Tuesday 25 October 2016

ජැන්ඩියට ඇඳීම සහ ආත්මාභිමානය - You look dandy mate


සිනුවර තද සීතලක් පැවතුනු පසුගිය ශීත සිසිිරයේ මා රාත්‍රියට නිවසේ දී ඇඳ සිටි අත් දිගැති ප්ලැනල් රෙදි කමිස (මේවා ජම්පර් යැයි හැඳින්වේ) සහ එවැනිම රෙද්දෙන් මැසූ දිග කලිසම් යනාදිය ශීත සිසිරය සඳහා ම විශේෂයෙන් නිපදවූ ඇඳුම් ය.

නමුත්, මා රාත්‍රියට සීතල අඩු වසන්ත සහ හේමන්ත කාලයේ මෙන් ම රස්නය වැඩි ගිම්හාන සමයේ නිවසේ දී අඳින ටී-ෂර්ට් යනාදිය නම්, ඒවායේ කලින් ආත්මයේ මා සමග වසර දෙක තුනක් තිස්සේ එළියේ-පහළියේ ගමන් බිමන් ගිය, කාලයත්, සේදීමත් නිසා ඔපය නැති වී පරණ වූ පසු දිවා සමයේ සිට රාත්‍රී කාලයේ නිවසේ දී පාවිච්චිය සඳහා තත්වයෙන් පහළ හෙළන ලද ඒවා ය.

මට අද කවුරු කීවේදැයි නිවැරදිව අමතක අයෙකු මා සමග වරක් කීවේ, ඔහු (හෝ ඇය) පරණ වුණු ඇඳුම් කිසි දිනක නිවසේ ඇඳීම සඳහා යොදා ගන්නේ නැති බවත්, නිවසේ දී අඳින්නේ ඒ සඳහා ම විශේෂයෙන් මිළට ගත් ඇඳුම් බවත් ය.

ඒ ඇයිදැයි ඇසූ විට ඇය (හෝ ඔහු) පවසා සිටියේ නිවසේ දී, සති අන්තයේ, සවස් යාමයේ හෝ රාත්‍රී කාලයේ දී වුව, වසර කිහිපයක් පැරණි ඒවා නොව අලුතින් ම ඒ සඳහාම මිලට ගත් නැවුම් ඇඳුම් ඇඳ පැළඳ සිටීමෙන් සිතට මහත් ප්‍රීතියක්, සතුටක්, ආත්ම විශ්වාසයක් ලැබෙන බවයි.

එවැනි අයෙකු නිතර ඇහැ ගැටෙන නිවසේ අන් අයට ද, ඒ දසුන, එවැනිම වූ ප්‍රසන්න අත්දැකීමක් වන බව සැකයෙන් තොරව අපට සිතිය හැක.

සරත් විජේසූරිය ගේ සුප්‍රකට හුචක්කුව කතාවෙන් කියවුනේ ඒ කාසියේ අනෙක් පැත්ත ගැනයි, එනම්, රෑට අඳින ඇඳුම උඩින් ම හවුස්කෝට් නොහොත් හුචක්කුව පටලවා ගෙන දිවා කාලය ද ගත කරන අර්ධ නාගරික ප්‍රදේශයන්වල වෙසෙන පහළ මධ්‍යම පන්තියේ ගෘහිණියන් ගේ ඒ චර්යාව පිළිබඳව ය.

ඒ කරුණු කෙසේ වෙතත්, ජැන්ඩියට හෙවත් ඩැන්ඩි ලෙස ඇඳ පැළඳ සිටීමෙන් සිතට මහත් ප්‍රීතියක් පමණක් නොව, ධෛර්යක් සහ ආත්මාභිමානයක් ද, ඉමහත් චිත්ත ශක්තියක් ද ලැබෙන බව මම පසුගිය මාස හතරක පමණ කාලයේ දී හොඳින් වටහා ගත්තෙමි.

පසුගිය මැයි මාසයේ දී සිදුවුණු, මා සේවය කරන කාර්යාලය සිනුවර උතුරු ප්‍රදේශයේ සිට අපේ නිවස පිහිටි බටහිර දෙසට කිලෝමීටර් තිහක් පමණ විතැත් වීමත්, ඒ සමගම කෙරුණු "වැඩ-අනුව-ඉඩ" යැයි මා නම් කළ කාර්යාල සැලසුමේ වෙනසත් පිළිබඳව මා මින් පෙර රසිකොලොජියේ ලිපි දෙකක් ම ලියා තිබේ.

