Showing posts with label ලලිත් අතුලත්මුදලි. Show all posts
Showing posts with label ලලිත් අතුලත්මුදලි. Show all posts

Thursday, 2 January 2025

ඇතුලත්මුදලි සහ කොබ්බෑකඩුව ගැන තහවුරු කළ නොහැකි කතාවක් - Useless story


සාමාන්‍යයෙන් පැවසෙන්නේ මියගිය පුද්ගලයින් පිළිබඳව කතා ලිවීම එතරම් හොඳ යි දෙයක් නොවන බවයි. එයට හේතුව කතාවේ වරදක් තිබුණොත් මළවුන්ට එයට විරුද්ධ වී තමන් වෙනුවෙන් කරුණු දැක්වීමට නොහැකිවීමයි.

නමුත් අවාසනාවකට මෙන් මට මේ කතාව සිහියට නැගුණේ මෙහි සඳහන් චරිත තුනෙන් ප්‍රසිද්ධ චරිත දෙක ඇර තුන්වැන්නා ගේ මරණය පසුගිය සතියේ ආරංචි වූ නිසා ය.

කෙසේ වෙතත්, එතරම් ප්‍රසිද්ධියක් නැති පුද්ගලයාගේ නම සඳහන් නොකර ප්‍රසිද්ධ පුද්ගලයින් දෙදෙනාගේ නම් සඳහන් කරමින් මේ කතාව කීමේ අවුලක් නැතැයි සිතමි.

පසුගිය සතියේ මිය පරලොව ගිය නම එතරම් නොදන්නා පුද්ගලයා මා හඳුනා ගත්තේ මීට අවුරුදු තිහකට පමණ පෙර මා සේවය කළ ස්ථානයකට ඔහු සේවයට පැමිණි විටය. නමුත් ඔහු නවකයෙකු නොවිණි.

මා සිතන විදිහට ඔහු උසස් පෙළ කරන්නට ඇත්තේ හැටේ දශකයේ අග භාගයේ දී ය. ඒ මක්නිසාදයත් 1970 පැවති මහ චන්දයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පොළ නියෝජිතයකු ලෙස සහභාගි වූ බව මා සමග පවසා ඇති නිසයි.

එම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි එදා පැවති ඡන්දයෙන් එවකට ද ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙකු වූ චන්ද්‍රසිරි නම් මන්ත්‍රීවරයා ඔවුනට අනුභව කිරීම සඳහා මාලු පාන් වැනි ද්‍රව්‍යයක් ද සමග තේ රැගෙන දුන් බව ඔහු මා සමග පැවසීය.

මෙකී චන්ද්‍රසිරි නම් මන්ත්‍රීවරයා ඊට අවුරුදු හතරකට පමණ පසු මිය ගිය අතර, එනිසා ඒ ප්‍රදේශයේ අතුරු මැතිවරණයක් ද පැවැත්වුණු බව ඔහුගේ නම සඳහන් නොකර මෙහි සටහන් කරමි.

මෙන්න අපේ කතානායකවරයා මා සමග පැවසූ මේ ලිපිය ලිවීමට මූලික වූ කරුණ.

තරුණ කාලයේ සිට ම එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධව කටයුතු කළ බව පෙනෙන මේ පුද්ගලයා වරෙක මා සමග පැවසූයේ ඔහු යූඑන්පී ආණ්ඩුවේ ජාතික ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි ගේ චරිතාපදානය ලිවීම සඳහා කොන්ත්‍රාත්තුව ලැබ සිටි බවක් ඒ සඳහා තොරතුරු ලබා ගැනීම පිණිස ඇමතිවරයා හමුවීමට නිරන්තරයෙන්ම සවස් යාමයේ ඔහුගේ නිවසට කාලයක් මුළුල්ලේ ගිය බවත් ය.

මේ 1989 වර්ෂයට පෙර, ජයවර්දෙන ජනාධිපති සමයේ දී විය යුතුයි.

මක්නිසාදයත් පසුව ඊට පසුව ර. පේමදාස ජනාධිපති සමයේ දී ජාතික ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළේ 1991 දී බෝම්බයක් වැදී මිය ගිය රන්ජන් විජේරත්න නම් පුද්ගලයා වීමයි.

එක්තරා දිනයක අපේ කතානායකයා ලලිත් ඇතුලත්මුදලිගේ නිවසට ගොස් ඇතුලත්මුදලිගේ ජීවන චරිතය ප්‍රශ්න අසමින් සටහන් කර ගනිමින් සිටයේය.

