
ලංකාවේ සමහරු මැරුණත් යූ.ඇම්.පී ය. තවත් සමහරු මැරුණත් සිරිලංකා ය.
පසුගිය සමයේ නිරතුරු සිදුවූ මන්තී‍්‍රලා ගේ කූඩළු න්‍යායේ හෙවත් කටුසු න්‍යායේ පක්‍ෂ මාරු නිසාත්, ඔවුන් සමග ඒ පැත්තට, මේ පැත්තට ඇදෙන සපෝටර් වර්ගයේ ජනතාව නිසාත්, මේ උග‍්‍ර පාක්‍ෂිකත්වයේ තරමක අඩුවක් අද දකින්නට ලැබුනද, එදා හැටේ හැත්තෑවේ දශක වලදී තත්වය එසේ නොවීය. එක්සත් ජාතික පක්‍ෂය, පාර්ලිමේන්තුවේ ආසන 144 න් අටක් පමණක් ලබා අන්ත පරාජයකට ලක් වූ 1970 මැතිවරණයේ දී ද, ඔවුන් ගේ මුළු ඡන්ද සංඛ්‍යාව ඒ ආකාරයේ සමානුපාතික අඩුවීමකට භාජනය වී නොතිබුණි. ආසන ක‍්‍රමය බැහැරකොට සමානුපාතික ඡන්ද ක‍්‍රමයකට යාමට ජනාධිපති ජයවර්දෙන තීරණය කළේ මේ නිසා යැයි කියවේ.
අද මා සැරසෙන්නේ 1977 මහ ඡන්දය හා සම්බන්ධ කතාවක් ඔබට කියන්නටයි.
මේ මැතිවරණය පැවැත්වෙන විට මට අවුරුදු පහලොවක්වත් සම්පූර්ණ වී නොතිබුණි. ඡන්ද බලය තව දුර වූවද, දේශපාලනයික වශයෙන් අප තරමක් සංවේදී අය වීමු. එකම ප‍්‍රශ්ණයකට තිබුනේ අපේ දේශපාලන මතය අනිවාර්යෙන්ම අපේ දෙමව්පියන්ගේ දේශපාලන මතිමතාන්තර මතම ගොඩ නැගුණු එකක් වීමයි. කොටින් ම කියතොත්, දෙමව්පියන් යූ.ඇම්.පී නම් දරුවෝ ද යූ.ඇම්.පී වූහ. දෙමව්පියන් සිරි ලංකා නම් දරුවෝ ද සිරි ලංකා වූහ. අවුරුදු දහඅට වෙනතුරු ඡන්ද බලය නොලැබෙන්නේ ඇයි දැයි මෙයින් මනාව සාධාරණීකරණය වේ.
වසර 1977 වන විට එවකට පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයෙන් යුතු වූ සමගි පෙරමුණු රජය වසර හතක ආණ්ඩු කාලයකින් පසු මුළු රට පුරාම බරපතල අප‍්‍රසාදයකට පත් වී සිටියහ. ඇත්තටම කියනවා නම් 1970 දී ඔවුන් බි‍්‍රතාන්‍ය රැජින යටතේ පාලනය වූ ලංකාණ්ඩුවේ බලයට පත්වුනේ අවුරුදු පහක කාලයකටයි. නමුත් පසුව 1972 දී, ශී‍්‍ර ලංකා ජනරජය බිහි වීමෙන් පසු රජයේ ආයු කාලය නැවතත් අළුත් කරන ලදී. මේ කරුණද, මීට වඩා බරපතල වූ බඩුමිල යනාදී කරුණු ද මේ මහජන අප‍්‍රසාදයට හේතු වී තිබුණි.
රජය විසිරවීමේ නිවේදනය ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය කෙරෙනු ඇසෙන විට මා සිටියේ අපේ වැඩිහිටි වන්දනා නඩයක් සමග පලාබත්ගල පාරේ සමනොල කන්දේ සෑහෙන දුරක් නැග ඉඳිකටුපාන හරියට ලඟාවෙමිනි. අතේ ගෙන ගිය රේඩියෝවකින් ප‍්‍රවෘත්තිය අසා පී‍්‍රති ප‍්‍රමෝදයට පත් වූ පියදාස බාප්පා, එහි සිටි තම මිතුරන් කිහිප දෙනෙකුද සමග එක්වී, "මෙදා පොටේ දෙනව බැටේ!" යනුවෙන් හඬ නැගූ අයුරු තවමත් මගේ මතකයේ ඇත.
ඡන්දය ඉතා උණුසුම් වූ එකක් විය. අප අත උඩින් දිනන බව අපි සක්සුදක් සේ දැන සිටියෙමු.
ඒත් පැරදෙන්නට නියමිතව සිටි පිලේ සමහරුනට එය වැටහී තිබුණේ නැත. මගේ පන්තියේ සිටි අෂාද් පෙරේරා එවැන්නෙකි. වරද ඔහුගේ නොවේ. ඔහුගේ දෙමව්පියන්ගේ ය.
මා කලින් කිව්වාක් මෙන් නිවරදි දේශපාලන අවබෝධයක් නොමැති පොඩි එවුන් වූ අප, නිරායාසායෙන්ම පිළිගත්තේ අපේ දෙමව්පියන් ඇදහූ දෙයයි. අෂාද් ගේ පියා ඉහල පෙලේ සිරිලංකා පක්‍ෂයේ ආධාරකරුවෙකි. රජයට අයිති මාධ්‍ය ආයතනයක ඉහල නිලයක් දැරූ පිළිගත් වෘත්තිකයෙකු වූ ඔහුට, ඇත්තටම කියනවා නම්, ආණ්ඩු පෙරලියෙන් පසු රැකියාව ද අහිමි විය.
