාශයේ දී ඉතිහාසය විෂයය ගැන ජැක්සන් ඇන්තනි අසත්‍ය හෝ අර්ධ සත්‍ය ප්‍රකාශ කන්දරාවක් ම කරනු පෙනේ.

ඒ ගැන සවිස්තරාත්මකව ඊළඟ ලිපියෙන්: http://rasikalogy.blogspot.com/2015/12/jackson-anthony-is-history.html

-රසිකොලොජිස්ට්

Saturday, 4 April 2015

සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen


පවතින රජයට, වත්මන් ජනාධිපතිට සහ ඔවුන් බලට පත් කිරීම සඳහා ඡන්දය දුන් අයට ගහලා හෝ මහින්ද රාජපක්‍ෂ යළි බලයට ආ යුතු බවට "මාස්ටර් සර්" ට "වියෝ ගී" ගයන නීලා වික්‍රමසිංහ නම් නළාකාරිය ගේ ප්‍රකාශයක් අද සයිබර් අවකාශයේ හෝ හෝ ගා හිට් වෙමින් පවතී.

මේ කතාව පසුගිය ජනවාරි නමවෙනි දා හෝ ආසන්න දවසක මැදමූලන ගම්-බයියෙකු ගේ කටෙන් මුලින් ම ඇසුණු වෙලේ එහි අප බොහෝ දෙනෙකුට පුදුමයක් නො තිබුණි.

නමුත්, නීලා වික්‍රමසිංහ වැනි අයෙකු ගේ "රන් ටිකිරි සිනා" නැගුණු මුවින් මෙවැනි පඩත්තල වදන් වැලක් පිටවීම අබුද්දස්ස යුගයක පෙර නිමිත්තක් දෝ හෝ සිතට කම්පා ගෙන දෙන්නකි.

මේ කතාව සහ මෙවැනි තවත් කතන්දර රාශියක් නිසා මේ දිනවල සයිබර් අවකාශයේ වැදගත් මාතෘකා කිහිපයක් ම සහෘදයින් අතර සාකච්ඡාවට බදුන් වෙමින් ඇති බව පෙනේ.

ඉන් එකක් නම්, "කලාකරුවෙකු ගේ නිර්මාණයක්, ඔහු ගේ හෝ ඇය ගේ දේශපාලනය අමතක කර, අපට රස විඳිය හැකි ද?" යන්නයි.

ඒ ප්‍රශ්නයට එළැඹෙන්ට කලින් මට ඇති අතුරු ප්‍රශ්නයක් නම් ගායකයෙකු හෝ ගායිකාවක යනු කලාකරුවෙක් ද යන්නයි.

මා නම් කලාකරුවෙකු ලෙස අර්ථ දක්වන්නේ තම හැකියාවකින් යම් කිසි නිර්මාණයක් බිහිකරන පුද්ගලයෙකි. මේ නිර්වචනයට අනුව මට නම් වෙනකෙක් ලියූ පදවැලක්, වෙනකෙකු ගේ තනුවකට සහ සංගීතයට තවත් පිරිසක් විසින් කරනු ලබන සංගීත භාණ්ඩ වාදනයක් පසුබිම් කරගෙන ගායනා කරන අයෙකු කලාකරුවෙකු ලෙස පෙනෙන්නේ නැත.

එක් ගායකයෙකු ගේ හෝ ගායිකාවක ගේ ගීතයක් තවත් අයෙකුට ගායනා කළ හැකි වන්නේ ඒ නිසා ය. උදාහරණයක් ලෙස, නෙවිල් ප්‍රනාන්දු ගැයූ මාස්ටර් සර් ගීතය නීලා වික්‍රමසිංහ ගයන්නීය. ඇය කලාකරුවෙකු ද? භාතිය සහ සන්තූෂ් නම් නළාකාර බාන සහ පිරිසක් ද එම ගීය ම ගයති. ඔවුන් එහි දී කලාකරුවන් ද?

