Showing posts with label බැංකු කතන්දර. Show all posts
Showing posts with label බැංකු කතන්දර. Show all posts

Saturday, 18 July 2020

"පිං අංකේ" හෙවත් බැංකු කතාවේ කඩඉමක් - Wow, what a feeling!


මා කුඩා කාලයේ අම්මා ඇරඹූ තැපැල් කන්තෝරු ඉතිරි කිරීම් ගිණුමේ තිබුණු සුළු මුදළ ආපසු ගෙන උසස් පෙළ අවසාන වූ පසු සමයේ මගුල් ගෙදරකට කළිසම් කමිස ගත් හැටි සහ ඉන්පසුව දිගු කාලයක් බැංකුවලින් බේරී සිටි මට අවසානයේ ගිණුමක් ඇරඹීමට සිදු වූ හැටි මීට කලින් පළ කළ සටහන් දෙකේ මම ලිව්වෙමි.

නොකරම බැරිවුණු නිසා සිකුරාදාවක එලෙස ලංකාවේ බැංකුවක ගිනුමක් අරඹා, ඉන් පසුදාම පශ්චාත් උපාධියක් සඳහා විදෙස් ගත වූ මට ඊළඟ සඳුදාම නැවත බැංකු ගිණුමක් ආරම්භ කිරීමට සිදුවිය.

මගේ බැංකු ගිණුම් ඉතිහාසයේ කඩඉමක් ලෙස සැළකිය හැකි ඒ අවස්ථාව පිළිබඳ අතුරු කතාවක් මෙලෙස කෙටියෙන් ලියන්නට සිත්විය.

එලෙස මා විදේශයක දී ඇරඹූ ගිණුම කඩඉමක් වන්නේ මා මුලින්ම ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් ගිණුමේ ඇති මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ලැබුවේ ඒ ගිණුම සඳහා වූ නිසා ය.

මේ 1988 වසර විය. එවැනි කාඩ් ලබා දෙන බැංකුවක් එකල ලංකාවේ ද තිබුණු බව මම දැන සිටියෙමි. ඒ විදෙස් බැංකුවක් වූ හොංකොං සහ ෂැන්හයි බැංකුවයි. ඔවුන්ගේ ශාඛා පිහිටියේ එකක් පමණක් නිසා සහ එය ද පිහිටියේ කොළඹ කොටුවේ නිසා අප වැනි ගම්බයියන්ට එවැනි සීමිත වූ පහසුකමක අවශ්‍යතාවක් එකල නොතිබුණි.

නමුත්, මේ විදේශයේ දී මට මෙලෙස බැංකු ගිණුමක් ඇරඹීම අනිවාර්ය වූයේ පශ්චාත් උපාධිය හදාරන කාලයේ දී මට ලැබෙන ශිෂ්‍යත්ව මුදල ගෙවන්නේ ගිණුමකට පමණක් වීම නිසා ය.

මා සමග ඒ උපාධිය හැදෑරීමට ගොස් සිටි පිරිස අතර ලංකාවේ වෙනත් සිසුන් තිදෙනෙකු ද විය. අප තිදෙනා සඳුදා ඇරඹූ බැංකු ගිණුමට අපට එදින ම හෝ පසුදා පෙර කී පරිදි ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් ගිණුමේ ඇති මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ද ලැබුණි.

මේ සටහන කියවන සෑම දෙනෙකුට ම අද මෙය අති සරල කරුණක් ලෙස පෙනී ගිය ද, එය අප ලැබූ නවමු අත්දැකීමක් විය. ඒ සමගම අපට කාඩ් එක සමග භාවිතා කිරීමට පර්සනල් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් හෙවත් රහස්‍ය "පිං අංකයක්" ද ලැබුණි.

ඒ රහස්‍ය අංකය ඉලක්කම් හතරකින් සමන්විත විය.

එය මතකයේ තබා ගන්නා ලෙසත්, ප්‍රසිද්ධියේ ලියා නොතබන ලෙසත්, අන් කිසිවෙකුට ලබා නොදෙන ලෙසත් අපට උපදෙස් ලැබුණි.

මෙහි දී මා ලද විනෝදජනක අත්දැකීමක් මෙසේ ය.

අප ලාංකික සිසුන් සිව්දෙනා මේ කාඩ් එක ගැනත් පිං අංකය ගැනත් කතාබහ කරමින් සිටියෙමු. මේ සිව් දෙනාම ගණිතය හැදෑරූ මැවිසුරු උපාධිය ලද අය වූහ.

