Showing posts with label සිහිවටන. Show all posts
Showing posts with label සිහිවටන. Show all posts

Tuesday, 12 May 2020

මගේ Rasikalogy යූටියුබ් නාලිකාවේ අර්ධ ශතකය - Hooray, I have published 50 videos in my Rasikalogy YouTube channel


අර්ජුන රණතුංග ඉගෙනුම ලැබුවේ මා උසස් පෙළ ඉගෙනුම ලැබූ පාසලේ ම ය. ඔහු ඉතා අඩු වයසෙන් (යන්තම් අවුරුදු 18 පිරුණු පසු) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කර ගන්නා ලද අතර විදෙස් ජනමාධ්‍යවලින්, කොහොමටත් ළමා මුහුණක් ඇති, අර්ජුන රණතුංගව එදා හඳුන්වා දුන්නේ කොලම්බු කිඩ් කියා බව ඩේලිනිවුස් පුවත් පතේ සඳහන්ව තිබුණි.

මගේ මේ කෙටි සටහනට අර්ජුන රණතුංගගේ ඇති සම්බන්ධය නම් එදා ඔහු තම පළමු ටෙස්ට් ඉනිමේ දී ම අර්ධ ශතකයක් වාර්තා කිරීමයි.

මා ද ඊයේ අර්ධ ශතකයක් වාර්තා කළෙමි.

ඒ මගේ Rasikalogy යූටිටුබ් වීඩියෝ නාලිකාවේ පනස්වෙනි වීඩියෝව නිපදවා පළ කිරීමත් සමග ය.

කලක් සිතේ තිබුණ ද, හදිසියේ ආ සිතුවිල්ලක් අනුව ක්‍ෂණිකව 2020 මාර්තු 19 දින ඇරබුණු මගේ Rasikalogy යූටිටුබ් වීඩියෝ නාලිකාවේ වීඩියෝ පනහක් දින පනස් තුනක කෙටි කාලයක් ඇතුළත පළ කිරීමට කිසිදු අදහසක් මට නොවුණා පමණක් නොව එසේ කළ හැකි වේ යැයි මා සිහිනයකින් හෝ සිතුවේ ද නැත.

මුල් සතියේ එතෙක් මා සතුව තිබුණු පැරණි හිටං විහිළු දර්ශන කිහිපයක් පළ කිරීමෙන් පසුව මා අලුතෙන් ම රූගත කිරීම් කර ඒවා සංස්කරණය කරද්දී එය කෙතරම් කාලයක් වැයවෙන වෙහෙසකාරී ක්‍රියාවක්ද යන්න පැහැදිලි විය.

සමහර විනාඩි පහක වීඩියෝවක් සැලසුම් කර, පටිගත කර, සංස්කරණය කර පළ කිරීමට පැය පහක පමණ කාලයක් ගත විය. එයින් නොසිතූ විරූ කාලයක් ගත වෙන්නේ සංස්කරනයටයි.

එය කොතරම් වෙහෙසකාරී ක්‍රියාවක් වුව ද, වීඩියෝව පළ කර අවසානයේ දී දැනෙන්නේ ඉමහත් සතුටකි.

මගේ Rasikalogy යූටිටුබ් වීඩියෝ නාලිකාවට සම්මාදම් වූ, එනම් සබ්ස්ක්‍රයිබ් කළ පිරිස මේ වන විට 380 ක් පමණ සිටිය ද, නිතිපතා වීඩියෝ නරඹන්නේ සාපේක්‍ෂව ඉතා සුළු පිරිසකි.

පසුගිය සති හතක කාලයක් තිස්සේ දිනපතාම, වීඩියො රූගත කර සංස්කරණය කළ මම අද එක් දිනක විවේකයක් ගත්තෙමි.

හෙට සිට නැවත වීඩියෝ නිපදවා පළ කරන අතර මගේ උත්සාහය නරඹන්නන් පිරිස වැඩිකර ගැනීමට ද යොමු කළ යුතුය.

දැන් මෙන්න මා මෙතෙක් පළ කළ වීඩියෝ පනහ පිළිබඳ විස්තර, ඊයේ දිනයේ සිට ආපස්සට.

50. ලොකු වුණාම මොකද කරන්නේ? - Loku Vunama Mokada Karanne - What do you want to be when you grow up?



49. කොහෙද මේ යන්නේ - Koheda Yanne - Where are you going?



48. සන්ග්ලාස් දාගෙන පන්සල් ගියොත් පව් සිදු වෙනවා ද? Is it OK to wear Sunglasses to a Buddhist temple?



47. පිරිමින්ට ක්‍ෂණික ආහාර - Quick Egg Sandwich



46. සෑබෑ වෙසක් සිතුවිලි - Preethi Vesak but not for everyone



45. රයිස් ෆ්ලයිස් හෙවත් හාල්මැස්සෝ - Rice Flies aka Halmesso aka Sprats



44. කටුබැද්දේ කුකුළු අන්දරය - Katubedde Kukula



43. රත්නායක ජෝක්ස් යනු මොනවා ද? - Rathnayaka Jokes



42. කොරෝනා මැකරල් තෙම්පරාදුව හෙවත් ඇයි පිරිමි අපිට උයන්න බැරිද? - Cooking Corona Mackerel



41. කොරෝනා කාලේ ගෙදර හිරවී ඉන්නා අයට අපූරු විනෝදාංශයක් - One cool thing to try during Corona lock-down



40. මගේ ඔසී ගමේ ඇති වැව වටා රවුමක් යමු ද? Let's walk around the Lake in Glenmore Park, NSW, Australia



39. කටට රහට චිකන් කරියක් ඉව්වෙමි - Chicken Curry with a difference



38. තුන් තේරවිලි - Thun Theravili - Sinhala Riddles



37. COVIDSafe App - An Australian Government Initiative



36. ගෙදර එක්ක තරහ වුණාම - Best way to protest



35. ඉන්දියන්කාරයාට ආ සුබපැතුම් පණිවිඩය - Indian Birthday Card



34. දුටුගැමුණු සහ සාලිය - Dutugemunu and Saliya



33. නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගත් කතාවක් - It is all Greek to me



32. වයිෆ් එක්ක කේන්ති ගියාම - When you get angry with your wife



31. චක්කරේ Chakkare - Generation to Generation



30. පොඩි කාලේ ලියපු කවි - Nostalgic Stories



29. කොරෝනාවෙන් පසු ලෝකය ගැන මගේ ප්‍රාර්ථනා - What I expect to see in the Post Corona World



28. What an exemplary husband - මෙන්න මිනිස්සු - නිබ්බුතා නූන සා නාරී



27. Wall Hangings in our home - එල්ලපු කලා නිර්මාණ සහ එල්ලීමට නියමිත ඒවා



26. My Gotukola Experiment - කලින් කාලා නැති විදියකට ගොටුකොළ හැදුවෙමි!



25. සිංහල සංගීතයට මගෙන් වූ අති විශාල සේවය - My great service to Sinhala music



24. Beef Steak with a Lankan Twist - මස් පෙති බැදුම - පොඩි ලාංකික වෙනසක් ද සහිතයි



23. New Year Avurudu Greetings form Sydney 2020 - සිනුවරින් අලුත් අවුරුදු සුබ පැතුම්!



22. How not to sing - ගී ගායනා කළ නොයුත්තේ කෙසේ ද?



21. Anecdote about Manjula Caldera's Translation of Yuval Noah Harari's Sapiens - පොතක් ගැන අතුරු කතාවක්



20. Jokes classified - Serious, Foolish, Classic and Fart : සිරා, මෝඩ, ක්ලැසික් සහ පඩ ජෝක්ස්



19. My visit to heaven - Part II (End) - දිව්‍යලෝක සැප සහ දෙයියන්ගේ අප්පොච්චී



18. My visit to heaven (Part I) : දෙව්ලොව ගියෙමි. දිව්‍යලෝක සැප ගැන දැන ගත්තෙමි



17. Love Roti for breakfast - Cooking for husbands - උදේ කෑමට Love රොටී හෙවත් පිරිමින්ට ඉවුම් පිහුම්



16. Racy paintings in a Buddhist temple - පන්සලේ ඇඳපු ඇඩල්ට්ස් ඔන්ලි චිත්‍



15. What to wear to temple - කලිසමක් ඇඳන් පන්සල් ගියොත් පව් සිද්ධ වෙනවා ද?



14. Apoyi Kunuharupa - ළමයින් කුණුහරුප ඉගෙන ගන්නා හැටි



13. What is a Ganikava - ගණිකාව කියන්නේ මොකක්ද?



12. Life in the time of Corona - Town Visit : දින එකොළහකට පසු නිවසෙන් එළියට ගියෙමි!



11. Paying it forward - දෙමව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් ඔවුන්ගේ දරුවන්ට - ආපසු නොව ඉදිරියට ගෙවීම



10. Walking in the time of Corona (කොරෝනා කාලේ ඇවිදීම)



9. Sweet Potatoes in Backyard Veggie Patch - කටින් නොව ඇත්තටම බතල සිටුවීම



8. Lawn Mowing after more than three months - තුන්මසකට පසුව ගෙවත්තේ තණකොළ කැපුවෙමි



7. Why did I start vlogging : මේ කුමක් සඳහා ද



6. Jokku Size : ජොකාගේ සයිස් එක



5. Jokku Kathandara : ජොක්කු කතන්දර



4. Jangi Hora : ජංගි හොරා



3. What is Hitan Vihilu : හිටං විහිළු යනු කුමක් ද?



2. How to be a good husband හොඳ සැමියෙකු වෙන්නේ කෙසේද?



1. A cooking lesson for husbands කොරෝනා පරිප්පු - පිරිමින්ට ඉවුම් පිහුම් පාඩමක්



යන්න නරඹන්න. කරුණාකර Rasikalogy යූටියුබ් වීඩියෝ නාලිකාවට සම්මාදම් වෙන්න (එනම් SUBSCRIBE කරන්න). මිතුරන් අතරේ බෙදා හරින්න.

ස්තුතියි.

-රසික සූරියආරච්චි

Thursday, 17 August 2017

කියවන විට ලිවීම හෙවත් google key board app එකෙන් ලියන පළමු ලිපිය - Long live GBoard App


මේ මා උත්සාහ කරන්නේ නොබෝදා ගූගල් සමාගමෙන් නිකුත් කෙරුණු wood apple (GBoard App) එකෙන් මගේ පළමු බ්ලොග් ලිපිය ලියන්නයි.

මට මතකයි 1992දී කොළඹ යිටි (IT) ප්‍රදර්ශනයක් පැවැත්වුන මේ කාලයේ අයිතිය (IT) යන වචනය සමහරුන් උච්චාරණය කළේ (ඉට්) කියයි. ඒ තරම් අතීත කාලය cry (කාලයකයි) මේ ප්‍රදර්ශනය පැවැත්වුණේ.

එහිදී ප්‍රදර්ශනයට තබා තිබුණා මට මතකයි voice typing මෘදුකාංගයක්. එය ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විට එවලේම ටයිප් වෙන ලියැවෙන මෘදුකාංගයක්. නමුත් ඒ දිනවල එවැන්නක් මිලට ගැනීමට තබා පරිගණකයක් වත් මට තිබුණේ නෑ.

meter යට (මීට) වසර පහකට පමණ පසු 2007 දී පමණ මා ඕස්ට්‍රේලියාවේ දී මෙවැනි මෘදුකාංගයක් මිලට ගත්තා. එය වැඩි ප්‍රයෝජනයක් වුනේ නැහැ. එයට මූලිකම හේතුව වුණේ අප කියන වචනය ඒ ආකාරයෙන් ම හඳුනාගෙන ටයිප් කිරීමට එකල තිබුණු voice recognition software වලට හැකි නොවීමයි.

මේ අලුත් ඇප් එක මගේ දුරකතනයට දමාගෙන විවිධ පරීක්ෂණ කරමින් විවිධ පරීක්ෂණ kala mata (කළ මට) එය සෑහෙන හොඳ තත්ත්වයක තිබෙන බව පැහැදිලිවම පෙනුනා. එවිටයි මට එමගින් බ්ලොග් ලිපියක් ලියන්නට උත්සාහ කරන්නට අදහසක් ආවේ.

නමුත් ට තවමත් හොයාගන්නට බැරි උනා නැවතීමේ ලකුණ විරාමය semi colon ප්‍රශ්නාර්ථ ලකුණ වැනි දේ ලියන ආකාරය එනම් අකුරු type prefom චනයක් කිව යුතු ද යන්න පිළිබඳව සොයා බැලීමේදී මට දැනගන්නට ලැබුණේ මේ චිපය නිපදවා ඇත්තේ ලේඛන කිරීමට නොව සාමාන්‍ය කතාබහ සදහා ය කියායි.

කෙසේ වෙතත් මට හිතෙන පරිදි මෙමගින් අපේ කාලය විශාල ලෙස ඉතුරු වෙනවා.

මෙමඟින් ලැබෙන අනිත් වාසිය තමයි පැහැදිලිව නිරවුල්ව වචන උච්චාරණය කරමින් සෙමෙන් කථා කරන්ට අපට පුහුණුවක් ලැබීම. නිවැරදිව වචන උච්චාරනය කළොත් අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නට බැහැ.

නමුත් වේගයෙන් කියවීම එතරම් ප්‍රශ්නයක් නොවෙයි.

මේ ලිපිය අවසාන කිරීමට මා කුඩා කාලයේ ඉගෙනගත් දැනගත් කවියා වේගයෙන් කියන්නම්.

codl (ගොඩ) මඩ දෙකම සරු සාරය පල බරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
මේ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය

මෙන්න දමා (වෙනදා මා) කරන ආකාරයට ලිපිය ලියා, එහි අක්ෂර වින්‍යාසය සොයා බලා, සුබස නම් වෙබ් අඩවියෙන්ද පරීක්ෂාකර, සංස්කරණය කර පළ කිරීම අද කරන්නේ නෑ.

මේ ලිපිය නිකුත් (නොයෙකුත්) වැරදි තියෙන්න පුලුවන්. වැරදි තිබේ නම් google ට බනින්න. ලිපිය හොඳින් ලියවී ඇත මට ප්‍රශංසා කරන්න.

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා කියවන විට බගූගල් ලියූ සටහනට පසුව පහත දැක්වෙන වෙනස්කම් කළෙමි.
1. නැවතීමේ ලකුණ එකතු කිරීම
2. පරිච්ඡේද කැඩීම
3. වැරදියට ටයිප් වී තිබුණු වචන නිවැරදි අකුරෙන් ලියා වරහන් තුළ යෙදීම
4. ප/ලි කොටස සාමාන්‍ය ක්‍රමයට ලියා එකතු කිරීම

(image: https://www.youtube.com/watch?v=CCZxbw0UWYs)

Monday, 5 June 2017

475. ආපහු කසාදයක් කර ගැනීම වැරදි ද? - No one can accuse me of bigamy!


සාමාන්‍ය නීතිය යටතේ එක් වරක් විවාහ වී ඇති අයෙකුට ඒ විවාහයෙන් ඉවත් නොවී නැවත විවාහ විය නොහැක. එසේ දෙවන විවාහයක බැඳීම හෙවත් බිගමි යන්න සැලකෙන්නේ බරපතල වරදක් ලෙසයි.

එසේ නොවන අවස්ථාවල පවා, උදාහරණයක් ලෙස, වැන්දඹු පිරිමියෙකු වූ වික්ටර් රත්නායක පසුගිය දා විවාහයක් කර ගත් විට කොයි තරම් හා හෝවක් ඇති වුණි ද?

කෙසේ වෙතත්, පැවති විවාහය එසේ ම තිබිය දී, මම යළිත් විවාහයක් කර ගැනීමට, මුදු මාරු කර, ගිවිස ගත්තෙමි.

එකට එක කරන්නට සිතා දෝ, මගේ බිරිඳ ද එසේ ම කළා ය.

නමුත්, අප දෙදෙනාට විවාහ නීතිය කඩ කිරීමේ චෝදනාව නම් එල්ල නොවෙනු ඇත.

ඒ මක් නිසා ද යත්, මුදු මාරු කර ගෙන, මා අලුතෙන් විවාහ ගිවිස ගත්තේ මගේ ම ආදරණීය බිරිඳ සමග නිසාත්, ඇය විවාහ ගිවිස ගත්තේ මා සමග නිසාත් ය.



කෙසේ වුවත්, මේ දෙවෙනි විවාහ ගිවිස ගැනීමේ එක් අතුරු ප්‍රතිඵලයක් වූයේ, අප්‍රියෙල් 17 දින සිට ජූනි පළමුවෙනිදා දක්වා, නොනවත්වා, මුලින් බ්ලොග් වසන්තය නිසාත්, එය අවසාන වීමෙන් පසුවත්, දිනපතා සටහන් පළ කරමින් පවත්වාගෙන ගිය රසිකොලොජියට පොඩි විවේකයක් දෙන්නට සිදුවීම යි.

දින හතරක නිවාඩුවෙන් පසු යළි අද පටන් "රසිකොලොජිය" යාවත්කාලීන කිරීම ඇරඹුණ ද, ඉදිරියේ දී මා සටහන් පළ කරන්නට අදහස් කරන්නේ මේ වසරේ මුල් මාස තුනහමාරක පමණ කාලයේ දී කළාක් මෙන් දින දෙක තුනකටවරක් පමණි.

පසුගිය ඒක පුද්ගල බ්ලොග් මැරතන් සමයේ දී, "රසිකොලොජිය" නිරතුරු කියවා, ප්‍රතිචාර දක්වා, දිනකට පිවිසුම් වාර 1,500 පමණ සටහන් කළ (බොට්ලා ඇතුලු) සියලු දෙනාට ම මගේ ස්තුතිය හිමි වේ.

ඔබටත් වාසනාවන්ත නැවත විවාහයක් සහ මධු සමයක් වේවා යැයි ඉත සිතින් පතමි!



-රසිකොලොජිස්ට්

ප/ලි
ඉහළින් ම ඇති පින්තූරයේ ඉන්නේ එලිසබෙත් ටේලර් සහ රිචර්ඩ් බර්ටන් යුවළයි.

