Tuesday 8 November 2016

අම්මාට යන්න නොලැබුණු පුතා ඉස්කෝලේ ගිය මුල් දවස - Some poor mothers miss out


පාසල් ගිය මුල් දවස මතකද?

උපන් දිනයේ සිට දෙමව්පියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් සමග වසර පහක් පමණ කල් ගෙවා අප පාසල් ගිය මුල් ම දිනය යනු අපේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් වන වැදගත් සිදුවීමකි.

"පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල් ම දවස අද වේ!" යනුවෙන් ඇන්ජලීන් ගුණතිලක ගයන්නේ ඒ දවසේ මවකට දැනෙන සිතුවිලි ගැනයි!

සාමාන්‍යයෙන් ඈත අතීතයේ සිදුවුණු නොවැදගත් සිදුවීම්වල පවා දින වකවානු සහ දෙබස් සමග කිව හැකි තරම් මතකයක් ඇති මට ඒ වැදගත් දිනය පිළිබඳව පුදුමයකට මෙන් කිසිදු මතකයක් නැත.

මා මුලින් ම පාසල් ගොස් ඇත්තේ මගේ අම්මා හෝ තාත්තා හෝ සමග නොව, ආච්චී සමගින් ය යනුවෙන් මා පසු කලෙක දී ඇසූ දවසේ මට තරමක දුකක් දැනුණි.

ඒ දුක දැනුණේ මා වෙනුවෙන් නම් නොවේ. මගේ දෙමව්පියන් වෙනුවෙනි. එයිනුත් විශේෂයෙන් ම මගේ මව වෙනුවෙනි.

මට මා වෙනුවෙන් දුකක් නැත්තේ, එදින ද මට කිසිමාකාරයක දුකක් නොදැනුණු බව ස්ථිර නිසා ය. එදා මට දුකක් දැනුණේ නම්, අද මට ඒ ගැන ඉතා සුළු මතකයක් හෝ තිබිය යුතුයි. එවැනි මතකයක සේයාවක් හෝ නැති නිසා, මා පාසලට ගිය මුල් දිනයේ මා ඉතා සතුටෙන් ඉන්නට ඇතැයි සිතමි.

කෙසේ වෙතත්, මා පාසල් යාමට පටන් ගැනීමට කලින් වසරේ දී, මගේ දෙමව්පියෝ මා නිවස අසල තිබුණු මොන්ටිසෝරියක් වැනි තැනකට යවන්නට තැත් කළ හැටිත් එහි මා ගිය මුල් දිනයේ දී මට කියවන්නට හෝ ලියන්නට ලැබුණු දේ මට පහසුවෙන් කළ හැකි වූ නිසා, මා පසුවදා එහි යෑම ප්‍රතික්‍ෂේප කළ බවත් මගේ මතකයේ ඇත.

ඉතින්, මුලින් ම පාසල් ගිය දිනයේ මට දෙමව්පියන් සමග නොව ආච්චී සමග එහි යාමට සිදුවුණේ ඇයි?

මගේ පියා පාසල් ගුරුවරයෙකු නිසා, ඔහු අලුත් වසරේ ප්‍රථම දිනයේ තම රාජකාරිය ඇරඹීම සඳහා උදෑසන ම නිවසින් පිට වෙන්නට ඇත.

මේ වන විට මගේ බාල ම සොහොයුරා ගේ වයස අවුරුදු දෙකයි මාස දහයක් පමණි. එනම් ඔහු සිටියේ ගමන් බිමන් යන විට වඩාගෙන යන වයසේ ය. අනෙක් බාල සොහොයුරාට නම් වයස අවුරුදු හතර පිරී තිබුණි.

අම්මාට මා කැටුව එදා පාසලට යෑමට නොහැකි වී ඇත්තේ ඒ බාල දරුවන් දෙදෙනා නිසා ය.

තම ප්‍රථම දරුවාට නමක් තබන්නට ගොස් සිදුවුණු අපේක්‍ෂාභංගත්වය ගැන මෙන් ම, ඒ සුපින්වත් කුමරුවා තක්සලාවට ගිය මුල් දිනයේ දී ඒ ගමනට එක්වන්නට නොලැබීම ගැන ද අම්මා දුකෙන් සිහිපත් කරනු මා අසා ඇත.

