Showing posts with label මාර්ටින් වික්‍රමසිංහ. Show all posts
Showing posts with label මාර්ටින් වික්‍රමසිංහ. Show all posts

Wednesday, 15 January 2020

හදවතක තතු (බයිනරි අච්චුවේ වාර්තාවකි) - It's been fourteen years


හදවත පිළිබඳ අපේ දැනුම කාලයත් සමග වෙනස් වූ හැටි හැඟවෙන මෙම රචනය පිළිබඳ මගේ මුල් සැලසුමට මෙහි දක්වා ඇති දෙකොටසට අමතරව තෙවැනි කොටසක් ද ඇතුළත් විය. ඒ තරුණ සමයේ දී හදවත දැනෙන ආකාරය පිළිබඳ විස්තරයකි.

නමුත්, මේ වචන කිහිපය ගලපන්නට ද සෑහෙන කාලයක් ගත වූ නිසා මෙය මෙලෙස පළ කරන්නට සිතුවෙමි.

නොලියූ වෙන කොටස එන්නේ අගට නොව මැදට ය.

එය ලියූ දිනක මෙහි මැදට ඈඳමි.

මුලින් ගම්පෙරළිය (1944) ද, ඉන්පසුව යුගාන්තය (1948) ද ලියූ මාර්ටින් වික්‍රමසිංහ පසුව එහි මැද කොටසවන කලියුගය (1956) ලිව්වා සේ ය.



හදවතක තතු
(බයිනරි අච්චුවේ වාර්තාවකි)

කුටීරම හතරක් ය
උඩින් ඇත කර්ණිකා වම දකුණ
යටින් ඇත කෝෂිකා එම ලෙසම
උඩ යටට යා කෙරෙන කපාට ය
යටින් එළියට ඇරෙන කපාට ය
ඇරෙති වැසෙති ය ඉබේ
ලබ්-ඩබ් සෙ නද දෙමින්
අපිරිසිදු ලේ ගෙනෙන ශිරා ඇත යා වෙලා
සුපිරිසිදු ලේ ගලන ධමනි ඇත යා වෙලා
මිට මෙළවු අතක් වන්
අඹ ගෙඩිය හැඩය ගත්
හදවත ය මේ

දශක පහකට කලින්
ප්‍රාථමික පාසලේ සෞඛ්‍යය පාඩමෙන්
ඉගෙන ගත්තෙමි එලෙස

පේෂියට ලේ ගෙනෙන කුඩා නාලිකා තුළ
මී වදය සේ බැඳුණු, මැලියමින් පිරී ගිය
වයරයක දවටලා නහර අතරින් යවා
කිරීටක ධමනියේ පටලවා ප්‍රසාරිත
ලෝහ දැල් සිලින්ඩර හතරකින් සමන්විත
පපු කුහරයේ දිවෙන මැමරි ධමනිය රැගෙන
තැනින් තැන බැඳ කෙරුණු
පංචමය අතුරු මං නිසා නොනැවති ගැහෙන
ඒ නමුත්
කොයියම්ම මොහොතක දි
වැඩවරයි දෝ කියා නොදන්නා
හදවතය මේ

සොළොස් වසකට කලින්
නිවෙස් බද නගරයේ රෝහලේ ඇඳක දී
ඉගෙන ගත්තෙමි එලෙස


-රසික සූරියආරච්චි

(image: (c) Pushpa Suriyaarachchi

Friday, 16 October 2015

මාර්ටින් වික්‍රමසිංහ ගේ කුමර බඹසර සහ ජාතිවාදී මැර සම්බන්ධකම් - Obscure Observations


මාර්ටින් වික්‍රමසිංහ ගේ "උපන්දා සිට" නම් වූ ස්වයංචරිතාපදානය කියවා මා දැන උගත් කරුණු කිහිපයක් සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි.

දහනමවන ශත වර්ෂයේ වසර 1890 දී උපන් මාර්ටින් වික්‍රමසිංහ ස්වෝත්සාහයෙන් උගත්තෙකි. විවිධ දුක් ගැහැට මැද ජීවිතය අරඹා පසුව පුවත්පත් කතුකම සහ ලේඛකත්වය නිසා සිංහල සමාජයේ පොත් පුවත්පත් කියවන පිරිස අතර ඉහළ ප්‍රසිද්ධියක් ලද්දෙකි.

මාර්ටින් වික්‍රමසිංහ ගේ වඩාත් ජනප්‍ර්‍රිය වැඩි දෙනෙකු කියාවා ඇති කෘතිය "මඩොල්දූව" බව නිසැක ය. "ගම් පෙරළිය" ද, සිංහල භාෂාව පිළිබඳ විභාගවලට නියමිත පොතක් නිසා වැඩි පිරිසක් කියවා තිබේ යැයි සිතමි. ඔහු ගේ වඩාත් ආන්දෝලනයට ලක්වූ කෘතිය වූයේ "බව තරණය" යි.