(image: http://www.telegraph.co.uk/culture/tvandradio/bbc/10190932/Richard-Burton-and-Elizabeth-Taylor-the-deadly-love-that-never-died.html)

Sunday, 28 May 2017

අවුරුදු විසි පහක යුග දිවියක් - Fellow bloggers Kasun and Nirmani to wed


මේ මීට දශක දෙකකටත් පෙර ඉහත කාලයක වූ සිදුවීමකි. නමුත් කිසි දිනක අමතක නොවන්නකි. අද දවසේ ඇති වැදගත්කම නිසා ඊයේ රාත්‍රියේ ද නැවත සිහිවිය.

අපේ කතා නායකයා, දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ දන්නා හඳුනන මිතුරෙකි. ඔහු වාසගමෙන් සූරිය කෙනෙකි. නමුත් ඒ ජයගත් ජයසූරිය කෙනෙකු හෝ විජයග්‍රහණය කළ විජේසූරිය කෙනෙකු හෝ නොවේ. අපේ මිතුරා වීර පරාක්‍රම බල හිමි වීරසූරිය කෙනෙකි.

වීරසූරිය සංගීතයට කැමති ය. හැකියාව ද ඇත.

වීරසූරිය ගී ගැයීමට ද කැමති ය. හැකියාව ද ඇත.

ඒ අප එකල අධ්‍යාපනය හැදෑරූ ආයතනයේ වාරාවසාන සාදය යි. කන බොන අතරේ, සහභාගීවනන්ට ගී ගැයීමට අවස්ථාව ද ලැබුණි. සභාවේ ඉදිරියට ගිය වීරසූරිය ගීයක් ගායනා කළේ ය. මගේ මතකය නිවැරදි නම් ඒ, මා බාල කාලේ, අම්මාගේ උකුලේ නම් අපේ අම්මලා ගේ කාලයේ පැරණි ගීයයි.

මේ කාලයේ අප බොහෝ දෙනෙකු අවිවාහක තරුණයින් වූව ද, මට වඩා වසර කිහිපයකින් වැඩිමහලු වීරසූරිය ළඟදී විවාහ වූ තරුණයෙකු විය.

වීරසූරිය ගේ ගීතය අවසානයේ කිහිප දෙනෙකු කැ ගසා කීවේ, වීරේ තව සින්දුවක් කියපං කියා ය.

ඒ අතර එක මිතුරෙකු ඉල්ලුවේ, වීරේ සූරංගි එක්ක යුග ගීයක් කියන් කියායි. සුරංගි යනු වීරසූරියේ බිරිඳයි.

එයට පිළිතුරු ලෙස වීරසූරිය දුන්නේ අරුම පුදුම පිළිතුරකි.

"ආ, යුග දිවියක් කියන්න ඉතිං බැඳලා අඩු වශයෙන් අවුරුදු විසි පහක් යන්න ඕනෑ, නේ!"

සභාවේ සිනහව මැද එදා ඒ කතාව යට ගිය ද, පසු දින අප ඒ ගැන සාකච්ඡා කරද්දී තේරුණේ වීරසූරියට එක් වරක් නොව දෙවරක් ම සිංහල වැරදී ඇති බවයි.

මුලින් ම, ඔහු යුග ගීයක් යනු කුමක්දැයි නැවැරදිව නොදනියි. ඔහු සිතා ඇත්තේ යුග ගී ගයන්නේ සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි විජේබණ්ඩාර හෝ සනත් නන්දසිරි සහ මල්කාන්ති පීරිස් හෝ එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස් හෝ රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා හෝ දයාරත්න රණතුංග සහ අමරා හෝ පී එල් ඒ සෝමපාල සහ චිත්‍රා හෝ වැනි යුග දිවි ගත කරන විවාහකයින් බවයි.

වීරසූරියට සිදු වූ, ඊටත් වඩා බරපතල වැරදීම වූයේ, එලෙස යුග දිවියක් ගත කිරීම යනු, ඔහු සහ සුරංගි මෙන් අලුත බැන්ද යුවලක් නොකරන, විවාහ වී වසර විසිපහක් ගත කළ අය කරන අමුතු ආකාරයේ කාර්යක් බව සිතීමයි!

කෙසේ වෙතත්, අද මැයි මස විසි අටවෙනිදා තම විවාහයේ විසිපස්වෙනි සංවත්සරය සමරන යුවළක් වෙතොත් සහ ඒ සැමියා තම බිරිඳ පිළිබඳව කවියෙන් වර්ණනාවක් කළහොත් එය මෙන්න මේ ආකාරයේ වෙනු ඇතැයි මම සිතමි.

නෙත ගැටුන දා අවුරුදු ගණනකට පෙර
වත මදහස දිටිමි පෙර නොම දුටු අයුර
සිත මා සසල විය හදවත කර විවර
කත ඔබ මගෙ ම බව දැන ගත්තෙමි එවර

යා දෙක රත ය පෑහීමේ කිම අරුම
මා දිවි සුවඳ ඔබගෙයි මට නැත උරුම
බාධක මැදින් ආවෙමු මේ මුළු දුර ම
ආදර සොඳුර කුසුමකි ඔබ සැම දින ම

දින පෙර ලෙසින හෙට දිනයෙ ද පෙම් කරමු
යන දිනයක එකට අපි දෙව්ලොවට යමු
පින ගෙවුණ දා ආපහු මනුලොවට එමු
පණ ඇති තුරා යළි යළි සසරේ බැඳෙමු!


හෙට අනිද්දා විවාහ වීමට නියමිත සහෘද බ්ලොග්කරුවන් වන කසුන් සහ නිර්මාණී යුවලට ද, බ්ලොග් ලෝකයේ සියලුම විවාහකයින්ට ද වාසනාවන්ත යුග දිවියක් වේවායි පතමි.

-රසිකොලොජිස්ට්

(image: http://www.gefier.com/personalized-rings/925-sterling-silver-couple-rings-couple-rings-wedding-ring-60600.html)

Wednesday, 17 May 2017

සටනින් අද මා දිනුවා : self-satisfaction


"සටනින් අද මා දිනුවා" යන යෙදුම, නිමල් මෙන්ඩිස් ගේ තනුවක් සඳහා ඔගස්ටස් විනයාගරත්නම් ලියා අමරදේව ගායනා කළ නිම් හිම් සෙව්වා මා සසරේ යන ගීයේ අවසාන පදයයි. මගේ ප්‍රියතම ගීතයක් වන එය, ලංකා ඉන්දියානු සම නිෂ්පාදනයක් වූ මනික් සන්ද්‍රසාගර ගේ "සීතා දේවී" චිත්‍රපටයේ ඇතුළත් වූවකි.

ප්‍රියතම ගීත අතරින් එකක් නොවුනද, මා කැමති තවත් ගී පදයක් නම් "සිත හීලෑ නෑ, හරිම මුරංඩුයි තැන තැන ඇවිදිනවා!" යන්නයි. ඒ මගේ "දූර ගමං, ඒක චරං" සිත පාලනය කිරීම ඇතැම් වෙලාවට මට අසීරු නිසා ය.

උදාහරණයක් ලෙස කිවහොත්, උදෑසන දුම්රියට ගොඩ වී පරිගණකය දිග හැර රසිකොලොජි බ්ලොගය සඳහා යම් කරුණක් පිළිබඳව ලිපියක් ලිවීම ඇරඹුව ද, දූරං ගමං, ඒක චරං සිත නිසා, බොහෝ විට අවසානයේ ලියවෙන්නේ මුල් මාත්‍යකාවට යාන්තමින් ගෑවෙන වෙනත් දෙයකි.

මෙය මට පමණක් නොව තවත් බ්ලොග්කරුවන්ට ඇති ප්‍රශ්නයක් යැයි සිතමි. "පදුර වටේ කොටනවා!" යන ආදරණීය වදන් පෙළින් හැඳින්වෙන්නේ මෙයයි. නමුත්, රසිකොලොජියේ සටහන් කිසි විටකත් "පදුරු කෙටීම්" නොවන්නේ මා ඒ සටහන් කොටස් වශයෙන් වෙන් වෙන්ව කියවීමට හැකි ලෙස සකසා පළ කරන නිසා ය.

ඒ එක උදාහරණයක් පමණි. සිත හීලෑ නැති විම, දෛනික ජීවිතයේ විවිධ කාරණා කෙරෙහි අනිසි ලෙස බලපෑමට ඉඩ ඇත. එනිසා, සිත හීලෑ කර ගැනීම මට නම් අත්‍යවශ්‍ය කරුණකි.

සමහරු මේ සඳහා භාවනාව සුදුසු යැයි යෝජනා කරති. වෙනත් ක්‍රම ද තිබිය හැක.

පසුගිය මාසය තුළ මම මා සමගම සටනක නිරත වුණෙමි.

එය නම්, මේ වන විට "එහෙන් මෙහෙන්" (occasional bloggers) බ්ලොග්කරුවන් වන ඉන්දික කොඩිතුවක්කු සහ දුෂාන් කරවිට විසින් ආරම්භ කර මෙවර අති සාර්ථක තුන්වෙනි වසරේ පැවැත්වුණු බ්ලොග් වසන්තය සඳහා මගේ උපරිම සහයෝගය දීම සඳහා දිනකට එක් බ්ලොග් සටහනක් පළ කරමි! යනුවෙන් මා මට ම කරගත් අභියෝගය ජයගැනීමේ සටනයි.

බ්ලොග් වසන්තය ඇරඹුණු අප්‍රියෙල් දාහත් වෙනිදා සිට අභියෝගය සමතික්‍රමණය කරමින් දිනපතා ලිපියක් පළ කළ මම, අවසාන සතියේ මගේ ම අභියෝගය මා ම සුනුවිසුනු කරමින්, දිනකට ලිපි දෙකක් බැගින් පළ කළෙමි.

සටනින් අද මා දිනුවා!

මා ලියූ ලිපි තිස් හතේ ලයිස්තුව මෙසේ ය. මේ වර්ගීකරණය මගේ ය.

මෙන්න බ්ලොග් වසන්තය 2017 සඳහා මා ලියා පළ කළ ලිපි:

1. අතීතකාමය හෙවත් කුමර දිවිය

1.1. ලොවි බිස්නස්, හොඳ බිස්නස් - A strong link in the supply chain
https://rasikalogy.blogspot.com.au/2017/04/strong-link-in-supply-chain.html


1.2. පොඩි ළමයෙකු ලියූ ලොවි කවිය! - Childish?
https://rasikalogy.blogspot.com/2017/04/childish.html


1.3. ලොවි ගහෙන් වැටීම - නොකී කතාවකි! - All revealed, nothing left untold
https://rasikalogy.blogspot.com/2017/04/all-revealed-nothing-left-untold.html


1.4. සිගරැට් බීම - Who else hates smoking?
https://rasikalogy.blogspot.com/2017/05/who-else-hates-smoking.html


1.5. තාත්තා ගේ දුරාචාරය - One bad habit
https://rasikalogy.blogspot.com/2017/05/one-bad-habit.html


1.6. මල් කුමාරයා - Oh, no!
http://rasikalogy.blogspot.com/2017/05/oh-no.html



2. එදිනෙදා ජීවන සටහන්

2.1 නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html


2.2 කොහෙන් ආපු ඉන්දියන්කාරයෙක් ද මූ? - Being a foreigner in Sri Lanka
https://rasikalogy.blogspot.com/2017/04/being-foreigner-in-sri-lanka.html


2.3 උසස් පෙළ විභාග හොර වැඩ - Exam fraud unique style
https://rasikalogy.blogspot.com/2017/04/exam-fraud-unique-style.html


2.4 ලෙක්චර්ස් කට් වීම! - Lecturer no show - First case report
https://rasikalogy.blogspot.com/2017/05/lecturer-no-show-first-case-report.html


2.5 හිරිමල් වයස හෙවත් දාසයයි මාසයයි - Fatherly thoughts
https://rasikalogy.blogspot.com/2017/05/fatherly-thoughts.html


2.6 මටත් වෙන වැඩ නොහොත් නෝබොඩීස් ඩේ - Nobody's day
https://rasikalogy.blogspot.com/2017/05/nobodys-day.html


2.7 ඉඳිආප්ප ගෑරුප්පුවෙන් කෑවෙමි - String hoppers from Toongabie
https://rasikalogy.blogspot.com/2017/05/string-hoppers-from-toongabie.html


2.8 මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා - Jokes apart
https://rasikalogy.blogspot.com/2017/05/jokes-apart.html



3. සමාජ විමර්ශන

3.1 තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html


3.2 කුණු සහ නොකුණු (මේ ලිපියේ අමුතු දෙයක් නැත!) - Rubbish must be garbaged
https://rasikalogy.blogspot.com/2017/04/rubbish-must-be-garbaged.html


3.3 බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history
https://rasikalogy.blogspot.com/2017/04/part-of-my-family-history.html



4. ආගම් පිළිබඳ මගේ අදහස්

4.1 මනුසතා සහ බෝසතා - Not just about you and me, mate!
https://rasikalogy.blogspot.com/2017/04/not-just-about-you-and-me-mate.html


4.2 බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? :: Self-critisism Vs criticising others
https://rasikalogy.blogspot.com/2017/04/self-critisism-vs-criticising-others.html


4.3 ජේතවනේ කුණු කන්දල් - Freedom of expression of artistes and of those who are against them
https://rasikalogy.blogspot.com/2017/05/freedom-of-expression-of-artistes-and.html


4.4 උප්පැන්න සහතිකේ බුද්ධාගම්කාරයෝ? - What a joke?
https://rasikalogy.blogspot.com/2017/05/what-joke.html


4.5 චූ ක්‍රිස්තු සහ මතභේදයට තුඩු දුන් වෙනත් කලා නිර්මාණ - Shock art
https://rasikalogy.blogspot.com/2017/05/shock-art.html



5. සහෝදර බ්ලොග්කරුවන් පිළිබඳ සටහන්

5.1 වසන්තයේ පියඹා ආ ඇට මැස්සා - Welcome back Gadfly
http://rasikalogy.blogspot.com/2017/04/welcome-back-gadfly.html


5.2 විචාරක බ්ලොග්කරුවා ගේ මරණය - Some day we will all die!
https://rasikalogy.blogspot.com/2017/04/some-day-we-will-all-die.html


5.3 විචාරක බ්ලොග්කරුවා සහ මා අතර ඇතිවුණු වලිය ගැන සටහනක් - Storm in a Teacup
http://rasikalogy.blogspot.com/2017/05/storm-in-teacup.html



6. මෑත ඉතිහාසය

6.1 මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!
https://rasikalogy.blogspot.com/2017/04/it-all-about-education-stupid.html



7. කාලීන සටහන් (වෙසක්)

7.1 ඔළු බක්කන් නැටවීම – අද නොවෙයි හෙට! :: Preethi Vesak
http://rasikalogy.blogspot.com/2017/05/preethi-vesak.html


7.2 අබුද්දස්ස කාලේ, වෙසක් කූඩු හදමු රාලේ :: Post modern Vesak
https://rasikalogy.blogspot.com/2017/05/post-modern-vesak.html


7.3 ඔළු බක්කන් නැටවීම තහනම් - Ban on "big headed" people
https://rasikalogy.blogspot.com/2017/05/ban-on-big-headed-people.html



8. දේශපාලන මළකෝලං!

8.1
එක පවුලේ සමාජවාදය නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ ලොකු අයියලා සහ චුට්ටං මල්ලිලා - All JVPers are equal but some JVPers are more equal (and bigger) than others
https://rasikalogy.blogspot.com/2017/05/all-jvpers-are-equal-but-some-jvpers.html


8.2 ලංකාවේ දේශපාලන පක්‍ෂවල මදර්ස් ඩේ පණිවිඩ - Mothers day messages sent by Lankan political parties
http://rasikalogy.blogspot.com/2017/05/mothers-day-messages-sent-by-lankan.html



9. සිංහල භාෂාව සහ ලේඛන කලාව

9.1 ඇත්ත කතා සහ නිර්මාණ - Can I write a novel?
https://rasikalogy.blogspot.com/2017/05/can-i-write-novel.html


9.2 "ඊ-ෆැක් මෙමොරීස්" පොතේ නිධාන කතාව - Good memories and not so good memories!
https://rasikalogy.blogspot.com/2017/05/good-memories-and-not-so-good-memories.html


9.3 වෙසක් එක? - WTH?
https://rasikalogy.blogspot.com.au/2017/05/wth.html


9.4 දද, දද, දද, දද, දද - Homonyms or synonyms?
http://rasikalogy.blogspot.com/2017/05/homonyms-or-synonyms.html


9.5 දිද්දෙණියේ දර්මදාස - Grade four memories
http://rasikalogy.blogspot.com/2017/05/grade-four-memories.html


9.6 උපන් දා සිට අවුල් වෙන දිනය දක්වා...! - Martin Wickramasinghe or Aruna Perera, the choice is mine!
http://rasikalogy.blogspot.com/2017/05/martin-wickramasinghe-or-aruna-perera.html


සැමට ජයවේවා.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා රසිකොලොජියේ ලියා පළ කළ ඉහත ලිපි තිස් හතට අමතරව තවත් ලිපි රාශියක් 2017 බ්ලොග් වසන්තය සඳහා ලියවුණි. ඒ ලිපි කියවීමටත්, ඔබ කැමති ලිපි සඳහා මනාපය පළ කිරීමටත් පහත බ්ලොග් පිටුවෙන් ඔබට හැකිවෙනු ඇත.

http://upashantha.blogspot.com/2017/05/2017.html

ස්තුතියි.

(image: http://www.cianellistudios.com/blog/tag/abstract-art-prints/)

Tuesday, 9 May 2017

හිරිමල් වයස හෙවත් දාසයයි මාසයයි - Fatherly thoughts


මගේ ජීවිතයේ දාසයවෙනි උපන්දින සැමරුම උදාවෙන විට මා ඉගෙනුම ලබමින් සිටියේ මා "සිව් වසරක් ගත කළ මරදානේ" ආනන්ද විද්‍යාලයේ එකොළොස්වෙනි ශ්‍රේණියේ ය.

