Showing posts with label ලේඛකයෝ. Show all posts
Showing posts with label ලේඛකයෝ. Show all posts

Sunday, 14 August 2022

සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories


සල්මන් රුෂ්ඩි නම් ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මුස්ලිම් ලේඛකයා, ඇමරිකානු එක්සත් ජනපදයේ දී ආගමික පිස්සෙකු යැයි සැක කළ හැකි අපරාධකරුවෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ ආරංචිය ලැබුණු විට මට ඒ හා සම්බන්ධ මගේ අත්දැකීම් කිහිපයක් ම සිහියට නැගුණි.

එයින් මුල් සිදුවීම 1989 දක්වා ඈතට දිව යයි. සල්මන් රුෂ්ඩි යන නම අප බොහෝ දෙනකු මුල්වරට ඇසුවේ ඒ කාලයේ දී ය. එයට හේතුව වූයේ ඔහු විසින් ලියන ලද “සැටනික් වර්සස්” නමැති නවකතාව නිසා ඉස්ලාම් ආගමේ නිර්මාතෲ මොහොමඩ්ට අපහාසයක් සිදුවුවා යයි පවසමින් ඉරානයේ එවකට (ආගමික) නායකයා වූ අයතොල්ලා කොමේනි විසින් සල්මන් රුෂ්ඩි මරා දමන ලෙස ආඥාවක් හෙවත් ෆට්වාවක් නියම කිරීමයි.

අයතුල්ලා කුමේනි ගේ එම නියෝගය අනුව ක්‍රියාත්මක වී, කිසියම් ආගමික උන්මත්තකයෙකු විසින් සල්මන් රුෂ්ඩි මරා දැමීමට ඉඩ ඇති බව පෙනී යාම නිසා මේ ලේඛකයාට සිදුවූයේ අන්වර්ථ නාමයකින් සැඟ වී දිගු කාලයක් ජීවිතය ගත කිරීමටයි. ඔහු යළිත් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට පටන් ගත්තේ, මට මතක ආකාරයට දිගු කලකට පසුව ය.

මේ සිදුවීම් ඇතිවූ කාලයේ, එනම් 1989 දී, මා සිටියේ ලංකාවේ නොව වෙනත් රටක ඉගනුම ලබමිනි. මා සමග එකම පාඨමාලාව හැදෑරූ පිරිස් අතර එක්තරා බංග්ලාදේශ ජාතිකයෙකු ද විය. පසු කලෙක මා ඒ ගැන සිතා බලන විට ඔහු අන් අයට වඩා, කොටින් ම අන් බංග්ලාදේශ ජාතිකයින්ටත් වඩා, වෙනත් හැසිරීම් තිබුණු අයෙකි. උදාහරණයක් ලෙස ඔහු තමන් හදාරන්නේ නැති විෂයන්ගේ පවා දේශන සටහන් නිබන්ධන යනාදියේ ඡායා පිටපත් ලබා ගනී. තමන්ගේ දේශන සටහන්, පරිශීලනය කරන පාඨ ග්‍රන්ථ යනාදියේ වැදගත් තැන් වර්ණ පෑන් භාවිතයෙන් හයිලයිට් කිරීම එකල අප කාගේත් සිරිත විය. අපේ බංගලි මිතුරාගේ එවැනි සටහන් සහ පොත්පත් ගැන අප කළ නිරීක්ෂණය නම්, ඒවායේ ඕනෑම පිටුවක සියයට අනූපහක් පමණ ම විවිධ වර්ණයෙන් හයිලයිට් කර ඇති බවයි.

සල්මන් රුෂ්ඩි ගේ කෘතියට විරුද්ධව පෙර කී පරිදි අයතොල්ලා කුමේනි විසින් නිකුත් කළ මරණ ආඥාවේ උණුසුම තිබූ කාලයේ, මට මේ බංගලියා සමග යම්කිසි කාර්යයක් සඳහා බස් රථයක නැගී යාමට සිදුවිය. එහිදී අප අතර ඇති වූ සාකච්ඡාවේ දී මට පෙනී ගියේ ඔහු එක හෙළා ම එම මරණ ආඥාව අනුමත කරන බවයි.

අප දෙදෙනාම හදාරමින් සිටි පාඨමාලාව මූලිකව ම ගණිත සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමය මත පදනම් වූ එකක් වූ නිසා ඒ අනුව තර්ක කරමින් මා මේ පුද්ගලයාට පහත ප්‍රශ්නය ඉදිරිපත් කළෙමි.

“දැන් ඔබ හෝ අයතුල්ලා කුමේනි හෝ ඔය පොත කියවා තිබෙනවා ද? නැහැ නේද? එසේ කියවන්නේවත් නැතුව එහි අන්තර්ගතය වැරදි බවත්, එනිසා ලේඛකයාට මරණ දඬුවම හිමි විය යුතු බවත්, ඔබ කියන්නේ කවර පදනම මත ද?”

ඒ සඳහා ඔහු ලබාදුන් මට සාපේක්ෂව අසාර්ථක පිළිතුර අනුව මට පෙනී ගියේ, ආගමික උන්මත්තකයෙකුට මේ වැනි කාරණයක දී වත්, කිසිදු තර්කයක් හෝ සොයා බලා වටහා ගැනීමක් හෝ අනවශ්‍ය බවයි.

දැන් මෙන්න මගේ දෙවෙනි අත්දැකීම.

මුල් සිදුවීමට වසර හයකට පසු මම වෙනත් විශ්වවිද්‍යාලයක වෙනත් අධ්‍යයන කටයුත්තක නිරත ව සිටියෙමි. එහිදී මා සමග විශ්වවිද්‍යාලයේ එකම කාමරය බෙදාගනිමින් සිටියේ පෙර කී අයතොල්ලා කොමේනි ගේ දේශයේ ම වැසියෙකි, එනම් පර්සියානු හෙවත් ඉරාන ජාතිකයෙකි.

මේ දිනවල දී ම, අපේ ගමේ පුස්තකාලයෙන් ලබාගෙන මා කියවූ එක් නවකතාවක් වූයේ ඇමරිකානු ජාතික බෙටී මහමුඩී නම් ලේඛිකාව විසින් තම අත්දැකීම් අනුසාරයෙන් රචනා කර තිබුණු “Not without my daughter" නම් කෘතියයි.

මෙම නවකතාව කියවා නැති අයට එහි අන්තර්ගතය පිළිබඳව ඉතා සැකවින් කියනවා නම්, එහි අඩංගු වන්නේ ඉරාන ජාතික වෛද්‍යවරයකු හා විවාහ වන ඇමරිකානු කාන්තාවක්, ඔවුන්ගේ කුඩා දියණිය ද සමග, ඉරාන විප්ලවයෙන් පසු (එනම් අයතුල්ලා කුමේනි බලයට පැමිණීමෙන් පසු) ටික කලකට පදිංචිය සඳහා තම සැමියා සමග ටෙහෙරාන් නුවරට යන ආකාරයත්, එහි දී ඇය තම සැමියා ආපසු ඇමරිකාවට යෑමේ කිසිදු අදහසක් නොමැති බව වටහා ගන්නා නමුත් දියණිය නොමැතිව තනිව ම ආපසු යාමට අකමැති ව දිගු කාලයක් දුක් විඳිමින් සිට පසුව කෙසේ හෝ දියණිය ද සමඟ එයින් මිදී පලා යන ආකාරයත් ය.

මෙම නවකතාවේ එක් තැනක, ඉරානයේ කුකුල් මස් ව්‍යංජනයක් සාදන ආකාරය පිළිබඳව සඳහන් වේ. මගේ සිත ගත් විස්තරයේ වූයේ ඒ කුකුල් මස් කරිය සඳහා ලූනු විශාල වශයෙන් ද, ඊට අමතරව "සැෆ්රන්" යනුවෙන් හැඳින්වෙන කුළුබඩු වර්ගය ද භාවිතා කරන බවයි. සැෆ්රන් යනු ඉතා මිලාධික කුළුබඩු වර්ගයක් නිසා, ඉරානයේ සැෆ්රන් භාවිතය පිළිබඳව මගේ ඉරාන ජාතික මිතුරාගෙන් මම විමසුවෙමි.

ඒ කතාව ආරම්භ කිරීමේ දී, මට ඉහත නවකතාව පිළිබඳව සඳහන් කිරීමට ද සිදු විය. සැෆ්රන් ගැන මට පැවසීම කෙසේ වෙතත් මගේ ඉරාන ජාතික මිතුරා මුලින් ම කළේ, එම නවකතාවේ ඇත්තේ අමූලික බොරු බවත් එය ඉරානයේ තහනම් කර ඇති බවත් පැවසීමයි.

මා ඔහුගෙන් ද විමසා සිටියේ, මුලින් සඳහන් කළ බංග්ලාදේශ ජාතික මිතුරාගෙන් ඇසූ ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයකි.

“උඹ මේ පොත කියවා තිබෙනවා ද? නැහැ නේද? එසේ නොමැති නම්, මෙහි ඇති අන්තර්ගතය පිළිබඳව උඹ නිවැරදිව දන්නේ කෙසේද?”

ඔහුට ද එයට සාර්ථක තර්කානුකූලව පිළිතුරක් දිය නොහැකි විය.

දැන් මෙන්න තුන්වෙනි අත්දැකීම.

මේ මා සඳහන් කළ දෙවන සිදුවීමෙන් වසර 14 කට පසුව 2010 දී වූවකි. මෙයට සම්බන්ධ විදේශිකයෙකු නොව අපේ ම ශ්‍රී ලාංකික මිතුරෙකි.

අපේ යම්කිසි සංවත්සරයක් හා සම්බන්ධව සමරු කලාපයක් සකස් කර මුද්‍රණය කිරීමට ඒ දිනවල කටයුතු කෙරෙමින් තිබුණු අතර ඒ සඳහා අතීතකාමී සටහනක් ලියා දෙන මෙන් මට ඇරයුමක් ලැබුණි.

මට සාපේක්ෂව ඉතා වැදගත් කරුණු කිහිපයක් ඇතුළත්, සියලු දෙනා ම කිය කිය විය යුතු යැයි මා සිතන ආකාරයේ සටහනක් ලියූ මම එය මේ තුන්වෙනි මිතුරාට ලබා දුන්නෙමි.

එය කිය වූ ඔහුගේ ප්‍රතිචාරය වූයේ මෙය මෙලෙස ය.

“මේක නම් පළ කරන්න බැහැ මචං. මේක පළ කළොත් ගුටි කන්න තමයි වෙන්නේ!”

ඒ වදන් අසා අන්දුන්කුන්දුන් වූ මම ඔහුගෙන් මෙසේ අසා යැව්වෙමි.

“ඒ ලිපිය පළ නොකළාට කමක් නැහැ. මං ඒක වෙන තැනක පළ කරන්නම්. මට මෙන්න මේ ප්‍රශ්න කිහිපයට උත්තර දීපං.”
  1. ලිපිය පළ කළොත් කව්ද උඹට එහෙම ගහන්නේ?
  2. එහෙම ගහන්නේ මා ලියූ ලිපියේ වැරදි තියෙන නිසා ද? එසේ නම්, ඒවා මොනවාද?
  3. වැරැද්දක් තිබේ නම් එය පෙන්වා දෙනු වෙනුවට කිසියම් අයෙකු එය පළ කරන උඹට පහර දෙන්නේ ඇයි?”
ඒ ප්‍රශ්නය අසා දැන් වසර 12ක් පමණ ගත වී ඇතත් මට තවමත් පිළිතුරක් නම් ලැබුණේ නැත.

ස්ටැන්ලි තම්බයියා ලියූ බුඩිසම් බීට්‍රේඩ් නම් කෘතිය මෙන් ම, ඩෑන් බ්‍රව්න් ගේ ඩා-වින්චි කෝඩ් නවකතාව ද ලංකාවේ තහනමට ලක් වූ බව ම මෙවෙලේ සිහි වේ. ඒ තීරණ ගත් එවුන් එසේ කළේ ඒ පොත් කියවීමෙන් පසු යැයි මම කිසිසේත් ම නොසිතමි.

හොඳයි දැන් අපි නැවතත් මේ සටහන ඇරඹූ තැනට යමු.

සල්මන් රුෂ්ඩි නම් ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මුස්ලිම් ලේඛකයා, ඇමරිකානු එක්සත් ජනපදයේ දී ආගමික පිස්සෙකු යැයි සැක කළ හැකි අපරාධකරුවෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ ආරංචිය........................

- රසික සූරියආරච්චි

(image: https://www.salmanrushdie.com/)

Sunday, 12 August 2018

ප්‍රිසිලා ගොඩහේ්වා ගේ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නම් නවකතා ද්වය එළිදැක්වීමේ උත්සවය - A note about the launch of two Sinhala novels in Sydney


මේ සටහන ලියන්නට පරිගණකය ඉදිරිපිට අසුන් ගත් මොහොතේ පැරණි උපදේශාත්මක කියමන් ද්වයක් මගේ සිහියට නැගුණි.

"කියවීම මිනිසා සම්පූර්ණ මිනිසෙකු කරයි" යන්න ඉන් පළමුවැන්නයි.

මෙහි දී කියවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ, පොත්, පත් යනා දී ලිඛිත, මුද්‍රිත ලේඛන කියවීම බව අපට වැටහේ. එලෙස, කියවීමට නම්, ඒ ආකාරයේ පොත්, පත්, ලේඛන ලිය වී තිබිය යුතු ය. එනිසා, සම්පූර්ණ මිනිසුන්ගෙන් පිරි ලෝකයක් ඇතිවීමට නම්, මේ ලෝකයේ ලේඛකයින් සිටිය යුතු බව නිගමනය කළ හැකි ය.

මගේ සිතට නැගුණු දෙවන කියමන වූයේ, "ජීවිතය සම්පූර්ණවීමට නම් පොතක් ලියා, ගසක් සිටුවා, දරුවෙකු සාදා තිබිය යුතුය" යන්නයි. ජීව විද්‍යාත්මක කොන්දේසියක් ද අඩංගු බැවින් මෙම කියමන තරමක ආන්දෝලාත්මක එකක් බව කිව යුතු ය. එසේ නමුත්, එය එහි එන අසීරු ම කරුණ නොවුන ද, අපේ වැඩි දෙනෙකු තම දීර්ඝ ජීවිත කාලය තුළ දී ඉහත කොන්දේසි තුන අතරින් සපුරා නොගන්නා කොන්දේසිය නම් පොතක් ලිවීම යැයි මම සිතමි.

මීට දොළොස් වසරකට පෙර දිනයක, ඉන්නවා ද, යනවා ද යන තීරණය හදිසියේ ගැනීමට සිදුවුණු අවස්ථාවේ දී, නොයා රැඳී සිටිය යුතු යැයි තදින් ම අධිෂ්ඨාන කර ගැනීමට මට පිටුවහලක් වූ එක් කරුණක් වූයේ එකී පොතක් තවමත් ලියා නොතිබීමේ අඩුපාඩුවයි.

ඉන් වසර දෙකකට පමණ පසුව, වදෙන් පොරෙන්, ඒ ජයග්‍රහණය අත්පත් කර ගැනීමට මට හැකිවිය.

ඔව්, එය මගේ සිතට විශාල සතුටක් ලබාදුන් ජයග්‍රහණයක් ම විය!

ජයග්‍රහණයන් යනු සැමරිය යුතු අවස්ථාවන් වේ. බොහෝ ලේඛකයින් තමන් පොතක් ලියා ලබන ඒ ජයග්‍රහණය "පොත් එළිදැක්වීමේ උත්සව" හරහා සමරන්නේ ඒ අනුව ය.

මේ ආකරයේ එළිදැක්වීමේ උත්සව හැඳින්වීමට සඳහා "දොරට වැඩුම", "ජනගත කිරීම" යන පර්යාය පද ද යොදා ගනු ලැබේ.

පසුගිය දස වසරක පමණ කාලය තුළ, සාහිත්‍ය ලෝලියෙකු, රසිකයෙකු සහ සහෘදයෙකු ලෙස මම පොත් එළි දැක්වීමේ උත්සව විස්සකට පමණ සහභාගී වී ඇත්තෙමි. සිඩ්නි, මෙල්බර්න් සහ කොළඹ යන නගරවල දී පැවැත්වුණු, ඒ සමහර උත්සවවල දී අදාළ ලේඛකයා විසින් ලියන ලද, පොත් දෙකක් හෝ තුනක් එළිදැක්වුණු අවස්ථා ද විය.

ඒ සමහර උත්සව සඳහා මා සහභාගී වූයේ හුදු රසිකයෙකු හෝ සහෘදයෙකු ලෙස ය. එසේම, "ලූලා නැතිවලට බට කණයෙකු" සේ, උත්සව කිහිපයක දී ම, ආරාධිත දේශන පවත්වන්නට මට අවස්ථාව ලැබුණු අතර, මෑතක දී සිනුවර පැවැත්වූණු සිංහල පොත් එළිදැක්වීම් හැමෙකක දී ම පාහේ, උත්සවය මෙහෙයවන්නාගේ හෙවත් මගේ ම උදාහරණයකට අනුව "ආඳා ගේ භූමිකාව" රඟ දැක්වීමට ද මට අවස්ථාව ලැබුණි.

දීර්ඝ හැඳින්වීමක් ද සහිතව මේ සටහන ලිවීමේ අරමුණ වන්නේ මා තෙසතියට පෙර සහභාගී වූ එවැනි එක් පොත් එළිදැක්වීමක දී අත්දුටු සුවිශේෂී අසිරිය පිළිබඳව මගේ අවංක අදහස් සයිබර් අවකාශයට මුදාහැරීමට ය.


මෙන්න මූලික විස්තරය ලුහුඬින්.

මේ උත්සවය පැවැත්වුණේ 2018 ජූලි මස විසිවෙනි සිකුරාදා සන්ධ්‍යායාමයේ දී, සිනුවර තදාසන්නයේ රෝඩ්ස් හි දී ය.

එහි දී "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයක් ම එළිදක්වන්නට යෙදුණි.

ඒ කෘති ද්වය සිනුවර ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවා නම් ලේඛිකාව ගේ නිර්මාණ විය.

ඒ පොත් එළිදැක්වීමේ වැඩකටයුතු මෙහෙයවීමේ අවස්ථාව මට හිමි වී තිබුණි.


දැන් මෙන්න තරමක පසුබිම් විස්තරයක්.

දැන් දශක තුනක පමණ කාලයක් තිස්සේ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ වාසය කරන අපේ සිංහල ප්‍රජාවේ සංස්කෘතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රශංසනීය සේවාවක් ඉටු කරන සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධව ලේඛක සංසදයක් මීට වසර නමයකට පමණ පෙර ආරම්භ කරන ලදී. ඒ සංසදය පිහිටුවීමේ මූලික අරමුණු වූයේ පොදුවේ ඕස්ට්‍රේලියාව තුළත්, සුවිශේෂීව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළත් සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම සහ සිංහල ලේඛකයින්ට ඔවුන්ගේ ලේඛක කටයුතු සඳහා අත්වැලක් සැපයීමයි. මේ අනගි කටයුත්ත සඳහා මූලිකත්වය ගත්තේ එවකට සිංහල සංස්කෘතික හමුවේ මාධ්‍ය අංශය භාර උප සභාපති වූ සිසිල් ෆොන්සේකා සහ සිංහල සංස්කෘතික හමුවේ සභාපති ලෙස කටයුතු කළ සමන් මහානාම දිසානායක බව ද සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ම සිඩ්නි නගරාශ්‍රිතව වාසය කරන ග්‍රන්ථ ලියා පළ කර ඇති සහ වෙනත් විවිධාකාර ලිපි ලේඛන ලියා ඇති ලේඛකයින් සෑහෙන පිරිසක් ද, ලේඛන කටයුතු සඳහා උනන්දුවක් දක්වන පිරිසක් ද මේ සංසදයට එක්වූහ.

"නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය" ලෙසින් හැඳින්වෙන එම සංවිධානය විසින් පසුගිය වසර නමයක පමණ කාලයක් තිස්සේ කරන ලද සියලුම කර්තව්‍යයන් ලේඛනගත කිරීම මේ සටහනේ අරමුණ නොවන නිසා, අපට වැදගත් එක් කාරණයක් පමණක් පවසමි. එනම්, ලේඛක සංසදය විසින් පසුගිය කාලය තුළ අපේ සාමාජික ලේඛකයින් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සව රාශියක් ම සංවිධානය කළ බවයි.

