Sunday 2 August 2015

හෙලිකොප්ටරෙන් පක්‍ෂ රැස්වීමට ගිය කතානායකට තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිදුවේ - Good riddance


සතුට දනවන ආරංචියක් සවස් යාමයේ ලැබුණි.

එනම්, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ වත්මන් කතානායකවරිය බ්‍රොන්වින් බිෂෝප් සිය තනතුරෙන් ඉල්ලා අස්වූ පුවතයි. මෙය අද මේ රටේ මධ්‍යම රජය කරන ලිබරල් පක්‍ෂයට සිදුවුණු තාවකාලිය නමුත් බලවත් පසුබෑමක් ලෙසත්, රටේ ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙසත් සැලකිය හැකිය.

මේ සිද්ධියේ පසුබිම මෙලෙසය.

කොයි රටේත් මෙන් මේ රටේ ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී, ඇමති, අගමැති, විපක්‍ෂනායක මෙන්ම කතානායකට ද විවිධ වරප්‍රසාද ඇත. කොම්කාර් නමින් හැඳින්වෙන ටැක්සි වැනි සේවාව, රට අභ්‍යන්තර ගුවන් ගමන්, හෝටල් ගාස්තු, වෙනත් වියදම් ගාස්තු, තම ආසනයේ කාර්යාලයක් පවත්වා ගැනීමට අවශ්‍ය සම්පත් සඳහා වියදම, කැන්බරා නුවර නවාතැන් ගාස්තු යනාදී පහසුකම් ඒ අතර වේ. මේ හැම පහසුකමක් ම භාවිතා කිරීමේ දී ඒ සඳහා අදාළ නීති රීති මාලාවක් ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.

එසේ වෙතත්, මේ සමහර මන්ත්‍රීලා, ඇමතිලා පමණක් නොව, කතානායක ලා ද විසින් තම වරප්‍රසාද අපයෝජනය කළ අවස්ථා විටින් විට පුවත්පත් මගින් හෙළිදරව් කරනු මා දැක ඇත. ඒ සඳහා මූලිකවම හේතු වෙන්නේ ලංකාවේ පසුගිය කාලයේ අසන්නට ලැබුණු කාරණයක් වන තොරතුරු දැන ගැනීමේ අයිතියයි.

මූල්‍ය දුෂණ සහ වෙනත් ජඩ වැඩ කිරීම ලේසිය, නමුත්, තොරතුරු දැන ගැනීමට මහජනයාට ඇති අයිතිය නිසා ඒ හොර වැඩ බොහෝ විට හෙළිවේ.

මේ ආකාරයේ දූෂණ වංචාවලට අසු වූ ඕස්ට්‍රේලියානු මන්ත්‍රීලා කීප දෙනෙකු ගැන මම කලින් ලිපියක විස්තර කළෙමි.

මීට කලින් පාර්ලිමේන්තුවේ කතානායකාව සිටි පීටල් ස්ලිපර් නමැත්තා ද, තමන්ට රාජකාරී ගමන් සඳහා භාවිතා කිරීමට වෙන් කර ඇති ටැක්සි වවුචර් පාවිච්චි කර පුද්ගලික ගමන් කිහිපයක් ගිය හැටි හෙළි වී අමාරුවේ වැටුණි.

වත්මන් කතානායිකාව වන බ්‍රොන්වින් බිෂොප් නමැත්තිය ගේ හෙළිදරව් වුණු මුල්ම හොරකම වූයේ තම දේශපාලන පක්‍ෂයේ රැස්වීමකට යෑම සඳහා රජයේ මුදලින් හෙලිකොප්ටරයක් වෙන්කරවා ගෙන පාවිච්චි කිරීමයි. තම පක්‍ෂයේ උත්සවය ගැන නො කියා, එය කතානායක නිලයේ රාජකාරියක් ලෙස ඇය අදාළ ලියකිලිවල දක්වා ඇත. මෙය හෙළිදරව් වුණු මුල් අවස්ථාවේ සිටම ඇය කළේ තමන් වරදක් කර නැති බව නැවත නැවත පවසමින් සිටීමයි.