ඇත්තටම තාත්තා කළ යුතුව තිබුණේ, එදින නිවාඩුවක් දමා, අම්මාත්, මල්ලිලාත් කැටුව ඒ ඓතිහාසික ගමන මා සමග යෑමයි. දරුවෙකු පාසලට ඇතුළත් කිරීමට යාම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිවාඩු අනුමත නොවේ යැයි සිතිය නොහැකි ය.

නමුත්, තාත්තා ඔහු ගේ ගුරු රාජකාරිය, තම පවුලේ කාර්යයට වඩා උස් කොට සලකා ඇති බව පෙනේ.

කමක් නැත!

මේ ආකාරයටම, අපේ දියණිය පාසල් ගිය මුල් දිනයේ ඇය කැටුව ගියේ මා පමණි. ඒ දිනවල මෙල්බර්න් තදාසන්නයේ මරුන්ඩා රෝහලේ හදිසි රෝගී අංශයේ සේවය කළ මා බිරිඳට එදින උදෑසන හතට සේවයට වාර්තා කිරීමට තිබුණි.

උදේ රැයෙන් නැගිට කිරිබතක් සෑදු ඇය ඉන්පසු රාජකාරිය සඳහා පිටව ගිය අතර, දියණිය ගේ ජීවිතයේ ඒ සැතපුම් කණුව හා සම්බන්ධ සෑම මොහොතක් ම තනිවම අත් විඳීමට එදා මට වරම් ලැබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල් ම දවස අද වේ - ඇන්ජලීන් ගුණතිලක



(image: http://darkaresgaming.net/index.php?/topic/4221-first-day-of-school/)

35 comments:

  1. මම මුල් වරට පාසැල් ගියේ 1987 වසරේ විය යුතුයි - එවකට මව අහිමිව සිටි නිසා පාසල් ගි‍යේ සීයා හා තාත්තා සමඟ විය යුතුයැයි සිතමි.කෙසේ වුවත් මුල් පාසල් දිනය ගැන වැඩි මතකයක් නැත - එහෙත් එදින කුරුණෑගල ලේක් ස්ටුඩියෝ එකෙන් ගත් ඡායාරූපයක් තවමත් සුරැකිව පවතී
    ඉන් වසර 29කට පසු දුව පාසලට බාර දුන් දවසේ මමත් බිරිඳත් දෙදෙනාම ඇය කැටුව ගියෙමු.

    ReplyDelete
    Replies
    1. විශේෂ යමක් සිදු වුනේ නැතිනම් මෙච්චර කල් මතකයක් ඉතුරුව තියෙන්නේ නෑ තමයි! කෙසේ වෙතත් ඒ කාලේ ස්ටුඩියෝ ෆොටෝ නම් ශත වර්ෂයක් වුනත් පවතින ඒවා.

      Delete
  2. i dont understand OUR sl people...........he write a comment on sl school boy, but he put a sudha Boy on the picture...

    rasika , school giyee mee wagedha......what a nonsense....

    why sl people always use...Foreigners to add and public....

    okka hariyata HEENMANEE WAGE ..APEE ACHIGE

    ReplyDelete
    Replies
    1. මට අධිමානයක් තියෙනවා කිව්වා නම් පිළිගන්න තිබුණා.

      දරුවා, අපේ දෙමව්පියන්ට ඒ කාලේ කැමරා තිබුණේ නැ. ෆොටෝ ගත්තේ මගුල් ගෙචල්වල දී සහ හාවා හඳ දකින්නා වාගේ ස්ටුඩියෝ එකකට ගිහින් විතරයි.

      තාත්තා හෝ අම්මා නැතුව ආච්චී එක්ඛ මුල්ම දා ඉස්කෝලේ ගිය මගේ ෆොටෝ ගන්නේ ආච්චී ද?

      මා ගාව තියෙන කුඩා කාලයේ ෆොටෝ කිහිපය මං අදලා පරිදි යොදා ගෙන තියෙනවා. ඔබ ඒවා දැක නැති බව පෙනෙන නිසා මෙන්න එයින් එකක්.

      රසික උපත නොහොත් පොඩි කතාවක් දෙකක් - In the beginning there was light

      තවත් කිහිපයක් ඇති. ඒවා පසුව සොයා එකතු කරන්නම්!