මට "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයේ රචිකාවිය වන ප්‍රිසිලා ගොඩහේවා මුණ ගැසුණේ ඒ ලේඛක සංසදය නිසා ය. එසේ ම, ඇගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ වැඩකටයුතු මෙහෙයවීමට මට අවස්ථාව ලැබුණේ ද ඒ නිසා ම ය. ඒ අවස්ථාවේ දී ලේඛිකාව පිළිබඳවත්, ඇය රචනා කර ඇති ග්‍රන්ථ පිළිබඳවත් තම අදහස් දැක්වූ ෂෙල්ටන් පීරිස්, සිසිල් ෆොන්සේකා සහ පාලිත ගනේවත්ත දේශකයින් තිදෙනා ද අපේ ලේඛක සංසදයේ ක්‍රියාකාරිකයෝ වෙති.

මා සහභාගී වී ඇති අන් පොත් එළිදැක්වීමේ උත්සව සමග සසඳා බලන කළ පසුගිය දා පැවැත්වුණු ප්‍රිසිලා ගොඩහේවාගේ මේ උත්සවය සුවිශේෂී එකක් ම වේ. ඒ පහත විස්තර කෙරෙන කාරණා නිසා ය.

මා රසිකයෙකු, සහෘදයෙකු, ආරාධිත දේශකයෙකු හෝ වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස මෙතෙක් සහභාගී වී ඇති සිඩ්නි සහ මෙල්බර්න් නගරවල පැවැති පොත් එළිදැක්වීම් පහළොවම, එකක් නෑර, ලේඛකයින් ගේ, එනම් පිරිමින් ගේ, කෘති සම්බන්ධ උත්සව විය. මේ මා දන්නා පරිදි සිඩ්නි නගරයේ දී නම්, ලේඛිකාවකගේ සිංහල කෘතියක් එළිදැක්වුණු ප්‍රථම අවස්ථාවයි. එනිසා ම මේ උත්සවය ඓතිහාසික වැදගත්කමකින් යුතු, සිඩ්නි සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතුය.

එසේ ම, ප්‍රිසිලා ගොඩහේවා, තමා රචනා කළ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වය එදා එළිදැක්වූයේ ඇගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්වන ජීවන මගේ පනස්වරක් ගතවීම සැමරීම පිණිස, ඒ ජන්ම සංවත්සර උත්සවය හා සමගාමීව වීම ද සුවිශේෂී කාරණයකි. මේ ආකාරයට තම පනස්වෙනි ජන්ම දිනය සැමරීම සඳහා තමා ලියූ පොතක් එළි දැක්වීම ද සැම අයෙකුටම කළ නොහැකි සුවිශේෂී කාර්යයක් ම වේ!

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය පිළිබඳව ද කිවයුතු සුවිශේෂී කරුණක් ඇත. මේ නවකතා දෙකම, මුලින් සිංහල භාෂාවෙන් ලියා පසුව වෘත්තීමය භාෂා පරිවර්තකයෙකු විසින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කරන ලදුව, එකම ග්‍රන්ථයේ ද්විභාෂා කෘතියක් ලෙස පළ කර තිබීමයි. මා වෙනත් භාෂාවලින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කළ කෘති ද, ඉංග්ලිෂ් භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන ලද කෘති ද කොතෙකුත් දැක ඇතත්, එකම ග්‍රන්ථයේ මුල් කෘතිය ද, එහි පරිවර්තනය ද, භාෂා දෙකකින් මුද්‍රණය වූ ප්‍රබන්ධයක් මීට පෙර දැක නැත. මෙය සිංහල සාහිත්‍යයේ නවතම පෙරළියක් ලෙස මම දකිමි.

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය කියවා අවසන් කළ පසු ඒ කෘති පිළිබඳව විවරණයක් ලිවීමට ද අදහස් කරමි.

ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් අතින් තවත් පොත් ලියවේවා, කෙමෙන් කෙමෙන් පුළුල්වන විගාමික සිංහල සාහිත්‍යය තව තවත් වර්ධනය වේවා, මේ ආකාරයේ පොත් එළිදැක්වීම් විශාල සංඛ්‍යාවකට සහභාගීවන්නට අපට අවස්ථාව ලැබේවා යනුවෙන් කෙරෙන ප්‍රාර්ථනා සමගින්,

සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පාදනය කරන ලද, ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් විසිතුන් දෙනෙකුගේ නිර්මාණ රැගත් කෙටිකතා එකතුවක් ඔසී රටේ අපේ කතා නමින් දැන් මුද්‍රණය වී ශ්‍රී ලංකාවේ නිකුත් වී ඇති බව ද,

ඒ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දී එළි දැක්වීමේ උත්සවය අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව ද,

ග්‍රන්ථයේ ඕස්ට්‍රේලියානු දොරට වැඩුම සැප්තැම්බරයේ දී පමණ පැවැත්විය හැකි වෙනු ඇති බව ද පවසමින් මේ සටහන අවසන් කරමි.

-රසික සූරියආරච්චි

(images: Book covers - Susantha Moonamalpe, Photos - Roy Gunaratne)

Wednesday, 6 July 2016

සම්මාන ගන්න විභාග ලිවීම සහ සම්මාන ගන්න පොත් ලිවීම - Here I come


"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ මගේ මිතුරෙකු වන ජගත් ජේ එදිරිසිංහ තම මානව බ්ලොගයේ ලියා පළ කළ ලිපියක් කියවද්දී මගේ සිතට ආ පරණ කතන්දර සහ වත්මන් අදහස් කිහිපයෙන් සමහර දේ ඒ ලිපියේ ම ප්‍රතිචාර ලෙස දැක්වුවද, නැවතත් බ්ලොග් ලිපියක් ලෙස ද ගොනු කරන්නට සිතුණි.

කනගාටුවට කරුණක් වනුයේ තම අදහස නිසි පරිදි ලියවී නැත යන පදනම යටතේ, ජගත් ජේ එදිරිසිංහ විසින් ඒ ලිපිය මේවන විට ඉවත් කර තිබීමයි. ඔහු එය නැවත ලියා මතු දිනක පළ කරනු ඇතැයි මම සිතමි.

මගේ තවත් මිතුරෙකු වන නැවතත් "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ හෙන්රි වර්ණකුලසූරිය ද මේ ආකාරයේ ම අදහසක් මින් පෙර දිනයක ඔහු කළ පුවත්පත් සාකච්ඡාවක (හෝ එවැනි තැනක) දී දක්වා තිබුණි.

ඒ ලිපි/සම්මුඛ සාකච්ඡා සටහන් කියවද්දී එහි ලා ඔවුන් පවසා ඇතැයි මට වැටහුණු අදහස් මගේ ම වචනයෙන් නැවත කිවහොත් මෙසේ වේ.
ලංකාවේ සම්මාන සඳහා පොරයක් පවතී. සමහර ලේඛකයෝ සම්මාන බලාපොරොත්තුවෙන් ම පොත් ලියති. බහුතරයක් ලේඛකයෝ තම මුද්‍රිත කෘති සඳහා සම්මාන නොලැබුණු විට කුපිත වෙති. රණ්ඩුවට යති.

එනිසා හෝ එනිසා ම නොවුණත්, සම්මානයක් බලාපොරොත්තුවෙන් පොතක් ලිවීම වරදකි. නොකළ යුත්තකි.

මට වැටහුණු පරිදි, ජගත් එදිරිසිංහ සහ හෙන්රි වර්ණකුලසූරිය දෙදෙනා එකී සම්මාන පොරය පිළිකුල් කරති, ප්‍රතික්‍ෂේප කරති.

ජගත් ජේ එදිරිසිංහ පවසා තිබුණේ, තමන් සම්මාන පසුපස නොයන බව සහ නමුත් තමන් ගේ ග්‍රන්ථයකට සම්මානයක් ලැබුණොත් එය ප්‍රතික්‍ෂේප නොකරන බව ය.
කිසිම සාහිත්‍ය සම්මානයක් සඳහා තම කෘති ඉදිරිපත් නොකරන කැත්ලීන් ජයවර්ධන නම් වූ ලේඛිකාවක් අද ලංකාවේ සිටියි. අවාසනාවකට මෙන් ඒ ගැන අසා තිබුණද, මම ඇය විසින් ලියන ලද එකදු නවකතාවක් හෝ මේ දක්වා කියවා නැත්තෙමි.
හෙන්රි වර්ණකුලසූරිය පවසා තිබුණේ අද ලංකාවේ නවකතා සඳහා පිරිනමන ප්‍රධානතම සම්මානයක් වන පොත් ප්‍රකාශකයින් ගේ සංගමය මගින් පිරිනමන ස්වර්ණ පුස්තක සම්මානය යනු ප්‍රෝඩාවක් බවයි.
හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලර වාඩිය සහ දඩ කඳවුර යන එකට ඇඳුණු නවකතා ද්වය ම ප්‍රකාශනය කෙරුණේ ෆාස්ට් පබ්ලිෂින් (සුරස) සමාගම විසිනි. ඒ සමාගම ස්වර්ණ පුස්තක සම්මානය පිරිනමන පොත් ප්‍රකාශකයින් ගේ සංගමයේ සාමාජිකයෙකු නිසා, සුරස ප්‍රකාශිත පොත් සියල්ලම ඉහත සම්මානය සඳහා සුදුසුකම් ලබයි. හෙන්රි වර්ණකුලසූරිය තම කෘති ඒ තරගයට ඉදිරිපත් නොකරන ලෙස ප්‍රකාශක ප්‍රේම් දිසානායකට විශේෂයෙන් ම කියන්නට ඇතැයි මම සිතමි.
තම ලිපියේ දී ජගත් ජේ එදිරිසිංහ සඳහන් කර තිබුණේ එක් වසරක ඩී. ආර්. විජේවර්ධන නම් වූ සම්මානය සඳහා නවකතාවක් රචනා කර ඉදිරිපත් කළ නම සඳහන් නොවුණු ප්‍රකට ලේඛකයෙකු ගැනයි. ජගත් ජේ එදිරිසිංහ කියන්නට උත්සාහ කළේ, එලෙස සම්මානයක් සඳහා ම පොතක් ලිවීම යනු කළ නොයුත්තක් ය කියා යැයි මට සිතුණි.
ඩී. ආර්. විජේවර්ධන සම්මානය යනු, මා අසා ඇති පරිදි, ප්‍රකාශයට පත් නොකළ අත් පිටපත් සඳහා වූ තරගයකි. එයින් ජය ගන්නා නවකතා අත්පිටපත මුද්‍රණය කෙරෙන අතර, මුදලින් ද ත්‍යාගයක් පිරි නැමේ.

දයාවංශ ජයකොඩි සමාගමෙන් ද, මේ ආකාරයේ ම නවකතා අත්පිටපත් තරගයක් පැවැත්වෙන අතර, මගේ මතකය නිවැරදි නම් එක් වසරක ඒ ත්‍යාගය ලැබුණේ ජගත් ජේ එදිරිසංහට ම ය.

සෑම වසරකම ස්වර්ණ පුස්තක සම්මානය, ගොඩගේ පොත් සම්මාන, ජයවර්දෙනපුර විවියේ සම්මාන මෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද පිරිනැමෙන්නේ ඊට පෙර වසරේ ප්‍රකාශයට පත් කෙරුණු ග්‍රන්ථ වෙනුවෙනි.

මේ සම්බන්ධයෙන් මගේ අදහස මෙයයි.

සම්මානයක් බලාපොරොත්තුවෙන් පොතක් ලිවීම යනු සම්මානයක් බලාපොරොත්තුවෙන් විභාගයකට ලිවීම වැනිම පුද්ගල ප්‍රගමනයට මෙන්ම සමාජ ප්‍රගමනයට ද තුඩු දෙන, එනිසා පැසසුමට ලක්විය යුතු ක්‍රියාවකි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය ලියද්දී මට ඒ ගැන නිසි අවබෝධයක් නොතිබුණ ද, මා උසස් පෙළ විභාගය ලීවේ විශිෂ්ට සම්මාන හතරක් (A-A-A_A) බලාපොරොත්තුවෙනි. එය නිකං ම නිකං සිත ඇතුළේ සිර කර ගෙන සිටි බලාපොරොත්තුවක් නොව, ලොකු අකුරෙන් ඇඳී, මගේ පාඩම් මේසට මත ඇස් ඉදිරිපිට සෑම තත්පරයකම හොඳින් දර්ශනය වන්නට තබා තිබුණු පුවරුවක් ලෙස භෞතික ලෝකයේ ද ජීවත් වුණු බලාපොරොත්තුවකි.

මේ පිළිබඳ දීර්ඝ විස්තර සහිත විත්ති කතාවක් මගේ සිව් වසරක් මරදානේ (දයාවංශ ජයකොඩි ISBN:9789555478304) නම් කෘතියේ ඇතුළත් වේ.

මා බලාපොරොත්තු වූ ඒ ප්‍රතිඵලය වූ A-A-A-A මට නොලැබුණ ද, ඊට තරමක් ආසන්න ප්‍රතිඵලයක් කරා මට ළගාවීමට හැකි වූ බැවින් මගේ අවසාන අරමුණ වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට මට හැකිවිය.

සම්මාන ගන්න විභාගය ලිවීමෙන් මට නම් වූයේ සෙතක් ම ය. අද වුව ද උසස් පෙළ විභාගය ලියන සියලුම සිසුන් සියලුම විෂයන්ට විශිෂ්ට සම්මාන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ කරා යොමු විය යුතු යැයි මම සිතමි.

අඩු වශයෙන් සියලු දෙනාටම තම තමන් ගේ විෂයන් පිළිබඳ ඉහළ දැනුමක් ලබා ගැනීමටත්, සමස්ත ලංකාවේ ම විභාග ප්‍රතිඵල ඉහළ යාමත් එයින් බලාපොරොත්තු විය හැක.

මා මේ ලිපිය ලීවේ මේ පහත කාරණය ද පැවසීමටයි.

යම් කිසි දිනක මා නවකතාවක් රචනා කරන්නේ නම්, එසේ කරන්නේ ද එක සම්මානයක් නොව විශිෂ්ට සම්මාන හතරක් ම ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

මෙහි ප්‍රථම පියවර ලෙස දැන් මා සයිමන් නවගත්තේගම විසින් භාවිත කරන ලද ආකාරයේ තොප්පියක් පැළඳීම ආරම්භ කර ඇති බව සතුටෙන් දැනුම් දෙමි.

එය "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ මිතුරෙකුගෙන් මට ලැබුණු ත්‍යාගයකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපියට සම්බන්ධව පසුව ලිවිය යුතු සෝ ඔබ්වියස් දෙයක් මෙහි අන්තර්ගතයේ ඇත. නමුත් ඒ ගැන මේ ලිපිය කියවන අයෙකු ඇසුවොතින් පමණක් ලියන්නට සිතා දැනට නොලියා සිටිමි.

Monday, 11 January 2016

දින පොතේ පිටු දෙකක සටහන් නොහොත් ජීවිතෙන් සති දෙකක් බ්ලාස් ගිය හැටි - New year begins today!


පසුගිය දෙසැම්බර් විසි අට වෙනිදා මගේ දවසම ගෙවුණේ මරදානේ ය.

මරදානේ ඉපදුණු, සිව් වසරක්ම මරදානේ පාසල් ගිය මට මරදාන යනු නුපුරුදු තැනක් නොවේ. නමුත්, මෙදා මට මරදානේ දී වැඩ වැරදුණි!

ඉර මුදුන් වෙනතුරු මා දවසේ මුලින් ම ක්‍රියාන්විත පැය කිහිපය ගත කළේ විදෙස් ගමන් බලපත්‍ර කාර්යාලයේ ය. නැවත හවස් වරුවේ එහි එන බලාපොරොත්තුවෙන් එතැනින් පිට වී, දවසේ අපරභාගය ගත කළේ විජේසූරිය, දයාවංශ ජයකොඩි, සූරිය සහ සුරස පොත්හල්වල ය. දවල්ට කෑවේ බිම් මහලක තිබුණු අයිල කඩයකිනි.

උසුලා ගෙන යන්නට බැරි පොත් කන්දක් ඒ වෙන විට එකතු වී තිබුණු නිසාත්, පාස්පෝට් ඔෆීසියේ යටිමහලේ තිබුණු සංහිඳ පොත්හලට යාමට තිබුණු නිසාත්, මරදානේ ගොඩගේ පොත්හලට යාම පසු දිනකට කල් දැම්මෙමි.

කල් ඉකුත් වී වසර අටහමාරක් ගත වී තිබුණු මගේ විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට ලබාගත් අලුත් බලපත්‍රයද, කිලෝ විස්සක් පමණ පොත් මලු කිහිපයක් ද රැගෙන මරදානෙන් පිටත් වූයේ හවස පහමාරට පමණ වුවද, පිළියන්දල-කොළඹ මාර්ගයේ ඉඳිකිරීම් සහ වාහන තදබදය නිසා, මා නිවසට ළඟාවෙන විට රාත්‍රී හත ද පසු වී තිබුණි.

උදේ මා සමග නොගිය, ඇඟේ අමාරුවක් ද, කැස්සක් ද, හිසරදයක් ද, සවස මා සමග නිවසට පැමිණ තිබුණි.

එතැන් පටන් ඇරඹුණේ කහිමින් ද, හොටු හූරමින් ද, නිදා ගනිමින් ද, නිකරුණේ ඇඳ මත වැතිරී සිටිමින් ද, නිදා වැටෙමින් ද, පෙති, කරල්, කුඩු ආදී මෙකී නොකී ඖෂධ වර්ග ඇඟ ඇතුළට දමා ගනිමින් ද, මා ගත කළ ලෙඩ කපුටෙකු ගේ ජීවිතයයි.

සති තුනක් ගත කළ ලංකාවෙන් චුත වී, තවත් දවසක් ම මග ගෙවා, ඒ සතියේ ඉරිදා වෙන විට යළි සුතනඹුවන් අතරට පැමිණි මුත්, ලෙඩ කපුටු සාපය තවත් සතියක් ම පැවතුණි.

නව වසරේ සඳුදා ම කාර්යාලයට ගිය ද, ඉන් පසු දෙදිනේ ද, සිකුරාදා සහ සති අන්තයේ ද වැඩි කාලයක් ගත වුණේ ඇඳන් ගතව සිරප්, පෙති සහ කරල් සමගිනි.

අහම්බෙන් මෙන් සිදු වූ එකම වැදගත් කර්තව්‍යය වූයේ ලියනගේ අමරකීර්ති ගේ අලුත් ම නවකතාව වන අහම්බකාරක කියවා හමාර කිරීම පමණි.

අද අලුත් සේවා සතියක් ඇරඹේ.

හොඳින් හිරු පායා ඇති පැහැබර දිනයකි.

උදෑසන අටයි කාලට පමණ මා දුම්රිය පොළේ වාහන ගාලට ළඟාවෙන විට ම උෂ්ණත්වය අංශක විසි දෙකක් වී තිබුණි. හවස් වෙන විට අපේ ගම් පෙදෙසේ පරිසරය අංශක තිස් අටක් දක්වා වැඩි වීමට නියමිත බව පෙනේ. සේවා ස්ථානය පිහිටි උතුරු සිඩ්නි ප්‍රදේශය අංශක තිස් දෙකක් වීමට නියමිතය.

පසුගිය වසරේ ද මා අලුත් අවුරුද්ද ඇරඹුවේ ප්‍රමාද වී බව මතකය.

නව වසර අද ජනවාරි එකොළොස්වෙනිදා සිටවත් අරඹමි!

ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි (12/01/2016):
මේ සටහනේ ඉහළින් අඩංගු කර ඇති ඡායාරූපය පිළිබඳව තරමක උනන්දුවක් ඇති වී තිබෙන නිසා, ඒ ගැන වැඩි විස්තර ලියන්නට සිතුණි.

මේ මා ලංකාවෙන් ගෙනා කිලෝ තිහක පොත්වලින් කිහිපයකි. තවත් කිලෝ විස්සක් මුහුදු තැපෑලෙන් එනු ඇත.

