Showing posts with label බ්ලොග් වසන්තය. Show all posts
Showing posts with label බ්ලොග් වසන්තය. Show all posts

Tuesday, 29 November 2016

ලොකු ළමයෙකු ගේ ලොකු අකුරු - Ransirimal Fernando's blog


පසුගිය දිනවල හෝඩියේ පන්තියේ පොඩි ළමයින් ගැන ලියමින් සිට ඊට පසු "එයා දැන් ලොකු ළමයෙක්" ගැන ලියූ මට මට අද ඊටත් වඩා "ලොකු දෙයක්" ගැන ලියන්නට සිත් විය.

මෙය "ලොකු දෙයක්" වෙන්නේ ලොකු ළමයෙකු ගැන ලියවෙන සටහනක් නිසා පමණක් නොව, මේ කාරණයේ මට ලොකු වැදගත්කමක් ද ඇති නිසා ය.

මේ ලියන්නේ "ලොකු" ගැන ය. කෙටියෙන් ලොකු කියන්නේ මැද පිළිවෙතින් සිරිමල් ගැන ය. දිගට කියනවා නම් රන්සිරිමල් ගැන ය. තවත් දිගට කියනවා නම්, ආන්ජලෝ රන්සිරිමල් ප්‍රනාන්දු නම් සහෘදයා ගැන ය.

මා රන්සිරිමල් යන නම මුලින් ම දුටුවේ ප්‍රාග් යුනිකෝඩ් ගල් යුගගේ දී බිහි වී තිබුණු "සිරිමල් උයන" නම් වෙබ් අඩවිය හරහා ය. අන්තර්ජාලීය සිංහල සාහිත්‍යකරණයේ ඒ ප්‍රමුඛ පියවර ගැන මින් පෙර රසිකොලොජියේ ලිය වී ඇත.

ඉන්පසුව, තරංග ජයසේන හෙවත් කූඹියා ගේ මූලිකත්වයෙන් ඇරඹුණු "බූන්දි" හරහා මට රන්සිරිමල් ගේ නිර්මාණ කියවන්නට ලැබුණි. ඔහු ගේ ප්‍රියම්භිකාව වන මානෙල් ගේ විවිධ නිර්මාණ ද බූන්දිය එකල පැවතුණු ඊ-මේල් වේදිකාව හරහා කියවන්නට ලැබුණි.

අන්තර්ජාලය හරහා එසේ දැන හඳුනාගෙන සිටි ඔවුන් දෙදෙනා මට මුලින් ම මුහුණට මුහුණ හමුවූයේ ඊට කලකට පසු 2009 දී සිඩ්නි නගරයේ දී ය.

ඉන්පසු 2010 ජනවාරියේ දී බූන්දි කණ්ඩායමේ අනුග්‍රහයෙන් කොළඹ දී පැවැත්වුණු ජගත් ජේ එදිරිසිංහ ගේ රාජාලි පියාපත් කාව්‍ය සංග්‍රහය දොරට වැඩුණු උලෙළේ දී මට ඔවුන් දෙපළ මුණ ගැසුණි.

ඊළඟට පසුගිය දෙසැම්බරයේ කොළඹ දී පැවැත්වුණු යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" කෘතිය දොරට වැඩීමේ උත්සවයේ දී මට රන්සිරිමල් හමුවිය.

ඉතිං, මගේ සිතට ආ මේ සියලුම කරුණු මෙලෙස මෙහි සටහන් කළේ රන්සිරිමල් ප්‍රනාන්දු ගේ නවතම බ්ලොග් අඩවිය ගැන පවසන්නයි.

ඔහු එය නම් කර ඇත්තේ "ලොකු අකුරු" කියා ය.

https://lokuakuru.blogspot.com/

ලොකු වෙන්නට පෙර කතා, ලොකු වුණාට පසු කතා, ජීවිත කතා, කවි ආදී විවිධ මානයන් ගේ, විවිධාකරයේ ලියවිලි, නිර්මාණවලින් පිරුණු ලොකු ගේ ලොකු අකුරු බ්ලොගය මට රස සාගරයක් ලෙස හැඟුණි.

ලොකු ලියා ඇති ලොකු ගේ තාත්තා ගැන සටහන මගේ නෙතට කඳුළු නැංවුවේ ය.

ලොකු ලියා ඇති ලොකු ගේ ලොකුම ලොක්කා නොහොත් බොසී හමුවෙන්නට ගිය ගමනක් ගැන සටහන මට සිතට නව නළු රසයම ගෙනාවේ ය.

ලොකු ලියා ඇති ලොකු ගේ ලොකු අකුරු ගැන සටහන මට මගේ හෝඩියේ පන්ති සමය සිහි කළේ ය.

ඒ සමගම ලොකු, පොඩි අපට නොහැකි ලොකු ලොකු වැඩ ද කර ඇති බව පෙනුණි.

තවත් ලොකු පොඩි සටහන් බොහෝ ය.

ගොස් කියවන්න!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අමතක වීමට ගිය තවත් කරුණක් මෙසේ ය.

මා හිතන ආකාරයට දැන් දශක තුනකට වැඩි කාලයක් තිස්සේ රන්සිරිමල් පවුල වාසය කරන්නේ කැනඩාවේ ය.

මේ විශ්ව ගම්මානයේ සැරිසරන අපට ඒ අක්‍ෂාංශ දේශාංශ කවරේ ද යන්න එතරම් වැදගත් කරුණක් නොවේ. අපට ඉර පායන්නේ, බහින්නේ වෙනස් කාලවල බව පමණක් මතක තබා ගැනීම ප්‍රමාණවත් ය.

ප/ප/ලි:
තවත් කරුණක්.

මේ ලොකු අකුරුකාරයා මීට කලින් ද බ්ලොගයක් ලියූ බව මගේ මතකයයි. අවාසනාවකට මෙන් ඒ කුමක්දැයි මට සිහිපත් කර ගත නොහැක!

Sunday, 17 April 2016

සිනිපඑආසාගේතා,එපතආසාගේපුව"මරා"පුපකගිපසනොඇ? නොහොත් ලොකු ලොකු ලේඛකයින් බ්ලොග් ලියන්නට ඒමේ ප්‍රීතිය! - Jagath J Edirisinghe enters the Sinhala blogsphere!


මේ සටහනට මා යොදා ඇති මාතෘකාවේ [සිනිපඑආසාගේතා,එපතආසාගේපුව"මරා"පුපකගිපසනොඇ?] යන කොටසින් අදහස් කෙරෙන්නේ [සිරිලංකා නිදහස් පක්‍ෂයේ එක් ආරම්භක සාමාජිකයෙකු ගේ පුතා, එම පක්‍ෂයේම තවත් ආරම්භක සාමාජිකයෙකු ගේ පුතෙකු වන මහින්ද රාජපක්‍ෂව පුම්බන්න පළ කරන්නට ගිය පත්තරේට සල්ලි නොදැම්මේ ඇයි?] යන්නයි!

බ්ලොග්කරනය යනු ලියන්නට කැමැති ඕනෑම අයෙකුට හෙවත් ලේඛකයෙකුට පුවත්පත් සහ සඟරා ඉඩකඩ සීමාවලට කොටු නොවී, පුවත්පත් සහ සඟරා සංස්කාරකවරුන් ගේ රසඥතාවයට සීමා නොවී තමන් ලියන දේ, තමන් ගේ නිර්මාණ ඒවා කියවා රස විඳින පිරිසක් අතරට ගෙන යා හැකි හොඳම ක්‍රමය බව මම පෙර දිනයක ලියූවෙමි. පාඨකයින් වශයෙන් අපට බ්ලොග් අවකාශය වැදගත් වෙන්නේ ඇයි ද යන්න ගැන ද එහිම සඳහන් වේ.

කෙසේ වෙතත්, තවමත්, සිංහල බ්ලොග්කරනය පවතින්නේ ළඳරු අවදියකයි. මුද්‍රිත මාධ්‍යවල ආධිපත්‍යය (එහි ලොකු අවුලක් නැත!) තව සෑහෙන කාලයක් පවතින ලකුණු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

බ්ලොග්කරුවන් තම ලිපි පුවත්පත් සඟරාවල පළ කරගැනීම වැදගත් කාරණයක් ලෙස සැලකෙන්නේ ද, බ්ලොගයක් ඇසුරෙන් පොතක් පළ කිරීම විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙන්නේ ද එ නිසා ය.

මේ තත්වය යටතේ, මෙතෙක් කල් පුවත්පත් පිටු අතර, මුද්‍රිත පොත් අතර රජකම් කළ අය, බ්ලොග් ලියන්නට පැමිණීම බ්ලොග්කරුවන් ලෙස අපට වැදගත් කරුණකි.

