Monday 6 April 2015

නිවාඩු පාඩුව - My great loss in 2015


ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන අයෙකුට මුහුණ දෙන්නට වෙන කටුක සත්‍යයක් වනුයේ සති අන්තයන් හැරුණු විට ඇති පොදු නිවාඩු දිනවල අඩුකමයි.

ලංකාවට ආවේනික වූ පෝය නිවාඩු, සිංහල අලුත් අවුරුදු නිවාඩු යනාදිය මෙරට එළෙසම නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඊට අමතරව වුනත් පොදු නිවාඩු දින ඇත්තේ අල්පයක් පමණි.

උදාහරණයක් ලෙස මා වසන නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ 2015 වසර සඳහා නියමිත පොදු නිවාඩු දිනයන් මෙසේය.

ජනවාරි 1 දා      අවුරුදු දිනය (දිනය ස්ථිරයි)
ජනවාරි 26ඕස්ට්‍රේලියා දිනය (දිනය ස්ථිරයි)
අප්‍රියෙල් 3මහ සිකුරාදා (සැමවිටම සිකුරාදාවකි)
අප්‍රියෙල් 6පාස්කු සඳුදා (සැමවිටම සඳුදාවකි)
අප්‍රියෙල් 25ඇන්සැක් (ANZAC) දිනය (දිනය ස්ථිරයි)
ජූනි 8රැජින ගේ උපන් දිනය (සැමවිට ම සඳුදාවකි)
ඔක්තෝබර් 5කම්කරු දිනය (මෙය ද සැමවිට ම සඳුදාවකි)
දෙසැම්බර් 25නත්තල් දිනය (දිනය ස්ථිරයි)
දෙසැම්බර් 26බොක්සින් දිනය (දිනය ස්ථිරයි)
දෙසැම්බර් 28රජයේ සේවක අමතර නිවාඩු දිනය
(දිනය ස්ථිර නැත. එය නියම කරන්නේ දෙසැම්බර් 25 සහ 26 යෙදෙන
දවස අනුව දිගු නිවාඩුවක් ලබා දීමටය.)

ඕස්ට්‍රේලියාවේ අන් ප්‍රාන්තවල සමහර නිවාඩු දින වෙනස් දිනවලට යෙදේ. උදාහරණයක් ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ කම්කරු දිනය යෙදෙන්නේ මාර්තු මාසයේ සඳුදාවක ය.

මේ නිවාඩු දින සමහර ඒවා ස්ථිර දින වූවත්, අන් දිනයන් සැම විටම සඳුදා දිනවලට නියම කෙරෙන්නේ වැඩකරන ජනතාවට දිගු සති අන්තයක් ලබා දීමට බව කිව යුතුය. මේ සඳහා හොඳම උදාහරණය රැජින ගේ උපන් දින නිවාඩුව වේ. එලිසබෙත් ආච්චි පරලොව ගොස් චාලි ගොයියා රජ වුණු පසුව ද, නම පමණක් වෙනස් වී මේ නිවාඩු දිනය සඳුදාවක් ලෙස ම පවතිනු ඇත.

මා සේවය කරන්නේ නිව් සවුත් වේල්සයේ ප්‍රාන්ත රජයට සම්බන්ධ ආයතනයක් වන මාර්ග සහ ජලාප්‍රවාහන සේවාවේ ය. අපේ රැකියා ගිවිසුමට අනුව හිමිවෙන සාමාන්‍ය පුද්ගලික නිවාඩු වන වාර්ෂික නිවාඩු, ලෙඩ නිවාඩු යනාදියට අමතරව සෑම සති හතරකට ම වරක් එක දිනයක නිවාඩුවක් තමන්ට කැමති දිනයක (ඉහල නිලධාරියා ගේ අනුමැතියට යටත්ව) ලබා ගත හැක. ඒ සඳහා ඇති අනිත් කොන්දේසිය නම්, සෑම සතියක ම සේවා කාලය වෙන පැය තිස් පහ වෙනුවට පැය දෙකක් පමණ වැඩිපුර සේවය කිරීමයි. එවිට සති හතරකට පසු පැය හතහමාරක අතිරික්තයක් ඇති වේ.

