Showing posts with label රන්සිරිමාල් ප්‍රනාන්දු. Show all posts
Showing posts with label රන්සිරිමාල් ප්‍රනාන්දු. Show all posts

Sunday, 24 February 2019

කතුරු මුවාත් - ඔව් ඒ චිත්තරපටියකි :: Sharpen your scissors


මගේ තාත්තාගේ බාලම නැගණිය අප හැඳින්වූයේ චූටි නැන්දා ලෙසිනි. එනිසා ම, ඇය විවාහ වූ පසු ඇගේ සැමියා, අපේ අලුත් මාමා, ධර්මදාස, අපේ චූටි මාමා විය. ඔහු, තමන්ගේ පවුලේ වැඩිමහල්ලා වීම අපට කිසිසේත් ම, අදාළ නොවී ය.

චූටි නැන්දා මා කැටුව "සිදාදියෙන් හයක්" නම් සිංහල චිත්‍රපටය නරඹන්නට ගිය කතාව මම මීට පෙර සටහන් ගත කළෙමි. ඒ, මල් කුමාරයෙකු වීමට මට ලැබුණු එකම අවස්ථාව මගෙන් ගිලිහී ගොස්, රුවන් මල්ලීට ලැබෙන්නට පෙර ය. එලෙස, රුවන් මල්ලීට මල් කුමාරයෙකු වීමට වරම ලැබුණේ අපේ චූටි නැන්දා සහ චූටි මාමා ගේ විවාහ උත්සව දිනයේ දී ය.

චූටි නැන්දා සහ මාමා විවාහ වූයේ එක්කෝ කපුවෙකු විසින් ගෙනෙන ලද එසේ නැතිනම් ඉරිදා පුවත් පතක මංගල දැන්වීමක් අනුසාරයෙන් ලද මංගල යෝජනාවක් මගිනි. නැන්දා ගුරුවරියක බව මම කතුරු මුවාත් සටහනේ දී සඳහන් කළෙමි. චූටි මාමා ද ගුරුවරයෙකු විය.

යෝජනා සම්මත වී, සියල්ල තීරණය වූ පසු, වෙන්ඩ චූටි මාමා සති අන්ත දිනවල නැන්දා බැලීමට අපේ මහගෙදරට එනවා මගේ මතකයේ හොඳින් තිබේ. ඒ ඔහු ඒ ගමන්වල දී අපට චොකලට් ගෙන ආ නිසා විය යුතු ය.

මට පසුව වැටහුණු පරිදි මේ විවාහාපේක්‍ෂිත යුවලට තනිපංගලමේ චිත්‍රපටයක් නැරඹීමට අවශ්‍ය වී ඇත. බොහෝ විට සිදුවෙන්නට ඇත්තේ, වෙන්ඩ චූටි මාමා විසින් මේ යෝජනාව චූටි නැන්දාට කිරීමයි.

චූටි නැන්දා එයට එකඟ වී ඇත.

හැබැයි කොන්දේසි සහිතව ය.

එක් සති අන්තයේ දිනයක, අම්මා ද, නැන්දා ද, මම ද වේලාසනින් ම දිවා ආහාරය ගෙන දොළහමාරේ බසයෙන් නිවසෙන් පිටවුණෙමු. බස් ගමනාවසානයේ දී දුම්රියක නැග ගම්පහ නගරය බලා ගියෙමු.

පබ්ලික් හෝල් නම් සිනමා ශාලාව පිහිටියේ ගම්පහ නගරයේ ය.

එදින අපේ බස් රථය ප්‍රමාද වී, අප යන්නට ඇත්තේ ප්‍රමාද වූ දුම්රියකිනි.

අප තිදෙනා පබ්ලික් හෝල් සිනමා ශාලාවට ළඟා වූ පසු මා දුටුවේ චිත්‍රපට දර්ශනය ඇරඹී ඇති බවත්, වෙන්ඩ චූටි මාමා, නොඉවසිල්ලෙන් මෙන් කොරිඩෝරයේ සිටින බවත් ය.

මාමා විසින් ප්‍රවේශ පත්‍ර මිලට ගත් පසු අපට ශාලාව ඇතුළට යෑමට ලැබුණි.