වසර තිහකටත් වැඩි කාලයක් තිස්සේ මා දැන හඳුනන, "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙන, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳී ඇති", හෙන්රි වර්ණකුලසූරිය එසේ පොත් පත්තර ලෝකයෙන්, බ්ලොග් ලෝකයට ආ එක් අයෙකි. ඔහු ලියන නොකී කතා බ්ලොගය ගැන අපි දනිමු.

මා මේ සටහන තබන්නට සිතුවේ තවත් ඒ ආකාරයේ, එනම්, "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙන, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳී ඇති", කෘතහස්ත ලේඛකයෙකු ගේ බ්ලොග් ආගමනය ගැන ලියන්නටයි.

ඒ මා දැන් වසර පහළොවකට පමණ ඉහත කාලයක ඉහත මුලින් ඔහු ලියූ දේ තුළින් ද, පසුව වසර දහයකට පමණ කාලයකට පෙර ඊ-මේල් මගින්ද, අනතුරුව දුරකථනයෙන් ද, තවත් කාලයකට පසුව සැබැවින් මුණ ගැසී ද හඳුනා ගත් ජගත් ජේ එදිරිසිංහ නම් සහෘදයාය.

ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂාවෙන් මුද්‍රිත ප්‍රකාශන ඇරඹීමේ ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ, ජගත් ගේ පොත් එළි දැක්වීම් උත්සව දෙකකට ද මම සහභාගී වී ඇත්තෙමි.

මා ජීවත් වන ප්‍රදේශයෙන් කිලෝමීටර් අටසීයක් පමණ දුරින් මෙල්බර්න් නුවර ජීවත්වෙන ජගත් ජේ එදිරිසිංහ නම් ඒ කෘතහස්ත ලේඛකයා අරඹා ඇති බ්ලොගය මානව ලෙසින් නම් කර ඇත.

http://maanawa.blogspot.com/

ජගත් දැනටමත් ලිපි කිහිපයක් ම එහි පළ කර ඇති අතර, මේ සටහනේ මාතෘකාවේ කොටසක් සඳහා මා යොදා ගත්තේ ඉන් එක් සටහනක් සම්බන්ධ කාරණයකි.

මට අවශ්‍ය කාරණයක් මා මට අවශ්‍ය ආකාරයෙන් උපුටා ගත්ත ද, ඔහු ලියා ඇති නවකථා, කෙටිකතා, කවි, සහ සිහි සටහන් ලිපි අති විශාල සංඛ්‍යාවක් කියවා ඇති මට කිව හැක්කේ ජගත් ජේ එදිරිසිංහ ගේ මානව බ්ලොගය විවිධාංග බ්ලොගයක් ලෙස සිංහල බ්ලොග් අවකාශයට වැදගත් යමක් එකතු කරන්නට නියමිත බවයි.

ඒ සඳහා ජගත්ට අවශ්‍ය උත්තේජනය ලබා දීම සඳහා ඔහු ලියන දේ කියවා අපේ අදහස් දක්වන මෙන් රසිකොලොජි පාඨක ඔබට යෝජනා කරමි.

ස්තුතියි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජගත් ජේ එදිරිසිංහ පිළිබඳව රසිකොලොජියේ මීට කලින් ලියවුනු අවස්ථා මෙසේ ය.

1. කැටපත්පවුරක මතකය - Mirror mirror on the wall?

2. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist

3.

4.

Wednesday, 15 April 2015

දෙවෙනි තේ කෝප්පය - Afternoon tea time?


පොඩි කාලේ සිට ම, ලංකාවේ දී අප බිව්වේ තේ කොළ තේ පෝච්චියට දමා එයට උතුරණ උණුවතුර වත්කර පෙරා සාදා ගත් තේ වතුර ය. කඩවල නම් තේ හදන්නේ රෙදිවලින් සාදා ගත් පුනීලයක් වැනි ගොට්ටකට තේ කොළ දමා ඒ හරහා උණු වතුර යැවීමේ තරමක අප්‍රසන්න ක්‍රමයකටයි.

මීට හාත්පසින් ම වෙනස් ආකාරයක තේ බීමේ අත්දැකීමක් මට ලැබුණේ විශ්ව විද්‍යාලයෙන් පිටවී වසර තුනක් පමණ ලංකාවේ ගතකර ඉන් පසු තායිලන්තයේ ආසියානු තාක්‍ෂණ ආයතනයට බැඳුණු දිනයේ ය. මා තේ බෑග් නමින් හැඳින්වෙන කුඩා තේ ගොට්ටකින් තමන් ම තේ හදා බොන්නට පුරුදු වුණේ එහි දී ය.

මිතුරෙකු සමග මුලින්ම ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ආපන ශාලාවට ගොස් බාට් තුනක් ගෙවා කෝප්පයකට දැමූ තේ බෑගයක් සහ උණුවතුර සහිත තේ කෝප්පයක්, එය තැබූ පීරීසිය මත තිබුණු හැන්දක් ද සහිතව ලබා ගත් හැටි හොඳින් මගේ මතකයේ ඇත. තේ කහට හොඳින් උණන තුරු සිට, කෝප්පයට කිරි සහ සීනි මුසු කරගෙන, අර තේ බෑගය හැන්ද වටා නූලෙන් ඔතා මිරිකා සියළු තේ රස එකතු කරගෙන එදා රස වින්දෙමි.

පසු කළෙක ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පසු, තේ බෑග් භාවිතය හැර වෙනත් තේ හැදිමක් ගැන නොසිතුවේ තේ කොළ පෙරීම, තේ පෝච්චි හේදීම යනාදී තේ කෝප්පයක් රස විඳිමට පරිබාහිර අනවශ්‍ය වැඩ ගැන කරදර වීමට නැති නිසා ය. නමුත්, තේ කොළවලින් ඔරිජිනල් විදියට තේ සෑදීම තරම් මේ තේ බෑග් ක්‍රමය රසවත් නොවෙන බව ඉඳහිට හෝ වෙනත් නිවසකට ගොස් තේ කොළවලින් පෙරූ තේ කෝප්පයක් බොන විට තේරුණි.

ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පසු සිදුවුණු තවත් වෙනස්කම් කීපයක් විය. ඉන් වැදගත්ම වෙනස්කම වූයේ නිකම්ම නිකං "බ්ලැක් ටී" වෙනුවට, චායි තේ, ග්‍රීන් තේ සහ විවිධ පළතුරු රස සහ ශාක කොටස් ඇතුළත් තේ වර්ග බොන්නට හැකි වීමයි. ඒ සියලු රස මා විඳින්නේ තේ බෑග් භාවිතා කරමිනි. මේ සමහර තේ බෑග්වල නොතිබුණේ ද තේ කොළ ය.

මේ දැක්වෙන්නේ ඔෆීසියේ ඇති මගේ පුද්ගලික තේ එකතුවයි. (ඔෆීසියේ ඇති ඔෆීෂියල් ලිප්ටන් "බ්ලැක් ටී" මට නම් මෙලෝ රහක් නැත!)



මෙන්න නිවසේ ඇති විවිධ තේ වර්ග එකතුව.



ඉඳහිට එවැනි පළතුරු රස සහ ශාක කොටස් ඇතුළත් වෙනත් තේ වර්ග බොනවා වුවද, උදේ හවා අප නිරතුරු පානය කරන්නේ කටට හුරුපුරුදු කළු තේ ම ය. මුලදී නම අසා සුපුරුදු නිසා ලිප්ටන් යනාදී තේ වර්ග සොයා ගිය ද, පසුව අපට වැටහුණේ, නියම තේ රස ඇත්තේ ලංකාවේ නිෂ්පාදිත ඩිල්මා නම් තේ වර්ගයේ බවයි. මේ තේ වර්ගය මෑත කලෙක සිට ලංකාවේ දී ද මිළට ගත හැකිය.

ඩිල්මා තේ ද වර්ග කීපයක් ඇත. දැන් දැන් මගේ කටට කහට රහ ගෙනෙන්නට සමත් වෙන්නේසාමාන්‍ය මට්ටමේ ඩිල්මා වර්ගය නොව, එක්කෝ එක්ස්ට්‍රා ස්ටේ‍රන්ත් හෝ නැතිනම් සිලෝන් ගෝල්ඩ් වර්ගයයි.

ඕස්ට්‍රේලියාවේ දී මට හුරු වෙන්නට අපහසු වූයේ කිරිපිටි වෙනුවට දියර කිරි දමා තේ බීමයි. කිහිප වරක් උත්සාහ කර එය අතහැර දැමූ මම, ඉන්පසු කිරි පිටි වර්ග කිහිපයක් පරීක්‍ෂණයට භාජනය කර වඩාත් දිවට ගැලපෙන වර්ගය තෝරා ගතිමි. ඕස්ට්‍රේලියාවේ දී තේ කෝපි බීම සඳහා කිරිපිටි භාවිතා කරන්නේ අප වැනි කිහිප දෙනෙකු පමණක් විය යුතුයි. මෙහි මේ කිරිපිටි වර්ග නිපදවෙන්නේ නොයෙකුත් රසකැවිළි වර්ග සහ වෙනත් අතුරු පස සෑදීම සඳහා ය.

