Showing posts with label දෙවියෝ. Show all posts
Showing posts with label දෙවියෝ. Show all posts

Wednesday, 22 June 2022

ගණ දෙයියා මිත්‍යාව - Oh My Goat



මේ පාසල් දරුවන් අතර මිථ්‍යාව පැතිරවීමේ කූඨ වැඩ පිළිවෙළක් පිළිබඳ කතාවකි.

උඩින් එකතු කර ඇති රූපයේ පෙනෙන්නේ කුමක්දැයි දන්නවාද? ඒ ගණ දෙයියා නම් මිනිස් අර්ධයක් ඇති අලි පැටියාගේ ඇඹූ රූපයකි.

මෙය පිහිටා ඇත්තේ කොහේදැයි දන්නවාද? මා ද හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් ගනේමුල්ල ගලහිටියාවේ මධ්‍යම විද්‍යාල භූමියේ ය.

මට දැන ගැනීමට ලැබුණු පරිදි මීට අවුරුදු හතරකට පමණ පෙර ගම්පහ ප්‍රදේශයේ පාසැල් පනහක් අතර මෙම අලි පැටියාගේ ඇඹූ රූප නොමිලේ බෙදා දී ඇත. එයට මූලික වී ක්‍රියා කර ඇත්තේ චතුර සේනාරත්න නම් හිටපු මන්ත්‍රී දේශපාලුවෙකු බව ද කියවේ.

මොකා දුන්නත් මේ පිළිල පාසල් තුළට වැද්දා ගැනීමේ දෝෂාරෝපණය කෙළින් ම එල්ල විය යුත්තේ විදුහල්පතිට ය.

මෙය පාසලේ දී ගුරුවරුන්ගෙන් සහ පත පොතින් ළමුන් ලබාගන්නා අධ්‍යාපනයේ ඇති වැදගත්කම අවතක්සේරු කරන ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

සමහරවිට දැනටම විභාගවලට පෙර මෙම ස්ථානයේ පූජා සංවිධානය කෙරෙනවා ද විය හැක.

මා දහවැනි ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලැබූ මරදානේ පිහිටි ආනන්ද විද්‍යාලයේ ගුරුවරුන් ද විභාගයට පෙර නිවසේ මැටි පිළිමයක් අබියස අබතෙල් පහනක් පත්තු කරන ලෙස දරුවන්ට උපදෙස් දෙන බව පසුගිය දිනවල මට ආරංචි විය.

මේ ගැන මගේ ප්‍රතිචාරය එක වචනයකින් පහත පරිදි දැක්විය හැක.

නොදකින්.

මෙන්න මේ සම්බන්ධයෙන් ප්‍රශ්න හා පිළිතුරු කිහිපයක්.

පාසැල්වල ඇති සියලුම ආගම් වලට අදාළ පිළිම කඩා ඉවත් කළ යුතුද?

පිළිම වන්දනාව යනු මොළේ ඇති මිනිසෙකු කරන වැඩක් නොවේ.

ගෞතම බුදුන්, සැරියුත් මුගලන් හාමුදුරුවරු පිළිම වන්දනා කළ අය නොවේ. පිළිම වන්දනාව යනු පසු කලෙක රජාලා සහ හොර ගනයින් විසින් එකතු කරන ලද දෙයක්.

නමුත් මේ ගණදෙයියා පිළිමයක් පාසලක පිහිටුවීම කියන එකේ විශේෂත්වයක් තිබෙනවා. මෙයින් ඉගෙනීමට අධිපති දෙයියෙකු ඉන්නවා ය, ඌ මේ අලි පැටියා ය කියන මිථ්‍යා සංකල්පය ළමයින් ගේ සිත් තුළට අනියමින් නොව කෙළින්ම කාවද්දනවා. පාසලේ ඉන්නා අමන ගුරුවරු ළමුන් ලවා ඔය පිළිමයට වන්දනාමාන කරවනවා.

අවසානයේ සිදුවන්නේ ඉගෙනීමෙන් දැනුම සහ සහ නිවැරදි චින්තනයක් ලැබීම වෙනුවට මිථ්‍යා විශ්වාසයෙන් හිත පිරුණු කොන්ද පණ නැති අනාගත පරම්පරාවක් බිහි වීමයි.

දැක්කෙ නෑ වගේ ඉන්න.

ලෝකයේ වැරදි කරන එවුන්ට වඩා සමාජ හානියක් කරන්නේ ඒ වැරදි දැක නිහඬව ඉන්නා බහුතරයයි.

මේ පිළිම වලින් තමන්ට හරි ගියා කියන අය ඉන්නව ඒ වගේම ඔක නිකම්ම මැටි ගොඩක් කියල හිතාගෙන වැඩ කරන අය ඉන්නවා. ඒත් පිළිමෙ නිසා තමයි මට වැරදුණේ කියන අය නෑ නේද?

ඔබේ තර්කය අර දෙයියො ඉන්නවා පුළුවන් නම් නැහැ ය කියා ඔප්පු කරන්න කියා අභියෝග කිරීමට සමානයි.

බුදුදහමේ සඳහන් වන්නේ "අත්තාහි අත්තනෝ නාථෝ, කෝහි නාථෝ පරෝසියා" කියා මිස අපේ පිහිටට දෙයියෙකු හෝ යකෙකු හෝ මල පෙරේතයකු හෝ ඉන්න බව නොවේ.

පාසල් අධ්‍යාපනය හරහා දැනුම සහ ස්වාධීන චින්තනයක් ගොඩ නගනු වෙනුවට මේ ආකාරයේ මිත්‍යා විශ්වාස කෙරෙහි දරුවන් යොමු කිරීමෙන් බිහිවන්නේ කොන්ද කැඩුණු එක එකාට වැඳ වැටෙන අසරණ චින්තනයකින් යුත් පිරිසක් පමණයි.

මේ දෙයියට වැඳලා විභාගයට ගියවුන් පාස් වුණොත් දෙයියා නිසා කියා හිතනවා ෆේල් වුණොත් හිතන්නේ තමන්ගේ අපලයක් බවයි. සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ විදිහටයි.

අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ දැනුම ලබා දීම සහ නිදහස් චින්තනයක් බිහි කිරීමයි. මේ මිථ්‍යා විශ්වාස හෙට ළමුන් යොමු කිරීමෙන් සිදු වන්නේ කොන්ද කැඩුණු අසරණ අනාගත පරම්පරාවක් බිහි වීමයි.

අමනයින්ගෙ ඡන්දයෙන් බලයට පත් වීමට බලාපොරොත්තු වෙන කපටි දේශපාලුවන්ට ඊට වඩා හොඳ දෙයක් නැහැ.

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ මා මීට දෙවසරකට පෙර 2020 ජූනි 20 දින ෆේස්බුක් අවකාශයේ පළ කළ සටහනකි. එය ඊයේ උපන්දිනය වෙනුවෙන් උඩට ගත් පසු 2020 දී ඇති වූවාට වඩා විශාල ප්‍රතිචාර සහ අදහස් දැක්වීම් ලැබුණි. මෙය මේ වන විට 300+ වරක් බෙදා හැරී ඇත. මෙහි වැදගත්කම් නිසා, ඊයේ ඇතිවුණු සාකච්ඡාවෙන් කොටස් ද එකතු කර, මෙලෙස නව සංස්කරණයක් ලෙස රසිකොලොජියේ ද පළ කිරීමට සිතුවෙමි.

තවත් අදහස්:

පාසලේ ආදී ශිෂ්‍යයෙකු / දෙමව්පියෙකු මෙසේ පවසා ඇත.

මේක චතුර සේනාරත්නගෙ අපලක් කියල කරපු එකක් කියලයි කියන්නෙ. මේ ගැන කියල වැඩක් නෑ මම මේක දැක්ක දවසෙම ගිහිල්ල හිටපු ව්දුහල්පති තිසේරට වැරද්ද කිව්ව මිනිහ ගණන් ගත්තෙ නෑ පස්සෙ පාසල් සංවර්ධන සමිතියෙ මහ සභාව වෙලේ මම මේක ඇද්දා. ඉවර වුණා මාව. මුලු හෝල් එකම මට විරුද්ධව කතා කළේ. ගුරුවරියක් ඇඬුව. මං ගමේ හිංද බේරුණා.

