Showing posts with label නවකතා. Show all posts
Showing posts with label නවකතා. Show all posts

Friday, 21 August 2020

සමන් මහානාම දිසානායක ගේ දුරුතු සිහිනය (2007) නවකතාව පිළිබඳ විචාරයකි - Rasika Suriyaarachchi's review of Duruthu Sihinaya novel written by Saman Mahanama Dissanayake
























නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන් ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන් ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ය. එනමුත්, නවකතාවක අන්තර්ගතය කෙතරම් සංකීර්ණ වුවද නවකතාවේ ආකෘතිය සරල වේ නම් එය පාඨකයාට නීරස කෘතියක් වීමට ඇති ඉඩ කඩ ද බොහෝ ය.

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට නවකතා කිහිපයකින් ම දායක වී ඇති සමන් මහානාම දිසානායක ඉහත කරුණු හොඳින් වටහා ගත් ලේඛකයෙක් බව මගේ හැඟීමයි.

දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස වසර 2007 දී එළිදැක්වුණු "දුරුතු සිහිනය" සමන් මහානාම දිසානායකයන් ගේ පස්වන නවකතාවයි. ඔහු මීට පෙර බඹරැන්දේ කඟවේනා, කැන්ගරු නිම්නය, පුංචි සර් සහ රන්දෙණිගල වලව්ව නමින් සිංහල පාඨකයින් අතර ජනප්‍රිය වූ නවකථා හතරක් රචනා කොට ඇත.

"දුරුතු සිහිනය" සමන් දිසානායක විසින් ලියා අවසාන කර ඇත්තේ වසර කිහිපයකට කලිනි. එය පාඨක ආදරය දිනා ගනිමින් "රැජින" කාන්තා සඟරාවේ සතිපතා කොටස් වශයෙන් පළවී ඇත. "මල් කතා" යන නමින් පොදුවේ හැදින්වෙන සරල පෙම්කතා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී ඇති යුගයක, සිංහල පාඨක රස වින්දනය එයින් ඉහළ මට්ටමකට නංවන කෘතියක් ලෙස "දුරුතු සිහිනය" හඳුන්වා දෙනු කැමැත්තෙමි.

නවකතාකරුවෙකු ලෙස සමන් ගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට සිය නවකතා මගින් දක්වා ඇති ඔහු ගේ හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල සුදු කළු ඒවා නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන ඒවා වෙති. මේ විශ්වාසනීය චරිත සහ ඔවුන්ගේ අපූරු අත්දැකීම් ඇතුළත් අන්තර්ගතයට ම අනුකූලවන පරිදි ආකෘතියක් තෝරා ගැනීම ද සමන් හොඳින් සිදු කරයි. "දුරුතු සිහිනය" නවකතාව සමන් දිසානායක සතු ඉහත සඳහන් සියලුම නිර්මාණාත්මක හැකියාවන් හොඳින් විදහා දක්වන කෘතියක් බව පෙනේ.

"දුරුතු සිහිනය" කතාව ගෙතී ඇත්තේ ළදරු සමයේ තම නිවුන් සොහොයුරා සහ මෑණියන් අහිමිව පිය සෙවණේ හැදී වැඩුණු මිහිඳු ගේ ජීවිතය වටා ය. ඔහුගේ පියාණන් වන ආනන්ද හෙවත් වෙස්සන්තර මුදලාලි ද දෛවෝපගත අවාසනාවන්ත සිදුවීම් මාලාවක අවසානයේ තනිවී වෙසෙන්නෙකි. වයස එකොළහක දරුවෙකු ලෙස කෙදිනක හෝ තම මව සහ සොහොයුරා සොයා ගැනීමට හෝ ඔවුන් පිළිබද සත්‍යය එළිදරව් කර ගැනීමට අදිටන් කරන මිහිඳු ගේ එම ප්‍රයත්නය ඔහු ලංකාවේ විවිධ නගරවලට පමණක් නොව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටත් රැගෙන යයි. අවසානයේ තම ප්‍රාර්ථනා සපුරා ගැනීමටත්, සිය පියාගේ අස්ථානගතවූ ඥාතීන් සොයා ගැනීමෙන් ඔහුගේ ජීවිතයට යම් සහනයක් ලබාදීමටත් ඒ සමගම තම අනාගත සහකාරිය හඳුනා ගැනීමටත් මිහිඳුට හැකිවේ.

