Showing posts with label රොබට් නොක්ස්. Show all posts
Showing posts with label රොබට් නොක්ස්. Show all posts

Saturday, 17 August 2024

රොබට් නොක්ස්ට ද පුදුම හිතෙන මහා බොරුව - What a big lie...!

Knox WTF
පීඩකයා, පීඩිතයාගේ වේදනාවෙන් ඵල ප්‍රයෝජන ගැනීම හෙවත් රොබට් නොක්ස් සංකීර්ණය මැයෙන් නම් කර මා පළ කළ ලිපියේ සංක්ෂිප්ත අදහස් වූයේ එදා ඔහු අසාධාරණ ලෙස සිරකරුවෙකු ලෙස විඳි දුක් කම්කටොළුවලින් අද උපරිම ප්‍රයෝජන ලබන්නේ රොබට් නොක්ස්ට ඒ අසාධාරණය කළ ජාතිය බවයි.

අද මා කියන්නට යන්නේ රොබට් නොක්ස් ගේ නම ද පටලවමින් ලංකාව පුරා පතුරවා ඇති මහා බොරුවක් ගැනයි. රොබට් නොක්ස් පැවැසුවා යැයි අසා තිබෙන නිසා අප විශ්වාස කළ ද රොබට් නොක්ස් ද නොදන්නා මහා බොරුවක් ගැනයි.

දෙවෙනි රාජසිංහ රජුගේ සිරකරුවෙකු ලෙස ලංකාවේ වසර දහනමයක්ම ගත කර අවසානයේ පළා ගිය රොබට් නොක්ස් පසුව තමා ලංකාවේ ගත කළ කාලයේ ලද අත්දැකීම් පදනම් කරගෙන “ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් ඔෆ් සිලෝන්” නම් ග්‍රන්ථය ලියා පළ කළේය. අප බොහෝ දෙනෙකු කියවා ඇත්තේ "එදා හෙළදිව" නමින් ඩේවිඩ් කරුණාරත්න විසින් සිංහලෙන් පළ කර සිංහල පාඨකයින් අතර අති මහත් ප්‍රසිද්ධියක් ලද අනුවර්තනයයි.

එදා ලංකාව ගැන තම කෘතියේ නොක්ස් විසින් ලියා තිබුණු කරුණුවලින් අප අතර වඩාත් ම ප්‍රචලිත වී ඇත්තේ කුමණ කරුණ ද?

අවිවාදයෙන් ම එය, මෙයයි.

මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුව සුදුසු ය. එනම් ගොවිතැන් කිරීමේ දී ඇඟේ ගෑවෙන මඩ සෝදාගත් කල එකල ලංකාවේ සිටි ගොවියා ලංකාවේ රජකමට වුව සුදුසු බව එකල ලංකාවේ අදහස වූ බවයි.

මූලිවම ගොවියන් ඇන්දවීමට ද, ඊට අමතරව දෙදහස් පන්සීයේ මෙව්වා එක මෙව්වා කිරීමට ද ඉහත රොබට් නොක්ස් ලියුවා යැයි පැවසෙන ප්‍රකාශය අවභාවිතාවෙන වාර අනන්තය.

නමුත් සත්‍යය නම් එවැනි තත්වයක් ලංකාවේ තිබී නැති අතර රොබට් නොක්ස් තම කෘතියෙහි එවැනි දෙයක් ලියා ද නැත.

ඒ වෙනුවට මෙහි දී සිදු වී ඇත්තේ රොබට් නොක්ස් ලියූ වෙනත් අදහසක් (සහ බොහෝ විට සැඟවුණු අරුතක් ද ඇති කරුණක්) අතිශය වැරදි ආකාරයට සරල කර, විකෘති කර, ඩේවිඩ් කරුණාරත්න විසින් තම අනුවර්තන කෘතියේ, මුල් කෘතියේ නොතිබුණු, අලුතෙන් එකතු කළ සාරාංශ කොටසක ඇතුළත් කිරීමයි.

