
පාසලේ දී හතේ පන්තියේ දී සිංහල පාඩමේ කොටසක් ලෙස රඟ දැක් වූ එක්තරා කෝලමක,
කච්ඡපුට බෝසත් චරිතය නිරූපණය කර ඇති මම පසු කලෙක, කෙටි නාට්‍ය දෙකක් රචනා කර, නිෂ්පාදනය කර ඇත්තෙමි. ඒ මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගන්නා කාලයේ පළමු වසරේ දී සහ තෙවන වසරේ දී ය.
කෙටිය කී ලෙසින් ම කෙටි වූ නමුත්, නාට්‍ය කීවාට ඒවා නාට්‍ය ම දැයි නිසැකව ම කිව නොහැක. වන් ඇක්ට් ප්ලේ හෝ ස්කිට් කියා කීම වඩාත් යෝග්‍යවේ යැයි සිතමි.
එසේ වුවද, නිසැකවම කිව හැකි එක් කරුණක් නම් ඉන් මුල් නාට්‍යයේ එන ජවනිකා දෙකම මා ඊට වසර පහකට පෙර නැරඹූ පාසල් කෙටි නාට්‍යයක ජවනිකාවකින් සොරා ගත් සංකල්පයක් මත පදනම් වූ බවයි!
ඒ පාසල් නාට්‍යය වූයේ 1976 දී පමණ මා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ ඉගෙන ගත් කාලයේ ලොකු පන්තිවල සිසුවෙකු වූ උපතිස්ස බාලසූරිය ලියා අධ්‍යක්‍ෂණය කළ,
ජැක්සන් ඇන්තනි, කුමාරි මුණසිංහ, උපතිස්ස බාලසූරිය සහ තවත් මට නමින් අමතක නළුවන් කිහිප දෙනෙකු රඟ පෑ කෙටි නාට්‍යයකි.
මේ නාට්‍යය ඉදිරිපත් කළ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නාට්‍ය තරගාවලියේ පූර්ව අවසාන වටය නැරඹීමට නැරඹීමට
පාසලේ නතර වී මට සිදු වූ ඇබැද්දිය ගැන මා මින් පෙර දිනයක ලියා ඇත.
ඒ නාට්‍යයේ කතා වස්තුව මගේ මතකයේ හැටියට කෙටියෙන් මෙසේ ය.
පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් සහ මවගෙන් පමණක් සමන්විත පවුලකි. මේ දුප්පත් පවුලේ අම්මා කුමාරි මුණසිංහ ය. අම්මාගේ සහ මල්ලී ගේ උපදෙස්, ආයාචනා නොතකා දුසිරිතට යොමුවෙන අයියා රංජිත් නමැති නළුවෙකි. පවුලේ හොඳ ළමයා වූ මල්ලී ගේ චරිතය රඟපෑවේ, නාට්‍ය පිටපත රචනාකර එය නිෂ්පාදනය කළ උපතිස්ස බාලසූරිය යි.
මේ නාට්‍යයේ ආ දෙබස් අතරින් එක් ඛණ්ඩයක් පමණක්, වසර හතළිහකට පසුව ද මගේ මතකයේ ඇත.
තම වැඩිමල් සොහොයුරාට, හිතන්න කෝ අයියේ, දැන්වත් හැදෙන්නකෝ ආකාරයේ උපදෙස් දෙන මල්ලී අමතා අයියා මෙසේ කියයි.
"උඹ මොනවද මිනිහෝ මං ගැන දන්නේ? උඹ මොනවද මිනිහෝ මං තරම් ලෝකෙ ගැන දන්නේ?"
උපදෙස් නොතකන අයියා ජීවිතයේ අඳුරු අගාධයකට වැටෙන ආකාරය නාට්‍යයේ නිරූපණය කෙරුණේ යක්‍ෂයන් සිව් දෙනෙක් හූ තියාගෙන හතර පැත්තෙන් කඩා පැන, වියරු සිනා නගමින් වැඩිමහල් සොහොයුරාව ගොදුරු කරගන්නා භයානක දර්ශනයකිනි.