මේ සියල්ල සිදුවන්නේ මනා ලෙස ගලපා ඇති උද්වේගකර සහ නාට්‍යමය සිද්ධීන් මාලාවක් හරහා වන අතර සමන් දිසානායක සරල දෙබස්, කාලානුරූප අතීතාවර්ජන, සිත් ගන්නා ස්වයං-භාෂණ සහ හොඳින් පබැඳුණු විස්තරයෙන් යුතු ආකෘතියක් තුළින් පාඨකයා නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි.

"දුරුතු සිහිනය" නවකතාව සර්ව සම්පූර්ණ සුඛාන්තයක් නොවේ. නවකතාව අවසානයේ පාඨක හදවත් තුළ සතුටක් සමගම ඇතිවන්නේ දැඩි සංවේගයකි. එය කතුවරයා ගේ තවත් දස්කමක් යයි හඟිමි.

මෙම නවකතාවේ එන ආනන්ද මුදලාලි ගේ අනියම් බිරිය වන කුසුමලතා හෙවත් රුවන්පුර රූමතිය ගේ චරිතය අති සංකීර්ණ එකකි. ඇගේ හැසිරීම්, සිතුවිලි සහ ක්‍රියාකාරකම් සීමාසහිත මට්ටමකින් පමණක් විස්තර කරන කතුවරයා එමගින් පාඨකයා නවකතාවේ අන්තර්ගතය පිළිබඳ යම් ආකාරයක පශ්චාත් විශ්ලේෂණයක ට යොමු කරයි.

"දුරුතු සිහිනය" නවකතාවේ අන්තර්ගතව ඇති සුවිශේෂිත කරුණක් නම් සිංහල-දෙමළ ජනවාර්ගික දෙපිරිස අතර අද පවතින අනෝන්‍ය අවිශ්වාසයේ ඇති ශූන්‍යතාවයයි. කතුවරයා වරෙක මෙය එක එල්ලේ දෙබස් මගින් ද, තවත් වරෙක සූක්ෂම ලෙස කතා වස්තුව තුළ අන්තර්ගත කරමින් ද පාඨකයා ඉදිරියේ ගෙන හැරපායි.

මිහිඳු ගේ ඕස්ට්‍රේලියා ගමන විස්තර කිරීමේදී එහි වෙසෙන ජනයාගේ ජීවන රටාව ගැන, ඉඩ ලැබී ඇති මද ඉඩකඩේ දී වුව, යම් යම් තොරතුරු සහ විවරණයක් ගෙන ඒමට කතුවරයා දරා ඇති උත්සාහය ප්‍රශංසනීය ය. එය ශ්‍රී ලාංකික පාඨකයන් ලබන අතිරේක ප්‍රතිලාභයකි.

දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස්ථ ව තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසියෙන් දොඩමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල සමතික්‍රමණය කර මේ වන විට (2013) නවකථා දහයක් පමණ රචනාකර ඇති සමන් දිසානායක සියලු අංකුර නවකතා රචකයන්ට ආදර්ශයක් බව නොපැකිලව පවසමි.