තේ සෑදීම හා සම්බන්ධව ගත් කල, මා ඕස්ට්‍රේලියාවේ දී උගත් වැදගත් කරුණු දෙකක් වේ. මේ කරුණු ද්වයම මා උගත්තේ ඒ ඒ ඇසුරුම්වල මුද්‍රණය කර ඇති සාදා ගන්නා අන්දම දැක්වෙන සටහන් කියවා බලා ය.

ඉන් වැදගත්ම කරුණ නම්, තේ වතුර සෑදීමේ දී, සෑම විටම අළුතෙන් කරාමයෙන් ගත් වතුර නටවා ගත යුතු බවයි. වරක් රත් කර නිවූ වතුර නැවත රත් කර තේ සෑදීම යෝග්‍ය නොවෙන බව උගත්තෙමි. ඉන් රසයේ සෑහෙන වෙනස් කමක් ඇතිවේ.

දෙවෙනි කාරණය තේ වතුරට කිරි පිටි දිය කිරීම පිළිබඳවය. ලංකාවේ දී අප නිරතුරු උත්සාහ කළේ, කිරිපිටි සහ සීනි මුලින් එකට කවලම් කර ඉන්පසු එය මතට උණු වතුර මදින් මද එකතු කර තේ කෝප්පයේ කිරි පිටි දිය කිරීමයි. නමුත්, මෙහි අප භාවිතා කරන කිරිපිටි වර්ගය අසුරා ඇති ඇසුරුමේ සඳහන් වන්නේ උණුවතුරට කිරි පිටි මිශ්‍ර කර හොඳින් කවලම් කර ගන්නට කියාය. මා දැන් අනුගමනය කරන්නේ ඒ නොවරදින ක්‍රමයයි.

ඒ හැර මේ මෑත අතීතයේ දී සිදුවුණු තවත් වෙනස්කම් දෙකක් ද ඇත.

මින් වසර පහළොවකට පමණ පෙර, එවකට සිංගප්පූරුවේ සේවය කරමින් සිටි මා මිතුරෙකු අප නිවසට පැමිණ දින දෙකක් පමණ ගත කළේය. ඔහු තේ කියා බීවේ නිකම්ම නිකං කහට තේ පමණි. ඒ ගටැන විමසූ විට ඔහු කීමේ මෙය, ඔහු ජපානයේ වසර දෙකක් පශ්චාත් උපාධියක් හැදෑරූ කාලයේ දී පුරුදු වුණු දෙයක් බවයි.

සිදු වී ඇත්තේ මෙයයි.

ඒ දෙවසරේ කාලය තුල මගේ මිතුරා තම ජපන් ජාතික උපදේශක මහාචාර්යවරයා හමුවෙන්නට ඔහුගේ කාර්යාලයට ගිය සැම වතාවක ම, මහාචාරයවරයා මුලින් ම කර ඇත්තේ ජපන් ක්‍රමයට තේ පෝච්චියක් වත් කිරීමයි. ඉන් පසු ඔවුන් ගේ පරීක්‍ෂණ යනාදිය ගැන සෑම කතා බහක්ම කෙරී ඇත්තේ අර තේ පෝච්චිය කුඩා කෝප්ප පුරවමින් බොන අතරතුර දී ය.

දෙවසර අවසානයේ මගේ මිතුරා, සීනි හෝ කිරි හෝ නොමැතිව තේ බොන්නට පුරුදු විය.

මා ගැන කියනවා නම් දැන් කාලයක සිට, මා ද කාර්යාලයේ තේ පානය කරන්නේ සීනි පමණක් නොව කිරි ද හෝ නොමැතිවය. සීනි කෑම අවම කිරීම යනු, පාන් කෑම අඩු කිරීම මෙන්ම ශරීර සෞඛයට වැඩදායක දෙයකි!

මෑත අතීතයේ දී සිදුවුණු වෙනස්කම් දෙක එලෙස වේ.

තේවල නියම රසය දැනෙන්නේ සීනි සහ කිරි නොමැතිව පානය කරන විට බව මම දැන් දනිමි.

තරුණ කාලයේ දී යම් යම් උත්සව අවස්ථාවලදී එක්කෝ කෝක් හෝ නැතිනම් සෝඩා හෝ එක් කළා වුවද, දැන් නම් නිකම්ම නිකං අයිස් පමණක් පාවිච්චි කරන්නේ ද අන්න ඒ වගේ කාරණයක් නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මැද පෙරදිගින් ඇරඹී අප්‍රියෙල් 8-15 කාලයේ පැවතුණු, ජැස්මින් බ්ලොග් වසන්තයට මගේ සම්මාදම අදින් නිම කරමි.

බ්ලොග් වසන්තය 1 - 8, අප්‍රියෙල් 2015
අප්‍රියෙල් 8 - වසන්තය කියන්නේ ඌටයි, බොටයි - Wasantha Vs Vasntha in Australia
අප්‍රියෙල් 9 - මගේ ගම පරකන්දෙනිය යි - It is worth 150 Rs. for an undergraduate...!
අප්‍රියෙල් 10 - ග්ලෙන්මෝ පාක් නමැති මගේ ඕස්ට්‍රේලියානු ගම - Grass for my feet
අප්‍රියෙල් 11 - වසන්තයේ අග දවසක - End of Spring is not end of life
අප්‍රියෙල් 12 - පිං සංඝනායකලා සහ කුසල් සංඝනායකලා - Dont be misled by this title
අප්‍රියෙල් 13 - සිඩ්නි නගරයට අළුත් නමක් - Sydney renamed...!
අප්‍රියෙල් 14 - තේකක් බොමු ද? - Any time is tea time
අප්‍රියෙල් 15 - දෙවෙනි තේ කෝප්පය - Afternoon tea time?


(image: http://www.kgbclothing.co.uk/newYork.html)

Tuesday, 14 April 2015

තේකක් බොමු ද? - Any time is tea time


තේ බීම පිළිබඳ මගේ ඇති පැරණිම මතකය නම්, වෙල පැත්තේ සිට නිවසට එන ආච්චී "ලොක්කෝ, නැද්ද කහට ටිකක්?" යැයි අසන ආකාරයයි. ඒ අප පරකන්දෙනියේ තාත්තා ගේ මහගෙදර සිටි මුල් කාලයේ ය. ලොක්කෝ කියා කියන්නේ අපේ ලොකු නැන්දාට ය. කහට කියා කියන්නේ ආච්චී බොන තේ වතුරවලට ය.

පසුගිය දිනවල මෙන් සීනි ඇමතිලා නොසිටි නිසා දෝ, ලංකාවේ සීනි හිඟයක් තිබුණු අප කුඩා දරුවන් වූ ඒ කාලයේ පමණක් නොව පසු කාලයේ ද අපේ ආච්චී තේ බීවේ තේ කහට ටිකක් කෝප්පයකට ගෙන අල්ලට දා ගත් සීනි ටිකක් දිවගින් ලෙව කමිනි. තේ බීම කෙසේ වෙතත්, අර සීනි අල්ලට දාගෙන දිවෙන් කෑම නම් ඒ දිනවල මගේ ද ප්‍රියතම කර්තව්‍යයක් විය.

ඇත්තටම මා තේ බොන්නට පටන් ගත්තේ, එනම්, තනිකර කිරි බීමෙන්, තේ වතුරට කිරි සහ සීනි දියකර බීමට පුරුදු වුනේ කොයි කාලයේ දැයි මට නිවරූදිව කිව නොහැක. සමහර විට පාසල් යන්නට පටන් ගත් පසුව විය යුතුයි.

ඒ දිනවල තේ වතුරේ ලේසියෙන් දිය නොවෙන කිරි පිටි වර්ග කැටි නොගැසී දිය කර ගැනීමට අප විවිධ ක්‍රම අත්හදා බලනවා තවමත් මගේ මතකයේ තිබේ. වඩාත් හොඳ ක්‍රමය වූයේ, මුලින් කිරි පිටි සහ සීනි කෝප්පයක එකට කවලම් කර, ඉන් පසු එයට තේ වතුර ස්වල්පය බැගින් යොදා වේගයෙන් කලතමින් ක්‍රමක්‍රමයෙන් තේ කෝප්පය සාදා ගැනීමයි.

ඒ කිරි පිටි සහ සීනි කවලම් කිරීමේ දී, මිශ්‍රණයෙන් අඩක් පමණ, තේ වතුර නොමැතිවම බඩට යෑම යනු මේ ලිපිය කියවන බොහෝ දෙනෙකුගේ අතීතකාමය වඩවන අත්දැකීමක් බවට සැකයක් නැත.