ඒ එක් යක්‍ෂයෙකුගේ චරිතය රඟපෑවේ, පසු කලෙක බෙර හඬ නාට්‍යයේ ද යක්‍ෂ චරිතයක් රඟ පෑ, ජැක්සන් ඇන්තනි ය.
ඒ යක්‍ෂයින් හතර දෙනාගෙන් කිසියම් විෂ ඝෝර බලවේග හතරක් නිරූපණය කෙරුණේ ද යන්න මට නිවරැදිව මතක නැත. එසේ ම, අද කවුරුත් හොඳින් දන්නා මත් කුඩු වැනි දේ ගැන මා නම් එකල අසා තිබුණේ ද නැත.
කෙසේ වෙතත්, මා විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී ලියා නිෂ්පාදනය කළ කෙටි නාට්‍යයේ ජවනිකාවකට ඒ යක්‍ෂයින් සිව් දෙනා වේදිකාවේ හතර දෙසින් කඩා පනින දර්ශනය උපයෝගී කර ගත්තෙමි.
මගේ නාට්‍යයේ පිටපත සැකෙවින් මෙසේ විය.
උසස් පෙළ අසමත්ව උකටලීව "විශ්ව විද්‍යාලයට යන්න කොතරම් කැමැත්ත තිබුණත්, මට නම් ආපහු උසස් පෙළ විභාගෙ කරන්න බැරියෝ!" යනුවෙන් වේදිකාව මත කොලුවෙකු මරහඬ තලන දර්ශනයකින් නාට්‍යය ඇරඹේ.
ඔහු ගේ සහයට වේදිකාව දෙපසින් දෙවියන් දෙදෙනෙකු මතු වේ. එක දෙවියෙකු "අධිෂ්ඨානය" නම් වෙන අතර අනෙකා "ධෛර්යය" නම් වේ.
මේ දෙවියන් දෙදෙනා ගෙන් අධිෂ්ඨානය සහ ධෛර්ය ලබන කොලුවා ඒ අත් වැලේ පිහිටෙන් නැගී සිටියි. තිදෙනාම වේදිකාව මත වටයක් කැරකී ඉනික්බිති පිවිසෙන්නේ විශ්ව විද්‍යාලයට ය.
එහි ළඟාවෙත්ම හතර අතින් කඩා පනින යක්‍ෂයින් හතර දෙනෙකු ගේ තර්ජන හමුවේ බියවෙන දෙවිවරු දෙදෙනා පලා යන අතර, කොලුවා යකුන්ට බිය වී බිම ඇද වැටේ. දර්ශනය අවසාන වෙන්නේ, යක්‍ෂයින් සිව් දෙනා විසින් කොලුවාව ගිල ගැනීමෙනි.
යක්‍ෂයින් හතර දෙනා නම් කෙරුණේ කැන්ටින් යකා, කෝස්වර්ක් යකා, හෝල් යකා සහ කඩු යකා යනුවෙන් පළමු වසරේ සිසුන් වූ අපට මුහුණ පාන්නට සිදුවී තිබුණු විවිධ කරදර කම්කටොලු නිරූපණය කිරීමට ය.
නාට්‍යය පිටපත ලියා අධ්‍යක්‍ෂණය කළ මා රඟපෑවේ අධිෂ්ඨානය නම් දේයියා ගේ භූමිකාවයි. අනෙත් දෙයියා ලෙස පසු කලෙක ගායකයෙකු ලෙස රටේ ජනප්‍ර්‍රිය වුණු සමන් ජයනාත් ජිනදාස රඟපෑවේ ය. ශිෂ්‍යයාගේ චරිතය රඟපෑවේ පියතිස්ස බණ්ඩාර තෙන්නකෝන් ය.
යකුන් හතර දෙනාගෙන් කැන්ටින් යකා, කෝස්වර්ක් යකා සහ හෝල් යකා ලෙස රඟපෑවේ කවුදැයි අද මට අමතකව වී ගොස් ඇති නමුත් කඩු යකා ලෙස සුමනරත්න බණ්ඩාර වෑත්තෑවේ රඟ පෑ බව නම් හොඳින් මතකය.