තම ග්‍රන්ථයේ පළමු කොටසේ, පළමුවෙනි පරිච්ඡේදයේ, තෙවෙනි ඡේදයේ රොබට් නොක්ස් ලියා ඇත්තේ මෙලෙස ය.
(මූලාශ්‍රය: https://www.gutenberg.org/files/14346/14346-h/14346-h.htm)

In the Midland within those already mentioned lye Wallaponahoy (it signifies Fifty holes or vales which describe the nature of it, being nothing but Hills and Valleys,) Poncipot (signifying five hundred Souldiers, ) Goddaponahoy (signifying fifty pieces of dry Land,) Hevoihattay (signifying sixty Souldiers,) Cote-mul, Horsepot (four hundred Souldiers,) Tunponahoy (three fifties,) Oudanour (it signifies the Upper City where I lived last and had Land,) (and) Tattanour (the Lower City,) in which stands the Royal and chief City, Cande. These two Counties I last named, have the pre-eminence of all the rest in the Land. They are most populous, and fruitful. The Inhabitants thereof are the chief and principal men: insomuch that it is a usual saying among them, that if they want a King, they may take any man, of either of these two Counties, from the Plow, and wash the dirt off him, and he by reason of his quality and descent is fit to be a King.
රොබට් නොක්ස් මේ කියන්නේ කිසිසේත්ම රටේ ගොවියන් රජකමට සුදුසු කියා නොවේ. කන්ද උඩරට රාජධානියේ යටනුවර සහ උඩුනුවර යන කොරළ ද්වයේ වෙසෙනා ජනතාව අතර, තමන්ට සී සාමින් සිට මඩ හෝදාගෙන රජකම් කිරීමට යාමට හැක යනුවෙන් එක්තරා “පම්පෝරි” කතාවක් තිබුණු බවයි.

තමන්ගේ අවශ්‍යතාවක් නිසා “ඔහුට පෙනුණු ඇතැම් දේ” යැයි ලැයිස්තුවක් සකසන අනුවර්තක, ඩේවිඩ් කරුණාරත්න එහි පෙරකී කොටසේ විකෘතියක් “කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය” යනුවෙන් සඳහන් කර ඇත.

අප බෝහෝ දෙනෙකු කුඩා කළ සිටම රැවටී ඇත්තේ මේ ප්‍රෝඩාවටයි.

නැවතත් කියනවා නම්:
“කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය” යනු
1. රොබට් නොක්ස් කළ ප්‍රකාශයක් නොවේ.
2. කෝරළ දෙකක වැසියන් තමන් උසස් බව කියා පෑමට භාවිතා කළ පම්පෝරි කතාවකි.

නමුත් පම්පෝරියක් ලෙස හෝ මෙවැනි කතාවක් ඒ ප්‍රදේශ ද්වයේ ජනයා තමන් ගැන පැවසීමට හේතුව කුමක් ද? ඉතිහාසඥයින් පවසන අන්දමට මේ උඩරට රජවරුන් විසින් තම රාජ්‍යය පවත්වාගෙන යාම සඳහා හන්දුරුවන් නම් රදල පරපුරක් බිහිකරමින් සිටි කාලයයි. මේ ඔවුන් තමන්ගේ වර්ධනය වන බලය පිළිබඳ නගන පුරසාරමකි.

එසේ නොමැතිව රජපරපුරෙන් නොමැතිව රජුන් තෝරා ගැනීමේ සිහිනයක් හෝ රජාලාට තිබී නැත. සාමාන්‍ය මිනිසුන්ට ද තිබී ඇති බව නොපෙනේ. ඒ සඳහා එක් හොඳ උදාහරණයක් නම් 1848 වැනි ඇමරිකන් විප්ලවය, ප්‍රංශ විප්ලවය සිදුවූ පසු ලොවේ දී පවා මාතලේ කැරැල්ලෙන් පසු (ජනරජයක් නොව) රජෙකු පත්කර ගන්නට කොහේදෝ සිටි ගොංගාලේගොඩ බණ්ඩෙකු සබයට ගෙන ඒමයි.

එසේ නමුත් මෙහි සැඟවී ඇති වෙනත් රහසක් ද තිබෙනවා විය හැක.

එනම්, රජාගේ අන්තහ්පුරයේ දෝළිලා සැපයෙන්නට ඇත්තේ මේ පලාත්වලින් විය හැක. එසේම, රජ මාලිගයේ සිට වැඩි දුරක් නොමැති නිසා, රජා සමහර විට රාත්‍රී සමයේ මේ පළාත්වල කරක් ගැහැව්වා ද විය හැක. එසේ නම්, ඉහත ප්‍රකාශයේ "මඩ" යනුවෙන් අදහස් කෙරෙන්නේ එලෙස කොටු පනින රජාගේ මඩ තට්ටු විය හැක.

