"උඹ මොනවාද බං කැම්පස් එකේ දී කළේ? උඹ අඩුගානේ කැම්පස් එකේ දී ටෙනිස්වත් ගැහැව්වාද?"
ඒ මට අපහාස කිරීමට සිතා සමකාලීන විශ්වවිද්‍යාල සිසුවෙකු අප විශ්වවිද්‍යාලයෙන් පිටවී වසරකට පමණ පසු සේවා ස්ථානයකදී මගෙන් ඇසූ පැණයකි. එකම විශ්වවිද්‍යාලයේ වුවද, මහවැලි ගඟෙන් දෙපැත්තේ පිහිටි අධ්‍යයන පීඨ දෙකක සිසුන් වූ අප දෙදෙනා මුලින්ම දැන හඳුණා ගත්තේ ද ඊට මාස දෙකකට පමණ කලිනි.
මා
පෙර දිනක දී කියූ ලෙසින්, එදා ඒ මගෙන් ඇසූ ප්‍රශ්ණය පසුපස තිබුණු සමාජ-දේශපාලන යථාර්තය දැක කම්පා වූ මම, ඔහුට පිළිතුරක් නොදුන්නෙමි.
අද මා මේ සැරසෙන්නේ ඒ නොදුන් පිළිතුර අකුරු කිරීමටයි.
මා උසස් පෙළ විභාගයට පෙනී සිටියේ මගේ දහ අටවෙනි උපන් දිනයට මාස දෙකකට කලිනි.
කුමන පාඨමාලාවක් හෝ හැදෑරීමට විශ්වවිද්‍යාලයට යාමට තරම් මගේ උසස් පෙළ ලකුණු ප්‍රමාණවත් වුවහොත් මා කාලයක සිට පෙරුම් පිරුවේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමටයි. එයට මූලිකම හේතුව වූයේ නවකතාවලින්, ගීතවලින් නිරතුරු උත්කර්ෂයට නැගෙනු අසා තිබූ හන්තානේ කඳු පාමුල, මහවැලි ගඟ අසබඩ සිව් වසරක් ගත කරන්නට සිත තුල බැඳුණු "පොඩි එකා ගේ ආසාව" යි.
පසු කාලයක මගේ බාල සොහොයුරා කළාක් මෙන් පිළියන්දල නැන්දලා ගේ නිවසේ සිට මොරටුවට යෑම වෙනුවට පේරාදෙනියේ වසර හතරක් පදිංචි වීමට මා ගත් තීරණයට ආර්ථික ශක්තිය දුන්නේ ඒ වන විටත් ගුරු සේවයෙන් විශ්‍රාම ලබා සිටි මගේ දුප්පත් පියා බව නෙත පිරුණු කඳුළින් යුතුව සිහි කරමි.
මා මගේ දහ නමවෙනි උපන් දිනය සැමරුවේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ පළමු වසරේ ශිෂ්‍යයෙක් ලෙස මාකස් ප්‍රනාන්දු ශාලාවේ දී ය.
සංජය වත්තේගම නිවැරදි ය. පේරාදෙනියේ ගත කළ සිව් වසරක් සහ මාස දෙකක කාලය තුල මා ටෙනිස් ක්‍රීඩා නොකළ බව සත්‍යයකි. එසේ වුවද, මා කළ කී වෙනත් දේ බොහෝ ය.
ටෙනිස් නොගැසූව ද මා නිරතුරු ටේබල් ටෙනිස් ක්‍රීඩා කළෙමි. ඇත්තටම කියනවා නම්, දෙවන වසර මුළ සිට තුන්වන වසරේ අවසානය වසර දක්වා ම මාගේ කාලය වැඩි වශයෙන් ගත වුනේ ශිෂ්‍ය පොදු කාමරයේ (Students' Common Room) ටේබල් ටෙනිස් සහ කැරම් ක්‍රීඩාවේ නිරත වීමටය කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
විශ්වවිද්‍යාල ක්‍රීඩාගාරයේ (Gymnasium) ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම සහ ශිෂ්‍ය පොදු කාමරයේ ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම අතර ඇති වෙනස දන්නෝ දනිති. නොදන්නන් ගේ දැන ගැනීම පිණිස කියනවා නම්, ශිෂ්‍ය පොදු කාමරයේ ටේබල් ටෙනිස් ක්‍රීඩා කෙරෙන්නේ දේශණ පැවැත්වෙන දිවා කාලයේ දී මිස ක්‍රීඩාගාරයේ දී මෙන් සවස් යාමයේ නොවේ!
දුම්රියේ පාසල් යාම අරඹා වයස දාසය පමණ ලැබූ පසු කවි ලියන්නට පෙළඹුනු මා ඒ සරල පෙම් ගීයෙන් ඔබ්බට ගියේ මේ සිව් වසරක කාලය තුළදී ය. ඉංජිනේරු පීඨ කලාකවය (Arts Circle) නිර්මාණ පුවරුවේ නිරතුරුවම මගේ කවි පළවිය. පාසල් සමයේ දී මා කළ කෙටිකතා ලිවීම නම් දිගටම කරන්නට තරම් උත්තේජනයක් නම් කලාකවයෙන් නොලැබුණු බව ද කිව යුතුය.
ඒ වෙනුවට, පළමු වසරේ දී සහ තුන්වෙනි වසරේ දී පැවති ඉංජිනේරු පීඨ පිළිගැනීමේ උළෙලේ (Freshers Welcome) දී සහ පීඨ දිනයේ (Faculty Day) දී පැවැති විවිධ ප්‍රසංග සඳහා කෙටි ප්‍රහසන ද්වයක් රචනා කර, අපේ කණ්ඩායමේ සිසු නළුවන් කිහිප දෙනෙකු ද සමග වේදිකා ගත කරන්නට මට හැකි විය.