-රසික සූරියආරච්චි

Friday, 16 December 2016

සෙංකොට්ටං, මාණික්කාවත, ක්‍ෂණික මෝචනය සහ ප්‍රමාද මෝචනය - Novels by Mahinda Prasad Masimbula


මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නම් නවක ලේඛකයෙකු පිළිබඳවත්, ඔහු ලියූ සෙංකොට්ටං නම් සංවේදනාත්මක නවකතාවක් පිළිබඳවත් මට අසන්නට ලැබුණේ ෆෙස්බුක් අවකාශය නිසා ය. සෙංකොට්ටං නවකතාවට ලංකාවේ සාහිත්‍ය සම්මාන කිහිපයක් ම හිමි වී තිබුණි.

ඉන් කලකට පසුව 2014 අප්‍රියෙල් මාසයේ දී සති දෙකක නිවාඩුවකට ලංකාව බලා යාමට අවස්ථාව ලැබුණු නිසා, ඒ නවකතාව (සහ තවත් පොත් කිලෝ විසි එකක් පමණ) රැගෙන එන්නට මට අවස්ථාව ලැබුණි.

මා ෆේස්බුක් හරහා අසා දැන තිබුණාක් සේ ම සෙංකොට්ටං නවකතාව, අතිශය සංවේදනීය සිදුවීම් රැසක් අනුසාරයෙන්, අප නොදන්නා කාලවකවානුවක් පසුබිම කරගෙන ලියවුණු, මූලිකව උසස් රසයක් ලැබෙන විශිෂ්ට ග්‍රන්ථයක් විය.

නමුත් මට වැටහුණු ආකාරයට නම්, ඒ විශිෂ්ට නවකතාව වනාහී සියවසකට පමණ ඉහත කාලයක ලංකාවේ සබරගමුව පළාතේ රදා නමින් හැඳින්වෙන පහත් යැයි සම්මත කුලයක පවුලක් වටා ගෙතුණු සමස්ත සෙංකොට්ටං නවකතාව ම නොවේ.

මගේ නිගමනය අනුව විශිෂ්ට නවකතාව වූයේ මුද්‍රිත සෙංකොට්ටං නවකතාවේ මූල් 80% පමණ කොටස, එනම්, එහි ආ සංකීර්ණ චරිතයක් වූ පොඩිනා නමැත්තියව, ඇයව ලිංගික අපයෝජනයකට ලක් කළ ඉහළ කුලයක මහත්තැන් කෙනෙකු විසින් කෘර ලෙසින් මරා දමන මොහොත වෙනතුරු සිදුවීම් අඩංගු කොටස, පමණි.

ලේඛක මස්ඉඹුල කර තිබුණේ තමා ගේ විශිෂ්ට නවකතාව, පාඨකයා කියවීමේ සුරතාන්තයට පත් වූ ඒ උච්චස්ථානයෙන් නතර නොකොට, තවත් ඉදිරියට ඇදගෙන ඇදගෙන ගොස් එයට සුරංගනා කතාවක අවසානයක් ලබා දී චොර බොර කර දැමීමයි.

පාඨකයා සුරතාන්තයට පත් වෙන මොහොතින් පසු ලේඛකයා දිගින් දිගටම රචනයේ යෙදීම යනු පාඨකයා එතෙක් ලැබූ වින්දනය, එහි උච්චස්ථානයේ සිට අවගමනය කරවන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත.

සෙංකොට්ටං කියවූ සමහර බාලාංශ මට්ටමේ පාඨකයින් නම්, සුරංගනා කතාවක් බඳු වූ ඒ දෙවන භාගයට කැමති වන්නට ඇත. එවැනි පිරිස් කියවීමේ සුරතාන්තයට පත්වෙන්නේ සතුරා පැරදී, වීරයා දිනා, කෙල්ල කොල්ලාට හිමි වී, දෙමව්පියන් කටයුත්තට කැමති වී සියල්ල ජොලියෙන් අවසාන වෙන ඉක්බිති සියල්ලෝ ම සතුටෙන් ජීවත් වූහ අච්චුවේ සුඛාන්තයන් හි දී පමණි.