පාසලේ කැන්ටින්වල ද තේ තිබුණද, මා නම් මාලු පාන් ගෙඩියක් කනවා මිසක, කිසි දිනක තේ කෝප්පයක් පානය කර නැත. එසේ නමුදු, දහයේ පන්තියේ සිට මරදානේ ආනන්ද විද්‍යාලයට යාමට පටන් ගත් පසු, මරදානේ සහ කොටුවේ දුම්රිය ස්ථානවල ආපනශාලාවලින් ශත විසි පහකට පමණ මිළදී ගත හැකි ටින්කිරි මිශ්‍ර තේ ඉඩ ලැබෙන පරිදි බොන්නට නම් මගේ අකමැත්තක් නොතිබුණි.

කඩෙන් තේ පානය කිරීමේ මා ලැබූ වෙනස්ම අත්දැකීමක් වූයේ, එක් දිනක් ආනන්ද-නාලන්ද ක්‍රිකට් තරගයක් අවසානයේ අප කණ්ඩායමක් මරදානේ දුම්රිය නැවතුමේ මැද වේදිකාවක තිබුණු ආපන ශාලාවට ගිය දිනයේ දී ය. මා සමග සිටි දෙදෙනෙක් ම බියර් ලබාගත් අතර (හැඳුනුම් පත් පරීක්‍ෂාවක් නොවුණි), හොඳ ළමයෙකු වූ මා ඇනවුම් කළේ තේ ය.

වෙනදා වැයකරන ශත විසි පහ වෙනුවට, බිග් මැච් සන්තෝශය පිට දමා, සල්ලි සල්ලි කියා නොබලා රුපියල් දෙකක් පමණ වියදම් කර මා ලබා ගත් ඒ තේ වඩිය පැමිණියේ පෝච්චියක ය. සීනි සහ කිරි වෙනම අමුතු හැඩයේ භාජනවල අසුරා තිබුණි.

එදා මට ජිවීතයේ මුල්වරට, ආපන ශාලාවක දී, නිවසේ දී මෙන් තේ කෝප්පයක් තමන් ම සාදා පානය කිරීමේ, අත්දැකීම ලැබුණි. අද සිදුවූයේ නම්, වහාම ජංගම දුරකතනයෙන් ඡායාරූපයක් ගෙන, යහපාලන "වයි-ෆයි" උපයෝගී කර ගනිමින් ෆේස්බුක් අවකාශයට ඒ ඡායාරූපය සහ විස්තරයක් එකෙනෙහිම ඇතුළු කරන්නට තරම් ඒ සිදුවීම වටිනා එකක් බව කිව යුතුය.

සීනිත්, කිරිත් අවමයකින් යුතු තේ වතුරවල පවා රස විඳින්නට මට හැකි වූයේ පේරාදෙනියේ ය. අක්බාර් භෝජනාගාරයේ කැෆටේරියාවේ ටෙන්ඩරය හිමි කරගෙන සිටි නරියා මුදලාලි ගේ තේ හදන ගෝලයා ලක්ස්ප්‍රේ කිරි පිටි එක් මේස හැන්දකින් තේ කෝප්ප දහයක් සාදන ශිල්පය මනාව ප්‍රගුණ කර තිබුණි. එසේ වුවද, රාත්‍රී එකොළහට තේ කඩය වසන්නට පෙර දවසේ අවසාන තේ කෝප්පය බීමට අපි අමතක නොකළෙමු.

අක්බාර් තේ කෝප්පයට වඩා, ඉංජිනේරු පීඨයේ ආපන ශාලාවේ තේ කෝප්පය ශත කිහිපයක් මිළ වැඩි වුණත් තරමක් හෝ බොන්නට හැකි තත්වයක තිබුණු බවද කිව යුතුය.

ඉංජිනේරු පීඨයේ සේවකයින් සහ ශිෂ්‍යයින් ගේ කමිටුවක් මගින් පවත්වාගෙන ගිය ඉංජිනේරු පීඨ ආපන ශාලාවේ ආරම්භය පිළිබඳ ඉංගිරිසියෙන් ලියවුණු ලිපියක් මෙතැනින් කියවන්න.

http://efacmemories.blogspot.com/2014/07/faculty-canteen.html

පෙර කී සෑම තැනකම වාගේ තේ වතුර සෑදුනේ, තේ පෝච්චියකට හෝ ප්ලාස්ටික් ජොග්ගුවකට දමන ලද තේ කොළ ස්වල්පයකට නටන උණුවතුර එකතු කිරීමෙනි. සමහර ආපන ශාලාවල නම් රෙදිවලින් මසා ගත් පුනීලයක් වැනි ගොට්ටකට තේ කොළ යොදා උණු වතුර ඒ තුලින් යවා තේ වතුර සාදන, මට තරමක් අප්‍රසන්න වූ, ක්‍ර්‍රියාවලියක් ද තිබුණි.

තේ කොළවලින් තේ බෑග්වලට මාරු වුණු ආකාරය සහ තේ බීම ගැන කිව හැකි වෙනත් දේ බොහෝ ය.

ඒවා බ්ලොග් වසන්තයේ අවසන් දිනයට කල් තබමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
දෙවෙනි තේ කෝප්පය- http://rasikalogy.blogspot.com/2015/04/afternoon-tea-time.html

(image: http://www.au.timeout.com/sydney/aroundtown/events/32007/mad-hatters-tea-party)

Monday, 13 April 2015

සිඩ්නි නගරයට අලුත් නමක් - Sydney renamed...!


මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළේ මුලින්ම වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරයටයි. එහි තදාසන්න ප්‍රදේශ තුනක, වසර හයක් පමණ කල් විසීමෙන් පසු ජීවිතයේ සිදුවුණු වෙනස්කම් කිහිපයකට පසුව අප පවුලට නැවතත් සංක්‍රමණයක්, මෙවර රට අභ්‍යන්තරයේ, සිඩ්නි නගරය බලා, කරන්නට සිදුවිය.

සිඩ්නි නගරය ඕස්ට්‍රේලියාවේ පැරණිම නගරය මෙන්ම, ප්‍රමාණයෙන් විශාලතම, වැඩිම ජනගහනයක් වෙසෙන සහ වඩාත්ම වියදම්කාරී නගරය ද වේ. දැනට සාර්ථක දහතුන්වෙනි වසරේ සිඩ්නි තදාසන්නයේ වාසය කරන මට, මේ සුවිසල් නගරය හා ඇති එක ප්‍රශ්ණයක් නම් සිඩ්නි යන නාමය කවි පදයක යෙදිය හැකි ආකාරයේ මටසිළුටු එකක් නොවීමයි.

එලිවැට හෝ එළිසමය රුකීමට සිඩ්නි යන්න යොදා ගැනීම නම් හුදෙක් සිහිනයක් ම පමණි.

මේ ප්‍රශ්ණයට සාර්ථක විසඳුමක් ලබා දුන්නේ ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට සමනලයෙකු මගින් යැවෙන සංදේශ කාව්‍යයක් ”සමනල දූතය” නමින් රචනා කළ සිඩ්නිවාසී හෙන්රි කුමාරප්පෙරුම කවියා ය.

වසර 2005 අග භාගයේ දී හෙන්රි කුමාරප්පෙරුම එකල සභාපතිත්වය දැරූ නිව් සවුත් වේල්ස් හි "ස්කැට්ස්" සංවිධානය මගින් ඉදිරිපත් කළ "සංක්‍රමණික චින්තා" නම් සිංහල කාව්‍යය පිළිබඳ සම්මන්ත්‍රණයේ දී පළ කෙරුණු සඟරාව සඳහා ඔහු රචනා කර තිබුණු කවි පන්තියක සිඩ්නි නුවර යන්න යෙදුම කෙටි කොට -සිනුවර- යන නම නිමවා භාවිතා කොට තිබුණි.

කවියක එළිසමය සහ තාලය රකිමින් යොදන්නට ඉතා අසීරු වචනයක් වන සිඩ්නි යන්නට වඩා "සිනුවර" යන්න කොතරම් යෝග්‍ය දැයි මට එකෙනෙහිම සිතුණි.

මෙල්බර්න් නුවර වසන ගීත රචකයෙකු වන සිසිර දිසානායක විසින් මෙල්බර්න් පුරවරය සඳහා භාවිතයට "මෙපුර" යනුවෙන් මේ ආකාරයේ ම වදනක් නිපදවා තිබේ.

එයින් වසර තුනකට තුනකට පමණ පසු ඕස්ට්‍රේලියාවේ පළවෙන එක් සිංහල මාසික සඟරාවක් වන සන්නස පුවත් පත සඳහා සිඩ්නි විස්තර බිඳක් එකතු කරන්නට මා ඇරඹූ තීරු ලිපිය සඳහා මා යොදා ගත්තේ "සිනුවර හසුන" යන නමයි.

