Tuesday 26 May 2020

මෙරිටොක්‍රසි පන්ති නායක පත්වීම (ගලහිටියාව මතක VI) - How I became the class monitor of 6A


මේ සටහන පෙර මා ලියා පළ කළ කොටස් පහක (1, 2, 3, 4, 5) සටහන් මාලාවේ දිගුවක් නමුත් වෙන්ව ද කියවිය හැකි ආකාරයට සකසා ඇත.


හයවෙනි ශ්‍රේණියෙන් අපේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ඇරඹුණු සතියේම මා සිටි 6A පන්තිය භාර කුලරත්න සර් විසින් පාසලට උදෑසනම පැමිණිය හැකි සිසුවෙකු සහ සිසුවියක පන්ති නායක තනතුරු සඳහා පත් කළේ ය.

සතියක් පමණ ගත විය.

අලුත් අධ්‍යයන වර්ෂය සඳහා ජනවාරියේ පාසැල පටන් ගත් දින හයවෙනි ශ්‍රේණිය සඳහා ඇතුළත් වුණු සිසු සිසුවියන් පිරිසට අමතරව තවත් සිසු සිසුවියන් කිහිපදෙනෙකු පසුව පාසලට ඇතුළත් වූ අතර ඔවුන් සඳහා 6D නමින් අලුත් පන්තියක් ආරම්භ කරන ලදී.

ඒ අලුත් පන්තියේ සිටියේ කිහිප දෙනකු පමණක් නිසා, හයේ පන්ති හතරේ ශිෂ්‍ය සංඛ්‍යාව සමතුලිත කිරීමට දෝ, මා සිටි 6A පන්තියේ සිසු සිසුවියන් අතරින් පිරිසක් එම පන්තියට අනුයුක්ත කරන ලදී. මේ සඳහා තෝරා ගත්තේ පන්තියේ ශිෂ්‍ය නාමලේඛනයේ අගින් සිටි පිරිස ය.

අධ්‍යාපනයේ නිසි පල ලැබෙන්නට නම් ගුරු සිසු අනුපාතය අඩුවිය යුතුය, එනම්, එක් පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව අඩුවිය යුතුය යනුවෙන් අධ්‍යාපඥයින් පවසන සත්‍යයට අමතරව, කොරිඩෝරයක සිරවී සිටි අපේ 6A පන්තියේ සිසුන් සංඛ්‍යාව මෙලෙස හෝ අඩුවීම ධනාත්මකව සාකච්ඡා කළ යුතු කරුණක් නමුත් එහි ලොකු අවුලක් තිබුණි.

අපේ පන්තියෙන් ඉවත් කර අලුතෙන් අරඹන ලද පන්තියට අනුයුක්ත කරන සිසුන් පිරිසගේ නම් ලයිස්තුව කුලරත්න සර් කියවූ මොහොත අවුරුදු හතලිස් හතකට පසුව ද අද මෙන් මගේ මතකයේ හොඳින් රැඳී ඇත. ඒ නම් අතරට, ඊට දින කිහිපයකට පෙර, හුණු කූරු සහ වාර්තා පොත් විදුහල්පති කාමරයේ සිට පන්තියට ගෙන ඒම සහ පාසල නිම වූ පසු ඒවා නැවත ගෙන ගොස් තැබීමේ රාජකාරිය කිරීම සඳහා, උදෙන්ම පාසලට පැමිණීමට ඇති හැකියාව නමැති නිර්ණායකයට අනුව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී පන්තිය භාර ගුරුවරයාගේ අනුමැතියෙන් අභිෂේක කරන ලද, පිරිමි ළමුන්ගේ පන්ති නායක සමන්ගේ නම ද ඇතුළත් වී තිබුණි.

සමන්ට අපේ පන්තිය අත හැර අලුත් මිතුරන් පිරිසක් අතරට යන්නට සිදු විය.

"දැන් ඉතින් අපිට පිරිමි ළමුන් අතරින් අලුත් පන්ති නායකයෙකු පත්කර ගන්ට වෙනවා" කුලරත්න සර් නිවේදනය කළේ ය "කවුද වෙන ඉන්නේ උදෙන්ම ඉස්කෝලේ එන්න පුළුවන් ළමයෙක්?"

මේ මතක සටහනේ පෙර කොටසක මා සඳහන් කළ පරිදි නිවසේ සිට පාසල් බසයෙන් ගමන් කරන මා පාසලට පැමිණෙන වේලාව මට තීරණය කළ නොහැක්කකි. එනිසා, අත ඔසවා ස්වෙච්චාවෙන් මෙම පන්ති නායක තනතුර සඳහා ඉදිරිපත් වීමට හැකියාවක් මට කිසිසේත් ම නොවිණි.

නමුත් වහාම "මට පුළුවන්" යයි හඬක් නැගුණි. අතක් එසවිණි.

ගණේමුල්ල නගර මධ්‍යයේම පිහිටි තම සීයාගේ නිවසේ සිට පාසලට පයින්ම පැමිණි පුන්‍ය උදය ජයසේකර ලොකුවිතාන එදින සිට අපේ පන්තියේ නායක ලෙස කුලරත්න සර් විසින් පත්කරන ලදී.

