මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Thursday, 6 July 2017
දැන් කාලේ හැදෙන කොල්ලන් ගේ හැටි! - Generation gap?
මේ ලියන්නේ දාසය වියැති අපේ පුතා ගැනයි.
ඔහු පුදුම කොලුවෙකු බව මට දැන් මාස කිහිපයකට පෙර සිතී, වැටහී, එය සාක්‍ෂි සහිතව ස්ඵුට විය. ඒ සුවිශේෂී අත්දැකීම් දෙක තුනක් මත පදනම් වී මා කරන ප්‍රකාශයකි.
ඉන් මුල් අත්දැකීම මා ලැබුවේ මීට තෙමසකට පමණ පෙර පුතා ගේ පාසලේ අපේ භාෂාවෙන් ස්පෝර්ට්ස් මීට් එක හෙවත් මෙහි යෙදුමෙන් ස්පෝර්ට්ස් කානිවල් එක දවසේ ය.
මේ උත්සවය පැවැත්වුණේ ඔවුන් ගේ පාසල් ක්‍රීඩා පිටියේ නොව, ඊට වඩා පහසුකම් ඇති ජවන හා පිටිය මලල ක්‍රීඩා සඳහා සකසන ලද ක්‍රීඩා පිටියක ය. එය පිහිටියේ පුතා ගේ පාසලේ සිට කිලෝ මීටර් හයක් පමණ දුරිනි.
ඒ ස්ථානයට ළමුන් රැගෙන පාසලෙන් උදේ අටයි හතළිස් පහට බස් රථ පිටත්වෙන බව දන්වා තිබුණත්, නිවසේ සිට පාසල කරා යන අතර මගදී මට වැටහුණේ නියමිත වේලාවට පාසලට යෑමට නොහැකි වෙන බවයි. එනිසා මා ඒ ගමන අමතක කර කෙළින් ම, නියමිත ක්‍රීඩා පිටිය වෙත වාහනය පැදවීමි.
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය යනු, මා ගලහිටියාව මධ්‍යම පාසලේ ඉගෙන ගන්නා කාලයේ අපේ වසරේ ප්‍ර්‍රියතම දිනය විය. ඒ ගැන යටි සිතින් සිතමින් රිය පැදවූ මම, අදාළ ස්ථානයට ළඟා වීමි.
පුතා රියෙන් බැස මගෙන් සමුගෙන ක්‍රීඩාගාරය කරා යන්නට සැරසෙත් ම, මට යමක් හදිසියේ මතක් විය. ඔහුට නවතින්ට කී මම, කලිසමේ පිටුපස සාක්කුවෙන් පසුම්බිය රැගෙන මුදල් නෝට්ටුවක් ගෙන ඔහුට දුන්නෙමි.
"මට එපා!" පුතා කීවේ ය.
"ඇයි, එපා කියන්නේ ගන්න!"
"එපා, මට අම්මා දුන්නු සල්ලි තියෙනවා!" ඔහු කීවේ මා මවිතයට පත් කරමිනි.
මේ හා සමාන සිදුවීමක්, ඊළඟ පාසල් නිවාඩු කාලයේ දී, පාසලේ මිතුරන් සමග, සිනුවර පැවැත්වෙන වාර්ෂික කෘෂිකර්ම ප්‍රදර්ශනය නැරඹීමට යාම පිණිස පුතාව දුම්රිය පොළට හැරලවූ මොහොතේ දී ද සිදුවිය.
ඔහු ගේ වයසේ දී, මේ වැනි අවස්ථාවක් එළැඹුණ හොත් මා නම් කරන්නේ දෙමව්පියන් හෝ වැඩිහිටියන් හෝ වියදම් සඳහා මා අතට දෙන ඕනෑම මුදලක් එපා නොකියා ගැනීමයි.
දැන් කාලේ හැදෙන කොල්ලන් ගේ හැටි!