වසර 2008 සැප්තැම්බරයේ සිට වසරකට අධික කාලයක් තිස්සේ සිනුවර හසුන තීරු ලිපිය සන්නස මාසිකයේ පළ විය.

http://sannasa.sinhalajukebox.org/2008/Sep/2008Sep_page12.pdf

පසු කළෙක, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සිඩ්නි ශාඛාව විසින් ඇරඹුණු වාර්ෂික සංස්කෘතික විවිධ ප්‍රසංගයට ද සිනුවර යන නම සහිතව සිනුවර ප්‍රතිභා යනුවෙන් නම් කෙරිණි.

සිනුවර නාමාභිෂේකය ලබූ අළුත්ම දරුවා වන්නේ මැතක දී වත් පොතේ ඇරඹුණු "සිනුවර සිංහල සංවාද" වත්පොත් කණ්ඩායමයි.

සිනුවර සදා දිනේවා යැයි පතමි!

-රසික සූරියආරච්චි (aka රසිකොලොජිස්ට්)

ප/ලි:
සයිබරයේ සිංහල බ්ලොග් වසන්තය ඇරඹී තිබුණද සිනුවර නම් මේ දිනවල ගිලෙමින් ඇත්තේ හේමන්තයේ ය.

(image:http://rcbtv.org/2014/08/06/sinuwara-prathiba-2014-photos/)

Sunday, 12 April 2015

පිං සංඝනායකලා සහ කුසල් සංඝනායකලා - Dont be misled by this title


මේ ලිපිය ලියන්ට පටන් ගතා වේලේ මා ඒ සඳහා මුලින් දුන් මාතෘකාව වූයේ පිං, කුසල් සහ සංඝනායක ලා යන්නය. නමුත්, ස්වල්ප මොහොතකට පසු, එය ඉහත මාතෘකාව ලෙසට වෙනස් කෙරුවෙමි.

මා කියන්ට යන දෙයට මූලය සැපයුනේ බ්ලොග් වසන්තයේත් නිදා සිටින (එනිසා ම හිටපු?) බ්ලොග්කරුවෙකු වන හසිත චාමිකර ගුරුසිංහ ෆේස්බුක් අවකාශයේ තබන ලද කෙටි සටහනකි.

පසුගිය දිනවල ලංකා බුද්ධ සාශනයේ, සියම් නිකායේ, අස්ගිරි පාර්ශවයේ මහා නායක ධුරය හෙබවූ හාමුදුරුවන් අපවත් වූ පුවත නොදන්නා අයෙක් බ්ලොග් කියවන්නන් අතර නැතියැයි කිව හැක. සාමාන්‍ය සිදුවීමක් වන මෙය ලෝක විනාශයට ලඟින් යන එකක් යැයි සිතන්නෝ ද සිටිති.

මගේ අදහස නම්, ඔය සංඝනායක ලා නායකයින් වන්නේ සංඝ සමාජයට පමණක් බවයි. ඔවුන් ගේ නායකකම් ගිහියන් වන අපට වැදගත් නැත. මට නම්, ගමේ පන්සලේ සාදුත්, නායක හාමුදුරුකෙනෙකුත් අතර වෙනසක් නො පෙනේ.

කෙසේ වෙතත්, හසිත චාමිකර ගුරුසිංහ සැපයූ වස්තු බීජය මෙලෙස විය.

තමන් උදෑසන සේවා ස්ථානයට බස් රථයෙන් යමින් සිටියදී, පරලොව සැපත් මහ නායක හාමුදුරුවන් ගේ මෘත ශරීරය රැගත් වාහනය යනු දුටු බවත්, එවිට තමන් හුන් අස්නෙන් නැගිට එයට ආචාර කළ බවත්, ඒ කුමක් සඳහාද යන්න නොදත්, බසයේ සිටි බොහෝ දෙනෙකුට ඒ නැගිටීම පුදුමයක් වූ බවත් හසිත පවසා තිබුණි.

මෙය ප්‍රතිචාර දක්වන හාමුදුරු කෙනෙකු පවසා තිබුණේ, හසිතට පින් සිදුවෙන බවයි.

ඒ අදහස දුටු මට ආ ප්‍රශ්ණය වූයේ හසිත කළ පරිදි, "අසුනෙන් නැගීටීමෙන් සහ මළ සිරුරකට ආචාර කිරීමෙන් පින් සිදුවෙනවා ද?" යන්නයි.

අසුනෙන් නැගීටීම ගැන කියනවා නම්, තමන් බස් රථයේ බොහෝ විට ගමන් ගන්නේ හිටගෙන බව හසිත ඔහුගේ බ්ලොගයේ ලියා තිබුණු නිසා, මෙ දිනද ඔහු හිටගෙන සිටියා නම්, ඒ පින කරගන්නට ඔහුට ඉඩක් නොලැබෙන බව පැහැදිළි ය. එසේ නැතිනම්, බස් රථවල හිටගෙන යන අය, තමන් දැන හෝ නොදැන, නිරතුරුවම පින් සිදු කරගනිමින් යනවා විය යුතුය.

"මියගිය අයෙකුගේ සිරුරට ආචාර කිරීම පිනක් ද? එය අයත්වෙන්නේ දස කුසලයෙන් කවර නම් කුසලයට ද?" යනුවෙන්, ෆේස්බුක් අවකාශයේ මා නැගූ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස මුලින් ලැබුනේ, පින් කිරීම ඉතා පහසු වැඩක් බවත්, පව් නොකර සිටීමෙන්ම පින් ලැබෙන බවත් ය.

"පව් නොකර සිටමෙන් පින් ලැබෙනවා නම්, ණය නොවී සිටීමෙන්, එනම්, රිම් එකෙන් යෑමෙන්, ධනවතෙකු විය හැකි නොවේ ද?" යැයි මම ඇසුවෙමි.

සුපුරුදු පරිදි "රේනුකානේ" කියවන ලෙස මට උපදෙස් ලැබුණි.

මේ සංවාදයෙන් මා උකහා ගත් දෙයක් වේ නම් එය දක්වා තිබුණේ හසිත චාමිකර ගුණසිංහ විසින් ම ය.

එය නම්, පින් සහ කුසල් යනු දෙවර්ගයක් බවයි!

සරලව කියනවා නම්, ඒ වෙනස මෙයාකාරය කියා මට සිතුනි.

පින් යනු ද්‍රව්‍යමය දෙයක් සේ ය. එක් ගිනුමකින් තවත් ගිනුමකට මුදල් මාරු කරනවාක් මෙන් අපට වෙනත් අයෙකුට පින් ලබා දිය හැක.

නමුත් කුසල් යනු, තමන්ම එක් රැස් කරගත යුතු දේ ය. හරියට හොඳ මිතුරන් මෙනි. (බොක්කක බොක්කක් බොක්කක් ය යනාදී තර්ක අමතක කරන්න!)

හසිත උපුටා දක්වා තිබුණු පරිදි, දස කුසල් සහ දස පුන්‍ය ක්‍රියා යනු මේ ලෙස වේ.


දස කුසල්
  1. පාණාතිපාතය නොකිරීම
  2. අදත්තාදානය නොකිරීම
  3. කාමමිත්‍යාචාරය නොකිරීම
  4. මුසාවාදය නොකිරීම
  5. පිශුනාවාචය නොකිරීම
  6. පරුෂාවාචය නොකිරීම
  7. සම්ඵප්ප්‍රලාපය නොකිරීම
  8. අභිධ්‍යාව නොමැතිවීම
  9. ව්‍යාපාදය නොමැතිවීම
  10. මිථ්‍යාදෘෂ්ඨිය නොමැතිවීම

දස පුණ්‍ය ක්‍රියා
  1. දානය - තමන් සතු වස්තුව ( ද්‍රව්‍යමය හෝ අද්‍රව්‍යමය ) අන් අයගේ යහපත, සුබ සිද්ධිය උදෙසා පරිත්‍යාග කිරීම
  2. සීලය - සිත, කය, වචනය තමන්ටත් අනුන්ටත් පීඩාවක් නොවන පරිදි සංවර කරගැනීම
  3. භාවනාව - ප්‍රඥාව, සමාධිය දියුණු වන සුදුසු අරමුණක සිත හැසිරවීම තුලින් කුසල් දහම් වඩවා ගැනීම
  4. පත්තිදාන - තමන් විසින් කල පින්කම් පින් බලාපොරොත්තුව සිටින අයට අනුමෝදන් කිරීම
  5. පත්තානුමෝදනා - වෙනත් අයකු කරන ( හෝ අතීතයේ කළ) පින්කම් දැක / අසා ඒ පිළිබඳව සිත පහදවාගෙන සතුටු වීම
  6. වෙය්‍යාවච්ච - පිදිය යුතු උතුමන්ට හා පුජනිය වස්තුන්ට වත් පිළිවෙත් කිරීම
  7. අපචායන - පිදිය යුතු උතුමන්ට සිතෙන් කයෙන් වචනයෙන් වන්දනා කිරීම
  8. ධම්ම දේසනා - ලාභ සත්කාර කිර්ති ප්‍රසංසා ආදිය බලාපොරොත්තු නොවී ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම හෝ කරවීම
  9. ධම්ම සවන - චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හොඳින් සවන් යොමුකොට ධර්මශ්‍රවණය කිරීම
  10. දිට්ටිජුකම්ම - බුදුන් වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මය පිලිබඳ නිවැරදි වැටහීමක් ඇති කරගැනීම


ඔබ සැම ගේ සිත් පහන් වේවා යැයි පතමි!