මේ පොත් ලියා ඇත්තේ බ්ලොග් ලොවෙන් නම් දැනගත් අය විසින් නිසා ඒ ඡායාරූපය මෙහි පළ කළෙමි.

1. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ මනුපුර සක්මන කාව්‍ය සංග්‍රහය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

2. තරු රසී බ්ලොගය ලියන තරංගනී රෙසිකා ගේ තරු ඇස් රහස් කාව්‍ය සංග්‍රහය නුගේගොඩ සරසවි පොත්හළෙන් මිලට ගතිමි.

3. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ නිට්ටෑවෝ කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.

4. පුලින තලාව බ්ලොගය ලියන පුෂ්පා රම්ලනී දිසානායක ගේ සුදු හිම පලස කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

5. බස්සීගේ නවාතැන බ්ලොගය ලියන යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ ඉතා කෙටි කලබල සිහින කාව්‍ය සංග්‍රහය දෙසැම්බර් 12 දින පැවති එළිදැක්වීමේ දී මිලට ගන්නා ලදී.

6. අනිත් කොන බ්ලොගය ලියන බෝධිනී සමරතුංග ගේ අනිත් කොන කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

7. රසවතිය බ්ලොගය ලියන හෂිත අබේවර්ධන ගේ පත් සිදුණු වසන්තය පරිවර්තන කෘතිය මහරගම සරසව පොත්හළෙන් එක් පිටපතක් ද, නුගේගොඩ සරසවි පොත්හළෙන් තවත් පිටපතක් ද මිළට ගෙන ඉන් එකක් චීන සාහිත්‍යයට රැචි මගේ සොහොයුරාට දී අනෙක රැගෙන ආවෙමි.

8. නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ දඩ කඳවුර නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.

9. රසිකොලොජි බ්ලොගය ලියන මා ලියූ ඊ-ෆැක් මෙමොරීස් නමැති පොතේ පිටපත් පනහක් පමණ ගෙන ආවෙමි.

10. නොකී කතා බ්ලොගය ලියන හෙන්රි වර්ණකුලසූරිය ගේ නීත්‍යානුකූල ඝාතනය නම් පරිවර්තිත කියුබානු කෙටිකතා එකතුව– මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.

11. කෙනිත්තුන සහ කෙනිතුව විට අවදි වුණු චිත්තය නමැති බ්ලොගය ලියන නිශ්මං රණසිංහ ගේ රේල් පීලි නවකතාව මරදානේ සුරස පොත්හළෙන් මිලට ගත්තෙමි.

12. තිලක සිත බ්ලොගය ලියන තිලකසිරි ඒකනායක ගේ තිලක සිත කෘතිය ඊසී-හෝම් සේවය මගින් තැපැල් මගින් ගෙන්වා ගන්නා ලදී.

13. යසනාත් සිතුවිලි බ්ලොගය ලියන යසනාත් ධම්මික බණ්ඩාර ගේ මුරගල කාව්‍ය සංග්‍රහය ගොඩගේ පොත්හළේ දී අහම්බෙන් දැක මිලට ගත්තෙමි.

14. වෘත්තීය කමෙන්ට්කරු ප්‍රාජේ නොහොත් ප්‍රදීප් ජයතුංග ගේ ලෙපර්ඩ්ස් ඔෆ් ලේනම කෘතිය කතුවරයා විසින් මට තිළිණයක් ලෙස ලබා දුන්නේය.

15. හකාවතී බ්ලොගය ලියන ඩෝසන් ප්‍රීති ගේ හකාවතී කෘතිය ගොඩගේ පොත්හළෙන් මිලට ගත්තෙමි.

Saturday, 24 October 2015

සිඩ්නි නුවර සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයෙන් ඉදිරිපත් කරන "රස විඳුම" - All Sinhala speaking Sydneysiders are invited to this literary event


සිඩ්නි නුවර සිංහලෙන් ලේඛන කටයුතුවල නිරත වෙන්නන් රැසක් වෙසෙති. ඔවුන් ගෙන් කිහිප දෙනෙකු ගැන විස්තරයක් මම පසුගිය සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියා පළ කළෙමි.

එහි සඳහන් වූ එක් ලේඛකයෙකු වූයේ ප්‍රධාන වශයෙන්ම කෙටිකතාකරුවෙකු ලෙස හැඳින්විය හැකි (නමුත් තවත් ක්‍ෂේත්‍ර කිහිපයකම තම දස්කම් පෙන්වා ඇති!) ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ය.

මේ නොවැම්බරයේ දී තම සයවෙනි උපන් දිනය සමරන ලේඛක සංසදය විසින් ක්‍රියාත්මක කරන්නට යන අළුත් වැඩ සටහනක් පිළිබඳව මා ලියූ ලිපියකින් උපුටා ගත් කොටසක් මෙසේය.
ඕස්ට්‍රේලියාව වැනි පරිසරයක ජීවිතය ගත කිරීමේ දී සාහිත්‍ය කෘති පරිශීලනය කිරීමට යොමුවීම, අතිරික්ත කාලයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා සුදුසු හොඳ විනෝදාංශයක් මෙන්ම, මනසේ ක්‍රියාකාරීත්වය අඩුවීමේ වේගය අවම කර ගැනීමට උත්පේ්‍රරකයක් ද වෙනු ඇතැයි කිව හැක.

ග්‍රන්ථයක් කියවාගෙන යාම සහ එය රස විඳීම අතර වෙනසක් ඇත. රස විඳුම යනු සාහිත්‍ය කෘතියක් කියවා, එහි විවිධාංග විචක්ෂණශීලීව විශ්ලේෂණය කරමින් ඒ හරහා තම මනස ඉහළ තලයකට නංවා ගැනීමේ සූක්ෂම ක්‍රියාවලියකි. එසේ හෙයින්, රස විඳීම යන්න ප්‍රායෝගිකව ප්‍රගුණ කර වැඩි දියුණු කරගත යුතු කෞශල්‍යයක් බව කිව හැක.

යෝජිත වැඩ සටහනෙන් අපේ මේ සාහිත්‍යය රස විඳීමේ හැකියාව වැඩි දියුණු කිරීමට සැලසුම් කෙරෙන්නේ යම් යම් සාහිත්‍ය කෘති කියවා, එයින් අප එකිනෙකා ලද විවිධාකාර වූ වින්දනයේ ස්වභාවය අන් අය සමග සාමූහිකව බෙදාගනිමින් සාකච්ඡාවට බඳුන් කිරීමට හැකි අවස්ථා මාලාවක් වසර පුරා පැවැත්වීමෙනි. බොහෝ සාහිත්‍ය කෘති කියවා පළපුරුද්ද ඇති අය ගේ විශේෂ දේශන ද මෙම වැඩසටහනේ අංකවලට අඩංගු කළ හැක.
මේ වැඩසටහනේ මුල් පියවර හෙට 2015 ඔක්තෝබර් 25 ඉරිදා සහව 2:30ට ටූන්ගැබී ප්‍රජා ශාලාවේදී පැවැත්වෙනු ඇත.

මෙහිදී රසවිඳුම කෙරෙන්නේ සිනුවර සිංහල ලේඛක ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ දෙවන කෙටිකතා සංග්‍රහයවන "හුස්ම" කෘතියෙන් තෝරාගත් කෙටිකතා දෙකක් පිළිබඳවයි.

ඉන් එක් කෙටිකතාවක් වන හුස්ම මුල්වරට මා කියවූයේ ඉරිදා ලක්බිම පුවත් පතෙනි.

මේ ඒ කෙටිකතාවයි. (කසුන් මට සමාවෙන්න-මෙය අදට පලවෙන්නේ රූප වශයෙනි. හැකි විගස අකුරට පෙරලමි!).









සිඩ්නි අවට වෙසෙන අය හැකිනම් මේ අවස්ථාවට සහභාගී වෙන්න.

-රසිකොලොජිස්ට්

ප/ලි:
හුස්ම කෙටිකතා සංග්‍රහය පිළිබඳව මා ලියූ විචාරයක්ද රසිකලොජියේ පෙර දිනයක පළ වී ඇත.
http://rasikalogy.blogspot.com/2015/02/lakshman-kodituwakkus-short-story.html

ප/ප/ලි:
මෙන්න යුනිකොඩ් පිටපතක්. ලක්බිම මුද්‍රිත පිටපතට ඉතා සමානයි.

හුස්ම

දූවිල්ල විහිදගෙන ගොස් බස් නැවතුමට තරමක් ඈතින් මන්දගාමී වූ පෞද්ගලික බස් රථයේ කණිෂ්ක දුවල ගිහිල්ලා එල්ලූණා. පාපුවරුවට යන්තම් පාදයක් තියාගත්ත ඔහු අත්වාරුවෙ එල්ලීගෙනම බැලූවෙ කොන්දොස්තරගෙ මුහුණ දිහා. පිටුපසින් එන බසය ඉස්සරකරාවිදෝ යන සැකයෙන් බෙරිහන් දෙන ඔහු මගීන්ට ඉදිරියට යන ලෙස කෑගසන්නේ දොල පිදේනි තට්ටුවක් එක්ක හැප්පෙන යකදුරෙක් වගේම නේදැයි ඔහුට හිතුනා. ෆයිල් කවරය කිහිල්ලට තදකරගත් කණිෂ්ක සෙනඟ පිරුණු මගීන් අතරින් ඉදිරියට ගියා.

බසයේ ගිගුම් දෙන්නෙ වේග රිද්ම ගීයක්, ඒකත් එක්ක තොරතෝංචියක් නැතිව කියවන කොන්දොස්තරවරයාගේ වදන් පාවෙලා ගියේ ගංවතුරට අහුවුණු දිරච්ච කොට කෑල්ලක් පාවෙලා යනවා වගේ. ජීවිතවලට වඩා මුදල ඉහළ ගිය සමාජයක හිරු අහවර වෙනකොට අතට මුදලක් ගන්න දඟලන ඔහුගේ දරදඬු වචනවල ඇත්තේ, ජීවත් වෙන්නට පොරකන පීඩනය වුනත් එය මගීන්ගේ අසරණකම පාගා ගෙන මතුවෙන උද්දච්චකමක් නේදැයි නිහඬවම කල්පනා සාගරය ගිලී ඇති කණිෂ්කට සිතුණා. මරදාන ට ටිකට් එකක් ඉල්ලපු කණිෂ්කට ටිකට් එක නොලැබුණත් ඉතිරි සල්ලි ලැබුණ. ටික දුරක් යනකොට තරඟයක් නැතිවම ඔහුට ආසනයකුත් ලැබුණ. කවරය ගැලවිල මදේ පෑදුන ආසනය වුනත් එ මත වාඩිවුනු ඔහුට එයින් ලැබුණු මඳ අස්වැසිලලට ඇස් පියවුනා. දහදියෙන් රත්වෙච්ච සිරුරට යන්තම් ආ සුළං රැුල්ලේ ආශ්වාදය ඔහු විඳගත්තෙ පදික වීදියෙ කුණු ගොඩකින් ගලා ආ දුගඳකුත් එක්ක.

වීදුරුව අතරින් ඈත පාර බලාගෙන යන කණිෂ්කට නිතරම මතක් වුණේ අම්මව. කවදත් වැඩිපුර නෑසෙන අම්මගෙ කටහාඩ වෙනුවට අද උදේ පාන්දර ඇහුණෙත් හිරමනයට මැදෙන පොල් බෑයේ හඩ. එය කෙතරම් ලයාන්විතද?...... අම්ම හිස පාත්කරගෙන පොල්ගාන්නෙ කිරි දරුවෙක් නාවන්නා වගේ. උක්කුටුකයෙන් වාඩිවෙලා පොල් රැුල්ලක් ඇඟිලි තුඩුවලට හිරකරගෙන මං කටට දාගන්න කොට අම්ම මා දිහා නොබලම හිනාවෙවී පොල් බෑය කරකවල අනික් පැත්ත ගානව. ඒත් අම්මගෙ හිතේ තියෙන බලාපොරොත්තු පොදියෙ බර කනිෂ්කගෙ හිතට මහමෙරක් වගේ දැනෙනව. ඔහු ඇඟිලිවලින් ඇස් තදකරගත්ත. යන්තම් වගේ තවමත් රිදෙන ඇස්වල වේදනාව මතක් වෙනකොට කණිෂ්කට පෙනෙන්නෙම ගිය සතියෙ කොටුවෙ දුම්රිය පොළ ගාව තිබුණ පිකටින් එකේ රූප රාමු. ඒ පිකටින් එකේදී වැදුණු කඳුාඵ ගෑස්වල සැර පපුවෙත් තියෙන්න වාගේ ඔහුට දැනුණෙ.

”උපාධිධාරීන්ට රැකියා දියව්” කියල ලියපු කොළකෑල්ල හතරට පහට නවාගෙන දුවපු දිවිල්ල නතර වුණේ කොහෙන්ද කියල කණිෂ්කට මතක් කර ගන්නත් අමාරුයි. මේ වගේම එදත් යන්තම් බසයක එල්ලිල ගෙදර ඇවිල්ල, බූරු ඇඳේ දිගෑදිල ඇඹරිච්ච වෙලාවෙ අම්මගෙන් ඇස්වලට ලැබුණු සාත්තුව මතක් වුණාම ඔහුගේ නෙතට කඳුඵ බිඳු කිහිපයක් ආවා. ”පුතේ උඹට බඩගිනිද?” කියල අම්ම මගෙන් කවදාවත් අහල නැහැ. ”අම්මේ මට බඩගිනයි කියල මං කියූ බවක් මට මතකත් නැහැ. උදේ පාන්දර නැගිටල පොල්ගාලා අම්මා හදන රොටිවල හැඩය රවුම් නැතිවුණත් ලූණු මිරිසුත් එක්ක කනකොට ඒක කොච්චර රසද....... අම්මගෙ දිරිය බව ඒ තුළ තියෙනවා.

අපේ ජීවිතත් වෘත්තාකාර හැඩයක් නැති රොටියක් වගේ වුණත්, මේ ජිවිත එළිය කරන්න අපේ අම්ම කොච්චර මහන්සි වෙනවද?..... බස් රථයේ අබලන් කවුලූවට හිරවෙලා තිබුණු වීදුරුව බාගෙට විවර කළ ඔහු, ඒ තුළින් ආ සුළං රැුල්ලෙන් හිතට දැනුණු ශෝකය මඩින්න උත්සාහ ගත්ත.

එළියට බහිනකොට අම්ම ගෙනත් දීපු වතුර වීදුරුවෙන් උගුරක් බීපු කණිෂ්ක අම්මට දණගහල වැන්ඳෙ ”මේකවත් හරි ගියොත්” කියන සිතිවිල්ල සිතේ තදකරගෙන. හරි ගියත් නොගියත් අම්ම වතුර වීදුරුව අරන් ඉස්සරහට එන්නෙ කොච්චර බලාපොරොත්තු තියාගෙනද?....... ඒ අම්මලගෙ හැටි. අම්මගෙ ඇස්දෙක දිහා බලන් ඉන්න කොට ඒ ඇස්වල ලියවිල තියෙන්නෙ උත්සහවන්තයා ජයගනී කියන පාඨය බව මට හිතෙනව. අම්මලගෙ කාලෙ වගේ දැන් උත්සහවන්තයින්ට ජයගන්න බැහැ කියල මට ඇයගෙ පා පාමුල වැඳ වැටිල කියන්න ඇත්නම්... කණිෂ්ක හිතට පොදිවෙන අදහස් හිත ඇතුළෙම හිරකරගත්ත.

නංගි ගෙනත් දීපු පත්තර පිටු කෑල්ලක් දැකල අයදුම් කරපු මේ රැකියාවට කැඳවපු සම්මුඛ පරීක්ෂණේ ගැන අම්මට කියනකොට ඇගේ මුහුණේ බලාපොරොත්තු පිරිල තිබුණ හැටි, ඇගේ විතරක්යැ... සුරංගිව මුණ ගැහිච්ච දවසෙ මේක කියපුවම මුහුණේ සිනහව පිරිල තිබුණ හැටි...

”අනේ කණිෂ්ක මේකවත් හරි ගියොත්”,

ඇය ආයාචනාත්මක බැල්මකින් දෑස් වහදා එය කියපු හැටි ඔහුට තාම මතකයි.

”හරියනව කියා ජොබ් එක මොකක්ද?..... කියලවත් මමවත් තවම හරියට දන්නෙ නැහැනෙ සුරංගි. බලාපොරොත්තු ගොඩක් තියාගන්නවට වැඩිය හොඳයි ඒව හීනි කරගෙන හිත හදාගෙන ඉන්න එක.”

”අනේ කණිෂ්ක ඔයා හැමදේම හිතන්නෙ හරහටනෙ.......”

”අපේ ජීවිත පිහිටල තියෙන්නෙ හරහට තමා. ඒකනෙ ජොබ් කට්ටක් ඉල්ලල කෑගැහුවත් අපිට ගහන්නෙ. කමක් නෑ මේ සැරේ ටිකක් තියාගන්නකො.... හැබැයි වැඩිපුර හොඳ නැහැ කෙල්ලෙ. කඳුළුවලටත් දුක හිතෙයි”.

”ඊයෙ හවසත් පප්පෙකුට, කේකුයි කෝලිකට්ටු ඇවරියකුයි ඇල්ලූව කණිෂ්ක. මෙන්න ඔයාගෙ කෑල්ල කෝ ආ..... කියල කට අරින්න”

”මාවත් මතක් වෙල එහෙනං”

”කෝමද..... ඔයාව අමතක කරන්නෙ. මං කිව්ව අම්මට මං ඔයා ඇර වෙන කෙනෙක් ගැන හිතල නැහැ කියලත් අම්ම අහනව හිඟා කන්න යන්නද කියල. මං කිව්ව ජොබ් එකක් හම්බවෙච්ච හැටියෙ අපි බඳිනව කියල”

”මනමාලය බර කාරයෙක්ද?.....”

”බයින් ඇන් සෙලින්ලූ”

”ඉතින් හොඳනෙ”

එහෙම කියන කොට සුරංගිගේ මුහුණ මැලවිලා ගියා වගේ නේද කියල ඔහුට හිතුණා. ඒක අමතක වෙන්නත් එක්ක ඔහු ඇයගෙ ඇස්වලින් මිදිල අහස දිහා බලාගෙන රැකියාව හා ආදරය අතර හිත දෝලනය කරන්න පටන් ගත්ත.

දෙකම නූල් බෝලයක් වගේ පැටලිල. රස්සාවල් හොයන දහස් ගණන් පිරිස අතරෙ, අපි ලබාගත්තු මේ සහතිකේට කරන්න පුඵවන් අහවල් කෙංගෙඩියක්ද? කියල ඔහුට තේරුණෙ පොලිස් රාළහාමිල බැටන් පොලූ උස්සගෙන පස්සෙන්

පන්නපු දවසෙ. සමහර වෙලාවට උපාධි සහතිකයකට වඩා බැටන් පොල්ලකට ලොකු දෙයක් කරන්න පුළුවන් බව කණිෂ්කට තේරුණෙ එදා මන්ද බුද්ධිකයෙක් සේ පාර පුරා ගමන් කරන ගමන් කරන බස් රථය ඇතුළේ හිරවෙලා කොටුවෙන් පැනගත්ත දවසෙ. අතීතයත් වර්තමානයත් එකට බෙරි කරමන් කල්පනාවක වැටිල ඉන්න ඔහු නව රැකියාව ගැන අලූත් සිහින මැව්ව. පෙම්වතියගේ වදන්වැල් වල දෝංකාරය නැවත සවන් ඇතුළෙ රැව් පිළිරැව් දෙන්න වගේ ඇහුණ.

”ව්යාපාර ප්‍රවර්ධන නිළධාරී” පිළිගත් අප ආයතනයකට ව්යාපාර ප්‍රවර්ධන නිළධාරියකු අවශ්‍ය කර තිබේ. සිත්ගන්නා වැටුප් සමඟ ප්‍රවර්ධන දිරි දීමනා සහ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ඉන්ධන සමඟ මෝටර් බයිසිකලයක් ලබාදෙනු ලැබේ. පාරිභෝගිකයන් නම්‍යශීලී කරගැනීමේ හැකියාව හා සියලූ ආගම් පිළිබඳ සාමාන්ය දැනීමක් ඔබ සතුවිය යුතුය. සියලූ සුදුසුකම් සමඟින් ඔබේ අයදුම්පත පහත ලිපිනයට හෝ ඊ මේල් ලිපිනයට යොමු කරන්න”.