කාලයත් සමග සියල්ල වෙනස් වුව ද, ඒ දිනවල අපේ පවුල්වල උපන්දින සැමරීමට උත්සව පැවැත්වීමක් නොවුණි. මට මතක ඇති කාලයේ සිට වසරකට වරක් එළැඹෙන ඒ උපන් දිනය ද, ජීවිතයේ තවත් එක් දවසක් පමණක් විය.

නමුත්, මා අටවෙනි ශ්‍රේණියේ සිටි කාලයේ දී පමණ එකල ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ශාලාවක සති අන්තයේ සෙනසුරාදා දිනවල පැවත්වුණු කුකරි පන්තියකට ගොස් කේක් සෑදීමට ඉගෙන ගත් අපේ අම්මා, මල්ලිලා දෙදෙනාගේත්, මගේත් උපන්දින සැමරීමට ඩේට් කේක් නම්, සාමාන්‍ය බටර් කේක්වලට වඩා ඉතා රසවත්, කේක් වර්ගයෙන් කිලෝවක පමණ කේක් ගෙඩියක් සාදන්නට පටන් ගත්තා ය.

නමුත් ඉටිපන්දම් පත්තු කිරීමක් හෝ "හැපි බර්ත්ඩේ ටූ යූ!" ගීය ගායනා කිරීමක් හෝ කිසි දිනෙක සිදු නොවුණි.

මේ අතීතාවර්ජනය නිතැතින් ම සිදුවුණේ, අදට යෙදෙන අපේ පුතා ගේ උපන් දිනය සඳහා සටහනක් ලිවිය යුතු යැයි සිතට ආ මොහොතේ ය.

අද එළැඹෙන්නේ ඔහු ගේ ජීවිතයේ දහසයවෙනි උපන්දින සැමරුම යි. හෙට සිට අපේ පුත්‍රයා, ජීවිතයේ දාහත්වෙනි වසර අරඹයි.

පුතා ගේ පහළොස්වෙනි උපන් දින සැමරුම දා මා රසිකොලොජියේ පළ කළ "පුතාගෙන් අතීතය දැකීම - Back to the future" ලිපියේ මා සඳහන් කළේ ඔහු පොත් කියවීම අඩු බවයි. ඒ දියණිය සම වයසේ දී කළ කී දෑ පිළිබඳ මතකය අනුව කළ සංසන්දනාත්මක නිරීක්‍ෂණයකි. නමුත්, පුතා ගේ පරම්පරාවේ හිරිමල් තරුණ තරුණියන් අද ගත කරන්නේ මුද්‍රිත පොත් කියවන, පෑනෙන් අකුරු ලියන යුගයක් නොවන බව ද මම ඒ සටහනේ සඳහන් කළෙමි.

තමන් උපන් ඕස්ටේ‍ර්ලියානු ප්‍රාන්තයෙන් වෙනත් ප්‍රාන්තයකට දෙමව්පියන් සමග පදිංචිය වෙනස් කරන්නට සිදුවුණු නිසා, අවුරුදු හතරහමාරෙන් 2006 ජනවාරියේ දී පාසල් යෑමට වරම් ලද, අපේ පුතා, මේ ගෙවන්නේ පාසල් දිවියේ දොළොස් වෙනි වසරයි.

එනම්, ඔහු දැන් ඉගෙනුම ලබන්නේ එකොළොස් වෙනි ශ්‍රේණියේ ය. ලබන වසර අවසානයේ ඔහු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටිනු ඇත.

අධ්‍යාපනයේ අරමුණ යනු ඉහළ විභාග ප්‍රතිඵල ලැබීම නොවන බව කට කැඩෙන තුරු විවිධ ප්‍රාඥයින් ප්‍රකාශ කළ ද, ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ කුමක් දැයි අපි හොඳින් දනිමු.

මගේ පාසල් ජීවිතයේ දී මුහුණ දුන් විභාගවලදී මා හොඳම ලකුණු ලබ ගත්තේ පහේ පන්තියේ දී ය. එතැන් සිට උසස් පෙළ දක්වා මා කළේ 87% සිට 69.25% දක්වා මහා පල්ලම් බැසීමකි.

මා මුහුණ දුන් ඒ පහේ පන්තියේ විභාගයට සමාන විභාගයේ දී අපේ පුතා ලබා ගත්තේ ලකුණු 69.67% පමණකි. නමුත්, එතැන් සිට ඔහු කළේ තාත්තා මෙන් පල්ලම් බැසීමක් නොව මහා කන්දක් නැගීම ඇරඹීමයි.

ඒ ගමනේ විවිධ සලකුණු දැන් දැන් විද්‍යාමානවෙමින් පවතී.

ඊයේ ලැබුණු පුවතකින් කියවුණේ ඔහු ඉගෙන ගන්නා එක් විෂයයක් සඳහා පසුගිය දිනවල පැවති වාර පරීක්‍ෂණයේ දී පුතා ශ්‍රේණියේ ඉහළම ලකුණු ලබා ඇති බවයි.

ඒ ඇසූ මගේ දෙනෙත පවා සංවේදී විය!

-රසිකොලොජිස්ට්

Thursday, 23 June 2016

කවුද, කොහේද, මොනවාද? - Who, where, what of Rasikology


මේ සටහන තබන්නට සිතුණේ, පෙරේදා මගේ මේ රසිකොලොජි බ්ලොගය යම් කිසි වැදගත් කඩඉමක් පසු කළ නිසා ය. මා ලියන්නට යන්නේ මූලිකවම රසිකොලොජි බ්ලොගය ගැන නමුත්, ලියවීමට නියමිත කරුණුවල පොදු වැදගත්කමක් ද තිබේ යැයි හඟිමි.

මා රසිකොලොජිය ඇරඹූයේ මගේ උපන්දින සංවත්සරය යෙදී තිබුණු 2014 ඔක්තෝබර් 27 වෙනිදා ය. බ්ලොගයක් අරඹන්නේ අත ලෙව කන්නට නොවේ. තමන් ලියන ලිපි හෝ වෙනත් නිර්මාණ එහි පළ කර, ඒවා අනෙක් අය හා බෙදා ගැනීමටයි. එය ලිවීමට දැඩි ආශාවක් ඇති මා වැන්නෙකුට ඉතාම වැදගත් කාරණයකි. මා ලියූ දේ කියවන අය ද එයින් යම් සතුටක්, වින්දනයක් ලබයි නම් එය සැම විටම මට ප්‍රසාද දීමනාවක් නොහොත් බෝනසයක් ම වේ.

තමන් ගේ බ්ලොගය වැඩි පිරිසක ගේ නෙත ගැටීමට සැලැස්වීම, ලේඛකයාගේ වගකීමයි. ඒ ආකාරයට කරන ප්‍රචාරය කිසිසේත් ම ලැජ්ජාවට කාරණයක් නොවේ.

නමුත්, අප සියලු දෙනාම, ජීවිත අරගලයට උර දී ඉතිරිවෙන කාලයේ බ්ලොග් කෙරුවාව කරන නිසා, පෙර කී ප්‍රචාරය සඳහා වැය කළ හැකි කාලය ඉතා අවම වේ. අපේ පාඨකයින් යනු කවුරුන් ද, ඔවුන් හා සම්බන්ධ කාරණා කවරේ ද යන්න ගැන දත්ත සොයා ඉඳහිට හෝ යම් විශ්ලේෂණයක් කිරීම වැදගත් වන්නේ එනිසා ය.

බ්ලොගයට අදාළ විශාල වපසරියක විහිදුණු මූලික දත්ත සෑහෙන ප්‍රමාණයක් බ්ලොගර් සේවාව විසින් ලබා දේ. වර්ඩ්ප්‍රෙස් සේවයේ ද, මේ පහසුකම තිබේ යැයි සිතමි. බ්ලොගර් සේවාව සපයන ගූගල් සමාගම මගින් ගුගල් ඇනලිටික්ස් නම් බ්ලොග් පිළිබඳ දත්ත සපයන සේවයක් ද ඇති නමුත්, මා රසිකොලොජිය සඳහා එය යොදා ගෙන නැත.

පහත විශ්ලේෂණය මුළුමනින් ම පදනම් වී ඇත්තේ, බ්ලොගර් සේවාවෙන් සැපයෙන මූලික දත්ත අනුසාරයෙනි.

"ඇනෝනිමස් කමෙන්ට්කරුවන්ව නිශ්චිත ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය ජෝ බ්ලොග්ලාට හැකිද?" යන මැයෙන් ලියවුණු පසුගිය රසිකොලොජි ලිපියත් සමගම මා පසු කළේ රසිකොලොජියේ තුන්සියවෙනි ලිපිය පළ කිරීමේ කඩඉමයි.

මෙන්න මුලික දත්ත.

ලිපි සංඛ්‍යාව = 300
පිටු නැරඹීම් = 304,652 (සාමාන්‍යය 1015)
ප්‍රතිචාර සහ පිළිතුරු = 12.515 (සාමාන්‍යය 42)

රසිකොලොජිය කියවන්නට වැඩිම පිරිසක් (52%) පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. රුසියාවෙන් පැමිණ ඇත්තේ නම්, සයිබර් බොට්ලා විය යුතුය. සමස්ත බෙදීයාම පහත දැක්වේ. මේ දත්තවල නිවැරදිකම ගැන කුඩා කුකුසක් ද ඇති බව කිව යුතුය.



බ්ලොග් සින්ඩිකේටර් සහ වෙනත් සේවා පිළිබඳව සැලකුවහොත් පාඨකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ෆේස්බුක් හරහාය. ලාංකීය සින්ඩිය ඊළඟට එයි. මාතලන් ගේ සින්ඩිය ද, මගේ බ්ලොගයට පාඨකයින් ගෙන ඒමෙන් මහත් සේවාවක් සපයයි. හැලපකඩේ බ්ලොගයෙන් මෙහි එතැයි දැක්වෙන සංඛ්‍යාව හැලපේ ගේ කියවීම් පමණක් නොවේ යැයි සිතමි.



රසිකොලොජියේ පිටු නැරඹීම් වැඩිම ප්‍රමාණය ලැබෙන්නේ එක්කෝ තම තමන්ගේ රීඩර් හරහා කෙළින්ම මෙහි එන, නැතිනම් මෙහි පැමිණි පසු රසිකොලොජිය සිසාරා ලිපි කියවන අය නිසා විය යුතුයි.

බ්ලොගර් සේවාව විසින් මේ සංඛ්‍යා පිටු නැරඹීම් ලෙස හැඳින්වූවද, මේවා ඇත්තටම මවුස් ක්ලික් සංඛ්‍යාව කියා ද, පාඨකයෙකු මා කියවන බ්ලොග් හරහා වෙනත් තැනකට යන විටද එය පිටු නැරඹීමක් ලෙස සනිටුහන් වෙතැයි ද සිතමි.

පාඨකයින් භාවිතා කරන වෙබ් බ්‍රව්සරය පිළිබඳ බැලීමේදී පෙනී යන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම ඒ අතින් කෙතරම් පසු පසින් සිටින්නේ ද යන්නයි.



නමුත් මෙහෙයුම් පද්ධති ගැන සලකන විට ලිනක්ස්ලා, යුනික්ස්ලා සිටින්නේ මයික්‍රොසොෆ්ට්ලාට ගව් ගණනක් පසු පසිනි.



මෑතකදී මා ලැබූ අත්දැකීමක් නම්, බ්ලොග් කියවීමට ෆේස්බුක් හරහා පැමිණෙන පිරිස ක්‍රමයෙන් වැඩි වෙන බවයි. ඒ තත්වය උදාවෙන්නේ මා විසින් ෆේස්බුක් ජාලයේ යොදන සටහනකින් පසු එය දකින අය එය තමන් ගේ මිතුරන් අතරේ බෙදා ගෙන බෝ කිරීම නිසා ය. එසේ බෝවන්නේ මා වැඩි පිරිසක් කියවතොත් හොඳයැයි සිතන ලිපි නොවේ. මා ලියා පළ කළ ලිපි තුන්සීයෙන් ජනප්‍රියතම ලිපි දහය දෙස බැලීමෙන් පමණක් ඒ බව පැහැදිලි වෙනු ඇත.

-රසිකොලොජිස්ට්

Tuesday, 21 June 2016

ඇනෝනිමස් කමෙන්ට්කරුවන්ව නිශ්චිත ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය ජෝ බ්ලොග්ලාට හැකිද? - I know only a little


මා මේ පහත ලියා ඇති කරුණු මෙලෙස ගොනු කරන්නට ආසන්නතම හේතුව වූ සිංහල බ්ලොග් ලෝකය නම් තේ කෝප්පයේ පැවති චූට්ටං සුළි සුළඟ දැන් පහව ගොස් ඇති බව, මා ඒ ගැන ලිපියක් ලියා පළ කළ පසු, අදාළ පුද්ගලයින් විසින් ප්‍රසිද්ධ කමෙන්ටු මගින් මට (සහ අනෙකුත් පාඨකයින්ට) දැනුම් දී ඇත. පසුව ඊමේල් මගින් ද මා ඒ බව සැක හැර දැන ගත්තෙමි. ඒ වුවත්, මේ පහත සඳහන් කරුණුවල කොයි කාට හෝ කිසියම් වැදගත්කමක් තියෙන්නට ඇතැයි සිතෙන නිසා, පැය දෙකක් පමණ වැය කර මේ ලියූ දේ, ඕ.පු. කියා පළ කරන්නට සිතුවෙමි.

ඇනෝනිමස් කමෙන්ට්කරුවන්ව නිශ්චිත ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය ජෝ බ්ලොග්ලාට හැකිද? යන ප්‍රස්තූත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර නම් නොහැකි ය යන්නයි.

දැන්, දිගු කලකට කලින් වසර දෙක තුනක කෙටි කාලයක් වෙබ් අඩවි නිපදවීම පිළිබඳව රැකියාව ලෙස අණ්ඩර දුන් කාලයේ මා දැන සිටි කරුණු අරික්කාලෙන් දැන් මතකයේ ඇති හින්නිකිත්තර ද, මීට වසර එකොළහකට පෙර බ්ලොග් ලෝකයට පිවිස, විශේෂයෙන් පසුගිය වසර හත තුළ දී මා ලැබූ අත්දැකීම් ද අනුසාරයෙන් එසේ නොහැක්කේ ඇයි දැයි යන්න සාමාන්‍ය ලෙස පැහැදිලි කරන්නට මම මෙහදී අදහස් කරමි.

ඕනෑම පරිගණකයක් හෝ වෙනත් එවැනි උපකරණයක් ඉන්ටර්නෙටයට සම්බන්ධ වී ඇති නම්, ඒ සඳහා අයීපී ඇඩ්රස් නමින් හැඳින්වෙන අසමසම (එනම් යුනීක්) අංකයක් පැවරී ඇත. ඒ උපකරණයේ සිට ඉන්ටර්නෙටයට කෙරෙන සෑම උඩුගත කිරීම් සහ බාගත කිරීම් සම්බන්ධතාවයක ම ඒ ඉන්ටර්නෙට් ලිපිනය හෙවත් අයීපී ඇඩ්රසය ලියවෙනු ඇත.

එසේම, අපේ බ්ලොගයකට කිසිවෙකු පැමිණෙන හැම විටකම ඒ පුද්ගලයා ඒ සඳහා භාවිතා කරන උපකරණයට පැවරී ඇති ඉන්ටර්නෙට් ලිපිනය අපේ බ්ලොගය දිවෙන සර්වරයේ සනිටුහන් වේ. ඒ ලිපිනයන් බ්ලොගර් සේවාව අපට ලබා නොදුන්නත් (වර්ඩ්ප්‍රෙස් හි තත්වය කුමක්දැයි නොදනිමි), ස්ටැට්කවුන්ටර් වැනි තෙවන පාර්ශවයක මෙවලමක් භාවිතාවෙන් අපට මේ ඉන්ටර්නෙට් ලිපිනයන් බොහෝ විට සොයා ගත හැක.

උදාහරණයක් ලෙස මා නිවසේ සිට හෝ ජංගම දුරකථනය හරහා කාගේ හෝ බ්ලොගයක කමෙන්ටුවක් දැමූ විට එය පෙන්වනු ඇත්තේ නිවසේ දී නම් ටෙල්ස්ට්‍රා සමාගම කියා ජංගමය හරහා නම් ඔප්ටස් සමාගම කියා වන අතර අදාළ ඉන්ටර්නෙට් ලිපිනය පරීක්‍ෂා කර බැලීමෙන් ද මේ බව තහවුරු කර ගත හැකි වෙනු ඇත.

දැන්, එලෙස අපේ බ්ලොගයකට පිවිසෙන්නෙකු ලිඛිතව එහි ප්‍රතිචාරයක් දැක්වූ විට, එනම් කමෙන්ට් කළ විට, එසේ කර ඇත්තේ නිශ්චිතව නම් කළ අනන්‍යතාවයක් සහිතව (ප්‍රොෆයිල්) නම්, ඒ අනන්‍යතාවය හිමි පුද්ගලයා භාවිතා කරන උපකරණයට ඒ මොහොතේ පැවරී ඇති ඉන්ටර්නෙට් ලිපිනය අපට බොහෝ විට සොයා ගත හැක.

මෙන්න ඒ සඳහා උදාහරණයක්.



මා පෙර පරිච්ඡේදයේ දී බොහෝ විට යනුවෙන් අදහස් කළේ, ස්ටැට්කවුන්ටර් වැනි සේවාවකින් වුව ද, සෑම විටම අදාළ ඉන්ටර්නෙට් ලිපිනය සොයා ගත නොහැකි අතර, එසේ සනිටුහන් කරගත් විස්තර වුව ද, වැඩි වේලා තබා නොගන්නා නිසයි.