දැන් මේ "පිං අංකයේ" තියෙන්නේ ඩිජිට්ස් හතරයි නේ. එතකොට කොච්චර කම්බිනේෂන් තියෙන්න පුළුවනි ද එකෙකු ඇසීය.

ගණිතයේ කෙල පැමිණි සිටි අනෙකෙකු වහා ගණං හැදීම ඇරඹීය.

"පළමුවෙනි ඩිජිට් එකට බින්දුවේ ඉඳලා නමය වෙනකං ඔප්ෂන්ස් දහයක් තියෙනවා. දෙවෙනි තැනටත්, තුන්වෙනි සහ හතරවෙනි තැන්වලටත් එහෙමයි, එතකොට දහය වැඩිකිරීම දහය වැඩිකීරීම... .... ....."

"මොනවද මචං ඔච්චර ගණං හදන්න තියෙන්නේ, බින්දුවේ ඉඳලා 9999 දක්වා තියෙන්නේ හරියටම දහ දාහයිනේ!" මම කියා සිටියෙමි.

ඊට තත්පර කිහිපයකට පසු මගේ මිතුරා ද, තම කම්බිනේෂන්ස් සහ පර්මියුටේෂන්ස් ගණනය කිරීම මගින් ඒ පිළිතුර සොයා ගත්තේ ය!

හදිස්සියට කොරහේ අත දාන්න බැරිවෙනවාය කියන්නේ එවැනි අවස්ථාවලට යැයි සිතමි.

නැවතත් ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ද සහිත ගිණුම පිළිබඳ කතාවට යතොත්, මේ ගිණුමේ මාසික සුළු අය ප්‍රමාණයට සමානවම මාසය පුරා වැය සිදු වූ නිසා, එහි රැඳුණු මුදලක් නැති වුව ද, උදේ පාන්දර, සවස් කාලය, රාත්‍රිය, මැදියම කියා වෙනසක් නොමැතිව ද, බැකුවේ විශ්වවිද්‍යාල ශාඛාව, අසල කඩ මංඩියේ ශාඛාව හෝ මහ නගරයේ ඇති විවිධ ශාඛා ද කියා වෙනසක් නොමැතිව තියෙන තුට්ටු දෙක අපට ඉතා පහසුවෙන් ආපසු ලබා ගත හැකි වීම අප ලැබූ විශාල පහසුකමක් විය.

මා ඒ ගිණුමට මෙන්ම, බැංකු කාඩ් එකට ද කෙතරම් ඇළුම් කළේ ද යත්, අධ්‍යාපනය නිමවා, පශ්චාත් උපාධිය ලැබ, ආපසු ලංකාවට ඒමට පෙර ගිණුමේ ඇති මුදල් සියල්ල රැගෙන එය වසා දැමීමට මට නොසිතුණි. ඒ, එවිට මගේ බැංකු කාඩ් එක ද බැංකුවටම ආපසු දෙන්නට වේ යැයි සිතුණු නිසා ය.

එනිසා ගිණුමේ ඉතා සුළු මුදලක් ඉතුරු කර මගේ සිහිවටනය වූ බැංකු කාඩ් එක ද රැගෙන ලංකාවට පැමිණියෙමි.

මෙයින් වසර හතර හමාරකට පසු, මා වෙනත් ගමනක අතර මැද මේ නගරයේ ද දින දෙකක් ගත කිරීමට සිදුවෙන බව දැන මගේ සිහිවටන බැංකු කාඩ් එක ද රැගෙන ගියෙමි.

අහෝ!

ගිනුමේ ගණුදෙනු කටයුතු සිදු නොවන බැවින් අවම ශේෂය නැති මාස සඳහා සුළු මුදලක් බැගින් කපා ගෙන, ඒ වන විට ඔවුන් මගේ ගිණුම අහෝසි කර දමා තිබුණි.

-රසික සූරියආරච්චි

Thursday, 16 July 2020

පඩි පැකට්ටුව සහ බැංකු ගිණුම - Do we need banks?


පොඩි කාලේ අම්මා විසින් අරඹන ලදුව තැපැල් කාර්යාලය හරහා ගනුදෙනු කටයුතු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක් මට තිබුණි. ශත විසිපහ, පනහ, රුපියල බැගින් ගෙවා බැංකු පොතේ විශේෂ මුද්දර වර්ගයක් අලවා මේ ගිණුමේ මුදල් තැන්පත් කරණ ලදී. සල්ලි දැමීම මිස ආපසු ගැනීමක් ගැන එකල නොසිතුවෙමි.