කොටුවේ දුම්රිය පොළත් පහු කරගෙන බසය මරදාන පැත්තට ඇදී ගෙන යනවා. ගිය සතියෙ කරච්චල්කාරී පරිසරයක් තිබුණු, ලේ හොල්ලපු කොටුව දුම්රිය පොළ අසල අද ඇත්තේ තරමක නිහඩ බවක්. එදා තමන්ගෙ යාඵ මිත්‍රයෝ අත් පා තලාගත්තු, ඔළු පලාගත්තු පරිසරය අද ඉන්නෙ සිල්වත් බවක් ආරූඪ කරගෙන කිසිවක් සිදු නොවූ ගානට, කණිෂ්කට එහෙම හිතුණා. මරදාන හන්දියෙන් බැහැගත්ත කණිෂ්කට සම්මුඛ පරීක්ෂණය තියෙන තැනට ඇවිදගෙන ගියා.

”හතළිස් තුන” ඔහුට කියවුණා. තැනිත් තැන හුණු බදාම ගැලවුණු බිත්තියෙ මැද්දෙ අංකයට පහළින් සිටි, කාකිපාට හේදිල ගිය පාණ්ඩු පාට ඇඳුම ඇඳන් සිටි ආරක්ෂක නිලධාරියා බුලත් හපය කටේ තියාගෙනම කණිෂ්ක එක්ක මුව පුරා සිනාසුණා.

”උඩට යන්න මහත්තය, මුදලාලි මහත්තය උඩ, මහත්තය එයි කියල මට මුදලාලි මහත්තය කිව්ව”.

හේදිල ගිය කාකි පාට ෂූට් එකත් ඇඳගෙන රතුපාට බුලත් කහට බැඳුණු මුව පුරෝගෙන ඔහු ”මුදලාලි” කියල එහෙම ආමන්ත්‍රණය කරනකොට කණිෂ්කගෙ හිත නිකන් හේදිලා ගියා වගේ වුණා. උඩට නගින ලී පඩිපෙළේ ”චිරි බිරි” සද්දෙ ඔහුට දැනුනෙ කවුරු හරි තමන්ව බලෙන් උඩට තල්ලූ කරනව වගේ හැඟීමක්.

ඔහු උඩ තට්ටුවෙ කාර්යාලය දොර අසළ එකපාරටම නැවතිල ගල් පිළිමයක් වගේ ඇහිපිල්ලන් නොගහ ඒ දිහා බලන් හිටියෙ කිසිම හැඟීමක් නැතිව.

තරමක් පිළිවෙළකට සකස් කරපු කාර්යාලයෙ තනිකරම සුදු ඇඳුමෙන් සැරසිල ලොකු මේසයක් ළඟ පුටුවකට බර වෙලා මුදලාලි මහත්තය ඔහු දිහා බලාගෙන ඉන්නව. විදුලි පංකාවෙ හුළං සැරට සෙලවෙන සරමෙ සුදෝ සුද කනිෂ්ක දැක්කෙ මේසෙට යටින් තියෙන පුංචි හිඩසෙන්. ඔහු මැදඟිල්ලෙන් කරකවමින් හිටිය යතුරු කැරල්ල පොලිෂ් කරපු මේසය උඩට එකවරම මුදාහැරියෙ කූඩුවක හිරවෙලා ඉන්න කුරුල්ලෙක් මුදා හැරිය වගේ. සුදු යකඩෙන් දිලිසෙන පුංචි මිනි පෙට්ටියක් ඇමිණිල තියෙන යතුරු කැරල්ලට කණිෂ්කගෙ ඇස් ගියේ ඉබේටම වගේ.

”ටිකක් දුර ඉඳන් නේද ආවෙ. මොනව හරි බීල ඉමුද?.....” මුදලාලි ඔහුට පුටුව පෙන්නුව. කණිෂ්ක එයට සිනාවකින් පිළිතුරු දුන්නෙ එයට පිළිතුරක් සොයාගත නොහැකිව.

ඔහුම නැගිටල ඔරේන්ජ් බාර්ලි බෝතලේකුයි වීදුරුවකුයි කණිෂ්ක ළඟට ළං කළා. තරමක් වෙලා නිහාඩව කණිෂ්ක දිහා එකම ඉරියව්වෙන් බලන් හිටපු ඔහු එකවරම තමන්ගෙ ගැඹුරු කටහාඩ අවදි කළා.

”මහත්තයට උපාධියකුත් තියෙනව නේද?. හැබැයි මේ ජොබ් එකට උපාධියක දැනුමක් අවශ්ය වෙන්නෙ නැහැ මහත්තය. මේකට උවමනා කරන්නෙ ජීවිතය පිළිබඳ දැනුම”. ඔහු එහෙම කියල මේසෙ උඩ තියෙන යතුරු කැරල්ල ආපහු අතට අරගෙන අගිස්සෙ ඇමිණිල තියෙන පුංචි මිනි පෙට්ටියත් එක්ක ආපහු කැරකෙව්ව.

නිහාඩවම ඔහුගෙ ඇස්වලින් මිදී වටපිට බැලූ කණිෂ්ක ෆයිල් කවරය මේසෙ පැත්තකින් තිබ්බ.

”මේ කාලෙ අපේ බිස්නස් තරමක් බැහැල මහත්තය. යුද්දෙ ඉවරයි කියලම එහෙම බිස්නස් අඩුවෙන්න බැහැනේ මහත්තය. එළියට බැහැල වටපිට බැලූවම කී දාහක් දවසට මැරෙනවද?..... ඩෙංගු තියෙනව, ගංවතුර, ඇක්සිඩන්ට් වැහි වැහැල, මුහුදු රැල්ල වගේ අපරාධ රැල්ල- හාට් කේස් ඩයබිටික්, අරව මේව ඔක්කොම තියනව. ඒත් අපිට බිස්නස් අඩුයි මහත්තය. මට ඕනෙ මේක කරගහල කරන්න පුාඵවන් වැදගත් ධෛර්යවන්ත මිනිහෙක්. මේ කෝල් කරපු ජොබ් එක මෑතක් වෙනකම්ම කළේ මං. යුද්දෙත් එක්ක කන්ටැක්ට්ස් හුඟක් තිබ්බ. ඇරත් මහත්තය කවුද හිතුවෙ මෙච්චර ඉක්මනට යුද්දෙ ඉවර වෙයි කියල. අනෙක මට දැන් සනීප මදි. දන්නැද්ද?.... වයසත් එක්ක එන ලෙඩ දුක්, දැන් ටිකක් රෙස්ට් කරන්න ඕන කාලෙ. අනෙක මහත්තයෝ මට ඉන්න ළමයි දෙන්නගෙන් එකෙක් පිස්සෙක්. ඌ බීල බීල කැවුතු නරක් කරගෙන. මට දුක ඒකා මැරෙන එකවත් මරණෙට යන වියදමවත් නෙමෙයි. ඌ වගේ පුතෙක් මට ඉපදිච්ච එකට. මං ඒකව මේකට පුරුදු කරන්න හදනකොට රෑ තිස්සෙ ඕඩර්ස් බාරගන්න ගිහිල්ල ඒකා පුරුදු වුනෙ ඉක්මනට මැරෙන හැටි. පණ පිටින්ම එම්බාම් වෙන්න හදන පුත්‍ර රත්නය මං මෙතනින් එලවල දැම්මෙ මළා කියල හිතාගෙන”

නිරුවත් යෝධ මිනිසෙකු දිහා බියෙන් බලා සිටින පොඩි දරුවෙක් වගේ කණිෂ්ක මුදලාලි දිහා බලන් හිටිය. අසරණ වුනු වචනවලින් සන්නද්ධ වුනත් ඒ මුහුණෙ තිබුණෙ තරමක නපුරු පෙනුමක්. මුදලාලිගෙ මුහුණට එකවරම බැ?රුම් පෙනුමක් ආරූඪ වුණා. ආපහු කටහඬ අවදි කළා.

”මං බෝම සුඵවෙන් ජීවිතේ පටන් ගත්ත මිනිහෙක් මහත්තය. මැරිච්ච මිනිස්සු දාස් ගාණක් මං මගේ ඇස් දෙකෙන් දැකල තියෙනව. මං මේ තැනට ආවේ එහෙමයි. සිවුරක් දාගත්තොත් හාමුදුරු නමකට වැඩිය හොඳට ජීවිතේ අනියත ගැන මට කියන්න පුාඵවන් මහත්තය. පොත් සිය ගාණක් ලියන්න පුාඵවන් අත්දැකීම් මා ළඟ තියෙනව. ඒත් මරණය ළං වෙන කොට ඕන මිනිහෙක් මැරෙන්න බයයි. බලාපොරොත්තු දාස් ගානක් තියාගත්තු මිනිස්සුන්ගෙ බොඩි එක කඩල බිඳල හතර රියන් පෙට්ටියක හිරකරල ඉස්සරහින් ලස්සන මල්වඩමක් තියල වටේම සුවඳ කරන මට මගේ අනාගතය ගැන බියක් දැනෙනව මහත්තයො”.

ඔහු තත්පර කීපයක් නිහඬ වෙලා යතුරු කැරල්ල පැත්තකින් තියල ඇඟිලිවල ඇට කැඩුව. අනතුරුව කණිෂ්කගෙ මුහුණ දිහා බැලූව.

”මේ ජොබ් එකේ මහත්තයට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඉස්පිරිතාල දෙක තුනකම අපේ මිනිස්සු ඉන්නවා. නිව්ස් එක ආපු හැටිය ඉක්මන් වීම තමයි හුඟක්ම අවශ්ය. මරණය දැනගත්ත හැටිය මුලින්ම අල්ලගන්න ඕනෙ නෑයො. නෑදෑයො එක්ක සුහදව කථා කරල ඒ මිනිස්සු අල්ලගන්න එක සූක්ෂමව කෙරෙන්න ඕනේ. ඒකෙදි ආගම දහම වැදගත් වෙනව. ඊට පස්සෙ තත්පර ගානකින් කෝටේෂන් දීල බිස්නස් එක අපිට ගන්න එක තමයි වෙන්න ඕනේ.”

කණිෂ්කගේ දෙතොල් වේලී ඇස් ඇතුළෙන් ගින්දර පිටවෙන්නා වගේ දැනුන. හිස දෙපැත්තෙන් ගලාගෙන එන්න දඟලන සිහින් ඩා බිඳු ඔහු ලේන්සුවෙන් පිසදාගත්තා.

”ඇයි මහත්තය බයවෙලා වගේ. ජීවත්වෙන මිනිස්සු, මැරිච්ච මිනිස්සුන්ට බයයි කියල මං දන්නව මහත්තය. ඒ ගැන මැරිච්ච මිනිහට වැඩිය හොඳට මං දන්නව. මැරෙන මිනිහගෙ මරණ කටයුතු වැදගත් විදියට කරල මුදල් හම්බ කරන මිනිහගෙ ඇති වැරැුද්ද මොකක්ද?....... මේක වැදගත් ජොබ් එකක් මහත්තය. දියුණු රටවල ටෙක්නිකල් කෝස් දාගෙන උගන්නන ටයි කෝට් එල්ලගෙන කරන රස්සාවක් මේක. බිස්නස් දියුණු වුණොත් මං තවත් පඩි වැඩි කරනවා. අනෙක ඉංග්‍රීසි දැනුම ටිකක් දියුණු කරගත්තොත් මේක උසස්ම රැකියාවක්. මිනිස්සුත් එක්ක ගැවසිලා මේකෙන් ලැබෙන දැනුම උපාධියකින් ලබාගන්න බැහැ මහත්තය. මෙතන තමයි ඕන ලොක්කකුගෙ ජීවිතේ අවසාන මහ ගෙදර ලොකු නිබන්ධන නොලිව්වට හදවත ඇතුළෙ නිබන්ධන ගොඩක් ලියවෙන රස්සාවක් මේක”.

”ඇයි මුදලාලි මේ ජොබ් එකේ විස්තරයක් හරියට පැහැදිලි නොකර පත්තරේ දැම්මෙ”

බොහෝ වෙලාවකට පස්සෙ කණිෂ්කගේ මුවින් පිටවුණු ඒ ප්‍රශ්නෙට මුදලාලිගෙ මුවට සිනහවක් නැගුණා.

”එහෙම දැම්මනං මහත්තයො මට මේකට ගැළපෙන මිනිහ තෝරගන්න බැරිවෙනව.

මං මීට කලින් ගත්ත දෙතුන් දෙනා මේක මගදි දාල ගියා. මං මහත්තයගෙ අයදුම් පත්තරේ හඳහනක් බලනව වගේ පරිස්සමින් කියවල තමයි අන්තිමේදි මේකට එන්න කිව්වෙ.” ඔහු එහෙම කියල ආපහු නිහඬ වුනා.

”මං මෙච්චර වෙලාවක් මගේ ජීවිතය වගේ ගලාගෙන ගිය මේ ව්යාපාරෙ විස්තර මහත්තයට කිව්වෙ, මහත්තය මේකට ගැළපෙයි කියල හිතුන හින්ද..... මේකට ඕන කලබල නැති නිවිච්ච මනුස්සයෙක්. හැබැයි මේකේ තව පැත්තක් තියෙනව....ඒ ප්‍රායෝගික පැත්ත. මිනියක් ගෙනාපු වෙලාවෙ ඉඳලා ඒක බාරගෙන අවමංගල්‍යය කටයුතු සඳහා සකස් කරන්නෙ කොහොමද? කියන දේ...... මහත්තය වගේ කෙනකුට ඒක ඉක්මනට අල්ලගන්න පුඵවන් වෙයි...........

හැබැයි මහත්තයෝ මේක උදේ ගිහින් හවසට එන පැය අටේ රස්සාවක් නෙමෙයි. රැය දවාලක් අමතක කරන රස්සාවක් මේක. එන ජොබ් එක අනුව අමතර දීමනාවක් එක්ක ප්‍රවාහන පහසුකම් දෙන්නෙ ඒකයි.........

අනික මට ඕන කරන්නෙ මේක මගදි දාල යන මිනිහෙක් නම් නෙමෙයි. ඇහැක් වගේ බලාගන්න කෙනෙක් ”.

තරුණ ගැහැණු ළමයෙක් සිනාවීගෙන කාමරයට ඇවිල්ල කබඩ් එකක් විවර කරගෙන ලිපිගොනුවක් අතට අරන් කණිෂ්ක දිහා බලල හිනා වෙලා යන හැඩ ඔහු බලාගෙන හිටිය.

”ඒ මගේ එකම දුව. එයා තමයි මේකේ එකවුන්ට් වැඩ බලාගන්නෙ. එයත් මේ වැඩවලට උදව් කරයි”

මුදලාලි එහෙම කියනකොටම ඒ පැත්ත බලා හිටිය කණිෂ්ක හිස හරවල මුදලාලි දිහා බැලූව.

”හොඳයි මහත්තය. මං සේරම විස්තර මහත්තයට කිව්ව දැන් ඕනේ මහත්තයගෙ කැමැත්ත අකමැත්ත. තව සතියක් ඇතුළත මට කෝල් කරල කියන්න. මහත්තය ගැන මං ලොකු බලාපොරොත්තුවකින් ඉන්නෙ.”

ඔහු අත්දෙක පුටු හැන්දට හිරකරල නැගිට්ට. අල්ල එකට ගාවල ඉහළට පහළට පිරිමැද්ද. අත් දෙක එකට එකතු කරල ”බුදු සරණයි” කියල සම්මුඛ පරීක්ෂණය අවසන් කළා.

කණිෂ්ක ෆයිල් කවරය අතට අරන් තරප්පු පෙළ බැස්සෙ විශාල බරක් හිස මත තියාගත්තු මිනිහෙක් බිමට බහිනව වගේ, බොහොම සීරුවට. ඔහු එළියට බැහැල වටපිට බැලූව. මංගල්‍ය සහ අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරු තට්ටු දෙකේ උඩු මහලෙ කොණට වෙන්න ඇලවිල තියෙන බෝඞ් ලෑල්ල ඔහු දැක්කෙ එවෙලෙ. කල්පනා කරමින්ම ළඟ කඬේකට රිංගපු කණිෂ්ක තේ කහට එකක් බිව්වෙ තදවෙලා මිරිකෙන පපුව ටිකක් රත්කරගන්න. තේ එක බීල කවුන්ටරේ මුදලාලිට සල්ලි දුන්න. මුදලාලි දුන්න ඉතිරි සිල්ලර කාසි ටික ගැන්නෙ බසයෙ ටිකට් එකේ ගාණ හරිද? කියල බලන්න. එළියට බැසගත් කණිෂ්ක නැවතත් බසයක එල්ලූණා. මගීන් අඩු නිසා තැන් තැන්වල නවත්වා මගීන් එකතු කරගන්න උත්සාහ කරන රියැදුරා බස් රථය ගාටන්නෙ සීරුවට.

ටිකට් එකක් අරන් වාඩිවුණු කණිෂ්කට අම්මගෙ සිනාබර මුහුණ මැලවිලා යන හැටි, කවුදෝ තමන්ගේ හිත ඇතුළෙ අඳිනව වගේ දැනුණා. ඒ දුකට ඔහු තදින් ඇස් පියාගත්ත. ඇස් ඇතුළෙන් තම ආදරවන්තිය සමග මෝටර් සයිකලයක නැගී කුරුල්ලෙක් වගේ ඉගිලී යන හැටි, ගැස්සී ගැස්සී ගාටන බසය තුළින් ඔහුට මතුවෙලා පෙනුණා.

ටික වෙලාවකින් තෙහෙට්ටුවටත් එක්ක ඔහුට නින්ද ගියා වගේ දැනුණා. නින්දත්, නොනින්දත් අතරට මැදිවෙලා පාවෙලා යන ඔහුට සිහින පෙනෙන්න පටන්ගත්ත.

”ජීවත්වෙන මිනිස්සු, මැරිච්ච මිනිස්සුන්ට බයයි මහත්තය. ඒකයි මිනිස්සු මේකට අකමැති. මේක වැදගත් රැකියාවක්. යුරෝපීය රටවල ටයිකෝට් ඇඳගත්තු මහත්තුරු කරන ඩිප්ලෝමා සහතිකේ පාස්වෙල කරන රැකියාවක් මහත්තයො” මුදලාලි එහෙම කිව් හැටි ඔහුට සිහිනෙන් පෙනෙනවා.

”මොන රටක හිටියත් මැරෙන්නෙ මිනිස්සුනෙ මුදලාලි. ඒ රටවල මිනිස්සු මැරිච්ච මිනිස්සුත් එක්ක ජීවත්වෙන්නෙ නැහැ. මරණය ළංවෙනකම්ම මැරෙන බව දන්නෙත් නැහැ. උන් මැරෙනකං ජීවිතය විඳිනව. අපි මැරි මැරී විඳ විඳ ජීවත්වෙනවා” ඇයි මං එහෙම නොකිව්වෙ. සිහිනය දෝංකාර දෙනව.

දෝංකාරය කුණාටුවක් බවට හැරිල. ඒකට අහුවෙල ඒ හීනේම මුදලාලි මැරිල පරලොව යන්න සූදානම් වෙනව. මැරිච්ච මුදලාලි මහත්තය ටයිකෝට් පැළඳගෙන පෙට්ටියක උඩුකුරුව සැතපිලා කණිෂ්කට අත වනනව. ”මංගල හා අවමංගල අධ්‍යක්‍ෂක - කණිෂ්ක මුදලිගේ” ඔහු බිස්නස් කාඞ් ටිකක් අතේ තියාගෙන බූරු කුට්ටම වගේ දිග ඇරගෙන එහාට මෙහාට වනනවා. කණිෂ්ක මිනිස්සු පෙරළගෙන අවමංගල්ය උත්සවය දෙවනත් කරමින් කෑගසමින් දුවනව. මුදලාලි පෙට්ටියෙන් නැගිටල ඔහු පස්සෙන් පන්නං ඇවිල්ල අල්ල ගන්නව. ඊට පස්සෙ කනත්තක් මැද්දෙ මංගල උත්සවයක්. ප්රභූවරු පිරිල. මිනි පෙට්ටවලින්ම හදපු ලස්සන පෝරුවක්. දෙපැත්තෙ සුදුපාට ඇත් දල දෙකක්. වටේම ලස්සන මල් වඩම්.

