
මේ ළඟදි ආපු ආරංචියකින් කියවුණේ ලෝක බැංකුවේ වර්ගීකරණයට අනුව ලංකාව න් ඉහළ මධ්‍යම ය ආදායම් ලබන රටවල් කණ්ඩායමට ඇතුළත් වෙලාය කියායි.
මීට කලින් 2018 දී ඒ තත්ත්වය ලැබුණත් එතනින් පස්සේ රට කඩා වැටුණට පස්සේ මොකද වුණේ කියන එක අමුතුවෙන් මතක් කරලා දෙන්නත් අවශ්‍ය නෑ නේ.
මේ ඉහළ මධ්‍යම ආදායම් මට්ටම කියන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,636 සිට ඩොලර් 14,375 දක්වා වන විශාල පරාසයක්.
ලංකාව ඉන්නේ ඕකේ යටම සීමාවේ. යන්තම් ඩොලර් පන්දාහයි.
මේ ගැන ප්‍රතිචාරයක් දැක්වූ අයෙකු කියා තිබුණා මේක හරියට පොඩි ආදායමක් තියෙන අයෙකු බෙන්ස් කාර් එකක් ගත්තා වගේ තත්ත්වයක් කියා. ඒ කියන්නේ කාර් එකේ හැටියට සල්ලිකාරයෙක්, නමුත් කාර් එක මේන්ටේන් කරන එකත් ආදායමේ හැටියට ප්‍රශ්නයක් කියන එකයි.
අපූරුවට ගැලපෙන ඒ උදාහරණය නිසා මට මතක් වුණා මේ හා සමපාත මගේ අත්දැකීමක්.
ඔන්න අපේ දියණිය උපත ලබන්න ළං වෙනකොට මගේ බිරිඳ යෝජනා කළා අපි කාර් එකක් ගත්තොත් හොඳ නැද්ද බබා ඉපදුනාට පස්සේ ගමන් බිමන් යන්න එතකොට ලේසියිනේ කියා.
ඔය කාලෙ මම විශ්වවිද්‍යාලයක කථකාචාර්යවරයෙක්. පඩිය රුපියල් 7,500 යි. බිරිඳ කොළඹ මහ රෝහලේ වෛද්‍යවරියක් පඩිය රුපියල් 3,500 විතර.
ආරම්භයේ සිටම මගේ විශ්වවිද්‍යාල පඩියේ තිබුණු විෂමතාවයක් විසඳීම නිසා ඔය වෙනකොට මට ලොකු ඇරියස් එකක් ලැබිලයි තිබුණේ. අපි දෙන්නාට ලොකු වියදමක් නැති නිසා සාමාන්‍ය මුදලක් ඉතුරු වෙලා තිබුණා.
ඉතින් අපි ගත්තා පරණ කාර් එකක්. ඒක ටොයොටා කොරොල්ලා එකක්. පාවිච්චි කරනකොට තමයි තේරුණේ පෙට්‍රල්වලට යන වියදමේ සැර.
ඉතිං ඒක විකුණලා ගත්තා පොඩි කාර් එකක්, නිසාන් මාච්. එන්ජිම පොඩි හින්දා ටොයොටා එකට වැඩිය 30% විතර වැඩියෙන් පෙට්‍රල් වැඩ කරනවා.
ප්‍රසූති නිවාඩුවෙන් පස්සේ බිරිඳ ආපහු වැඩට යන්න පටන් ගත්තහම අපි දෙන්නා ගෙදරින් ගිහින් බිරිඳව ඉස්පිරිතාලෙන් බස්සලා, මම යනවා කැලණියට කාර් එකේ. බිරිඳගේ රැකියාව මට කලින් අවසාන වෙන නිසා ඇය බස් එකේ ගෙදර යනවා. මම හවස් වෙලා කාර් එකේ එනවා.
නමුත් ඉතින් වෙනදා මට වැඩට යන්න ගියා වගේ දහගුණයක් විතර වියදම. ඔය කාලේ මම ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාවකුත් කරනවා. මගේ හිත කියන්නේම මේ වියදම නොකළ යුතු එකක් කියායි.
තනි පුද්ගලයෙකු මෝටර් රථයකින් කොළඹ සිට දළුගමට ගමන් කිරීම ඉතාම අකාර්යක්ෂම එකක්.
ඉතින් මම හොයාගත්තා හොඳම ක්‍රමයක්.
උදේට බිරිඳ එක්ක ගිහින් කාර් එක රෝහලේ නවත්තලා රෝහල ඇතුළෙන්ම වෝඩ් ප්ලේස් එකට ඇවිදගෙන ගිහින් 154 බස් එකක නැගලා දළුගමට යනවා. හවසත් 154 ක පිහිටෙන් වෝඩ් ප්ලේස් එකට ඇවිල්ලා, කාර් එකේ නැගලා ගෙදර එනවා.
ඔන්න ඉහළ මධ්‍යම පන්තියේ වාහන භාවිතය ගැන මගේ අත්දැකීම.
හැබැයි ඉතින් අවුරුද්දක් විතර යනකොට විශ්වවිද්‍යාල සේවකයින්ට තරමක පඩි වැඩිවීමක් ලැබුණා. මාත් කාර් එකේම වැඩට යන්න පුරුදු වුණා.
ලංකාවටත් එසේම වේවා!
- රසික සූරියආරච්චි
(image: https://blogs.worldbank.org/)
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.