Friday 14 July 2017

අවසාන රෝස මල පිපී ඇත....! - It all begins now


උෂ්ණත්වය ඍණ අගයන්ට නොගිය ද, යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, රුසියාවේ, උතුරු චීනයේ, ජපනායේ මෙන් හිම කඩා නොවැටුන ද, සිඩ්නි නුවර හෙවත් කෙටියෙන් සිනුවර අවට මේ දිනවල ඇත්තේ දැඩි සීතලකි.

නිවසේ ගරාජයේ මගේ අඩ ලට්ට-ලොට්ටවලින් පිරී ඇති නිසා, මා දුම්රිය පොළට යාමට ඒමට භාවිතා කරන වාහනය නවතා ඇත්තේ නිවස ඉදිරිපිට මිදුලේ "ඩ්‍රයිව්-වේ" නමැති කොන්ක්‍රීට් තීරුව මත ය.

උදෑසන ම අවදි වුව ද, කම්මැලිකමින් නිවස තුළ කල් ගෙවා, කාර්යාලයට යන්නට නිවසෙන් පිටතට පැමිණි මා දුටුවේ මේ සීතල සිසිර සෘතුවේ මධ්‍යම කාලයේ ද රතු රෝස මලක් පිපී ඇති ආකාරයයි.

මෙය මේ සීතල සිසිරයේ පිපෙන අවසාන රෝස මල වෙනු ඇත. නැවතත් රෝස මලක් ගෙමිදුලේ දක්නට ලැබෙනුයේ මාස තුන හතරකට පසුව ය.

එනිසා ම, සිතේ ඇති වුණේ සතුට මුසු ප්‍රබෝධයකි. දුම්රියේ දී මේ පහත දැක්වෙන පද පෙළ ලියවුණි. සංස්කරණයක් නොකර, එලෙස ම, පළ කරන්නට ද සිතුණි.

අවසාන රෝස මල පිපී ඇත!

මේ සීත සිසිරයේ
අවසාන රෝස මල
කොළ හැළුණු, කටු පිරුණු
රෝස පඳුරේ කොනක
දුබල අතු රිකිල්ලක
පිපී ඇත!

අවසාන රෝස මල පිපී ඇත!

එකාකාරිව ඔහේ ගෙවී යන ජීවිතේ
මිටට ගත් වැලි පොදකි
සදාකාලික සතුට
කිසි දිනෙක හිරු නොදුටු සිහිනයකි

මහලු හිරු අද සවස
නොමැරුණ ද කම් නැති ය
හෙට උදේ හිරු නැවත
නොආවද කම් නැති ය

උදාසීන ය, රළු ය, ගොළු ය හද
බදා ගත් දුක සමග නිදි ය සිත

ඒ සියලු ගැහැට මැද
රෝස මල පිපී ඇත

අවසාන රෝස මල පිපී ඇත

තුසර බිඳු කෙඳිරිල්ල
අගුළු ලූ සවනතට
කොවුල් නද සිහිවේ ය
වසත් උණුසුම සොයන
විඩාබර සිත වෙතට
සුසුම් වුව සරණකි ය

අවසාන රෝස මල පිපී ඇත


-රසිකොලොජිස්ට්

9 comments:

  1. https://en.wikipedia.org/wiki/The_Last_Rose_of_Summer

    ReplyDelete
    Replies
    1. 'Tis the last rose of summer,
      Left blooming alone;
      All her lovely companions
      Are faded and gone;
      No flower of her kindred,
      No rosebud is nigh,
      To reflect back her blushes,
      Or give sigh for sigh.

      I'll not leave thee, thou lone one!
      To pine on the stem;
      Since the lovely are sleeping,
      Go, sleep thou with them.
      Thus kindly I scatter,
      Thy leaves o'er the bed,
      Where thy mates of the garden
      Lie scentless and dead.

      So soon may I follow,
      When friendships decay,
      And from Love's shining circle
      The gems drop away.
      When true hearts lie withered,
      And fond ones are flown,
      Oh! who would inhabit
      This bleak world alone?

      Delete
  2. නෑ නෑ අන්තිම එක වෙන්නෙ නෑ තව දෙක තුනක් වත් දකින්න පුලුවන් වේවි.
    රසිකට තවම එහෙහෙමක වයසක් නෑ නෙව.

    ReplyDelete
  3. කවි සිත අවදි කල
    "අවසාන රෝස මල"

    ReplyDelete
  4. සතුටින් දුකින් ජීවිතයම පිරී ඇත
    දවසින් දවස අවසානය ළඟින් ඇත
    කවියෙන් නුඹේ හැකියාවම ලියා ඇත
    අවසන් රෝස මල ඇතු අග පිපී ඇත....

    ජයවේවා!!!

    ReplyDelete
  5. තවත් මල් පිපේවි
    ජීවිතය පුබුදු කරාවි
    මේ වසන්තය ආවා සත්තයි .............
    විචාරක දියණිය

    ReplyDelete
  6. කකා, මේ ප්‍රශ්නය මෙතනට අදාළ දෙයක් නෙවෙයි. නිකන් සින්දු අහද්දී හිතිච්ච් දෙයක්.

    අච්චර ප්‍රේමය ගැන සින්දු ලියපු සුනිල් ආරියරත්නගේ ප්‍රේමයට මොකද උනේ කියල දන්නැද්ද? දන්න කවුරු හරි ඉන්නවද?

    ReplyDelete
  7. අවාරයේ...හෝ....
    පිපි මේ....කුසුම නුබට
    සුවදක්
    සෙනිහසක් නම්
    නොදී......
    යනු නැත...

    🌾ප්‍රමෝ.🌾

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.