Showing posts with label සිංහල භාෂාව. Show all posts
Showing posts with label සිංහල භාෂාව. Show all posts

Saturday, 7 June 2025

තිසර ශ්‍රීමාල්, ෆේස්බුක් සහ ෆොටෝෂොප් - My two cents worth on Thisara Srimal's poem


ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෙවන් හිල්ස්හි පිහිටි සිංහල සංස්කෘතික කේන්ද්‍රයේ දී 09 දෙසැම්බර් 2023 දින පැවැත්වුණු "මකරන්ද" පද්‍ය සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයේ දී රසික සූරියආරච්චි කළ කතාවෙන් කොටසකි.

ආයුබෝවන් සහෘදයිනි

මා මේ සැරසෙන්නේ මකරන්ද කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කවියක් පිළිබඳව “රසවිඳුමක්” කරන්නයි.

“රසවිඳුම” කියන්නේ අපේ ලේඛක සංසදය විසින් මීට අවුරුදු අටකට පෙර ආරම්භ කළ වැඩසටහනට අප දුන් නමයි. ඒ රසවිඳුම වැඩසටහනේ දී අප කරන්නේ අපේ ලේඛකයෙකු විසින් ලියන ලද ග්‍රන්ථයක් පිළිබඳව විචාරාත්මක කතා බහක යෙදීමයි. වෙනත් වචන වලින් කියනවා නම්, ඒ සාහිත්‍ය නිර්මාණය අප එකිනෙකා රස විඳි ආකාරය පිළිබඳව අපේ අදහස් අන් අය සමඟ බෙදා ගැනීමටයි.

අපි කුඩා කාලයේ දී අකුරෙන් අකුර එකතුකර වචන ශබ්ද නගා කියන්නටත්, වචන එකතු කර වාක්‍ය කියවන්නටත්, වාක්‍ය පිරි පොත් කියවන්නටත් ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගත්තත්, සාහිත්‍ය කෘතියක් කියවා රසවිඳීම කියන්නේ ඊට වඩා සංකීර්ණ කාරණයක්. අප කුඩා කාලයේදී බත් පිඟානකට බත් සහ මාළුපිනි බෙදා ඇති විට එයින් කොටස බැගින් අනා කෑ යුතු ආකාරය ඉගෙන ගත්තා සේම ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගත යුතු, ඉගෙන ගෙන කළ යුතු කර්තව්‍යයක්.

සාහිත්‍ය නිර්මාණයක සැබෑ රසය විඳීමට නම් ඒ හා සම්බන්ධ පසුබිම් කාරණා පිළිබඳවත් අපට හොඳ අදහසක් තිබිය යුතුයි. අනිවාර්යයෙන්ම කියවීම සහ සතත අභ්‍යාසය ඒ සඳහා ඉවහල් වෙනවා. එනිසා එකම සාහිත්‍ය නිර්මාණය කියවා එකිනෙකා එයින් විඳගන්නා, ලබාගන්නා රසය වෙනස් විය හැකියි.

මකරන්ද පද්‍ය සංග්‍රහයට සම්මාදම් වී ඇති කවියන්, කිවිඳියන් දාහතර දෙනා අතුරෙන් සිඩ්නි තදාසන්නයේ වාසය කරන සුභාෂිනි ජයතිලක, ඊවා පී වික්‍රමගේ කිවිඳියන් සහ චම්ප බුද්ධිපාල කවියා මේ අවස්ථාවට සහභාගී වෙනවා. එනිසා, මා තෝරා ගන්නවා, බ්‍රිස්බේන් නගර තදාසන්නයේ වාසය කරන තිසර ශ්‍රීමාල් පතිරැන්නහෙලාගේ කවියා විසින් රචනා කොට ඇති "ෆොටෝෂොප්" නම් කවිය.

ෆොටෝෂොප්

මුහුණු පොත පිටුවක
රුවකි මග නොහැරෙන
මල්යාය මැද හිඳ
නුඹ තනිව සිනාසෙන

නුඹ ළඟින් වම් පසින්
උරහිසට අත තියන්
සිටි බවට මා එතැන
සලකුණක්වත් නොමැත

මගේ අත නුඹේ උර
තැබූ තැන නුඹෙ ගවුම
නැගුණු රැළි පවා අද
මැකී ගොස් ඇති අරුම

මේ කවිය කියවූ විගසම මගේ සිත නොදැනුවත්වම ඇදී ගියේ අපේ ගැටවර කාලයටයි. ඒ කියන්නේ අවුරුදු දාසයයි මාසය කාලෙට. ඇඟ ඇතුලේ හෝමෝන් වැටිලා ඇඟපත ලොකු වෙලා එන කාලෙට.

අද මේ සභාවේ ඉන්න සහෘද කවියන් කිවිදියන්ගේ අත්දැකීම් කොහොමදැයි මා හරියට දන්නේ නෑ. නමුත් ඔන්න ඔය කියන කාලෙ තමයි මගේ නම් කවි සිත අවදිවෙලා ඉබේම කවි ලියවෙන්න පටන් ගත්තෙ. ඒ කොළඹ ඉස්කෝලෙකට යන කාලේ දුම්‍-රියේ දී ඇස ගැටුණු සම වයසේ යුවතියන් ගැනයි.

කොටින්ම මගේ ඒ කවි ලියවිල්ල නතර වූයේ ඇක්සයිස් පොත් පහ හයක් පිරෙන්න කවි ලියලා. දැන්නම් ගෙදර තියෙන්නේ ඒ කවි පොත් ටික විතරයි.

තිසර ශ්‍රීමාල් කවියාගේ මේ කවියෙන් කියවෙන්නේ මගේ අත්දැකීම් ආකාරයේ සියයට පනහේ ආදරයක් ගැන නොවේ. ඊට ඉදිරියට ගිය ආදරයක් ගැනයි. එකිනෙකාට ළං වී, උරහිසට අත තියා තුරුළු කරගෙන ඡායාරූපවලට පෙනී සිටි ආදරයක් ගැනයි.

ඒක සීයට පනහට වඩා ඔබ්බට ගිය ආදරයක් වුණත්, කවියා අපට පවසන්නේ එය අවසාන වී ඇත්තේ විරහවෙන් බවයි. විරහ කියන්නේ ප්‍රේමය නිසා ඇතිවන ශෝකය යි. ප්‍රේමතෝ ජායතී සෝකෝ කියා කියනවානේ.

විරහා දුක විඳින පරාජිතයා ළඟ ඉතුරු වෙන දේ තමයි අපේ කාලේ දී නම් පෙම්හසුන්. ඒ නැති වුණත් ප්‍රේමය පිළිබඳ සිතේ ඇති මතකය. නව සහස්‍රකයේ පෙම්වතුන් නම්, ඔවුන් හිටපු පෙම්වතුන් වූ පසු පෙම්හසුන් නොමැති වුවත් බොහෝ විට ප්‍රේමාන්විතව ගත කළ කාලයේ ඩිජිටල් සටහන් සහ විශේෂයෙන්ම ඩිජිටල් ඡායාරූප ඉතිරි වෙනවා සිකුරුයි.

නමුත් ඩිජිටල් ඡායාරූප මෙලොවට බිහිවුණා සේ ම, එම ඡායාරූප වෙනත් අයගේ ඇස ගැටීමට පළ කළ හැකි ෆේස්බුක් වැනි සමාජ ජාලා බිහිවුණා සේ ම, ඒ ඡායාරූප සිතෙන පරිදි වෙනස් කළ හැකි photoshop වැනි මෘදුකාංග ද මෙලොවේ බිහි වී තිබෙනවා.

ඉතින් පෙම්වතියකට හැකියි, තමන් එකල තම පෙම්වතා සමඟ මල් වත්තක් මැද පෙමෙන් වෙළෙමින්, එකට තුරුළු වී හිඳි මොහොතක ලබාගත් ඡායාරූපයකින් පෙම්වතා සහමුලින් ම ඉවත්කර පමණක් නොව, ඔහු තමාගේ උරහිස්සේ අත තබාගෙන සිටීම නිසා ගවුමේ ඇතිවුණු රැලි පවා ඒ ඡායාරූපයෙන් ඉවත් කිරීමට.

අවසානයේ මේ පෙම්වතාටත් ඉතිරිව ඇත්තේ සිතේ ඇති මතකය පමණයි. ඩිජිටල් මතක වෙනස් වී ගොසින්. සබ්බේ සංඛාරා අනිච්චා.

අපි මේ හිටපු පෙම්වතියගේ දෘෂ්ටිකෝණයෙන් මේ කවිය දෙස බැලුවොත් හිටපු පෙම්වතාගේ සලකුණක් හෝ නොමැති වෙන්නට තමන් වෙතින් ඉවත් කිරීමට ඇයට අවශ්‍ය වූයේ දැන් ඇය තනිකඩ බවක් වෙනත් අයට දැන්වීමට විය යුතුයි.

ඔහු අත තැබූ තැන ගවුමේ සෑදුණු රැළි පවා ඉවත් කිරීමෙන් ඇය පවසන්නේ ඇයගේ කිසි අඩුවක් නැති බවයි. එසේම ඒ බව ඇය පවසන්නේ ලෝකයාට පමණක් නොවේ පරාජිත පෙම්වතාටත්, ඔහුගේ හදවතේ කොනටම, දැනෙන්නයි. එසේම, මේ ගවුමේ රැළි නැති කිරීම මගින් ඇය කර ඇත්තේ ඇගේ නැතිවුණු කුමරි බඹසර ඩිජිටිල් තාක්ෂණයෙන් සකසා ගැනීම යැයි යමෙකුට තර්ක කළ හැකියි.

ඒ සමගම පැවසිය යුතු අනෙක් කරුණවන්නේ ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව, මෙය, මේ ආකාරයට ම, තම පෙම්වතිය හැර යන පෙම්වතෙකුට වුව ද කළ හැකි බවයි. එනිසා, මේ නිර්මාණය එක් කෝණයකින් ලියා තිබුණත්, එය කාන්තා විරෝධී, පුරුෂෝත්තමවාදී එකක් නොවන බව මගේ අදහසයි.

තිසර ශ්‍රීමාල් තම කවියේ මාතෘකාව ලෙස යොදා ගෙන ඇති "ෆොටෝෂොප්" නම් යෙදුමෙන් තමයි මේ කවිය සම්පූර්ණ වන්නේ. එමගින් අපට වැටහෙන කාරණය තමයි, කවියක මාතෘකාව යන්න කෙතරම් සූක්ෂම ආකාරයට කවියේ රසය උද්දීපනය කිරීමට භාවිතා කළ හැකි ද යන බව.

මට මතකයි මා තරුණ වියේ දී ලියූ එක කවියක තිබුණේ මාතෘකාව පමණයි. කවිය ලියා තිබුණු කොළයේ ඉතුරු ඉඩ කඩ සියල්ලම හිස් අවකාශයක්. මගේ ඒ කවියේ මාතෘකාව වූයේ “ජීවිතය” යන්නයි.

තිසර ශ්‍රීමාල් පතිරැන්නහෙලාගේ කවියාගේ මේ නිර්මාණයෙහි මා දකින්නේ එකම එක අඩුවක් පමණයි. එනම් මෙහි Facebook යන්න වෙනුවට “මුහුණු පොත” නම් යෙදුම භාවිතා කර තිබීමයි.

මා මේ ළඟ දී "ෆේස්බුක්" අවකාශයේම ලියා පළ කළ පරිදි, "ෆේස්බුක්" යනු තනි වචනයක්, එය වෙළඳ නාමයක්. එනිසා එය දෙකට කඩා, සිංහලට පෙරළා, මුහුණු පොත යැයි ලිවීම වැරැද්දක්. අපේ කවියා "ෆොටෝෂොප්" යන්න මෙලෙසම දෙකට කඩා, සිංහලට පෙරළා “ඡායාරූප සාප්පුව” යැයි මාතෘකාව ලෙස යොදාගෙන නැත්තේ ඒ නිසයි.

දැන් ඉතින් මේ වන විට, පාරේ යන එන අතරතුර ඇස ගැටෙන තරුණියන් පිළිබඳව කවි සිතුවිලි ඇතිවීම, ඇක්සයිස් පොත් පුරා පෙම් කවි ලිවීම අපෙන් දුරස් වී ගොසින්.

ඊයේ ෆේස්බුක් සමාජ ජාලයේ තමන්ගේ තරුණ කාලේ පින්තූරයක් පළ කරමින් අප අතර සිටින කවියෙකු වන ලක්ෂ්මන් කොඩිතුවක්කු කියා තිබුණා ඒ කාලයේ තරුණියන් ඔහු දුටුවිට “ඔබයි රම්‍ය සඳකිරණ ගණ අන්ධකාරේ” යැයි පැවසූ බව සහ ඒ නමුත් එසේ කියූ කාන්තාවන් දැන් ඔහු දුටු විට අහක බලාගන්නා බව.

ඒ සටහන බලා මට හිතාගන්නට බැරි වුණු කාරණය නම් එදා මේඝ වලාකුළක් බඳු රැළි කොණ්ඩයක් තිබූ ලක්ෂ්මන්ට සඳ කිරණ කියා ඇමතූ තරුණියන්, ඇත්තටම ඔහුගේ සඳ පායා ඇති මේ කාලයේ ඒ සඳ කිරණ විඳින්නේ නැතුව අහක බලා ගත්තේ ඇයි ද යන්න.

ලක්ෂ්මන්ට මෙන්ම මටත් ඒ අතීත ශ්‍රී විභූතිය නැවත උදාකර ගත හැක්කේ ඉතිං "ෆොටෝෂොප්" මගින් පමණයි.

අපේ සිනුවර කිවිඳියන් දෙදෙනාට සහ කවියාට මගේ සුබපැතුම්.

සහෘද ඔබ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා!

- රසික සූරියආරච්ච්චි

(image: )

Friday, 22 March 2024

චන්ද්‍රසිරි පල්ලියගුරු පිළීබඳ මගේ මතකය - Good bye Professor Chandrasiri Palliyaguru


මා 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය ආරම්භ කිරීමට ඉතා දිගු කාලයකට කලින් සිට ම එහි සේවය කරන එකම එක පුද්ගලයෙකුගේ පමණක් නම දැනගෙන සිටියෙමි.

ඒ පුද්ගලයා චන්ද්‍රසිරි පල්ලියගුරු නම් විය.

ඔහුගේ නම අසා දැන තිබීමට එකම හේතුව වූයේ ඔහු විසින් ලියා සනත් නන්දසිරි විසින් ගායනා කර තිබුණු "ඉරා අඳුරු පට" නම් ගීතයයි.

ස්ථායි කොටස සහ අන්තරා කොටස් දෙකේ අච්චුවේ නිෂ්පාදනය වෙන අති බහුතරයක් වූ සිංහල ගීත හා සංසන්දනය කරන විට ඉරා අඳුරු පට යනු අසමසම ගීතයකි. එමෙන්ම විශිෂ්ට ගීතයකි.

විශ්වවිද්‍යාලයේ සේවය අරඹා ටික දිනකින්ම මා දැන හඳුනාගත් ආචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු යනු අතිශය නිර්ව්‍යාජ මනුස්සයෙකි. කැලණියේ වැඩ කරන කාලයේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරයේ දී නිතරම මුණ ගැසීමෙන් අප අතර හිතවත්කමක් ඇති විය. ඔහු තමන් ලියූ රසඥතාවය පිළිබඳ පොතකුත් මට තෑගි කළේය.

ඒ කාලයේදී ම ඔහුට සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය තනතුර ලැබුණි.

අපේ දියණිය ඉපදී දිනකින් පමණ ඇයට නමක් තැබීමට උපදෙස් ගැනීම සඳහා ම සිංහල අධ්‍යයන අංශයට ගියෙමි. බිරිඳගේ සහ මගේ නම් එකතු කර දියණියට නමක් අප ඒ වන විටත් නිර්මාණය කරගෙන තිබුණු අතර මට අවශ්‍ය වූයේ ඇගේ දෙවැනි නම සඳහා ග-අකුරෙන් ඇරඹෙන නමක් තෝරා ගැනීමයි.

සිංහල අංශයේ දී මහාචාර්ය පල්ලියගුරු හමු වූ විට ඔහු මා කැඳවාගෙන විශ්වවිද්‍යාල පුස්තකාලය වෙත ගියේය. එහි පරිශීලන අංශයට ගොස් ඔහු අතට ගත්තේ සංස්කෘත සිංහල ශබ්දකෝෂයයි. එහි ගයන්න ඇරඹෙන පිටුව පෙරළා එතැන් සිට උඩට පහළට යමින් පිටු පෙරළමින් ඔහු මා සමග සෑහෙන වේලාවක් ගත කළේ ය. දින කිහිපයකට පසු දියණියගේ උප්පැන්න සහතිකයට ඇතුළත් වූයේ එදා මහාචාර්ය පල්ලියගුරු මට තෝරා දුන් නමයි.

අද 22 මාර්තු 2024 දින, මීට මොහොතකට පෙර, මා මිත්‍ර කුසුම්සිරි විජේවර්ධන විසින් මහාචාර්ය පල්ලියගුරු සමග කරන ලද සාකච්ඡාවක් අනුසාරයෙන් ලියූ සටහනක් පල කර තිබුණි. එය කියවන මොහොතේ මා සිතුවේ පුවත්පත් කලාවේදියෙකුට වන කුසුම්සිරි තම පුවත්පතට ඊයේ පෙරේදා ලියූ ලිපියක් මෙලෙස පල කර ඇති බවයි.