ඒ සුවිශේෂී අවස්ථාව උදාවුණේ මා උසස් පෙළ විභාගයට පෙනී සිටි පසුවය. එදා, මගේ ළමා ගිණුමේ තිබූ මුදලින් කොටසක් රැගෙන පුංචි අම්මාගේ මංගල උත්සවය සඳහා මයුරා (ජිල්) සාප්පුවෙන් මැසූ කලිසමක් සහ කමිසයක් මිලට ගත් බව මට අද ද හොඳින් මතකයේ ඇත්තේ එතෙක් ටේලර්-මේඩ් කලිසම් සහ කමිස ඇඳී මා මුලින් ම මිලට ගත් රෙඩි-මේඩ් ඇඳුම් ගත්තේ එලෙස නිසා ය.

විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ ද, ඉන්පසුව, පළමුවෙනි, දෙවෙනි තුන්වෙනි රැකියාවේ නිරතවෙන කාලයේ ද මට බැංකු ගිණුමක අවශ්‍යතාවක් ඇති නොවුණි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමයේ නිවසෙන් ද, ඥාතීන්ගෙන් ද ලැබුණේ මුදල් ය, තැපැල් ඇණවුම් ය. භාවිතා කළේ සල්ලි කොළ සහ කාසි ය. අතට ලැබෙන තුට්ටු දෙකට බැංකු ගිණුම් අවශ්‍ය නොවුණි.

රැකියාවට ගිය පසු ද, අපට මාසික පඩි ලැබුණේ මුදල් කොළවලින් ලියුම් කවරයක බහා පඩි-පැකට් එකක් ලෙසිනි. ඒවා නැවත බැංකුවට දැමීමට යෑම කාලේ කා දැමීමක් විය.

ඒ දිනවල මා මගේ ආදායම කළමනාකරණය කළේ මෙලෙසයි.
පඩි දිනයේ දී ලැබෙන පඩි පැකට්ටුව කමිසයේ උඩ සාක්කුවේ දා ගනිමි.

එයින් රැගෙන වියදම් කරමි.

මාරු කාසි පර්ස් එකට දමමි.

නවාතැනට ගිය විට, පඩි පැකට්ටුව මේසය මතට දමමි.

පසුවදා සේවයට යන විට එදින අඳින කමිසයේ රුවා ගනිමි.

ඇතැම් මාසවල සීයේ කොළයක් දෙකක් ඉතිරිවේ. ඒ වන විට පඩි පැකට්ටුව හෙවත් ලියුම් කවරය ද නැමී, ඉරී, කල් ඉකුත් වී ඇත. එසේ ඉතිරිවන මුදලක් වෙහොත් එය ඊළඟ මාසයේ පැකට්ටුවට එකතු කරමි.

ජරාජීර්ණ වූ පසුගිය මාසයේ පඩිය බහා තිබුණු ලියුම් කවරය කාර්යාලයේ කුණු බක්කියට දමමි.
මා කළ තුන්වෙනි රැකියාවේ දී, මා සමග මැවිසුරුවන් දහ දෙනෙකු සේවය ඇරඹූහ. ඔවුන්ගෙන් සමහරෙකුට බැංකු ගිණුම් තිබෙන්නට ඇත. එලෙස නොතිබුණු අයගෙන් මා හැර අන් අය සේවා ස්ථානය නුදුරින් තිබුණු අතුරුගිරියේ ලංකා බැංකුවට ගොස් ගිණුම් ඇරඹූහ.

ඒ පඩියෙන් කොටසක් ඉතුරු කිරීම සඳහා විය යුතුයි. මක් නිසා ද යත්, අපට පඩි ලැබුණේ මුදලින් බැවිනි.

එසේ නමුදු මගේ ඒ බැංකු රහිත සරල ජීවිතය වෙනස් කිරීමට වසර එකහමාරකට පමණ පසුව සිදුවිය.

එයට හේතුව වූයේ, මට පශ්චාත් උපාධියක් හැදෑරීම පිණිස, විදෙස්ගතවීමට අවස්ථාවක උදා වීමයි. මා සේවය කළ ලංකා වානේ සංස්ථාව රාජ්‍ය ආයතනයක් වූ නිසා ඒ කාලය සඳහා පඩි සහිත අධ්‍යයන නිවාඩු ලබා ගැනීමට ද මට ඉඩකඩ තිබුණි.

