Showing posts with label සිඩ්නි නගරය. Show all posts
Showing posts with label සිඩ්නි නගරය. Show all posts

Saturday, 10 November 2018

දොරට වැඩුම් සම්ප්‍රදාය - A benchmark and a template for book launch ceremonies


නවකතාවක්, කෙටිකතා එකතුවක් හෝ ගීත සමුච්චයක් වැනි නිර්මාණයක් රසික ප්‍රජාවට ඉදිරිපත් කිරීම සඳහා දෙරට වැඩුම් උත්සව පැවැත්වීම අද ලංකාවේ මෙන්ම අප වසන ඕස්ට්‍රේලියාවේ ද සම්ප්‍රදාය වී ඇත.

මෙවැනි උත්සවයක සාමාන්‍ය වැඩ පිළිවෙළ වන්නේ සිංහල චාරිත්‍රානුකූලව පහන් දැල්වීමෙන් කටයුතු අරඹා, කෘතියේ පිටපතක් විශේෂ ආරාධිතයෙකුට පිළිගන්වා, ඉනික්බිති, කෘතිය පිළිබඳව සහ එහි නිර්මාතෘ පිළිබඳව කතා කීපයක් පැවැත්වීමයි. අවසානයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වෙන අතර අවශ්‍ය අයට අදාළ කෘතිය මිල දී ගැනීමේ අවස්ථාව ලැබේ.

උත්සවයක් ආරම්භයේ පහනක් දැල්වීමේ මූලාරම්භක හේතු කුමක් වුවද, අද පවතින පිළිගැනීම අනුව ඉන් අදහස් කරනුයේ මෝහන්ධකාරය දුරු වී ඥානාලෝකය පැතිරේවා යන්න යැයි සිතමි.

ටවුමේ මාළු මාකට් එක අසල ගොඩ නැගෙන වෙසක් තොරණ රාජයා ගේ විදුලි බුබුළු දල්වා විවෘත කිරීමේදී මෙන්ම නිර්මාණයක් දොරට වැඩීමේදී ද පහන් දැල්වීම සඳහා ප්‍රභූවරුන් ට ආරාධනා කිරීම අපේ සිරිතයි. මේ අනුව යමින් අද ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන දොරට වැඩුම් උත්සවවලදී කොන්සල්වරුන්, සංගම් සභාපතිවරුන් මෙන්ම නිර්මාණකරුවා ගේ ජීවන ගමන හැඩ කළ විවිධ පුද්ගලයෝ ද පහන් දැල්වීම සඳහා ආරාධනා ලබති.

ප්‍රශ්නය ඇතිවන්නේ නිර්මාණය දොරට වැඩුම සනිටුහන් කරමින් එහි පිටපතක් පිළිගැන්වීමේ දී ය. උත්සවයට ගාම්භීරත්වයක් එක් කිරීම සඳහා ඉහළ නිලධාරියෙකුට ආරාධනා කර ඔහු හෝ ඇය ලවා සම්ප්‍රදායානුකූලව පහන් දල්වා උත්සවය ආරම්භ කොට ඇත. ඉන්පසු, උත්සව සංවිධාකයන් නිරුත්සාහයෙන් ම සැලසුම් කරන්නේ මේ ආරාධිතයාටම මුල් පිටපත පිළිගන්වා කෘතිය දොරට වැඩුම සනිටුහන් කිරීමටයි.

මගුල් මේස, මාළු කඬේ තොරණ යනාදිය විවෘත කිරීමට ප්‍රභූවරයෙකුට හෙවත් යමක් කමක් ඇති ලොක්කෙකුට ආරාධනා කරන්නේ ඒ සඳහා වැඩි මුදලක සම්මාදමක් ලබා ගැනීමටයි. ග්‍රන්ථයක් දොරට වැඩීමේ උත්සවයක දී එහි පිටපතක් මෙලෙස ලබා දෙන්නේ මා දන්නා පරිදි නොමිලේ ය. එය ලේඛකයාට සිදුකරන්නේ ඩොලර් දහයක පමණ ආවස්ථිත පිරිවැයක් හෝ ඇත්ත වශයෙන්ම සලකතොත් පාඩුවකි. එම නොමිලයේ දෙන පිටපතේ පිරිවැය ද දරන්නේ උත්සවය අවසානයේ දී නියමිත මුදල ගෙවා පිටපත් ලබා ගන්නා පිරිස යැයි ද සැලකිය හැක.

ඒ කරුණු කෙසේ වුවද, නිර්මාණයක පිටපතක් රාජ්‍යතන්ත්‍රය නියෝජනය කරන නිලධාරියෙකුට පිරිනැමීම වනාහී ඒ නිර්මාණයේ අගය අඩු කරවන්නක් බව මගේ අදහසයි. ඇත්ත වශයෙන්ම මෙවැනි අවස්ථා දකින්නට ලැබීම තබා ඒ ගැන අසන්නට ලැබීම පවා උපදවන්නේ පිළිකුල් සිතුවිලි ය. එයට හේතුව කිසිසේත්ම මෙලෙස පිලිගැන්වීම් ලබන්නන් ගේ පෞද්ගලික අඩු ලූහුඬුකමක් නොව ඔවුන් නියෝජනය කරන්නේ කවරක්ද යන්න පිළිබඳ ප්‍රශ්නයකි.

ඕස්ට්‍රේලියාවේ සිංහල ගුවන් විදුලි නාලිකාවකින් ප්‍රචාරය කෙරුණු සාකච්ඡාවක (2011) එක කොටසකදී ඉතා බුද්ධිමත්, උගත් යැයි මට නිසැකවම වැටහුණු පුද්ගලයෙක් තමන් ලියූ ග්‍රන්ථ දෙකක් පිළිබඳව සඳහන් කළේය. මෙහිදී එහි අන්තර්ගතය හෝ කෘතියේ තත්කාලීන වැදගත්කම ගැන කතාකරනවාට වඩා ඉතා වැඩි යැයි මට හැඟුණු උනන්දුවකින් සඳහන් කෙරුණේ, දොරට වැඩීමේ උත්සවයට පැමිණ එහි මුල් පිටපතෙන් පිදුම් ලද ලාංකික මැර දේශපාලඥයෙකු ගැන සහ සුපිරි දේශපාලන ආර්යාවක ගැනයි.

මේ හාස්‍යජනක මෙන්ම කනගාටුදායක තත්වය පිටු දකිමින් පසුගිය සිව් වසර (2008-2011) තුළ සිඩ්නි නුවරදී පැවැත්වුණු නිර්මාණ එළිදැක්වීමේ උළෙල හතරක් මගේ මතකයට එයි.

මින් අවස්ථා දෙකකදී ම මුල් පිටපත් පිළිගැන්වුයේ එම කෘතිවල සංස්කාරකවරුන් විසින් කෘති ප්‍රකාශනය කළ සිංහල සංස්කෘතික හමුව නියෝජනය කළ සභාපතිවරුන්ට ය.

තිසල් පාදුක්ක විදාන ළමා ගායකයා තම සංයුක්ත තැටියේ මුල් පිටපත ඔහුගේ දෙමව්පියන්ට පිළිගන්වා දණ ගසා වැඳි දර්ශනය එහි රැස්වූ සැම ගේ නෙතට කඳුළක් නැංවූ දසුනක් විය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු තමන්ගේ පරමේෂ්වරී සහ වෙනමු රටක් කෙටිකතා පොතේ මුල් පිටපත මුල් කාලයේ සිටම තම නිර්මාණ අගය කළ රසිකයෙකුට ද, ටොමියා සිඩ්නි ගියා ළමා කතා පොතේ මුල් පිටපත තම ආදර දියණියට ද පිළිගැන්වීය.

මේ සියලු කරුණු මට නැවත සිහිවූයේ පසුගිය 2011 ඔක්තෝම්බරයේ දී සිඩ්නි නගරයේ පැවැත්වුණු මෛත්‍රී පනාගොඩ ගේ ගී පදමාලා ඇතුළත් ”සුදු වැලි” සංයුක්ත තැටිය දොරට වැඩීමේ උලෙළේ දී ය. ඒ උත්සවය වනාහී මෙවැනි කෘතියක් එළි දැක්වීමේ අවස්ථාවක තිබිය යුතු ගරුත්වය, නැවුම්බව, ප්‍රශස්තබව මෙන්ම හරවත්බව ද කැටිකොට ගත් සම්භාව්‍ය ගණයේ උත්සවයක් වූ බව නොපැකිලව පැවසිය හැක.

උත්සවය ආරම්භ කෙරුණේ, ජයමංගල ගාථා හඬ පරිසරය සන්සුන් කරමින් විසිරී යද්දී ශාලාව හරහා ගාම්භීර ගමනින් වේදිකාව බලා ගමන් ගත් දැල්වූ පහන් අත දැරූ කුඩා දැරිවියන් පිරිසක් ඉනික්බිති ඇරඹුණු මගුල් බෙර හා සක් නද හඬ මැද වේදිකාවේ සකසා තිබූ සම්ප්‍රදානුකූල පහන දැල්වීමෙනි. එය මා ලද නවමු අත්දැකීමක් විය.