එම ලිපිය කියවද්දී චන්ද්‍රසිරි පල්ලියගුරු කැලණිය විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයකු ලෙස ඇතුළත් වී ඇත්තේ 1961 වසරේ දී බවත්, විශේෂයෙන්ම ඔහු කැලණියට පැමිණියේ හින්දි භාෂාව ඉගෙනීමට බවත්, ඊට අමතරව සිංහල සහ සංස්කෘත භාෂා ද ඉගෙන ගත් බවත්, හින්දි භාෂාවෙන් සිව් වසරක විශේෂවේදී උපාධියක් කිරීමට විශ්වවිද්‍යාලය තුළ පහසුකම් නොතිබුණු හේතුව නිසා සිංහල විශේෂවේදි උපාධිය සඳහා ලියාපදිංචි වූ බවත් එම ලිපියේ සඳහන් විය.

සිංහල මහාචාර්යවරයා සංස්කෘත ශබ්දකෝෂයක් පරිශීලනය කළේ ඇයි යන්න පිළිබඳව මගේ හිතේ කොනක දිගු කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයකට පිළිතුර එයින් ලැබුණි.

ඉදිරි දිනක ලංකාවට ගිය වෙලාවක චන්ද්‍රසිරි පල්ලියගුරු හමුවීමට යා යුතු යැයි මම සිතුවෙමි. මා කිසි දිනක ඔහුගේ නිවසට ගොස් නැති වුනත් එය පිහිටා ඇත්තේ කඩවත නිකාඩෝ සමාගම තිබුණු ප්‍රදේශයේ බවට මතකයක් ද අවදි විය.

මහාචාර්යවරයා මියගොස් ඇති බව දැනගත්තේ එම ලිපියට ලැබී තිබුණු ප්‍රතිචාර කියවද්දී ය.

දැන් ඉතින් කීමට ඇත්තේ "සුභ ගමන් මිතුර!" කියා පමණි.

"එන්න මගේ ප්‍රිය මිතුරෝ!" යැයි කියමින් ඔහු දිනක මට ද අඬ ගසනු ඇතැයි සිතමි.

------------------------------------------------------

ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ දිලිසෙන පිණි මත
පියමං කරමින්
අහස් ගව්වටයි ළං වන්නේ
ඉරු රැස් දැඩි වී ඇකිලී ගුලි වී
බොඳවී යාදෝ මිණි කැට මිහි තුළ
පා පෙරළී ගොස් රැඳේ ද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ
ඉර හඳ නැති වී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළත් සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ

පදමාලාව: චන්ද්‍රසිරි පල්ලියගුරු
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
ගායනය: සනත් නන්දසිරි

මේ 1974 වසරේ තිරගත වූ "අහස් ගව්ව" චිත්‍රපටයේ තේමා ගීතයයි.

(image: Daily News, 22 March 2024)

Friday, 8 September 2023

සිසිල මාසික සාහිත්‍ය සඟරාවට දෙවසරක් පිරේ - Sisila Magazine completes two years



ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ වාර ප්‍රකාශනය ලෙස 2021 සැප්තැම්බරයේ දී නිකුත් කෙරුණු සිසිල මාසික සාහිත්‍ය සඟරාව 2023 සැප්තැම්බර් කලාපය නිකුත්වීම සමග තුන්වෙනි වසරට පා තැබූ බව සතුටින් දැනුම් දෙමි.

සිනුවර සිංහල යන අරුතෙන් “සිසිල” ලෙස නම් කෙරුණු මේ ප්‍රකාශනයේ මූලික අරමුණු වූයේ අපේ සාමාජිකයින්ගේ මෙන්ම ඕස්ට්‍රේලියානුවාසී සිංහලෙන් ලෙඛනයේ යෙදෙන්නන්ගේ නිර්මාණ සහ ලිපි ලෝකය පුරා සිංහල භාෂාව කියවන පාඨක පිරිස අතරට ගෙන යාම සහ පළ කිරීම සහ පොදුවේ සිංහල ලේඛනයේ ප්‍රගමනයයි. ඉතා ඉක්මනින් ම ලෝකය පුරා සිංහල පාඨකයින් අතර පැතිරී ගිය සිසිල මාසික සාහිත්‍ය සඟරාවට මේ වන විට ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් රටවල වෙසෙන ලේඛකයින්ගේ ද නිර්මාණ දායකත්වය ලැබේ.

සිසිල මාසික සාහිත්‍ය සඟරාවේ පළවෙන්නේ, විවිධ මාතෘකා යටතේ ලියවෙන තීරු ලිපි, කෙටිකතා, කාව්‍ය නිර්මාණ ආදියයි. ඒ සමගම, කොටස් වශයෙන් පළවෙන නවකතාවක් ද, ඔබේ වාග්-බලය අභියෝගයට ලක්කරන ප්‍රහේලිකාවක් ද අඩංගුය.

සිසිල මාසික සාහිත්‍ය සඟරාව සැකසෙන්නේ බලන්නට නොව කියවන්නට ය. මුද්‍රණයට නොව මූලිකව ම ඉලෙක්ට්‍රොනික තිරයක කියවන්නට ය. නෙත නොව සිත පිනවන්නට ය.

සඟරා පිටපත් සං‍රක්ෂණය සඳහා සකසා ඇති වෙබ් අඩවියේ [sisilamagazine.blogspot.com] සිසිල පෙර කලාප පළ කිරීම ආරම්භ වී ඇත.

සඟරාව සඳහා ෆේස්බුක් පිටුවක් [www.facebook.com/SisilaMagazine] ද, සඟරාවේ පාඨකයින් සඳහා ෆේස්බුක් කණ්ඩායමක් [www.facebook.com/groups/sisila] ද නිර්මාණය වී ඇත.

ඊ-මේල් හරහා නොමිලේ බෙදා හැරෙන සිසිල මාසික සඟරාවේ පිටපත් ලබා ගැනීමට කැමති අය ලිපිනයට ඊ-මේලයක් එවන්න.

සිසිල මාසික සාහිත්‍ය සඟරාවේ මුල් වෙළුමේ කලාප දොළස, ඉහත සං‍රක්ෂණ වෙබ් අඩවියෙන් මෙන්ම පහත සබැදි ඔස්සේ ද කියවිය හැක.

    
    
    
    
    
    

ස්තුතියි.
රසික සූරියආරච්චි,
සංස්කාරක, සිසිල සඟරාව,
සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව, නිව් සවුත් වේල්සය, ඕස්ට්‍රේලියාව

(image: )

Monday, 12 November 2018

"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ සිනුවර දොරට වැඩුම උත්සවයේ දී රසික සූරියආරච්චි විසින් කළ දේශනය - For those who were not there


සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පාදනය කළ "ඔසී රටේ අපේ කතා” ග්‍රන්ථයේ 2018 නොවැම්බර් 11 දින පැවති සිනුවර දොරට වැඩුම උත්සවයේ දී ලේඛක සංසදය වෙනුවෙන් රසික සූරියආරච්චි විසින් කළ දේශනය

දීර්ඝකාලීන ව්‍යාපෘතියක අවසානයේ යම්කිසි නිමාවක් සනිටුහන් කරන මේ මොහොතේ මේ ව්‍යාපෘතිය සමග මුල සිටම අද දක්වාම සම්බන්ධව සිටි සම්බන්ධීකාරක හැටියට අදහස් දැක්වීමට ලැබීම ඉතාමත් සතුටක්.

මට ලැබී තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනයට ගනිමින්, අසා සිටින ඔබ හැමටත් පීඩාකාරී නොවන ආකාරයට, ඉතාම කෙටියෙන් මා කරුණු තුනක් පිළිබඳව අදහස් දැක්වීමට මෙහිදී බලාපොරොත්තු වෙනවා. මා මේ කියන්නට යන ඇතැම් කරුණු සිංහල සංස්කෘතික හමුව සහ ලේඛක සංසදය සමග දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කටයුතු කරන මගේ සහෘදයින් බොහෝ දෙනෙකු දන්නා නමුත් අද මෙම උත්සවයට සහභාගි වෙන සියලූ දෙනාගේම දැන ගැනීම පිණිසයි මා කතා කිරීමට අදහස් කරන්නේ.

අද දොරට වඩින මෙම "ඔසී රටේ අපේ කතා" කෙටි කතා එකතුව සම්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භය ලෙස අප සලකන්නේ 2012 මාර්තුවේ දී සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් පැවැත්වූ කෙටිකතාකරණය පිළිබඳ වැඩමුළුවයි.

ඒ වැඩමුළුව පිළිබඳව පසුව පැවැත්වූ සාකච්ඡාවක දී ලේඛක සංසදය විසින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ලේඛකයින් විසින් රචනා කරන කෙටිකතා එකතුකර ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කළ යුතු බවට තීරණයක් ගත්තා.

අපි 2013 මුල්භාගයේ දී මාධ්‍ය නිවේදන මගින් මේ යෝජිත කෘතියට තමන් විසින් රචනා කරන ලද කෙටිකතා එවන ලෙස ඉල්ලා සිටියා. අපේ අරමුණ වූයේ ඕස්ට්‍රේලියානුවාසි සිංහල ලේඛකයින් විසින් තමන්ගේ සංක‍්‍රමණික අත්දැකීම් මත පදනම් රචනා කරන ලද කෙටිකතා මෙම යෝජිත කෙටිකතා සංග‍්‍රහයට ඇතුළත් කිරීමටයි. අඩු වශයෙන් ඕස්ට්‍රේලියාවේ දී යමෙකු ගෙවන ජීවිතය ගැන යම් හෝ සඳහනක් මේ නිර්මාණ වලට ඇතුළත් විය යුතු බව අපේ අදහස වුණා.

එයට හේතුව තරමක් පැහැදිලි කරනවා නම්, ලේඛකයින්ගේ වෙනත් පරිසරයක දී ලබන ලද අත්දැකීම් මත පදනම් වූ නිර්මාණ අපට ශ‍්‍රී ලංකාව මූලික කොටගත් සිංහල සාහිත්‍යයේ ඇති තරම් දැකීමට ලැබෙන අතර එවැනි නිර්මාණ බිහි කිරීමට හැකියාව ඇති විශාල පිරිසක් ද ශ‍්‍රී ලංකාවේ වෙසෙනවා. නමුත් නිසැකවම ඕස්ට්‍රේලියාව පසුබිම් කරගත් නිර්මාණ බිහි කළ හැකි පිරිස සිටින්නේ අප අතර පමණයි. ඕස්ට්‍රේලියාවට කෙටිකාලීන සංචාර සඳහා පැමිණි අය යම්යම් නිර්මාණ බිහි කළත්, ඒවායේ අන්තර්ගතය තුළින් සංක‍්‍රමණික අපේ ජීවිත එතරම් හොඳින් නිරූපණය වෙනවා යැයි සිතන්නට බැහැ.

එසේම මේ වන විට සිංහල සාහිත්‍යයේ මධ්‍යස්ථානය වන ශ‍්‍රී ලංකාවෙන් පරිබාහිරව විදෙස් රටවල සිටින සිංහල ලේඛකයින් විසින් කරන සාහිත්‍යමය නිර්මාණ, විගාමික සිංහල සාහිත්‍යය නම්, වෙනම සුවිශේෂී ශානරයක් ලෙස සැලකීමට තරම් දියුණු වී තිබෙනවා. මේ කෘති කියවීමෙන් ලංකාවේ වෙසෙන සිංහල පාඨකයාට ලැබෙන්නේ, අප එදා රුසියානු ඇතුළු වෙනත් විදේශීය රටවල් පසුබිම් කරගෙන නිර්මාණය වුණු කෘති කියවීමෙන් ලැබූ මා ”ආගන්තුක චමත්කාරය” ලෙස හදුන්වන සුවිශේෂී රසාස්වාදයට සමාන රසයක්.

අපේ ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස මෙම යෝජිත කෘතියේ අඩංගු කිරීම පිණිස අපට කෙටිකතා විසි අටක් ලැබුණා. අපේ නිර්නායකයට අනුකූලව අප එයින් කෙටිකතා විසිතුනක් මේ කෘතිය සඳහා තෝරා ගත්තා.

ඒ ලැබුණු කෙටි කතා සංස්කරණය කර මෙම කෘතිය සම්පාදනය කිරීම සඳහා අප තෝරා ගත්තේ ඉතාමත් කල් ගතවෙන නමුත් ලේඛක සංසදයේ සාමාජිකයින්ට ප‍්‍රයෝජනවත් වෙතැයි සිතන ක‍්‍රමවේදයක්. එනම්, සංසදයේ සාමාජිකයින් රැස්වී කෙටිකතා එකිනෙක සාමූහිකව කියවා ඒවා පිළිබඳ සාකච්ඡුා කොට ඒත් සංස්කරණය කිරීමේ ක‍්‍රමවේදයයි. අපේ ව්‍යාපෘතියේ මේ අදියර ඇරඹුණේ 2013 සැප්තැම්බර් මාසයේදී යි.

මේ සංස්කරණ ලෙසින් සඳහා මුලදී ලේඛක සංසදයේ සාමාජිකයින් හත් අට දෙනෙකු පමණ සහභාගී වූවා. මගේ මතකයට අනුව අප මූලික සංස්කරණ රැුස්වීම් දොළහක් පමණ පැවැත්වූවා. පාලිත ගනේවත්තගේ නිවසේ රැස්වීම් හතරකුත්, ඊළ`ගට පුෂ්පා සූරියආරච්චිගේ නිවසේ දීත්. මේ කර්තව්‍යය සඳහා අපට වසර එකහමාරක් පමණ කාලයක් ගත වුණා.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් නම්, ලේඛක සංසදයේ සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම කෘති සඳහා තමන්ගේ කෙටිකතා නිර්මාණ ඒවා තිබුණ නිසා අප සංස්කරණය රැස්වීම්වලදී භාවිතා කළේ රචකයාගේ නම නොමැති පිටපත් බවයි. ලේඛක සංසදය විසින් ගන්නා ලද තීරණයක් අනුව එක් එක් කෙටි කතාවේ රචකයා කවුදැයි දැන සිටියේ මේ ව්‍යාපෘතියේ ආරම්භක සම්බන්ධීකාරක වූ මා පමණයි.

කෙටිකතා සංස්කරණයේ දී අප සැලකිල්ලට ගත්තේ, ”නණලළ” ඇතුළු අක්ෂර වින්‍යාසය, පද බෙදීම, පද යෙදීම සහ කෙටිකතාවේ අන්තර්ගතය පාඨකයින්ට සම්පේ‍්‍රෂණය වීම වැනි කරුණු පමණයි.

මේ ආකාරයෙන් කඩදාසි පිටපත් මත සංස්කරණය කරන ලද කෙටිකතා ඊළ`ගට මෘදු පිටපතට නංවා, ලේඛකයින්ගේ අනුමැතිය පිණිස යැවීම කළ යුතුව තිබුණා. මේ කර්තව්‍යය ආරම්භක සම්බන්ධීකාරක වූ මගේ වගකීමක් වූ නිසා, ඒ සඳහා අවාසනාවන්ත ලෙස ඉතා දීර්ඝ කාලයක් ගත වුණා. කෙතරම් දීර්ඝ කාලයක් ගත වුණේ ද යත්, මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු ඉක්මන් කිරීම සඳහා ඥානතිලක හේවාගමගේ ද සම සම්බන්ධීකාරකයෙකු ලෙස ලේඛක සංසදය විසින් පත්කරනු ලැබුවා.

ඥානතිලක හා මා දින කිහිපයක් ම මුණ ගැසී, වැඩකටයුතු බෙදාගෙන, එක්වත්, වෙන්වෙන්වත් කටයුතු කළා. අවසානයේ, 2017 ජූලි මාසය වනවිට අපට මේ කෘතියේ අත්පිටපත සම්පාදනය කරගත හැකි වුණා.

කෙටිකතා නිර්මාණය කළ ලේඛකයින්ගේ දෙවන වටයේ අදහස් ද අඩංගු කර ගනිමින් නැවතත් අත්පිටපත සංස්කරණය කර සරසවි ප‍්‍රකාශනයක් ලෙස මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට ලැබුණේ මෙම වසරේ ජූලි මාසයේදී යි.

සිඞ්නි නගරයට මෙම කෘතියේ පිටපත් ගෙන්වාගැනීමට අප කටයුතු කරන අතරේ ශ‍්‍රී ලංකාවේදී ඔසී රටේ අපේ කතා කෘතිය ජනගත කිරීමේ උත්සවයක් පැවැත්වුණු බව ඔබ සමහර දෙනා දන්නවා. ඒ කටයුතු සංවිධානය කළේ නිහාල් රූපසිංහ සහ කලක් අප අතර සිට දැන් ශ‍්‍රී ලංකාවේ වෙසෙන ප‍්‍රියන්ත ෆොන්සේකා විසිනුයි.

ඒ උත්සවය පැවැත්වුණේ පසුගිය අගෝස්තු මාසයේ 17 වෙනි දා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ආරියපාල ශ‍්‍රවණාගාරයේ දී යි. එහිදී වියත් පිරිසක් විසින් විගාමික සාහිත්‍ය කෘතියක් ලෙස මෙම ග‍්‍රන්ථයෙහි ඇති සුවිශේෂීත්වය පිළිබඳ කරුණු දක්වන්නට යෙදුණා. අපේ කෘතියේ වැදගත්කම පිළිබඳව ධනාත්මක විචාර කිහිපයක් ද මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ ලේඛිකාවක සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන සංජීවනී රූපසිංහ සහ සම්මානලාභී කෙටිකතාකරු කමල් පෙරේරා විසිනුයි.

මා කලින් සඳහන් කළ විගාමික සිංහල සාහිත්‍ය ශානරයට ඔසී රටේ අපේ කතා කෘතිය තුළින් යම්කිසි ප‍්‍රමාණවත් සම්මාදමක් කිරීමට අපට හැකි වූවා තියා මට සිතෙනවා. ආරම්භයේ සිටම මේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීමේ කටයුතුවලට සහ සංස්කරණයට සහභාගි වූ සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ සාමාජිකයෙකු ලෙස මට ඒ කාරණය පිළිබඳ ඇත්තේ දැඩි සතුටක්.

