
ඉයන් ලින්තොට විසින් ආරම්භ කර ඇති නවතම බ්ලොග් ව්‍යාපෘතියට එකතු වීම පිණිස "සම්බෝල ප්‍රවර්ගයේ" කෙටිකතාවක් ලිවීම සඳහා වස්තු බීජ දෙක තුනක් සොයා ගැනීමට සිත පීරමින් සිටියදී, යටි හිතේ කොහේදෝ කොනක සැඟවී තිබුණු එක් සුන්දර සිදුවීමක් යළි මතකයට නැගුණි.
සම්බෝල, අච්චාරු, චට්නි, සලාද, පපඩම් සියල්ල අමතක කර ඒ වස්තු බීජය ඉතා සැකෙවින් ලියා පළ කරන්නට මට වහා සිත්විය.
මෙය කොල්ලෙකු සහ කෙල්ලක සම්බන්ධ කතාවකි.
අපේ කතා නායකතා තම ජීවිතයේ ප්‍රථම රැකියාව ඇරඹූ වයස අවුරුදු විසි තුනක පමණ තරුණයෙකි. සේවය අරඹා දෙවෙනි දිනයේ දී පමණ සම වයසේ යැයි හැඟී ගිය පියකරු තරුණියක් ඔහු නෙත ගැටුණේය. ඇය විශ්වවිද්‍යාලයක පාඨමාලවක් හදාරමින්, ඒ පාඨමාලාවට අදාළ පුහුණුවක් සඳහා මේ ආයතනයේ මාස කිහිපයක් ගත කරමින් සිටි යුවතියකි.
නිතර එකිනෙකා දුටුවේ වුව ද, ඔවුන් දෙදෙනාට කතා බහ කිරීමට වැඩි ඉඩකඩක් සේවා ස්ථානයේ දී, සේවා කාලය තුළ නොලැබුණි. කෙසේ වෙතත්, තරුණයා ඇය දුටු සැම මොහොතකම සසල සිතින් ඇය දෙස බලනු ඇය නොදකින්නට හේතුවක් නොතිබුණි.
කොටින් ම, "කුච්, කුච් හෝතා හේ" තත්වයක් ඇරඹී තිබුණි.
මාස කිහිපයක් ම ගත විය. සේවා ස්ථානයේ අන් මිතුරු මිතුරියන් සමග සිටි අවස්ථාවල, කෝල, මනලෝල බැල්මක්, වචනයක් දෙකක් හුවමාරු වූ නමුත්, සම්බෝල තියා ජම්බෝල ප්‍රවර්ගයේ කෙටිකතාවකටවත් සුදුසු කිසිවක් ඊට අමතරව සිදුවෙන බවක් නොපෙනුණි.
ඒ, ආයතනයේ අවුරුදු නිවාඩුවට පෙර දා සවස් යාමයයි.
නිවාඩුවට පෙර අවසන් කිරීමට යුවතියට සුවිශේෂී කාර්යක් පැවරී තිබුණු නිසා, ඇය සවස් යාමය තෙක් ම ආයතනයේ රැඳී සිටිනු තරුණයා දුටුවේ ය.
මද වේලාවකින් ඇය පැමිණ ඔහුගෙන් මෙලෙස ඇසුවා ය.
"රනුක, මට අද රෑ අට විතර වෙනකම් මෙතැන ඉන්න වෙනවා. ඔයා ඕෆ් වෙන්නේත් ඒ වෙලාවට නම්, මා එක්ක බෝඩිම ළඟට යන්න එන්න පුළුවන් ද? ඒ පාර ටිකක් කරුවලයි, පාරේ ලයිට් නෑ."
තරුණයා ගේ බෝඩිම පිහිටියේ ද, ඒ පැත්තේ ම, නමුත් වෙනත් අතුරු මාර්ගයකයි.
"හා හොඳයි, මං එන්නම්!" ඔහු යාන්තම් කියා ගත්තේ ය.
රාත්‍රී අටට පමණ සේවා ස්ථානයෙන් පිටත් වූ ඔවුන් දෙදෙනා, කතා බසයෙන් ම, මහා මාර්ගය තරණය කොට, කන්ද උඩට දිවෙන මාර්ගයේ මද දුරක් ගොස්, එතැනින් යුවතියගේ බෝඩිම දෙසට දිවෙන ගුරු පාරට පිවිසුනහ.
"කාලෝ අයං තේ!"
ඒ, මේ සැදැහැවත්, දැහැමි, බෝ පැළයක් බඳු, තරුණයා ගේ සිත ඔහුට කොඳුරා කියූ දහම් පදයකි.
"සංජි"
"ඇයි රනුක?"
"මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි...." රනුක අප සියලු දෙනාම දන්නා කතාව කියාගෙන ගියේ ය. ඔහු එය අවසන් කළේ ද නැවතත් අප හොඳින් දන්නා "මං ඔයාට කැමතියි, ඔයා මොකද හිතන්නේ?" යැයි විමසමිනි.
සමහර විට රනුක ඒ "මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි" කතාව කියා ඒ ප්‍රශ්නය එලෙසින් ම, ඒ සවස් යාමයේ දී අසාවි යැයි සංජි ද අපේක්‍ෂා කළා විය හැක.
"රනුක, මං හෙට ගෙදර යනවා, ආපහු එන්නේ සතියකින් විතර අලුත් අවුරුද්දේ. ඒ ආවට පස්සේ අපි කතා කරමු!" ඇය කලින් සූදානම් වී සිටියාක් සේ කීවා ය.
"එහෙනම් ඒ අලුත් අවුරුද්ද ඔයාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා මං ප්‍රාර්ථනය කරන්නම්!" රනුක වහා පිළිතුරු දුන්නේ ය.
නිමි.
-රසිකොලොජිස්ට්
(image: https://thumb9.shutterstock.com/display_pic_with_logo/165386934/611563286/stock-photo-heart-shape-made-of-nails-for-father-s-day-anniversary-or-valentine-611563286.jpg)