පසුගිය වසරේ (2015) දෙසැම්බර් 16 වෙනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවති පොත් එළිදැක්වීමක දී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අහම්බෙන් මුණ ගැසුණු වේලේ, මා මේ කාරණාව, එනම් සෙංකොට්ටං නවකතාව නතර කරන්නට තිබුණේ පොඩිනා මියගිය දිනයෙන් බවත්, ඉන්පසු ඔහු එකතු කර තිබුණු පරිච්ඡේද සියල්ලම මූලික කතාව තනුක කරන ඒවා බවත්, ඔහුට කීවෙමි.

සම්මානලාභී ලේඛකයෙකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ලේඛකයා ගේ කාර්යභාරය ද, රසිකයා ගේ සහ විචාරකයා ගේ කාර්යභාරයන් ද හොඳින් දන්නා නිසා, මගේ ඒ විවේචනය සිනහ මුසු මුහුණින් යුතුව පිළිගත්තේ ය.

මා පමණක් නොව වෙනත් පිරිස් ද, මා ඔහුට එදා පැවසූ ඒ අදහස, එනම්, සෙංකොට්ටං නවකතාව අවසාන කරන්නට තිබුණේ පෙර කී සුරංගනා කතාවට පිවිසෙන්නට කලින්, පොඩිනා ගේ මරණයත් සමග බව මහින්ද ප්‍රසාද් මස්ඉඹුලට කියන්නට ඇති බවට සැක නැත.

නමුත්, ඒ වන විට අප ප්‍රමාද වැඩිය!

ලේඛක මස්ඉඹුල ඒ වනවිටත් ඔහුගේ දෙවන නවකතාව වන මාණික්කාවත ලියා, සකසා, ප්‍රකාශයට පත්කර තිබුණි!

මාණික්කාවත නවකතාව ගෙතී ඇත්තේ සියවස් එකහාමරකට පමණ ඉහත කාලයක, කුල හීන තරුණියකට පෙම් කිරීමේ වරදට තමන් ගේ ගමෙන් පන්නා දමනු ලබන කෙටිහාමි නම් දිරිය තරුණයෙකු විසින් සබරගමුවේ කැලෑබද පෙදෙසක ස්ව-ශක්තියෙන් කුඹුරක් අස්වද්දා, ගමක් බිහි කරන ආකාරය අනුභූතිය කරගෙන ය. එය අප එතරම් නොදන්නා අතීතයක සමාජ දේශපාලන වාතාවරණය විවරණය කෙරෙන අපූරු නිර්මාණයකි.

මාණික්කාවත නවකතාව ද, සෙංකොට්ටං නවකතාව මෙන් ම, ඉතා ජනප්‍ර්‍රිය නවකතාවක් බවට පත්විය. කොටින් ම මම මාණික්කාවත පිටපත් තුනක් ම ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට රැගෙන ආවෙමි.

නමුත් අවාසනාවකට මෙන්, මාණික්කාවත නවකතාවේ දී ද, අපේ හිතවත් ලේඛකයා කතාව එහි උච්චස්ථානයේ දී, එනම්, කෙටිහාමි නම් පෙර කී තරුණයා මහලුව මිය යන ඒ යුගයක අවසානය සනිටුහන් වෙන දිනයේ දී හෝ අඩුතරමින් කුඩා කල අනතුරක් නිසා දෘෂ්‍යාබාධිත වූ ගුණාදරී නම් දියණිය මහලුව මිය යන දිනයේ දී හෝ මේ නවකතාව අවසාන නොකොට අනවශ්‍ය පරිදි තවත් යුගයක් කරා ඇදගෙන ඇදගෙන යයි.

එනම්, පාඨකයා ගේ කියවීමේ සුරතාන්තය එළැඹී පාඨක සුවය අවසාන වුව ද, බොහෝ විට එය වටහා නොගන්නා, ලේඛකයා තව දුරටත් ලේඛන සුවය ම විඳියි.

