
කණිෂ්ඨ විද්‍යාලයේ දී අපට ඉංග්ලිෂ් ඉගැන්වීම ඇරඹුණේ තුන්වෙනි ශ්‍රේණියේ දී ය. ඒ ගණිතය, සිංහල, සෞඛ්‍යය, පරිසරය, බුද්ධාගම සහ චිත්‍ර වැනි අන් සියලුම විෂයන් අපට ඉගැන්වූ අපේ පන්තිය භාර හේමාවතී ටීචර් නොව වෙනත් ගුරුවරයෙකු විසිනි. අවාසනාවටකට මෙන් ඔහු ගේ නම අද වන විට මගේ මතකයෙන් ගිලිහී ගොස් ඇත.
නමුත්, සී.ඒ.ටී. කැට්, බී.ඒ.ටී බැට් යනුවෙන් සරල ඉංග්ලිෂ් වචන ඔහුගෙන් ඉගෙන ගත් බව නම් මගේ මතකයේ රැඳී ඇත්තේ විශාල සටහන් පොතක අදාළ රූප ඇඳ, ඒ වචන ලොකු අකුරෙන් ලියන්නට ඔහු අපට නියම කළ බැවිනි.
මේ ගුරුවරයා පාසලට පැමිණියේ බයිසිකලයක් පදිමින් බව ද මගේ මතකයේ ඇත. බයිසිකලයේ නගින්නට පෙර ඔහු තම දිග කලිසමේ කකුල් ඇලිස් බෑන්ඩ් එකක් වැනි ක්ලිපයකින් ආවරණය කරන බව මා දැක ඇත. එසේ කළේ, කලිසම් වාටිය සයිකලයේ දම්වැල වැනි තැන්වල ගෑවී කිලිටි වීම වැළැක්වීම සඳහා යැයි සිතමි.
හතරවෙනි ශ්‍රේණියේ දී අපට ඉංග්ලිෂ් ඉගැන්වූයේ එදිරිසිංහ වැනි නමක් තිබූ ගුරුවරයෙකි. සිසුන් ඔහුට වංකනාසික තිස්ස කියා කී බවට තරමක මතකයක් මට ඇත.
වංකනාසික තිස්ස පාසලේ ගුරු නිවාසයේ පදිංචිව සිටි නිසා දෝ ඔහුට ඉංග්ලිෂ් ඉගැන්වීමට අමතරව, වතු වැඩ නම් විෂය ද භාර වී තිබුණි.
අප තුන්වෙනි ශ්‍රේණියේ දී සිටියදී දේශපාලන පත්වීමක් යැයි මා පසුව සිතූ පත්වීමක් ලැබ අලුතෙන් විදුහලට පත්ව ආ මුල් ගුරුවරයා වූ දයාරත්න, ඒ ගුරු නිවාසයට තම හිමිකම පෑ නිසා දෝ වංකනාසික තිස්සට පසු කලෙක ඒ ගුරු නිවාසයෙන් ඉවත් වී යන්නට සිදුවිය.
අප පහේ පන්තියේ සිටියදී එක් දිනක ඉංග්ලිෂ් පාඩම නිම වූ පසු පන්ති කාමරයට පැමිණි ඉංග්ලිෂ් හැර අන් සියලුම විෂයන් අපට ඉැගන්වූ අපේ පන්තිය භාර බමුණුසිංහ ගුරුවරිය, කළුලෑල්ලේ ලියා තිබුණු දෙයක් දැක, අල්ලපු පන්තියේ උගන්වමින් සිටි නිකුලස් නම් ගුරුවරයා කරා ගොස් යමක් පැවසූවා ය.
මගේ මතකයට අනුව ඔවුන් දෙදෙනා කතා වුණේ, එදා පාඩමේදී ඉංග්ලිෂ් ගුරුවරයා විසින් පිටි සඳහා ඉංග්ලිෂ් වචනය වන flour යන්න ලියා ඇත්තේ flower ලෙස බවයි.
මා ඒ බව දන්නේ ගුරුවරු දෙදෙනෙකු අතර පැවති සතර කන් මන්ත්‍රණයකට මා රහසේ ඇහුම් කන් දුන් නිසා නම් නොවේ. අපේ පන්තිය භාර බමුණුසිංහ ගුරුවරිය විසින් මා ඔවුන් වෙත කැඳවා, ඉහත වචනය පිළිබඳව මගෙන් විමසූ හෙයිනි.
මල වෙනුවට මළ කියා ලියන, තණ වෙනුවට තන කියා ලියන අප, flour වෙනුවට flower කියා ලිවීමේ ලොකු වරදක් මට නොපෙනුණි!
-රසිකොලොජිස්ට්
(image: http://www.craftsy.com/blog/2013/11/types-of-flour/)