(image: from Facebook,exact location not recorded.)

Monday, 20 April 2020

කොරෝනාවෙන් පසු ලෝකය ගැන ප්‍රාර්ථනා දෙකක් - What I wish to see in the post-Corona world


නැවතත් අමුතුවෙන් කීම අනවශ්‍ය වුණත් රසිකොලොජි බ්ලොග් අඩවියක් පවත්වා ගෙන ගිය මා එනමින් ම යූටියුබ් නාලිකාවක් ඇරඹීමට මූලිකම හේතුව වූයේ මේ කොරෝනා වසංගතයයි.

මා මුලින් ම රසිකලොජි යූටියුබ් නාලිකාවේ පළ කළ වීඩියෝව වූයේ කොරෝනා පරිප්පු සාදන ආකාරය හෙවත් පිරිමින්ට ඉවුම් පිහුම් පාඩමක් යන්නයි.

ඊට අමතරව මේ වනවිට මගේ යූටියුබ් නාලිකාවේ පළ කර ඇති වීඩියෝ අතරින් කොරෝනා වසංගතය හින්දා නිවසේ රැඳී සිටීම සිදුවීම නිසා උපත ලැබූ වීඩියෝ කිහිපයක් ම තිබේ.

කොරෝනා කාලයේ මා ගෙදර ඇතුළේ ඇවිදීමේ ව්‍යායාම කළ හැටි, දවස් එකොළහක් නිවසේ හිරවී සිට දොළොස්වැනි දවසේ පොඩි වෙලාවකට ෆාමසියට ගිය හැටි, ගෙවත්තෙ වැඩ කරපු හැටි, බතල පාත්ති දාපු හැටි, ලව් රොටී හදලා බිරිඳට කන්න දුන්න හැටි, බීෆ් ස්ටේක් හෙවත් මස් පෙති බැදලා කන්න දුන්න හැටි, ගෙවත්තේ වැවිලා තිබුණු ගොටුකොළ එක්ක පරීක්ෂණාත්මක ඉවුම් පිහුම් කළ හැටි යනාදී විවිධ කාරණා පිළිබඳව මා නිපදවූ වීඩියෝ අවශ්‍ය කෙනෙකුට ඕනෑම වෙලාවකට නැරඹීමට රසිකලොජි යූටියුබ් නාලිකාවේ පළ කර ඇත.

දැන් මාස කිහිපයක් තිස්සේ ලොවම බියපත් කර, යටපත් කරගෙන සිටින කොරෝනා වසංගතය කොයි දිනක නිම වේ දැයි කිසිවකුට නිශ්චිත අනාවැකි කීමට නොහැකි නමුත් මේ වන විට සමහරු කොරෝනා සමයෙන් පසු එළැඹෙන ලෝකය ගැන කතා කරන්නට පටන් ගෙන තිබේ.

ඒ හුඟ දෙනෙකු කතා කරන්නේ කොරෝනාවෙන් පසු ලෝකයේ දේශපාලනය කෙසේ වේද? ලෝක බලවතා කවුරුන් වෙයිද? ආපසු පෙර පැවති තත්වයට ලෝක ආර්ථිකය ගෙනි යන්න හැකිවෙයිද, කොපමණ කාලයක් යයි ද වගේ බරපතල කරුණු ය.

ඒ ගැන ම නොවුණත්, මට ද මගේ සිත තුළ ඇති වූ අදහස් ලියා තැබීමට සිත්විය.

මට කියන්නට ඇත්තේ මූලික වශයෙන් කාරණා දෙකක් ගැන පමණකි. මේවා අතිශය සරල කරුණු වේ.

ඒ එක්කම මේවා මගේ බලාපොරොත්තු පමණකි. බොහෝවිට සැබෑ නොවන සිහින වීමට ඉඩ ඇත.

පළමුවෙනි කාරණය ලෝකයේ සම්පත් බෙදී ගිහින් තියෙන ආකාරය පිළිබඳවයි.
මා සිතන ආකාරයට මේ වන විට රාජ්‍යයන් වශයෙන්, ජාතීන් වශයෙන්, කණ්ඩායම් වශයෙන්, පවුල් වශයෙන් සහ තනි පුද්ගලයින් වශයෙන් අප සියලු දෙනාම අවබෝධ කරගෙන සිටිය යුතු කාරණයක් වන්නේ අප සතුව කෙතරම් වත්කමක්, වස්තු සම්භාරයක් හෝ රටක් වශයෙන් කෙතරම් යුද ශක්තියක් හෝ තිබුණත් මේ වෛරයස හමුවේ අප සියලු දෙනාම අසරණ බවයි.

ඒ සමගම, බටහිර දක්‍ෂිණාංශික ආණ්ඩුවලට පවා ඉතාමත් උග්‍ර ලෙසින් සුබසාධන කටයුතුවලට යොමුවෙන්නට වී තිබේ.

උදාහරණයක් ලෙස මා වසන ඕස්ටේ‍ර්ලියාවේ බලයේ සිටින දක්‍ෂිණාංශික ආණ්ඩුව පවා කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීමේ පියවරක් වශයෙන් ෆෙඩරල් රජය විසින්, ප්‍රාන්ත රාජ්‍යවලද සහයෝගය ඇතුව, රටේ වැඩකටයුතුවලට කළ සීමා පැනවීම් නිසා රැකියා අහිමි වූ මිලියන හයක ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ඩොලර් බිලියන තුන්සීයක පමණ මුදලක ප්‍රතිපාදන මේ වන විට වෙන් කර ඇත.

එනිසා මේ කාරණය සම්බන්ධයෙන් මගේ අපේක්‍ෂාව වෙන්නේ පශ්චාත් කොරෝනා සමයේ දී ලෝකයේ ඇති සම්පත් බෙදීයාමේ අද පවතින විෂම තත්වය වෙනස් වී වඩාත් සාධාරණ සම්පත් බෙදී යාමේ වැඩ පිළිවෙළකට ලෝක දේශපාලනය සීරුමාරු වේ ය යන්නයි.

ඒ කියන්නේ මීට වඩා සාධාරණ, සමාජවාදී ලෝකයක් උදාවේය යන්නයි.
දෙවෙනි කාරණය අද ලෝකයේ බහුතරයක් දෙනා ගිලී සිටින මේ මිථ්‍යා විශ්වාස සහ ආගම් කියන මඩ ගොහොරුව පිළිබඳවයි.
මා සිතන්නේ මේ වන විට මේ ලෝකයේ ජීවත්වෙන ඇස් කන් ඇති ඕනෑම පුද්ගලයෙකුට අනිවාර්යෙන් වැටහී ගොස් තිබිය යුතු කාරණයක් වන්නේ මිථ්‍යා විශ්වාස සහ ආගම් ය, දෙයියා ය කියන බොරු දේ ලෝකෙට බරක් මිස කිසිදු ප්‍රයෝජනයක් ඇති දේ නොවන බව ය. ඒ සමගම, පහුගිය දවස්වල පෝය දා පන්සල් යෑම ද, සිකුරාදා හෝ ඉරිදා හෝ පල්ලි, කෝවිල් යෑම ද නොකීරීමෙන් මිනිසුන්ට සත්‍යවශයෙන් ම වූයේ කාලය ඉතුරුවීමක් බවයි. ලොව වසන මිනිසුන් සියලු දෙනාම අසරණ වී සිටින මේ මොහොතේ ඔවුන්ව බේරා ගැනීමට කුමන හෝ අදෘශ්‍යමාන බලවේගයක් හෝ නැති බවයි.

එනිසා මේ කාරණය සම්බන්ධයෙන් මගේ අපේක්‍ෂාව වන්නේ පශ්චාත් කොරෝනා සමයේ දී මිනිසුන් මේ දෙයියා, ආගම් බහුබූත සහ අනිකුත් මිථ්‍යා විශ්වාස සියල්ලම අතහැර දා, තම ස්වාධීන චින්තනය සමග තමන්ගේ පාඩුවේ ජීවත් වීම අරඹාවිය යන්නයි.
මා ආරම්භයේ දී ප්‍රකාශ කළා සේ ඉහත දැක්වූයේ පශ්චාත් කොරෝනා ලෝකයේ දී මා දකින්නට බලාපොරොත්තු වෙන වෙනස් කම් දෙකකි. ඒවා හුදෙක්ම ප්‍රාර්ථනා පමණක් වෙන්නට ඉඩ ඇත.

