Thursday 31 August 2017

රාජ්‍යය සහ සංස්ථාපිත ආගම් අතර අශුද්ධ සන්ධානය පිළිබඳ සටහනක් - Axis of evil


සංවිධානය වූ ආගම් යනු මූලිකව ම මිනිසුන්ගේ රැවටීම මත ගොඩ නැගී, සවිමත් වී, පැවතෙන කූට ව්‍යාපාර විශේෂයක් ය යන්න ආගමික අන්ධයින්ට හැර අන් සියලු දෙනාට ම සක්සුදක් සේ පැහැදිලි විය යුතු සත්‍යයකි.

එසේ ම, අල්ලාගෙන සිටින රාජ්‍ය බලය රැකගෙන දිගින් දිගට ම පවත්වාගෙන යාම තම ප්‍රධාන පරමාර්ථය ලෙස සලකන දේශපාලුවන්ට ද ඒ සඳහා අවශ්‍යවන්නේ ජනතාව දිගින් දිගම රැවටීමට බව ද අපි දනිමු.

එනිසා, සංවිධානය වූ ආගම් සහ රාජ්‍යය කරන දේශපාලුවන් ඒ එකම අරමුණ උදෙසා එකට කඳවුරු බැඳීමේ කිසිදු පුදුමක් නැති බව පෙනේ.

මේ අශුද්ධ සංධානය අද ඊයේ සිදු වූවක් නොව මිනිස් ශිෂ්ටාචාර ආරම්භයේ සිට ම සිදු වූවකි. බුදුන් සහ ජේසුන් වැනි ආගම් කතුවරු තම දහම රාජ්‍ය බලයෙන් තොරව පැතිරවූයේ වුව ද, ඔවුන්ගේ මරණයෙන් පසු ඒ දහම විකුණමින් බෞද්ධ සහ කතෝලික ආගම් දෙක සංස්ථාපිත වූයේ රජුන් හා එකතුව ජනතාව රැවටීමේ පොදු අවශ්‍යතාවය පෙරදැරී කරගෙන ය. ඒවා අද පැවතෙන්නේ ද, බොහෝ දුරට ඒ ආකාරයෙන් ම බව ද පැහැදිලිව පෙනේ.

ලංකාවේ අද පවතින සියලුම ආගමික සංස්ථා ද මුලින් ඇරඹුණේ, ඒ ඒ කාලවල සිටි රජුන්ට බෝලය බස්සවා, ඇම කවා බව අප අසා ඇත. තමන් නිරතුරු කරන ජඩ වැඩ එළිපිට කරනවාට වඩා ආගමට මුවා වී කිරීම ඊසි-පීසි බව පහසුවෙන් ම වටහා ගත් රජාලා ද, ක්‍ෂණයකින් ම වැඩේට සෙට් වූහ.

මා කියවා නැති වුණත්, මැකියවේලීලා ද, කෞටිල්‍යලා ද, විෂ්ණු ශර්මාලා ද, මේ ආකාරයෙන් පූජකයින් සහ රජය කරන්නන් යන දෙපාර්ශවයට වින්-වින් තත්වයක් උදා කරන ඔවුන් ගේ අශූද්ධ සන්ධානයේ ඇති වැදගත්කම ගැන ලියා තියෙනවාට සැක නැත.

කෙසේ වෙතත් මේ අශුද්ධ සන්ධානය කඩා ආගම සහ රාජ්‍යය වෙන් කිරීම නම්, අර නිර්ධන පන්තියේ ආඥාදායකත්වය උදා කිරීම වැනි, කිසිදාක කළ නොහැකි තරමේ අසීරු කාර්යයක් දෝ යැයි සිතේ.

මා වසන ඕස්ට්‍රේලියාව යනු සෑහෙන දුරකට ආගම සහ රාජ්‍යය වෙන්කර පවත්වාගෙන යන රටකි. උදාහරණ කිහිපයක් සඳහන් කළහොත්, රජයේ පාසල් ආරම්භයේ දී පන්සිල් ගැනීම් වැනි ආගම් සිහි කිරීමක් නැත. පාසල අවසානයේ දී "යෝවද තම්පව" හෝ "රෝමනු ජේසු" හෝ කීමක් නැත. රජයේ වියදමෙන් පාසල්වල ආගම උගන්වනු නොලැබේ. අවශ්‍ය අය සඳහා හැමට පොදු පාඩමක් ඇති අතර, දෙමව්පිය කැමැත්ත මත අපේ ළමුන් කළාක් මෙන් ඒ වෙලාවේ පුස්තකාලයට යාමට හැක. විෂයයක් ලෙස සංසන්දනාත්මක ආගම් ගැන උසස් පෙළ සඳහා ඉගෙන ගැනීමට නම් පහසුකම් සැපයෙතත් ආගම් සඳහා පොදු බදු මුදල් වැය කිරීමක් ගැන අසන්නට නැත.