නොදන්නා අය (සිටී නම් ඔවුන්) ගේ දැන ගැනීම පිණිස කියන්නේ නම්, මනුෂ්‍ය ජීවින් දෙදෙනෙකු අතර ඇතිවන ආදරයේ අවසාන ඵලය වන ලිංගික එක්වීමෙන් දෙදෙනා උපරිම වින්දනය ලබන මොහොත සුරතාන්තය නම් වේ. ප්‍රශස්ත ලිංගික එක්වීමක් සඳහා සුරතාන්තය උදාවීම ප්‍රමාද විය යුතු බව මෙන් ම, දෙදෙනාට ම එක්වර සුරතාන්තය ලැබිය යුතු බව සාමාන්‍ය පිළිගැනීමයි.

එසේ නොවී එක් අයෙකුට සුරතාන්තය ඉක්මනින් ලැබෙන කළ, ඒ තත්වය හැඳින්වෙන්නේ ක්‍ෂණික මෝචනය නමින් ය.

ලිංගික එක්වන දෙදෙනාගෙන් එක් අයෙකුට ක්‍ෂණික මෝචනය වුවහොත්, එනම්, අනෙකා ලිංගික සුරතාන්තයට පත්වෙන්නට පෙර තමන් ගේ සුරතාන්තය ලදහොත්, අනෙකාට උපරිම ලිංගික වින්දනය නොලැබෙනු ඇත.

ඊට වඩා අභාග්‍ය සම්පන්න තත්වය වනුයේ එක් සහකරුවෙකුට සුරතාන්තය ළඟා වූ පසුවත් අනෙකාට දිගින් දිගටම ලිංගික කර්තව්‍යයේ යෙදීමට අවශ්‍ය වීමයි. මෙය දෙදෙනාට ම අපහසුදායක, අසහනකාරී සමහර විට වේදනාකාරී තත්වයකි.

ක්‍ෂණික මෝචනයට සහමුලින්ම විරුද්ධාර්ථය වූ මේ සංසිද්ධිය ප්‍රමාද මෝචනය ලෙසින් හැඳින්විය හැක.

පාඨක අපේ පැත්තෙන් සලකා බලන කළ, සෙංකොට්ටන් හි දී මෙන් ම මාණික්කාවත නවකතාවේ දී ද සිදුවන්නේ ලේඛකයා ගේ ප්‍රමාද මෝචනයයි. පාඨකයා ගේ සුරතාන්තය ළඟා වී තවත් කාලයක් තිස්සේ නවකතා ද්වයම ඇදි ඇදී යන්නේ ඒ නිසා ය.

නමුත් ලේඛකයා ගේ පැත්තෙන් සලකා බලන කළ, වරද පාඨකයා ගේ ය. ලේඛකයා ගේ සුරතාන්තය උදාවෙන්නට පෙර පාඨකායා ට ක්‍ෂණික මෝචනය සිදු වී ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
දිගු කලකට පෙර ගුවන් විදුලියේ ප්‍රචාරය වූ "රූපණ" නම් සාහිත්‍යමය වැඩ සටහන් මාලාවේ එක් වැඩසටහනක දී කුලසේන ෆොන්සේකා ගේ "පාලම යට" නම් නවකතාව පිළිබඳව සුචරිත ගම්ලත් දැඩි විවේචනාත්මක විචාරයක් කළේ ය. ඒ විචාර ක්‍රමය එතැන් සිට "දෙඤ්ඤං බැටේ!" විචාර කලාව ලෙසින් හැඳින්වුණි.

අද මා කරන මේ විචාරයට ඒ ආකාරයේ සුවිශේෂී නමක් අවශ්‍ය නම් ඒ සඳහා "මෝචන විචාරය" යන්න සුදුසු බව මගේ අදහසයි.