-රසිකොලොජිස්ට්

(image: shared in Facebook)

Saturday, 11 April 2015

වසන්තයේ අග දවසක - End of Spring is not end of life


මේ කියන්නේ බ්ලොග් වසන්තය ගැන නොවේ. ඒ වසන්තය නම් තාම උදාවුණා විතරකි.

මේ කවිය ලියවුණේ ඒ ගැන නොව එක්තරා පුද්ගලයෙකු ගේ ජීවිතයේ එක්තරා වසන්තයක් නිමා වූ දිනය ගැනයි.

වසන්තය නිමා වුණා කියා දුක්වීමේ ලොකු ප්‍රයෝජනයක් නැතැයි යන්න සත්‍යයකි. ඒ එක් වසන්තයක් ගෙවී, පෘථිවිය දිගටම හිරු වටා කැරකෙමින් ගොස්, තව මාස නමයක් ගෙවුණු කන නැවතත් වසන්තයක් උදා වෙන නිසාය.

නමුත් කවියක් ලියන්නට අවශ්‍ය වූ විට ඒ විස්තර සියල්ල සළකා බැලීම ඇවැසි නොවේ.

මෙන්න ඒ කවිය.

වසන්තයේ අග

අඩ සඳ අහසේ ඉකි බිඳිමින් සිටි
රැය මැදියම අතිනත පටලා
මට මතකයි අප සක්මන් කල හැටි
පිණි පොද වැසි මැද පා නගලා

හිස බමනය කල මියැසිය හැරදා
මහවැලි පටු පාලමෙන් එගොඩ වී
සරසවි උයනේ කොණකින් කොණකට
මල් ලිය වැල් පිරි මගෙහි තුරුළු වී

අවසන් වරටත් ඔබෙ අත සිපගෙන
සමුගත් හැටි මතකයි හද බර වී
ඒ මොහොතේ සිතුනාද කියනු මැන
දුක් වෙන්නට යලි මේ ලෙස හමුවී



"අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" ගී පද සංග්‍රහයෙන් උපුටා ගත්තකි.

-රසිකොලොජිස්ට්

(http://www.elakiri.com/forum/showthread.php?t=762784 and ESPS-Peradeniya)

Friday, 10 April 2015

ග්ලෙන්මෝ පාක් නමැති මගේ ඕස්ට්‍රේලියානු ගම (හුදෙක් ම වාර්තාවක් පමණි) - Grass for my feet


මා ජීවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, පෙන්රිත් නම් නගර සභා ප්‍රදේශයේ පිහිටි ග්ලෙන්මෝ පාක් නමැති ගම්මානයේ ය.

මෙය මා ගම්මානයක් යැයි හැඳින්වූව ද සැබැවින් ම කිව යුත්තේ තදාසන්න ප්‍රදේශයක් හෙවත් සබර්බයක් ලෙසිනි. නමුත්, මනරම් උද්‍යාන, ජලාශ, වාහන සඳහා ද, පයින් යන්නන් සඳහාද මාර්ග සහිත, උතුරු පසින් අධිවේගී මාර්ගයකටද, දකුණු පසින් කුඩා වන පෙදෙසකට සහ වගාබිම් කිහිපයකට ද, අනිත් දෙපසින් මහා මාර්ග දෙකකටද මායිම් වූ මේ ප්‍රදේශයේ ඇති සරල සුන්දර බව නිසාම එය ගමක් ලෙස මිස නගරාසන්න පෙදෙසක් ලෙස බොහෝ විට නොසිතෙයි.

මෙහිදී බොහෝ විට යනුවෙන් මා අදහස් කළේ උදෑසන සහ සවස් වරුවේ දුම්රියපොළට යාමට සහ ඒමට මෝටර් රථයෙන් යනෙන අවස්ථාවන් අතහැර බව සලකන්න. මේ දිනවල අපේ උදෑසන අපේ ගමෙන් පිටවීමට ද, සවස ගම කරා ඒමට ද වාහන පෝලිම සැරටම පවතී!

බටහිර ඕස්ටේ‍ර්ලියාවේ අගනුවර වෙන පර්ත් නගරාසන්නව වෙසෙන සිංහල කවියෙකු වර්ග කිලෝමීටර් 6,500 ක වපසරියකින් යුතු, මිනිසුන් මිලියන දෙකක් පමණ ජීවත්වෙන ඒ පර්ත් නුවර හඳුන්වන්නේ පර්ත් ගම යනුවෙන් බව සලකන කල, වර්ග කිලෝමීටර් 8.3 ක් විශාල, විසි දහසක ජනගහණයකින් යුතු මා වසන ග්ලෙන්මෝ පාර්ක් ප්‍රදේශය ගම්මානයක් යැයි සැලකීම අරුමයක් නොවේ.



මා අසා දැන ඇති පරිදි ග්ලෙන් යන ස්කොට්ලන්ත වචනයෙන් අදහස් වෙන්නේ කුඩා නිම්නයක් හෝ කුඩා දියපහරක් ගලා යන ප්‍රදේශයක් යන්නයි. වත්මන් ඕස්ට්‍රේලියාවේ යූරෝපීය පසුබිම නිසා, ග්ලෙන් යන්නෙන් ඇරඹෙන ප්‍රදේශ නාම සිය ගණනක් මෙහි ඇත.

එසේම, මෙය ලංකාවට නුහුරු නමක් ද නොවේ. උදාහරණයක් ලෙස, මගේ බිරිඳ ගේ ලංකාවේ මහගෙදර පිහිටා තිබුණේ "ග්ලෙන් ෆෝල් පාත්" නමැති මාවතකයි. කඳු මුදුන්වල වනාන්තර විනාශ කිරීම නිසා පසු කලෙක මුළුමනින් ම වාගේ සිඳී යන්නට පෙර ඒ මාවත ඇදී ගියේ "ග්ලෙන් ෆෝල්" නමින් හැඳින්වුනු දිය ඇල්ලක් දෙසටයි.

ග්ලෙන්මෝ පාර්ක් ගම්මානය තුළ වෙසෙන ළමුන් සඳහා ප්‍රාන්ත රජයෙන් පාලනය වෙන ප්‍රාථමික පාසල් දෙකක් ද, ද්වීයිතික විද්‍යාලයක් ද පිහිටා ඇත. මීට අමතරව, රජයෙන් ආධාර ලබන නමුත් කතෝලික පල්ලියෙන් පාලනය වෙන ප්‍රාථමික පාසලක් සහ ද්වීයිතික විද්‍යාලයක් ද වේ. මගේ පුතා වසර පහක් ඉගෙනුම ලැබුවේ ඉහත ප්‍රාථමික පාසල් අතුරෙන් අපේ නිවසට ලඟින්ම පිහිටා ඇති ප්‍රාථමික පාසල වූ ග්ලෙන්මෝ පාක් මහජන පාසලේ ය. රජයෙන් පාලනය වෙන මේ මහජන (හෙවත් පබ්ලික්) පාසල් නිර්-ආගමික වේ. ඒ ගැන වැඩි විස්තර පසුවට තබමි.

මා මේ ගම්මානයේ පදිංචියට ආවේ වසර 2002 ඔක්තෝබරයේ දී ය. අපේ ජීවීතවල සිදු වූ යම් යම් වෙනස්කම් නිසා අප සිව් දෙනා, මෙල්බරන් තදාසන්නයේ සිට මේ ප්‍රදේශයට පැමිණියේ ඊට වසරකට පමණ පෙරදී ය. එතැන් සිට, මේ ගම්මානයේ පදිංචියට ඒමට පෙර, අප වසරක පමණ කාලයක් වාසය කලේ මීට කිලෝමීටර් හයක් පමණ දුරින් පිහිටි කිංග්ස්වුඩ් නම් ප්‍රදේශයේයි.

මා මුලින් කී විවිධ කරුණු නිසා කිංග්ස්වුඩ් හා සසඳන විට අපේ ග්ලෙන්මෝ පාක් ගම, සෑබෑ ගමකි. මෙහි මාර්ග සියල්ලම සාදා ඇත්තේ දෙපසටම වංගු සහ වෙනත් මාර්ගයකට සම්බන්ධ නොවී නිවෙස්වලින් ම අවසන්වන කෙටි මාර්ග රාශියකින් යුක්තවය. වංගු පාරවල්වල වාහනය නිදැල්ලේ පදවන සැම විටම පාහේ දැනෙන්නේ ඉමහත් ප්‍රීතියකි.

