Friday, 12 May 2017

450. ඉඳිආප්ප ගෑරුප්පුවෙන් කෑවෙමි - String hoppers from Toongabie



ඉතිං අපට පාං ද කියා අසන්නට එපා!

මේ පාන් නොව ඉඳිආප්ප කෑමකි.

සිඩ්නි බටහිර තදාසන්න ප්‍රදේශවල වෙසෙන අයට ඉඳිආප්ප, ආප්ප, කොත්තු, පිට්ටු, රොටී යනාදිය ද, ලංකාවේ ක්‍රමයට සාදන ලද බත් මාළුපිනි යනාදිය ද ලබා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා යා යුතු හොඳම නගරය ටූන්ගැබී යැයි සිතමි.

මගේ නිවස පිහිටා ඇති ග්ලේන්මෝ පාර්ක් නම් සුන්දර ගම්මානයේ සිට ටූන්ගැබී කඩමණ්ඩියට දුර කිලෝමීටර් 30 ක් පමණ වෙතත්, සිඩ්නි සිට බටහිරට දිවෙන අධිවේගී මාර්ගය ද භාවිතා කළ හැකි නිසා ඒ දුර සති අන්තයේ දිනවල අඩ පැයකින් පමණ තරණය කළ හැක.

මා සම්බන්ධ වී ඇති නාට්‍ය වැඩමුළුවක් සහ වෙනත් කලාබර වැඩ නිසා මේ දිනවලට මසකට වරක් හෝ දෙකක් ටූන්ගැබී යාමට මට සිදුවේ. එයට හේතුව ඒ නගරයේ පිහිටා ඇති ප්‍රජා මධ්‍යස්ථානයේ ඇති ශාලා අපේ කර්තව්‍යයන් සඳහා නගර සභාවට මුදල් ගෙවා වෙන්කර ගෙන භාවිතා කරන නිසා ය.

අපේ කටයුතුවලට සහභාගීවන සිනුවර විවිධ තදාසන්න ප්‍රදේශවල වෙසෙන අයට ටූන්ටැබී හොඳ මධ්‍යම ස්ථානයකි.

දඹුලු ගිය විට තලගොයෙකු දඩයම් කරනවා සේ, ටූන්ගැබී යන සෑම දිනකට පාහේ මම එහි කඩවීදියේ පිහිටා ඇති ආපන ශාලාවකින් කඩයප්පම් මිලට ගන්නෙමි.

ටූන්ගැබී කඩවීදියේ පිහිටා ඇති ශ්‍රී ලාංකික ආපනශාලා ප්‍රමාණය මේ වන විට පහක් දක්වා ඉහළ ගොස් ඇත.

පිට්ටු, රොටී, කොත්තු කෙසේ වෙතත් මා නම් සැම දින ම පාහේ මිලට ගන්නේ ඉඳිආප්පයි.

කලකට පෙර ඕස්ටේ‍ර්ලියානු ශත විසි පහක් පමණ වූ මේ ඉඳිආප්පයක මිල දැන් ශත හතළිහ දක්වා ඉහළ ගොස් ඇත.

නමුත් මේවා, සුළඟට විසිවෙන ආකාරයේ තුනී කුඩා ඒවා නොවේ.

එක ඉඳිආප්පයක ප්‍රමාණයෙන් බත් කන පිඟානක් තරම් වේ. ඉඳිආප්ප තුනක් කෑ විට මට නම් ප්‍රමාණවත් ය. ඉඳිආප්ප සමග ඒවා කෑමට පොල් සම්බෝලද, කිරි (අඩු) හොද්දක් ද ලැබේ.

ගිය ඉරිදා නිවසට ගෙනා ඉඳිආප්පවලින් තුනක්, කෑම පෙට්ටියකට දමා, පොල් සම්බෝල, පරිප්පු සහ මස් කරියක් සමග සඳුදා ඔෆීසියට ගෙන ගියෙමි.

එසේ ගෙන ගිය ඉඳිආප්ප මා අනුභව කළේ පිහියකින් කපා ගෑරුප්පුවකිනි.



චීන ආපන ශාලාවකදී චොප්ස්ටික් හෝ ගෑරුප්පුවක් හෝ උපයෝගී කරගෙන නූඩ්ල්ස් කනවාට වඩා ගෑරුප්පුවකින් ඉඳිආප්ප කෑම පහසු බව මට ස්ථිරවම කිව හැක.



කනවානම් ඉඩිආප්පම් කාපම්!

-රසිකොලොජිස්ට්