සිද්ධාර්ථ ගෙෘතම ගේ ජීවන චරිතය ආශ්‍රයෙන් ලියවී තිබුණු "බව තරණය", එ නිසා ම, පොත කියවූ, නොකියවූ පිරිසක ගේ විරෝධතාවයට ලක් විය. එවකට, ලංකාවේ බෞද්ධ තලිබාන්කරනය අද තරම් පැතිර නොතිබුණු නිසා, ඒ විරෝධය අකුරු මගින් කෙරෙන ප්‍රහාරයන්ගෙන් ඔබ්බට නොගියේ ය.

අද දවසේ ඒ කෘතිය ලියවුණා නම්, බොඩු බාල සෙන්නා වැනි අන්තවාදී පිරිස් තම වාලධි ඔසවා ගෙන, මාර්ටින් වික්‍රමසිංහ එල්ලුම් ගහට යැවිය යුතු යැයි විරෝධතා නගනු ඇති බවට නො අනුමානය!

දැන් මෙන්න මාර්ටින් වික්‍රමසිංහ ගේ "උපන්දා සිට" නම් වූ ස්වයංචරිතාපදානය කියවීමෙන් මා දැන උගත් දේ ලයිස්තුව.

  1. පොඩි කාලේ සිට අපි කතන්දරවල ගමරාල නමින් හැඳින්වෙන චරිත ගැන අසා ඇත්තෙමු. නමුත්, සාමාන්‍යයෙන් ගරුසරු සහිතව වෙද මහත්තයා හෝ එවැනි අයුරකින් ඇමතුම් ලබන ගමේ වෙදාට, මාර්ටින් වික්‍රමසිංහ උපන් දා සිට කෘතියේ අමතන්නේ වෙදරාල කියායි. මඩොල්දූවේ ද, වෙදරාල යන්න යෙදුණු බවට මතකයක් ද මට ඇත.
  1. අද ලියන භාෂාවේ භාවිතා වෙන "විය" යන වචනය වෙනුවට මාර්ටින් වික්‍රමසිංහ ලියා ඇත්තේ වී ය යනුවෙන් බවද මම නිරීක්‍ෂණය කළෙමි.

    එනම්, "එය එසේ සිදුවිය" හෝ "එය එසේ සිදු විය" කියා අප ලියන වාක්‍යයක් මාර්ටින් වික්‍රමසිංහ ලියන්නේ "එය එසේ සිදු වී ය" යනුවෙනි.
  1. සැතපුම යන මිනුම දක්වන වචනය වෙනුවට මාර්ටින් වික්‍රමසිංහ යොදා ඇත්තේ "මයිල" යන වචනයයි. මයිල් යන ඉංගිරිසි පදයෙන් වාත්තු කරගත් මයිල යන්න අද කාලයේ සිහි කරවන්නේ සමෙන් මතුවෙන රෝමකූප පමණි.

    මේ ආකාරයෙන් ම වාත්තු කරගෙන ඇති මිනිත්තුව, පනිට්ටුව, බිස්කට්ටුව, පෙරෙට්ටුව වැනි වචන නම් අද ද භාවිතයේ පවතී.
  1. "තාන් රෙදි" නමින් යෙදුමක් උපන් දා සිට කෘතියේ කීප වතාවක් යොදා තිබෙනු දුටුවෙමි. මෙයින් අදහස් වෙන්නේ තුනී රෙද්දක් යැයි මා මුලින් සිතුවත්, එහි නිවරැදි තේරුම අලුත් රෙද්දක් බව පසුව වටහා ගතිමි.
  1. තමා උපන් දා සිට වසර පනහකට වඩා ජීවිත කාලය ගැන ලියවී ඇති මේ කෘතියේ මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කර ඇති එක් නොවැදගත් යැයි පෙනෙන සිදුවීමක් මට මුලින් ගෙන දුන්නේ පුදුමයකි.

    ඒ සිදුවීම මෙසේ ය.

    මාර්ටින් වික්‍රමසිංහ තම ඥාතියෙකු ගේ මඩකලපුවේ පිහිටි සිල්ලර බඩු කඩයක සේවය කරන සමයේ එහි විත් බඩු තෝරමින් සිටින එක්තරා ඉංගිරිසි ජාතික කාන්තාවක ගේ අතක යමක් ගෑවෙයි. මෙය දුටු මාටින් වික්‍රමසිංහ කරන්නේ තාන් තුවායක් ගෙන ඇගේ අත පිස දැමීමයි.

    දශක ගණනාවකට පසු තම ස්වයංචරිතාපදානය සකසන විට මෙලෙස විස්තර කර ලියන්නට මාර්ටින් වික්‍රමසිංහ පෙළඹවූ ඉහත සිදුවීමේ වැදගත්කම කුමක්ද?