තත්වය එසේ නමුත්, තවමත් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ඇරඹෙන අවස්ථාවේ දී දෙවියන්ට යාඥාවක් කියනු ලැබේ. මෙය වසර සියයකටත් ඉහත කාලයක දී ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ඇරඹූ කාලයේ සිට පැවත එන, තවමත් ඉවත් කර නැති, සම්ප්‍රදායකි.

ඒ හැර ආගම් සහ රාජ්‍යය අතර සම්බන්ධයක් ඕස්ට්‍රේලියාවේ දැකිය නොහැකි තරම් ය.

පාසල් ආරම්භයේ දී මෙන් ම, වෙනත් රාජ්‍ය උත්සව ආරම්භයේ දී ද, පන්සිල් ගැනීම ආදී ආගමික කටයුතු කෙරුණ ද, ලංකාවේ පාර්ලිමේන්තුවේ නම් සිල් ගැනීම් හෝ වෙනත් ආගමික කටයුතු නොකෙරෙන බව මගේ විශ්වාසයයි. කොහොමටත්, පාර්ලිමේන්තුවේ ඉන්නා බහුතරයක් හොරුන් සහ බොරුකාරයින් බවත්, තවත් පිරිසක් බඩුකාරයින් සහ අනියම් මිනීමරුවන් බවත්, ඒ මිස පන්සිල් රකින්නන් නොවන බවත්, අමුතුවෙන් කිව යුතුව නැත.

ලංකා පාර්ලිමේන්තුවේ ආගම් ඇදහීමක් නොවුණත්, රාජ්‍යයේ කටයුතුවලට ආගම්වල බලපෑම ඉතා විශාල බව බැලු බැල්මට ම පෙනේ.

මෙහි දී මුලින් ම අපට පෙනෙන්නේ, සංස්ථාපිත ආගම් ප්‍රෝඩාව රාජ්‍ය මට්ටමෙන් ද පවත්වා ගෙන ගොස් ජනතාව දිගින් දිගටම මුළා කිරීමේ ව්‍යාපෘතිය සඳහා, රජය විසින් ආරම්භ කර විශාල පිරිවැයක් දරමින් පවත්වාගෙන යන බුද්ධ ශාසන, ක්‍රිස්තියානි කටයුතු, හින්දු ආගමික කටයුතු සහ මුස්ලිම් ආගමික කටයුතු යනා දී අමාත්‍යාංශ ගොන්නයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්‍ෂාව, නීතිය හා සාමය වැනි කරුණු නම් රාජ්‍යයේ විෂයය පරාසයට ඇතුළත් විය යුතු බව පැහැදිලි වුවත්, අතිශය පුද්ගලික කාරණයක් වූ ආගමික කටයුතු සඳහා අමාත්‍යාංශ අවශ්‍යවන්නේ ඇයි දැයි මට නම් නොතේරේ.

බෞද්ධ කටයුතු සඳහා ඇමතියෙකු පත් කරන ලෙසත්, ප්‍රතිපාදන සපයන ලෙසත්, බුදුන් කිසි දිනයක කොසොල් රජාගෙන් හෝ, සුද්දෝධනගෙන් හෝ ලිච්ඡවිලා සෙට් එකෙන් ඉල්ලූ බවක් මා නම් අසා නැත.

ලෝකයේ ඇති අනෙකුත් ආගම්වන ෂින්ටෝ, යුදෙව්, සීක්, බහායි වැනි ආගම් ලංකාවේ නැත්තේ රටේ අයවැයේ යහපතට බව පෙනේ.

බුද්ධිමත් රාජ්‍ය නායකයෙකු සහ රජයක් ලංකාවේ වැරදීමකින් හෝ බිහිවුණු දිනයක මේ ආගමික අමාත්‍යාංශ සියල්ල විසුරවා දමනු ඇතැයි සිතා සැනසීම හැර අපට කළ හැකි අන් දෙයක් තියේ ද?