නමුත්, දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකය තරමක් හෝ වෙනස් වෙලා හොඳ අතට හැරුණා සේ අද පවතින මේ කොරෝනා වසංගතයට එරෙහි යුද්ධයෙන් පසුවත් යම් ධනාත්මක වෙනසක් වේවිය කියා බලාපොරොත්තු වීමේ වරදක් නැත.

එහෙම නේද?

ස්තුතියි.

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ අදහස සහිත කෙටි වීඩියෝවක් මගේ රසිකලොජි යූටියුබ් නාලිකාවේ පළ කර ඇත.



ඔබට හැකි නම්, එහි ගොස්, මගේ නාලිකාවට සම්මාදම් වෙන ලෙස, එනම් සබ්ස්ක්‍රයිබ් (SUBSCRIBE)කරන ලෙස කරුණාවෙන් ඉල්ලමි.

එසේම මගේ නාලිකාවේ ඇති තිහක පමණ වීඩියෝ සඳහා ඔබේ කැමත්ත ප්‍රකාශ කිරීමට, එනම් ලයික් (LIKE) කිරීමට මෙන්ම, ප්‍රතිචාර දැක්වීමට, එනම් කමෙන්ට් (COMMENT) කිරීමට ද ඔබට හැක.

නැවතත් ස්තුතියි.

Monday, 5 March 2018

ආපසු ආ දෙයියා - Return of the god myth


කිහිප වාරයක් ම පට්ට ගැසූ මාතෘකාවක් ගැන නැවත ලියමින් හේමන්ත සෘතුවේ වැඩ අල්ලන්නට සිතුණේ කාරණා දෙකක් නිසා ය. එකක් උණු උණු අත්දැකීමකි. අනෙක දශක දෙකක් පැරණි මතකයකි.

අද උදෑසන මා දුම්රිය පොළේ බංකුවක වාඩි වී ලැප්ටොපය සමග පොර බදිමින් සිටිය දී එතැනට පැමිණ ඒ බංකුවේ ම අසුන් ගත් තරුණ කාන්තාවක් මගෙන් ශත පනහක් ඉල්ලුවා ය. සාමාන්‍යයෙන් මෙවැනි පුද්ගලයින් ඉල්ලන්නේ ඩොලරයකි, නැතිනම් දෙකකි. නැතිනම්, ගණනක් නොකියා මාරු කාසි ය.

මා හරියටම ශත පනහක් ඇයට ලබා දුන් පසු ඇයගේ මුවින් පිටවුණේ "ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" යන වැකියයි.

"මං ඔය දෙයියා විශ්වාස කරන එකෙක් නොවේ. ඔබත් ඔය අදහස අතහැර ගත්තා නම් හොඳයි නේද?" යන වදන් මගේ මුවට ආවත්, මා මද සිනහවක් පා නිහඩව ම සිටියේ, නූගත්, බොහෝ විට "මන්ද මානසික"* තත්වයක සිටින (ප/ප/ලි සටහන කියවන්න!) ඒ කාන්තාවට මගේ අදහස්වලින් පලක් නොවේ යැයි වැටහුණු නිසා ය.

ඇය ද ඉන්පසු නිහඬවම සිට පසුව පැමිණි දුම්රියකට නැග කොහේදෝ ගියා ය.

මට පසුව සිතුණේ, ඇය මුදල් ඉල්ලීමට කලින් දෙයියා ගැන ඒ සඳහන කළා නම්, මා ඇයට මුදලින් උපකාරයක් නොකර සිටින්නට ඉඩ තිබුණු බවයි.

ඒ සමගම මගේ සිහියට නැගුණේ මීට වසර විස්සකටත් එපිට අත්දැකීමකි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිට බොරැල්ලට බසයකින් විත්, බොරැල්ලෙන් ඇතුල්කෝට්ටේ බසයකින් නිවස බලා යන කාලයක් මට තිබුණි.

බොරැල්ලේ බස් නැවතුම් පොළේ නවතා තිබෙන බස් රථවල දී, ළමුන්ට කිරිපිටි සොයන්නන්, බෙහෙත් ගැනීමට, ශල්‍යකර්මවලට මුදල් සොයන්නන්, කවිකාරයින්, විරිදුකාරයින්, සින්දුකාරයින් යනා දී විවිධාකාරයේ හිඟන්නන් අපට මුණ ගැසේ. අතේ තිබෙන අයුරින් යම් මුදලක් ඒ අයට දීම මගේ සිරිතක් විය.

ඒ නමුත්, ඒ පිරිස අතරින් කලාතුරකින් හමුවුණු එක් අයෙකුට නම් මුදල් දීමට කවදාක හෝ මගේ සිත මට ඉඩ නොදුන්නේ ය.

ඒ පුද්ගලයා තරුණයෙකි, යම් කිසි ශරීරාභාධයක් තිබුණු අයෙකි. ඒ කෙසේ වෙතත්, ඔහු බසයට නැගි විට ම කරන්නේ බසයේ සිටින අයට දෙයි මෑණියන්ගේ ද, සර්වබලධාරී දෙයියා ගේ ද පිහිට පැතීමයි. අපෙන් මුදල් ඉල්ලන්නේ අපට ඒ දෙයි මෑණියන්ගේ ද, සර්වබලධාරී දෙයියා ගේ ද පිහිට අපට ලබා දීමටයි.

ඒ පුද්ගලයාගේ යාදින්න ඇසෙන හැම විටක ම "පිහිටාරක්‍ෂාව දීමට දෙයි මෑණියෙකු ද, සර්වබලධාරී දෙයියෙකු ද සිටීනම් කවර ස්ත්‍රී ලිංගයකට මූ අපෙන් සල්ලි ඉල්ලන්නේ ද?" යන අකාරුණික සිතුවිල්ල මගේ සිතට නැගුණු නිසා, මට කිසි දිනෙක ඔහුට මුදලින් උපකාරයක් කිරීමට නොහැකි විය.

මිනිසා, මිනිසෙකු ලෙස නැවත උපත ලබන්නේ තමන් විසින් මවන ලද මුත්, තමන්ව මැවූවා යැයි තමන් සිතන මේ මැවුම්කාර දෙයියාව තමන් ම මරා දමන දිනයේ දී යැයි මම සිතමි.

එසේම, මිනිසා තමන්ව තමන් ම පාලනය කර ගැනීම නිවැරදිව කරන්නේ තමන් ද, තමන් වෙසෙන ලොව ද පාලනය කරනවා යැයි තමන් විශ්වාස කරන ඒ මිථ්‍යා දෙයියන් පිරිස ඇදහීම සිතෙන් බැහැර කළ දිනයේ දී යැයි ද මම සිතමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දෙයියලා ගැන ලියා ඇති ලිපි-
  1. සිඩ්නි නගරයේ ප්‍රාණ ඇපකරු සිද්ධියෙන් මතු වූ අප්‍රසන්න දෙයක් - Sydney siege and our greatest weakness
    https://rasikalogy.blogspot.com/2014/12/sydney-siege-and-our-greatest-weakness.html
  2. මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!
    https://rasikalogy.blogspot.com/2015/02/thirupathi-worshiping-yuk.html
  3. ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? - Our politicians and their foolishness
    https://rasikalogy.blogspot.com/2015/03/our-politicians-and-their.html
  4. මගෙ දෙයියා සහ උඹේ දෙයියා! - Synthetic God
    https://rasikalogy.blogspot.com/2016/08/synthetic-god.html
  5. ගංගොඩවිල සෝම සහ දෙයියෝ - Once upon a time
    https://rasikalogy.blogspot.com/2016/08/once-upon-time.html

ප/ප/ලි:
මා මෙහි දී ඒ කාන්තාව හැඳින්වීමට "මන්ද මානසික" කියා කීවේ ඇගේ දේව භක්තිය නිසා හෝ පුරුද්ද නිසා හෝ ගෝඩ් බ්ලෙස් යූ යැයි කීම හේතුවෙන් නොවේ. වසර විසි දෙක හමාරක අත්දැකීමෙන් දන්නා පරිදි, නිසි සමාජ සුබසාධන වැඩ පිළිවෙලක් ඇති (රැකියාවක් සොයන තරුණ අයෙකුට සතියකට ඩොලර් 280 පමණ දීමනාවක් රජයෙන් ලැබේ!) මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මේ ආකාරයට සිඟමන් යදින්නේ මානසික ආබාධ ඇති අය නිසා ය.