හොඳම සිදුවීම වූයේ ඉන් පසු දිනක ය.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කොයි කවුරුත් මෙන් අප ද සාමාන්‍යයෙන් නිවසේ දී පානය කරන්නේ තේ වතුර ය. තේ සාදන සාමාන්‍ය ක්‍රම දෙකෙන් වැඩි පහසුව පිණිස අපි කෝප්පවලට දමන තේ බෑග් භාවිතා කරමු. තේ කුඩු යොදා තේ පෝච්චියට තේ සෑදීම වඩා ප්‍රිය මනාප නමුත් කාලය වැඩියෙන් ගත වීම සහ පසු-පිරිසිදු කිරීම් වැඩිවීම නිසා අප නිවසේ එතරම් නොකෙරේ.
කෝපි සෑඳීම සඳහා නම් ක්‍රම හතරක් ම ඇත. එයින් ද, පහසුව පිණිස අප කරන්නේ ක්‍ෂණික කෝපි කුඩු භාවිතයයි. වසර කිහිපයක සිට ජනප්‍රිය වී ඇති පොඩ්ස් භාවිතය ද, සෑහෙන්න ලේසි පහසු මෙන් ම පසු-පිරිසිදු කිරීම් ද අඩු ක්‍රමයකි.
එතෙක් එළ කිරි හෝ කිරි තේ හෝ බොමින් සිටි අපේ පුතා දැනට මාස කිහිපයක සිට කෝපි කෝප්පයක රස විඳින්නට ද පටන් ගත්තේ ය. සෑදීමේ පහසුව නිසා ම, ඔහු වඩා ප්‍රිය කළේ ක්‍ෂණික කෝපි පානයටයි.
දිනක් සවස නිවසට පැමිණි මා දුටුවේ මා සාමාන්‍යයෙන් මිල දී නොගන්නා වර්ගයක කෝපි කුඩු බෝතලයකි.
"ඇයි ඔයා මේ අපි කලින් බීලා නැති කෝපි ජාතියක් මේ පාර ගෙනාවේ?" මම බිරිඳගෙන් විමසුවෙමි.
"මං නොවෙයි, මං කඩේ ගියේ නෑ!" ඇය කීවා ය.
"මායි ගෙනාවේ!" පුතා වරද පිළිගත්තේ ය.
"ඇයි ඒ?"
"කෝපි බෝතලේ ඉවරවෙලා තිබුණා ඊයේ!"
"ඉතිං ඔයාට කොහෙන් ද සල්ලි?"
"මා ගාව තාත්තා කලින් දවසක දුන්නු සල්ලි ටිකක් ඉතුරු වෙලා තිබුණා, ඉතිං මං ඉස්කෝලේ ඉවර වෙලා එද්දී කඩෙන් ගත්තා!" මා මවිත කරමින් පුතා කීවේ ය.
"ඇයි ඔයාගේ සල්ලිවලින් ගෙනාවේ? කීයක් ගියා ද? ඉන්න මං සල්ලි දෙන්න!" මම වහා කීවෙමි.
"එපා, ඒ මගේ සල්ලි නෙමෙයි නේ, ඔයාලා කලින් දවසක මට දුන්නු සල්ලි නේ."
ඔන්න දැන් කාලේ හැදෙන කොල්ලන් ගේ හැටි!
-රසිකොලොජිස්ට්
(image: http://www.pinsdaddy.com/)
Labels:
අපේ මෝඩකම්,
පුතා,
මගේ ළමා දිවිය
Subscribe to:
Post Comments (Atom)
දැන් කාලෙ හැදෙන කොල්ලො කෙසේ වෙතත් ඔබතුමාගෙ පුතා නම් හොඳ කෙනෙක්.
ReplyDeleteඅපේ කාලෙ නම් ඔහොම නෑ, අපෙ හාමුදුරුවනේ!
Deleteනියම කොල්ලෙක්නේ.