සංස්ථාපිත ආගම් සහ රාජ්‍යය අතර ඇති මේ අශුද්ධ සන්ධානය නිසා ලංකාවේ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින ව්‍යවසනයන් බොහෝ ය. ඒ බොහොමයකට හේතුව වී ඇත්තේ, රාජ්‍යය සමග තමන් අයිති සංස්ථාපිත ආගමේ ඇති අශුද්ධ සංධානයේ බලයෙන් මත් වෙන ආගමික නියෝජිතයින් ඉන් පසු රාජ්‍යයේ කටයුතුවලට අයුතු ලෙස බලපෑම් කරන්නට යෑම නිසා ය.

සඟ බලවේගය කරට ගෙන රජ පුටුවට ගිය සොලමන් බණ්ඩාරනායකට වූ දෙය ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වේ.

මේ කරුණු සියල්ල මගේ සිතට නැගුණේ පසුගිය දිනවල, විශේෂයෙන් ම ෆේස්බුක් හරහා, අසන්නට ලැබුණු සංස්ථාපිත ආගම් ලොක්කන්ගේ පිස්සු කෙළි කිහිපයක් නිසා ය.

විවිධ හේතු මත අනවශ්‍ය කළල ගබ්සා කිරීමට නීතියෙන් අවසර දීමට ඇති සැලසුම පිළිබඳව කතෝලික පල්ලිය විසින් නගා ඇති විරෝධය ඉන් එක් කරුණකි.

අන් බොහෝ දෙනෙකු පවසා තිබුණාත් මෙන් ම, මේ සම්බන්ධයෙන් මගේ අදහස ද වන්නේ, කතෝලික පල්ලියට තමන් අවශ්‍ය නම් තම අනුගාමිකයින්ට නීති පනවා ගන්නවා මිස, රටේ පොදු නීති සම්පාදනයට බලපෑම් කරන්නට අයිතිවාසිකමක් නැති බවයි. මෙය මීට කලින් ඔවුන් සාර්ථකව කර ගත් ආකාරයේ ඩාවින්චි කෝඩ් පොත හෝ චිත්‍රපටය තහනම් කිරීම වැනි සරල කාරණාවක් නොවේ.

ඒ ආකාරයේ දෙවන සිද්ධිය වූයේ, කතරගම පැත්තේ දේවාලයක වුණු කලබගෑනියයි. බුද්ධිමත් රාජ්‍ය නායකයෙකු සහ රජයක් අද ලංකාවේ වැරදීමකින් හෝ බිහිවී තිබුණා නම් මේ අවස්ථාවේ දී සිදුවිය යුතුව තිබුණේ ඒ මහා ප්‍රෝඩාව සදහටම නතර කර දැමීමයි.

ඒ වෙනුවට සිදුවුණේ, මෝඩයින් හැත්තක ගේ මුදල් කපටියන් කිහිප දෙනෙකු අතර කෙසේ බෙදී යා යුතුද වැනි අදින්නාදාන පාපයක් සම්බන්ධ මේ කුණු ගොඩ නිරාකරණය කර ගැනීම සඳහා හොරකම පවක් ලෙස සලකන බුද්ධාගම තම දඩමීමා කරගෙන සිටින බුද්ධ ශාසන අමාත්‍යාංශය මැදිහත් වීමයි!

තුන් වෙනි කාරණය ගැන ෆේස්බුක් හි ආරංචිය පැතුරුණේ ඊයේ ය. පොළොන්නරුවේ කවුදෝ ගනින්නාන්සේ කෙනෙකු පෝයදාට කඩ වහන්නට යැයි කියා නගරයේ ව්‍යාපාරික ස්ථානයකට ලිපියක් යවා ඇත.

බබා ස්වරයෙන් ලියා තිබුණද, එහි අන්තර්ගතයේ ඇති තර්ජනය ඉතා පැහැදිලි වේ. කොටින් ම, දැන් සති කිහිපයකට කලින් පුවත් මැවූ භාවනා කරපං ඩෝ *රියා සහ යනවද නිවන් නැතිනම් අපි අරින්ඩ ද ආකාරයේ මහා කාරුණික ඉල්ලීමකි.

වසර තිහකට කලින් භීම සමයේ ජවිපෙ බළල් අතක් වූ කුඩහපොළ බලකාය වැනි ත්‍රස්තවාදීන් මේ ආකාරයේ කඩේ වහපිය ඩෝ සෙනෙහෙ කොළ යැවූ අතර, ඒවා පිළි නොපදින බුලත් තට්ටුකාරයින් පවා ජවිපෙ මිනීමරු අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් මරා දමන ලදී. ඒ ඉන්දු ලංකා ගිවිසුම දඩමීමා කරගත් ජාතිවාදී ව්‍යාපාරයක ක්‍රියා ය.