මගේ පාඨමාලාව ඇරඹීමට නියමිතව තිබුණේ සඳුදාවක ය. මට ඒ අධ්‍යාපන ආයතනයට යාමට ගුවන්ටිකට් පත් ලැබී තිබුණේ ඉන් දින දෙකකට පෙර සෙනසුරාදා ය. කල් තියාම අයැදුම් කළ නමුදු, පඩි සහිත නිවාඩු අවසරය මට ලැබුණේ බ්‍රහස්පතින්දාවක දිවා කාලයේ ය. මේවන විට සංස්ථාව අසල තිබුණු ලංකා බැංකු ශාඛාව දේශප්‍රෙමී කඩතුරාවකට මුවා වී ජනතාව අතර ජාතිවාදය ඇවිස්සූ ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් ගිනිබත් කර තිබුණු අතර මට අධ්‍යයන නිවාඩු කාලයේ වැටුප් ලබා ගැනීම සඳහා පිරිස් පරිපාලන අංශයට තොරතුරු ලබා දීම සඳහා බැංකු ගිණුමක් එදින ආරම්භ කළ නොහැකි විය.

දැන් ඉතිං මක් කරන්නද?

පසුදා නවාතැන අතහැර නිවෙසට යා යුතුය. සෙනසුරාදා උදේ පාන්දරින් ගුවන් තොටුපොළට යෑමට සිටියේ නිවසේ සිට දෙමව්පියන් ද සමග ය.

ළඟම බැංකුව පිහිටියේ කඩුවෙල නගරයේ වූ අතර අපේ ජ්‍යෙෂ්ඨ සගයෙකු වූ සුමනසිරිගේ බිරිඳ සේවය කළේ එහි නිසා, පසුදා උදෑසන එහි ගොස් ඇයගේ ද උපකාරයෙන් එහි ගිණුමක් ඇරඹුවෙමි. මට මතක ආකාරයට ඒ දිනවල (1988) ගිණුමක් ඇරඹීමට නම් වෙන අයෙකුගේ ද අත්සනක් අවශ්‍ය විය. මා උදක් ම කඩුවෙල ගියේ ඒ නිසා ය.

ඒ මාසයේ සිට තවත් මාස විස්සක කාලයක් පුරා මගේ පඩිය සංස්ථාව විසින් ඒ ගිණුමට බැර කරණ ලදී.

මගේ බැංකු ගනුදෙනුවල ආරම්භය එලෙස විය.

-රසික සූරියආරච්චි

ප/ලි
බැංකුවක සිද්ධියක් ගැන මා ලියූ කෙටි සටහන ෆෙස්බුක් කණ්ඩායමක මුලින් පළ කළ විට එහිදී දැක ගන්නට ලැබුණු අමන කතා කිහිපයක් නිසා, මගේ බැංකු ඉතිහාසය ද, බැංකු අත්දැකීම් ද, ඒ හා සම්බන්ධ වෙනත් දේ ද, ලියා රසිකොලොජියේ පළ කිරීමට සිතුණි.

මේ ඒ ලිපි මාලාවේ දෙවෙනි ලිපියයි.

මෙන්න මුල් ලිපිය:
බැංකුවක කතාවක් හෙවත් සේවා සපයන්නා සහ ගණුදෙනුකරුවා - Know your rights
https://rasikalogy.blogspot.com/2020/07/know-your-rights.html


(image: )

Tuesday, 14 July 2020

බැංකුවක කතාවක් හෙවත් සේවා සපයන්නා සහ ගණුදෙනුකරුවා - Know your rights



මීට වසර දෙකකට පමණ පෙර මට ලංකාවේ දී හදිසියේ මුදල් අවශ්‍යතාවක් ඇති වූ අතර ඒ මොහොතේ මට මා ලංකාවට මුදල් යැවීම පිණිස සාමාන්‍යයෙන් භාවිතා කරන මගේ ඕස්ටේ‍ර්ලියානු බැංකු ගිණුමෙන් මුදල් ලබා ගැනීමේ ප්‍රශ්නයක් උද්ගත වී තිබුණි.

එයට හේතුව වූයේ නම් ලංකාවේ ජංගම දුරකථන සඳහා සැපයෙන එස්එම්එස් හෙවත් කෙටි පණිවිඩ සේවාවේ ඇති සීමාකම් ය. උදාහරණයක් ලෙස අපට ඕස්ටේ‍ර්ලියාවේ දී එස්එම්එස් එකකට ඡායාරූපයක් හෝ ලියවිල්ලක් හෝ වෙනත් ගොනුවක් අමුණා යැවීමට හැකි නමුදු (මෙය එම්එම්එස් ලෙස හැඳින්වේ) ලංකාවේ එසේ කළ නොහැක. ඒ සඳහා වයිබර් හෝ වට්ස්ඇප් භාවිතා කිරීමට සිදුවේ. මෙහිදී මට සිදු වූයේ මට අවශ්‍ය මුදල් හුවමාරුව අනුමත කිරීමට සඳහා මගේ ඕස්ටේ‍ර්ලියානු බැංකුවෙන් ලංකාවේ මගේ ජංගම දුරකථනයට එවන රහස් අංකය (One Time Authorisation Code) සහිත එස්එම්එස් එක මට නොලැබීමයි.