සෙනග පිරී තිබුණු ඒ ශාලාවේ, අම්මා සහ මා එක ස්ථානයක ද, චූටි නැන්දා සහ වෙන්ඩ චූටි මාමා වෙනත් ස්ථානයක ද අසුන් ගත් බව මගේ මතකයයි.

එදා මා නැරඹූ චිත්‍රපටයේ නම කතුරු මුවාත් බව මගේ මතකයේ ඇත.

ඊට අමතරව, සිනමා දර්ශනය අවසානයේ අසල තිබුණු හෝටලයකට ගොස් අප සීනි බනිස් කා තේ පානය කළ බව ද මගේ මතකයේ ඇත.

කතුරු මුවාත්, පිහිය මුවාත් යනුවෙන් ගීතයක් ගයමින් ඩී ආර් නානායක්කාර නම් නළුවා කුඩා කරත්තයක් තල්ලු කරමින් පාරේ ගමන් කරන දර්ශනයක් එහි තිබුණු බව ද මගේ මතකයේ ඇති නමුත්, ඊට අමතරව, කතුරු මුවාත් චිත්‍රපටය පිළිබඳව කිසිවක් මට සිහිපත් කර ගත නොහැක.

-රසිකොලොජිස්ට්

ප/ලි
මේ මා චිත්‍රපට පිළිබඳව ලියූ දෙවන සටහනයි.

ඒ තමන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට දහයක නිශ්චල ඡායාරූප දහයක්, දිනකට එකක් බැගින් පළ කරන්න යැයි මේ දිනවල ෆෙස්බුක් හි පැතිරෙන අභියෝගය මට එල්ල කළේ රන්සිරිමල් ප්‍රනාන්දු ය.

පළ කළ හැක්කේ ඡායාරූප පමණි, විස්තර ලියන්ට බැරි ය. දිනකට එකක් බැගින් දස දිනක් තිස්සේ මේ කර්තව්‍යය කළ යුතු ය. සෑම දිනම වෙනත් අයෙකුට ද, එම අභියෝගය කළ යුතුය යනාදී වශයෙන් එම අභියෝගයේ නීති මාලාවක් තිබුණි.

මා මුල් සටහනේ ලියූ පරිදි මා ලියන්නේ මගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට ගැන නොවේ. ඇත්තටම, ඒ ආකාරයේ චිත්‍රපට තිබුණාදැයි මට මතක නැත. චිත්‍රපටයක් නරඹා දුක් වෙන්නට ද, සිත පිනා යන්නට ද ඉඩ ඇති නමුත්, ජීවිතයට අනිසි බලපෑමක් ඇති කර ගන්නේ ඇයි?

මා ලියන්නට යන්නේ මගේ ජීවිතයට සම්බන්ධ කිසියම් හෝ හේතුවක් නිසා මගේ මතකයේ රැදී ඇති චිත්‍රපට ගැන ය. ඇත්තටම චිත්‍රපට ගැන නොව, ඒවා මාතෘකා කොට ගෙන, ඒ හා බැඳුණු මගේ සිතේ රැඳී ඇති දේ ගැන ය.

(image: http://www.films.lk/kathuru-muwath-sinhala-film-576.html)

Thursday, 14 February 2019

පළමුවෙනි චිත්තරපටිය - Six from the town


කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩු....

එසේ කීවේ මා නොව ඇන්ටන් ජෝන්ස් නිහාල් නෙල්සන් ය. මට මතක හැටියට හැත්තෑවේ දශකයේ අග හරියේ දී ය. ඒ කුඩු හෙවත් මත්ද්‍රව්‍ය ගැන ගැයෙන බයිලාවකි. ඇන්ටන් ජොන්ස්ලා අද සින්දු නොකියන මුත් කුඩු සහ බයිලා නම් අද ද යහතින් වැජඹේ.

අද කාලේ වසංගත එන්නේ එදා මෙන් නොව ෆේස්බුක් හරහා ය.

ගිය වසරේ අග භාගයේ දී තමන් කැමති පොත් දහයක මුල්කවරවල ඡායාරූප, වරකට එකක් බැගින් ලියා පළ කරන්නට කියා අභියෝගයක් ආවේ ය. හැබැයි කවර පමණි. විස්තර ලියන්නට බැරිය. ඒ මදිවාට, අභියෝගය ඉදිරියට ගෙන යන්නට තම මිතුරෙකු නම් කළ යුතු විය.