භවතු සබ්බ මංගලම්...... රඛ්ඛන්තු සබ්බ දේවතා..... සබ්බ බුද්ධානු බාවේන.......

කොහෙන්දෝ ඇහෙන්නෙ සිකුරිටි ගාඞ්ගෙ කටහඬ. පෝරුවෙ චාරිත්‍ර. ඔහු ගුරුන්නාන්සෙ කෙනෙක් වෙල ජාතික ඇඳුම ඇඳන් අෂ්ටක කියවනව. අවසානෙ පොඩි එවුන් ටිකක් සුදු ළමා සාරි වලින් සැරසිල පටල පටල ජය මංගල ගාථ වල තාලෙ හොයමින් ජෝඩුවට සුභ පතනව. මුදලාලිගෙ අතේ මංජුසාවක්. බරට බරේ මුද්දකුයි රන් තැල්ලකුයි. කනිෂ්කගෙ අතට මාලෙයි මුද්දයි දීල ගුරුන්නාන්සෙ අෂ්ටක කියාගෙන යනව. ඔහු සුරංගිට මාලෙ දාන්න හැරෙන කොටම පෝරුවෙ ඉන්නෙ කවදාවත් කාටවත් ආදරය නොකරපු මීට පෙර ඇහැට දැකල නැති හුස්ම ගන්නැති අවතාරයක් වගේ බොල් පිළිමයක්. කණිෂ්ක මිනිස්සු පෙරළගෙන මංගල උත්සවය දෙවනත් කරමින් කෑගසමින් දුවනව.

ඒ එක්කම බැටන් පොලූ උස්සගත්තු රාළහාමිල රොත්තකුත් එක්ක එකතුවෙලා මුදලාලි කණිෂ්ක පස්සෙ පන්නනව. ඔහු දුවල දුවල ගිහිල්ල හැංගෙන්නෙ සුරංගිලගෙ ගෙදර.

”අම්මෙ මේ කනිෂ්ක ඇවිල්ල. ජොබ් එකක් හොයාගෙන. වෙඩින් ෂූට් එකත් ඇඳගෙනම. මගේ කරට දාන්න තැල්ලකුත් අරන් ඇවිල්ල..... දෙයියනේ...... අනේ ඉක්මනට එන්නකො අම්මෙ.” සුරංගිගෙ ඉහ වහ ගිය සතුට මැද්දෙන් කණිෂ්කගෙ නෙතු උඩ ගිහිල්ල.

”අනේ මාව බේරගන්න සුරංගි. මං තාමත් නිකන්ම නිකං කණිෂ්ක....... මුං මාව ඔයාගෙන් උදුරගන්න යන්නෙ.”

”අනේ කණිෂ්ක ජොබ් එකක් නැති වුණොත් අපි කොහොමද? කසාද බඳින්නෙ. ඔයා නැති වුණොත් මං කොහොමද? වෙන කෙනෙක් ගැන හිතන්නෙ. මට බැහැ ඔයා නැතිව ජීවත්වෙන්න මං වහ බීල මැරෙනව.”

සිහිනය අඳුර කපාගෙන ජේදනය වෙනව. සුරංගි වහ බීලා මැරිල. කණිෂ්ක මහ ඉස්පිරිතාලේ ගේට්ටුවෙ එල්ලිලා අාඩනව. කවුදෝ ඇවිල්ල පිටට තට්ටු කරනව.

”ජීවිතේ හැටි ඔහොම තමයි මහත්තයො. මරණය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. එයා ගෙනාපු ආයුෂ ඔච්චරයි. කරුමෙ කොහොමද? වළක්කන්නෙ.” කවුදෝ බොහොම ශාන්තව දේශනාවක්. ”බොඩි එක අපිට දෙන්න. අපි සාධාරණ මුදලකට වැඬේ කරල දෙන්නං.” කණිෂ්ක එකපාරටම ගැස්සිල ඇහැරිලා බැලූව.

”මහත්තය බහින්නැද්ද....” බහින තැන පහුවෙලා සෑහෙන දුරක් ඇවිල්ල.... බස් එක මීට එහා යන්නෙ නැහැ”

කොන්දොස්තර කණිෂ්කට කතා කරනවා. ෆයිල් කවරය බිම වැටිලා සපත්තුවට පෑගිල. ඔහු බයෙන් වගේ කොන්දොස්තර දිහා බැලූව. කොන්දොස්තරත් අමුතු සතෙක් දිහා බලන් ඉන්නව වගේ ඔහු දිහා බලාගෙන ඉන්නව. කණිෂ්ක දෙනෙත් එහෙට මෙහෙට යවල වට පිට බලල එකපාරටම ලොකු හුස්මක් ගත්තෙ ජීවිතය නැවතී ඇතැයි කියල හිතිල. ඒත් ගත්ත හුස්ම පහළට දාගන්නකොට පපුවෙන් හීනියට දීපු වේදනාව නැවතත් ආපස්සට යා යුතු බව ඔහුට මතක් කර දුන්නා.

(images: Lakbima: 08-08-2010)

Wednesday, 7 October 2015

පියෙකු ගේ කතාවක් කෙටිකතාවේ රහස් සහ කෙටිකතාව ගැන කෙටි සටහනක් - Story of a story!


මා පසුගිය සෙනසුරාදා රසිකොලොජියේ පළ කළ කෙටිකතාවේ යම් වෙනසක් මෙන්ම පොඩි රහසක් ද ඇති බව එදා කීවෙමි.

වෙනස නම්, කාල වේලා හිඟකම නිසා, කෙටිකතාව යතුරු ලියනය නොකර, ස්කෑන් පිටපත් ලෙස පළ කිරීමයි. කාලය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරගෙන කතාව යුනිකෝඩ්ගත කර පල කරන්නට මට ඉඩ ලැබුණේ පුරා දින තුනකට පසුව ය.

ඒ කෙටිකතාවේ තිබූ රහස නම් මෙයයි.

එය මා ලියූවකි. වඩාත් හොඳින් කියනවා නම්, ඒ මා වයස අවුරුදු දහ අටේ දී පමණ ලියූ මගේ මුල් ම කෙටිකතාවලින් එකකි.

එය එදා මා "හස්තද්වාරයෙන්" පළ කළ "පියෙකු ගේ කතාවක්" නමින් වූ කෙටිකතා සංග්‍රහයට ඇතුළත් වූ ප්‍රධානතම කෙටිකතාවයි. ඒ තිබුණේ වයස දහ අටේ දී මගේ අත් අකුරු ය.

මේ කතාවට පදනම සැපයූ එක් සත්‍ය සිදුවීමක් ඇත. ඒ කතා නායකයා තමන් කුඩා කාලයේ තම පියාගෙන් ගණිකාව යන වචනයේ තේරුම අසන අවස්ථාවයි. එය මගේ අත්දැකීමකි. ඒ වචනය මා දුටුවේ මගේ මව ඒ දිනවල මිලට ගත් පුවත්පතක පළවුණු කෙටිකතාවක තිබීය.

ඒ සිදුවීමෙන් අවුරුදු නමයකට පමණ පසුව දහ අට හැවිරිදි මා කර ඇත්තේ අනාගත සිදුවීමක් නිර්මාණය කර, මගේ අතීත අත්දැකීම හා සැසඳීමයි.

තමා විසින් කෙරුණු නිර්මාණයක් ගැන තමන්ම විචාරයක් කිරීම කිසිසේත් ම නොකෙරෙන දෙයකි. නමුත්, මා ඒ පියෙකු ගේ කතාවක් නම් වූ කෙටිකතාව ලියා පරම්පරා දෙකක් පමණ කාලයක් ගත වී ඇති අද දවසේ, මට ඒ නිර්මාණය සහ එහි නිර්මාණකරුවා පිළිබඳ දැනෙන දුරස්ත බව නිසා එසේ මා ම විචාරයක් කළ ද ලොකු ප්‍රශ්නයක් නැතැයි සිතමි.

ඇත්තටම කියනවා නම්, වයසින් මුහුකුරා නොගිය සිතකින් යුතුව මා ලියා ඇති ඇතැම් දේ ගැන අද එය කියවන මට ඇති වන්නේ අපූරු හැඟීම් සමුදායකි.

මෙන්න ඉන් කීපයක්.
  1. කතානායක පියා බසයෙන් සේවයට ගොස් හවස් වී නිවසට එන්නෙකි. වාහනයක් ගැන සඳහනක් නැත.
  2. ඔහු ගේ බිරිඳ නිවසට වී සිටී. ඇය ගේ එකම රාජකාරිය බෑගය ගැනීම සහ තේ සාදා දීම පමණි.
  3. පුතා අමාරු වචන අහන්නේ තාත්තාගෙනි. අම්මා නැතුවා සේ ය.
  4. නිවසට පැමිණෙන කතා නායකයා කරන්නේ මුණ සේඳීමයි. ඇඟ සේදීම හෙවත් ෂවර් නැත. මෙය නානකාමරයක් නැති, නිවසෙන් දුර බැහැරව බොහෝ විට කුඹුරක් අද්දර නාන ළිඳ ඇති නිවසක වැසියන්ගේ එකල හැසීරීමයි.
  5. කතානායකයා ගේ පුතාට මා තබා ඇත්තේ මගේ හොඳම මිතුරාගේ නම ය. බිරිඳට තබා ඇති නමේ සම්බන්ධය නම් දැන් මතක් කර ගත නොහැක.
  6. මගේ තාත්තාට වඩා හොඳ තාත්තා කෙනෙකු වීමට අදිටනක් මගේ සිතේ තිබී ඇත.
  7. නණලළ කතා කෙසේ වුවද, මට ඒ දිනවල ව්‍යාකරණ නොමරා ලිවීමට හැකියාවක් තිබී ඇත.
මට ඇති එකම දුක නම්, එදා වයස අහ අටේ දී මා කෙටිකතාකරුවෙකු වෙන්නට උත්සාහ කරමින් අත් පිටපත් දෙකක්ම සෑදුවද, පසුව මැවිසුරුකමට කර ගහන්නට ගිය නිසා, ඒ සියල්ල කෙමෙන් අමතක වී යාමයි.

එදා සිට අද දක්වා ගතවුණු පරම්පරා දෙකක පමණ කාලය තුළ, මා ලියා ඇත්තේ කෙටිකතා තුනක් පමණි!

-රසිකොලොජිස්ට්

Friday, 18 September 2015

ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!


පොත්වලට පිට කවර දැමීම අප කුඩා කාලයේ ඉතා කැමැත්තෙන් සිදුකළ කර්තව්‍යයකි. මේ පිටකවර දැමීම සැමවිටම පාහේ කෙරුණේ පාඩම් පොත් යනුවෙන් හැඳින්වුණු පාසල් පෙළ පොත් සහ සටහන් සඳහා භාවිතා කළ ඇක්සයිස් පොත් වශයෙන් හැඳින්වුණු අභ්‍යාස පොත් සඳහා ය.

ඒ සඳහා අප උපයෝගී කර ගත්තේ බ්‍රව්න් පේපර්, බිස්කට් පැකට් කොළ, සඟරාවල වර්ණයෙන් මුද්‍රිත පිටු යනාදියයි. එසේම, ඒ කවර නිසි පරිදි සැකසීම සඳහා අපි ගම් හෙවත් මැලියම්, සෙලෝටේප් මෙන් ම, ස්ටේපල් කටු ද භාවිතා කළෙමු.

මා එලෙස ඇක්සයිස් පොත්වලට සහ පාඩම් පොත්වලට පිටකවර දැමුයේ කුඩා කාලයේ දී ය.

එසේ වුවත්, අපේ සමහරු ලොකු ළමයි වූ පසුව ද නවකථා, කෙටිකතා, කවි පොත් මෙන් ම අනෙකුත් විවිධ ග්‍රන්ථවලට ද මෙසේ පිටකවර දමා තිබෙනු මා දැක ඇත.

සාමාන්‍යයෙන් අඳුරු පැහැ කොළයක, ඉදිරි පස කළු පැහැයෙන් යුතු මෙලෝ රහක් නැති චිත්‍රයක් ද, පසු පැත්තේ චක්කරේ හෝ යාර-අඩි-අඟල් යනාදිය මෙට්‍රික් ක්‍රමයට පෙරළන වගු ද මුද්‍රණය කර තිබූ ඇක්සයිස් පොත් නම් පිට කවරයකින් වසා දැමීමේ යම් තේරුමක් තිබුණ ද, ඕෆ්සෙට් වෛවර්ණයෙන් මුද්‍රිත, අගනා සිතුවමින් සමන්විත වූ, බොහෝ විට තුනී ප්ලාස්ටික් ආලේපනයකින් ද සංරක්‍ෂණය වූ නවකථා කෙටිකතා කවි යනාදී මුද්‍රිත පොත්වලට මේ ආකාරයේ පිටකවර දැමීමෙන් සිදුවෙන්නේ ඒ මුද්‍රිත පිටකවරය එක්කෝ සම්පුර්ණයෙන් වැසී යාමයි, නැතිනම්, විනිවිද පෙනෙන ප්ලාස්ටික් කොළවලින් පිට කවර යොදන අවස්ථාවල දී, මුද්‍රිත පිටකවරයේ අලංකාරය මැකී යාමයි.

පොත් පිටකවර යනුවෙන් මා අද කතා කරන්නට අදහස් කරන්නේ එලෙස වැසී යන පොත් පිට කවර ගැන ය. ඇත්තම පොත් පිටකවර නම් ඒවා ය!

තරමක බරපතල පණ්ඩිත ගතියක් ඇති වචනයක් වූ කංචුකය ලෙසින් ද පොත් පිටකවර හැඳින්වේ.

පොත් ලියන්නෝ ලේඛකයෝ ය. ඒ පොත්වල මුද්‍රිත පිටපත් සාදන්නෝ මුද්‍රණකරුවෝ ය. ඒ සඳහා බරපැන දරන්නෝ පොත් ප්‍රකාශකයෝ ය. මීට අමතරව, පොත් බෙදාහරින්නෝ ද, පොත්හල් හිමියෝ ද, තවත් විවිධ වෘත්තිකයෝ ද, ලේඛකයා ගේ මනසේ බිහිවී අතින් නිමවෙන අකුරු පාඨකයා ගේ දෙනයන හරහා ඔවුන් ගේ මනස කරා ගෙන යාමේ සැපයුම් දාමයේ සිටිති. පොත් පිටකවර නිර්මාණකරුවෝ ඒ සැපයුම් දාමයේ වැදගත් කර්තව්‍යයක් කරන්නෝ වෙති.
අතුරු කරුණක් කිවහොත්, ලංකාවේ පොත් ප්‍රකාශන කර්මාන්තය, බටහිර රටවල මොඩලය හා සසඳන විට පෙනී යන වැදගත් කරුණක් නම්, ඒ සැපයුම් දාමයේ සිටිය යුතු සංස්කාරකවරුන් සහ සෝදුපත් කියවන්නන් ලංකාවේ බොහෝ විට නො සිටීමයි. එය පාඨකයාට මෙන්ම ලේඛකයාට ද අහිතකර ලෙස බලපාන්නකි.
ඉංගිරිසි බසින් පොත් ලියන්නෝ අත් අකුරෙන් අත් පිටපත් ලිවීම අත හැර දමා බොහෝ කල් ය. මේ වන මුලින් යතුරුලියනය භාවිතා කළ අය ද, පරිගණකයට මාරු වී ඇත.

එහෙත් පොත් නිමවා ඇති සිංහල ලේඛකයින් අතරින් තවමත් කොම්පියුටරයක සිංහලෙන් අකුරු සැකසිය හැක්කේ කිහිප දෙනෙකුට පමණක් යැයි මම සිතමි.

අකුරු වලින් වචන ලියූවද, වචන එකතු කර වාක්‍ය සෑදූවද, වාක්‍ය මගින් ඡේද, පරිඡේද, සර්ග සහ සම්පූර්ණයෙන් ම ග්‍රන්ථය සැකසූවද, පිටපත යතුරු ලියනය කෙරුවද, ලේඛකයෙකු තමන් ගේ කෘතිවල පිටකවරය සාදා ඇති අවස්ථා මා දැක ඇත්තේ ඉතාමත් කලාතුරකිනි. එයට හේතුව, චිත්‍ර, ඡායාරූප සහ ග්‍රැෆික් නිර්මාණකරණය යන්න ලේඛන කලාවෙන් බොහෝ දුරට පරිබාහිර වූ වෙනනම ලෝකයක් වීමයි.

පොතත් ලියා, එහි පිට කවරයත් සැකසූ ලේඛකයෙකු වශයෙන් මා දැන සිටියේ මහගම සේකර ගැන පමණි. අප කුඩා කාලයේ ඉතා හොඳ පොත් පිටකවර සැකසූ අයෙකු වූ ඒ.ඩී. රංජිත් කුමාර ලියූ "සඳවට රන් තරු" නම් නවකතාවේ පිටකවරය නිර්මාණය කර ඇත්තේ වෙනකෙකු බව දැක මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි. මගේ පොත් එකතුවේ තමන් ගේ පොතකට තමන් ම කංචුකයක් නිර්මාණය කළ ලේඛකයෙකුට සිටියේ ඉසුරු ප්‍රසංග නම් කවියා පමණි.

ඉහත සියලු විස්තර ලියුවේ මූලිකව ම මා ලියූ පොත් දෙකේ පිටකවර ගැන සඳහනක් කරන්නටයි.

වසර දාසයේ සිටම විවිධාකාරයේ කවි, කෙටිකතා ලියූවද, ඒ නිර්මාණ ඇක්සයිස් පොත්වල ලියා මුද්‍රණද්වාරයෙන් නොව හස්තද්වාරයෙන් එළි දැක්වූ මට ඉන් සෑහෙන කාලයකට පසුව මුද්‍රණද්වාරයෙන් ද පොතක් එළි දක්වන්නට කැමැත්තක් ඇති විය.

ඒ කවි පොතකි. විවිධ සඟරාමය ප්‍රකාශනවල සිව් වැදෑරුම් නමින් පළ වූ, සිව් ආකාරයක කාව්‍ය නිර්මාණවලින් සමන්විත ඒ කාව්‍ය සංග්‍රහය මා එය නම් කළේ "සිව් සිත් කව්" යනුවෙනි.

ඒ 2008 නොවැම්බරයේ දී ය.

බොහෝ කාලයක සිට මුලින් මගේ අතින් ලියවුණු, පසුව මගේ අතින්ම පරිගණක ගතවුණු, එයිනුත් පසුව පොතක් ලෙස සෑදුණු ඒ කවි එකතුව සඳහා කංචුක නිර්මාණය ද මා ම කළ යුතු යැයි මට සිතුණි.

"සිව් සිත් කව්" යන නමට ගැලපෙනවා යැයි මට සිතුණු ඒ කංචුකය ලැප්ටොප් පරිගණකයයේ ඇති අති සරල පේන්ට් මෙවලම උපයෝගී කරගෙන මා නිර්මාණය කළේ සිනුවර සිට කොළොම්පුර බලා යද්දී සිංගප්පූරු ගුවන් තොටුපලේ විවේකාගාරයේ දී ය.


මා නිමැවූ ඒ කවරය පිළිබඳව "සිව් සිත් කව්" ප්‍රකාශක ජනක ඉනිමංකඩ කිසිවක් නොකීවේ ය.

නමුත්, මගෙන් තැපැල් මගින් පොතේ පිටපතක් ලද, කවි, කෙටිකතා, විචාර සහ (පසුව) නවකථා යනාදී පොත් රැසක කතුවරයෙකු වන මා මිතුරෙකු ඊ-මේල් මගින් මට දන්වා සිටියේ ඒ කවරය මෙලෝ රහක් නැති බවත්, කවි පොතකට කිසිසේත් ම නොගැලපෙන එකක් බවත් ය.

මිතුරා ගේ කතාව ඇසූ මා, නැවත පොතක් මුද්‍රණය කළ හොත් වෘත්තීමය නිර්මාණ ශිල්පියෙකු ගේ සේවය ලබා ගැනීමට එදා සිතුවෙමි.

නමුත්, 2012 සැප්තැම්බරයේ දී මගේ "සිව් වසරක් මරදානේ" කෘතිය ඉතා හදිසියේ ප්‍රකාශ කිරීමට සිදුවුණු නිසා එවැනි වෘත්තීමය සේවයක් ලබා ගැනීමට මට කාලයක් නැති විය.