දොරට වැඩුණු සංයුක්ත තැටිය නාමමාත්‍රිකව පිළිගැන්වුණේ පනාගොඩ පවුලේ ලාබාලම සාමාජිකයා වූ දෙසති වයසැති මුනුබුරා වෙතයි. එය අතීතයෙන් අනාගතයට කෙරෙන අපූරු දායාදයක් සනිටුහන් කළේය.

සංයුක්ත තැටියේ අඩංගු ගීත සමුච්චයෙන් විශාල සංඛ්‍යාවක් සජීවීව ද, රූගත කරණ ලද්දාවූ දර්ශන ආධාරයෙන් ද ඉදිරිපත් කෙරුණු අතර ඒ සඳහා කළ හැඳින්වීම් මෙන්ම මුළු උත්සවයේ ම විස්තර කථනය අති විශිෂ්ට මට්ටමේ භාෂා රචනාවෙන් අලංකෘත වී තිබුණි.

මේ ගීත මාලාවෙන් බහුතරය මින් දශක හතරකට ඈත අතීතයක දී නිමවුණු සදාහරිත ගී වූ හෙයින් රචකයාගේ ජීවිතයේ මුල් කාලයේ විවිධ අවස්ථා නිරූපණය වූ රූප රාමු පෙළ ඒ හා අපූරුවට ගැළපුණි.

අකුරට සැලසුම් කොට සිදු කෙරුණු උත්සව කළමනාකරණය ද මොනවට කැපී පෙනුණි.

අවසාන වශයෙන් කිව යුත්තේ දොරට වැඩීමේ උත්සවයක් පැවැත්විය යුත්තේ කොයි ආකාරයෙන් ද යන්න පිළිබඳව අගනා මිනුම් ලකුණක් (බෙන්ච්මාක්) මෙන්ම අච්චුවක් (ටෙම්ප්ලේට්) ද එදා සිට සිනුවරවාසී අප සතුව ඇති බවයි!

-රසික සූරියආරච්චි

ප/ලි:
මෙම ලිපිය 2011 නොවැම්බරයේ දී ලියූ එකකි. සන්නස සඟරාවේ 2011 දෙසැම්බර් කලාපයේ පළවිය. හෙට සිනුවර දී පැවැත්වෙන "ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ දොරට වැඩීමේ උත්සවය සඳහා සූදානම් වෙද්දී සිහිපත් වී නැවත පළ කරන්නට සිත්විය.

(image: Roy Gunaratne)

Tuesday, 6 November 2018

"ඔසී රටේ අපේ කතා" කෘතියේ සිනුවර දොරට වැඩුම - All are invited


ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද කෙටිකතා විසිතුනකින් සමන්විත "ඔසී රටේ අපේ කතා" කෘතියේ සිනුවර දොරට වැඩුම 2018 නොවැම්බර් 11 වෙනිදා, ඉරිදා, සවස 230 ට සිනුවර තදාසන්නයේ කෙලිවිල් හි රයිට්ස් රෝඩ් ප්‍රජා ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.

සරසවි ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ දී 2018 ජූලි මාසයේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ මෙම කෘතිය ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පානය කරනු ලැබූ මේ ග්‍රන්ථයේ ශ්‍රී ලංකාවේ දොරට වැඩුම 2018 අගෝස්තු මස දාහත්වෙනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණි.

ඉරිදා පැවැත්වෙන උත්සවය පිළිබඳ මම ඊයේ සිනුවර 99.9 FM ඔස්සේ ප්‍රචාරය වෙන "විදුර" සිංහල ගුවන් විදුලි වැඩසටහනට සහභාගී වීමි.

එහි ෆෙස්බුක් සජීවී විකාශයෙන් උපුටාගත් වීඩියෝවක් දැන් ඔබට නැරඹිය හැකි ය.



සිනුවර වසන ඔබ සැමට සිනුවර වසන ඔබ සැමට 2018 නොවැම්බර් 11 වෙනිදා, ඉරිදා, සවස 230 ට සිනුවර තදාසන්නයේ කෙලිවිල් හි රයිට්ස් රෝඩ් ප්‍රජා ශාලාවේ දී පැවැත්වෙන දොරට වැඩුමට සහභාගී වෙන ලෙස සාදරයෙන් ආරාධනා කරමි.

රසික සූරියආරච්චි

ප/ලි:
මේ ග්‍රන්ථයේ ඇතුළත් කෙටිකතා සහ ඒවායේ රචකයින් මෙසේ ය.

රමේෂ් - ප්‍රියන්ත ෆොන්සේකා
මානව හිතවාදියා - සමන් දිසානායක
පුත්‍ර ස්නේහය - දීපිකා ශ්‍රියානි සුන්ද්‍රාවඩුගේ
මීනා - පුෂ්පා සූරියආරච්චි
කතුර - නිහාල් රූපසිංහ
අවුරුදු නැකත - පාලිත ගනේවත්ත
ඩොලර් දෙකේ සන්තෝෂය - රසික සූරියආරච්චි
දෛවයෝගයක් - ඥානතිලක හේවාගමගේ
වාසනාවන්තයෝ - ෂෙල්ටන් පීරිස්
සිඳුණු පියාපත් - ෂාමලින් පෙරේරා
සුරතල්ලූ - ශ්‍යාමා රත්නායක
රියදුරු බලපත්‍රය - මොරගොඩ මලියසේන
දරු මුණුපුරෝ - රෝස් ගුණසේකර
මිණි කැට සහ මුතු ඇට - ජයන්ත ඈපා
ඕස්ට්‍රේලියාව, "රටගාය" හා අප - දිලිනි ඊරියවල
මෝන් සහ ඩූන් - මලී දිසානායක
අයි කේම් ෆ්‍රොම් ශ්‍රී ලංකා - දුමින්ද ගමගේ
ඉරණම - උපේකා පීරිස්
ජන්මාන්තර වෛරක්කාරයා - රසෝමි මුදලිගේ (පරිවර්තනය නිහාල් රූපසිංහ)
සිනහව අතරින් - පියසේන පියසිරි
චෙරි - පූර්ණිමා ජයතිස්ස
ජීවයට ජීවය - කරුණාසේන කහටපිටිය
උපැස් යුවලක් අතරින් - ලලිත් ලොකුකුරුප්පුආරච්චි

"ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ පිටු 250 කි. සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. සරසවි පොත්හල ශාඛාවලින් 20% වට්ටම් සහිතව ලබාගත හැක.

ප/ප/ලි:
අපේ සිංහල සංස්කෘතික හමුව හමුව මගින් මින් පෙර සම්පාදනය කරන ලද ග්‍රන්ථ මෙසේ ය.

තිරස තරණ - ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ සිංහල කෙටිකතා එකතුව (2007) - දයාවංශ ජයකොඩි සමාගම
දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය (2010) - දයාවංශ ජයකොඩි සමාගම

(image: designed by Deepal de Silva)

Monday, 5 March 2018

ආපසු ආ දෙයියා - Return of the god myth


කිහිප වාරයක් ම පට්ට ගැසූ මාතෘකාවක් ගැන නැවත ලියමින් හේමන්ත සෘතුවේ වැඩ අල්ලන්නට සිතුණේ කාරණා දෙකක් නිසා ය. එකක් උණු උණු අත්දැකීමකි. අනෙක දශක දෙකක් පැරණි මතකයකි.

අද උදෑසන මා දුම්රිය පොළේ බංකුවක වාඩි වී ලැප්ටොපය සමග පොර බදිමින් සිටිය දී එතැනට පැමිණ ඒ බංකුවේ ම අසුන් ගත් තරුණ කාන්තාවක් මගෙන් ශත පනහක් ඉල්ලුවා ය. සාමාන්‍යයෙන් මෙවැනි පුද්ගලයින් ඉල්ලන්නේ ඩොලරයකි, නැතිනම් දෙකකි. නැතිනම්, ගණනක් නොකියා මාරු කාසි ය.

මා හරියටම ශත පනහක් ඇයට ලබා දුන් පසු ඇයගේ මුවින් පිටවුණේ "ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" යන වැකියයි.

"මං ඔය දෙයියා විශ්වාස කරන එකෙක් නොවේ. ඔබත් ඔය අදහස අතහැර ගත්තා නම් හොඳයි නේද?" යන වදන් මගේ මුවට ආවත්, මා මද සිනහවක් පා නිහඩව ම සිටියේ, නූගත්, බොහෝ විට "මන්ද මානසික"* තත්වයක සිටින (ප/ප/ලි සටහන කියවන්න!) ඒ කාන්තාවට මගේ අදහස්වලින් පලක් නොවේ යැයි වැටහුණු නිසා ය.

ඇය ද ඉන්පසු නිහඬවම සිට පසුව පැමිණි දුම්රියකට නැග කොහේදෝ ගියා ය.