මට නම් ඒ ගීතයේ කලාකරුවන් නම් සංගීතය නිර්මාණය කළ නිමල් මෙන්ඩිස් ය. සිංහල පදවැල ලියූ කරුණාරත්න අබේසේකර ය.

ඒ කතාව එතැන තබා මගේ මුල් ප්‍රශ්නයට යොමුවෙන්නේ නම්, නැවතත් මට නම් යමෙකු ගේ දේශපාලනය අමතක කර ඔවුන් විසින් නිමවන කලාකෘතියක් හෝ ගයන ගීතයක් රස විඳිය නොහැක. දේශපාලනය නොබැස හෝ ඒ ගැන කතාබහ නොකර, තමන්ගේ නිර්මාණකරණය කරන අය සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්නයක් පැන නො නගී.

මෙය කියවන සමහරු මා හා එකඟ වෙනු ඇත. මා හා එකඟ නොවන්නන් මෙය මගේ රසිකත්වයේ අඩුවක් ලෙස දකින්නට ද ඉඩ ඇත.

ජැක්සන් ඇන්තනි ගේ රඟපෑම්වලින් මට අද අවංකව ම රස විඳිය හැක්කේ "වැලන්ටයින් උතුමාණනි, මා ඔබේ බලු කුක්කා පැබ්ලෝ" නමැති ගීතමය ජවනිකාව පමණි. අන් සියල්ල මට ඔක්කාරය ගෙන දෙයි.



මෙයින් ඇතැම් විට වාසි ද සිදුවේ.

උදාහරණයක් ලෙස මීට වසරක එකහමාරකට පමණ පෙර සිඩ්නි නගරයේ ප්‍රදර්ශනය කළ "කුස-පබා" හෝ "සිරි පැරකුම්" හෝ එවැනි චිත්‍රපට මම මේ හේතුව නිසාම නැරඹීමට නොගියෙමි. එයින් මට ඉරිදා හවස් වරුවක කාලය ඉතුරුවීමට අමතරව, ඩොලර් විස්සක් ටිකට් පත් ගාස්තුවත්, ඩොලර් පහක පමණ පෙට්‍රල් වියදමත්, පැය තුනකට වඩා එක විනාඩියක් හෝ රවුස් හිල් සංඛීර්ණයේ වාහනය ගාල් කරන්නට සිදුවී නම් ගෙවන්නට සිදුවෙන ඩොලර් පහක ගාස්තුවත් ඉතුරු විය.

මේ දිනවල ලැබෙමින් ඇති "ආරංචි"වලට අනුව සමහර විට ජූලි මාසයේ දී පමණ මීටත් වඩා මුදලක් නාස්ති නොවී ඉතුරු කරගෙන පින් අතේ වැඩකට යොදන්නට මට හැකිවෙනු ඇත!

නරක නෑ නේද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජනාධිපති ඡන්දයේ දී මහින්ද රාජපක්‍ෂට සහයෝගය දැක්වූ කලාකරුවන් කියා ගන්නා පිරිස ඡායාරූප සහිතව පහත දිගුවෙන් බලා ගත හැකිය.
http://www.sinhayanews.com/news/artists-join-hands-support-president-mahinda-election

මේ සියළු දෙනා නීලා වික්‍රමසිංහ පෙර කී ප්‍රකාශය කළ රැස්වීමට සහභාගී වූයේ නැති යැයි සිතමි. එසේම ඔවුන් සියළු දෙනා ඇය ගේ ඉහත "ගහලා බලය ගැනීම"ට කළ යෝජනාව අනුමත කරනවා යැයි ද නො සිතමි!

ප/ප/ලි
ඉහත වෙබ් අඩවිය මේවන විට අකර්මණ්‍ය වී ඇති නිසා, ඒ නළාකරුවන් ගේ පෝස්ටරයේ පිටපතක පින්තුර සහිත කොටස් පහතින් දක්වමි.




(image: http://123soleil.deviantart.com/art/CBNS-Henchmen-332600709)