Tuesday 12 February 2019

සදා ඔබෙයි මා - හේමාල් ජයවික‍්‍රම ගීත සමුච්චය :: I am yours for ever


සංගීතඥයින් කිහිප දෙනෙකුගේ ම නිජබිම වූ කඩුගන්නාව තම ගම් පියස වූව ද, නුගවෙල මධ්‍යම විද්‍යාලයේ දී හින්දි ගී ගයමින් "ලෝකල් රාෆි" ලෙස මිතුරන් අතරේ නමක් දිනා ගත්ත ද, හේමාල් ජයවික‍්‍රමගේ සිත මුලින් ම ඇදී ගියේ ගණිතයටයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා සිවිල් ඉංජිනේරුවෙකු ලෙස දිගු කලක් ශ‍්‍රී ලංකාවේ සේවයෙන් පසු, 1996 දී ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය කළ හේමාල්, නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්ත රජයේ සේවයේ යෙදෙන අතරතුර ලැබෙන හැම අවස්ථාවක දී ම, සිනුවර පැවැත්වෙන සංස්කෘතික ප‍්‍රසංගවල සිංහල මෙන් ම, හින්දි ගීත ද ගැයුවේ ය.

හේමාල් ජයවික‍්‍රම ගායකයාට තම සංගීත දිවිය අරුත්බර කරගන්නට අවකාශ ලැබුණේ ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්නගේ සිනුවර ආගමනයට පසුවයි. වසර හතරක් ෂෙල්ටන් පේ‍්‍රමරත්න ගාන්ධර්වයා යටතේ සංගීතය ප‍්‍රගුණ කළ හේමාල් පසුව නටරාජ් නර්තන කලා සහ සංගීත ආයතනයට බැඳී සංගීතඥ අවිජිත් සර්කාර් යටතේ හින්දුස්ථානි රාගධාරී සංගීතය හදාරමින් ඉන්දීය ප‍්‍රසංගවල හින්දි ගීත ගායනය ද ඇරඹීය.

හේමාල් ජයවික‍්‍රම සංගීතවේදියා ස්වතන්ත‍්‍ර නිර්මාණකරණයේ යෙදෙන්නට පටන් ගත්තේ මීට දශකයටත් එපිට කාලයක ය. ඔහු සිනුවර නිපදවුණු සංගීත තැටි කිහිපයක් ම සඳහා, ගායනයෙන්, තනු නිර්මාණයෙන් සහ පද රචනයෙන් සම්මාදම් වී ඇත. එසේ දිගු කාලයක් තිස්සේ තමන් නිර්මාණය කළ ගීතාවලිය, "සදා ඔබෙයි මා" නමින් සංයුක්ත තැටියක් ලෙසින් එළි දක්වන්නට හේමාල් ජයවික‍්‍රම සූදානම්ව සිටී.

"සදා ඔබෙයි මා" සංයුක්ත තැටියේ අඩංගු ගී පහළොවෙන් දොළසක ම තනු නිර්මාණය හේමාල් ජයවික‍්‍රමගෙනි. එක් ගීතයක පදමාලාව ද රචනා කර ඇති හේමාල්, ගීත එකතුවේ අඩංගු ගී නවයක් ගායනා කරයි.

"සදා ඔබෙයි මා" ගීත එකතුව සඳහා නිර්මාණ දායකත්වය සපයා ඇති අනෙකුත් නිර්මාණකරුවන් නම්, සංගීත නිර්මාණයෙන් සහ ශබ්ද සංකලනයෙන් විශාරද ඉන්දු පේ‍්‍රමතිලක, ශ‍්‍රී ලංකාවේ වාද්‍ය වෘන්දය මෙහෙයවීමෙන් මහින්ද බණ්ඩාර, ගී පද රචනයෙන් පුජ්‍ය කුඩාගල කෝවිද, රසික සූරියආරච්චි, ඇනට් ගුණසේකර, ප‍්‍රසාදිනී වෙත්තසිංහ, නිහාල් රූපසිංහ, මෛත‍්‍රී පනාගොඩ සහ මලී දිසානායක, ගායනයෙන් දිනාලි සෝමවීර, රංගිකා මයුරපානී සහ ඉන්දු පේ‍්‍රමතිලක, යුග ගායනයෙන් ශශිකා නිසංසලා, ලංකා ප‍්‍රියංගනී, සමනලී ජයසූරිය, ඉරේෂා ගුණසේකර සහ රුවී නිම්නදී වේ.

"සදා ඔබෙයි මා" ගී සමුච්චය මාර්තු මස තුන්වෙනිදා, ඉරිදා, සවස පෙනන්ට් හිල් ප‍්‍රජා ශාලාවේ දී එළි දැක්වෙනු ඇත. උත්සවය සංවිධානය කරනු ලබන්නේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

මේ සංගීත සන්ධ්‍යාවට සහභාගී වෙන මෙන් සංගීතකාමී ඔබ සැමට සාදරයෙන් ඇරයුම් කරමු.

[සන්නස මාසික සඟරාව, 2019 පෙබරවාරි කලාපය, 48 පිටුව]

-රසික සූරියආරච්චි

ප/ලි:
හේමාල් ජයවික්‍රම පිළිබඳ වැඩි විස්තර සඳහා:
Facebook fan page: https://www.facebook.com/Hemal-Jayawickrama-338010029873227/
Facebook profile: https://www.facebook.com/hemal.jayawickrama

ප/ප/ලි:
මෙම ගී එකතුවේ එන සදා ඔබේ මා යනු මා 2005 වසරේ ප්‍රකාශයට පත් කළ "පෙම් ගී" බ්ලොග් අඩවියේ පළ කෙරුණු පදමාලාවක් ඇසුරෙන් නිර්මාණය වූ ගීයකි. [http://pemgee.blogspot.com/]

(image: www.sannasa.com.au)

1 comment:

  1. 1996 දී ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය කළ හේමාල්, නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්ත රජයේ සේවයේ යෙදෙන අතරතුර ලැබෙන හැම අවස්ථාවක දී ම, සිනුවර පැවැත්වෙන සංස්කෘතික ප‍්‍රසංගවල සිංහල මෙන් ම, හින්දි ගීත ද ගැයුවේ ය. ගායක ලොවේ මල් තාවානක්ද මෙයා

    මෙයත් ඔසී පුරවසි පොරක්ද නැතිනම් ලංකාවේ පුරවැසිකම නැවත සල්ලි දීලා ද්විත්වපුරවසිකම ගත්ත කෙනෙක්ද එහෙමකෙන්ක්නම් එයාගේ විස්තර ටිකක් හොයලා මෙ අනුන්ට කඩේ යනවා වගේ ලිපියක් දානවද අපිට ඔහේගේ කෙරුවාවේ සත්‍ය දැනගන්න එක්ක. පනාගොඩ මැතිතුමා නම් අපිට කොහොමද වෙන්නේ කියලා හරියට පහදලා දුන්නා එක ඉතින් ඔහේ කිව්ව් එකට සම්පුර්ණයෙන්ම වෙනස් නිසා මෙයත් ඔහේ වගේ කරලා ගේමක් ගැහුවද දන්නේ නැනේ ....

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.