ආනන්දයේ ගොඩනැගිල්ලක තුන්වන මහලේ තිබූ අපේ පන්ති කාමරයේ අෂාද් සිටියේ මැද තීරුවේ මුල් පෙලේ එක් කොනක ය. මගේ අසුන හරියටම ඔහු පිටු පසින් විය. ඡන්දයට ආසන්න දිනවල, පාඩම් අතර ඉඩ කඩක් ලැබුනු හැම මොහොතකම පාහේ, අපට ඡන්දය ගැන කතාවට ඉඩ කඩ ලැබුණි.
අෂාද් පැරදීමට නියමිත වූ ආණ්ඩු පක්‍ෂයේ ය. මා ජය ගැනීමට නියමිතව සිටි විරුද්ධ පක්‍ෂයේ ය.
එක් දිනක අපේ මහ මැතිවරණය පිළිබඳ කතාවක් අවසාන වූයේ අප දෙදෙනා අතර ඡන්ද ඔට්ටුවකිනි. ඔට්ටුව වැඩි ගණනකට නොවේ. රුපියල් පහකටය. වෙනත් වචන වලින් කියනවා නම් ආනන්දයේ කැන්ටිමේ බිත්තර පාන් දහයක මිල ය. නැතහොත්, පොදු ජන ආහාරය වූ පාන් ගෙඩි පහක මිල ය.
ඔට්ටුව මෙයයි. මහ ඡන්දයෙන් යූඇම්පීය ආසන 75 කට වඩා දිනුවොත් අෂාද් මට රුපියල් පහක් ගෙවිය යුතුය. යූඇම්පී ආසන ගනන 75 වඩා අඩු වූවොතින් මා අෂාද්ට රුපියල් පහක් ගෙවිය යුතුය. මෙම ආසන ගණන එදා වූ ආසන 144 පාර්ලිමේන්තුවේ රජයක් පිහිටුවීම සඳහා අවශ්‍යවූ අවම සරල බහුතරය විය.
මේ දිනවල "රිවිරැස" පත‍්‍රය මගින් එක් එක් පක්‍ෂයට ලැබෙන ආසන ගණන ගැන කියන්නට තරගයක් විය. ඒ කූපන් පිරවීමේදී අපි යූඇම්පීය ට ආසන සියයකට වැඩියෙන් ලැබෙන බව යෙදුවෙමු. එහෙත්, මා අෂාද් සමග ඇල්ලූවේ අවදානමෙන් තොර ඔට්ටුවකි.
ඡන්ද ප‍්‍රතිඵල අනුව යූ.ඇම්.පී.යට තුනෙන් දෙකක බහුතරයක් හිමි වූ අතර මම ඔට්ටුව උඩින් ම දින්නෙමි.
මෙදා පොටේ දුන්න බැටේ!
-රසිකොලොජිස්ට්
පසු සටහන:
වසර තිස් හතක් ගතවී ජීවිතයේ මැදි වියට එලැඹ ඇති අපේ දේශපාලන අදහස් ද අද වන විට සහමුලින්ම වෙනස් වී ඇති බව කිවයුතු නොවේ.
මට නම් සත්‍යය වැටහෙන්නට පටන් ගත්තේ අවුරුදු දහ අට ලැබීමටත් පෙරය. මා උසස් පෙල විභාගයට සූදානම් වෙන සමයේ පැවති 1980 ජූලි වැඩවර්ජනය අනුසාරයෙන් සියළු මොහඳුර මැකුණි. ඊලඟ වසරේ විශ්ව විද්‍යාලයට යන විට මා තරමක දේශපාලන විඥාණයකින් යුතු වෙනස් පුද්ගලයෙකි.
මා මෙන්ම අෂාද් ද දැන් වාසය කරන්නේ ඕස්ටේ‍්‍රලියාවේ ය. මා වසර 2009 දී එක් දිනක ඔහුට දුරකතනයෙන් කතා කර පරණ සිදුවීම් නැවත මතක් කර අහිංසක සතුටක් ලබා අවසානයේ ඔහුගේ දේශපාලන අදහස් ගැන විමසූ විට මට හැඟුණේ ඔහු එදත් සිරිලංකා අදත් සිරිලංකා ආකාරයේ පොරක් කියා ය. ඒ 2009 දී ය. අද තත්වය කෙසේ දැයි මම අවංකව නොදනිමි.
එදා 1977 දී යූ.ඇම්.පී ය පැත්තට ඔට්ටු අල්ලා රුපියල් පහක් දිනූවද, එම පක්‍ෂයට කිසි දිනක ඡන්දය නොදුන් මම අද කිසිදු පක්‍ෂයක් නැතිව දේශපාලන වශයෙන් අනාථ වී සිටිමි.
![]() | රසික සූරියආරච්චි ලියූ "සිව් වසරක් මරදානේ" (2012) කෘතියෙන් උපුටා ගන්නා ලදී. ප‍්‍රකාශනය දයාවංශ ජයකොඩි සමාගම. |
(image: http://srilankanexpatriates.blogspot.com.au/2011/04/rare-collection-of-sri-lankan-currency.html)
