මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Showing posts with label අපේ මෝඩකම්. Show all posts
Showing posts with label අපේ මෝඩකම්. Show all posts
Wednesday, 27 May 2026
නූතන ගඳකිලි පූජාව - New business venture introduced
ශ්‍රමණ වේශධාරීන් පිරිසක් සහ ඔවුනට රැවටුණු දායකයින් පිරිසක් පෙනී සිටින මෙම වීඩියෝව මුලින්ම දුටු වෙලේ මට එහි අන්තර්ගතය නිවැරදිව වැටහුණේ නැහැ.
මං හිතුවේ පන්සලක ආවාසයක කාමරයක් විවෘත කරන දර්ශනයක් කියලායි. පස්සේ තමයි තේරුනේ මිනිසුන් පිරිසක් කරන්නේ බුදුහාමුදුරුවන් වෙනුවෙන් කාමරයක් සාදා එය ගෘහ භාණ්ඩ ඇඳ ඇතිරිලි පුරවා සකස් වෙනවා කරන ආකාරය බව.
මේ කාමරයට යාබද නාන කාමරයක්ද තියෙන බව ඡායාරූපවලින් පෙනුනා.
මෙවැනි කෝලම් නාට්‍යයක් නම් මම මීට පෙර ජීවිතේටම දැකලා නැහැ.
හිමාල කඳුවැටියේ ජීවත් වෙනවා යැයි සැලකෙන යෙටී නම් හිම මිනිසාට පවා විශාල වෙනු ඇතැයි සිතිය හැකි මෙහි දැක්වෙන ආකාරයේ සෙරෙප්පු කුට්ටමක් නම් මං මීට පෙර දැකලා තියෙනවා කවුදෝ පෘථග්ජන මිනිසෙකු චෛත්‍යයකට පූජා කරනවා.
අප බුද්ධාගම පාඩමට ඉගෙන ගත් බුදු හාමුදුරුවන් ජීවත්වුනු ගඳ කිළිය යන නමත් මොවුන් වෙනස් කරලා සුගන්ධ කුටිය කියා.
මෙහි සිටින කහකඩ පොරවා ගත් කිහිපදෙනාට මම ශ්‍රමණ වේශධාරීන් යැයි කිව්වේ ඔවුන් ඇත්තටම ශ්‍රමණයින්දැයි මේ ක්‍රියාව නිසා හඳුනාගත නොහැකි නිසායි.
අහේතු කාලේන කජ්ජේන පුහුළං!
- රසික සූරියආරච්චි
Sunday, 10 May 2026
අම්මෝ ඒ නමේ දිග - Rasika Vs Arnold

මං මගේ Facebook ප්‍රොෆයිල් එකේ හෙම මගේ මැද නමත් එක්ක සම්පූර්ණ නම දාලා තිබුනට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මුල් නම සහ වාසගම හෙවත් පවුලේ නම විතරයි. ඒ කියන්නේ Rasika Suriyaarachchi.
ළඟදි නම් මට මේ අත්දැකීම ලැබිලා නැහැ, නමුත් මීට අවුරුදු තිහකට කලින් මම ඕස්ට්‍රේලියාවට ආපු කාලේ හත් අට පාරක් ම අහන්න ලැබුණා මගේ සර්නේම් එක දිගයි කියන කතාව.
මුල් දෙපාර හිනාවෙලා නිකන් හිටියට ඊළඟට මට හොඳ අදහසක් ආවා.
තුන්වෙනි පාර මගේ නම දිගයි කියපු කෙනාට මම කිව්වේ මෙච්චරයි.
Yes, you're correct.
I am going to change it to
SCHWARZENEGGER.
ඊළඟ පාර මම ඒකට තව කෑල්ලක් එකතු කළා.
ඒක තමයි කටහඬ පොඩ්ඩක් ගැඹුරු කරලා මෙන්න මෙහෙම කියනවා.
And, I will be back.
ඒ හුඟ දෙනෙකුට මගේ විහිළුව තේරෙන නිසා අපි දෙන්නාටම ඊට පස්සේ හිනාවෙලා සතුටින් විස්තර යන්න පුළුවන්.
ඒකෙ නියම ජොලි කෑල්ල තමයි මෙන්න මේක.
RASIKA SURIYAARACHCHI
ARNOLD SCHWARZENEGGER
දෙන්නාගේ නම් දෙකේම අකුරු ගාන සමානයි. (මගේ නම ටිකක් පොඩියට පේන්නේ අයි අකුරු හින්දයි).
දැන් ඔය අත්දැකීම වැඩියෙන් නොලැබෙන්නේ හුඟක් වෙලාවට වැඩ කෙරෙන්නේ online නිසායි. අනිත් එක තමයි ඒ දවස්වල නම් දිගයි කියපු මිනිස්සු කොටසක් දැන් පැන්ෂන් ගිහිල්ලා අනිත් අය දිග නම් වලට පුරුදු වෙලා. ඒ එක්කම දැන් ඒ වගේ දිග නම් තියෙන අයත් reception වල ඉන්නවා නේ.
- රසික සූරියආරච්චි
(image: Wikipedia)
Wednesday, 5 November 2025
කීස්බරෝ සිබෞ පන්සලේ විජිත නාඔටුන්න සහ ග්ලාස්ගෝ සිබෞ පන්සලේ රේවත කඹුරුවල