ඒ වෙනසත් සමගම, අපේ ප්‍රදේශයට ශීත ශිශිරය ද උදා විය. අලුත් කාර්යාලයේ, අලුත් ජීවිතය වෙනස් ආකාරයකට ඇරඹීමට සිතු මම, සම්පූර්ණ යුරෝපීය ඇඳුමින්, එනම්, ටයි සහ කෝට් ද පැළඳ සේවයට යාම ඇරඹූවෙමි.

මා අවසන්වරට මේ ආකාරයේ ෆුල් සූට්කාරයෙකු ලෙස සේවයට ගියේ මීට වසර දහයකට කලින් බැලරැට් විශ්ව විද්‍යාලයේ සිඩ්නි ශාඛාවේ සේවය කළ සමයේ දී ය.

උසස් අධ්‍යාපන සේවයේ ඒ වෘත්තීය ජීවිතය සදහටම අතහැර දමා, ප්‍රාන්ත රජයේ අධිකාරියක සේවය ඇරඹූු පසු, මුලින් ම 2007 දී ම, කෝට් බෑය අතහැර දැමුවෙමි. ඉන් පසුව 2010 දී එලැඹි ගිම්හාන සමයේ දෙසැම්බරයේ දී ටයි පටිය ද අමතක කර දැමුවෙමි.

යළිත් ටයි පොල්ල බෙල්ලේ ගැට ගසා කෝට් බෑය හැඳගත් පසු ශීත ශිශිරයේ කරදරයෙන් බේරීමට ඉඩ ලැබුණා පමණක් නොව සිතට ද උදෑසනම විශාල ප්‍රබෝධයක් ඇති වී දවසම ඒ සතුට සිතේ පැවතෙන බව මම අත් වින්දෙමි.

මග තොට දී, කාර්යාලයේ දී මා දකින කාන්තා පාර්ශවයේ අයට ද, හුචක්කු විලෝම චින්තා පහල වෙන්නට ඇතුවාට සැක නැත!

කාර්යාලයේ ඇතමුන් මා අසලට පැමිණ "යූ ලුක් ඩැන්ඩි මේට්!" යැයි කියමින් මගේ ඒ පිළිවෙලට ඇඳීමේ වැඩපිළිවෙළට "ප්‍රසංශා" කළහ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ අපට ගෙවෙන්නේ මල්බර වසන්තයයි. තවත් මාසයකින් පමණ රුදුරු ගිම්හානය එළැබීමට නියමිත ය. දැනටමත් කෝට් බෑය අතැර දමා ඇති මම, ටයි පොල්ල ද ගලවන්නට කල් මරමින් සිටිමි. පසුගිය ගිම්හානයේ කළ ආකාරයට අත් දිග කමිසද අතහැර, අත්කොට කමිසයට බසින්නට මට හැකි වෙනු ඇත!

හැබැයි, මා සතුව ඇති එකම සුදු කලිසම නම් තවම මා කාර්යාලයට යෑමේ දී ඇඳ නැත.

29 comments:

  1. මම ඔය වැනි රටක සේවය කරන විට හමුවුණ කෙනෙක් මතක් වුණා. එකේ ඔහුට බාහිර සේවා සපයන්නන් කිහිප දෙනෙක් සමඟ සම්මුඛ සාකච්චා කිරීමට තිබුණ නිසා ඒදින කිහිපකය ඔහුගේ ඇඳුම වුණේ ටයි, එක කෝට් එක. ඉනෙන් පහල කොට කළිසම සහ සෙරෙප්පු. ඔහු කෝට් එක පවා නොගලවා කෝපි කාමරයට එන විට බොහෝ දෙනෙකුට සිනා නොවී සිටීමට බැරිවුණා.

    ReplyDelete
    Replies
    1. සමහර රූපවාහිනී ප්‍රවෘත්ති කියවන්නන් උඩට ටයි කෝට් ඇඳ යටට කොට කලිසම, බොක්සර් ෂෝට් ඇඳ සිටින බව මාත් අසා තියෙනචා!

      Delete
  2. රසික ඔය දාගෙන ඉන්නෙ පව්මෙ ටයි ද?

    ReplyDelete
    Replies
    1. පවුමට ටයි ගන්න යන්න එංගලන්තෙට!

      Delete
  3. බැලරට් ඉස්සර රත්තරං හාරලා අතඇරල දාපු ප්‍රදේශයක්ද? ෂර්ලොක් හෝම්ස් කතාවක ඒ වගේ විස්තරයක් බැලරට් ගැන තිබුණා මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් තාමත් ඒ ගෝල්ඩ් සිටි එක තියෙනවා ටුවරිස්ට් ඇට්ට්‍රෑක්ශන් එකක් හැටියට... වික්ටෝරියා පැත්තෙ එනවනම් යන්න හොඳ තැනක් තමා....