මට පසුව සිතුණේ, ඇය මුදල් ඉල්ලීමට කලින් දෙයියා ගැන ඒ සඳහන කළා නම්, මා ඇයට මුදලින් උපකාරයක් නොකර සිටින්නට ඉඩ තිබුණු බවයි.

ඒ සමගම මගේ සිහියට නැගුණේ මීට වසර විස්සකටත් එපිට අත්දැකීමකි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිට බොරැල්ලට බසයකින් විත්, බොරැල්ලෙන් ඇතුල්කෝට්ටේ බසයකින් නිවස බලා යන කාලයක් මට තිබුණි.

බොරැල්ලේ බස් නැවතුම් පොළේ නවතා තිබෙන බස් රථවල දී, ළමුන්ට කිරිපිටි සොයන්නන්, බෙහෙත් ගැනීමට, ශල්‍යකර්මවලට මුදල් සොයන්නන්, කවිකාරයින්, විරිදුකාරයින්, සින්දුකාරයින් යනා දී විවිධාකාරයේ හිඟන්නන් අපට මුණ ගැසේ. අතේ තිබෙන අයුරින් යම් මුදලක් ඒ අයට දීම මගේ සිරිතක් විය.

ඒ නමුත්, ඒ පිරිස අතරින් කලාතුරකින් හමුවුණු එක් අයෙකුට නම් මුදල් දීමට කවදාක හෝ මගේ සිත මට ඉඩ නොදුන්නේ ය.

ඒ පුද්ගලයා තරුණයෙකි, යම් කිසි ශරීරාභාධයක් තිබුණු අයෙකි. ඒ කෙසේ වෙතත්, ඔහු බසයට නැගි විට ම කරන්නේ බසයේ සිටින අයට දෙයි මෑණියන්ගේ ද, සර්වබලධාරී දෙයියා ගේ ද පිහිට පැතීමයි. අපෙන් මුදල් ඉල්ලන්නේ අපට ඒ දෙයි මෑණියන්ගේ ද, සර්වබලධාරී දෙයියා ගේ ද පිහිට අපට ලබා දීමටයි.

ඒ පුද්ගලයාගේ යාදින්න ඇසෙන හැම විටක ම "පිහිටාරක්‍ෂාව දීමට දෙයි මෑණියෙකු ද, සර්වබලධාරී දෙයියෙකු ද සිටීනම් කවර ස්ත්‍රී ලිංගයකට මූ අපෙන් සල්ලි ඉල්ලන්නේ ද?" යන අකාරුණික සිතුවිල්ල මගේ සිතට නැගුණු නිසා, මට කිසි දිනෙක ඔහුට මුදලින් උපකාරයක් කිරීමට නොහැකි විය.

මිනිසා, මිනිසෙකු ලෙස නැවත උපත ලබන්නේ තමන් විසින් මවන ලද මුත්, තමන්ව මැවූවා යැයි තමන් සිතන මේ මැවුම්කාර දෙයියාව තමන් ම මරා දමන දිනයේ දී යැයි මම සිතමි.

එසේම, මිනිසා තමන්ව තමන් ම පාලනය කර ගැනීම නිවැරදිව කරන්නේ තමන් ද, තමන් වෙසෙන ලොව ද පාලනය කරනවා යැයි තමන් විශ්වාස කරන ඒ මිථ්‍යා දෙයියන් පිරිස ඇදහීම සිතෙන් බැහැර කළ දිනයේ දී යැයි ද මම සිතමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දෙයියලා ගැන ලියා ඇති ලිපි-
  1. සිඩ්නි නගරයේ ප්‍රාණ ඇපකරු සිද්ධියෙන් මතු වූ අප්‍රසන්න දෙයක් - Sydney siege and our greatest weakness
    https://rasikalogy.blogspot.com/2014/12/sydney-siege-and-our-greatest-weakness.html
  2. මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!
    https://rasikalogy.blogspot.com/2015/02/thirupathi-worshiping-yuk.html
  3. ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? - Our politicians and their foolishness
    https://rasikalogy.blogspot.com/2015/03/our-politicians-and-their.html
  4. මගෙ දෙයියා සහ උඹේ දෙයියා! - Synthetic God
    https://rasikalogy.blogspot.com/2016/08/synthetic-god.html
  5. ගංගොඩවිල සෝම සහ දෙයියෝ - Once upon a time
    https://rasikalogy.blogspot.com/2016/08/once-upon-time.html

ප/ප/ලි:
මා මෙහි දී ඒ කාන්තාව හැඳින්වීමට "මන්ද මානසික" කියා කීවේ ඇගේ දේව භක්තිය නිසා හෝ පුරුද්ද නිසා හෝ ගෝඩ් බ්ලෙස් යූ යැයි කීම හේතුවෙන් නොවේ. වසර විසි දෙක හමාරක අත්දැකීමෙන් දන්නා පරිදි, නිසි සමාජ සුබසාධන වැඩ පිළිවෙලක් ඇති (රැකියාවක් සොයන තරුණ අයෙකුට සතියකට ඩොලර් 280 පමණ දීමනාවක් රජයෙන් ලැබේ!) මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මේ ආකාරයට සිඟමන් යදින්නේ මානසික ආබාධ ඇති අය නිසා ය.

(image: http://jonathanmerritt.com/wp-content/uploads/2014/03/God.jpg)

Monday, 6 November 2017

ෂොපින් සෙන්ටරයේ දී ය - Kuch Kuch Nahee Hota Hai


ජිවීතයේ විවිධ වකවානුවල අපට සතුටක් ලැබෙන්නේ වින්දනයක් ලැබෙන්නේ විවිධාකාර දේ නිමිති කොට ගෙන ය. උදාහරණයක් ලෙස අප කුඩා කාලයේ සඳ දැක, සමනලුන් දැක, දේදුනු දැක සතුටු වූයෙමු. තරුණ කාලයේ අප සතුටු වූයේ ඒ දේවලින් නොව වෙනත් ආකාරයේ, එනම් සඳමාලී, සමනලී සහ දේදුනු වැනි සිත, නෙත පිනවල දසුන්වලිනි.

අප තරුණ කාලයේ දැක සතුටු වූ සමහර දේ පිළිබඳව වයසට ගිය පසු අපට සිතෙනු ඇත්තේ ඒවා විසූක දස්සන කියා වීමට බොහෝ ඉඩ ඇත.

තරුණ කාලයේ නෙතට ලැබුණු දසුනකින් අපට ලැබුණු හැඟුමක්, වින්දනයක්, පසුව නොදැනී තිබී නැවතත් එක් දිනයක ලැබුණොත්, එය කෙතරම් අපුරු අත්දැකීමක් වෙනු ඇති ද?

මේ කවිය පසුගිය ජූලි මාසයේ මුල සතියේ මා අතින් ලියවෙන්නට ආසන්නතම හේතුව වූයේ එවැනි සුන්දර නොස්ටැල්ජියානූ අත්දැකීමකි.

එදා ලියවුණු මේ කවිය අද කියවන දුමිදු දොඩම්තැන්න රසිකයින්ට, එහි එන කුහුඹුවන් සහ පායනා කාලයේ වැනි යෙදුම් නිසා, අනවශ්‍ය දේ සිතීමට ඉඩ තිබේ. නමුත් මේ නිර්මාණය පාතාල ලෝකය සමග හෝ චංචනිකයින් සමග හෝ සම්බන්ධකර නොගත යුතු බව තරයේ පවසමි.

නුපුරුදු ය, නුරාගික කිතිකැවුම
ඩොලර් ශත ඇද හැලෙන
ණයපතෙන් මිණි කිකිණි හඬ නැගෙන
පායනා කාලයේ කුහුඹුවන් සැරි සරන
වස්සාන කාලයට ගබඩාව පුරවන්න දේ සොයන
හන්දියේ මහ කඩය මැද මහා දහවලේ, ගිලන් හද කිති කැවිණ
දශක දෙක හමාරක කාලයක අත් නොවිඳි අයුරකින්, සිත නුරාවෙන් පිරිණ

ඉලිප්සාකාර වූ වුවනතක දෙතොල් පට දිග හැරී මද සිනාවක් නැගිණ
පෙළෙන සිත සුව කරන, ගිලන් හද පණ වඩන, අමා ඔසුවක් ලැබිණ
දෙනෙත නෙත, නෙත දෙනෙත, නිමේෂයකට ගැටිණ
විදුලි සර පැන නැගිණ, නෙක රිදී රූ ඇඳිණ
ගත පුරා පියාඹා යනු දැනිණ
ශ්වේතවන් වූ සමනල් රෑන!

-රසිකොලොජිස්ට්


(image: sannasa.com)

Thursday, 24 August 2017

කොහොමද ඉතිං තොරතුරු? - Goss 'bout me!


කොහොමද ඉතිං තොරතුරු?