මේ නිවාඩුව, තම තමන් කැමති ආකාරයට ගත හැකි (හෝ නොගෙන සිටිය හැකි) නිසා, හැඳින්වෙන්නේ නම්‍ය (flexible) නිවාඩුව ලෙසිනි.

මීට අමතරව, විවිධ සංස්කෘති සහ ආගම්වලට අදාල වෙන දින රාශියක්, සේවකයින්ට කැමති පරිදි තමන් ගේ පුද්ගලික නිවාඩු ගැනීමට, රජය මගින් අනුමත කර ඇත. පිටු ගණනාවක් දිග මේ ලයිස්තුවට ශ්‍රී ලංකා ජාතික දිනය, සිංහල අලුත් අවුරුද්ද සහ වෙසක් දිනය ද ඇතුළත් වේ.

නත්තල සහ ජනේරුව සහිත දිගු නිවාඩුවෙන් පසුව අපට දිගු නිවාඩුවක් ලැබෙන්නේ මහ සිකුරාදා සිට පාස්කු සඳුදා දක්වා ය. අප්‍රියෙල් පාසල් නිවාඩුවද බොහෝ විට මේ වෙන විට ඇරඹී ඇති නිසා මේ දින හතරේ නිවාඩුවේ තම පවුලේ අය සමග ගමන් බිමන් යෑම බොහෝ දෙනෙකු ගේ සිරිතයි. මේ නිසාම නගරයෙන් පිටත ඇදෙන ප්‍රධාන අධිවේගී මාර්ගවල සෑහෙන තදබදයක් සිකුරාදා උදේ වරුවේ මෙන්ම, සඳුදා සවස් වරුවේ ද ඇතිවේ.

මේ තත්වයට එක පිළියමක් ලෙස හඳුන්වමින් අපේ ආයතනය විසින් සේවකයින්ට දී ඇති සහනයක් නම්, එක්කෝ මහ සිකුරදාට පෙර දිනය හෝ නැතිනම් පසු සතියේ අඟහරුවාදා දිනය අමතර නම්‍ය නිවාඩුවක් ලෙස ගැනීමට අවසර දීමයි. එය අදාල දින දෙකෙන් දින භාගයක් බැගින් ද ලබා ගත හැක.

නමුත් ඔය සියළු නිවාඩු ලබා ගත හැක්කේ තමන් ගේ රැකියාවේ ඇති වගකීම් අනුව බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙවර මගේ නිවාඩු පාඩුව ඇති වූයේ එලෙසයි.

හෙට අඟහරුවාදා අපේ අංශයේ කළමනාකරුවන් ගේ රැස්වීමක් දවස පුරා පැවැත්වේ. මේ රැස්වීමේ වැඩ කටයුතු සඳහා ප්‍රධාන වගකීමක් මට පැවරී ඇත. එනිසා, ආයතනය මගින් ලබා දෙනු ලැබූ අමතර නම්‍ය නිවාඩුව එදිනට ලබා ගැනීමට මට නොහැකි ය.

අවාසනාවට මෙන්, මේ දින හතරේ නිවාඩුව නිසා ම, එළැඹෙන අඟහරුවාදා රැස්වීමට අදාල වැඩ කටයුතු රාශියක් මට පසුගිය බ්‍රහස්පතින්දා ඉටු කිරීමට තිබුණි. එ නිසා, එදින මේ අමතර නම්‍ය නිවාඩුව ගැනීමට මට හැකියාවක් නොතිබුණි.

මගේ නිවාඩු පාඩුව එයයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපියේ අරමුණ සිඩ්නි ජීවිතය පිළිබඳ යම් අදහසක් නොදන්නා අයට දීම බව සළකන්න.