එවිට මට සිහිවුනේ මගේ පරණ රුපියල් ගිණුමක සුළු මුදලක් ඉතිරිව තිබෙන බවයි. එය ලබා ගැනීමට මම ඒ බැංකුවේ පිළියන්දල පිහිටි ශාඛාවට ගියෙමි.

මේ ගිණුම සඳහා මට විසිපස් වසරකට පෙර නම් ඒටීඑම් කාඩ් පතක් තිබුණ ද, දැන් එය වලංගු නැත. එනිසා, අදාළ ෆෝර්මය පිරවූ මම කවුන්ටරයක පොඩි පෝලිමක ද මද වේලාවක් ගත කර කවුන්ටරයේ සිටි බැංකු සේවකයාට එය මගේ ජාතික හැඳුනුම්පත ද සමග භාර දුන්නෙමි.

ඒටීඑම් කාඩ් එකක් නැති නිසා, මගේ අත්සන දෙවෙනි තට්ටුවේ මැඩම්ගෙන් සහතික කරගෙන ඇයගේ අත්සන යොදාගෙන එන ලෙස කවුන්ටරයේ සිටි බැංකු සේවකයා මට පැවසීය.

එවිට මා ඔහුට පවසා සිටියේ මෙයයි.
ඒ ආකාරයට මැඩම්ලාගෙනන් අත්සන් ගැනීම මගේ අවශ්‍යතාවක් නොවේ. එය බැංකුවේ අවශ්‍යතාවක් නම් එය සපුරා ගැනීම ඔබේ වගකීමයි. පාරිභෝගිකයා වෙන මට එය ඉටු කිරීමට කියා සිටීම වැරදි කටයුත්තකි.

ඔබට අවශ්‍ය නම් මැඩම්ගෙන් නොව සභාපතිගෙන් හෝ අත්සන ගෙන එන්න.

මට මගේ සල්ලි දෙන්න. තෑන්ක් යූ!
මගේ කතාව ඇසුණු බිම් මහලේ ම සිටි වෙනත් මැඩමෙකු විසින් කවුන්ටර සේවකයා ලවා එම ෆෝර්මය ගෙන්වාගෙන අදාල අස්සන ගසා දුන්නා ය.

මම මුදල් රැගෙන මගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට ගියෙමි.

මට වැටහුණු පරිදි මෙය මෙකී බැංකුවේ සේවා සැපයිමේ ක්‍රියා පරිපාටියේ ඇති වරදක් නොව, සේවකයා තමන්ගේ කම්මැලිකම නිසා තමන්ගේ රාජකාරියේ කොටසක් මා ලවා කරවා ගැනීම කළ උත්සාහයකි.

මා දන්නා පරිදි, බැංකුවල මැඩම්ලා හෝ සර්ලා හෝ වෙනත් බාස්ලා නැත. එහි ඇත්තේ දෙපිරිසකි. ඒ පාරිභෝගිකයින් සහ බැංකු සේවකයින් ය.

පාරිභෝගිකයින් එහි යන්නේ සේවාවක් ලබා ගැනීමටයි. එම සේවාව සැපයීමට බැංකුව බැඳී සිටී. බැංකු සේවකයින්ගේ යුතුකම එම සේවාව ඉටු කිරීමයි.

තමන්ගේ මුදල් ආපසු ගැනීමට ඉල්ලා අයදුම්පත සම්පූර්ණ කර අත්සන් කර එය ලබාදීම පාරිභෝගිකයාගේ වගකීමයි. එය ඉහළ නිලධාරියකු විසින් අනුමත කළ යුතු නම්, එය බැංකුවේ අවශ්‍යතාවකි. බැංකුවේ අභ්‍යන්තර වැඩ කටයුතු කිරීම පාරිභෝගිකයින්ගේ වගකීම නොවේ.

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ කෙටි සටහන ෆෙස්බුක් කණ්ඩායමක මුලින් පළ කළ විට එහිදී දැක ගන්නට ලැබුණු අමන කතා කිහිපයක් නිසා, රසිකොලොජියේ ද පළ කිරීමට සිතුණි.

(image: http://www.legalserviceindia.com/legal/article-557-consumer-rights-.html)