ලංකාවට පැමිණ දිනම නින්දෙන් ඇහැරී හවස් වරුවේ මරදානට ගොස් කැමරාවේ සටහන් කරගන්නා ලද ඡායාරූපයක් උපයෝගී කරගෙන එදින රාත්‍රියේ ම, මා ඒ පිටකවරය සැකසුවේ ද පරිගණකයේ ඇති පේන්ට් මෙවලම උපයෝගී කරගෙන ය.


මා නිමැවූ ඒ කවරය පිළිබඳව "සිව් වසරක් මරදානේ" ප්‍රකාශක දයාවංශ ජයකොඩි කිසිවක් නොකීවේ ය.

එසේ නමුත් පොතේ කවරය දුටු කිහිප දෙනෙකුම මට කීවේ කවරය නම් මෙලෝ රහක් නැති බවයි!

ඉහත පොත් දෙකට අමතරව මා සම සංස්කරණයෙන් සම්මාදම් වූ "දකුණු කුරු දිව් කව්" නම් ඕස්ටේ‍ර්ලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහයේ කවරය ද මා සැකසූවේ පෙර සඳහන් කළ ආකාරයට ම ය.


මා නිමැවූ ඒ කවරය පිළිබඳව ද "දකුණු කුරු දිව් කව්" ප්‍රකාශක දයාවංශ ජයකොඩි කිසිවක් නොකීවේ ය.

තමන් ගේ සිතුවිලි තමන්ම යතුරු ලියනය කර, තමාම පොත් පිටපත සකසනවාට අමතරව, තමන් ම ඒ පොතේ පිටකවරය නිර්මාණය කිරීමෙන් ද ලබා ගත හැකි ආත්ම තෘප්තිය ඉතා ඉහළ බව මම දැන් අත්දැකීමෙන් ම දනිමි.

පොත් ප්‍රකාශනය කර්මාන්තයක් ලෙස සලකන කළ වැදගත් වෙන වෘත්තීමය පෙනුම, අලංකාරය, පාඨක සිත එක එල්ලේ ඇද බැඳ ගැනීම යනාදී කාරණා මා ලියා ප්‍රසිද්ධ කළ "සිව් සිත් කව්", "සිව් වසරක් මරදානේ" වැනි මූලිකවම ආත්ම තෘප්තිය පිණිස නිමැවූ කෘතිවලට එතරම් අදාළ නොවේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු තවත් ලිපියකි.

මීට පෙර ලියූ ලිපි මෙසේය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!

(image: http://lifeofafemalebibliophile.com/2013/11/11/dont-judge-a-book-by-its-cover/)

Thursday, 3 September 2015

කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books


මත්පැන් බීමට ඇබ්බැහි වීම ගැන ඉංගිරිසියෙන් ඇති කියුමක් මෙසේ ය.

මෑන් ටේක්ස් එ ඩ්‍රින්ක්
ඩ්‍රින්ක් ටේක්ස් එ ඩ්‍රින්ක්
ඩ්‍රින්ක් ටේක්ස් ද මෑන්

මත්පැන් බීම මෙන්ම, පොත් කියවීම ද දරුණු ලෙස ඇබ්බැහි විය හැකි විනෝදාංශයකි. නමුත් මෙහි ඇති වෙනස නම්, පොත් කියවීම යනු සොඳුරු ඇබ්බැහියක් වීමයි.

පොත් කියවීමේ මූලික අඩිතාලම වැටෙන්නේ බොහෝ විට කුඩා කාලයේ තෑගි ලෙස ලැබෙන පොත් කියවීම ඇරඹීමත් සමග ය. මා එලෙස කියවූ මුල්ම පොත ලෙස මගේ මතකයේ ඇත්තේ වලාකුළක නැගී ගිය සුරංගනාවක පිළිබඳ කතාවක් රැගත් වර්ණයෙන් මුද්‍රිත පිටු කිහිපයකින් සමන්විත වූ නම අමතක ළමා පොතකි. ඒ මා පළමුවන ශ්‍රේණියේ ඉගෙන ගත් කාලයේ දී විය යුතුය.

ඉන්පසු අපි නිවසේ තිබෙන පොත් කියවීමට පටන් ගන්නෙමු. මා එලෙස මුලින් ම කියවූ නවකතාව වූයේ ගුණදාස ලියනගේ ලියූ මුලු හදින් මම ඇයට පෙම් කොට කෘතියයි. ඒ මා හතරවෙනි ශ්‍රේණියේ ඉගෙන ගත් කාලයේ දී ය. මේ නවකතාවෙන් මට මතක ඇති එකම වැදගත් කරුණ නම්, අලුත ඉපදෙන දරුවෙකු පිරිමි ළමයෙකු නම්, ඇන්දවිය යුත්තේ නිල් පැහැති ඇඳුම් යන්න ය.

ඉන්පසු මිතුරන්ගෙන් හෝ ඥාතීන්ගෙන් පොත් ඉල්ලාගෙන කියවීම ඇරඹේ. අපේ අසල්වැසි නිවසක විසූ මල්ලිකාලා ගෙන් අම්මා ඉල්ලා දුන් මාටින් වික්‍රමසිංහ ගේ මඩොල්දූව මා කියවූයේ එලෙස ය.

ගම්සභා, නගර සභා පුස්තකාලයක සාමාජිකත්වයක් ලබා ගැනීම අප පොත් කියවීමට ඇබ්බැහි වීමේ ඊළඟ අදියරයි. ගලහිටියාව ගම් සභා පුස්තකාලයෙන් ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයෙන් ද මම විශාල පොත් සංඛ්‍යාවක් කියවා ඇත්තෙමි. උසස් පෙළ සහ විශ්ව විද්‍යාලය අතර ගන්ධබ්බ සමයේ ඇතැම් දිනවල උදෙන් ම ගලහිටියාව පුස්තකාලයට යන මා, උදේ වරුවේ එක් පොතක් කියවා, දිවා ආහාරය සඳහා කෙටි කාලයකට නිවසට පැමිණ, නැවත එහි ගොස් තවත් පොතක් කියවා, නිවසේ දී සහ බස් රථයේ දී කියවීමට පොත් දෙකක් ද රැගෙන ආ හැටි මට සිහිවේ.

පේරාදෙණියේ ප්‍රධාන පුස්තකාලයෙන් නිතිපතා සිංහල නවකතා සහ වෙනත් පොත් කියවූ මගේ කණ්ඩායමේ එකම පුද්ගලයා ද මා විය හැක.

තමන්ගේ ම මුදලින් පොත් මිලට ගැනීම ඇරඹීම යනු අනිවාර්යෙන්ම ඇබ්බැහි වී ඇති බවට හොඳම ලකුණකි. ඉන් පසු එයින් ගැලවීමක් ඇත්තේම නැති තරම් ය. අවාසනාවට, මා මුලින් ම මිලට ගත් පොත කුමක්දැයි යන්න දැන් මගේ මතකයේ නැත.

පොත් ඇබ්බැහියේ උපරිමය ලෙස සැලකිය හැක්කේ පොත්වල නිකම්ම නිකම් පිටපත් නොව, කතුවරයා විසින් සමරු සටහනක් තබන ලද පොත් මිලට ගැනීමට සිත් දීමයි, එසේත් නැතහොත්, පොතක් මිලට ගත් පසු කතුවරයා ගේ අත්සන ලබා ගැනීමට සිතීමයි!

ලංකාවේ දී නම් මේ සඳහා හොඳම ක්‍රමය පොත දොරට වඩින දිනයේ දී ඒ අවස්ථාවට සහභාගී වීමයි. බොහෝ පොත් එළි දැක්වීම් ප්‍රසිද්ධ උත්සව ලෙස සංවිධානය කෙරෙන නිසා ඒවාට සහභාගී වීම සඳහා පුද්ගලික ආරාධනා ලැබිය යුතු යැයි මම නො සිතමි.

ඕස්ටේ‍ර්ලියාවේ දී නම් කතුවරුන් කලින් දැනුම් දෙන දිනයන් හි සීමිත කාලයකට පොත් ශාලාවල පෙනී සිටීමේ ක්‍රමවේදයක් ද ඇත. එහි දී ඔබට කතුවරයා සමග වචන කිහිපයක් කතා කර, අත්සන සහිත පොතක් මිලට ගැනීමට හැකිවේ. ඇතැම් විට ඔව්හූ අත්සන් කරන ලද පිටපත් කිහිපයක් ද පොත් සාප්පුවේ තබා යති.

සමහර විට අන්තර්ජාලය හරහා ද කතෘ ගේ අත්සන සහිත සුවිශේෂී පිටපත් මිලදී ගැනීමට හැකි ය.

කතෘ ගේ අත්සන සහිත පොත් තමන් සතු කර ගැනීමේ දී හොඳම වින්දනය ලැබෙන්නේ කතුවරයා ම තමන් ගේ අත්සන රැගත් කෘතියක් කතෘගෙන් තුටු පඬුරක් වැනි වචන කිහිපයක් ද ලියා අපට ලබා දුන් විට ය. ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් ලියා ඇති ඩීබී කුරුප්පු තමන් ගේ එක් කෘතියක පිටපතක් මගේ නමට තැපෑලෙන් එවූ දිනයේ සක්විති රජකම ලැබුණා සේ මට දැනුණි!

මා සතුව ඇති කතුවරයා ගේ අත්සන සහිත වෙනත් පොත්වලින් කිහිපයක් මෙසේ ය.

මා මිලදී ගත් පොත් කිහිපයක කතුවරුන් සමරු සටහනක් තබා ගත් අයුරු.



මට ලැබුණු තුටු පඬුරු කිහිපයක කතුවරුන් විසින් සටහන් තබා ඇති අයුරු.



කතෘ ගේ අත්සන සහිත පොත් පිළිබඳව මට කීමට කනගාටුදායක කතාවක් ද ඇත.

එක් දිනක සිනුවර උත්සවයක දී මට හමුවුණු කතුවරයෙක් තමන් කවි පොතක් ලියා මෙරට දී ම මුද්‍රණය කළ බව පවසා එහි පිටපතක් මිලට ගන්නේ දැයි විමසී ය.

අනිවාර්යෙන් ම! යැයි පැවසූ මම නියමිත මිල වූ ඩොලර් විස්සක් ගෙවා පොතේ පිටපතක් එවෙලේ ම ලබා ගත්තෙමි.

මේ 2010 වසරයි.

මෙකී කවි පොතේ පිටකවරය සැරසූ දේශපාලුවා ගේ ඡායාරූපය දුටු විගසම, මා කළ මෝඩකම මට තේරුම් ගියේ ය.

ඉන්න මං පොත අත්සන් කරලා දෙන්නම් කියූ කතුවරයා පොතේ ඇතුළත මුල් පිටුවේ "රසික සූරියආරච්චිට කතෘගෙන් තුටු පඬුරක්!" කියා ලිව්වේය.

උත්සවය අවසන්ව නිවසට ගිය මා කළේ පොතේ පිට කවරය ඉරා දමා, මුල් පිටුවේ කතුවරයා තැබූ සටහනට යටින්, ඩොලර් විස්සක් ගෙවා අහවල් දින, අහවල් ස්ථානයේ දී මිලට ගන්නා ලදී කියා ලියා මගේ අත්සන යෙදීමයි.

මගේ මතකයේ හැටියට, හිටපු ජනාධිපතිට ලියූ වන්දිභට්ට කවි පොතක් වූ එය කොහේට විසි කළා දැයි දැන් සොයා ගත නො හැක!

ඒ ඩොලර් විස්සෙන් බල්ලන් කී දෙනෙකුට නම් සුදු ආප්ප අරං දෙන්නට තිබුණා ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් මා ලියූ දෙවන ලිපියයි.

ඔබ පළමුවෙනි ලිපිය කියවූවා ද?
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart : http://rasikalogy.blogspot.com/2015/09/hole-in-heart.html

Tuesday, 1 September 2015

කුරුලු හදවතේ හිලක් - Hole in the heart


ලියනගේ අමරකීර්ති ලියූ කුරුලු හදවත නම් සම්මානලාභී නවකතාව පිළිබඳ අසම්පූර්ණ විචාරයකි!

මා කුඩා කාලයේ ලංකාවේ රූපවාහිනී විකාශන නො තිබුණි. රූපවාහිනී සේවා ලංකාවේ ඇරඹුණු පසුව ද, විදුලි ආලෝකය නොමැති අපේ නිවසට නම් රූපවාහිනියක් වැඩියේ නැත. අපේ එකම ඉලෙක්ට්‍රොනික විනෝදාංශය වූයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝවට සවන් දීමයි.

හඳ මාමා, ළමා රංග පීඨය, ලන්දේසි දුපත වැනි ළමා වැඩසටහන් ද, විනෝද සමය, මාසික රැඟුම, මුවන් පැලැස්ස, මොණරතැන්න, ගුවන් විදුලි රඟ මඩල, විනාඩියක් පමණයි, අම්බිගා ගීතයෙන් ගීතය වැනි පොදු වැඩසටහන් ද එකල අප ආශාවෙන් සවන් දුන් ගුවන් විදුලි වැඩසටහන් අතර විය.

මගේ හෝ අපේ පවුලේ ඇත්තන් ප්‍රායෝගිකව සහභාගී නොවුන ද, අප සවන් දීමට ප්‍රිය කළ තවත් වැඩසටහනක් වූයේ අසන්නන් ගේ ඉල්ලීම් තීරයයි. රුහුණු සේවය ඇරඹුණු පසු එහි මේ වැඩසටන ඔහෙලා ගේ ඉල්ලීම් ලෙසින් නම් කෙරුණු බවට කෙරෙන සරදම බොහෝ දෙනෙකු අසා ඇති බවට සැක නැත!

මෙකල මෙන් දුරකථන පහසුකම් සහ එස්එම්එස් යනාදිය නො තිබුණු එකල, අසන්නන් ගේ ඉල්ලීම් තීරය යනුවෙන් අදහස් කෙරුණේ ගුවන් විදුලි අසන්නන් විසින් තමන් ප්‍රිය කරන ගීත ප්‍රචාරය කරන ලෙස තැපැත් පත් මගින් කරන ඉල්ලීම් ඉටු කෙරෙන ගීතමය වැඩසටහනකි.

මේ ආකාරයට ගීත ඉල්ලා ගුවන් විදුලි සංස්ථාවට තැපැල්පත් යොමු කරන අය ගේ මූලික අභිප්‍රාය වූයේ ඒ ගීත ශ්‍රවණය කිරීම ම නොව තමන් ගේ නම ගුවන් විදුලියෙන් කියවා ගැනීම බව නො රහසකි.

හැටේ දශකයේ පමණ ගුවන් විදුලි සංස්ථාවේ පැවති පක්‍ෂ දේශපාලනයෙන් දුෂිත වූ, කල්ලිවාදී, වාතාවරණය පදනම් කොට ගෙන ගුණදාස ලියනගේ විසින් දෝන කමලාවතී නම් නවකතාවක් ලියා ඇත. එම නවකතාව ඇරඹෙන්නේ ගුවන් විදුලියේ අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ගීතයක් ප්‍රචාරය කිරීමට පෙර එය ඉල්ලා එවූ අය ගේ නම් වැලක් කියවෙන අවස්ථාවකිනි.

ලියනගේ අමරකීර්ති ලියූ කුරුලු හදවත නවකතාවේ ආරම්භය ද අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ගීතයක් ප්‍රචාරය කෙරෙන අවස්ථාවක් හා සම්බන්ධ ය.

තම නම අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ප්‍රචාරය වෙනු ඇසූ දෝන කමලාවතී පසුව ගුවන් විදුලි සංස්ථාවේ සේවයට බැඳී ජීවිතයේ නොයෙකුත් හැලහැප්පීම්වලට ලක්වූවා ය.

ඒ එදා හැටේ දශකයේ වැල්ව් රේඩියෝ සහ මධ්‍යම තරංග යුගයේ දී ය.

මෙදා අසූවේ දශකයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ යුගයේ දී තම නම අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ප්‍රචාරය වෙනු ඇසූ කුරුලුගංගොඩ දිනසිරි නම් තරුණයා පසුව අනූවේ දශකයේ එෆ්එම් යුගයේ දී පුද්ගලික ගුවන් විදුලි සමාගමක සේවයට බැඳී, සියල්ල කෙළවර වූයේ ඛේදජනක ලෙසට වුව ද, මුලින් තම ජීවිතය පෙර නො සිතූ විරූ ඉහළ තලයකට නංවා ගත්තේ ය.

කුඹල් කර්මාන්තයේ නියැලීම පාරම්පරික ජීවිකාව වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුලක උපත ලබන දිනසිරි ද, උසස් පෙළ විභාගය අසමත්වීමත් සමග තම ඉගෙනීම අවසාන වූ පසු යොමුවන්නේ ඒ මැටි භාණ්ඩ නිපදවීමේ කර්මාන්තයටම ය. ඒ ඒකාකාරී ජිවිතයේ ඔහු ගේ විනෝදාංශය වෙන්නේ ගුවන් විදුලියට සවන් දීම සහ එහි අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල්පත් යොමු කිරීමයි.

එමගින් මවා ගන්නා ෆැන්ටසි ලෝකයේ සිරකරුවෙකු වන ඔහුට, මේ 1980 දශකයේ අග භාගයේ රටේ සිදුවන දේශපාලන විපර්යාස කිසිවක් ඉන්ද්‍රිය ගෝචර නොවේ.

විරැකියාව යනු ලංකාව වැනි දියුණුවන රටවල් පමණක් නොව, දියුණු යැයි සම්මත පළමුවන ලෝකයේ රටවල් ද පීඩනයට ලක් කරන ලෝක තලයේ ප්‍රශ්නයකි. ලංකාවේ ගම්බද තරුණයින් ගේ විරැකියා ප්‍රශ්නයට අපූරු විසඳුමක් අපේ වැඩිහිටි කාලයේ ඝනත්ව ස්වායත්ත සාධකයක් ලෙස පැන නැගුණි.

ඒ, සුචරිත ගම්ලත් ගේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ වචනවලින් කියනවා නම්, වර්ගවාදී යුද්ධයේ ඉත්තෙකු වීම හෙවත් ආණ්ඩුවේ හමුදාවට බැඳීමයි.

ඒ ඛේදවාචකය පදනම් කරගෙන මා ලියූ, දිවයින පුවත් පතේ සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කරණය කළ අටවන පිටුවේ පළ වූ කවියක දෙපදයක් මෙසේ විය.

මරණ සහතිකය අත්සන් කරතී
වන්දි ලබා ඉන් දිවි ගැට ගසතී

පීඩාකාරී කුල පසුබිමක් සහිත කුඹල් කර්මාන්තයේ දිගටම යෙදෙනු වෙනුවට, එකල තරුණයින් සඳහා නිර්මාණය වී තිබුණු හමුදා සෙබළ තනතුරක් සඳහා අයැදුම් කිරීමට කුරුලු හදවතේ කතානායක දිනසිරි කුරුලුගංගොඩ කිහිප වතාවක් ම සැරසෙන නමුත්, ඒ හැම අවස්ථාවක දී ම අවසාන මොහොතේ හෝ ඔහු එයින් වැළකී සිටීමට තීරණය කරයි.

හාස්‍යයජනක කාරණය නම්, දිනසිරි ගත් ඒ තීරණයට, එනම් නැවතත් සුචරිත ගම්ලත් ගේ අසූවේ දශකයේ වදන්වලින් වර්ගවාදී යුද්ධයේ ඉත්තෙකු නොවී සිටීමට, හේතුව වෙන්නේ යුද්ධයේ ඇති නිෂ්ඵලබව හෝ විනාශකාරීබව හෝ වටහා ගැනීම නොව, තමා යුද භටයෙකු වූ පසු, තවදුරටත් ගුවන් විදුලියට සවන් දීමටත්, අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල් පත් යොමු කර එ මගින් තමන් ගොඩ නගා ගත් දිනසිරි කුරුලුගංගොඩ යන රට සුපතල නම දිගටම පවත්වා ගැනීමටත්, ඉඩ නො ලැබේ ය යන සිතුවිල්ල (පිටුව 83) නිසා වී ම ය.