හොඳයි වරදක් නෑ. රුකියාවේ නම් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් වුණා. ඒවා එක් අතකට ධනාත්මක වෙනස්කම් කියන්න පුළුවනි, නමුත්, ඒ සාපේක්‍ෂකව බැලුවාමයි. ඇත්තට ම නම් කතාව කෙටියෙන් කියන්න පුූළුවන් බැක් ටු ද ෆියුචර් කියලා.

ඒ වුණත්, අගෝස්තු මුල් සතියේ ඉඳලා උදේ ම වැඩට ගිහින් හවස් වෙලා එන්න පටන් ගත්තා. ඒ නිසා ම දෝ, වෙනදා වගේ දුම්රියේ දී පරිගණකය දිග හැරගෙන බ්ලොග් ලිපි ලියන්න හිතුණේ නෑ. ඒ වෙනුවට එක්කෝ කල්පනාවේ ගිලෙමින්, නැතිනම් ජංගම දුරකථනයෙන් මොනවා හරි කියවමින් කාලය ගත කළා.

ඒ අතරතුර, සති අන්තවල දින දෙක තුනක් ම, මගේ තවත් විනෝදාංශයක් වෙන නාට්‍යය කලාව හා සම්බන්ධ කටයුතුවලට ගත කරන්නට සිදුවුණා.

ඒ නාට්‍ය විස්තර පසුව ලියන්නම්.

කාලයක් තිස්සේ නොකඩවා කළ ලිවීම ගැන කියනවා නම්, මෙතැන සඳහන් කළ යුතු එකම වැදගත් සිදුවීම තමයි, මීට මාස දෙක තුනකට කලින් සිදුවුණු සිත තිගැස්සූ එක්තරා සුන්දර අත්දැකීමක් ගැන අමුතුම ආකාරයක ආකෘතියකින් කවියක් මා අතින් ලියවීම. ඊට කලින් මං ලියපු "අවසාන රෝසමල" ගැන කවියට වඩා මං මේ අලුත් කවියට කැමතියි. පසුව දවසක පළ කරන්නම්.

ඒ වෙනුවට මෙන්න පොඩි වාර්තාමය පද්‍ය පේළියක්. මේක නම්, අද උදේ කෝච්චියට නැග්ග ගමන් ලියවුණු එකක්.

කොහොමද ඉතිං තොරතුරු?

එකාකාරී ලෙසින්
ගෙවී ගිය ජීවිතය
නොසිතු ලෙස, ක්‍ෂණයකින් නොපිට පෙරළිලා ඇත
කුසීතව, අලස ලෙස
දිවි ගෙවූ කාලයට
විරාමය තබන්නට නිමේෂය පැමිණ ඇත

ලොකු උපන් දිනට පෙර කරන්නට සිතා සිටි
පොඩි වුණත් සිතට ලොකු ව්‍යාපෘති රාශියකි
එයින් දෙක තුනක්වත් හොඳින් නිම කර ගන්න
මෙවර හෝ හැකි වුණොත් එය කදිම තෑග්ගකි

ඒ වුණත්,

සැම දිනම සිදුවෙනා විලසින් ම
විදුලි දුම්රිය ගමන අවසනට එළැඹුණා
වසා පරිගණකය දුකෙන්
ගමන් මල්ලට දමා නික්මෙන්න සිදුවුණා
කාලයක් පට්ට ගැසු
පරණ ආකෘතියෙන් ම
මේ කවත් ලියන්නට සිදුවුණා!


-රසිකොලොජිස්ට්

(image: Captured at Kingswood Railway Station, NSW, Australia)

Friday, 14 July 2017

අවසාන රෝස මල පිපී ඇත....! - It all begins now


උෂ්ණත්වය ඍණ අගයන්ට නොගිය ද, යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, රුසියාවේ, උතුරු චීනයේ, ජපනායේ මෙන් හිම කඩා නොවැටුන ද, සිඩ්නි නුවර හෙවත් කෙටියෙන් සිනුවර අවට මේ දිනවල ඇත්තේ දැඩි සීතලකි.

නිවසේ ගරාජයේ මගේ අඩ ලට්ට-ලොට්ටවලින් පිරී ඇති නිසා, මා දුම්රිය පොළට යාමට ඒමට භාවිතා කරන වාහනය නවතා ඇත්තේ නිවස ඉදිරිපිට මිදුලේ "ඩ්‍රයිව්-වේ" නමැති කොන්ක්‍රීට් තීරුව මත ය.

උදෑසන ම අවදි වුව ද, කම්මැලිකමින් නිවස තුළ කල් ගෙවා, කාර්යාලයට යන්නට නිවසෙන් පිටතට පැමිණි මා දුටුවේ මේ සීතල සිසිර සෘතුවේ මධ්‍යම කාලයේ ද රතු රෝස මලක් පිපී ඇති ආකාරයයි.

මෙය මේ සීතල සිසිරයේ පිපෙන අවසාන රෝස මල වෙනු ඇත. නැවතත් රෝස මලක් ගෙමිදුලේ දක්නට ලැබෙනුයේ මාස තුන හතරකට පසුව ය.

එනිසා ම, සිතේ ඇති වුණේ සතුට මුසු ප්‍රබෝධයකි. දුම්රියේ දී මේ පහත දැක්වෙන පද පෙළ ලියවුණි. සංස්කරණයක් නොකර, එලෙස ම, පළ කරන්නට ද සිතුණි.

අවසාන රෝස මල පිපී ඇත!

මේ සීත සිසිරයේ
අවසාන රෝස මල
කොළ හැළුණු, කටු පිරුණු
රෝස පඳුරේ කොනක
දුබල අතු රිකිල්ලක
පිපී ඇත!

අවසාන රෝස මල පිපී ඇත!

එකාකාරිව ඔහේ ගෙවී යන ජීවිතේ
මිටට ගත් වැලි පොදකි
සදාකාලික සතුට
කිසි දිනෙක හිරු නොදුටු සිහිනයකි

මහලු හිරු අද සවස
නොමැරුණ ද කම් නැති ය
හෙට උදේ හිරු නැවත
නොආවද කම් නැති ය

උදාසීන ය, රළු ය, ගොළු ය හද
බදා ගත් දුක සමග නිදි ය සිත

ඒ සියලු ගැහැට මැද
රෝස මල පිපී ඇත

අවසාන රෝස මල පිපී ඇත

තුසර බිඳු කෙඳිරිල්ල
අගුළු ලූ සවනතට
කොවුල් නද සිහිවේ ය
වසත් උණුසුම සොයන
විඩාබර සිත වෙතට
සුසුම් වුව සරණකි ය

අවසාන රෝස මල පිපී ඇත


-රසිකොලොජිස්ට්

Tuesday, 27 June 2017

පොඩි කම්මැලිකමක් සිතට ආවාම මොකද කරන්නේ? - Winter blues


හිරු උතුරු අර්ධගෝලය දෙසට වැඩියෙන් සලකන, දකුණු කුරු දිවයිනේ ඉන්නා අපට කුඩම්මාගේ සැලකිලි දක්වන, මේ දිනවල හේමන්තය ගෙවී, සිසිරය උදා වී, සිනුවර අවට පරිසරය සීතල වී ඇත.

අද දිවා කාලයේ උෂ්ණත්වය අංශක දා හත නොඉක්මවනු ඇත. රාත්‍රියේ අවසානය වන විට එය අංශක පහට පමණ අඩුවෙනු ඇත. මේ තත්වය ජූලි මාසයේ අග වන විට තවත් දරුණු වෙනු ඇත. හිම වැටෙන, අයිස් මිදෙන යුරෝපියානු, කැනේඩියානු සිසිර සෘතුවක් සේ සෘණ අන්තයටම නොගිය ද, මෙය අපේ ජීවිතවලට විවිධ අපහසුතා එකතු කරන කාලයකි.

පරිසරයේ සීතලත් සමග මට නම් සිදු වී ඇත්තේ, ජීවිතයට කම්මැලිකමක් එකතු වීමයි.

උදෑසන අවදිවන්නට කම්මැලි ය.

ඇඳෙන් බසින්නට කම්මැලි ය.

නාන කමරයේ වතුර මල යටට යන්නට කම්මැලි ය.

උණුසුම් ජල ධාරාව යටට වී ඉන්නට කම්මැලිකමක් නැතත්, ඉන් ඉවතට එන්නට කම්මැලි ය.

වැඩට යන්නට කම්මැලිය!

කොටින් ම, දැන් සති කිහිපයක සිට මා, කාර්යාලයට ළඟා වූයේ උදෑසන දහයේ හෝරාවටත් පසුව ය.

කාර්යාලයේ සිට ආපසු නිවස කරා පැමිණි පසුවත්, සිත ගත තාවකාලිකව පිනවීමට හැර වෙනත් ප්‍රයෝජනවත් යමක් කිරීමට නොසිතේ.

මේ තත්වයට හේතුව අපේ නිවසේ උෂ්ණත්ව පාලක යන්ත්‍රයේ දෝෂයක් නම් නොවේ. සිසිරය නිසා, ස්වභාවිකව ම, ගතට සිතට වදින සාපයකි.

