Showing posts with label දත් දොස්තර. Show all posts
Showing posts with label දත් දොස්තර. Show all posts

Sunday, 26 February 2017

දත් දොස්තරෙකු මට කළ හදියක මහත! - Oh, those torturers!


දත් දොස්තරෙකු මට කළ හදියක් නිසා මා මේ දිනවල සිටින්නේ තරමක දුකෙනි. තව දින දෙක තුනක් මේ තත්වය පවතිනු ඇත!

නමුත් හැම කළු වලාකුළක ම රිදී රේඛාවක් තිබෙන්නා සේ, මේ හදිය නිසා හෙළිදරව් වුණු මගේ ආත්ම ශක්තිය ගැන මට දැඩි සතුටක් ද ඇත.

කතාව මෙයයි.

මගේ දත් වහල්ල පෙන්වීමට ගමේ දත් දොස්තර වෙතට ගිය දිනයක, ඔහු මා අසල නගරයේ පිහිටි විශේෂඥ දන්ත ශල්‍යාගාරයේ දොස්තරෙකු වෙත යොමු කළේ මගේ මුඛයේ විදුරුමස් නමින් හැඳින්වෙන කොටස පිළිබඳ ප්‍රතිකාර කිරීමටයි.

මේ විශේෂඥ විෂයය හැඳින්වෙන්නේ පෙරියොඩොන්ටික්ස් නොහොත් පරිදන්තවේදය නමිනි.

මා එහි ගිය මුල් දවසේ, මගේ දත් වහල්ලේ ඉතිරි වී ඇති දත් ගොන්න ගැන බලා, ඒ එකින් එක පිළිබඳ සටහන් රාශියක් ලියා, එක්ස්-රේ රාශියක් ද ගත් ඔහු මා ඩොලර් දෙසිය පනහකින් පමණ දුප්පත් කළා පමණක් නොව, මගේ දත්වල විදුරුමසට යටින් ඇති කොටස් දිරායාම වැළැක්වීම සඳහා දත්වල ඒ කොටස් විශේෂ පිරිසිදු කිරීමකට ලක් කළ යුතු බවත් පැවසීය.

මේ පිරිසිදු කිරීම, කටේ එක් පසක් පමණක් එක් දිනක බැගින් සතියක පරතරය සහිතව දින දෙකකදී කළ යුතු බවත්, එසේ කරන්නේ සීමිත නිර්වින්දනය යටතේ බවත් මට දැන්වීය. වෙනත් විකල්පයක් නොතිබුණු බැවින්, පොකැට්ටුව හිල්වීම ගැන නොසිතා (එක දතකට ගාස්තුව ඩොලර් හැට පහකි!) දින වෙන් කර ගතිමි.

ඒ මුල් දිනය වූයේ පසුගිය සඳුදා ය.

උදේ වරුවේ අඩ පැයක පමණ කාලයක දී සිදු කෙරුණු මෙම කාර්යය සඳහා දවසක් ම ලෙඩ නිවාඩු දැමීමට සිදුවීම, නිර්වින්දක ඉන්ජෙක්‍ෂන් වේදනාව, නිර්වින්දිනය කෙසේ වෙතත් විදුරුමස් අස්සේ කටු ගසමින් හූරණ විට දැනුණු වේදනාව, කටේ අඬුපඬු ගසා සිටියදී හුස්ම ගැනීම ආදී කටයුතු නිසා ඇති වූ වේදනාව, ඩොලර් අටසීයකින් දුප්පත් වීමේ වේදනාව වැනි කිඹුලන් කන වේදනා සියල්ල ඌයි නොකියා ඉවසා සිටිය ද අවසානයේ දී මහා දරුණු කොහිල කටුවක් ඇනුණි!

ඇන්ටිබයෝටික් නොහොත් ප්‍රතිජීවක ඖෂධ දෙකක් ෆාමසියෙන් මිලට ගැනීම සඳහා බෙහෙත් වට්ටෝරුවක් ලියා දුන් ඔහු ඊළඟට කීවේ මෙයයි.

"රසික, මේ අද කළ ගැඹුරු පිරිසිදු කිරීමෙන් පසු ඔබේ විදුරුමස්වලට ආසාදන ඒම වළක්වා ගැනීම සඳහා මේ බෙත් වර්ග දෙක සතියක් එක දිගට නොකඩවා ගන්න. ඒ අතරතුර කිසි ලෙසකින් මත්පැන් පානය කරන්න එපා!"

ඌයි!

සතියේ සාමාන්‍ය දවස් අමතක කරමු.

නමුත්,

සිකුරාදා කලාකාමී මිතුරන් පිරිසක් මුණ ගැසී රංගකලාව පිළිබඳ සාකච්ඡාවක් කිරීමට තිබේ.

ඌයි, ඌයි!!

සෙනසුරාදා සවස නිවාඩු පාඩුවේ නිවසට වී සිනමා සිත්තමක් නැරඹීම වැනි විනෝදාත්මක යමක් කිරීමට සැලසුමක් ද තිබේ.

ඌයි, ඌයි, ඌයි!!!

ඉරිදා සවස උපන්දින සාදයක් ද තිබේ.

ඌයි, ඌයි, ඌයි, ඌයි!!!!

දත් දොස්තරෙකු මට කළ හදියක මහත එසේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ලෙඩ රෝග, බේත් හේත් සමග සෙල්ලම් නැත.

මම තවමත් සිල් බිඳ නොගෙන හොඳ ළමයෙකු ලෙස සිටිමි. මගේ ලොකුම ජයග්‍රහණය වූයේ, සිකුරාදා පැවති කලාකාමී මිතුරු සාදයට සහ සාකච්ඡාවට සහභාගී වී අමුවෙන් ම නිවසට පැමිණීමයි.

ප/ප/ලි:
යළිත් වරක් මාර්තු පළමුවෙනිදා දත් වහල්ලේ ඉතුරු අර්ධය සඳහා මේ ප්‍රතිකර්මය ලබා ගැනීමට යා යුතුව ඇත. නැවතත්, සතියක් පුරා මේ බෙහෙත් ම ගත යුතු වෙනු ඇත!


අපොයි!!

(image: http://www.joblo.com/movie-news/director-bryan-singer-shares-magnetos-tools-implying-there-will-be-either-torture-or-dental-work-in-x-mendofp)