කාලයක් තිස්සේ ජඩ වැඩ කරමින් රට ගඳ ගැස්සවූ නානසාර නිහඬ වී ඇති මේ මොහොතේ සිදුවුණු මේ ගනින්නාන්සේගේ ක්‍රියාව ප්‍රාදේශීය ආගමික ත්‍රස්තවාදයක පෙරනිමිත්තක්දැයි සැකයක් ඇති වීම සාධාරණ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සංස්ථාපිත ආගම්වලට රැවටී ඉන්නා අයගේ සහයෝගය ලබා ගැනීම පිණිස ලංකාවේ රාජ්‍යය විසින් කර ඇති එකම අකටයුත්ත මා පෙර සඳහන් කළ අමාත්‍යාංශ පිහිටුවා මහජන මුදල් නාස්ති කිරීම පමණක් නොවේ.

ඊට අමතරව, ව්‍යවස්ථාවේ බුද්ධාගම සුරැකීමක් ගැන නොමනා සඳහනක් කිරීම, පෝය නිවාඩු දහතුනක් රජයේ නිවාඩු දින ලෙස නම් කර රටේ ඵලදායීතාව අඩු කිරීම, "ගනිං ඩෝ පන්සිල්" න්‍යායෙන් පෝය දිනවල මත්පැන් අලෙවිය තහනම් කිරීම, පන්සල් සහ පල්ලිවලට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පරිසරය දුෂණය කරන්නට ඉඩ දීම, ආගමික දිනයන් හි දී, බැනර් දැමීමට, ගොඩනැගිලි ආලෝකමත් කිරීමට මහජන මුදල් නාස්ති කිරීම යනාදිය ද දැක්විය හැකි ය.


(image: )

22 comments:

  1. කලින් කලට ලියන්න මාතෘකා සැපයීමවත් අගය කරමු. වෙන මොනව කරන්නද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා?
      කවදා මේ මෝහන්ධකාරයෙන් රට ගැලවෙයිද?

      Delete
  2. මේ හාමුදුරුවෝ කලින් දේශප්‍රෙමි ජනතා ව්‍යාපාරේ ඉදල තියේ මං හිත්නනේ.

    ReplyDelete
  3. Very best article !!! Thank you wewa !!!

    ReplyDelete
  4. මේ ආගමික ත්‍රස්තවාදීන්ටත් රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරවන්න ඕනේ.දේශපාලඥයින් වගේ ඒ අයත් රටේ නීතියට උඩින් ඉන්න යන්නේ ඒ නිසයි මේ අනවශ්‍ය ප්‍රශ්න බොහොමයක් ඇති වෙලා තියෙන්නේ.අනිත් කරුණ ආගමික නායකයින්ට ඕනේ විදියට ආණ්ඩුව රට පාලනය කරන එක නතර කරන්න ඕනේ.නැතුව මේ විකාර හරි යන්නේ නැහැ.දැන් අලුත් ව්‍යවස්ථාවක් එපා කියලා අස්ගිරිය කියනවා.අස්ගිරියෙන් නියෝජනය වෙන්නේ රටේ ලක්ෂ 62 ජනතාවද ?

    ReplyDelete
  5. https://srilankanatheists.wordpress.com/

    ReplyDelete
  6. ධර්මය අවබෝධය ලබා දීමට අපිට හැකියාවක් නැහැ ඒක නිසා කඩ වසා වහා නිවන් යනු.

    ReplyDelete
  7. ටෞකන්න තමයි ඉතිං මේව.

    ReplyDelete
  8. රට කරවන යක්කු පුදුම බයක් තියෙන්නේ මේ ආගම්වාදී මළ පෙරේතයන්ට.. ලංකාවම හරියට බූත බංගලාවක් වගේ.. :))

    ReplyDelete
  9. මා මේ සිදුවීම ගැන පවසන්නේ "රාජ්‍යය හා පන්සල" වෙන්විය යුතු බවයි -
    ගබ්සාව පිළිබඳ රජයෙන් නීති ලිහිල් කරන්න සැරසෙන විට කාදිනල්ගේ හැසිරීමත් අවුල් - තමන්ට අදාළ නැති රෙද්දවල් අස්සේ අත දැමීම දැන්වත් මේ පූජකවරු හා භික්ෂූන් නැවැත්විය යුතුයි

    ReplyDelete
  10. රුවන් ගේ එකෙත් කියෙව්වා. රජ වරුන්ම තමයි ආගම අල්ල ගත්තේ රටේ පාලනයට පහසු නිසා. ඕස්ට්‍රේලියාවේ වුනත් නැහැයි කියන්න අමාරුයි නමුත් සාපේක්ෂව හොඳයි. ඩොලර් බිලේ තවම තියෙන්නේ "ඉන් ගෝඩ් වී ට්‍රස්ට් " කියල. එංගලන්තයේ රැජින ඇන්ග්ලිකන් ආගමේ නායකයා. දවුදියේ මක්කම රක්ෂා කරන්නේ සෞදි රජ පවුල. අපිට ඉතින් පුළුවන් හැම තැනම විරෝධය පාන්න තමා තියෙන්නේ.