දැන් මා කෙටියෙන් අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙන දෙවැනි කාරණය දෙස යොමු වෙන්නම්.

අද මෙහි දී එළිදක්වෙන ”ඔසී රටේ අපේ කතා” කෘතිය සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් ප‍්‍රකාශිත මුල්ම කෘතියයි. නමුත් අද මේ සිටින බොහෝ දෙනෙකු දන්නා පරිදි මෙය සංස්කෘතික හමුව මගින් ප‍්‍රකාශනය කරන්නට යෙදුණු තුන්වැනි කෘතිය වෙනවා.

සංස්කෘතික හමුව වශයෙන් අප විසින් ප‍්‍රකාශයට පත් කළ මුල් කෘතිය වූයේ ”තිරස තරණ” නම් කෙටිකතා එකතුවයි. ”ඔසී රටේ අපේ කතා” කෘතිය ආකාරයෙන්ම සංක‍්‍රමණික සිංහල ලේඛකයින් විසින් තමන්ගේ ඕස්ට්‍්‍රලියානු අත්දැකීම් අළලා ලියැවුණු කෙටි කතා පහළොවකින් යුතු ”තිරස තරණ” කෘතිය එළිදැක්වුණේ 2008 වසරේ පෙබරවාරි මාසයේදී යි. සිංහල සංස්කෘතික හමුවේ සංස්කාරක ලෙස තිරස තරණ කෘතිය සම්පාදනය කිරීමට මට අවස්ථාව ලැබුණා.

ඊළ`ගට සිංහල සංස්කෘතික හමුව මගින් සම්පාදනය කෙරුණේ ඕස්ට්‍්‍රලියාව පිළිබඳව සම්මත ආකෘතියෙන් ලියැවුණු සඳැස් කවි සහිත ග‍්‍රන්ථයක්. සර්ග අටකින් ද, සිව් පදයෙන් යුතු සඳසෙන් බැඳුණු කවි හාරසිය අනූ පහකින් ද, යුක්ත වූ දකුණු කුරු දිව් කව් නම් මෙම කෘතිය දොරට වැඩියේ 2010 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි.

ඒ මහා කාව්‍යය සඳහා කවියන් තිස්තුන් දෙනෙකු ගේ සම්මාදම ලබා ගන්නට අපට හැකි වුණා. ”දකුණු කුරු දිව්” කව් ග‍්‍රන්ථය සංස්කරණය කළේ හෙන්රි කුමාරප්පෙරුම සහ මා විසිනුයි.

ඕස්ට්‍රේලියාව පිළිබද තත්කාලීන සහ ඓතිහාසික තොරතුරු අඩංගු ගද්‍ය කෘතියක් ද සිංහලෙන් සම්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡුාවක් ඇති වුණ ද එය ක‍්‍රියාත්මක වුණේ නැහැ.

කෙසේ නමුත් ඉදිරි කාලයේ දී සංස්කෘතික හමුවේ ලේඛක සංසදයට තවත් විවිධාකාරයේ ග‍්‍රන්ථ සම්පාදනය කිරීමට ලැබේය කියා මා විශ්වාස කරනවා. ඒ සඳහා මා දැනට දෙවරක් ම, යෝජනා කර තිබෙන්නේ අපේ ලේඛකයින් විසින් රචනා කරන ලද ප‍්‍රශස්ත සිංහල කෙටිකතා ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් සහ මූලිකව ම ඉංග්ලිෂ් භාෂාවෙන් ලියවෙන ලාංකික සංක‍්‍රමණිකයින්ගේ නිර්මාණයක එතුවක් බිහි කිරීමේ ව්‍යාපෘතියකුයි. මේ යෝජනා සඳහා තවමත් ලේඛක සංසදයේ අනුමැතිය ලබාගැනීමට නොහැකි වුවත්, තව වසරකින් හෝ දෙකකින් පමණ ඒ ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වේ යැයි මා සිතනවා.

අවසාන වශයෙන් මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අද මේ පැවැත්වෙන උත්සවය වැනි පොත් දොරට වැඞීමේ උත්සව පිළිබඳවයි.

පොතක් ප‍්‍රකාශයට පත් වුණු පසු, එම කෘතිය ජනගතකිරීම, දොරට වැඞීම, එළිදැක්වීම, යනාදී විවිධාකාරයෙන් හැඳින්වෙන මේ ආකාරයේ උත්සවයක් හරහා, පාඨකයින් වෙත ප‍්‍රදානය කිරීම ලොව දසතම සිදුවෙන කාර්යයක්.

සිංහලෙන් ලියැවුණු ග‍්‍රන්ථයක් මුලින්ම සිඞ්නි නගරයේ දී ඒ ආකාරයට දොරට වැඞීමක් සිදු වුණේ කවදාදැයි මා නිශ්චිතවම දන්නේ නැහැ. මා අනුමාන කරන විදිහට, අප අතර සිටින ලේඛකයෙකුගේ කෘතියක් ඒ ආකාරට සිඞ්නි නගරයේ දී මුලින් ම එළිදක්වනු ලැබුවේ 2004 වර්ෂයේ දී විය යුතුයි. නමුත් ඒ සඳහා සිංහල සංස්කෘතික හමුවේ සම්මාදමක් තිබුණා යයි මා සිතන්නේ නැහැ.

අප අතර වෙසෙන ලේඛකයින් විසින් ප‍්‍රකාශයට පත් කෙරෙන ග‍්‍රන්ථ මෙන්ම අනෙකුත් කලාකරුවන් විසින් නිර්මාණය කරන සංයුක්ත තැටි වැනි කලා කෘති දොරට වැඞීම සඳහා සංස්කෘතික හමුව විසින් සෘජුවම මැදිහත් වී සහයෝගය දිය යුතු යැයි 2006 වසරේ අගෝස්තු මස පැවති සිංහල සංස්කෘතික හමුවේ ඉදිරි ගමන පිළිබඳ වූ වැඩමුළුවක දී මා යෝජනා කළා. ඉන්පසු සංස්කෘතික හමුවේ කමිටු සභා රැස්වීමකට ඉදිරිපත් වුණු ලිඛිත යෝජනාවක් සාකච්ඡුාවේ සභා සම්මත වීමෙන් පසුව මුල්වරට මෙවැනි පොත් එළිදැක්වීමක් සංවිධානය කෙරුණේ 2006 වසරේ දෙසැම්බර් මස පැවති සංස්කෘතික හමුවේ වාර්ෂික සාමාජික සාදය සහ නත්තල් උත්සවය අතරතුරයි. එහිදී දොරට වැඩියේ පාලිත ගනේවත්ත විසින් රචනා කරන ලද ”ඇවිත් නොරටක” නම් නවකතාවයි.

පසුව, 2009 වසරේ නොවැම්බරයේ දී සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ ව ලේඛක සංසදය ආරම්භ කළ පසු මේ ආකාරයේ ග‍්‍රන්ථ එළිදැක්වීම් වලට සහයෝගය දී සංවිධානය කිරීම ලේඛක සංසදය විසින් ඇරඹුවා. පසුගිය වසර හත අටක කාලය තුළ එවැනි උත්සව විශාල සංඛ්‍යාවකට සහභාගි වීමට අපට අවස්ථාව ලැබුණා.

අද මෙම පැවැත්වෙන උත්සවයේ සුවිශේෂිත්වය වන්නේ මෙය පෙර අප සංවිධානය කළ ආකාරයේ අපේ එක් සාමාජිකයෙකුගේ ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උත්සවයක් නොව, අපේ සාමාජිකයින් විශාල පිරිසකගේ සම්මාදමෙන් යුතු ග‍්‍රන්ථයක දොරට වැඞීමේ උත්සවයක් වීමයි.

ඔසී රටේ අපේ කතා ග‍්‍රන්ථය පිළිබඳව කිවයුතු තවත් සුවිශේෂී කාරණයක් නම්, මෙහි එන කෙටිකතා අතරින් කිහිපයක් ම, ඒ ඒ රචකයින් ගේ ග‍්‍රන්ථයක් ලෙස එළි දැක්වෙන මුල්ම කෙටිකතා නිර්මාණ වීමයි. එය ලේඛක සංසදයේ පිහිටුවීමේ අපේ මුඛ්‍ය අරමුණක් සාක්ෂාත් කරගැනීමක් ද වෙනවා.

ඔබ සැමට ස්තුතියි.

-රසික සූරියආරච්චි

ප/ලි:
සරසවි ප්‍රකාශනයක් ලෙස 2018 වසරේ ජූලි මාසයේ දී වෙළඳපොළට නිකුත්වුණු ඔසී රටේ අපේ කතා කෘතියේ සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. වට්ටම් සහිතව සරසවි පොත්හල ශාඛාවකින් රුපියක් 390 කට පමණ මිලට ගත හැක.

ප/ප/ලි
මෙන්න වීඩියෝව. පිටපතට වඩා එහෙන් මෙහෙන් වෙනස්.



(image: By Pushpa Suriyaarachchi)

Tuesday, 6 November 2018

"ඔසී රටේ අපේ කතා" කෘතියේ සිනුවර දොරට වැඩුම - All are invited


ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද කෙටිකතා විසිතුනකින් සමන්විත "ඔසී රටේ අපේ කතා" කෘතියේ සිනුවර දොරට වැඩුම 2018 නොවැම්බර් 11 වෙනිදා, ඉරිදා, සවස 230 ට සිනුවර තදාසන්නයේ කෙලිවිල් හි රයිට්ස් රෝඩ් ප්‍රජා ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.

සරසවි ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ දී 2018 ජූලි මාසයේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ මෙම කෘතිය ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පානය කරනු ලැබූ මේ ග්‍රන්ථයේ ශ්‍රී ලංකාවේ දොරට වැඩුම 2018 අගෝස්තු මස දාහත්වෙනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වුණි.

ඉරිදා පැවැත්වෙන උත්සවය පිළිබඳ මම ඊයේ සිනුවර 99.9 FM ඔස්සේ ප්‍රචාරය වෙන "විදුර" සිංහල ගුවන් විදුලි වැඩසටහනට සහභාගී වීමි.

එහි ෆෙස්බුක් සජීවී විකාශයෙන් උපුටාගත් වීඩියෝවක් දැන් ඔබට නැරඹිය හැකි ය.



සිනුවර වසන ඔබ සැමට සිනුවර වසන ඔබ සැමට 2018 නොවැම්බර් 11 වෙනිදා, ඉරිදා, සවස 230 ට සිනුවර තදාසන්නයේ කෙලිවිල් හි රයිට්ස් රෝඩ් ප්‍රජා ශාලාවේ දී පැවැත්වෙන දොරට වැඩුමට සහභාගී වෙන ලෙස සාදරයෙන් ආරාධනා කරමි.

රසික සූරියආරච්චි

ප/ලි:
මේ ග්‍රන්ථයේ ඇතුළත් කෙටිකතා සහ ඒවායේ රචකයින් මෙසේ ය.

රමේෂ් - ප්‍රියන්ත ෆොන්සේකා
මානව හිතවාදියා - සමන් දිසානායක
පුත්‍ර ස්නේහය - දීපිකා ශ්‍රියානි සුන්ද්‍රාවඩුගේ
මීනා - පුෂ්පා සූරියආරච්චි
කතුර - නිහාල් රූපසිංහ
අවුරුදු නැකත - පාලිත ගනේවත්ත
ඩොලර් දෙකේ සන්තෝෂය - රසික සූරියආරච්චි
දෛවයෝගයක් - ඥානතිලක හේවාගමගේ
වාසනාවන්තයෝ - ෂෙල්ටන් පීරිස්
සිඳුණු පියාපත් - ෂාමලින් පෙරේරා
සුරතල්ලූ - ශ්‍යාමා රත්නායක
රියදුරු බලපත්‍රය - මොරගොඩ මලියසේන
දරු මුණුපුරෝ - රෝස් ගුණසේකර
මිණි කැට සහ මුතු ඇට - ජයන්ත ඈපා
ඕස්ට්‍රේලියාව, "රටගාය" හා අප - දිලිනි ඊරියවල
මෝන් සහ ඩූන් - මලී දිසානායක
අයි කේම් ෆ්‍රොම් ශ්‍රී ලංකා - දුමින්ද ගමගේ
ඉරණම - උපේකා පීරිස්
ජන්මාන්තර වෛරක්කාරයා - රසෝමි මුදලිගේ (පරිවර්තනය නිහාල් රූපසිංහ)
සිනහව අතරින් - පියසේන පියසිරි
චෙරි - පූර්ණිමා ජයතිස්ස
ජීවයට ජීවය - කරුණාසේන කහටපිටිය
උපැස් යුවලක් අතරින් - ලලිත් ලොකුකුරුප්පුආරච්චි

"ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ පිටු 250 කි. සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. සරසවි පොත්හල ශාඛාවලින් 20% වට්ටම් සහිතව ලබාගත හැක.

ප/ප/ලි:
අපේ සිංහල සංස්කෘතික හමුව හමුව මගින් මින් පෙර සම්පාදනය කරන ලද ග්‍රන්ථ මෙසේ ය.

තිරස තරණ - ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ සිංහල කෙටිකතා එකතුව (2007) - දයාවංශ ජයකොඩි සමාගම
දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය (2010) - දයාවංශ ජයකොඩි සමාගම

(image: designed by Deepal de Silva)

Thursday, 16 August 2018

ඔසී රටට පැන්න අපේ අයියලාගේ සහ අක්කලාගේ කතන්දර - A new chapter in Sinhala diasporic literature


ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද කෙටිකතා විසිතුනකින් සමන්විත "ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගිය දා මුද්‍රණාද්වාරයෙන් නිකුත් විය.

මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

මා විසින් රචනා කරන ලද "ඩොලර් දෙකේ සන්තෝෂය" නම් කෙටිකතාව ද මේ කෘතියට ඇතුළත් වේ.

"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ දොරට වැඩීමේ සාහිත්‍ය උත්සවය හෙට, 2018 අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ එම් බී ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ උත්සවයට සහභාගීවන ලෙස ඔබට කෙරෙන සාදර ඇරයුමයි මේ.



පොත එළිදැක්වීමේ උත්සවයේ වැඩ සටහන මෙසේ ය.

3:00   වැඩ සටහන ආරම්භය හා පිළිගැනීම : සංජීවනී රූපසිංහ
3:05    ඩයස්පෝරා සාහිත්‍යය විමසමින් කෘතිය හඳුන්වා දීම : කථිකාචාර්ය අචින්ත්‍ය බණ්ඩාර, සිංහල අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
3:20    පොත පිළිගැන්වීම
3:25    "පිටස්තරයාගේ සාහිත්‍යාවේශය" : සම්මානලාභී ලේඛක පියල් කාරියවසම්, බාහිර කථිකාචාර්ය, නාට්‍ය හා රංගකලා අධ්‍යයනාංශය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
3:55    සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ පණිවුඩය : නිහාල් රූපසිංහ, ලේඛක සංසදය
4:05    "පිටස්තරයාගේ නිර්මාණවල කලාත්මක ආවේශය" : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ, සිංහල අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
4:35    "ඔසී රටේ අපේ කතා ගැන අදහසක්" " ප්‍රවීණ මාධ්‍යවේදී තිළිණ සමරසූරිය
4:50    ස්තුති කථාව : කෘතියේ ලේඛක පිරිස වෙනුවෙන් ප්‍රියන්ත ෆොන්සේකා
5:00    උත්සවය නිමාව හා තේ පැන් සංග්‍රහය



මේ ග්‍රන්ථයේ ඇතුළත් කෙටිකතා සහ ඒවායේ රචකයින් මෙසේ ය.

රමේෂ් - ප්‍රියන්ත ෆොන්සේකා
මානව හිතවාදියා - සමන් දිසානායක
පුත්‍ර ස්නේහය - දීපිකා ශ්‍රියානි සුන්ද්‍රාවඩුගේ
මීනා - පුෂ්පා සූරියආරච්චි
කතුර - නිහාල් රූපසිංහ
අවුරුදු නැකත - පාලිත ගනේවත්ත
ඩොලර් දෙකේ සන්තෝෂය - රසික සූරියආරච්චි
දෛවයෝගයක් - ඥානතිලක හේවාගමගේ
වාසනාවන්තයෝ - ෂෙල්ටන් පීරිස්
සිඳුණු පියාපත් - ෂාමලින් පෙරේරා
සුරතල්ලූ - ශ්‍යාමා රත්නායක
රියදුරු බලපත්‍රය - මොරගොඩ මලියසේන
දරු මුණුපුරෝ - රෝස් ගුණසේකර
මිණි කැට සහ මුතු ඇට - ජයන්ත ඈපා
ඕස්ට්‍රේලියාව, "රටගාය" හා අප - දිලිනි ඊරියවල
මෝන් සහ ඩූන් - මලී දිසානායක
අයි කේම් ෆ්‍රොම් ශ්‍රී ලංකා - දුමින්ද ගමගේ
ඉරණම - උපේකා පීරිස්
ජන්මාන්තර වෛරක්කාරයා - රසෝමි මුදලිගේ (පරිවර්තනය නිහාල් රූපසිංහ)
සිනහව අතරින් - පියසේන පියසිරි
චෙරි - පූර්ණිමා ජයතිස්ස
ජීවයට ජීවය - කරුණාසේන කහටපිටිය
උපැස් යුවලක් අතරින් - ලලිත් ලොකුකුරුප්පුආරච්චි

"ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ පිටු 250 කි. සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. සරසවි පොත්හල ශාඛාවලින් වට්ටම් සහිතව ලබාගත හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අපේ සිංහල සංස්කෘතික හමුව හමුව මගින් මින් පෙර සම්පාදනය කරන ලද ග්‍රන්ථ මෙසේ ය.