මේ නාට්‍යය රඟ දැක්වීම පිළිබඳව මගේ මතකයේ ඇති තවත් කරුණු දෙකක් වේ.
කඩු යකා ගේ චරිතය රඟ පාන්නට වෑත්තෑවේ තෝරා ගැනුණේ ඔහු අප අතර සිටි කඩු කාරයා වීම නිසා ය. අප ඉංජිනේරු පීඨයට ගිය මුල් දිනයේ ම පැවැත්වුණු ඉංග්ලිෂ් පරීක්‍ෂණයෙන් සමත්වී ඉංග්ලිෂ් පන්තිවලින් නිදහස් කරනු ලැබූ අතළොස්සක් දෙනාගෙන් වෑත්තෑවේ එක් අයෙකි.
කඩු යකාගේ චරිතයට සිංහල මෙන්ම ඉංග්ලිෂ් දෙබසක් ද ඇතුළත් වී තිබුණි.
පීඨයේ කටයුතු වලදී කළ යුතු, කඩුව භාවිතය ගැන නවක ශිෂ්‍යයා බිය ගන්වන වැකි ගණනාවක් කියා අවසානයේ උඹ දැනගනින් මිනිහෝ මම තමයි කඩු යකා. අයෑම් ද ඩෙවිල් ඔෆ් ඉංග්ලිෂ් යැයි පිටපත ලියවී තිබුණි.
අප නාට්‍යය පුරුදු වුණු කිහිප වතාවෙන් දෙතුන් සැරයක ම, වෑත්තෑවේට ඒ අවසාන වැකිය කියවුණේ අයෑම් ද ඩෙවිල් ඔෆ් ඉංග්ලිෂ් කියා නොව අයෑම් ද ඩීන් ඔෆ් ඉංජිනියරිං කියා ය!
වේදිකාවේ දී ද එලෙස කියවෙතැයි මා බිය වී සිටිය ද, වාසනාවකට මෙන් වෑත්තෑවේ ජාම් බේරා ගත්තේ ය.
මගේ මතකයේ රැඳී ඇති දෙවන සිදුවීම නම් මෙයයි.
හත් දෙනෙකුගෙන් යුතු අප නාට්‍ය කණ්ඩායම අපේ වාරය එනතුරු වේදිකාව පිටුපස පසෙකින් ඇති කාමරයේ සිටියදී, එදා නිවේදක කටයුතු ද කළ, නවකයින් පිළිගැනීමේ උත්සවයේ ප්‍රසංගය සංවිධානය කළ ඉංජිනේරු පීඨ කලා කවයේ සභාපති තනතුර දැරූ තුන්වෙනි වසරේ ජ්‍යෙෂ්ඨයෙකු වූ හෙන්රි වර්ණකුලසූරිය වෙතට ගිය මම අපේ නාට්‍ය කණ්ඩායමේ නළුවන් ගේ නම් ලයිස්තුව ලබා දෙන්නට සැරසුණෙමි. ඒ අපේ අංගය හැඳින්වීමේ දී නිවේදනය විස්තර කරන්නයි.
නම් අනව්‍යයි කියා එවේලේ කී නමුත් අපේ අංගය ඉදිරිපත් කිරීමේ දී හෙන්රි මෙසේ කීවේ ය.
"දැන් මෙන්න රසික හරිශ්චන්ද්‍ර සොයුරා ප්‍රමුඛ පළමු වසරේ සිසුන් සමග ඉදිරිපත් කරන නාට්‍යය."
"අපේ කොල්ලෝ එක්ක නාට්‍යයක් කරලා, උඹ හෙන්රියට කියලා උඹේ නම විතරක් කියවා ගත්තා නේද?" කියා ඊළඟ සතියේ මා මිතුරු විජේදාස කෝණාරගෙන් චෝදනාවක් එල්ල වූ විට, නිහඬව සිටීම හැර මට කළ හැකි වෙනත් දෙයක් නොතිබුණි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
සිනුවර සිංහල කෙටි නාට්‍ය උළෙල සාර්ථක තුන්වෙනි වරට ඔක්තෝබර් 15 සෙනසුරාදා ඩියුරල් හි දී පැවැත්වේ.
සැමට සාදර ආරාධනා!