    ReplyDelete
  11. මේ කදුරුවෙල බලකාය

    ReplyDelete
  12. තව සෑහෙන කලක් බලං ඉන්න වේවි

    ReplyDelete
  13. ප/ලි: [12:29 am AEST 01/09/2017 ]

    සංස්ථාපිත ආගම්වලට රැවටී ඉන්නා අයගේ සහයෝගය ලබා ගැනීම පිණිස ලංකාවේ රාජ්‍යය විසින් කර ඇති එකම අකටයුත්ත මා පෙර සඳහන් කළ අමාත්‍යාංශ පිහිටුවා මහජන මුදල් නාස්ති කිරීම පමණක් නොවේ.

    ඊට අමතරව, ව්‍යවස්ථාවේ බුද්ධාගම සුරැකීමක් ගැන නොමනා සඳහනක් කිරීම, පෝය නිවාඩු දහතුනක් රජයේ නිවාඩු දින ලෙස නම් කර රටේ ඵලදායීතාව අඩු කිරීම, "ගනිං ඩෝ පන්සිල්" න්‍යායෙන් පෝය දිනවල මත්පැන් අලෙවිය තහනම් කිරීම, පන්සල් සහ පල්ලිවලට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පරිසරය දුෂණය කරන්නට ඉඩ දීම, ආගමික දිනයන් හි දී, බැනර් දැමීමට, ගොඩනැගිලි ආලෝකමත් කිරීමට මහජන මුදල් නාස්ති කිරීම යනාදිය ද දැක්විය හැකි ය.

    ReplyDelete
    Replies
    1. සරත් විමලසුරියට මයික්‍රපෝනය බාරදෙමි..

      Delete
  14. බදු නොගෙවන ස්ව්‍යං රැකියා ව්‍යාපෘතියන්ය
    බොරු පුද පූජා සම්ප්‍රදායක් ඇති කොට මහන්සි උපයන මිනිසුන්ගේ සාක්කුවෙන් ගරානා පාරක් දැමීමක්
    විසාල ජනකොට්ටාසයක් දිවි සරි කරගනිති

    ReplyDelete
  15. ඔළුවෙන් හිටන් ඕවා පැහැදිලි කරලා දුන්නත් තේරුම් නොගෙන වැඳ වැටෙන ජනතාවක් ඉන්නකම් මොන ආණ්ඩුවක් ආවත් ඕව වෙනස් කරන්න බැරි වෙයි කියල හිතෙනවා. ඔය ලිපියට කඩේ මුදලාලි යවපු උත්තරේකුත් ෆේස්බුක් එකේ තිබුනා හෙහ් හෙහ්..

    ReplyDelete
  16. අරමුණු පැහැදිලි නැති පෘථග්ජන හිමිවරු සහ පාලකයෝ....

    ReplyDelete
  17. ව්‍යවස්ථාවේ බුද්ධාගම සුරැකීමක් ගැන නොමනා සඳහනක් කිරීම, පෝය නිවාඩු දහතුනක් රජයේ නිවාඩු දින ලෙස නම් කර රටේ ඵලදායීතාව අඩු කිරීම, "ගනිං ඩෝ පන්සිල්" න්‍යායෙන් පෝය දිනවල මත්පැන් අලෙවිය තහනම් කිරීම, පන්සල් සහ පල්ලිවලට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පරිසරය දුෂණය කරන්නට ඉඩ දීම, ආගමික දිනයන් හි දී, බැනර් දැමීමට, ගොඩනැගිලි ආලෝකමත් කිරීමට මහජන මුදල් නාස්ති කිරීම
    සංස්ථාපිත ආගම් සහ රාජ්‍යය අතර ඇති අශුද්ධ සන්ධානය නිසා ලංකාවේ සිදුවෙමින් පවතින ව්‍යවසනයන් ය.

    VERY TRUE MR RASIKALOGY!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.