මෙල්බර්න් කීස්බරෝ පන්සලේ විසූ විජිත නාඔටුන්න නමැත්තා කර ඇති ළමා ලිංගික අපයෝජන සඳහා අධිකරණය ඉදිරියේ වරදකරු වී ඇතත් අපේ සමහර අංකල්ලා සහ ඇන්ටිලා එය පිළිගැනීමට සූදානම් නැති බවත්, විජිත නාඔටුන්න වැරදිකරු යැයි උසාවියේ දී ප්‍රකාශ වූ විට හඬාවැටුණු බවත් කියවේ.
ලිඛිත නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර ඳඬුවම් නියම කළ විට ඒ අන්ධ භක්තික වහල් අමනයින් කුමකින් කුමක් කර නොගනීවි ද කියා බියක් ද ඇති වේ.
පහත ලිපියේ රොෂාන් බෙන්තරගේ විසින් සඳහන් කර ඇති පරිදි, කොටියා කොහේ සිටියත් පුල්ලි මාරු නොවෙන්නා සේ අන්ධ භක්තික වහල් අමනයින් උතුරු අර්ධගෝලයේ සිටිය ද, දකුණු අර්ධගෝලයේ සිටිය ද අන්ධ භක්තික වහල් අමනයින් ම බව පෙනේ.
කරුණාකර පහත සටහන කියවන්න.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හා ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් දෙනුවර සිංහල බෞද්ධයෝ හා කාන්තා හා ළමා අපයෝජනය
- රොෂාන් බෙන්තරගේ විසිනි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පන්සලක නායක භික්ෂුවක් වූ, හැත්තෑ හැවිරිදි නාඔටුන්නේ විජිත නම් පුද්ගලයෙකු 1994 සිට 2002 දක්වා කාලය තුල කුඩා ගැහැණු ළමුන් කිහිප දෙනෙකු ලිංගිකව අපයෝජනය කළා යැයි එරට අධිකරණයක් මගින් වරදකරු කොට දඬුවම් කළ පුවතක් කියවන්නට ලැබිණි.
එකල, කුඩා ගැහැණු දරුවන් වූ දැන් වැඩිහිටි කාන්තාවන් වන මේ නඩුවේ වින්දිතයින් පවසා සිටියේ ඔවුන්ව රසකැවිලි දෙන්නම් යැයි කියා භික්ෂුවගේ ආවාසයට රැගෙන ගොස් විවිධාකාරයෙන් ලිංගිකව අතවර කළ බවයි. සමහර දෙනෙකුගේ යෝනි මාර්ගයට ඔහු තම ඇඟිල්ල ඇතුළු කල බවත්, සමහරුන්ගේ අත් ගෙන තමන්ගේ ලිංගේන්ද්‍රිය මත තබා ගත් බවත් කියැවිණි.
මෙතැන තිබෙන, සිත් සසලකරවනම පුවත නම්, මේ දැරිවියන් තමන්ගේ දෙමාපියන්ට හා වැඩිහිටියන්ට මේ පිළිබදව එකල දැනුවත් කළත්, ඔවුන් එය විශ්වාස නොකළ බවයි. එසේ නොකරන්න හේතුව, අවුරුදු 30කට පෙර ළමා ලිංගික අපයෝජනය පිළිබදව ඔවුන් දැනුවත්ව සිට නැති නිසාදැයි කෙනෙකුට සැකයක් මතුවුවහොත් එය සාධාරණ නොවේයැයි කෙනෙකුට කිව නොහැක.
නමුත් 2025දී, දීර්ඝ නඩු විභාගයකින් පසු, මේ පුදගලයා වරදකරු කල පසුත්, ඔහු මෙසේ ඒ දැරිවියන් අපයෝජනය කලා යැයි මෙල්බර්න් නුවර වැසි වැඩිහිටි සිංහල බෞද්ධයින් පිළිනොගන්නේ නම්, එතන යම් වැරැද්දක් තිබේයැයි බැලූ බැල්මටම නොපෙනුනොත් එය පුදුමයකි. දිනපතාම චූදිතයාට තමන්ගේ සහය පළකරනු වස් අධිකරණයට ගිය මේ සිංහල බෞද්ධයින් නඩු තීරණයෙන් පසු හඬාවැටුණු බව කියනු ලැබේ.
මේ මෙල්බර්න් සිංහල බෞද්ධයින්ට අමු කැවිලාදැයි කෙනෙකුට සිතෙන්න පුළුවන. මා දන්නා හැටියට අපරාධ නඩුවක් අධිකරණයකින් ඔප්පුවන්නට පැමිණිල්ල විසින් එය සැකයේ වාසියකින් තොරව ඔප්පු කල යුතුය. එසේ තිබියදීත් තවමත් මේ චූදිත භික්ෂුව නිවරැදිකාරයෙකු යැයි සිතනවානම්, මේ බෞද්ධියන්ගේ මානසික තත්වය අප තේරුම් ගන්නේ කෙසේද?
මෙය ඕස්ට්‍රෙලියාවේ සිංහල බෞද්ධයාට පමණක් උරුමවූවක් නොවේ. මා ජිවත්වන එක්සත් රාජධානියේ, එක් රටක් වන ස්කොට්ලන්තයේද තත්වය එසේ ම ය.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර ඇති එක ම පන්සලේ භික්ෂුවක ලෙස සිටි රේවත කඹුරාවල විසින් 2015/2016 වසරවල ග්ලාස්ගෝ මයින්ඩ්ෆුල් සෙන්ටර් හා මේරිහිල් සෙන්ටර් යන ස්ථාන දෙකක දී කාන්තාවන් තුන්දෙනෙකුට ලිංගික අතවර කරන ලදැයි චෝදනා ලැබ අධිකරණයේ අසන ලද නඩු විභාගයකින් පසු වරදකරුවී දඬුවම ලැබූවේය. ඔහුට තිබූ චෝදනාවූයේ ඔවුන් ලවා තමන්ව ස්පර්ශ කර ගැනීම, ඔවුන්ව ස්පර්ශ කිරීම හා නොයෙකුත් ශෘංගාරාත්මක ප්‍රකාශ කිරීමයි. ඒ නිසා ඔහුට ලැබූ දඬුවම වූයේ පැය 200ක් පඩි රහිතව තමන් ජීවත්වන ප්‍රදේශයේ පොදු සේවාවල යෙදීමයි.
මෙල්බර්න් හා ග්ලාස්ගෝ දෙනුවර සමානකම් මෙතැනින් නිම නොවේ. ස්කොට්ලන්තයේ අධිකරණයකින් සැකයේ වාසියකින් තොරව ඔප්පු වූ පසුවත් මේ භික්ෂුව වරදක් කළා යැයි ග්ලාස්ගෝ නුවර බෞද්ධයින්ගෙන් බහුතරයක් මෙල්බර්න් නුවර බෞද්ධයින් මෙන්ම විශ්වාස කරන්නේ නැත. ඒ නිසා අදත් මේ භික්ෂුව ග්ලාස්ගෝ පන්සලේ වාසය කරමින් සුපුරුදු ලෙස ආගමික කටයුතුවල නිරතවෙයි. නමුත්, ඔහු කාන්තාවන්ට හිරිහැර කළා යැයි චෝදනා ලැබ වරදකරු වූ ග්ලාස්ගෝ මයින්ඩ්ෆුල් සෙන්ටර් හා මේරිහිල් සෙන්ටර් යන ස්‍ථානවල තවමත් ස්කොට්ලන්ත ජාතිකයින්ට භාවනා වැඩසටහන් පවත්වනවාදැයි නොදනිමි. සිංහල බෞද්ධයින් නම් මේ සිදුවීම අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමා ඇති බව නම් නිසැක ය. ඒ සුපුරුදු ලෙස පන්සලත් සමඟ තමන්ගේ සම්බන්ධය කිසිම අඩුවක් නැතිව කරගෙන යන බැවිනි.
මීට වසර ගණනකට පෙර ස්කොට්ලන්තයේ මහානායක පදවියෙන් පිදුම් ලද මේ භික්ෂුවගේ පදවිය තවමත් එසේ ම ඇතැයි මම සිතමි. නමුත් 2021 දී ජෙනරල් ටීචින් කවුන්සිල් ස්කොට්ලන්ඩ් නම් ආයතනය විසින් ද්විතික පාසැල්වල ආගම ඉගැන්වීමේ රෙජිස්ටරයෙන් මේ භික්ෂුවගේ නම ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.
මෙල්බර්න් නුවර සිංහල බෞද්ධයින් මෙන්ම, ග්ලාස්ගෝ බෞද්ධයින්ගෙන් බහුතරයක් තවමත් මෙය ස්කොට්ලන්තයේ අධිකරණයට සිදුවූ වැරදීමක් ලෙස සලකති.
මේ සිංහල බෞද්ධ ප්‍රජාවට මෙසේ සිදුවී ඇත්තේ ඇයි?
මොවුන් බොහෝ දෙනා, ජෙෆ්රි එප්ස්ටයින් විසින් සපයන ලද ගැහැණු දරුවන් සමඟ ඇන්ඩෘ වින්ඩ්සර් ලිංගික සංසර්ගයේ යෙදුනායැයි පිළිගන්නේ නැතැයි මම සිතමි. ඒ සියල්ල මේ කාන්තාවන් විසින් ගොතන ලද බොරුයැයි ඔවුන් නොකීවොත් පුදුමයකි. හොල්වුඩ් හි සුප්‍රසිද්ධ හාවි වයින්ස්ටීන් නම් චිත්‍රපට නිෂ්පාදකයා විසින් එකල හොලිවුඩ්වලට එන ආධුනික නිලියන්ව ලිංගිකව අපයෝජනය කළා යැයි කියන්නේ කෙසේදැයි අසනු ඇත. හොලිවුඩයේ සුප්‍රසිද්ධ ප්‍රහසන නළුවකු වූ බිල් කොස්බි, බ්‍රිතාන්‍යයේ ප්‍රහසන නළුවකු වූ රසල් බ්‍රෑන්ඩ හා හොලිවුඩ් නළු කෙවින් ස්පේසි යන අයට ද ඇත්තේ මෙවැනිම චෝදනා ය. අපයෝජනය වන කාලයේදී ළාබාල කාන්තාවන් වූ (කෙවින් ස්පේසිගේ වින්දිතයින් තරුණ පිරිමින් ය) මේ වින්දිතයින්ට ඉදිරියට පැමිණීමට හැකියාව ලැබූ ඇත්තේ තමන්ව අපයෝජනය වීමෙන් පසු සෑහෙන කාලයකට පසුව ය. එසේ කළා කියා කිසිවකුත් ඒ කාන්තාවන් බොරු කියන්නේ යැයි කියා අපයෝජකයින්ව ආරක්ෂා කරන්නට උත්සහා කරන්නේ නැත. නමුත් සිංහල බෞද්ධ බහුතරය සිතන්නේ වෙනත් ආකාරයකට බව පෙනේ.
මා හා මේ පිළිබදව සාකච්ඡා කළ ග්ලාස්ගෝ බෞද්ධයින් කිහිපදෙනෙකු, අධිකරණයෙන් වරදකරුවූ භික්ෂුව තමන් නිවැරදිකරු යැයි පැවසීම කිසිම සැකයකින් තොරව පිළිගන්නේ පහත සඳහන් හේතු දෙක හෝ දෙකින් එකක් ඉදිරිපත් කරමින්ය. එක්කෝ භික්ෂුව වචනයෙන්වත් ක්‍රියාවෙන්වත් කිසිම වරදක් කොට නැත. මේ වින්දිත කාන්තාවන් හිතා මතාම කියන්නේ මුසා ය. එහෙමත් නැත්නම්, භික්ෂුවගේ කතා හා ක්‍රියා, මේ කාන්තාවන් විසින් වැරදියට තේරුම් ගෙන ඇත.
ලංකාවෙන් සංක්‍රමිකයන්සේ පැමිණෙන විට තමන්ගේ ඔළුවේ පුරවාගෙන ගෙනෙන ලද සංස්කෘතික බැගේජය, ඉවත් කරන්නට බැරුව දගලන ඔවුන්ගෙන් මීට යමක් බලාපොරොත්තු වීම සිහිනයකි. බුදු දහම කියන්නේ පන්සලත්, එහි වාසය කරන භික්ෂුවත්, ඉඳහිට ඔහුට දෙන දානයත්, කෙනෙකු මිය ගිය විට දෙන පාංසුකූලයත්, සීතලේ සුදු ජාතික ඇදුම් ඇද, ළමයින්ට ද ඒ ජාතික ඇඳුම් හා ළමා සාරි අන්දවා, පාර දිගේ, වටේ සිටින සුද්දන්ට පෙනෙන්ට බෞද්ධ කොඩි ඔසවාගෙන, මල් අරගෙන යන කඨින පෙරහැරත් යයි සිතන ඔවුන්, පන්සලත් සමඟ මේ සුළු සිද්ධීන් අරඹයා විරසක වේ යැයි සිතීම මුළාවකි. පන්සලත් සමඟ විරසක අය සිටිති. ඒ මේ කාන්තා හිංසනයේ චෝදනාව නිසා නොවේ. ඒ වෙනත් පෞද්ගලික ප්‍රශ්න නිසා ය.
මා ග්ලාස්ගෝ පන්සලට ගොස් නැත. එහි ගිය කෙනෙකු මට කීවේ ඔහු එහි ගිය මුල් දිනයේ එහි තිබූ විශාල සුදු කිරිගරුඬයෙන් තනන ලද ආකර්ෂණීය බුද්ධ ප්‍රතිමාව දැක ඉමහත් පුදුමයට පත් වූ බව ය. එවැනි ප්‍රතිමාවක් කෙසේ ස්කොට්ලන්තයට ගෙනාවාදැයි ඔහු එහි සිටි අයගෙන් විමසුවේ ලු. එවිට ඔවුන් කියා තිබෙන්නේ එය කිරිගරුඬෙන් සැදු එකක් නොව, රෙජිෆෝම් වලින් නිර්මාණය කරන ලද එකක් බවයි. මීට වඩා යමක් මම ඒ ගැන නොකියමි.
මෙල්බර්න් බෞද්ධයන්, තම පන්සලේ භික්ෂුව නිර්දෝෂයි කියා කියන්නේ මොන හේතු මතදැයි මම නොදනිමි.
- රොෂාන් බෙන්තරගේ
රේවත රඹුක්වැල්ල ගැන විස්තර:
1. https://www.dailyrecord.co.uk/news/scottish-news/shamed-buddist-monk-scots-re-25157584
2. https://www.bbc.co.uk/news/uk-scotland-glasgow-west-45296177
ලිපිය කියවූ ඔබට ස්තුතියි. ඔබේ අදහස් පහතින් සඳහන් කරන්න.
- රසික සූරියආරච්චි
(images: https://www.abc.net.au/ සහ www.dailyrecord.co.uk)
Saturday, 18 October 2025
“ඩොක්ටර්ස් කාර් පාස්” (නිර්නාමිකයි) - All are equal but some are more equal than others
දින කිහිපයකට පෙර මට ලැබුණු “ඩොක්ටර්ස් කාර් පාස්” නම් නිර්නාමික ලිපිය පළ කරන්නට අවස්ථාව ලැබුණේ අද ය.
තමන් රාජකාරි කරන රෝහල්වලින් හා වෙනත් ආයතන වලින් නිකුත් කරන “කාර් පාස්” එක වාහනවල අලවාගෙන යාම තහනම් කිරීමත් සමඟම බොහෝ වෛද්‍යවරුන්ගේ සිත් රිදී ඇති බව ෆේස්බුක් එකේ ලියැවෙන දේ කියවන අපට පෙනේ. මෙයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කොට ඇති වෛද්‍යවරුන් අතර මාලිමාවට සහයෝගයදුන් වෛද්‍යවරුන්ද සිටීම අපව පුදුමයට පත්කරයි. එසේ අපව පුදුමයට පත්කරන්නේ වෙන කිසිවක් නිසා නොව ප්‍රජාතන්ත්‍රවාදී දියුණු රටක් ඇති කිරීම සඳහා “සිස්ටම් චේන්ජ්” කිරීමට පොරොන්දු දුන් මාලිමා ආණ්ඩුවේ ව්‍යායාමයේ එක පියවරක් ලෙස මෙසේ සමාජයේ යම් පන්තියකට තම පන්තියේ වරප්‍රසාද අවභාවිතා කිරීම වැළැක්වීමේ අරමුණින් කරන මේ සද්ක්‍රියාවට ඔවුන් විරුද්ධ වන්නේ කෙසේදැයි මාලිමාට සහයෝගයක් නොදුන් අප වැනි අය කල්පනා කරනවිට ය.
මා විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ලංකාවේ කාලයක් සේවය කොට දැන් එක්සත් රාජධානියේ සේවය කරමි. ප්‍රජාතන්ත්‍රවාදී දියුණු රටක් යනුවෙන් මාලිමා ආණ්ඩුව අදහස් කළේ එක්සත් රාජධානිය වැනි රටක් යයි සිතමි. මෙහි වෛද්‍යවරුන්ට විශේෂ වරප්‍රසාද නැත. අපේ වාහන වල අලවාගෙන යාමට “ඩොක්ටර්ස් පාස්” නැත. අප රාජකාරි කරන රෝහල්වල එහි රාජකාරී කරන සේවකයන්ට වෙන්වූ රථගාල්ද, රෝහලට එන රෝගීන්ට හා අමුත්තන්ට වෙනම රථගාල් ද ඇත. වෛද්‍යවරුන්ට කියා වෙනම “කාර් පාක්” නොමැත. සමහර රෝහල්වල වෛද්‍යවරුන් තමන්ගේ වාහන නැවත්වීමේ අයිතිය සඳහා මාසිකව හෝ වාර්ෂිකව ගාස්තුවක් ගෙවිය යුතුය. (සේවකයින් හා අමුත්තන් තමන්ගේ වාහන නැවැත්වීම සඳහා ගාස්තු ගෙවනවාද නැද්ද යන්න එක්සත් රාජධානියේ රටින් රටට හා රෝහලින් රෝහලට වෙනස්වේ.)
දිනක් මා සේවය කරන රෝහලෙන් පිට රෝහලකට රාජකාරී වැඩකට ගියෙමි. රෝහලේ ප්‍රධාන දොරටුව අබියසම ඇති අමුත්තන්ගේ රථගාලට මම මගේ වාහනය හැරවූයෙමි. එහි ස්වයංක්‍රිය බාධකයට මා ළං වූ විගසම, රෝහලේ රාජකාරි කරන සේවයකු පැමිණ මා කොහේ යන්නේ දැයි විමසා සිටියේය. මා ඇඳ සිටි නිල් පැහැති “ස්ක්‍රබ්ස්” නිසා මා කාර්ය මණ්ඩලයේ අයකු බව ඔහු දැක ඔහු පැමිණි බව පසුව මම තේරුම් ගතිමි. ඔහුට මා වෛද්‍යවරයකු බව ද මා පැමිණි කාරණය ද පැහැදිලි කළෙමි. ඔහු මට කියා සිටියේ මෙය අමුත්තන්ගේ රථගාල බැවින් මට එහි මගේ වාහනය නතර කල නොහැකි බවයි. දුරින් ඇති රෝහලේ සේවකයින්ගේ රථගාල පෙන්වා මට එහි යන්නැයි උපදෙස් දුන්නේය. මා මේ රෝහලේ රාජකාරී නොකරන බව ද, ඒ නිසා මා අමුත්තෙකු ලෙස සැලකිය යුතු බව ද කියා ඔහුට කොපමණ කීවත් ඔහු පවසා සිටියේ රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයන් අමුත්තන්ගේ රථගාලේ තම වාහන නැවැත්වීම නිසා රෝගීන් හා අමුත්තන් අපහසු තාවයට පත්වන නිසා එය වැළැක්වීම තමන්ගේ රාජකාරිය නිසා එය කිසිසේත්ම කල නොහැකි බවයි. ඔහුත් සමඟ වාද කිරීමෙන් ඵලක් නොමැති බව දැන වාහනය හරවාගෙන ඔහු කියූ රථගාලයට ගියෙමි. එක්සත් රාජධානියේ වෛද්‍යවරුන්ට තමන් සේවය කරන රෝහලේ සේවයකයන් සලකන්නේ මෙසේය. වෛද්‍යවරයාගේ අයිතියට වඩා රෝහලේ සේවය ලබා ගන්නට පැමිණෙන අමුත්තන්ගේ හා රෝගීන්ගේ අයිතිය ඔවුන්ට වැදගත්වේ. ලංකාවේ රෝහලක මෙහෙම දෙයක් වෙන්නට පුළුවන් ද?
මෙයට ටික කාලයකට පෙර, වාර්ෂික ක්‍රිකට් තරඟයක දී තුවාල ලැබූ සඟයෙකු කොළඔ ජාතික රෝහලේ එක්ස්රේ එකක් ගැනීමට නවත්වා පාර පැනගොස් සිසිල් පැන් පානය කොට නැවත ජාතික රෝහලතුළට පැමිණි වෛද්‍යවරු තුන්දෙනාගෙන් ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරියා අවේලාවේ කොහේ යන්නේදැයි අසා සිටියේය. ඒ දාඩිය පෙරාගෙන ටී ෂර්ට් හා කලිසම් ඇද සිටි තුන්දෙනා බැලූ බැල්මට වෛද්‍යවරුන් යැයි අඳුනාගැනීමට නොහැකිවූ නිසා ය. එහි සිටි එක් වෛද්‍යවරයකු එසේ ඇසුවායැයි උරණව ආරක්ෂක නිලධාරියාට පහර දුන්නේ ඇයිදැයි අදත් අනික් වෛද්‍යවරුන් දෙදෙනාට ප්‍රහේලිකාවකි. කෙසේ හෝ එතැනට රැස් වූ අනිකුත් ආරක්ෂ නිලධාරීන් හා රෝහල් සේවකයින් මේ තුන්දෙනා වෛද්‍යවරුන් බව හඳුනාගැනීමේන් පසු ගුටි කෑ ආරක්ෂ නිලධාරියා වරදකාරයා වී රැකියාවෙන් ඔහුව දොට්ට දමනබව ආරක්ෂක නිලධාරීන්ගේ වැඩබලන ප්‍රධානියා පැවසීමෙන් පසු සියල්ල සමථයකට පත්විය. මේ සිද්ධිය සිදුවූයේ දශක තුනකට පමණ පෙරය. දැනුත් තත්වය මෙසේමදැයි නොදනිමි. එදා තරුණ “සෙක්කාට” පහර දුන් වෛද්‍යවරයා අද දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක් සේවය කරයි. එදා ඔහු කළ වරද පිළිබදව අද පශ්චාත්තාපයට පත්වන බව නොඅනුමාන ය.
මා දියුණු ප්‍රජාන්ත්‍රවාදී රටක ප්‍රධානම ලක්ෂණයක් හැටියට දකින්නේ රාජ්‍ය යන්ත්‍රණය මහජනතාවටත් හා මහජනතාව එකිනෙකාටත් සලකන ආකාරයයයි. මා ජිවත්වන රටේ වෛද්‍යවරයෙකුටත් පාරේ කුණු එකතු කරන සේවකයාටත් සලකන්නේ එකම ආකාරයකිනි. මට ඔහුටත් අසනීපයක්වූ විට, පවුලේ වෛද්‍යවරයාට දුරකථනයෙන් කතාකොට ඔහුව/ඇයව හමුවීමට වෙලාවක් ගතයුතුය. මා වෛද්‍යවරයකු කියා මට කිසිම විදිහක විශේෂ සැලකීමක් කරන්නේ නැත. මා වැඩක් කරගන්න රජයේ කාර්යාලයකට හෝ බැංකුවකට ගිය විට අනිත් සියලුදෙනා සේම තුණ්ඩුවක් ගෙන පෝලිමේ සිටගෙන සිටිය යුතු ය. මා වෛද්‍යවරයකු බව මේ කිසිම තැනකට අදාලනොවන නිසා මා වෛද්‍යවරයකු බව කියන්න යන්නේ නැත. ලංකාවේ තත්වය ගැන මා අමුතුවෙන් කිවයුතු නැතැයි සිතේ.
මා දැන් ලංකාවේ සේවය නොකළත් ගිය අවුරුද්දේ ලංකාවට ගිය විට වැඩක් කරගැනීමට බැංකුවට ගියෙමි. පුරුද්දට පෝලිමේ සිටගෙන සිටිනවිට බැංකුවට පැමිණි මා අඳුරන වෛද්‍යවරයෙකු මා දැක, මටවත් නොකියාම, කවුන්ටරයේ සිටි සේවක මහත්මියට ගොස් මා පෙන්වා වෛද්‍යවරයකු පෝලිමේ සිටින බව පෙන්වා දුන්නේය. එයින් කලබලවූ ඇය පෝලිමේ කිහිපදෙනෙකු සිටියද මට වෙනම අඬගසා, පුටුවක වාඩිකොට මා පැමිණි කාරණය ඉටුකොට දුන්නාය. මාලිමා ආණ්ඩුව පැමිණ සිටිනේනේ මේ ක්‍රමය වෙනස් කිරීමටය. කාටත් සාධාරණ ක්‍රමයක් ඇති කරන්නටය. පරණ ක්‍රමය වෛද‍්‍යවරුන් වැනි සමාජයේ ඉහලයැයි සැලකෙන පන්තියට හොඳ බව කිවයුතු නොවේ. නමුත් සැමටම සමානත්මතාවයෙන් සලකන දියුණු සාමාජයකට යන්නට අවශ්‍යනම් තමන් මෙතෙක් විදි වරප්‍රසාද නැති කරගන්නට සිදුවෙන බව තේරුම්ගත යුතුය. මා දන්නා ආකාරයට ජනාධිපති හා ඔහුගේ ඇමති මණ්ඩලය පමණක් නොව මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ද මෙතුවක් කල් දේශපාලකයින් විදි වරප්‍රසාදවලට තිත තබා ආදර්ශයක් පෙන්වා තිබෙන පසුබිමක වෛද්‍යවරුන් වැනි උගතුන්ට තම වරප්‍රසාදවලට ආයුබෝවන් කීම හැරෙන්න වෙන විකල්පයක් නැති බව කිවයුතුය.
“කාර් පාස් එකක අවශ්‍යතාවය පිළිබද වෛදවරුන් කිහිපදෙනකු ලියා තිබූ දේ කියෙව්වෙමි. ඒවා කිසිවක් සාධාරණ නොවන බව සිතේ. ඔන්කෝල් කරන වෛද්‍යවරුන්ට හදිසියකට රෝහලට ඒමට කාර්පාස් එකක් අවශ්‍යබව එක තර්කයකි. එය පුහු තර්කයක් බව කණගාටුවෙන් හෝ කිවයුතුය. පළමුවෙන්ම සියලුම ඔන්කෝල් වෛද්‍යරුන්ට රෝහල්වල “ඩියුටි රූම්” එකක් ඇත. එසේ නොදී සිටින්නට රෝහල් පාලකයින්ට නොහැක. එසේ කාමරයක් ලබා දී නැත්නම්, එයින් කියැවෙන්නේ ඔන්කෝල් වෛද්‍යවරයාගේ හදිසි පැමිණීම අවශ්‍යනොවන බව ය. බොහෝ දුරට සිදුවන්නේ ඩියුටි රූම් එකක් දුන්න ද ඔන්කෝල් වෛද්‍යවරුන් එහි නොසිට ගෙදර යාමයි. දෙවනුව කිවයුත්තේ මේ කාර්පාස් එක තිබුණ ද ඔවුන්ට පාරේ ඉඩ දීමට කිසිවකු බැඳී නොමැති බවයි. ඒකට ප්‍රධානම හේතුව වන්නේ සියලුම වෛද්‍යවරුන්ගේ වාහනවල මේ පාස් එක අලවා ඇති නිසා ඔන්කෝල් කරන වෛද්‍යවරයා ගේ හඳුනාගැනීමට පාරේ ගමන් කරන අවශේෂ රියැදුරන්ට ද, මඟීන්ට ද, පොලිස් නිලධාරීන්ට ද ක්‍රමයක් නැත. ඇත්තටම ඔන්කෝල් වෛද්‍යවරයාට හදිසියට රෝහලට පැමිණීමට අවශ්‍යනම් කළ යුත්තේ ඔවුන්ට වෙනම මාක් කරන ලද වාහනයක් හෝ තමන්ගේ පෞද්ගලික වාහනයේ අනිත් අයට පෙනෙන සේ තාවකාලිකව සවිකළ හැකි ගිලන්රථවල සවිකරන ආකාරයේ නිල් “ෆ්ලෑෂින් ලයිට්” එකක් ඔන්කෝල් සඳහා පැමිණෙන විට සවිකරගැනීමට ක්‍රමයක් සාදා ගැනීමයි.
දෙවන තර්කය වන්නේ, රෝහලේ ආරක්ෂක නිලධාරීන් වෛද්‍යවරුන්ගේ වාහන අඳුනගන්නේ කෙසේද යන්නයි. වාහන අඳුනාගැනීමට ක්‍රමවේදයක් සාදා ගැනීම ඒ ඒ ආයතන වල වගකීමක් වන අතර ඒ සඳහා රජය මැදිහත්වීම අවශ්‍ය නොවේ. ඇත්තටම කියනවානම් රෝහලක ගේට්ටුවෙන් ඇතුලුවීම සඳහා වාහන පාස් එක වීදුරුවේ පැය විසිහතරම අලවාගෙන සිටීම අවශ්‍යනොවේ. ගේට්ටුවේදී එය ආරක්ෂක නිලධාරී මහතාට පෙන්වා නැවත වාහනයේ කිසිවකුට නොපෙනෙනසේ තබා ගත හැක. දැනට සිඳුවන්නේ ආරක්ෂක නිලධාරීන් කිසිදු වගවිභාගයක් නොමැතිව “ක්‍රොස්” එකක් වීදුරුවේ ගසා තිබේ නම් වාහනය ඇතුළු කිරීමට අවසර දීමයි. නොයෙකුත් බෙහෙත්වර්ග ප්‍රවර්ධනයට පැමිණෙන ඖෂධ සමාගම්වල රෙප් මහතුන් කිසිම ප්‍රශ්නයක් නොමැතිව රෝහල්වලට ඇතුළුවන්නේ මේ හොර පාරෙනි. කොළඹින් පිට රාජකාරි කරන විශේෂඥ වෛද්‍යවරයකු ලියා තිබුණේ මේ කාර් පාස් එක නිසා තමන්ට විශාල නොවුණත් සුලු වාසියක් හිමිවන බවයි. මේ කාර්පාස් එක දකින පොලිස් නිලධාරී මහතුන් සමහරවිට තමන්ව නවතා අනවශ්‍ය ලෙස කරදර නොකරන බව ඔහු පවසා තිබුණි. පිටරටකට නොයා, සොච්චම් පඩියකට, දුරබැහැර රාජකාරී කරන තමන්වැනි අයට තිබෙන මෙවැනි ඉතාම සුළු වරප්‍රසාද පවා කප්පාදු කරන තැනට ආණ්ඩුව පත්වන්නේ නම් තවදුරටත් මේ රටේ ඉන්නවාදැයි සිතා බැලිය යුතු බවත් ඔහු කියා තිබුණි. ඔහු කියා ඇති දේ බොරුවක් නොවේ. නමුත් අපට “බිගර් පික්චර්” එක බැලීමට හැකියාවක් තිබිය යුතුය. රටක් දියුණු වෙනවා දකින්නට ආශානම් මෙවැනි කැපවීමි කිරීමට අපට හැකිවිය යුතුය. දැනට අප බොහෝ දෙනෙකුට තිබෙන මානසික තත්වය නම් රටේ “සිස්ටම් චේන්ජ්” එකක් වී දියුණු රටක් විය යුතු නමුත්, එයට තමන් හැර සියලු දෙනාම යම් කැප කිරීමක් කළයුතු බවයි.
තව වෛද්‍ය විශේෂඥවරයකු කියා තිබුණේ, මේ කාර්පාස් එකත් ටයි එකත් නිසා තමන්ගේ වාහනය අනතුරකට පත්වූවිට විශේෂ වාසි හිමිවන බවයි. එහෙම නොතිබුනානම් සාමාන්‍ය පුද්ගලයන්සේ කුණුහරුපකියා රණ්ඩුවෙන්නට සිදුවන බවයි. දැන් මාලිමා ආණ්ඩුවේ අභිප්‍රාය වන්නේ ටයි පටයටවත් කාර්පාස් එකටවත් නොව මනුෂ්‍යාට සලකන සමාජයක් ඇතිකිරීමට බව මාලිමාට ඉතසිතින්ම සහයෝගය දුන් මේ විශේෂඥ වෛද්‍යවරයාට අමතකවීම පුදුමයට කාරණයකි. තවදුරටත් ටයි පැලදීමෙන්වත් කාර්පාස් පාවිච්චි කිරීමෙන්වත් තමන් බලාපොරොත්තුවන සමාජයට යා නොහැකිබව එතුමා වැනි අය තේරුම්ගත යුතුව ඇත. දැන් ඇත්තේ මේ සියල්ල අළුයම ලූ කෙළපිඬක් සේ සලකා බැහැර කොට නව සමාජයට අඩිය තැබීමයි. පරණ හණමිටි අදහස් කරපින්නාගෙන එය කළ නොහැක. මුලදී නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවන බව නොඅනුමාන ය. නමුත් “සිස්ටම් චේන්ජ්” කොට නව සමාජයකට අවතීර්ණ වීමට වෙනත් විකල්පයක් නොමැත.
- නිර්නාමිකයි
(image: https://www.gmoa.lk/unique-official-car-pass-for-doctors-launched/)
Tuesday, 14 October 2025
අතට අතදීම - To shake a hand, you need a firm mind