දැන් ඒ මොහොතේ ම හෝ අදාළ ඉන්ටර්නෙට් සබැඳිය නොකැඩී තිබෙන කාලය ඇතුළත, මේ පුද්ගලයා අපේ බ්ලොගයේ ම ඇනෝනිමස් කමෙන්ටුවක් යෙදුවොත්, එවිට ඒ දෙවන කමෙන්ටුව යෙදුවේ පෙර කමෙන්ටුව ද යෙදූ නම් කළ අනන්‍යතාවය ඇති (ප්‍රොෆයිල්) පුද්ගලයා බව අපට සිතා ගත හැක.

අපේ පුද්ගලික ඉන්ටර්නෙට් සේවා භාවිතයේ දී, අප පාවිච්චි කරන උපකරණයට මා පෙර කී ඉන්ටර්නෙට් ලිපිනය පැවරෙන්නේ ඉන්ටර්නෙට් සේවය මගිනි. මෙලෙස පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය බොහෝ විට ගතික හෙවත් වෙනස් වන එනම් තාවකාලික එකක් වේ. එනිසා, පසුදා හෝ මුල් සම්බන්ධය සිඳ නැවත මොහොතකට පසු හෝ සම්බන්ධ වූ විට හෝ අපේ උපකරණයට පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය පෙර අවස්ථාවේ දී පැවරී තිබුණු ලිපිනය නොවීමට සෑහෙන ඉඩක් ඇත.

ඒ සමගම, අප භාවිතා අද කරන උපකරණයට ඉන්ටර්නෙට් සේවා සපයන්නා විසින් පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය පසු හෝරාවක වෙනත් ග්‍රාහකයෙකුට පැවරෙන්නට ඉඩ තිබේ.

මා දන්නා පරිදි අපට අවශ්‍ය නම් වෙනස් නොවෙන ඉන්ටර්නෙට් ලිපිනයක් අපේ සේවා සපයන්නා ගෙන් ලබා ගත හැකිවේ. ඇතැම් කේබල් ඉන්ටර්නෙට් සේවාවල මේ පහසුකම අමතර ගෙවීමකින් තොරව සාමාන්‍ය සේවයේ කොටසක් ලෙස තිනෙබ බව පෙනේ. එනම් අපේ සමහර පාඨකයින්ට එක්කෝ ස්ථිර ඉන්ටර්නෙට් ලිපින තිබේ නැතිනම් එකම ලිපිනය බොහෝ විට පැවරේ.

එසේ නොමැති විට, අද අපට ලැබෙන කමෙන්ටුවක් ලැබී ඇත්තේ මෙන්න මේ ඉන්ටර්නෙට් ලිපිනය හිමි මෙන්න මේ අනන්‍යතාව සහිත පුද්ගලයාගෙන් බව දැන ගත්ත ද, එය තාවකාලික දැනුමක් පමණක් ම වේ.

ඊළගට අප සොයා ගන්නා අයිපී ඇඩ්‍රසයක් හෙවත් ඉන්ටර්නෙට් ලිපිනයක් කොයි භූගෝලීය ස්ථානයේ සිට පැමිණියේ ද යන්න අයිපී ට්‍රැකර් සේවාවක් මගින් සොයා ගත හැකි වුව ද, එහිදී අපට ලබා දෙන්නේ අදාළ ඉන්ටර්නෙට් සමාගමේ නිල ලිපිනයයි, නැතහොත් ඔවුන් ගේ සර්වරය හෝ දුරකථන හුවමාරුව පිහිටා ඇති ස්ථානයේ ලිපිනයයි.
අප වැනි සාමාන්‍ය ජෝ බ්ලොග් කෙනෙකුට එතැනින් නතර වීමට සිදුවේ.

ලංකාවෙන් රසිකොලොජියට පාඨක පිරිස් පැමිණෙන ඉන්ටර්නෙට් සේවා ලෙස මා හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් ඇක්සියාටා පීඑල්සී සහ මොබිටෙල් වැනි සමාගම් ය. සත්‍යය නම් මේවායේ සම්බන්ධතා ඕනෑම අයෙකුට ලබා ගත හැකි බවයි. මේ ආකාරයේ ඉන්ටර්නෙට් ලිපිනයක් පිළිබඳ සොයා බැලු විට එහි භූගෝලීය ලිපිනය ලෙස ලැබෙන්නේ එක්කෝ කොළඹ කොටුවේ තැනකි, නැතිනම්, වැලිමඩ වැනි ප්‍රදේශයක කඳු මුදුනක් බව මගේ සීමිත අත්දැකීමයි.

එතැනින් එහාට විමර්ශනය කිරීමට නම්, අදාළ ඉන්ටර්නෙට් සේවා සපයන්නා විසින් ඒ ඒ මොහොතේ කවර පාරිභෝගිකයාට කවර ඉන්ටර්නෙට් ලිපිනයන් ලබා දුන්නේදැයි විස්තර ඒ ආයතනයෙන් ලබා ගත යුතුවේ. එවැන්නක් කිරීමට අප වැනි සාමාන්‍ය ජෝ බ්ලොග්ස්ලාට නොහැකිය.

අපේ පුද්ගලික ඉන්ටර්නෙට් සේවා මගින් අපේ උපකරණවලට පවරන්නේ ගතික ඉන්ටර්නෙට් ලිපිනයන් මගින් සොයා ගත හැක්කේ ඒ සේවා සමාගම කවරෙක් ද යන්න පමණක් වුවද, විශාල පරිමාණයේ සමාගම්, රජයේ දෙපාර්තමේන්තු, විශ්ව විද්‍යාල වැනි ආයතන මගින් ලබාගෙන ඇති ඉන්ටර්නෙට් සම්බන්ධතා හරහා ඒ ආයතනවල සේවය කරන පිරිස් බ්ලොග් අඩවිවලට පිවිසෙන විට, ඔවුන් ගේ ඉන්ටර්නෙට් ලිපිනයේ ටෙලිෆෝන් සමාගමක නම නොව ආයතනයේ නම පෙන්වනු ඇත.

උදාහරණයක් ලෙස මා කාර්යාලයේ ඉන්ටර්නෙට් සම්බන්ධතාව භාවිතා කළහොත් අදාළ ලොග් සටහනේ අපේ සමාගමේ නම සඳහන් වෙනු ඇත හෝ සොයා ගත හැකි වෙනු ඇත. එසේ වෙතත්, ඒ ඒ අවස්ථාවලදී, එකම සමාගම් නම යටතේ වුවද, මට ලැබෙන්නේ විවිධ උපජාල (subnet) ලිපිනයන් සහ ස්ථාන නාම බව මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.

තවත් උදාහරණයක් ලෙස දේශකයා නම් සහෘද බ්ලොග්කරුවාගේ කමෙන්ටු ලැබෙන්නේ ඔහුගේ අන්වර්ථ නමින්ම කියවෙන පරිදි ලංකා ඇකඩමික් සහ රිසර්ච් නෙට්වර්ක් නම් විශ්ව විද්‍යාලවලට අදාළ අන්තර්ජාල සබ්න්ධතාවය හරහා ය. ඒ ඉන්ටර්නෙට් ලිපිනය පරීක්‍ෂා කිරීමෙන් ඔහු සේවය කරන්නේ කවර විශ්ව විද්‍යාලයෙන් ද කියා සොයා ගත හැක. නමුත්, ඒ විශ්ව විද්‍යාලයේ ම වෙනත් අයෙකු සඳහා ද ඒ ඉන්ටර්නෙට් ලිපිනයම වෙනත් අවස්ථාවක තිබිය හැකි බව මගේ අදහසයි. රාජ් නම් සහෘද බ්ලොග්කරුවාගේ කමෙන්ටු ලැබෙන රජයේ ඉන්ටර්නෙට් ජාලයෙන් පසු කලෙක යකා නමැති අයෙකුගේ කමෙන්ටු ලැබෙන්නට පටන් ගත්තේ ඒ ආකාරයට ය. යකා (නොහොත් මධ්‍යස්ථ මතධාරියා) ද සේවය කරන්නේ රජයේ පරිපාලනයට අදාළ ආයතනයක බව මම ක්‍ෂණයකින් තේරුම් ගතිමි.

දැන්, ඒ අනන්‍යතාවය සහිතවම නිර්නාමික කමෙන්ටුවක් මට ලැබුණා නම් (එසේ ලැබුණු බවක් මා කිසි දිනක දැක නැත!) ඒ රජා ද, යකා ද, මොකා ද කියා මට දැන ගන්නට කිසිදු ක්‍රමයක් නැත.

මගේ බ්ලොගයේ නිර්නාමික කමෙන්ටු යෙදුවේ කව්රුදැයි මා නිශ්චිතවම දැනගෙන ඇත්තේ දෙවතාවකි. මුල් වාරයේ දී අදාළ පුද්ගලයා මා ඔහුට කළ උදව්වක් ගැන ඉඟියක් කර තිබුණු බැවින්, මදක් කල්පනා කළ පසු ඒ කවුදැයි සිතා ගත හැකි විය. ඔහුම ඉන්පසු වෙනත් නිර්නාමික කමෙන්ටු යොදන්නට ඇත. නමුත් මා ඒ ගැන නිශ්විතවම නොදනිමි. ඒ පෙර සේ ඉඟි නොතිබුණු නිසා ය.

දෙවෙනි අවස්ථාවේ දී, අදාළ කමෙන්ටුව යෙදූ පුද්ගලයා එයම මට පුද්ගලිකව පණිවිඩයක් මගින් දැන්වීය. ඔහු තවමත් කලාතුරකින් එවැනි කමෙන්ටු යොදන අතර සෑම විටකම පාහේ මට දන්වයි. ඒ කමෙන්ටුවල වැඩි වරදක් මා නොදකින නිසා, ඒවා නිරුපද්‍රිතව පවතී.

ඒ හැර අන් සෑම අවස්ථාවක දී ම මට කළ හැක්කේ උපකල්පන පමණකි.

මීට අමතරව මා õ තරමක් දන්නා කරුණු කිහිපයක් ද මගේ පෙර ලිපියේ කමෙන්ටු ලෙස අජිත් ධර්මකීර්ති දක්වා තිබුණි. මේ කරුණු ගැන මා අසා තිබුණද, කිසි දිනෙක ඒවා භාවිතා කරන්නට මට අවස්ථාවක් උදා වී නැත.

1. මරා රෙජීමය යටතේ ලංකාව තුළ ඇතැම් ඉන්ටර්නෙට් හි දිවෙන ලංකානිවුස්වෙබ් වැනි ප්‍රවෘත්ති සේවා තහනම් කර තිබුණු සමයේ, ප්‍රොක්සි සර්වර් නමින් සරලව හැඳින්වුණු සේවා භාවිතයෙන් අදාළ ප්‍රවෘත්ති අඩවියේ සැබෑ අනන්‍යතාවය හෙවත් ඉන්ටර්නෙට් ලිපිනය ලංකාවේ සේවා සපයන ආයතනවලින් හංගා එහි පිවිසීමට ලංකා වැසියන්ට හැකියාව තිබුණි. තමන්ගේ අනන්‍යතාවය සැඟවීමට මෙවැනි සේවයක් මිල දී ගත හැකි යැයි සිතමි.

2. අපේ ජංගම දුරකථනවල ඇති සාමාන්‍ය බ්‍රව්සරයේ පවා, හඳුනාගත නොහැකි ආකාරයට (incognito) ඉන්ටර්නෙට් හි සැරිසැරීමට ක්‍රම සකසා ඇත.

3. ටොර් ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන සේවය මගින් අපට වෙනත් තෝරාගත් රටකයැයි හැඟෙන පරිදි ඉන්ටර්නෙට් ලිපිනයක් භාවිතා කළ හැකිය.

අවසාන වශයෙන් කිව යුත්තේ, මේ කරුණු සහ මා නොදන්නා නිසාම මෙහි සඳහන් නැති කරුණු ද අප දැනගැනීම වැදගත් බවයි. එහි බ්ලොග්කරුවන් දෙදෙනෙකු අතර ඇතිවෙන, පැය විසිහතරකින් නැතිවෙන තාවකාලික ආරෝවකට ඔබ්බෙන් වැදගත්කමක් ඇති බව මගේ හැඟීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
දිවයිනේ සියල්ල දත් මාජ්ජවේදී වර්ණකුලසූරිය මේ ලිපිය කියවූවොත්, මෙහි මාතෘකාවේ මා සඳහන් කර ඇති ජෝ බ්ලොග් (Joe Bloggs) නමැත්තා බටහිර රටක බ්ලොග් කියන්නෙකු ලෙස හඳුනා ගනු ඇත!

ප/ප/ලි:
දේවදත්ත විසින් ඇනෝනිමස් කමෙන්ට්කරුවන් ැගන කියන ලද ට්වින් ගාථා සැට් එක මෙසේ ය.

1.
ඇනෝ පුබ්බංගමා ආමා
ඇනෝ සෙට්ටා ඇනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝනං ශ්වෙත මංවේතී
චක්කංච වෑනෝ පදං

ඒ කියන්නේ කොහොම පුම්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලාම ය. අයහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සුදු වෑන් රෝද මෙන් පසුපස එනු ඇත.

2.
ඇනෝ පුබ්බංගමා ආමා
ඇනෝ සෙට්ටා ඇනෝමයා
මනසා චෙ පසන්නේන
භාසතිවා කරෝතිවා
තතෝනං සුඛ මංවේතී
ඡායාව අනපායිනී

ඒ කියන්නේ කොහොම පුබම්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලාම ය. යහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සෙවනැල්ල මෙන් පසුපස එනු ඇත.

අද කමෙන්ටු පල වෙනු ඇත්තේ පරීක්‍ෂා කිරීමෙන් පසුවය.

(Image: From Google - Cannot visit site)

Sunday, 12 June 2016

හතළිහ පැනීමත් පැනිල්ලක් ද? - Notes from yesteryears


හතළිහ පැනීම යනු කිසිසේත් ම ජීවිතේ අඩක් ගෙවුණා ය කියා මා අද සලකන කඩ-ඉමක් නම් නොවේ. මක්නිසා ද යත්, දැන් මගේ අරමුණ වී ඇත්තේ අවුරුදු සීයක් ජීවත් වීමයි.

නමුත්, එදා මට එවැනි අරමුණක් නොතිබුණු නිසා දෝ හතළිහ පැනපු මොහොතේ මගේ පපුව හෝස් ගා ගියේය.

මේ ඒ දිනවල මගේ සටහන් පොතේ කුරුටු ගා ඇති වචන කිහිපයකි.

මේවා, කැමැති නම්, මාතලන් විසින් හඳුන්වා දී ඇති හබරල කවි ලෙස ද සැලකිය හැකි ආකාරයේ ඒවා ය.

1.
දිගු නින්දකට පසු
හදිසියේ
ඇස් ඇර බලද්දී
ජීවිතයේ තෙවසරක්
නැතිවෙලා!

2.
මොහොතින් මොහොත කාලය ගත වෙලා ගියේ
අඩක් ගෙවී අවසානයි ජීවිතයේ
ඒ ගෙවුණේ
හොඳ බාගෙ ද
අනිත් බාගෙ ද?

3.
අවූරුදු හතළිහක්
යනු
දිගු කාලයක් නොවේ.
මා උපන් දා සිට හැම දිනයේ ම
සතයක් බැගින් එකතු කළා නම්,
අද මා ළඟ ඇත්තේ
රුපියල් 146 ක් පමණි.


-රසිකොලොජිස්ට්

ප/ලි:
ගිය වසරේ එළැඹුණු අපේ බ්ලොග්කරුවෙකු ගේ පනස්වෙනි උපන් දිනය වෙනුවෙන් මා ලියූ සටහනක් මෙන්න.
http://rasikalogy.blogspot.com/2015/09/w3lanka-hbd2u-apj.html

(image: http://a.tgcdn.net/images/products/zoom/eabe_half_full_optimist_glass.jpg)

Tuesday, 3 May 2016

දෙසිය පනස් හය - A magic number for some!


• එක තැන කොටු පනින සීමාසහිත බලතල ඇති රජෙක්,
• දස අත තම බලය පතුරවමින් සීමාරහිත දුව පනින රැජිනක්,
• රුවිතෙට ම යන පුජකයින්,
• අස්ස රේස් යමින් රජුගේ වුවත් හිසට උඩින් පනින්නට මැලි නොවන ඇමතිලා
• හදිස්සියට රජුට සැඟවෙන්නට දෙකොනේ පිහිටි බලකොටු,
• රජාව රකින්නට මෝඩයින් මෙන් ඔහේ ඉස්සරහට ගොස් මැරුම් කන භටයින්

ඒ විස්තරය කියවන විට ඔබට කුමක් සිහිවේදැයි මම නොදනිමි.

මට නම් සිහිවෙන්නේ චෙස් ක්‍රීඩා පුවරුවයි.

අපි නොදන්න චෙස් යන්නෙන් ද කියවෙන පරිදි චෙස් යනු අප බොහෝ දෙනෙකු ක්‍රීඩා කිරීම කෙසේ වෙතත්, දන්නා, දැක ඇති ක්‍රීඩාවකි.

අද පවතින චෙස් ක්‍රීඩාවේ උපත යැයි සැලකෙන්නේ චතුරංග නමින් හැඳින්වෙන ඉන්දියානු ක්‍රීඩාවයි. චතුරංග ක්‍රීඩාව, අරාබිය සහ පර්සියාව හරහා යුරෝපයට ගොස් චෙස් යනුවෙන් වෙනස් වුණු බව කියවේ.

චතුරංග යන්නද ඊටත් වඩා පැරණි ක්‍රීඩාවකින් උපත ලැබුවා විය හැක. සමහරවිට ඒ මේ වන විට නින්දෙන් අවදි වී අදිසි වෙසින් ලොව සැරිසරන අපේ රාවණාධිරාජයා විසින් නිර්මාණය කරන ලද ක්‍රීඩාවකින් විය යුතුය.