(image: http://jonathanmerritt.com/wp-content/uploads/2014/03/God.jpg)

Wednesday, 31 August 2016

ගංගොඩවිල සෝම සහ දෙයියෝ - Once upon a time


අදින් වසර ගණනාවකට ඉහත, මගේ මතකයේ හැටියට 1997 වසරේ දී පමණ, එක් දිනක මම එවකට අප පදිංචිව සිටි මෙල්බර්න් තදාසන්නයේ පිහිටි තට්ටු නිවාසයේ සාලයේ කවිච්චියේ හරිබරි ගැසී රූපවාහිනිය නැරඹීමට පටන් ගතිමි. එවෙලේ ඕස්ට්‍රේලියානු විකාශන සංස්ථාව (Australian Broadcasting Corporation) හෙවත් ඒබීසී චැනලයේ ප්‍රචාරය වෙමින් තිබුණේ ලෝක සාමය සංහිඳියාව වැනි බරපතල කාරණයක් සම්බන්ධයෙන් වූ සර්ව ආගමික පූජකයින් සහභාගී වූ සාකච්ඡාමය වැඩසටහනකි.

එය සජීවී වැඩසටහනක් නොව පෙර පටිගත කරන ලද්දක් වූ අතර, විකාශය වූ දිනය සහ වේලාව සලකා බලන කළ බොහෝ දුරට නැවත ප්‍රචාරයක් වෙන්නට ඇතැයි මට සිතේ.

ඒ සාකච්ඡාවට සහභාගීවූවන් අතර කතෝලික, ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ලිම්, හින්දු පුජකයින් මෙන් ම, ලංකාවේ අයෙකු යැයි හැඟෙන බෞද්ධ භික්‍ෂුවක ද සිටින බව මට පෙනුණි.

මොහොතකට පසු කතාව ඇරඹූ එහි සිටි එක් පූජකයෙකු, තියොලොජිකලි යම් යම් වෙනස්කම් තිබුණත්, මෙහි සිටින අප සියලු දෙනාම යම් දෙයියෙකු විශ්වාස කරන ආගම් නියෝජනය කරන අය නොවේද, එනිසා අපට අහවල් කාරණය පිළිබඳ යම් මූලික එකඟතාවකට පත්විය හැකි නොවේදැයි පවසමින් ඒ අහවල් කාරණය විස්තර කිරීමට පටන් ගත්තේ ය.

එවිට කතා කළ ඒ සාකච්ඡා සභාවේ සිටි බෞද්ධ භික්‍ෂුව පවසා සිටියේ පුජකයා ගේ ඒ කතාව සාවද්‍ය බවත්, අන් අය කෙසේ වෙතත්, තමන් නියෝජනය කරන බුදු සමය නම් කිසිසේත් ම දෙයියෙකු විශ්වාස කරන දේව ආගමක් නොවන බවත් ය.

අදහන මැවුම්කාර දෙයියෙකු නොමැති වීම, බුදු සමය අන් ආගම්වලින් අතිශය පැහැදිලිව වෙන් කරන මූලික ම කරුණක් බවත් ඒ බෞද්ධ භික්‍ෂුව වැඩි දුරටත් ප්‍රකාශ කළේ පෙර කී පූජකයා නිරුත්තර කරමිනි.

එදා ඒ රූපවාහිනී සාකච්ඡාවට සහභාගී වූ බෞද්ධ භික්‍ෂුව වනාහී ගංගොඩවිල සෝම හිමියන් බව මම පසුව දැන ගතිමි. ඔහු, එවකට මෙල්බර්න් තදාසන්නයේ නෝබල් පාක් ග්‍රාමයේ පිහිටුවා තිබුණු සිංහල-බෞද්ධ පන්සලේ නේවාසික භික්‍ෂුවක් වූ බව ඒ පන්සලේ සාමාජිකයෙකු වූ මා මිත්‍ර අජිත් මාම්පිටිය පසු දිනක මා සමග පැවසී ය.

එදා මට පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් පිළිබඳව ඇතිවුණේ ඉමහත් ප්‍රසාදයකි.

නොබෝ කලකින් ම ඕස්ටේ‍ර්ලියාව හැරදා ලංකාව කරා ගිය ගංගොඩවිල සෝම හිමියන්, ලංකාවේ පන්සල් සංස්ථාවල පිළිලයක් සේ ඔඩු දා පැතිර ගොස් තිබුණු මිථ්‍යාදෘෂ්ටික දේවාගමට එරෙහිව රූපවාහිනීයෙන් ද, වෙනත් මාධ්‍ය මගින් ද බොදු ජනයා ගේ නුවණැස පාදා අඳුරෙන් එළියට ගෙන ඒම අරමුණු කරගත් ව්‍යාපාරයක් අරඹා ඇති බව අන්තර්ජාලය හරහා ද, දුරකථන ඇමතුම් හරහා ද, මට දැන ගන්නට ලැබුණි.

පුජ්‍ය ගරු ගංගොඩවිල සෝම හිමියන් පිළිබඳ මගේ ප්‍රසාදය තවත් වැඩිවිය.

නමුත්, 1999 වසර අග භාගයේ දී නිවාඩුවකට ලංකාවට ගිය මට දක්නට ලැබුණේ, බෞද්ධයින් අඳුරෙන් මුදවා ගැනීමේ තම අදේවවාදී ව්‍යාපාරය අමතක කර දමා ඔහු දේශපාලනය නම් මඩ ගොඩට බැස ඇති බවයි.

තමා දෙයියන් ඇදහීමට විරුද්ධව ගෙන ගිය ව්‍යාපාරයට සහ බුදු දහම පිළිබඳව කළ දේශනවලට පැහැදුණු අය තමන් ගේ දේශපාලන වැඩ පිළිවෙළ සඳහාත් නම්මා ගත හැකි වේදැයි සිතා දෝ, ඒ වසරේ (1999) දෙසැම්බරයේ පැවැත්වුණු ජනාධිපති ඡන්දය වර්ජනය කරන ලෙස ඉල්ලා පුවත්පත් දැන්වීම් පවා පළ කරමින් ඔහු දේශපාලන මඩ ගොහොරුවේ ගිලී කිමිදෙන්නට පටන් ගත්තේ ය.

ගංගොඩවිල සෝම පිළිබඳව මගේ සිතේ ඇතිව තිබූ ප්‍රසාදය ඒ ක්‍ෂණයකින් නැති වී ගියේ ය.

ඒ සමගම සිදුව තිබුණේ, අදේවවාදී, බුදු දහමේ අගය දන්නා අය ගංගොඩවිල සෝම කෙරෙන් දුරස් වී, ඒ වෙනුවට අති ජාතිවාදී බලවේග ඔහු වටා එක් වීමයි.

සෝම දියත් කළ ජනාධිපති ඡන්ද වර්ජනය පුස්සක් වූ අතර, අති බහුතරයක් ජනයා අපූරුවට තම සර්වජන ඡන්ද බලය පාවිච්චි කළහ. මම ද, ජීවිතයේ දෙවන සහ අවසාන වරට සිල් බිඳ ගත්තෙමි.

සෝම ගේ ඉල්ලීම නිසා නොවුණත්, තවත් අති ජාතිවාදී ව්‍යාපාරයක් වූඑල්ටීටීඊ සංවිධානය නම් ඡන්දය වර්ජනය කළ බව මගේ මතකයයි.

ඔහු ගේ ඒ අති ජාතිවාදී දේශපාලන ව්‍යාපාරයේ දී ගංගොඩවිල සෝම අවියක් ලෙස පාවිච්චි කළේ ඔහු ඕස්ට්‍රේලියාවේ සිටි අවසාන කාලයේ දී අල්ලා ගත්තා යැයි මා සිතන බංකොලොත් තර්කයකි.

බංකොලොත් වුණත්, රට එකක් නොවැ!