      Delete
    2. ඔන්න කිව්ව, බැලරැට් වල තාම රත්තරන් තියනවා, නමුත් රන් කැනීම ආර්තික මය වශයෙන් ලාබදායක් නැහැ. තවමත් ක්‍රියාත්මක වන රන් පතලක් බැලරට් වල තියනවා.
      බැලරට් වල තියන සවරින් හිල් එක ඒ කාලෙ ගැන තියන හදපු නගරයක් මිසක් අත්හැරපු රන් පතලක් නෙවී . බැලරට් වටේම ඌරු මීයො හාරල වගෙ රන් ගන්න හාරල තිබුනනට, බැලරට් ආකර්ශනීය නගරයක්, ඇවිල්ල්ලම බලන්න

      Delete
    3. හැලපේ මෙහේ සංචාරයකට ආවොත් යන්න හොඳ තැනක් තමයි බැලරැට් මියුසියම් එක. එතැන කිලෝ ගණං බර රත්තරං කුට්ටි (නගට්ස්) පවා තියෙනවා.

      බැලරැට් කියන්නේ කෙටි ඕස්ටේ‍ර්ලියානු ඉතිහාසයේ අමරණීය තැනක්. රත්තරං ලැබීම නිසා, රටම වෙනස් වුනා. එහේ ඇරඹුණු (අසාර්ථක) යුරේකා විප්ලවයත්, එහිදී භාවිතා වුණු සදර්න් ක්‍රොස් කොඩියත් මෙහේ චිරප්‍රසිද්ධයි!

      Delete
    4. ඔන්න කිව්ව, ඔය ගෝල්ඩ් මියුසියම් එක විතරමද තියෙන්නෙ, බැලරට් වල, අහල නැද්ද මෙල්බර්න් ඔලිම්පික් වල රෝවින් තිබ්බෙ බැලරට් කියල, තාමත් වෙන්ඩූරි වැව සන්චාරක අකර්ශනයක්, ඊට යාබදව තියන උද්බිද උද්යානයෙ තියනව බැලරට් බිගෝනිය උත්සවය වසරකට වරක්,එතකොට තව ලස්සන තැන් තියනව, කරුමෙට කියන්නෙ රත්තරන් ගැන විතරය්,

      Delete
  4. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. දේශපාලන අර්තයෙන් එහාට ගිහිල්ලා සමාජ අර්තයෙන් ගත්තොත් ඕක සමහරක් බ්ලොග් කාරයින්ටත් තියෙනවා. මේකනේ බං අපි සිතන, ලියන, ගයන....අපේම වූ මහා නිදහස් චින්තනය....නිවහල් මිනිසාගේ පොදු උරුමය සහ කරුමය. මේක අපි අපි කාටත් පොදු දුර්වල "හැබිට්" එකක්. ඒත් බොහොමයක් අය ඒ හැබිට් එකෙන් මිදෙන්න සුදානම් නැහැනේ. ඇත්ත.ඔව්..හැබිට්වලින්...ඉවත් වෙන්න අමාරුයි. ඔක්කොම ටෝක්ස් තමයි.

    ReplyDelete
    Replies
    1. ඈ යකෝ....මේ මම පැරාගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක් නේද...... මට රසිකගේ ඩැන්ඩියත් අමතක වුනා මේක දැක්කම.

      Delete
    2. ඉතිං බං අරූ ඒ උඩ ඉන්නෙත් උඹම ඇනෝ ඇවිත් නෙවෙයිද හිටං.

      Delete
    3. අනේ නැහැ බං. මම කවදාවත් ඇනෝ දාලා නැහැ. මට අනිත් එක ඔය කම්පියුටර් එකේ එක එක සෙල්ලං දාන්න දන්නේ නැහැ. මට යමක් කියන්න තියෙනවා නම් මම ඕක ඕන බිජ්ජක් කියලා කියනවා. මොනවා රකින්නද බං.

      Delete
    4. පැරාගේ බ්ලොගයේ කමෙන්ටු, නලින්ද සිල්වා ගේ ලිපිවල කොටස් සමහරු මෙතැණ අත හරිනවා!

      Delete
  5. තැනට ගැලපෙන ලෙස ඇඳීම තමයි ලස්සනට අඳිනවා කියලා මට හිතෙන්නේ. ඔය හැම තැනටම ඇඳුම් තියනවනේ පාටි වෙයාර්, ඔෆිස් වෙයාර්, වෙඩින්ග් වෙයාර් එහෙම කියලා. "ගෙදරට වෙයාර්" කියලා රේන්ජ් එකක් ඉන්ට්‍රඩියුස් කරමුද... ඉයන් මොකද කියන්නේ...බිස්නස් අයිඩියාස්....