කතානායකයා මට පැවසූ ආකාරයට, ඒ මොහොතේ එවකට රජයේ හමුදාවේ උසස් නිලධාරියෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් ඉහළ නිලයක සිටි ආමිකාරයා ඇතුලු කිහිපදෙනෙකු එහි පැමිණ ඇත. තම චරිතාප්‍රදාන රචකයා සමඟ සාකච්ඡාව මඳකට නතර කරන ලලිත් ඇතුලත්මුදලි ආමිකාරයා සමඟ සාකච්ඡාව ඇරඹීය.

එහි දී ඔවුන් සාකච්ඡා කර ඇත්තේ යුද සැලසුමයි.

මෙහිදී ඇමතියා විසින් යම් යම් උපදෙස් එහි සිටි කොබ්බෑකඩුව ඇතුළු පිරිසට ලබා දී ඇත.

ඒ නියෝග ඇසූ කොබ්බෑකඩුව පවසා ඇත්තේ සර් එහෙම කළොත් විශාල මනුෂ්‍ය විනාශයක් වීමට නියමිතයි කියාය.

මෙහිදී ඇමතිවරයාගේ ක්ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ “සෝ වට්?” යන්නයි. “We have to expect some casualties in any war” යයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙය අසා කොබ්බෑකඩුව ආමිකාරයා දුක්බර වූ බව පෙනුණු බවත් ඇමති ඇතුලත්මුදලි තම ස්ථාවරේ ම සිටි බවත් මා දන්නා හඳුනන පුද ගලයා චරිතාප්‍රදාන ලියන්නා මා සමග පැවසීය.

ඔහු එයින් අදහස් කරන්නට ඇත්තේ කොබ්බෑකඩුව යනු සංවේදී සිතක් ඇති අයෙකු බව සහ ඇතුලත්මුදලි යනු අසංවේදී සිතක් ඇති පුද්ගලයකු බව යැයි සිතමි.

මක්නිසාද යත්, ඔහු මේ කතාව මා සමග පවසන කාලය වන විට කොබ්බෑකඩුව බිම් බෝම්බයකින් මියගොස් සිටි අතර, ඇතුලත්මුදලි නම් ඇමතියා එවකට පැමිණි පැවති යූඇම්පී ආණ්ඩුවෙන් වෙන් වී යූඑන්පී ආණ්ඩුවේ නායක ජනාධිපති ර පේමදාසට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනැවිත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නම් දේශපාලන පක්ෂයක්ද අටවාගෙන මහා දේශපාලන ව්‍යාපාරයක යෙදී සිටියේය.

අපේ කතා නායකයා තවදුරටත් උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයකු ලෙස සිටියේ යැයි සිතමි.

එනිසා, මේ කතාව ඔහු අල්ලේ පැළ කළ එකක් වීමට ද ඉඩ ඇත. ඒ හා සම්බන්ධ කතාවක් ඊළගට ලියමි.

ඒ සමගම ඔහු ලලිත් ඇතුලත්මුදලි ගේ ඔය කියන චරිතාපදානය ලියා අවසාන කළ බවක් කීවේ නැත.

මෙයින් තවත් ටික කලකට පසු ලලිත් ඇතුලත්මුදලි ද වෙඩි පහරක් වැදී මිය ගියේ ය.

- රසික සූරියආරච්චි

(image: Created using Mirosoft Copilot)

Monday, 20 March 2017

අතුලත්මුදලි ලලිත් සහ ආරච්චිසූරිය ශ්‍රීපති - What's in a name? A lot, I would say!


පසුගිය සතියේ සිට විවිධ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන එක්තරා මාතෘකාවක් පිළිබඳව මම සටහනක් ලියමින් සිටියෙමි. එහි ඇතුළත් වෙනු ඇත්තේ මහපොළ ශිෂ්‍යත්වය සහ එහි නිර්මාතෘ ලලිත් අතුලත්මුදලි පිළිබඳව මගේ පුද්ගලික අත්දැකීම් කිහිපයකි.

කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා තවමත් අවසන් කර ගත නොහැකි වුණු ඒ සටහනේ ආරම්භය ලෙස මා ලියූ මේ කොටස මුලින් පළ කිරීමට සිතුවෙමි.

මෙය මුට්ටිය දැමීමකට වඩා වෙනත් ආකාරයක කළමනාකරණ විසඳුමක් බව සලකන්න.

පසුගිය දිනවල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇතිවුණු සිදුවීම පිළිබඳව අදහස් දැක්වීමේ දී, අති බහුතරයක් දෙනා නොදැන කරනා වරදක් මුලින් ම නිවරද කළ යුතුය. එනම්, වර්ෂ 1981 දී මහපොළ නම් ශි’ෂ්‍යත්ව ක්‍රමය ඇරඹූ, එවකට පැවති යූඇම්පී රජයේ වෙළඳ ඇමතිවරයා ගේ පෙළපත් නම ඇතුලත්මුදලි නොවේ. එය අතුලත්මුදලි වේ.