ReplyDeleteඔව් පුදුමයි!
Deleteසල්ලි දුන්නත් ගන්නේ අවශ්‍ය ප්‍රමාණය විතරයි.
සුදු හුණු ගෑමට විමසන්න....
ReplyDeleteසීනුවර කොහෙද තියෙන්නේ???
සීනුවර නොවේ සිනුවර.
Deleteඑය සිඩ්නි නුවර යන්න කෙටි කර සාදා ගත් එකක්.
https://rasikalogy.blogspot.com/2015/04/sydney-renamed.html
!
//ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කොයි කවුරුත් මෙන් අප ද සාමාන්‍යයෙන් නිවසේ දී පානය කරන්නේ තේ වතුර ය.//
ReplyDeleteසම්භවයක් විතරක් නෙවේ පුරවැසියෙකුත් වෙලා මගේ ගෙදරදී නම් තේ වතුර බොන්නෙම නෑ. බොන්නේ වතුර. නැතිනම් ඇල්කොහොල්. වෙනදෙයක් බීපු කාලයක් මතක නෑ
මාත් අනේවාසික පුරවැසියෙක්. උදේට සහ රාත්‍රියට තේ දෙකක් බොනවා.
Deleteදවල්ට සහ සවසට කෝපි එකක් සහ තේ එකක් හෝ දෙකක් බොනවා.
මධ්‍යසාර පානය නම් කළොත් බොහෝ විට රාත්‍රියට පමණයි.
හරිම අනුවේදනීය කතාවක්
ReplyDeleteපව්!
Deleteමගේ අදහස නම් අපගේ ලමයි අපි ලමයි කාලේ සිටියාට වඩා හොඳය
ReplyDeleteරුවන් නාලන්දෙ දී කර තිබෙන ආකාරයේ දේවල් නම් මං කරලා නෑ. එනිසා, ඒ අතින් මගේ පුතා සහ මා අතර වෙනසක් නෑ.
Deleteඑහෙම ළමයි සිටීම වාසනාවන්තය. අද කාලේ අහන්න දකින්න ලැබෙන ඒවායේ හැටියට ඔබතුමාගේ පුතා වන්නෙක් ලබාන්න වාසන්න කරන්න ඕන. දෙමවුපියන් මත තමයි ළමයාගේ හොද නරක තීරණය වෙන්නේ. මටයි අපේ නංගිටයි ඉස්සර වැරදි කරන්න බෑ. වැරැද්ද අපිට කලින් ගෙදර යනවා. ඒ නිසා මල් පැළ වගේ තමයි හිටියේ
ReplyDeleteවිචාරක දියණිය
පාසල් කාලයේ මගේ හැසිරීමට සාපේක්‍ෂව මගේ පුතා ඉතා හොඳ ළමයෙකු විය. රාජකීය පාසලේ ගුරුවර ගුරුවරියන් ඔහු ඉතා හොඳ ළමයෙකු බව කීහ. කිසි දවසක පාසලෙන් ඔහු ගැන පැමිණිලි නොආවේය. වරක් හය වසරේදී ගණිතය වාර විභාගයට ඔහු 100 % ලකුණු ගත්තේය. මම කිසිදා ගණිතයට මෙලෙස ඉහල ලකුණු ලබාගෙන නැත. වරක් හය වසරේදී කෘෂිකර්මය විශයට මට 97% ලැබී තිබුනා නම් මතකය.
Deleteඑර්ල් හේග් විද්‍යාලයේ ගුරු දෙගරු හමුවීම් නිතරම තිබේ. මම මේ ගුරු දෙගරු හමුවීම් වලට මම ගියේ චකිතයෙනි. ඒ මගේ අතීත වික්‍රමයන් මතක් වීම නිසාය. එහෙත් ඔහුගේ ගුරුවර ගුරුවරියන් ළමයා ඉතා විනීත ගති පැවතුම් ඇති හොඳ ළමයෙකු බව කීවෝය. මා නම් පාසල් කාලයේදී මෙලෙස ප්‍රසාද වචන අසා නැති බව නම් කිව යුතුමය.