එදින සිට පුන්‍ය උදය ජයසේකර ලොකුවිතාන උදෑසනම පාසලට පැමිණ හුණු කූරු ද, නාමලේඛනය ද, ගුරු සටහන් පොත ද, විදුහල්පති කාමරයේ සිට කොරිඩෝරයේ අඩුක් කර තිබුණු අපේ 6A පන්තියට ගෙන එන ලදී. පන්තියට පැමිණෙන ගුරුවරු එම හුණු කූරුවලින් කළුලෑල්ලේ ලියූහ. ගුරු සටහන් පොතේ කළ පාඩම් පිළිබඳ කෙටි සටහන් තැබූහ. කුලරත්න සර් නාම ලේඛනය ලකුණු කළේය. හවසට නාමලේඛනය ද සටහන් පොත ද පුණ්‍ය උදය ජයසේකර ලොකුවිතාන විසින් විදුහල්පති කාමරය වෙත ගොස් තබන ලදී.

මාස තුනක් ගෙවී ගියේ ය.

අලුත් පාසලේ පළමුවෙනි වාර විභාගය පැවැත්වුණි. ප්‍රගති වාර්තා නිකුත් විණි. මට මගේ ප්‍රගති වාර්තාව ලැබුණේ පාසල් අවසන් දිනයේ දී ප්‍රධාන ගොඩනැගිල්ලේ මැද මිදුලේ දී පැවැත්වුනු විශේෂ රැස්වීමේ දී විදුහල්පති අතින් ය. අප්‍රේල් නිවාඩුව ද ඒ සමගම එළැඹුණි.

දෙවන වාර සඳහා පාසල ඇරඹි මුල් දිනයේ දී ම අපේ පන්තියට පැමිණි කුලරත්න සර් විශේෂ ප්‍රකාශයක් කළේය.

"අද අලුත් වාරය සඳහා මම අලුතෙන් පන්ති නායකයෙකු සහ නායිකාවක පත්කරනවා. ඒ සඳහා තෝරා ගන්නේ මුල් වාරයේ විභාගයෙන් පන්තියේ පළමුවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා වුණු ආකාරයටයි."

ඔහුගේ ම, පාසලට උදෙන්ම පැමිණීමේ නිර්ණායකය වෙනුවට කුලරත්න සර් විසින් අලුතෙන් හඳුන්වාදුන් මේ නිර්ණායකයට අනුව රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි වන මා, 6A පන්තියේ පන්ති නායකයා ලෙස නම් කෙරිණි. මගේ මතකය නිවැරදි නම්, අප්‍රියෙල් මාසයේ පැවැත්වුනු පළමුවෙනි වාර විභාගයේ දී සිසුන් ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාවට අනුව අනුපිළිවෙලට සැකසූ විට පංතියේ දෙවැනියා වූයේ ද පිරිමි ළමයෙකු නිසා, පන්ති නායිකාව ලෙස තුන්වැනි ස්ථානයේ සිටි සිසුවියක නම් කෙරිණි. එලෙස, පන්ති නායිකාව ලෙස පත්වූයේ, මානෙල් කරුණානායක බව, එදා සිවුවැනි ස්ථානයේ සිටි රංජනී ශ්‍රියාලතා දිසානායක මා සමඟ නොබෝදා පැවසුවා ය.

අලුත් පන්ති නායකයා සහ නායිකාව එලෙස පත් කළ කුලරත්න සර් අපට කියා සිටියේ, අගෝස්තු මස පැවැත්වෙන වාර විභාගයේ ප්‍රතිඵල අනුව තුන්වන වාරය සඳහා නැවතත් අලුතෙන් පන්ති නායකයෙකු සහ නායිකාවක පත් කරන බවයි. පන්ති නායක නායිකා තනතුරු ලබා ගැනීමේ අරමුණ ඇතිව පන්තියේ පළමුවෙනියා හෝ දෙවෙනියා වීමට අදිටන් කරගෙන, ඔහුගේ සිසු සිසුවියන් ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරනු ඇතැයි කුලරත්න සර් බලාපොරොත්තු වුණු බව නිසැක ය.

ගුරුන්ටත් අකුරු වරදී!

නමුත් ඇත්තටම සිදුවූයේ, පන්ති නායකයා පත් කිරීමේ තම නව නිර්ණායකය මගින් කුලරත්න සර් විසින්, ඔහු නොදැනුවත්වම, සදාකාලික පන්ති නායකයකු පත්කර තිබීමයි.

මෙය මෙරිටොක්‍රසි ආකාරයේ පත්වීමක් නිසා, මගේ නායකත්වය සමාන කළ හැක්කේ රොබට් මුගාබේට නොව ලී ක්වාන් යූ වැන්නෙකුට යයි සිතමි.

එලෙස යාවජීව නායකයා ලෙස පත්වුණු මගේ ආධිපත්‍යය, වසර එකහමාරකට පමණ පසු හදිසියේ ම නිමා කිරීමට හේතු කාරණා සැපයුවේ ද තවත් අගමැතිවරයෙකි.

ඒ පිළිබඳ විස්තර මේ දීර්ඝ මතක සටහනේ පසු කොටසකින් බලාපොරොත්තු වන්න.

-රසික සූරියආරච්චි

(image: https://en.wikipedia.org/wiki/Asian_water_monitor)

7 comments:

  1. Eth kabaragoyi pinthurayen kiyawenne mokadda?

    ReplyDelete
  2. හිතුනු දේ ඔයාම ලියලා තියෙනවා. ගුරුන්ටත් අකුරු වරදී.

    ReplyDelete
  3. දිර්ග කාලයක නායකයෙක්
    විචාරක දියණිය

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.