අතුලත්මුදලි සහ ඇතුලත්මුදලි අතර වෙනසට හේතුව හෙළ හවුල හෝ ඔවුන් විසින් ගෙන ගිය අසාර්ථක ඇ-කාරයේ විකාරය ව්‍යාපාරය නොවේ.

එය මනාප පොරය පිළිබඳ ප්‍රශ්නයකි. ඇත්තට ම, ප්‍රශ්නයක් නොව, විසඳුමක් යැයි සිතමි.

අප එතෙක් කල් ලලිත් ඇතුලත්මුදලි යැයි දැන සිටි පුද්ගලයා ගේ නම ඇතුලත්මුදලි නොව අතුලත්මුදලි බව අප දැන ගත්තේ, පසුගිය සියවසේ අසුවේ දශකයේ දී, ඒකල ඡන්ද කොට්ඨාස ක්‍රමය අහෝසි කර, සමානුපාත ක්‍රමයට නියෝජිතයින් තෝරන දිස්ත්‍රික්ක ක්‍රමය ඇරඹුණු පසු පැවැත්වුණු දෙවැනි ඡන්ද විමසීමේ දී ය.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වුණු මුල් ම ඡන්දයේ දී, ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා නියෝජිතයින් පත් කිරීමට අවශ්‍ය අපේක්‍ෂක අනු-පිළිවෙළ මැතිවරණ කොමසාරිස්ට දැනුම් දුන්නේ ඒ ඒ දේශපාලන පක්‍ෂ විසිනි. ඒ ඒ පක්‍ෂයට හිමිවෙන නියෝජිතයින් සංඛ්‍යාව අනුව ඒ ඒ ලයිස්තුවලින් අපේක්‍ෂකයින් තෝරා ගැනුණි.

ඒ මුල් මැතිවරණයේ දී, එවකට ලංකාවේ ජනාධිපති සහ යූඇම්පියේ නායක ජේ.ආර්. පප්පාට තේරුම් ගියේ ලයිස්තුවේ මුලින් ඉන්නා අපේක්‍ෂකයින් තමන් අනිවාර්යෙන් ම තේරී පත්වෙන බව දන්නා නිසා ඡන්දයට බැහැලා වැඩ කිරීමක්, ඇඟෙන් ම වැඩ කිරීමක්, නොකරන බවත්, එසේම, ලයිස්තුවේ අගින් ඉන්නා අපේක්‍ෂකයින් ද තමන් ද කිසිසේත් ම තේරී පත් නොවෙන බව දන්නා නිසා, ඡන්දයට බැහැලා වැඩ කිරීමක්, ඇඟෙන් ම වැඩ කිරීමක්, නොකරන බවත් ය.

එනම්, එකිනෙකා අතර තරගයක් නොමැති නිසා, පොදු අරමුණට තරමක් හෝ කෙළවෙන බවයි.

ඉතිං, ජේ.ආර්. පප්පා කළේ, මනාප ක්‍රමය හඳුන්වා දීමයි.

ද රෙස්ට් ඊස් හිස්ටරි!

මේ මනාප ක්‍රමය යටතේ ජනතා මනාපය දිනා ගැනීමට අපේක්‍ෂකයින්ට ජනප්‍ර්‍රියත්වය සමග හොඳ අංකයක් ද අවශ්‍ය විය.

අංක එක යනු හොඳ අංකයක් පමණක් නොවේ, ලයිස්තුවේ මුල්ම අංකය ද වේ.

ලයිස්තුව සාදන්නේ සිංහල අකාරාදිය අනුව නිසා, ඇ-යන්නට පෙර, අ-යන්න ලයිස්තුගත වේ.

ඉදින්, අප එතෙක් දැන සිටි ඇතුලත්මුදලි, ලලිත් වෙනුවට අතුලත්මුදලි ලලිත් යූඇමපීයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා දුන්නේ යැ.

කොහොමටත් ඉංග්ලිෂ් අකුරෙන් ලියූ විට යොදන්නේ ඉංග්ලිෂ් අකාරාදියේ මුල්ම අක්‍ෂරය වෙන A නොවැ?

පේරාදෙණිය සිද්ධිය අරබයා මා ලියන්නටැ යන ලිපියේ ඉන්නේ ඇතුලත්මුදලියෙකු නොවැ අතුලත්මුදලියෙකු බවැ සලකන්නැ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ආරච්චිසූරිය ශ්‍රීපති ගැන මතකද?

(image: https://www.linkedin.com/pulse/tribute-hon-lalith-athulathmudali-srimal-fernando-srimal-fernando)