


මේ දිනවල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වේ. මම ද එය ඇරඹුණු සිකුරාදා එහි ගියෙමි.
එහි දී මා නොදන්නා ලේඛකයෙකුගේ පොත් එළිදැක්වීමක අවසන් පැය කාලට සහභාගී වීමට මට ඉඩකඩ ලැබුණි.
ප්‍රදර්ණය කෙසේ වෙතත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී විකිණෙන්නේ පොත් ය.
පොත් ලියන්නේ ලේඛකයින් ය.
එනිසා පොත් ප්‍රදර්ශනයේ දී ලේඛකයින් යනු ඉහළින් ම සැළකුම් ලබන පිරිස යැයි නොදන්නා අයට සිතෙනු ඇත.
එහෙත් යථාර්තය ඊට වෙනස් ය.
පොත් ප්‍රදර්ශනයේ නොවැදගත් ම පිරිස පොත් ලියූ ලේඛකයින් බව මට පැහැදිලි වීය. ඒ සඳහා හොඳම උදාහරණය නම් පොත් එළිදැක්වීම සඳහා ලබා දී ඇති මෙම ඡායාරූපවල දැක්වෙන හරක් මඩුවක් වැනි ස්ථානයයි.
මෙම ස්ථානය, පොත් එළිදැක්වීම සඳහා භාවිතා කිරීම යෝජනා කර අනුමත කළ අය නම් පොත් ලියන අය හෝ පොත් කියවන අය හෝ පොත් අගය කරන අය හෝ විය නොහැකි ය.
මෙම මඩුව අවට විවිධ ශබ්ද විකාශන පණිවිඩ සහ සංගීතයෙන් පරිසරය පිරී පවතී.
එහි බිමට ඇත්තේ තණකොළ නිසා අවශ්‍ය නම් උලාකෑම ද කළ හැක.
මඩුව තුන් පසකින් විවෘත නිසා වැස්සොත් අබ සරණ ය
ගිය වසරේ ඔහු සහභාගි වූ දෙල්පචිත්ර නම් නාට්‍යකරුවාගේ පොත් එලිදැක්වීමේ උත්සවෙය් දී මේ පිළිබඳ විරෝධය පෑ මා මිත්‍ර ලේඛක හෙන්රි වර්ණකුලසූරිය ඒ සති අන්තයට නියමිත වූ ඔහුගේ පොත් එළිදැක්වීමේ උත්සවය විජේරාම මාවතේ ඉංජිනේරු ආයතනයට තැන් මාරු කළේය.
නමුත් මේ වසරේ ද වෙනසක් සිදුවී නොමැති හැඩයි.
චීන පොත් එළිදැක්වීමක් නම් මීට වඩා හොඳ ශාලාවක සිදුවෙනු පෙනුනි.
හෙට ඉරිදා, හවස, මෙම ස්ථානයේ දී ම, මා මිත්‍ර පාලිත ගනේවත්තගේ ඇනා ගෙළ පැළඳ කෘතියේ එළිදැක්වීමට සහභාගී වීමට මට සිදුවේ.
අහෝ ඛේදයකි.
-රසික සූරියආරච්චි