
මේ ලිපිය ලියන්නට ආසන්නම හේතුව වූ ඉහත චිත්‍රණය පසුගිය දිනයක ෆේස්බුක් අවකාශයේ හුවමාරු වූවකි. එහි නිර්මාතෘ හෝ මුලින් ම බෙදාහැරිය පුද්ගලයා
"පොඩි එකා" නම් වේ.
ඒ කතාව කියන්නට පෙර යම් කරුණක් විස්තර කළ යුතුය.
"මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා", "කැපුවත් ලේ කොල පාටයි", "කැපුවත් ලේ නිල් පාටයි" ආකාරයේ දේශපාලනික සත්වයින් බහුලව ලක් දෙරණේ සිටියේ කාලෙකට පෙර බව මගේ අදහසයි. පසු කලෙක දේශපාලුවන් කරන්නට පටන් ගත් ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පක්‍ෂ මාරු නිසා එකී "මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා" සත්ව ප්‍රභේද වල ගහණය මදින් මද අඩුවෙන්නට පටන් ගෙන ඇති වුව ද තවමත් උන් එන්ඩේන්ජර්ඩ් තත්වයට පත් වී නැත.
මේ අතර ඉහත කී "මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා" සත්ව ප්‍රභේද දෙකේ දෙමුහුමකින් ඇති වූවා යැයි සැක කළ හැකි අළුත්ම සත්ව කොට්ඨාශයක් බිහි වී ඇති බව මට 2010 ජනාධිපති ඡන්දය කාලයේ සිට මදක් වැටහෙමින් තිබී මෙවර ජනාධිපති ඡන්දයේ දී ස්ථිර විය.
මේ නව ප්‍රභේදයේ දේශපාලන සත්වයින් හඳුනා ගත හැකි නිවැරදි ක්‍රමය නම් ඔවුන් අන්ධ භක්තියෙන් යුතුව තම නායකයා කරන වැඳුම් පිදුම් වේ.
පෙර කී පරිදි 2010 ජනාධිපති ඡන්දයේ දී මා මුලින් දුටු පරිදි මේ දේශපාලන සත්වයින් ගෙන් එක් පිරිසක් "අපේ රට ගලවා ගත් මහින්ද රාජපක්‍ෂට" අන්ධ භක්තියකින් වන්දනා මාන කරන්නට පටන් ගෙන සිටියහ. අනෙක් පිරිස, "අපේ රට ගලවා ගත් යුධ විරුවා සරත් ෆොන්සේකාට" අන්ධ භක්තියකින් වන්දනා මාන කරන්ට පටන් ගෙන සිටියහ.
මේ දෙවන සත්ව කොට්ඨාශය වසර පහකට පසුව වුවද තවමත් අඩු ගහණයකින් වුවද ජීවත් වෙති. ඒ අතර, පෙර කී මුල් සත්ව කොට්ඨාශය ගහණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවක් නොවී පසුගිය ජනාධිපති ඡන්දය දක්වාම ජීවත් වූහ.
* * *
ජනාධිපති ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වී අළුත් ජනාධිපති දිවුරුම් දීමෙන් පසු දිනක මම හිටපු ජනාධිපති ගේ රැව රුගත් චිත්‍රණයක් වත් පොතේ දැක එය මගේ මිතුරන්ට දැක ගන්නට බෙදා හැරියෙමි. එහි දැක්වුණේ වශී බෝල කරකවමින් ඡන්ද පොලේ සරණ මහින්ද රාජපක්‍ෂ ය.
ගුත්තිලයෙන් කවි ද උපුටා දක්වමින් මගේ එක් අංකල් කෙනෙක් එයට පිළිතුරු දෙමින් කියා තිබුණේ කෙලෙහි ගුණ නොදන්නා අය ගැන ආඬපාලියකි.
ඒ කවි මෙසේය.
කෙළෙහි ගුණ සින්දේ
මූසිල අන්ද මන්දේ
ජයෙහි ලොබ බැන්දේ
තමන් වීනා තත ද සින්දේ
අනුුවණ කම් කළේ
ගුරුන් ගුණ සිහි නොකළේ
නද ඉන් නොපතළේ
අයසමය මුළු දියත පතළේ
"අංකල් මොකක් ද මේ කියන්නේ? ගුත්තිල කාරයාත් වශී බෝල දෙකක් දෑතින් අරගෙන, මූසිල ගේ රූඩකයක් එක්ක ද වීනා වාදන තරගයට ගියේ?" මම විමසුවෙමි.
"The contention was to stress on the malicious and the vindictive manner in which some of the propaganda against national leaders, was disseminated, in the electronic media in recent times. It is very convenient to criticise. Some seem to be in the opinion that they are hearing and seeing human weaknesses and l lapse for the first time in history. The question is who will cast the first stone at the sinner!"
කා හටත් වරදී
ඉන් දොස් කීම වැරදී
මා හට නොවරදී
කියන දන හට නිතර වරදී
අංකල් පවසා තිබුණි.
පසුගිය සමයේ රූපවාහිනිය සහ අයිටීඑන් එක පමණක් බලමින් සතුටු සිතින් සිටි අපේ අංකල් කෙළෙහි ගුණ සලකා ලද පරාජයෙන් දුක්ඛිතව සිටින බව පෙනුණු නිසා මම තුවාලය නො පාරවා නිහඬ වුණෙමි.