මේ තත්වයෙන් මිදීමට සිතී අද උදෑසනින් අවදි වී රැකියාව සඳහා පිටව යන්නට සිතුවෙමි.

එලාමය සැකසුවේ නැති වුව ද, සිතූ ආකාරයට පහයි හතළිස් පහට නෙත් හැරුණි. එහෙත්, ඇඳෙන් බැසීමට නම් නොසිතුණි.

ඊළඟට හෝරාව පිරික්සන විට විනාඩි පහළොවක් ගත වී තිබුණි.

යාන්තමින් ඇඳෙන් බැස නාන කාමරට ඇදුණේ හයයි කාලට ය. එය කළ හැකි වූයේ ද, විනාඩි පහෙන් පහට ඔරලෝසුව දෙස බලමින්, සිත දිරිමත් කර ගනිමින් ය.

අවසානයේ හතේ කෝච්චියට නැග මේ සටහන කෙටීම ඇරඹිය හැකි විය.

මේ සියල්ල කීවේ, "සතුටු සිතුවිලි" නම් අලුත් බ්ලොගයක් හඳුන්වා දීමටයි.

සතුටු සිතුවිලි :: http://sathutusithuvili.blogspot.com/

මෙය දිගු සටහන් පළවෙන බ්ලොගයක් නොවේ.

විවිධ පුද්ගලයින් විසින් පවසන ලද, අපේ කම්මැලි සිත් දිරිමත් කර ගන්නට උදව් වෙතැයි සිතන, කෙටි ප්‍රකාශන ඇතුළත් එකකි.

ඇරඹූ දින සිට දිනපතා එක් වැකියක් බැගින් සතුටු සිතුවිලි බ්ලොගයේ පළ වී ඇති අතර, එය දිගටම නිතිපතා යාවත්කාලීන වෙනු ඇතැයි සිතමි.

-රසිකොලොජිස්ට්

Friday, 12 May 2017

450. ඉඳිආප්ප ගෑරුප්පුවෙන් කෑවෙමි - String hoppers from Toongabie



ඉතිං අපට පාං ද කියා අසන්නට එපා!

මේ පාන් නොව ඉඳිආප්ප කෑමකි.

සිඩ්නි බටහිර තදාසන්න ප්‍රදේශවල වෙසෙන අයට ඉඳිආප්ප, ආප්ප, කොත්තු, පිට්ටු, රොටී යනාදිය ද, ලංකාවේ ක්‍රමයට සාදන ලද බත් මාළුපිනි යනාදිය ද ලබා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා යා යුතු හොඳම නගරය ටූන්ගැබී යැයි සිතමි.

මගේ නිවස පිහිටා ඇති ග්ලේන්මෝ පාර්ක් නම් සුන්දර ගම්මානයේ සිට ටූන්ගැබී කඩමණ්ඩියට දුර කිලෝමීටර් 30 ක් පමණ වෙතත්, සිඩ්නි සිට බටහිරට දිවෙන අධිවේගී මාර්ගය ද භාවිතා කළ හැකි නිසා ඒ දුර සති අන්තයේ දිනවල අඩ පැයකින් පමණ තරණය කළ හැක.

මා සම්බන්ධ වී ඇති නාට්‍ය වැඩමුළුවක් සහ වෙනත් කලාබර වැඩ නිසා මේ දිනවලට මසකට වරක් හෝ දෙකක් ටූන්ගැබී යාමට මට සිදුවේ. එයට හේතුව ඒ නගරයේ පිහිටා ඇති ප්‍රජා මධ්‍යස්ථානයේ ඇති ශාලා අපේ කර්තව්‍යයන් සඳහා නගර සභාවට මුදල් ගෙවා වෙන්කර ගෙන භාවිතා කරන නිසා ය.

අපේ කටයුතුවලට සහභාගීවන සිනුවර විවිධ තදාසන්න ප්‍රදේශවල වෙසෙන අයට ටූන්ටැබී හොඳ මධ්‍යම ස්ථානයකි.

දඹුලු ගිය විට තලගොයෙකු දඩයම් කරනවා සේ, ටූන්ගැබී යන සෑම දිනකට පාහේ මම එහි කඩවීදියේ පිහිටා ඇති ආපන ශාලාවකින් කඩයප්පම් මිලට ගන්නෙමි.

ටූන්ගැබී කඩවීදියේ පිහිටා ඇති ශ්‍රී ලාංකික ආපනශාලා ප්‍රමාණය මේ වන විට පහක් දක්වා ඉහළ ගොස් ඇත.

පිට්ටු, රොටී, කොත්තු කෙසේ වෙතත් මා නම් සැම දින ම පාහේ මිලට ගන්නේ ඉඳිආප්පයි.

කලකට පෙර ඕස්ටේ‍ර්ලියානු ශත විසි පහක් පමණ වූ මේ ඉඳිආප්පයක මිල දැන් ශත හතළිහ දක්වා ඉහළ ගොස් ඇත.

නමුත් මේවා, සුළඟට විසිවෙන ආකාරයේ තුනී කුඩා ඒවා නොවේ.

එක ඉඳිආප්පයක ප්‍රමාණයෙන් බත් කන පිඟානක් තරම් වේ. ඉඳිආප්ප තුනක් කෑ විට මට නම් ප්‍රමාණවත් ය. ඉඳිආප්ප සමග ඒවා කෑමට පොල් සම්බෝලද, කිරි (අඩු) හොද්දක් ද ලැබේ.

ගිය ඉරිදා නිවසට ගෙනා ඉඳිආප්පවලින් තුනක්, කෑම පෙට්ටියකට දමා, පොල් සම්බෝල, පරිප්පු සහ මස් කරියක් සමග සඳුදා ඔෆීසියට ගෙන ගියෙමි.

එසේ ගෙන ගිය ඉඳිආප්ප මා අනුභව කළේ පිහියකින් කපා ගෑරුප්පුවකිනි.



චීන ආපන ශාලාවකදී චොප්ස්ටික් හෝ ගෑරුප්පුවක් හෝ උපයෝගී කරගෙන නූඩ්ල්ස් කනවාට වඩා ගෑරුප්පුවකින් ඉඳිආප්ප කෑම පහසු බව මට ස්ථිරවම කිව හැක.



කනවානම් ඉඩිආප්පම් කාපම්!

-රසිකොලොජිස්ට්

Wednesday, 10 May 2017

අබුද්දස්ස කාලේ, වෙසක් කූඩු හදමු රාලේ :: Post modern Vesak


කෙටි නිවාඩුවකට ලංකාවට ගිය බිරිඳ ආපසු පැමිණියේ අවුරුදු පමණක් නොව වෙසක් ද රැගෙන ය.

අවුරුදු කියන්නේ කැවුම්, අලුවා, රුලං, තල කැරළි, අල ටොෆි වැනි දේ ය.

වෙසක් කියන්නේ වෙසක් කූඩු ය. අටපට්ටම් කූඩු ය. එකක් නොව වෙසක් කූඩු හතරක් ම ඇය ගෙනැවිත් තිබුණි.

එකම වෙනස වූයේ මේවා ෆ්ලැට් පැක් හෙවත් පැතළියට අසුරා තිබුණු කුඩා පැකට්ටුවක බහා තිබීමයි.

අද වෙසක් දවසේ දැහැමෙන් සෙමෙන් මම ඒ අටපට්ටම් වෙසක් කූඩු හතරෙන් එකක් එකලස් කළෙමි.

පැතළියට අසුරා තිබුණු කුඩා පැකට්ටුවේ අටපට්ටම් කැබලි වර්ග දෙකක් විය. රැළි සඳහා සව් කඩදාසි හතරක් ද තිබුණි.



සාමාන්‍යයෙන් අටපට්ටම් වෙසක් කූඩුවක් සාදන්නට අවශ්‍ය වන්නේ හරි හතරැස් සැකිලි හයක් වුවද, මේ කාඩ්බෝඩ් කුූඩුව සඳහා ත්‍රිකෝණාකාර කැබලි ද අවශ්‍යවේ. ඒ පට්ටම සාදා සව්කඩදාසි ඇලවීමක් මෙහිදී නොමැති බැවිනි.



මා හතරැස් කොටස් සහ ත්‍රිකෝණාකාර කොටස් එකිනෙක සවි කළේ ස්ටේප්ලර් කටු මගිනි.



කූඩුව සෑදීගෙන එන අයුරු.







සැකිල්ල සාදා අවසන් බව පෙනුණත් එහි හෙලවෙන ස්වභාවයක් විය. ඒ ගැන සොයා බැලූ විට මා දුටුවේ කූඩුවේ උඩට සහ යටට සවි කිරීමට විශේෂ කාඩ්බෝඩ් කැබලි දෙකක් ඇති බවයි!



මෙන්න අටපට්ටම.



එක් සව් කඩදාසියකින් රැළි ද කැපුවෙමි.





රැළි ද සවි කළ කූඩුව අපේ නිවස ඉදිරිපස සුදලෙන අයුරු.