පළමු වසරේ දී ම කලා කවයේ කමිටු සාමාජිකයෙකු ලෙසින් ඇරඹුණු මගේ විශ්වවිද්‍යාල සංගම් ජීවිතය, ඊළඟ දෙවසරේ දී, කලා කවයේ සංස්කාරක සහ ලේකම් ලෙසද, සමාජ විද්‍යා සංගමයේ (Social Science Society) සංස්කාරක සහ ලේකම් ලෙසද ගත වී අවසාන වසරේ උච්ඡස්ථානයට පත් වූයේ ඉංජිනේරු ශිෂ්‍ය සංගමයේ (Engineering Students Union) සභාපති ලෙසිනි.
අපේ දෙවන අධ්‍යයන වසර හිටි හැටියේම අවසාන වූයේ ශිෂ්‍ය උද්ඝෝෂණයක් සහ එහි දී ඇති වූ සිදුවීම් කිහිපයකට පසු විශ්වවිද්‍යාලය වසා දැමීමෙනි. විශ්වවිද්‍යාලය තහනම් භූමියක් ලෙස පවත්වාගෙන යමින් විභාග පවත්වා පසුව අපේ තුන්වන වසර ඇරඹෙන විට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අහෝසි කර තිබුණු අතර, පෙර වසරේ ශිෂ්‍ය නියෝජිතයින් ලෙස කටයුතු කළ සිසුන් බහුතරයක ගේ ශිෂ්‍ය භාවය තහනම් කර තිබුණි. ඒ අරාජික තත්වය පවතිද්දී ශිෂ්‍ය හඬ නංවන්නට යම් ආකාරයක සම්මාදමක් වෙන්නටත්, ඒ වසර අවසානයේ විශ්වවිද්‍යාල ශිෂයෙකු පොලිස් වෙඩි පහරකින් මිය ගිය පසු ඇරඹුණු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට (Action Committee) සක්‍රීයව දායකත්වය සපයන්නටත්,අන්තර් විශ්වවිද්‍යාල බලමංඩලයේ (Inter University Students Federation) රැස්වීම්වල දී පේරාදෙනිය විශ්වවිද්‍යාලය නියෝජනය කරන්නටත් මට හැකිවිය.
මේ සියළු බාහිර වැඩ කටයුතු සඳහා වැය කරන්නට සිදුවන්නේ අධ්‍යාපනය සඳහා ගත කළ යුතු කාලය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා ම, පළමු පන්තියේ සාමාර්ථයක් නොලැබුණද, දෙවන ඉහල පන්තියේ සාමාර්ථයක් (Second Class Upper Division) ලැබීම මට රජකම ලැබීම හා සමාන විය.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මා ගත කළ සිව්වසරක කාලය තුල මා නිරත වුණු ටේබල් ටෙනිස් සහ කැරම් ක්‍රීඩා, කවි සහ කෙටි නාට්‍ය වැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම්, ශිෂ්‍ය සංගම්වල සේවය සහ අවසානයේ දී ලබා ගත් අධ්‍යාපන ජයග්‍රහණය ගැන ද මා මෙහිදී සඳහන් කළෙමි.
ඒවා, මොරටුවේ දී වුව ද කළ හැකිව තිබූ දේ බව අමුතුවෙන් කිව යුතු නැත.
එසේ නම්, පේරාදෙනියේ දී පමණක් කළ හැකි දේ?
"හන්තානේ කඳු මුදුණ සිසාරා පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්"
ඔව්, ඒ කාරණා කටයුතු ද මම ඒ සිව් වසර තුළ කළෙමි. එක් වරක් පමණක් කළ යුතු දේ එක් වරක් නොව සිව් වරක් ම කළෙමි. එහි වරද නම් මගේ ය.
පේරාදෙනිය විශ්වවිද්‍යාලය මැදින් ගලා බසින මහවැලි ගඟ අසබඩින් වැටී ඇති ලවර්ස් ලේන් හෙවත් ආදරවන්තයින් ගේ පටුමග පිළිබඳව පසු කළෙක මා ලියූ ලිපියක කොටසක් මෙසේ ය.
සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහලට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම්ය.
හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.
මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙලෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යලි යලිත් මවන්නට සමත් බව නොකිව මනා ය.
වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙනිය විශ්වවිද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.
මේ ලිපිය එක්තරා ආකාරයක පම්පෝරියකි. මා පේරාදෙනියේ දී කළ කී ඒ දේවල් මට වැදගත් වුව ද
සංජය වත්තේගමට මෙන් ම මෙය කියවන ඔබට ද නොවැදගත් දේ වීමට හැකිය.
ඉතිං මට පාන් ද?
-රසිකොලොජිස්ට්
ප/ලි:
ඒ කෙසේ වෙතත්, මගේ ජීවිතයේ සිව් වසරක් ගෙවුණු හැටි ඉතා සංක්‍ෂිප්තව ලියවුණු මේ ලිපිය අද පළ කරන්නට සිතුවේ රසිකොලොජි බ්ලොගයේ සුවිශේෂී සැතපුම් කණුවක් සනිටුහන් කරන්නටයි. මා මෙතැනට ලඟාවෙන්නට සිටියේ
රසිකොලොජියට වසරක් ගතවෙන ඔක්තෝබර් විසි හත්වෙනිදා ය. නමුත්, මුලින් නොසිතු විලස, මාස හතක් ගත වීමත් සමගම ලිපි සියයක් ලියා පළ කරන්නට මට හැකිවිය.
පසුගිය සත් මසක කාලයේ දී මේ ලිපි සියයෙන් එකක් හෝ කියවූ, ප්‍රතිචාර දැක්වූ සැමට මගේ අවංක ස්තුතිය පිරිනමමි.