තිරස තරණ - ඕස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ගේ සිංහල කෙටිකතා එකතුව (2007) - දයාවංශ ජයකොඩි සමාගම
දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය (2010) - දයාවංශ ජයකොඩි සමාගම

(images: Deepal de Silva, Nalin Galkanda Arachchi)

Sunday, 12 August 2018

ප්‍රිසිලා ගොඩහේ්වා ගේ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නම් නවකතා ද්වය එළිදැක්වීමේ උත්සවය - A note about the launch of two Sinhala novels in Sydney


මේ සටහන ලියන්නට පරිගණකය ඉදිරිපිට අසුන් ගත් මොහොතේ පැරණි උපදේශාත්මක කියමන් ද්වයක් මගේ සිහියට නැගුණි.

"කියවීම මිනිසා සම්පූර්ණ මිනිසෙකු කරයි" යන්න ඉන් පළමුවැන්නයි.

මෙහි දී කියවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ, පොත්, පත් යනා දී ලිඛිත, මුද්‍රිත ලේඛන කියවීම බව අපට වැටහේ. එලෙස, කියවීමට නම්, ඒ ආකාරයේ පොත්, පත්, ලේඛන ලිය වී තිබිය යුතු ය. එනිසා, සම්පූර්ණ මිනිසුන්ගෙන් පිරි ලෝකයක් ඇතිවීමට නම්, මේ ලෝකයේ ලේඛකයින් සිටිය යුතු බව නිගමනය කළ හැකි ය.

මගේ සිතට නැගුණු දෙවන කියමන වූයේ, "ජීවිතය සම්පූර්ණවීමට නම් පොතක් ලියා, ගසක් සිටුවා, දරුවෙකු සාදා තිබිය යුතුය" යන්නයි. ජීව විද්‍යාත්මක කොන්දේසියක් ද අඩංගු බැවින් මෙම කියමන තරමක ආන්දෝලාත්මක එකක් බව කිව යුතු ය. එසේ නමුත්, එය එහි එන අසීරු ම කරුණ නොවුන ද, අපේ වැඩි දෙනෙකු තම දීර්ඝ ජීවිත කාලය තුළ දී ඉහත කොන්දේසි තුන අතරින් සපුරා නොගන්නා කොන්දේසිය නම් පොතක් ලිවීම යැයි මම සිතමි.

මීට දොළොස් වසරකට පෙර දිනයක, ඉන්නවා ද, යනවා ද යන තීරණය හදිසියේ ගැනීමට සිදුවුණු අවස්ථාවේ දී, නොයා රැඳී සිටිය යුතු යැයි තදින් ම අධිෂ්ඨාන කර ගැනීමට මට පිටුවහලක් වූ එක් කරුණක් වූයේ එකී පොතක් තවමත් ලියා නොතිබීමේ අඩුපාඩුවයි.

ඉන් වසර දෙකකට පමණ පසුව, වදෙන් පොරෙන්, ඒ ජයග්‍රහණය අත්පත් කර ගැනීමට මට හැකිවිය.

ඔව්, එය මගේ සිතට විශාල සතුටක් ලබාදුන් ජයග්‍රහණයක් ම විය!

ජයග්‍රහණයන් යනු සැමරිය යුතු අවස්ථාවන් වේ. බොහෝ ලේඛකයින් තමන් පොතක් ලියා ලබන ඒ ජයග්‍රහණය "පොත් එළිදැක්වීමේ උත්සව" හරහා සමරන්නේ ඒ අනුව ය.

මේ ආකරයේ එළිදැක්වීමේ උත්සව හැඳින්වීමට සඳහා "දොරට වැඩුම", "ජනගත කිරීම" යන පර්යාය පද ද යොදා ගනු ලැබේ.

පසුගිය දස වසරක පමණ කාලය තුළ, සාහිත්‍ය ලෝලියෙකු, රසිකයෙකු සහ සහෘදයෙකු ලෙස මම පොත් එළි දැක්වීමේ උත්සව විස්සකට පමණ සහභාගී වී ඇත්තෙමි. සිඩ්නි, මෙල්බර්න් සහ කොළඹ යන නගරවල දී පැවැත්වුණු, ඒ සමහර උත්සවවල දී අදාළ ලේඛකයා විසින් ලියන ලද, පොත් දෙකක් හෝ තුනක් එළිදැක්වුණු අවස්ථා ද විය.

ඒ සමහර උත්සව සඳහා මා සහභාගී වූයේ හුදු රසිකයෙකු හෝ සහෘදයෙකු ලෙස ය. එසේම, "ලූලා නැතිවලට බට කණයෙකු" සේ, උත්සව කිහිපයක දී ම, ආරාධිත දේශන පවත්වන්නට මට අවස්ථාව ලැබුණු අතර, මෑතක දී සිනුවර පැවැත්වූණු සිංහල පොත් එළිදැක්වීම් හැමෙකක දී ම පාහේ, උත්සවය මෙහෙයවන්නාගේ හෙවත් මගේ ම උදාහරණයකට අනුව "ආඳා ගේ භූමිකාව" රඟ දැක්වීමට ද මට අවස්ථාව ලැබුණි.

දීර්ඝ හැඳින්වීමක් ද සහිතව මේ සටහන ලිවීමේ අරමුණ වන්නේ මා තෙසතියට පෙර සහභාගී වූ එවැනි එක් පොත් එළිදැක්වීමක දී අත්දුටු සුවිශේෂී අසිරිය පිළිබඳව මගේ අවංක අදහස් සයිබර් අවකාශයට මුදාහැරීමට ය.


මෙන්න මූලික විස්තරය ලුහුඬින්.

මේ උත්සවය පැවැත්වුණේ 2018 ජූලි මස විසිවෙනි සිකුරාදා සන්ධ්‍යායාමයේ දී, සිනුවර තදාසන්නයේ රෝඩ්ස් හි දී ය.

එහි දී "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයක් ම එළිදක්වන්නට යෙදුණි.

ඒ කෘති ද්වය සිනුවර ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවා නම් ලේඛිකාව ගේ නිර්මාණ විය.

ඒ පොත් එළිදැක්වීමේ වැඩකටයුතු මෙහෙයවීමේ අවස්ථාව මට හිමි වී තිබුණි.


දැන් මෙන්න තරමක පසුබිම් විස්තරයක්.

දැන් දශක තුනක පමණ කාලයක් තිස්සේ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ වාසය කරන අපේ සිංහල ප්‍රජාවේ සංස්කෘතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රශංසනීය සේවාවක් ඉටු කරන සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධව ලේඛක සංසදයක් මීට වසර නමයකට පමණ පෙර ආරම්භ කරන ලදී. ඒ සංසදය පිහිටුවීමේ මූලික අරමුණු වූයේ පොදුවේ ඕස්ට්‍රේලියාව තුළත්, සුවිශේෂීව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළත් සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම සහ සිංහල ලේඛකයින්ට ඔවුන්ගේ ලේඛක කටයුතු සඳහා අත්වැලක් සැපයීමයි. මේ අනගි කටයුත්ත සඳහා මූලිකත්වය ගත්තේ එවකට සිංහල සංස්කෘතික හමුවේ මාධ්‍ය අංශය භාර උප සභාපති වූ සිසිල් ෆොන්සේකා සහ සිංහල සංස්කෘතික හමුවේ සභාපති ලෙස කටයුතු කළ සමන් මහානාම දිසානායක බව ද සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ම සිඩ්නි නගරාශ්‍රිතව වාසය කරන ග්‍රන්ථ ලියා පළ කර ඇති සහ වෙනත් විවිධාකාර ලිපි ලේඛන ලියා ඇති ලේඛකයින් සෑහෙන පිරිසක් ද, ලේඛන කටයුතු සඳහා උනන්දුවක් දක්වන පිරිසක් ද මේ සංසදයට එක්වූහ.

"නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය" ලෙසින් හැඳින්වෙන එම සංවිධානය විසින් පසුගිය වසර නමයක පමණ කාලයක් තිස්සේ කරන ලද සියලුම කර්තව්‍යයන් ලේඛනගත කිරීම මේ සටහනේ අරමුණ නොවන නිසා, අපට වැදගත් එක් කාරණයක් පමණක් පවසමි. එනම්, ලේඛක සංසදය විසින් පසුගිය කාලය තුළ අපේ සාමාජික ලේඛකයින් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සව රාශියක් ම සංවිධානය කළ බවයි.

මට "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයේ රචිකාවිය වන ප්‍රිසිලා ගොඩහේවා මුණ ගැසුණේ ඒ ලේඛක සංසදය නිසා ය. එසේ ම, ඇගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ වැඩකටයුතු මෙහෙයවීමට මට අවස්ථාව ලැබුණේ ද ඒ නිසා ම ය. ඒ අවස්ථාවේ දී ලේඛිකාව පිළිබඳවත්, ඇය රචනා කර ඇති ග්‍රන්ථ පිළිබඳවත් තම අදහස් දැක්වූ ෂෙල්ටන් පීරිස්, සිසිල් ෆොන්සේකා සහ පාලිත ගනේවත්ත දේශකයින් තිදෙනා ද අපේ ලේඛක සංසදයේ ක්‍රියාකාරිකයෝ වෙති.

මා සහභාගී වී ඇති අන් පොත් එළිදැක්වීමේ උත්සව සමග සසඳා බලන කළ පසුගිය දා පැවැත්වුණු ප්‍රිසිලා ගොඩහේවාගේ මේ උත්සවය සුවිශේෂී එකක් ම වේ. ඒ පහත විස්තර කෙරෙන කාරණා නිසා ය.

මා රසිකයෙකු, සහෘදයෙකු, ආරාධිත දේශකයෙකු හෝ වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස මෙතෙක් සහභාගී වී ඇති සිඩ්නි සහ මෙල්බර්න් නගරවල පැවැති පොත් එළිදැක්වීම් පහළොවම, එකක් නෑර, ලේඛකයින් ගේ, එනම් පිරිමින් ගේ, කෘති සම්බන්ධ උත්සව විය. මේ මා දන්නා පරිදි සිඩ්නි නගරයේ දී නම්, ලේඛිකාවකගේ සිංහල කෘතියක් එළිදැක්වුණු ප්‍රථම අවස්ථාවයි. එනිසා ම මේ උත්සවය ඓතිහාසික වැදගත්කමකින් යුතු, සිඩ්නි සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතුය.

එසේ ම, ප්‍රිසිලා ගොඩහේවා, තමා රචනා කළ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වය එදා එළිදැක්වූයේ ඇගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්වන ජීවන මගේ පනස්වරක් ගතවීම සැමරීම පිණිස, ඒ ජන්ම සංවත්සර උත්සවය හා සමගාමීව වීම ද සුවිශේෂී කාරණයකි. මේ ආකාරයට තම පනස්වෙනි ජන්ම දිනය සැමරීම සඳහා තමා ලියූ පොතක් එළි දැක්වීම ද සැම අයෙකුටම කළ නොහැකි සුවිශේෂී කාර්යයක් ම වේ!

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය පිළිබඳව ද කිවයුතු සුවිශේෂී කරුණක් ඇත. මේ නවකතා දෙකම, මුලින් සිංහල භාෂාවෙන් ලියා පසුව වෘත්තීමය භාෂා පරිවර්තකයෙකු විසින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කරන ලදුව, එකම ග්‍රන්ථයේ ද්විභාෂා කෘතියක් ලෙස පළ කර තිබීමයි. මා වෙනත් භාෂාවලින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කළ කෘති ද, ඉංග්ලිෂ් භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන ලද කෘති ද කොතෙකුත් දැක ඇතත්, එකම ග්‍රන්ථයේ මුල් කෘතිය ද, එහි පරිවර්තනය ද, භාෂා දෙකකින් මුද්‍රණය වූ ප්‍රබන්ධයක් මීට පෙර දැක නැත. මෙය සිංහල සාහිත්‍යයේ නවතම පෙරළියක් ලෙස මම දකිමි.

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය කියවා අවසන් කළ පසු ඒ කෘති පිළිබඳව විවරණයක් ලිවීමට ද අදහස් කරමි.

ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් අතින් තවත් පොත් ලියවේවා, කෙමෙන් කෙමෙන් පුළුල්වන විගාමික සිංහල සාහිත්‍යය තව තවත් වර්ධනය වේවා, මේ ආකාරයේ පොත් එළිදැක්වීම් විශාල සංඛ්‍යාවකට සහභාගීවන්නට අපට අවස්ථාව ලැබේවා යනුවෙන් කෙරෙන ප්‍රාර්ථනා සමගින්,

සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පාදනය කරන ලද, ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් විසිතුන් දෙනෙකුගේ නිර්මාණ රැගත් කෙටිකතා එකතුවක් ඔසී රටේ අපේ කතා නමින් දැන් මුද්‍රණය වී ශ්‍රී ලංකාවේ නිකුත් වී ඇති බව ද,

ඒ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දී එළි දැක්වීමේ උත්සවය අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව ද,

ග්‍රන්ථයේ ඕස්ට්‍රේලියානු දොරට වැඩුම සැප්තැම්බරයේ දී පමණ පැවැත්විය හැකි වෙනු ඇති බව ද පවසමින් මේ සටහන අවසන් කරමි.

-රසික සූරියආරච්චි

(images: Book covers - Susantha Moonamalpe, Photos - Roy Gunaratne)

Sunday, 30 July 2017

ෆේස්බුකයියා - Who is he?


ලොකු දෙයක් නොවුණත්, ෆේස්බුකයියා යනු මා විසින් සයිබරාවකාශයට අද අලුතෙන් හඳුන්වා දෙන සිංහල වචනයකි. මේ ලියන මොහොත වන විට ෆේස්බුකයියා යන්න කිසිදු වෙබ් පිටුවක ඇතුළත්ව නොමැති බව ගූගල් දෙයියා පවසයි.



ෆේස්බුකයියා යන වචනය සෑදෙන්නේ ෆේස්බුක් සහ අයියා යන වචන ද්වය සන්ධි වීමෙන් බව සලකන්න. එනම්, ෆේස්බුක් + අයියා = ෆේස්බුකයියා.

මෙය සිංහල භාෂාවේ එන ස්වර සන්ධියකි.

සන්ධි යනු වචන ද්වයක් එකිනෙක ඇඳී, උච්චාරණය පහසු වෙනත් වචනයක් සෑදෙන ආකාරය විස්තර කෙරෙන පර්යාය පදයයි.

වචන ද්වයක් එකිනෙක සන්ධි විය හැකි ආකාර දහයක් පිළිබඳව සිංහල භාෂා පාඩම්ල දී ඉගැන්වේ. මා සඳහන් කළ ස්වර සන්ධිය යනු ඉන් එකකි.

ස්වර සන්ධිය යනු මුල් වචනයේ අවසානයේ ඇති ව්‍යංජනාක්‍ෂරය දෙවන වචනයේ මුලින් ඇති ස්වරය හා එක් වී වචන ද්වය එකිනෙක හා බැඳීම නොහොත් සන්ධි වීමයි.

එනම්,

ෆේස්බු + ක් + අ + යියා
ෆේස්බු + ක + යියා
ෆේස්බුකයියා

වීමයි.

සන්ධිවූ වෙනත් පද තුනක් ද මේ ලිපියේ මේ වාක්‍යයට පෙර මා භාවිතා කර ඇත. ඒවා නම්, සයිබරාවකාශය, එකිනෙක සහ ව්‍යංජනාක්‍ෂරය යන වචන ද්වයයි.

එයින් එකිනෙක යන වචනය සෑදී ඇත්තේ ද, එකින් සහ එක යන වචන ද්වය ස්වර සන්ධි වීමෙන් බව පෙනේ.

එනම්,

එකි + න් + එ + ක
එකි + නෙ + ක
එකිනෙක

වීමයි.

නමුත් සයිබරාවකාශය සහ ව්‍යංජනාක්‍ෂරය යන වචන සෑදෙන්නේ තරමක වෙනස් ආකාරයකින් බව පෙනේ.

එනම්,

සයිබ + ර් + අ + වකාශය
සයිබ + ර + ආ + වකාශය
සයිබරාවකාශය.

එසේම,

ව්‍යංජන + අක්‍ෂරය
ව්‍යංජන + ආ + ක්‍ෂරය
ව්‍යංජනාක්‍ෂරය

මේ ආකරයේ සන්ධිවීම් හැඳින්වෙන්නේ ස්වරාදේශ සන්ධි වශයෙන් යැයි හඟිමි.

මීට අමතරව සිංහල භාෂාවේ, පූර්වස්වර ලෝප සන්ධිය, පරස්වර ලෝප සන්ධිය, ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය යනාදී වශයෙන් තවත් සන්ධි වර්ග අටක් ඇති බව කියවේ.

https://si.wikipedia.org/wiki/සිංහල_සන්ධි

එලෙස, විවිධාකාර සන්ධි තිබුණ ද, ඒ දක්වා ඇති ලයිස්තුවේ අපර ව්‍යංජන ලෝප සන්ධියක්, එනම්, එකිනෙක එක්වෙන පද දෙකෙන් පසු පදයේ ඇති ව්‍යංජනාක්‍ෂරය ලොප් වී යාමෙන් සෑදෙන සන්ධියක්, ගැන සඳහන් නොවේ.

උදාහරණයක් ලෙස රජය විසින් ෆේස්බුක් පිළිබඳව යම් පනතක් ගෙන ආවායි සිතමු. ෆේස්බුක් + පනත යන්න ෆේස්බුකනත යනුවෙන් ප යන්න ලොප් වී සන්ධි නොවේ!

