Friday, 21 August 2020

සමන් මහානාම දිසානායක ගේ දුරුතු සිහිනය (2007) නවකතාව පිළිබඳ විචාරයකි - Rasika Suriyaarachchi's review of Duruthu Sihinaya novel written by Saman Mahanama Dissanayake
























නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන් ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන් ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ය. එනමුත්, නවකතාවක අන්තර්ගතය කෙතරම් සංකීර්ණ වුවද නවකතාවේ ආකෘතිය සරල වේ නම් එය පාඨකයාට නීරස කෘතියක් වීමට ඇති ඉඩ කඩ ද බොහෝ ය.

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට නවකතා කිහිපයකින් ම දායක වී ඇති සමන් මහානාම දිසානායක ඉහත කරුණු හොඳින් වටහා ගත් ලේඛකයෙක් බව මගේ හැඟීමයි.

දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස වසර 2007 දී එළිදැක්වුණු "දුරුතු සිහිනය" සමන් මහානාම දිසානායකයන් ගේ පස්වන නවකතාවයි. ඔහු මීට පෙර බඹරැන්දේ කඟවේනා, කැන්ගරු නිම්නය, පුංචි සර් සහ රන්දෙණිගල වලව්ව නමින් සිංහල පාඨකයින් අතර ජනප්‍රිය වූ නවකථා හතරක් රචනා කොට ඇත.

"දුරුතු සිහිනය" සමන් දිසානායක විසින් ලියා අවසාන කර ඇත්තේ වසර කිහිපයකට කලිනි. එය පාඨක ආදරය දිනා ගනිමින් "රැජින" කාන්තා සඟරාවේ සතිපතා කොටස් වශයෙන් පළවී ඇත. "මල් කතා" යන නමින් පොදුවේ හැදින්වෙන සරල පෙම්කතා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී ඇති යුගයක, සිංහල පාඨක රස වින්දනය එයින් ඉහළ මට්ටමකට නංවන කෘතියක් ලෙස "දුරුතු සිහිනය" හඳුන්වා දෙනු කැමැත්තෙමි.

නවකතාකරුවෙකු ලෙස සමන් ගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට සිය නවකතා මගින් දක්වා ඇති ඔහු ගේ හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල සුදු කළු ඒවා නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන ඒවා වෙති. මේ විශ්වාසනීය චරිත සහ ඔවුන්ගේ අපූරු අත්දැකීම් ඇතුළත් අන්තර්ගතයට ම අනුකූලවන පරිදි ආකෘතියක් තෝරා ගැනීම ද සමන් හොඳින් සිදු කරයි. "දුරුතු සිහිනය" නවකතාව සමන් දිසානායක සතු ඉහත සඳහන් සියලුම නිර්මාණාත්මක හැකියාවන් හොඳින් විදහා දක්වන කෘතියක් බව පෙනේ.

"දුරුතු සිහිනය" කතාව ගෙතී ඇත්තේ ළදරු සමයේ තම නිවුන් සොහොයුරා සහ මෑණියන් අහිමිව පිය සෙවණේ හැදී වැඩුණු මිහිඳු ගේ ජීවිතය වටා ය. ඔහුගේ පියාණන් වන ආනන්ද හෙවත් වෙස්සන්තර මුදලාලි ද දෛවෝපගත අවාසනාවන්ත සිදුවීම් මාලාවක අවසානයේ තනිවී වෙසෙන්නෙකි. වයස එකොළහක දරුවෙකු ලෙස කෙදිනක හෝ තම මව සහ සොහොයුරා සොයා ගැනීමට හෝ ඔවුන් පිළිබද සත්‍යය එළිදරව් කර ගැනීමට අදිටන් කරන මිහිඳු ගේ එම ප්‍රයත්නය ඔහු ලංකාවේ විවිධ නගරවලට පමණක් නොව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටත් රැගෙන යයි. අවසානයේ තම ප්‍රාර්ථනා සපුරා ගැනීමටත්, සිය පියාගේ අස්ථානගතවූ ඥාතීන් සොයා ගැනීමෙන් ඔහුගේ ජීවිතයට යම් සහනයක් ලබාදීමටත් ඒ සමගම තම අනාගත සහකාරිය හඳුනා ගැනීමටත් මිහිඳුට හැකිවේ.

මේ සියල්ල සිදුවන්නේ මනා ලෙස ගලපා ඇති උද්වේගකර සහ නාට්‍යමය සිද්ධීන් මාලාවක් හරහා වන අතර සමන් දිසානායක සරල දෙබස්, කාලානුරූප අතීතාවර්ජන, සිත් ගන්නා ස්වයං-භාෂණ සහ හොඳින් පබැඳුණු විස්තරයෙන් යුතු ආකෘතියක් තුළින් පාඨකයා නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි.

"දුරුතු සිහිනය" නවකතාව සර්ව සම්පූර්ණ සුඛාන්තයක් නොවේ. නවකතාව අවසානයේ පාඨක හදවත් තුළ සතුටක් සමගම ඇතිවන්නේ දැඩි සංවේගයකි. එය කතුවරයා ගේ තවත් දස්කමක් යයි හඟිමි.

මෙම නවකතාවේ එන ආනන්ද මුදලාලි ගේ අනියම් බිරිය වන කුසුමලතා හෙවත් රුවන්පුර රූමතිය ගේ චරිතය අති සංකීර්ණ එකකි. ඇගේ හැසිරීම්, සිතුවිලි සහ ක්‍රියාකාරකම් සීමාසහිත මට්ටමකින් පමණක් විස්තර කරන කතුවරයා එමගින් පාඨකයා නවකතාවේ අන්තර්ගතය පිළිබඳ යම් ආකාරයක පශ්චාත් විශ්ලේෂණයක ට යොමු කරයි.

"දුරුතු සිහිනය" නවකතාවේ අන්තර්ගතව ඇති සුවිශේෂිත කරුණක් නම් සිංහල-දෙමළ ජනවාර්ගික දෙපිරිස අතර අද පවතින අනෝන්‍ය අවිශ්වාසයේ ඇති ශූන්‍යතාවයයි. කතුවරයා වරෙක මෙය එක එල්ලේ දෙබස් මගින් ද, තවත් වරෙක සූක්ෂම ලෙස කතා වස්තුව තුළ අන්තර්ගත කරමින් ද පාඨකයා ඉදිරියේ ගෙන හැරපායි.

මිහිඳු ගේ ඕස්ට්‍රේලියා ගමන විස්තර කිරීමේදී එහි වෙසෙන ජනයාගේ ජීවන රටාව ගැන, ඉඩ ලැබී ඇති මද ඉඩකඩේ දී වුව, යම් යම් තොරතුරු සහ විවරණයක් ගෙන ඒමට කතුවරයා දරා ඇති උත්සාහය ප්‍රශංසනීය ය. එය ශ්‍රී ලාංකික පාඨකයන් ලබන අතිරේක ප්‍රතිලාභයකි.

දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස්ථ ව තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසියෙන් දොඩමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල සමතික්‍රමණය කර මේ වන විට (2013) නවකථා දහයක් පමණ රචනාකර ඇති සමන් දිසානායක සියලු අංකුර නවකතා රචකයන්ට ආදර්ශයක් බව නොපැකිලව පවසමි.

-රසික සූරියආරච්චි

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.