Wednesday, 20 May 2020

ගලහිටියාව මතක IV : ලොකු ඉස්කෝලේ දි වූ වෙනස්කම් - Life changes for a ten year old boy


මා මේ සටහන් කරන්නේ හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ දී ලද අත්දැකීම් ය. මීට කලින් කොටස් තුනක් (1, 2, 3) පළ වී ඇත. එනමුදු පෙර කොටස් කියවීම අත්‍යාවශ්‍ය නොවන ආකාරයට මේ ලිපි සකසා ඇත.


හයවෙනි ශ්‍රේණියේ සිට ඉහලට අධ්‍යාපනය ලැබීම සඳහා පුරා පස් වසරක් මා ඉගෙනුම ලැබූ කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ සිට ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට පැමිණි මගේ ජීවිතයේ එතැන් සිට වෙනස්කම් කිහිපයක් ම සිදු විය.

ඉන් එකක් නම්, එකම ගම්පියසක අය නොව වෙනත් දුර බැහැර පළාත්වල ජීවත්වෙන මා මෙන්ම බසයේ හෝ නොමැතිනම් දුම්රියේ හෝ පාසලට පැමිණෙන සමවයසේ පිරිසක් ඇසුරු කිරීමට ලැබීමයි. කණිෂ්ඨ විද්‍යාලයේ සිට මධ්‍යම විද්‍යාලයට පැමිණීමට වරම් ලැබූ අය අතුරින් මා අයත් වූ 6A පන්තියේ සිටියේ සිසිර ප්‍රේමකුමාර සහ ඩබ්ලිව් ඒ දයාසිරි පමණි. මගේ අල්ලපු වත්තේ මිත්‍රයා වූ ආනන්ද ජයතිලක මෙන්ම සන්ධ්‍යා අබේවීර, පුෂ්පකාන්ති (මේ නම නිවැරදි නැත) ද, මේ වන විට මගේ මතකයෙන් නම් ගිලිහී ඇති තවත් අය ද අයත් වූයේ එක්කෝ 6B එසේ නැතිනම් 6C පන්තියට ය. අලුත් පන්තියේ දී මට අලුතෙන් මුණ ගැසුනු මිතුරන් අතර පාසලට නුදුරින් ම ගණේමුල්ලේ විසූ පුන්‍ය උදය ජයසේකර ලොකුවිතාන වැන්නන් ද, එකම බස් රථයේ වුවද මට වඩා කිලෝමීටර් දෙක තුනක් දුර සිට පැමිණි නිමල් රත්නසිරි කරුණාසිංහ ද, උඩුගම්පල වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි ශාන්ත සහ තිස්ස ජයවර්ධන වැන්නන් ද වූහ.

දෙවනුව, වෙනදා මෙන් පයින් මංගච්චනවා නොව දැන් පාසල් ගමන බස් රථයේ නිසා මුල් දිනවල දී දිනපතාම ප්‍රවේශ පත්‍ර මිලට ගැනීමටත්, පසුව වාර ප්‍රවේශ පත්‍රය නොහොත් සීසන් එක ලබාගත් පසුව වුව ද, දහවල ලැබෙන විවේක කාලය නොහොත් ඉන්ටවල් එකේ දී කුමක් හෝ දෙයක් කෑමටත් නිවසෙන් මාරු සල්ලි ලබාගැනීමටත්, ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට පුරුදු වීමටත් සිදුව්ය. මේ කාර්යය මා විසින් දැඩි සැලකිල්ලෙන් සහ උනන්දුවෙන් යුතුව කළ ද, වරක් දෙවරක් අමාරුවේ වැටුණු අවස්ථා නැත්තේ ද නොවේ. ඒ පිළිබඳ එක් රසවත් මතකයක්, මේ කාල රේඛාවේ නිසි ස්ථානයේ දී ලිවීමට අදහස් කරමි.

තෙවනුව, පොප්ලින් කලිසමේ සිට ඉදිරිපස බොත්තම් සහ දෙපසින් බකල් ඇති ටසෝ කලිසම දක්වා ද, සමනලයින් "ඇප්ලික් කළ" ගෙල වටා නොව දෙවුර වටා දිවෙන කොලර් ඇති පුංචි අම්මලාගේ බ්ලවුස් පතරොම අනුසාරයෙන් කපා මැසූ කමිසයේ සිට, සාමාන්‍ය අත්කොට කමිසය දක්වා ද, බාටා කුට්ටමේ, පටි සපත්තු ජෝඩුවේ සිට කළු සපත්තු දක්වාද, විවිධ හැඩයෙන් විවිධ වර්ණයෙන් යුතු ඇඳුමෙන් පැලඳුමෙන් සැරසී කනිෂ්ඨ පාසලට ගිය මට, එතැන් සිට සුදු අත්කොට කමිසය සහ සුදු කොට කලිසමෙන් ද, සපත්තු සහ මේස් වලින් ද සැරසී පිළිවෙළකට පාසලට යන්නට සිදුවිය. මට කමිස කීයක් තිබුනේද කලිසම් කීයක් තිබුණේ ද යන්න පිළිබඳ නිවැරදි මතකයක් නැති නමුත්, ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ දී ද මා ඇතැම් දිනක බාටා සෙරෙප්පු වලින් සැරසී පාසලට ගිය බව නම් මතකයේ ඇත. එසේම ඇතැම්විට සුදුපැහැති නොවන කලිසම් ද ඇන්දෙමි. ඒ කිසිවක් නිසා විනය තකන පිරිසගේ දඬුවමට මා ලක්වූ බවක් නම් මතකයේ නැත.