කෙසේ වෙතත්, චතුරංග ක්‍රීඩාව, චෙස් දක්වා පරිවර්තනය වීමේ දී සිදුවී ඇති වෙනස්කම් අතර චතුරංග ක්‍රීඩාවේ සිටි චතුරංගනී සේනාව නියෝජනය කළ එක් බල ඇණියක් වූ ගජ (හෙවත් ඇතා) වෙනුවට බිෂොප් පැමිණීම, මන්ත්‍රී නොහොත් සේනාපති වෙනුවට රැජිනක් පැමිණීම සහ රථ හෙවත් රිය සේනාංකය නියෝජනය කිරීමට කාසල් හෙවත් බලකොටුවක් පැමිණීම කැපී පෙනේ. ද, අස් සේනාව නියෝජනය කරන ක්‍රීඩාංගයන් චෙස් ක්‍රීඩාවේ දී නයිට්ලා ලෙස බටහිරකරණය වී ඇත.

කෙසේ නමුත්, පාබල සේනාව නියෝජනය කරන භටයින් නම් එසේම ය. චෙස් ක්‍රීඩාවේදී භටයින්ව "පෝ(උ)ව්න්" (pawn) ලෙස හැඳින්වීම නම් බරපතල සරදමක් යැයි මට සිතේ. මට මෙහිදී සිහිවෙන්නේ අසූවේ දශකයේ දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සටන් පාඨයක් වූ "වර්ගවාදී යුද්ධයට එක සතයක් නොදෙනු, එක ඉත්තෙකු නොදෙනු" යන්නයි.

මේ චතුරංග පෙතේ උපත ගැන මා අසා ඇති පරණ කතාවක් තරමක් වෙනස් කර කියනවා නම් මෙසේ ය.

එක්තරා රජෙකුට තම විවේක කාලය විනෝදයෙන් ගත කිරීම පිණිස මේ චතුරංග පුවරුව නිර්මාණය කර ඇත්තේ එවකට සිටි නම නොදන්නා ගණිතඥයෙකු විසින් බව කියවේ.

මේ ක්‍රීඩාවෙන් සතුටට පත්වූ රජු, ගණිතඥයා අමතා පවසා ඇත්තේ ඒ නිර්මාණය වෙනුවෙන් ඕනෑම වස්තුවක් ඉල්ලන ලෙසයි.

ගණිතඥයා පවසා ඇත්තේ මෙයයි.

"රාජ්, මට මේ චතුරංග පෙතේ මුල් කොටුව වෙනුවෙන් රුපියලක් දෙන්න, දෙවෙනි කොටුව වෙනුවෙන් මුල් කොටුව මෙන් දෙගුණයක්, එනම්, රුපියල් දෙකක් දෙන්න. තුන්වෙනි කොටුව වෙනුවෙන් කලින් කොටුව වෙනුවෙන් දෙගුණයක්, එනම්, රුපියල් හතරක් දෙන්න. මේ ආකාරයට, චතුරංග පෙතේ හැම කොටුවක් වෙනුවෙන් ම ඊට කලින් කොටුවට දුන් මුදල මෙන් දෙගුණයක් දෙන්න හිටං!"

වැඩිදුර නොසිතු රජා කර ඇත්තේ ඒ ඉල්ලීම ඉටු කරන ලෙස, උගේ අප්පච්චීගෙන් ලැබුණු බූදලයක් වන, රාජ්‍ය භාණ්ඩාගාරයට අණ දීමයි.

චතුරංග පෙතේ කොටුවලින් අඩක් සඳහා ගෙවීම් කරන්නටත් පෙර, රජා ගේ භාණ්ඩාගාරය බංකොලොත් නොහොත් බෑන්ක්රප්ට් වුණු බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ සියල්ල මගේ මතකයට නැගුණේ රසිකොලොජියේ ලිපි දෙසිය පනහක් ලියා පළකිරීම ගැන මා ෆේස්බුක් අවකාශයේ කළ සටහනක් දැක, දෙසිය පනහට වඩා දෙසිය පනස් හය වැදගත් ඉලක්කමක් බව පෙන්වා ප්‍රතිචාරයක් තැබූ මා මිත්‍ර වසන්ත නිසාය.

ඒ 256 ඉලක්කම, එදා භාණ්ඩාගාරයේ නිලමෙලා චතුරංග පෙතේ දෙවෙනි පේළියේ මුල් කොටුව සඳහා තෑගි දෙන මොහොතේ දැන ගන්නට ඇත.

පරිගණක සැලසුම්වලට මූලික වුණු බූලියන් අංකනය, බිට්, බයිට්, දෙකේ ඉලක්කම සහ අටේ ඉලක්කම අතර ඇති සම්බන්ධතා නිසා 256 යනු පරිගණක ගැන ඉගෙන ඇති අයද අනිවාර්යෙන්ම හඳුනා ගන්නා අංකයකි.

ඇත්තටම, 256 යනු අපූරු ඉලක්කමකි.

එය අල්ලි සංඛ්‍යාවකි. එහි මූලය (16) ද අල්ලි සංඛ්‍යාවක් වන අතර, මූලයේ මූලය (4) ද එසේම වේ. එනිසා, 256 යනු සර්වසම්පූර්ණ අල්ලි සංඛ්‍යාවකි.

මෙය කියවන ගණිතඥයෝ සිටිත් නම් 256 අංකයේ වෙනත් ලක්‍ෂණයන් ද දක්වත්වා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ වසන්තයා නොව වෙනත් වසන්තයක් නිසා මා මේ ලියන ආකාරයට දිගටම ලියාගෙන ගියොත් 256, 512 අංකයන් නොව 1024 අංකය දැක ගැනීම වුව චෙස් අදිනවා මෙන් කිරිකජු වැඩක් වෙනු ඇත.



Tuesday, 29 March 2016

නෙළුම් යාය සම්මාන ප්‍රදාන උත්සවය පිළිබඳ මගේ සටහන - My highlights of the awards ceremony


නෙළුම් යාය උත්සවයට සහභාගී වෙන්නට මා තීරණය කළේ ඉතා හදිසියේ ය. ඒ තීරණයේ ආරම්භය වූයේ මා වෙනුවෙන් කිසිවෙකු මේ උත්සවයට සහභාගී කරන්නට හැකි දැයි ප්‍රධාන සංවිධායක විසින් එවන ලද පණිවිඩයකි. මට යම් කිසි ඉඟියක් එයින් ලැබුණි.

මුලින් ම මා සිතුවේ මා වෙනුවෙන් මගේ මව මේ උත්සවයට සහභාගී කරවන්නයි. මට යම් සම්මානයක් ලැබේනම් එය ඇය අතින් ලබා ගන්නට ඉඩ ලැබීම මගේ මවට ඉතා සතුටුදායක අවස්ථාවක් වෙනු ඇතැයි මම සිතුවෙමි.

මම ඒ බව ප්‍රධාන සංවිධායකට දන්වා යැවූයෙමි.

නමුත් පසුදින වෙන විට මට සිතුණේ, මේ සඳහා මම ම, මගේ මවත් සමග සහභාගී විය යුතු බවයි. ඒ මක් නිසාද යත්, මෙවැනි අවස්ථා ලේසියෙන් උදා නොවෙන ආකාරයේ ඒවා නිසාත්, පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ නිසාත්, එ නිසා ම, හෙටට වඩා අද හොඳ නිසාත් ය.

අප්‍රියෙල් මැද දෙසතියේ පාසල් නිවාඩු කාලය මැද පෙර සැලසුම් කළ චාරිකාවක් සඳහා රැකියා ස්ථානයෙන් දැනටමත් නිවාඩු රැගෙන ඇති නිසාත්, මා මේ දිනවල මගේ රාජකාරියට අමතරව කාර්යලායේ තවත් කටයුතු කිහිපයක් ම කළමනාකරණය කරන නිසාත්, දවස් පහක් නිවාඩු යොදා ගැනීම සඳහා දින ගණනාවක් ම උදේ රැයින් සේවයට ගොස් රාත්‍රිය උදාවෙනතුරු එහි රැඳී සිටිමින් සෑහෙන කට්ටක් කෑමටද සිදුවිය.
  • කෙසේ හෝ නියමිත වේලාවට දිනකට වඩා කලියෙන් ලංකාවට ළඟාවීමි.
  • මවත් සොහොයුරන් දෙදෙනාත් සමග උත්සවයට සහභාගී වීමි.
  • අදාළ සම්මානය ලබා ගත්තෙමි.
  • හදිසියේ ලැබුණු කැඳවීමක් නිසා, හිඩැස් පුරවන්නෙකු ලෙස සභාව ඇමතීමට ද සිදුවිය.
  • ඒ සමගම, සහෘද බ්ලොග්කරුවන් කිහිප දෙනෙකු සමග සතුටු සාමීචියේ යෙදීමට ද හැකිවිය.
  • සියල්ල සතුටෙන් කෙළවර විය!
සියලු සම්මානලාභීන්ට සුබ පතමින්, මා මේ සැරසෙන්නේ මේ උත්සවය සම්බන්ධව මගේ සිතේ තැන්පත් වූ කරුණු කිහිපයක් සැකෙවින් ලියන්නටයි.


මා බ්ලොග් ලියන්නේ ඇයි ද, බ්ලොග් සටහන්වල මා දකින වටිනාකම කුමක්ද යන කරුණු මා මීට පෙර ලිපි දෙකකින් සාකච්ඡා කළෙමි. මේ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කළෝ ද, එහි බර ඇද්දෝ ද, බ්ලොග් ලියන්නෝ ම ය. තමන් ගේ බ්ලොග්කරනය පසෙක තබා අනුන් වෙනුවෙන් වෙහෙසුණු ඔවුන් සැමට අපේ ප්‍රණාමය හිමිවිය යුතුය.

සයිබරයේ නොව පොළොව මතුපිට කළ යුූතු දේ සයිබරය හරහා සංවිධානය කරන්නේ කෙලෙසද යන්න ගැන මේ සංවිධායකයින් ලද අත්දැකීම් අන් අය හා සමග බෙදා ගත යුතු යැයි අජිත් පැරකුම් ජයසිංහ යෝජනා කර තිබුණි. ටෙලි කොන්ෆරන්ස්, ස්කයිපි ගෘප් කෝල්ස් වැනි දේ තව දුරටත් අරුම දේ නොවෙතත්, ඒ ගැන ලිවීම වැදගත් වෙනු ඇත.


උත්සවයේ ප්‍රචාරය පිළිබඳව මා කළ එක් නිරීක්‍ෂණයක් නම්. මෙය සයිබර් මාධ්‍යයක් පිළිබඳව වූ වැඩපිළිවෙළක් වූ නිසාදෝ, සියලු ප්‍රචාර සයිබරයටම සීමා වී තිබුණු බවයි. කිසිදු පුවත්පතක හෝ වෙනත් අධිපති මාධ්‍යයක නෙළුම් යාය උත්සවය පිළිබඳව පෙර ප්‍රවෘත්තියක් නොතිබුණි. සමහරවිට එය සංවිධායකයින් නොසිතූ කරුණක් විය හැක.

කෙසේ වෙතත්, ඉරිදා දවසේ සෑම නාලිකාවකම පාහේ කරු ජයසූරිය ගේ කතාව සහ සම්මාන උළෙල ගැන තරමක විස්තරයක් ප්‍රචාරය වූ බව පෙනුණි!

බ්ලොග් යනු කවර නම් දෙයක්ද යන්න මහ ජනතාව අතරට තව දුරටත් ගෙන යාමට මෙවැනි ප්‍රචාර අත්‍යාවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.


මෙවැනි සාහිත්‍ය උත්සවයක අනිවාර්යෙන් ම තිබිය යුතු අංගයක් වෙන විද්වත් දේශනය මෙහිදී පැවත්වුණේ සාකච්ඡාවක් ලෙසයි. එහිදී ආරාධිත සම්පත් දායකයින් දෙදෙනා වූ නාලක ගුණවර්ධන සහ අජිත් පැරකුම් ජයසිංහ දෙදෙනා, සභාවේ නිවේදක කටයුතු මෙහෙය වූ ප්‍රදීප් අනුරාධ යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් මනා අදහස් රැසක් ඉදිරිපත් කළහ. එහිදී විශේෂයෙන් නාලක විසින් පවසන්නට යෙදුණු අදහසක් කිහිපයක්ම මගේ පෞද්ගලික අදහස් සමග සමපාත විය.

එහිදී සිදුවූ එකම වරද ලෙස මා දකින්නේ ප්‍රගීත් විසින් නාලක සහ අජිත් ඇමතීමට මහතා යන ආමන්ත්‍රණය යොදා ගැනීමයි. එය නාලක පැවසූ අධිපතිවාදය සහ සමාජ සංස්කෘතිමය සීමාවන් වැනි කරුණුවලට එවෙලේම සැපයුණු අගනා උදාහරණයක් ලෙස පෙනුණි.

මට ඒ සම්බන්ධයෙන් එවෙලේ ම අදහසක් පළ කළ යුතු බව සිතුනත්, ඒ සඳහා ප්‍රගීත් ගේ අවධානය යොමු කරවා ගැනීමට මට අත ඉහළට එසවීම තුළින් පමණක් ඉඩ නොලැබුණි.

මට කියන්නට අවශ්‍ය වූයේ එකම සාකච්ඡාවට සහභාගී වෙන අයගෙන් එකෙකු අන් දෙදෙනාට මහතා යැයි ඇමතීම වෘත්තීමය නොවන හැසිරීමක් බවයි. මේ වෙන විට ප්‍රගීත් අනුරාධ එය දනී.


ඒ කතාවම තව දුරටත් සනාථ වෙන ආකාරයේ කතාවක් මට එදින රාත්‍රීයේ දී අසන්නට ලැබුණි.

මා සමග කතා කළ එක් සහෘද බ්ලොග්කරුවෙකු පැවසුවේ, "රසික එක්ක, පැරා එක්ක හෙම කතා කරන්නට අවශ්‍යතාවය තිබුණු අය ගොඩක් හිටියා, ඒත් ඒ සමහරු ළඟට ආවේ නෑ බයට වගේ!" කියායි.

උත්සවයේ දී මා ලද සතුටෙන් අඩක්ම ඒ කතාව අසා වාෂ්ප වී ගියේය. ඒ වදන්වලින් සහෘද බ්ලොග්කරුවා අදහස් කළේ යම් සබකෝලයක් හෝ ලජ්ජාවක් හෝ නම් කමක් නැත. ඔහු ගේ වචනවලින් කියවුණේ එක්තරා ආකාරයක භයපක්‍ෂපාතකමක් ගැනයි.

වයසෙන් පරම්පරා දෙකකට අයත් වුණද, සමාන තලයක සමාන කර්ව්‍යයක නිරතවෙන අපි සැම සමානයෝ වෙමුය යන්න මගේ අදහසයි. ඒ කියූ ආකාරයේ තත්වයක් ඇතියැයි මා සිහිනෙකින් හෝ නොසිතුවෙමි.


ඒ සමගම මගේ කනගාටුව දෙගුණ කරවමින් මට සිහිවුනේ, මා මීට කලින් සහභාගී වුණු මේ ආකාරයේ අවස්ථාවලදී, මා පුරුද්දක් ලෙසට මගේ බ්ලොගයේ නම රැගත් කාඩ් එකද බෙදමින් හැකි සැමදෙනා සමගම කතා බහ කළ නමුත්, අද මට එය එලෙස කළ නොහැකි වූ බවයි.

මට අතපසු වූ අනෙක් වැදගත් කාර්යය වූයේ සහෘද බ්ලොග්කරුවන් සමග ඡායාරූප ගැනීමයි. වාසනාවකට මෙන් නාලක ගුණවර්ධනට එය අමතක නොවිණි.


උත්සවයේ මා සම්මානය ලබා ගත් මොහොතේ දී මා කළ එක් වැදගත් කාර්යයක් වූයේ මගේ රසිකොලොජි කාඩ් එකේ පිටපතක් කතානායක කරු ජයසූරියට දීමයි. මා එය දෙන්නට යද්දී, ඔහු සිතුවේ ඒ මගේ බිස්නස් කාඩ් එකක් බවයි. "මා ළඟ සාක්කුව පුරෝලා කාඩ් තියෙනවා" යැයි කරු කීවද, මා ඉන් පසුබට නොවී "මේක මගේ බ්ලොග් එකේ කාඩ් එක" යැයි කියා එය කැමරාවලට පෙනෙන්නට හරවා එය බාර නොගෙන සිටීමට නොහැකි තත්වයක් උදා කර ජය ගත්තෙමි.

පහත දැක්වෙන්නේ මා පසුගිය වසරේ මුද්‍රණය කළ බිස්නස් කාඩ් දෙවර්ගයයි. කරු ජයසූරියට දුන්නේ මෙයින් එකකි.

පසුදින ඥාති නිවසක සිටියදී මට කිවිසුම් දෙකක් එක පිට ගිය විට, "කවුරු හරි අයියාව මතක් කරනවා!" යැයි මගේ නෑනන්ඩිය පැවසුවාය.

"මං ඊයේ කතානායකට මගේ රසිකොලොජියේ කාඩ් එකක් දුන්නා, පොර මගේ බ්ලොග් එක කියවනවා වෙන්න ඇති!" මම කීවෙමි.

මගේ කිවිසුමේ හඬ ඇසුණු නමුත් මගේ පිළිතුර නොඇසුණු මගේ මව එවිට පැවසූවේ "මටත් අද කිඹුහුම් දෙක තුනක් ම ගියා!" කියායි.

කරු ජයසූරිය මගේ බ්ලොගය කියවන බව මට එවෙලේ සක්සුදක් සේ පැහැදිලි විය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
උත්සවය රසවත් කළ ගීත කිහිපයද රස වින්නෙමි. නමුත් අප දුටු කොමඩිය සහ කෙටි නාටකය ගැණ වචනයක් ලිවිය යුතුමය.

කලින් අසා තිබුණු විහිළු තහළු කෑලි රැසක එකතුවක් වූ කොමඩියෙන් මගේ සිත් ගත් කොටස වූයේ 138 බසයේ කතාවයි. දිනකට පසුවද, හයිලෙවල් මාර්ගයේ යද්දී මට එය සිහිවී සිනා නැගුණි.