අප ග්ලෙන්මෝ පාර්ක් හි පදිංචියට ආ මුල් කාලයේ බිරිඳත්, මාත් දෙදෙනා ම සේවය කළේ මේ ප්‍රදේශයේ ම ය. නමුත් දැන් මා සේවය කරන්නේ අපේ ගමෙන් කිලෝ මීටර් හැට හයක් පමණ දුරින් ඇති සිඩ්නි නගරයේ උතුරු කෙළවරේ ඇති කාර්යාලයක ය. එනිසා දිනපතා නිවසේ සිට කිලෝ මීටර් අටක් පමණ දුර ගෙවා දුම්රිය ස්ථානයට ගොස් එතැනින් දුම්රියක පැයයි විනාඩි පහළොවක් පමණ කල් ගත කොට නගරයේ පිහිටි කාර්යාලයට යාමට මට සිදුවී ඇත.

ගමනට කෙතරම් කාලයක් ගත වුණ ද, මේ ගම හැරදා සිඩ්නි නගරයට වඩා කිට්ටු ප්‍රදේශයක පදිංචියට යාමට නම් මම නො පතමි.

නිවස කිට්ටුව ඇති පෙන්රිත් නම් නගරයේ රැකියාවක් සොයා ගැනීම ඊට වඩා හොඳ විකල්පයයි. මක් නිසා ද යත්, බිරිඳ සේවය කරන්නේ ද, පුතා පාසල් යන්නේ ද පෙන්රිත් නගරයේ හෙයිනි!

-රසිකොලොජිස්ට්

(මෙය බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවුණු ලිපියකි!)

(images: Google maps & http://www.parkviewglenmoreridge.com.au/)

Thursday, 9 April 2015

මගේ ගම පරකන්දෙණිය යි - It is worth 150 Rs. for an undergraduate...!


ඔබේ ගම කුමක්දැයි ඇසුවොත් කිව යුත්තේ කුමක්ද? ඔබ ඉපදුණු ගම ද? පියා ගේ මහ ගෙදර පිහිටි ගම ද? ඔබ හැදී වැඩුණු ගම ද? දැන් ඔබ ජීවත්වන ගම ද?

මා උපන්නේ කොළඹ මහා රෝහලේ ද සොයිසා ප්‍රසූතිකාගාරයේ දී ය. මෙය පිහිටා ඇත්තේ කොළඹ කින්සි පාරේ මරදාන පැත්තේ නිසා මා ඉපදුණු ගම මරදාන ලෙස සැලකිය හැක. මේ ගැබිණි වාට්ටුව පිහිටා තිබුණේ කින්සි පාරේ අනිත් පැත්තේ නම්, මා ඉපදුණු ගම වෙනු ඇත්තේ කුරුඳුවත්ත යි.

නමුත් ඇත්තටම මගේ ගම ලෙස සැළකිය යුත්තේ, මගේ පියා කුඩා කළ සිට හැදුණු වැඩුණු, මගේ ජීවිතයේ මුල් අවුරුදු දහ අටෙන් දොළහක් ම ගත කළ පරකන්දෙණිය නම් වූ ග්‍රාමයයි.

පරකන්දෙණිය ගම පිහිටියේ ගම්පහ මැතිවරණ කොට්ඨාශයේ එක් කෙළවරක ය. එහි මායිම් ගම්මාන වූයේ කොස්සින්න, කටුවාලමුල්ල, අමුණුගොඩ, ඉඹුල්ගොඩ, ඇල්දෙනිය සහ ගිණිකොණ දෙසින් කොළඹ-නුවර පාරයි.

ගම හරහා පැයකට වරක් එක් දිසාවකට ගමන් ගත් බස් රථය වූයේ අංක 218 ගණේමුල්ල-කඩවත බසයයි.

විශාල ප්‍රදේශයක් භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබුණු පරකන්දෙණිය ගම මගේ පියා ගේ දෙමව්පියන් දෙදෙනාගේ ම උපන් ගම විය. නමුත්, සීයා ගේ ඥාතීන් සිටියේ අප එකල ඉහල පරකන්දෙණිය නමින් හැඳින්වූ නුවර පාර ආසන්න ප්‍රදේශයේ ය. සීයා සහ ආච්චී පදිංචිව සිටි තාත්තා ගේ මහගෙදර පිහිටියේ ගමේ අනෙක් කෙළවරේ ය.

ගමේ එක කොණක ජීවත් වීම යනු ප්‍රායෝගිකව අල්ලපු ගමේ ම ජීවත්වීමකි.

අපේ නිවස පිහිටා තිබූ ඉඩමට අල්ලපු වත්ත අයත් වූයේ කොස්සින්නටයි. මා කුඩා කාලයේ පාසල් ගියේ ද, මගේ පියා ගේ මුල් පාසල ද වුණු කොස්සින්න ශ්‍රී ශ්‍රීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයටයි. පරකන්දෙනිය ගමේ ද, මායාදුන්න කණිෂ්ඨ විද්‍යාලය නමින් පාසලක් වූ නමුත් අප නිවසේ සිට එය පිහිටියේ කොස්සින්න පාසලට වඩා සාපේක්‍ෂව තරමක් දුරිණි.

අප පෝය දිනට ගියේ ද, කොස්සින්න පන්සලටයි. එය සියම් නිකායේ අස්ගිරි පාර්ශවයට අයත් පුරාණ රජමහා විහාරයකි. පරකන්දෙණියේ පන්සලට මා කිසි දිනක ගොස් නැත.

අපේ ගමට තැපැල් බෙදුවේ ඉඹුල්ගොඩ තැපැල් කාර්යාලයෙන් වූ නමුත් අප නිතරම ගියේ කොස්සින්නේ පිහිටි උප තැපැල් කාර්යාලයටයි, එසේත් නැති නම්, ගණේමුල්ලේ තැපැල් කාර්යාලයටයි.

කොටින් ම, අපට පරකන්දෙනිය යන නම වැදගත් වූයේ කරුණු දෙක තුනක් සඳහා පමණි.

ඉන් ප්‍රධානම කරුණ නම් තැපැල් සේවය සඳහා භාවිතා කළ යුතු ලිපිනයේ ඇතුලත් කිරීමටයි. ඇත්තටම අප වාසය කරන්නේ කොස්සින්නේ නොව පරකන්දෙණිය නම් ගමක බව මා දැන ගත්තේ ද, පාසලේ දී නිවසේ ලිපිනය ලිවීමට සිදුවූ මොහොතක දී ය. අල්ලපු වත්තේ සිටි මගේ ඥාතියෙකු සහ පාසල් මිතුරෙකු වන ආනන්ද ජයතිලක තම ලිපිනය කොස්සින්න, ගනේමුල්ල කියා ලියද්දී මම ද එසේ ලියූවෙමි. මා වෙසෙන්නේ පරකන්දෙණියේ බව මට කියා පහදා දුන්නේ ආනන්ද විසිනි. (Happy birthday, Ananda)

මීට අමතරව, අපේ සලාක යනාදිය ලැබෙන සමූපකාරය පිහිටා තිබුණේ ද, ග්‍රාමසේවක කාර්යාලය තිබුණේ ද, ඡන්දය දීමට යා යුතු වූයේ ද, පරකන්දෙණිය ගම මධ්‍යයේ පිහිටි විවිධ ස්ථාන වලටයි.

පරකන්දෙණිය යන නම ලංකාවේ වැඩි දෙනෙකු අසා හුරු පුරුදු නමක් නොවේ. එය, එක්තරා දිනයක මගේ වාසියට හේතු විය.

ඒ කතාව මෙසේය.

මා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් ජීවිතයේ වසන්ත සමය ගතකළ කාලයේ දී දිනයක, හදිසියේ ම, විශ්වවිද්‍යාලය වසා දමන ලදී. නේවාසික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එදිනම විශ්වවිද්‍යාල භූමියෙන් පිටත්ව නිවෙස් බලා යන ලෙස පාලකයෝ දැනුම් දුන්හ.

මේ ආකාරයට විශ්වවිද්‍යාලය හදිසියේම වසා දමන විට සිසුන්ට නිවසට යාම සඳහා මුදල් ආධාර දීමේ ක්‍රමයක් එකල පැවතුණි. කුමක් හෝ ඓතිහාසික හේතුවක් නිසා සිසුන්ට ලබා දුන් මේ මුදල් ප්‍රමාණය නීර්ණය කෙරුණේ විශ්වවිද්‍යාලයේ සිට එක් එක් නිවසට ඇති දුර අනුව ය.

නිවස නුවර පලාතේ නම් ලැබෙන්නේ රුපියල් විසි පහකි.

ගම්පහ, කුරුණෑගල, බණ්ඩාරවෙල නම් රුපියල් පනහක් ලැබේ.

නිවස පිහිටියේ ඊටත් දුර නම් රුපියල් හැත්තෑ පහක් හෝ සීයක් ලැබේ.