මේ සමග ඇති ශානිකා සෝමතිලක ගේ අනගි කාටූන් නිර්මාණය දුටු විට සිනහව අතරින්ම පරණ සිදුවීමක් මගේ සිහියට නැගුණි.
ඒ මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ සිදුවූවකි.
ඒ. ඩී. සිසිරප්‍රේම කුමාර යනු මා සමග කොස්සින්න සීලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ, එකල කොස්සින්නේ ම පදිංචිව සිටි, සම වයසේ සිසුවෙකි. පහේ පන්තියේ ගම්පහ අධ්‍යාපන කලාපයේ පැවැත්වුණු විභාගයෙන් සමත් වූ අප දෙදෙනාට ම හයවෙනි ශ්‍රේණියේ සිට ඒ ප්‍රදේශයේ හොඳම පාසල ලෙස ඒ කාලයේ සැලකුණු ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණි.
ඉන්පසු හත්වෙනි ශ්‍රේණියේ මෙන්ම අටවෙනි ශ්‍රේණියේ ද අප දෙදෙනා ම සිටියේ එකම පංතියේය. මේ නිසා අප දෙදෙනා නමවෙනි ශ්‍රේණියේ අවසානය දක්වාම වාගේ හොඳ මිතුරන් ලෙස සිටි අතර, එනිසාම, ඔහුගේ වාසගම වූයේ අක්මීමනගේ දොන් බව ද දශක ගණනාවකට පසුව ද මගේ මතකයේ රැඳී ඇත.
අප ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ හයවෙනි ශ්‍රේණියේ දී අපේ පන්තිය භාර ගුරුවරයා වූයේ ජේ. ඒ. කුලරත්න හෙවත් ජයසිංහ ආරච්චිගේ කුලරත්න මහතා ය. ඔහු අපේ ගණිතය ගුරුවරයා ද විය. ඒ ජයසිංහ කතාව අප එකල දැන සිටියේ නැත.
හයවෙනි ශ්‍රේණියේ සිටි සිසු සිසුවියන් හත්වෙනි ශ්‍රේණියට, අටවෙනි ශ්‍රේණියට උසස් වෙද්දි අපේ පන්තිය භාර කුලරත්න සර්ට ද ඒ ආකාරයටම උසස්වීම් ලැබුණි.
අටවෙනි ශ්‍රේණියේ පාසල පැවැත්වුණු මේ සිදුවීම වූ දිනයේ කුලරත්න සර්ගේ ගණිතය කාලපරිච්ඡේදයේ දී, කුමක් හෝ හේතුවක් නිසා, ප්‍රේමකුමාර සහ මා අතර යම් විරසකයක් ඇති විය. එයට හේතුව කුමක්ද කියා මගේ මතකයේ අද දක්වා රැඳෙන්නට සටහන් වී නැති නමුත්, මා සාමාන්‍යයෙන් "වලියට බර", වෙනත් අය සමඟ ලේසියෙන් ආරවුල්වල පැටලෙන අයෙකු නොවන බැවින් බොහෝ විට මෙහි දී සිදුවන්නට ඇත්තේ යම්කිසි ම විවාදාත්මක කරුණක් පිළිබඳව අප දෙදෙනා අතර ඇති වූ මත ගැටුමක් විය යුතුය.
ඒ සමගම කිවහැක්කේ, අපට ඒ වැනි විවාදයකට මග පෑදෙන්නට ඇත්තේ ගුරුවරයා විසින් කුමක් හෝ ගණිතය ප්‍රශ්නයක් විසඳන්නට අපට අණකර වෙනත් වැඩක් කරමින් සිටි කාලයේ දී බව ය.
කෙසේ හෝ අප දෙදෙනාගේ කසුකුසුව, විවාදය හෝ ආරවුලේ ශබ්දය කුලරත්න සර් ගේ කනට වැටුණි. ඒ බව මට වැටහුණේ අප දෙදෙනාට වහාම පන්තිය ඉදිරියට පැමිණෙන ලෙස ඔහු අණ කළ විට ය.
කුලරත්න සර් යනු හොඳ ගුරුවරයෙකු බව මගේ අදහස විය. ඒ මක්නිසාදයත්, ඔහු අපේ පන්තියේ සිටි කිසිදු සිසුවෙකුට පහර දෙනවා දැක ඇතිබවක් මගේ මතකයේ නැති නිසා ය.
මෙතනදී ද අප දෙදෙනාගෙන්ම කරුණු විමසා නඩුව ඇසූ කුලරත්න සර් තම විනිශ්චය දෙමින් අපට පවසා සිටියේ "අතට අත දී" යළි මිතුරු වෙන ලෙස ය.
මේ වනවිට ප්‍රේමකුමාරගේ අසාධාරණ කතාව, තර්කය, හෝ ක්‍රියාව නිසා මගේ සිතේ ඔහු ගැන ඇති වූ කෝපය නිවී තිබුණේ නැත. එනිසා ඔහුට එවේලේ අතට අත දුන්නා නම් එය මවාපෑමක්, රඟපෑමක් මිස සිතට එකඟව කරන කාර්යයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.
ඉතින් මා කළේ කුමක්දැයි සිතාගත හැකිද?
"මෙයාට අතට අත දෙන්න මට බැහැ!" යැයි මම ගුරුවරයාට පවසා සිටියෙමි.
තමන්ගේ අණට අවනත නොවීම යනු ගුරුවරයෙකුට සිසුවෙකුට පහරදීමට ඇති හොඳ අවස්ථාවකි.
නමුත් කුලරත්න සර් එසේ නොකළේ ය.
බොහෝවිට එයට හේතුව වෙන්නට ඇත්තේ මගේ ස්ථාවරය සහ ප්‍රකාශය අවංක එකක් බව ඔහුට වැටහීමයි.
හයවෙනි ශ්‍රේණියේ සිට ම ඔහු මා හොඳින් හඳුනන නිසා, පන්තියේ පළමුවෙනියා හෙවත් හොඳම ශිෂ්‍යයා ලෙස මා තබා ඇති වාර්තාව පිළිබඳව හොඳ අවබෝධයක් ඔහු සතුවීම ද එයට හේතුව වන්නට ඇත.
ප්‍රේමකුමාර සහ මම, නිසොල්මනේ ආපසු අපේ ආසන වෙත ගොස් අසුන් ගත්තෙමු. බොහෝ විට දින කිහිපයකට පසු මගේ කේන්තිය නිවී ගොස් යළි සමාදාන වෙනතුරු අප දෙදෙනා කතා බහකින් තොරව ඉන්නට ඇත.
- රසික සූරියආරච්චි
පසුකතා 1:
කුලරත්න සර් අප සමගම අටවෙනි ශ්‍රේණිය දක්වාම උසස්වීම ලැබූවද, එය එතැනින් අවසාන විය. අපේ පන්තියේ පිරිස නමවෙනි ශ්‍රේණියට ගිය විට දැනගත්තේ පෙරේරා නම් ගුරුවරයෙකුට අපේ පන්තිය භාර දී ඇති බවයි.
කුලරත්න සර් මට නැවත හදිසියේ මුණ ගැසුණේ කොළඹ එන් අයි බී එම් ආයතනයට පුද්ගලයෙකු මුණගැසීම සඳහා මා ගිය දිනයේ ය. ඒ 1993 වසර යැයි සිතමි.
පසුකතා 2:
ජේ ඒ කුලරත්නගේ වාසගම ජයසිංහ ආරච්චිගේ බව මා දැන ගත්තේ මා නමවෙනි ශ්‍රේණිය අවසානයේ ගලහිටියාව පාසලේ අධ්‍යාපනය අවසාන කොට උසස් අධ්‍යාපනය සඳහා කොළඹ පාසලකට ගොස් වසර විස්සකට පමණ පසු, මා එකල පර්යේෂණ කටයුත්තකට සම්බන්ධව සිටි මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඔහුගේ දියණිය මා කවුදැයි නමෙන් හඳුනාගෙන මා සමග දුරකථනයෙන් කතා කළ විටය.
ඇය මෙල්බර්න් නුවර සේවයේ නිරත ප්‍රසව හා නාරිවෛද්‍ය විශේෂඥ වෛද්‍යවරියකි. කුලරත්න සර් සහ ඔහුගේ බිරිඳ ජීවත්වෙන්නේ ද ඒ ප්‍රදේශයේ ය. ඔහු හා මා කෝවිඩ් සමයේ සූම් වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වීමු.
පසුකතා 3:
කුලරත්න සර් යනු මා සිතා සිටි පරිදි සිසුන්ට දඬුවම් නොකරන අයෙකු නොවන බවත්, මගේ බාල මල්ලීට මෙන්ම ඔහුට ද දඬුවම් ලෙස පහර දී ඇති බවත් මල්ලීගේ පන්තියේ සිටි සගයෙකු මීට වසර දෙක තුනකට පෙර මා සමග පැවසීය.
(image: https://www.facebook.com/photo/?fbid=822969620279064)
Wednesday, 17 September 2025
මිලියන්පති මගේ මිතුරා - My millionaire friend