Thursday, 24 November 2016

විමල් කුමාර් ද කොස්තා, මාලනී ෆොන්සේකා සහ එයා දැන් ලොකු ළමයෙක් - Just some goss


ලොකු ළමයෙක් යන යෙදුම ඇසෙන විට ම අපේ සිහියට එන්නේ ගෑල්ළමයින් ගේ මල්වර වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ.

"එයා දැන් ලොකු ළමයෙක්" යන නමින් කරුණාරත්න සපුතන්ත්‍රි නම් ලේඛකයා නවකතාවක් රචනා කළේ ය. එය ඉතා ජනප්‍රිය වෙන්නට ඇතැයි සිතමි. ඒ එහි දෙවෙනි කොටසක් ද, "මනමාලි" නමින් ලියවී ඇති නිසා ය. මා බොහෝ විට කියවා ඇති නමුත් නිශ්චිත මතකයක් නැති මේ "දෙවන පරම්පරාවේ" නවකතා තරමක් සරල තරමක් අවුල් පෙම් කතා විය.

මා මෙහිදී "දෙවන පරම්පරාවේ" යන හැඳින්වීමෙන් අදහස් කරන්නේ, "ඉක්බිති සියල්ලෝ ම සතුටින් විසිර ගියහ!" අච්චුවේ වාත්තු කරන ලද, කොල්ලා සහ කෙල්ල ගේ අකලංක ප්‍රේමය සියලු සතුරන් මැඩ, සියලු බාධක සිඳ බිඳ දමා ජයගන්නා සුරංගනා කතා ඇතුළත් වූ "මුල් පරම්පරාවේ" නවකතාවලින් පසුව, කරුණාසේන ජයලත් විසින් රචනා කරන ලද මොන්ටිසෝරි ආදර අන්දරයක අඳෝනාව රැගත් "ගොළු හදවත" නවකතාවෙන් පසු බිහි වූ නවකතා පරම්පරාව ය.

මේ නවකතා ද පාඨකයින් අතර ඉතා ජනප්‍රිය විය. එහි අනෙකුත් නියමුවෝ වූයේ, කුමාර කරුණාරත්න, එඩ්වඩ් මල්ලවාරච්චි වැන්නන් බව මගේ අදහසයි. කුමාර කරුණාරත්න ගේ "රතු රෝස" මෙන් ම, එඩ්වඩ් මල්ලවාරච්චි ගේ "සුභා, ප්‍රාර්ථනා සහ සුබ ප්‍රාර්ථනා" ද මා ආශාවෙන් කියවූ නවකතා ය.



කරුණාරත්න සපුතන්ත්‍රි ගේ "එයා දැන් ලොකු ළමයෙක්" සහ "මනමාලී" නවකතා ඉතා ජනප්‍ර්‍රිය වූුවා පමණක් නොව ධර්මසේන පතිරාජා ඒ නවකතා ඇසුරෙන් චිත්‍රපටයක් ද අධක්‍ෂණය කළේ ය. සම්භාව්‍ය චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස සැලකෙන ධර්මසේන පතිරාජා ගේ චිත්‍රපට අතුරෙන් ඉතා ජනප්‍ර්‍රිය වී ඇත්තේ ද ඒ චිත්‍රපටය වීම යම් ආකාරයක සරදමකිි.

අපේ අම්මා සහ පුංචි අම්මලා එය නැරඹූව ද, "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපට නැරඹීමට මට ඉඩ නොලැබුණි. මා සිතන ආකාරයට එයට හේතුව වෙන්නට ඇත්තේ ස්ත්‍රී දුෂණයක ජවනිකාවක් තිබුණු නිසා එය "වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි" ආකාරයේ ලේබලයක් ඇලවී තිබීම විය හැක.

