කාන්තාවන් ගේ පියයුරු හෙවත් පයෝධර හෙවත් තන හෙවත් ස්තන ග්‍රන්ථි විස්තර කිරීම සඳහා රණ හංසයින්, ජම්බෝල, රන් තැඹිලි යනාදී විවිධ උපමා උපයෝගී කරගත හැකි බව අපි හොඳින් දනිමු.
නමුත්, පියයුරු සඳහා තිඹිරි ගෙඩි උපමාවක් ලෙස යොදා ගෙන තිබෙනු ඔබ මීට පෙර අසා තිබුණා ද?
මේ උපමාව යෙදෙන්නේ සාහිත්‍ය කෘතියක නොවේ. මා හතේ අටේ පන්තිවල දී උගත්, බුදු දහමේ එන වැදගත් සූත්‍රයක් වන පරාභව සුූත්‍රයේ ය.
පරාභව සුූත්‍රය, ත්‍රිපිකයේ සූත්‍ර පිටකයේ, බුද්දක නිකායේ, සුත්ත නිපාතයේ, උරග වග්ගයේ එන සූත්‍රයකි.
සුපුරුදු පරිදි බුදුන් සැවැත්නුවර, ජේතවනයේ, අනාථපිණ්ඩිකස්ස ආරාමයේ වැඩ විසූ දිනයක, හෙඩ් ලයිට් දමාගෙන එහි පැමිණි දෙයියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පවසන ලදැයි කියනු ලැබුව ද, පරාභව සූත්‍රයේ මූලිකවම අඩංගු වන්නේ, දෙයියන් ගේ කෙසේ වෙතත් මිනිසා ගේ පරාභවයට හෙවත් පරිහානියට හේතු වන කාරණා ය.
ඒ කාරණා බොහොමයක් අපට සිතා ගත හැකි, සාමාන්‍ය තර්කයකින් වටහා ගත හැකි, ඒවා ය.
උදාහරණ ලෙස, ධාර්මිකව නොහැසිරීම, අසත්පුරුෂයන් ආශ්‍රය කිරීම, අලසකම, පරදාර සේවනය හෙවත් කොටු පැනීම සහ සුරාවට ලොල් වීම හෙවත් අනුමත වීම වැනි දේ මිනිසා ගේ පිරිහීමට කාරණා ලෙස මේ සූත්‍රයේ දැක්වේ.
පරාභව සූත්‍රයේ එන පරිහානියට කාරණා ලයිස්තුවේ දසවැනි කාරණය දැක්වෙන්නේ මෙසේ ය.
අතීතයොබ්බනො පොසොඑහි තේරුම සාමාන්‍ය සිංහලෙන් මෙලෙස වේ.
ආනෙති තිම්බරුත්තනිං
තස්සා ඉස්සා න සුපති
තං පරාභවතො මුඛං
ඉක්මගිය යෞවන වයසේ ඉන්නා (මහලු) පුරුෂයෙක් තිඹිරි ගෙඩි වැනි (කුඩා?) පියොවුරු ඇති තරුණ දැරියක් ආවාහ කොට ගෙන ඇය (අන් පුරුෂයින් හා එක් වේ යැයි සැකයෙන් ඒ) පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් නො නිදා ගත කරයි ද එය පිරිහීමට කාරණයක් වේ.තිඹිරි ගෙඩි යනු සාමාන්‍යයෙන් පියවුරු සඳහා උපමා ලෙස භාවිතා වෙන තැඹිලි, ජම්බෝල, පත්තක්කා (මෙලන්) වැනි ප්‍රමාණයේ ගෙඩි වර්ගයක් නොව ඉතා කුඩා පලතුරකි.
එනිසා, මට නම් පෙනෙන්නේ පරාභාවයට යාමට පෙර, එවැනි පියයුරු ඇති ළාබාල තරුණියක් විවාහ කර ගන්නා තැනැත්තා, බාලාපරාධය සඳහා සිරගත විය යුතු බවයි!
කෙසේ වෙතත්, පරාභවයට හේතුව නම්, ඊට කලින් දැක්වූ කාරණාවල සඳහන් වූවා සේ ම, නොනිදා සිටීම හෝ ඊර්ෂ්‍යා කිරීම මිස මේ විවාහ වීම නම් නොවන බව කිව යුතුය. නිකරුණේ වද නොවිඳ හොඳින් නිදා ගන්නේ නම්, පරාභාවයට කිසිදු හේතුවක් නැත!
-රසිකොලොජිස්ට්
ප/ලි:
ගායක වික්ටර් රත්නායක පසුගිය දා තම ජීවිතයේ දෙවෙනි වසන්තය උදා කර ගත්තේ ය. මතභේදයට තුඩු දුන් ඒ විවාහය සිදුවුණු දිනවල දී කෙටුම්පත් කළ නමුදු පළ කිරීම අතපසු වුණු මේ ලිපිය අදින් ඇරඹෙන බ්ලොග් වසන්තය සැමරීම පිණිස මෙලෙස පළ කිරීමට සිත්විය.
(image: https://apeosupela.blogspot.com.au/2017/03/tibiri-diospyros-malabarica_21.html)




