
කලක් මැතිවරණ කොමසාරිස් ලෙස කටයුතු කර දැන් මා සිතන විදිහට මැතිවරණ කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන මහින්ද දේශප්‍රිය 2020 ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වේද නොවේද කියා සාකච්ඡාවක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සමාජ කණ්ඩායම් අතර ඇති වී තිබේ.
මේ පිළිබඳව ෆේස්බුක් හි පළවුණු ලිපියකට මා ලියූ කමෙන්ටුවක් හිතුවාට වඩා දිගු වුණු නිසා එය මෙලෙස රසිකලොජි සටහනක් ලෙස පළ කිරීමට සිත් විය.
යම්කිසි තනතුරක් දරන්නෙක් අවංකව ම තමන්ගේ රාජකාරිය කිරීම සාමාන්‍ය තත්ත්වයයි. නමුත් බොහෝ දෙනා තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටු නොකිරීම සහ විවිධ දූෂණ යනාදිය කිරීම නිසා සාමාන්‍ය පරිදි රාජකාරිය කරන අය සුවිශේෂි තත්ත්වයට පත්වී ඇත.
මෙය සමස්තයක් ලෙස ආණ්ඩු සඳහා ද අදාළ වේ. උදාහරණයක් ලෙස වරෙක යම් ස්වභාවික විපතින් පසු ආණ්ඩුවක් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව පැසසුම් කරමින් කතා කළ මිතුරෙකුට මා කීවේ "යකෝ, ආණ්ඩු තියෙන්නේ මේ වගේ අවස්ථාවල එවැනි කටයුතු කරන්න තමයි. එහෙම නොකිරීමයි වරද. මෙසේ වැඩ කටයුතු කිරීම අප බලාපොරොත්තු විය යුතු සාමාන්‍ය තත්ත්වය පමණයි" කියාය.
මහින්ද දේශප්‍රිය ගේ ජනප්‍රියත්වයට හේතුව එය යැයි සිතමි. එනම් තම රාජකාරි පැහැර හරින දූෂණ-වංචා වල යෙදෙන අලස නිලධාරි පැලැන්තිය හා සසදන කල ඔහු දෙයියෙකි. එසේම පුද්ගලිකව ඔහු දන්නා අඳුනන අය ලියා පළකර ඇති දේවලට අනුව ඔහු හොඳ ප්‍රිය මනාප පුද්ගලයෙක් බව ද පෙනේ.
මට වැටහෙන ආකාරයට රාජකාරිමය වශයෙන් මහින්ද දේශප්‍රිය ඉතා භයානක වරදක් කළේ ය. එනම් පසුගිය ජනාධිපති ඡන්දයේ දී හොර ඡන්දය දමන්නට එන අයව හිසට වෙඩි තබා මරා දැමිය යුතුයැයි ඔහු කළ තර්ජනාත්මක යෝජනාවයි.
හොර ඡන්ද දැමීම නීතියට අනුව වරදක් වුවත් ඒ සඳහා දඬුවම මරණ දණ්ඩනය නොවේ. එසේම දඬුවම් කළ යුත්තේ නිසි ප්‍රකාර නීති විධික්‍රමය අනුගමනය කිරීමෙන් පසු උසාවියකින් පමණි.
මා දන්නා පරිදි, ඡන්දය දීමට පැමිණෙන අයට වෙඩි තබා මරා දමන ලද්දේ එක්දහස් නවසිය අසූ නමයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හෙවත් ජනතා විමුක්ති පෙරමුණ විසිනි.
ඒ ඊනියා දේශප්‍රේමීන් ම සතුරන් හැඳින්වූයේ දේශද්‍රෝහීන් කියා ය.
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඡන්දය දීමට පැමිණීමේ වරදට දඬුවම් ලෙස සේ මරා දමන ලද අයගේ සහ වෙනත් ඊනියා දේශද්‍රෝහී ක්‍රියා නිසා මරා දමන ලද අයගේ මළමිනි දණහිසට උඩින් ඉසිලිය නො යුතු බවට ද එකල නීති පනවන ලදී. අද යුගයේ දේශද්‍රෝහීන්ට ද ඒ ආකාරයෙන් දඬුවම් දී, මළමිනී සඳහා ද එම දණ්ඩනය ම පැනවිය යුතු බවට කමල් ගුණරත්න වැනි හිටපු මිලිටරිකරුවෙකු පසුගියදා කියූ බව ද මගේ මතකයට නැගේ.
වාසනාවකට මෙන් චනවල තේරුම සැලකූවිට දේශප්‍රිය යන්න දේශප්‍රේමී යන්නට වඩා හොඳ තත්ත්වයකි.
නමුත් අවාසනාවකට මෙන් මහින්ද දේශප්‍රිය ගේ ජනප්‍රියතාවයට එක් ප්‍රධාන හේතුවක් නම් ඔහු එදා කල ඒ "හොර ඡන්ද දමන්නට එන අයගේ හිසට වෙඩි තබා මරා දැමිය යුතුය" යන භයානක මිනීමරු යෝජනාවයි. මා හිතන විදියට මෙයින් පෙනීයන්නේ වත්මන් ලාංකික සමාජය පත් වී ඇති කණගාටුදායක තත්ත්වයයි.
කාට කියන්න ද?
-රසිකොලොජිස්ට්
ප/ලි:
සම්පූර්ණයෙන්ම වොයිස් ටයිප් කර පළකරන ලද ලිපියකි. අතින් යෙදුවේ ඡේද බෙදීම සහ නැවතීම් ලකුණු වැනි දේ පමණි.
(image: https://m.facebook.com/story.php?story_fbid=10155750879011305&id=742746304)