වත් පොත් දැක මා ඊලඟට මිතුන් අතරේ බෙදා ගත් මේ ආකාරයේ ම ඡායාරුපය ඒ දිනවල පරාජිත ජනාධිපති විසින් කරමින් තිබූ ජාතිවාදී ප්‍රකාශවලට යම් පිළිතුරක් සපයා තිබුණකි.
එය දුටු අපේ ඇන්ටි කෙනෙක් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.
"නිදහස් අධ්‍යාපනය ලබා දුන් කන්නංගර මැතිඳුන්ටත් පරාජය සහ අවලාද දුන් අපේ ම සිංහලයින් තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා නිදහස දුන් වීරයින්ට මොනවා නොකියයි ද?"
මේ ඇන්ටී ද, පසුගිය දිනවල රූපවාහිනිය සහ අයිටීන් එක බලමින් සිට කෙළෙහි ගුණ සලකන්නට ඡන්දය දී පරාජයේ තුවාල සහිතව දුකෙන් සිටින අයෙකි.
මගේ පිළිතුර වූයේ මෙයයි.
"කන්නංගර කියන්නේ ජාතිවාදී, දූෂිත, ජනඝාතක, වශී බෝලකාර, චෞරයෙක් කියා මා නම් විශ්වාස කරන්නේ නෑ!"
මේ පැන්ෂන්ලාභී, බණ දහමින් දැහැමෙන් සෙමෙන් කල් ගත කරන, ඇන්ටිලා ගේ අංකල් ලා ගේ සිතුම් පැතුම් මට තරමක් හෝ තේරුම් ගත හැක. අන්ධ භක්තියක ගැලී සිටින ඔවුන්ට මම අවංකවම අනුකම්පා කරමි.
නමුත් ඊලඟට සිදුවූයේ නම් මා නොසිතූ දෙයකි.
ඒ මේ චිත්‍රණය සම්බන්ධයෙනි.
එයට ප්‍රතිචාරක් දක්වන මගේ සම වයස් ප්‍රමාණයේ පසුවන ඇන්ටි කෙනෙක් මෙසේ කීවාය.
"What is the purpose of doing this type of things dear Rasika? To whom you are working for?"
මා ඇයට ලියූ පිළිතුරේ සිංහල අනුවාදය මෙලෙස දැක්විය හැක.
"ඔබ සිතුවේ මේ චිත්‍රණය මා නිමවූ එකක් කියාද? එය මා වත් පොතේ දැක අන් අය සමග බෙදා ගත්තේ යම් කිසි හේතුවක් ඇතිවයි.
පසුගිය දශවසරක මහින්ද රාජපක්‍ෂ සාප කාලය තුල ලංකාවේ ඔඩු දුවා ගිය පිළිකා දෙකක් වේ. එහි බලපෑම තව සෑහෙන කාලයක් සමාජයේ පවතිනු ඇත.
ඉන් පළමුවන්න නම්, මහින්ද රාජපක්‍ෂ විසින් රටේ පැවැත්මට අදාල තීරණ ගැනීමේ දී නීර්ණායකයක් ලෙස භාවිතා කළ යන්තර, මන්තර, හදි හූුනියම්, වශී බෝල සහ ජ්‍යෝතිශ්‍යයවැනි දේ ය. දෙවැන්න නම් කාල්පනික ලෙස දේශාභිමානී ලෙස පෙනෙන නමුත් තර්කාන්විතව බලන කළ මුග්ධත්වයේ ප්‍රතිමූර්තියක් බඳුව වූ ලෝකයේ අනෙකුත් රටවල්වලට ඇති කළ විරුද්ධාකල්පයයි.
විමලසේන යනු ඒ දෙවැන්න ප්‍රවර්ධනය කරමින් හැසිරුණු මුගටියා ය.
ඉහත චිත්‍රණය පසුගිය රජය විසින් ගෙන ගිය පෙර කී නින්දිත ක්‍රියා ද්වයම කදිමට සමච්චලයට ලක් කරයි."
එයට ඇයගේ පිළිතුර වූයේ මෙයයි.
"I don't know what to say but I totally disagree with you Rasika. You have left this country about 20 years now. Actually you people don't know what is going on here and what has happened to this country politically during last 20 years. Anyway I don't want to argue with you in this manner but I must say that we live in our country with proud, happy and peacefully after 2009 because of our President Mahinda Rajapaksa and country lovers (Upan Bimata Adaraya Karana) like Minister Wimal Weerawansa (Not Wimalasena)."
බඩගින්නේ සිටින කෙනෙකුට බණ කියා වැඩක් නැතුවා සේ ම, අන්ධ භක්තියෙන් තවමත් චෙෘරයින් වන්දනාමාන කරන අයෙකු සමග තර්ක කර පළක් නැත. සත්‍යාවබෝධය යනු තමන් ම වීර්යයෙන් කර ගත යුත්තකි.
එනිසා, "ස්තුතියි මිතුරිය" කියා මම නිහඬ වුණෙමි.
අන්ධභාවය සමච්චලයට ලක් කිරීම අමානුශික ක්‍රියාවකි. මේ අංකල්ලා ඇන්ටිලා සෑම දෙනාටම අපේ අනුකම්පාව හිමිවිය යුතුය.
-රසිකොලොජිස්ට්