මා අවසාන වරට වෙසක් කූඩුවක් හැදුවේ නමවෙනි ශ්‍රේණියේ දී පමණ බව මගේ මතකයයි. ඒ පරම්පරා දෙකකට පමණ පෙර ය.

එදා, උණ බටයක් කපා, ඉරා, එක ප්‍රමාණයට කෝටු විසි හතරක් සකසා ගෙන, හතරැස් කොටු හයක් කම්බිවලින් බැඳ සාදා, ඉන්පසු ඒවා එකිනෙක බැඳ අටපට්ටම සාදා, සව්කඩදාසි අලවා, රැළි දමා, ඒ සියලු කටයුතු සඳහා දින කිහිපයක් ගත කර, අටපට්ටමක් සාදා ගන්නවාට වඩා මේ පැතලි පැකට්ටුවල එන මුද්‍රිත කාඩ්බෝඩ් කෑලි එකට ඈඳා අටපට්ටමක් සෑදීම ටොයිස් වැඩක් බව කිව යුතු ය.

එසේ නමුත්, මේ කුඩා කූඩුව සැදීමට ද පැයක් පමණ ගත විය.

පැකට්ටුවේ තිබුණු අනෙක් කූඩු පසුව සාදමි.

අද වෙසක් වුව ද, සිනුවර පන්සල්වල වෙසක් උත්සවය පැවැත්වෙන්නේ මේ සතියේ සෙනසුරාදා ය.

සැමට ප්‍රීති වෙසඟක් වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අද ෆේස්බුක් හි අදහස් දැක්වූ මිතුරන් දෙදෙනෙකු ම පවසා තිබුණේ ලංකාවේ ඇති වෙසක් සැරසිලි සියල්ල ම පාහේ චීනයේ නිෂ්පාදන බවයි.
එසේ වුව ද, මේ අටපට්ටම් වෙසක් කූඩු කට්ටලය නම් ලංකාවේ නිෂ්පාදනයකි.

ප/ප/ලි:
අමතක වූ දෙපස රැළි සවි කළ පසු!


(image: https://www.timeout.com/sri-lanka/art-culture/how-to-make-a-vesak-lantern)

Thursday, 30 March 2017

ඉතිං මේ හේමන්තයයි - Autumn Blues


අද මා සේවය කළේ නිවසේ සිටයි.

උදෑසන සිට ම අහස අඳුරු ය. සිරිපොද නමුත් වැස්සේ නැවතුමක් නැත.

ගිම්හානයේ අද දක්වාම පැවතුණු වසන්ත සුන්දරත්වයේ අවසන් හුස්ම පොද ද පිටව ගොසිනි!

සිතට එන්නේ අලස, උදාසීන අදහස් ය.

දවසේ වැඩ අවසානයේ සිතේ දුක මෙලෙස ලියවුණි!

ඉතිං මේ හේමන්තයයි

අහස අඳුරුයි පාළුයි
රෝස ගස් පෙළ නිහඬයි
සිහින් ඊතල වැස්සයි
ඉතිං මේ හේමන්තයයි

ගිම්හාන අව්රැල්ල
හතළිහේ පෝරණුව
දැන් සිතට අමතක ය
මල් රේණු, තණ කැබලි
දසත විසුරූ සුළඟ
හමා ගොස් හමාර ය
සියක් ගණනක වර්ණ
එක පෙළට මවා ලූ
මල් මිලින වී ගොස් ය
උදෑසන හිරු මරා
ලොව අඳුරු කළ වැස්ස
නිමාවක් නැති ලෙස ය

දවස හෙමිහිට මියයයි
අමාවක සඳ පායයි
හදවතක දුක නිහඬයි
ඉතිං මේ හේමන්තයයි


-රසිකොලොජිස්ට්


Saturday, 11 March 2017

කඩේ ගියෙමි! - My shopping cart this week


අප සාමාන්‍යයෙන් කඩේ යන්නේ සති අන්තයේ ය. දෙන්නා ජෝඩු දමා නොවේ. එක්කෝ බිරිඳ ය, නැති නම් මා ය.

ලංකාවේ ඇති කීල්ස්, සතොස සහ කාර්ගිල්ස් ආකාරයේ කොම්පැනි කඩ ප්‍රධාන වශයෙන් තුනක් අපේ පළාතේ තිබේ. නම් වශයෙක් කිවහොත් ඒවා වූල්වර්ත්ස්, කෝල්ස් සහ අල්ඩි ය. මීට අමතරව අයිජීඒ නමින් ස්වාධීන කඩකරුවන් ගේ කඩවර්ගයක් ද ඇත. ෆෑන්ක්ලීන්ස් නමින් ද කඩ වර්ගයක් කාලයක් තිස්සේ තිබුණු නමුත්, දෙවසරකට පම පෙර ඒ සමාගම බංකොලොත් වී ගියේ ය.

අප සාමාන්‍යයෙන් බඩු ගන්නේ වූල්වර්ත් කඩයෙන් හෝ අල්ඩි කඩයෙනි. එයට මූලික හේතුව ඒ කඩ පිහිටා ඇති ස්ථාන කරා යාම අපට පහසු වීමයි. මීට අමතරව, අප සාමා්‍යයෙන් එළවළු වර්ග ගන්නා කඩ දෙකක් ද ඇත.

සාමාන්‍යයෙන් අපේ නිවසේ කඩේ යන්නා මා නමුත් මේ වසරේ මුල් දෙමස තුළ මට සති අන්තවල යෙදුණු වැඩ රාජකාරී නිසා ඒ වගකීම ඉටු කරන්නට නොලැබුණි. බිරිඳ කඩේ ගියා ය.

සති දෙකකට ඉහත ඇය ගොස් තිබුණේ කෝල්ස් නමැති සමාගමේ කඩයකටයි. ඒ සමාගමේ ඇති පාරිභෝගික ප්‍රසාද දීමනා ක්‍රමයේ මේ දිනවල ඇති විශේෂ දීමනාවක් නිසා (සති හතරක් එක දිගටම වරකට ඩොලර් අසුවක බඩු මිලට ගතහොත් ඩොලර් පනහක දීමනාවක් ලැබේ!) කඩේ යාමේ රාජකාරිය යළි මා භාරයට ගත් පසු, මට ද, කෝල්ස් කඩයටම යන්නට සිත් විය.

ඉතිං, අද සෙනසුරාදා පුතාව පුස්තකාලයට බස්සවා ආපසු එන ගමනේ දී මම කෝල්ස් පිහිටි කඩමණ්ඩිය අසල නවත්වා කඩේ ගියෙමි.

කඩෙන් බඩු ගැනීමේ දී මා භාවිතා කරන මූලික තීරක කිහිපයකි.

1. බඩු ගන්නේ වෙළඳ නාමය අනුව නොවේ. වැඩි වාසිය අනුව ය.

2. ඒ ඒ සතියේ විශේෂ වට්ටම් දී ඇති භාණ්ඩ, හදිසියේ අවශ්‍ය නොවුණත්, පසුව ප්‍රයෝජන සඳහා මිලට ගනිමි.

3. බොහෝ විට ඒ සතියට පමණක් නොව සති දෙක තුනකට සෑහෙන භාණ්ඩ ප්‍රමාණයක් මිලට ගනිමි.

මා අද ගෙනා විවිධ භාණ්ඩ පිළිබඳ විස්තරයක් පහත දක්වමි. මේවායින් බොහෝ දේ, මේ සතියේ විශේෂ වට්ටම් සහිතව විකිණීමට තබා තිබූ ඒවා ය.

කෙසෙල් කිලෝවක් 1.99 බැගින් කිලෝ තුනක් පමණ.


පෙයාර්ස් කිලෝවක් 1.90 බැගින් කිලෝ එකහමාරක් පමණ.
ඇපල් කිලෝවක් 3.00 බැගින් කිලෝ එකහමාරක් පමණ.


ශීත කරන ලද කල් තබා ගත හැකි බෙරී පළතුරු වර්ග ග්‍රෑම් 500 පැකට්ටුව ඩොලර් හතරයි.


සෝයි කිරී ලීටරයක පැකට්ටුවක් ඩොලර් 1.80 බැගින් (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 2.50 ක් පමණ වේ).

ඒ සියල්ල බිරිඳ ගේ සහ මගේ උදෑසන ආහාරය සඳහා ය.

ඕරියෝ බිස්කට් පැකට්ටුව ඩොලර් 2.80 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 3.00 කි).
මාරි බිස්කට් පැකට්ටුව ඩොලර් 1.60 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 2.00 කි).


හෙල්ගාස් පාන් ගෙඩියක් ඩොලර් 3.50 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.00 ක් පමණ වේ).


බ්‍රෙක්ෆස්ට් බාර් නමින් හැඳින්වෙන කෑම වර්ගය පැකට්ටුවක් ඩොලර් 3.00 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 4.00 කි).