ඒ කතාව විස්තරාත්මකව ඊළඟට ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජූලි මාසයේ දී පැවති ඕස්ට්‍රේලියානු මැතිවරණය අවසානයේ දී මා ලියූ මේ ලිපියේ මුල් කොටස "මගේ දෙයියා සහ උඹේ දෙයියා" නමින් පසුගිය සතියේ පළ කෙරිණි.

ඕස්ට්‍රේලියානු මැතිවරණයට නිසා මට ගංගොඩවිල සෝම සිහිවුනේ ඇයිදැයි ලිපියේ ඊළඟ කොටසින් කියවන්න.

(image: http://www.sbs.com.au/guide/article/2016/07/18/pauline-hanson-please-explain)

Friday, 26 August 2016

මගෙ දෙයියා සහ උඹේ දෙයියා! - Synthetic God


ඉනික්බිති දෙයියා විසින් මිනිසා මවන ලදී යයි බයිබලයේ ලියා ඇත.

මා නම් සිතන්නේ එය සිදුවූයේ ඒ ආකාරයට නොව එහි ප්‍රතිවිරුද්ධ ආකාරයට කියා ය.

එනම්, ඉනික්බිති මිනිසා විසින් දෙයියා මවන ලදී!

විශ්වය සෑදුණේ කෙසේද, පෘථිවිය සෑදුණේ කෙසේද, මිනිසුන් සතුන් බිහිවූයේ කෙසේද, අපේ ශරීර ක්‍රියාත්මකවන්නේ කෙසේද, කුරුල්ලන් පියාඹන්නේ කෙසේද, අපට පියාඹන්න බැරි ඇයි, ලෙඩ රෝග සෑදෙන්නේ කෙසේද, අප මිය යන්නේ ඇයි, අප වසනා මේ ලෝකයේ වර්ෂාව, ගංවතුර, භූමිකම්පා, ගිනිකඳු, අකුණු, සුනාමි, හිරු, සඳු පෑයීම, බැසයාම යනාදී විවිධ දේ ඒ ඒ ආකාරයට සිදුවන්නේ කෙසේද යනාදී ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත නොහැකි වූ කල්හි ඒ ස්වාභාවික සංසිද්ධීන් විස්තර කිරීම සඳහා මිනිසා විසින් දෙයියා නමැති සංකල්පය නිර්මාණය කර ගත්තා යැයි සිතිය හැක.

එසේ සිතීම, නොපෙනෙන දෙවියෙකු විසින් ඒ සියල්ල කරනවා ය කියා සිතීමට වඩා තර්කානුකූල සිතුවිල්ලක් වේ.

ශිෂ්ටාචාරයේ මුල් කාලයේ දී එසේ නිර්මාණය කරගත් දෙයියා දඩමීමා කරගෙන මිනිසුන්ගෙන් සුළු කොටසක්, මිනිසුන් අති බහුතරය මර්දනය කර ඇති බව ද ඉතිහාසය දෙස් දෙයි.

දෙයියෙකු හෝ දෙයියන් යනුවෙන් පිරිසක් හෝ සිටින බව ද, දෙවියෙකු විසින් මිනිසා ද අනෙකුත් සත්වයින් ද මවන ලදී යන්න ද විශ්වාස කළ යුතුම නම්, එය විශ්වාස කළ හැක්කේ එක්තරා සුවිශේෂී උපකල්පනයක් සමග පමණක් බව මගේ අදහසයි.

ඒ උපකල්පනය නම්, මේ කියන දෙයියා යනු පිට සක්වල ජීවියෙකු බව සහ ඔහු හෝ ඇය පෘථිවියට පැමිණි ශිෂ්ටාචාරය වනාහී ජාන තාක්‍ෂණයේ ද, ක්ලෝනීකරණ තාක්‍ෂණයෙන් ද ඉතා දියුණු තත්වයක පැවති එකක් ද බවයි.

නමුත්, එවිට නිසැකයෙන් ම ඇති වෙන අතුරු ප්‍රශ්නය නම්, ඒ පිටසක්වල දෙයියාව මැව්වේ කවුරුන් ද යන්නයි!

එයට උත්තර නැත.

සර්වබලධාරී එකම එක දෙයියෙකු ඇතැයි අදහන ඒබ්‍රහාමික ආගම්වලින් ද, මහා බ්‍රහ්මයා සහ තවත් දුසිම් කිහිපයක දෙයියලා අදහන හින්දු ආදී ආගම්වලින් ද සහමුලින් ම වෙනස් වූ කිසිදු දෙයියා මාක් පරාණයක් හෝ ගෑවී නොමැති බුදු සමයට අයත් අපේ අයියලා සහ අක්කලා ද විවිධ අවස්ථාවල දෙයියන් සරණ යෑම මට නම් හරිම ලොල් සහගත තත්වයකි.

මා ගිය වසරේ ලියා පළ කළ "එළ හරකයි, මී හරකයි" ලිපියේ ඒ ආකාරයෙන් ලංකාවේ මහ ජනයාට කොකා පෙන්නමින් දෙයියන් සරණ යන දේශපාලුවන් පිළිබඳව ලිව්වෙමි.

මේ දෙයියා සරණ යෑමේ ලොල් ම ලොල් උච්චතම තත්වය නම්, පසුගිය දවස්වල අසන්නට ලැබුණු, විභාගයට මුහුණ දෙන්නට සැරසෙන උසස් පෙළ සිසුන්ට සෙත් පැතීම සඳහා අලියෙකු ගේ මූණත් තහඩුවක් සහ මිනිස් සිරුරක් හිමි ගණ නම් දෙයියෙකු ගේ සරණ ලබා දෙන ව්‍යාපාරයක් පිළිබඳ පැතුරුණු ආරංචියයි. එයට අනුග්‍රහය දක්වා තිබුණේ ආණ්ඩු පක්‍ෂයේ දේශපාළුවෙකු නිසා ඒ ලොල් කර්මය රජයේ වියදමෙන් පැවැත්වෙන්නේ දැයි සැකයක් ද ඇතිවුණි.

මේ මිථ්‍යා දෘෂ්ටික දෙයි රජාලාගෙන් සිංහල බෞද්ධයින් ගලවා ගැනීමට ශක්‍යතාවය සහ අවශ්‍යතාවය සහිත දේව දූතයෙකු දෙයියන් විසින් දෝ පසුගිය සියවසේ අග භාගයේ දී සිරි ලංකාවට එවන ලදී.

අවාසනාවට මෙන් ඒ දෙයි පටලැවිල්ලෙන් සිංහල බෞද්ධයින් ගලවා ඔවුන්ට මෝක්‍ෂය ළඟා කර දීම වෙනුවට ඔහුට ද අවසානයේ සිදුවූයේ දෙවියන් ගේ පිහිට ම පැතීම පමණි.
ඒ කවුද? අනුමාන කරන්නට හැකි ද?

ඔහු කවුද කියාත්, ඔහු කළේ කුමක් ද කියාත් පසුව ලිපියකින් බලාපොරොත්තුවෙන්න.

-රසිකොලොජිස්ට්

(http://loltheists.com/?attachment_id=662)

Sunday, 1 March 2015

ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? - Our politicians and their foolishness


  Aren't we all getting fat?

පෙරේදා ලියා පළ කළ මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk! යන සටහනෙන් කීමට මා අදහස් කළේ, එදත් අදත් අපේ බුද්ධාගංකාර දේශපාලුවන්, අපේ ඡන්දයෙන් තනතුරුවලට පත්වෙන්න කලින්, ඒ සඳහා නොපෙනෙන අන්‍යාගමික දෙවිවරුන්ට බාර හාර වෙන්නටත්, ඉන්පසු ඒ බාර ඔප්පු කිරීමටත් අපේ ම සල්ලිවලින් කෝවිල් ගානේ රස්තියාදුවීමේ තියෙන අශික්ඛිතබවයි.

අද මේ මා කියන්නට යන්නේත් ඒ ආකාරයේ ම කතාවකි.