"ආණ්ඩුවේ රස්සාවක්" කෙටි නාටකය නම් අතිශය සාර්ධක එකක් විය. කතා තේමාව සහ දෙබස් මෙන්ම, අගනා රඟපෑමෙන් ද ඔප් නැංවුණු ඒ නිර්මාණය නාට්‍යයක තිබිය යුතු අන් සෑම ගුණයකින්ම ඉහළ ප්‍රමිතියක තිබුණු එකක් විය. ඒ තරුණ නිළිය ලොබියේ දී හමුවී ඇයට ප්‍රශංසා කිරීමට ඉඩ ලැබීමද භාග්‍යයක්ම විය.


(Photos: LankaENews & Manori Wijesekera)

Saturday, 26 March 2016

සියපත සුවඳමය - Bloggers blog blogs.....!!!

කවි, කෙටිකතා හෝ වෙනත් ආකාරයක නිර්මාණකරණයේ යෙදෙන බොහෝ දෙනෙකු ගේ මූලික අවශ්‍යතාවක් වනුයේ ඒ නිර්මාණ අන් අය සමග බෙදා ගැනීමයි. ඒසේත් නැතිනම්, තමන් ලියූ දේ අනුන් කියවා රස විඳිනු දැකීමයි.

ඒ නිර්මාණයක් ගැන ප්‍රතිචාරයක් අසන්නට ලැබීම නම් මෙලොවේ නොමැති ආකාරයේ දිව්‍යලෝක සැපතකි.

කොටින්ම, තුන්වෙනි ශ්‍රේණියේ දී මා මුහුදු වෙරළ නමින් කුඩා කවියක් ලියූ සැනින් ම මට සිතුණේ එය මිහිර පත්තරයට තැපැල් කරන්නටයි. අම්මා, තාත්තා, වෙනත් ඥාතියෙකු, හේමවතී ටීචර් හෝ පන්තියේ සිසුවෙකු ඒ කවිය කියවන්නට පෙර එය දුටුවේ ලේක් හවුසියේ සේවය කළ පත්තරකාරයෙකි. ඒ කවිය මිහිර පත්‍රයේ පළවී තිබෙනු දැකීම මට ගෙන දුන්නේ ඉමහත් සතුටකි.

පසු කලෙක, වයස දාසයයි මාසයේ දී, ගනේමුල්ල-මරදාන කෝච්චි ගමන් අතරතුර පහළ වුණු කවි සිතුවිලි අකුරු වී යොවුන් ජනතා නම් සඟරාමය සතිපතා පුවත් පතට විටින් විට යොමු විය. කුඩා කළ මා ලියූ මුල් කවියම මිහිර පත්තරේ පළවීම ලොතරැයි දිනුමක් ඇදීමක් තරමේ අති දුර්ලභ සිදුවීමක් බව මට වැටහුණේ "යොවුන් ජනතා" සඟරාවට යොමු කළ කවි නිසාය.

තුන් වසරක පමණ කාලයක් තිස්සේ මා ලියූ කවි සිය ගණන අතුරින් තෝරා ගත් විසි පහක් පමණ විටින් විට යොවුන් ජනතාවට යොමු කළ ද, එහි පල වුණේ පහක් හෝ හයක් පමණි.

මේ ආකාරයට තම නිර්මාණ සිතු ආකාරයට පළ කරවා ගැනීමට නොහැකිවීම, මට පමණක්, එදා පමණක් සිදුවූ දෙයක් හෝ සිදුවෙන්නක් හෝ නොවේ. සීමිත සම්පතක් වන පුවත්පත් පිටුවක වපසරිය භාවිතා කළ යුත්තේ උපරිම ඵලදායීතාවයෙන් නිසා, එය එලෙස ඒ ආකාරයට සිදුවීම බලාපොරොත්තු විය යුත්තකි.

නමුත්, තම නිර්මාණ අන් අයට පෙන්වීමට නිර්මාණකරුවන් තුළ ඇති අවශ්‍යතාවය එලෙසම ය.

එසේම, සඟරාවක උප කතුවරයෙකුගේ තේරීම්වලින් සෑහීමකට පත්වීම නොව, රසිකයින් වශයෙන්, තමන් කැමති වීමට ඉඩ ඇති සියලු නිර්මාණ දැක ඇගයීමට පාඨකයින්ට ඇති අවශ්‍යතාවය ද එලෙසම ය.

මේ අවශ්‍යතා ද්වය එකිනෙක ගැටී එකිනෙක සංතර්පණය කෙරෙන අවකාශය බ්ලොග් ලොව යැයි මම සිතමි.

බ්ලොග් අවකාශයේ දී, රචකයින් වශයෙන් අපට, යම් යම් මූලික සීමාවන්ට යටත්ව, අප රිසි දෙයක්, අප රිසි පරිදි ලියා ප්‍රකාශයට පත් කළ හැක.

එසේම, බ්ලොග් අවකාශයේ දී, පාඨකයින් වශයෙන් අපට, අප කැමති දෙයක්, කැමති පමණින් කියවා රස විඳිය හැක.

රචකයින් ගේ ලේඛන කෞශල්‍යය පාඨකයින් ගේ රසිකත්වය හා ගලපන්නට අතරමැදි සඟරා සංස්කාරකවරුන් අවශ්‍ය නැත.

ප්‍රකාශන මාධ්‍යයක් ලෙස බ්ලොග් අවකාශයේ ඇති වැදගත්කම එය බවට වෙනත් තර්ක අවශ්‍ය නොවේ.

බ්ලොග් අවකාශය යනු රිසි පරිදි නෙළුම් පිපෙන, රිසි පරිදි නෙළුම් නෙලා ගැනීමට හැකි, නෙළුම් යායක් ලෙස පෙනේ නම් ඒ ඒ නිසා ය.

ඒ නෙළුම් යායේ සුවඳ විඳ ගන්නට මම ද අද හවස කිරුලපනට එමි!

ඒ මා සහිත ගුවන් යානය ඊයේ නිසි වේලාවට ලංකාවට පැමිණියා නම් ය.

ජයවේවා!

-රසිකොලොජිස්ට්

Saturday, 6 February 2016

අවුරුදු දහයකුත් ගියා එහෙනම්? - A decade old memory...!


හෙට, පෙබරවාරි හත්වෙනිදා, මගේ ජීවිතයේ එක්තරා සංවත්සරයකි.

මේ විවාහ සංවත්සරය නොවේ. එය මැයි විසි අටවෙනිදා ය. උපන් දිනය ද නොවේ. එය ඔක්තෝබර් විසි හත්වෙනි දා ය. නමුත් මේ සංවත්සරය උපන් දින සංවත්සරයකට බොහෝ දුරට සමාන එකකි.

මේ සංවත්සරයට අදාල මුල් සිදුවීම සැමරීම පිණිස ඒ කාලයේ ම ලියා, දෙතුන් සැරයක් විවිධ තැන්වල පළ කළ කවි පන්තියක් නැවත රසිකොලොජියේ ද පළ කිරීමට සිතුවෙමි.

"හන්තාන අඩවියේ ගීතයේ" තාලයට මා ලියූ "ඝණ්ඨාර ශබ්දයෙන් ගීතයේ" අරුත සමහර දෙනාට නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වුවද, මේ සරල කවි පන්තිය ගැන එවැනි ප්‍රශ්න ඇතිවේ යැයි නොසිතෙමි.

කෙසේ වෙතත්, නොරේරෙන තැනක් තියේ නම් කරුණාකර අසනු මැනවි. පසුව පහදා දෙමි.

දවස තාමත් තරුණයි

කපා දැමූ රඹ කඳ මෙන් වැටුණි ඇද
දපා එලෙස සිටියෙමි තණ පිටිය මැද
සැපා කියා දිය කෙළි විඳි කටක රද
තොපා දුන් ඔවා මට මිත අකැප විද

බඳවා රැහැන් ඉඳිකටු ලා දුබල ගතේ
හඬවා සයිරනය ඉගිලුනි ගිලන් රතේ
කැඳවා යන්න ආ මරුවා සිනාසෙතේ
වඩවා විරිය ගත දිරි ඉපිදවිමි සිතේ

නහර තුළ බැඳුණු කාරම් බලය දිදී
නතර කළා හදවත ගත සිසිල සැදී
වැතිර සිටි මගෙ ම රුව නිසසලව බැඳී
අතර තුර බැලූවෙමි සිට අහසෙ රැඳී

සිව් සාලිස් වසක ගතවෙන දිවි මගෙහී
ලිව් කවි මිසක කළ පොතකුදු නැති සඳෙහී
පව්! පුතු සිතෙන් යයි පිය මතකය ගිලිහී
එව් සිතුවිලි රැසින් ඇතිවිය දිරි සිතෙහී

එන් නට බැහැ තවම දාතම පැමිණ නැත
යන් නට පෙර කළ යුතු වැඩ අපරිමිත
සන් කර මරු යවා ආපසු එලොව වෙත
සන් සුන් ගත තුළට යළි වැද ගතිමි මිත

වැතිර ඇඳක දැඩි සැලකුම් ඒකකයේ
වයර ලා අතේ නාසයෙ ගෙලේ ළයේ
නිතර සිහින මැද ඔසු බල දරා කයේ
සසර කළ පවද ඒ ලෙස ගෙවී ගියේ


ඔබ සැමට නීරෝගී සැප පතමි. ජයවේවා!

-රසිකොලොජිස්ට්

Friday, 22 January 2016

ගොක් කොළ පෙනීම - When are you leaving?


"තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ"
මොහිදීන් බෙග් එසේ ගැයුවේ ය.
කුමක්ද මරණය?
අස්ථිර සුසුමක් නැවත නොගන්නට සුළඟට දන් දීමයි

නන්දා මාලනී ගැයුවේ එසේ ය.

මරණය අනිවාර්ය දෙයකි. වයසට ගොස් සාමාන්‍යයෙන් ස්වභාවික මරණයකැයි හැඳින්වෙන ආකාරයට එය සිදුවුණහොත් කිසි අවුලක් නැත. අප දැක ඇති පරිදි වයසක අයගේ මළගම්වල අඬන අය වුවද ඉතා හිඟය.

නමුත් අකල් මරණ එසේ නොවේ. ළබැඳියන්ට දුක වැඩිය. ජීවත්වෙන අයට පොදුවේ ගෙන දෙන්නේ අසහනයකි. මා දකින විදියට එයට හේතුව නම්, අපේ ජීවිත ද මෙලෙස අකාලයේ නැති වෙන්නට ඉඩ ඇති බව අපට ඉබේ ම මෙනෙහි වීම විය යුතුයි.

මා දන්නා කියන ජ්‍යෙෂ්ඨ හිතවතෙකු මේ සතිය ආරම්භයේ දී මිය ගියේය. ඒ මා මීට පෙර ලියා පල කළ ලිපියේ සඳහන් වූ වකුගඩු රෝගයෙන් පීඩා විඳි තැනැත්තා ය. ඔහු තමන්ට කළ වකුගඩු බද්ධය සාර්ථක නොවුණු නිසා රුධිර කාන්දු පෙරීම හෙවත් ඩයලසිස් නමින් හැඳින්වෙන ප්‍රතිකර්මය නිරතුරු ලබමින් ද, තවත් සංකීර්ණ රෝගී තත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් ද වසර කිහිපයක් තිස්සේ ජීවත් වෙමින් සිටි අයෙකි.

මිය යන විට ඔහු ගත කරමින් සිටියේ ජීවිතයේ හැට අටවෙනි වසර බව මට පසුව දැන ගන්නට ලැබුණි.

හැට අටක් යනු මැරෙන වයසක් නොවේ. ඔහු කලක් රෝගාතුර වී සිටිය ද, ජීවත්වීමට ඇති කාලය කෙටි බව දැන සිටිය ද මෙය අකල් මරණයකි. එ නිසා ම දුක්බර මරණයකි.

මා කලින් කී පරිදි, බද්ධ කළ වකුගඩුව ප්‍රතික්‍ෂේප වී ඉවත් කළ පසුව ඔහු ජීවත් වූයේ කාන්දු පෙරීම (ඩයලසිස්) නමැති ප්‍රතිකාරය මත යැපෙමිනි. මෙහිදී සිදු කෙරෙන්නේ සිරුරේ ඇති රුධිරය බාහිර යන්ත්‍රයක් හරහා යවා පෙරීමයි. නිරතුරු අසා තිබුණද, මේ ක්‍රියාවලිය සිදු කෙරෙන හැටි මුලින් ම දුටු දිනයේ මා සිත සලිත වී ගිය බව ද පැවසිය යුතුය.

හිතවතා ගේ මරණයෙන් පසු ඒ ගැන සඳහන් කරමින් ඊ-මේලයකින් අප ඇමතු ඔහු ගේ දියණිය විස්තර කර තිබුණු ආකාරයට මරණයට දින කිහිපයකට පෙර තව දුරටත් ඩයලසිස් නොකරන බවට ඔහු තීරණයක් ගෙන ඇත.

එය හොඳ සිහියෙන් ගත් ධෛර්යමත් තීරණයකි. එසේම ඉතා තර්කාන්විත එකකි.

මේ වනාහී අප සැමටම ජීවිතයේ මතු යම් දිනයක දැනුවත්ව හෝ නොදැනුවත්ව ම ගන්නට සිදුවෙන තීරණයක් බව කිව යුතුය.

එනම්, තව එක් දිනක් ජීවත්වීමට අප ආයෝජනය කළ යුතු ශක්තියට වඩා, ඒ දින ගත කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයේ වටිනාකම අඩු වූ විට, ඒ ජීවත්වීමෙන් අපට පලක් නැති වේ.

මෙය අප කා හටත් වටහා ගත හැකි සත්‍යයක් යැයි සිතමි.
එදින අප යා යුතු ය.
තනිවම යා යුතු ය.
අස්ථිර සුසුමක් නැවත නොගන්නට සුළඟට දන් දිය යුතු ය.

-රසිකොලොජිස්ට්

(imae: http://www.rivershealingarts.com/death_midwifery.php)

Saturday, 3 October 2015

වල්ලභයා-සංසර්ගය-ගණිකාව : පියෙකු ගේ කතාවක් (පුතෙකු ගේ හඬින්) - His fathers voice


අද මා පළ කරන ලිපියේ වෙනසක් ද, ඒ එක්කම පොඩි රහසක් ඇත.

වෙනස නම්, අකුරෙන් නොදමා, රූප මගින් කියවීමට යමක් එකතු කිරීමයි. එයම එක් හේතුවක් නම්, කාල වේලා හිඟයකි. තවත් හේතුවක් ද ඇත. ඒ හේතුව මේ ලිපියේ තියෙනවා යැයි මා කියු පොඩි රහසට සම්බන්ධය.

පොඩිය කියූ ආකාරයට ම පොඩි එකක් වෙනමුත් රහසක් කිවාට එය රහසක් ම නොවේ.

නමුත්, දැනට නොකියා සිටිමි.

දැන් මේ කෙටි කතාව කියවන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.

ප/ලි:
කලින් රූප මගින් පළ කළ පිටු සියල්ලම යුනිකෝඩ් ගත කිරීමට හැකි විය.

පියෙකු ගේ කතාවක්

මගේ පුංචි පුතා සරෝජ් මදෙස බලා සිටී. ඔහු වාඩී වී සිටින්නේ මා ඉදිරියේ ඇති කුඩා පුටුවක ය. ඔහු ගේ දෙනෙත් විස්මය හඟවන බැල්මක් මදෙසට හෙළයි. මුව මදක් විවර වී ඔහු ගේ ළඟදී ආ ඉදිරිපස විශාල දත් දෙක පෙනේ.

ඔහු සමග මෙතෙක් වේලා කතාකරමින් සිටි මා එක්වරම නිහඬ බූයේ ඇයිදැයී ඔහු කල්පනා කරනවා විය යුතුය. ඇත්තෙන්ම මා නිහඬ වූවා නොවේ. නිරායාසයෙන්ම මගේ මුව වැසිණි, ගොලුවිණි, කිව යුත්තේ කුමක්ද, කළ යුත්තේ කුමක් ද මට නො වැටහේ.

* * *

වෙනදා මෙන් ම අදත් මා නිවසට පැමිණියේ ඇඳිරි වැටීිගෙන එද්දී ය. සරෝජ් මා ඉදිරිපිටට දිව එනවා ඈත තියාම මට පෙනුණි. ඔහු ගේ සිඟිති මුහුණ පුළුල් සිනාවකින් ඔපවත් වී තිබුණි. සරෝජ් දිව විත් මගේ දෑතේ එල්ලුණේ "ඔන්න තාත්තේ අදත් මට තියෙනවා ගොඩාක් අමාරු වචන තේරුම් අහගන්න" යැයි පවසමිනි.

අට හැවිරිදි සරෝජ් ඉගෙන ගන්නේ දෙවන ශ්‍රේණියේ ය. ඔහු ගේ පාඩම්වල දී හමුවෙන අළුත් වචන, ඔහු කියනා විදියට අමාරු වචන, දිනපතාම මගෙන් විමසා දැන ගැනීමට ඔහු පුරුදුව සිටියේ ය. කාර්යාලයේ සිට නිවසට පැමිණීමෙන් අනතුරුව රාත්‍රියේ දී මා මේ කාර්යයේ යෙදුණේ බලවත් උනන්දුවෙනි.

"පොඩියක් ඉන්නකො පුතා තාත්තා ඇඳුම් මාරු කරගෙන මුණකට හෝදා ගන්නකම්" සරෝජ් සමගම පෙර මගට ආ මගේ බිරිඳ කුමාරි පැවසුවාය. මා අත තිබූ බෑගයෙන් සරෝජ් සඳහා ගෙනැවිත් තිබූ ටොෆී කිහිපය අතට ගත් මම "අම්මටත් දීලා කන්න පුතා" යැයි කියමින් බෑගය කුමාරි අතට දුනිමි.

මුහුණ කට හෝදා ගත්තායින් පසුව, කුමාරි දුන් තේ කෝප්පය ද රැගෙන මා ගියේ සරෝජ් ගේ කාමරයටයි. ඔහු ගේ පොත් සහිත කුඩා මේසය සහ ඇඳක් ද එහි විය. සරෝජ් පොත් පාඩම් කළේ මේ කාමරයේ වුව ද රාත්‍රියට නිදා ගත්තේ අප සමග ය. ඒවන විටත් ඔහු පොත් පෙරළාගෙන නොඉවසිල්ලෙන් බලා සිටියේ ය.