ඉරිගුවලින් සෑදූ අති ප්‍රනීත (සීනි නිසා) උදෑසන කෑමකි. කිරි මුසු කර අනුභව කළ යුතුයි. පැකට්ටුවක් ඩොලර් 2.32 (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.50 කි).


කිරි ලීටර් දෙකක්. ඩොලර් 2.00. කිරි මිල මේ වෙළඳ සමාගම් අතර තරගය නිසා දරුණු ලෙස පහත වැටී ඇත. කිරි ගොවියන් ගේ අනාතතය අනතුරේ.


රට කජු පැකට්ටුව ඩොලර් 2.10. මට හවස නිවසට පැමිණි පසු විකීම සඳහා.


කඩා සෝදා වියලන ලද සලාද කොළ. පැක්ටුවක් ඩොලර් 3.00 යි.


මස් පෙති පැකට්ටුවක් ඩොරල් නමයයි.

සඳුදා සිට මා දිවා ආහාරය සඳහා කන්නට යන්නේ සැලඩ් සහ මස් පමණි. පාන් නැත.

අයිස්ක්‍රීම් ලිටර් දෙකක් ඩොලර් 3.54 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.00 ක් පමණ වේ).
යෝගර්ට් ලීටරයක් ඩොලර් හතරයි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 5.50 ක් පමණ වේ).


වැසිකිලි කඩදාසි (toilet paper) පැකට්ටුව ඩොලර් 9.00 යි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 12.00 ක් පමණ වේ).


ඒ කඩ මණ්ඩියේම ඇති එළවළු කඩයෙන් එළවළු වර්ග දෙකක්ගත්තෙමි.
බෝන්චි කිලෝවේ බෑගය ඩොලර් තුනයි.


මල්ගෝවා ගෙඩිය ඩොලර් දෙකයි.


කෝල්ස් සමාගමටම අයිති ලිකර්ලෑන්ඩ් නම් වයින් කඩයක් එතැනම ඇත. ඒ කඩයේ ප්‍රදර්ශනය කර තිබුණු සුදු වයින් බෝතලයක් ද ආසාවට මෙන් ගත්තෙමි. මිල ඩොලර් හතකි (මේ සතියේ විිශේෂ මිල. සාමාන්‍ය මිල ඩොලර් 12.00 ක් පමණ වේ).

එලෙස ආසාවක් ඇති වුනේ මේ වයින් වර්ගය නිපදවන නවසීලන්ත ප්‍රදේශයේ අප කළ සංචාරයක් සිහිවුනු නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිටකොටුවේ වෙළඳ පොලේ මිල පිළිබඳව මේ ලිපිය කියවන්න.

පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල නොහොත් අපට පාන් ද? ::
http://rasikalogy.blogspot.com/2016/06/no-escape-from-trivial-infomation.html


(imageL GettyImages)

Monday, 13 February 2017

හතර මහ බැලුම් - පුතා ගැන කෙටි සටහනක් :: A note about my son


මෙය පුද්ගලික කරුණු රැගත් සටහනකි. නමුත් ඕනෑම පුද්ගලික විස්තරයක වුව ද පොදු වශයෙන් වැදගත් වෙන කරුණු යම් ප්‍රතිශතයක් තිබේ.

මේ සටහනේ ඒ ප්‍රතිශතය 50% ඉක්මවනු ඇතැයි සිතමි.

මගේ පුතා මොලොව එළිය දුටුවේ 2001 මැයි මාසයේ නමවෙනිදා ය. ඒ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යයේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් පුරවරය තදාසන්නයේ ක්ලේටන් නම් නගරයේ පිහිටි රෝහලේ දී ය.

වික්ටෝරියාව, නිව් සවුත් වේල්සය, තැස්මේනියාව ආදී විවිධ ජනපද එකතු වෙමින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යය බිහි වී ඇත්තේ ඊට වසර සියයකට පෙර 1901 වසරේ දී නිසා අපේ පුතාට සුවිශේෂී සැලසුමකින් යුතු උප්පැන්න සහතිකයක් ද ලැබුණි.

දරුවෙකු පිළිසිඳ ගැනීම පිළිබඳ ආරංචිය සිතට කෙතරම් සතුටක් ගෙන ආව ද, ඒ දරු උපත සිදුවන්නේ මැයි මාසයේ දී බව දැනගත් විට නම් මගේ සිතට එක්තරා ආකාරයක දුකක් දැනුණි.

එයට හේතුව මෙසේ ය.

ඕස්ට්‍රේලියාවේ නව පාසල් වසර ඇරඹෙන්නේ ජනවාරි මස අවසන් දින කිහිපයෙන් එකක දී ය. තවත් විස්තර කළ හොත් ඒ දිනය ජනවාරි මස 26 වෙනිදාට යෙදෙන ඕස්ට්‍රේලියානු ජාතික දිනය සැමරීමේ නිවාඩු දිනයට දිනයකට පමණ පසුව එන සතියේ දිනයක් වේ.

ලංකාවේ මෙන්ම පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් බල පවත්වන වික්ටෝරියානු රජයේ නීතිවලට අනුව ළමයෙකුට නව පාසල් වසරේ දී පාසල් යාමට සාමාන්‍යයෙන් අවසර ලැබෙන්නේ වයස වසර පහක් සම්පූර්ණ වීමෙන් පසුව ය.

ලංකාවේ නව පාසල් වසර ඇරඹෙන්නේ ජනවාරි මස මුල සතියේ නිසා, ඒ අවුරුදු පහේ නීතියට අනුව තම උපන් දිනය දෙසැම්බරයෙන් පසු යෙදුණු අයට පාසල් අධ්‍යාපනය ඇරඹීමට අන් අයට වඩා වැඩිපුර කාලයක් බලා සිටීමට සිදුවේ. ලංකාවේ දී මේ සීමාවට පුරා මාසයක සහන කාලයක් ද එකතු කොට කඩඉම ජනවාරි 31 දක්වා කල් දමා තිබේ.
මොන සහනයක් ලබා දුන්නේ වුවද, උපතින් එක් දිනයකින් පමණක් වෙනස් වූ (ජනවාරි 31 සහ පෙබරවාරි 1) ළමුන් දෙදෙනෙකු එකිනෙකා හා වසරක පරතරයක් ඇතුව තම අධ්‍යාපනය ඇරඹීම වැළැක්විය නොහැක.

මගේ මල්ලිලා දෙදෙනාගෙන් බාලයා ඉපදුණේ මාර්තු මාසයේ ය. ඒ දිනවල ලංකාවේ පාසල් යාම ඇරඹීමේ අවම වයස වසර හයක් ලෙස නියම කර තිබුණු බැවින් මල්ලී පාසල් අධ්‍යාපනය අරඹන විට ඔහුට වයස හත සම්පූර්ණ වීමට අඩුව තිබුණේ දෙමසක් පමණි!

මෙහිදී වික්ටෝරියානු ප්‍රාන්තය ලංකාවට වඩා වෙනස් වෙන කාරණය නම්, පෙර සඳහන් කළ ආකාරයේ සහන කාලයක් ද සහිතව, වසර පහ සම්පූර්ණ විය යුතු දිනය අප්‍රියෙල් මස තිස්වෙනිදා ලෙස නියම කර තිබීමයි.

දේශය, දීපය, මව සහ පියා යන සිව් මහ බැලුම් හොඳින් සොයා බලා ගලපාගෙන තිබුණු නමුත් අපේ පුත්‍ර රත්නය මෙලොව එළිය දකින්නට සැලසුම් කර තිබුණේ ඒ පාසල් ඇරඹීමේ සහන කාලය අවසාන වී එළැඹෙන වෙසක් මාසයේ දී වීම, මා මුලින් සඳහන් කළ මගේ දුක්ඛප්‍රාප්තියට හේතුව විය.

එදා සිදුහත් පැටියා කළාක් මෙන් තම උපත වෙසක් මාසය වෙනතුරු කල් නොදමා, අඩු වශයෙන් දවස් නමයකට කලින් බක් මාසයේ දී මෙලොව එළිය දුටුවා නම් අපේ පැටියාට 2006 ජනවාරි මස අග දී පාසල් අධ්‍යාපනය ඇරඹිය හැකිව තිබුණි. දින නමයේ ප්‍රමාදය නිසා දැන් ඒ සඳහා 2007 ජනවාරි මස අවසානය වෙන තුරු වැඩිපුර වසරක් බලා සිටින්නට සිදුවේ.

එපමණක් නොවේ.

පුතා පුර්ණකාලීන අධ්‍යාපනය නිමවා පූර්ණකාලීන රැකියාවක් ඇරඹීම ද වසරකින් ප්‍රමාද වේ. ඔහු ගේ විශ්‍රාම වයස එළැඹෙන විට ගෙවා ඇති සේවා කාලය ද, වසරකින් අඩු ය.
ඔහුට ඒ කාලයේ දී සිදුවන පාඩුව මිලියන් කිහිපයක් වීමට ඉඩ ඇත.