කෙසේ වෙතත්, මේ චිත්‍රපටයේ නමට ද අදාළව, එහි එන එක් දර්ශනයක මාලනී ෆොන්සේකා වැඩිවියට පත්ව දිය නා ගෙට එන දර්ශනයක් ඇතුළත් වූ ප්‍රචාරක දැන්වීම් ද, බණ්ඩාර කේ විජේතුංග ගේ ගැඹුරු හඬින් "එක් වැසිබර අඳුරු රැයක් තෙක් ඇය පියකරු වතුසුදු මලක්" යනුවෙන් සහ "අවාරෙට කෝපි මලුත් පිපිලා ඇති!" යනුවෙන් මාලනී ෆොන්සේකා ගේ දෙබසක් සහිත රේඩියෝ වෙළඳ දැන්වීම් ද, මගේ මතකයේ ඇත.



නවකතාවේ සුසිලාවතී ගේ චරිතයේ විස්තරය කෙසේ වුව ද, ඒ වන විට තම ජීවිතයේ තුන්වෙනි දශකය පසුකරමින් සිව්වෙනි දශකයේ එළිපත්තේ සිටි මාලනී ෆොන්සේකා, වැඩිවිය පැමිණෙන දැරියක ලෙස රඟපෑමේ යම් විකාර රූපී බවක් තියෙන්නට ද ඇත. හරියට, අබා චිත්‍රපටියේ උන්මාද චිත්‍රා ගේ චරිතය වයස හතළිස් පහක් පමණ වූ සබීතා පෙරේරා රඟපෑවාක් මෙනි!

මාලනී ෆොන්සේකාට අමතරව මේ චිත්‍රපටයේ අන් ප්‍රධාන චරිත නිරුපණය කළේ විජය කුමාරතුංග සහ පසුගිය දා මිය ගිය විමල් කුමාර් ද කොස්තා ය.

චිත්‍රපටයේ කතාවේ සාරාංශය අති සංක්‍ෂිප්තව පවසතොත්, ගැමි කෙල්ලකවන සුසිලාවතී (මාලනී) තම ඥාතියෙකු වන සිරිපාල (කොස්තා) අතින් දුෂණය වී අසරණ වන නමුත්, ඇගේ නිවසේ නවාතැන් ගෙන සිටිනා ග්‍රාමසේවක (විජය) ඇගේ පිහිටට පැමිණේ.

මට මේ සටහන ලියන්නට සිතුණේ විමල් කුමාර් ද කොස්තා ගේ මරණයෙන් පසු ඔහු ගැන ධනංජය කරුණාරත්න විසින් ලියූ විශේෂ ලිපියක විමල් කුමාර් ද කොස්තා සහ මාලනී ෆොන්සේකා අතර හෝඩියේ පන්තියේ සිට පැවති සුවිශේෂී සම්බන්ධතාවයක්, එය 50% ආදරයක් ද විය හැක!, ගැන කියවුූ විට දී ය.

තමන් ඒ වන විට රඟ පා තිබුණු චරිත අතරින් වඩාත් කැමත්ත ඇත්තේ "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ සිරිපාල ගේ චරිතයට බව ඒ දිනවල විමල් කුමාර් ද කොස්තා පවසනු මා අසා ඇත.



ධනංජය කරුණාරත්න ගේ ලිපියේ අඩංගු කරුණුවලින් හැඟවෙන පරිදි, හෝඩියේ පන්තියේ සිට සිතෙන් තමන් ප්‍රේම කළ නමුත්, විවිධ සමාජ කරුණු නිසා තමන්ට අහිමි වූ ඒ මාලිනි ය, අතාත්වික ලෝකයක දී සුලු මොහොතකට හෝ තමන්ට හිමි කරගන්නට ලැබීම නිසා විමල් කුමාර් ද කොස්තා "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ සිරිපාල ගේ චරිතයට වඩාත් ප්‍රිය කරන්නට ඇතැයි මට සිතේ.

-රසිකොලොජිස්ට්

(image: https://rateyourmusic.com/film/එයා_දැන්_ලොකු_ළමයෙක්; http://www.silumina.lk/punkalasa/20110306/_art.asp?fn=ar1103069)