මේ වසර 1982 ඔක්තෝම්බරයේ පැවති ලංකාවේ පළමුවෙනි ජනාධිපති ඡන්දයේ මුල් දින කිහිපයයි. මේ ජනාධිපති ඡන්දය සඳහා, යුඇම්පීයෙන් එවකට බලයේ සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්දෙනත්, සිරිලංකා එකෙන්, එහි පාරම්පරික නායිකාව වූ සිරිමා රත්වත්තේ බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය ඇය කලින් අගමැතිව සිටි සමයේ බලය අයුතු ලෙස භාවිතා කිරීමේ වරදට දඬුවම් ලෙස තහනම් වී තිබුණු නිසා, හෙක්ටර් කොබ්බෑකඩුව නම් හිටපු ඇමතියෙකුත් ප්‍රධාන අපේක්‍ෂකයින් වශයෙනුත්, ඔවුන් සමග නොව එකිනෙකා හා තරග වදින්නට තවත් අපේක්‍ෂකයින් පස් හය දෙනෙකුත් ඉදිරිපත් වී සිටියහ.

පොඩි කාලයේ සිටම යූඇම්පීකාරයෙකු වුණත්, මේ වන විට මම ඒ මෝඩකම් අතහැර දමා සිටියෙමි. එයට ආසන්න ම හේතුව වූයේ 1980 ජූලි වැඩ වර්ජනය හා ඒ කාලයේ සිදුවෙමින් පැවතුණු තවත් විවිධ දේ පිළිබඳව මට ඇතිවී තිබුණු ප්‍රශ්න රාශියකි. ඒ කතා පසුවට තබමි.

ඡන්දය සඳහා නාමයෝජනා පත්‍ර භාර දී දින කිහිපයකට පසු ගම්පහ පැවති සිරිලංකා එකේ ඡන්ද රැස්වීමක් බලන්නට මා ගියේ, ඔවුන් බලයේ සිටි සමයේ නොදකින් යන ධනාත්මක චින්තන ප්‍රාර්ථනයෙන් නිරතුරු පිදුම් ලබමින් සිටි පක්‍ෂයක් වුණත්, පසුගිය වසර තුන හතරක කාලය තුළ ඔවුන් ගේ කිසියම් හෝ වෙනසක් හොඳ අතට වී ඇතිදැයි දැන ගැනීම පිණිසය.

රැස්වීම පැවැත්වුණේ ගම්පහ නගර සභා පිටියේ ය. වේදිකාව සාදා තිබුණේ නගරය සහ දුම්රිය මාර්ගය පැත්තේ කොනට වෙන්නට බව හොඳින් මගේ මතකයේ ඇත. මේ පිටියේ ම මා නරඹා ඇති වෙනත් සිරිලංකා රැස්වීමක වේදිකාව සාදා තිබුණේ නගරයෙන් විරුද්ධ කොනේ චිත්තානන්ද ලා පදිංචිව සිටි නිවස පැත්තට වෙන්නටයි. ඒ රැස්වීමේ දී සූරියප්පෙරුම කළ කතාව ගැන ද මට හොඳ මතකයක් ඇත. එය ද පසුවට තබමි.

මා 1982 සැප්තැම්බර යේ ගම්පහ නගර සභා පිටියේ පැවති ඒ ඡන්ද රැස්වීම නැරඹීමට ගොස් මද වේලාවක් යන විට ප්‍රධාන කථිකයා, එනම් හෙක්ටර් කොබ්බෑකඩුව, එහි පැමිණි අතර තවත් මද වේලාවකට පසු ඔහු ගේ වාරය පැමිණියේ ය.

"ගම්පහ ආසනයේ වෙසෙන නෝනාවරුනි මහත්වරුනි", කොබ්බෑකඩුව සුපුරුදු අවසර ගැනීම් යනාදියෙන් අනතුරුව තම කතාව ඇරඹීය.

"මා පසුගිය දාහත්වෙනිදා ජනාධිපති ඡන්දය සඳහා නාම යෝජනා පත්‍ර භාර දීමෙන් පසු කෙළින්ම ගියේ කතරගමටයි. ඒ යන අතරතුර දී මට හමුවුණා විශාල පිරිසක්. කතරගම දී මා, කතරගම දෙවියන් ගේ ආශිර්වාදය ලබා ගත්තා. ඒ කටයුත්තෙන් පසු මට ස්ථිරව වැටහුණා ලබන මස විසිවෙනිදා පැවැත්වෙන ජනාධිපති ඡන්දයෙන් මට ජයග්‍රණය ලැබෙන බව."

"ආ, ඇත්තද, එහෙනං ඉතිං අපේ ඡන්දේ ඕනෑ නෑනේ, ඔහේ දෙයියං ගේ පිහිටෙන් දිනන්නකෝ!" මට සිතුණි.

ගම්පහ ආසනයේ කෙසේ වෙතත්, රට පුරාම බහුතරයක් ඡන්දදායකයින් එලෙස සිතන්නට ඇත. කොබ්බෑකඩුවට ලබාගන්නට හැකි වූයේ ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 40%කටත් වඩා අඩුවෙනි.

සමහර විට දෙවියන් ගේ පිහිටෙන් හෝ බොහෝ විට එසේ අමනුෂ්‍ය පිහිටාධාරයක් නැතුව, ජේආර් ජයවර්දෙන පහසුවෙන් ජනාධිපති ඡන්දය ජය ගත්තේ ය.

ඒ අතර, සුළු අපේක්‍ෂකයින් එකිනෙකා හා කළ තරගයෙන්, ජේආර් ජයවර්දෙන ගේ වචනවලින් කියනවා නම් "ජාතික විමුක්ති පෙරමුණේ" අපේක්‍ෂක "රොහාන් විජේවීර" ජයගත්තේ ය.

මනුෂ්‍යයින් නියෝජනය කිරීම පිණිස ජනාධිපතියෙක් හෝ මන්තිරිලා හෝ තෝරාගන්නට පැවැත්වන ඡන්දවලින් තමන්ට ජය ලැබේවායි පතමින්, මනුෂ්‍යයින් නොවන, දෙවියන් වැනි අමනුෂ්‍යයින් ගේ පිහිට පතන දේශපාලුවන්ට පාඩමක් උගන්නවන්නට අපේ බහුතරයට කවදා හැකිවේද?

-රසිකොලොජිස්ට්

(image: http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_1982#mediaviewer/File:Sri_Lankan_presidential_election_1982.png)

Friday, 27 February 2015

මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!


දැන් මෙය තරමක් පරණ කතාවකි. නමුත් කාලීනබව ගැන නොතකා ලියන්නට සිත් විය.

ලංකාවේ හිටපු ලොක්කා සහ අළුත් ලොක්කා දේවාලයක තප්ලම් ලා ගෙන මිත්‍යා බලවේගයක පිහිට පතන අයුරු දැක්වෙන ඉහත ඡායාරූප ද්වය සංසන්දනය කෙරුණු සටහන් අන්තර්ජාලයේ සහ විශේෂයෙන් ෆේස්බුක් අවකාශයේ සංසරණය වී දැන් සතියක් පමණ වේ.

ඒ ඡායාරූප දුටු විට මට ඉබේම කියවෙන්නේ, ප්‍රතිචාරය ලෙස ලියවෙන්නේ, "නොදකින්" කියා ය.

"නොදකින්" යනු, නරක වචනයක් නොවේ. එහි තේරුම (මෙවැනි අප්‍රසන්න දර්ශනයක් යලිත් වරක්) දැකීමට නොලැබේවා යන්නයි. එය ධනාත්මක ප්‍රාර්ථනයකි!

මා ඒ දිනවල ෆේස්බුක් අවකාශයේ දුටු ඒ ආකාරයේ සංසන්දනාත්මක ඡායාරූප ද්වය පසුබිම් කරගෙන "එකම පසුගාමී සමාජ ක්‍රමයේ එකට තෝම්බුවේ බැඳපු එළ සහ මී හරක් දෙන්නා" යන සටහන ද සහිතව සැකසුණු රූපයක් සුපුරුදු "නොදකින්" යන ප්‍රතිචාරය ඇතුලත් කර මගේ මුහුණු පොතේ මිතුරන් අතරේ බෙදා හැරියෙමි.


එයට ප්‍රතිචාරයක් දක්වන මගේ එක් මිතුරෙකු කියා තිබුණේ "අං තට්ටුවක් විතරයි අඩු!" කියා ය.