(image: http://www.sqrft.net/2010/03/office-manager/)

57 comments:

  1. Replies
    1. මේ ලිපියේ අරමුණ සිඩ්නි ජීවිතය පිළිබඳ යම් අදහසක් නොදන්නා අයට දීම බව සළකන්න.

      මම මෙවැනි ලිපි කිහිපයක් ම ලියා පළ කර ඇත්තෙමි. ඔබට මෙය ගෝචර නොවේ නම්, මට කම් නැත. අපරාදේ කරදර නොවී ඉන්න.

      Delete
    2. වැරදීමකින් ඉහත මුල් කමෙන්ටුව ඉවත් වී ඇත. එහි Anonymous 6 April 2015 at 13:44 කියා තිබුණේ මෙයයි.

      /* ඒ ඒ රටවල් වලට යනවා නං එහි තියෙන ක්‍රමයට ගරු කරන්න ඕනි. දැන් කකා උඩ දාගෙන ඔහෙට ගියා නං එහෙ තියෙන විදියට නිවාඩු ගන්න. එහෙම බැරිනං අස්වෙලා ගෙදර ඉන්න මේ වගේ මෝඩ පොස්ට් නොදා.
      */

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. එක හුස්මට කියවගෙන ගියා
    හරිම ෂෝක්

    ReplyDelete
  4. නිවාඩු පාඩුවේ කියෙව්වා.. දැන් තීරණය කරන්නෝනෙ ලංකාවේ දිගටම ඉන්නවද ඕස්ට්‍රේලියාවටවත් පැන ගන්නවද කියලා. හැක්. බයි ද වේ අපිටනම් මෙදා අප්‍රියෙල් 10 ඉඳල 16 වෙනකම් දිග..අ..අ නිවාඩුවක් තියෙනවා. ඒකටම ඔය ෆ්ලෙක්සිබල් දෙක තුනකුත් ඔබාගෙන ජොබ් එක අමතක වෙනකම් ගෙදර ඉන්න තමයි මෙදා හිතන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මගේ නං නිවාඩු ඉවරයි. හෙට නැවත වැඩට. ජනවාරියේ සති දෙකක් නිවාඩුගත් නිසා ඉතුරු වාර්ෂික නිවාඩු ටික බේරා ගත යුතුයි.

      Delete
  5. රසික තමන්ගෙ අතින් නිවාඩු දාන්නෙ ලංකාවෙ මොන උත්සවයටද?

    ReplyDelete
    Replies
    1. ලංකාවට යන්න තමයි, වෙන මොකටද? ගිය අවුරුද්දේ අප්‍රියෙල්වල. මේ අවුරුද්දේ නම් වසර අග තමයි.

      Delete
    2. //මේ අවුරුද්දේ නම් වසර අග තමයි.//
      ලොකු දෙයක් දැම්මම කියුව එක...... ගිහින් එනකොට අපි ගෙදරට සුද්දයක් දාලා තියන්නම්.... :)

      Delete
  6. චැක්... ලංකාවෙ වගේ නිවාඩු නැත්තං මොකක්ද ඔය රට. :D

    ReplyDelete
  7. මම නම් කියන්නේ පෝය දිනය නිවාඩු දිනයක් කරන්න කියලා ඔහේ ඉන්න ලාංකිකයෝ උදඝෝෂණ කිරීම ආරම්බ කරන්න ඕන..

    මොකෝ අර එක පෝස්ට් එකකට කොමෙන්ට් කරපු පට්ට "ලාංකිකයෝ" ටිකක් ඉන්නවා ඔහේ.. "දෙශීයත්වය" මාර විදියට ආරක්ෂා කරගෙන ඉන්න...

    ReplyDelete
    Replies
    1. වෙසක් පෝය නම් එ.ජා. ප්‍රකාශිත නමි නිවාඩු ගත හැකි දිනයක්.