වත්මන් ආණ්ඩුවේ ඇමතියලා නීති ප්‍රකාර ඉදිරිපත් කළ වත්කම් ප්‍රකාශ පිළිබඳව විස්තර මේ දිනවල සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය වේ.
එලෙස ප්‍රසිද්ධියට පත් වී ඇති වසන්ත සමරසිංහගේ පුද්ගලික වත්කම් පිළිබඳව ඔහුගෙන් රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රශ්න කළ විට ඔහු කළ ප්‍රකාශය දුටු මගේ මිත්‍රයකු තමාගේ වත්කම පිළිබඳව මා සමග පැවසූ කතාවක් මෙසේය.
ඒ ඔහු කිසිදු මහන්සියකින් තොරව, වත්කම අනුව, මිලියන්පතියෙකු හැටිය.
ඔහුගේ පියා 1970 දශකයේ මුල්කාලයේ දී තමන්ට ලැබුණු රුපියල් අට දහසක රක්ෂණ මුදලකින් ඒ කාලේ ගම්බද ප්‍රදේශයක අක්කර තුන්කාලක පමණ ඉඩම් කැබැල්ලක් මිලට ගෙන ඇත. එහි තිබුණු පැරණි රබර් ගස් කිහිපය ගලවා දමා ඒ දිනවලම පොල් පැල සිටවූවද, මේ දක්වා සත පහක ආදායමක් ලැබී නැත.
නමුත් කාලයත් ලංකාවේ බෝහෝ තැන්වල මෙන් සමඟම ප්‍රදේශයේ ඉඩම්වල වටිනාකම මුලින් ක්‍රම ක්‍රමයෙන් ද, මෑත කාලයේ දී ඉතා සීග්‍රයෙන්ද වැඩිවී ඇත.
මගේ මිතුරා පවසන ආකාරයට 1990 දී පමණ, එනම් වසර විස්සකට පසු, මේ ප්‍රදේශයේ පර්චස් එකක මිල රුපියල් 5,000 ක් විය.
පසුව 1996 පමණ වන විට රජයෙන් මේ ඉඩමේ කොටසක් අතපත්කරගෙන ඇත්තේ පර්චසයක් රුපියල් 15,000 පමණ ගෙවමිනි.
පිය උරුමයෙන් ලැබී මගේ මිතුරාට මේ ඉඩමෙන් පර්චස් 70 ක් පමණ මේ වනවිට හිමි ය. එනම් පියා වසර 55 කට පෙර රුපියල් අටදහසකට මිලට ගත් ඉඩමෙන් අඩකට මදක් වැඩි ප්‍රමාණයකි.
නමුත් මේ වනවිට ඒ පැත්තේ පර්චස් එකක මිල රුපියල් ලක්ෂ 15 කි.
"මං නිකම්ම ඉඳලා කෝටිපතියෙක් වෙලා," මගේ මිතුරා මා සමග සිනහවෙමින් පැවසීය. කැල්කියුලේටරයෙන් බැලූ විට ඇත්තටම කෝටි දහයකි.
මිතුරාගේ වත්කම සහ වසන්ත සමරසිංහගේ වත්කම අතර සමානකමක් මෙන්ම වෙනස්කම් ද ඇත.
වෙනස නම්, වසන්ත සමරසිංහගේ වත්කමින් (එනම්, ඉඩම් උපයෝගීකර ගැනීමෙන්) ඔහුට මාසිකව ආදායම් ලැබේ. මිතුරාට නම් කිසිදු ආදායමක් නැත.
සමානකම් නම්, මේ වත්කම් සියල්ල ඇත්තේ ඔප්පුවේ ය. මගේ මිතුරා වත්කමේ ආකාරයට ඇත්තටම මිලියනපතියෙක් වීමට නම් ඒ ඉඩම විකිණිය යුතුය.
- රසික සූරියආරච්චි
(image: create by gemini.google)
Wednesday, 28 May 2025
මලගෙවල්වල කතා පැවැත්වීම - The art and craft of funeral orations

මගේ ජීවිත කාලය තුළ මම අවමංගල්‍ය උත්සව තුනක කතා කර ඇත්තෙමි. ඉන් එකක් මට ලැබුණු අවස්ථාවකි, ආරාධනයකි. අනිත් අවස්ථා දෙකම මා මගේ උවමනාව නිසා ලබාගත් අවස්ථා ය.
මුල්ම අවස්ථාව මට ලැබුණේ අප විශ්වවිද්‍යාලයෙන් පිට වී අවුරුදු එකහමාරකට පමණ පසු අපේ කණ්ඩායමේ සිටි සගයෙකුගේ වැඩිමහල් සොහොයුරෙකු අවාසනාවන්ත ලෙස මරණය සොයා ගිය පසු ඔහුගේ අවසන් කටයුතු සඳහා සහභාගි වුණු අවස්ථාවේ දී ය.
දෙවනුව මා කතා කළේ මගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දී ය. පවුල වෙනුවෙන් කවුද කතා කරන්නේ යැයි එදා දහවලේ එම සභාව මෙහෙය වූ තැනැත්තා විමසනවා ඇසූ විගස මා කතා කළ යුතු යැයි මට සිතුණු බැවින් ඒ අවස්ථාව මම ලබා ගත්තෙමි. එය මා සිතමින් සිටි දෙයක් නිසා කිව යුතු කරුණු ද මගේ සිතේ ගොනු වී තිබුණි.
තුන්වෙනුව සහ අවසන් වරට මා කතා කළේ මගේ මවගේ අවමංගල්‍යය උත්සවයේ දී ය. එය ද කිසිදු පෙර සූදානමකින් තොරව එහි සිටියදී මංගල්‍ය උත්සවය අවසානයේදී සභාව මෙහෙය වූ තැනැත්තා වෙනත් කවුරුහරි ඉන්නවද කතා කරන්නට යැයි පැවසූ විට මා ලබා ගත් අවස්ථාවකි.
ඒ අවස්ථා තුනේ දී මා කියූ කතාවල සාරාංශය ඉදිරිපත් කිරීම පසුවට තබා සටහන ලිවීමට තුඩු දුන් මූලික කාරණය වූ, මාලිනී පොන්සේකා නම් සිනමා නිලියගේ අවමංගල සභාවේ දී සෞම්‍ය ලියනගේ විසින් කරන ලද කතාව ගැන මගේ අදහස කියනවා නම් එය මෙසේය.
මංගල උත්සවවල දී මෙන්ම, අවමංගල සභාවල දී ද කතා පවත්වෙන්නේ කවුද යන්න තීරණය කිරීමේ පරම අයිතිය ඇත්තේ මියගිය තැනැත්තාගේ ඥාතීන්ටය. බොහෝ අය මියගිය තැනැත්තාගේ හතර පරම්පරාවේ අය නියෝජනය වන පරිදි කතා බෙදා හරිති. සේවා ස්ථානයේ අය වෙනුවෙන්, මිතුරන් වෙනුවෙන් ද කතා ලැබේ.
මා ඉහත සඳහන් කළ මුල් අවස්ථාවේ දී මට කතා කිරීමට ආරාධනා කෙරුණේ මියගිය පුද්ගලයාගේ සොහොයුරා වෙනුවෙනි.
මාලිනී ෆොන්සේකාගේ අවමංගල්‍ය සභාවේ දී සෞම්‍ය ලියනගේ කතා කළේ ඒ පවුලේ අවශ්‍යතාව පරිදිය. ඔහු ඒ පවුලේ ඥාතියකි. එනම් අප බොහෝ දෙනෙකු දන්නා පරිදි සෞම්‍ය ලියනගේ මාලනී ෆොන්සේකාගේ ඥාති දියණියක වන සමන්ලී ෆොන්සේකාගේ සැමියාගේ සොහොයුරා ය.
සමනලීගේ සැමියා වන ඉන්ද්‍රචාපා ලියනගේ විසින් මාලිනී ෆොන්සේකාගේ සිරුර දවාලූ සොහොනට ගිනි අවුලනු අවසානයේ අපට පෙනුණි.
ඊළඟ වැදගත් කරුණ නම් මෙලෙස කතාවක් පවත්වන්නට ආරාධනා කළ පසු කිසිවකු "මෙන්න මේවා කියන්න ය, මෙන්න මේවා නම් කියන්න එපා ය" කියා නීති පනවන්නේ නැති බවයි.
මා කතා කළ අවස්ථා තුනේ දී මම ද මට ඕනේ දේ කීවා මිස වෙන අයට අවශ්‍ය දේ කියන්නට හෝ නොකියන්නට හෝ ගියේ නැත. (අවමගුලක දී නොව වෙනත් අවස්ථාවක මට කතාවක් කරන්නට ආරාධනය කළ අයෙකු ඉන් පසුව හැබැයි රසික එක කොන්දේසියක් තියෙනවා යනුවෙන් කියන්නට පටන්ගත් සැණෙන්, මා කළේ අනේ මේ මට අපහාස කරන්නට එපා යැයි කෙළින්ම පවසා සිටීමයි.)
ඉතින් සෞම්‍ය ලියනගේ ඊයේ කතා කිරීම ගැන ඒ පවුලේ අයට නැති ප්‍රශ්නයක් අපට තිබිය යුතු නැත.
එසේම ඔහු එහි දී කීවේ ඔහුට අවැසි දේ මිස ඒ කතාව අසා සිටි එක එක බයි-නොබයි සිපයියන්ට අවශ්‍ය දේ ද නොවේ.
අසා සිටි ඔබ සැමට ස්තුතියි.
- රසික සූරියආරච්චි
Thursday, 8 May 2025
විදෙස් රටකදී හමුවුණු සිංහල අංකල්ලා දෙදෙනා - Three bald men

අප්‍රේල් මාසයේ සති දෙකකට පමණ යුරෝපයේ සංචාරයත් සඳහා ගිය අවස්ථාවක මා ඉතාලියේ රෝම නගරයේ දී ලද අත්දැකීමකි මේ.
මා නවාතැන් ගෙන සිටි රෝම නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටා තිබුණු හෝටලයෙන් සවස්වරුවේ පිටත් වූ මා ලෝරෙන්තිනා නම් දුම්රිය පොළට ගියේ එතැන් සිට දුම්රියේ නැගී කොලෝසියම් දුම්රිය පොළ දක්වා ගමන් කිරීමටයි.
මා දුම්රිය ස්ථානයේ ආලින්දයට පිවිස මඳක් නැවතී බලා සිටියේ හිතවතෙකුගෙන් පණිවිඩයක් ලැබෙන තුරුයි.
මා මෙන්ම තවත් දෙතුන් දෙනෙකු ද ඒ ස්ථානයේ රැඳී සිටින බව මම දුටුවෙමි. එයින් සමහරෙකු එහි සිටින්නේ දුම්රියෙන් යමෙකු පැමිණෙන තුරු බව මට පැහැදිලි වූයේ නගරය පැත්තෙන් දුම්රියක් පැමිණි විගස එයින් බැස එන අය සමහරුන් පෙර ගමන් කර පිළිගෙන ඔවුන් කැටුව යන බව දුටු නිසා ය.
මෙසේ විනාඩි දහයක් පමණ ගත වූ පසු, මේ කාලය තුල දුම්රිය දෙකක් පමණ නගරයේ සිට එහි ළඟාවූයේ යැයි සිතමි, දුම්රිය පොළේ උඩ මාලයේ ඉතිරි වූයේ දෙතුන් දෙනෙකු පමණි. එක්වරම මගේ කනට ඇසුණේ “මොකද එයා කියන්නේ? ආවේ නෑ නේද? එනවා ද?” වැනි සිංහල වචන කිහිපයකි.
ලාංකිකයින් හෝ ඉන්දියානුවන් බව බැලූ බැල්මට සිතෙන, සිංහල භාෂාව භාවිතය නිසා ලංකාවෙන් පැමිණ සිංහලුන් බව පෙනෙන දෙදෙනෙකු මට දැකිය හැකිවිය.
“හලෝ, කොහොමද? සිංහල වචනයක් ඇහුණා ටික දවසකට පස්සේ” යැයි කියමින් මම ඔවුන් දෙදෙනා සමඟ කතා කළෙමි.
මේ දෙදෙනා පිළිබඳ විස්තරයක් පැවසුවහොත් මෙසේය.
මා හා සමාන වයසේ පිරිමි දෙදෙනෙකි. දෙදෙනාම උසින් එක සමාන ය. දෙදෙනාම කලිසම් කමිස සපත්තු ඇඳ පැළඳ, එදින වැඩි සීතලක් නොතිබුණත් ජැකට් ද ඇඳ සිටියහ.
එක් අයෙකුගේ තට්ටය පෑදී තිබුණු අතර හිස පසුපස සහ දෙපසින් පමණක් කෙස් ස්වල්පයක් දක්නට ලැබුණි. සමේ වර්ණය සලකතොත් ඔහු සෑහෙන්න තල එළලු පුද්ගලයෙකි.
අනෙක් පුද්ගලයා තොප්පියක් පැළඳ සිටියේය. සමේ වර්ණය ගැන කියනවා නම් ඔහු මුල් තැනැත්තාට වඩා පැහැපත් සමක් ඇති අයෙකු බව පැවසිය හැක.
ඉතින් අප කතාවට වැටුනෙමු.
මෙහිදී මා අප යයි කීවාට මා සමඟ කතා කළේ තොප්පිය පැළඳ සිටි පුද්ගලයා පමණි. අනිත් තැනැත්තා හිස වනමින් ප්‍රතිචාර දක්වමින් සිටියා පමණක් යැයි කිව හැක.
මා දැනගත් පරිදි ඔවුන් දෙදෙනාම දිගු කලකට පෙර ඉතාලියට පැමිණි අය වන අතර තොප්පිය පැළඳ සිටි තැනැත්තා මීට අවුරුදු විස්සකට පමණ පෙර ඉතාලියේ සිට එංගලන්තය බලා ගොස් දැන් ජීවත් වෙන්නේ එහිය.
ඔහු මෙහි පැමිණ ඇත්තේ කෙටි නිවාඩුවකට යැයි කියවුණි.
මා ද නිවාඩුවකට ඕස්ට්‍රේලියාවේ සිට අඟහරුවාදා මෙහි පැමිණි බවත් සඳුදා උදෑසනම නෙදර්ලන්තය බලා පිටත් වන බවත් මම පැවසුවෙමි.
“අයියෝ, අපරාදෙනේ එච්චර දුර ඉඳලා ඇවිත් ඔච්චර ඉක්මනට යන එක!” තොප්පිය පැළැඳි පුද්ගලයාගේ ප්‍රතිචාරය එය විය.
“ඇයි එහෙම කිව්වේ? මම සංචාරයකට නේ ආවේ දවස් හතක් ඉඳලා යන්න යනවා,” මම පිළිතුරු දුනිමි.
“ඒ වුණාට ඉතිං කොච්චර දේවල් තියෙනවද බලන්න?”
“කොච්චර බැලුවත් ඉතින් ඔච්චර තමයි. මං කලින් වතාවකත් ඇවිල්ලා සතියක් විතර ඉඳලා ගියා” මම එයට ද පිළිතුරු බැන්ඳෙමි.
පරාජය පිළිගෙන කතාව වෙනතකට යොමු කිරීමට දෝ තොප්පිය පැළඳගත් පුද්ගලයා මට අනිත් තැනැත්තා පෙන්නමින් මෙසේ කීවේය.
“අර ඉන්නේ මගේ ම මල්ලී. හිතන්න බැහැ නේද අපි දෙන්න අයියයි මල්ලි කියලා?”
ඔහු අදහස් කළ දේ මට හොඳින් වැටහිණි. මෙය කියවන ඔබට එහි අදහස වැටහුණේ නැතිනම් මදක් ආපසු ගොස් මේ දෙදෙනා පිළිබඳ විස්තරය කියවා බලන්න.
එසේ නමුත් එය වැටහුණේ නැතුවා සේ ම මම මෙසේ කීමි.
“අයියයි, මල්ලියි බව හොඳින්ම වටහා ගන්න තිබුණා. ඔයාගේ ඔය තොප්පිය ගැලෙව්වා නම්.”
එසේ කීමෙන් නොනැවතුණු මම, මගේ හිසේ පළඳා තිබුණු තොප්පිය ගලවා බූ ගා ඇති මගේ තට්ටය ඔහුට පෙන්වීමි.
ලැජ්ජාවට පත් වූ තොප්පිකාර අයියා “හපෝ නෑ මගේ එච්චර තට්ටෙ පෑදිලා නැහැ” යයි කියමින් තම තොප්පිය ගලවන්නට මෙන් එය යාන්තමට මෙන් අතින් ඇල්ලුව ද, එසේ නොකර ලැජ්ජා සහගත සිනාවක් පා නිහඬ විය.
ඒ මොහොතේම කළු තට්ට මල්ලිගේ දුරකථනයට ආ පණිවිඩයක් අනුව සුදු කොණ්ඩඤ්ඤ අයියා සහ කළු තට්ට මල්ලි මට අත වනා එතනින් පිටව ගියහ.
මොහොතකට පෙර තමන්ට හමුවුණු අයෙකු ඉදිරියේ තමන්, තමාගේ එකකුස උපන් මල්ලීට වඩා කඩවසම්, පැහැපත් අයෙකු බව පෙන්නන්නට තැත් කළ ඒ අයියාකාරයා මගෙන් සල්ලම් වුණේ එසේය. විනාඩි කිහිපයකට පසු මම ද ලවරෙන්තිනා දුම්රිය පොළෙන් පිටත් වී කොලෝසියම් දුම්රිය ස්ථානය වෙත මගේ ගමන ආරම්භ කළෙමි.
- රසික සූරියආරච්චි
(image: created using Canva AI)
Tuesday, 21 January 2025
ඩයරියේ ලියූ කතාවක් "ගජ මුතු" - Generation gap
මේ මගේ තරුණ කාලයේ මා සටහන් ලියූ දිනපොත් වලින් ඉතුරු වී ඇති එකම දිනපොතේ ඇති අපූරු කතාවකි.මේ කාලයේ මගේ වයස අවුරුදු දහඅට හමාරකි. උසස් පෙළ ලියා ප්‍රතිඵල ලැබී විශ්වවිද්‍යාලයට යාමට පෙර කාලයයි.
ඒ සටහන එක්තරා රේඩියෝ නාට්‍යයක කතාව ගැනයි.
ලංකාවේ රූපවාහිනී තිබුණත්, අපේ ගමට විදුලිය ඇවිත් සෑහෙන කාලයක් වුණත්, ගමේ ප්‍රධාන පාරෙන් මද දුරකින් පිහිටි අපේ නිවසට විදුලිබලය නොතිබුණු නිසා අපේ සවස් කාලය ගෙවුණේ ටෝච් බැටරියෙන් වැඩ කළ රේඩියෝව සමගයි.
“ගජ මුතු” නාට්‍යය ඇහුවා. හරි ලස්සනට යනවා ඒක. මම කියන්නේ කතාව අවසානයේ වලව් පරම්පරාවේ “අප්පෝ” සහ පහත් යැයි සම්මත (බෙරකරු?) කුලයේ “මුතුමලී” විවාහ විය යුතුයි.මේ කාලේ අපේ අම්මාගේ වයස අවුරුදු හතළිස් එකහමාරයි. ඒ කියන්නේ ඇගේ ජීවිතෙන් අඩයි.
එතකොටයි කුලභේදයට නියම පහරක් වදින්නේ?
ඒ දෙන්නා විවාහ නොවී කතාව කතාව ඉවරවෙනවා නම් ඔය නාට්‍යයෙන් ඇති වැඩේ මොකක්ද?
ඒත් අම්මාගේ සිතුවිලි වල හැටි?
අම්මා හිතන්නේ නැහැ අප්පෝවයි මුතුමලීවයි එක් කළ යුතුයි කියා. එසේ කරනවා නම් මුතුමලී වෙනින් “හොඳ” පවුලක ඉපදුණු නමුත් මේ “අඩු කුලේ” නිවසේ හැඳුණු දරුවෙක් කරයි ලු!
එහෙම අවසාන කරනවා නම් මේ කතාවේ වැඩක් නැත කියා මම අම්මාගේ අදහස ගැන වාද කරන්න හැදුවහම අම්මා කිව්වා: “එහෙනම් උඹ බැඳගනින් බෙරවායෙකුගේ දුවක්!” කියා.
අම්මාත් ඔය කුලභේදය ඔය තරම් සලකයි කියා මම හිතුවේ නැහැ.
කෙල්ල ලස්සන නම් ඉගෙනගෙන නම් වෙන මොනවාද?
මං ඔය කුලභේදය ගණනකට ගන්නේ නෑ. එසේ වූවත් අම්මලාගේ දුර්මත කැඩීම සඳහා වුවමනාවෙන් සොයාගෙන ගොස් එසේ විවාහ වීමටත් මට අවශ්‍යතාවක් නැහැ.
නමුත් එවැනි අවස්ථාවක් ජීවිතයේ උදාවුණොත් කිසිසේත්ම ඔය භේද මම සලකන්නේ නැහැ.
එය සහතිකයි. මොනතරම් පටු කල්පනා ද ඒවා?
පසුකාලීනව අම්මාගේ ඒ පැරණි ප්‍රතිගාමී අදහස් වෙනස් වෙන්න ඇති කියා මා හිතනවා.
- රසික සූරියආරච්චි
(image: Rasika Suriyaarachchi)
Friday, 3 January 2025
ජනවාරි පළමුවෙනිදා හෙවත් ජනේරුව - It was a holiday in SL as well, a long time back!

