

දැනට වසරකට පමණ පෙර සමයෙක, අපට රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනයක් ලැබුණි. අපට කියා කීවාට, මේ ආරාධනය ලැබුණේ ඇත්තට ම මගේ බිරිඳට ය. ඒ ඇගේ සමකාලීන විශ්ව විද්‍යාල මිතුරියක ගෙනි. ඒ සමයේ ම, ඒ පාඨමාලාවම හැදෑරූ තවත් කාන්තාවන් පිරිසක් ද සිය සැමියන් ද සමග එම සාදයට එනු ඇති බව ද මට අසන්නට ලැබුණි.
සාමාන්‍යයෙන් මෙවැනි සුහද සාද පැවැත්වෙන්නේ සෙනසුරාදා ය. අදාළ දිනයේ, අපි ඒ මිතුරු නිවසට ගියෙමු.
කාන්තා පක්‍ෂය තමන් ගේ මිතුරු සමාගම රම්පස් කාමරයේ ඇරඹූ අතර, අප පිරිමි පිරිස, ගෙහිමියා ගේ ඇරයුමෙන් මේසයක් උඩ තබා තිබුණු පොඩි පහේ කුප්පි කිහිපයක් වටා එක් රැස් වී මූ.
මා පසුගිය වසරේ දිනයක "දේශපාලනයෙන් තොර සෑදෑවක්" යනුවෙන් ලියා රසිකොලොජියේ පළ කළේ මේ සාදය පිළිබඳ සටහනකි.
සාදයට සහභාගී වූ කාන්තාවන් සියලු දෙනාම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ විද්‍යාර්ථීන් වූව ද, ඔවුන් ගේ සැමියෝ විවිධ වෘත්තිකයෝ වූහ.
මේ අතර සිටි, මා එදින හඳුනාගත්, මගේ සමකාලීනයෙකු වූ වෛද්‍ය පීඨ විද්‍යාර්ථියෙකු විසින් මට එහි සිටි වෙනත් සැමියෙකුව හඳුනා දුන්නේ "මචං මේ සුජිත්, අපට වඩා පේරාදෙණියේ අවුරුදු දෙකක් සීනියර් පොරක්!" කියා කියමිනි.
මා පෙර සඳහන් ලිපියේ කියූ පරිදි අප එදා කතා බහ කළේ ගේ දොර, යාන වාහන, දූ දරුවන් වැනි එදිනෙදා කරුණු ගැන ය. ඒ අතර ශරීර සෞඛ්‍යය ගැන ද කතාබහ කෙරුණු නිසා, එකිනෙකා දැක්වූ අදහස්වලින් මා මේ දෙවනුව හඳුනාගත් සුජිත් ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකු බව මට හැඟී ගියේ ය.
පෙර කී කුඩා කුප්පිවල පිරී තිබුණු තරල කෙමෙන් කෙමෙන් අපේ රක්තාණු අතරට මුසු වෙද්දී කෙරුණු අපේ සාකච්ඡා අතරතුර දී සුජිත් තමන් දිනපතා කරගෙන යනු ලබන සෞඛ්‍යමය රෙජීමය පිළිබඳව අපට කරුණු පැහැදිලි කළේ ය.
- ඔහු දිනපතා කිලෝ මීටර් හතරක් පමණ ඇවිදියි.
- පාන් කෑම සහමුලින් ම නතර කර ඇත.
- උදෑසන ආහාරය ලෙස ගන්නේ පලතුරු, කිරි සහ යෝගට් මිශ්‍ර සුමුදු බීමකි.
- එළවළු සහ මුහුදු මාළු විශාල ලෙස ද, මස් වර්ග මද පමණින් ද ආහාරයට ගනී. බත් කන්නේ හැඳි භාගයක් පමණි.
- තේ බොන්නේ සීනි නොමැතිව ය.
- හැකි සෑම දිනකම පාහේ සෑදෑ කාලයේ දී නිවසේ සිට අඩ පැයක් පමණ ව්‍යායාමයේ යෙදෙයි!