      Delete
  8. නිවාඩු පාඩුයි නේන්නං...!

    ReplyDelete
    Replies
    1. ඒක මගෙන් නිවාඩු පාඩුව සඳහා නව අර්ථ දැක්වීමක්.

      Delete
  9. රසිකොලොජිස්ට්ගේ තොරතුරු ඉදිරිපත් කිරීමේ විලාශයට තමා මම වැඩියෙන්ම කැමති... හිත පතුලටම කිදා බහිනවා කිසිම බාධාවක් නැතිව.. ජය..

    අපි හිතන් හිටියේ මැයි 1 ලෝකේ කොහෙත් නිවාඩුයි කියල නෙව

    ReplyDelete
    Replies
    1. තොට පිස්සුද?මැයි දිනේ පටන්ගත්ත චිකාගෝවලවත් මැයි 1 නිවාඩුවක් නෑ.

      Delete
    2. දේශක - හිත හුඟක් ගැඹුරුද?

      Delete
    3. ලංකාව ඇතුලුව ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක ජාත්‍යන්තර කම්මරු දිනය හරියටම මැයි 1 සැමරෙනවා.

      මෙන්න විස්තර. http://en.wikipedia.org/wiki/Labour_Day

      Delete
    4. මැයි පළවෙනිදා කාන්තා පාර්ශවයට නම් අනිවාර්‍ය නිවාඩු.....

      Delete
  10. අමතර නම්‍ය නිවාඩු ඉතුරු වුනොත් රසිකට ඒව්වා ඉල්ලන්ට බැරිද ?
    ඔය නිවාඩු පඩි සල්ලි කියලා වගේ.

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රශ්නය නම් නිවාඩු ගන්නට කාලය නැති වීමයි. සති හතරට එක බැගින් ගත හැකි නිවාඩුව පස්සට කල් දාගන්නත් හැකියි නිවාඩු දින දහයක් දක්වා. හැබැයි ජනවාරි අග වන විට ඒවා අවසාන කළ යුතුයි.

      අපේ නිවාඩු ක්‍රමය තවත් සංඛීර්ණයි වෙනම ලියන්න වෙනවා.

      Delete
  11. මේක දැකලා මෙහෙත් ඉල්ලයි රජ්ජුරුවන්ගේ උපන්දිනේට නිවාඩුවක්.

    ඇත්තටම, මම නැවතත් කියනවා ඇත්තටම මෙහෙ තියන නිවාඩු අඩු කරන්න හැදුවොත් සිවිල් යුද්ධයක් ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. නිවාඩු අඩුවෙන ගානට අතිකාල දිමනාවක් මෙන් පඩිය වැඩි වෙනවා නම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ.

      Delete
  12. මට ඇත්තටම ලොකූ ප්‍රශ්නයක් තියෙනවා..ඔයා එහෙට වෙපා මොකක්ද කරන රැකියාව?

    ReplyDelete
    Replies
    1. මගේ රැකියාව මොකක්ද කියන එක ලොකු ප්‍රශ්ණයක් වෙන එකත් ඒ ගැන මගෙන්ම අහනවා කියන්නේත් ඔබට මගේ රැකියාව ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක් තවම නැහැ කියන එකයි.

      Delete
  13. නිවාඩු දහයයි තියෙන්නෙ. අපිට තියනව විස්සකට වැඩිය නිඩාඩු. පෝයවල් වල නිවාඩු නැතිවීම තමයි අඩු.

    ReplyDelete
    Replies
    1. පොදු නිවාඩු ගැන මතුපිටින් එහෙම පෙනුනත්, නම්‍ය නිවාඩු දහතුන සහ මට මිස්වුණු දාහතරවෙනි එකත් එක්ක ගත්තාම නරකම නෑ. අනික, බොහෝ නිවාඩු සඳුදාට යොදා ඇති නිසා, දිගු සති අන්තයක් ලබා චාරිකාවක් යෑමට හෝ නිවසේ ලොකු වැඩක් කිරීමට ඉඩ ලැබීම ලොකු දෙයක්.