- රසිකොලොජිස්ට්

Wednesday, 13 May 2015

රොබට් නොක්ස් සංකීර්ණය - When the oppressor gains from the suffering of the oppressed


මා මුහුණ දුන් සම්මුඛ පරීක්‍ෂණයක අත්දැකීම පදනම් කරගෙන, මින් දින දෙකකට කලින් මවිසින් ලියා පළ කරන ලද ලිපියේ දී මා සාකච්ඡා කළේ, අතීතයේ දී අප ලැබූ ඉතා සුඛදායක අත්දැකීම් අද අපට ප්‍රයෝජනවත් නොවී, එදා අප දුඛදායක අත්දැකීම් නොලැබීම ගැන අද පසුතැවිලි වෙන්නට සිදුවීම ගැනයි.

ඒ සංසිද්ධියේ එක් නිසැක දිගුවක් වන්නේ, වත්මනෙහි අප ලබන ඉතා සුඛදායක අත්දැකීම් ද අනාගතයේ කිසි දිනයක අපට ප්‍රයෝජනවත් නොවී, අප අද නොලබන දුඛදායක අත්දැකීම් ගැන එදිනට අපට පසුතැවිලි වෙන්නට සිදුවීමට ඉඩකඩ ඇතිය යන්නයි.

මේ ගැන සිතීමේ දී මට සිහිවුනේ, ශතක තුනකට පමණ කලින් ජීවත්වූ අයෙක් වුවද, නම කියූ පමණින් අප බොහෝ දෙනෙකු දන්නා හඳුනන චරිතයක් වන රොබට් නොක්ස් ය.

නොදන්නා වෙතොත් ඔවුන් ගේ දැන ගැනීම පිණිස කෙටියෙන් කියනවානම්, වසර 1641 දී ඉපිද, නැව් කප්පිත්තෙකු වූ සිය පියා ගේ අඩි පාරේ යමින් වයස 14 වැනි කුඩා වයසේදී ම (ඒ කාලයේ එය ළමා අපයෝජනයක් නොවේ!) පියා ගේ නැවේ සේවයට බැඳුණු රොබට් නොක්ස්, 1659 දී ඔවුන් ගේ නැවට වුණු හානි නිසා එය පිළිසකර කරගැනීම පිණිස ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා ඇත.

එහිදී දෙවෙනි රාජසිංහ රජුගේ සිරභාරයට පත් වූ රොබට් නොක්ස් ට එළිමහන් සිරකරුවෙකු ලෙස ලංකාවේ වසර දහනමයක්ම ගත කිරීමට සිදුවිය. තම පියා රොගී වී මිය යාම නිසා ඔහුට ඉන් වැඩි කාලයක් ගත කරන්නට වූයේ තනිවමය. ඒ සමගම නිසි ආදායමක් නොමැතිවීම නිසා විවිධ කර්මාන්ත කරමින් රෙබට් නොක්ස් ගතකර ඇත්තේ සාපේක්‍ෂව දුක්මුසු දිවියකි. ඔහු අවසානයේ සගයෙකු සමග උඩරටින් පලා ගොස් එවකට මුහුදුබඩ පෙදෙස් පාලනය කළ ලන්දේසීන් ගේ උදව්වෙන් ආපසු එංගලන්තය බලා ගොස් ඇත. ඒ වසර 1680 දී ය.

එතැන් සිට කාලයක් නැවතත් නාවික වෘත්තියේ ද, ඉන් පසු විශ්‍රාමිකයෙකු ලෙසද ගතකළ රොබට් නොක්ස් ඒ කාලයේ දී තමා ලංකාවේ ගත කළ කාලයේ ලද අත්දැකීම් පදනම් කරගෙන එක් ප්‍රධාන කෘතියක් සහ වෙනත් ලියවිලි ගණනාවක් පළ කර ඇත.