එය දැක මට අවවාදාත්මක පිළිතුරක් දෙන වෙනත් මිතුරෙකු මෙසේ ලියා තිබුණි.
"මේ දෙමල සංස්කෘතියේ කොටසකි. උඹලා ගේ මේ අසංවේදී කමෙන්ටු නිසා දෙමල මිනිසුන් ගේ හැඟීම්වලට ගැරහීමක් වෙනවා යැයි සිතෙන්නේ නැතිද?

මේ මිනිසුන් දෙන්නා කවුරු වුනත්, අපේ රටේ ජනතාව ගේ බහුතර ඡන්දයෙන් පත්වූ අයයි. මිනිසුන් සිතුම් රටාව වෙනස් කිරීම එකකි, නමුත් හැම දේටම ඇඟිලි ගසා සිනාසීම වෙනත් දෙයකි."
ඉංගිරිිසියෙන් ලියා තිබුණු, ඉහත අවවාදාත්මක ප්‍රතිචාරයේ දෙවෙනි කොටස මට නම් තවමත් අප්‍රභංශයකි. පැහැදිලි මුල් කොටස ගැන සිතා මම පහත පිළිතුර ලියූවෙමි.
"මේ දෙමල සංස්කෘතියයි කීම නොමග යවන ප්‍රකාශයකි. මේ හින්දු ආගමික ස්ථානයකි. මේ මිනිසුන් නිරත වෙන්නේ හින්දු ආගමික කටයුත්තකයි.

මට මේ ගැන ඇති ප්‍රශ්න මෙසේ ය.
  1. මේ හාදයෝ දෙන්නා, කෛයිරාටිකයෝ ය. මුං ලංකාවේ දී දෙවියන් ඇදහීමක් නැති තෙරුවන් සරණ ගිය බෞද්ධයින් ය. නමුත් ඉන්දියාවේ දී මෙලෙස දේවාලවලට ගොස් දෙවියන් සරණ යති.
  2. මුං නිසැකවම මේ ගමන් ගොස් ඇත්තේ ලංකාවේ බදු ගෙවන්නන් ගේ මුදලිනි. ඉන්දියාවේ මිනිසුන්ට ද මේ සඳහා (ආරක්‍ෂාව වැනි කටයුතු) පිරිවැය දැරීමට සිදුවී ඇත.
  3. කෝවිල්වලට ගොස් බාර හාර වීමෙන්, පූජා පැවැත්වීමෙන් ඡන්ද දිනිය හැකිය යන මිත්‍යාව මුං අදහති.
  4. රජය සහ ආගම යනු එකට ඈඳිය යුතු නොවන සංස්ථා ද්වයක් ලෙස මම දකිමි. එනිසා, දේශපාළුවන්ට පුද්ගලිකව තමන්ගේ ආගම් ඇදහිය හැකි නමුදු, ප්‍රසිද්ධියේ කිසිදු ආගමකට හෝ ආගම් කිහිපයකට වැඩි ඇල්මක් ලැදියාවක් නොදැක්විය යුතුය."
ඉහත ඡායාරූප දකින විට "නොදකින්" ධනාත්මක ප්‍රාර්ථනය මගේ මුවට නැගෙන්නේ ඇයි දැයි ඉහත සටහනෙන් පැහැදිලිවෙනු ඇත.

-රසිකොලොජිස්ට්

(images: http://www.prokerala.com/news/photos/tirupati-president-of-sri-lanka-mahinda-rajapaksa-248520.html and http://www.newswala.com/India-National-News/Sri-Lankan-President-M.Sirisena-visits-Lord-Venkateswara-temple-in-Tirumala-137555.html)

Thursday, 18 December 2014

ඕස්ට්‍රේලියාවේ ප්‍රාණ ඇපකරු සිදුවීමෙන් පසු - I will ride with you..!


පසුගිය සඳුදා (14 December 2014) උදෑසන සිඩ්නි නගර මධ්‍යයේ පිහිටි කෝපි කඩයට කඩා වැදුනු තුවක්කුකාර අමනුස්සයෙක් කළ විනාසය ගැන දැන් සැවොම දනිති. පැය දාසයක් තිස්සේ දාහත් දෙනෙකුව ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන කළ ඒ ත්‍රස්ත ක්‍රියාව අවසාන වූයේ අහිංසකයින් දෙදෙනෙකු ගේ ජීවිත විනාශ වීමෙනි. පොලිස් වෙඩි පහරින් තුවක්කුකරුවා ද නරකාදියට ගියේය.

මේ වන විට ඒ මිය ගිය දෙදෙනා සිහිකරමින් දහස් ගණනක පිරිසක් විසින් මල් පොකුරු දහස් ගණනක් ඒ ආපන ශාලාව අවට ප්‍රදේශයේ තබා ඇති දර්ශනය අප හද කම්පා කරවයි.

මේ සිද්ධිය මුලදී ප්‍රදර්ණය කෙරුණු අරාබි අකුරු වලින් ලියවුණු මුස්ලිම් ආගමික වැකියක් සහිත බැනරය නිසා, වැඩි දෙනා සිතුවේ මෙය මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් විසින් දියත් කළ සැලසුම් සහගත ප්‍රහාරයක් බවයි.

මේ දිනවල ෆේස්බුක් ජාලය අරක් ගෙන මහින්දට කඩේ යමින් සිටින සිඩ්නිවාසී පුද්ගලයෙකු "සිඩ්නි නගරයට අයිසිස් ලා පහර දෙනවා. අනේ මට අපේ ජනාධිපතිතුමා විසින් ත්‍රස්තවාදයෙන් බේරාගත් ලංකාවේ මේ මොහොතේ ඉන්න තිබුණා නම්!" යනුවෙන් ප්‍රකාශයක් ද පළකර තිබුණි.

දැන් අප දන්නා පරිදි මේ ප්‍රාණ ඇපකරු සිද්ධියට වගකිව යුතු මෝනිස් නමැත්තා, මීට කලින් උසාවියෙන් වරදකරුවෙකු වී දඬුවම් ලබා ඇති, දැනට ස්ත්‍රී දුෂණ චෝදනා හතලිස් ගණනක් සහ තම පෙර බිරිඳ මරා දැමීමට අනුබල දුන්නා යැයි චෝදනාවක් ද ලබා උසාවියෙන් ඇප පිට සිටි අයෙකි. ඔහු ගේ හිටපු නීතිඥයා පැවසූ අන්දමට මෝනිස් ආගම නිසා උම්මත්තකයෙක් වූවෙකි.

මේ උන්මත්තකයා අපට සමාන කළ හැක්කේ වසර තුනකට ඉහත දී ස්වීඩනයේ උද්‍යානයක සිටි අහිංසකයින් හැට නමදෙනෙක් මරා දමා තවත් සියයකට බඩා පිරිසකට තුවාල සිදු කළ බ්‍රෙයිවික් නමැත්තාටය.

සිඩ්නි නුවර කැළඹූ මෝනිස් ගැන සත්‍ය කරුණු හෙලිවෙන්නට පටන් ගත්තේ රාත්‍රියේ දී ය.

මා පෙර කී පරිදි, ඊට පෙර බොහෝ දෙනා සිතා සිටියේ මෙය මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. ඒ තත්වය උඩ, ඕස්ටේ‍ර්ලියාවේ වෙසෙන සුළුතරයක්වන මුස්ලිම් ජනතාවට යම් ප්‍රශ්ණවලට මුහුණ දෙන්නට වේ දෝ බියක් කා අතරත් මද වශයෙන් හෝ ඇති වී තිබුණි. සිරියාව ආශ්‍රිතව මාස කිහිපයකට උඩදී පැන නැගුණු අයිසිස් ත්‍රස්තවාදීන් ගේ මුස්ලිම් රාජ්‍ය සටන නිසා, රටේ විවිධ පැතිවල මුස්ලිම් කාන්තාවන්ට බැණ වැදීම්, මුස්ලිම් පල්ලිවලට ඌරු හිස් විසිකිරීම් වැනි සිදුවීම් කිහිපයක් ඇතිවී තිබුණි.

මෙහිදී කාන්තාවන්ට පමණක් බැණ වැදීම් වී තිබුණේ ඇයි දැයි යන්න ඉතා පැහැදිලිය. ඒ ඔවුන් සාමාන්‍යයෙන් ගමන් බිමන් යන්නේ විවිධාකාරයෙන් තම හිසකෙස් වසාගෙන නිසා ඔවුන් හඳුණා ගැනීම ඉතා පහසු නිසාය.