මට හොඳින් මතක හැටියට 1978 වෙනතුරු ජනවාරි පළමුවෙනිදා රජයේ නිවාඩු දවසක්. ඒ ජාතික වීර දිනය.
ලංකාවේ මුල් ම අගමැති ඩී එස් සේනානයක ගේ අයියා එෆ්.ආර්. සේනානායක ගේ උපන්දිනය ද එදා ය කියායි කියවුණේ. ඒ කියන්නේ බොහෝවිට මේ නිවාඩුව 1948 පමණ කාලේ සිට තියෙන්න ඇති.
අගමැති ජේ ආර් කාරයා තමන් ම, තමාව ලංකාවේ විධායක ජනාධිපති ලෙස පත්කර ගත්තේ 1978 පෙබරවාරි හතර වෙනිදා. ඒවන විට පෙබරවාරි හතරවෙනිදා ලංකාවේ නිවාඩු දවසක් නොවේ.
කොටින්ම, මං එදා ඉස්කෝලෙත් ගියා. ඉස්කෝලෙන් හොරෙන් පැනලා මිතුරෙකු එක්ක ජේ ආර් ගේ දිවුරුම් දීම බලන්න්ත් ගියා. ඒක තිබුණේ පාර්ලිමේන්තුව ළඟ ගෝල්ෆේස් පිට්ටනියේ.
මං කාලෙකට ඉස්සෙල්ලා එහෙම කිව්වාම, කවුද මන්දා ලපයි-සිපයි පොරක් මට හිනාවුණා, "කවුද බං පෙබරවාරි හතරවෙනිදා ඉස්කෝලේ යන මෝඩයා?", "කොහෙද බං පාර්ලිමේන්තුව ළඟ ගෝල්ෆේස් එකක්?" වැනි මෝඩ ප්‍රශ්න අසමින්.
ඒ සමගම ඒ කාලේ ජාතික දිනය හෙවත් ජනරජ දිනය වුණේ මැයි 22 දා. එදා වගේ දවසක 1972 දී තමයි, ලංකාව සියළු අධිරාජ්‍යවාදී බැමි අයින් කරලා, රජෙකුගේ පාලනයෙන් තොරව, ස්වාධීන රටක් හෙවත් ජතාවගේ රජයක් වුණේ. මං දැන් වාසය කරන ඕස්ට්‍රේලියාව තාම ජනරජයක් නොවේ. රටේ (නාමිකව හෝ) රාජ්‍ය නායකයා වන්නේ එංගලන්තයේ ඉන්නා චාලි ගොයියා. ලංකාව ජනරජයක් වෙන්න කලින්, ඒ කියන්නේ 1972 මැයි 22 දිනට කලින්, ලංකාවේ රාජ්‍ය නායක වුණේ, දැන් ඉන්න චාලිගේ අම්මා එලිසා.
ඉතිං ඒ 1978 අවුරුද්ද වෙනකල්, මැයි 22 දින, එනම්, ජනරජ දිනය රටේ නිවාඩු දිනයක්.
ඊට පස්සේ ආණ්ඩුව කළේ ඒ ජාතික දිනය (නිදහස් දිනය ලෙස යළි නම් කර) පෙබරවාරි හතරවෙනිදාට යොදා එදින නිවාඩු දවසක් කිරීමයි.
ජනවාරි පළමුවෙනිදාට යෙදෙන ජාතික වීර දිනය, 1972 සිට ජනරජ දිනය වූ මැයි 22 දාට ගෙන ගියා.
ඉන්පසු, ඒ කියන්නේ 1979 සිට, ජනවාරි පළමුවෙනිදා නිවාඩුව අවසන් නිසා එය වැඩ කරන දිනයක් වී කාර්යාලවල කිරිබත් කෑම, ආගමික ගොං පාට් කිරීම ඇරඹුණා.
නමුත් අපේ ගෙවල්වල නම් කවදත් කිරිබත් ඉව්වේ සහ කෑවේ අප්‍රියෙල් 13/14 දින පමණයි. ජනේරුව කියන රෝමානු ජනවාරි පළමුවෙනිදාට කිර්බත් ගැලපෙන්නේ නැති බවයි මගේ අදහස.
මැයි 22 ජාතික වීර දිනය ලෙස නිවාඩුව 1985 දී ද තිබුණා මට හොඳට මතකයි. ඒ මගේ එක් පෙම් සබඳතාවක් ඇරඹුණු දිනය නිසයි. දිගු සටනක් දිනූ දවස ලෙස සැළකිය හැකි එදා ජාතික වීර දිනය වීමේත් පොඩි ලල් එකක් තියෙනවා.
නමුත් අවාසනාවට මෙන්, ලල් එක ලොල් එකක් වී, ඒ පෙම් සබඳතාව සති කිහිපයකට පසු ජූනි 29 දින අවසන් වුණා. ඒ දිනයත් මට හොඳින් මතකයි.
නමුත්, මැයි 22 ජාතික වීර දිනය ලෙස තිබුණු නිවාඩුව අවසන් වුණේ කවදාදැයි මට මතක නැත!
(image: Rasika)
Tuesday, 24 December 2024
ජැක්සන් ඇන්තනි බෑනාගේ ප්‍රශ්නය පිළිබඳව මගේ උගත්, ධනවත් මිත්‍රයෙකු කී දේ - Jackson-son-in-law

අතුරුගිරිය ප්‍රදේශවාසී තරුණ සැමියෙකු මෙන්ම පියෙකු ද වන, එමෙන්ම හිටපු කවියෙකු ද, පොතක් රචනා කළ අයෙකු ද බව හීනටිගල වැනි නමක් ඇති පුද්ගලයෙකුට ප්‍රදේශයේ පොලිසියෙන් කරන ලද අඩන්තේට්ටම් සහ අනවසර අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ සිද්ධිය සහ එයින් මතුවුණු වෙනත් සමාජ මාධ්‍ය කතිකාවක් පිළිබඳව මගේ අදහස පසුගිය දිනයක ලියා පළ කළෙමි.
මගේ ඒ සටහනට මූූලාශ්‍ර වූයේ හීනටිගල විසින් ෆේස්බුක් එකේ ලියා පළ කර තිබූ සටහනක් සහ ඔහුගේ බිරිඳ පිළිබඳව කිහිපදෙනෙකු විසින් ලියා තිබූ අවලාද, අපහාස සහ සරදම් වැකි කිහිපයක් පමණි.
ඊට පසු දින ලංකාවේ වාසය කරන මගේ මිත්‍රයකු මා සමග මේ පිළිබඳ ව ඔහුගේ අදහස් දැක්විය.
මේ සටහන ලියන්නට සිතුනේ ඒ නිසායි.
මගේ මිත්‍රයා පවසන පරිදි මේ අවස්ථාවේදී හීනටිගල තරුණ පියාව මේ කාරණයේ දී අත්අඩංගුවට ගැනීමට මූලික හේතු දෙකක් තියෙන්නට ඇත.
- පොලිස් කාරයින් බීමතින්ව සිටීම
- පොලිස්කාරයින් විසින් තරුණ පියාගෙන් හැදුනුම්පත ඉල්ලූ විට ඔහුට එයට යටහත් පහත්ව පිළිතුරු දෙනු වෙනුවට, කඩේ යන්න කාඩ් එක ඕනෑ ද? ඇයි මාව අඳුනන්නේ නැද්ද? යනාදී වශයෙන් පිළිතුරු දීමයි.
රෑ යාමේ පයින් යන විට පොලිසියෙන් මගෙන් අයදුම්පත ඉල්ලා නැති වූවත්, පසුගිය අවුරුදු තිහකට පමණ ආසන්න කාලය තුළ මා වාහනයෙන් ගමන් බිමන් යද්දී අවස්ථා ගණනාවක දී ම පොලිසිය විසින් මගේ වාහනය නවත්වන්නට සංඥා කර තිබෙනවා.මගේ මිතුරා මා සමග පැවසූ පරිදි ඔහු කිසි දිනක කිසිම ට්‍රැෆික් පොලිස්කාරයෙකුට කිසිදු පගාවක් දී නෑ.
එවිට මා කරන්නේ හැකි ඉක්මනින්, ඒ ආසන්න තැනක ප්‍රවේශමෙන් වාහනය නවත්වා, වහාම දොර ඇර වාහනයෙන් එළියට බැස, පොලිස්කාරයින් සිටින දෙසට යෑමයි.
එසේ නැතුව කිසි දිනක මා ඔවුන් වාහනය අසලට එනතුරු ඉන්නේ නැහැ.
එයින් පමණක්, ප්‍රශ්නයෙන් බාගයක් විසඳෙන අතර අනවශ්‍ය අමතර ප්‍රශ්න පැනනැගීම ද සහමුලින්ම නැති වෙනවා.
ඒ සමගම ඔවුන් කියන දෙයට මා සාවධානයෙන් සවන් දෙනවා. යමක් කියන්නට අවශ්‍ය නම් පමණක් පවසනවා. අවශ්‍ය වුවහොත් පමණක් රාජකාරී හැඳුනුම්පත ලබාදෙනවා.
එමගින් අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ගැනීමටත්, මා අතින් වරදක් වී ඇතිනම් අඩුම පාඩුව සහිතව ඒ ප්‍රශ්නය විසඳා ගැනීමටත් හැකිවෙනවා. මා දඩයක් කියා ගෙවා ඇත්තේ අධිවේගී මාර්ගයෙන් පිටවෙන විට, ඇතුල්වුණු වේලාව අනුව වේග සීමාව ඉක්මවා ගියා යැයි එක් දිනයක නියම වූ දඩය පමණයි.
මා රියැදුරා සමඟ රාජකාරී ගමන් යන විටත් ඔහුට කියන්නේ ද හැමවිටම එසේ කරන්නට කියායි.
මගේ උගත්, ධනවත් මිතුරා මේ කරන්නේ කුමක් දැයි අමුතුවෙන් පහදා දිය යුතු නැත. එය මනෝවිද්‍යාත්මකව ප්‍රශ්ණ විසඳීමේ එක් ක්‍රමයකි.
එසේම, මෙවැනි අවස්ථාවක දී මගේ හැසිරීම නම් මගේ මිතුරාට වඩා වෙනස් බව කිව යුතුය.
මගේ මිතුරා හා මා සමවෙන්නේ පගා නොදීම සම්බන්ධයෙන් පමණි.
- රසික සූරියආරච්චි
ප/ලි:
මෙන්න මේ සිදුවීම ගැන මා ලියූ මුල් සටහන.
ජැක්සන් ඇන්තනිගේ දුව සහ බෑණා - What a cuel world?
https://rasikalogy.blogspot.com/2024/12/what-cuel-world.html
ප/ප/ලි:
අතුරු ප්‍රශ්නයක්
ජැක්සන් යනු ජැක් ගේ සන් හෙවත් ජැක් ගේ පුත්‍රයා ය.
එතකොට ජැක්සන් ගේ පුතා කවුද? ජැක්සන්සන් ද?
(image: Generated using Microsoft Designer AI service)
Sunday, 24 November 2024
ඉදිරි පෙළ අසුන - Front row seats