      Delete
  3. ගියේ කා එක්කද කියල මතක නැති උනත් අපේ පංතියෙ හිටපු සෙට් එක ඉදිරි අවුරුදු 11 ක කාලය පුරාවටම ඉස්කෝලෙ හොඳ වැඩ, මැර වැඩ වලින් නමක් තබන පන්තියක් බව එදාම ඔප්පු කල බවනං මතකයි.

    ReplyDelete
    Replies
    1. ඇයි එකෙලහෙන් හැලුනේ?
      මං නං අවුරුදු දහතුන හමාරක් ම ඉස්කෝලේ ගියා.

      Delete
    2. 1 ඉඳල 11 වෙනකල් එක සෙට් එක දිගටම එකම පන්තියෙ ඉන්නවනෙ. 12 ට යනකොට එක එක සෙක්ෂන් වලට කට්ටිය මාරු වෙලා යන නිසයි එහෙම කිවුවෙ.

      Delete
    3. මං නං ඉස්කෝල තුනකට ගියා. මුල් අවුරුදු පහේ හැම අවුරුද්දේම පන්ති මිශ්‍ර කළ නිසා අලුත් යාලුවෝ ලැබුණා, පරණ යාලුවෝ නැවත හමුවුණා.

      ඊළඟ ඉස්කෝලේ නම් අවුරුදු හතරක් එකම සෙට් එක වගේ තමයි හිටියේ. ඒත් පරණ ඉස්කෝලෙන් මේ අලුත් එකට පාස් වුනේ හතර පස් දෙනෙකු විතරයි.

      අන්තිම ඉස්කෝලෙට ගියාම තනිකරම අලුත් යාලුවන් ලැබුණත්, ආණ්ඩු මාරුවෙලා අධ්‍යාපනය උඩු යිටතකුරු වුණු නිසා නැවතත් පන්තිය දෙකට කැඩුණා!

      හෝඩියේ පන්තියේ සිටි අයගෙන් නම් මතක තුන් හතර දෙනෙකුගේ විතරයි.

      Delete
  4. විශේෂ දෙයක් නොවුනට මට පළමු දවස තාම මතකයි. මේ වගේ සරල පදමාලාවක් මතක හිටින ගීතයක් කරන්න පුළුවන් ඇන්ජලින් ගුණතිකල වගේ ගායිකාවකට පමණයි.

    ReplyDelete
    Replies
    1. ඉයන් අඬන්න ඇති, අඩු වශයෙන් දුකක් හෝ බියක් දැනෙන්න ඇති.

      Delete
  5. ඉස් ඉස්සෙල්ලාම ඉස්කෝලෙ ගියදා (මොන්ටිසෝරි ගැන අහලවත් තිබුණෙ නෑ) නැගිටල "නෝනමහත්තය ලැට් එකට ගිහින් එන්නද" කියල අහන්න ලැජ්ජාවට චූ ගියා.
    දෙවෙනි දවසෙත් ගියා.
    තුන්වෙනි දවසෙ රෙවුනා කියහන්කො.

    ReplyDelete
    Replies
    1. පොඩි එවුන්ට, උදේ නැඟිටල පැය බාගයක් විතර ඇතුලත ශරීරකෘත්‍ය කරවන්න ඕන. මම මගේ කොල්ල ඒ වැඩේට පුරුදු කලේ හිතාගන්න බැරි තරම් පොඩි කාලෙ ඉඳල. මුත්‍රා කිරීමත් එසේමයි.
      එතකොට රෙවෙන්නෙ නෑ.

      Delete
    2. කණගාටුදායකයි. ඇත්තටම මේවා ගුරුවරුන්ගෙත් වැරදි. උදේම ළමයින්ව ටොයිලට් යවලා පන්තිය අරඹන්න පුළුවනි නේ!

      Delete
  6. පළමු දවස එහෙමකට මතක නෑ. තාත්තයි අක්කල දෙන්නයි එක්ක ඉස්කෝලෙ ගියා. තාත්ත එද්දි ඇඬුව මතකයි.

    ReplyDelete
    Replies
    1. අඬනවා කියන්නේ ලොකු සිදුවීමක් නේ!

      Delete
  7. ඉස්සෙල්ලාම දවස හොඳට මතකයි. නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල...අම්මයි, තාත්තයි යනකොට හොඳටම ඇඩුවා. මොරායස් ගුරුතුමිය තමයි මගේ පලමු ගුරුවරිය. ඉතාමත්ම කාරුණික ගුරුවරියක්. ඊට පස්සේ දවස් දෙක තුනක් යනකම්ම පංතිය එහා පැත්තට වෙලා අම්මා හිටියා. මට ඒ පන්තියත් තාම මතකයි.