රංජිත් පෙරේරා නම් මිතුරෙකු කළ එම අභියෝගය බාර ගත්ත ද, මා නම් ඒ සමග ආ කොන්දේසි කිසිවක් තඹ සතයකට මායිම් නොකළෙමි.

මා පොත් පිට කවර ඡායාරූප පළ කළේ මා ලියූ හෝ සංස්කරණය කළ හෝ පොත් ගැන පමණකි. පිට කවර පමණක් නොව ඒ ඒ පොත් ගැන දීර්ඝ විස්තරයක් ද ලියා පළ කළෙමි. තවත් කොන්දේසියක් කඩමින් කිසිවෙකුට එම අභියෝගය නැවත ලබා නොදුන්නෙමි. එසේ ම, පොත් දහයකින් නතර නොකොට මටම අතපසු වී යන තුරු දිගටම පොත් ගැන ලිවීම කළෙමි.

මේ මොහොතේ ද, මට එවැනි අභියෝගයක් නැවතත් ලැබී ඇත. ඒ තමන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට දහයක නිශ්චල ඡායාරූප දහයක්, දිනකට එකක් බැගින් පළ කරන්නට ය. ඡායාරූප පමණි, විස්තර ලියන්ට බැරි ය.

මට මේ අභියෝගය කළේ රන්සිරිමාල් ප්‍රනාන්දු විසිනි.

ඉතින් මා මේ සැරසෙන්නේ ඒ අභියෝගය ද බාර ගෙන නැවතත් ඒ සමග පනවා ඇති කොන්දේසි කඩන්නටයි.

මා ලියන්නේ මගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට ගැන නොවේ. ඇත්තටම, ඒ ආකාරයේ චිත්‍රපට තිබුණාදැයි මට මතක නැත. චිත්‍රපටයක් නරඹා දුක් වෙන්නට ද, සිත පිනා යන්නට ද ඉඩ ඇති නමුත්, ජීවිතයට අනිසි බලපෑමක් ඇති කර ගන්නේ ඇයි?

මා ලියන්නට යන්නේ මගේ ජීවිතයට සම්බන්ධ කිසියම් හෝ හේතුවක් නිසා මගේ මතකයේ රැදී ඇති චිත්‍රපට ගැන ය. ඔව්, ඡායාරූප පමණක් නොව විස්තරයක් ද ලියමි. හැබැයි චිත්‍රපටය ගැන නොවේ. මගේ මතකයේ රැඳී ඇති, ඒ චිත්‍රපය නැරඹීම හා ආශ්‍රිත සිදුවීම් ගැන ය.

ඒ සමගම මගේ සටහන මුලින් රසිකොලොජි බ්ලොගයේ පළ කර පසුව ෆේස්බුක් හි බෙදා හරිමි. එසේම, මෙවර, මා කිසිදු විස්තරයක් නොදන්නා, අහඹු ලෙස තෝරා ගන්නා ෆේස්බුක් මිතුරෙකුව නම් කීරීමට ද අදහස් කරමි.

දැන් මෙන්න පළමුවෙනි චිත්තරපටිය.

නම: සිදාදියෙන් හයක්

මෙන්න මගේ මතකය.

චූටි නැන්දා යනු මගේ තාත්තාගේ බාල නැගණියයි. අගේ නම කරුණාවතී ය. වෘත්තියෙන් ගුරුවරියකි. මා කුඩා කළ ඇය අමුතු අකුරින් සටහන් ලියනු මා දැක ඇත. ඒ හින්දි භාෂාව ද ලියන්ට උපයෝගී කර ගන්නා දේවනාගරී අක්‍ෂර බව මම අසා දැන ගත්තෙමි. නැන්දා ලියමින් හිටියේ හින්දි නොවේ, සංස්කෘත භාෂාවයි. ඒ ඇය ජී.ඒ.කිව්. නම් විභාගයක් සඳහා ඉගෙන ගනිමින් සිටි විෂයයකි.

නැන්දා ඉගැන්වීම කළේ සපුගස්කන්ද මහා විද්‍යාලයේ ය. එහි ගුරුවරියක ලෙස සේවය කළ එදිරිසිංහ නම් කාන්තාව නැන්දාගේ මිතුරියක විය. ඒ සතිශ්චන්ද්‍ර සහ සුනිල් ගේ අක්කා ය.

