
වදුරන් සහ විලියම් ශේක්ස්පියර් කෘති පිළිබඳ කතාව අසා තිබේද?
මෙය ඇත්තටම ප්‍රමේයයක් හෙවත් තියරම් එකකි.
මේ ප්‍රමේයයට අනුව, යතුරු පුරුවක අහඹු ලෙස වරකට එක් යතුර බැගින් ඔබන වඳුරෙකු, අනන්ත වාරයක් එසේ කිරීමේ දී, විලියම් ශේක්ස්පියර් විසින් රචිත කෘති සියල්ලම ලියවෙන්නට මුළුමනින් ම පාහේ ඉඩ ඇත.
බැලු බැල්මට විශ්වාස කිරීමට අපහසු ලෙස පෙනෙන ඒ ප්‍රමේයයේ රහස නම් අනන්ත වාරයක් යන්නයි.
මෙහි විලෝමයට සමාන පරීක්‍ෂණයක් සලකා බලමු.
එනම්, උදාහරණයක් ලෙස එකම වස්තු බීජයක් අනන්ත සංඛ්‍යාවක් වූ රචකයින් අතට පත් කළ විට ඔවුන් ඒ අනුසාරයෙන් නිර්මාණය කරන කෘති දෙකක් අකුරෙන් අකුර එක හා සමාන වීමට මුළුමනින් ම පාහේ ඉඩ තිබේ.
මට මේ කරුණ සිහිවූයේ, අද සවස පැවති කවි පොතක් එළි දැක්වීමේ උලෙළක් මෙහෙය වීම සඳහා සූදානම් වීමේ දී ය.
පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ නම් ප්‍රකට කියමනක් ඇත. මා දන්නා පරිදි මේ දෙපදය ඇත්තේ පුරාණ සිංහල කාව්‍ය සංග්‍රහයක් වන කව් සිළුමිණ නම් ග්‍රන්ථයේ ය. එය රචනා කළේ දෙවැනි (පණ්ඩිත) පරාක්‍රමබාහු රජු බව කියවේ.
ඒ කවි දෙපදයෙන් කියවෙන්නේ කවියක රස විඳ ගැනීමට සමත් අය ලොව ඉතා හිඟ බවයි.
ලූලන් හිඟ සිනුවර දී, කවි පොත් එළි දක්වන හෝ ඒ ආකාරයේ කවි හා සම්බන්ධ උත්සව මෙහෙයවීම සඳහා මට ආරාධනය ලැබෙන අවස්ථාවල දී, ඒ පඬි වදන උපයෝගී කර ගැනීම කලක සිට මගේ පුරුද්දයි. ඒ බොහෝ විට උත්සවය ආරම්භයේ දී මා ගායනා කරන කවිය ලෙසයි.
මේ පහත දැක්වෙන්නේ ඒ ආකරයට උත්සව අවස්ථා ත්‍රිත්වයක් සඳහා ඒ එකම අදහස උපයෝගී කරගනිමින් මවිසින් පබැඳ ගායනා වුණු කවි ත්‍රිත්වයකි.
සිනුවර සිංහල ලේඛක සංසදය විසින් සංවිධානය කෙරුණු පටිගත කරන ලද කවි මඩු නැරඹීමේ අවස්ථාව:
කවි පදයක රසය විඳිනට නිසි ලෙසිනා
හැකි නෙත් දුලබ බව පඬි වදනක යෙදුණා
එවදන් සරි කරන පිරිසක් මෙහි සිටිනා
ප්‍රිය දසුනකිය මිතුරනි ඔබ සියලු දෙනා
පාලිත මංචනායක කවියා විසින් සම්පාදිත අන්තර්ජාල කවි සංවාද කෘතියේ දොරට වැඩුම දින:
කවි පදයක රැඳුණු නෙක සිරිරස විඳිනා
දෙනෙතා ඉතා දුලබය එය පඬි වදනා
එය බොරු කරන පිරිසක් අද මෙහි සිටිනා
මම හිස නමමි, පිළිගමි, ඔබ සියලු දෙනා
ඥානතිලක හේවාගමගේ කවියා ගේ ඇවිලිණි කුමරි බඹසර කෘතිය ජනගත කෙරුණු දින:
කවියේ රස හොඳින් විඳගන්නට කියවා
හැකිකම ඇති දෙනෙත් දුලබ ය පැවසෙනවා
අද මෙහි පැමිණි ඔබ සැම ඒ බස් බිඳවා
පිළිගමි සාදරෙන් මම අත් දෙක ඔසවා
අනන්ත වාරයක් බලා නොසිට මීළඟ කවි පොත එළිදැක්වීමේ උත්සවයේ දී ම, වෙනත් පඬි වදනක් අල්ලා ගන්නට මම අදහස් කරමි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
හැකි අයෙකු වෙතොත්, ඒ "පෙදෙහි රස හව් විඳිනා, දෙනෙතා ඉතා දුලබෝ" යන අදහස අන්තර්ගත කර, කවි පිළිබඳ උත්සවයක දී ගායනා කළ හැකි පිළිගැනීමේ කවියක් ඉහත කවි තුන ලියා ඇති විරිතෙන්ම ලියන මෙන් සුහද අභියෝගයක් කරමි.
(image: http://fisherynation.com/)