මෙය කුරුලු හදවත නවකතාවේ හැරුම් ලක්‍ෂයයි. භ්‍රමණ කේන්ද්‍රයයි. එනම් නවකතාවේ සම්පූර්ණ සැකිල්ලම ගොඩ නැගී ඇත්තේ දිනසිරි කුරුලුගංගොඩ ගන්නා ඒ තීරණය මත ය.

කුමන හේතුවක් මත පදනම්ව හෝ දිනසිරි විසින් ගන්නා ලද ඒ යුද්ධය වර්ජනය කිරීමේ තීරණය තුළින් මෙන් ම, ඔහු ලවා ජනතා විමුක්ති පෙරමුණ විසින් 1987-89 කාලයේ දී ජාතිවාදී පදනමක පිහිටා ලංකාව භීෂණයේ ගිල්වමින් ගෙන ගිය නිෂ්ඵල විනාශකාරී කැරැල්ල ප්‍රතික්‍ෂේප කිරීම තුළිනුත්, ලේඛක ලියනගේ අමරකීර්ති ඉස්මතු කරන දේශපාලනය පිළිබඳව කුරුලු හදවත කියවන මා සිත තුළ ඇති වූයේ ඉමහත් ප්‍රසාදයකි. එසේ වුව ද, දිනසිරි ගේ යුද භටයෙකු නොවීමේ තීරණයට පදනම් වූ සිතුවිල්ල සහමුලින් ම වැරදි වැටහීමක් මත ඇති කරගත් එකක් බව මට ක්‍ෂණයකින් වැටහී ගියේ ය.

එදා ගුවන් විදුලියට සම්බන්ධ වෘත්තිකයින් වූ ලැම්බට් පෙම්මාවඩු, ප්‍රේමකීර්ති ද අල්විස්, සුමනා නෙල්ලම්පිටිය වැනි අයගේ නම් සමගම, අසන්නන්ගේ ඉල්ලීම් තීරය තුළින් ගීත ඉල්ලා එවන පුද්ගල නාම ලයිස්තුවක්ද කුරුලු හදවත කතා සැකිල්ල එකලස් කිරීමේ දී ප්‍රධාන ඇණ මුරිච්චි ලෙස අමරකීර්ති විසින් භාවිතා කර ඇත.

ඒ අසන්නන් ගේ නම් කිහිපයක් මෙලෙස වේ.

මගුලාගම මල්ලිකා දිසානායක,
බෝයගනේ පර්ල් අයිරින්,
ගම්පහ පත්මාවෝ මහේෂ්වරී සහ රේඛාවෝ ඊශ්වරී,
හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ

ඒ නම් කිසිවක් නවකතාකරුවා විසින් නිර්මාණය කරන ලද ඒවා නොවේ. අදාළ කාලයේ ගුවන් විදුලියට නිරතුරු සවන් දුන් බොහෝ දෙනෙකුට ඉතා හුරුපුරුදු බවට සැක නැති ඒ නම් ලයිස්තුව ලංකාවේ ජීවත් වූ, අද ද ජීවත්වෙන සෑබෑ පුද්ගලයින් පිරිසක ගේ ය.

මෙහිදී ලියනගේ අමරකීර්ති කර ඇති වරද නම් මේ ඇතැම් පුද්ගලයින් ගේ නම් තරමක් දෝෂ සහිතව සඳහන් කිරීම ම නොවේ. ඊට වඩා කුරුලු හදවත නවකතාවේ කථා වස්තුවට සහ එහි තාත්විකත්වයට අතිශය වැදගත් කරුණක් වෙන්නේ ඉහත නම සඳහන් එක් අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ශ්‍රාවකයෙකු වන ගාමා ගාමිණී සුබසිංහ නමැත්තා, මා දන්නා පරිදි, තමා හැඳින්වීමට බොහෝ විට යොදා ගත් මෝදර රොක් හවුස් කඳවුරේ යන්න මෙහි දී යොදා නොගැනීමයි.

බැලු බැල්මට අතිශය නොවැදගත් කාරණයක් සේ පෙනෙන මේ නිමිත්තේ පසුබිම මෙසේය.

ගාමා ගාමිණී සුබසිංහ යනු හබරාදූවේ වැසියෙකු බව සැබෑවකි. මා අසා පුරුදු නැති වුවද, ඔහු තමන් විසින් ගුවන් විදුලි සංස්ථාවේ අසන්නන්ගේ ඉල්ලීම් තීරයට යොමු කරන ලද තැපැල්පත්වල හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ යනුවෙන් ද සඳහන් කළා විය හැක. එහෙත් විශ්‍රාම යන විට වෘත්තියෙන් යුද හමුදාවේ මේජර්වරයෙකු වූ ඔහු මා ඒ නම ගුවන් විදුලියෙන් අසා ඇති සෑම විටෙක ම තමාව හඳුන්වා දුන්නේ, මෝදර රොක් හවුස් කඳවුරේ ගාමා ගාමිණී සුබසිංහ වශයෙනි.

මෝදර රොක් හවුස් කඳවුර නම් ස්ථාන නාමය දිනසිරි කුරුලුගංගොඩට නෑසුණේ ඇයි දැයි කියා මට සිතා ගත නොහැක. කුරුලු හදවත නවකතාවේ දෙතැනක ම සඳහන් වෙන (20 සහ 97 පිටු) ගාමා ගාමිණී සුබසිංහ යනු යුද හමුදාවේ මේජර්වරයෙකු බව දිනසිරි දැන ගත්තා නම්, ඔහු හමුදාවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට කැඳවීම මුලින් ලද ලිපිය වලං පෝරණුවට නොදමනු ඇත, දෙවනවර හමුදා සේවයට යාම සඳහා පාසලෙන් ලබා ගත් චරිත සහතිකයෙන් බෝට්ටුවක් සාදා වෙල්ල දිගේ පා කර නොයනු ඇත, ඒ වෙනුවට හමුදාවට බැදෙනු ඇත, පූනරීන් සිට අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල් පත් ලියනු ඇත.

ඒ අනුව, අප කියවූ කුරුලු හදවත කතාව නො ලියවෙනු ඇත!

කුරුලු හදවත නවකතාව ප්‍රබන්ධයකි. නමුත්, එය සත්‍ය සිදුවීම් පසුබිම් කරගෙන, ලංකාවේ ජීවත් වූ සහ ජීවත්වෙන විවිධ පුද්ගලයින් ගේ නම් ඇතුළත් කර ලියවුණු එකකි. එවැනි සිදුවීමක, නමක සුලු දෝෂයක් තිබීම නොසැලකිය හැකි කරුණක් වුවත්, කථාවේ අන්තර්ගතයට සෘජුවම බලපාන කරුණක් මෙසේ කතුවරයාගේ මතකයෙන් ගිලිහී යෑම කනගාටුවට කරුණකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කුරුලු හදවත නවකතාව මා මිලට ගත්තේ 2014 අප්‍රියෙල් මාසයේ ලංකාවට ගිය දිනවලයි. එය 2014 අගෝස්තුවේ දී කියවූ පසු මට ඇතිවුණු මේ ප්‍රශ්නය මම ඊ-මේලයක් මගින් ලියනගේ අමරකීර්තිට යොමු කළෙමි. මා ඔහුගෙන් විමසූවේ, ගාමා ගාමිණී සුබසිංහ හමුදා මේජර්වරයෙකු බව ඔහු දැන නොසිටියා ද, නැතිනම්, එය දැන සඳහන් නොකර සිටියා ද යන්නයි.

තමා ඒ ගැන දැන නො සිටි බව ඔහු මට ලියා එව්වේ ය.

ප/ප/ලි
මේ කරුණ කලින් ලිවීමට අතපසු විය. මේ ලිපිය පළවෙන්නේ, අදින් ඇරඹෙන සාහිත්‍ය මාසය වෙනුවෙනි!

Sunday, 31 May 2015

මා කියවන අලුත් බ්ලොග් දෙක තුනක් - Anything better to do on this Sunday?


පාසලක් අලුතෙන් ඇරඹෙන විට සිර ගෙයක් වැසේ යැයි කියමනක් ඇත. ඉගෙනීම තුලින් යහපත් සමාජයක් බිහි වේ ය යන්න එහි අරුතයි.

බ්ලොග් සම්බන්ධයෙන් එසේ කියන්නට ඇත්තේ කුමක්ද?

අලුතෙන් බ්ලොගයක් ඇරඹෙන විට ෆේස්බුක් අවකාශයේ මඩ, ගොසිප් කියවන්නට, බෙදා ගන්නට, ප්‍රතිචාර දක්වන්නට ගතවෙන කාලයෙන් කොටසක් හෝ ඉතුරු වේ යන්න හොඳ ආරම්භයක් වෙතැයි සිතමි. වෙනත් අදහස් තිබේ නම් කරුණාකර කියන්න.

මා බ්ලොග් ලියන්නට ආවේ මීට වසර දහයකට පමණ ඉහත දී බව පෙර ලිපියක සඳහන් කළෙමි. නමුත් බ්ලොග් කියවන්නට පටන් ගත්තේ නම් මීට වසර හය හතකට ඉහත දී ය. මුලින් ඉතා සුළු වශයෙනි. ඒ දිනවල සිංහල බ්ලොග් තිබුණේ ද ඉතා කුඩා සංඛ්‍යාවකි. ඒවා ද බොහොමයක් තාක්‍ෂණික කාරණා ගැන ලියවුණු ඒවා ය.

නමුත් පසු කළෙක සිංහල බ්ලොග් කියවීමට සහ ලිවීමට දවසෙන් පැය දෙක තුනකටත් වඩා ගතවෙන සමයක් ද උදා විය. අද තත්වය නම් ඊට වඩා දරුණු ය.

මා නිරතුරු කියවන බ්ලොග් අතර සහමුලින් ම දේශපාලනය ගැන ලියවෙන ඒවා තිබුණ ද, ඒ ලිපි මා කියවන්නේ බොහෝ විට කැමැත්තකින් නොව, මහා අපුලකින් පිරුණු සිතකින් යුතුවයි. දේශපාලනය යනු එතරම්ම කුණු ගොඩක් බව මා නොකීවාට ඔබ හොඳින් දනී.

ඒ වෙනුවට මා කියවීමට වඩාත් ප්‍රිය කරන්නේ ජීවිතය හා බැඳුණු කතා ලියවෙන ඒවාය. අප ලබා නොමැති විවිධ ජීවන අත්දැකීම් ගැන දැනගැනීමට ලැබෙන්නේ මේ ආකාරයේ බ්ලොග් ලිපි තුළිනි.

ජීවිතයම කතන්දර ගොඩක් නොවැ!

මා කියවන ලඟදී ඇරඹුණු සිංහල බ්ලොග් කිහිපයක් ගැන අද ලියන්නට සිතුනේ ඒ කතන්දර කියවන්නට මගේ ඇති කැමැත්ත නිසා ම ය.


නොකී කතා
http://nokieekatha.blogspot.com/

හෙන්රි වර්ණකුලසූරිය යනු වෘත්තියෙන් මැවිසුරුවෙකි. විශ්ව විද්‍යාලයෙන් පිටවීමෙන් අනතුරුව කලක් නාවික හමුදාවේ ද සේවය කළ අයෙකි. වත්මනෙහි ද මැද පෙරදිග රටක මැවිසුරුවෙකු ලෙස සේවය කරන්නෙකි.

එහෙත්, එදා මෙදා අතරතුර ඔහු ගේ ජීවිතය කවි පොත්, කෙටිකතා පොත්, නවකතා, පුවත්පත්, ගුවන් විදුලිය සහ සිනමා සිත්තම් හරහා ඇදී ගිය විසිතුරු එකකි. ඒ දිවි මගෙහි දී ඔහුට හමුවූ අය බොහෝ ය. ඔහු ලැබූ අත්දැකීම් බොහෝ ය. ඒ ගැන නොකී කතා ඔහු කාලයක් තිස්සේ පුවත්පත් දෙකක තීරු ලිපි ලෙසින් අහ හා බෙදා ගත් අතර පසුව එය ග්‍රන්ථයක් ලෙසින් ද ජනගත වුණි.

හෙන්රි වර්ණකුලසූරිය අරඹා ඇති "නොකී කතා" බ්ලොග් අඩවියේ තවමත් පළ වී ඇත්තේ ලිපි තුනක් පමණක් වුවද හෙන්රිගේ කැරැට්ටුව හොඳින් දන්නා මා මෙහි ඊළඟට ලිපියක් පලවෙන තුරු බලා සිටිනේනේ ඉතා උනන්දුවෙන් බව කිව යුතු ය.


ඉකොනොමැට්ටා
http://economatta.blogspot.com/

ඉකොනොමැට්ටා පිළිබඳව ආරංචිය මුලින්ම මට ලැබුණේ "තිලක සිත" ලියන තිලකසිරි ඒකනායක හරහාය. ඒ අනුව සිතන විට නමින් ඉකොනොමැට්ටා වුව ද මොහු ද වෘත්තියෙන් මැවිසුරුවෙකු විය හැක. සමහර විට පශ්චාත් උපාධියකට ඉකොනොමෙට්‍රික්ස් උගත් අයෙකු වීමට බොහෝ ඉඩ තිබේ.

ඉකොනොමැට්ටා ලියා ඇති ලිපි කිහිපය මා සිත බැඳ ගත්තේ ය. එහෙත් සමහර විට ඔහු තවම වටහාගෙන නැති කරුණක් නම්, වචන දාහකට වඩා දිග ලිපි දිරවා ගත හැක්කන් බ්ලොග් කියවන අය අතර හිඟ බවයි.


ඩොකා ගේ ඩයරිය
http://doczdiery.blogspot.com/

බ්ලොග් ලියන, කියවන අය අතර දොස්තරලා අප හිතනවාට වඩා විශාල ප්‍රමාණයක් සිටිති. "බඩා මාමා" ලියන මිගාර වීරක්කොඩි, "ට්‍රාන්ස්සිල්වේනියා" ලියන රුවන් ජයතුංග සහ "අනිත් කොන" ලියන බෝදිනී සමරතුංග ඉන් ප්‍රකට තිදෙනෙකි.

උග්‍ර මහින්ද රාජපක්‍ෂවාදීන් ලෙස බ්ලොග් ලෝකයේ ප්‍රතිචාර හෙලමින් සැරිසරන ස.රස මෙන් ම මහසොහොන් පිල්ලිය ද දොස්තරලා බව මගේ අදහසයි.

මීට අමතරව දත් දොස්තර ලා ද සිටිනවා විය හැක.

ඩොකා ගේ ඩයරිය ලියන්නේ ඇත්තරම ඩොකෙක් නොවේ, වෙන්ඩ ඩොකෙකි. බ්ලොග් ලියන තවත් මෙවැනි වෙන්ඩ ඩොකාලා කීප දෙනෙකු ද සිටිති.

පසු කාලයක සිසු දිවිය නිමවී රජයේ පත්වීම් ලැබූ පසු, දිවා සේවයෙන් අනතුරුව එළැඹෙන කාලයේ දී මොවුන් සාමාන්‍යයෙන් පොල් කැඩීමේ රාජකාරියට යොමුවීමට නියමිතයි. එසේ නොවී මේ වෙන්ඩ දොස්තරලා දිගටම මේ ලිවීම කරගෙන ගියොත් අගනා බව කිව මනාය.


උඩුවා ගේ සටහන්
http://uduwaage.blogspot.com/

උඩුවා හෙවත් තරිඳු උඩුවරගෙදර වෘත්තියෙන් කවරෙකු දැයි මම නොදනිමි. කෙසේ වෙතත්, ඔහු සුවිශේෂී පිහිණුම්කරුවකු වෙන්නට ඉඩ ඇත. ඒ පිහිණීමේ සුවිශේෂීත්වය නම් උඩුගම් බලා පිහිනීමයි.

මේ බ්ලොගයේ ඇති ලිපි මුූලික වශයෙන් දේශපාලනික ඒවා වුවද, ඒවායේ ඊට වඩා යමක් ඇති බව මගේ අදහසයි. මුලින් කීවාක් මෙන් මා වඩාත් කැමති ඒ දේශපාලනය අමතර කරුණුවලටයි.

මෙය ඔබට ඵලදායී ඉරිදාවක් වේවා!

-රසිකොලොජිස්ට්

Wednesday, 11 March 2015

කැටපත්පවුරක මතකය - Mirror mirror on the wall?


මේ කෙටි ලිපිය, සීගීරියේ කැටපත් පවුරේ නමක් කුරුටු ගෑ යුවතියකට පැනවුණු දෙවසරක සිර දඬුවම ගැන මේ දිනවල පවතින කතා බහට සම්බන්ධයක් නැත.

කෙසේ නමුත් ඒ ගැන මගේ අදහස කියනවා නම්, මා සිතන්නේ මෙහි දී මස් රාත්තලම කපා ගැනීමට වඩා කළ යුතුව ඇත්තේ මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් සහ සීගිරිය නැරඹීමේ දී කළ නොකළ යුතු දේ ගැන ද කියවෙන අධ්‍යාපන වැඩසටහනක් සැකසීම බවයි.

සීගිරිය යනු ගාළු කොටුව මෙන් නොමිළයේ නැරඹීය හැකි ස්ථානයක් නොවේ. සීගිරියට පිවිසීමට මුදල් ගෙවා ටිකට්පත් ගන්නා විට, ඒ අදාල අධ්‍යාපනය ලබා දිය හැකිය.

මා මේ ලියන්නේ වෙනත් කරුණක් ගැනයි.

අප දන්නා පරිදි, කැටපත්පවුර යනු පුරාණ සිංහල කවියන් තම නිර්මාණ අන් අය සමග බෙදා ගත් එක් මාධ්‍යයකි. එනිසා, මේ නම වෙනත් එවැනි නිර්මාණ පවුරු සඳහා ද යොදා ගත හැකි එකකි. විශේෂයෙන්, ලංකාවේ පාසල්වල, විශ්ව විද්‍යාලවල සිසුන් තම නිර්මාණ එළි දැක්වූ බිත්ති පුවත්පත්වලට කැටපත්පවුර යන නම නිතරම යොදා ගන්නට ඇතැයි සිතමි.

අද අප පොදුවේ සයිබර් අවකාශය ලෙස හඳුන්වන අන්තර්ජාල වෙබ් මාධ්‍යයේ කවි ලියවී හුවමාරු වෙන්නට පටන් ගෙන දැන් දශකයකටත් වඩා කල් ගත වී ඇත. තරංග ජයසේන හෙවත් කූඹියා සහ තවත් අයගේ මහන්සියෙන් ඇරඹුණු බූන්දි වෙබ් අඩවිය වත්මනෙහි මේ ගැන දැක්විය හැකි ප්‍රශස්තම උදාහරණයයි.


බූන්දි වෙබ් අඩවිය නිමවෙන්නට පෙර, බූන්දිය යනු ඊ-මේල්වලින් හුවමාරු වූ සඟරාමය ලියවිල්ලක් විය. එහි කලාප පනහකට වඩා නිමවී සංසරණය වූ බව මගේ මතකයයි. ඒ වසර 2007 සැප්තැම්බරයේ දී ය. ඊටත් පෙර තරංග ජයසේන "කව්-සිත්" නමින් ද වෙබ් අඩවියක් නිමවා තිබුණි.

මගේ පෙම් ගී අඩවිය ඇරඹුනේ ඊට පෙර වසර 2005 අප්‍රියෙල් මාසයේ දී ය.


රන්සිරිමාල් ප්‍රනාන්දු ගේ සිරිමල් උයන වෙබ් අඩවිය මා කියවූයේ ඊටත් පෙර ය.


ඒ කෙසේ වෙතත්, වෙබ් ලෝකයට සිංහල කවිය මුලින්ම ගෙන ගියේ කැටපත්පවුර නම් වෙබ් අඩවිය හරහා යැයි මම සිතමි. ඕස්ටේ‍ර්ලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ලේඛකයෙකු වෙන ජගත් ජේ එදිරිසිංහ විසින් සිංහල කවිය අන්තර්ජාලයට එක් කරමින් කැටපත්පවුර අඩවිය ඇරඹුවේ වසර 2002 මාර්තුවේ දී බව පෙනේ.