සතිශ්චන්ද්‍ර එදිරිසිංහ නම් එවකට නැගී එන නළුවා රඟ පෑ "සිදාදියෙන් හයක්" චිත්‍රපටය නරඹන්නට නැන්දාට හිතුණේ ඒ ඇඳුනුම්කම නිසා විය යුතු ය.

කෙසේ වෙතත්, අවිවාහක තරුණියක තනිවම චිත්‍රපටයක් නැරඹීමට යාමේ සිරිතක් අද මෙන්ම එදා තිබුණේ ද නැත. එනිසා, නැන්දා ඇයගේ අයියාගේ ලොකු පුතා වූ මා කැටුව ගියා ය.

නැන්දා සමග "සිදාදියෙන් හයක්" නම් චිත්‍රපටය නැරඹූ බව මට මතක නමුත් එහි අන්තර්ගතය ගැන මෙලෝ අල බෝලයක් මගේ මතකයේ අද නැත. එසේ නමුදු මෙය බටහිර චිත්‍රපටයක කොපියක් හෝ අනුකාරක නිර්මාණයක් වෙන්නට ඉඩ ඇති බව සිතේ.

සිදාදියේ නොව ගමේ හය දෙනෙකු ගැන නම් මම දනිමි. ඒ මගේ තාත්තා සහ ඔහුගේ සොහොයුරු සොහොයුරින් පස් දෙනා ය. ඒ ගමේ හය දෙනාගෙන් මෙලොව ඉතිරිව ඉන්නේ නැන්දා පමණි.

පසුගිය වසරේ අසනීපවී ලෙඩ ඇඳේ පසුවන නැන්දාගේ දැන් වයස අවුරුදු අසූ හතරකි. "සිදාදියෙන් හයක්" චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ඇගේ මතකයේ තොරතුරු රැඳී තියෙන්නට ඇති ඉඩකඩ අඩු ය. තිබුණ ද, ඒවා වචන බවට පෙරළන්නට ඇයට දැන් නොහැකි ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
නැන්දාගේ මිතුරිය, එදිරිසිංහ නම් ගුරුවරියගේ නිවසට ද මම ඒ දිනවල ගොස් ඇත්තෙමි.

මෙන්න ඒ ගැන මා ලියූ මතක සටහන.

http://rasikalogy.blogspot.com/2017/05/oh-no.html
මල් කුමාරයා - Oh, no!


(image: https://www.films.lk/sidadiyen-hayak-sinhala-film-565.html)

Wednesday, 11 March 2015

කැටපත්පවුරක මතකය - Mirror mirror on the wall?


මේ කෙටි ලිපිය, සීගීරියේ කැටපත් පවුරේ නමක් කුරුටු ගෑ යුවතියකට පැනවුණු දෙවසරක සිර දඬුවම ගැන මේ දිනවල පවතින කතා බහට සම්බන්ධයක් නැත.

කෙසේ නමුත් ඒ ගැන මගේ අදහස කියනවා නම්, මා සිතන්නේ මෙහි දී මස් රාත්තලම කපා ගැනීමට වඩා කළ යුතුව ඇත්තේ මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් සහ සීගිරිය නැරඹීමේ දී කළ නොකළ යුතු දේ ගැන ද කියවෙන අධ්‍යාපන වැඩසටහනක් සැකසීම බවයි.

සීගිරිය යනු ගාළු කොටුව මෙන් නොමිළයේ නැරඹීය හැකි ස්ථානයක් නොවේ. සීගිරියට පිවිසීමට මුදල් ගෙවා ටිකට්පත් ගන්නා විට, ඒ අදාල අධ්‍යාපනය ලබා දිය හැකිය.

මා මේ ලියන්නේ වෙනත් කරුණක් ගැනයි.

අප දන්නා පරිදි, කැටපත්පවුර යනු පුරාණ සිංහල කවියන් තම නිර්මාණ අන් අය සමග බෙදා ගත් එක් මාධ්‍යයකි. එනිසා, මේ නම වෙනත් එවැනි නිර්මාණ පවුරු සඳහා ද යොදා ගත හැකි එකකි. විශේෂයෙන්, ලංකාවේ පාසල්වල, විශ්ව විද්‍යාලවල සිසුන් තම නිර්මාණ එළි දැක්වූ බිත්ති පුවත්පත්වලට කැටපත්පවුර යන නම නිතරම යොදා ගන්නට ඇතැයි සිතමි.