නමුත්, ඒ සියල්ල මාස හයක් වැනි සුලු කාලයක් ඇතුළත වෙනස් විය.

එතෙක් මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ගත කළ ගන්ධබ්බ ජීවිතය හැර දැමූ මම, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේ රැකියාවක් සඳහා ගිවිසුම් අත්සන් කර, සුතනඹුවන් ද සමග උතුරට සංක්‍රමණය කළෙමි.

වසර සියයකට පෙර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යය බිහි වීමෙන් පසුව ද, පාසල් අධ්‍යාපනය ප්‍රාන්ත රාජ්‍යවල විෂයක් ලෙස දිගටම පැවතෙන නිසා, පාසල් අධ්‍යාපනය ඇරඹීමේ අවම වයස් සීමාව සඳහා දී ඇති සහන කාලය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් බවත්, අප පදිංචි වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඒ කඩ ඉම ජූනි 30 දින බවත් පසක් වූ දින මා පෙර කී දුක්ඛ චිත්තයෙන් මිදී ආහ්ලාදයට පත් වුණෙමි.

පුතා 2006 ජනවාරි 30 දින, වයස අවුරුදු හතරයි මාස අටක ළමයෙකු ලෙස තම පාසල් ගමන ඇරඹී ය.

-රසිකොලොජිස්ට්

Monday, 6 February 2017

xxන්න නිදහස - Exercising your freedom to think


ඊයේ ශ්‍රී ලංකාවේ 69 වෙනි නිදහස් සමරුව පැවැත්විණි.

සමහරුන්ට මෙය වැදගත් වූයේ 69 නිසා ය. ඒ වැට් 69 නම් විස්කි වර්ගය නිසා නොව වෙනත් 69 කි.

ෆෙස්බුක් හි කෙටි සටහනක් තබන බ්ලොග්කරු මෞර්ය රාජ් "මොනවා නැතත් හිතන්න නම් නිදහස අවශ්‍ය තරම් ඇත!" යැයි කියා තිබුණි.

"හිතුවට කමක් නෑ, ඒත් කට පියාගෙන සිටින්න" යැයි වෙනකෙකු එයට පිළිතුරු දී තිබුණි.

ලංකාවේ නිදහස් සැමරුම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ද ඊයේ පැවැත්වුණි. සාමාන්‍යයෙන් මේ උත්සවය සිනුවර පැවැත්වෙන්නේ පෙබරවාරි හතරවෙනිදා ම නොව, ඊට නුදුරුම සෙනසුරාදා දිනයේ ය. වසර ගණනාවකට පසු ඊයේ පෙබරවාරි හතර වෙනිදා සෙනසුරාදාවක් වී තිබුණි.

උත්සවය සංවිධානය කෙරුණේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව විසින් සිඩ්නි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ සහභාගීත්වය ඇතුව සහ සංක්‍රමණික ලාංකික ජනතාව විසින් සිඩ්නි ප්‍රදේශයේ පිහිටුවාගෙන ඇති ප්‍රජා සංවිධාන කිහිපයක එකමුතුවෙනි. සිඩ්නි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ලාල් වික්‍රමතුංග ද, නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙපළක් ද උත්සවයට සහභාගී වී සිටියහ.

ඊයේ දහවල ෆේස්බුක් හරහා ලංකාවේ වාසය කරන මිතුරෙකු හා චැටක යෙදී සිට අවසානයේ "තව ස්වල්ප වේලාවකින් නිදහස් දින සැමරුමට යාමට තිබේ" යැයි මා පැවසූ විට, ඔහු, "කාගේ නිදහස ද සමරන්නේ"" යැයි පවසමින් "එදා සුද්දාගෙන් නිදහස ලැබුණේ මහ ජනතාවට නොවේ කළු සුද්දන්ට" යනා දී වශයෙන් දේශනයක් කිරීමට ඇරඹූ විට, "නෑ මං එහි යන්නේ උත්සව ශාලවේ අපේ ලේඛක සංගමය විසින් කරන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් ලියූ පොත් ප්‍රදර්ශනයේ රාජකාරි සඳහා ය" කියා ගැලවුණෙමි.

ඇත්තටම මා මගේ මිතුරාට කිව යුතුව තිබුණේ "මා සමරන්නේ ලංකාවෙන් ගැලවීමේ නිදහස ය" කියා ය. එසේ නම් එය සැමරිය යුත්තේ පෙබරවාරි නොව අප්‍රියෙල් මාසයේ මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ දිනයේ ය.

නමුත්, ඇත්තට ම මා එලෙස නිදහස් වී නැති බවත්, තවමත් අපේ ජාති(ක)වාදී අයියලා ගේ බුල්ෂිට් දෙපයට පෑගෙන බවත් මම දනිමි.

මෙන්න උදාහරණයක්.

ඊයේ ෆෙස්බුක් සමූහයක තම අදහස් දක්වන මිතුරෙකු මෙලෙස පවසා තිබුණි.
යාළුවෙක් එක්ක තේකක් බොන අතරෙ පොඩි චැට් එකක් දාන ගමන් ඌ මගෙන් ඇහුවා ලංකාවෙ උන් ජාතිවාදීන් විදියට පිල් බෙදිල මරාගන්න හදන එක නවත්වන මොකද්ද කරන්න ඕන කියල.

ඉතින් මම ඌට මෙන්න මෙහෙම කිව්ව.

"මචං, ලංකාවෙ මිනිස්සු ජාතිවාදය අවුස්සන් පිල් බෙදිල මරාගන්න හදන එක නවත්තන්නනම් උන්ට තේ බොන හැටි අලුතින්ම උගන්නන්න ඕන.

කොටින්ම සුහදත්වය ඇතිකරගන්න තේ කෝප්පෙකට තියන පවර් එක ගැන උන්ට කියල දෙන්න ඕන. සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් උන් එකට එකතු වෙලා තේ බොන සංස්කෘතියක් රටේ ඇති කරන්න ඕන. උන්ට තේකක් බොන ගමන් එකිනෙකා හඳුන ගන්න, අවබෝධ කරගන්න,අනෙකා තේරුම් ගන්න අවස්ථාව සලසලා දෙන්න ඕන. ඔය හිත්වල තියන කහට කැපිල යන්නත් එක්ක ඉඟුරු කෑල්ලක් එකතු කරගත්තත් වරදක් නෑ.
ඒ සමගම ඔහු ඒ අදහස ඇතුළත් පහත චිත්‍රය පළ කර තිබුණි.


මෙවැනි දේ දැකීම ඊනියා ජාතිකවාදී බයියන්ට "නයාට අඳුකොළ" මෙන් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉහත චිත්‍ර සටහන දැක මට මුලින් ම සිහිවුනේ කලකට පෙර ටැබූසබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා විසින් ලංකා ජාතික කොඩිය ජාතිවාදීන් විසින් දකින අයුරු පෙන්වමින් ඉදිරිපත් කර තිබුණු පහත චිත්‍රයයි.

සිංහයා තේ සාදන චිත්‍රය දැක කුපිත වූ ඊනියා ජාතිකවාදීන් විසින් ජාතික කොඩියට අපහාස කර ඇති බවට ලොකු ගාලගෝට්ටියක් කරද්දී ඇති වූ අදහස් හුවමාරුවේ දී වෙනත් මිතුරෙකු විසින් පහත දැක්වෙන රූප සටහන් ඉදිරිපත් කර තිබුණි.

නරඹා සතුටුවෙන්න.


(https://www.facebook.com/photo.php?fbid=10154203730717703&set=p.10154203730717703&type=3&theater)


(https://static1.squarespace.com/static/567c18b105f8e2f75c69a9eb/t/567dc63bd82d5e8736669835/1451091809819/Skiz's+original+logo.jpg)


(http://www.shawfundraising.com/wp-content/uploads/2016/01/shaw_widget3.png)


(http://www.währungsrechner.org/images/flags/lk.png)


http://images.clipshrine.com/wheel/medium-Flag-of-Sri-Lanka-0-106534.png


(https://thumb9.shutterstock.com/display_pic_with_logo/1425809/203317378/stock-vector-swimsuit-lettering-seascape-sun-inscription-summer-landscape-painted-on-a-bathing-suit-203317378.jpg)

ඔබටත් සියලු බැමිවලින් නිදහස ලැබේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
xxන්න නිදහස යනු හිතන්න නිදහස ය.

හිත වෙනුවට xx යෙදුවේ මට ඒ සඳහා නිදහස ඇති බැවිනි. වැරදි වැටහීම් ඇති වූවා නම් කනගාටුවෙමි!

ප/ප/ලි:
ජාතික කොඩිය ගැන මේ ජාතික චින්තනවාදීන් සහ ජාතිවාදීන් මෙතරම් කළබළ වෙන්නේ ඇයි කියා දන්නවා ද?

ඔවුන් තම මානසික නිරුවත වසා ගන්නේ මේ රෙද්දෙනි. එනිසා කිසිවෙකු ඒ රෙද්ද කඩනවාට උං කැමති නැත!