අගමැති ටෝනි ඇබට්ගෙන් ද එයට අනුබල ලැබුණි.

ඒ අතර ඇය විසින් ඊට පෙර කරන ලද මෙවැනි හොර වැඩ රාශියක් ගැන තොරතුරු පුවත්පත් මගින් හෙළිදරව් කරන ලදී. ඉන් එකක් වූයේ තම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ගේ විවාහ උත්සවයට සහභාගී වීම සඳහා දු බැහැර පළාතකට යෑමට රජයේ වියදමින් ගුවන් ගමන් ගාස්තු සහ හෝටල් ගාස්තු සපයා ගැනීමයි. තමන් ප්‍රධානත්වය දරන එක්තරා පාර්ලිමේන්තු කමිටුවක වැඩ කටයුත්තකට ඒ දුර බැහැර නගරයට ගිය බව අදාළ ලියකියවිලිවල ඇය සඳහන් කර ඇත.

මෙවැනි අකටයුතු රාශියක් එළිවෙද්දී ඇය කළේ, මුලින් ඒ හෙලිකොප්ටර් කුලිය ගෙවා අවසානයේ මජහනතාවගෙන් සමාව ගැනීමයි.

නමුත් පක්‍ෂය අභ්‍යන්තරයෙන් ද, ජනතාවගෙන් ද එල්ල වුණු අප්‍රසාදය හමුවේ ඇය අද සිය ඉල්ලා අස්වීම අග්‍රාණ්ඩුකාරයා වෙත යවා ඇත.

සමහර විට ඇය මින්පසු මැතිවරණවලට ඉදිරිපත් නොවී විශ්‍රාම යෑමට ද ඉඩ තිබේ. මූලිකවම ඇයට යළිත් තම පක්‍ෂයෙන් නාමයෝජනා නොලැබෙනු ඇත. ලැබුණත් බහුතරයක් ඡන්දදායකින් ඇයට ඡන්දය නොදෙනු ඇත.

ඒ කෙසේ වෙතත්, සෑහෙන කාලයක් පාර්ලිමේන්තුවේ කල් ගෙවා ඇති අයට රටේ සාමාන්‍ය වැටුප මෙන් තුන් හතර ගුණයක් තරම් වූ ඉතා සුපිරි විශ්‍රාම වැටුපක් මිය යන තෙක් ලැබෙනු ඇත.

-රසිකොලොජිස්ට්

(image: http://theaimn.com/the-continuing-saga-of-bronwyn-bishop/)

16 comments:

  1. පොලිටික්කො මහජන මුදල් කොල්ල කෑවෙ කොයි රටේද?
    ඕට්ටෙලියාවෙ, ඕට්ටෙලියාවෙ
    ඕට්ටෙලියාවෙ එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ

    සුද්දන්ට එන්න කියමු, ඇවිදින් ඉගෙන ගන්න කියමු

    ReplyDelete
  2. අනේ එහෙමත් රටවල්,, අපේ රටේ ඔහොම දෙයක් කරානම් අපේ කතා නායක හම්මේ .. ඔය රටවල් වල වගේ නෙමේනේ අපේ සී ලංකාවේ සැමට එකම නීතිය.

    ReplyDelete
  3. ///සමහර විට ඇය මින්පසු මැතිවරණවලට ඉදිරිපත් නොවී විශ්‍රාම යෑමට ද ඉඩ තිබේ. මූලිකවම ඇයට යළිත් තම පක්‍ෂයෙන් නාමයෝජනා නොලැබෙනු ඇත. ලැබුණත් බහුතරයක් ඡන්දදායකින් ඇයට ඡන්දය නොදෙනු ඇත.///

    තනියම බැරි කවුරුවත් නැද්ද ඇය සමග යලි නැගිටිමු කියන්න?