මා මෙන්ම මාගේ සමකාලීනයන් බොහෝ දෙනෙකු පාසල් කාලයේදී මැරෑටීන් වූහ. ඊට හේතුව කුමක්ද කියා මම නොදනිමි. හැටේ දශකය මැද උපන් අපගේ ජීවිත ගලා ගියේ 1971 කැරැල්ල , 1973 ආංශික සාගතය, 1977 දේශපාලන ප්‍රචණ්ඩත්වයන් , 1983 වාර්ගික කෝලහාල , 1988-89 ජවිපෙ දෙවන කැරැල්ල, තිස් වසරක යුද්ධය වැනි ආකූල සමයන් හරහාය. සමහරක් විට මේ ආකූල සමයන් අපව යම් ආකාරයකට දරදඞු කලා විය හැකිය. වාසනාවකට මෙන් අපගේ ළමුන් මේ ව්‍යසන දුටුවේ නැත. කෙසේ නමුත් අපගේ ළමුන් අපට වඩා හොඳ වීම ප්‍රසාදජනක අත්දැකීමකි.
@ විචාරක දියණිය
Deleteමාත් පොඩි කාලේ හැසිරීම අතින් නම් බෝ පැලයක් වගේ තමයි හිටියේ. නමුත් වැඩිහිටයෙකු හෝ දෙමව්පියෙකු හෝ මුදලක් දුන් විට එපා කී බවක් නම් මතකයේ නෑ. බෝ පැල වුනත් පඬුරු ගැට ගහනකොට එපා කියන්නේ නෑ නේ!
රුවන් ජයතුංග විසින් කොටසක් උපුටා දක්වා ඇති ඔහුගේ ලිපිය මෙන්න.
Deletehttp://transyl2014.blogspot.com/2017/07/blog-post_6.html
@ රුවන්
Deleteඅපේ හැසිරීම්වලට පරිසර හේතු සහ ජානමය හේතු දෙකම බලපානවා. මගේ (6,7,8,9) පන්තියේත් දඟකාර සිසුන් හිටියා. ඉන් සමහරු ඉගෙන ගැනීමට එක්කෝ අකමැති නැතිනම් නොහැකි අය බවයි පෙනුනේ. සමහරු ආශ්‍රය නිසා එලෙස වෙනස් වූ අය බවත් පෙනුනා.
ආනන්දයේ දී මට මතකයි හොඳින් ඉගෙනීමට උනන්දුවක් තිබුණු මිතුරෙකුට, ඔහු අප සමග අමතර පන්තිවලට පවා ගියා එකොළොස්වෙනි ශ්‍රේණියේ දී, පසුව ශිෂ්‍යනායක කමක් ලැබුණු පසු ශිෂ්‍යනායක කාමරයේ වල බසිමින් සිටියා මිස ඉගෙනීමේ වැඩවලට පෙර තිබුණු උනන්දුව හෝ කැපවීම පෙන්නුවේ නෑ.
මා සමග ආශ්‍රයත් නැතුව ගියා.
විභාගය යාන්තම් සමත් වූ ඔහු, දුම්කොල සමාගමේ රැකියාවකට ගිය බව ආරංචි වුනා!
තමා ගැනම පමණක්නම් නිතරම නොම සිතා
ReplyDeleteදෙමා පියන් ගැණ සිතනා ගුණ ඔහු ළඟ ඇතා
පෙමා වඩන දූදරුවන් වටින්නෙ නිති පතා
මෙමා කියන්නෙත් නිසැකව කදිමයි ඔබෙ පුතා...
ජයවේවා!!!