ශ්‍රී ලංකාවේ අලුත් පාර්ලිමේන්තුවේ පළමුවෙනි සැසිවාරය ඇරඹුණු දිනයේ දී විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසට හිමි අසුනේ වාඩිවී සිටින නිසා එතැනින් ඉවත් වෙන්නැයි දැනුම් දුන්නත් නිවැරදි ලෙස එම ඉලීම ප්‍රතික්ෂේප කළ අර්ජුනා රාමනාදන් නම් නවක මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීම දුටු විට මට මා මුහුණ දුන් පැරණි සිදුවීමක් මතක් විය.
මේ ඒ කතාවයි.
ඒ 2009 වසරේ නොවැම්බර් මාසයයි. අපේ ප්‍රදේශයේ ළමා සමාජය විසින් ගීත ගායනා කෙරෙන ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි.
සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රසංග පැවැත්වෙන්නේ සෙනසුරාදා දිනවල නමුත් යම් සුවිශේෂී හේතුවක් නිසා එම ප්‍රසංගය යෙදී තිබුණේ සිකුරාදා දිනයකය. එනම් රාජකාරී දිනයක ය.
දවසේ වැඩ රාජකාරි නිම වී නිවසට පැමිණ ලක ලෑස්ති වී ආපසු නිවසෙන් පිටව ළමා සමාජයේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන ස්ථානයට යාමට තරම් කාලය ශ්‍රමය හා ධනය නාස්ති කිරීමට අවශ්‍යතාවක් ද, කාලයක් ද නොමැති නිසා මා සැලසුම් කළේ කාර්යාලයෙන් පිටවී කෙලින්ම සංගීත ප්‍රසංගය පැවැත්වූ ස්ථානයට ගොස් එය අවසාන වීමෙන් පසු නිවසට පැමිණීමටයි.
මේ නිසා මා එදා සංගීත ප්‍රසංගය පැවැත්වුණු ශාලාවට ළඟා වෙන විට, එය ඇරඹීමට පැයකටත් වඩා කාලයක් ඉතුරු වී තිබුණි. ශාලාවේ සිටියේ සංවිධායකයින් පමණි. ආගන්තුකයින් නොව ඒ සියලු දෙනාම මගේ හිතෛෂීන් විය.
ශාලාවට ඇතුළු මා කොයි වෙලේ හෝ ප්‍රසංගය ඇරඹුණු විට එය හොඳින්ම ඇරඹීට සිතා ඉදිරි පේළියේ අසුනක වාඩි වී මගේ ඔෆිස් බෑගය විවර කොට එහි තිබූ නවකතා පොතක් අතට ගෙන කියවීමට පටන් ගත්තෙමි.
මෙලෙස අඩ පැයක් පමණ ගෙවී යන්නට ඇත.
නවකතාවේ ඇලී ගැලී සිටි මගේ උරහිසට යමෙකු තට්ටු කරනු දැනී මම ඒ අවධානයෙන් මිදුනෙමි.
මා අසල සිටියේ අපේ ළමා සමාජයේ සභාපතිය. ඔහු මගේ හොඳ මිතුරෙකි.
“රසික මේ පුටු දෙක අපි වෙන්කරලා තියෙන්නේ ආරාධිත අමුත්තන් යුවලකට. වෙන සීට් එකකට යන්නක ප්ලීස්!” යැයි ඔහු මා අමතා කීවේය.
අපේ ළමා සමාජය යනු ළමයින්ගේ සමාජයකි. සමාන සමාජයකි. මේ සමාජය හැඳින්වීම සඳහා යොදාගෙන ඇති forum නම් සුවිශේෂී වචනය ද අවුරුදු දහස් ගණනකට ඉහත සිට පැවතෙන සමානයෙන් පිළිබඳව අදහසක් දෙන්නකි.
ළමා සමාජයේ ප්‍රධාන උත්සව සඳහා ඒ ඒ ශාලාවේ ආසන පිහිටි ස්ථානය අනුව විවිධ මිල ගණන් අනුව ප්‍රවේශපත් අලෙවි කළ ද සම තලයේ ආසන පිහිටා ඇති තැන්වල දී, එනම් මේ ප්‍රසංගය පැවැත්වූ තැන වැනි ස්ථානවල දී එසේ නොකෙරුණි.
එසේම, මා වාඩිවී සිටි ආසනයේ හෝ එය පිහිටා තිබුණු පළමුවැනි පේළියේ හෝ මෙම ආසන වෙන්කර ඇති බවට කිසිදු සඳහනක් ද නොතිබුණි.
කෙසේ වෙතත් මේ මා අමතන්නේ අපේ ළමා සමාජයේ සභාපති නිසාත්, ඊටත් වඩා ඔහු මගේ මිතුරෙකු නිසාත්, මා කළේ කිසි විරෝධයක් නොදක්වා හිඳගෙන සිටි තැනින් නැගිට පිටුපසම පේළියට ගොස් වාඩිවීමයි.
එසේ කළ ද මගේ සිතේ යම් කිසි කණගාටුවක් ඇති නොවුනා නොවේ. නැවතත් කියනවා නම්:
- ආසන සියල්ල සඳහා ටිකට්පත් මිල සමාන ය.
- කිසිදු ආසනයක් වෙන් කර ඇති බවට සටහනක් පෙනෙන්නට නොතිබුණි
- ශාලාවට පැමිණි පළමු ප්‍රේක්ෂකයා ද මා ය.
- මා වාඩිවුණු තැනින් මට ඉවත් වෙන්නට යැයි ඉල්ලීම ලැබුණු මොහොතේ ඕනෑම කෙනෙකුට වාඩිවීමට අන් සියලුම ආසන පාහේ හිස්ව තිබුණි. පළමු පේළියේ මා සිටි ආසනයේ හැර අන් සියලුම ආසන ද හිස් ය.
නමුත් මම අවසන් පේළියට ගොස් ඉඳ ගත්තෙමි. ඒ අවසාන පේළියේ සිට අපේ ළමා සමාජයේ සංගීත ප්‍රසංගය නැරඹුවෙමි.
මා දන්නා හඳුණන යුවළක් මා කලින් වාඩිවී සිටි පළමුවැනි පේළියේ ආසනයේ සහ ඊට යාබද ආසනයේ අසුන්ගෙන සිටිනවා මම පසුව දුටුවෙමි.
අවශේෂ අලුත් කාල් අස්සේ මගේ රුපියල ගහන්නේ මොකටදැයි සිතා මම ඉන් පසු මෙවැනි ළමා සමාජ දර්ශනවල දී කිසිවිටෙක ඉදිරි පෙළේ අසුන් ගැනීමට නොගියෙමි.
පාර්ලිමේන්තුවේ රඟ දැක්වුණු අර්ජුනා රාමනාදන් සංදර්ශනය දැක මට ජොලියක් ගිය ඒ නිසා ය.
මේ කතාවේ දෙවැනි කොටසක් ද ඇත.
එය පසුව ලියන්නට හැක. ඒ ගැන දැනගැනීමට කැමතිනම් ඒ බව පහතින් සඳහන් කරන්න. ඔබ එය එපා කියන බව මට සිතේ.
- රසික සූරියආරච්චි
ප/ලි:
අර්ජුනා රාමනාදන් නම් නවක මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීම සහ ඒ ගැන මගේ අදහස මෙසේ ය.
අර්ජුනා රාමනාදන් වස්තුව - The curious case of Ramanathan Archchuna
https://rasikalogy.blogspot.com/2024/11/curious-case-of-ramanathan-archchuna.html (image: Received in an eMail in 2009. Creator unknown)
Saturday, 23 November 2024
අර්ජුනා රාමනාදන් වස්තුව - The curious case of Ramanathan Archchuna

මේ පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ 2024 නොවැම්බර් මස 21 වැනි දා ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹුණු දින සිදුවීමකි.
කලින් දැක නැති අය මුලින් ම මේ වීඩියෝව නරඹන්න.
මෙහි සිටින රාමනාදන් අර්ජුනා (Ramanathan Archchuna) නම් මන්ත්‍රීවරයා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඔහු ප්‍රථමවරට මෙවර පාර්ලිමේන්තුවට තේරී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමක වැඩිම මනාප ගත් තැනැත්තා හැටියට ය. ඔහු එහි දී ලබා ඇති මනාප ප්‍රමාණය යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත්වුණු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ම ලබාගත් මනාප සංඛ්‍යාවට වඩා වැඩිය.
පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සහ ඔවුන් අතරින් තෝරා ගන්නා ලද අගමැති, ඇමැති, විපක්ෂ නායක වැනි තනතුරු දරන්නන් එකිනෙකා සභා ගර්භයේ කුමන ආසනයක වාඩිවිය යුතු ද යන්න පිළිබඳව සම්ප්‍රදායක් පවතී.
ආණ්ඩු පක්ෂයේ අය අසුන් ගන්නේ කතානයකට වම් දකුණු පැත්තේය. විපක්ෂයේ මන්ත්‍රීවරු වම් පැත්තේ අසුන් ගත යුතුය. දෙපැත්තේම ඉදිරිපෙළ අසුන් වෙන්වන්නේ ඇමතිවරුන් හෝ ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ටය. අගමැති, සභානායක, ආණ්ඩු පක්ෂයේ සංවිධායක, විපක්ෂනායක, විපක්ෂයේ සංවිධායක වැනි අයට ද නියමිත අසුන් ඇත.
නමුත් පාර්ලිමේන්තුව ඇරඹෙන මුල් දිනයේ මන්ත්‍රීවරුන් සඳහා කිසිසේත් ම ආසන වෙන් කිරීමක් සිදු නොවන බවත්, ඔවුන්ට ඕනෑම තැනක අසුන් ගත හැකි බවත්, ලංකාවෙන් මුහුදු හතක් එපිට වාසය කරන මම පවා දැනගෙන සිටියෙමි. ඒ මා යූටියුබය ඔස්සේ මේ දිනවල නරඹන ලංකාවේ ප්‍රවෘත්ති වාර්තා නිසාය. මෙය පසුගිය මාස දෙකක් තිස්සේ පැවති ඡන්ද උණුසුම නිසා ඇති වූ ඇබ්බැහියකි.
රාමනාදන් අර්ජුනා දැන හෝ නොදැන (ඔහු පසුව රූපවාහිනී සාකච්ඡාවක දී කී ආකාරයට නොදැන) වාඩි වී ඇත්තේ විපක්ෂයේ ඉදිරිපස පේළියේ සාමාන්‍යයෙන් විරුද්ධ පක්ෂ නායකයාට නියම වෙන අසුනේ ය.
මේ වීඩියෝවෙන් පෙනෙන පරිදි ඒ සභාව ඇරැඹීමට දිගු වේලාවකට පෙර බව පෙනේ. ඔහු පසුපස අනිත් සියලු ආසන හිස්ව ඇත.
පසුව සභාවට පිවිස, විපක්ෂ නායකයා සාමාන්‍යයෙන් වාඩිවෙන ආසනයේ වෙනත් අයකු වාඩි වී සිටින බව දැක ඇති සජිත් ප්‍රේමදාස, ඇත්තටම මේ වන විට ඔහු විපක්ෂ නායක බව නිවේදනය කර නොතිබුණි, පාර්ලිමේන්තුවේ කාර්ය සහායකයෙකු අමතා එහි සිටින පුද්ගලයා ඉවත්කර ඒව අසුන ඔහුට ලබා දෙන ලෙස ඉල්ලා ඇත. කාර්ය සහායකයා අර්ජුන රාමනාදන්ගෙන් මෙලෙස ඉල්ලන්නේ ඉන් පසුව බව කියැවේ.
රාමනාදන් අර්ජුනා මේ වීඩියෝවේ නිවැරදිව පවසන පරිදි මුල් දිනයේ කිසිවෙකුට විශේෂ අසුන් පනවන්නේ නැති නිසා විපක්ෂ නායකට අවශ්‍ය නම් වාඩිවීම සඳහා රාශියක් එහි ඇත. අර්ජුනා රාමනාදන් තමන් වාඩිවී සිටින ආසනයෙන් ඉවත් විය යුතු නැත.
එනිසා, මේ වීඩියෝවෙන් දැක්වෙන තත්පර කිහිපය තුළ තමන් වාඩිවී සිටින අසුනෙන් ඉවත් නොවන බවට ඔහු කරන ප්‍රකාශයේ කිසිදු වරදක් නැත. එය මගේ සිත් ගත්තේය.
එසේම මේ පිළිබඳව තවත් කරුණක්ද කිව යුතුය.
මේ නවක මන්ත්‍රීවරයා මේ සිදුවීමට පෙර කළ, කී කිසිදු දෙයක් හෝ මේ සිදුවීමට පසුව කරන, කියන කිසිදු දෙයක් හෝ මේ සිදුවීමේ වරදක් නැතැයි පවසන්නට හා ඒ ආස්ථානය හා එකඟ වෙන්නට බාධාවක් නොවේ.
මේ හා සමානකමක් ඇති වෙනත් කරුණක් මගේ මතකයට එයි.
ඒ මේ සිදුවීමට ද සම්බන්ධ සජිත් ප්‍රේමදාස පිළිබඳව ය.
අප සියලු දෙනා දන්නා පරිදි දෙවරක් ජනාධිපති ඡන්දයෙන් ද, දෙවරක් මහ චන්දයෙන් පරාජය වී ඇති සජිත් ප්‍රේමදාස සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ බුද්ධි හීනයෙකු ආකාරයට ය. බොහෝ විට පවසන්නේ අපට සාපේක්ෂව අමන කතා ය.
නමුත් ඔහු කරන කියන සියලුම දේ බුද්ධිගෝචර නොවේ යැයි එයින් නිගමනය කළ නොහැක.
ඔහු විටින් විට විශ්මයජනක ලෙස වැදගත් දේ ද පවසයි. ඔහු පැවසූ එවැනි කරුණු දෙකක් කෙතරම් අගනේ ද යත් මම ද එය ප්‍රශංසා කරමින් රසිකලොජි බ්ලොගයේ ලිපි දෙකක් ලියා පල කරමි.
මෙන්න ඒ ලිපි.
1. ඡන්ද පොරොන්දුවක් ලෙස 2019 ජනාධිපති ඡන්දයේ දී ඔහු පැවසූ තරුණ පාසැල් සිසුවියන්ට ආවර්ථ කාලවල දී භාවිතා කිරීම සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ පාසල් හරහා ලබා දෙන බවට කළ ප්‍රකාශය
https://rasikalogy.blogspot.com/2019/10/slaves-have-no-use-of-their-brain.html
2. තමන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීම සඳහා නිරන්තරයෙන්ම ඉගෙන ගන්නා බවත්, ඒ සඳහා තමන්ගේ අතේ දුරින් සැමවිටම ඉංග්‍රීස් තිසෝරස් (thesaurus) ග්‍රන්ථයක් තබාගන්නා බවත් පැවසීම
https://rasikalogy.blogspot.com/2020/08/sajiths-has-good-advice-for-all-of-us.html
- රසික සූරියආරච්චි
(image: created using gemini.google AI service)
Friday, 22 November 2024
මහා පිරිත් ලණු ප්‍රශ්නය හෙවත් මං දැන් MK? - With metta


මාර වැඩේ නේ ෆ්‍රෙන්ඩ්ස් මට වුණේ.
දවස් දෙකකට කලින් මට පන්සලකට යන්න වුණා සෑහෙන කාලෙකට පස්සේ. මං හිතන්නේ ඇමෙරිකාවේ ඉඳලා ආපු හිතවත් දෙදෙනෙකු සමග එහි දිනයට පසු මුල්වරට.
එදා ගියේ ඒ අවට මනස්කාන්ත පරිසරය නරඹන්න හිතවතුන් රැගෙන ගිය අතරතුරේ. මෙදා ගියේ හිතවත් පවුලක වැඩිහිටියෙකු මියගොස් තුන් මාසේ දානය දෙන්න.
ඉතින් ඔන්න පන්සලේ විහාරය ඇතුළේ බුද්ධ පූජාව තියලා හාමුදුරුවරු දෙන්නා පිරිත් සජ්ඣායනය කළා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ (ලොකු කිව්වට වයසක කෙනෙක් නොවේ) පිරිත් ලණු තුනක් අරගෙන අපිට එන්න කිව්වා අත්වල බඳින්න.
මාත් ඉතින් ගිහින් අතේ බැඳගෙන හිටපු ඔරලෝසුවක් ගලෝලා පිරිත් ලණුව බඳින්න අත දිගුකළා. හාමුදුරුවෝ බැන්දා.
අනිත් හාමුදුරුවෝ පෝච්චියක් වගේ එකක් අතින් අරන් පිරිත් වතුර බොන්න මට කතා කළාට මම ඒකට අහුවුණේ නැහැ. ඒ පෝච්චිය ඇතුලේ මොන විෂබීජ බෝ වෙලා තියෙනවද කවුද දන්නේ?
දවස් දෙකකට පසු අද උදේ යූටියුබය හරහා ලංකාවේ දේශපාලන වීඩියෝවක් නරඹමින් සිටින කොට තමයි මට තේරුණේ මගේ පිරිත් ලණුව මං බන්දවාගෙන තියෙන්නේ වම් අතේ බව.
ඒ වීඩියෝවේ හිටපු නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිරිත් ලණුව බැඳලා තියෙන්නේ දකුණු අතේ.
දැනුම් තේරුම් ඇති මිතුරන්ගෙන් මට දැනගන්න ඕනෑ වම් අතේ පිරිත් ලණුව බැඳීම හොඳ නැතිද, එයින් පව් සිදුවෙනවා ද කියන කාරණය ගැන.
මෙත් සිතිනි.
- රසිකොලොජිස්ට්
(image: Rasika Suriyaarachchi)
Thursday, 14 November 2024
දෙක මොකක්ද, හතර මොකක්ද? - WTF are the second and the fourth?