      Delete
  14. හ්ම්... පාඩුයි නේ..

    ReplyDelete
    Replies
    1. නැවත කියවා බලන්න.

      Delete
    2. මම කිව්වේ ලංකාව අත ඇරලා වෙන රටකට ගිහින් රස්සාවක් කරන එක්. මෙහේ වගේ නිවාඩු නෑනේ.

      Delete
    3. @තුශානි
      ඒකම තමයි මාත් කිව්වේ.

      හැම සති හතරකටම වරක් නිවාඩුවක් තියෙනවා. ඊට අමතරව මට පාඩු වුණු ආකාරයේ නිවාඩු දෙකකුත්, පාස්කුව සහ නත්තල ආසන්නයේ තියෙනවා. වාර්ෂික නිවාඩු දින විස්සයි.

      බැලු බැල්මට කෙසේ වෙතත්, අවසානයේ නරකම නෑ!

      Delete
  15. අපේ කොම්පැණියට එන හැම චීනම අහන පොදු ප්‍රශ්නෙ..'ඇයි මේ ලංකාවෙ මෙච්චර නිවාඩු?' එතකොට මෙහෙ විතරද මෙහෙම?

    ReplyDelete
    Replies
    1. චීනේ කොහොමද දන්නේ නෑ තත්වය. පෙබරවාරියේ අවුරුද්දට විතරක් වෙන්න ඇති නිවාඩු!

      Delete
  16. ලෝකෙ නිවාඩු වැඩිම තීන රට ලංකාව. ප්‍රසිද්ද නිවාඩු 27 යි වාර්ෂික නිවාඩු 21 යි අසනීප 14 යි.

    මම ඉන්න රටේ ප්‍රසිද්ද නිවාඩු 18යි, වාර්ෂික 30, අසනීප 15යි, ඒක තමා ගල්ෆ් කලාපෙ වැඩිම.

    මේ නිවාඩු කිව්වම මතක් උනෙ, ග්‍රිගෝරිස් උන්නැහෙගෙ කැළැන්ඩරේ විදිහට මොහම්මද් නබි තුමා එකම අවුරුද්දක් ඇතුලත දෙපාරක් බර්ත්ඩේ එක සමරනව මේ 2015 දි.

    ReplyDelete
    Replies
    1. තුන් වෙනියට කියපු එක පැහැදිළි කරම්න පීස්

      Delete
    2. මං දන්න ඉස්කෝලේ ටීචර් කෙනෙක් අවුරුද්දේ දෙපාරක් මෑටනිටි නිවාඩු ගියා!

      Delete
    3. තැන්ක්ස් රසික. ඒක මාර වැඩක්නේ. එතකොට දෙසැම්බර් 24 සමරුවට පස්සේ ඊලග අවුරුද්දේ ජනවාරි වල ආයේ බර්ත්ඩේ එකක් තියෙනවද?

      Delete
    4. //ලෝකෙ නිවාඩු වැඩිම තීන රට ලංකාව. 27+21+14= 62

      මම ඉන්න රටේ, 18+30+15= 63//

      ලෝකෙ නිවාඩු වැඩිම තීන රට ලංකාව ?????

      Delete
    5. හෙහ් හෙහ් ඇනෝ.. උඹ විතරයි බං විචාර බුද්ධියක් තිබ්බ එකෙකුට උන්නෙ...

      මචෝ, බහරේන් වල වසරකට නිවාඩු 15හෝ 18 වෙනව. මොකඳ හඳ කැලැන්ඩරේ අනුව අෂූර සහ නබි උපන්දින දෙකම එක අවුරුද්දට සමහරවිට වැටෙන්නෙ නෑ. මේ 2015 දි 18යි. ලබන අවුරුද්දෙ මේක අඩුවෙනව. අන්න එහෙම සීන් එකක් මෙහෙ යන්නෙ. ඒ නිසා හරියට බැලුවොත් 16 විතර තමා මැද අගය.

