Showing posts with label නොංචි කෝලම. Show all posts
Showing posts with label නොංචි කෝලම. Show all posts

Saturday, 8 July 2017

කොච්චර නැරඹුවත් එපා නොවෙන නොන්චි කෝලම


ශ්‍රී ලංකාවෙන් විප්‍රවාසීව ඩයස්පෝරික ජීවිත ගෙවන අපට එදා මෙන් නොව අද, අවශ්‍ය නම් ලංකාවේ විකාශයවන රූපවාහිනී නාලිකා කිහිපයක හෝ සජීවී දසුන් නැරඹිය හැකි ය. දිනපතා රූපවාහිනී සංස්ථාවෙන් විකාශය කෙරෙන අඩ පැයේ ප්‍රවෘත්ති වැඩසටහන නම්, පසුවදා දහවලේ ඕස්ට්‍රේලියාවේ විශේෂ විකාශන සේවාව හෙවත් එස්බීඑස් (SBS) ඔස්සේ නැරඹිය හැකි අතර, අවශ්‍ය වෙලාවට (on demand) නැරඹීම සඳහා දින හතක් යනතුරු සංරක්‍ෂිතව ද පවතී.

නමුත් ලංකාවේ ප්‍රවෘත්ති සඳහා පුවත්පත් සහ වෙනත් වෙබ් අඩවි මත යැපෙන මා රූපවාහිනී නාලිකා නරඹන්නේ එක්කෝ දන්නා කියන අයෙකු පෙනී සිටිනවා නම් හෝ නැතිනම් රුචියක් ඇති මාතෘකාවක් සාකච්ඡා වෙනවා නම් පමණි.

මෑතක දී මා නැරඹූ එවැනි රූපවාහිනී වැඩසටහන් වූයේ අපේ වෘත්තිය බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ පෙනී සිටි වැඩසටහන්, මාර්තුවේ විකාශය වුණු නෙළුම් යාය පිළිබඳ වැඩසටහන් සහ කලාතුරකින් කිසිවෙකු රෙකමදාරු කළ දේශපාලන විවාද සහිත වැඩසටහනක් දෙකක් පමණි.

එසේ ම, ඒ සියල්ල මා නැරඹුවේ ද එක් වරක් පමණි. දේශපාලන විවාද වැඩසටහන් නම් සැමවිට ම පාහේ නැරඹුවේ පසුව නිසා, නීරස තැන් වේගයෙන් ධාවනය කරමින් කාලය විශාල වශයෙන් ඉතිරි කරගන්නට ද අවස්ථාව ලැබුණි.

ඒ කෙටි හැඳින්වීමත් සමගම මා සැරසෙන්නේ, දිගු කලකට පසු පස් හය වතාවක් ම ඉතා උනන්දුවෙන් රස විඳිමින් නැරඹූ වැඩ සටහනක් පිළිබඳව පවසන්නයි.

මෙය මා කලින් ද විවිධ වේදිකාවල දී දැක ඇති ආකාරයේ කෝලම් රංගනයකි. නමුත්, රොඩ්නි වර්ණකුල සහ තවත් නළුවන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කරන මේ රංගනය නම් මේ ප්‍රවර්ගයේ මා දැක ඇති සුපිරිතම ඉදිරිපත් කිරීමකි.

මේ වීඩියෝව මා පස් හයවතාවක් නැරඹීමට හේතුව වූයේ එහි ගී පදවල අරුත මෙන් ම, කෝලම් සම්ප්‍රදායේ රැඟුම ද මා සිත් ගත් නිසා ය.

මෙන්න ගී පද.

කප්පරක් ගෑනු උන්නත් මේ වගේ ළඳක්
කොයි ඉසව්වකින් ආව ද මේක හීනයක්
කංකරච්චලෙන් බේරිල ඉන්න තව ටිකක්
නොංචි මේ ළඟින් නැති එක පූරුවේ පිනක්

රන් කඳක් වගෙයි මේකිගෙ මූණ රත්තරන්
"දෙන තකත්" අගෙයි හරියට මක්කදෝ වගේ
හොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම් (රිඟතම්)
තට්ටමෙන් කියයි මේකිගේ ගාය කොයි තරං

තුං පොළේ අඩව් ඉල්ලන නොංචිගේ කටේ
සවුදමෙන් ටිකක් බේරිල ඉන්න මේ වගේ
(මේ වගෙ), පිං කඳක් ලඟින් මට ඇලවෙන්න නෑ පිනක්
(අම්මප), නොංචිලා දහක් පරදන මේක රං කඳක්

එක දෙකක් වුනේ මෙන්න මෙ අවුෂදේ බලෙන්
දෙක වුනත් ඉතිං හතරක් වෙන්නේ මේවයින්
තුන් පැයක් වදෙන් බේරිල නොංචි කෝලමෙන්
(ඇත්තමයි), මං උනත් ඉතිං ඉන්නෙ මෙ අවුෂදේ බලෙන්

නොංචිගේ කටින් කවදත් ඇහැව්වෙ නෑ හොඳක්
ගං පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක්
මං ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක්
(මුන්දැගෙ), මේ වදෙන් අනේ අම්මප නෑ තොලොංචියක්

පැනි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනේ
වළඳනා කෙනෙක් ඇත්තං දෝස නෑ අපේ
මේ පණික්කලෙත් ඕව රුන්ද ගති ගතං
(ඒ වුනත්), නොංචිගේ කනේ වැටුණොත් කම්මුතුයි මමත්

තුන් හිතෙන් හිතුවෙ නෑ මං මේ වගේ දෙයක්
බීමතින් යමක් කිව්වද මට සමාවෙයං
කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතිං
මගෙ නොංචි රං කඳේ
මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතිං
මගෙ නොංචි රං කඳේ
මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
අනෙ මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
හනිකට මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
කැරකිල මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
වරෙං මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
හනෙ හනෙ මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
ඇහහා, මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං!

මෙන්න වීඩියෝව.



මේ ආකාරයෙන් කිහිප වතාවක් නැවත නැවත මා නැරඹූ වීඩියෝවක් ලෙස මගේ මතකයේ ඇත්තේ විරුදු ගායක සහන් ජයශාන්තගේ "මම කැමතියි නෑනට" නම් විරුදු පෙළ රැගත් වීඩියෝවයි.

එය ද නැවතත් රස විඳින්න.



-රසිකොලොජිස්ට්

(image: https://plus.google.com/+sltvideomedia)