    ReplyDelete
  8. මම මුල්ම දවසේ ඉස්කෝලේ ගියේ අම්මත් එක්ක. එදා වුණු සිද්ධියක් ජීවිතේටම අමතක නොවෙන්න හිතේ රැඳිලා තියෙනවා.
    ඉස්කෝල ශාලාවේ බැලුම් බෝල එල්ලලා සරසලා තිබුණේ. උත්සව සභාවයි සංග්‍රහයි ඉවර වුණාම ළමයින්ට බැලුම් බෝල ඕන වුණා. මාත් බැලුමක් ගන්න ආසාවෙන් හිටියේ. හයිය තිබුණු තාත්තලයි පොරකන්න පුළුවන් අම්මලයි තමන්ගේ ළමයින්ට බැලුම් අරන් දුන්නා. මගේ අම්මට බැරි වුණා මට බැලුමක් අරන් දෙන්න. ඒත් අම්මට මගේ ආසාව ඉෂ්ට කරන්න ඕන වුණා. අම්මා මාවත් එක්ක ගෙන ගියා ළඟම තිබුණු කඩේට. ඒ කඩේ බැලුම් තිබුණේ නැහැ. මං වගේම අම්මත් ගොඩක් අසරණ වුණ බව මට දැනුණා.
    අම්මා කඩෙන් එළියට ඇවිත් මට මෙහෙම කිව්වා. “පුතේ, මේ ලෝකේ කොහෙන් හරි මම උඹට බැලුමක් ගෙනත් දෙනවා.” ඒ වෙලාවේ මගේ ඇස් වලින් කඳුළු පැන්නද කියලා මට දැන් මතක නැහැ. ඒත් මේ සිද්ධිය මතක් වෙන වාරයක් ගානේ මගේ ඇස් තෙමෙනවා. මං කිව්වා “අම්මේ, මට බැලුන් එපා. අපි ගෙදර යමු.” කියලා.
    ඒ දවසෙන් පස්සේ ගෙවුණු අවුරුදු 29 තිස්සේ අම්මා මං වෙනුවෙන් කොයි තරම් දුක් වේදනා විඳලා තියෙනවාද? කොයි තරම් කැප කිරීම් කරලා තියෙනවාද? ඒත් එදා ඒ මෙහොතේ අම්මා කියපු වචනවලින්, පල කරපු හැඟීම්වලින් දැනුණු තරම් ආදරයක් මං ආයේ විඳලා නැහැ.
    මං තවමත් මේ අත්දැකීම ගැන අම්මට කියලා නැහැ!

    ReplyDelete
    Replies
    1. කවදද කියන්න බලාපොරොත්තු වෙන්නේ? අම්මා නැති වුණ දවසකද? පසු තැවිලි නොවන්න නම් අදම කියන්න. අදම.

      Delete
    2. අම්මා කී කතාව වගේ ම පුතා කියූ කතාවත් ඉතා හොඳයි.

      Delete
  9. මම නම් මුලින්ම ඉස්කෝලේ ගියේ අප්පච්චි එක්ක අපේ අම්මා එතකොටදුෂ්කර සේවයේ. උදේ පාන්දරම ගෙදරින් යනවා. මගේ ලොකු පුතා ඉස්සෙල්ලම ඉස්කෝලේ ගිය දවසේ නම් ගියේ මගේ කොමාන්ඩර් ඉන් චීෆ් එක්ක මොකද එතකොට මම පස්තාච්චි කුපාඩි (copyright කතන්දර) අදිනවා චීන කොලනියක. පොඩි එකා ගේ නම් පලවෙනි දවසේ අපි දෙන්නම ගිහින් පිනාගේ යාතිකාව අහගෙන හිටිය. ප්‍රනුවර ආවම අයෙත් කොමාන්ඩර් ඉන් චීෆ් බිසී හින්ද මම තමයි දෙන්නම රෝසලියට එක්කගෙන ගියේ!

    ReplyDelete
    Replies
    1. තැනේ හැටියට ඇනේ!

      පේ පුතා මුල් ගේ දවසේ නම් උදේ නිවාඩු දාලා අපි දෙන්නාම පාසලට ගියා.