වැඩිම මුදළ වූ රුපියල් එකසිය පනහක් ලැබුණේ, නිවස යාපනය, මඩකළපුව, ත්‍රිකුනාමලය, මාතර හෝ හම්බන්තොට යන දිස්ත්‍රික්කයක පිහිටා ඇති නම් පමණි.

පීඨ ලේඛකාධිකාරී කාර්යාලයේ දී. අපේ ශිෂ්‍ය වාර්තා පොතේ ඇති ලිපිනය පරීක්‍ෂා කර ඒ අනුව මේ මුදල ලබා දෙන ලදී.

මගේ ගමේ නම වූ පරකන්දෙණිය යන්න සහ තැපැල් කාර්යාලය වූ ඉඹුල්ගොඩ යන්න දුටු පීඨ කාර්යාලයේ ලිපිකරු මේ කොයි දිස්ත්‍රික්කයේ දැයි මගෙන් ඇසුවේය. "රුපියල් එකසිය පනහක දුර!" යැයි මම පැවසූයෙමි.

මාතර දිස්ත්‍රික්කය යටතේ මගේ නම ඇතුළත් කළ ඔහු මට රුපියල් එකසිය පනහක් දුන්නේ ය.

ඊට හරියටම මාස විසි එකකට පසු දිනක, උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියා පදිංචි වීමේ දී මට ඒ රුපියල් එකසිය පනහ ගෙවා ණය බරෙන් නිදහස් වීමට සිදු විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පසු කලෙක සිදුවුණු ග්‍රාම සේවක වසම් නැවත නම් කිරීමේ ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් ලෙස අපේ මහ ගෙදර තිබුණු ප්‍රදේශය දැන් හැඳින්වෙන්නේ කටුවාලමුල්ල උතුර කියාය. නමුත්, ග්‍රාමසේවකලාට කෙසේ වෙතත්, ගම්වාසීන්ට නම් අපේ ගම තවමත් පරකන්දෙණිය යි!

(මෙය බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවුණු ලිපියකි!)

Wednesday, 8 April 2015

වසන්තය කියන්නේ ඌටයි, බොටයි - Wasantha Vs Vasntha in Australia



වසන්ත යන වචනය සිංහල පිරිමි නමක් ලෙස භාවිතා වෙන්නේ එයින් වසන්ත සෘතුව හැඳින්වෙන නිසා බව අප දනිමු. වසන්ති සහ වසන්තා යනු මේ නමේ ම කාන්තා රූපක වේ.

ඒ ආකාරයට ම, හේමන්ත සෘතුව නිසා හේමන්ත/හේමන්තී/හේමන්තා යන නම් භාවිතයට විත් තිබෙන අතර ඉංගිරිසියෙන් සමර් යනුවෙන් හැඳින්වෙන සෘතුව සඳහා භාවිතා වෙන ගිම්හානය යන්න, ගිම්හාන සහ ගිම්හානී යනුවෙන් පුද්ගල නාම ලෙස භාවිතා වෙන බව ද පෙනේ.

නමුත් ඉංගිරිසියෙන් වින්ටර් යනුවෙන් හැඳින්වෙන සෘතුව සඳහා භාවිතා වෙන සිසිර යන්න භාවිතා වෙන්නේ පිරිමි නමක් ලෙස පමණකි. සිසිරා හෝ සිසිරී කියා කාන්තා නම් මා දන්නා තරමින් නැත.

මා හඳුනන වසන්ත ලා දෙදෙනෙක් ගැන මට මෙ වෙලේ සිහි වේ. දෙදෙනා ම මැවිසුරුවෝ ය. ඉගෙන ගෙන ඇත්තේ විශ්ව විද්‍යාල දෙකකය. සේවය කරන්නේ දෙ රටක ය.

එක් අයෙක් තම නම ඉංගිරිසියේ ලියන්නේ Wasantha කියා ය. අනෙකා ලියන්නේ Vasantha කියා ය.

මේ දෙයාකාරය ම නිවැරදි විය නොහැක. එසේ නම් නිවැරදි යෙදුම කුමක් ද? Wasantha ද? Vasantha ද?

කලකට ඉහත "සිහි සටහන්" නමින් බ්ලොගයක් (මේ වන විට වසා දමා ඇත!) ලියූ චානුක වත්තේගම ෆේස්බුක් සටහනක් තබමින් වත්තේගම යන්න ඔහු පාරම්පරිකව Wattegama කියා ලියූවද, එය ඇරඹිය යුත්තේ V අකුරෙන් බව කියා තිබුණි. ඒ සටහනේ දී ම ඔහු බොහොමයක් සිංහල නම් ඉංගිරිසියෙන් ලිවීමේ දී, නිවැරදිව යෙදිය යුතු V වෙනුවට W යොදන බවද වැඩිදුරටත් පවසා තිබුණි. චානුක නොකියූ දේ වූයේ ඔහු (V/W)aththegama කියා නොලියා (V/W)attegama කියා ලියන්නේ ඇයි කියායි. වසන්ත කියා ලියන්නට V යොදන්නන් W යොදන්නන්ට වඩා සාපේක්‍ෂව ඉතා අඩු වුණද, ත-යන්න සඳහා t යොදන්නෝ ද th යොදන්නෝ ද සම සමව සිටිති.

මගේ අදහස වනුයේත් වසන්ත කියා ඉංගිරිසියෙන් ලිවිය යුත්තේ Vasantha කියා බවයි. ඒ මක් නිසාද යත්, ඉංගිරිසි W අකුර ශබ්ද කල යුත්තේ උ-ශබ්දයෙන් පටන්ගෙන බව මා කුඩා කළ ඉගෙන ගත් නිසා ය. ඒ සමගම එය ප්‍රායෝගිකව ද නිවැරදි බව ඉංගිරිසි බස දොඩන්නන් හා ආශ්‍රය තුළින් හඳුනා ගෙන ඇති නිසා ය.

මේ සඳහා හොඳම උදාහරණය ලෙස දැක්වෙන්නේ Window යන වචනයයි. මෙය ශබ්ද කළ යුත්තේ "වින්ඩෝ" කියා නොව "උවින්ඩෝඋ" කියා බව මා කුඩා කළ කියවූ "ඉංගිලිසියට සරල මග" (බලංගොඩ ආනන්ද මෛත්‍රී) පොතේ දක්වා තිබුණි.

වසන්තය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපට ඇත්තේ පෙර කී V එරෙහිව W අකුරු ප්‍රශ්නය නොව, වෙනස් ම ආකාරයේ ප්‍රශ්නයකි.

ලංකාවේ දී වසන්තය කියූ විට අපේ සිහියට එන්නේ මල් පිපෙන, පලතුරු සෑදෙන මාර්තු-අප්‍රියෙල්-මැයි කාලයයි. අවුරුදු උත්සවය මෙන්ම අප්‍රියෙල් මාසයේ නුවරඑළිය වැනි ප්‍රදේශවල පැවැත්වෙන උත්සව ද "වසන්ත සැණකෙළි" ලෙස හැඳින්වේ.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ප්‍රජාව ලංකාවේ දී මෙන් අප්‍රිියෙල් මාසයේ දී සිංහල අළුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සමරති. මෙහිදී ප්‍රධාන තැනක් ගන්නේ අවුරුදු ක්‍රීඩා, විවිධ ඇඳුම් සංදර්ශනය, අවුරුදු කුමාරී සංදර්ශනය සහ විවිධ සංගීත, නර්තන, රංගණාංගයෙන් යුතු වූ අළුත් අවුරුදු උත්සවයයි.

මීට අමතරව කාලයක් තිස්සේ සිඩ්නි නගරයේ පැවැත්වෙන "බක්මහ රංගන" නම් වූ විවිධ ප්‍රසංගයක් ද වේ. මේ ප්‍රසංගය එක් වසරක නම් කෙරුණේ වසන්තයේ රාවය යන අරුත දෙන "වසත් රාව" යන නමිනි.

එහි තිබූ නොගැලපීම නම් මෙයයි.

ඕස්ට්‍රේලියාව පිහිටා ඇත්තේ ලෝකයේ දක්‍ෂිණාර්ධගෝලයේ ය. මේ ප්‍රදේශය අප්‍රියෙල් මාසයේ දී ගත කරන්නේ හේමන්ත සෘතුවේ ය. ඉන්පසු ජූනි මුල සිට අගෝස්තු අවසානය දක්වා සිසිර සෘතුව ගෙවී ගොස්, වසන්ත සෘතුව ලබන්නේ සැප්තැම්බරයේ ය!

බක් මාසයේ පැවති විවිධ ප්‍රසංගය අපේ ඇත්තන් විසින් "වසත් රාව" ලෙස නම් කෙරුණේ කාලය, දීපය, දේශය ගැන හිතා නොව "මව" ගැන සිතා බව පැහැදිලි ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවුණු ලිපියකි!

(image: https://www.facebook.com/groups/693226280782347/)