ජගත් ජේ එදිරිසිංහ මේ කාලයේ දීම අන්තර්ජාලයට මග යනුවෙන් සිංහලෙන් ග්‍රන්ථයක් ද සම්පාදනය කළ මැවිසුරුවෙකි. ඔහු, දයාවංශ ජයකොඩි සමාගමෙන් ප්‍රකාශිත ගිම්හාන සුළඟ, අසුර අඩවිය, තාරකා විජිතය සහ පිණි යන නවකතාවල ද, ගොඩගේ සමාගමෙන් ප්‍රකාශිත ඉස්කෝලේ කාලේ නම් නවකතාවේ ද රචකයා ය.

කැටපත්පවුර වෙබ් අඩවියට මෙතැනින් යන්න: http://ketapathpawra.com/

-රසිකොලොජිස්ට්

ප/ලි:
සමහර විට මෙහි සඳහන් සිරිමල් උයන අඩවිය නිමවෙන්නට ඇත්තේ කැටපත්පවුර අඩවියට කලින් විය හැකි බව මේ ලිපිය ලිවීමෙන් අනතුරුව සැක ඇති විය. ඒ ගැන ස්ථිරවම සොයමින් සිටිමි.

ප/ප/ලි:
සිරිමල් උයන වෙබ් අඩවිය අරඹා ඇත්තේ වසර 2000 දෙසැම්බරයේ දී බව රන්සිරිමාල් ප්‍රනාන්දු කවියාගෙන් මේ දැන් අසන්නට ලැබුණි. කවියෙක් යැයි කීවාට මා දන්නා තරමින් ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සහ කැනඩාවේ ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ උගත් විද්‍යාඥයෙකි.

සිරිමල් උයන වෙබ් අඩවිය මෙතැනින් යන්න: http://www.ransirimal.com/

(image: http://sigiripintura.itgo.com/Katapathpawra.htm)

Wednesday, 11 February 2015

ඕස්ටේ‍්‍රලියාවෙන් විහිදෙන හුස්මක සුවඳ - Lakshman Kodituwakku's short story collection "Husma"


අපි සියලු දෙනාම පාහේ කුඩා කාලයේ සිටම කතන්දර අසා ඇත්තෙමු. කතන්දර අසා වින්දනයක් ලැබුවෙමු. එනිසා ම දෝ කතන්දර ලියන්නට, කතන්දර කියන්නට අප බොහෝ දෙනකුට හැකියාව ඇත. ඕනෑම යාන් හෑල්ලක් බොහෝවිට කතන්දරයක් ලෙස සැලකේ.

කෙටිකතා යනු කතන්දර නොවේ. කෙටිකතා යනු නවකතාවක් සංක්ෂිප්තව ලිවීමක් ද නොවේ. යාන් හෑලි ද කෙටිකතා ලෙස කිසිසේත් ම සැලකිය නොහැක.

කෙටිකතාවක් යනුවෙන් මා අදහස් කරන්නේ එක්තරා කාල මානයක දී, එක්තරා ප‍්‍රධාන සජීවී චරිතයක් හැසිරෙන ආකාරය හෝ සිදුවීමක් දිග හැරෙන ආකාරය හෝ ඉතා ඉහළ ඵලදායීත්වයක් සහිතව විස්තර කරමින් පාඨක චිත්ත සන්තානයේ කම්පනයක් ඇති කරන්නා වූ ලියවිල්ලකි. කෙටිකතා යනු ලිඛිත සාහිත්‍යයේ ඇති ප‍්‍රබලතම අවියක් වී ඇත්තේ ද, කෙටිකතා ලිවීම සුවිශේෂී කලාවක් ලෙස සැලකෙන්නේ ද මේ නිසාය.

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ඕස්ටේ‍්‍රලියාවේ සිටින ප‍්‍රබලතම සිංහල කෙටිකතාකරුවා ලෙස මම හඳුන්වමි.

ඒ ඔහු ගේ "පරමේෂ්වරී සහ වෙනම රටක්" (2009) සහ "හුස්ම" (2013) කෙටිකතා සංග‍්‍රහ ද්වයේ අඩංගු කෙටිකතා සහ දැනට දශකයකට වැඩි කාලයක් තිස්සේ විවිධ මුද්‍රිත මාධ්‍යයන් හි පළවුණු ඔහු ගේ කෙටිකතා සම්බන්ධව මා බැසගත් නිගමනයයි.

මා ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ කෙටිකතා අතුරින් මුලින්ම කියවූයේ වසර 2002-03 කාලයේ දී "නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ" ත්‍රෛමාසික ප‍්‍රකාශනය වන "සිංහල" සඟරාවේ පළවුණු ඒවා ය. ඒ කතා කිහිපයටම පාදක වූයේ සංක‍්‍රමණික සිංහල ජනකොටස සම්බන්ධ වූ වස්තු බීජයන් ය. මා කියවූ ඒ මුල් නිර්මාණ තුළින් මා ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ කෙටිකතා පිළිබඳව කිසිදු සුවීශේෂීත්වයක් නොදුටු බව කිව යුතුය. සංක‍්‍රමණිකයින් සහ ඔවුන් තම අළුත් පරිසරය හා ගැටෙන අයුරු ඔහු දකින උපහාසාත්මක ආකාරයේ මට වැටහුණු ආකාරයට දෘෂ්ටිමය වරදක් තිබුණි. එසේම, ඒ නිර්මාණතුල පුරුෂාධිපත්‍යය ද, ස්ත‍්‍රී විරෝධයක් ද ගැබ් වී තිබෙන බව ද මට හැඟුණි.

එසේ වතුදු, ලක්‍ෂ්මන් කොඩිතුවක්කු පසුකාලීනව ලියන ලද, විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ ජීවත්වෙන විවිධ චරිත සහ සිදුවීම් පාදක කරගෙන ලියන ලද කෙටිකතා තුළින් මට ඔහු ගේ සැබෑ ප‍්‍රතිභාව ඔප මට්ටම් වී එන අයුරු පෙනෙන්නට පටන් ගත්තේය. "පරමේෂ්වරී සහ වෙනම රටක්" එකතුවේ ඇතුළත් වුණු "වීරයෙකුගේ නවාතැන් පොළ" සහ "මොහොමඞ් ගේ කතා වස්තුව" යන නිර්මාණ ද්වය තුළින් ඒ බව හොඳින් කැපී පෙනුණි. මේ කාලය වන විට ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ කෙටිකතා ශ‍්‍රී ලංකාවේ පුවත්පත්වල ද නිරන්තරයෙන් පලවෙන්නට පටන්ගෙන තිබුණු අතර "පරමේෂ්වරී සහ වෙනම රටක්" කෙටිකතා එකතුව 2009 වර්ෂයේ දී ගොඩගේ සම්මාන උලෙළේ හොඳම කෙටිකතා පොත් පහ අතරට තෝරා ගැනුණි.

කෙටිකතාකරුවෙක් වශයෙන් ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ මා දකින ප‍්‍රබලතම හැකියාව වන්නේ නාගරිකවාසී ලූම්පන් ජනකොටසේ මෙන්ම සමාජ වෙනසක් අපේක්ෂාකරන දුප්පතුන් ගේ ද ඇසින් සමාජ ප‍්‍රශ්න දෙස බලා ඒවා විග‍්‍රහ කරන්න ඔහුට ඇති හැකියාවයි. මෙය අප වැනි අංකුර කෙටිකතාකරුවන් ගේ ඊර්ෂ්‍යාවට බඳුන්විය හැකි ආකාරයේ විරල හැකියාවකි.

තම කෙටිකතාවල එන එක් එක් චරිතවලට සහ පරිසරයන්ට අදාළව ලක්‍ෂ්මන් කොඩිතුවක්කු තෝරා ගන්නා ලිඛිත භාෂාව සහ ආකෘතිය ඔහු ගේ නිපුණත්වය විදහා දක්වයි. ඒ චරිතවල විවිධ ගති ලක්ෂණ විදහා දක්වීමට ලක්‍ෂ්මන් කොඩිතුවක්කු උපයෝගී කරගන්නා ඔවුන් ගේ හැසිරීම් පිළිබඳ සියුම් නිරීක්ෂණ, දෙබස් සහ ඒකපාත‍්‍ර භාෂණයන් ද කතාව සමග මුසුවී ගලා යන්නේ නිරායාසයෙන් මෙනි.

පසුගිය වසරේ එළිදක්වන ලද ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ "හුස්ම" කෙටිකතා එකතුවට කෙටිකතා එකොළහක් අඩංගුවේ. ශ‍්‍රී ලංකාවේ සිට ඕස්ටේ‍්‍රලියාව දක්වා ද, රැකියා විරහිත තරුණයා ගේ සිට සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා දක්වා ද, දිළිදු මුඩුක්කුවේ සිට මහා මන්දිරය දක්වා ද, විවිධ පරිසරයන් හි වෙසෙන, විවිධ ජීවිත ගත කරන, විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දෙන, පුළුල් පරාසයක විහිදුණු චරිත "හුස්ම" තුළින් ලක්‍ෂ්මන් කොඩිතුවක්කු අප අතරට රැගෙන එයි.

මේ කෙටිකතා එකොළහ අතරින් මා සිත වඩාත්ම බැඳගත්තේ "මනාපය" නම් වූ කතාවයි. මගේ මතකයට අනුව මෙය "ඉරිදා ලක්බිම" පුවත්පතේ මුල්වරට පළ වූ නිර්මාණයකි. දේශපාලකයෙකුට අවජාතකව උපන් දිළිදු දරුවෙකු ගේ ශෝකාලාපය "මනාපය" තුළින් ලක්ෂ්මන් අපට කියන්නේ සරදම ද, ශෝකය ද එකිනෙක ඉතා සීරුවෙන් අමුනමිනි. එය මේ කෙටිකතාකරුවා ගේ සුවිශේෂී දක්ෂකමකි. "හුස්ම", "සිහින විකිණීමට තිබේ", "බැමි", "පාට බොඳවුණු සිහිනයක්" සහ "ස්වයං ඝාතිකාව" යන නිර්මාණද මේ ආකාරයෙන්ම අතිශය දුලබ වස්තුබීජ පදනම් කොටගෙන කෙරුණු නිර්මාණ වේ. ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ නිර්මාණ අත්දැකීම් අප වැනි අංකුර රචකයින් ගේ ඊර්ෂ්‍යාවට භාජනය වීම පුදුමයක් නොවන බව මා පෙර සඳහන් කළේ එබැවිනි.

"හුස්ම" කෙටිකතා සංග‍්‍රහයේ එන "වෙඩි තියාගත්තට පස්සේ" නමැති අගනා ශෝකාන්ත නිර්මාණය කියවූ පසු මා සිත තුළ ඒ කෙටිකතාවේ ප‍්‍රධාන චරිතය ගුරුවරයෙකු වීම කෙතරම් තාත්විකදැයි කුකුසක් ඇතිවිය. එයට හේතුව වූයේ, පියා ගුරුවරයෙකු වූ පවුලක දරුවන් එකෙක් නොව තිදෙනාම හරි හමන් ඉගෙනීමක් නොලැබ අතරමං වීමට ඇති ඉඩකඩ ඉතා අඩු නිසාය.

නමුත් එකෙණෙහි ම මගේ සිහියට ආවේ ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ ප‍්‍රථම කෙටිකතා සංග‍්‍රහය වූ "පරමේෂ්වරී සහ වෙනම රටක්" හි එන එනමින්ම යුතු කෙටිකතාව පිළිබද මා ඇසූ විචාරයකි. ඒ කෙටිකතාවේ එන තම සේවාදායකයා වූ පරමේෂ්වරීට ලිංගික අතවරකම් කරන නීතිඥයා ගේ චරිතය අභව්‍ය සහ අතාත්වික එකක් වේ ය වැනි අදහසක් තමා ද වෘත්තියෙන් නීතිඥයෙකුවන මෛත‍්‍රී පනාගොඩ "පරමේෂ්වරී සහ වෙනම රටක්" කෘතියේ දොරට වැඩුමේ උත්සවයේ දී පළකළේ ය.

නමුත් ඉන් මාස කිහිපයකට පසු මගේ ඇස ගැටුණේ පුවත්පතක වාර්තාකර තිබූ "පරමේෂ්වරී සහ වෙනම රටක්" කෙටිකතාවේ ආ ආකාරයේ ම ස්ත‍්‍රී දූෂණයක් පිළිබඳ විස්තරයකි!

මෙයින් හැඟෙන්නේ නිර්මාණකරණය නමැති කර්තව්‍යයට කාලය නමැති මානයේ රැඳී තාත්විකත්වය පිළිබඳ සීමාවන් පැනවිය නොහැකි බවද?

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු කෙටිකතාකරුවෙකු මෙන්ම කවියෙකු, ගී පදමාලා රචකයෙකු, ළමා නාට්‍ය රචකයෙකු සහ දේශපාලන තීරු ලිපි රචකයෙකු ද වේ.

මම ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ ඉදිරි ලේඛන දිවියට සුබ පතමි.

රසික සූරියආරච්චි


හුස්ම - ලක්‍ෂ්මන් කොඩිතුවක්කු
සුරස (ෆාස්ට් පබ්ලිෂින්) ප්‍රකාශනයක් (2013)
මිල රුපියල් 300

Friday, 14 November 2014

අවුරුදු අනූ දෙකේ දී ත් පොත් ලියන ජනමාධ්‍යවේදියා - Veteran journalist S Piyasena

නාකි යන වචනය සෑදී ඇත්තේ නොහැකි යන අරුතින් බව අපි අසා ඇත්තෙමු. නමුත් මේ කතාව සැම විටම සත්‍යය නොවේ. ඒ බව හොඳින් අපට පසක් කරවන චරිතයක් හඳුන්වා දීම මේ ලිපියේ අරමුණයි.

තම මාධ්‍යවේදී දිවිය අරඹා වසර හැත්තෑ හතරකට පසුවත් නොනැවතී එකසේ උනන්දුවෙන් අදත් පුවත්පත් සඳහා ලිපි සපයන මේ අපූරු පුද්ගලයා අද නොවැම්බර් 14 දින තම අනූ දෙවෙනි උපන්දිනය සමරණ සේනාධීර පියසේන නම් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා ය.

ඔහු මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පුවත්පත්වලටත්, ඕස්ට්‍රේලියාවේ සිංහල මාසික සඟරාවලටත් ලියූ ලිපි එකතුවක් ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කර "හුදකලාවේ ආවර්ජන" නමින් ප්‍රකාශයට පත් කර ඇත.

"හුදකලාවේ ආවර්ජන" ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයකි.

මේ ග්‍රන්ථයේ දොරට වැඩුම සිදුවූයේ පසුගිය සෙනසුරාදා සිඩ්නි නගරයේ දී පවත්වන්නට යෙදුණු ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආදී ආනන්දීය සංගමයේ වාර්ශික සුහද හමුවේ දී ය. මෙහිදී සේනාධීර පියසේන මාධ්‍යවේදියා සභාවට හදුන්වා දෙන්නට මට අවස්ථාව ලැබුණි.

පහත පලවෙන්නේ එහිදී මා කළ කතාවයි.



ආනන්දනීය සන්ධ්‍යාවක් වේවා ප‍්‍රිය මිතුරනි,

අද මේ සන්ධ්‍යාවේ දී දොරට වඩින "හුදකලාවේ ආවර්ජන" කෘතිය රචනා කළ වියත් ලේඛකයා හඳුන්වා දීමට ලැබීම ඉතා සතුටක්. විශාල භාග්‍යයක්.

සේනාධීර පියසේන, එසේ නැතිනම් "ඇස්. පියසේන" උපත ලැබුවේ වර්ෂ 1922 නොවැම්බරයේ එනම් මීට වසර අනූ දෙකකට පෙරයි. මුලින් අළුත්ගම විදුහලෙන් ඉගෙනුම ලැබූ සේනාධීර පියසේන ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ වසර 1933 දී යි. පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා 1939 ජූනි මාසයේ දී ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා.

ඉන්දියාවට යන්නට පෙර සිටම සමසමාජ දේශපාලනයේ අත්පොත් කියවා සිටි සේනාධීර පියසේන අනතුරුව එළැඹි දෙවන ලෝක යුධ සමයේ ලංකාවට පැමිණි අවස්ථාවේ 1940 දී කොමියුනිස්ට් පක්ෂය විසින් නැවත ඇරඹූ ජනශක්තිය පුවත් පතේ ප‍්‍රකාශක ලෙස තම පුවත්පත් දිවිය ඇරඹුවා.

එවකට පැවති නීති අනුව පුවත්පතක ප‍්‍රකාශකයෙකු වයස විසි එක පන්නා තිබිය යුතු වී ලූ. මේ වන විට යාන්තම් දහඅටවන වියේ පසුවූ සේනාධීර පියසේන කළේ තමා උපන්නේ 1920 බව සඳහන් කර තම වයස වෙනස් කිරීමයි.

එතැනින් පටන් ගත් සේනාධීර පියසේන ගේ මාධ්‍යවේදී ජීවිතය, ලේක් හවුසිය, ගුවන් විදුලිය, පාර්ලිමේන්තුව, ආකාශවාහිනීය, තවත් මාධ්‍ය ආයතන කිහිපයක් හරහා පමණක් නොව රජ ගෙදර හරහාත් ඇදී ගොස් අද වයස අනූ දෙකක තරුණයෙක් ලෙසත් පවත්වා ගෙන යනු දැකීම අප හැමටම වැදගත් ආදර්ශයක්, ඉමහත් ආශ්වාදයක්.

මේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා ගැන ශ‍්‍රි ලංකාවේ දී දැන ගෙන සිටි කීප දෙනෙකු මෙතැන සිටින්නට පුළුවනි. නමුත් අප බොහෝ දෙනාගේ මතකයට "ඇස්. පියසේන" යන නම එකතු වෙන්නට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පළකෙරෙන "පහන" මාසික සඟරාව සඳහා ඔහු ලියූ ලිපිවලින් සහ කලකට පෙර එස්.බී.එස්. සිංහල වැඩසටහනේ ප‍්‍රචාරය වුණු සම්මුඛ සාකච්ඡා නිසා බව මා හිතනවා.

එසේ මා හැඳින ගෙන වුන් ඇස්. පියසේන මහතා සමග මා මුලින්ම කතා කළේ මීට දෙවසරකට පෙර ඔහු ගේ අනූවෙනි උපන් දිනයට සුභ පැතීමටයි. ඒ මොහොතේ මා විශ්මයට පත් කරමින් ඔහු හා මා පහන මාසික සඟරාවේ අකුරු තුලින් එකිනෙකා හා හමුවුණු අවස්ථා දෙකම ගැන ඔහු සිහිපත් කළා. ඉන් එක අවස්ථාවක් වන්නේ ආනන්ද විදුහලේ 125 වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් මා ලියූ ලිපිය, ඒ ගැනම ඔහු ලියූ ලිපිය සමග එකට පළ වී තිබුණු අවස්ථාව බවත් සිහිපත් කළ යුතුයි.

මිතුරනි, පසුගිය සතියේ අපේ පාසල, ආනන්ද විද්‍යාලය අරඹා වසර එකසිය විසි අටක් සම්පුර්ණ වුනා. ලබන සතියේ, එනම් නොවැම්බර් මස 14 දා සේනාධීර පියසේන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා තම අනූ දෙවෙනි ජන්ම දින සමරණවා. ඔහු අද ජීවත්වෙන ජ්‍යෙෂ්ඨතම ආදී ආනන්දියා ද බව ආදරයෙන් සිහිපත් කරන්නට මා කැමතියි.

සේනාධීර පියසේන ලේඛකයා ලියූ "හුදකලාවේ ආවර්ජන" නම් අද මේ දොරට වඩින කෘතියේ පිටපත් ඔහු අපේ ආදී ආනන්දයින් ගේ සංගමයට බාර දී ඇත්තේ ඒවා විකුණා ලැබෙන මුදල ආනන්ද විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා දියත් කර ඇති ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා ලෙස කෙරුණු ගෞරවණීය පරිත්‍යාගයක් ලෙසයි.

දැන් අප සැම අමතන ලෙස සේනාධීර පියසේන මාධ්‍යවේදියාට මා ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් ආරාධනා කරනවා.



අද සිය අනූ දෙවෙනි උපන්දිනය සමරන සේනාධීර පියසේන මාධ්‍යවේදියාට දීර්ඝායුෂ පතමි.



-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

(photos: OZLanka.com)