එනිසා, ෆේස්බුකයියා යන වචනය නිර්මාණයේ දී ඒ ලොවෙත් නැති ව්‍යංජන ලෝප සන්ධියක්, ප-යන්නක් ලොප්වීමක් සිදු වී නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ සටහන පළ වී ඔබ කියවන මොහොත වන විට ෆේස්බුකයියා යන අලුත් වචනය සයිබරාවකාශයට එකතු වී ඇත.

දැන් ඉතිං කවර නම් බාධාවක් ද?

මා දන්නා හඳුනන එක්තරා ෆේස්බුකයියෙකු සම්බන්ධ අපූරු සිදුවීමක් තවත් කල් නොඇර වහා අකුරු කර, ඊළඟ රසිකොලොජි සටහනෙන් ම ඉදිරිපත් කරන්නට අදහස් කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න මේ වන විට ෆේස්බුකයියා යන වචනය පළ වී ඇති තැන්.
Google ෆේස්බුකයියා

ප/ප/ලි:
මේ දිනවල ලියවෙන්නේ ෆේස්බුක් පිළිබඳ සටහන් ය. මෙන්න පසුගිය දිනවල පළ වූ සටහන් කිහිපය.
1. ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators
http://rasikalogy.blogspot.com/2017/07/oh-these-facebook-group-administrators.html


2. තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun
http://rasikalogy.blogspot.com/2017/07/facebook-fun.html


3. ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and I
rasikalogy.blogspot.com/2017/07/facebook-blogging-and-i.html


(image: https://www.dailydot.com/news/montana-facebook-stalking-joshua-james-allen/)

Friday, 26 May 2017

සනත් ජයසූරිය නිසා සුචරිත ගම්ලත් සිහිවීම! - Wondering mind


අප කුඩා කාලයේ "සුචරිත" යන වචනය ඇසුවේ දුටුවේ, පසුව ලංකාවේ ජනාධිපති ලෙස ද පත්වුණු ර ප්‍රේමදාස පිළිබඳව සඳහන් වුණු ස්ථානවල දී ය. දේව යසපාල ද සිල්වා වැනි නමක් ඇති අයෙකු විසින් ලියන ලද "සුවඳ හමන මලක්" නම් ග්‍රන්ථයේ ර. ප්‍රේමදාස ගේ උපන්දා සිට එදා තෙක් චරිතාපදානය ලිය වී තිබුණු බව මගේ මතකයයි.

"සුචරිත" යන වචනය නමක් ලෙස භාවිතා වෙනු මා අසා ඇත්තේ මීට වසර තුනකට පෙර මෙලොව හැර ගිය ජ්‍යෙෂ්ඨ සිංහල මහාචාර්යවරයෙකු වූ සුචරිත ගම්ලත් පිළිබඳව පමණි.

මා මුලින් ම සුචරිත ගම්ලත් දුටුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරයේ දී ය. ඒ සාහිත්‍ය සම්මන්ත්‍රණයක සම්පත් දායකයෙකු ලෙස ඔහු සහභාගී වූ අවස්ථාවක් විය.

ඔහු එවකට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු නොවී ය. දේශපාලන හේතුවක් නිසා සේවයෙන් නෙරපන ලදුව සිටි ඔහු, මා අසා ඇති පරිදි, පොල්ගහමුල ප්‍රදේශයේ ටියුෂන් පන්තියක් කරමින් ජීවිකාව සරි කර ගත්තේ ය. ඒ කාර්යයටත් වඩා ඔහු තම කාලය යෙදුවේ අද සමාජ සමානතා පක්‍ෂය ලෙස හැඳින්වෙන, එවකට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නම් වූ, දේශපාලන ව්‍යාපාරයේ කටයුතුවලට බව පෙනුණි.

මට, සුචරිත ගම්ලත් විසින් පවත්වන ලද සාහිත්‍යමය මෙන්න දේශපාලන කරුණු පිළිබඳව කෙරුණු දේශන කිහිපයක් ම ශ්‍රවණය කිරීමට ඉන් පසුව ද අවස්ථාව ලැබුණි. එසේ ම, සුචරිත ගම්ලත් විසින් ලියන ලද ඒ ආකාරයේ ලිපි රාශියක් ද මම කියවා ඇත්තෙමි.

සුචරිත ගම්ලත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකයෙකුව සිටි අවධියේ දී තමන් ලියූ සෑම ලිපියක ම, පැවැත්වූ සෑම දේශපාලන දේශනයක ම, අවසානයේ දී, නව සමසමාජ පක්‍ෂයට බැණ වදින්නටත්, නව සමසමාජය විසින් පළ කළ හරය නම් පුවත්පතට පත්තර කඩමාල්ල කියා අවමන් කිරීමටත් පුරුදුව සිිටියේ ය.

සුචරිත ගම්ලත් විප්ලවවාදී කම්කරු සංගමයේ දේශපාලනයෙන් ඉවත් වූ පසු, ඔහු ලියූ ලිපිවල පෙර දී නව සමසමාජ පක්‍ෂය ගත් තැන ලැබුණේ ලංකාවේ විශ්වවිද්‍යාලවල සිංහල භාෂා අධ්‍යයන අංශවලට සහ ඒවායේ සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට ය.

ඔවුන් සිංහල භාෂාව නිවැරදිව නොදන්නා බවත්, එසේ ම, ඔවුන් ඉංග්ලිෂ් පිළිබඳව කිසිදු දැනුමක් ද නොමැති ලිං මැඩියන් බවත්, සිසුන්ට දේශන වමාරන බවත්, සිසුන් ඒ දේශන කටපාඩම් කර විභාගයේ දී එලෙසම ලියන බවත්, පවසමින් සුචරිත ගම්ලත් ඒ මහාචාර්යවරුන්ව නිර්දය ලෙස විවේචනට ලක් කළේ ය.

සුචරිත ගම්ලත් ලියූ ඒ ලිපි කියවීමෙන් මා ලද හාස්‍යය, බීභත්ස, අද්භූත රස එකට කැලතූ ආස්වාදයට අමතරව වෙනත් ආකාරයක ප්‍රයෝජනයක් එක් දිනක මට ලැබුණි. ඒ මීට දශකයකට පමණ ඉහත එවැනි ලිපියක් අන්තර්ජාලය ඔස්සේ කියවද්දී ය.

ඒ ලිපියේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අභ්‍යන්තර කරුණු හෙළි කෙරෙන ග්‍රන්ථයක් පිළිබඳව සඳහන් විය. එය ලියා ඇත්තේ සරත් විජේසූරිය නමැති එහි ම සේවය කරන කථිකාචාර්යවරයෙකු විසින් බව ද කියවුණි.

පසුව ලංකාවට ගිය අවස්ථාවක දී මම ඒ පොත මිලට ගත්තෙමි.

ඒ ගැන වැඩි විස්තර හෙට බලාපොරොත්තුවන්න.

-රසිකොලොජිස්ට්


(image: https://au.pinterest.com/pin/399061216957657699/)

Sunday, 21 May 2017

අතුරුදහන් - Missing in action


පැරණිතම සිංහල කාව්‍යයන් ලෙස සැලකෙන්නේ මුවදෙව්දාවත, සසදාවත සහ කව් සිළුමිණ යන නිර්මාණ වේ. සන්දේශ කාව්‍යවල දී යොදා ගෙන ඇති ආකාරයේ චන්දස සහිත කවියෙන් නොව, ගී යැයි හැඳින්වෙන ආකෘතියෙන් ඒ නිර්මාණ බිහිවී ඇත්තේ පොළොන්නරු යුගයේ දී සහ දඹදෙණිය යුගයේ දී ය.

නමුත්, අනෙකුත් කලා ශිල්ප දියුණු තත්වයක පැවති ඊට පෙර සියවස්වල ද සිංහල කාව්‍ය නිර්මාණ ලියවී ඇතැයි උපකල්පනය කෙරෙන අතර, ඒවායින් අංශු මාත්‍රයක් හෝ ඉතිරි වී ඇත්තේ, පැරණිතම සිංහල කාව්‍යය ලෙසින් අද සැලකෙන, අසක්දා කව නම් සිංහල කාව්‍යයෙන් පමණි.

ආසංඛවතී නම් ජාතක කතාව ඇසුරෙන් ලියවී ඇති ඒ අසක් දා කාව්‍යයේ ද අද ඉතිරි වී ඇත්තේ පද කිහිපයක් පමණි. එසේ ඉතුරුව ඇත්තේ, පැරණිතම සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය වන සිදත් සඟරාවේ, උදාහරණ ලෙස අසක් දා කවේ පද පේලි කිහිපයක් යොදා තිබුණු බැවිනි.

එලෙස උදාහරණ ලෙස යොදා ගත් හෙයින් සුරැකී ඇති පද පේළි කිහිපයෙන් සම්පූර්ණ යැයි සැලකීමට හැක්කේ පහත කවියයි.
රතත දිදී ඉහිල් - වසනතුරෙන් රසන් දම්
කියව කර හළලා - පැහැබර දිගු නුවන් ලා
එහි තේරුම මෙසේ ය.
ඔබේ සුරක්ත වූ අත, ලිහිල්ව ගියා වූ වස්ත්‍ර අතරින් ගෙන රසනදාමය කෙරෙහි යොදමින්, බෙල්ල දිගු කොට, දීප්තියෙන් බර වූ ඔබේ දෙ ඇස මා දෙස යොමා කියනු මැනවි.
ඒ බඹදත් රජතුමා ආසංඛවතී කුමරිය අමතන ආකාරයයි.

ඉහත අරුත් දැක්වීම මා උපුටා ගත්තේ ගුණදාස අමරසේකර විසින් පෙර කී ආසංඛවතී ජාතකය ම පදනම් කොට ගෙන රචනා කර ඇති අසක් දා කව නම් කාව්‍ය නිර්මාණය ඇතුළත් ග්‍රන්ථයේ එන ලිපියකිනි.

තමන් ගේ අසක් දා කව නිර්මාණයේ ද, ආසංඛවතී කතා වස්තුවේ, නිවැරදි යැයි නීර්ණය කළ තැන්වල දී, ගුණදාස අමරසේකර විසින් සිදත් සඟරාවේ උදාහරණ ලෙසින් ගත් නිසා අප අතර ඉතුරු වී ඇති පැරණි අසක් දා කවේ පද කිහිපය එලෙස ම යොදා ගනියි.

මා කලක් සංස්කාරක ලෙස කටයුතු කළ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුව විසින් සංස්කරණය කර ප්‍රකාශයට පත් කළ, දකුණු කුරු දිව් කව් නම් වූ, ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහයේ ද, මම අසක් දා කව නිර්මාණයේ ඉහත සඳහන් කළ උදාහරණය ආකාරයේ කවක් ගොතා යෙදූවෙමි.

එය මෙසේ විය.
සිතට දිදී සිසිල් - ලියන ලදින් මෙවන් කව්
බලව සිත හැරලා - නුවණැති යුග දෙනෙත් ලා
ඒ කරුණු මට සිහිවුනේ, කලකට පෙර මා ලියූ, දැන් අස්ථාන ගත වී ඇති, නමුත් පද දෙකක් පමණක් මතකයේ රැඳී ඇති කවියක් නිසා ය.

මා නූතන ජන කවි ලියූවේත්, තාලවර්ගයේ පොල් සහ තල් ගස් ගැන ගීයක් ලිව්වේත්, පරාක්‍රම කුරුප්පු සමග එකතුව කවි ලිව්වේත්, ලංකාවේ පැවති කුරිරු යුද්ධයේ අවසාන කාලයේ දී සහ අවසාන වීමෙන් පසුව ය.

නමුත්, යුද්ධයේ ආරම්භයේ දී ද, මා ඒ ගැන කවි ලියූවෙමි.

වර්ෂ 1986 දී එසේ මා ලියූ එක් කවියක අන්තර්ගතය වූයේ විරැකියාව නිසා, යුද්ධය සඳහා එකතු වෙන තරුණයෙකු ගේ සිතුවිලි ය.

ඒ කාලයේ විප්ලවවාදී කොමියුනිස්ට් පක්‍ෂය විසින් ඉදිරිපත් කර තිබූ, වර්ගවාදී යුද්ධයට එක ඉත්තෙක් නොදෙනු! එක රුපියලක් නොදෙනු!! යන සටන් පාඨයේ ශේෂයක් මගේ කවියේ ගැබ්ව තියෙන්නට ඇතැයි මට අනුමාන කළ හැක.

හයවෙනි සියවසේ, අනුරාධපුර යුගයේ දී රචනා වුණු, අසක් දා කවෙන් අද පද පේළි කිහිපයක් පමණක් ඉතුරු වී ඇති වා සේ, මා එදා 2006 දී ලියූ, පද විස්සකින් පමණ සමන්විත වූ, ඒ යුද විරෝධී කවියෙන් අද (මගේ මතකයේ) ඉතුරු වී ඇත්තේ පද දෙකක් පමණි.

ඒ මෙසේ ය.
මරණ සහතිකය අත්සන් කරතී
වන්දි ලබා ඉන් දිවි ගැට ගසතී!
දැන් මා කළ යුත්තේ, මේ පද යොදා අලුතෙන් කවියක් ලිවීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඇත්තෙන් ම, මා එදා 1986 දී ලියූ ඒ කවිය සොයා ගත හැකි එක් ක්‍රමයක් ඇත. ඒ වසරේ අග භාගයේ දී, මේ කවිය දිවයින පුවත් පතේ සුනිල් මාධව ප්‍රේමතිලක විසින් සංස්කරණය කළ අටවෙනි පිටුව නම් විශේෂාංගයේ පළ විය.

ඒ පුවත්පත් සංරක්‍ෂණය කර ඇති ස්ථානයකින් මට මගේ අස්ථානගත වූ කවිය සොයා ගත හැකි වෙනු ඇත!

ප/ප/ලි:
මම ද පසු කලෙක යුද්ධයට බැඳෙන්නට සිතුවෙමි. මේ පහත සබැඳියෙන් දැක්වෙන්නේ එතෙක් මා නොකී ඒ කතාව මා මුල්වරට ලියූ අවස්ථාවයි.

https://rasikalogy.blogspot.com/2015/06/some-stories-are-never-told-fully.html

Monday, 15 May 2017

දද, දද, දද, දද, දද - Homonyms or synonyms?


මේ සටහනේ අන්තර්ගත කාරණය මගේ සිහියට ආවේ, ඊයේ මා ලියා පළ කළ, "මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා" ගේ විහිළු කතාවේ ආ, කලවානේ ආච්චී එකතු කර තිබුණු පැරණි රසවාහිනී නම් සඟරාව ගැන ලියද්දී ය.

නවකතා, කෙටිකතා පොත් ඇය සතුව නොතිබුණ ද, ආච්චී ළඟ තිබුණු එක්තරා කුඩා පොතක් මා එකල ආශාවෙන් කියවීමි.

එහි නම වූයේ "ප්‍රහේලිකා ජය මග" යන්නයි.

ඒ පොතේ ඇතුළත් වූයේ සිංහල වචන සඳහා ඇති විවිධ සමාන වචන එකතුවකි. වෙනත් වචනයකින් කිව හොත් එය එක්තරා ආකාරයක සිංහල-සිංහල ශබ්දකෝෂයකි.

සම්පූර්ණ ලයිස්තු දැන් කිසිසේත් ම මගේ මතකයේ නොමැති වුවත්, එහි වූ වචන ලයිස්තුවේ, සූර්යයා හෙවත් හිරු සඳහා දිනමිණ, දිනකර වැනි සමාන වචන ද, සඳ සඳහා චන්ද්‍ර, තාරපති, සිසි, තරිඳු වැනි සමාන වචන ද, නෙළුම් මල සඳහා තඹර, සියපත වැනි සමාන වචන ද, බුදුන් සඳහා සමාන වචන දුසිමක් පමණ ද වූ බව මට අද සිහිකර ගත හැක.

ඒ සමාන වචන ලයිස්තුව අතරින් වඩාත්ම ආකර්ෂණීය වචනය වූයේ "දද" යන්නයි.

සාමාන්‍යයෙන් අප "දද" යනුවෙන් දන්නේ කුඩා කාලයේ අප කාටත් වැළඳී තිබුණාට සැක නැති ඒ චර්ම රෝග විශේෂයයි.

ඊට අමතරව-
  • දද යනු මෝඩ, අමන යන තේරුම දෙයි.
  • දද යනු බමුණාට හෙවත් බ්‍රාහ්මණයාට යෙදෙන තවත් නමකි.
  • දද කියා කුරුල්ලාට හෙවත් පක්‍ෂියාට කියත හැකියි ලු.
  • දද යන්නෙන් කොඩිය යන අදහස ද ගෙන දේ. මින් දද කියා මල්සරාට කියන්නේ උගේ කොඩියේ මාළුවෙකු ඇති නිසා ලු!
  • ඒ සියලු තේරුම් මදිවාට දෝ දත සඳහා ද දද යැයි කියත හැකි බව කියවුණි.
ආච්චී ගේ ප්‍රහේලිකා ජය මග පොතේ තිබූ වෙනත් සමාන වචන ලයිස්තු කෙසේ වෙතත්, දද යන වචනයේ තේරුම් හෙවත් සමාන වචන රාශියක් තවමත් මගේ මතකයේ රැඳී ඇත්තේ, ඒ පොත කියවූ දිනවල මා "දදක් ඇති, දද, දදෙක්, දදක් ගෙන යන විට...." යනාදී වශයෙන් දද යන වචනයේ සියලුම තේරුම් කැටිවෙන පරිදි එක් වාක්‍යයක් රචනා කරන්නට ගත් උත්සාහය නිසා යැයි සිතමි.

ආච්චී වර්ෂ 1993 ජනවාරියේ දී මිය පරලොව ගියා ය.