      Delete
  10. කකාව ඔස්ට්‍රියානු ෆෙඩරල් හමුදාවට බන්දලා තුවක්කුවක් දෙකක් දීලා මැදපෙරදිග මිනිස්සු මරන්න අරින්න ඕනි. කකා මිනිස්සු කියක් මරණවද එහෙම උනොත්?

    ReplyDelete
    Replies
    1. මං මොකටද ඔස්ට්‍රියානු හමුදාවට යන්නේ?

      මං ඉන්න රටේ (ඕස්ටේ‍ර්ලියාව) හමුදාවටවත් බැදෙන්න කිසිම අදහසක් නෑ!

      Delete
  11. ඕවා තමයි ටච් වෙන මතකයන්

    ReplyDelete
  12. මටනම් මුලින්ම ඉස්කෝලෙ ගිය දවස ගැන මතකයක් නෑ. අවුරුදු 2 ඉඳලා අම්මාගේ අතේ එල්ලිලා අම්මා උගන්නපු ඉස්කෝල තුනකට ගියා. හරියට ඉස්කෝලෙකට ගියෙ 2 පන්තියට. ඒ ගියෙත් අම්මත් එක්ක. අපේ පියාණන් ඉස්කෝලෙක ලොකු මහත්තැන් කෙනෙක් නිසා එයාගෙ ඉස්කෝලෙ වැඩ නම්බර් වන්!

    ReplyDelete
    Replies
    1. එහෙනම් අර සින්දුවේ කියවෙන මොට්ටපාලවත් හම්බවෙන්න ඇති නේද හෝඩියේ පන්තියේ දී?

      Delete
  13. මටත් ඔය දවස ගැන මතක බිංදුවක්වත් නෑනෙ. මං යන්න ඇත්තෙ අම්මත් එක්ක. අම්ම තමයි හෝඩියෙදි පන්ති භාර ගුරුවරිය වුනේ. හැබැයි මට මතකයි දවසක් ප්‍රින්සිපල් අම්මට කිව්ව දෙකේදි මාව වෙන ටීචර් කෙනෙක්ගෙ පන්තියට දාන්න කියල. එදානම් මං හොඳටෝම ඇඬුව. ඒ වුනාට ඇත්තටම දෙකට ගිය දවසෙ මට කිසි අවිලක් වුන බවට මතකයක් නැහැ.

    ආයෙත් තුනේදි මට අම්මගෙ පන්තියෙ ඉන්න වරම් ලැබුනා.

    ReplyDelete
    Replies
    1. ඔබේ මේ කතාවෙන් මට පේන්නේ අම්මා ද, ඔබ සමගම පන්තියෙන් පන්තියට ඉහළට පාස් වී ඇති බවයි.

      සමහර විට, පාසැල ඇරෙන වේලාව කුඩා පන්තිවල වෙනස් නිසා විය යුතුයි!

      Delete
  14. මාවයි මල්ලිවයි දෙන්නවම මොන්ටිසොරිත් යැව්වා, ඉස්කෝලට බාර දෙන්න අම්මයි තාත්තයි දෙන්නමත් ආවා. රසික.. මොන්ටිසොරියේ අඬන හැම ළමයව නැලෙව්වේ මම.. මට තාම මතකයි පිරිමි ළමයි තමයි හෝ ගාල අඬන්නේ.. ඉස්කොලේට බාර දෙන දවසෙත් මම ඇඬුවේ නැ,මල්ලි අම්මයි තාත්තයි දෙන්නම ලඟම ඉඳලත් සෑහෙන්න අඬලා..

    මගේ තියනවා මොන්ටිසෝරියෙයි, ඉස්කොලේ පළවෙනි දවසෙයි ගත්ත ෆොටො..

    ReplyDelete
    Replies
    1. ලබන වසරේ ඔබේ දරුවා පාසල් යන විට කවුරු අඬාවිද?

      Delete
    2. කවුරුත් අඬන්නේ නැ රසික.. මේ ටිකේ orientation .. හරිම කැමැත්තෙන් යන්නේ එයා..:) :) මගේ පුතා අවුරුදු 2ක් pre school ගිහින් පුරුදුයි නේ රසික, එයා හොඳට දන්නවා වෙන දේවල්.. මං හිතන්නේ දෙමාපියන්ගේ වගකීමක් දරුවන් සුදනම් කරවන එක...

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.