
මට මතක ආකාරයට විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානොත්සවයක් හෝ එවැනි වැදගත් ගරු ගාම්භීර උත්වයක් සඳහා හෝ මට ලැබුණු අවසර/ආරාධනා පතේ ඒ උත්සවයට සහභාගීවෙන්නන් ඇඳිය යුතු ඇඳුම් ගැන යම් ඉඟියක් දී තිබුණි. එහිදී පිරිමි පක්‍ෂයට තරමක සීමා පනවා තිබුණු අතර කාන්තාවන් සම්බන්ධයෙන් පවසා තිබුණේ ඔවුන් උත්සවයට "උත්කර්ෂයක්" සපයන ආකාරයේ ඇඳුමෙන් සැරසී එනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.
උත්කර්ෂයක් සැපයීම යනු මොන මංගල්‍යමය අරුතක්දැයි සොයා බැලූ මට දැන ගන්නට ලැබුණේ ඒ ආරාධනා පත්‍රයේ කියවුණේ, ඔබ පිරිමියෙකු නම් එක්කෝ සුදු ජාතික ඇඳුම නැතිනම් සුදු කමිසය සහ කළු කලිසම නැතිනම් තද වර්ණයේ යුරෝපීය ඇඳුම පමණක් ඇඳිය යුතු බව ද, නමුත් ඔබ කාන්තාවක නම් වර්ණාවලියේ ඕනෑම වර්ණයක ඇඳුමෙන් සැරසී එන්නට වරම් ලබා දී එලෙස සැරසී එන ලෙස ආදරබර ඉල්ලීමක් ද කර තිබුණු බව ය.
පිරිමි අපට ඇයි කෙනෙහිළි? මට සිතුණි!
මා ලියූ "සුදු කලිසමේ පින්වන්තකම" ලිපියේ සඳහන් කළ පරිදි, පාසල් යන කාලයේ ප්‍රාථමික පාසල් අවධියෙන් පසු, අපට නියමිත තිබුණේ තනිකරම සුදු කමිස සහ සුදු කලිසම් ඇඳීමට ය. නමුත්, උසස් පෙළ සමයේ දී පාසල් ඇඳුම් මස්සවා ගැනීමේ ක්‍රියාවලියේ දී දෙමව්පියන් ගේ තීරණවලට අපට ද යම් බලපෑමක් කළ හැකි වුණු නිසා, යාන්තම් ලා ක්‍රීම් පැහැති ඇඳුම් ඇඳ ෂේප් වීමට අපට ඉඩ කඩ ලැබුණි. පාසලේ සිටි අයිසා, දසයා, ජඩයා, එඩිසා ආකාරයේ ආදරණීය නම්වලින් හැඳින්වුණු විනය පාලකයින් ඒ ගැන වැඩි තැකීමක් කළ බවක් නොපෙනුණි. නෑදෑයින්ගෙන් ත්‍යාග ලෙස ලැබුණු මුදලකින් අප මිලට ගත්තේ ම, එක්කෝ සති අන්තයේ ටියුෂන් යෑම සඳහා අවශ්‍ය සුදු පැහැ නොවන ඇඳුම් ය.
එයින් පෙනෙන්නේ පිරිමින් ද විවිධ වර්ණයෙන් සැරසෙන්නට ප්‍රිය කරන බවයි. කොටින් ම, පන්සලකට, මළ ගෙදරකට පවා චාරිත්‍රානුකූලව අඳින සුදු කලිසම් නොඇඳ සිටිය හැකි නම් එසේ කිරීමට අපේ කිසිදු පැකිළීමක් නැත.
මෙහි දී මගේ සිහියට එන්නේ අපේ තාත්තා ය.
රැකියාවට, අවමගුලකට, මංගලෝත්සවයකට, රැස්වීමකට හෝ කුමනාකාරයේ කාරණයක් සඳහා වුව නිවසෙන් පිටතට යන විට තාත්තා ඇන්දේ සුදු ම සුදු ජාතික ඇඳුම පමණි. ඔහු පන්සල් යන්නෙකු වූවා නම් ද එහි කිසිදු වෙනසක් සිදු නොවෙනු ඇත.
