Saturday, 30 July 2016

මොන්ටිසෝරි කතාවක් - Once upon a time


මා කුඩා කාලයේ එක් දිනක උදෑසන ම, අපේ අම්මා මා හොඳින් ඇඳ පළදවාගෙන, අපේ නිවස අසල බස් යන පාර අයිනේ තිබුණු එක්තරා නිවසක් වෙත රැගෙන ගිය අයුරු මගේ මතකයේ තරමක් අපැහැදිලිව රැඳී ඇත.

ඒ මොන්ටිසෝරියක් හෙවත් පෙර පාසලක් බව මම පසුව දැන ගතිමි.

එහිදී මට අකුරක් දෙකක් ලියන්නට කී ආකාරය ද, ඒ වැඩ පිළිවෙළ මට කිසිසේත් ම දිරවූ නැති හෙයින් මා නැවත එහි යාමට නොහැකිය කියා කියූ ආකාරය ද මට මතකය.

මගේ කතාව තාත්තා ද, අම්මා ද පිළිගන්නට ඇත. ඔවුන ද ජීවිතයේ කිසි දිනක මොන්ටිසෝරි ගිය අය නොවේ.

එනිසා, ඒ මුල් දිනයේ හැර මා කිසි ම දිනක මොන්ටිසෝරියකට හෝ පෙර පාසලකට හෝ ගොස් නැත.

මගේ බාල සොහොයුරාව නම්, ඔහු පාසලට යාමට පෙර වසරේ දී, අප තිදෙනා ම ප්‍රාථමික අධ්‍යාපනය ලද කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලය අසල ම වාගේ පිහිටා තිබුණු, ඩෝරා ගේ මොන්ටිසෝරියට සහභාගී කරවන ලදී.

මාරි මොන්ටිසෝරි නමැත්තියක විසින් අරඹන ලදැයි පැවසෙන මොන්ටිසෝරි පෙර පාසල් ක්‍රමය දැන් නම්, ලංකාවේ මුල් බැස ගත්තකි. වසර දෙකේ දී පමණ නිවසේ දී නැකතට අකුරු කියවන නගරබද ළමෝ බොහෝ දෙනෙකු ඊළඟට යොමුවෙන්නේ නිවෙස් අසල බොහෝ විට පයින් ම යා හැකි දුරකින් පිහිටා ඇති මොන්ටිසෝරියක් හෙවත් පෙර පාසලක් වෙතට ය.

මේ මොන්ටිසෝරිවල දී දරුවන්ට අකුරු ලිවීම, කියවීම, චිත්‍ර ඇඳීම, ගායනය වැනි දේ පුරුදු කරනවා ඇතැයි සිතමි.

මගේ දියණියට ඇගේ වයස අවුරුදු දෙක හමාරේ පමණ සිට, එවකට අප පදිංචිව සිටි මෙල්බර්න් නුවර තදාසන්නයේ පිහිටි දිවා සුරැකුම් (ඩේ කෙයා) මධ්‍යස්ථානයකට යන්නට සිදුවුණු අතර එහිදී ඇයට අකුරු උගන්වනු ඇතැයි යැයි අපට සිතූ නිසා, ඊට දිනකට දෙකකට පෙර, ලංකාවේ සිරිතට, මම ඇයට සිංහල අකුරු හඳන්වා දුනිමි.

නමුත් ඕස්ටේ‍ර්ලියාවේ ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථාන යනු ළදරුවන් ට අකුරු උගන්වන ස්ථාන නොවන බව අපට ටික දිනකින් ම වැටහිණි.

කොටින් ම, පාසල් යාමට පෙර වසරේ ඇය එවකට සහභාගී වූ දිවා සුරකුම් මධ්‍යස්ථානයේ විශේෂ පෙර පාසල් වසරේ වැඩ සටහන්වලට ද සහභාගී වුණු නමුත්, එහි දී ද, එක්තරා පිළිවෙළකට සිදු කෙරුණු නමුත් ඒ සමගම අවිධිමත් යැයි ද හැඳින්විය හැකි අධ්‍යාපනය හැරුණු විට කිසිදු විධිමත්, එනම් පොතේ පතේ ඉගෙනීමක් හෝ අකුරු ඉගැනීමක්, සිදු නොවුණි.

නමුත්, ඇය පෙර පාසල් වසර අවසානයේ, පාසල් යන දිනය වෙන විට ලෝකයේ විවිධ දේ ගැන, මා ඒ සමාන වයසේ දී ලබා නොතිබුණු ආකාරයේ, පුදුමාකාර දැනුමක් ලබා සිටියා ය.

-රසිකොලොජිස්ට්