සතියේ දිනවල දිවා ආහාරය වෙලාවේ කාර්්‍යාලය අසල මාර්ගවල සිරි නරඹමින් ඇවිදීම මා කලක සිට කර ගෙන යන කර්තව්‍යයකි. සුජිත් ගේ රෙජීමයට අඩංගු වුණු ඊට අමතර කර්තව්‍යයන් වූ පාන් නොකෑම, පලතුරු මුසු සුමුදු පානයක් උදෑසන ආහාරය ලෙස ගැනීම, සැඳෑ කාලයේ ව්‍යායාම කිරීම වැනි දේ මා සිත් ගත්තේ ය.
අපේ වයසේ පිරිමින් ගේ සාමාන්‍ය ශරීර ලක්‍ෂණයක් වූ උදරය ඉදිරියට නෙරා ඒම ප්‍රදර්ශනය නොකරන කෙසඟ නමුත් ශක්තිමත් අයෙකු සේ සුජිත් දිස්වුනි. ඊට අමතරව ඔහු වෛද්‍යවරයෙකු ද වේ!
ඉතිං, කුමට ද කුසලට කම්මැලි වෙන්නේ?
මම වහාම වෛද්‍ය සුජිත් පරණගම ගේ රෙජීමයෙන් මට කළ හැකි දේ අනුගමනය කිරීමට අදිටන් කර ගත්තෙමි. අදිටන් කිරීමෙන් නොනැවතී:
- පසුවදා උදෑසන ම නිවසේ කලක් තිස්සේ තිබුණු ව්‍යායාම මැෂිමේ මකුළුදැල් කඩා දැමුවෙමි.
- බ්ලෙන්ඩරය කුස්සියේ කබඩ් එකක් අස්සේ තිබී සොයා ගත්තෙමි.
- කඩපොළට ගොස් වෙනදාට වඩා පලතුරු යනාදිය ද මිලට ගත්තෙමි.
- නැකත් නොබලා, එදින සවස් යාමයේ ම මගේ අලුත් වැඩ පිළිවෙළ ඇරඹූවෙමි.
"ඒ විතරක් නොවෙයි, දන්නවාද, මං හෙට ඉඳලා උදේට බොන්නේ ෆෘට් ස්මූති, පාන් කෑමත් අඩු කරනවා. දවල්ට ඇවිදින එකත් නොවරදවාම කරන්න ඕනෑ!" මම පැවසුවෙමි. "මේ සේරම අර සුජිත් ගෙන් මං අල්ලා ගත්තේ. දැක්කා නේද පොර හොඳ ෆිට් එකේ හිටියේ?"
බිරිඳ ඇගේ විකසිත සුපුෂ්පිත සිනහව පෑවා ය!
"අයියෝ ඔයා සුජිත්ගෙන් ද ඇඩ්වයිස් ගත්තේ?
"ඇයි මොකද, නරකද?"
"නෑ, නෑ, කමක් නෑ, ඊයේ පාටියේ හිටිය හුඟ දෙනෙක් අපේ ෆැකල්ටියේ ඉගෙනගතු අය තමයි. ඒත් සුජිත් නම් හිටියේ වෙට් ෆැකල්ටියේ!"
"මළ කෙලියයි!" මට කියවිණි.
මා මේ පිළිපැදීම අරඹා ඇත්තේ පශු වෛද්‍යවරයෙකු ගේ උපදෙස් ය.
-රසිකොලොජිස්ට්
ප/ලි:
පශු වෛද්‍ය, පශු නොවන වෛද්‍ය කතා කෙසේ වෙතත් මගේ නව සෞඛ්‍යමට රෙජීමයට දැන් වසරක් ගත වී ඇති අතර, මගේ සෑම බඳ පටියකම අලුතෙන් හිලක් බැඟින් විදින්නට සිදු වූ බව සතුටින් සඳහන් කරමි.
ඊට අමතරව, 2014 අප්‍රියෙල් මාසයේ දී නලීන් දිල්රුක්‍ෂ මිතුරාගේ කාරුණිකත්වය නිසා මට ලැබුණු බ්ලොග් ලියන්නන් ගේ මීඩියම් ප්‍රමාණයේ ටී-ෂර්ටය ද මට පසුගිය දිනයක වදෙන් පොරෙන් හෝ ඇඳීමට හැකි විය!
(images: http://www.bigfooty.com/forum/threads/hawks-logo-mascot.977926/ & http://digitalcitizen.ca/2009/02/05/soccer-and-rugby-fans-facebook-friends-tagging-challenge/)