අදට නියමිත මහ ඡන්දය මෙතෙක් නොවූ විරූ ආකාරයේ සුවිශේෂී එකක් බව කියමින් ඒ සඳහා සාධක ලෙස සැලකිය හැකි ඔහුගේ නිරීක්ෂණ හයක් සහිත සටහනක් මගේ ෆේස්බුක් මිතුරෙකුවන පාලිත ඉද්දමල්ගොඩ විසින් ඊයේ උදෑසන පළ කර තිබුණි.
එහි හයවෙනි නිරීක්ෂණය මේ ආකාරයේ විය.
....... පන්සිල් පද විප්ලවීය ලෙසින් වෙනස්කරමින් දෙවෙනි ශික්ෂාපදය හතරවෙනි තැනටත්, හතරවෙනි ශික්ෂාපදය දෙවෙනි තැනටත් වශයෙන් අනුපිළිවෙල වෙනස් වී ඇත.......මෙම ගැටපදය එක්වරම ලිහා ගැනීමට නොහැකිව මම අසරණ වීමි.
එයට එක් හේතුවක් නම් මම පාසලේ එකොළොස් වැනි ශ්‍රේණියේ දී එක් උදෑසනක රැස්වීම වේලාවේ පන්සිල් ගත්තාට පසු අද වෙනතුරු පන්සිල් නොගැනීම විය යුතුය. මහණුන් පන්සිල් දෙනවා සහ ගිහියන් පන්සිල් අරගන්නවා අසා තිබුණ ද මා කටින් හෝ සිතින් නොකියන නිසා එය විය හැක.
වයස නමැති ශ්‍රිතයේ ද බලපෑමක් තිබෙන බව නිසැකය.
නමුත් මට පන්සිල් පද පහේ එක, තුන, පහ යනු කවරේදැයි හොඳින් මතක තිබේ. අනිත් පද දෙක මුසාවාදා වේරමණී සහ අදින්නාදානා වේරමණී බව ද මතකයේ ඇත.
අවුල වූයේ මේ ගැටපදය ලිහීමට දෙවෙනි සහ හතරවෙනි ශික්‍ෂාපද කවර ඒවාදැයි එක්වරම සිතාගත නොහැකි වීමයි.
පන්සිල් ආරම්භ වෙන හැටි මතක නිසා පළමුවෙනි ශික්ෂා පදය පාණාතිපාතා වේරමණී බව අමතක නොවේ.
සුරාමේරය ගැන නිතරම කතාවෙන නිසා පස්වෙනි ශික්ෂාපදය වන සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී ද මතකයේ ඇත.
තෙවන සිල්පදය නොකඩමි කියා හාමුදුරුකෙනෙකුගේ කතාවක් රැගත් ගුණදාස ලියනගේ ලියූ නවකතාව ළමා කාලයේ දී කියවා ඇති නිසා තුන්වෙනි සිල් පදය කියන්නේ ද මොකක්ද කියා ද අංකය සමඟම මතකයේ ඇත.
පසුව අනුපිළිවෙල සිහිපත් කරගත හැකි වුවද, අදින්නාදානා වේරමණී සහ මුසාවාදා වේරමණී යන ශික්ෂා පද දෙකේ අනුපිළිවෙල අංක මොනවාදැයි එක්වරම මගේ මතකයට නොආවේ ඇයිදැයි සිතාගත නොහැක.
පන්සිල් පද පහ පෙළ ගස්වා ඇත්තේ ඒවායින් සිදුවෙන පවේ හෙවත් අනුන්ට සිදුවන කරදරය අඩුවෙන පිළිවලට යැයි බුද්ධාගම පාඩමේදී අපට ඉගැන්වූවාදැයි කියා මතක නැත.
නමුත් එය එසේ යැයි සිතේ.
ඒ අනුව, මට පාලිත ඉද්දමල්ගොඩ හා එකඟ විය නොහැක. දෙවන පන්සිල් පදය, එනම් අදින්නාදානා වේරමණී යන්න සිව්වැන්න එනම් මුසාවාදා වේරමණී යන්නට වඩා වැදගත් දෙයකි. එය වෙනස් වී නොමැත.
අපට මේ සියල්ලටම පිළිතුරු නොබැම්බර් 15 දින උදෑසන වනවිට පැහැදිලි වනු ඇත.
- රසික සූරියආරච්චි
(image: )
Tuesday, 12 November 2024
ඉලෙක්ෂන් ඇබ්බැහිය - Are you addicted to AKD speeches?
සාමාන්‍යයෙන් ඇබ්බැහිය කියලා කියන්නේ නරක දෙයක් නේ? මත්පැනට ඇබ්බැහිවීම, සිගරැට්වලට ඇබ්බැහිවීම, වීඩියෝ ගේම්වලට ඇබ්බැහිවීම, බඩවැල් සේ ඇදෙන ටෙලිනාටක බැලීමට ඇබ්බැහිවීම වැනි දේවල් තමයි අපේ සිහියට එන්නේ.
ඒ නමුත් පොතපත කියවීමට ඇබ්බැහිවීම වැනි තව වෙනත් සමහර දේ නරක ලෙස සැලකෙන්නේ නැහැ.
දැන් මාස තුනක පමණ කාලයක සිට මා යම්කිසි දෙයකට ඇබ්බැහි වුණා.
ඒක තමයි දේශපාලන කතා යූටියුබ් එක හරහා නැරඹීමට ඇබ්බැහි වීම. ඒ විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ කතා.
අනූවේ දශකයේ මුල් කාලයේ අවුරුදු හතරහමාරක් විතර මාත් කැලණිය විශ්වවිද්‍යාලයේ සිටි නිසා සමහර විට ඔය අනුර දිසානායකගේ බැච්මේට්ස්ලා කිහිප දෙනෙකු ගැන මා දන්නවා විය යුතුයි. නමුත් මා ඔහුව මුලින්ම දුටුවේ සහ දේශපාලකයකු ලෙස ඔහු ගැන දැන හොඳින් දැනගත්තේ 2010 වසරේ අග භාගයේ දී අනුර දිසානායක සිඩ්නි නගරයට පැමිණි අවස්ථාවේ දී පැවැත්වුණු සම්මන්ත්‍රණයක් වැනි අවස්ථාවකට සහභාගී වූ නිසයි.
ඔහු එදා මෙහි පැමිණියේ අර්ජුන රණතුංග සමඟ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ ව්‍යාපාරය යනුවෙන් කළ, එවකට සිරභාරයේ සිටි සරත් ෆොන්සේකා බේරා ගැනීමේ, උද්ඝෝෂණයක කොටසක් ලෙසයි.
එහිදී ම අනුර කුමාර දිසානායක ඉතා සාරගර්භ කථාවක් කළා. ඒ අවසානයේ මට ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසීමට ද අවස්ථාවක් ලැබුණා.
තවත් කලකට පසුව, ලංකා පාර්ලිමේන්තුවේ පවත්වන කතාවල කොටස් පවා යූටියුබෙන් නැරඹීමට අවස්ථාව ලැබුණු පසු මා ඔහු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශ කිහිපයක කොටස් දැක තියෙනවා.
ඉන්පසු, මීට අවුරුදු දෙකකට පමණ පෙර සූම් තාක්ෂණය ඔස්සේ අනුර කුමාර දිසානායක ඕස්ට්‍රේලියාවේ වාසය කරන පිරිසක් සමග කළ සාකච්ඡාවකට සහභාගී වන්නට මට අවස්ථාව ලැබුණි.
ඒ ගැන රසවත් කතාවක් තියෙනවා. පසුව ලියන්නම්.
ඊටත් පසුව, ඔහු දෙවනවරට සිඩ්නි පැමිණි අවස්ථාවේ, එනම් පසුගිය වසරේ 2023 ජූලි මාසයේ දී මිතුරෙකු සමග ගොස් මං ඔහුගේ කතාවට සවන් දුන්නා.
නමුත් මෙහි අදහස් කරන අනුර දිසානායකගේ කතා ඇසීමට ඇබ්බැහිකම ඇතිවුණේ මීට මාස තුනකට පමණ පෙර ජනාධිපති ඡන්දයේ උණුසුම නිසායි.
එක දිනකට දෙක තුන බැගින් සේ පැවැත්වුණු මේ කතාවල බොහෝ විට කියවුණේ එකම දේ වුණත්, නැවත නැවත අහන්නට අවුලක් වුණේ නෑ.
ජනාධිපති ඡන්දය අවසාන වී වැඩිකල් නොගොස් තව ඡන්දයක් පැමිණීම නිසා මේ ඇබ්බැහිවීම දිගටම අද දක්වා ආවා.
යාපනය වවුනියාව පෙරේදා, ගම්පහ සහ පිළියන්දල ඊයේ ද නැරඹුවා.
දැන් ඉතින් මේ ඒ ඇබ්බැහියේ අවසානය විය හැකියි.
මේ වන විට මා, ඊයේ රාත්‍රී විකාශය වී ඇති රූපවාහිනී නාලිකාවක් සමග අනුර කුමාර දිසානායක කරන සාකච්ඡාවත් නරඹා අවසානයි.
ඒ රූපවාහිනී සාකච්ඡාව නොදුටු අයෙකුගේ ප්‍රයෝජනය පිණිස මෙන්න ඒ සඳහා සබැඳියක්.
- රසික සූරියආරච්චි
(image: AI generated)
Friday, 8 November 2024
පව්කාරයාට ගල්ගැසීමේ බයිබල් කතාවේ අවුලක්? - Throwing the first stone

ඔක්තෝබර් දෙවෙනි දින මහනුවර දී පැවැත්වුණු ජාතික ජන බලවේගයේ ඡන්ද රැස්වීමක් ඇමතූ එම දේශපාලන ව්‍යාපාරයේ නායකයෙකු මෙන්ම මෙවර මහඡන්දයේ අපේක්ෂකයෙකු ද වන කුරගමගේ දොන් ලාල්කාන්ත සහෝදරයා බයිබලයේ සඳහන් ජේසුස් ගණිකාවකට ගල් ගසා මැරීමට තැත්කිරීමේ අවස්ථාවක් විසඳූ ආකාරය ගැන කතාව සිහිපත් කරනු ඒ කතාව යූටියුබයේ තිබේ ඊයේ නැරඹූ මට පෙනුණි.
දේශපාලනිකව ඔහු පැවසුවේ, මීට කලින් අවස්ථාවල දී වෙනත් දේශපාලන පක්ෂවලට සහය දුන්, ඒ අනුසාරයෙන් දූෂණයට වංචාවට සහය දැක්වූ අයට පහරදීමට නම්, අප ද කිසිදු වරදක් නොකළ පාරිශුද්ධ අය විය යුතු බවයි.
ඒ කතන්දරය හැඳින්වෙන්නේ “පව්කාරයාට ගල්ගැසීම” යනුවෙනි.
“පව්කාරයාට ගල්ගැසීම” නමින් මාටින් වික්‍රමසිංහ මීට අවුරුදු අනූවකට පමණ පෙර ලියූ “කෙටිකතාවක්” ඇත. කතාවකි. අද අප දන්නා මිණුම් දඬු අනුව නම් එය කෙටිකතාවක් ලෙසින් නම් කර නොහැකිය. මා සිතන පරිදි ඒ “කතාව” ඔහු විසින් සිළුමිණ පුවත්පත සඳහා ලියන ලද කොළමක එක් එපිසෝඩයක් විය හැක.
ඒ කෙසේ වෙතත් මේ “පව්කාරයාට ගල්ගැසීම” නම් රචනයේ එක් තැනක බයිබලයේ එන පෙර සඳහන් කතාවක් ගැන කියවේ.
බයිබලයේ නව තෙස්තමේන්තුවේ යොයාන් (ජෝන්) ගේ ශුභාරංචියේ එන එම කතාවේ සරල සිංහල පරිවර්තනය ලුතරන් මිෂනාරි සංගමයේ වෙබ් අඩවියෙන් උපුටා මෙසේ දක්වමි.
....ලියන්නන් සහ පරිසිවරුන් කාමමිත්‍යාචාරයේ හැසිරෙද්දී හසුවුන ස්ත්‍රියක් අරන් එනවා, සහ ඔවුන් ඇයව මැද සිටෙව්වාට පසු ඔහුට කියනවා, “ගුරුතුමනි, මේ ස්ත්‍රිය කාමමිත්‍යාචාරයේ යෙදී සිටිනවිට අල්ලා ගත්තා. එහෙත් මෝසස් නීතියේ අපට අණ කරා, මෙවැනි අය ගල් ගසා මැරීමට. එම නිසා ඔබ කුමක්ද කියන්නේ?”මේ කතාව සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ:
නමුත් ඔවුන් මෙසේ කිව්වේ ඔහු පරීක්ෂා කිරීමටයි. එවිට ඔහුට චෝදනා කිරීමට ඔවුන්ට යම් දෙයක් තිබෙයි. නමුත් යේසුස් වහන්සේ බිමට නැමී ඔහුගේ ඇඟිල්ලෙන් පොළවේ ලියමින් සිටියා.
එවිට ඔවුන් ඔහුගෙන් දිගින් දිගටම ඇහුවාට පසු, ඔහු හිස ඔසවා ඔවුන්ට කිව්වා, “ඔබ අතරේ පවක් නැති කෙනා පළමුව ඇයට ගලක් ගසන්න.”
...නැවතත් ඔහු හිස නමා පොළොවේ ලියන්න පටන් ගත්තා.
එවිට ඔහුට ඇහුම්කන් දුන් අය, වැඩිහිටියන්ගේ සිට බාලයනුත් එකිනෙකා එතැනින් ඉවත් වුනා,....
1. සමාජයේ සියළුදෙනා ම පාහේ විවිධාකාරයේ වැරදි කර ඇති අය, එනම් පව්කාරයින් බව පවසන්නටයි.
එසේම, මට සිතෙන ආකාරයට මේ කතාව ලියූ පුදගලයා එයින් කියන්නට අදහස් කළත් නැතත් පහත සඳහන් කරුණු ද කියවේ.
2. ගල්ගසා මැරීම වැනි දඬුවම් ම්ලේච්ඡය යන්න
3. ගණිකාවක වීම යනු දඬුවම් ලැබිය යුතු වරදක් නොවන බව
පෙර කී ඡන්ද රැස්වීමේ දී මේ කතාව සඳහන් කළ ලාල්කාන්ත එහි රැස්ව සිටි ප්‍රේක්ෂකයින් අමතා, මෙතැන කවුරුහරි ඉන්නවා නම් අත උස්සන්න දේශපාලනයේ දී හෝ පෞද්ගලිකව හෝ වෙනත් ආකාරයකට් හෝ වරදක් නොකළ යැයි කීවේය.
ජාතික ජන බලවේගයේ රැස්වීම් භූමියේ සිටි කිසිවෙකු අත එසෙව්වේ නැත. වේදිකාවේ සිටි අයෙකු අත එසෙව්වාදැයි පෙනෙන්නට කැමරාව ඒ පැත්තට යොමු නොවුණි.
ඒ මොහොතේ මගේ සිතට ආ කුකුස මෙයයි.
ලාල්කාන්ත අත ඔසවන්න යැයි කීවිට කිසිවෙකු අත නොඉස්සීමේ පුදුමයක් නැත.
නමුත් එදා ජේසුස් කීවාය කියා ඒ කතන්දරයේ ලියවී ඇත්තේ අත ඔසවන්න යැයි කියා නොවේ. අර අසරණ කාන්තාව ගල් ගසා මැරීම ආරම්භ කිරීමට පළමු ගල ගහන්නට කියායි.
එනිසා, මට සිතුණේ එතැන කිසිදු වරදක් නොකළ එක් අයෙකු හෝ සිටින්නට ඇත කියාය.
එසේ සිටියා නම් ඒ කිසිදු වරදක් නොකළ තැනැත්තා ඒ අසරණ කාන්තාව ගල් ගසා මැරීම ආරම්භ කිරීමට පළමු ගල නොහැසුවේ ඇයි?
මක්නිසාද යත් තම ජීවිත කාලයටම කිසිදු වරදක් නොකළ තැනැත්තෙකු, තම ජීවිතයේ පළමු වරද කරමින් අසරණ කාන්තාවක් ගල් ගසා මැරීම ආරම්භ කිරීමට පළමු ගල තියා එකදු ගලක් නොගසන නිසා ය.
එනිසා බයිබලයේ කතාව සමග මූලිකවම කියවෙන පැහැදිලිකිරීමේ අවුලක් ඇතැයි මට සිතේ.
- රසික සූරියආරච්චි
(image: Generated using Microsoft designer)
Wednesday, 30 October 2024
උපන්දින මතක - Happy birthdays were not there at the begining!