      Delete
  17. ////ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන අයෙකුට මුහුණ දෙන්නට වෙන කටුක සත්‍යයක් වනුයේ සති අන්තයන් හැරුණු විට ඇති පොදු නිවාඩු දිනවල අඩුකමයි.
    //

    මෙහේ ඕකේ අනිත් පැත්ත. සෑහෙන්න නිමාඩු තියෙනවා.. පාස්කු සඳුදා දිනය කියන එක මෙහෙ අප්‍රියල් මාසේ මුල් සිකුරාදා සෙනසුරාදා යෙදෙන්නේ,, ඒ වගේම ඉස්සරහට සතියක් හැම ආයතනයම උදේ වරුව විතරයි වැඩ.. සුපිරි වෙළඳ සැල පවා වහනවා.. සිකුරාදා සෙනසුරාදා අඩුගානේ බස් එකක්වත් නැහැ,,, මුළු අවුරුද්ද පුරාම එක එක නිමාඩු,,, ඒත් මේ මිනිස්සු දවස ගානේ දියුණු වෙනවනේ.... මෙහෙ කියමනක් තියෙනවා ඊශ්‍රායලයේ බූරුවෙක් උණත් සෙනසුරාදට නිමාඩු ගන්න ඕනේ කියලා... මොකද ටෝරා එකේ තියෙන විදියට දෙවියන් වහන්සේ සය දවසකින් ලෝකය සහ සියල්ල මවා සත්වෙනිදා නිමාඩු ගෙන ඒ විදියට අපිටත් කරන්න කියලා තියෙන නිසා
    Genasis 2;2,3

    ReplyDelete
  18. මම හිතන්නෙ ලංකාවෙ නිවාඩු වැඩි වෙන එකෙන් ලොකුම පාඩුව වෙන්නෙ පාසල් යන ළමයින්ට කියලා. දවස් 365න් දවස් 200කටත් අඩු ප්‍රමාණයක් තමයි පාසල් යන්න තියෙන්නෙ. රටක නිවාඩු වැඩි වෙන එකෙන් රටේ දියුණුවට යම් බලපෑමක් වෙන්න පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. We have only 180 school days in America.

      Delete
    2. ඇ ඔයි
      .....රටක නිවාඩු වැඩි වෙන එකෙන් රටේ දියුණුවට යම් බලපෑමක් වෙන්න පුලුවන් නේද?......
      ඔහේ හරියට වැඩක්කරන්වකෝ වැඩකරන්න තියන කාලය තුල බයිලා කියකියා කඩේ යන්නේ නැතිව එතකොට රට ඉබේම දියුණු වෙයි. දේශ පාලනය කරන තමන්ගේ ළඟ ඥාතියොයි මිතුරෝයි එකතුව රට කන්නේ නැතිව.

      Delete
  19. ඔය කතන්දරේම තමයි අයියේ අපිටත්.. අනික ඔය අස්සට මාස දෙකකට සැරයක් නීතියේ හැටියට සෙනසුරාදා ඉරිදත් ෆාමසිය අරින්න උනාම ඒ නිවාඩුවත් නෑ.. අගෝස්තුවේ ලැබෙන මාසෙක නිවාඩුව එනකන් කට ඇරන් බලාගෙන ඉන්නේ අපි ඒකටනේ..

    ReplyDelete
  20. ඔය දෙසැම්බර් 28 නිවාඩුව ලැබෙන්නේ රජයේ සේවකයන්ට පමණයි. ඒකත් මම හිතන්නේ හැමෝටම නෑ. අපිට නම් තව එක දවසක් තියනවා, Ekka Day, මෙහෙ තියන ප්‍රසිද්ධම සංදර්ශනය බලන්න යන්න. හැබැ‍යි මම නම් ගිහින්ම නෑ.