ඇඳ මත වාඩිවුණු මම තේ කෝප්පය තොල ගාමින් "හා, කියන්නකෝ පුතා ඔයා ගේ අමාරු වචන" යැයි පැවසුවෙමි.

"ඔන්න එහෙනම් තාත්තේ පළමුවෙනි වචනය ව ල් ල භ යා" කී ඔහු ඉන් පසු ම දෙසට හැරී මා එහි අදහස පහදා දෙනතෙක් බලා සිටින්නට විය.

"වල්ලභයා කියන්නේ පුතේ" මම ඔහුට එය විස්තර කර දීමට පටන් ගත්තෙමි. "වල්ලභයා කියන්නේ කාන්තාවක ගේ විවාහ පුරුෂයාටයි, ස්වාමි පුරුෂයාටයි. පුතාට තේරුණා ද?"

"හා, හරි, හරි, ඒ විදියට තාත්තා අම්මා ගේ වල්ලභයායි, හරිද?" සරෝජ් කීවේ සිනාසෙමිනි.

"ආ! ඔය තේරිලා තියෙන්නේ අපූරුවට!"

"ඉතිං පුතා මොකක්ද ඊළඟ වචනය?" මම හිස් තේ කෝප්පය මේසය මත තැබුවෙමි.

"දෙවෙනි වචනයේ නම් තාත්තේ මහාප්‍රාණ අකුරු හෙම නෑ, ඒත් ඒක මං දැක්කේත් අදයි. සං ස ර් ග ය" මා නොසිතූ ලෙස සරෝජ් පැවසීය.

මා ගොළුවුනේ මෙවිටයි. මගේ සියොලඟම ගිනිගෙන දැවෙන්නාක් සේ එක්වරම හිරී වැටී ගියේය. කුමක් කිව යුතු දැයි මට සිතා ගත නොහැකි වුණි. නිරායාසයෙන් ම මගේ මුව අගුළු වැටුණි.

* * *

"තාත්තේ සංසර්ගය කියන්නේ මොකක්ද?" සරෝජ් යළිත් ඇසුවේ මා කිසිවක් නොකියා නිශ්ශබ්දව සිටි නිසා විය යුතුයි.

මා නිහඬ වුණෙමි. නිහඬ නොවී කුමක් කියන්නද, කෙසේ කියන්නද?

මම යළිත් සරෝජ දෙස බැලුවෙමි.

ඔහු ඇත්තෙන්ම ඉතා පුදුමයට පත්ව ඇත. කිසි දිනක තම පියා කිසිදු අමාරු වචනයක තේරුම කියන්නට මෙතරම් කල්ගත නොකළ බව ඔහුට සිහිවුණා විය හැක. ඊටත් වඩා කිසිදු මහාප්‍රාණ අකුරක් නැති වචනයක්? සරෝජ් එලෙස සිතනවාත් විය යුතුයි.

ආදරබර පුතණුවනි, සංසර්ගය යන්නෙහි තේරුම මම දනිමි. එහෙත් මා ඔබට එය පවසන්නේ කෙසේද? පියෙකු වශයෙන් මා ඔබට පවසන්නේ කෙසේද?

මගේ සිත අවුල්වුණු නූල් බෝලයක් මෙනි.

අවසානයේ මම මුව විවර කළෙමි.

"කෝ බලන්න පුතා ඔය පොත!" ඔහු අමාරු වචන කියවන පොත ඉල්ලා ගත්තෙමි.

"වාසනාවන්ත යුග දිවියකට මග" ඔහු කියවමින් සිටියේ එයයි.

මේ පොත සරෝජ් අතට ආවේ කෙලෙසකදැයි මට නොවැටහිණි. වසර දහයකට පෙර මිලට ගෙන කියවූවායින් පසු මේ පොත කොහේ දැම්මාදැයි මට මතක නැත. සමහරවිට මගේ පරණ පොත් සහිත පෙට්ටියේ තිබී සරෝජ්ට හමුවෙන්නට ඇත.

පොතේ ඇතැම් වචන යටින් පැන්සල් ඉරි ඇඳ තිබුණේ සරෝජ් විය යුතුයි. ඒ ඔහු ගේ අමාරු වචනයි.

"මේ තියෙන්නෙ තාත්තේ ඒ වචනය" සරෝජ් නැගිට යටින් ඉරක් අඳින ලද සංසර්ගය යන වචනය මට පෙන්වයි.

මගේ සිත එක්වරම අතීතයට ඇදී යයි.

මා අවුරුදු හත අටක කුඩා දරුවෙකුව සිටියදී......

* * *

එවිට මගේ වයස අවුරුදු අටක් පමණ වූ බව මට සිහිකර ගත හැක. කෙසේ වෙතත් ඒවන විට මට හොඳින් කියවන්නට හැකිව තිබුණි. අතට අසුවෙන ඕනෑම පොතක් පත්තරයක් කියවීමට මම පුරුදුව සිටියෙමි.

මෙ පරිද්දෙන් මගේ පියා ද මගේ ඉගෙනීමේ කටයුතු ගැන දැඩි උනන්දුවක් දැක්වීය. ඔහු ද මට නොතේරෙන වචන විමසන ලෙස පවසා තිබුණි. ඇතැම්විට ඔහු ඉතා සැර පරුෂ වුවත් මා ඔහුට ඇලුම් කළේ ඉතා ආදරයෙන් මගේ අවශ්‍යතාවයන් ඉටු කළ නිසයි. ඒ ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු වූ නිසා විය හැක. කෙසේ වතුදු සරෝජ් ගේ ඉගෙනීමේ කටයුතු කෙරෙහි මා මෙතරම් උනන්දුවක් දක්වන්නේ මගේ පියා ගේ ආදර්ශයෙන් බව මට පැහැදිලිය.

දිනක් මා කියවමින් සිටියේ සතිපතා පළවෙන කුමක් දෝ පත්‍රයකි. එහි තිබුණු එක්තරා වචනයක් මට අලුත් එකක් විය. මම එවෙලේම පියා සොයා දිව ගියෙමි.

"තාත්තේ, තාත්තේ ගණිකාව කියන එකේ තේරුම මොකක්ද" කියා ඇසූ බව මට හොඳින් මතකයි. පියා ඔහු කරමින් සිටි කාර්යය නවතා මා දෙස බැලීය.

"මොකක්ද ඔය වචනේ?"

මා මුලින් කී දේ ඔහුට නෑසුණු බව වටහා ගත් මම යළිත් වරක් එය කීවෙමි.

"තාත්තේ ගණිකාව කියන්නේ කාටද?"

මා පුදුමයට පත් කරවමින් පියා නිහඬ විය. ඔහු අසුනින් නැගිට මා ත තිබූ ඒ පත්‍රය ඉල්ලා ගති. ඒ දෙස බැලූ සැණින් ඔහු කෝපයට පත්වූ බව පෙනුණි. කොහෙමටත් ඔහු ඉක්මනින් ම සුළු දෙයකට පවා කෝපයට පත්වෙන්නෙකි.

"උඹ පලයන් යන්න මෙතනින්!" පියා මට සැර වී රැව්වේ කෝපයෙන් වෙව්ලමිනි. මම බිරාන්ත වූයෙමි. තාත්තාට කෝප වෙන්නට කිසිම හේතුවක් නැහැ නේද මට සිතුණි.

ඒ දිනවල සුළු දෙයකින් පවා කම්පනය වන මා ඇතැම් විට අඬමින් ඇඳට යන්නට ඇත.

තාත්තා වේගවත් ගමනින් ගියේ මුළුතැන් ගෙටයි. ඉන්පසු ඔහු ගේ වේගවත් කටහඬ නිවස පුරා රැව්දිනි.

මම වහා මුළුතැන්ගෙය දෙසට ගියෙමි.

"ගේනව මෙතන කුණුහරුප පත්තර! ගෙදර පොඩි එවුං ඉන්න බව ඔයාට තේරෙන්නේ නැද්ද?" ඔහු කෑ ගසයි. ඒ පත්තරය මගේ මව විසින් මිලට ගන්නා ලද එකක් බව මට මතක් විය.

"කුණුහරුපයක්, එහෙනම් ගණිකාව කියන්නේ කුණුහරුපයක් වෙන්න ඇති!" මගේ සිතට නිරායාසයෙන් ම සිතුණි.

මම මුළුතැන් ගෙයි දොර අසලටම ගියෙමි. පත්තරය ගිනිගෙන දැවෙමින් තිබුණි. පියා ඒ අසලට වී මවට බණිමින් සිටියේ ය.

"හැදෙන දරුවන් ඉන්න තැන්වල මෙහෙම පත්තර පොත් හංගන්නවත් ඕනෑ. පොඩිකමට උන් මොනවා දන්නවද? අපෙන් එක එක වචනවල තේරුම් අහනවා. අපි ඔව්වට කටක් ඇරලා උත්තර දෙන්නේ කොහොමද? ඔයා ඕව හිතන්න ඕනෑ!"

"ඉතිං අනේ ඔයා කිව්වට, දරුවෝ ඕවා දැන ගන්නත් ඕනෑ නේද?" අම්මා සෙමෙන් කියයි.

* * *

මම කල්පනා කළෙමි. එදා තාත්තා මුහුණ දුන්නේ අද මා මුහුණ දෙන ප්‍රශ්නයටම නොවේද? ඔහු පත් වූ අසීරු තත්වයටම අද මා පත්ව ඇත.

මට මඩොල්දූව සිහිවෙයි.

උපාලි ගිනිවැල්ලේ, ඉස්කෝලෙ මහත්තයාගෙන් කාමේසු මිච්ඡාචාරා යන්නෙහි තේරුම විමසූ කල ඉස්කෝලේ මහත්තයා ද මේ තත්වයට මුහුණ දුන්නා නොවේද?

භෞතික වශයෙන් යම් කිසි දියුණුවක් ලෝකය අද ලබා ඇත. අප ද ලබා ඇත. භෞතික දියුණුව ද සමග අධ්‍යාත්මික වශයෙන් ද දියුණු විය යුතු බව අපි හඬ නගා පවසන්නෙමු.

අධ්‍යාත්මික දියුණුව යනු කුමක්ද? අප සත්‍යය අවබෝධ කරගත යුතුයි. සංවර විය යුතුයි. එපමණක් ද නොව නීතිගරුකව, සත්‍යයට ගරු කරමින් ජීවත්විය යුතුයි. එනිසා නිවැරදි තත්වය, සත්‍යය පැවසීමට අප මැලිවිය යූතු නැත.

සත්‍යය කිසි කලෙකත් සැඟවිය නොහැක. එය වසන්කර බොරු ගෙතමින් අතීතයේ දෙවියන්, භූතයින්, දේව රහස් යැයි කියමින් අප රැවටුනද, නැවතත් ඒ නොදියුණු තත්වයට පත්විය හැකිද?
මේ සියල්ල මා වටා හොල්මන් කරයි.

එහෙත් සංසර්ගය යනු කුමක්දැයි සරෝජ්ට මා ඔවසන්නේ කෙසේද? තවත් බර වචන යොදා මට එය විස්තර කළ හැකි වුවද, එය යළිදු ඔහුට ප්‍රශ්නයක් වනු ඇත.

මගේ පියාගෙන් මා ගණිකාව යනු කුමක්දැයි විමසූ විට ඔහු එයට පිළිතුරු නොදී ප්‍රශ්නයෙන් මග හැරියේය. පසුව හෝ කිසි දිනෙක ඔහු එහි තේරුම මට කියා දී නැත. ඒ මොහොතේම එය කිසියම් අසභ්‍ය වචනයක් යැයි මට සිතිණි. එයින් සිදුවූයේ මගේ සිත දුෂ්‍යවීම නොවේ ද? ඉන්පසු පියාගෙන් මා වචනයක තේරුම විමසූයේ ඉතාමත් කල්පනාකාරීවයි.

ලිංගික අධ්‍යාපනය ළමයින්ට දිය යුත්තේ කුඩා කාලයේ සිටම බව මම බොහෝ කලක සිට විශ්වාස කළෙමි. මේ පිළිබඳව මා මිතුරන් සමග වාද කළ අවස්ථා බොහෝ ය.

"නිසි කල ලිංගික කරුණු පිළිබඳ තොරතුරු ළමයාට ලැබිය යුත්තේ දෙමව්පියන්ගෙනි. එසේ නොවුණි නම් විෂමසමාජයෙන් මේ කරුණු ඉගෙන නො මගට යොමුවිය හැක!" එකල මගේ තර්කය එය විය.

නමුත් අද මා එම තත්වයට මුහුණ දුන් අවස්ථාවේ කුමක් කළ යුතුදැයි මට නොතේරේ. ඇත්තෙන්ම කුමක් කිව යුතුදැයි මා වහා තීරණය කළ යුතුය.

මා කළ යුත්තේ, මීට වසර විසි ගණනකට පෙර මා පියා කළාක් මෙන් මේ පොත විනාශ කර පුතුට තරවටු කිරීමද? එසේ නොමැති නම් අවස්ථානුකූලව මුසාවක් කියා ප්‍රශ්නය යටපත් කර මඩොල්දූවේ ඉස්කොලේ මහත්තයා මෙන් ඉවත්ව යෑමද?

මට එය කළ නොහැක. සමහරවිට එසේ කළහොත් සරෝජ් ගේ ඉදිරි අනාගතය අඳුරු වීමට ද ඉඩ ඇත.

නැතිනම් මා කළ යුත්තේ සියල්ල ඔහුට පැවසීමයි, යථාවබෝධය ලබා දීමයි. එහෙත් මා හැදුණු වැඩුණු පරිසරය අනුව එයට මගේ සිත නම්මා ගැනීම අපහසු සේ හැඟේ.

* * *

සරෝජ් පෙරසේම මදෙස බලා සිටී.

අවසානයේ, විනාඩි ගණනාවක් තිබූ නිහඬතාවය බිඳිමින් මම කතා කළෙමි.

"පුතේ..."



හෙන්රි වර්ණකුලසූරිය තමන් ගේ ඉරිදා පුවත්පත් කොලම් ලිපිවල අවසානයේ කීවාක් මෙන් - සෙස්ස පස්සට!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිනුවර සිංහල ලේඛකයෝ ලිපියේ දෙවන කොටස පසුව පළ වෙනු ඇත. මුල් කොටසට පාර මෙන්න.
http://rasikalogy.blogspot.com/2015/10/sydney-based-sinhala-writers.html

(image: http://english.binus.ac.id/2015/05/13/a-token-for-mrs-ray-the-2nd-winner-of-national-short-story-writing-competition_part-1/)

Wednesday, 1 July 2015

ඩ්‍රයි ජුලයි හෙවත් පිං අතේ වැඩ! - Dry July in blogging


මුස්ලිම් ආගමේ අයට තම ආදායමින් නියමිත ප්‍රතිශතයක් අනිවාර්යෙන් ම දන් දෙන්නට යැයි උපදෙසක් ඇති බව මා අසා ඇත.

දානය යනු බුද්ධාගමේ ද පින් රැස් කිරීමේ එක් ප්‍රධාන ක්‍රමයකි. දස කුසලින් එකක් යැයි ද, දස පාරමිතාවෙන් එකක් යැයි ද කියවේ. තමන්ගේ ආදායමෙන් යම් නිශ්චිත කොටසක් පුණ්‍ය කටයුතු සඳහා යොදවන්නැයි උපදෙසක් සිඟාලෝවාද සූත්‍රය හෝ එවැනි තැනක ඇති යැයි මා සිතා සිටියද එය එසේ නොවේ. එහි ඇති උපදෙස වෙන්නේ ආදායමෙන් හතරෙන් එකකින් ජීවත් වී, තවත් හතරෙන් එකක් ඉතුරුකර, ආදයමෙන් අඩක් ආයෝජනය කිරීමටයි.

මගේ ද්විත්ව පුරවැසිකම ඇති ලංකාව ද, ඕස්ට්‍රේලියාව ද, මේ පිං අතේ වැඩවලින් ඉහළින් ම සිටින රටවල් වීම ආඩම්බරයට කරුණකි. එසේම අපේ සිංහල සයිබර් අවකාශයේ සැරිසරන යාත්‍රිකයින් ද පින් අතේ වැඩවලට කැමති බව නොරහසකි. එයට හොඳම උදාහරණය නම් පසුගිය දිනවල අවසන් වුණු අමුමිරිස් චැලේන්ජ් ව්‍යාපෘතියයි.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන පින් අතේ වැඩවලට කැමති අයට ඒ සඳහා උපයෝගී කර ගැනීමට ඇති මාර්ග රාශියකි. ජාත්‍යන්තරව කටයුතු කරන සේව් ද චිල්ඩ්රන්, ෆ්‍රෙඩ් හොලෝස් ෆවුන්ඩේෂන්, ඔක්ස්ෆෑම්, ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් වැනි පුණ්‍යායතනවලට මුදල් පරිත්‍යාග කළ හැක. දේශියව ක්‍රියාත්මක වෙන, සැල්වේෂන් ආමි, සෙන්ට් වින්සන්ට් ද පෝල්, ඔපොචුනිටි ඕස්ට්‍රේලියා වැනි ආයතන රාශියක් ද ඇත. මීට අමතරව, අපේ පුණ්‍ය කටයුතු සඳහා මිනිසාට වැළදෙන හැම රෝගාබාධයක් සඳහාම වාගේ හාට්, බ්‍රෙස්ට් කැන්සර්, මල්ටිපල් ස්ක්ලෙරොසිස්, ලියුකේමියා, චිල්ඩ්රන්ස් කැන්සර් වැනි පුණ්‍යායතන ද, සත්ව හිංසනයට එරෙහිව කටයුතු කරන ආයතන ද පිහිටුවා තිබේ.

ලංකාවේ විවිධ පුණ්‍ය කටයුතු කරන ආයතනද සංක්‍රමණිකයින් විසින් පිහිටුවා ගෙන ඇත. මා වාර්ෂිකව සම්මාදම් වෙන එවැනි එක් ආයතනයක් නම් "ලක් සවිය පදනම"යි.