    ReplyDelete
    Replies
    1. නමුත් අපි පිරිමි බොහෝ දෙනා ගෙදර වෙයාර් කර ගන්නේ කලින් පිටට ඇන්ද දේවල් නේ. කාන්තාවන්ට නම් විවිධ ඇඳුම් පැළඳුම් මාකට් කෙරෙනවා!

      Delete
    2. අරුණ හොඳ අදහසක්. උදාහරණයකට කලු/නිල් බාටා සෙරෙප්පු ඉහල සමාජය නොඇඳපු කාලෙක 'ආරුමුගම් බේ ' බ්‍රෑන්ඩ් එකෙන් ආපු පාට පාට සෙරෙප්පු ලොකු හිට් එකක් වුණා.

      Delete
    3. අරුණ හොඳ අදහසක්. උදාහරණයකට කලු/නිල් බාටා සෙරෙප්පු ඉහල සමාජය නොඇඳපු කාලෙක 'ආරුමුගම් බේ ' බ්‍රෑන්ඩ් එකෙන් ආපු පාට පාට සෙරෙප්පු ලොකු හිට් එකක් වුණා.

      Delete
  6. සමාජේ ඇඳුමට සෑහෙන දේවල් ටිකක් මනින බව නම් හොඳට පෙනෙනවා.. අනේ මන්දා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ සමගම, මං කියන්නේ ජැන්ඩියට ඇඳගෙන යන කොට තමන්ටත් පොඩි ජොලියක් එන බවයි!

      Delete
  7. නරකද ඔබතුමා ශීත සිසිිරයේ සිනුවරත් පෙබරවාරියේ පේරාදෙනියෙත් උෂ්ණත්වය සසඳලා අපිට කිව්වොත් එහෙම.

    ReplyDelete
    Replies
    1. වෙදර් ඩොට් කොම් තමයි!
      පේරාදෙණියේ පෙබරවාරියක් ගෙව්වේ පරම්පරාවකට කලින්!

      Delete
  8. //සරත් විජේසූරිය ගේ සුප්‍රකට හුචක්කුව//

    මෙය "සරත් විජේසූරිය නමැති බකපඬියාගේ කුප්‍රකට හුචක්කුව නැමැති විකාර කතාව අනුව" ලෙස නිවැරැදි වුණා නම් වඩාත් අගෙයි නේද රසික?

    ගැහැණුන්ට අපහාස කරන මෙම පසුගාමී ගෝත්‍රික කතාව බොහෝ කාන්තාවන්ගේ විවේචනයට ලක්වුණා නොවේද?

    ReplyDelete
    Replies
    1. /* ටයි පොල්ල බෙල්ලේ ගැට ගසා කෝට් බෑය හැඳගත් පසු ශීත ශිශිරයේ කරදරයෙන් බේරීමට ඉඩ ලැබුණා පමණක් නොව සිතට ද උදෑසනම විශාල ප්‍රබෝධයක් ඇති වී දවසම ඒ සතුට සිතේ පැවතෙන බව මම අත් වින්දෙමි.

      මග තොට දී, කාර්යාලයේ දී මා දකින කාන්තා පාර්ශවයේ අයට ද, හුචක්කු විලෝම චින්තා පහල වෙන්නට ඇතුවාට සැක නැත! */

      Delete
  9. ටයි පොලු දාන්න මම ආසම නෑ. හොද වෙලාවට අපිට ඒවා දාන්න අවශ්‍යත් නෑ. ඒ හන්දා ශේප්. ඒත් ඉතින් හීතල කාලෙට ඇදුම් දෙක තුනක් අදින එක තමා එපා වෙනම වැඩේ. සමර් එකේ වගේ කලිසමයි ශර්ට් එකයි ඇදන් දුවන්න බෑනේ.

    ReplyDelete
    Replies
    1. එළියේ සීතලෙන් හෙඳින් බේරෙන්න උඩබාගෙට තට්ටු හතරක් අවශ්‍යයයි.

      Delete
  10. ඔය පින්තූරෙ දාල ඉන්න තොප්පියත් දාගෙනද වැඩට ගියේ

    ReplyDelete
    Replies
    1. ඔව්!
      ප්‍රධාන අරමුණ ශීත කාලේ එළියේ ඇවිදින කොට සීතලෙන් මිදීමයි.

      Delete
  11. පිටත් උෂ්නත්වය අන්ශක 40 ටත් වඩා ඉහල යද්දි ටයි කෝට් ඇඳන් ඉන්නකොට දැනෙන සනීපෙ කියන්නද..? එක්කො ඔනෙ නෑ.. ;-)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.