හොඳ පුතෙකි ය ඔහු ඒ ගැන විවාදයක් නැත
Deleteඅද පෙන්වන මේ ගතිගුණ පැසසිය යුතු වෙත
එද මතු දින වෙනස් වුනොත් කුම් කරම් ද මිත
සදහට එක සේ පවතින අය මේ ලොව නැත!
අවංක පුතෙක්
ReplyDeleteඅවංකවම!
Deleteහොඳ ළමයෙක් :)
ReplyDeleteඉතින් දැන් කාලේ කියල කිව්වට මාත් ඒ කාලේ ඔය විදිය තමයි. කැම්පස් යද්දී උනත් conversation යන්නේ මෙහෙම.
අම්මා/තාත්තා : (උදේ) සල්ලි තියෙනවද?
මම: ඔව්
අම්මා/තාත්තා : කොහෙන්ද?
මම: ඊයේ දුන්න ඒවා තියෙනවා
අම්මා/තාත්තා : තව ඕනෙද?
මම: නෑ
රසිකල තමයි මම හිතන්නේ නෝටි ළමයි ;)
ඔව් නිරෝ, ඔබේ පරම්පරාවෙන් වෙන්න ඇති මේ වෙනස ඇති වෙන්න ඇත්තේ.
Deleteමට පසුව හිතුණු දෙයක් තමයි, මා කුඩා කාලයේ මුදල් කියන දේ හරිම දුර්ලභ දෙයක් නිසා අපි එයට අද ළමයින්ට වඩා වැඩි කැමැත්තක් දැක්වුවා වෙන්න ඇති කියා.
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන කියමන සනාත කරවන පසුබිමක්... මෙවන් පුතුන් ලබන මාපියෝද වාසනාවන්තයෝ වන්නාහ.
ReplyDeleteනිබ්බුතා නූන සෝ මාතා
Deleteනිබ්බුතා නූන සෝ පිතා!
"සිනුවර පැවැත්වෙන වාර්ෂික කෘෂිකර්ම ප්‍රදර්ශනය? මවුගේ වස්ත්‍රය.
ReplyDeleteබොරු කියන්න එපා හලෝ, එක තිබුනේ/ තිබෙන්නේ සිඩ්නි (Sydney) නගරයේ මිසක් කොහෙවත් නැති සිනුවරක නොවේ.
කරුණු නොදැන ලියා ඇති දේ පිළිබඳව මම ඔබට සමාව දෙමි.
Deleteසිනුවර යනු සි'නුවරයි එනම් සිඩ්නි නුවර යන්න කෙටි කර ලිවීමකි. එලෙස නම් කෙටි කිරීම ඕස්ට්‍රේලියාවේ සම්ප්‍රදායක් බව ද ඔබේ දැන ගැනීම පිණිස පවසමි.
අප දන්නා දෙයට වඩා නොදන්නා දේ වැඩි බව නිතර සිතන්න. ස්තුතියි.
ළමුන් ද ළමයින් ද හරි? එහෙම නැත්නම් දෙකම හරිද ?
ReplyDeleteමං හිතන්නේ ළමුන් සහ ළමයින් වදන් දෙක ම නිවැරදියි.
Deleteසමාන නොවුනත්, වෙනත් උදාහරණ ලෙස ඇයගේ සහ ඇගේ, අපගේ සහ අපේ දැක්විය හැකියි. මා නම් ලියන්නේ අපේ සහ ඇගේ කියායි.
සමහරු ඔහු යන්නේ බහුවචනය ඔහුන් කියා යොදනවා, මා ලියන්නේ ඔවුන් කියා යි.
මේ ළමය හැදිල තියෙන්නෙ අම්මගෙ බලපෑම් මත වෙන්නත් පුලුවනි
ReplyDeleteතාත්තගෙ කටයි, අම්මගෙ ඇස් දෙකයි පුතේ
Deleteවාත්තු කෙරුවා වාගේ පිහිටලා තියේ