ඇය සහ ආතා වාසය කළ කලවානේ නිවස දැන් විකිණී ගොස්, කැඩී ගොස්, නිවස ඉදිරිපිට තිබුණු මානෙල් මල් විල ද, කෙසෙල් පාත්ති ද, ගෙවතු ද විනාශ වී ගොස් ඒ බිමේ පින්බර හාඩ්වෙයාර් කඩයක් පහළවී ඇති බව ගූගල් මග සලකුණු අනුසාරයෙන් මා දැන ගත්තෙමි!

-රසිකොලොජිස්ට්

(image: Google street view)

Friday, 12 May 2017

වෙසක් එක? - WTH?


වෙසක් දින දෙක ම ගෙවී ගියත් තවමත් මගේ සිත ඇත්තේ වෙසක් කවි සහ වෙසක් කූඩු නිසා ඇති වූ වෙසඟේ නිරාමිස ප්‍රීති ප්‍රමෝදයේ ගිලෙමිනි.

සඳට කොහේ කෙදිනක පසළොස්වක පෝය ලැබුවත් ඕස්ට්‍රේලියාවට සැම විට ම පෝය ලබන්නේ ම සති අන්තයේ ය. ඒ අනුව, සිනුවර ලංකාරාමයේ වෙසක් පිංකම් මේ සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වේ. එදින සවසට ස්කෝෆීල්ඩ් ගම පැත්තේ ගියහොත්, වෙසක් කූඩු නැරඹීමට ද, කඩල කෑමට ද හැකිවෙනු ඇත.

ඊයේ ඔළු බක්කන් ගැන ලියමින් සිටිද්දී, මීට වසර දහයකට පමණ පෙර මා සංස්කරණය කළ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුවේ "සිංහල" නම් වූ ත්‍රෛමාසික සඟරාවට, මවිසින් ලියන ලද කතුවැකියක් මගේ මතකයට නැගුණි.

එය සිංහල භාෂාවේ එක්තරා අපූර්වත්වයක් පිළිබඳව ලියවුණු එකකි. මේ එයින් කුඩා කොටසක්, යළි ලිවීමකි.

අපේ සිංහල භාෂාවට පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචන එකතු කර ගැනීම ඉතා ලේසි බව අප දනිමු.

අදාළ වචනය පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ ක්‍රියා පදයක් නම් අප කරන්නේ එයට අගින් "කරනවා", "වෙනවා" වැනි සිංහල ක්‍රියා පදයක් එකතු කර පැවසීමයි.

උදාහරණ ලෙස ටයිප් කරනවා, පෝස්ට් කරනවා, කමෙන්ට් කරනවා, මොඩරේට් කරනවා, ඇපෲ කරනවා වැනි යෙදුම් ද, හිට් වෙනවා, හැක් වෙනවා වැනි යෙදුම් ද දැක්විය හැක.

එසේ ම, අදාළ වචනය පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ නාම පදයක් නම් අප කරන්නේ එයට අගින් "එක" යන සිංහල වචනය එකතු කර පැවසීමයි.

උදාහරණ ලෙස එකවුන්ට් එක, බ්ලොග් එක, කමෙන්ට් එක, රිප්ලයි එක වැනි යෙදුම් දැක්විය හැක.

මීට අමතරව ටීවී එක, කාර් එක, බස් එක, ඔෆිස් එක, බිල්ඩින් එක, ටේ‍ර්න් එක, පාක් එක, බීච් එක, ගවර්න්මන්ට් එක යනාදී වශයෙන් පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචන කෙළ-කෝටියක් අපි අපේ ම කරගෙන පාවිච්චි කරමු.

දැන් මේ පින්බර වෙසඟේ මගේ සිතට ආ කාරණය මෙයයි.
වෙසක් "එකට" මොකද කළේ?
වෙසක් "එකට" කූඩු හැදුවා ද?
වෙසක් "එකට" දන්සැල් වැන්දා ද?
වෙසක් "එකට" පන්සල් ගියා ද?
මළා!

අප "වෙසක් එක" කියා කියන්නේ ඒකත් පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචනයක් ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
වෙසක් එක විතරක් නොවෙයි, ඇයි "පොසොන් එක"?

මට හිතෙන විදියට පොසොන් එක පමණක් නොව වෙසක් එක ද, පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ ආක්‍රමණයක් නොව, අශෝකලා ගේ, මිහිඳුලා ගේ, මෝඩිලා ගේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ කොටසක් වේ!

වහා කළු කොඩි දමනු!

(image: http://english.fastnews.lk/44266)

Monday, 1 May 2017

විචාරක බ්ලොග්කරුවා සහ මා අතර ඇතිවුණු වලිය ගැන සටහනක් - Storm in a Teacup


"අසමි, දකිමි, සොයමි" බ්ලොගය පවත්වා ගෙන ගිය විචාරක නම් බ්ලොග්කරුවා ගේ මරණය පිළිබඳ ආරංචිය මට දන්වමින් සහෘද බ්ලොග්කරුවෙකු එවූ පණිවිඩයක, විචාරක සහ මා අතර කලකට ඉහත දී ඇති වුණු මත ගැටුමක් පිළිබඳව සඳහන් කර තිබුණි.

ඒ බොහෝ මූලික තොරතුරු තවමත් සිංහල බ්ලොග් අවකාශයේ තිබුණ ද, ඇතැම් දේ පුද්ගලික පණිවිඩවල පමණක් සඳහන්ව ඇති නිසා, ඒ සියලු කරුණු එක් කර හැකි තරම් කෙටියෙන් සමාලෝචනයක් ලිවීමට සිත්විය.

මුලින් ජවිපෙ ක්‍රියාකාරිකයෙකු (1971) ලෙස ද, පසුව ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර තිබුණ ද, විචාරක බ්ලොග්කරුවා දිගු කලක් සේවය කර ඇත්තේ ලංකාවේ යුද හමුදාවේ බව අප සැම දන්නා කරුණකි. ඒ නිසා හෝ වෙනත් කරුණක් නිසා, ඔහු සම්බන්ධයෙන් මා නිරීක්‍ෂණය කළ එක් සෘණාත්මක චර්යාවක් වූයේ, නිකරුණේ කලබල වී, කිසියම් වරදක් කළ අයට මෙන් ම, නොකළ අයට ද, එක එල්ලේ බැණ වැදීමයි.

විවිධ විෂයයන් සම්බන්ධයෙන් කරුණු එක් රැස් කර, තමන් පුද්ගලිකව දන්නා කරුණු ද එකතු කර, ඔහු සිංහලෙන් රචනා කළ ඇතැම් ලිපි වෙනත් වෙබ් අඩවිවල අනවසරයෙන් සහ අසමි, දකිමි, සොයමි බ්ලොගය පිළිබඳ කිසිදු සඳහනක් නොමැතිව පළ කළ විට, ඔහු ඒ අඩවිවලට බැණ වැදුණු ආකාරය ඉතා නිර්මාණාත්මක විය. ඒ බැණ වැදුම් ඉතා හාස්‍යජනක වූවා පමණක් නොව ඒවා කියවා අපට අලුතෙන් සිංහල වචන පවා ඉගෙන ගන්නට ලැබුණි.

තවත් එක් හාස්‍යජනක කරුණක් වූයේ බුද්ධි අංශ නිවසට එවනවා යැයි කියමින් ඔහු කළ ප්‍රකාශයි. ඒවා සත්‍ය ලෙස කළ තර්ජන නොව කුඩා දරුවන්ට බිල්ලන් එනවායැයි කීම වැනි දේ ලෙස මම සැලකුවෙමි.

ඒ වරදකරුවන්ට ඔහු කළ, අපට හේතු වටහා ගත හැකි, බැණ වැදීම් ය.

අවාසනාව වූයේ, කිසි වරදක් නොකළ අයට පවා ඔහු ඇතැම් විට වරද පටවමින් බැණ වැදීමයි.

මගේ මතකයට එන එවැනි එක් උදාහරණයක් නම්, කිසියම් තැපැල් කාර්යාලයක දී ඔහුට හමු වූ ළමුන් පිරිසක් (මුදල් ඇණවුමක්, විදුලි පුවතක් හෝ ඒ ආකාරයේ) යම් කිසි කාරණයක් නොදැන සිටි නිසා, ඔහු ඒ අදාළ වයස් කාණ්ඩයේ සමස්ත පරම්පරාවට ම කළ බැණ වැදීමයි.

මට එවැනි දේ පෙනුණේ වැඩිහිටියන් ලෙස අප නොකළ යුතු දේ කියා ය.

විචාරක සහ මා අතර ගැටුම ඇති වුණේ ඔහු විසින් වෙනත් බ්ලොග් අඩවියක දී, පාසලේ දී සිංහල සාහිත්‍යය නූගත් නුතන පරපුරේ අබ්බ ගොබ්බයින් යනුවෙන් කළ සඳහනකි. ඔහු පළ කළ ඒ අදහසට අනුව, සාහිත්‍යය විෂයයක් ලෙස ඉගෙන ගෙන නැති අයට (රසිකයින් ලෙස හෝ) ගීතයක් වැනි කලා කෘතියක් පිළිබඳ අදහස් දැක්වීමට අයිතියක් නැත.

මා මීට පෙර ලිපි දෙක තුනක ම සඳහන් කර ඇති පරිදි, පාසල් අධ්‍යාපනය තුළ, සිංහල සාහිත්‍යය විෂයයක් ලෙස ඉගැන්වුවේ 1975 දක්වා පමණි. එය ද, අටේ පන්තියේ පැවති විභාගයෙන් (විද්‍යා හෝ වාණිජ හෝ නොව) කලා විෂයය ධාරාව තෝරා ගත් අය සඳහා පමණක් මිස සමස්ත සිංහල ශිෂ්‍ය ප්‍රජාව සඳහා නොවුණි.

පාසල් අධ්‍යාපනයෙන් පසු 1971 දී ජේවීපි කැරැල්ලට යන්තමින් හෝ සම්බන්ධ වෙන කාලය වන විට විචාරක බ්ලොග්කරුවා පාසලේ දී කලා ධාරාවේ විෂයයක් ලෙස සිංහල සාහිත්‍යය හදාරා සාමාන්‍ය පෙළ විභාගය සමත් වී සිටින්නට ඇතැයි සිතමි. ඔහු තමන් ලද ඒ ඉගෙනීම වැදගත් කොට සැලකුවේ ය. එහි ඇති වරදක් නැත.

වසර 1972 දී, එවකට පැවති රජය විසින් ක්‍රියාත්මක කරණ ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා, හයේ පන්තියේ සිට සාමාන්‍ය පෙළ දක්වා ම (නමය, දහය වසර ද්වය සඳහා විද්‍යා, වාණිජ, කලා ලෙස නොබෙදා) එකම විෂයය මාලාවක් හැදෑරීමට සියලුම සිසුන්ට සිදුවුණු අතර ඒ අනුව සිංහල සාහිත්‍යය විෂයය සිංහල භාෂාව විෂයයේ කොටසක් ලෙස ඉගැන්වීම ඇරඹුණි.

දැන් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඉත්තන් වුණු, වසර 1967 හෝ ඉන් පසු තම පාසල් අධ්‍යාපනය ඇරඹු සිසුන් හට, තමන් සිංහල සාහිත්‍යය විෂයයක් ලෙස පාසලේ දී ඉගෙන ගන්නවා ද, නැති ද යන කාරණය පිළිබඳව කවර නම් වගකීමක් තිබුණා ද?

තමන් සිංහල සාහිත්‍යය පාසලේ දී විෂයයක් ලෙස ඉගෙන නොගැනීම යනු ඔවුන් ගේ වරදක් නොවේ.

එනිසා, සිංහල සාහිත්‍යය නූගත් නුතන පරපුරේ අබ්බ ගොබ්බයින් යනුවෙන් සඳහන් කරමින් විචාරක සමස්ත පරම්පරාවකටම කළ අපහාසය මට දිරවූයේ නැත.

ඒ කාරණය පිළිබඳව මගේ අදහස මා ලියා කළ පළ විට, මට ද, පෙර කී ආකාරයේ අති නිර්මාණාත්මක වූ, අලුත් සිංහල වචන ද රැගත්, ලිඛිත ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදුවිය.

ඒ 2014 අප්‍රියෙල් 10 දින දී ය.

ඒ ලිපිය කියවූ මට වැටහුණේ එය, සාහිත්‍යය පාසලේ දී විෂයයක් ලෙස ඉගෙනීම ගැන මා ලියූ ලිපිය තමන් ට පුද්ගලිකව කළ පහරදීමක් ලෙස සලකා, මට මිලිටරි උපක්‍රම භාවිතා කරමින් ප්‍රහාරයක් එල්ල කිරීමක් ලෙස යි. (එසේ කියන්නේ "මොක් ඇටෑක්" සහ "ඇතුළට එන්න දී පහර දීම" වැනි යෙදුම් ඔහු උපයෝගී කරගත් නිසා බව සලකන්න).

ඔහු ගේ පෙර කී අදහස පිළිබඳව මිස, පුද්ගලයෙකු වශයෙන් මට විචාරක සමග අවුලක් නොතිබුණි.

මෙවැනි ආරවුලක් ඇති වුණු පසු, එයින් ජුගුප්සාජනක සතුටක් ලබන්නට තැත් කරන නිර්නාමිකයෝ ද සිටිති. ඔවුන් විවිධ බ්ලොග්වල විවිධ දේ ලියා තිබුණි. ඒවා නිසා, විචාරක තව තවත් වැරදි නිගමනවලට එළැඹෙන බව ද මට පෙනුණි.

එනිසා මා කළේ අප්‍රියෙල් 13 දින ඔහුට පහත ඊ-මේලය යැවීමයි.
හිතවත,

බ්ලොග් ලෝකය යනු අතත්‍ය ලෝකයකි. එහි වෙන වාද විවාද එයටම සීමා වීය යුතුය.

මා විරුද්ධත්වය පෑවේ සිංහල සාහිත්‍යය පිළිබඳ ඔබේ අදහසට පමණි!

මට ඔබ කෙරෙහි කිසිදු තරහක්, ක්‍රෝධයක්, වෛරයක් හෝ අමනාපයක් නැත.

එසේ තිබුණා වුණත් ඒ තරහ මරහ කෝන්තර අවසාන කර දැමීමට සිංහල අලුත් අවුරුද්ද තරම් වෙනත් වෙලාවක් තිබේද?

ඔබට සුබ අලුත් අවුරුද්දක් පතමි.

ප/ලි
ඔබ මොනවා සිතා සිටියත් මා ඔබට හෝ වෙනයම් අයෙකුට එරෙහිව නිර්නාමිකව කිසි දෙයක් කිසි තැනක, බ්ලොගයක හෝ වෙනත් ආකාරයකට පවසා නැති බවද සඳහන් කරමි.
විචාරක මගේ ඊ-මේලයට පහත දැක්වෙන පිළිතුර අප්‍රියෙල් 15 දින එවා තිබුණි.
ඔබේ මේ නව අවුරුදු අදහස පිළිගනිමි. ඔබට යම් සිත් වේදනාවක් ඇතිවුවානම් අවංකවම ඒ ගැන කණගාටුව පලකරමි. සහයෝගයෙන් ඉදිරිරියට යමු. ජයවේවා! ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා. ඔබ දිගු කල මිත්‍රත්වයේ දෑත අල්ලා ගනිමි.
මේ පිළිතුර ලැබෙන විට මම පෙර සැලසුම් කර තිබුණු ආකාරයට අවුරුදු නිවාඩුව සඳහා ලංකාව පැමිණ සිටියෙමි. ඉන් දින කිහිපයකට පසු අප්‍රියෙන් 20 දා බ්ලොග්කරුවන් ගේ අවුරුදු උත්සවයක් ද සංවිධානය වෙමින් තිබුණු අතර එදින වෙනත් වැඩ කටයුතු කිහිපයක් ම යෙදී තිබුණ ද, උත්සවයට සහභාගී වීමට ද මට කැමැත්තක් තිබුණි.

මම විචාරකට පහත පිළිතුර යැව්වෙමි.
පිළිතුරට ඉතා ස්තුතියි.

මට කිසිම සිත් වේදනාවක් නැත. අප සිංහල සාහිත්‍යය ඉගෙන ගෙන නැත්තේ අපේ වරදක් නිසා නොවන බව ඔබට වැටහුණේ නම් යහපති.

දිනක හමු වුණොත් කතා බහ කරමු!
අවුරුදු උත්සවය පැවැත්වුණු දිනට පෙර දා මා රාත්‍රිය ගත කළේ මාතර ඥාතී නිවසක වුවත්, පසුදා උදෑසන බසයක නැගී පිළියන්දල මව ගේ නිවසට පැමිණ එහි තිබුණු පොත් මිටියක් ද රැගෙන උත්සවය පැවැත්වුණු ස්ථානයට යාමට මට හැකි විය.

එහිදී හමු වූ විචාරක ඔහු පැවසූ පරිදිම මා දිගු කළ මිත්‍රත්වයේ දෑත අල්ලා ගත්තේ ය.

"පාසලේ දී සාහිත්‍යය විෂයයක් විදියට ඉගෙන නොගත්තාට මාත් ඔන්න පොතක් ලිව්වා! කියවලා බලන්න" කියමින් මම මා ලියූ සිව් වසරක් මරදානේ පොතේ පිටපතක් ඔහුට දුන් විට ඔහු එය සිනහ මුසු මුහුණින් පිළිගත්තේ ය.



දැන් ඉතින් ඒ සියල්ල මතකයන් පමණි.

එහෙනම් විචාරක, අපි නැවත එහේ දී ම දවසක හමුවෙමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
කෙසේ වෙතත්, විචාරක ගේ ඉක්මන් කෝපය සහ විවිධ පුද්ගලයන් ට කෙරුණු බැණ අඬ ගැසීම් එතැනින් නතර නොවුණු බව ද කිව යුතුය.