    ස්වදේශිකයින් සහ විදේශිකයින් අතර යටත් විජිත සමයේ තිබුණු විශාල පරතරය නිසා ඉහත සිදුවීම තම ජීවිත කතාවට ඇතුළත් කිරීමට තරම් ඉතා වැදගත් එකක් සේ මාර්ටින් වික්‍රමසිංහට සිතුණා විය හැක.

    නමුත්, මට සිතෙන්නේ ඒ නොවැදගත් සිදුවීම විස්තර කිරීමට හේතුව මාර්ටින් වික්‍රමසිංහ ගේ කුමර බඹසර බිඳුනේ ඒ ඉංග්‍රීසි ජාතික කාන්තාව ගේ අත ඇල්ලූ මොහොතේ නිසා බවයි!
  1. උපන් දා සිට කෘතියේ මගේ අවධානය යොමු වූ තවත් වැදගත් කොටසක් නම් 1915 බෞද්ධ-මුස්ලිම් කෝලාහලය පැන නැගුණු මොහොතේ මාර්ටින් වික්‍රමසිංහ හැසිරුණු ආකාරයයි.

    අනිවාර්යෙන් ම මාර්ටින් වික්‍රමසිංහට මැරයින් සමග සම්බන්ධතා තිබී ඇත. තම මැර මිතුරන් කරත්තයක නැගී, කඩු කිනිසි මුගුරු රැගෙන, ගාල්ල බලා යද්දී මාර්ටින් වික්‍රමසිංහ ඒ පිරිස හා එකතුවන්නේ කිසිදු ප්‍රායෝගික විරෝධතාවක් නොදක්වමිනි. ඔහු ඒ ගමන නිහඬතාවයෙන් අනුමත කළා පමණක් නොව සහභාගීත්වයෙන් සහයෝගය ද දක්වා ඇත.

    රෑ බෝ වී ගාල්ලේ මුස්ලිම් ප්‍රජාව සිටින ප්‍රදේශයට මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස ළඟාවන විට ඔවුන් එහි එන බව දැන ඔවුන් පිළිගන්නට එහි රැඳී සිටින්නේ පොලිස් නිලධාරීන් සහ ගම්මුලාදෑනී පිරිසකි.

    පසුව ආණ්ඩුවේ ඒජන්ත ද එහි පැමිණේ.

    සිදුවී ඇත්තේ මෙයයි.

    කඩුූ කිනිසි මුගුරු රැගෙන කරත්තයකින් කොග්ගල සිට ගාල්ල බලා පිටත් වූ ඒ මැර පිරිසේ ජාතිවාදී පරමාර්ථය දැන ගත් ගමේ ඥාතීන් මේ ගැන සඳහන් විදුලි පණිවිඩයක් පොලිසියේ ලොක්කාට එවා ඇත.

    ජාතියේ වාසනාවකට, මාර්ටින් වික්‍රමසිංහ සහ මැර පිරිස රැගත් කරත්තය ගමනාන්තයට ළඟාවෙන විට ඔවුන්ගේ ආගමනය පිළිබඳ පුවත රැගත් විදුලි පණිවිඩය ආරක්‍ෂක අංශවලට ලැබී තිබුණි.

    ජාතිවාදී අපරාධ ක්‍ර්‍රියාවක් මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස අතින් සිදුවෙන්නට පෙර එය වළක්වාගැනීමට හැකි වුණු නිසාත්, විවිධ දැන ඇඳුනුම්කම් නිසාත්, චෝදනා නො ලබා, අත් අඩංගුවට පත් නොවී නිරුපද්‍රිතව ආපසු තම ගම් පෙදෙස බලා යන්නට ඔවුනට ඉඩ ලැබේ.

    පෙර කී විදුලි පණිවිඩය නොවන්නට එදා මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස මුස්ලිම් කඩ කඩන්නට සහ මුස්ලිම් වැසියනට පහර දෙන්නටත්, අප දන්නා මාටින් වික්‍රමසිංහ නම් මහා ලේඛකයා වෙනුවට, හෙන්රි පේද්‍රිස් ආකාරයේ තවත් ජාතික වීරයෙක් බිහිවීමටත් ඉඩ තිබුණු බව පෙනේ.
කෙසේ වෙතත්, මාර්ටින් වික්‍රමසිංහ ජාතිවාදියෙකු බවට ස්ථිරවම පැවසිය හැකි වෙනත් කරුණු ඔහු ගේ ලියවිලි තුළින් මට හමුවී නොමැති බව ද කිව යුතුය.

-රසිකොලොජිස්ට්

(image: http://archives.dailynews.lk/2009/07/31/fea27.asp)