තවමත් ප්‍රාණ ඇපකරු සිද්ධිය පැවතෙද්දී එදින සවස දුම්රියෙන් යමින් සිටි සිඩ්නි වාසී රේචල් ජාකොබ්ස් නමැති කාන්තාව දුටුවේ මුස්ලිම් කාන්තාවක් තම හිසකෙස් වැසූ හිජාබය ගලවා සඟවා ගන්න ආකාරයයි.

ඇය ලඟට ගිය රේචල් ඒ කාන්තාව අමතා කියා ඇත්තේ "ඔයා ඒක ආපහු දා ගන්න. මං ඔයා එක්ක ගෙදර ලඟට යනකං ඇවිදන් එන්නම්!" කියාය.

මේ සිදුවීම සහ ඒ කාරුණික වදන් ෆේස්බුක් ජාලයේ පළවූ පසු එය දුටු තෙරේසා කුම් නමැති තවත් කාන්තාවක් කළේ තමන් ද එසේ මුස්ලිම් කාන්තාවන් ගේ ආරක්‍ෂාවට දුම්රියේ හෝ බස්රියේ හෝ යාමට කැමති බව දන්වා ට්වීටර් පණිවිඩයක් මුදා හැරීමයි. තෙරේසා එලෙස ඇරඹු (#illridewithyou) නම් ට්ටීටර් පණිවිඩය දිනක් ඇතුලත ලක්‍ෂ ගණනක් දෙනා ගේ සහයෝගය ලබමින් පැතිර ගියේය.

ඊට අමතරව, පසුවදා වන විට මේ සංකේතය සහිත ස්ටිකර් දහස් ගණනක් මෙල්බර්න් වැනි ප්‍රදේශවලට දුම්රිය ස්ථාන වැනි තැන්වල බෙදා හැරුණි.

තල් අත්තට වැටුණු දිවුල් ගෙඩියක හඬ අසා කළබල වී දිවයන සතුන් රැලක් නොවී යම් සිදුවීමක සත්‍යය වටහා ගෙන, එසේ නොගන්නා අයගෙන් තවත් පිරිසකට අගතියක් වේ යැයි සිතා, ඒ ගැන කටයුතු කිරීමට සිතන පිරිසක් සිටිනු දැකීම ද අප හද සසල කරයි.

-රසිකොලොජිස්ට් (
http://rasikalogy.blogspot.com/
)

ප/ලි:
සිඩ්නි නගරයේ සිදුවූ අවාසනාවන්ත මරණ දෙක ගැන ඇතිවුණු දුක පහව යන්නටත් පෙර අසන්නට ලැබුණේ පකිස්ථානයේ ආගමික උන්මත්තකයින් පිරිසක් පාසලකට කඩා පැන සිසුන් ගුරුවරුන් ඇතුලු 132 දෙනෙකු මරා දමා ඇති පුවතයි!

(images: http://www.abc.net.au/radionational/programs/breakfast/tessa-kum/5969608
http://www.dailytelegraph.com.au/newslocal/central-coast/flowers-left-at-terrigal-memorial-to-honour-martin-place-siege-victims/story-fngr8h0p-1227159355054?nk=fc57131ea1ee249956fcb41702b470d0)

Tuesday, 16 December 2014

සිඩ්නි නගරයේ ප්‍රාණ ඇපකරු සිද්ධියෙන් මතු වූ අප්‍රසන්න දෙයක් - Sydney siege and our greatest weakness


මා සේවය කරන්නේ සිඩ්නි නගරයේ උතුරු ප්‍රදේශයේ ය.

නිවසේ සිට ලඟම දුම්රිය ස්ථානයට මෝටර් රථයෙන් ගොස් දුම්රියට ගොඩවෙමි. උතුරු සිඩ්නියට පිවිසීම සඳහා නගරයේ මධ්‍යම ප්‍රදේශය හරහා ගොස් සුවිසල් පාළම උඩින් සිඩ්නි වරාය තරණය කළ යුතුය. කිලෝමීටර් පනහක් පමණවන ඒ අර්ධ සීඝ්‍රගාමී දුම්රිය ගමනට පැයයි විනාඩි දහයක් පමණ ගතවේ.

පුද්ගලික කරුණු කීපයක් යෙදී තිබුණු බැවින් මම සඳුදා (15 December 2014) සේවයට නොගියෙමි.

වෙනදා වේලාවටම නිවසෙන් පිටවී, අපේ නිවස පිහිටි ප්‍රදේශයේ නගර මධයට ගොස් පෙර කී එක් කරුණක් සඳහා සහභාගී වී, ඊලඟ කාරණය සඳහා යමින් සිටියදී මෝටර් රථයේ රේඩියොවෙන් අහන්ට ලැබුණේ සිඩ්නි නගරයේ සිදුවෙමින් පැවති ප්‍රාණ ඇපකරු සිද්ධිය පිළිබඳ ප්‍රවෘත්තියයි.

ඉස්ලාම් ආගමට සම්බන්ධ ධජයක් ප්‍රදර්ශණය කෙරෙමින් සිදුවුණු මේ සිද්ධිය නිසා, මෙය මුස්ලිම් අන්තවාදියකු ගේ ත්‍රස්තවාදී ක්‍රියාවක් දෝ යැයි සැක ඇති වුණද, ඊයේ රාත්‍රිය දක්වාම ඒ කිසිවක් පැහැදිලි වී නොතිබුණි.

පසුව හෙළිවුණු පරිදි කලක් තිස්සේ පොලීසිය දැන සිට ඇති, මෝනිස් නමැති මේ මැර තුවක්කුකරුවා ගේ ග්‍රහණයට පත් වී ඇති අහිංසක පිරිස පිළිබඳව ඕනැම සංවේදී පුද්ගලයෙකු ගේ සිතේ ඇතිවන්නේ කම්පනයකි, කණගාටුවකි. එසේම ඔවුන්ට නිරුපද්‍රිතව මෙයින් ගැලවෙන්නට ලැබේවා යන ප්‍රාර්ථනය ද සිතට නැගේ.

නමුත් පැය ගණනාවක්ම මේ සිදුවීම ගැන ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් සජීවීව ප්‍රචාරය වූ විවිධ වැඩසටහන් අසමින් නරඹමින් සිටියදී මට පුද්ගලිකව යම් කාරණයක් ගැන අප්‍රසන්න බවක් ඇතිවිය.

මේ පිරිස ගැන, ගුවන් විදුලියේ, රූපවාහිනීයේ පමණක් නොව ෆේස්බුක් අවකාශයේ ද කියවුනු හැම පණිවිඩයකම ඔවුන්ට අනතුරකින් තොරව මින් ගැලවීමට ලැබේවා යන පැතුම සඳහා යෙදුණු වචනය නම් ප්‍රෙයා හෙවත් යාඥා යන්නයි.

යාඥා කරනවා යනුවෙන් අදහස් වෙන්නේ බැගෑපත්ව ඉල්ලනවා යන්නයි.

මට නම් මේ යාඥාව යන්න මහා අප්‍රසන්න වචනයකි.

මේ කියන යාඥාව කවුරුන් අමතා කෙරෙන්නක්ද?

මට නම් දෙවියන් යන වචනයද, යාඥාව යන්නද මහත් අප්‍රසන්න, පිළිකුල් සහගත දේ ය.

මගේ අදහස නම් අද ලෝකයේ ඇති ප්‍රශ්ණවලින් යම් ප්‍රමාණයකට වගකිවයුතු වන්නේ ඔය දෙවියන් ඇදහිල්ලය යන්නයි.

මිනිසුන් විසින් දෙවියන් මවා ගන්නට ඇත්තේ තම දුර්වල සිත්වලට යම් ධෛර්යයක් ලබා ගැනීමට විය යුතුයි. එසේ වෙතත්, ඒ මවාගත් දෙවියන් නිසාම අද අප පත්වී ඇත්තේ දුර්වල, අසරණ තත්වයකටයි!

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)


(image: http://www.abc.net.au/news/2014-12-15/sydney-siege-martin-place-lindt-cafe-hostages-remain-inside/5967340)