ඒ කෘතිය නම් "එදා හෙළදිව" නමින් ඩේවිඩ් කරුණාරත්න අතින් සිංහලයට පෙරළී සිංහල පාඨකයින් අතර අති මහත් ප්‍රසිද්ධියක් ලද ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් ඔෆ් සිලෝන් නම් ග්‍රන්ථයයි.

දහහත්වෙනි සියවසේ ලංකාව ගැන ලියවී ඇති ප්‍රශස්තම ග්‍රන්ථය මෙය වේ යැයි සිතමි. පුරාණයේ ලියවී අද ද ඉතිරි වී ඇති ග්‍රන්ථ ගැන සලකා බලන කල, ඒවා සෑමවිටම පාහේ රජවරුන් සහ ඔවුන් ගේ වැඩ කටයුතු සහ අකටයුතු, රජුන් ගේ බිසෝවරුන් ගේ ගර්භණී තත්වයන් වැනි කරුණු ගැන පමණක් ලියවුණු ඒවා බව අපි දනිමු.

රටේ සාමාන්‍ය ජනතාව දිවි ගෙවූ ආකාරය පිළිබඳ වැදගත් විස්තර ගෙන එන රොබට් නොක්ස් ගේ එකි ග්‍රන්ථය ලංකාවේ ඉතිහාසය ගැන දැන ගැනීමට අවශ්‍යතාවයක ඇති අපට ඉතා වැදගත් එකක් වන්නේ එනිසා ය.

මා මුලින් සඳහන් කළ කරුණට, එනම් සුඛදායක අත්දැකීම් සහ දුඛදායක අත්දැකීම් වල පසුකාලීන වැදගත්කම සම්බන්ධයෙන්, මේ රොබට් නොක්ස් උදාහරණය අදාළ වෙන්නේ මෙ ලෙසයි.

එදා දෙවන රාජසිංහ රජු ගේ සිරකරුවෙකු ලෙස රොබට් නොක්ස් ලැබූ දුඛදායක අත්දැකීම පසු කලෙක ඔහුට යම් ප්‍රයෝජනයක් ගෙන එන්නට ඇත. ඔහු ලියූ පෙර කී ග්‍රන්ථය ඉතා නිසා රොබට් නොක්ස්ට විශාල ප්‍රසිද්ධියක් සහ සමාජයේ පිළිගැනීමක් ලැබුණු බව කියවේ. ලෝක ප්‍රසිද්ධ රොබින්සන් කෲසෝ නවකතාව රොබට් නොක්ස් ගේ අත්දැකීමෙන් උත්තේජනයක් ලැබී ලියවුණු එකක් බව ද කියවේ. නොක්ස් ඇතුළු පිරිස තම නැව පිළිසකර කරගෙන වහා ලංකාවෙන් පිටව ගියේ නම් ඒ පසුකාලීන ප්‍රතිලාභ ඔහුට නො ලැබෙන්නට ඉඩ තිබුණි.

එය එසේ නමුත්, රොබට් නොක්ස් ගේ දුඛදායක අත්දැකීමෙන් විශාලතම ප්‍රයෝජනය මෙතෙක් ලැබුවේත්, අදත් හෙටත් නොනැවති ලබන්නේත්, වසර දහ නමයකට පසු පලායන තෙක් ම ඔහුව සිරකරුවෙකු ලෙස අසාධාරනව සිරගතකොට ගෙන සිටි දෙවන රාජසිංහ රජුගේ රාජධානිය ද ඇතුළත් වුණු අද ශ්‍රී ලංකාව ම ය! ලංකාවේ වැසියන් ම ය!!

මේ පීඩිතයා ගේ දුකෙන් පීඩකයා ලාභ ප්‍රයෝජන ලැබීම ගැන සම්භාව්‍ය ආකාරයේ උදාහරණයකි.

මේ සුවිශේෂී තත්වය ගැන කලින් හැදෑරූ අය වෙතොත් ඔවුන් එය යම් ආකාරයකට වර්ගීකරණය කොට, ලේඛනගත කොට, තිබෙනවා විය හැක. එවැනි කරුණු ගැන නොසොයා නොබලා ම, මම මේ තත්වය රොබට් නොක්ස් සංකීර්ණය ලෙස හඳුන්වන්නට කැමැත්තෙමි.

-රසිකොලොජිස්ට්

(image: http://daladamaligawa.org/78.htm)