    තව දෙයක්, ඔය නිශ්චිත දිනවල තියන නිවාඩු සෙනසුරාදා හරි ඉරිදා හරි වැටුනොත්, ඒ වෙනුවට සිකුරාදා හරි සඳුදා හරි නිවාඩු ලැබෙනවා. නමුත් ANZAC නිවාඩුව ඒ විදිහට වෙනත් දවසක ලැබෙන්නේ නෑ.

    ReplyDelete
  21. මටත් නිවාඩුවක් පාඩු උනා අද :( වැඩ කරන තැන නිවාඩු උනත් මට වැඩ නිසා මම නිවාඩුව ගත්තේ නෑ
    ලංකාවේ අර තරම් නිවාඩු ඉතින් public & bank කට්ටියට නේ.

    ReplyDelete
    Replies
    1. මටත් හරියට නිවාඩු පාඩු වෙනවා. නිවාඩු දවස් ඉවර වෙලා කම්මැලිකමට වැඩට නොගියාම.

      Delete
  22. මැදිරිගිරියා - (බයියෙක්)7 April 2015 at 14:40

    මෙහෙම දෙයක් ලිව්ව එකේ වැරැද්දක් නැහැ. රට රට වල අපි නොදන්න සම්ප්‍රදායන් කොයිතරම් තියෙනවද. මෙම ලිපිය අපේ සාමාන්‍ය දැනුම වැඩිකරගැනීමට පිටිවහලක්. ස්තූතියි ඔබට.

    ReplyDelete
  23. අපිටත් ඔය සෙතේම තමයි. අපිට නිවාඩු තියෙන්නේ මෙහෙම

    ජනවාරි පලවෙනිදා....
    ජනවාරි හය (එෆිෆනී
    අප්‍රියෙල් හෝ මාර්තු වල පාස්කුව යෙදෙන දවස අනුව සඳුදා.
    අප්‍රියෙල් 25
    මැයි එක
    ජූනි දෙක
    අගෝස්තු 15
    නොවැම්බර් 1
    දෙසැම්බර් 8
    දෙසැම්බර් 25 26
    ඔන්න අපේ නිවාඩු.

    අමතර නිවාඩු 26 ක් තියෙනවා අපිට කැමති විදියට ගන්න.
    අර නිවාඩු දවස් ඉරිදාට සෙනසුරාදර වැටුනම තමයි ඉතින් මලේ මල් පිපෙන්නේ. වැඩි හරියක් වෙන්නේ එහෙම. )

    ReplyDelete
  24. ඔහේ බැරිද නිවාඩු අරන් හොර මෙඩිකල් දීල ශේප් වෙන්න රසික සහෝදරයා ? ඔන්න කොල්ලො සෙල්ලං.. ඔසී ගියාට නිවාඩු නං සුම්මා...

    ReplyDelete
  25. මෙහෙත් ඉතින් නිවාඩු පාඩුයිම තමා. සික් විතරක්

    ReplyDelete
  26. රසිකගේ ලිපිවලින් වෙනත් රටක විස්තර කොච්චර නම් කියවෙනවද කියලා ලඟදිත් මට කල්පනා වුනා. ඒ එක්කම වගේ මේ ලිපියත් පබ්ලිෂ් වෙලානේ. ඔස්ට්‍රේලියාවට සංක්‍රමනය වෙන කෙනෙකුට අත් පොතක් හදා ගත්තු හැකි.

    ලංකාවේ නිවාඩු ගොඩනේ? ඒත් පොඩ්ඩක් ඇත්නම් සමහරු වැඩ වැඩී කියලා අඬනවත් එක්ක. :D

    ReplyDelete
  27. ඩුබායි වල තත්වෙත් ඕක තමයි. නිවාඩු හරිම අඩු පාඩුයි. අතේ ඇඟිලි වලටත් වඩා අඩුවෙන් තියෙන්නේ....!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.