පිරිමි ළමුන්ට එසේ වුව ද ගැහැනු ළමුන් සඳහා නම් තත්වය දරුණු විය. මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිව් වසර තුළ කිහිපවිටක් ම දැක මතකයේ රැඳී ඇති දර්ශනයක් නම්, ගැහැනු ළමුන්ගේ ගවුම් වාටියේ සිට දනහිස දක්වා ඇති දුර ශිෂ්‍ය නායිකා කෙල්ලන් ගේ උදව්වෙන් මැන වාටි ගලවා දික් කිරීමට අණ කරන කරුණාරත්න නමැති ගුරුවරියයි. ඒ වනවිටත් අන්තිම නූල දක්වාම ගවුමේ වාටිය දික් කර තිබුණු සිසුවියන්ට ඒ ගවුම් ඉන්පසු පාසලට ඇඳීම තහනම් වූවා යැයි සිතමි. මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් වන්නේ මේ 1973 වර්ෂය බවත්, මේ වන විට රටේ ආර්ථික අහේනියක් මෙන්ම රෙදිපිළි වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වල දැඩි හිඟයක් පැවතුණු බවත්, ලංකාවේ තරුණියන් අතර මිනි ගවුම්, ෂෝට් ස්කර්ට් සහ කොට්ට උර නම් සරදම් නමකින් හැඳින්වුණු ශිෆ්ට් නැමැති ගවුම් වැනි ඇඳුම් ජනප්‍රිය වී තිබුණු බවත්, එහෙන් මෙහෙන් සරදම් මිස ඒ කිසිදු ඇඳුමකට අද මෙන් තහනම් පැණවීමට තලේබාන් වර්ගයේ සිංහල බුඩ්ඩාගම්කාරයින් නොසිටි බවත් ය.

පාසල යෙත් ගැහැණු ළමයින් සඳහා නියමිත නිල ඇඳුම වූයේ ගෙල වටා දිව ගොස් ඉංග්ලිෂ් වී අකුරක හැඩයෙන් ඉදිරිපස දී එක්වන කොලරය සහ රැලි සහිත සාය සහිත සුදු ගවුම, සපත්තු මේස් සහ නිල් පැහැති ටයිපටියයි. සපත්තු ලෙස බොහෝදෙනා පැළැන්දේ කැන්වස් වර්ගයේ සුදු පැහැති ඒවා බව මගේ මතකයයි. මීට අමතරව කළු පැහැති බැලරිනා නම් වර්ගය ද භාවිතා විය.

මගේ ගලහිටියාව මතක සටහනේ සිව්වන කොටස පාසලට ගිය මුල් සතියේම සිදුවී අද ද මතකයේ රැඳී ඇති පහත සිද්ධියෙන් අවසන් කරමි.

ජයසිංහ ආරච්චිගේ කුලරත්න නම් ගණිත ගුරුවරයාට භාර වී තිබුණු අපේ 6A පන්තියේ රාගම ප්‍රදේශයේ සිට පැමිණි ශ්‍රීපාලි (මේ නම නිවැරදි නැති විය හැක) නම් ගැහැනු ළමයෙකු සිටියා ය. මුල් දිනයක ම ඇය පාසලට පැමිණ සිටියේ, පසු කලෙක මගේ සිතට හොඳින් කා වැදුණු කාන්තා පාසල් නිල ඇඳුමක් වූ බොරැල්ල දේවි බාලිකාවේ සිසුවියන් අදින ආකාරයේ කොළරයක් නැති හතරට කපන ලද කර සහිත සුදු පැහැති ගවුමකින් සැරසීය. මෙය දුටු අපේ පන්තිභාර ගුරුවරයා ඇයගෙන් ප්‍රශ්න කළ අතර ඇය පවසා සිටියේ ය ඈ මීට පෙර උගත් පාසලේ දී ඇඳි ගවුමක් බවයි. එදින ඇයට සමාව ලැබුණ ද, ඉන්පසු නිවැරදි පාසැල් නිල ඇඳුමෙන් සැරසී එන ලෙස ඇයට උපදෙස් ලැබුණි.

මතු සම්බන්ධයි.

රසික සූරියආරච්චි

(image: http://www.galahitiyawappa.com/user/getSchoolGallery)

3 comments:

  1. ඒ කාලේ ඇඳුම් පැළඳුම් ගැන නියම සඳහනක්!

    ReplyDelete
  2. Rasawaath.Ithiri kotasuth pala karanna.

    ReplyDelete
  3. මේවා ඕනෑකමින්ම ලියවෙන ඒවාද මන්දා //ඒ කිසිවක් නිසා විනය තකන පිරිසගේ දඬුවමට මා ලක්වූ බවක් නම් මතකයේ නැත.//

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.