මේ බොහෝ අයතනවලින් වසරේ තෝරාගත් කාලවල මුදල් එකතු කිරීමේ විවිධ වැඩසටහන් පවත්වති.

මා මුලින්ම කොණ්ඩය බූ ගෑවේ "ලියුකේමියා පදනම" සඳහා ආධාර මුදල් එකතු කිරීමට පැවැත්වෙන වැඩ සටහන සඳහා ය. අපේ දියණිය මේ සඳහා සිය කොණ්ඩය රතු පැහැ ගැන්වූවාය. ඇය ඊට කලින් සහභාගී වී ඇති එක් වැඩසටහනක් නම් ෆෝටි අවර් ෆෙමීන් නමැති පැය හතළිහක් එක දිගට නිරාහාරව සිටීමයි.

නොවැම්බර් මාසය පුරා පැවැත්වෙන තම උඩුරැවුල වැවීමේ මොවැම්බර් වැඩසටහනට ද මම වරක් දෙවරක් සහභාගී වුණෙමි. මොවැම්බර් අරමුදලට ලැබෙන ආධාර යොමු කෙරෙන්නේ ප්‍රොස්ටේට් පිළිකා, වෘෂණ කෝෂ පිළිකා, මානසික රෝග යනාදී පිරිමින් ගේ සෞඛ්‍ය සේවා වෙනුවෙනි.



මෙවැනි පුණ්‍යාධාර වැඩසටහන්වලට ඔබ සහභාගීවන විට කළ යුත්තේ, ඔබේ සම්මාදම සහ ඔබට සහය දක්වන මිතුරන්ගෙන් එකතුවෙන මුදල් අදාළ පුණ්‍යායතනයට යොමු කිරීමයි.

වසරකට වරක් තෝරාගත් සිකුරාදා දිනවලට මුදල් එකතු කෙරෙන රෙඩ් නෝස් ඩේ, ජීන්ස් ෆෝ ජීන්ස් ඩේ, ඩ්‍රැෆඩිල් ඩේ, පින්ක් රිබන් ඩේ, ඕස්ට්‍රේලියාස් බිගස්ට් මෝනින් ටී යනාදී අනේකවිධ පුණ්‍ය කටයුතුවලට සහභාගී වීමට ද අපට අවස්ථාව ලැබේ.

දිනපතා අඳින පාසල් යුනිෆෝමය වෙනුවට එක් දිනක් ඕනෑම ඇඳුමක් ඇඳ ඒ වෙනුවෙන් අඩු වශයෙන් ඩොලරයක් දන් දීමට හැකිවෙන "මෆ්ටි ඩේ" ව්‍යාපෘති මෙරට පාසල්වල වසරකට දෙතුන් වරක් ක්‍රියාත්මක වේ.

කාර්යාල සේවකයින් සාමාන්‍යයෙන් තද පැහැති කලිසම් සහ ලා පැහැති කමිස හැඳ ටයි කෝට් දමා සේවයට ගිය ද, සතියේ සිකුරාදා දිනට ඩෙනිම් සහ පාට කමිස ඇඳීමේ සිරිතක් සමහර කාර්යාලවල පවතී. මේ කැෂුවල් ෆ්‍රයිඩේ සිරිත ඉදිරියට ගෙන යමින් එලෙස සැරසී එන අයට ඩොලරයක් පරිත්‍යාග කළ හැකි පුණ්‍ය අරමුදලක් මම අපේ කාර්යාලයේ 2013 වසරේ ඇරඹූවෙමි.



වසර අවසානයේ එකතු වූ මුදල කැටරැක්ට් හෙවත් ඇසේ සුද මතුවීමේ රෝගයෙන් පෙළෙන අයට පෙනීම ලබා දීම අරමුණු කරගත් ෆ්‍රෙඩ් හොලෝව්ස් අරමුදලට බැර කළෙමු.

මේ කැෂුවල් ෆ්‍රයිඩේ පුණ්‍ය අරමුදලේ දෙවෙනි අදියර අපේ කාර්යාලයේ මේ දිනවල සිදුවේ. වසර අවසානයේ එයින් ලැබෙන මුදල් පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට සහන සැලසීම සඳහා අරඹා ඇති අරමුදලට බැර කිරීමට නියමිතය.

මා මේ දක්වා සහභාගී වී නොමැති එක් පුණ්‍ය අරමුදලක් නම් "ඩ්‍රයි ජුලයි" ව්‍යාපාරයයි. ජූලි මාසය පුරා පැවැත්වෙන මෙහි අරමුණ වෙන්නේ, ඒ සඳහා එකතු වෙන අය මාසය තුළ මත්පැන් පානය නොකර සිට එමගින් ඉතුරු වෙන මුදල් පරිත්‍යාග කිරීමයි. ඒ සමගම තමන් ගේ මේ ව්‍යායාමය මිතුරන් අතරේ ප්‍රචලිත කර ඔවුන් ගේ ආධාර ලබා ගැනීම ද අපේක්‍ෂා කෙරේ. මේ පුණ්‍ය අරමුදලේ එකතුව පුණ්‍ය කටයුතු රාශියකට යොමු කෙරේ.

මේ ලිපිය ලියන්නට සිතුවේ අදින් ඇරඹෙන ජූලි මාසය තුළ මා සහභාගී වෙන්නට අදහස් කරන වෙනත් "ඩ්‍රයි ජුලයි" ආකාරයේ පින් අතේ වැඩක් ගැන ඔබට කියන්නයි.

අදින් ඇරඹෙන ජූලි මාසය තුළ රසිකොලොජියට අලුතෙන් ලිපි නොලියමි. ඉන් ඉතුරු වෙන කාලය වෙනත් පොදු වැඩකට යොමු කිරීමට අදහස් කරමි.

අගෝස්තු පළමුවෙනි දා නැවත හමුවෙන තුරු ආයුබෝවන්!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මේ ලිපියේ නමින් සඳහන් කර ඇති පුණ්‍යායතන, පුණ්‍ය අරමුදල්, පුණ්‍ය කටයුතුවලට අමතරව තවත් අටෝරාශියක් එවැනි දේ ඕස්ට්‍රේලියාවේ පිහිටුවා තිබේ. බොහෝ දෙනෙකු තම තම හැකි පමණින් ඒවාට උදව් උපකාර කරති.

එසේ වෙතත්, අප මෙහි ලබන ආදායමෙන් කරන ලොකුම පින්කම නම් දෙසතියකට වරක් ලැබෙන පඩි පතෙන් සැලකිය යුතු කොටසක් ආදායම් බදු ලෙස ෆෙඩරල් රජයට ගෙවමින් ඔවුන් කරන එක් වැදගත් පුණ්‍ය කටයුත්තක් වන "රයිගම් හන්දිය" බ්ලොග්කරුවා වැනි කැන්බරා අගනුවර වෙසෙන රජයේ සේවකයින් රැකබලා ගැනීමට සහය වීමයි!

Tuesday, 2 June 2015

පේරාදෙනියේ දී මා කළ දේ ඔබ නොදනී - What did you do at Peradeniya University?



"උඹ මොනවාද බං කැම්පස් එකේ දී කළේ? උඹ අඩුගානේ කැම්පස් එකේ දී ටෙනිස්වත් ගැහැව්වාද?"

ඒ මට අපහාස කිරීමට සිතා සමකාලීන විශ්වවිද්‍යාල සිසුවෙකු අප විශ්වවිද්‍යාලයෙන් පිටවී වසරකට පමණ පසු සේවා ස්ථානයකදී මගෙන් ඇසූ පැණයකි. එකම විශ්වවිද්‍යාලයේ වුවද, මහවැලි ගඟෙන් දෙපැත්තේ පිහිටි අධ්‍යයන පීඨ දෙකක සිසුන් වූ අප දෙදෙනා මුලින්ම දැන හඳුණා ගත්තේ ද ඊට මාස දෙකකට පමණ කලිනි.

මා පෙර දිනක දී කියූ ලෙසින්, එදා ඒ මගෙන් ඇසූ ප්‍රශ්ණය පසුපස තිබුණු සමාජ-දේශපාලන යථාර්තය දැක කම්පා වූ මම, ඔහුට පිළිතුරක් නොදුන්නෙමි.

අද මා මේ සැරසෙන්නේ ඒ නොදුන් පිළිතුර අකුරු කිරීමටයි.

මා උසස් පෙළ විභාගයට පෙනී සිටියේ මගේ දහ අටවෙනි උපන් දිනයට මාස දෙකකට කලිනි.

කුමන පාඨමාලාවක් හෝ හැදෑරීමට විශ්වවිද්‍යාලයට යාමට තරම් මගේ උසස් පෙළ ලකුණු ප්‍රමාණවත් වුවහොත් මා කාලයක සිට පෙරුම් පිරුවේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමටයි. එයට මූලිකම හේතුව වූයේ නවකතාවලින්, ගීතවලින් නිරතුරු උත්කර්ෂයට නැගෙනු අසා තිබූ හන්තානේ කඳු පාමුල, මහවැලි ගඟ අසබඩ සිව් වසරක් ගත කරන්නට සිත තුල බැඳුණු "පොඩි එකා ගේ ආසාව" යි.

පසු කාලයක මගේ බාල සොහොයුරා කළාක් මෙන් පිළියන්දල නැන්දලා ගේ නිවසේ සිට මොරටුවට යෑම වෙනුවට පේරාදෙනියේ වසර හතරක් පදිංචි වීමට මා ගත් තීරණයට ආර්ථික ශක්තිය දුන්නේ ඒ වන විටත් ගුරු සේවයෙන් විශ්‍රාම ලබා සිටි මගේ දුප්පත් පියා බව නෙත පිරුණු කඳුළින් යුතුව සිහි කරමි.

මා මගේ දහ නමවෙනි උපන් දිනය සැමරුවේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ පළමු වසරේ ශිෂ්‍යයෙක් ලෙස මාකස් ප්‍රනාන්දු ශාලාවේ දී ය.

සංජය වත්තේගම නිවැරදි ය. පේරාදෙනියේ ගත කළ සිව් වසරක් සහ මාස දෙකක කාලය තුල මා ටෙනිස් ක්‍රීඩා නොකළ බව සත්‍යයකි. එසේ වුවද, මා කළ කී වෙනත් දේ බොහෝ ය.

ටෙනිස් නොගැසූව ද මා නිරතුරු ටේබල් ටෙනිස් ක්‍රීඩා කළෙමි. ඇත්තටම කියනවා නම්, දෙවන වසර මුළ සිට තුන්වන වසරේ අවසානය වසර දක්වා ම මාගේ කාලය වැඩි වශයෙන් ගත වුනේ ශිෂ්‍ය පොදු කාමරයේ (Students' Common Room) ටේබල් ටෙනිස් සහ කැරම් ක්‍රීඩාවේ නිරත වීමටය කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

විශ්වවිද්‍යාල ක්‍රීඩාගාරයේ (Gymnasium) ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම සහ ශිෂ්‍ය පොදු කාමරයේ ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම අතර ඇති වෙනස දන්නෝ දනිති. නොදන්නන් ගේ දැන ගැනීම පිණිස කියනවා නම්, ශිෂ්‍ය පොදු කාමරයේ ටේබල් ටෙනිස් ක්‍රීඩා කෙරෙන්නේ දේශණ පැවැත්වෙන දිවා කාලයේ දී මිස ක්‍රීඩාගාරයේ දී මෙන් සවස් යාමයේ නොවේ!

දුම්රියේ පාසල් යාම අරඹා වයස දාසය පමණ ලැබූ පසු කවි ලියන්නට පෙළඹුනු මා ඒ සරල පෙම් ගීයෙන් ඔබ්බට ගියේ මේ සිව් වසරක කාලය තුළදී ය. ඉංජිනේරු පීඨ කලාකවය (Arts Circle) නිර්මාණ පුවරුවේ නිරතුරුවම මගේ කවි පළවිය. පාසල් සමයේ දී මා කළ කෙටිකතා ලිවීම නම් දිගටම කරන්නට තරම් උත්තේජනයක් නම් කලාකවයෙන් නොලැබුණු බව ද කිව යුතුය.

ඒ වෙනුවට, පළමු වසරේ දී සහ තුන්වෙනි වසරේ දී පැවති ඉංජිනේරු පීඨ පිළිගැනීමේ උළෙලේ (Freshers Welcome) දී සහ පීඨ දිනයේ (Faculty Day) දී පැවැති විවිධ ප්‍රසංග සඳහා කෙටි ප්‍රහසන ද්වයක් රචනා කර, අපේ කණ්ඩායමේ සිසු නළුවන් කිහිප දෙනෙකු ද සමග වේදිකා ගත කරන්නට මට හැකි විය.

පළමු වසරේ දී ම කලා කවයේ කමිටු සාමාජිකයෙකු ලෙසින් ඇරඹුණු මගේ විශ්වවිද්‍යාල සංගම් ජීවිතය, ඊළඟ දෙවසරේ දී, කලා කවයේ සංස්කාරක සහ ලේකම් ලෙසද, සමාජ විද්‍යා සංගමයේ (Social Science Society) සංස්කාරක සහ ලේකම් ලෙසද ගත වී අවසාන වසරේ උච්ඡස්ථානයට පත් වූයේ ඉංජිනේරු ශිෂ්‍ය සංගමයේ (Engineering Students Union) සභාපති ලෙසිනි.

අපේ දෙවන අධ්‍යයන වසර හිටි හැටියේම අවසාන වූයේ ශිෂ්‍ය උද්ඝෝෂණයක් සහ එහි දී ඇති වූ සිදුවීම් කිහිපයකට පසු විශ්වවිද්‍යාලය වසා දැමීමෙනි. විශ්වවිද්‍යාලය තහනම් භූමියක් ලෙස පවත්වාගෙන යමින් විභාග පවත්වා පසුව අපේ තුන්වන වසර ඇරඹෙන විට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අහෝසි කර තිබුණු අතර, පෙර වසරේ ශිෂ්‍ය නියෝජිතයින් ලෙස කටයුතු කළ සිසුන් බහුතරයක ගේ ශිෂ්‍ය භාවය තහනම් කර තිබුණි. ඒ අරාජික තත්වය පවතිද්දී ශිෂ්‍ය හඬ නංවන්නට යම් ආකාරයක සම්මාදමක් වෙන්නටත්, ඒ වසර අවසානයේ විශ්වවිද්‍යාල ශිෂයෙකු පොලිස් වෙඩි පහරකින් මිය ගිය පසු ඇරඹුණු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට (Action Committee) සක්‍රීයව දායකත්වය සපයන්නටත්,අන්තර් විශ්වවිද්‍යාල බලමංඩලයේ (Inter University Students Federation) රැස්වීම්වල දී පේරාදෙනිය විශ්වවිද්‍යාලය නියෝජනය කරන්නටත් මට හැකිවිය.

මේ සියළු බාහිර වැඩ කටයුතු සඳහා වැය කරන්නට සිදුවන්නේ අධ්‍යාපනය සඳහා ගත කළ යුතු කාලය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා ම, පළමු පන්තියේ සාමාර්ථයක් නොලැබුණද, දෙවන ඉහල පන්තියේ සාමාර්ථයක් (Second Class Upper Division) ලැබීම මට රජකම ලැබීම හා සමාන විය.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මා ගත කළ සිව්වසරක කාලය තුල මා නිරත වුණු ටේබල් ටෙනිස් සහ කැරම් ක්‍රීඩා, කවි සහ කෙටි නාට්‍ය වැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම්, ශිෂ්‍ය සංගම්වල සේවය සහ අවසානයේ දී ලබා ගත් අධ්‍යාපන ජයග්‍රහණය ගැන ද මා මෙහිදී සඳහන් කළෙමි.

ඒවා, මොරටුවේ දී වුව ද කළ හැකිව තිබූ දේ බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේ නම්, පේරාදෙනියේ දී පමණක් කළ හැකි දේ?

"හන්තානේ කඳු මුදුණ සිසාරා පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්"

ඔව්, ඒ කාරණා කටයුතු ද මම ඒ සිව් වසර තුළ කළෙමි. එක් වරක් පමණක් කළ යුතු දේ එක් වරක් නොව සිව් වරක් ම කළෙමි. එහි වරද නම් මගේ ය.

පේරාදෙනිය විශ්වවිද්‍යාලය මැදින් ගලා බසින මහවැලි ගඟ අසබඩින් වැටී ඇති ලවර්ස් ලේන් හෙවත් ආදරවන්තයින් ගේ පටුමග පිළිබඳව පසු කළෙක මා ලියූ ලිපියක කොටසක් මෙසේ ය.
සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහලට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම්ය.

හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙලෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යලි යලිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙනිය විශ්වවිද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.
මේ ලිපිය එක්තරා ආකාරයක පම්පෝරියකි. මා පේරාදෙනියේ දී කළ කී ඒ දේවල් මට වැදගත් වුව ද සංජය වත්තේගමට මෙන් ම මෙය කියවන ඔබට ද නොවැදගත් දේ වීමට හැකිය.

ඉතිං මට පාන් ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ කෙසේ වෙතත්, මගේ ජීවිතයේ සිව් වසරක් ගෙවුණු හැටි ඉතා සංක්‍ෂිප්තව ලියවුණු මේ ලිපිය අද පළ කරන්නට සිතුවේ රසිකොලොජි බ්ලොගයේ සුවිශේෂී සැතපුම් කණුවක් සනිටුහන් කරන්නටයි. මා මෙතැනට ලඟාවෙන්නට සිටියේ රසිකොලොජියට වසරක් ගතවෙන ඔක්තෝබර් විසි හත්වෙනිදා ය. නමුත්, මුලින් නොසිතු විලස, මාස හතක් ගත වීමත් සමගම ලිපි සියයක් ලියා පළ කරන්නට මට හැකිවිය.

පසුගිය සත් මසක කාලයේ දී මේ ලිපි සියයෙන් එකක් හෝ කියවූ, ප්‍රතිචාර දැක්වූ සැමට මගේ අවංක ස්තුතිය පිරිනමමි.