තාත්තා වර්ණවත් යමක් ඇන්දා නම්, ඒ නිවසේ දී ඇඳි පිජාමා සරම් පමණකි. ඒ සරම් ද, ඉතා ලා පැහැති ඒවා විය. එනිසා ම, මා වුව ද කිසි දිනෙක ඔහුට බතික් සරමක් හෝ වෙනත් තද වර්ණයක කිසිදු ඇඳුමක් තෑගි දෙන්නට නොසිතූවෙමි.
ලංකාවේ රැකියා කළ සමයේ අපේ සේවා ස්ථානවල පිරිමින් සියලු දෙනා ම පාහේ ඇන්දේ, එක්කෝ අදාළ යුනිෆෝමයයි, නැතිනම්, ලා පැහැති කමිස සහ කළු, දුඹුරු වැනි තද පැහැති කලිසම් ය. කාන්තා පක්‍ෂයට ඒ ආකාරයේ නීති නොතිබුණි. ඔව්හූ විවිධ වර්ණයේ ගවුම් ද, සාය සහ හැට්ට ද, වර්ණාවලියේ සෑම වර්ණයකම සාරි සහ ඔසරි ද කිසිදු ප්‍රශ්නයකින් තොරව ඇන්දහ.
ගුරු සේවය වැනි සමහර වෘත්තීන් හි නිරත කාන්තාවන්ට සාරි මිස ගවුම් ඇඳීම නීති විරෝධී ආකාරයට තහනම් කර තිබීමත් කාන්තාවන් ඒ නීති මීක් නොකියා පිළිපැදීමත් වෙනම ම සාකච්ඡා කළ යුතු කාරණයකි.
ඕස්ට්‍රේලියාවේ මා සේවය කර ඇති, සේවය කරන කාර්යාලවල ද තත්වය ද ලංකාවේ සේ ම ය. පිරිමි අප සියලු දෙනා, ලා පැහැති බොත්තම් සහිත කමිසයෙන් ද, බොහෝ විට කළු හෝ සමහර විට තද පැහැති දිගු කලිසමෙන් ද සැරසී (කාලයට, දේශයට, දීපයට, කුලයට අදාළ පරිදි ටයි සහ කෝට් සහිතව) සේවයට එන්නෙමු.
තද පැහැති කමිසයක් හෝ ටී-ෂර්ටයක් හෝ අඳින්නේ සිකුරාදා නොහොත් "කැෂුවල් ෆ්‍රයිඩේ" දිනයට පමණි.
කාන්තා පක්‍ෂය නම් තමන් රිසි පරිදි විවිධ වර්ණයේ, විවිධ මෝස්තරයේ ඇඳුමින් සැරසී සේවයට එති. අත් දිග, අත් තුන්කාල, අත් කොට මෙන්ම අත් නැති බ්ලවුස් ද, දිග කලිසම්, දිග සාය, කොට සාය යනාදී විවිධාකාරයේ ඇඳුම් ද ඔව්හූ අඳිති.
ළඟ එළැඹෙන ගිම්හාන සමය මේ උත්කර්ෂයේ උච්ඡස්ථානයයි. මේ කාලයේ දී පිරිමින් ගේ ග්‍රීවානුබද්ධ උලුක්කු සෑදීමේ සම්භාවිතාව උපරිම අගය ගන්නා බව කියවේ.
පිරිමි ගැහැණු ඇඳුම් පැළඳුම් ගැන මේ කෙටි සටහන් කිහිපය මා ලියූවේ ලංකා දේශපාලනයට අදාළ එක්තරා හාස්‍යජනක කාරණයක් කියන්නටයි.
ඒ කොටස, මට ද, මගේ රසිකොලොජි බ්ලොගයට ද අදාලව ඉතා වැදගත් දිනයක් වන හෙට දවසේ මෙහි පළවෙනු ඇත.
-රසිකොලොජිස්ට්
(image: https://www.aliexpress.com/popular/black-gold-suits.html)