ඔක්තෝබර් 27 දින මේ බ්ලොගයේ ද, මගේ ද උපන්දිනයයි. නමුත් මේ කෙටි සටහන නම් ජීවිතයේ මුල් කාලයේ මගේ උපන්දින සංවත්සර දිනය ගෙවුණු ආකාරය ගැනයි.
මා කුඩා කාලයේ උපන්දින යනු සාමාන්‍ය දින ම වූවා මිස කිසිදු විශේෂත්වයක් තිබුණු බවක් මගේ මතකයේ නැත.
අප නිවසට නුදුරින් පිහිටා තිබුණු නිවසක විසූ මගේ ඥාතියකු ද වන මට වඩා මාස හයක් පමණ වයසින් වැඩිමහල් මිතුරෙකු වූ ආනන්ද ජයතිලකට නම් ඒ දිනවල ඔහුගේ උපන්දිනය දා කොස්සින්න පන්සලේ මල් පූජා පින්කමකට සහභාගී වීමට සිදුවිය. මේ බව මට මතක තියෙන්නේ අප කුඩා කාලයේ එක් වසරක, අප්‍රේල් 28 වෙනිදාවක් වැනි දිනයක, පන්සලට ගෙනියාම සඳහා අරලියමල් කැඩීමට මා ද ඔහු සමග ගිය බැවිනි.
පසු කලෙක අපේ අම්මා කේක් හදන්නට ඉගෙන ගත් පසු ඇය තම දරුවන් තිදෙනාගේ උපන් දිනවල අනිවාර්යයෙන්ම කේක් බේක් කළාය. අපේ ප්‍රියතම කේක් වර්ගය වූයේ රටඉඳි යොදා සාදන ඩේට් කේක් එකයි.
කේක් සාදා, කපා, කෑව ද "හැපි බර්ත් ඩේ" ගීය ගායනා කිරීම හෝ විශේෂ තෑගි දීම යනාදිය අපට හුරුපුරුදු වූයේ නැත.
අතීතය ගැන කල්පනා කර බැලීමේදී සාමාන්‍යයෙන් තරුණ ජීවිතයේ වැදගත් ලෙස සැලකෙන දහඅටවෙනි උපන්දිනය දින, ඒ වන විට උසස් පෙළ විභාගයෙන් පසු ඉසුඹුළමින් සිටි මා ගත කළේ මගේ මව් පාර්ශයේ මහ ගෙදර බව පෙනේ. එලෙසම වැදගත් වයස විසි එකේ උපන් දිනය මා ගත කරන්නට ඇත්තේ නුවරඑළියේ බෝඩිමක ය. ඒ වනවිට මා පෙම්වතෙකි.
විශේෂ වැදගත්කමක් නැති වයස විසිතුනේ උපන්දනය දා මා තව සති දෙකකින් පමණ පැවැත්වෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසන් කඩඉමට සූදානම් වෙමින් සිටියෙමි. වයස විසිහතරේ උපන්දනය දා, සෙකන්ඩ්-අපර් උපාධිය ද සහිතව රස්තියාදුවෙමින් සිටියෙමි. උපන්දිනය යනු තවමත් මගේ ජීවිතයේ වැදගත් දෙයක් නොවීය
මගේ මතකයේ හොඳින් රැදී ඇති එක් උපන්දිනයක් නම්, මගේ 27 වෙනි උපන්දිනයයි. එදින ජීවිතයේ මුල්වරට මට මිතුරන්ගෙන් සුබපැතුම් පණිවිඩ ලැබුණි. අප කිහිපදෙනෙකු බැංකොක් තදාසන්නයේ ආසියානු තාක්ෂණ ආයතනය නුදුරේ පිහිටි "පපා" ෂොප් එකට ගොස් "සිංහ" බියර් බොමින් "මමා" නූඩ්ල්ස් කෑවෙමු. එනිසා එය මා උපන්දිනයක් සැමරූ මුල් ම අවස්ථාව විය යුතුය.
මට වයස තිහ සම්පූර්ණ වූ උපන්දිනය වන විට මා විවාහකයෙකි. එදින අප කුමක් කළේදැයි මගේ මතකයේ සඳහන්ව නැත. නමුත් අප දෙදෙනා කාමර දෙකක් කුලියට ගෙන පදිංචිව සිටි ගම්පහ ශාන්ති පාරේ නිවසට නුදුරින් පිහිටි සතොස වෙළඳ සැලේ තිබූ මග් එකක්, එහි මුද්‍රණය කර තිබුණු වැකිය නිසා මගේ සිත් ගත් අතර ඇය කැමති නම් මට උපන්දින ත්‍යාගයක් ලෙස එය ලබා දෙන ලෙස මම බිරිඳගෙන් ඉල්ලුවෙමි.
ඇය එය මට මිළට ගෙන දුන් අතර තවත් වසර තුනකට පමණ පසු අප ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන විට මම එය ලංකාවේ අමතක කර දමා ආවෙමි.
රුපියල්වලින් ගණං බැලුවොතින් නම් මම අද බහු-මිලියනපතියෙක් මි.
ඩොලර් මිණුමෙන් මිලියනපතියෙකු වීම සඳහා මේ සතියේ බ්‍රහස්පතින්දා ලොතරැයියක් මිල දී ගැනීමට අදහස් කරමි.
- රසික සූරියආරච්චි
(image: created using AI)
Friday, 18 October 2024
ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂය සඳහා සුදුසු ම දේශපාලන පක්ෂය “ජන අරගල සන්ධානය” යි - The need of the hour for Sri Lanka

ලංකාවේ පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් තෝරා ගැනීම සඳහා නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත මහ ඡන්දයෙන් පසු ආණ්ඩුවක් පිහිටවන්නේ කොයි දේශපාලන කණ්ඩායම ද යන්න පිළිබඳව සැකයක් කිසිවෙකු තුළ නැති බව පෙනේ.
කිසිවෙකු තුළ යැයි කියන්නේ පසුගිය ජනාධිපති ඡන්දය ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාගේ පාක්ෂිකයින් තුළ පමණක් නොව, ඡන්දයේ දී පැරදුනු අපේක්ෂකයින් නියෝජනය කරන බොහෝ කණ්ඩායම්වල පිරිස් පවා විශ්වාස කරන්නේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම මහ ඡන්දය දිනන බව ය. ඔවුන් සටනක් දෙන්නේ හොඳ විපක්‍ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුව නිසිමග යැවීමට බව ද ඔව්හූ කියති.
ජනාධිපති චන්දයේ දෙවෙනි තැන ලැබූ සමගි ජනබලවේගයේ අපේක්ෂකයාගේ පිළේ සමහරුන් නම් ඔවුන් ආණ්ඩුබලය ලබා ගැනීමට සටනක් දෙන බව පැවසුවත්, එය හුදෙක්ම තමන්ගේ සහ තම “කැපුවත් ප්‍රේමදාස” පාක්ෂිකයින්ගේ ස්වයං අභිප්‍රේරණය සඳහා භාවිතා කරන සටන් පාඨයක බවට සැකයක් නැත.
අනුර කුමාර දිසානායක ජනාධිපතිගේ දේශපාලන කණ්ඩායම නොවැම්බර් මහ ඡන්දයෙන් පසු පාර්ලිමේන්තුව තුළ හරිනි අමරසූරිය අගමැතිගේ නායකත්වයෙන් ආණ්ඩුව පිහිටවන විට එහි විපක්‍ෂය ලෙස පත්වීමට සුදුසුම කණ්ඩායම වන්නේ කවර කණ්ඩායම ද?
මගේ අදහසට අනුව, ඒ සඳහා හොඳම කණ්ඩායම වන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ නායකත්වයෙන් යුතු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළත් සන්ධානය, එනම්, “ජන අරගල සන්ධානය” බවයි.
මෙය සරදමට කියන කතාවක් නොවේ.
ඇත්තටම පාර්ලිමේන්තුවේ දී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ විපක්ෂ කණ්ඩායම ලෙස කටයුතු කිරීමට වඩාත් සුදුසුවන්නේ ඔවුන් ය.
මෙන්න මා දකින හේතු:
- ආණ්ඩු පක්ෂය සමන්විතවන්නේ නව නියෝජිතයින්ගෙනි. විපක්ෂය ද එසේවීම හොඳය.
- පැරණි යූඇම්පී, සිරිලංකා, රාජපක්ෂ වහල් වැනි කණ්ඩායම්වල දූෂිතයින් තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නැත.
- ජන අරගල සන්ධානයේ අරටුවවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජාතික ජන බලවේගයේ අරටුවවන ජනතා විමුක්ති පෙරමුණ යන කණ්ඩායම් දෙක, එකට සිට වෙන්වූ සහ එනිසාම එකිනෙකා හා පසමිතුරු කණ්ඩායම් නිසා ඔවුන්ට සැබෑ පක්ෂ-විපක්ෂ අරුතෙන් කටයුතු කිරීමට හැකි වෙනු ඇත.
ජනාධිපති ඡන්දයේ දී ජයග්‍රහණය නොකළ අපේක්ෂකයින්ට ඡන්දය භාවිතා කළ, සජිත් ප්‍රේමදාස පාක්ෂිකයින්, රනිල් රාජපක්ෂ පාක්ෂිකයින්, සහ නාමල් රාජපක්ෂ පාක්ෂිකයින් විසින් තමන්ගේ ඡන්දය නොවැම්බර් මහ ඡන්දයේදී “ජන අරගල සන්ධානය” වෙනුවෙන් පාවිච්චි කළහොත් මේ ආණ්ඩු පක්ෂ - විරුද්ධ පක්ෂ සුසංයෝගය සැබෑවක් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.
- රසික සූරියආරච්චි
(images: Wikipedia )
Thursday, 17 October 2024
එදා පාසල්, එදා සිසුන් සහ දෙමව්පියන් - System changed?

මිතුරෙකු සමග ෆේස්බුක් සංවාදයක පැටලීම නිසා මට සිහිවුණු කරුණු කිහිපයක් වෙනම ලියන්නට සිත්විය. මෙහි ඇති වැදගත්කම නම් කාලය සමඟ කොයි තරම් දේ වෙනස් වන්නේ ද යන්නයි.
මම පාසල් තුනක අධ්‍යාපනය ලබා ඇත්තෙමි.
මා පළමුවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා වසර පහක් අධ්‍යාපනය ලැබූ කොස්සින්න ශ්‍රී සීලානන්ද කනිෂ්ඨ විද්‍යාලයට මගේ පියා හෝ මව හෝ කිසි දිනයක පැමිණ නැත. පාසල් ගුරුවරයෙකු වූ මගේ පියා උදේ පාන්දරම නිවසෙන් පිටත්වී ගොස් ආපසු පැමිණෙන්නේ හවස හතරට පමණ වන අතර මගේ බාල සොහොයුරාගේ වයස අවුරුදු තුනටත් අඩු නිසා මා මුල් දවසේ පාසලට ගියේ ද ආච්චි සමග ය. ඉන්පසු අහල පහල සම වයසේ සිසුන් සමග මම පාසලට ආවෙමි, ආපසු ගියෙමි.
පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල නොවුණි.
මා හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට මා ගිය මුල් දවසේ මගේ මව සහ පියා දෙදෙනා ම මා සමග වූහ. එයට එක් හේතුවක් වූයේ එදින පුටුවක් සහ මේසයක් ගැනීමට පාසලට මුදලක් ගෙවීමට තිබීමයි. එය අවසානයේ තාත්තා බසයක නැගී සැතපුම් කිහිපයක් දුරින් තිබුණු ඔහු සේවය කළ පාසලට ගිය අතර, අම්මා එදින යෙදී තිබුණු වෙනත් ගමනක් ගියාය. දෙවෙනි දිනයේ සිට අපේ පදිංචිය වෙනස් වෙනතුරු මම ගමේ සිට බස් එකේ පාසලට ගියෙමි. ගනේමුල්ලේ පදිංචියට පැමිණීමෙන් පසුව පා ගමනින් පාසල් ගියෙමි.
පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල ද නොවුණි.
දහවෙනි ශ්‍රේණියේ සිට ඉහළට අධ්‍යාපනය ලැබීම සඳහා මා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කිරීමට තාත්තා තීරණය කළ අතර ඒ සඳහා වූ සම්මුඛ පරීක්ෂණය සඳහා ඔහු මා කැටුව එක්තරා සෙනසුරාදා දිනයක කොළඹ මරදානේ පාසැලට පැමිණියේය. ඔහු වැනි දෙමව්පියන් විශාල සංඛ්‍යාවක් එදින පැමිණ සිටියහ. පාසල් යෑම ඇරඹුණු පසු මම මගේ පාඩුවේ පාසැල් ගියෙමි. තාත්තාට පාඩුවක් වූයේ නැත. එකල මගේ වයස අවුරුදු දාහතරයි මාස පහකි.
පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල ද නොවුණි. එනිසා මම මගේ පන්තියේ සිටි සහෝදර සිසුන්ගේ දෙමව්පියන් ලෙස දැක ඇත්තේ හදිසි අවස්ථාවල දී දරුවන් හමුවීමට පැමිණි තාත්තලා දෙදෙනෙකු පමණි.
පළමුවෙනි ශ්‍රේණියේ සිට දොළොස් වෙනි ශ්‍රේණියේ අවසානය දක්වා අවුරුදු දොළහයි මාස අටක් මා පාසල් ගොස් තිබුණ ද, මගේ අවාසනාවට මෙන්ම දෙමව්පියන්ගේ වාසනාවට, ඒ කාලය තුළ ඒ පාසල් තුනෙන් එකකවත් ත්‍යාග ප්‍රදානෝත්සවයක් හෝ පැවැත්වුණේ නැතිවීම ද මගේ දෙමව්පියන්ට පාසලට පැමිණීමට අවශ්‍යතාවක් නැතිවීමට තවත් හේතුවක් විය.
අද තත්ත්වය කෙතරම් වෙනස් ද?
මාසයකට අඩු වශයෙන් දිනයක් හෝ කුමක් හෝ කාරණයක් සඳහා දෙමව්පියන්ට පාසලට යාමට සිදුවන බව කියැවේ.
- රසික සූරියආරච්චි
(image: generated using meta.ai)
Subscribe to:
Posts (Atom)