අද අප පොදුවේ සයිබර් අවකාශය ලෙස හඳුන්වන අන්තර්ජාල වෙබ් මාධ්‍යයේ කවි ලියවී හුවමාරු වෙන්නට පටන් ගෙන දැන් දශකයකටත් වඩා කල් ගත වී ඇත. තරංග ජයසේන හෙවත් කූඹියා සහ තවත් අයගේ මහන්සියෙන් ඇරඹුණු බූන්දි වෙබ් අඩවිය වත්මනෙහි මේ ගැන දැක්විය හැකි ප්‍රශස්තම උදාහරණයයි.


බූන්දි වෙබ් අඩවිය නිමවෙන්නට පෙර, බූන්දිය යනු ඊ-මේල්වලින් හුවමාරු වූ සඟරාමය ලියවිල්ලක් විය. එහි කලාප පනහකට වඩා නිමවී සංසරණය වූ බව මගේ මතකයයි. ඒ වසර 2007 සැප්තැම්බරයේ දී ය. ඊටත් පෙර තරංග ජයසේන "කව්-සිත්" නමින් ද වෙබ් අඩවියක් නිමවා තිබුණි.

මගේ පෙම් ගී අඩවිය ඇරඹුනේ ඊට පෙර වසර 2005 අප්‍රියෙල් මාසයේ දී ය.


රන්සිරිමාල් ප්‍රනාන්දු ගේ සිරිමල් උයන වෙබ් අඩවිය මා කියවූයේ ඊටත් පෙර ය.


ඒ කෙසේ වෙතත්, වෙබ් ලෝකයට සිංහල කවිය මුලින්ම ගෙන ගියේ කැටපත්පවුර නම් වෙබ් අඩවිය හරහා යැයි මම සිතමි. ඕස්ටේ‍ර්ලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ලේඛකයෙකු වෙන ජගත් ජේ එදිරිසිංහ විසින් සිංහල කවිය අන්තර්ජාලයට එක් කරමින් කැටපත්පවුර අඩවිය ඇරඹුවේ වසර 2002 මාර්තුවේ දී බව පෙනේ.


ජගත් ජේ එදිරිසිංහ මේ කාලයේ දීම අන්තර්ජාලයට මග යනුවෙන් සිංහලෙන් ග්‍රන්ථයක් ද සම්පාදනය කළ මැවිසුරුවෙකි. ඔහු, දයාවංශ ජයකොඩි සමාගමෙන් ප්‍රකාශිත ගිම්හාන සුළඟ, අසුර අඩවිය, තාරකා විජිතය සහ පිණි යන නවකතාවල ද, ගොඩගේ සමාගමෙන් ප්‍රකාශිත ඉස්කෝලේ කාලේ නම් නවකතාවේ ද රචකයා ය.

කැටපත්පවුර වෙබ් අඩවියට මෙතැනින් යන්න: http://ketapathpawra.com/

-රසිකොලොජිස්ට්

ප/ලි:
සමහර විට මෙහි සඳහන් සිරිමල් උයන අඩවිය නිමවෙන්නට ඇත්තේ කැටපත්පවුර අඩවියට කලින් විය හැකි බව මේ ලිපිය ලිවීමෙන් අනතුරුව සැක ඇති විය. ඒ ගැන ස්ථිරවම සොයමින් සිටිමි.

ප/ප/ලි:
සිරිමල් උයන වෙබ් අඩවිය අරඹා ඇත්තේ වසර 2000 දෙසැම්බරයේ දී බව රන්සිරිමාල් ප්‍රනාන්දු කවියාගෙන් මේ දැන් අසන්නට ලැබුණි. කවියෙක් යැයි කීවාට මා දන්නා තරමින් ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සහ කැනඩාවේ ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ උගත් විද්‍යාඥයෙකි.

සිරිමල් උයන වෙබ් අඩවිය මෙතැනින් යන්න: http://www.ransirimal.com/

(image: http://sigiripintura.itgo.com/Katapathpawra.htm)