මා සිතන ආකාරයට සිංහල බ්ලොග් අවකාශය මනරම් වන්නේ අප එකිනෙකා වැනි විවිධ අදහස් දරණ පුද්ගලයින් එහි සැරිසරමින් අදහස්වලින් ගැටෙන නිසා ය.

ප/ප/ලි
විචාරක පිළිබඳව ලියවුණු මා කියවූ වෙනත් ලිපි:

1. 2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය
https://atampahura.blogspot.com/2017/04/2016-26-2315.html


2. විචාරක බ්ලොග්කරුවා ගේ මරණය - Some day we will all die!
https://rasikalogy.blogspot.com/2017/04/some-day-we-will-all-die.html


3. මේජර් ගුණරත්න හෙවත් ආදරණීය විචා ඔබට සුභ ගමන්
http://kolambagamaya.blogspot.com/2017/04/blog-post_29.html


4. ඔබට සුබ ගමන් විචාරක මාමේ...
http://littleflowerbuds.blogspot.com/2017/04/blog-post.html


5. සුභ ගමන් විචාරකතුමනි.. !!!
http://kalahitha.blogspot.com/2017/04/blog-post.html


6. විචාරක මලා
http://ansathudinapotha.blogspot.com/2017/04/blog-post_74.html


7. විචා...සුබ ගමන් එහෙනම්
https://vibheeshana2.blogspot.com/2017/04/blog-post_30.html


8. Three Of A Kind…Remembrances of Ilandariya, Oba and Wicha…...
http://ranrandil.blogspot.com/2017/04/504-three-of-kindremembrances-of.html


9. ළයාදර හිතවත ඔබට සුබ ගමන්
https://sugv.wordpress.com/2017/04/29/ළයාදර හිතවත ඔබට සුබ ගමන්/


(image: http://airshipdaily.com/blog/03312014-writers-duels)

Tuesday, 18 April 2017

නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday


අද මෙන්ම එදා මා පාසල් ගිය සමයේ ද, ලංකාවේ පාසල් වාර තුනක් ද, නිවාඩු කාල තුනක් ද විය. ඒ පාසල් වාර තුනම, එක හා සමාන කාල පරාසයක, එනම්, අඩු වැඩි වශයෙන් සති දහතුනක් පමණ, පැතිරී තිබුණු අතර, නිවාඩු කාල ද, බොහෝ විට එක සමාන කාල ප්‍රමාණයේ විය.

මා අද වෙසෙන ඕස්ට්‍රේලියාවේ පාසල් වාර හතරක් ද, එනිසා පාසල් නිවාඩු කාල හතරක් ද වේ. එක් වාරයක් සඳහා සති දහයක කාලයක් වෙන් වී ඇති අතර, නිවාඩු කාල හතරෙන් තුනක් ම, එනම් අප්‍රියෙල් මාසයේ දී සාමාන්‍යයෙන් (සැම විටම නොවේ) පාස්කු දින මැදි කරෙගෙන යෙදෙන නිවාඩුව, ජූලි මාසයේ මුල එන සිසිර නිවාඩුව, සැප්තැම්රයේ අගට යෙදෙන වසන්ත නිවාඩුව, සති දෙකක් බැගින් වූ නිවාඩු කාල වේ.

දෙසැම්බරයේ නත්තල් සමයට සතියකට පමණ කලින් එළැඹෙන ගිම්හාන නිවාඩුව, ජනවාරි අග දක්වා සති හයක් පමණ කාලයක් පුරා විහිදෙයි.

දිගු නිවාඩුවක් තියා කෙටි නිවාඩුවක් වුව ද, ගෙවී අවසාන වූ පසු නැවතත් පෙර කළ සුපුරුදු රාජකාරී කිරීම ඇරඹීම අප බොහෝ දෙනෙකු අප්‍රිය කරන දෙයකි.

පසුගිය අඟහරුවාදා සිට මුලින් අසනීප වීම නිසා ද, ඉන් පසුව ලැබුණු දින හතරේ පාස්කු-සති අන්ත දීර්ඝ නිවාඩුව නිසා ද, සතියක් ම කාර්යාලයෙන් බැහැරව සිටි මට, අද උදෑසන සේවයට යාම සඳහා සූදානම් වීමේ දී දැනුණේ මහා කම්මැලිකමකි.

දුම්රියට ගොඩ වී පරිගණකය දිග හැර ගත් විගස මට සිහිවූයේ, අප කුඩා කාලයේ අවුරුදු නිවාඩුව ප්‍රීතියෙන් නිවසේ ගත කර ආපසු පාසල පටන් ගන්නා අවස්ථාවයි.

එසේ පාසල් ඇරඹෙන මුල් දිනයේ, පාසලේ දී වැඩි ලොකු දෙයක් සිදු නොවේ. එයට හේතුව, ගුරුවරුන් ද, තවමත් කම්මැලි අරිමින් සිටින නිසාත්, ගුරු කාමරයට වී අවුරුදු කැවිලි සහ ඕපාදූප බෙදා හදා ගැනීම, පන්තිවලට ගොස් ඉගැන්වීමට වඩා ප්‍රිය කරන නිසාත් විය යුතුය.

එනිසා ප්‍රාථමික පාසලේ බොහෝ ගුරුවරුන් එදින කරන්නේ, "මා නිවාඩු කාලය ගත කළ හැටි!" යන මාතෘකාවෙන් රචනයක් ලියන ලෙස සිසුන්ට නියම කිරීමයි.

මා පස්වෙනි ශ්‍රේණියේ උගන්නා කාලයේ දී, අවුරුදු නිවාඩුව ගත කරන අතරතුර මට ඔය කාරණය සිහිවිය. මා එවිට කළේ, සිංහල ලිවීමේ සටහන් පොත රැගෙන "මා අවුරුදු නිවාඩුව ගත කළ හැටි!" යන මැයෙන් පිටු දෙක තුනක විස්තරයක් ලිවීමයි.

අඹ වාරය, අවුරුදු කෑ හැටි, ගුවන් විදුලියේ වැඩ සටහන්, ආච්චිලා ගේ නිවසේ ගත කළ නිවාඩුව යනාදී විස්තර මා ඒ රචනයේ ඇතුළත් කරන්නට ඇත.

අවුරුදු නිවාඩුව අවසාන වී පාසල ඇරඹුණි.

අප පන්ති කාමරය පිරිසිදු කර සකසා ගත්තෙමු.

තවත් දවසක් පුරා නිදහසේ සිටීමේ මගේ අපේක්‍ෂා සුන් කරමින් අපේ පන්තිය භාර බමුණුසිංහ ටීචර් සුපුරුදු පරිදි ඉගැන්වීම ඇරඹුවා ය.

පැය කිහිපයක් තිස්සේ මහන්සි වී මා ලියා ගෙන ආ ඒ "මා අවුරුදු නිවාඩුව ගත කළ හැටි!" යන වාක්‍ය රචනාව කිසිදා මා හැර වෙනෙකෙු කියවූයේ නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි
නිවාඩුව අවසානයත් සමගම 2017 බ්ලොග් වසන්තය ද ඇරඹී ඇත! මේ මා ඒ සඳහා ලියන දෙවන ලිපියයි.

මුල් ලිපිය-

1. තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html



(image: http://techgirl.co.za/2016/01/14/back-to-work-after-a-holiday/)

Wednesday, 12 April 2017

ඕස්ට්‍රේලියාවේ සිංහල ප්‍රකාශන - Sinhala language publications in Australia


ඕස්ට්‍රේලියාවේ වැඩිම සිංහල ජනගහනයක් වෙසෙන්නේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව ය. මා දන්නා පරිදි, එහි සිංහල සඟරා හතරක් මාසිකව පළ වේ.

ඉන් මූලික ස්ථානය ගන්නේ ජගත් ජේ. එදිරිසිංහ ගේ උපදේශක කතෘත්වයෙන් යුතුව දැන් වසර දොළහක් තිස්සේ පවත්වාගෙන යන සන්නස සඟරාවයි. එහි මුද්‍රිත සියලුම පිටපත් පහත සංරක්‍ෂිත අඩවියෙන් කියවිය හැකි ය.

http://sannasa.sinhalajukebox.org/

සන්නස සඟරාව ආරම්භයේ සිටම වාගේ මම ඒ සඳහා ලිපි සැපයීමි. මා පසුව ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කළ, "සිව් වසරක් මරදානේ" නම් කෘතියේ අඩංගු වුණේ මා සන්නසට සඟරාව සඳහා ලියූ "පමා නොවී එමි අකුරට" නම්, මා දහවෙනි ශ්‍රේණිය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන තුරු ගත කළ සිව් වසරක අත්දැකීම් සහිත තීරු ලිපි එකතුවයි.

ඉන් අනතුරුව මම, සන්නස සඟරාව සඳහා "කුමර දිවිය" නමින් තීරු ලිපි දාහතක් රචනා කළෙමි.

මා මේ දිනවල සන්නස සඳහා ලියන්නේ "අපේ කාලයේ කතන්දර" නම් තීරු ලිපි මාලාවකි. මෙවර පළ වුණේ එහි විසි හත්වෙනි කොටසයි.

මීට අමතරව මම, "අල්ලපු ගෙදර" නමින් ද, "සිනුවර හසුන" නමින් ද, සන්නස සඟරාව සඳහා තීරු ලිපි ලියා ඇත්තෙමි.

සන්නස සඟරාව ඇරඹීමට දෙවසරකට පමණ පෙර මෙල්බර්න් නගරයේ ම උපත ලැබූ සඟරාවක් ද වේ. එය නමින් "පහන" නම් වේ. මේ සඟරාව ඇරඹුණේ ද ජගත් ජේ එදිරිසිංහ ඇතුළු පිරිසක ගේ කතෘත්වයෙන් වුව ද, එහි අයිතිය පසුව ව්‍යාපාරිකයෙකු සතු විය.

මාසික ප්‍රධාන කලාපයට අමතරව මාසයේ මැද ද කලාපයක් නිකුත් කරන පහන සඟරාවේ වෙබ් අඩවිය පහත දැක්වේ. ඔවුන් ගේ පෙර කලාප අන්තර්ජාලයේ කියවීමට තිබේ යැයි නොසිතමි.

http://www.pahana.com.au/

පහන පුවත්පතට මා කළ සඳහන් කළ යුතු සම්මාදම නම්, "කොලු කාලේ" නම් ලිපි විස්සකින් සමන්විත වසර 2010 මැද සිට ලියවුණු තීරු ලිපි මාලාවයි. මා එය ලියූවේ, මෙල්බර්න් නුවර වෙසෙන ජ්‍යෙෂ්ඨ සිංහල ලේඛකයෙකු වන දොන් බෝල්ඩ්වින් කුරුප්පු සහ එකල මෙල්බර්න් නුවර වාසය කළ ලේඛිකාවක වූ හේමමාලා හේරත් ගේ ඉල්ලීම පිට ය.

මීට අමතරව මා දන්නා පරිදි මෙල්බර්න් නගරයේ පළවෙන මාසික සඟරා දෙකක් වේ.

ඉන් පළමුවැන්න නම්, සාමන්ත තැන්නගේ විසින් සංස්කරණය කෙරෙන "කැඩපත" නම් සඟරාවයි. එහි වෙබ් අඩවිය මෙලෙස වේ.

http://kadapatha.com.au/

දෙවැන්න නම් විල්ෆ්‍රඩ් සිරිවර්ධන ගේ කතෘත්වයෙන් මෙල්බර්න් සිංහල සඟරා අතරට මීට වසර එකොළහකට පමණ පෙර ඇතුළත් වී ඇති "සිහනද" සඟරාවයි. ඔවුන් ගේ වෙබ් අඩවියක් නම් තිබේ යැයි මම නොසිතමි.

මේ සඟරා සියල්ල මුද්‍රණය කර ප්‍රධාන වශයෙන් කුළුබඩු කඩ හරහා සහ පන්සල් වැනි වෙනත් පොදු ස්ථාන හරහා බෙදා හැරෙන්නේ නොමිලයේ බව ද කිව යුතුය. ඒ සඟරා අතුරෙන් පහන, සන්නස සහ සිහනද සිනුවර දී ද ලබාගත හැකිය.

මීට වසර විසි හතකට පෙර සිනුවර දී පිහිටවූ "සිංහල සංස්කෘතික හමුව" විසින් "සිංහල" නමින් ත්‍රෛමාසික සඟරාවක් වසර 2001 දී පමණ සිට පළ කෙරුණු නමුත්, දැන් එය අභාවයට ගොස් ඇත!

මම වසර 2005 නොවැම්බරයේ සිට 2008 ඔක්තෝබර දක්වා එහි සංස්කාරක ලෙස ස්වේච්ඡා සේවය කරමින් සඟරා කලාප දොළහක් එළි දැක්වූයෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තවත් සොය බැලීමේ දී, "සියපත" නමින් මාසික සඟරාවක් ද, "සංචාරකයා" නම් සංචාරක සඟරාවක් ද මෙල්බර්න් නගරයේ පළ වෙන බව ආරංචි විය.

Monday, 5 December 2016

හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up!


"හිටං විහිළු" යනු මොනවාදැයි දැන ගැනීමට සහ "හිටං විහිළු" කිහිපයක් හෝ දැන ගැනීමට පහත පළ කෙරෙන මගේ මුල් ම "හිටං විහිළු" වැඩ සටහනේ පිටපත කියවන්න.

මෙය මා ඉදිරිපත් කළේ 2016 දෙසැම්බර් තුන්වෙනි දා සවස පැවැත්වුණු ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ වර්ෂාවසාන සාදයේ දී ය.


කුණුහරුප සහ අමාරු වචන

ආයිබෝවන්, සුභ සැන්දෑවක් වේවා!

ටික ටික වයසට ගිහින් ඉස නිකට පැහෙන කොට අපිට හැදෙනවා පොඩි ලෙඩක්.

මේකට කියන්නේ "අතීතකාමය" කියලයි.

කලබලවෙන්න එපා. අතීතකාමය කියන්නේ කුණුහරුපයක් නොවෙයි. හැබැයි ඒකේ තේරුම දන්නෙ නැති අයට ඒක අමාරු වචනයක්.

අපි ඉස්කෝලේ ගිය පොඩි කාලේ, අකුරෙන් අකුර ගැ ගහගෙන වචනෙන් වචනේ කියවන්න හැකි වෙලා, පොත් පත්තර කියවන්න පටන් ගත්තු කාලේ අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි මේ අමාරු වචන.

අමාරු වචන කියලා කියන්නේ මහප්‍රාණ අකුරු තියෙන, උණ්ඩුඛඵුච්ඡය, භෞමිඛ අඛණ්ඪඨාවය වගේ වචනවලටම විතරක් නොවෙයි.

මං පොඩි කාලේ, මට මතක විදියට තුනේ පන්තියේ විතර ඉගෙන ගන්න කාලේ, මං දැක්කා කෝච්චි ටිකට් එකක්. දුම්රිය ප්‍රවේශ පත්‍රයක්.

මං ඒ දවස්වල අතට අහුවෙන ඕනෑම දෙයක් කියවනවා. කෝච්චි ටිකට් මෙන්න මෙහෙම ලියලා තිබුණා.
නිකුත් කළ දිනට පමණක් වලංගුයි
ගනේමුල්ල සිට කොළඹ කොටුව
මිල ශත හැත්තෑවයි
මං බැලුවා මේ ටිකට් එකේ අනිත් පැත්ත
අත්සන් කිරීම තහනම්!
අත්සන් කිරීම තහනම්?

"මේ මොන විකාරයක් ද?" මට හිතුණා. "මේ ටිකට් එක අපි සල්ලි දීලා ගත්තා නම්, අපි ඒකේ අත්සන් කළාට මක්වෙනවාද?"

මං ගත්ත පෑන, ගැහැව්වා අත්සනක් ටිකට් එක පිරෙන්න.

පස්සෙ තමයි මං දැන ගත්තේ ඒ තිබුණේ අත්සන් කිරීම නොවෙයි අන්සන්තක කිරීම කියන අමාරු වචනය ය කියලා!

ඊට අවුරුදු දෙක තුනකට පස්සේ මට මතකයි ගනේමුල්ලේ තිබුණා කවි මඩුවක්.

මේක හිටගෙන කවි කියන තැනක් කියලයි කියවුණේ.

ඒ කාලේ ඒ පැත්තේ හිටපු නං දරාපු කවිකාරයෝ, කවිකාරියෝ, ගනේමුල්ලේ සිරිනන්දන, කටුවාලමුල්ලේ වයි ජිනදාස, බිංගිරියේ විජයකුමාර, සෝමා හපුගොඩ හෙම ඇවිල්ලා හිටියා එදා.

මට මතකයි, මං ඒ හිටගෙන කවි මඩුව බලන්න ගියාම දැක්කේ ස්ටේජ් එකේ පුටු දාලා කවියෝ හොඳට වාඩිවෙලා හිටිය හැටියි.

මං හිතුවා, හිටගෙන කවි කියන්න ඇයි මේ පුටුවල වාඩිවෙලා ඉන්නේ කියලා.

හැබැයි තමන් ගේ වාරය ඇවිල්ලා කවියක් කියන්න කලින් මේ හැමෝම නැගිටලා හිට ගන්නවා. මයික් එක ළඟ හිටගෙන තමයි කවි කියන්නේ. මං හරි නේ කියලා මට හිතුණා.

මේ හිටගෙන කවි නොවෙයි හිටිවන කවි බවත්, හිටිවන කවි කියන්නේ ගෙදරදී ලියාගෙන කට පාඩම් කරගෙන ඇවිල්ලා හිටගෙන කියන කවි නොවෙයි, ක්‍ෂණිකව ගොතා කියන කවිවලට බව මං දැන ගත්තේ එදායි.