    ReplyDelete
  4. //කොටි රටේත් මෙන් මේ රටේ ද// මොකක්ද රසිකයියේ ඔය කොටි රට...... ටයිප් කරලා කරලා ම වදින්නේ ඔ්වාද????

    මේකයි රසිකයියේ........ ඔය රටේ ජනතාව මේ රටේ ජනතාවට වඩා දේශපාලනික ව දැනුවත් කියන ඒකයි ඒකෙන් කියන්නේ..... අපේ කට්ටිය ඔහේ හිටියානම් ඉතින් විසුරුවන්න පාර්ලිමේන්තුවක් ඉතුරුවෙන ඒකක් නෑ මයෙ හිතේ.....

    ReplyDelete
    Replies
    1. ........කොයි රටේත් මෙන් මේ රටේ ද.......

      Corrected, thanks.

      Delete
  5. //කොයි රටේත් මෙන් මේ රටේ ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී, ඇමති, අගමැති, විපක්‍ෂනායක මෙන්ම කතානායකට ද විවිධ වරප්‍රසාද නැත.//

    "ඇත" නේද වෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. මේක විහිළුවක් නෙමේද ඇනෝ, ඇත කියලා ලිවුවොත් ඒකෙ දෙයක් නෑනේ.

      Delete
    2. @ Anonymous
      නිවැරදි කළා, ස්තුතියි!

      Delete
    3. @ඔමාගේ හීන
      මට තේරුන විදිහට රසික මේ වාක්‍යයෙන් කියන්න උත්සහ කලේ ඕනෙම රටක තියන absolute privilege ගැන වෙන්න ඕනෙ.

      Delete
    4. බලන්න ඇනෝ මං හිතුවේ වෙන විදියකට.

      Delete
  6. මේ වගේ චෝදනා වලට අපේ රටේ ඉල්ලා අස් වෙන්න ගියොත් පාර්ලිමේන්තුවක් නැත්තටම නැති වෙයි.

    ReplyDelete
  7. ඔය ඕස්ට්‍රේලියාව තියෙන්නෙ මොන ලෝකෙද අම්මපා.....ඔහොමත් ඉල්ලා අස් වෙන රටක් තියෙනවද හැබෑටම. අනෙක ආංඩුවෙ වියදමින් ඔහොම ගමනක් බිමනක් යන්නවත් බැරි නං කවුන්සිලේට පත් වෙන්නෙ අහවල් දේකටද හැබෑටම....

    ReplyDelete
  8. එහෙත් පැන්ෂන් එක දෙනවා එහෙනං?

    ReplyDelete
  9. රසික විහිළුකරනවා.මේ රටේ අයත් ඔහොම කලොත් අපේ උගත් බුද්ධිමත් ඡන්දදායකයන්ට ඡන්දේ දාන්න ඔහේට එන්න වෙනවා.

    ඔහේත් මන්ත්‍රී පැන්සොන් එක වැඩිකරන යෝජනා ගෙනාවහම හැමෝම අත උස්සනවාද?

    ReplyDelete
  10. අහන්නත් ආසයි. ලංකාවෙත් තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරගන්න යනවනේ. ඒ වගේ දේවල්වලින් මෙහෙත් ඔය වෙනස ඇති කර ගන්න පුළුවන්නම් ලොකු දෙයක්. ඒත් අවාසනාවන්ත විදියට ලංකාව වගේ රටවල මහා සංස්කෘතිය ම හොරකම, මැරකම අනුමත කරන, තහවුරු කරන එකක්. ඒක වෙනස් කරගන්න එක තමයි මහා ම ප්‍රශ්නය ! http://syberheartblog.blogspot.com/

    ReplyDelete
  11. එයා දැන් සුදුසුකම් ලබල තියනව ලංකාවෙ ඡන්දෙ ඉල්ලන්න. එන්න කියන්න මෙහෙට.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.