ඊට අවුරුදු විස්සකට විතර පස්සේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ එක දවසක් මං ටෙලිවිෂන් එකේ දැක්කා හොඳ විහිළු තහළු වැඩ සටහනක් යනවා.
ඒ විකට වැඩ සටහන හැඳින්වුණේ "ස්ටෑන්ඩ් අප් කොමඩි" කියලායි.

ඒ කියන්නේ හිටගෙන විහිළු?

මට එක පාරටම මතක්වුණේ අර හිටගෙන කවි මඩුවේ කේස් එකයි.

එතකොට මේ ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ හිටගෙන කරන විහිළු කියන එක ද, නැතිනම් ගෙදරදී ලියලා, පුහුණුවෙලා එන්නේ නැතුව හිටිවන ම, ක්‍ෂණිකව කරන විහිළු කියන එකද?

මොනවා වුණත්, ඒ මුල්ම ස්ටෑන්ඩ් අප් කොමඩිය දැකලා අවුරුදු ගණනාවක් ගියාට පස්සේ මටත් ඒ වගේ ස්ටෑන්ඩ් අප් කොමඩි කරන්න හිතුණු වෙලාවේ, මට තේරුණා මේකට සිංහල නමක් අවශ්‍ය බව.
හිටගෙන විහිළු කියලා කියනවද?
හිටිවන විහිළු කියලා කියනවද?
හොඳ වෙලාවට මේකට ඒ දෙකටම වඩා ගැලපෙන නමක් ලංකාවෙන් මට හම්බ වුණා!
හිටං විහිළු!!!
ලංකාවේ මිනිස්සු හිනා ගස්සන්න නම්, පුක වගේ දෙයක් කීවාම ඇති කියලා පසුගිය දවසක කෙනෙක් කිව්වා. නමුත් මේ වෙනකොට නං ඇත්තටම "හිටං" කියලා කිව්වාමත් බොහෝ දෙනෙකුට හිනා යනවා!

ඉතිං මේ තමයි මං ප්‍රසිද්ධ වේදිකාවක "හිටං විහිළු" කරන මුල්ම අවස්ථාව.

මං මුලින් කිව්වා නේද අර අමාරු වචන ගැන?

පොඩි කාලේ පොත් පත්තදර කියවන කොට අපිට හමුවෙන අමාරු වචනවල තේරුම මං අහගන්නේ අපේ තාත්තාගෙන්.

අපේ තාත්තා ගුරුවරයෙක්. තාත්තා ඕනෑම අමාරු වචනයක තේරුම දන්න වීරයෙක්.

දවසක් අම්මා ගෙදර ගෙනැවිත් තිබුණු පත්තරයක තිබුණු කෙටිකතාවක් කියවන කොට ඒකේ තිබුණා මට නොතේරුණු අමාරු වචනයක්.
මං ගිහින් තාත්තා ගෙන් ඒකේ තේරුම ඇහැව්වා.

"තාත්තේ ගණිකාව කියන්නේ මොකක්ද?"

එදා තමයි මට තේරුණේ තාත්තා හැම වචනයකම තේරුම දන්නේ නෑ කියලා.

තාත්තා කළේ මං කියවපු පත්තරේ මගෙන් උදුරාගෙන ගිහිල්ලා අමමාට බැන්න එකයි.

ඉතිං මං තේරුම් ගත්තා ගණිකාව කියන්නේ අමාරු වචනයක් විතරක් නොවෙයි කුණුහරුපයක් ය කියලා.

මං ඊට පස්සේ අමාරු වචනයක තේරුම තාත්තාගෙන් ඇහැව්වේ හොඳට කල්පනා කරලායි.

ඔය කුණුහරුප තියෙනවා නේද?

පොඩි කාලේ අපි ඒවා ඉගෙන ගත්තේ අපේ දෙමව්පිය ගුරුවරුන්ගෙන් නොවෙයි. අවට සමාජයෙන්, ගමේ මිනිස්සුන්ගෙන්, ඉස්කෝලේ අනිත් වනචර කොල්ලන්ගෙන්.

ඒ හින්දම ද කොහෙද, ලංකාවේ දී සේරම සිංහල කුණුහරුප මං ඉගෙන ගත්තත්, ඉංග්ලිෂ් කුණුහරුප මට දැන ගන්න ලැබුණේ කීපයයි.

ඇත්තම කියනවා නම් මං සමහර ඉංග්ලිෂ් කුණුහරුප ඉගෙන ගත්තේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළාට පස්සෙයි.

දැන් මගේ පුතාට වෙලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත.

ඒ කියන්නේ පුතා අවට පරිසරයෙන් සේරම ඉංග්ලිෂ් කුණුහරුප මටත් වඩා හොඳින් ඉගෙන ගෙන තිබුණත් සිංහල කුණුහරුප එකක්වත් දන්නේ නෑ.

මොකද, එයාට මුණ ගැහෙන කිසිම සිංහල කෙනෙක් කුණුහරුප කියන්නේ නෑනේ!

හැබැයි අපි පොඩි කාලේ වගේ නොවෙයි නේ මෙහේ හැදෙන අපේ ළමයි.

පුතා කෙළින්ම ඇවිත් මට කිව්වා මෙහෙම.

"තාත්තෙ මට සිංහල කුණුහරුප ටිකක් කියලා දෙන්න ප්ලීස්?"

මං අහුවෙයි ඕවට!

දවසකට විතර පස්සේ මට ඇහුණා පුතා දෙතුන් පාරක් මං ඉන්න හරියෙන් යනකොට මට ඇහෙන්න වගේ "අපොයි, අපොයි" කියලා කියනවා.
නිකං මාව ටෙස්ට් කරන්න වගේ!

පස්සේ තමයි මං දැන ගත්තේ ගූගල් ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් එකේ අර එෆ් අකුරෙන් පටන් ගන්නා අකුරු හතරේ ඉංග්ලිෂ් වචනෙට දීලා තියෙන සිංහල තේරුම තමයි ඒ අපොයි කියන එක කියලා.

හොඳයි එහෙනම් ආයිබෝවන්, මට ලැබුණු කාලය අවසානයි.

මං දැන් "අපොයි-ඕෆ්" වෙන්නම්!

මගේ නම රසික සූරියආරච්චි, ආයේ දවසක හිටං විහිළු කතාවකින් හමුවෙමු, ඔබ සැමට සුභ සැන්දෑවක් වේවා!


අවස්ථාව ලැබෙන පරිදි, දිගින් දිගටම, "හිටං විහිළු" ඉදිරිපත් කිරීම මගේ අරමුණයි. මීළග අවස්ථාව ජනවාරි 26 දින ලැබේ යැයි බලාපොරොත්තු වෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඔබේ සාදයට, උත්සවයට, සංදර්ශනයට හිටං විහිළු ජවනිකාවක් එකතු කරගැනීමට අවශ්‍ය නම් මා අමතන්න.

Tuesday, 22 November 2016

තවත් බලු කොලු කතාවක් - Of dogs and boys


මා පසුගිය සැප්තැම්බරයේ රසිකොලොජියේ නැවත පළ කළ "මිනිස් බල්ලා සහ බලු මිනිසා" නම් වූ මගේ සඟරා ලිපිය ගැන විවිධ අදහස් පළ වුණි.

තම අදහස් දක්වන එක් අයෙකු පුන පුනා පවසා සිටියේ ඒ මා ලියා ඇත්තේ සත්‍ය අත්දැකීමක මතකය මත පදනම් වූ කතාවක් නොව මා නිර්මාණය කළ ප්‍රලාපයක් බවයි.

ඇත්තටම එය සත්‍ය කතාවක් නොව නිර්මාණයක් නම්, මම වඩාත් සතුටුවෙමි. ඒ මන්ද යත්, එවැනි නිර්මාණයක් කිරීම මට නම් ලේසියෙන් නොහැකි නිසා ය. මින් පෙර මා ලියා පළ කර ඇති විවිධාකර අත්දැකීම් පදනම් වූ ලිපි අනුභූති සේ ගෙන කෙටිකතා සීයක් ලියන්නෙමි යැයි මා ඒ කාලයේ ම පවසා සිටිය ද, තවමත් මා අතින් එවැනි එකදු කෙටිකතාවක් හෝ ලියවුණේ නැත!

ගෙදර වැඩ හෝ පැවරුම් යනාදිය පිළිබඳව අප එකල අසා නොතිබුණ ද, උදෑසන පන්තියේ ගුරුවරියට පෙන්වීම සඳහා ගල්ලෑල්ලේ චිත්‍රයක් ඇඳගෙන යාමට, අත් අකුරු පුහුණුව පෙන්වීම සඳහාත්, භාෂාව ඉගෙනීම පෙන්වීම සඳහාත්, වචන හෝ වාක්‍ය හෝ පිළිවෙළට ලියාගෙන යෑමට, මට එකල උපදෙස් ලැබී තිබුණි.

මා ලියාගෙන යන දේ කුමක් වුවද, එයට අති විශාල හරියකින් ප්‍රතිචාර දැක්වීම ප්‍රඥාවතී ටීචර් ගේ ගේ සිරිත විය. අකුරක හැඩයේ වරදක්, වචනයක අක්‍ෂර වින්‍යාසයේ වරදක් හෝ වාක්‍යයක ව්‍යාකරණ වරදක් තිබුණේ නම්, ඇය එය නිවරද කරන්නට ඉඩ තිබුණි. නමුත්, පෙරදා රාත්‍රියේ නිවසේ දී ගල්ලෑල්ලේ ලියා දෙමව්පියන්ට පෙන්වන දෙයක වරදක් පසුදා උදෑසනවන විට තිබෙන්නට ඉඩක් නැත.

අද මා කියන්නට යන හෝඩියේ පන්තියේ බලු කතාව මෙයයි.

එක් දිනයක උදෑසන අවදිව පාසල් යන්නට සූදානම් වෙමින් සිටි මට පෙනුණේ, කුමක් හෝ හේතුවක් නිසා, පෙර දින රාත්‍රියේ මා ගල්ලෑල්ලේ කිසිවක් ලියා නොමැති බවයි.

චිත්‍රයක් අඳින්නට ද වෙලාවක් නොමැත. අපේ නිවසට අල්ලපු වත්තේ විසූ ආනන්ද ජයතිලක සමග මා කොස්සින්න ශ්‍රී ශීලානන්ද කණිෂ්ඨ විද්‍යාලය වෙත පා ගමනින් යාම අරඹන්නේ උදෑසන හතට ය. එය අඩ සැතපුමක පමණ දුරකි.

ලියන්නට වාක්‍යයක් අසා ගන්නට තාත්තා ද නොමැත. බොල්ලතේ පාසලක සේවය කළ රජයේ ගුරුවරයෙකු වූ ඔහු නිවසෙන් පිටත්වන්නේ උදෑසන හයටත් පෙර ය.

නිවසේ කිසියම් කාර්යයක නිරත වෙමින් සිටි අම්මා වෙත ගිය මම, අම්මේ මොනවා හරි කියන්න මට ගල්ලෑල්ලේ ලියා ගෙන යන්න කියා ඇගෙන් ඉල්ලීමි.

අනේ පුතේ, අර නැන්දාගෙන් අහගන්න කෝ! යැයි අම්මා පැවසූයෙන් මම නැන්දා වෙත ගියෙමි.

නැන්දා මට ලියන්නට කීවේ මේ වාක්‍ය යුුගලයි!
බල්ලා බත් කයි.
කොල්ලා හූ කියයි.

එවෙලේ හදිසියෙන් ඒ වාක්‍ය දෙක ගල්ලෑල්ලේ ලියාගෙන පාසලට ගිය මට ප්‍රඥාවතී ගුරුවරිය ගෙන් ගල්ලෑල්ල පුරා විසිරී ගිය විශාල හරියක් ලැබෙන්න ඇත.

මා මුලින් ම නිර්මාණාත්මක ලියවිල්ල ඉගෙන ගත්තේ එදා යැයි පසු කාලයක මේ සිදුවීම ගැන සිතන විට මට වැටහී ගියේ ය.
  • කොල්ලා බත් නොකා බල්ලා බත් කෑවේ ඇයි?
  • බල්ලා හූ නොකියා කොල්ලා හූ කීවේ ඇයි?
  • බල්ලා කෑවේ කොල්ලා ගේ බත් ටික ද?
  • කොල්ලා හූ කීවේ, ඒ දැක කෝපයෙන් ද?
නැන්දා ගේ ඒ වාක්‍ය යුගල නිර්මාණයේ තෝතැන්නකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දැන් මේ කතාව ද, සත්‍ය සිදුවීමක් නොව මවිසින් කරණ ලද නිර්මාණයක් යැයි නොකියන්න.

මේ ලිපිය මා අලුතෙන් ලියූවක් වුව ද, මෙහි විස්තර කෙරෙන සිදුවීම නම් මීට වසර කිහිපයකට කලින් බස් රේඩියෝව සඳහා කරන ලද වැඩ සටහනක දී මම විස්තර කර ඇත්තෙමි.

(image: https://commons.wikimedia.org/wiki/File:A_boy_and_a_dog.jpg)

Sunday, 20 November 2016

තේරෙන නොතේරෙන තේරවිල්ලක් (කුණුහරුපයක් නම් නොවේ!) - Can you solve this riddle?


පීටර් ගිබන්ස් යනු මා සමග එක ම ආයතනයේ, එක ම ඩිවිෂනයේ, එක ම දෙපාර්තමෙන්තුවේ, එක ම අංශයේ සේවය කරන මිතුරෙකි. මීට මාස හතකට කලින් අප දෙදෙනා සිටියේ කිලෝමීටර් තිහකට වඩා දුරින් පිහිටි කාර්යාල දෙකක ය. පසුගිය මැයි මාසයේ ඇති වූ සුවිශේෂී වෙනසට පසු දැන් අපේ දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම එකම කාර්යාලයකට වාර්තා කරමු.

එදා පීටර් සහ මා දිවා ආහාරය ගැනීමට අපේ "වැඩට-ඉඩ" සැලසුම සහිත කාර්යාලයේ කුස්සි කෑල්ලට ගියේ එකට ය. මේසය වටා බංකුවල වාඩිවුණු අපි සුපුරුදු පරිදි දිවා ආහාරය අඹරන්නට පටන් ගත්තෙමු.

අඹරන, ගිලින අතර මා කළේ, මේසය මත තිබුණු "සිඩ්නි මෝනිං හෙරල්ඩ්" පුවත් පතේ පිටු පෙරළමින් එහි තිබෙන රූප නැරඹීමයි. පීටර් තම කාර්යාල ජංගම දුරකථනය මත ඔහු ගේ පුද්ගලික ජංගම දුරකථනය ඇලයට තබා යම් කිසි පුවත් අඩවියක් පිරික්සන්නට පටන් ගත්තේ ය.

එක් ජංගම දුරකථනයක් මට තැබූ තවත් ජංගම දුරකථනයක් දුටු මට සිහි වුණේ අප කුඩා කාලයේ ඉගෙන ගත් තේරවිල්ලකි.

"පීටර්, කැන් යූ සොල්ව් දිස් රිඩ්ල්"" මම පීටර් ගිබන්ස්ගෙන් ඇසුවෙමි, "එ ෆෘට් ඔන් එ ට්‍රී, එ ට්‍රී ඔන් එ ෆෘට්!"

මා කුඩා කාලයේ අසා පුරුදු ඒ "ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්" තේරවිල්ල පීටර් පෙර අසා නොතිබුණි.

තේරවිලි යනු අප කුඩා කාලයේ අපේ වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත් ඉතා අපූරු භාෂා ප්‍රයෝග විශේෂයකි.

ඒ අතර පද පෙරළි සහිත "බුදු කුටිය" වැනි තුන් තේරවිලි ද, "දෙකොන දේශනාවට මඩුව මත්වෙලා" වැනි හය තේරවිලි ද ඇත.

මුලින් කියූ "ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්" ආකාරයේ විවිධ සැඟවුණු අරුත් ඇති කියමන් ද ඇත.

මේ පහත දැක්වෙන්නේ ද තේරවිල්ලකි. මෙය මා කලින් අසා ඇති එකක් නොව, වෙනත් අනාගතයේ පළවීමට නියමිත බ්ලොග් ලිපියක හැඳින්වීම ලියද්දී මගේ සිතට ආ මගේ ම අදහසකි. එසේම මෙය කුණුහරුපයක් නම් නොවේ.

මෙන්න විසඳන්න.
  • මේවා ගැහැනුන්ට මෙන් ම පිරිමින්ට ද තිබේ.
  • ගැහැනුන් ගේ ඒවා පිරිමින් ගේ ඒවාට වඩා අනිවාර්යෙන් ම ලොකු ය. අඩු වශයෙන් මා දැක ඇති ගැහැනුන් ගේ ඒවා මගේ එකට වඩා ලොකු ය.
  • සාමාන්‍යයෙන් ගැහැනුන්ට මේවා එකකට වඩා ඇත. පිරිමින්ට බොහෝ විට ඇත්තේ මේවා එකකි.
  • ගැහැනුන් ගේ ඒවා විවිධ ප්‍රමාණයෙන්, විවිධ වර්ණයෙන් තිබේ. සෑම පිරිමියෙකු ගේ ම එක බොහෝ විට අන් පිරිමියෙකු ගේ එක සමාන ය. එසේ ම ඒවා බොහෝ විට එකම වර්ණයේ ය. නැතහොත් ඉතා සමාන වර්ණයන් ය.
මේ කියන්නේ කුමක් ගැන ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිළිතුර සහ මුලින් කී ලිපිය තව දින දෙක තුනකින් පමණ පළ කරමි.

දෙවසරක් තිස්සේ දින දෙකකට වරක් බැගින් රසිකොලොජියේ ලිපි 366 ක් පළ කළ මගේ මේ ඇරඹුණු තුන්වෙනි වසර සඳහා ඉලක්කය ලිපි එකසිය විස්සක් පමණි!